Thursday 13 January 2022

අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!


දිගු කලකට පෙර සැලසුම් කළ අපේ තැස්මේනියානු සංචාරය ඔමික්‍රොන් මැද්දේ මෙතෙක් ගලා ගියේ මෙසේ ය. අද එතැන් සිට.

දෙසැම්බර් 27 වැනිදා

ඊයේ දැනුම් දුන් පරිදි අද උදයේ අපව වෛද්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථානයට රැගෙන යනු ඇතැයි සිතූ නිසා හැකි විගස අවදි වී ස්නානය කර සූදානම් වීමි. රජයේ සම්බන්ධීකරණ නිලධාරියාට කතා කිරීමට ලැබුණේ දෙතුන්වරක් උත්සාහ කර, ඉන්පසු ඊමේලයක් ද යැවීමෙන් පසුව ය. තැස්මේනියානු ප්‍රජා සේවාවේ සේවිකාවක වන ඇය කරන්නේ අප ගැන විස්තර රජයේ සෞඛ්‍ය සේවයට යැවීම පමණි.

ඒ වනවිට මා ද සෞඛ්‍ය අංශයට ද කතා කර අපේ තත්ත්වය ගැන දැනුම් දී තිබිණ.

දහවල ද පසුවූ නමුත් කිසිවක් සිදු නොවුණි.

මෙවර නත්තල් දිනය සහ නත්තල් දිනයට පසු ව එළඹෙන බොක්සිං දිනය නම් ප්‍රසිද්ධ නිවාඩු දින දෙක යෙදී තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා නිසා ඒ වෙනුවට රජයේ සේවයේ බොහෝ දෙනෙකුට හිලව් වශයෙන් ඊළඟ දෙදින, සඳුදා සහ අඟහරුවාදා, නිවාඩු ලැබී ඇති බව මට වැටවුණේ පසුවයි. සියල්ල පමා වන්නේ ඒ නිසා බව පැහැදිලි ය. ඊට අමතරව දෙසැම්බර් 15 දේශ සීමාව විවෘත කිරීමට පෙර කිසිදු කෝවිඩ් රෝගියෙකු නොසිටි තැස්මේනියාවේ පසු දින සිට එක් අයෙකුගෙන් ඇරඹී මේ වන විට දිනකට සොයා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාව 50ක් පමණ දක්වා වැඩි වීම ද හේතුවන්නට ඇත.

ඒ අතරතුර අපට ලැබුණු වෙනත් දුරකථන ඇමතුමකින් කතා කළ තැනැත්තා අපව සොයන්නේ නිවසට වී නිරෝධායනය වීම සඳහා බව පෙනුණි. මේ අනුව අපි දෙදෙනාව සැලකෙන්නේ දේශීය, එනම්, තැස්මේනියානු පදිංචිකරුවන් දෙදෙනෙකු ලෙස මිස, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැමිණි සංචාරකයින් දෙදෙනකු ලෙස නොවේ දැයි සැකයක් ද ඇති විය. අප ගැන තොරතුරු පවසා, තත්වය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියෙමි.

මේ ඇඟපත වේදනාව ද, කැස්සද පවතී. කැස්ස එන්නේ කතා කළ පසු ය. ඇතැම් විට පමණක් පැනඩෝල් ද, නිතරම උගුරේ සහනය් සඳහා උණුවතුර ද පානය කළෙමි.

තවත් වැදගත් රෝග ලක්ෂණයක් වන්නේ මත්පැන් පානය කිරීමට කැමැත්තක්, උවමනාවක් ඇති නොවීමයි. නිවාඩු නිකේතනයේ සිට මෙම හෝටලයට පැමිණෙන විට ඉතුරුව තිබුණු වයින් බෝතලයක් ද රැගෙන ආ නමුත්, එය මේසය උඩ ඇහේ හැපෙමින් තිබෙන නමුත්, වෙනදා මෙන් නොව, බීමට හිතක් කිසිසේත්ම පහළ නොවේ.

දැන් පුතා සහ මම දෙදෙනාම කෝවිඩ් ආසාදිතයින් ලෙස දින දෙකකට පෙර කළ පරීක්ෂණ අනුව සොයාගෙන ඇති නිසා, කිසිසේත් ම අවශ්‍ය නොවුණත්, එහි ප්‍රතිඵල ලැබීමට පෙර දෙසැම්බර් 26 වෙනිදා අපට කතා කළ සෞඛ්‍ය සේවයේ අයෙකු විසින් දින ලබාදුන් පරිදි අද සවස් වරුවේ ද අපට පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණි. ඒ තේරුමක් නැති පරීක්ෂණයේ ප්‍රතිඵල අපට කිසි දිනක දැනුම් දුන්නේ නැත!

