Thursday, 26 December 2024

කසුන් හීනටිගල, ශක්තික සත්කුමාර සහ පොලීසියට ආයුධ පෙන්නන්නට යෑම - A long way to go


අර පොලිසියේ අතවරයට ලක් වී ඇති කසුන් හීනටිගල තරුණ පියා ගැන සඳහන් වෙන අපූරු සටහනක් දුටිමි.

එහි පොලිසියෙන් කරන ලද බව කියවෙන කටයුතුවලට විරුද්ධව කතා කරන ගමන් සයිඩ් එකෙන් නිකමට මෙන් කියා තිබුණේ “ඒ වුණාට අනේ කසුන් ඒ කාලේ ලියපු කවි හරි අනුකාරකයි, ඒ එක්කම ඔහු විසින් ලියන ලද පොතෙත් මෙලෝ රහක් නැහැ” කියා ය.

එවිට මට සිහි වූයේ මීට වසර හයකට පමණ පෙර “අර්ධ” නම් කෙටිකතාවක් ලියා ෆේස්බුක් එකේ පළ කිරීමේ වරදට මා මිත්‍ර ශක්තික සත්කුමාර ලේඛකයා දීර්ඝ කාලීන අත් අඩංගුවට පත් වූ අවස්ථාවයි.

එයට විරෝධය පෑමට බොහෝ දෙනෙකු තම තමන්ට හැකි අයුරින් කටයුතු කළහ. මම විරෝධය දක්වන කෙටි සටහනක් ද සමග ඔහුගේ එම කෙටි කතාව මගේ බ්ලොගයේ පළ කළෙමි.

තවත් සමහරු විරෝධය දක්වමින් ලිපි ලිවූහ. ඒ සමගම පිරිසක් එකතු වී විරෝධය පෑමට පුවත්පත් සාකච්ඡාවක් ද සංවිධානය කර තිබුණි.

මෙහි දී මා නිරීක්ෂණය කළ සුවිශේෂී කරුණක් නම් ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම පිළිබඳව සහ ඒ වෙනුවෙන් වෙනත් කරුණක් සඳහා පනවා තිබුණු නීතියක් අවභාවිතා කිරීම පිළිබඳව විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කරන අතර දී සමහර දෙනෙකු “ඒ වුණාට ඔය කියන ~අර්ධ~ නම් කෙටිකතාව නම් එතරම් සාහිත්‍ය රසයක් තිබුණු එකක් නොවේ” යනාදී වශයෙන් සයිඩ් එකෙන් කෝචොක් කිරීමක් ලෙස ද සැලකිය හැකි ප්‍රකාශයක් කිරීමයි.

එයින් ඔවුන් අදහස් කරන්නට ඇත්තේ “අපි ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටිය ද ඔහු අප තරම් උසස් ලේඛකයෙකු නොවේ” කියා විය යුතුය.

සිදුව ඇති අසාධාරණයක් ගැන කතාකරද්දී අගතියට පත් වූ තැනැත්තාගේ සාහිත්‍ය නිර්මාණ ගැන විචාරක් කිරීම අත්‍යාවශ්‍ය ද?

අනේ මන්දා?

ඒ සමගම තවත් වැදගත් කරුණක් ද දැඩි කනගාටුවෙන් කිව යුතුය.

එනම්, කසුන් හීනටිගල සම්බන්ධ ප්‍රශ්නයේ දී “ඕකා තමන්ගේ බිරිඳ ගැනයි, මාමණ්ඩිය ගැනයි, විස්කිරිඤ්ඤ ගැනයි පොර ටෝක් දෙන්න ඇති පොලිසියට," යනාදී වශයෙන් පවසා "ඒ නිසා ඔහොම වෙච්ච එක හොඳ වැඩේ” යැයි ඉඟියෙන් පවසන අය සහ මීට අවුරුදු කිහිපයකට පෙර ලංකාව පුරා ව්‍යවසනයක් ලෙස පැතිර ගිය අපරාධ ගැන සැකකරුවන් පොලිසියට ආයුධ පෙන්නන්නට කියා රැගෙන ගොස් මරා දැමීම පිළිබඳව සාධාරණීකරනය කරමින් කතාකළ පුද්ගලයින් අතර යම් සමානත්වයක් ඇති බවයි.

