Tuesday, 28 August 2018

බුද්ධාගමට අපහාස කරන තවත් කවියක් - ඇත්තටම මෙය කලින් කවියේ කොපියකි - Yet another blasphemous poem


බයි ලොජික් අනුව සලකන විට බුදු දහමට අපහාස වේ යැයි චෝදනා ලැබිය හැකි ආකාරයේ තවත් කවියක් මා ලියා තිබේ. ඇත්තට ම මෙය විශ්වවිද්‍යාල සමයේ මා ලියූ, දින දෙකකට පෙර රසිකොලොජියේ පළ කළ කවියේ කොපියකි.

මෙය ලියූවේ 2005 වර්ෂයේ බව මගේ මතකයයි. මේ කවියට ඒ දිනවල සිනුවර සංවිධානය වුණු "සාහිත්‍ය චින්තා" නම් තරගයේ දී සම්මානයක් ද හිමිවිය.

වැඩි අටුවා ටීකා ටිප්පණි පසුවට තබා මෙන්න ඒ කවිය.

අභිනිෂ්ක්‍රමණය

දුක දනිමි
සීනුවට අවදිවී
සීතලේ ඇඳ පැළඳ
දුම්රියට දුව යෑම දුකක් මැයි
කළු කෝපි උගුරකින්
ගිල දමා පාන් පෙති
පරිගණක තිරය මත ගල් ගැසී
සංසාර චක්කරේ පැද යාම
දුකක් මැයි

දුකට හේතුව දනිමි
කොමසාරු මැදුර ළඟ
පෝලිමේ තෙරපිලා
වීසාව අයැදීම හේතුව ය
විරැකියාවේ බරින් පීඩිතව
ජනසවිය එපා වී දුර්මුඛව
පලා නොම ගොස් විසුම හේතුව ය

දුක නැසුම මම දනිමි
මේ මහා තරගයෙන්
බේරිලා පලා ගොස්
නිදන්නට හැකි වුණොත් දුක නැති ය
උපන් ගම රට වෙතට
යළි ගොසින්
ඉඳින්නට හැකි වුණොත්
දුක නැති ය

දුක නසන මග දනිමි
දරුවනගෙ ඉගෙනීම ඉවර වී...
ගේ උගස් ගිණුම අවසාන වී...
පනස් පහ උදා වී...
... ... ...

පැහැදිලිය වතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


ඉහත කොන්දේසි සමහර ඒවා දැන් සැපිරී ඇත. තව ඉතිරිව ඇත්තේ එකකි!

මරුවන් සරණයි!!

නිහොන් සැප ලැබේවා!!!

-රසිකොලොජිස්ට්

(image: http://mawbima.lk/print20180101MB20181230.php?id=19032)

Sunday, 26 August 2018

මෙන්න බුද්ධාගමට නින්දා කරන නිසා තහනම් කළ යුතු කවියක් - Ban this poem in the name of Buddhism


ලෝකයේ ඇති මා දන්නා ප්‍රධාන ආගම් ඇරඹූ පුද්ගලයින් ඒ දහම් මුලු ලෝකයට ම පොදුවේ දායාද කළා මිස, එක් එක් පුද්ගලයින් ට හෝ කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට හෝ කොපි රයිට් යොදා, පේටන්ට් සහතික සහිතව භාර දුන් බවක් මම නම් නොදනිමි.

ඒ අනුව සෑම ආගමික සංකල්පයක් ම ඕපන් සෝස්, එනම් අපට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකි, සංකල්ප ලෙස සැලකිය හැකි යැයි මම සිතමි!

කෙසේ වෙතත්, අද සිදු වී ඇත්තේ ඒ ආගම් ශාස්තෘවරුන් වදාළ ධර්මයට තමන්ම යෝජනා සම්මත කරගෙන ඔප්පු, තිරප්පු, ඇටෝර්නි බලපත් ලියා ගත් අයිතිකාරයින් පිරිසක් බිහි වී සිටීමයි.

ඒ අධම වංචාකාරයින්ගේ පදයට නටන ආණ්ඩු ද අද ලොවේ ඇත.

වත්මන් ලෝකයේ ප්‍රගමනයට ඇති ලොකුම බාධාව නම් මේ දෙපිරිසේ කුසංයෝජනයයි.

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිටිය දී ලියූ මේ පහත කවිය පදනම් වී ඇත්තේ චතුරාර්ය සත්‍යය නම් බෞද්ධ සංකල්පය මතයි.

අද ලංකාවේ ඉන්නා සමහර බයියන්ට අනුව, මේ කවිය බුද්ධාගමට නින්දා කරන එකක් විය හැක. ඒ මා මේ කවියේ පාලි භාෂාවේ එන වචන කිහිපයක්, බුද්ධ ධර්මයේ භාවිතාවෙන සංකල්පයක් අනුසාරයෙන් භාවිතා කර ඇති නිසා විය හැක.

මෙන්න ඒ තහනම් කළ යුතු කවිය.

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය

දුක දනිමි!
තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැනුණු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ
ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ
පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ
පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ

දුකට හේතුව දනිමි
අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුව ය
චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුව ය
වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුව ය
මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුව ය

දුක නැසුම මම දනිමි
අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැති ය
ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැති ය
හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැති ය
මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුළ දි
කෝස්වර්ක් නැති නිසා දුක නැති ය

දුක නසන මග දනිමි
දේශනාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතු ය
කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතු ය
ඇඳුම් කඩමාලු ටික
ගමන් මලු තුළට දා
පැණිදෙනිය හන්දියට යා යුතු ය
ටිකට් පත මිලට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතු ය

දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එ මග
නමුදු කෙලෙසක කරම්
අවැසි අබිනික්මන?

දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත

පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


මේ අච්චුවේ ම වෙනත් කවියක් ද මා ලියා ඇත.
http://rasikalogy.blogspot.com/2018/08/yet-another-blasphemous-poem.html

-රසිකොලොජිස්ට්

(image: http://www.stewardshipreport.com/photo-of-the-day-little-monks/)

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about a doube book launch


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Thursday, 2 August 2018

මහින්ද දේශප්‍රිය සහ 2020 ජනාධිපති ඡන්දය - When you have low expectations you can be happy forever!


කලක් මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කර දැන් මා සිතන විදිහට මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද දේශප්‍රිය 2020 ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වේද නොවේද කියා සාකච්ඡාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ කණ්ඩායම් අතර ඇති වී තිබේ.

මේ පිළිබඳව ෆේස්බුක් හි පළවුණු ලිපියකට මා ලියූ කමෙන්ටුවක් හිතුවාට වඩා දිගු වුණු නිසා එය මෙලෙස රසිකලොජි සටහනක් ලෙස පළ කිරීමට සිත් විය.

යම්කිසි තනතුරක් දරන්නෙක් අවංකව ම තමන්ගේ රාජකාරිය කිරීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් බොහෝ දෙනා තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම සහ විවිධ දූෂණ යනාදිය කිරීම නිසා සාමාන්‍ය පරිදි රාජකාරිය කරන අය සුවිශේෂි තත්ත්වයට පත්වී ඇත.

මෙය සමස්තයක් ලෙස ආණ්ඩු සඳහා ද අදාළ වේ. උදාහරණයක් ලෙස වරෙක යම් ස්වභාවික විපතින් පසු ආණ්ඩුවක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැසසුම් කරමින් කතා කළ මිතුරෙකුට මා කීවේ "යකෝ, ආණ්ඩු තියෙන්නේ මේ වගේ අවස්ථාවල එවැනි කටයුතු කරන්න තමයි. එහෙම නොකිරීමයි වරද. මෙසේ වැඩ කටයුතු කිරීම අප බලාපොරොත්තු විය යුතු සාමාන්‍ය තත්ත්වය පමණයි" කියාය.

මහින්ද දේශප්‍රිය ගේ ජනප්‍රියත්වයට හේතුව එය යැයි සිතමි. එනම් තම රාජකාරි පැහැර හරින දූෂණ-වංචා වල යෙදෙන අලස නිලධාරි පැලැන්තිය හා සසදන කල ඔහු දෙයියෙකි. එසේම පුද්ගලිකව ඔහු දන්නා අඳුනන අය ලියා පළකර ඇති දේවලට අනුව ඔහු හොඳ ප්‍රිය මනාප පුද්ගලයෙක් බව ද පෙනේ.

මට වැටහෙන ආකාරයට රාජකාරිමය වශයෙන් මහින්ද දේශප්‍රිය ඉතා භයානක වරදක් කළේ ය. එනම් පසුගිය ජනාධිපති ඡන්දයේ දී හොර ඡන්දය දමන්නට එන අයව හිසට වෙඩි තබා මරා දැමිය යුතුයැයි ඔහු කළ තර්ජනාත්මක යෝජනාවයි.

හොර ඡන්ද දැමීම නීතියට අනුව වරදක් වුවත් ඒ සඳහා දඬුවම මරණ දණ්ඩනය නොවේ. එසේම දඬුවම් කළ යුත්තේ නිසි ප්‍රකාර නීති විධික්‍රමය අනුගමනය කිරීමෙන් පසු උසාවියකින් පමණි.

මා දන්නා පරිදි, ඡන්දය දීමට පැමිණෙන අයට වෙඩි තබා මරා දමන ලද්දේ එක්දහස් නවසිය අසූ නමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෙවත් ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

ඒ ඊනියා දේශප්‍රේමීන් ම සතුරන් හැඳින්වූයේ දේශද්‍රෝහීන් කියා ය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඡන්දය දීමට පැමිණීමේ වරදට දඬුවම් ලෙස සේ මරා දමන ලද අයගේ සහ වෙනත් ඊනියා දේශද්‍රෝහී ක්‍රියා නිසා මරා දමන ලද අයගේ මළමිනි දණහිසට උඩින් ඉසිලිය නො යුතු බවට ද එකල නීති පනවන ලදී. අද යුගයේ දේශද්‍රෝහීන්ට ද ඒ ආකාරයෙන් දඬුවම් දී, මළමිනී සඳහා ද එම දණ්ඩනය ම පැනවිය යුතු බවට කමල් ගුණරත්න වැනි හිටපු මිලිටරිකරුවෙකු පසුගියදා කියූ බව ද මගේ මතකයට නැගේ.

වාසනාවකට මෙන් චනවල තේරුම සැලකූවිට දේශප්‍රිය යන්න දේශප්‍රේමී යන්නට වඩා හොඳ තත්ත්වයකි.

නමුත් අවාසනාවකට මෙන් මහින්ද දේශප්‍රිය ගේ ජනප්‍රියතාවයට එක් ප්‍රධාන හේතුවක් නම් ඔහු එදා කල ඒ "හොර ඡන්ද දමන්නට එන අයගේ හිසට වෙඩි තබා මරා දැමිය යුතුය" යන භයානක මිනීමරු යෝජනාවයි. මා හිතන විදියට මෙයින් පෙනීයන්නේ වත්මන් ලාංකික සමාජය පත් වී ඇති කණගාටුදායක තත්ත්වයයි.

කාට කියන්න ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
සම්පූර්ණයෙන්ම වොයිස් ටයිප් කර පළකරන ලද ලිපියකි. අතින් යෙදුවේ ඡේද බෙදීම සහ නැවතීම් ලකුණු වැනි දේ පමණි.

(image: https://m.facebook.com/story.php?story_fbid=10155750879011305&id=742746304)