මේ පරීක්ෂණ කිරීම සඳහා සේවකයින් දෙදෙනෙකු පැමිණෙති. දෙදෙනාම සර්ව සම්පූර්ණ පුද්ගලික ආරක්ෂක උපකරණ සහ ඇඳුම් පැළඳුම් සහිතව ය. අපේ ජෝඩුව කාන්තාවක් සහ පිරිමියෙකි. කාන්තාව අත අප පිළිබඳව සියලු විස්තර රැගත් පත්‍රිකා යනාදිය ඇති අතර (ඔවුන් පැමිණෙන වාහන්‍ය පදවන්නේ ඇය විය යුතු ය) පිරිමියා සෞඛ්‍යය අපද්‍රව්‍ය බහාලන රෝද සවි කළ විශාල බක්කියක් ද ඇදගෙන පැමිණෙයි. සියලු ඛේට සාම්පල ලබා ගන්නේ, අසුරන්නේ මෙන්ම, ඉන්පසු, තමන්ගේ අත්වැසුම්, අනෙකුත් ආරක්ෂක ඇඳුම් සහ අනෙකුත් අපද්‍රව්‍ය පෙර කී බක්කියට දමන්නේ ද ඔහු ය. ලංකාවේ දී නම් මේ කාර්යය සඳහා සිව් දෙනෙකු අවශ්‍ය වෙනු ඇතැයි මේ කෝවිඩ් කැස්ස මැද ම මට සිතුණි. එනම් කුණු බක්කිය තල්ලු කරගෙන යෑමට වෙනත් පුද්ගලයෙකු සහ වාහනය පැදවීමට සිවුවැනි පුද්ගලයෙකු වශයෙනි.

හවස් වන විට ද, කිසිදු ආරංචියක් නොලැබුණු නිසා අද “මෙඩි-හොටේල්” මධ්‍යස්ථානයකට යාමට තැබූ බලාපොරොත්තු සියල්ල අතහැර දැමීමට සිදුවිය. මට ඇති එකම ප්‍රශ්නය නම් ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිරුරේ උෂ්ණත්වය මැනීමට ක්‍රමයක් නොතිබීමයි. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය සහ හෘද ස්පන්දනය නම් මගේ සැම්සන් වර්ගයේ දුරකථනයේ පසුපස ඇති සෙන්සරය මගින් හෙල්ත් ඇප් එක එක හරහා ගණනය කළ හැකි ය. ඔක්සිජන් ප්‍රමාණය 95%ට වඩා වැඩි වූ නිසා බිය වීමට කරුණක් නොතිබුණි.

මා දිනපතා ගන්නා ඖෂධ පෙත්තක් අවසන් වෙමින් යන නිසා එය ෆාමසියකින් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් මේ ඩෙවන්පෝට් නගරයේ ෆාමසි සියල්ලම අද වසා ඇති බව පෙනේ. නොඑසේ නම් ඔවුන් දුරකථනයට පිළිතුරු දෙන්නේ නැත. කෙසේ වෙතත් වැඩිපුර පෙති අවශ්‍ය වන්නේ අදින් තුන්වැනි දිනයේ ය. පෙති දෙකක් දැනට මා සතුයි.

දැන්නම් ලැබෙන ආහාර තරමක් අනුභව කළ හැකි තත්වයේ ඇත. කලින් ප්‍රශනය වූයේ ලුණු වැඩිවීමයි. සමහරවිට දැන් මගේ දිව ඒ ලුණු මට්ටමට පුරුදු වී ඇති බව පෙනේ. අද දිවා ආහාරය සඳහා අපට ලැබුණේ චිකන් සමග කුස්-කුස් ය. මුද්දරප්පලම් යනාදිය යොදා සාදා තිබුණු එය ප්‍රියමනාප විය. මොනවා නොකෑවත් හැමදාම ලැබෙන කොළ සලාද ස්වල්පය නම් දුකක් නැතුව අනුභව කළ හැක. එයට හේතුව ඒ සමග ලැබෙන ප්‍රංශ සෝස් එකයි.

අතුරුපස සඳහා මුල් දිනවල ලැබෙමින් තිබුණු ඇපල් ගෙඩිය වෙනුවට දැන් කෙසෙල්ගඩි සහ අද වන විට දොඩං සහ කිවිපෘට් ලැබෙමින් පවතී.

