Thursday 6 August 2015

අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox


ඡන්දෙට සති දෙකක්වත් නැත. ෆේස්බුක් අවකාශයේ, බ්ලොග් ලොවේ ඒ අත බැලුවත්, මේ අත බැලුවත්, පෙනෙන්නේ ඡන්දය ගැන කතන්දර ම ය. ඒ නිසා මගේ සිතට ද ඡන්ද කතන්දර එකක් පසුපස එකක් නැගේ.

මේ මා දන්නා පැරණිතම ඡන්ද කතන්දරයයි.

මගේ පිය පාර්ශවයේ මිත්තනිය හෙවත් ආච්චී ඉපදී ඇත්තේ 1903 දී ය. පසු කලෙක ඇස් දෙකේම සුද මතු වී ඇස් නොපෙනී යාම නිසා ඇගේ සිහිය මදක් වෙනස් වූව ද, ඇය 2001 වසරේ දී පරලොව ගියේ පුරා වසර අනූ අටකටත් වඩා ආයු වළඳා ය.

ඇය මා දන්නා කාලයේ සිටම යූඇම්පීකාරියකි. ආච්චී ගේ ලෝකයේ දේශපාලන වීරයා වූයේ වෙනිං කවුරුත් නොව ජේආර් යන සුරතල් නමින් අප දන්නා ජූනියස් රිචඩ් ජයවර්දෙන උන්නැහේ ය.

ජේආර් ඇත්තටම අපේ ආච්චී ගේ සමකාලිනකයෙකි. අපේ ආච්චීට වසර පහකට කලින් ජේආර් පරලොව ගිය ද ඔහු ඉපදී ඇත්තේ 1906 දී ය.

අපේ ආච්චී ජේආර්වාදියක වී ඇත්තේ ඇය යූඇම්පීකාරියක වෙන්නටත් කලිනි. ඒ ජේආර් 1943 දී කැලණිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස සේවය පත් වී සේවය කරන කාලයේ දී ය. පසු කලෙක ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අයත් වුවද, මහර ආසනය ආසන්නයේ ඇති පරකන්දෙණිය නම් වූ අපේ ගම මේ කියන කාලයේ අයිතිව තිබී ඇත්තේ කැලණිය මැතිවරණ කොට්ඨාසයටයි.

මේ ලංකාවේ නිදහසට පෙර සමයයි. එවකට තිබුණේ පාර්ලිමෙන්තුවක් නොවේ. ඉංගිරිසි ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වුණු රාජ්‍ය මන්ත්‍රණ සභාව නොහොත් ජන වදනින් කවුන්සලේ ය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණියේ මන්ත්‍රීවරයාව සිටි ඩීබී ජයතිලකව ඉන්දියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත්කළ නිසා (මෙය ඩීඑස් සේනානායක ලා ගේ දේශපාල කුමන්ත්‍රණයක් බව කියවේ!) හිස් වුණු ආසනය සඳහා 1943 දී පැවත්වුණු අතුරු මැතිවරණය ජයගෙන ඇත්තේ එවකට ලංකා ජාතික සංගමයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ජේආර් ය.

පාසල් අධ්‍යාපනය හොඳින් නිමවා සිටි අපේ ලොකු නැන්දා එවකට ගමේ ගොඩේ සාමාන්‍ය පවුලක අයෙකුට කළ හැකි එකම රජයේ රැකියාව වූ ගුරු පත්වීමක් බලාපොරොත්තුව සිට ඇත. නමුත් ඒ පත්වීමේ ලිපිය ඇයට නො ලැබුණි.

ඒ ගැන සොයා බැලූ අපේ ආච්චිට දැන ගන්නට ලැබී ඇත්තේ නැන්දා ගේ නම වූ සෝමාවතී නම ම ඇති වෙනත් තරුණියකට පත්වීමක් ලැබී ඇති බවයි. සිදු වී ඇත්තේ නම් මාරුවීමක් යැයි ඇයට වැටහී ඇත.

අපේ ආච්චී කර ඇත්තේ මේ ගැන කියන්නට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වූ ජේආර් ගේ කාර්යාලයට යෑමයි. කරුණු අසා බැලූ ජේආර් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ ගැන සොයා බලන ලෙස දන්වා ලිපියක් ලියා දී ඇත.

එයින් පසුව අවුල ලිහී නැන්දාට ඇයට හිමි ගුරු පත්වීම ලැබී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආච්චී ජේආර්වාදියක බවට පත් වී ඇත.

