Saturday, 29 April 2017

මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!


අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ගිය කාලයේ ගමේ පාසලේ පහළ ම ශ්‍රේනිය, එනම් කුඩා ළමයෙකු තම පාසල් අධ්‍යාපනය හා හා පුරා කියා අරඹා ආරම්භ කර පුරා වසරක් ගත කරන ශ්‍රේණිය, හැඳින්වී ඇත්තේ හෝඩිය කියා ය. හෝඩිය සමත් වූ පසු සිසුන් පිවිසෙන්නේ පළමුවෙනි ශ්‍රේණියටයි.

"මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්" නම්, ෆෙඩී සිල්වා ගයන විකට ගීතයේ "හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි මං පළවෙනියට ආවේ" යැයි කියවෙන්නේ ඒ කතාවයි.

සමහර වැඩිහිටියන් කියන කතාවලට අනුව නම්, ඔවුන් ගිය පාසල්වල පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය යනුවෙන් පන්ති දෙකක් තිබී ඇත. ඒ පෙර කී හෝඩිය සහ පළමුවෙනි ශ්‍රේනියම යැයි සිතමි.

පළමුවෙනි ශ්‍රේණියෙන් පසු දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි යනාදී වශයෙන් වසරක් බැගින් අධ්‍යාපනය ලබා දෙන අප දන්නා සාමාන්‍ය ක්‍රමයට සකස් වී තිබී ඇත.

එසේ පාසල් අධ්‍යාපනය හදාරන සමහර දෙනෙකු එය අවසාන කර ඇත්තේ අටවෙනි ශ්‍රේණියේ දී ය. අටවැන්න සමත් අයට, රජයේ සේවයේ පොලිස් කොස්තාපල්, හමුදා සෙබළ වැනි රැකියාවලට යාමට අවස්ථාව පසු කලක් වන තුරුම තිබී ඇත. පොලිස්කාරයින් සඳහා "අට පාස් කොස්සන්" වැනි පරිභවාත්මක යෙදුම් එකල භාවිතයේ පැවතුණේ ඒ හෙයිනි.

මගේ තාත්තා සහ ලොකු නැන්දා ගේ පරම්පරාවේ වැඩිහිටියන් තම පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ පැවති ප්‍රාරම්භයක් සහ අවසානයක් ගැන මා අසා තිබේ. මේ දෙවසර, පිළිවෙලින් නමවෙනි ශ්‍රේණිය සහ දහවෙනි ශ්‍රේණියට සමාන වෙන්නට ඇතැයි මම සිතමි.

නමුත් ඒ කාලයේ දී මේ ප්‍රාරම්භයට ගොස් අවසානය සමත් වී ඇත්තේ වයස අවුරුදු පහළොවේ කොලු ගැටයින් ගැටිස්සියන් නොව ඊට වඩා වයසැති තරුණ තරුණියන් ය.

ඒ නම්වලින් ම පැවසෙන පරිදි ප්‍රාරම්භයට පසු එළැඹෙන අවසාන වසරේ පැවැත්වෙන අවසාන විභාගයට පෙනී සිටීමෙන් පසු පාසල් අධ්‍යාපනය නිමා වේ. එකල ගම්බද සහ නගරබද වුව, දිළිඳු සිසුන් සඳහා පැවති වර්නකි්‍යුලර් අධ්‍යාපන ක්‍රමයේ අවසානය එය ම වුණි. අවසාන විභාගය සමත් වුණු පසු ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා පසුව රජයේ උපගුරුවරයෙකු වීමට ඉඩ ලැබුණේ යැයි ද කියවේ.

තාත්තා සහ ලොකු නැන්දා ගුරුවරුන් වී ඇත්තේ ඒ ක්‍රමයටයි. ඒ කාලයේ ලංකාවේ ගම්බද තරුණ තරුණියන්ට රජයේ අධ්‍යාපනය හදාරා ලබා ගත හැකි වූ හොඳම රැකියාව ගුරු පත්වීම බව මම පෙර ලිපියක ද සඳහන් කළෙමි.

