



මේ ලිපියේ මාතෘකාව සඳහා මා යොදාගත්තේ සිංහල නවකතාවක නමයි. "කන්දෙන් ලන්දට" ලියූ මිණිවන් පී. තිලකරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවී පසුව මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇත.
මිණිවන් පී. තිලකරත්න උපහාස කතා කලාවේ ශූරයෙකු විය. මෙහි ලා සඳහන් කල යුතු ඔහුගේ "උසාවි සාවිය", "පුංචි එක්නැලිගොඩ" ආදී නවකතා ද, "මගෙ ගම සරිගම" ආදී කෙටිකතා සංග්‍රහ ද අතර මගේ ප්‍රියතම කෘතිය වූයේ "කන්දෙන් ලන්දට" නවකතාවයි. එය ඔහුගේ සේවා ස්ථානය වූ කැලණිය විශ්වවිද්‍යාලය ගැන පොදුවේත්, එහි සිංහල අංශය සහ එහි සේවය කල චරිත කිහිපයක් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන අනිසි ක්‍රියා රාශියක් ගැන සුවිශේෂීවත් සාකච්ඡා වෙන උපහාසාත්මක රචනා ශෛලියෙන් ලියවුණු අගනා කෘතියකි.
"කන්දෙන් ලන්දට" නවකතාවේ එන චරිත සියල්ලම පාහේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විෂයය පිළිබඳ ඇදුරන් වූහ. මෙයින් කතා නායකයා හැර අන් සියලුම ආචාර්යවරුන් ගේ වෘත්තීමය හැසිරීම වූයේ ශිෂ්‍යයින් ගේ ශ්‍රාස්ත්‍රෝද්ග්‍රහණය හෝ ඥාන වර්ධනය හෝ පොදුවේ දැනුම වැපිරීම හෝ පිණිස වැඩ කිරීම නොව හුදෙක්ම තම පැවැත්ම ගැන පමණක් සිතා කටයුතු කිරීමයි. ඒ සමගම, තමන්ට ශ්‍රාස්තී්‍රය වශයෙන් හෝ සමාජමය වශයෙන් තර්ජනයක් කරතැයි සිතෙන ඇදුරෙක් සිටී නම් තම සියලු බලතල සහ උත්සාහය ඔහු හෝ ඇය මැඩලීමට යෙදවීමයි.
මේ නවකතාවේ එන රසවත් කතා කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. එක් ආචාර්යවරයෙකු ට සිසුවියක් සිංහල විෂයය නිබන්ධනය වෙනුවට වැරදීමකින් භාර දී ඇත්තේ භූගෝල විද්‍යා නිබන්ධනයයි. ඇයට ඒ සඳහා සම්මාන සාමාර්ථයක් ලැබේ. සිසුවිය ඇදුරා හමුවී මේ ගැන පැමිණිලි කරන විට (පැහැදිලිවම, එම නිබන්ධන සඳහා ඔහු ලකුණු දී ඇත්තේ කිසිම කියවා බැලීමකින් තොරව ය) ඔහු කියා සිටින්නේ අවශ්‍ය නම් එම නිබන්ධනය භූගෝල විද්‍යා අංශයට ද ඇගයීම පිණිස දෙන්න, නමුත් එයට වඩා හොඳ ලකුණු ලැබේවිද යන්න නම් සැක සහිත බවකි!
"කන්දෙන් ලන්දට" නවකතාවේ ප්‍රධාන චරිතය තරුණ මිණිවන් තිලකරත්න නියෝජනය කළා යයි මම සිතමි. එය එසේ නම් සහ මෙම නවකතාවේ එන ඇතැම් චරිත වලට භාවිතා කර ඇති පුද්ගල නාම දෙස සලකා බලන විට මට වැටහුණු දේ නිවරදි නම්, තිලකරත්න තම ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ සිංහල නවකතාවට රුසියානු සාහිත්‍යයෙන් ඇතිවූ බලපෑම පිළිබඳ ලියවුණු නිබන්ධනයකි. මෙහිදී ඔහු මාර්ටින් වික්‍රමසිංහ ගේ නවකතාවල ඇති රුසියානු ආභාෂය පිළිබඳව විශ්ලේෂණයක් කර ඇත. මේ බව දැන දැනම, තිලකරත්නගේ ශ්‍රාස්ත්‍රපති උපාධි පර්යේෂණයේ උපදේශකයා වූ එදිරිවීර සරච්චන්ද්‍ර එම නිබන්ධනය ඇගයීම සඳහා බාහිර පරීක්ෂක ලෙස, තිලකරත්න ගේ අනුදැනීමක් නොමැතිව, තෝරා ගෙන ඇත්තේ ද වික්‍රමසිංහ ව ය!
තම නවකතාව සඳහා තිලකරත්න යොදා ගෙන තිබූ "කන්දෙන් ලන්දට" යන පදයේ "කන්ද" යනුවෙන් අදහස් කෙරුණේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. "ලන්ද" යනුවෙන් අදහස් කෙරුණේ ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්වවිද්‍යාලයයි. පනහ දශකයේ අග භාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්වවිද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස "කන්දෙන් ලන්දට" ලෙස නම් කර තිබේ.
