Tuesday 22 November 2016

තවත් බලු කොලු කතාවක් - Of dogs and boys


මා පසුගිය සැප්තැම්බරයේ රසිකොලොජියේ නැවත පළ කළ "මිනිස් බල්ලා සහ බලු මිනිසා" නම් වූ මගේ සඟරා ලිපිය ගැන විවිධ අදහස් පළ වුණි.

තම අදහස් දක්වන එක් අයෙකු පුන පුනා පවසා සිටියේ ඒ මා ලියා ඇත්තේ සත්‍ය අත්දැකීමක මතකය මත පදනම් වූ කතාවක් නොව මා නිර්මාණය කළ ප්‍රලාපයක් බවයි.

ඇත්තටම එය සත්‍ය කතාවක් නොව නිර්මාණයක් නම්, මම වඩාත් සතුටුවෙමි. ඒ මන්ද යත්, එවැනි නිර්මාණයක් කිරීම මට නම් ලේසියෙන් නොහැකි නිසා ය. මින් පෙර මා ලියා පළ කර ඇති විවිධාකර අත්දැකීම් පදනම් වූ ලිපි අනුභූති සේ ගෙන කෙටිකතා සීයක් ලියන්නෙමි යැයි මා ඒ කාලයේ ම පවසා සිටිය ද, තවමත් මා අතින් එවැනි එකදු කෙටිකතාවක් හෝ ලියවුණේ නැත!

ගෙදර වැඩ හෝ පැවරුම් යනාදිය පිළිබඳව අප එකල අසා නොතිබුණ ද, උදෑසන පන්තියේ ගුරුවරියට පෙන්වීම සඳහා ගල්ලෑල්ලේ චිත්‍රයක් ඇඳගෙන යාමට, අත් අකුරු පුහුණුව පෙන්වීම සඳහාත්, භාෂාව ඉගෙනීම පෙන්වීම සඳහාත්, වචන හෝ වාක්‍ය හෝ පිළිවෙළට ලියාගෙන යෑමට, මට එකල උපදෙස් ලැබී තිබුණි.

මා ලියාගෙන යන දේ කුමක් වුවද, එයට අති විශාල හරියකින් ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවතී ටීචර් ගේ ගේ සිරිත විය. අකුරක හැඩයේ වරදක්, වචනයක අක්‍ෂර වින්‍යාසයේ වරදක් හෝ වාක්‍යයක ව්‍යාකරණ වරදක් තිබුණේ නම්, ඇය එය නිවරද කරන්නට ඉඩ තිබුණි. නමුත්, පෙරදා රාත්‍රියේ නිවසේ දී ගල්ලෑල්ලේ ලියා දෙමව්පියන්ට පෙන්වන දෙයක වරදක් පසුදා උදෑසනවන විට තිබෙන්නට ඉඩක් නැත.

අද මා කියන්නට යන හෝඩියේ පන්තියේ බලු කතාව මෙයයි.

එක් දිනයක උදෑසන අවදිව පාසල් යන්නට සූදානම් වෙමින් සිටි මට පෙනුණේ, කුමක් හෝ හේතුවක් නිසා, පෙර දින රාත්‍රියේ මා ගල්ලෑල්ලේ කිසිවක් ලියා නොමැති බවයි.

චිත්‍රයක් අඳින්නට ද වෙලාවක් නොමැත. අපේ නිවසට අල්ලපු වත්තේ විසූ ආනන්ද ජයතිලක සමග මා කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය වෙත පා ගමනින් යාම අරඹන්නේ උදෑසන හතට ය. එය අඩ සැතපුමක පමණ දුරකි.

ලියන්නට වාක්‍යයක් අසා ගන්නට තාත්තා ද නොමැත. බොල්ලතේ පාසලක සේවය කළ රජයේ ගුරුවරයෙකු වූ ඔහු නිවසෙන් පිටත්වන්නේ උදෑසන හයටත් පෙර ය.

නිවසේ කිසියම් කාර්යයක නිරත වෙමින් සිටි අම්මා වෙත ගිය මම, අම්මේ මොනවා හරි කියන්න මට ගල්ලෑල්ලේ ලියා ගෙන යන්න කියා ඇගෙන් ඉල්ලීමි.

අනේ පුතේ, අර නැන්දාගෙන් අහගන්න කෝ! යැයි අම්මා පැවසූයෙන් මම නැන්දා වෙත ගියෙමි.

නැන්දා මට ලියන්නට කීවේ මේ වාක්‍ය යුුගලයි!
බල්ලා බත් කයි.
කොල්ලා හූ කියයි.

එවෙලේ හදිසියෙන් ඒ වාක්‍ය දෙක ගල්ලෑල්ලේ ලියාගෙන පාසලට ගිය මට ප්‍රඥාවතී ගුරුවරිය ගෙන් ගල්ලෑල්ල පුරා විසිරී ගිය විශාල හරියක් ලැබෙන්න ඇත.

