Tuesday, 4 October 2016

කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?


මේ ලිපියේ මාතෘකාව සඳහා මා යොදාගත්තේ සිංහල නවකතාවක නමයි. "කන්දෙන් ලන්දට" ලියූ මිණිවන් පී. තිලකරත්න කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවී පසුව මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇත.

මිණිවන් පී. තිලකරත්න උපහාස කතා කලාවේ ශූරයෙකු විය. මෙහි ලා සඳහන් කල යුතු ඔහුගේ "උසාවි සාවිය", "පුංචි එක්නැලිගොඩ" ආදී නවකතා ද, "මගෙ ගම සරිගම" ආදී කෙටිකතා සංග්‍රහ ද අතර මගේ ප්‍රියතම කෘතිය වූයේ "කන්දෙන් ලන්දට" නවකතාවයි. එය ඔහුගේ සේවා ස්ථානය වූ කැලණිය විශ්ව විද්‍යාලය ගැන පොදුවේත්, එහි සිංහල අංශය සහ එහි සේවය කල චරිත කිහිපයක් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන අනිසි ක්‍රියා රාශියක් ගැන සුවිශේෂීවත් සාකච්ඡා වෙන උපහාසාත්මක රචනා ශෛලියෙන් ලියවුණු අගනා කෘතියකි.

"කන්දෙන් ලන්දට" නවකතාවේ එන චරිත සියල්ලම පාහේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල විෂයය පිළිබඳ ඇදුරන් වූහ. මෙයින් කතා නායකයා හැර අන් සියලුම ආචාර්යවරුන් ගේ වෘත්තීමය හැසිරීම වූයේ ශිෂ්‍යයින් ගේ ශ්‍රාස්ත්‍රෝද්ග්‍රහණය හෝ ඥාන වර්ධනය හෝ පොදුවේ දැනුම වැපිරීම හෝ පිණිස වැඩ කිරීම නොව හුදෙක්ම තම පැවැත්ම ගැන පමණක් සිතා කටයුතු කිරීමයි. ඒ සමගම, තමන්ට ශ්‍රාස්තී්‍රය වශයෙන් හෝ සමාජමය වශයෙන් තර්ජනයක් කරතැයි සිතෙන ඇදුරෙක් සිටී නම් තම සියලු බලතල සහ උත්සාහය ඔහු හෝ ඇය මැඩලීමට යෙදවීමයි.

මේ නවකතාවේ එන රසවත් කතා කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. එක් ආචාර්යවරයෙකු ට සිසුවියක් සිංහල විෂයය නිබන්ධනය වෙනුවට වැරදීමකින් භාර දී ඇත්තේ භූගෝල විද්‍යා නිබන්ධනයයි. ඇයට ඒ සඳහා සම්මාන සාමාර්ථයක් ලැබේ. සිසුවිය ඇදුරා හමුවී මේ ගැන පැමිණිලි කරන විට (පැහැදිලිවම, එම නිබන්ධන සඳහා ඔහු ලකුණු දී ඇත්තේ කිසිම කියවා බැලීමකින් තොරව ය) ඔහු කියා සිටින්නේ අවශ්‍ය නම් එම නිබන්ධනය භූගෝල විද්‍යා අංශයට ද ඇගයීම පිණිස දෙන්න, නමුත් එයට වඩා හොඳ ලකුණු ලැබේවිද යන්න නම් සැක සහිත බවකි!

