Wednesday 1 June 2016

රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes


අප කුඩා කල විසූ මගේ පියා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ග්‍රාමයේ තරමක වපසරියක් ඇති ඉඩමකය. නිවසෙන් වම් පැත්තේ පහළට විහිදුණු කොටසේ ප්‍රධාන වශයෙන් ම තිබුණේ පොල් ගස් සහ කජු ගස් ය. මේ කොටසේ අතරින් පතර රතඹලා සහ දං පදුරු වැවී තිබුණි.

රතඹලා යනු පියකරු මල් වර්ගයක් ද පිපෙනා කුඩා ගස් වර්ගයකි. ප්‍රමාණයෙන් කුඩා රතඹලා ගෙඩි රතු පැහැයට හොඳින් ඉදුණු පසු රසවත් පලතුරක් ද වේ.

රතඹලා ගෙඩියට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල මෙන්ම වඩා රසවත් පලතුරක් වූ දං ගෙඩිවලට ඒ නම ලැබී ඇත්තේ අනිවාරයෙන් ම, ඉදුණු දං ගෙඩිවල දම් පැහැය නිසා විය යුතු ය.

රතඹලා තියා දං ගෙඩියක් දශක ගණනාවකින් රස බලා නැති මා ඒ සමාන පලතුරක් අනුභව කර ඇත්නම්, ඒ වෙනත් ශාක කුලකයකට අයිති යැයි සිතෙන, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි සහ බ්ලූබෙරි ය. මේවා මම විටින් විට මගේ දියරමය උදෑසන ආහාරය සඳහා එක් කරමි.

බ්ලැක්බෙරි කියන්නේ ද ඒ ආකාරයේ පලතුරක් වුවත් මා ආහාරයට ගෙන නැත. ඒ බ්ලැක්බෙරි පලතුරට වඩා මා සිත ගත්තේ බ්ලැක්බෙරි ලෙස නම් කර තිබුණු ජංගම දුරකථන මොඩලයයි.

මා බ්ලැක්බෙරි මොඩලයේ ජංගම දුරකථනයක් සමීපව දුටුවේ සහ එහි ඇති සේවා සහ ප්‍රයෝජන ගැන දැන ගත්තේ මීට වසර නමයකට වඩා ඉහත සමයක විවිධ හේතු නිසා විශ්ව විද්‍යාල සේවය හැර දමා, ප්‍රාන්ත රජයේ රැකියාවට ගිය විටය.

මගේ කළමනාකරුවා වූ ගැවින් හිල් භාවිතා කළේ ඒ වර්ගයේ දුරකතනයකි. එය ඔහුට අපේ ආයතනය මගින් ලබා දී තිබුණු පහසුකමක් විය.

ගැවින් ගේ බ්ලැක්බෙරිය හා සසදන විට එවකට පොදු භාවිතයේ තිබුණු මගේ නොකියාව හෝ ඒ ආකාරයේ ජංගම දුරකථන සිහි කළේ නවදැලිහේන්වල සිටිනා වැඳිරියන් බව කීම අතිශයෝක්තියක් නොවේ!

බොත්තම් දොළහකින් පමණ යුතු සාමාන්‍ය දුරකථනයක යතුරු පුවරුව වෙනුවට බ්ලැක්බෙරියේ සම්පූර්ණ QWERTY යතුරු පුවරුවක් තිබුණි. පේළි දෙක තුනක වපසරියකින් යුතු සාමාන්‍ය දුරකථනයට තිරය වෙනුවට බ්ලැක්බෙරි මුහුණතේ ඉතිරි අඩ පුරා විහිදුණු වර්ණ තිරයක් විය.