මා මුලින් ම නිර්මාණාත්මක ලියවිල්ල ඉගෙන ගත්තේ එදා යැයි පසු කාලයක මේ සිදුවීම ගැන සිතන විට මට වැටහී ගියේ ය.
  • කොල්ලා බත් නොකා බල්ලා බත් කෑවේ ඇයි?
  • බල්ලා හූ නොකියා කොල්ලා හූ කීවේ ඇයි?
  • බල්ලා කෑවේ කොල්ලා ගේ බත් ටික ද?
  • කොල්ලා හූ කීවේ, ඒ දැක කෝපයෙන් ද?
නැන්දා ගේ ඒ වාක්‍ය යුගල නිර්මාණයේ තෝතැන්නකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් මේ කතාව ද, සත්‍ය සිදුවීමක් නොව මවිසින් කරණ ලද නිර්මාණයක් යැයි නොකියන්න.

මේ ලිපිය මා අලුතෙන් ලියූවක් වුව ද, මෙහි විස්තර කෙරෙන සිදුවීම නම් මීට වසර කිහිපයකට කලින් බස් රේඩියෝව සඳහා කරන ලද වැඩ සටහනක දී මම විස්තර කර ඇත්තෙමි.

(image: https://commons.wikimedia.org/wiki/File:A_boy_and_a_dog.jpg)

20 comments:

  1. රසික සුගතපාල ද සිල්වා ශූරීන්ගේ "බල්ලෝ බත් කති" කියවලා තියෙද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මං ඒ පොත කියෙව්වේ උසස් පෙළ කාලේ ගලහිටියාව පුස්තකාලෙන්. එහි එන පුසති මැණිකේ ගේ එක් වික්‍රමයක් (කාර් එකක දී කරන) තාම මතකයි!

      Delete
  2. hullo bakathi
    hullo ko kiyathi

    ReplyDelete
  3. කොල්ලා සහ බල්ලා ........

    ReplyDelete
    Replies
    1. ප්‍රෙඩී සිල්වා ගේ සින්දුව මතකද?
      https://youtu.be/CIupRnnO0qU

      Delete
  4. මෙලෝ දෙයක් තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මොනවා හරි සැඟවුණු අරුතක් හොයන්න ගිහිං අතරමං වුනා දර රාජ්?

      මොනවද මේකේ නොතේරෙන්නේ? මේක හෝඩියේ පන්තියේ කාලේ පොඩි සිදුවීමක් නේ.

      Delete
  5. බල්ලා කොල්ලාව කෑවේ නැත

    ReplyDelete
  6. සන්නස්ගල අම්මා පොත ලිව්වාම පොතේ තියෙන එව්වා අල්ලාගන්නැතුව ඒක ඇත්තද බොරුද කියලා හොයන්න කට්ටියක් සෙට් වුණානේ....
    ඕව ඔහොම තමයි...

    ReplyDelete
  7. කොල්ලා නරියෙක් බව නොකියා කියලා. හොක්කි හොයේ හොයේ හොයේ

    ReplyDelete
    Replies
    1. සතෙක් ගැන කතා කළොත්, චානක මුණසිංහ ගේ ප්‍රතිචාරයක් ඇත. ඇත්තටම ඔබට තිබුණේ ඉංජෙක් නොවී වෙටෙක් වෙන්නයි!

      Delete
  8. කාටත් බත් කෑමට හැකිය. හූ කීමට හැක්කේ කොල්ලෙකුට පමණකි. ආච්චිගේ පරිකල්පන ශක්තීයේ මහිමය!

    ReplyDelete
    Replies
    1. ආච්චි නොවෙයි මචෝ මේ නැන්දා, තාත්තා ගේ නංගී.
      අපි පොඩි කාලේ මහගෙදර හිටපු දවස්වල කතාවක්.

      Delete
  9. 1. කොල්ලා බත් නොකා බල්ලා බත් කෑවේ ඇයි?

    "කොල්ලන්ට කන්නටත් බත් දුලබ රටේ බල්ලෝ බත්කති - අපේ වාමාංශිකයින් මේ ගැන කියන්නේ කුමක්ද?" - පැරාගෙන් W3Lanka බ්ලොග් පෝස්ට් එකක්

    2. බල්ලා හූ නොකියා කොල්ලා හූ කීවේ ඇයි?

    "කොලු හූ කතා හා බලු හූ කතා Naughty Boys and Naughty Dogs" - මාතලන්ගෙන් බ්ලොග් පෝස්ට් එකක්

    3. බල්ලා කෑවේ කොල්ලා ගේ බත් ටික ද?

    "ආර්ථික අවස්ථා අහිමිවීම ගැන නිදසුනක්" - ඉකොනොමැට්ටාගේ බ්ලොග් පෝස්ට් එකක්

    4. කොල්ලා හූ කීවේ, ඒ දැක කෝපයෙන් ද?

    "ආවේග පිට කර ගැනීම පිණිස හූ කීම" - වෛද්‍ය රුවන් ජයතුංගහේ බ්ලොග් පෝස්ට් එකක්

    රසිකගේ එක පෝස්ට් එකෙන් හතර දෙනෙක් ගොඩයන හැටි!

    ReplyDelete
  10. https://boardgamegeek.com/boardgame/4035/man-bites-dog

    ReplyDelete
  11. බල්ලා කෑවේ කොල්ලා ගේ බත් ටික

    ReplyDelete
  12. ෆ්‍රෙඩි ගේ බල්ලා සින්දුව මතක් වුණා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.