"කන්දෙන් ලන්දට" නවකතාවේ ප්‍රධාන චරිතය තරුණ මිණිවන් තිලකරත්න නියෝජනය කළා යයි මම සිතමි. එය එසේ නම් සහ මෙම නවකතාවේ එන ඇතැම් චරිත වලට භාවිතා කර ඇති පුද්ගල නාම දෙස සලකා බලන විට මට වැටහුණු දේ නිවරදි නම්, තිලකරත්න තම ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ සිංහල නවකතාවට රුසියානු සාහිත්‍යයෙන් ඇතිවූ බලපෑම පිළිබඳ ලියවුණු නිබන්ධනයකි. මෙහිදී ඔහු මාර්ටින් වික්‍රමසිංහ ගේ නවකතාවල ඇති රුසියානු ආභාෂය පිළිබඳව විශ්ලේෂණයක් කර ඇත. මේ බව දැන දැනම, තිලකරත්නගේ ශ්‍රාස්ත්‍රපති උපාධි පර්යේෂණයේ උපදේශකයා වූ එදිරිවීර සරච්චන්ද්‍ර එම නිබන්ධනය ඇගයීම සඳහා බාහිර පරීක්ෂක ලෙස, තිලකරත්න ගේ අනුදැනීමක් නොමැතිව, තෝරා ගෙන ඇත්තේ ද වික්‍රමසිංහ ව ය!

තම නවකතාව සඳහා තිලකරත්න යොදා ගෙන තිබූ "කන්දෙන් ලන්දට" යන පදයේ "කන්ද" යනුවෙන් අදහස් කෙරුණේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි. "ලන්ද" යනුවෙන් අදහස් කෙරුණේ ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්ව විද්‍යාලයයි. පනහ දශකයේ අග භාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්ව විද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස "කන්දෙන් ලන්දට" ලෙස නම් කර තිබේ.

මා ද එලෙස කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි. මා මේ නවකතාව කියවූයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සේවය ඇරඹීමෙන් පසුව වීම නිසා මට එහි අපූර්වත්වය වඩාත් වැඩියෙන් දැනෙන්නට ඇත.

මේ ආකාරයේ ම අන්තර්ගතයක් අඩංගු තවත් කෘතියක් පසු කලෙක සිංහල සාහිත්‍යයට එකතු විය. එය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ සරත් විජේසූරිය ලියූ "මගේ නඩුව ඉවරයි" නම් වූ අර්ධ වාර්තාත්මක නවකතාවයි. විජේසූරිය ගේ කෘතිය පිළිබඳව මා දැනගත්තේ සිංහල භාෂාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙක් වන, කවදත් තම ලිපි මගින් ලංකාවේ විශ්ව විද්‍යාලයන් හි සිංහල භාෂා අධ්‍යයන අංශවල වත්මන් ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැනුම පිළිබඳ සරදම් සටහන් ලියූ, සුචරිත ගම්ලත් ගේ ලිපියකින් බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

සරත් විජේසූරිය ගේ "මගේ නඩුව ඉවරයි" කෘතියේ සහ මිණිවන් පී තිලකරත්නගේ කන්දෙන් ලන්දට නවකතාවේ සමානකම් මේ ග්‍රන්ථ ද්විත්වයේ ම අන්තර්ගතය විශ්ව විද්‍යාල සහ එහි සිංහල භාෂා අධ්‍යයන අංශ වලට මුලිකව පදනම් වීම, ඒවායේ ප්‍රධාන චරිත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වීම සහ ඒ චරිත වල ක්‍රියාකාරකම් වල මුලික ස්වභාවයේ සමරූපී බවට පමණක් සීමාවේ.

විජේසූරිය ගේ කෘතිය තුළින් හෙළිදරව් කර ඇති අක්‍රමිකතාවන් ගේ බරපතල කම සලකා බලන විට නම්, තිලකරත්න ගේ දුක් ගැනවිලි හුදෙක් අහසට පොළොව මෙන් බව කිව හැක. "මගේ නඩුව ඉවරයි" නවකතාවේ විස්තර කෙරෙන ඒ විශ්ව විද්‍යාල ඇදුරන් ගේ අක්‍රමණිකතාවයන් අතර තම සිවිල් බලය උපයෝගී කර ගෙන සුදුස්සන් ට සුදුසු තැන නොදී පාගා දැමීම, නුසුදුසු වුවද තම ප්‍රියයන් ට තනතුරු, ශිෂ්‍යත්ව, ප්‍රතිපාදන යනාදිය ලබාදීම සහ මෙකී නොකී මූල්‍ය, ලිංගික සහ වෘත්තීමය අපචාරයන් රාශියකි.

