Saturday, 21 September 2019

පොත් ප්‍රදර්ශනය සහ ලේඛකයෝ - Writers? Who are they?





මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මම ද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි.

එහි දී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.

ප්‍රදර්ණය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී විකිණෙන්නේ පොත් ය.

පොත් ලියන්නේ ලේඛකයින් ය.

එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.

එහෙත් යථාර්තය ඊට වෙනස් ය.

පොත් ප්‍රදර්ශනයේ නොවැදගත් ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි වීය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.

මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකි ය.

මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී.

එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑම ද කළ හැක.

මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණ ය

ගිය වසරේ ඔහු සහභාගි වූ දෙල්පචිත්‍ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවෙය් දී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සති අන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.

නමුත් මේ වසරේ ද වෙනසක් සිදුවී නොමැති හැඩයි.

චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.

හෙට ඉරිදා, හවස, මෙම ස්ථානයේ දී ම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.

අහෝ ඛේදයකි.

-රසික සූරියආරච්චි

Friday, 20 September 2019

සුනිල් සෙනෙවි යෝජනා කරන සිංහල කවියේ ඉම පැනීම - A paradigm shift is needed?


ලංකාවේ සිංහල සාහිත්‍ය වසන්තය එළැඹ ඇති මේ සැප්තැම්බරයේ, සිසිර නිද්‍රාවක ගිලී සිටි මගේ රසිකොලොජි බ්ලොගය ද පුබුදුවාගෙන, විවිධ සාහිත්‍යමය කාරණා ගැන සටහන් තබමින් මා මේ කරන්නේ සතත අභ්‍යාසයකි.

ඒ අභ්‍යාසයේ අද ඉලක්කය වන්නේ පසුගිය සිකුරාදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති ආරියවංශ රණවීර ගේ ඉම තව දුරය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ දී, විශ්වවිද්‍යාල සේවයේ නියුතු විද්වතෙකු වන හිනිදුම සුනිල් සෙනෙවි විසින් කළ දේශනය පිළිබඳව මගේ මතකය අවදි කිරීමයි.

නූතන කවීන් සියයක් දෙනාගේ නිර්මාණ ඇසුරු කරමින් තමන් විසින් තවමත් කරගෙන යනු ලබන පර්යේෂණයක් ඇසුරෙන් කෙරුණු මූලික නිගමනයක් ද ඇතුළු කොටස් කිහිපයකින් යුතු අති දීර්ඝ (මා හිතන පරිදි එය මිනිත්තු හැත්තෑපහකට වඩා දිගු විය) කථාවක් කළ හිනිදුම සුනිල් සෙනෙවි ඒ අතරතුර රසවත් ප්‍රකාශ කිහිපයකින් ම ශ්‍රාවක රසිකයින් කුල්මත් කළේ ය.

ඒ අතරින් වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ සිංහල භාෂාවේ සාහිත්‍යමය ඉරණම ගැනයි. ඔහු දැක්වූ උදාහරණ ද එකතුකර ගනිමින් පැවසුවහොත්, හිනිදුම සුනිල් සෙනෙවි කීවේ වීරවංශ, ගම්මන්පිල (සහ තවත් නොවැදගත් නම් කිහිපයක් කියවිණි) වැනි දේශපාලුවන් තම ජඩ අරමුණු සඳහා සිංහල භාෂාව භාවිතා කළ පසු (ඒ වචන, යෙදුම්, භාෂා ප්‍රයෝග යනාදිය නැවත) අපට සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණ වන බවයි.

ඒ ප්‍රකාශය සත්‍යයකි.

නමුත් මගේ අදහස නම්, ඒ තත්වය අද ඊයේ ඇතිවූවක් නොවන බවයි. සිංහල ජඩ දේශපාලුවන් විසින් සිංහල භාෂාව තම ජඩ අරමුණු සඳහා යොදා ගත් සෑම අවස්ථාවක දී ම පාහේ සිදු වී ඇත්තේ එයයි.

පස් අවුරුදු සැලැස්ම, වගා සංග්‍රාමය වැනි දේ හැත්තෑවේ දශකයේ එළිබට හුදු පුහු වෙඩි සඳහා අවභාවිතා වූ යෙදුම් ය. ඒ නිසාම ඒ වචන පසුගිය දශක කිහිපය තිස්සේම නැවත භාවිතා කිරීමට නොහැකි අයුරින් දුෂිතව තිබුණි. නමුත් මේවන විට නම් ඒ කතා බොහෝ දෙනෙකුට අමතක වී ඇතුවාට සැක නැත.

හැත්තෑවේ දශකයේ අගභාගයේ දී එවකට ජනාධිපති ජයවර්දෙන විසින් ධර්මිෂ්ඨ සමාජයක් යන යෙදුම ගණිකා වෘත්තියේ යෙදවූ අතර, අද වෙනතුරුත් ඒ උත්තර සමාජය උදා නොවීම කෙසේ වෙතත්, ඒ යෙදුම නම් තවමත් වෙනත් කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි තරමට කිලිටි ය.

සුබ අනාගතයක්, ආශ්චර්යය මෙන්ම යහපාලනය වැනි යෙදුම් ද නැවතත් අපේ ජීවිතකාලයේ දී නම් කිසිදු නිර්මාණාත්මක කටයුත්තකට ඒවායේ නිසි අර්ථයෙන් යොදා ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.

මා මුලින් සඳහන් කළ පරිදි, සිංහල කවිය පිළිබඳව තමන් කරමින් සිටින පර්යේෂණයක් ආශ්‍රිතව හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ වැදගත් කාරණය, මට වැටහුණු ආකාරයට නම්, සිංහල කවියේ විකාශය පිළිබඳව සලකා බලන කල, අද අප සිටින්නේ එක්තරා සංධිස්ථානයක බවයි. එනම් ආකෘතියෙන් ද, අන්තර්ගතයෙන් ද අද සිංහල කවියේ ප්‍රගමනය අඩාල වී යම් ආකාරයක එක තැන කැරකීමක් සිදුවෙන බවයි. එනිසා, මේ තත්වයෙන් මිදී කොයි ලෙසකින් හෝ සිංහල කවිය අද ළඟා වී ඇති ඉම පැනිය යුතු බවයි. සිංහල කවියේ තත්කාලීන සුසමාදර්ශකයේ හෙවත් පැරඩයිමයේ විතැන් වීමක් අද අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

ඒ පිළිබඳව මගේ ය කියා අදහසක් පළ කිරීමට තරම් ප්‍රමාණයික දැනුමක් මට නැති නමුත්, එවැනි සුසමාදර්ශී වෙනසක් කාලයත් සමගම ඉබේ සිදුවෙන්නක් සහ එලෙස සිදුවූ පසු අපට හැඟී යන්නක් මිස, අවශ්‍යතාවය මත, ක්‍ෂණිකව කළ හැක්කක් නොවන බව නම් මට හැඟේ.

එසේ වෙතත්, එවැනි සුසමාදර්ශී වෙනසක් වෙනුවෙන් කටයුතු කරන ලෙස සුනිල් සෙනෙවි විසින් ආරියවංශ රණවීරගෙන් කළ ඉල්ලීමට එකඟ වීමට නම් මට හැකිය. ආරියවංශ රණවීර යනු ඒ සඳහා අවශ්‍ය ශක්‍යතාව සහ ප්‍රතිභාව ඇත්තෙකු බව මා අමුතුවෙන් කිව යුතු නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ලියා පළ කළ ලිපි.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness
6. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
7. සම්මාන නැති කතාවක් - Awardless
8. "ඉම තව දුර ය" - A note about a book launch
9. කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


(image: Facebook)

Thursday, 19 September 2019

කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


මේ සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූ කිවියර ආරියවංශ රණවීරගේ "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දී ලේඛකයින් විසින් කළ ප්‍රධාන කතා ත්‍රිත්වය අතරින් මා සිත වඩාත් ම ඇද ගත්තේ ප්‍රධාන දේශන ද්වයට අමතරව පෙර දැනුම් දීමකින් තොරව ක්‍ෂණිකව මෙන් ඉදිරිපත් කෙරුණු (නමුත් පෙර සූදානමක් තිබුණා යැයි මට නිකමට මෙන් සිතුණු) සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය විසින් කළ ඉදිරිපත් කිරීමයි.