තිස් වසරක යුද්ධයෙන් ද, ඉන්පසු තවත් වසර පහළොවක අනීතික පාලනයකින් ද පීඩාවිඳ ඇති සිත් සතන් සුවපත් වීමට ඒ හා සමාන දිගු කාලයක් වුව ගතවුණොත් එය පුදුමයක් නොවේ.

- රසික සූරියආරච්චි

(image: Generated using Microsoft Designer AI application)

Tuesday, 24 December 2024

ජැක්සන් ඇන්තනි බෑනාගේ ප්‍රශ්නය පිළිබඳව මගේ උගත්, ධනවත් මිත්‍රයෙකු කී දේ - Jackson-son-in-law


අතුරුගිරිය ප්‍රදේශවාසී තරුණ සැමියෙකු මෙන්ම පියෙකු ද වන, එමෙන්ම හිටපු කවියෙකු ද, පොතක් රචනා කළ අයෙකු ද බව හීනටිගල වැනි නමක් ඇති පුද්ගලයෙකුට ප්‍රදේශයේ පොලිසියෙන් කරන ලද අඩන්තේට්ටම් සහ අනවසර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සිද්ධිය සහ එයින් මතුවුණු වෙනත් සමාජ මාධ්‍ය කතිකාවක් පිළිබඳව මගේ අදහස පසුගිය දිනයක ලියා පළ කළෙමි.

මගේ ඒ සටහනට මූූලාශ්‍ර වූයේ හීනටිගල විසින් ෆේස්බුක් එකේ ලියා පළ කර තිබූ සටහනක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කිහිපදෙනෙකු විසින් ලියා තිබූ අවලාද, අපහාස සහ සරදම් වැකි කිහිපයක් පමණි.

ඊට පසු දින ලංකාවේ වාසය කරන මගේ මිත්‍රයකු මා සමග මේ පිළිබඳ ව ඔහුගේ අදහස් දැක්විය.

මේ සටහන ලියන්නට සිතුනේ ඒ නිසායි.

මගේ මිත්‍රයා පවසන පරිදි මේ අවස්ථාවේදී හීනටිගල තරුණ පියාව මේ කාරණයේ දී අත්අඩංගුවට ගැනීමට මූලික හේතු දෙකක් තියෙන්නට ඇත.
  1. පොලිස් කාරයින් බීමතින්ව සිටීම
  2. පොලිස්කාරයින් විසින් තරුණ පියාගෙන් හැදුනුම්පත ඉල්ලූ විට ඔහුට එයට යටහත් පහත්ව පිළිතුරු දෙනු වෙනුවට, කඩේ යන්න කාඩ් එක ඕනෑ ද? ඇයි මාව අඳුනන්නේ නැද්ද? යනාදී වශයෙන් පිළිතුරු දීමයි.
තමන් මේ තත්ත්වයට මුහුණ දුන්නා නම් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දශක හතරක් පමණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති, ජ්‍යේෂ්ඨ සිවිල් ඉංජිනේරු උපදේශකයෙකු වන, යාන වාහන හිමි, උගත්, ධනවත් මිතුරා මා සමග කී දේ දළ වශයෙන් මෙසේය.
රෑ යාමේ පයින් යන විට පොලිසියෙන් මගෙන් අයදුම්පත ඉල්ලා නැති වූවත්, පසුගිය අවුරුදු තිහකට පමණ ආසන්න කාලය තුළ මා වාහනයෙන් ගමන් බිමන් යද්දී අවස්ථා ගණනාවක දී ම පොලිසිය විසින් මගේ වාහනය නවත්වන්නට සංඥා කර තිබෙනවා.

එවිට මා කරන්නේ හැකි ඉක්මනින්, ඒ ආසන්න තැනක ප්‍රවේශමෙන් වාහනය නවත්වා, වහාම දොර ඇර වාහනයෙන් එළියට බැස, පොලිස්කාරයින් සිටින දෙසට යෑමයි.

එසේ නැතුව කිසි දිනක මා ඔවුන් වාහනය අසලට එනතුරු ඉන්නේ නැහැ.

එයින් පමණක්, ප්‍රශ්නයෙන් බාගයක් විසඳෙන අතර අනවශ්‍ය අමතර ප්‍රශ්න පැනනැගීම ද සහමුලින්ම නැති වෙනවා.

ඒ සමගම ඔවුන් කියන දෙයට මා සාවධානයෙන් සවන් දෙනවා. යමක් කියන්නට අවශ්‍ය නම් පමණක් පවසනවා. අවශ්‍ය වුවහොත් පමණක් රාජකාරී හැඳුනුම්පත ලබාදෙනවා.

