මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday, 17 September 2019
"ඉම තව දුර ය" - A note about a book launch
දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.
එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.
ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:
මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න
ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.
මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.
ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.
පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.
එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.
ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.
පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.
මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.
Subscribe to:
Post Comments (Atom)
සභා ගැබේ ඔබ සිටිනු දකිද්දී කාලෙකින් සමීප නෑයෙක් දැක්කා වගේ සතුටක් දැනුණා. කතාවක් පැය ඉක්මවද්දි අසා සිටින අයට අපහසුයි තමයි. එදා සිදුකළ කතාවල අන්තර්ගතයේ වැදගත්කම නිසා ඒ අපහසුව බොහෝ දෙනෙක් උපෙක්ෂාවෙන් විඳ දරාගත්තා කියල මට හිතෙනවා.
ReplyDeleteගංවතුරෙ පීනලා
ReplyDeleteපීනලා හරි එන්න
කම්බියේ වාරුවෙන්
ගඟ දියෙන් ගොඩ වෙන්න
නංගියේ මල්ලියේ
ඈත ගම් වල ඉන්න
එන්න කොළඹට ඇවිත්
කෑම වේලක් කන්න
නෙළුම් කුලුනට ඇවිත්
(මාටියා කුලුන නම්)
වරක් ගොඩ වී යන්න
දොරට වැඩුමට නම් ආවේ නැහැ. ඒත් මෙහෙම කෙලින්ම අදහස් කියන එක දැක්කාම හරි සතුටුයි!
ReplyDelete