මා ද එලෙස
කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි. මා මේ නවකතාව කියවූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය ඇරඹීමෙන් පසුව වීම නිසා මට එහි අපූර්වත්වය වඩාත් වැඩියෙන් දැනෙන්නට ඇත.
මේ ආකාරයේ ම අන්තර්ගතයක් අඩංගු තවත් කෘතියක් පසු කලෙක සිංහල සාහිත්‍යයට එකතු විය. එය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සරත් විජේසූරිය ලියූ "මගේ නඩුව ඉවරයි" නම් වූ අර්ධ වාර්තාත්මක නවකතාවයි. විජේසූරිය ගේ කෘතිය පිළිබඳව මා දැනගත්තේ සිංහල භාෂාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙක් වන, කවදත් තම ලිපි මගින් ලංකාවේ විශ්වවිද්‍යාලයන් හි සිංහල භාෂා අධ්‍යයන අංශවල වත්මන් ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැනුම පිළිබඳ සරදම් සටහන් ලියූ, සුචරිත ගම්ලත් ගේ ලිපියකින් බව ද මෙහිදී සඳහන් කළ යුතුය.
සරත් විජේසූරිය ගේ "මගේ නඩුව ඉවරයි" කෘතියේ සහ මිණිවන් පී තිලකරත්නගේ කන්දෙන් ලන්දට නවකතාවේ සමානකම් මේ ග්‍රන්ථ ද්විත්වයේ ම අන්තර්ගතය විශ්වවිද්‍යාල සහ එහි සිංහල භාෂා අධ්‍යයන අංශ වලට මුලිකව පදනම් වීම, ඒවායේ ප්‍රධාන චරිත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වීම සහ ඒ චරිත වල ක්‍රියාකාරකම් වල මුලික ස්වභාවයේ සමරූපී බවට පමණක් සීමාවේ.
විජේසූරිය ගේ කෘතිය තුළින් හෙළිදරව් කර ඇති අක්‍රමිකතාවන් ගේ බරපතල කම සලකා බලන විට නම්, තිලකරත්න ගේ දුක් ගැනවිලි හුදෙක් අහසට පොළොව මෙන් බව කිව හැක. "මගේ නඩුව ඉවරයි" නවකතාවේ විස්තර කෙරෙන ඒ විශ්වවිද්‍යාල ඇදුරන් ගේ අක්‍රමණිකතාවයන් අතර තම සිවිල් බලය උපයෝගී කර ගෙන සුදුස්සන් ට සුදුසු තැන නොදී පාගා දැමීම, නුසුදුසු වුවද තම ප්‍රියයන් ට තනතුරු, ශිෂ්‍යත්ව, ප්‍රතිපාදන යනාදිය ලබාදීම සහ මෙකී නොකී මූල්‍ය, ලිංගික සහ වෘත්තීමය අපචාරයන් රාශියකි.
මීට අමතරව, විජේසූරිය ගේ "මගේ නඩුව ඉවරයි" කෘතිය තිලකරත්නගේ "කන්දෙන් ලන්දට" මෙන් උපහාසාත්මක ප්‍රබන්ධයක් නොව දැඩි සංවේගය දනවන්නකි. කොටින්ම, මෙහි එක් තැනක දැක්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දෙදෙනෙකු "අපෙන් පස්සේ මේ කටයුතු කරගෙන යන්න අපි ගෝලයෝ හදලා නැහැ!" යැයි කියමින් සිනාසෙන අවස්ථාවේ ද එය උපහාසයක් නොව පුදුමය, සන්ත්‍රාසය සහ දොම්නස පමණක් ජනිත කරයි.
ඒසේ ම, "කන්දෙන් ලන්දට" හි කතා නායකයා මෙන් සර්ව නිර්දෝෂී නොවන "මගේ නඩුව ඉවරයි" කෘතියේ කතානායක සනත් ජයසූරිය නම් කථිකාචාර්යවරයා, කේලම් සහ ගතු කීම, අනුන්ගේ ලිපි බැලීම සහ සුළු ප්‍රමාණයේ අධිමානය වැනි මානුෂික ගුණයෙන් යුක්ත ය.
මේ කෘති දෙකම ලියවෙන්නට කලින් 70 දශකයේ දී, එවකට විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටි (පසුව 1994 දී පමණ දේශපාලඥයෙකු ලෙස කල එළි බට) ඒ.වී. සූරවීර ගේ "අත්ත බිඳෙයි පය බුරුලෙන්" නවකතාව සිංහල සාහිත්‍යයට එක් වී තිබුණි.
විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ලියවී තිබුණද එම කෘතිය මූලික වශයෙන් විශ්වවිද්‍යාල ඇදුරන් අතර ඇති බල අරගලය පොදුවේ විදහා පාන්නක් පමණක් විය. පුද්ගලික අත්දැකීම් මත පදනම් වූවද ඒවා ඉදිරිපත් කර තිබූ දුරස්ථ විලාසය නිසා විජේසූරිය ගේ සහ තිලකරත්නගේ කෘති තරමට ඇඟට දැනෙන ගතියක් සුරවීර ගේ නවකතාවේ නොතිබුණි.
සිංහල භාෂා විශාරදයෙකු වන සුරවීරගේ හොඳම කෘතිය ”හෙය්යම්මාරුව” යයි මම සිතමි. සිංහල ගැමි උච්චාරණය වාග්-විෂයයික ලෙස යොදා ලියවී තිබුණු මෙම නවකතාවෙන් ග්‍රාම්‍ය නිර්ධන පන්තිය ලක් වී ඇති සූරාකෑම හොඳින් විග්‍රහ කර තිබුණු බව මගේ මතකයයි.
ඉහත විස්තරය කියවන අයෙකුට නිසැකවම ඇති විය හැකි ප්‍රශ්නයක් නම්, විශ්වවිද්‍යාල ඇදුරන් ගේ අක්‍රමණිකතා ගැන ලියවුණු නවකතා සියල්ලේ ම කතුවරුන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්යවරුන් ම වී ඇත්තේ යම් සුවිශේෂී වූ හේතුවක් නිසාද යන්නයි.
මෙය විප්‍රකාරීව හෝ අහඹු ලෙස හෝ වූ සමපාතවීමක් නම් නොවේ.
සිංහල භාෂා ආචාර්යවරුන් ගේ භාෂා දැනුම සහ නිර්මාණාත්මක හැකියාවන් අන් විෂයයන් පිළිබඳ ආචාර්යවරුන්ට වඩා ඉහළ නිසා බොහෝ විට මෙය සිදුවුණා විය හැක.
නැතිනම් තම විෂයය ක්ෂේත්‍රයේ සුවිශේෂීත්වය නිසාවෙන් මෙවැනි නිර්මාණාත්මක කෘති ද තම ප්‍රකාශන ලයිස්තුවලට ඇතුළත් කර මහාචාර්ය තනතුරු වැනි උසස්වීම් සඳහා භාවිතා කළ හැකි නිසා සිංහල භාෂා ආචාර්යවරුන් මෙලෙස නවකතාකරණයට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා විය හැක.
එසේත් නැතිනම් මේ නවකතා දෙකෙන් ඉදිරිපත් කෙරුණු ආකාරයේ අක්‍රමණිකතා බහුලව පවතින්නේ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශවල වීම නිසා ද විය හැක. කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ අංශයේ වසර ගණනාවක් සේවයේ යෙදී සිටි මට ඒ කාලය සම්බන්ධයෙන් නවකතාවක් ලියනවා තබා කෙටිකතාවක් ලිවීමට කරුණු සොයා ගැනීම ද දුෂ්කරය.
සැබෑ තත්වය පෙර සඳහන් සියලූ කරුණු වල සංකලනයක් යයි මම සිතමි.
මේ ලිපියේ මීළඟ කොටසින් කන්දේ සහ ලන්දේ විශ්වවිද්‍යාල අතර සමාජමය වෙනස් කම් පිළිබද විස්තරයක් බලාපොරොත්තුවන්න.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ ලිපිය මා ලියන ලද්දේ 2009 ජූනි මාසයේ දී ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ය. පසුගිය දිනක කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ යම් අයථා ක්‍රියාවක් පිළිබඳව ලියවුණු පුවත්පත් ලිපියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ලියනගේ අමරකීර්ති විසින් ෆෙස්බුක් හි බෙදා හැර තිබෙනු දැක මට මේ ලිපිය ගැන සිහිවී සඳහන් කළෙමි. එය නැවත පළ කරන ලෙස ඔහුගෙන් ද ඉල්ලීමක් ලද නිසා, පැරණි ඊ-මේල් අතර තිබී සොයා ගෙන මද සංස්කරනයකින් පසුව මෙසේ පළ කරමි.
මාතෘකාවට අදාළව තවත් කරුණක් කිව යුතුයි. කන්දෙන් ලන්දට ගොස් ඇත්තේ මිණිවන් පී තිලකරත්න පමණක් නොවේ. ඒ වී සුරවීර ද කන්දේ සිට ලන්දේ විද්‍යෝදය විශ්වවිද්‍යාලටය ගිය අයෙකි. සරත් විජේසූරිය නම්, ලන්දේ උගෙන ලන්දේ ම වෙසෙයි.
ලන්දෙන් කන්දට ආ එකම සිංහල ඇදුරා ලියනගේ අමරකීර්ති පමණක් දෝ යි සිතේ!
(images: www.silumina.lk/2015/12/27/_art.asp?fn=sm1512272; https://www.youtube.com/watch?v=eIU6X6_mts8; http://newsfirst.lk/english/2014/01/renowned-novelist-t-suraweera-passes-away/14788; http://www.boondi.lk/CTRLPannel/ArticleImages/SINT/)