එමගින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීමටත්, මා අතින් වරදක් වී ඇතිනම් අඩුම පාඩුව සහිතව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමටත් හැකිවෙනවා. මා දඩයක් කියා ගෙවා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පිටවෙන විට, ඇතුල්වුණු වේලාව අනුව වේග සීමාව ඉක්මවා ගියා යැයි එක් දිනයක නියම වූ දඩය පමණයි.

මා රියැදුරා සමඟ රාජකාරී ගමන් යන විටත් ඔහුට කියන්නේ ද හැමවිටම එසේ කරන්නට කියායි.

මගේ මිතුරා මා සමග පැවසූ පරිදි ඔහු කිසි දිනක කිසිම ට්‍රැෆික් පොලිස්කාරයෙකුට කිසිදු පගාවක් දී නෑ.

මගේ උගත්, ධනවත් මිතුරා මේ කරන්නේ කුමක් දැයි අමුතුවෙන් පහදා දිය යුතු නැත. එය මනෝවිද්‍යාත්මකව ප්‍රශ්ණ විසඳීමේ එක් ක්‍රමයකි.

එසේම, මෙවැනි අවස්ථාවක දී මගේ හැසිරීම නම් මගේ මිතුරාට වඩා වෙනස් බව කිව යුතුය.

මගේ මිතුරා හා මා සමවෙන්නේ පගා නොදීම සම්බන්ධයෙන් පමණි.

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මේ සිදුවීම ගැන මා ලියූ මුල් සටහන.
ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?
https://rasikalogy.blogspot.com/2024/12/what-cuel-world.html


ප/ප/ලි:
අතුරු ප්‍රශ්නයක්
ජැක්සන් යනු ජැක් ගේ සන් හෙවත් ජැක් ගේ පුත්‍රයා ය.
එතකොට ජැක්සන් ගේ පුතා කවුද? ජැක්සන්සන් ද?
(image: Generated using Microsoft Designer AI service)

Sunday, 22 December 2024

ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?


අතුරුගිරිය ප්‍රදේශයේ වෙසෙන තරුණ පියෙකු තම නිවස ඉදිරිපිට කඩයකට ගොස් ආපසු එන විට ඔහු නවතා ඇති පොලිස්කාරයින් දෙදෙනෙකු ජාතික හැඳුනුම්පත තිබේදැයි විමසා එය මේ පුද්ගලයා අතේ ඒ මොහොතේ නොතිබීමේ වරදට ඔහුව හිංසාකාරී ලෙස පොලිසියට රැගෙන ගොස් තිබේ. එහි දී ඔහුට සහ පසුව ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන පොලිසියට පැමිණි බිරිඳට අපහාසාත්මක ලෙස බැන වැදී ඇති බව ද කියවේ.

මෙහි ඇති අවාසනාවන්ත ගැලපීම නම් මට මේ ප්‍රවෘත්තිය අසන්න ලැබුණේ ඊට පෙරදා ජනාධිපති දිසානායක විසින් රාජ්‍ය සේවකයින් පිරිසක් අරඹා කළ කතාවේ දී සාමාන්‍ය මහජනතාව තුළ පොලිසිය ගැන ඇත්තේ කවර ආකල්පයක් ද යන්න පවසනවා අසා සිට මොහොතකට පසුව වීමයි.

තම බලය අනිසි ලෙස යොදවා ඇති මෙවැනි පොලිස්කාරයින්ට නිසි දඬුවම් ලබාදීම ඔවුන්ට මෙන්ම අනෙකුත් සියලු දෙනාට ම ආදර්ශයක්, පාඩමක් වෙනු ඇත.

නමුත් පොලිසිය නීතිගරුක කිරීම නම් ලේසි පහසු වැඩක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. පොලිසියට බැඳී සේවය කරන්නේ ද ලංකාවේ ම මිනිසුන් නිසා පොලිසිය හරි මගට ගැනීමට නම් වෙනත් රටකින් පොලිස්කාරයින් ගෙන්වීමට සිදුවෙනවා ඇත.

කෙසේ වෙතත් මා මේ සටහන ලියන්නේ ඒ ගැන කීමට නොවේ.

මෙසේ තාවකාලිකව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ මියගිය ජැක්සන් ඇන්තනි දියණිය බව කියැවේ.