ඊටත් වඩා වැදගත් කාරණය වූයේ බ්ලැක්බෙරි දුරකථන සඳහා ඉන්ටර්නෙට් සම්බන්ධතා තිබීමයි. ුය කාලයටත් වසර දෙකකට පෙර මා මගේ බිරිඳට තෑගි දුන් මෝටරෝලා දුරකථනයේ ද ඉන්ටර්නෙට් සම්බන්ධතා ද, ඊට අමතරව වීඩියෝ ඇමතුම් පහසුකම් ද තිබුණු නමුත්, බ්ලැක්බෙරියේ ඊට වඩා වෘත්තීයමය පෙනුමක් තිබුණි. ඒ මොඩලය භාවිතා කළේ නිතරම ඊ-මේල් සහ දුරකථන සබඳතා පවත්වා ගත යුතු වූ, රාජකාරි දිනපොත රැස්වීම්වලින් පිරී තිබුණු වෘත්තිකයින් විසිනි.

උදාහරණයක් ලෙස ගැවින් හිල් මසකට දෙතුන් වරක් ප්‍රාන්තයේ විවිධ කාර්යාලවලට ද, වෙනත් ආයතනවලට ද රාජකාරි කටයුතු සඳහා යන්නෙකි. සේවයට යාම ඒම සඳහා ද, මටත් වඩා කාලයක් දුම්රියේ ගත කරන්නෙකි. ගුවන් තොටුපොළ විවේකාගාරයේ, දුම්රියේ, ටැක්සියේ සිට අවේලාවේ ඔහු අපට තම බ්ලැක්බෙරියෙන් ඊ-මේල් එවීම සාමාන්‍ය දෙයක් වී තිබුණි. මේවා, කුඩා පණිවිඩ නොවේ. දීර්ඝ විස්තර සහ උපදෙස් රැගත් ඒවාය. ඔහු තම අවුට්ලුක් මෘදුකාංගයේ දිනපොත ද භාවිතා කළේ බ්ලැක්බෙරිය හරහා ය.

බ්ලැක්බෙරියේ යතුරු පුවරුව ද, විශාල තිරය ද, ඉන්ටර්නෙට් සබඳතාව ද මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් විය.

එනිසා, එවකට පෙර ගෙවුම් සබඳතාවක් සහිත අඩු මිල නොකියා ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටි මට බ්ලැක්බෙරියක් හිමි කර ගැනීමේ පෘථග්ජන ආශාවක් ඇති වීම පුදුමයක් නොවේ.

ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස මගේ රැකියාව ගැවින් හිල් මෙන් තැන තැන යෑමට අවශ්‍ය නොවූ බොහෝ දුරට එක කාර්යාලයක සිට කළ යුතු වූ එකක් විය. එනිසා, කාර්යාලීය දුරකථනයක් සපයා ගැනීම සඳහා අවශ්‍ය බිස්නස් කේසයකට මට කරුණු නොතිබුණි. මට තිබුණේ විකල්ප දෙකකි.

එක්කෝ අත් පිට මුදලට බ්ලැක්බෙරියක් මිලට ගෙන, මා එවකට කළා මෙන් පෙර ගෙවුම් සම්බන්ධතාව පවත්වා ගත යුතුය. නැතිනම්, මාසයකට නිශ්චිත මුදලක් ගෙවීමට වසර දෙකක ගිවිසුමකට එළැඹිය යුතුය. නිවැරදි ම අගයන් මගේ මතකයේ නොමැති වුවත්, ඒ ක්‍රම දෙකෙන් එකක් සඳහාවත් යන වියදම සාධාරණීකරණය කිරීමට හැකි සාධක, එනම් මුදලේ හැටියට අවශ්‍යතා, මට නොතිබුණි.

මම මගේ පැරණි නොකියාවිය සමග දිගටම කාලය ගෙව්වෙමි. මගේ ජංගම දුරකථන භාවිතය, කතා බහේ යෙදීමටත්, එස්එම්එස් ගනුදෙනු සඳහාත් පමණක් සීමා විය.
ඒ වසර 2010 මාර්තුවේ දිනයක, බ්ල්ක්බෙරියක හැඩරුව ද, පහසුකම් ද ඇති අලුත් මොඩලයේ නොකියාවියක, ඉතා හොඳ ගිවිසුමක් යටතේ ලබා ගත හැකි බව දුටු මොහොත තෙක් ය.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/BlackBerry_Bold)

25 comments:

  1. මොබයිල් ගැනම අහලා ඇතිවෙලෝ......................