එයට මූලික හේතුව වූයේ, ඇය ඒ කථාවේ අන්තර්ගතය ලෙස තමන් කිවිඳියක ලෙසත්, කවි රස විඳින රසිකාවියක ලෙසත්, තමන් ලැබූ අත්දැකීම් එකතු කර රසවත්ව ඉදිරිපත් කිරීමයි. එහි රසවත්බව මට හොඳින් දැනුණේ, මා ලියන කියන දෙයින් අති බහුතරයේ ද අන්තර්ගතය ඒ අච්චුවේ, එනම්, මුළුමනින්ම පාහේ අත්දැකීම් පාදක කොට ගත්, ඒවා වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

එය එසේ වූයේ නැතත්, තම කතාව ආරම්භ කිරීමට වේදිකාවට ගොඩ වූ මොහොතේ සිට සුහර්ෂණී ධර්මරත්න විසින් එදින මහවැලි ශාලාවේ රැස් වී සිටි ඒ සාහිත්‍යකාමී සභාවට එක් කළේ සුවිශේෂී වූ ආකර්ෂයකි. ඒ කුමක්දැයි අමුතුවෙන් සිතන්නට අපට අවශ්‍ය වූයේ නැත. ඊට පෙර ම, මම කාන්තා පක්‍ෂයේ හඬ මේ සාහිත්‍ය සභාවේ නියෝජනය කරනවා යැයි පැවසූ සුහර්ෂණී අපට එතෙක් නොතේරුණු ඒ සුවිශේෂී කාරණය, ඒ සභාවේ පමණක් නොව අප දැක ඇති අති මහත් බහුතරයක් සාහිත්‍ය සභාවල දී ද පැවති බව අපරදෘෂ්ටියෙන් දැන් අප දන්නා ඒ සුවිශේෂී කාරණය, එනම් අති බහුතරයක් සාහිත්‍ය උත්සව සභාවල ලේඛිකාවන් නිසි ලෙස නියෝජනය නොවන බව, අපට වටහා දුන්නී ය.

දින කිහිපයකට ඉහත මා ලියා පළ කළ, 2018 දී මා අත්විඳි සැප්තැම්බරයේ දිගු දවස් ලිපියේ මා සඳහන් කළා වූ, මා සහභාගී වූ පොත් එළිදැක්වීම් පහේ පැවති විදග්ධ සභාවල කාන්තා නියෝජනය අතිශය අවමය විය. වසරක් පැරණි මගේ මතකයට අනුව එයින් කාන්තාවන් තම අදහස් පළ කළේ චාමර අකලංක පොල්වත්තගේ ගේ ආදරේ රත්නපුර වගේ කවිපොත එළිදැක්වීමේ දී සහ හෙන්රි වර්ණකුලසූරියගේ කී නොකී කතා කතන්දර පොත එළිදැක්වීමේ දී පමණි. මුල් අවස්ථාවේ දී, අමන්දා අබේසූරිය සහ නදීෂා චන්ද්‍රසේන වේදිකාප්‍රාප්ත වූ අතර, දෙවෙනි අවස්ථාවේ දී පුෂ්පා රම්ලනී තම අදහස් දැක්වූවා ය.

ගද්‍ය පද්‍ය ලේඛනයෙන් කාන්තාවන් සම්මාන ලබන සමාජයක, එම ලේඛිකාවන් ගේ කෘති එළිදක්වන උත්සවවල දී පවා කාන්තා අදහස් දැක්වීම අතිශය අවම වීම ද කනගාටුවට කරුණකි.

විදග්ධ සාහිත්‍ය සභා ඉම කාන්තා හඬට තවත් දුර බව පැහැදිලිය.

සුහර්ෂණී ධර්මරත්න එදා උත්සවයට එකතු කළේ නාම මාත්‍රික කාන්තා නියෝජනයක් පමණක් නොවේ. සම්මානලාභී ලේඛිකාවක වන ඇය ඒ බව මනාව විදහා පාමින් තම අදහස් ඉදිරිපත් කළා ය. ගලේවෙල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන ඇය, විද්‍යාව වැනි කර්කශ විෂයයක් වුව ද, ආකර්ෂණීය ලෙස උගන්වනවා විය යුතු යැයි මට සිතුණි.

තම කෙටි දේශනයේ දී සුහර්ෂණී ධර්මරත්න විසින් පවසන ලද කරුණු කිහිපයක් ම මගේ මතකයේ ඇත. එයින් පොදු වැදගත්කමක් ඇති කරුණක් වන්නේ විශ්වවිද්‍යාලවලින් සිංහල භාෂාව පිළිබඳ උපාධි ලබා රජයේ පාසල්වල සිංහල උගන්වන්නට යන අයගේ සාහිත්‍ය දැනුමේ ඇති ඌනතා ගැන ඇය සරදම් බසින් කළ සඳහනයි.

විවාහයේ දී සිදුවන පිරිමියා සහ ගැහැනියගේ ඒකල භූමිකා නිමවී පොදු භූමිකාවක් නිර්මාණය වීමේ දී සිදුවන ප්‍රායෝගික අසාධාරණය ගැන තමන් ලියූ කවක් ද, එම මාතෘකාව පිළිබඳව ම ආරියවංශ රණවීර ලියූ කවක් ද සංසන්දනය කරමින් සුහර්ෂණී ධර්මරත්න කළ සඳහන ද, එහි රසවත්බව නිසා ම, සදාකාලිකව රැදෙන ලෙස මතකයේ කෙටුණි.

මේ නිර්මාණ ද්වයේ ම, රූපක ලෙස නිර්මාණකරුවන් යොදාගෙන තිබුණේ ගංගාවක ජලය මුහුදට එක් වීමේ දී, ගඟ නැති වී, මුහුද පමණක් අවසානයේ ඉතිරි වීම ය. ගඟ විවාහප්‍රාප්ත ගැහැනියයි, මුහුද පිරිමියා ය.
මා මුල්වරට ඇසූ ඒ කවි යුගල සහ එහි අරුත් පිළිබඳ විවරණයක යෙදීම පස්සට කල් තබා මට කිව හැක්කේ, ඒ මොහොතේ මට දැනුණේ නම් සුහර්ෂණී ධර්මරත්න සමස්තයක් ලෙස පැවසූ දෙයින් ඇගේ කවියේ අරුත, ගංගාවක ජලය මුහුදු ජලයට එක්වී අහෝසි වී යන්නාක් සේ, ආරියවංශ රණවීරගේ කවිය හේතුවෙන් නැති වී ගිය බවයි.

මෙහි දී මගේ අදහස වන්නේ එය එසේ නොවිය යුතු බවයි. කෙසේ වෙතත් ඒ කවි ද්වය ම, මා ම, කියවා ඒ ගැන නැවතත් ලිවීමට අදහස් කරමි.

ඊට අමතරව, ඇය කළ කථාවේ දී, ඇය විද්‍යා ගුරුවරියක් බව කියවුණු අතර, පසුව ඇගේ සැමියාගේ වෘත්තීමය කාර්යබහුලත්වය පිළිබඳ ඉඟියක් ද පිටවුණු නිසා, සුහර්ෂණී ධර්මරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් අයෙකු යැයි මම එක එල්ලේ නිගමනය කළෙමි. පසුව ඇගෙන් විමසා මා නිවැරදි බව තහවුරු කර ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන සිව්වන ලිපියයි.

1. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
2. සම්මාන නැති කතාවක් - Awardless
3. "ඉම තව දුර ය" - A note about a book launch

ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ නමවෙනි ලිපිය ද වේ.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness

(image: From Facebook)

Tuesday, 17 September 2019

"ඉම තව දුර ය" - A note about a book launch



දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.

එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.

ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:

මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න

ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.

මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.

ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.

පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.

එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.

ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.

පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.

මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.

Monday, 16 September 2019

සම්මාන නැති කතාවක් - Awardless


මේ සැප්තැම්බරයේ දිගු දවස් ය. මේ සමය කොළඹ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ උණුසුම් ම කාලය වෙන්නේ පොත් ප්‍රදර්ශන ද, පොත් එළිදැක්වීමේ උත්සව ද පමණක් නොව පසුගිය වසරේ ලියවුණු කෘති සඳහා සම්මාන පිරිනැමීම ද සිදුවෙන නිසා ය.

ඒ ආකාරයෙන් සම්මාන ලැබූ කෘති සම්මානිත කෘති ලෙස ද, ඒ කෘති නිපදවූ ලේඛකයින් සම්මානිත ලේඛකයින් ලෙස ද සම්මානිත හැඳින්වේ.

"අසම්මානී" යනුවෙන් වචනයක් තිබේ නම් අප එය අර්ථ දක්වා ගත යුත්තේ ඒ අනුසාරයෙනි.

දැන් මා මේ සැරසෙන්නේ මාස කිහිපයක් පැරණි කතාවක් ලියන්නටයි. මෙය කතාවක් ගැන කතාවක් හෙයින් කතා වර්ගයක් ලෙස ද සැලකිය හැක.

මා පුද්ගලිකව නොහඳුනන අයගෙන් මට ෆේස්බුක් මිතුරු ඉල්ලීම් ලැබී, ඔවුන්ගේ ඒ ඉල්ලීම පිළිගත් විගස මා කලක සිට කරන එක් කාර්යයක් වන්නේ මගේ රසිකොලොජි බ්ලොගය පිළිබඳව පවසා ඔවුන්ට කෙටි පණිවිඩයක් යැවීමයි. මුල් කාලයේ දී මේ පණිවිඩයට රසිකොලොජි බ්ලොගයට සබැඳියක් ද ඇතුළත් වූ නමුත් දැනට වසරකට පමණ පෙර සමයක මාර්ක් සකර්බර්ග් ගේ බොට් බලකාය මට ඒ එකතු කිරීමට ඉඩ නොදේ. එනිසා, පසුකාලීනව ඒ සඳහා වෙනත් විවිධ උපක්‍රම අනුගමය කිරීමට මට සිදු වූ අතර, ඒ සඳහා ගතවෙන කාලය නිසා, මිතුරු පොරොත්තු ලේඛනය පන්සියය ද ඉක්මවා ගියේ ය.

ඒ කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පණිවිඩයක් යැවීමේ එක් වැදගත්කමක් වන්නේ පසු කලෙක දී ද සොයා ගත හැකි වෙන පරිදි එය සයිබර් අවකාශයේ රැඳී තිබීමයි.

මා 2016 අගෝස්තුවේ දී යවන ලද එවැනි පණිවිඩයක් මෙසේ ය.



එලෙස ෆේස්බුක් මිතුරුකමක් ඇරඹුණු පසු, සාමාන්‍යයෙන්, සිදුවන්නේ අලුත් මිතුරා/මිතුරිය තම කාල රේඛාවේ පළ කරන දෑ, ඔබට දර්ශනය වීමට පටන් ගැනීමයි. එතරම් හැඳුනුම් කමක් නැති අය තම මුතු දත් පෙන්වා සිනාසෙමින් ගෙන පළකරන ඡායාරූප සඳහා බියුටිෆුල් යැයි ලියන්නට මට අවශ්‍යතාවයක් නොමැති නමුත් ගද්‍යපද්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් තත්වය එය නොවේ.

මගේ මේ ෆේස්බුක් මිතුරිය පළ කර තිබුණු නිර්මාණයක් මා නෙත ගැටී කියවූ මට ඒ ගැන මගේ ප්‍රතිචාරය දැක්වීමට සිතුණේ පසුගිය මැයි මාසයේ දී ය.

කුඩා ළමුන් සඳහා ලියවුණු කුඩා ගැමි කතන්දරයක් වූ එහි සාරාංශය මෙසේ ය.
ගමක වෙසෙන දුප්පත් මිනිසෙකි. ඔහු බඩගින්න නිසා ම ගමේ පොහොසතාගේ වත්තේ වැවුණු දෙයක් සොරකම් කිරීමට ගොස් අයිතිකරුට අසුවෙයි. අයිතිකරු ඔහුට සමාව දී නිදහස් කර හරින්නේ සොරකම් නොකරන ලෙසත්, ඒ වෙනුවට අවශ්‍යතාව දන්වා ඉල්ලන ලෙසත් අවවාද කරමිනි.

ඒ දුප්පත් මිනිසාට පසු දිනයක ද කෑමට යමක් නොතිබුණු නිසා, පොහොසතාගේ නිවසට ගොස් වී ස්වල්පයක් ඉල්ලා සිටී. බිස්සේ වී ඇටයක්වත් නැති යැයි මුසාවක් පවසන පොහොසතා කිසිත් නොදී දුප්පතා පලවා හරියි. එදින රාත්‍රියේ දුප්පත් මිනිසා, පොහොසතාගේ වී බිස්සෙන් වී සොරකම් කරයි.

පසුදින ගමේ කඩමන්ඩියේ දී පොහොසතා තම වී බිස්සට හොරු පැන ඇති බව කණගාටුවෙන් පවසන විට එහි සිටින සොරා කියන්නේ හොරු පැන්නාට මොකද ඉතිං වී බිස්සේ වී ඇටයක්වත් නෑ නේ කියායි.
මේ කතන්දරය කියවා ස්ටිකර් නොව, ලිඛිත ප්‍රතිචාර දක්වා තිබූ සැම දෙනාම පවසා තිබුණේ එය කුඩා දරුවන්ට ආදර්ශ රැසක් දෙන කතාවක් බවයි. සමහර අම්මලා එය තම දරුවන්ට කියා දෙන බව ද පවසා තිබුණි.

කළ යුතුව තිබුණු පරිද්දෙන් ම, මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.

මේ කතාව කුඩා දරුවන්ට ලබා දෙන්නේ, බොරුවක් කියූ අයෙකුගෙන් හොරකම් කිරීම වරදක් නැතිය ආකාරයේ වැරදි ආදර්ශයකි. අවසානයේ හොරා වීරයා වී, මුල් හොරකමට සමාව දුන් තැනැත්තා දුෂ්ටයා වී ඇත.

මගේ ඒ ප්‍රතිචාරයට ෆේස්බුක් මිතුරියගෙන් ක්‍ෂණිකවම වගේ ලැබුණේ රතු පැහැති හදවත ලකුණ දරන ආදරෙයි ප්‍රතිචාරයකි. ඉන් දිරිමත් වූ මම, තවත් තරමක් දිගු මේ කතාවේ අවසානය වෙනස් කරන ලෙසයි. ඒ සඳහා මම විකල්ප දෙකක් ද ලබා දුන්නෙමි.

ඉන් පළමු විකල්පය වූයේ ගමේ කඩමණ්ඩියට ගමේ පන්සලේ හාමුදුරුවන්ව එවෙලේම ගෙන්වා, සොරකම සහ බොරු කීමේ ආදිනව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

ඒ අවසානය සම්ප්‍රදායානුකුල මෙන්ම, ඒක ආගමික නිසා දෙවන විකල්පය ලෙස මා යෝජනා කළේ, දුප්පත් මිනිසා නිවසට පැමිණ තම හපන්කම කියද්දී, ඒ තාත්තාගේ දියණිය ලවා, ඔහුට සොරකමේ වරද පිළිබඳව පෙන්වා දෙන ලෙසයි. තාත්තලාට අවවාද දිය හැකි දියණියන් ලොව සිටින බවට මා කළ උපකල්පනය සැම විටම සත්‍යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

මට යළිත් ඒ කතන්දරය සහ මගේ ප්‍රතිචාර පිළිබඳව සිහිවූයේ, ඉන් සති කිහිපයකට පසුව, මිතුරෙකු හා සාහිත්‍යමය කරුණු පිළිබඳව සාකච්ඡාවක යෙදෙමින් සිටිය දී ය. මා යළි කියනවාට වඩා ඔහුටම එය කියවීමට දෙනු පිණිස මම ජංගමයෙන් අදාළ කතන්දරකාර ෆේස්බුක් මිතුරියගේ අඩවියට ගොස් අදාළ කතන්දරය සෙව්වෙමි.