යූඇම්පිය පක්‍ෂයක් ලෙස පිහිටවා ඇත්තේ ඊට වසර කිහිපයකට පසු 1947 දී ය. එය ජේආර් ගේ දේශපාලන පක්‍ෂය නිසා අපේ ආච්චීත් යූඇම්පීකාරියක වී ඇත.

අපේ ආච්චී බිම වාඩි වී කුඩා වංගෙඩියක බුලත් විට කොටමින් මා පෙර කී ජේආර් හමුවීමට ගිය ගමන එහි නිධාන කතාව සමග කියන හැටි මට අදත් සිතින් මවාගත හැක.

ඒ හැම විටම ඇය දුක්මුසු හඬින් කියන තවත් එක් කතාවක් ද විය.

එය නම් 1943 දී ජේආර් කැලණිය ආසනය ජයගත් අතුරු මැතිවරණයේ දී, අපේ ආච්චී ඡන්දය දී ඇත්තේ ඔහුට නොවන බවයි. ඇගේ පියා ගේ ද, ඥාතීන් ගේ ද, ඇගේ ද ඡන්දය හිමි වී ඇත්තේ ජේආර්ට නොව ඔහු ගේ ප්‍රතිවාදියා වූ ඊ.ඩබ්ලිව් පෙරේරාට ය.

"පෙරේරා මහත්තයා තමයි සපත්තුව අස්සේ හංගාගෙන සුද්දෝ ලංකාවේ කරපු මිනීමැරුම් ගැන පෙත්සමක් එංගලන්තෙට ගෙනිහිං තියෙන්නේ, ඒකයි අපි ඒ මහත්තයාට ඡන්දේ දුන්නේ!" ආච්චී දුකෙන් පවසයි.

අපේ ආච්චිලා එලෙස කෙළෙහිගුණ සලකා ඊ.ඩබ්ලිව් පෙරේරාට ඡන්දය දුන්න ද, ඔහු පරාදා පහසුවෙන් ජයගන්නට ජේආර්ට හැකි වී ඇත. ඒ පෙරේරා ක්‍රිස්තියානි ආගමිකයෙකු වීම සහ ජේආර් බෞද්ධයෙකුවීම යන සත්‍යය ජේආර් නිසි පරිදි කළමනාකරණය කළ නිසා බව කියවේ.

-රසිකොලොජිස්ට්

(images: https://en.wikipedia.org/)

19 comments:

  1. අයිසෙ රසික, මේක ආච්චිට හාල් ගරන කතාවක්නෙ!

    ReplyDelete
  2. ඊ.ඩබ්ලිව් පෙරේරාගේ රැවුල නිකං බල්ලෙක් පොල් ලෙල්ලක් අරං යනවා වගේ නේද..?

    - චතුෂ තුෂර කුමාර

    ReplyDelete
  3. ස්ස්ස්ස්ස්ස් කට..... කට..... අපේ ගමේ එකෙක් ආච්චිට හාල් ගරන්න ගිහින් මලා

    ReplyDelete
  4. ආගම, ජාතිය දේශපාලනයෙදි ඉස්සර කරගන්න ඉතිහාසය සුද්දගෙ කාලෙටත් එහා රජ කාලෙටම යනවනේ....

    තාමත් ලංකාව එතැනමයි...

    ReplyDelete
  5. ජේ ආර් කියන්නෙ මගේ නොවුනත් මගේත් දේශපාලන වීරයෙක් තමයි. ඒකෙන් මං අදහස් කරන්නෙ මේ වගේ දෙයක්. (බහුතරයක් ටියුබ් ලයිට් නිසාත් ඒ අස්සෙ ඉටිපන්දම් සහ කුප්පිලාම්පු තියන නිසා පැහැදිළි කරන එක හොඳයි.)
    ජේ ආර් ගෙ වැඩකිඩ මං දැනගත්තෙ පොර ධර්මිෂ්ට සමාජයක් හදාපු වෙලාවෙදියි. ඊට කළින් මෑන්ට ආණ්ඩු බලය තිබුනු කාලෙ මං පොඩි එකා නිසා ඔය දේශපාලන කාරනා ගැන එහෙමට තේරුමක් දැනුමක් තිබුනෙ නෑ. කොහොම වුනත් ජේ ආර් ප්‍රථම විධායක ජනාධිපති ලෙස පත් කරපු (එයා විසින්මයි එයා ජනාධිපති හැටියට පත් කළේ) 1977න් පස්සෙ කාලයේදී නම් ජේ ආර් කියන්නෙ පාලකයකු ළඟ තියෙන්න ඕනැ කපටිකම් සියල්ලම තිබුනු, පාලකයකු ළඟ නොතිබිය යුතු මෝඩකම් කිසිවක් නොතිබුනු පුරුෂයකු බව නොපැකිළවම කියන්න පුළුවනි. ජේ ආර් නිසා ආච්චි යූඇන්පී කාරියක් වීම අරුමයක් නොවෙයි.

