Wednesday, 20 January 2016

වකුගඩුවක කතාවක් - Be an organ donor


මේ මා ලියන්නට සැරසෙන්නේ මගේ සිතට දැනුණු එක්තරා අපූරු හැඟීමක් මුලින්ම ලද දිනය ගැන සතුටුදායක කතාවකි. නමුත් හැම සතුටකට ම පසු දුක කනගාටුව අප කරා පැමිණීම ලෝක ස්වභාවය බව ද අමතක නොකර මුලින් ම පවසමි.

මින් වසර පහකට පමණ ඉහත දිනයක මට ලැබුණු ඊ-මේලයකින් දැනගන්නට ලැබුණේ, මා දන්නා හඳුණන එක්තරා වැඩිහිටි මිතුරෙකු රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඒ වකුගඩුවක් බද්ධ කිරීමට ය.

මේ ආකාරයේ ශල්‍යකර්ම ගැන අප කුඩා කාලයේ සිටම පාහේ අසා තිබේ. ඒ දිනවල මෙවැනි කටයුතු කිරීම සඳහා ඉන්දියාවට යෑම් ගැන ද, ඒ සඳහා අවශ්‍ය අරමුදල් එකතු කිරීම් ගැන ද විටින් විට අසන්නට ලැබුණි.

වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය වෙන්නේ තමන් ගේ සිරුරේ ඇති වකුගඩු දෙකෙන් එකක් හෝ දෙකම හෝ නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ රෝගී තත්වයට පත්වෙන පුද්ගලයින් සඳහා ය. මා අසා ඇති පරිදි, මෙහිදී සිදුවෙන්නේ හොඳ වකුගඩු ඇති වෙනත් පුද්ගලයෙකුගේ එක් වකුගඩුවක් සිරුරෙන් ඉවත් කර, එය රෝගියා ගේ නිසි පරිදි ක්‍රියා නොකරන වකුගඩුවක් වෙනුවට සවි කිරීමයි. හදිසියේ මිය ගිය අයෙකුගේ වකුගඩුවක් ද මෙලෙස බද්ධ කළ හැකි බව කියවේ.

දන් දීම යනු පුණ්‍ය කටයුත්තක් ලෙස සැලකෙන නිසා ලේ දන්දීම, මරණයෙන් පසු ඇස් දන්දීම වැනි කටයුතු සඳහා ඉදිරිපත්වෙන අය ලංකාවේ එමට සිටිය ද, ජීවත්ව සිටියදී ම වකුගඩුවක් දන් දීම යනු එසේ මෙසේ ක්‍රියාවක් නොවේ.

මිනිස් සිරුරේ වකුගඩු දෙකක් තිබන නිසා ඉන් එකක් වෙනකෙකුට සවි කීරීම සඳහා ඉවත් කළ ද ඉන් පසු එක් වකුගඩුවකින් ජීවත් වීම විශාල ප්‍රශ්නයක් නොවෙතත්, සෑහෙන අවදානම් වැඩකි.

එනිසා, ජීවත්ව සිටියදී ම වෙනකෙකුට තම වකුගඩුවක් දන් දීමට කැමැති වෙන්නේ, බොහෝ විට ඉතා කිට්ටු ඥාති හෝ මිතුරු සබඳතාවයක් ඇති නම් පමණි.

විශාල මුදලක් ලැබේ නම් එලෙස කිරීමට පෙළඹෙන අය ඉන්නා බව ද විටින් විට ආරංචි වේ.

ඒ කිසිම උත්තේජනයක් නොමැතිව හුදෙක්ම පින් පිණිස වකුගඩුවක් දන් දුන් පුවතක් මට මුල්වරට අසන්නට ලැබුණේ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් මරා දැමුණු පසුවය. ඔහු වකුගඩුවක් බද්ධ කරගෙන ජීවත් වූ අයෙකු බව අසන්නට ලැබුණි.

ඔහුට ඒ වකුගඩුව ලබා දී තිබුණේ බලංගොඩ මහානාම නම් බෞද්ධ භික්‍ෂුවකි.

ඕස්ටේ්‍රලියානු කෝටිපතියෙකු වූ කෙරී පැකර්ට ද, එලෙස වකුගඩුවක් දන් දී තිබුණේ ඔහු ගේ අතිශය හිතවත් මිත්‍රයෙකු වූ ඔහු ගේ හෙලිකොප්ටරයේ පයිලට් බව කියවුණි.