කතාව තිබුණි. නමුත් මා දැක් වූ මුල් ප්‍රතිචාරය මෙන්ම, දෙවනුව කළ යෝජනා ද අතුරුදහන් වී තිබුණි. එසේම, මා තවදුරටත් එකී තැනැත්තාගේ ෆේස්බුක් මිතුරෙකු නොවන බව ද, එනම් මා අන්ෆ්‍රෙන්ඩ්කරණයට බඳුන් වී ඇති බව ද මට පෙනුණි.

එසේ මිස මා බ්ලොක්කරණය කර නොතිබුණු නිසා, පහත සඳහන් ප්‍රතිචාරය පණිවිඩ සේවය මගින් යවන්නටත්, ඊට අමතරව, ඊයේ රාත්‍රියේ හදිසියේ සිහි වී, අද මෙලෙස අකුරු කරන තුරු මේ සිදුවීම මතකයේ රඳවා ගැනීමටත් මට හැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තටම මට මේ කතාව නොලියා ඉන්නට තිබුණි. එහෙත් ඊයේ ෆේස්බුක් හි පළවුණු වෙනත් සටහන් දෙක තුනක් කියවන විට සිහියට නැගුණු නිසා ඔන්න ඔහේ ලියා දාන්නට සිත්විය.

(image: https://www.abc.net.au/radionational/programs/booksandarts/winning-awards-as-an-emerging-writer/3959746)

Sunday, 15 September 2019

සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September


වසර කිහිපයකට පෙර මා මිලට ගත්, නමුත් තවමත් කියවන්නට අවකාශයක් නොලද ආකර්ෂණීය නමකින් යුතු නවකතාවක නම මදක් වෙනස් කර එය භාවිතා කරමින් මා මේ සැරසෙන්නේ, මේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍යය පිළිබඳව ඇති උනන්දුව තවත් වැඩි කරවන සිදුවීම් කිහිපයක් පිළිබඳව සටහන් මාලාවක් ලියන්නයි.

වර්ෂ 1995 අප්‍රියෙල් මාසයේ දී ඇරඹුණු මගේ විගාමික ජීවිතයේ දී සාමාන්‍යයෙන් මා ලංකාවට පැමිණියේ මහජන නිවාඩු දින රාශියකින් ද, දිගු පාසල් නිවාඩුවෙන් ද සමන්විත දෙසැම්බර්-ජනවාරි කාලයේ දී ය. නමුත්, 2012 වසරේ දී මුල්වරට සැප්තැම්බර් මාසයක දින කිහිපයක් හෝ ලංකාවේ ගත කරන්නට මට අවකාශය ලැබුණි. එවර පොත් ප්‍රදර්ශනයේ ආස්වාදය ලබා ගැනීමටත්, එහි පැවති සාහිත්‍ය සාකච්ඡාවක කොටසක් ශ්‍රවණය කිරීමටත් මට ඉඩ ලැබුණු නමුත් වෙනත් සාහිත්‍ය කටයුතුවලට සහභාවී වීමට අවස්ථාවක් තිබුණේ නැත.

ඒ සියල්ල වෙනස් වූයේ පසුගිය වසරේ දී ය. මා 2018 සැප්තැම්බරයේ ලංකාවේ ගත කළ සති දෙක ඇතුළත සාහිත්‍යමය අවස්ථා රාශියකට, විශේෂයෙන් ම පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයකටම සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.

ඒ විස්තරය මෙසේ ය.

චමල් අකලංක පොල්වත්තගේ ලියූ ආදරේ රත්නපුර වගේ කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 16 දින දියත උයනේ දී (චමල් යනු සහෘද බ්ලොග්කරුවෙකි).


දමිත් විලේගොඩ ලියූ එහෙ මෙහෙ යන අතර කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 17 දින බොරැල්ලේ පුංචි තියටර්හි දී (දමිත් යනු සහෘද බ්ලොග්කාරියක වූ නිනී සෙනෙවිරත්න ගේ සැමියා ය).


නුවන් හෙට්ටිආරච්චි විසින් පුවත්පතක් සඳහා කළ සම්මුඛ සාකච්ඡා මාලාවක එකතුවක් වූ සොඳුරු රස්තියාදුව නම් කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 18 දින මහවැලි කේන්ද්‍රයේ දී.


තිඹිරියාගම බණ්ඩාර ගේ ගිනිගත් දේශයක කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 19 දින බොරැල්ලේ කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාල භූමියේ පිහිටි ශාලාවේ දී.


හෙන්රි වර්ණකුලසූරිය විසින් රචිත කී නොකී කතා කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් මස 22 දින විජේරාම මාවතේ පිහිටි ඉංජිනේරු ආයතනයේ ශාලාවේ දී (හෙන්රි වර්ණකුලසූරිය යනු සහෘද බ්ලොග්කරුවෙකි).


මීට අමතරව, සැප්තැම්බර් 15 දින පැවැත්වුණු ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය නැරඹීමට ද මට හැකිවිය. ආරාධිත අමුත්තන් සඳහා පමණක් විවෘත වූ ඒ අවස්ථාව සඳහා මට ඉඩකඩ ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශක ජනක ඉනිමංකඩ විසිනි.


ඒ 2018 සැප්තැම්බරයේ දිගු දවස් කිහිපයක විස්තරයයි.

දැන් 2019 සැප්තැම්බරයේ ද එවැනි දිගු දවස් අත්විඳින්නට මට අවස්ථාව ලැබී ඇත. ඒ විස්තර ඉදිරි දිනවල සටහන් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පොත් එළිදැක්වීමේ උත්සව පැවැත්වෙන්නේ සැප්තැම්බරයේ පමණක් ම නොවේ. මා 2015 දෙසැම්බරයේ ලංකාවට පැමිණ ගත කළ සති දෙකක කාලයේ දී මට පොත් එළිදැක්වීම් දෙකකටම සහභාගීවීමට ඉඩ ලැබුණි.

1. යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ ඉතා කෙටි කළබළ සිහින කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 12 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poetry-is-not-for-everyone.html

2. නිරාශ ගුණසේකර ලියූ මැරිලින් මොන්රෝ, ඔබ සහ මම කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 16 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

(image: https://ladymud.wordpress.com/2014/09/01/welcome-september/)

Thursday, 5 September 2019

පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitive behaviour


ලංකාවේ සාහිත්‍ය මාසය නිසා සිංහල සාහිත්‍යකාමීහු පිබිදෙමින් සිටිති. මකුළු දැල් බැඳෙමින් තිබුණු මගේ රසිකොලොජි බ්ලොගය ද නැවත පණ ගැහුණේ මේ සාහිත්‍ය මාසය නිසාම ය.

මේ දිනවල සමාජජාලාවල පැතිර යන උණුසුම් පුවතක් නම් ප‌ොත් ප්‍රකාශකයින්ගේ සංගමය නම් සංවිධානය මගින් තමන්ගේ ප්‍රකාශන සඳහා ලබාදෙන උපරිම වට්ටම සියයට විස්සක් බව තීරණය කර එය ක්‍රියාත්මක කිරීම සහ එම සංගමයේ සාමාජිකයින් නොවන විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකුණන වෙළඳුන්ට ද 20% ට වඩා වට්ටම් පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමයි.