    මම දන්න තරමින් ජේ ආර්ට කොහෙදිවත් වැරදිලා නෑ. ඒත් මිනිහ හැම වෙලාවෙම පෙන්නුවෙ තමන්ට වරදින බව. කාට හරි අංචියක් ඇද්දොත් ඌට ඒක තේරෙන්නෙත් දවස් ගාණකට පස්සෙ.

    අන්න නියම පාලකයො!

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්. ධනපති ක්‍රමය තුළ සාර්ථක පාලකයෙක් තමයි. කපටි, සූක්ෂම පාලකයෙක්.
      ඒත් රජීව් ගාන්ධි ඉදිරියේ නං බලු වුණා. ඉන්දු ලංකා ගිවිසුම ගැහුවෙ නකුට දෙපරැන්ද අස්සෙ ගහගෙන.

      Delete
    2. ජේ.ආර්. ධනපති ක්‍රමය තුළ සාර්ථක පාලකයෙක් තමයි. කපටි, සූක්ෂම පාලකයෙක්.
      ඒත් රජීව් ගාන්ධි ඉදිරියේ නං බලු වුණා. ඉන්දු ලංකා ගිවිසුම ගැහුවෙ නකුට දෙපරැන්ද අස්සෙ ගහගෙන.

      Delete
    3. ඒකේ ප්‍රතිඵලය තමයි ජේ.ආර්. මැරුනේ ගෙදර ඇඳ උඩ රාජීව් මැරුණේ මහපාරේ ඔන්ද ස්පොට්

      Delete
  6. ජේ.ආර්. ආච්චිගේ (නැන්දගේ) ප්‍රශ්නේ විසඳපු විදිය දෙබස් ටිකත් එක්කම දැම්මනම් තමයි අගේ..
    "හා.. දැන් කියෝමු බලාන්ට ඔය අම්මාගේ ගැටෝලුව?" හැක හැක ..

    ReplyDelete
    Replies
    1. යකෝ අම්මගේ ගැටෝලුව කිව්ව නං ආච්චි චන්දෙම දෙයි ජේආර්ට. නංගි කියල කියන්ඩ ඇති..

      Delete
  7. ජන්දේ දෙද්දී සලකාබලනා කාරණා අවුරුද්දු 60,70 ගියත් තාම වැඩි වෙනසක් වේලා නෑ!

    ReplyDelete
  8. මහින්ද විකුනන්නෙත් ඒකමනේ... වෙන විකුනන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ගියේ ඕකමයි , බලන් ගියාම බුවාලා මාරු වුනාට strategy එක මාරු වෙලා නෑ

      Delete
  9. ආගම,ජාතිය විකුණා තම ගොඩ වැඩ කර ගැනීම පාලකයින් එදා වගේම අදත් අපුරුවට කරලා තියෙන්නේ.

    ReplyDelete
  10. ඒ කාලෙ ජාතිය , ආගම මාකට් කරන එක ඒ කාලෙ ඉඳන්ම තිබ්බ. ඒ විතරක් නම් මදැයි.. කුලයත් මාකට් වෙනවා සමහර පැති වල...

    ReplyDelete
  11. අයිසේ රසික
    unp කාරයෝ පක්ෂෙ බදාගෙන ඉන්නේ කවද හරි තමුන්ට හරි තමුන්ගේ මුතුන් මිත්තෙකුට හරි ලැබිච්ච වරදානයක් නිසා කියන කතාව හරි

    ReplyDelete
  12. වටේටම ගහන්න කියාපු කතාව

    ReplyDelete
  13. ජේ ආර් ජයවර්ධන මට දේශපාලන වීරයෙක් නොවේ - එහෙත් 1977 දී ඔහු අැති කළ වෙනස මෙට සමාජ ප්‍රගමනයේ සංධිස්ථානයක් පමණක් නොව සමාජීයව සාම්ප්‍රදායික පංති හා කුල භේද අභිබවා යන්නක් බව ම‍ගේ හැඟීමයි

    ReplyDelete
  14. ඇලෙක්ස් ඩිලාජ්11 August 2015 at 15:46

    මෙන්න ජේ ආර් මහත්මයාගේ රසිකයෙක් (එක්කෝ සිංහ රත්නතුංග නැතිනම් ඉක්බාල් අතාස් )  ඒ මහත්තයා ගැන කියල තියන දේ
    http://www.sundaytimes.lk/060917/News/15.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.