මීට අමතරව, විජේසූරිය ගේ "මගේ නඩුව ඉවරයි" කෘතිය තිලකරත්නගේ "කන්දෙන් ලන්දට" මෙන් උපහාසාත්මක ප්‍රබන්ධයක් නොව දැඩි සංවේගය දනවන්නකි. කොටින්ම, මෙහි එක් තැනක දැක්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දෙදෙනෙකු "අපෙන් පස්සේ මේ කටයුතු කරගෙන යන්න අපි ගෝලයෝ හදලා නැහැ!" යැයි කියමින් සිනාසෙන අවස්ථාවේ ද එය උපහාසයක් නොව පුදුමය, සන්ත්‍රාසය සහ දොම්නස පමණක් ජනිත කරයි.

ඒසේ ම, "කන්දෙන් ලන්දට" හි කතා නායකයා මෙන් සර්ව නිර්දෝෂී නොවන "මගේ නඩුව ඉවරයි" කෘතියේ කතානායක සනත් ජයසූරිය නම් කථිකාචාර්යවරයා, කේලම් සහ ගතු කීම, අනුන්ගේ ලිපි බැලීම සහ සුළු ප්‍රමාණයේ අධිමානය වැනි මානුෂික ගුණයෙන් යුක්ත ය.

මේ කෘති දෙකම ලියවෙන්නට කලින් 70 දශකයේ දී, එවකට විශ්ව විද්‍යාල සේවයේ යෙදී සිටි (පසුව 1994 දී පමණ දේශපාලඥයෙකු ලෙස කල එළි බට) ඒ.වී. සූරවීර ගේ "අත්ත බිඳෙයි පය බුරුලෙන්" නවකතාව සිංහල සාහිත්‍යයට එක් වී තිබුණි.

විද්‍යෝදය විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ලියවී තිබුණද එම කෘතිය මූලික වශයෙන් විශ්ව විද්‍යාල ඇදුරන් අතර ඇති බල අරගලය පොදුවේ විදහා පාන්නක් පමණක් විය. පුද්ගලික අත්දැකීම් මත පදනම් වූවද ඒවා ඉදිරිපත් කර තිබූ දුරස්ථ විලාසය නිසා විජේසූරිය ගේ සහ තිලකරත්නගේ කෘති තරමට ඇඟට දැනෙන ගතියක් සුරවීර ගේ නවකතාවේ නොතිබුණි.

සිංහල භාෂා විශාරදයෙකු වන සුරවීරගේ හොඳම කෘතිය ”හෙය්යම්මාරුව” යයි මම සිතමි. සිංහල ගැමි උච්චාරණය වාග්-විෂයයික ලෙස යොදා ලියවී තිබුණු මෙම නවකතාවෙන් ග්‍රාම්‍ය නිර්ධන පන්තිය ලක් වී ඇති සූරාකෑම හොඳින් විග්‍රහ කර තිබුණු බව මගේ මතකයයි.

ඉහත විස්තරය කියවන අයෙකුට නිසැකවම ඇති විය හැකි ප්‍රශ්නයක් නම්, විශ්ව විද්‍යාල ඇදුරන් ගේ අක්‍රමණිකතා ගැන ලියවුණු නවකතා සියල්ලේ ම කතුවරුන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්යවරුන් ම වී ඇත්තේ යම් සුවිශේෂී වූ හේතුවක් නිසාද යන්නයි.

මෙය විප්‍රකාරීව හෝ අහඹු ලෙස හෝ වූ සමපාතවීමක් නම් නොවේ.

සිංහල භාෂා ආචාර්යවරුන් ගේ භාෂා දැනුම සහ නිර්මාණාත්මක හැකියාවන් අන් විෂයයන් පිළිබඳ ආචාර්යවරුන්ට වඩා ඉහළ නිසා බොහෝ විට මෙය සිදුවුණා විය හැක.

