Saturday 13 May 2017

තාත්තා ගේ දුරාචාරය - One bad habit


අද මෙන් නොව අප කුඩා කාලයේ සිගරුට් බීම ලොකු වරදක් ලෙස නොසැලකිණි. බූරුවා ගැසීම සහ මත්පැන් බීම යනු සිගරැට් බීම මෙන් සියක් දහස් ගුණයක පාප කර්ම විය.

කොටින් ම මළ ගෙවල්වලට එන ඥාතී හිතමිත්‍රාදීන්ට අලියා බී සමාගමේ ඔරේන්ජ් බාර්ලි වතුරට අමතරව බුලත් විට සහ සිගරැට්වලින් ද සංග්‍රහ කෙරුණි. මා හත්වෙනි ශ්‍රේණියේ සිටියදී අකල් මරණකට ලක් වූ අපේ බාප්පා ගේ මළ ගෙදරට පැමිණි ගමේ දඩබ්බර කොල්ලන් සිගරැට් හොයනු මට අද මෙන් මතක ය.

මත්පැන් නොබිව් අපේ තාත්තා ගේ එකම දුරාචාරය වූයේ ද දුම් බීමයි.

නමුත්, මා "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane" ලිපියේ ලියූ පරිදි අපේ තාත්තා පානය කළේ සිගරැට් නොව තම්ෂර් නම් වෙළඳ නමකින් යුතු සුරුට්ටු වර්ගයකි.

පාසල් ගුරුවරයෙකු වූ මගේ තාත්තා ඉගැන්වූ පාසලේ ගුරුවරයෙකු වූ බෞද්ධ භික්‍ෂුවක් ඒ කාලයේ තායිලන්තයේ චාරිකාවක නිරත විය. ඔහු ආපසු එන විට අපේ තාත්තාට ත්‍යාගයක් ලෙස ගෙනැවිති තිබුණේ, ඩියුටී ෆ්‍රී කඩයකින් විස්කි බෝතලයක් නොව, දුම්කොළ දමා බොන පයිප්පයකි.

එතෙක් කල් තම්ෂර් සුරුට්ටු බොමින් සිටි තාත්තා මේ අලුත් උපකරණය පාවිච්චි කර බලන්නට පටන් ගත්තේ එකල දුම්කොළ සමාගමෙන් විකුණු අයිලන්ඩ් ප්‍රයිඩ් නම් පයිප්ප දුම්කොළ යොදා ය.

ඒ දුම්කොළ පිළිස්සෙන විට සිත්ගන්නා සුළු වැනිලා වැනි සුවඳක් හාත්පස පැතිරේ.

මද කලකින් ම තාත්තා, තමන් ම පයිප්ප දුම්කොළ සාදා ගැනීමට පටන් ගත්තේ ය. ඒ තමාට සුපුරුදු තම්ෂර් සුරුට්ටු ඉතා සියුම් ලෙස කපා ගැනීමෙනි.

නමුත්, අර වැනිලා සුවඳ ඒ දුම්කොළ යොදා පයිප්පය උරණ විට ආවේ නැත.

තවත් පයිප්ප බොන අයෙකු ගේ කීමක් අසා බ්‍රැන්ඩි බාගේ බෝතලයක් රැගෙන ආ තාත්තා ඒ දුම්කොළවලට බ්‍රැන්ඩි බිඳක් එක් කිරීම ඇරඹී ය.

මා පෙර කීවා සේ, මත්පැන් බීම යනු ලොකු වරදක් නිසා දෝ, තාත්තා ගේ ඒ බ්‍රැන්ඩි බාගේ බෝතලය වසරකට වැඩි කාලයක් කල් පැවතුණි.

මද කලකට පසු, පයිප්පයේ මිට කැඩී වෙන් වී ගියේය. තාත්තා කළේ, පේර වැනි ගසකින් කඩා ගත් අතු කැබැල්ලකින්, දින ගණනාවක් තිස්සේ මහන්සි වී, තායිලන්ත පයිප්පයේ හිසට සරිලන මිටක් සාදා ගැනීමයි.

හරියටම කවදාදැයි මට නිවැරදිව කිව නොහැකි වුවත්, එක්තරා කාලයකට පසු තාත්තා දුම්බීම නතර කර තිබුණි.

ඒ තම්ෂර් සුරුට්ටු සුවඳ ද, වැනිලා සුවඳ ද, බ්‍රැන්ඩි සුවඳ ද, දැන් සිහිනයෙන් ගෑ සුවඳ සේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://www.aliexpress.com/promotion/regional-products_smoking-pipes-india-promotion.html)

14 comments:

  1. ගස්ලබ්බත් කාලයක් බාල පයිප්පයක් අරන් පාවිච්චි කොරන්න ට්‍රයි කොලා.. හරි ගියේ නෑ.දුම්කොළ ගිණි ගණන් දැන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දුම්බීම හොඳ දෙයක් නොවෙයි නේ. ඒ නිසා දුක් වෙන්න එපා!

      Delete
  2. දුම් බීම හොඳ නැත

    ReplyDelete
  3. දුම් බොන්නන් කෙරෙහි මාගේ කිසිඳු විරෝධයක් නොමැති අතර තෙවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නේ මා සිටින අසලක සිට දුම්බෝන්නට කවරෙකු හෝ සුදානම් වන විටක දී පමණි. අනෙක් ඕනෑම අවස්තාවක සල්ලි දීලා ලෙඩ හදාගෙන විදවා මැරෙන්නේ නම් එය ඔබේ කැමැත්තයි මම ඉතා සංවර සිතින් සිතමී

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට අනුන් ගේ දුම් ආඝ්‍රහණය කළාමත් ඇදුමට වගේ එනවා!

      Delete
  4. රසික, ආයුරුවේද බෙහෙත් ද්‍රව්‍ය ඔහාට එවන්න තියන ක්‍රම මොනවද??
    (දැ.ගැ.පි.)

    ReplyDelete
    Replies
    1. සමහන්, පස්පංගුව වගේ දේවල් නං ලංකාවේ බඩු විකුණන කඩවල මා දැක තියෙනවා. ඉන්දියානු අරිෂ්ඨ හෙමත් ඇති අනිවාරයෙන්ම අදාල තැන්වල.

      වියලි ද්‍රව්‍ය මිස ශාක වර්ග අපට නම් ගෙන එන්න හැකි වෙන්නේ ජීව නිවාහරණය කළ පසුවයි. අමතර මුදල් යන වැඩක්.

      Delete
  5. අපේ සියා කෙනෙක් පයිප්පෙන් සුරුට්ටු බීවා.එයාට අපි කිව්වේ පයිප්ප මුත්තා කියලා

    ජය වේවා...

    ReplyDelete
  6. කඩදාසියක් රෝල් කර පත්තුකර බීමට උත්සාහ කිරීම වැනි අත්හදා බැලීම් කීපයකට පසු මම දුම් බීම සදහටම නවතා දැමුවෙමි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.