මගේ මිතුරෙකුට හෝ ඥාතියෙකුට මගේ වකුගඩුවක් දන් දීම, මට අවශ්‍ය වූ නිසා ම කළ නො හැක. ඒ සඳහා, ලේ වර්ග ගැළපීම යනාදී නොයෙකුත් අවශ්‍යතා සැපිරීම අවශ්‍ය බව කියවේ.

මා මුලින් ලියූ පරිදි, වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිමවී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි හිතවතා දැක ගැනීමට මම දිනක ගියෙමි. ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියදී මට දැන ගන්නට ලැබුණේ ඒ වකුගඩුව දන් දී ඇත්තේ ඔහු ගේ ඥාති පුත්‍රයෙකු, එනම් ඔහු ගේ වැඩිමහල් සොහොයුරිය ගේ බෑනා, බවයි. දානපතියා ද, ඒ රෝහලේම වෙනත් වාට්ටුවක අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ද කියවුණි.

වකුගඩු දන් දීම, වකුගඩු බද්ධ කිරීම ගැන නොයෙක් විට අසා තිබුණද ඒ සියල්ලම, සැමවිටම පාහේ පැවසුණේ රෝගියා ගේ පැත්තෙනි. මා කිසි විටෙක එලෙස වකුගඩුවක් දන් දුන්නෙකු මුණ ගැසී නොතිබුණු නිසා, හිතවතාට ඉක්මන් සුව පතා, ඔහුගෙන් සමුගෙන අනෙක් වාට්ටුවේ සිටි වකුගඩු දානපතියා මුණ ගැසීමට ගියෙමි.

මා එදා ඒ වකුගඩු දානපතියා සමග කතා කරමින් ගත කළ ඒ විනාඩි කිහිපයේ මට ලැබුණේ පෙර නොලැබුණු පුදුමාකාර සැනසිලිදායක අත්දැකීමකි.

හිතන්න, ඔබ ඉදිරියේ රෝගල් ඇඳක අයෙකු සිටී. මේ අප සාමාන්‍යයෙන් රෝහලක දී දකින ආකාරයේ රෝගියෙකු නොවේ. ඇත්තටම ඔහුට රෝගයක් නැත. ඔහු මේ සිටින්නේ සිය කැමැත්තෙන් ම තමන්ගේ සිරුරෙන් කොටසක් වෙන අයෙකුගේ ප්‍රයෝජනය සඳහා ලබා දී, ඒ ශල්‍යකර්මයේ දී ලද කැපුම් තුවාල යනාදිය සුව කර ගැනීමට සහ, දන් දුන් වකුගඩුව නොමැතිව ශරීරය කෙසෙල ක්‍රියාත්මක වෙන්නේදැයි සොයා බැලීමට කෙරෙන පරීක්‍ෂණවලට සහභාගී වෙමිනි.

මෙය කියවන මා ඔබෙන් කරන එක් ඉල්ලීමක් නම්, ඉඩක් ලද හැම විටම, මේ ආකාරයට වකුගඩුවක් දන් දුන් අය සමග කතාබහ කරන ලෙසයි.

එයින් එදා මා සිතට ලැබුණු පහන් හැඟීම මට අද ද දැනේ.

මා හදිසියේ මියගියහොත් වෙන අයෙකුට බද්ධ කළ හැකි සෑම අවයවයක් ම දන් දීමට මම මගේ කැමැත්ත දී ඇත්තෙමි. එය මගේ රියදුරු බලපත්‍රයේ ද සඳහන් කර ඇත. එලෙස කැමැත්ත ප්‍රකාශ කිරීම ද අප සැමට ම කළ හැකි දෙයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කතාවේ දුක්බර අවසානය වූයේ මද කලකට පසු අර බද්ධ කරන ලද වකුගඩුව මගේ හිතවතා ගේ සිරුරෙන් ප්‍රතික්‍ෂේප කිරීමයි. එනිසා, නැවත ශල්‍ය කර්මයක් මගින් ඒ සවි කරන ලද වකුගඩුව ගලවා ඉවත් කිරීමට සිදුවිය.

වකුගඩු බද්ධයේ දී මෙවැනි ප්‍රතික්‍ෂේප කිරීම් ද සාමාන්‍යයෙන් ඇතිවේ. පවතින දත්ත අනුව, බද්ධකරන ලද වකුගඩුවලින් වසර තුනකට පසු ක්‍රියාකාරීව පවතින්නේ 87% ක් පමණි. වසර දහකට පසු ක්‍රියාකාරීව තිබෙන්නේ 54% පමණි.

අවාසනාවන්ත කාරණය නම්, ඒ ආකාරයට ප්‍රතික්‍ෂේප කිරීමක් සිදුවුණු විට, නැවත ඒ වකුගඩුව මුල් අයිතිකරුවාට ලබා දීමට නොහැකි වීමයි!