ෆේස්බුක් එකේ මේ ගැන විවිධ පුද්ගලයින් දැක්වූ අදහස් කිහිපයක් කියවීමේ දී මට තේරුනේ අතුරුගිරිය පොලිස් ස්ථානයේ පමණක් නොව ෆේස්බුක් වාසී ජනතාව අතර ද මේ පොලිස් අතවරයට ලක්වූ පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට, ඇතැම් විට අපහාස ලෙස ද සැලකිය හැකි, සරදම් වදන් කියන්නන්, අවලාද නගන්නන් සිටින බවයි.

එයට මූලික හේතුව ලෙස මට පෙනුනේ ඔවුන් මියගිය ජැක්සන් ඇන්තනි සමග ඇති සම්බන්ධයයි.

ජැක්සන් ඇන්තනි ගේ දේශපාලන ක්‍රියා පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ කිසිදු ප්‍රසාදයක් නැති වුව ද ඒවා ඔහුගේ දරුවන්ට ආරූඪ කර අවලාද නැගීම, සරදම් කිරීම හෝ අපහාස කිරීම යෝග්‍යයි මම නොසිතමි.

ඊටත් වඩා මා පුදුමයට පත් වූ කරුණක් වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙස කාන්තාවන් පවා ජැක්සන් ඇන්තනි ගේ මේ දියණිය කලින් විවාහ වී සිට ඇති බව සඳහන් කරමින් ඒ හා සම්බන්ධ අවලාද, සරදම් සහ අපහාස නඟා තිබීමයි.

ඒ දැක මට තිබූ සිතුණේ ඇතැවිට ඒ අවලාද සරදම් ප්‍රකාශ කළ කාන්තාවන්ට ජැක්සන් ඇන්තනි දියණිය සම්බන්ධයෙන් යම්කිසි ඇරියස් තියෙනවා විය හැකි බවයි.

යමෙකු පෙම් සබඳතාවක් ඇතිකර ගන්නේ, විවාහ වෙන්නේ මද කලකට පසු ඉන් මිදී වෙනත් පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට හෝ වෙනත් අයෙකු සමග විවාහ වීමට සැලසුම් කර නොවේ.

පෙම් සබඳතා කිහිපයක් යමෙකුට තිබුණා කියා හෝ යමෙකු කිහිප වරක් විවාහ වුණා කියා හෝ ඇසුණු විට අප කළ යුත්තේ ඔහු හෝ ඇය පිළිබඳව කෝපයට පත්වීම නොව ඔවුන්ට අනුකම්පා කිරීමයි.

ඒ බව දන්නේ පෙම් සබඳතාවයක් කැඩී දුක් විඳි අයෙකු පමණි. එසේම විවාහයක් කැඩීගිය අයෙකු පමණි.

මේ වන තම හතරවෙනි භාර්යාව සමග පවුල් කන අයෙකු ගැන මම දනිමි.

ඔහු පිළිබඳව මගේ අදහස නම් ඔහුට තම පළවෙනි භාර්යාව සමඟ දිගටම පවුල් සංස්ථාව පවත්වාගෙන යාමට හැකියාවක් තිබුණා නම් කිසිසේත්ම ඇගෙන් දික්කසාද වී, (කාලයක් තනිකඩව සිට,) පසුව වෙනත් අයකු හා විවාහ නොවන බවයි.

දෙවන විවාහය නම් ඔහු අතින් සිදු වූ වරදක් විය හැක. ටික කලකට පසු ඔහුට එම බිරිඳගෙන් වෙන්වීමට සිදුවිය.

තවත් කලකට පසු ඔහු විවාහ වූ නමුත් ඒ තුන්වෙනි විවාහය ද පැවැතියේ අවුරුදු කිහිපයක් පමණි. එයනම් ඉතා කණගාටුදායක කරුණකි.

කෙසේ වෙතත් එම විවාහය සාර්ථකව පවත්වාගෙන යාමට හැකිව්වානම් ඔහු සිව්වෙනි විවාහයක් ගැන කිසිසේත්ම නොසිතනු ඇතැයි යන්න මගේ අදහසයි.

ජැක්සන් ඇන්තනි ගැන මා දැන සිටිය ද, ඔහු සම්බන්ධ ලිපි කිහිපයක් (විස්තර පහත දී ඇත) ලියා තිබුණ ද, ඔහුගේ මේ දියණිය ගැන කිසිදු විස්තරයක් මම නොදනිමි.