නැතිනම් තම විෂයය ක්ෂේත්‍රයේ සුවිශේෂීත්වය නිසාවෙන් මෙවැනි නිර්මාණාත්මක කෘති ද තම ප්‍රකාශන ලයිස්තුවලට ඇතුළත් කර මහාචාර්ය තනතුරු වැනි උසස්වීම් සඳහා භාවිතා කළ හැකි නිසා සිංහල භාෂා ආචාර්යවරුන් මෙලෙස නවකතාකරණයට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා විය හැක.

එසේත් නැතිනම් මේ නවකතා දෙකෙන් ඉදිරිපත් කෙරුණු ආකාරයේ අක්‍රමණිකතා බහුලව පවතින්නේ විශ්ව විද්‍යාලවල සිංහල අධ්‍යයන අංශවල වීම නිසා ද විය හැක. කැලණිය විශ්ව විද්‍යාලයේ කාර්මික කළමනාකරණ අංශයේ වසර ගණනාවක් සේවයේ යෙදී සිටි මට ඒ කාලය සම්බන්ධයෙන් නවකතාවක් ලියනවා තබා කෙටිකතාවක් ලිවීමට කරුණු සොයා ගැනීම ද දුෂ්කරය.

සැබෑ තත්වය පෙර සඳහන් සියලූ කරුණු වල සංකලනයක් යයි මම සිතමි.

මේ ලිපියේ මීළඟ කොටසින් කන්දේ සහ ලන්දේ විශ්ව විද්‍යාල අතර සමාජමය වෙනස් කම් පිළිබද විස්තරයක් බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය මා ලියන ලද්දේ 2009 ජූනි මාසයේ දී ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ය. පසුගිය දිනක කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ යම් අයථා ක්‍රියාවක් පිළිබඳව ලියවුණු පුවත්පත් ලිපියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ලියනගේ අමරකීර්ති විසින් ෆෙස්බුක් හි බෙදා හැර තිබෙනු දැක මට මේ ලිපිය ගැන සිහිවී සඳහන් කළෙමි. එය නැවත පළ කරන ලෙස ඔහුගෙන් ද ඉල්ලීමක් ලද නිසා, පැරණි ඊ-මේල් අතර තිබී සොයා ගෙන මද සංස්කරනයකින් පසුව මෙසේ පළ කරමි.

මාතෘකාවට අදාළව තවත් කරුණක් කිව යුතුයි. කන්දෙන් ලන්දට ගොස් ඇත්තේ මිණිවන් පී තිලකරත්න පමණක් නොවේ. ඒ වී සුරවීර ද කන්දේ සිට ලන්දේ විද්‍යෝදය විශ්වවිද්‍යාලටය ගිය අයෙකි. සරත් විජේසූරිය නම්, ලන්දේ උගෙන ලන්දේ ම වෙසෙයි.

ලන්දෙන් කන්දට ආ එකම සිංහල ඇදුරා ලියනගේ අමරකීර්ති පමණක් දෝ යි සිතේ!

(images: www.silumina.lk/2015/12/27/_art.asp?fn=sm1512272; https://www.youtube.com/watch?v=eIU6X6_mts8; http://newsfirst.lk/english/2014/01/renowned-novelist-t-suraweera-passes-away/14788; http://www.boondi.lk/CTRLPannel/ArticleImages/SINT/)

37 comments:

  1. ඔය මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න ප්‍රේමදාස කාලේ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති වෙලා අවුල් රැසක් ඇතිකරගත්තා නේද? මට මතකයි ඒ දවස්වල පුවත්පත් සිරස්තලයක් තිබුණ "මිණිවන් පී ගේ අනුවන් වැඩ කියල."

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය කෙනෙක් වුණත් ලොකු බුද්ධිමතෙක් නෙවෙයි. ඒ කාලෙ හිටු කියලා කැපුවා. ජූලියා කියලා පැයකුත් විනාඩි හතළිහක ෆිල්ම් එකක් පැයට කැපුවා. අන්තිමේ බලන්න දෙයක් නැහැ. ඒ එක්කම නීතියක් දැම්මා සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරන හැම පෝස්ටරේකම ඡායාරූපයකම කැපුම් මණ්ඩලේ ලොක්කා අත්සන් තැබිය යුතුයි කියලා.