පොත් ප්‍රකාශකයින් තමන් විසින් ප්‍රකාශනය කරන පොත් සඳහා සිල්ලර මිල නියම කරන්නේ තමන්ම බැවිනුත් සඳහා වට්ටම් ලබා දෙන නොදෙන බව සහ වට්ටම් ප්‍රමාණය තීරණය කරන්නේ ද තමන් ද බැවිනුත් මේ වට්ටම් යනු කෘතිම දෙයක් බව පැහැදිලිය.

එසේම, මගේ අදහස නම් වැඩි වට්ටමක් යනු ප්‍රෝඩාවක් බවයි එනම් සෑම පොතකම මිල රුපියල් දහදාහකට නියම කළහොත් ඔවුනට පාරිභෝගිකයින්ට 95% ක වට්ටමක් දිය හැක.

කෙසේ වෙතත්, පොත් ප්‍රකාශන සංගමයේ සාමාජිකයින් විසින් මේ ක්‍රියාත්මකවන්නේ කතිපයාධිකාරයක (oligopoly) ආකාරයට බවත් එය පාරිභෝගික ආරක්ෂක පනත සහ වෙළඳ නීතිවලට අනුව තරඟකාරී-විරෝධී (anti-competitive) නීති විරෝධී කටයුත්තක් බවත් නිසැකවම කිව හැක. එපමණක් නොව ඔවුන් විසින් තමන් නියම කරන මිලට භාණ්ඩ විකුණන ලෙස පොත් ප්‍රකාශකයින් නොවන වෙනත් වෙළඳුන්ට කරන බලපෑම ද නීති විරෝධී එකක් වේ

මගේ යෝජනාව නම් පාරිභෝගිකයින් ලෙස අප මේ පිළිබඳව සාධාරණ වෙළඳ කොමිසමට සහ වෙනත් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පෙනී වෙනුවෙන් පෙනී සිටින ආයතනවලට පැමිණිලි කළ යුතු බවයි.

එසේම ධනවාදී වෙළෙඳපොළ නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ඒකාධිකාරීත්වය (monopoly) ද්වි අධිකාරීත්වය (duopoly) සහ පෙර සඳහන් කළ කතිපයාධිකාරීත්වය (oligopoly) නොමැතිව වෙළෙන්දන් අතර හොඳ තරගයක් තිබිය යුතු වන අතර ඒ සමගම පාරිභෝගිකයින් සහේතුක (rational) ආකාරයට තීරණ ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව තොරතුරු නිසි පරිදි ලැබී තිබිය යුතුයි.

සාධාරණ වෙළෙඳ කොමිසම සහ තවත් රජයේ ආයතන පිහිටා තිබෙන්නේ මේ සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ය.

මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ මා පෙර සඳහන් කළ පරිදි පාරිභෝගිකයින් විසින් සහේතුකව තීරණ ගැනීමයි. යම්කිසි වෙළෙන්දෙකු හෝ වෙළද සංගමයක් විසින් පාරිභෝගිකයින්ට නොමනා අන්දමින් සලකන විට ඔවුන් තවදුරටත් වෙළඳාම කරනවද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විශාල බලපෑමක් කළ හැකියි.

පොත් ප්‍රකාශන සංගමයේ කතිපයාධිකාරී ක්‍රියාකාරීත්වය ගැනත් වෙනත් වෙළඳුන්ට කරන බලපෑම් පිළිබඳව පාරිභෝගිකයින් වශයෙන් අප සාධාරණ වෙළඳ කොමිසමට පැමිණිලි කළ යුතු යයි මම නැවතත් යෝජනා කරමි.

ලංකාවේ සේවය කළ සමයේ පාරිභෝගිකයින් විසින් කරනු ලැබූ එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳව ඔවුන් විසින් නිසි පරීක්ෂණ පැවැත්වූ බව ඒ සමහර කටයුතු වලට උපදේශකයෙකු ලෙස සහභාගි වූ මම හොඳින් දනිමි.

-රසිකොලොජිස්ට්

(image: https://blog.ipleaders.in/anti-competitive-agreements/)

Wednesday, 4 September 2019

බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation?



මසකට පමණ පෙර නිවසේ මිඳුලේ රෝස ගසක අවාරයේ පිපී තිබුණු රෝස මලක් දුටු මා ප්‍ර්‍රිය බිරිඳ ඒ ගැන කවක් ලියූවා ය. මේ සුවිශේෂී රෝස වර්ගය හැඳින්වෙන්නේ ද බ්ලු මූන් නමිනි.

ඉහත පළ කර ඇත්තේ ඒ (නිල් පැහැ) රෝස මලයි.

ඇය ඒ කව ෆේස්බුක් හි පළ කළ සැණින් මම එය සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ දී මට එය රසිකොලොජියේ පළ කරන්නට සිත් විය.


Lonely rose

A rare spectacle
A rose in winter
Alone in a wilting bush
Amidst barren twigs

No buzzing bees
No whispering butterflies           
No selfie fanfare
No twitting birds

A mauve blue rose
Proud and tall
No ordinary fete
A blue moon indeed!

තනි වූ රෝස මල

විරලතම දසුනකි ය
වින්ටරය මැද පිපි රෝස මල
මැරී යන පඳුරක
කොළ හැළුණු ඉපලක, තනිව

නැත බඹර ගුම් නද
නැත සමනළ කසුකුසුව
නැත "සෙල්ෆි" කාහල නද
නැත "ට්විටර" විහඟුන්

ප්‍රභාවත් නිල් මලෙකි
සාඩම්බරව වැජඹෙන
සුලභ දසුනක් නොවේ
මෙය "බ්ලූ මූන්" ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අවාරයේ පිපි රෝස මලක් පිළිබඳව මම ද මීට වසරකට පෙර කවක් ලියූවෙමි. එය ද රසිකොලොජියේ පළ කෙරුණු අතර මිතුරෙකුගෙන් ලද ඇරයුමක් නිසා ලංකාවේ පුවත්පතක ද පළ විය.

Tuesday, 3 September 2019

ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools


මේ ෆේස්බුක් සංවාදයකින් උපුටා ගත් කතාවකි. මගේ පසු ප්‍රයෝජනය පිණිසත්, අවශ්‍ය අයට කියවීම පිණිසත් මෙසේ සංරක්‍ෂණය කර තබමි.

සංවිධානාත්මක ආගම් නියෝජිතයින් (කහකඩයින් සහ සුදුකඩයින් සියළු දෙනාම) විසින් කරන ප්‍රෝඩා පිළිබඳව ෆේස්බුක් සයිබර් අවකාශයේ නිරතුරු හඬ නගන අයෙකු මෑත දිනයක දී ක්‍රිස්තියානි ආගමික කල්ලියක් පිළිබඳව තබන ලද කෙටි සටහනක අන්තර්ගතය නිසා කුපිත වුණු ළමයෙකු ඔහුට විරුද්ධව මෙසේ බැණ අඬ ගසා තිබුණි.

"බලහන් උබලගෙ තාත්තා උබේ උප්පැන්නෙ ආගම කියන තැනට මොකක්ද දාලා තියෙන්නෙ කියලා. ඉස්සෙල්ල බලපන් උප්පැන්නයක් තියනවද කියලා."

උප්පැන්න සහතිකයේ ආගම සඳහන්ය යනු ඇතැම් දෙනා නොදැනුවත්කම නිසා සිතා සිටින සාවද්‍ය කරුණකි. මා මේ පිළිබඳව රසිකොලොජි සටහනක් ද ලියා ඇත.

කෙසේ වෙතත්, ඉහත ප්‍රතිචාරයට පිළිතුරු ලෙස මම එහි මෙලෙස සටහන් කළෙමි.
උපතෙන් මූලිකවම තීරණය වන්නේ දෙමව්පියන් කවරේද යන්න සහ පුරවැසිභාවය පමණකි. උප්පැන්න සහතිකේ නම් දෙමව්පියන් රෝම ලන්දේසි හෝ වෙනත් නීතියකට අනුව විවාහ වී සිටී දැයි යන වික්ටෝරියානු ප්‍රශ්නයටද පිළිතුර ඇත.