නමුත් ඇය එක් විවාහයකට වඩා බැඳී ඇතිනම් ඒ ගැන ඇයට සරදම් කිරීම, අවලාද කීම, හෝ දෝෂාරෝපණය කිරීම නොහොබිනා කටයුත්තකි යන්න මගේ අදහසයි අවංක අදහසයි.

- රසික සූරියආරච්චි ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


6. ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience
https://rasikalogy.blogspot.com/2022/07/near-miss-wild-elephant-experience.html
(image: Created using Microsoft Designer)

Saturday, 14 December 2024

රන්වල ප්‍රශ්නය සහ හිත හොඳ යාලුවෝ - I am glad that it is over!


අනවශ්‍ය පරිදි කල් අදිමින් සිට, ගංවතුර නහයටත් වඩා උඩින් ගිය පසු වුවද, දැන් ඉතින්
රන්වල ප්‍රශ්නය
අප බලාපොරොත්තු වූ ආකාරයටම විසඳී ඇති බව පෙනී යන නිසා මේ දෙසැම්බර් 13 වැනිදා සවස් යාමයේ මෙය ලියා පළ කර යුතු ම යයි සිතමි.

තමන්ට ආචාර්ය උපාධියක් හෙවත් ඩොක්ටරේට් එකක් හෙවත් PhD එකක් ඇති ඇයි සැලකෙන ප්‍රකාශ නිකුත් කරන විට නිහඬව සිටිමින් වක්‍රාණුකාරයෙන් ඒවා අනුමත කරමින් අශෝක රන්වල ස්වයං ඝාතනයක් කරගත්තේ ය.

නමුත් එයින් ම අප වටහා ගත යුතු අනිත් කාරණය නම් ඔහුට ඔහුට එවැනි උපාධියක් හෝ එවැනි සුදුසුකමක් නොතිබුණු බවයි. එසේ තිබුණා නම්, එවැනි උපාධියක් ලබා ගැනීම පිළිබඳ ඔහුට අවබෝධයක් තිබිය යුතුය. එනිසා ම, තමන්ට එවැන්නක් නොමැති බව අතැඹුලක් සේ වැටහිය යුතුය.

මට දැනගන්නට ලැබුණු ආකාරයට අවසාන මොහොතේ ද ඔහු පවසා තිබෙන්නේ "මට අහවල් විශ්වවිද්‍යාලයෙන් අහවල් කාරණය සඳහා පී.එච්.ඩී, එකක් ලැබීමට නියමිතව තිබුණා, නමුත් ඒ සහතිකය තවම ලැබී නැත", හෝ අන්න ඒ ආකාරයේ වෙනත් දේ බවයි.

මා මේ සටහන ලියන්නට පටන් ගත්තේ රන්වල ගැන ලියන්නට නොවේ වෙනත් මා හොඳින් දන්නා කාරණයක් ගැන ලියන්නටයි.

එනම්, සමහර පුද්ගලයින් අශෝක රන්වල පත්වූ ආකාරයේ අසීරු අවස්ථාවලට පත්වන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොව, ඔවුන්ගේ මිතුරන්වන හෝ ඔවුන්ගේ යහපත ගැන සිතන, කාරුණික හදවත් ඇති නිසාම අනවශ්‍ය දුරකට ගොස් සහයෝගය දැක්වීමට උත්සාහ කරන පුද්ගලයින් නිසා බවයි.

මෙන්න ඒ පිළිබඳව මගේ හොඳ අත්දැකීමක් ඇති කතාවක්.

මා ඉතා හොඳින් දන්නා තම මූලික උපාධියෙන් පසු පශ්චාත් උපාධි මෙන්ම හෙවත් ආචාර්ය උපාධියක් ද ලැබු අයෙකු සිටී. ඔහු මේ කියන කාලේ විශ්ව විද්‍යාලයක සේවයට කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසිනි.

ඒ දිනවල පළ වූ ප්‍රකාශනයක, මෙය ඇත්තෙන්ම සමරු කලාපයකි, ඔහුගේ නම ඉදිරියෙන් "මහාචාර්ය" යන පදවිය යොදා තිබෙනු මා දුටුවෙමි.

මේ කියන මගේ මිතුරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බව මා හොඳින් දන්නා නිසා සමරු කලාපය නිෂ්පාදනය කිරීමට අදාළ ව්‍යාපෘතියේ කළමනාකරුගෙන් මම මේ පිළිබඳව විමසීමි.