      Delete
    2. තද යූඇම්පීකාරයෙක් බව ඔහුගේ කන්දෙන් ලන්දට පොත පේමදාසට පිළිගන්වා ඈති නිසා පෙනේ.

      රැඟුම්පාලක මණ්ඩල කතා මතකයේ තිබුණේ නැත. මේ ලිපියේ අරමුණ විශ්විද්‍යාල සිංහල භාෂා අංශ ගැන යම් තරමකට කතා කිරීමයි.

      Delete
  2. කියෙව්වා. යමක් කියන්න දැනීම මදි

    ReplyDelete
    Replies
    1. ʘ‿ʘ

      ඒ බව දැන සිටීම යනු හොඳ දැනුමකි!

      සමහරු ඒ බව ද නොදනිති.

      Delete
  3. ඔව්වා හැම තරාතිරමකම අැති අලුයට ගිනි.. සිංහල අයම ඔව්ව ලියනහෙතුව ගැන නං අයිඩියා එකක්නෑ. රසිකගෙන් කියවු ඇවරෙජ් වචන ගාන ඉකමවු වියුනු කිහිපයෙන් එකක්.. ජය

    ReplyDelete
    Replies
    1. ප/ලි යේ ඇති පරිදි මෙය 2009 ජූනි මාසයේ පමණ ඉරිදා ලක්බීම පුවත් පතේ පළ වූ ලිපියක්. පොඩි සංස්කරණයක් පමණයි කළේ. කුට්ටි කළේ නෑ!

      Delete
  4. ඇහැට කඳුලක් ආවා.

    ReplyDelete
  5. සිංහල භාෂා අධ්‍යයන අංශ වලම ඔය වගේ ගැටළු ඇති වීමට එක හේතුවක් වෙන්න පුළුවන් ලෝකයේ වෙනත් රටවල සිංහල කියා විෂයක් නොවීම. උදාහරණයක් හැටියට Medicine, Engineering ඇදුරන් අතර ඔය වගේ ගැටළු ඇති වෙන්නෙ නැහැනෙ. මොකද ඇගැයීම විවෘතයි. වෙනත් රටක ප්‍රවීණයකුට වුණත් CV දෙකක් සන්සන්දනය කරලා වඩා හොඳ මොකද්ද කියන්න පුළුවනි. සිංහල සම්බන්ධයෙන් එහෙම බෑ. මෙහේ ඉන්න එවුන්ම තමයි ඇගැයීම කරන්න ඕනෑ. ඕක ඔහොමවත් බේරිලා තියෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබ ඈගයීම යනුවෙන් අදහස් කරන්නේ යනු උසස්වීම් සඳහා ප්‍රකාශන ඇගයීම ද? ඒ සඳහා ලකුණු දෙන ක්‍රමවේදයක් තියෙනවා මං හිතන විදියට!

      Delete
  6. "සරත් විජේසූරිය නම්, ලන්දේ උගෙන ලන්දේ ම වෙසෙයි".

    වෙන ඉතිං කොහෙයි කියල යන්නද රසික ? මොකද ඔක්ස්ෆඩ් වල හරි කේම්බ්‍රිජ්වල හරි පෙරදිග භාෂා අංශ වලට තියා දිල්ලි විශ්ව විද්‍යාලෙට sabbatical එකකටවත් යන්නයි කියලද?

    ReplyDelete
    Replies
    1. කලකට පෙර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අංශයක් තිබුණා. එය පසුව වසා දැඟුණා.

      බෙයිජීං විශ්ව විද්‍යාලයේත් තිබුණා මතකයි, චන්ද්‍රසිරි පල්ලියගුරු එහි ගත කළ කාලය ගැණ මහා ප්‍රාකාරයෙන් එහා නමින් පොතකුත් ලියා තියෙනවා!