අපේ අම්මා සහ චූටි නැන්දා තම පාසල් දිවිය ගැන සඳහන් කරන විට ප්‍රෙප් එක සහ ෆෝම් එක යනුවෙන් හැඳින්වෙන අධ්‍යයන වර්ෂ දෙකක් ගැන සඳහන් කරනවා මා අසා ඇත. මේ සටහන සඳහා අම්මාගෙන් ඒ ගැන දුරකථනයෙන් විමසා බැලූ කළ මට තේරුම් ගියේ, ඒ කියන්නේ ද, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණි පිළිබඳව ම බවයි.

වසර කිහිපයකට පසු කාලයක, සිංහල රාජ්‍ය භාෂාව වූ පසු, දහවෙනි ශ්‍රේණිය අවසානයේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ලිපිකරු වැනි වෙනත් රජයේ සුදු කරපටි රැකියා ලබා ගැනීමේ මූලික සුදුසුකම වී ඇත.

ඒ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දී ඇත්තේ විද්‍යා, වාණිජ හෝ කලා නමැති මූලික විෂයය ධාරා තුනෙන් එකකට අදාළ විෂයන් අටක් වසර දෙකක් තිස්සේ, එනම්, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවල දී, ඉගෙන ගැනීමෙන් අනතුරුව ය. එලෙස, විද්‍යා, වාණිජ හෝ කලා යන විෂයය ධාරා සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා අටවෙනි ශ්‍රේණිය අවසානයේ දී තරග විභාගයක් පැවැත්වී ඇති අතර මා දන්නා පරිදි මේ විභාගය වර්ෂ 1973 දක්වා ම පැවැත්වී ඇත.

අපේ පාසල් කාලයේ දී රජයෙන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා පෙර පැවති අටේ පන්තියේ විභාගය සහ ඉන් පසු දෙවසරක් තිස්සේ කෙරෙන සාමාන්‍ය පෙළ විද්‍යා / වාණිජ / කලා ඉගෙනීමේ ක්‍රමය අහෝසි වී ගියේ ය. හයවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වාම සෑම සිසුවෙකුම එකම විෂයමාලාව හදාරන්නට සිදුවුණේ ඊට පසුව ය.

මේ වෙනස පිළිබඳව විස්තර මා ජැක්සන් ඇන්තනි ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලියූ ලිපියක ද දීර්ඝ වශයෙන් සඳහන් කළෙමි.

-රසිකොලොජිස්ට්

මෙය කියවන ඔබ, ඔබේ වැඩිහිටි පරම්පරාවේ විවිධ වයස් කාණ්ඩවල අයගෙන් ඔවුන් ගේ පාසල් සමය පිළිබඳ මේ ආකාරයේ විස්තර අසා දැන තිබේ ද?

එසේ දැන ගත් විස්තරයක් වෙතොත් මෙහි සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි!

(image: https://www.facebook.com/sonduru.sitha)

Friday, 28 April 2017

බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others


මෙය පැරණි රසාංගයකි. මුලින් පළ කළ විට කියවූ අය ද බොහෝ දෙනෙකු සිටිය හැක.

කෙසේ වෙතත්, මේ දිනවල සයිබර් අවකාශයේ කතා බහට ලක්වෙන එක්තරා කාරණයකට මේ කතාවේ මූලික සම්බන්ධයක් ඇති නිසා, කලින් කියවා ඇති අයට නැවත කියවීම පිණිසත්, කලින් කියවා නැති අය ගේ දැන ගැනීම පිණිසත්, කතන්දර කීමේ භාෂා රටාවෙන් සම්මත ලේඛන රටාවට සංස්කරණය කර මේ ලිපිය නැවත පළ කරන්නට සිතුවෙමි.