ආගම යනු උපතින් ලැබෙන දෙයක් නොවේ. ආගම් අදහන්නෝ ද මෝඩයෝ ය, උප්පැන්න සහතිකේ ආගමක් සඳහන්ව ඇති යයි සිතන්නෝ ද මෝඩයෝ ය.
එයට පිළිතුරු දුන් කතෝලික කාන්තාවක් සහ මා අතර ඉන් අනතුරුව ඇතිවුණු සංවාදය මෙසේ ය.

ඇය:
දැන් ආගම් නොඅදහන අය බුද්දිමත් කියල නිගමනයකට ආවෙ කොහොමද? මංකොල්ලකාරයන්ට, මැරයන්ටත් ආගම් නැහැ. මම කියන්නෙ බෞද්ද ඒවුන් නෙවෙ. කිතුනු ඒවුන් නම් පව් කරන ගමන් ආගම් අදහන් නැහැ. කිතුනු කියන්නෙ මාර්ගයක්. ඒ මාර්ගයෙ යන විට ලැබෙන අත්දැකිම් වලට තමයි ඔය ආගම කියල පිට අය හදුන ගන්නෙ.

දැන් මොන පදනමකින්ද ආගමක් පිලි නොගන්න ආගමක් (ජන කොට්ටාශයක් ) බුද්දිමත් කියන්නෙ?

ආගමක් individualised.

මගෙ ආගම මගෙ. තව කිතුනුවෙක්ගෙ ආගම ඔහුගෙ. ඒත් යම්කිසි දැනුම් පද්දතියක් පිලිගන්න අය. දැනුම් පද්දතියක් පිලි නොගැනිම කියන ආගමට අයිති අය කොහොමද බුද්දිමත් වන්නෙ?

මම:
නැවත කියවා බලන්න මා ලියා ඇත්තේ ආගම් අදහන්නෝ මෝඩයෝ ය කියාය. ඔබ එය කියවා තේරුම් ගෙන ඇත්තේ ආගම් නොඅදහන අය බුද්ධිමත් කියාය.

එවැනි සරල කරුණක්වත් නිවැරදිව තේරුම්ගත නොහැකි වූ ඔබ අනිවාර්යෙන්ම ආගමක් අදහන්නෙකු බව පෙනේ.

ඔබ ඇසූ මෝඩ ප්‍රශ්නයට නොව මා ලියූ ප්‍රකාශයට හේතුව අවශ්‍ය නම් කියන්නම්.

1. යම්කිසි දෙයක් "ඇදහීමට" අවශ්‍ය වන්නේ එය විමසා බලා අවබෝධ කර ගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස "සර්වබලධාරි දෙයියා" යනුවෙන් සංකල්පයක් ඇත. එවැනි භූතයකු සිටීද යන්න අපට විමසා බලා අවබෝධ කරගත නොහැකිය. එනිසා එය "ඇදහීමට" සිදුවේ. එයින් පෙනෙන්නේ ඇදහීම යනු ස්වාධීන චින්තනයෙන් පරිබාහිර වූ පසුගාමී ක්‍රියාවක් බවයි.

2. ලෝකය පිළිබඳව, ලොව පවතින ආකාරය පිළිබඳව, මිනිසා පිළිබඳව, මිනිසා සහ මිනිස් සිත ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නොයෙකුත් දැනුම් පද්ධති බිහිවී තිබේ. මේවා ධර්මය ලෙස හැඳින්වේ. ධර්මය යනු තමන් විසින් විමසා අවබෝධ කරගත යුතු දැනුම් පද්ධතියකි. ඒවා, පෙර කී ආකාරයෙන් "ඇදහිය" යුතු දේ නොවේ.

3. මේ දැනුම් පද්ධති හෙවත් ධර්ම පදනම් කොටගෙන ආගම් යනුවෙන් හැඳින්වෙන සංස්ථා බිහිවී තිබේ. එවැනි යම් ආගමක් ඇදහිය යුතු යැයි පැවැසේ නම්, එය ස්වාධීන චින්තනයෙන් පරිබාහිර වූ පසුගාමී එකකි.

4. ආගම් අදහන පුද්ගලයින් මෝඩයින් වන්නේ ඒ නිසාය.

මා පළ කළ අදහස් ප්‍රශ්න කිරීමේ දී ඔබ කළ වරද මෙයයි.

"ආගම් අදහන පුද්ගලයින් මෝඩයින් ය" යන (සත්‍ය වූ) ප්‍රකාශයෙන් ආගම් නොඅදහන පුද්ගලයින් බුද්ධිමතුන් ය කියා අපෝහනය කළ නොහැක. අඩු වශයෙන් ආගම් නොඅදහන පුද්ගලයින් මෝඩයින් නොවේය කියා හෝ අපෝහනය කළ නොහැක.

එසේ කළ හැකි යැයි සිතීම ම, අතාර්තික අමන සිතුවිල්ලකි. හැබැයි ඔබට අවශ්‍ය නම්, එය එසේය කියා "ඇදහිය" හැක. එයට හේතුව නම්, මා පෙර විස්තර කළ පරිදි, යම්කිසි කරුණක් "ඇදහීම" සඳහා විචාර බුද්ධිය තිබීම හෝ අදාළ කරුණ තාර්කික වීම හෝ අනවශ්‍ය නිසා ය.

ඇය:
මම නම් ඇදැහුවෙ ප්‍රත්යක්ශයෙන් ඉන්නව කියල දැන ගත්තට පසුව. අනිත් අයත් ඒහෙමයි.

දැන් ඔබ දහමක් අදහන්නෙ ඒය විය හැකි දෙයක් දැයි නොදැන. Science අදහන්නෙත් ඒය අපිට උගන්වන නිසා.

ඔබ ඔබෙ බිරිද කියන දෙ අදහන්නෙ ඇය ඔබට විශ්වාස වන්ත නිසා. Faith කියන්නෙ ඒකට. ඔබල අදහනව කියන්නෙ පස්ස උඩ දාගෙන වදින ඒකටද? අපි අදහන්නෙ අපි ඒය තියන බව දැන ගත් පසු. ඒක නිසා තව සොයනව. ඒ තුලින්ම ගොස් විශ්වය ගවෙශනය කරනව.

ඒක බුදු දහමෙ නැත්තෙ, ඒය ප්‍රත්යක්ශ නැති නිසා. Practically කරන්න පුලුවන් නම් ඔවුනුත් ඒ faith ඒක තුලම තව ඉදිරියට ගොස් ගවෙශනය කරනව.

දැන්‍රම් පද්දතින් ලැබෙන්නෙ ගවෙශකයන්ට.. ඒ වගෙම තුනි මනසක් ඇති කෙලෙස් අඩු පුද්ගලයන්ට. අනිත් අයට දැනිම (දැනුම නෙවෙ) නැති නිසා ඔවුන් ඒවා ප්‍රතික්ශේප කරනව.

Cambridge books වලම තියනව scientific theories are base on their imaginations කියල. ඒව තමයි දැනිම. ඒහෙම යමක් සොයා ගත්ත අයත් මනස ඇරැනු පුද්ගලයන්.

දැන් ඔබ උගතෙක් උනෙ ඔවුන්ගෙ imaginations කට පාඩම් කර විබාග පාස් කරපු නිසා, මොකද බැරි? ඔබ කියනව අාගම් අදහන පුද්ගලයන් මොඩයන්ය.. ඒ නිගමනය හරිනම් , ඉලගට ඉතුරැ වන පාර්ශවය අාගම් නොඅදහන අය. ඒහෙනම් ඒ අය බුද්දිමත් විය යුතුයි.

අදත් ඇමරිකාවෙ Florida state ඒකෙ mass shooting ඒකක්. ඒ ආගමක් අදහන, ඒ විනයකට යටත් නැති අයෙක්. ඒහෙනම් ඒ කෙනාත් බුද්දිමතෙක්.

මම ආගමක් අදහනව. ඒහෙනම් මම මොඩයෙක්. ඒ ඔබෙ මතය. ඔබ නුවනැත්තෙක්.