      Delete
  7. හෙයියම්මාරුව කියවල තියෙනවා. එතකොට මගේ නඩුව ඉවරයි මිළදී ගෙන කියෙව්වා. මට මගඇරිල තියෙන්නෙ කන්දෙන් ලන්දට. ඒකත් කියවල තිබුණ නම් රසිකගේ මේ පෝස්ට් එකෙන් මීට වඩා රසයක් ලබාගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. කන්දෙන් ලන්දට පොත මුද්‍රණයේ නෑ. මං ගොඩගේ එකේ සොයා බැලුවා. මගේ පිටපත ලංකාවේ දාලා ආවා, දැන් අස්ථානගතයි!

      ඒවී සුරවීර ගේ අදාල පොත - අත්ත බිඳෙයි පය බුරුලෙන් මිස හෙයියම්මාරුව නොවෙයි!

      Delete
  8. //එක් ආචාර්යවරයෙකු ට සිසුවියක් සිංහල විෂයය නිබන්ධනය වෙනුවට වැරදීමකින් භාර දී ඇත්තේ භූගෝල විද්‍යා නිබන්ධනයයි. ඇයට ඒ සඳහා සම්මාන සාමාර්ථයක් ලැබේ. සිසුවිය ඇදුරා හමුවී මේ ගැන පැමිණිලි කරන විට (පැහැදිලිවම, එම නිබන්ධන සඳහා ඔහු ලකුණු දී ඇත්තේ කිසිම කියවා බැලීමකින් තොරව ය) ඔහු කියා සිටින්නේ අවශ්‍ය නම් එම නිබන්ධනය භූගෝල විද්‍යා අංශයට ද ඇගයීම පිණිස දෙන්න, නමුත් එයට වඩා හොඳ ලකුණු ලැබේවිද යන්න නම් සැක සහිත බවකි!//

    මෙවැනි අපූරු කතාවක් ප්‍රභාත් ජයසිංහගේ 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහයේ තිබෙනවා. එහිදී අාර්ථික විද්‍යා උත්තර පත්‍ර මාරුකොට යවන්නේ සමාජ විද්‍යා අාචාර්යවරුන්ට. ඔවුන් ඒවාට ලකුණු ලබා දෙනවා. වැරැද්ද හසුවන්නේ ලකුණු පරිගණකගත කිරීමේදී පිළිතුරු සැපයූවන් ගණන සංසන්දනය කරන විට අැතිවූ පරස්පරයකින්. කියවා බලන්න අපූරු පොතක්.

    ReplyDelete
    Replies
    1. මේ කෙටිකතා පොත ගැණ බස්සීගේ නවාතැන බ්ලොගයේ ලියවී තිබුණා. රචකයා කොළඹ විශ්වවිද්‍යාලයේ ලු නමුත් සිංහල අංශයේ නම් නොවෙයි!

      Delete
    2. ඔව්. ඔහු අාර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් !

      Delete
    3. ස්තුතියි ප්‍රභාත්, ඔහු කළමණාකරණ අංශයේ බවයි දැක්කේ. ආර්ථික විද්‍යා අංශයේ නොවේ!

      Delete
  9. කන්දෙන් ලන්දට කියවලා නෑ. කියවන්න ඕනෙ. මං සිංහල නවකතා කියවන්නෙ historical $& nostalgic විතරයි.

    Btw, "දූල්වල අලංකාරය" හොඳයි. කලාත්මකබව ගැන කියන්න මං දන්නෙ නෑ අයිතිහාසිකබවින් ඉහලයි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය හොඳ විෂයක් ප්‍රබන්ධකරණයට. මං පොඩි කාලේ කියවූ රෝහිණි පොතේ සිදුවීම් තවමත් මතකයි!

      ඒ දවස්වලම කියෙව්වා ශෛල කල්‍යාණී කියා පොතක්, ඒකත් අපූරුයි.