මා දිවා ආහාරය ගන්නේ සවස තුනක් පසුවී නිසා සාමාන්‍යයෙන් අපට සවස පහට පමණ ලැබෙන රාත්‍රී ආහාරය මා අනුභව කරන්නේ රාත්‍රි 10 ට පමණ ය. නමුත් රාත්‍රියේ හත හමාරට පමණ අපට දැනුම් දෙනු ලැබුවේ අප දෙදෙනාව ලොන්සෙස්ටන් නගරයේ “මෙඩි-හොටේල්” මධ්‍යස්ථනයකට අද රාත්‍රියේ රැගෙන යන බවයි. ඒ සඳහා රෝගීන් රැගෙන යන වාහනයක් හෙවත් පේෂන්ට් ට්‍රාන්ස්පෝට් ඇම්බියුලන්ස් වර්ගයේ රථයක් එවන බව පැවසුණු නිසා, රාත්‍රී ආහාරයෙන් තුනෙන් එකක් පමණ අමාරුවෙන් ගිල දැම්මෙමි.

අවසානයේ, රාත්‍රී නමයට පමණ, බිරිඳ ඇගේ කාමරයේ වීදුරු ජනේලය තුළින් බලමින් අත වනමින් සිටිද්දී, පුතා සහ මම අපේ බෑග් අතේ කරේ එල්ලාගෙන, රාත්‍රී හතරක් අප නවාතැන් ගෙන සිටි සන්‍රයිස් මොටේලයට සමු දුන්නෙමු.

පැය එක හමාරක පමණ ගමනකින් පසුව ලොන්සෙස්ටන් නගරයේ කෝච් හවුස් හොටේල් නම් මේවන විට ආසාදිතයින් රඳවා ගැනීමට භාවිතා කරන මධ්‍යස්ථානයට පැමිණියෙමු.

එතැන් සිට කතාව මේ ලිපි මාලාවේ හෙට පළවෙන නමවෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html
-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


(ඡායාරූපය: මෙඩි-හෝටලයට යන අතරතුර)

11 comments:

  1. කෝවිඩ් සෑදී සිදුවුණු අපහසුතාවයත්, tasmania සංචාරය අඩපණ වීම ගැනත් කණගාටුයි :( කෙසේ වෙතත් දැඩි අපහසුතාවයකින් තොරව සුවය ලැබුවා යයි හිතනවා. මම පුද්ගලිකව දන්නා කිහිප දෙනෙක් ම omicron රැල්ලෙන් අසාදනය වෙලා දැන්. යන හැටියට අපටත් කොයි වෙලේ හැදේවිද කියන්න බැහැ ...කෝවිඩ් නොවුණත් අපත් ඔය දිනවල උණ, කැස්ස, හෙම්බිරිස්සාව සහිත ෆ්ලු වයිරසයක් හේතුවෙන් ( කෝවිඩ් නොවේ යයි තහවුරු උණා) අසනීපෙන් නිවසටම වෙලා හිටි නිසා දෙසැම්බර් නිවාඩුවෙන් භාගයක්ම බංකොලොත් උනා :(

    ReplyDelete
    Replies
    1. අසනීප වීමේ අතුරු ඵලයක් තමයි ඒ විදියට නිවාඩු නාස්ති වීම.

      හැබැයි වැකේෂන්, ඇනුවල් ලීව්, පසුව වෛද්‍ය /ලෙඩ නිවාඩු බවට හරවන්න හැකියි නේද?

      Delete
    2. ඒ කොහොමත් අපිට shutdown period එක. ඒ නිවාඩු අපේ ඇනුවල් වලින් යන්නේ නෑ. නිවාඩු නම් තව තියෙනවා ගන්න පුළුවන්. අවුල දෙසැම්බර් වල යාලුවෝ එක්ක සමරන්න හිටි උත්සව අවස්ථා & outings කීපයක් මිස් වුන එක :(

      Delete
  2. covid වල post symptoms මොනවද ? ඒ කියන්නේ ලෙඩේ හොඳ වෙලත් නිකන් මහන්සි වෙන්න අමාරුයි වගේ එකක් තියෙ ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම තත්වයක් එන්න හැකියි. වෙනත් ලෙඩ අනුව.

      Delete
    2. මට 3 වෙනි vaccine එකෙන් පස්සේ රෑ වෙනද ට වඩා ඉක්මනට නිදිමත එනවා දැන් . පොඩ්ඩක් heart එක over active වගේ ගතියක් දැනෙනවා

      ╯︿╰

      Delete
  3. තාමත් පාවිච්චි කරන්නේ S7 එක ම ද ?බැටරි ය එක පාරක් හරි මාරු කරා ද ? මාර්තු මාසෙන් පස්සෙ නම් S22 ultra එකක් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව්!
      බැටරි මාරු කරන්න අවශ්‍ය නෑ.
      බිම වැටී කැඩී කැමරාව උඩින්ම ඉරක් ගියා, දැන් සෙල්ෆි ගන්න කොට බොහෝ විට වලාකුළක් වැටෙනවා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.