බල්ලට පුසට අාගමක් නැහැ. ඔවුනුත් නුවනැත්තෙක්. ආගමක් බිහි වෙන්නෙත් ඒ පරිසරයෙ පුද්ගලයන්ගෙ state of mind ඒකට අනුව. ඒ ආගම් නිසා තමයි, මිනිසුන්‍ ගල් යුගයෙන් එලියට ආවෙ.

අපි සර්ව බලදාරි දෙවියන් දන්නව. අපෙ මනසෙම වැඩ සිටිනව. ගනුදෙනු කරනව. ඒ සියල්ම base on our own experiment. ඉතින් අපි අදහනව, මොකද දන්න දෙයකට faith ඒකක් තියනව. ඔබෙ ගෙදර ගැහැනිය විශ්වාස ඔබට මිසක් ඒහා ගෙදර මිනිහට නෙවෙ නේද? ඒහා ගෙදර මිනිහ ඇවිත් නිව්වොත්, "උඹෙ ගැනිව උඹට විශ්වාසද කියල? ඔයා කියය මගෙ ගැනි මට විශ්වාසයි උඹට පාන්ද? වැඩක් බලා ගනින් කියල😄"

අපෙ මනසෙ ඉන්න මගෙ දෙවියන් , බ්‍රහ්ම සහ මාර. (යම නැහැ. හිටපු ගමන් ඒ form ඒකත් ඒනව.😄) මම දන්නව නම් ඒකෙන් මම දෙවියන් කියන ඉහලම. ස්තරය අදහනව නම් අනිත් ඒවුන්ට පාන්ද? උඹලට නැහැ. මට ඉන්නව.

මම:
එක්කෝ ඔබ මා ලියූ පසු සටහන් දෙක කියවා නැත එසේ නැතිනම් එය කියවුවද ඔබට අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත.

සත්‍යය දෙවැන්න නම් එයට හේතුව ඔබ "ඇදහීම" කරන, ස්වාධීන චින්තනයක් නැති, පසුගාමී, අතාර්තික ආගමිකයෙකු නිසා යැයි මට නිශ්චිතව කිව හැක.
☹️

ඇය:
ඔබ මාව analyse කරෙත් ඔබගෙම මනසෙ තියන දත්ත මත. ඒ කියන්නෙ analyse උනෙ ඔබව.

මොකද මට මගෙම චින්තනයක් තියනව. ඒ වගෙම මගෙම ආගමකුත් තියනව.. ඒ නිරවුල් බව, නිදහස් මනස ලැබෙන්නෙත් කිතුනු මනසක් තියන අයකුට. කිතුනු නිකායන් සිය ගනනක් තියනව. ඒ වගෙම base on christian path, විවිද ආගම් පවා තියනව.

ඒක නිසා මගෙ නිදහස් මනසින් මම ආගමිකයන් දෙස බලනව. ඔබල තමන්ම කොටු කර ගත් රාමුවකට වි, මම කිසිම ආගමක් නොඅදහමි කියන ආගමට කොටුවි කිසිම චින්තනයක් නැති පිරිසක්ව සිටිනව.

චින්තනය නිදහස් නම් සර්ව ආගමිකයකු හො ව්ය හැකියි. ආගම් ගවෙශනය කරන්නකු විය හැකියි. බටහිර කිතුනු චින්තකයන් ඒහෙමයි. බෞද්ද ආසියාතිකයන් , වෙනස්. ඔවුන් තුල තියනව හින මානයක්. ඔවුන් වෙනස්. ඔවුන් දන් නැහැ ගවෙශනයක් කරල තමන්ටම අනන්නය වු කියවිමක් ආගම් ගැන දෙන්න. ඔවුන් දන්නෙ නොතෙරෙන හැම මගුලකටම හිනා වෙන්න. පරිබව කරන්න.

අන්ධ භක්තිය හෙවත් ඇදහිල්ල යනු මෝඩකම ම බව මට යළිත් පැහැදිළි විය.

-රසිකොලොජිස්ට්

(image: https://www.hrgrapevine.com/content/article/notion-2019-06-26-internal-coaching-are-you-relying-on-blind-faith)

Monday, 2 September 2019

කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage, Carlo Fonseka!


මේ දිගු කලකට පෙර වූ සිදුවීමකි. අනුමාන වශයෙන් කියනවා නම් 1993 හෝ 1994 වසරේ දී පමණය. කලින් වෙනත් තැනක ලියා පළ කර තිබුණු මේ රසවත් කතන්දරය නැවත ලියා අද මෙලෙස රසිකොලොජියේ ද පළ කරන්නට හිතුණු හේතුව ඔබ සැම දනී.

ඒ කාලේ මා පදිංචිව සිටියේ ඇතුල් කෝට්ටේ බංගලා හන්දිය අසල නිවසක ය. එක සති අන්තයේ දිනයක අපරභාගයේ දී මම බොරැල්ල බලා යන පුද්ගලික බසයකට ගොඩ නැගුනෙමි. ඒ බංගලා හන්දියෙන් බස් නැවතුමෙනි. ජයවර්දෙනපුර රෝහල ප්‍රදේශයෙන් ඇරඹෙන මේ බසය ඒවන විට මගීන්ගෙන් පිරී තිබුණු අතර ඉතිරි වී තිබුණු එකම ආසනයේ මම හොඳින් හරි බරි ගැසී වාඩි වුණෙමි.

බස් රථයේ ඊළඟ නැවතුම කොටු බැම්ම පාර හෙවත් රැම්පට් රෝඩ් අසල ය. එතැනින් මගීන් කිහිප දෙනෙකුම බසයට ගොඩ වූ අතර ඒ කිසිවෙකුට ආසන නොලැබුණි.ඒ අය අතුරෙන් එක පුද්ගලයෙකු පැමිණ මා අසුන්ගෙන සිටි ස්ථානයට නුදුරෙන් සිට ගත්තේ ය.

මැදි වයස ද පසුකරමින් සිටි ඒ පුද්ගලයාට තිබුණේ තරමක් දැක පුරුදු මුහුණකි. නමුත් ඒ කවුදැයි මට එක්වරම සිතා ගත නොහැකි විය.

ඔහුගේ මුහුණ ගැන සිතමින්ම දෙනෙත් එහා මෙහා කරන අතර මා දුටුවේ මේ පුද්ගලයාගේ අතේ තිබූ පොඩි ප්‍රමාණයේ ඉංග්ලිෂ් සඟරාවකි. "සිලෝන් මෙඩිකල් ජර්නල්" යනුවෙන් එහි සඳහන් විය.

මට එක් වරම මේ කවුදැයි වැටහිණි.

මේ වෙනින් කවුරුත් නොව කාලෝ ෆොන්සේකා ය!

එදින හැරුණු විට මා කාලෝ ෆොන්සේකාව දැක ඇත්තේ දින තුනක දී පමණි. ඉන් එක් දිනක් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විභාග ප්‍රතිඵල අනුමත කරන පරීක්‍ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණු දිනයකි. ඔහු එදා එහි පැමිණ සිටියේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති ලෙස ය. මා කාලෝ ෆොන්සේකාව දැක ඇති දෙවෙනි දිනය නම් 1994 මහ මැතිවරණයේ දී පොදු පෙරමුණට සහාය දීම සඳහා කලාකරුවන් නොහොත් නළාකරුවන් විසින් පිහිටුවාගත් සංවිධානක් මගින් නුගේගොඩ දී පැවැත්වූ ජන රැළියේ දී ය.

ඒ රැස්වීමේ දී කාලෝ ෆොන්සේකා සිත් ඇදගන්නා කතාවක් කළ බව මගේ මතකයේ ඇත. එහිදී ඔහු ගිනි ගන්නා ගෙයක් පිළිබඳව බුදුන් විසින් කියූවා යැයි පැවසෙන කතාවක් උදාහරණයට ගත්තේ ය පැවති යූඇම්පී ආණ්ඩුව වහා පලවා හැරිය යුතු යැයි පෙන්වා දීම සඳහා ය. තම මිතුරන් තමන්ව සරදමට හඳුන්වන්නේ ධම්මස්-සවන කාලෝ කියා බව ද එදා කාලෝ ෆොන්සේකා ම පැවසුවේ ය.