ඇත්තටම මා මුලින්ම සිතුවේ මගේ මිතුරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරෙන් මහාචාර්ය තනතුරට උසස්වීමක් ලබා ඇති සේය. ඔහුට එම උසස් වීම පිළිබඳව සුබ පැතුම් පණිවිඩයක් යැවීමට ඔහුගේ විශ්වවිද්‍යාල වෙබ් පිටුවට ගිය විටයි මා දුටුවේ ඔහු තවමත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු බව.

සමරු කලාපය සෑදූ පුද්ගලයා මා සමග කීවේ අපූරු කතාවකි.

"මං තමයි ඒ Professor කියන නම එකතු කළේ. දැන් අපේ යාලුවා ෆොෆෙසර් වෙන්න කාලය එළඹිලායි තියෙන්නේ!"

හොඳ වෙලාවට ඒ සමරු කලාපය වැඩිදුර සංසරණය වූ එකක් නොවිණි.

එසේ නොමැති වූවා නම්, අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මිතුරාට මහා අබැද්දියක්ට මුහුණ පෑමට සිදුවෙනවා නියතය.

මන්ද යත් අද, අවුරුදු පහළොවකට පසුව ද ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බැවිනි.

මෙහිදී මතක් කළ යුතු වැදගත් කරුණක් ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම, සහාය මහාචාර්ය සහ මහාචාර්ය යනු රැකියා නාම වේ.

ඒවා වැදගත් වන්නේ විශ්ව්විද්‍යාලය ඇතුළේ ය. ගෙදර ගිය විට, ගොස් කවියක් ලියනවිට, ව්ශ්‍රාම ගිය විට, ඒවා අදාල නැත.

- රසික සූරියආරච්චි

ප/ලි:
තවත් කතාවක් ඇත, එය මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තේය. පසුව ලියමි.

(image: AI generated)

Saturday, 7 December 2024

ගරු කථානායක රන්වල - Honorable Speaker Ranwala


මහචන්දයෙන් පසු අලුත් පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර දිනය වෙන්න තෙක්ම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කවුරුන් පත්වේ දැයි දනන් තුඩ තුඩ රැව් දුන් සාකච්ඡාවක් තිබිණ.

ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් වූ, ඇත්තටම එහි ලේකම් මෙන්ම කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත් පත් වී තිබුණු වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ද වූ නිහාල් අබේසිංහ ඒ වෙනුවට පත්වෙනු ඇතැයි ද, ජනතා විමුක්ති පෙරමුණේ පැරණිතම පාර්ලිමේන්තු මන්තිරියා වූ නිහාල ගලප්පත්ති ඒ තනතුරට පත්වෙනු ඇතැයි ද, ඊට පෙර, බිමල් රත්නායක කථානායක ලෙස පත් කෙරෙනු ඇතැයි ද යනුවෙන් විවිධ ආරංචි පැතිර ගියේය.

නමුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නට පෙර දින සවස් කාලයේ ස්ථීරවම ලැබුණු ආරංචිය වූයේ අශෝක රන්වල නමැති ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී තිබුණු අයෙකු මේ තනතුර සඳහා පත්වීමට නියමිත බවයි.

ඒ නම මා අසා නොතිබුන නිසා වහාම ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් මේ රන්වල යනු කවුදැයි සොයා බැලුවෙමි.

මට දක්නට ලැබුණු විශ්වාස කළ හැකි තොරතුරු මූලාශ වූ විකිපීඩියාව සහ ලින්ක්ඩ්-ඉන් අඩවි අනුව මට පෙනී ගියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, ජපානයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හෙවත් පී.එච්.ඩී උපාධියක් ලැබූ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ අයකු වන බවයි.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ම උපාධිය ලබා ඇත්තේ 1983 දී බව කියවිණි. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු හැටපහක් පමණ වන බව තීරණය කළ හැකිවිය.

එනම් මේ අශෝක රන්වල යනු, ජනාධිපති අනුර කුමාර දිසානායකට වඩා පක්ෂය තුළ සෑහෙන ජ්‍යෙෂ්ඨයෙකි. සමහර විට ටිල්වින් සිල්වා තරමටම ජ්‍යේෂ්ටයෙකි.

අප ඔහුගේ නම අසා නොතිබුන ද, ඔහු තිරයෙන් පිටුපස මෙන්ම ඉදිරියේද ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු අයෙකු බව වෙනත් විස්තර අනුව පැහැදිලි විය. එනම් පසුගිය කාලය තුළ ඔහු තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයකු ලෙස ද, එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කර තිබේ.