(image: http://dir.indiamart.com/impcat/kidney-transplant-services.html)

20 comments:

  1. මමත් එකවරක් ඒ වගේ වකුගඩු දානපතියෙක්ව ටික දවසක් ඇප උපස්ථාන කරමින් බලා ගත්තා....... ඇත්තෙන්ම එක ජීවිතය ගැන නැවත වරක් හිතන්න පෙලබෙන විස්තර කල නොහැකි හැඟීමක් ඇතිකරවන අත්දැකීමක්......
    //ඔහු ගේ ඥාති පුත්‍රයෙකු, එනම් ඔහු ගේ වැඩිමහල් සොහොයුරිය ගේ බෑනා, // මෙතැන බෑනා කයන එක හරිද නැත්නම් පුතා කියලා වෙනස් වෙන්න ඕනද

    ReplyDelete

  2. සමුදුර මෙර පොළොව
    තරු ද ලේ මස් හිසැ’ස දන් දුන්
    නොසරි වන කල ලොව
    බුදු බව් පතනුවෝ ළ තර වෙත්.

    බුදු බව පතන්නා වූ බෝධි සත්ත්වවරු මහා සමුද්‍රයෙහි වතුරට වඩා ලේ ද මහ මෙරට වඩා හිස් ද පොළොවෙහි පස්වලට වඩා මස් ද අහසේ තරු වලට වඩා ඇස් ද දන් දුන් හෙයින් ලෝකයේ බුද්ධත්වය පතන්නෝ දැඩි සිත් ඇත්තෝ වෙති.

    - ලෝකෝපකාරය -

    ReplyDelete
  3. වගුගඩුව ප්‍රතික්ෂේප වුවහොත් ඒ වේදනාව දන්දුන් කෙනාට කොච්චර දැනෙනවා ඇත්ද?

    ReplyDelete
  4. හොඳ අදහසක්. අනුමෝදනා!

    ReplyDelete
  5. මගේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බද්ධ කර ගත්තා. ඔහු දිළිඳු ගැමි කලාකාරයෙක්. වානිජ චිත්‍ර‍ ශිල්පය තමයි කළේ. ඒ වෙනකොට ඩිජිටල් ප්‍රින්ටිං ඇවිත් ඔහුගේ රැකියාව අහිමි වෙමින් තිබුණා.

    ඔහු වෙනුවෙන් වකුගඩු බද්ධයක් කරන්නට මුදල් සොයා ගන්නට ඔහුගේ මිතුරන් බොහෝ දේ කළා. ඔහුගේ අක්කා තමයි වකුගඩුව පරිත්‍යාග කළේ.

    වකුගඩු බද්ධය කළේ මගේ බිරිඳ වැඩ කළ රෝහලේ. ඇය ඔහු බලන්නට ගිය විට ඔහු සතුටින් හිටියා. වකුගඩු බද්ධයෙන් පසුවත් ප්‍ර‍තිකාර සඳහා විශාල මුදලක් වැය කළ යුතුයි.

    පස්සේ කාලෙක ආරංචි වුණෘ, මගේ මිතුරා ගෙල වැලලාගෙන මිය ගිය බව. ඔහුට ඒ ගැන කතාවක් ඇති. ඒත්, මම නම් හිතන්නේ ඔහුට මැරෙන්න අයිතියක් තිබුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ මිනිහෙකුට මැරෙන ඕන නම් ඒ අයිතියත් තිබිය යුතුය. ජීවත් වෙන්න බැරි නිසා නේ මැරෙන්නේ...

      හැබයි අනික් අයට කරදරයක් නොවිය යුතුයි..

      "කාටද රිඳුනේ කවුරුද හැඬුවේ, දුම් රිය මොහොත්ක් නතර උනේ..." වගේ...

      Delete
    2. මෙතනදි පැරා කියන්න ඇත්තෙ අනුන්ගෙ අවයවයකින් ජීවත් වෙන කෙනෙකුට මැරෙන්න ඉස්සර අර අවයව අයිතිකාරයන්ගෙන් අවසර ගත යුතුව තිබුනා වගේ කතාවක් මං හිතන්නෙ.

      Delete
  6. එහෙම වකුගඩුවක් හෝ තමන්ගේ ශරීරයේ වෙනත් අවයවයක් ජිවත්ව ඉන්න ගමන් තවත් අයෙකුට පරිත්‍යග කිරීමට ගන්න තීරණය හරි අමාරු තීරණයක් වෙන්න පුළුවන්.ඒ වගේ පරිත්‍යගයකින් පස්සේ රෝගියා සුවය ලබයි නම් පින කෙසේ වෙතත් පරිත්‍යගියාට එක විශාල සතුටක් වේවි නිසැකවම.