      Delete
  10. රසික...නම අමතක වෙලා තියෙන්නේ මෑතකදි එක් නිදහස් ප්‍රකාශකයක් කෙරූ ඒ කැළණියේ තරුන ගුරුවරයාගේ. ඒ නම මතක තියාගන්න ඕන නමක්. එයා ඒ අත්දැකීම් පොතක් කරොත්,,අපේ විශ්ව විද්‍යාලවල ඔය ඇකඩමික් ස්ටාෆ් එකේ ලොකු පොරවල්ගේ ගොන් පාට් තව ගොඩක් එලියට එයි. අපි යන්නෙම රිවර්ස් ගියර් එකේ. පල්වෙනවා එක තැන. ඇකඩමිස්ට් කෙනෙක් කොච්චර ඉදිරියෙන් ඉන්න ඕනද? නිදහස් චින්තකයෙක් වෙන්න ඕනද.....මොකද උන්ගෙන්නේ තව සෙට් එකක් ඉගෙනගන්නේ. මට විවි අත්දැකීම් නැහැ. ඒත් මට මේ දැණෙන දේ.

    ReplyDelete
    Replies
    1. අරුණ,
      ඔහුගේ නම චින්තක රණසිංහ.

      Delete
    2. ඒ ගැන තමයි ලියනගේ අමරකීර්තිගේ ෆෙස්බුක් පෝස්ටුවේ තිබුණේ. චින්තක රණසිංහ වගේ නමක් මට මතක විදියට.

      ලියනගේ අමතරකීර්ති ගේ "මිහිරි සීනු නාදය" කෙටිකතා පොතේත් අපූරු උපහාසාත්මක කෙටිකතාවක් තියෙනවා විශ්ව විද්‍යාල ඇදූරන් ගැන. සරත් විජේසූරියත් කෙටිකතා රාශියක් ලියා තියෙනවා. උඩ කමෙන්ටුවක සඳහන් පරිදි ප්‍රභාත් ජයසිංහගේ 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහයේත් මෙවැනි අත්දැකීම් ඇති නිර්මාණ තියේ ලු!

      Delete
    3. ඉහත (6 October 2016 at 13:11) කමෙන්ටුවේ ලියනගේ අමරකීර්ති ලෙස නම වෙනස් විය යුතුයි!

      Delete
    4. ස්තූතියි ප්‍රභාත්!

      Delete
  11. //එම නිබන්ධනය ඇගයීම සඳහා බාහිර පරීක්ෂක ලෙස, තිලකරත්න ගේ අනුදැනීමක් නොමැතිව, තෝරා ගෙන ඇත්තේ ද වික්‍රමසිංහ ව ය!//

    නිබන්දනය පිළිබඳව මාටින් වික්‍රමසින්හයන්ගේ අදහස සඳහන් වෙලා නැත්ද?

    ReplyDelete
    Replies
    1. මාර්ටින් වික්‍රමසිංහ ගේ කෙටිකතා සහ නවකතාවලට රුසියානු සාහිත්‍යය බලපා ඇති බව බොහෝ දෙනෙකු කියා ඇත. මිණිවන් ගේ නිබන්ධනයේ මෙය සාකච්ඡා වී තියේ ලු. එය පොතක් ලෙස දමුද්‍රණය වී ඇති බව මා දැක ඇත.

      මාර්ටින් වික්‍රමසිංහව යම් ආකාරයකට විවේචනය කෙරෙන නිබන්ධනයක් පරීක්‍ෂා කිරීමට බාහිර පරීක්‍ෂක ලෙස මාර්ටින් වික්‍රමසිංහව ම පත් කිරීම මෙහි මුල් ප්‍රශ්නයයි. දෙවෙනි කාරණය නම්, මෙය පශ්චාත් උපාධි නිබන්ධනයක් නිසා සාමාන්‍යයෙන් පත් කෙරෙන්නේ අඩු තරමේ සමාන අධ්‍යාපන සුදුසුකමක් ඇති අයෙකු වීමයි.