කෙසේ වෙතත් අශෝක රන්වල යනු ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති උගත් අයෙකු බව පෙනුන නිසා මම ෆේස්බුක් එකේ පහත සඳහන් කෙටි සටහන පළ කළෙමි.


මා ඒ සටහනෙන් අදහස් කළේ, මූලිකවම සම්ප්‍රදායානුකූල පරිපාලන කටයුත්තක් වෙන කතානායක තනතුර වෙනුවට ඔහුට වෙනත්, රටට වැඩදායක වන, වගකීමක් බාර දිය හැකිව තිබුණු බවයි.

පාර්ලිමේන්තුව රැස්වූ මුල් දිනයේ දී තම රාජකාරිය කිරීමේ දී ඔහු දැක්වූ ආධුනිකකම, බියගුළුකම මෙන්ම ඒ තනතුරට මා පත්වූවා නම් කිසිසේත් ම නොකරන දේ, එනම් තුවාය ඔලුව වටා ගැට ගසා ගැනීම සහ පාර්ලිමේන්තුව ඇතුලේ සිටි මනුස්සයා වාහනයක එළියට ගොස් ආපසු හැරී නැවත පාර්ලිමේන්තුවට ම පැමිණීම වැනි දේ, කිරීම නිසා ඔහු පිළිබඳව තරමක විහිළු සහගත අප්‍රසන්න භාවයක් ද, අකැමැත්තක් ද, ඇති නොවුනා නොවේ.

මා අශෝක රන්වල පිළිබඳව ඉන් පසු, ඊට වඩා සොයා බැලීමට වෑයම් නොකළත් ඊළඟට එළැඹුණු දින කිහිපය තුළ මට 1983 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ මිතුරෙකු කළ ප්‍රතිචාරයකින් දැනගනිමට ලැබුණේ ඔහු සමග විශ්වවිද්‍යාලයෙන් පිටවුණු පිරිස අතර රන්වල ලා සිටියත් ඔවුන් සිවිල් ඉංජිනේරුවන් බවයි.

ඒ සමගම අසූවේ දශකයේ අග භාගයේ සිට කලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ, වෘත්තයෙන් ඉංජිනේරුවෙකුවන මා මිතුරෙකුගෙන් මට දැන ගැනීමට ලැබුණේ අශෝක රන්වල පිරිපහදුවේ දී වෘත්තීය සමිතිය නායකයකු ලෙස පෙනී සිටියේ සංස්ථා පිරිපහදු සේවකයින්ගේ සංගමයේ නියෝජිතයකු ලෙස මිස ඉංජිනේරුවන්ගේ වෘත්තීය නියෝජිතයකු ලෙස නොවන බවයි.

එනිසා ඔහු මොරටුවේ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු යැයි සඳහන් කර තිබුණ ද ඔහු ඇත්තටම ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෙවත් එන්.ඩී.ටී. පාඨමාලාව හැදෑරූ අයෙකු යැයි අප දෙදෙනා නිගමනය කළෙමු.

ඇත්තට ම ඊට දින කීපයකට පසු විකඩියාවේ මා දුටුවේ ද එයයි.


එම සටහනේ තිබුණු එක අවුලක් නම් එහි Institute of Technology යනුවෙන් තිබුණු සඳහනයි. එය මෑතකාලීනව පිහිට වූ ආයතනයක් මිස අශෝක රන්වල මොරටුවේ ශිෂ්‍යයෙකුව සිටියා නම් ඒ කාලයේ කිසිසේත්ම තිබුණු ආයතනයක් නොවේ.

නමුත් අද මේ මොහොත දක්වා ම දක්වාම අශෝක රන්වලගේ පුද්ගලික ලින්ක්ඩ්-ඉන් පිටුවේ පෙන්වන්නේ ඔහු රසායන විද්‍යාව පිළිබඳව උපාධිධාරියකු බවයි.


එය වෙනස් කර නොමැත.

නමුත් එම ලින්ක්ඩ්-ඉන් පිටුව ද වෙනත් අයකු විසින් සාදන ලද්දක් බවට සැක කළ හැක. එයට හේතුව හේනේගම මධ්‍යම මහා විද්‍යාලයේ දී රන්වල ඉගෙන ගෙන ඇත්තේ කම්බයින්ඩ් මැතමැටික්ස් යැයි එහි සඳහන් වන නිසයි.