    ReplyDelete
  7. අන්තිම වාක්‍යය කියවීමෙන් ලොකු කණගාටුවක් ඇතිවුනා. පරිත්‍යාග කළ වකුගඩුව පරිත්‍යාග ලාභියාගේ සිරුරෙන් ප්‍රතික්‍ෂේප වූ විට එය ඉවත දමන්නට සිදුවීම, අතිශයින් කණගාටුදායකයි. අනාගතයේදී, මේ තත්වය, ශල්‍යකර්මයට පෙර, දැනට වඩා හොඳින් හඳුනාගන්නට ක්‍රම බිහිවෙනු ඇති සිතනවා.

    ReplyDelete
  8. I too have signed up as an organ donor. Sri Lankans who plan lavish funerals should think of this type of acts instead.

    ReplyDelete
  9. Great eye opening topic. Specially for Sri Lankans

    ReplyDelete
  10. මමයි හාමිනෙයි දෙන්නම කතා වෙලා තියෙන්නේ මැරුණට පස්සේ අවයව දන් දෙන්න...
    නමුත් ජීවත් වෙලා ඉන්න ගමන් වකුගඩු වගේ දේවල් දන් දෙන එක මටනම් ප්‍රැක්ටිකල් නැහැ. දැනටම එන්ජින් එක දුවන්නේ ඇද ඇද...
    මැරුණට පස්සේ හොඳට තියෙන මොකක්හරි කෑල්ලක් තිබුනොත් ගලවල ගන්නේ නැතෑ...

    ReplyDelete
  11. ශරීර කොටස් බද්ධකිරීමේ තාක්ශනය සහ පහසුකම් වේගයෙන් වර්ධනය වන කාලයක වටිනා පෝස්ටුවක්.
    ජයවේවා..!!

    ReplyDelete
  12. ඔතන තියෙන්නෙ ජීවත්ව ඉන්න කාලෙ ගන්න පුළුවන් රිස්ක් එක පිළිබඳ ප්‍රශ්නයක්. මැරුණට පස්සෙ ඉතින් බැදල කෑවත් මට මොකෝ!

    ReplyDelete
  13. මේ කතාවේ විදිහට තරුණ කෙනෙක් වයස්ගත කෙනෙකුට දන් දෙනවා කියන්නෙම ඕකේ අනිත් පැත්තට වඩා අපහසු තීරණයක් මම හිතන්නේ. මමත් අවයව දන්දෙන්න කියලා ලයිසන් ගන්නකොට කිව්වා... ඒත් ඒක සඳහන් නෑ... මේ ප්‍රාන්තේ නීතිරීති අනුව ඒකට වෙනම රෙජිස්ටර් වෙන්න ඕනෙ කතාවක් තමා කිව්වෙ...

    රසිකට පහන් හැඟීම දැනුනේ ඒ පුද්ගලයා කියපු දේවල් වලින්ද, නැත්නම් ඔබ කතා කරන්නේ මේ වගේ පරිත්‍යාගයක් කල කෙනෙක් එක්ක කියන හැඟීමන් ඇති වුන එකක්ද?

    ReplyDelete
  14. ඇත්ත, වකුගඩුවක් දන් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ බොහෝම හිතලා බලලා. ඇත්තටම රසික අයියා කලේ හොද දෙයක් දානපතියා එක්ක කාතබහ කරපු එක. මොකද හුඟක් දෙනෙක්ට ලෙඩා ගැන බලනවා මිසක ඒක අමතක වෙනවා.

    ReplyDelete
  15. මා හදිසියේ මියගියහොත් වෙන අයෙකුට බද්ධ කළ හැකි සෑම අවයවයක් ම දන් දීමට මම මගේ කැමැත්ත දී ඇත්තෙමි. එය මගේ රියදුරු බලපත්‍රයේ ද සඳහන් කර ඇත.//// මමත්

    ReplyDelete
  16. රසික , ඔබ ගේ සටහන සිතන්නට යොමු කළා . එහෙම රෝගියෙක් බලන්න ගියත්, දානපතියාව බලන්න යන්න අපිට හිතෙන්නේ නෑ .

    ඒත් මැරුණාට පසු අවයව දන් දීම නම් , දන් දීමක් දෝ කියලා මට හිතෙනවා . වැඩි යෙන් තියන කෑම හිඟන්නන්ට දීම වගේදෝ කියලා හිතෙනවා .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.