    //ඒ මොඩලය භාවිතා කළේ නිතරම ඊ-මේල් සහ දුරකථන සබඳතා පවත්වා ගත යුතු වූ, රාජකාරි දිනපොත රැස්වීම්වලින් පිරී තිබුණු වෘත්තිකයින් විසිනි.// ඒකට දැන්. බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ.

    ReplyDelete
  2. රතඹලා දං හිඹුටු ලොවි ජම්බු කියනා ඒවා
    යූ. ඇන්. පී කාරයෝ කවදා දන්නවද මේවා
    යූ. ඇන්. පී හැත්ත ඇවිදින් රට කෑවා
    ඒ කෑවට පස්සෙ රෙද්දෙ ලිබරල් කීවා

    ගෝඨාභය අපේ සිහ රජු ළඟ එනවා
    පාදඩ යූ. ඇන්. පී පාලනය නසනවා
    ගොන් කතා කියන ජෝනා එළවනවා
    රට දැය රකින පිරිසක් යළි රජ වෙනවා

    පිට රට හිටියත් රටටට ආදරෙ අපෙ පුත්තු
    පේස් බුක් පෝස්ට් දමා රට රැක ගත්තු
    මේ රටේ මී හරක් වගෙ නෙවෙයි පිටරට පුත්තු
    දින දින දිනේවා රට රැක ගන්නා පුත්තු

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. කව්ද අප්ප මේ "මීට, කුමාර දිප්පිටිය" ??

      Delete
    2. That's Kumara Uncle

      Delete
    3. කුමාර දිප්පිටිය කියන්නෙ කොරියාවෙ ඉන්න රුචිර ජාතිකවාදී දිප්පිටිය පුතාගෙ අප්පච්චි පුතේ. රටටට දැයට ආදරේ නියම සිංහල ලේ තියෙන දකුනේ කොල්ලෙක්. කවියෙක් හා සමාජ සේවකයෙක්.

      Delete
    4. කාලගෝලයගෙන් දික්තලාව අරංපැන්න එකානේද දික්පිටියා !

      Delete
    5. කවි ලිවීමට නොපසුබට උත්සාහයක යෙදෙන කුමාර දිප්පිටිය අංකල්ට මගේ ප්‍රනාමය!

      Delete
  3. බ්ලැක්බෙරි ඇපල්.......මේවා තියෙන එකේ දං කජු වගේ ෆෝන් ලංකාවේ ගැහුවානං ඇත්තට ම හොදයි නේද????????

    ReplyDelete
    Replies
    1. ගෙඩියක සිංහල නමකින් පරිගණක ජාතියක් නම් තියෙනවා.

      සිංහල පරිගණක

      Delete
  4. අපි පොඩි කාලෙත් දං සෑහෙන්න මේ පැත්තෙ තිබුණ. මාත් කාලෙකින් දැකල නෑ.
    ඔය ෆෝන් වලට කෑම වල නං දාන එක හොයාගත්තෙ මොකාද දන්නෑ. පේන්නැද්ද අර ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම්.

    ReplyDelete
    Replies
    1. යං නංගි දං කන්න
      දං ගහට පිට දෙන්න
      (බලධාරියාගේ කතුරට හසුවිය)
      (බලධාරියාගේ කතුරට හසුවිය)

      Delete
    2. කවුද ඔය
      බලධාරියා කපන්න උගෙ
      බෙල්ල
      කතුරෙන්

      Delete
  5. බ්ලෑක් බෙරි කිව්වම මූණ බෙරි වෙන කාළෙකුත් තිබුනා....

    බත බෙරි උනාමත් හෙන කචල්නේ...