කම්බයින්ඩ් මැතමැටික්ස් යන විෂය උසස් පෙළ විභාගයට ඇතුළත් වූයේ රන්වල ගේ කාලයට වඩා අවුරුදු විසිපහකට පමණ පසුව ය!

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි අද වන විට උද්ගත වී ඇති තත්ත්වය නම් මෙසේය.

අශෝක රන්වල ඔහුගේ ලින්ක්ඩ්-ඉන් පිටුවේ දැක්වෙන පරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු නොවන බවත්, එසේම ඔහු ජපානයේ වෂීඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා ඇත්තෙකු විය නොහැකි බවත් පැවසෙන රාවයක් පැතිර යාමයි.

ඔහු මොරටුවෙ විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත්තේ උපාධියක් නොව ඩිප්ලෝමාවක් බව මට නම් පැහැදිලිය.

ඔහු ආචාර්ය උපාධියක් ලබා නැතැයි පවසන අය එයට හේතුව ලෙස දක්වන්නේ ආචාර්ය උපාධියක් ලැබීමට පෙර පවා බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් ලියා පළ කරන පර්යේෂණ පත්‍රිකා එකක් හෝ ඔහුගේ නමින් පළ වී නොතිබීමයි.

මේ හේතුව නිසා ම දෝ, අද උදේ කාලය වන විට ම අශෝක රන්වලගේ විකිපීඩියා පිටුව සංස්කරණය වෙමින් තිබුණි.

ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නමුත්, පරිපාලකයින් විසින් අනුමත කරන පරිදි පළ කෙරෙන විචිපීඩියා පිටු සාමාන්‍යයෙන් අනුමත වන්නේ දැක්වෙන සෑම කරුණකටම පාහේ නිශ්චිත මූලාශ්‍ර තිබේ නම් පමණි.

ඒ අනුව අශෝක රන්වල පිළිබඳ පිටුව අරභයා මෙහි දී ඔවුන් කරන්නේ දැන් සැකයට භාජනය වී ඇති සැම දෙයක් පිළිබඳව මූලාශ්‍ර ඉල්ලා සිටීම බව පෙනේ.

එවැනි මූලාශ්‍ර දන්නා අයෙකුට කළ හැක්කේ ඒවා විකිපීඩියාවට යොමු කිරීමයි.

තමන්ට අශෝක රන්වල වසීඩා විශ්වවිද්‍යාලයේ දී හමුවූ බව පවසමින් යම් පුද්ගලයෙකු විසින් ඡායාරූපයක් ද අද දිනයේ ෆේස්බුක් එකේ පළ කර තිබුණි.

එහෙත් එහි දැක්වෙන්නේ නම් පී.එච්.ඩී එකක් කරන පර්යේෂකයකු නොව, සමහර විට ඊට කලින් කෝස්වර්ක් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට තවත් පිරිසක් සමග දේශනාගාරයක හිඳගෙන ඉගෙනුම ලබන සාමාන්‍ය ශිෂ්‍යයෙකි. එය ද ජපානයේ නොව ඉන්දියාවේ දෝ කියා සිතේ.


- රසික සූරියආරච්චි

ප/ලි:
කතානායකයා පිළිබඳව ප්‍රකාශිතව තිබුණු අධ්‍යාපන සුදුසුකම්වල නිරවද්‍යභාවය ගැන හා-හෝව ඇතිවී දින කිහිපයක් ගෙවුණ ද ඒ ගැන කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වූ බවක් නොපෙනුනි. මේ ගැන ප්‍රකාශයක් කිරීමේ හදිසි අවශ්‍යතාවක් නැතැයි කතානායක ම කියූ බවක් කවුදෝ ලියා තිබෙනු දුටුමි.

අද (09 දෙසැම්බර්) දිනය අවසන් වන විට අසන්නට ලැබුණේ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ කතානායක ගැන විස්තර සංශෝධනය කර තිබුණු බවයි.



ප/ප/ලි:
අශෝක රන්වල දෙසැම්බර් 13 දින සවස් වරුවේ තම තනතුරෙන් ඉල්ලා අස්විය.

මෙන්න පසුදා උදෑසන වන විට තත්වය (විකිපීඩියාවෙන්).


(images: Screenshots captured from Wikipedia, LinkedIn, Facebook etc)