      Delete
  12. මිණිවන් පී තිලකරත්න ගේ ගමක වත පර්‍යේශණාත්මක නවකතාව තමයි මම ආසම.. කන්දෙන් ලන්දට කියෙව්වා බොහෝම ඈත කාලෙක ඔය පසුබිම නොතේරුණු නිසාද මංදා එහෙම ආසාවෙන් මතකයේ රැදුනේ නෑ.. ගෙදර තියෙනවද හොයල ආයි කියවන්න ඕනේ.. සරත් විජේසූරිය කියන ගත් කතුවරයාටත් කතිකයාටත් මම ගොඩක් කැමතියි. තුන් ඈදුතු නවකතාවක් වගේ දැන් මේ පොත් තුනම එකට කියවන්න ආසයි.. ස්තූතියි රසික.

    ReplyDelete
    Replies
    1. ගමක වත හොඳ සමාජ අධ්‍යාපනයක් ලබා දෙන පොතක්. මං කියෙව්වේ පුස්තකාලයෙන්. මෙවර පිටපතක් ගත්තා තියා ගන්න.

      කන්දෙන් ලන්දට මා වඩාත් රස වින්දේ ඒ කියවපු කාලයේ මාත් කැලණිය විශ්වවිද්‍යාලයේ සිටි නිසයි.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. බොහොම කණගාටුයි. ගූගල් වචන පමා වෙලා වදින්නේ. කොමෙන්ට් එක නැවත.
    //ඊයේ පෙරේද ලන්ඩන් ආපු සිංහල අංශ මහාචාර්ය කෙනෙක් කළ කතාව ඇහුවම මට හිතුනේ ඒ මනුස්සය උගන්වන්නේ පාලි ජාතක කතා විතරයි කියල. 1990 මුල භාගේ මට මහාචාර්ය කෙනෙක් හමුවුන ලන්ඩන් වලදි . ඒ මනුස්සය ප්‍රේමදාස ගව ඉඳල මහින්දට මාරු වෙලා දැනුත් විදේශ අංශයේ ලොකු රැකියාවක. පොත් පත් කියවන එකෙක් නම් නෙමේ. මට විශ්ව විද්‍යාලේ මිනිහ කරපු දේවල් කිව්වා. හරිම ජුගුප්සා ජනකයි. පෙම්වතාට ලකුණු දෙන්න පෙම්වතියට කාමරේට එන්න කියපුව. ශිෂ්‍යවියෝ උඩ දෙනවනම් දෙන ලකුණු, යට දෙනවනම් දෙන ලකුණු. යටත් ප්‍රභේද කිහිපයක් තියන හැටි හා අනුකුලව ලකුණු දෙන හැටි. උපාධි නිබන්ධන හා ආචාර්ය උපාධි කොපි කරන හැටි. මේ වගේ උන් මහාචාර්ය වරු වෙන්නේ ලංකාවේම විතරක් වෙන්න ඕනේ. රසික ඕව කලා පීඨ වල වෙන්නේ කියල මට හිතෙන්නේ. මම හිතුව මු බොරු කියනවා කියල. නමුත් පස්සේ එහෙම වෙච්ච ගැහැණු ළමයෙක් නඩු දාන්න උත්සහ කරනකොට තේරුණා ඇත්ත කියල. අන්තරේ ඕව ගැන නිහඬව ඉන්නේ ඇයි කියල මට අදත් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  15. අක්‍රමණිකතා කියන වචනය මට තේරුම් ගන්න බැහැ. අක්‍රමිකතා කියන එක නම් දන්නවා. ආක්‍රමණය කියන එකත් දන්නවා. අක්‍රමණිකතා කියන්නේ ආක්‍රමණය කිරීමේ අක්‍රමිකතාවන් ද?

    ReplyDelete
  16. මිණිවන් පී. තිලකරත්න මහතාගේ දේශන ගැන එතුමාගේ සිසුවකු පබැඳූ කවියක් මතක් වුණා. එතුමාගේ දේශනවලට මා ද සහභාගි වී ඇත.

    අහෝ මිණිවන්
    ඔබේ දෙසුමන්
    මගේ දෙනුවන්
    කරයි අඩවන්.

    (මැකිී නොයන ලෙස ලියා තැබුවෙමි.)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.