    ReplyDelete
  6. Blackberry කී පෑඩ් එකෙන් ටයිප් කරන එක තමයි එපා වෙන වැඩේ , ටිකක් අනුමත වෙලා ඉන්න වෙලාවක ටයිප් කරන්න අමාරුයි.
    වැඩ කරන ආයතනයෙන් නෙමේද ෆෝන් එක දෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අනුමත වෙලා ඉන්න වෙලාවල්වල බුකිය වගේ තැන්වලට ලොග්වෙලා කරන ගොංකම් නවත්වන්න තමයි එහෙම කීපෑඩ් එකක් එවන්නෙ.

      Delete
    2. ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස මගේ රැකියාව ගැවින් හිල් මෙන් තැන තැන යෑමට අවශ්‍ය නොවූ බොහෝ දුරට එක කාර්යාලයක සිට කළ යුතු වූ එකක් විය. එනිසා, කාර්යාලීය දුරකථනයක් සපයා ගැනීම සඳහා අවශ්‍ය බිස්නස් කේසයකට මට කරුණු නොතිබුණි. මට තිබුණේ විකල්ප දෙකකි.

      එක්කෝ අත් පිට මුදලට බ්ලැක්බෙරියක් මිලට ගෙන, මා එවකට කළා මෙන් පෙර ගෙවුම් සම්බන්ධතාව පවත්වා ගත යුතුය. නැතිනම්, මාසයකට නිශ්චිත මුදලක් ගෙවීමට වසර දෙකක ගිවිසුමකට එළැඹිය යුතුය. නිවැරදි ම අගයන් මගේ මතකයේ නොමැති වුවත්, ඒ ක්‍රම දෙකෙන් එකක් සඳහාවත් යන වියදම සාධාරණීකරණය කිරීමට හැකි සාධක, එනම් මුදලේ හැටියට අවශ්‍යතා, මට නොතිබුණි.

      Delete
  7. ඉස්සර කාලේ ජීවිත කාලෙටම එකයි. හොයාගන්න ලේසි නැහැ. ලෙඩ වුනත් දුවල පැනල හොයල බලනව. කොහෙවත් අරන් යන්නෙ නැතුව ගෙදර පරිස්සමට තියනව. වැඩි දෙනෙකුට නැති නිසා හරි ආඩම්බරෙන් තමයි සලකන්නෙ. අළුත් පරම්පරාව එහෙම නැහැ. මුලදි හරි ආදරෙන් අතගානව, මූණ දිහා බලාගෙන හිනාවෙනව, හිමීට මුමුණනවා, තුරුල් කරන් නිදාගන්නවා, යන යන තැන්වල අරගෙන යනවා, පොඩ්ඩක් පේන්න නැති වුණොත් හොයනවා, හම්බුවුණාම මූණ සතුටින් පිරෙනවා. වැඩිය හැඩ , අළුත් වැඩ දන්න තරුණ එකක් ආව ගමන් ඉස්සෙල්ල හිටපු එක කොහේ හරි මුල්ලක දාල අළුත් එක්කෙනත් එක්ක යනවා. කාලය මැව් වෙනස.

    ReplyDelete
    Replies
    1. අයියෝ වයසක මනුස්සයෙක් වගේ නේ කතා කරන්නේ!
      ඉන්නකො නිකං මං වගේ.

      Delete
  8. ඒ බ්ලැක්බෙරි ලක්ෂණ සහිත නොකියා එක E Series නොකියා එකක් නේද?

    ReplyDelete
  9. //රතඹලා යනු පියකරු මල් වර්ගයක් ද පිපෙනා කුඩා ගස් වර්ගයකි. ප්‍රමාණයෙන් කුඩා රතඹලා ගෙඩි රතු පැහැයට හොඳින් ඉදුණු පසු රසවත් පලතුරක් ද වේ.//

    මේවා තිබ්බේ ඉස්සර අපේ ගෙදර...:)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.