කාලෝ ෆොන්සේකා තරම් බණ දහම් මා නොදනිතත් මංගල සූත්‍රයේ එන පූජාච පූජනීයං වගේ යමක් කමක් මා ද දැන සිටි නිසා, මා කළේ අසුනෙන් නැගිට "වාඩි වෙන්න සර්" කියා අසුන ඔහුට පූජා කිරීමයි.

ඒ කාලයේ කාලෝ ෆොන්සේකාගේ වයස අවුරුදු හැටක් පමණ වෙන්නට ඇත. එය එතරම් නොහැකි” වයසක් නොවේ. එනිසා ම, මා ඔහුට මගේ ආසනය දීම ගැන ඔහුට තරමක ලැජ්ජාවක් ද ඇති වෙන්නට ඇත. කෙසේ හෝ කාලෝ ෆොන්සේකා මා දුන් ආසනය පිළිගත්තේ නැත. ඔහු එහි වාඩි නොවී පසෙකට විය.

එවිට ලැජ්ජා සිතුණේ මට ය. ඒ නිසා මා කළේ ආපසු අසුන් නොගෙන බසයේ ඉදිරියට යෑමයි. වෙනත් අයෙකු මා සිටි ආසනයේ වාඩි වෙනු මට ඇස් කොනකින් පෙනුණි.

තවත් ස්වල්ප මොහොතකින් අපේ බස් රථය කොට්ටේ පාරෙන් පාර්ලිමේන්තු පාරට අවතීරණ විය. සති අන්තයේ ඒ මාර්ගයේ තදබදයක් නොමැති අතර රියැදුරා රථය වේගයෙන් බොරුල්ල දෙසට ධාවනය කරන්නට විය.

වේගයෙන් ධාවනය වෙන රථවාහන තිරිංග තද කරන්නේ ද ඒ හා සමාන වේගයෙනි. ඊළගට එළැඹුණේ එවන් මොහොතකි. තරුණ මා ජාම් බේරා ගත්තෙමි. නමුත්, එක අතකින් ආසනයක කොනක් අල්ලා ගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නලය රඳවාගෙන සිටි කාලෝ ෆොන්සේකා විසිවී ගොස් කාගේ දෝ ඔඩොක්කුවක ඉන්ද වෙනවා පෙනුණි.

අනේ පව්!

"පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩි වුණා නම් ඉවරයි නේද සෑර්?" කියා මට හිතුණි. පොඩි හිනාවක් ද මගෙ මූණට නාවෙමත් නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාලෝ ෆොන්සේකා මුලින් සේවය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, භෞතවේදය දෙපාර්තමේන්තුවේ ය. අප දන්නා කාලේ සිටම ඔහු මහාචාර්යවරයෙකි. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එක යැයි එකල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන එහි කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් පිහිට වූ අවස්ථාවේ කාලෝ ෆොන්සේකා එහි පීඨාධිපති ලෙස සේවය ඇරඹුවේය.

පසු කලෙක, වයසට මොළේ කුරුවල් වීම නිසාත්, තමන්ගේ දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රතිපත්ති නිසාත්, කාලෝ ෆොන්සේකා දේශපාලනිකව නන්නත්තාර වූව ද, කොළඹ විශ්වවිද්‍යාලයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයට ගිය තවත් මහාචාර්යවරයෙකු වූ නලින් ද සිල්වා හා සසඳන විට දී නම් කාලෝ ෆොන්සේකා වීරයෙකි.

පදාර්ථය වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තිබෙන පාරිභාෂික වචනයක් යොදා ගීතයක් ලිවීම ම කාලෝ ෆොන්සේකාගේ එක් වීරකමකි. අම්මා ගැන කියවෙන "පදාර්ථයට" පණ පොවා යන ඒ ගීතය අඩංගු වූයේ කාලෝ ෆොන්සේකා ලියූ ගී සහිත "කාලෝ-චිත" ගී කැසට් පටයේ ය. අවාසනාවකට මෙන් "පදාර්ථයට" පණ පොවා ගීතය ජනප්‍රිය නොවුණි. එසේ නමුත්, ඒ ගී එකතුවේ ම අඩංගු වූ "රත්තරං දුවේ" ගීතය නම් ඉතා ජනප්‍රිය විය.

බයි බායි කාලෝ ෆොන්සේකා.

බොන් වොයාජ්!

(image: https://kathandara.blogspot.com/2009/07/blog-post_11.html)

Sunday, 1 September 2019

බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" novel


මා ප්‍රිය බිරිඳ පසුගිය දා පොතක් ලියා පළ කළා ය.

එය නවකතාවකි. එහි නම "Lost in Floral Rain" ය. එයින් හැඟෙන පරිදි මෙය ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයකි.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී, සරසවි පොත් සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වුණු "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථයේ පිටපත් රට පුරා විහිදී ඇති එම සමාගමේ පොත්හල්වලින් මිලට ගත හැක.

මෙම කෘතියේ ශ්‍රී ලාංකික දොරට වැඩුම 2019 අප්‍රියෙල් මස 20 දා, සෙනසුරාදා, රාත්‍රියේ පිළියන්දල මඩපාත තොටුපල හෝටලයේ දී, ආරාධිත ඥාතී හිත මිතුරන් සමූහයක් අභිමුඛයේ දී පැවැත්විණි.

"ලොස්ට් ඉල් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථය සහ එහි කතුවරිය පිළිබඳව ලියවුණු සාකච්ඡාමය ලිපියක් ඩේලි නිවුස් පුවත්පතේ ඉන් දින කිහිපයකට පසුව පළ විය. https://lostinfloralrain.blogspot.com/2019/05/feature-article-in-daily-news-of.html

පුෂ්පා සූරියආරච්චිගේ නවකතාව පිළිබඳව මුල්ම විචාරය ලියවුණේ එහි අත්පිටපත කියවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්ලිෂ් භාෂා අංශයේ මහාචාර්ය කාමන් වික්‍රමගමගේ අතිනි. එම විචාරය ද ඩේලි නිව්ස් පුවත් පතේ පළ විය. http://www.dailynews.lk/2019/05/29/tc/186812/fond-memories-childhood

ඩේලි නිව්ස් පුවත් පතට තවත් විචාරයක් සපයා තිබුණේ, "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතියේ මුද්‍රිත පිටපතක් කියවූ කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය කමණී ජයසේකර විසිනි. http://www.dailynews.lk/2019/07/17/tc/191278/petal-reading-experience

මෙම කෘතියේ ඕස්ටේ‍ර්ලියානු දොරට වැඩුම පැවැත්වුණේ 2019 ජූලි 14 දින දී ය. නමුත් ඊට පෙර පුෂ්පා සූරියආරච්චි සේවය කරන ස්ථාන ද්වයක (හොක්ස්බරි රෝහල සහ මින්චින්බරි රෝහල) ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සව සංවිධානය කර තිබුණි.

ඒ එක් උත්සවයක් පිළිබඳව සිඩ්නි තදාසන්න ප්‍රාදේශීය පුවත්පතක පළවුණු විස්තරයක් දුටු සිනුවර වෙසෙන ශ්‍රී ලාංකික පුවත්පත්කලාවේදියෙකු වන නුවන් ගන්කන්ද විසින් සති අග අරුණ පුවත්පතට ලිපියක් ද සපයා තිබුණි. http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=90e0ce3f

"ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.

මෙන්න ඒ විස්තර නැවතත්.

බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අකර්මන්‍ය වී තිබූ මගේ බ්ලොග් කෙරුවාව, අද 2019 සැප්තැම්බර් පළමුවෙනිදා, මෙසේ යළි ඇරඹේ.

(image: )