මේ මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ ලද අත්දැකීමකි. ඒ වසරේ පැවැත්වුණු අපේ වාර්ෂික ෆැකල්ටි ඩේ උත්සවයේ රාත්‍රී ප්‍රිය සම්භාෂණය සඳහා සංගීතය සැපයීමට සංගීත කණ්ඩායමක් හෙවත් බෑන්ඩ් එකක් සොයා ගැනීමට අපට අවශ්‍ය විය.

උදෑසන සම්මන්ත්‍රණයකින් ද, සවස් වරුවේ විවිධ ක්‍රීඩාවලින් ද, රාත්‍රී ප්‍රිය සම්භාෂණයෙන් ද සමන්විත වූ මේ ෆැකල්ටි ඩේ ඉවෙන්ටුව සංවිධානය කෙරුණේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමය (Engineering Students' Union) විසිනි. ඒ වසරේ මා එහි සභාපතිවරයා වීමි.

ඒ දිනවල මහනුවර ප්‍රදේශයේ එක් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූයේ, මගේ මතකයට අනුව, හීසොනයිට් කණ්ඩායමයි. ඔවුන් සාමාන්‍යයෙන් සංගීතය සැපයූවේ නුවර වැවට ඉහළින් දිවෙන මාර්ගය අසල පිහිටා ඇති හොටේල් සුයිස් හි ය.

අපේ ප්‍රිය සම්භාෂණය සඳහා හීසොනයිට් කණ්ඩායම ගෙන්වා ගැනීමට අපට අවශ්‍ය විය. මේ ගැන සාකච්ඡා කිරීමට, සංගීත කණ්ඩායම සමග යම් හැඳුනුම් කමක් තිබුණු මගේ බැච්මේට් සගයෙකු සමග මම එහි යාමට තීරණය කළෙමි.

පැණිදෙණියෙන් බස් රථයක නැගී මහනුවරට ගිය අපි නුවර වැව පාර දිගේ හොටේල් සුයිස් දිශාවට ඇවිද යාමට පටන් ගත්තෙමු. වේල්ස් උද්‍යානය අසලින් කන්ද නැග වමට හැරී යන විට දකුණු අත පැත්තෙන් ඇත්තේ, ජේවීපීකාරයින් ද ඇතුළු අපේ සියලුම දේශපාලුවන් නිතරම යන එන සහ එනිසා ම අප රූපවාහිනියේ ද, මුද්‍රිත මාධ්‍යවලින් ද දකිනා මල්වතු මහා විහාරයයි.

මා මේ පන්සලට කිසි දිනක ගොස් නැත. නමුත් මා දන්නා පරිදි මෙය නිකංම නිකං පන්සලක් නොවේ. මෙය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මූලස්ථානය නොහොත් හෙඩ් ක්වාටර්ස් එකයි. නිකාය පාර්ශවයේ නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස පිහිටා ඇත්තේ මේ ස්ථානයේ විය යුතු ය. ඊට අමතරව මෙහි පිරිවෙනක් ද ඇති යැයි සිතමි.

වැව පාරේ ඇවිදින අපට පන්සල් භූමියේ ඇති විශාල ගොඩනැගිලි පෙනේ.

මේ ගොඩනැගිලි දුටු මා සමග ගමන් කරමින් සිටි සගයා මෙසේ පැවසීය.

"යකෝ, බලපංකෝ මේ පන්සලේ බිල්ඩින්වල ලොකු! මිනිස්සු දුක් විඳිනවා. හාමුදුරුවරු සුර සැප විඳිනවා!"

දැන් මෙය අප කලින් අසා නැති අමුතු කතාවක් නොවේ.

සමාජයෙන් දානමාන පිළිගැනීම මිස සමාජයට කෙරෙන ආගමික නොවන සමාජ සේවා සඳහා පන්සල් ප්‍රසිද්ධ නැති බව අප දනිමු.

සුනිල් ආරියරත්න ද මේ කාරණා පිළිබඳව ගීත කිහිපයක් ම ලියා ඇති අතර මන්දා නාලනී නැන්දා අප සිත් පුබුදාලමින් ඒවා ගායනා කරන්නී ය.

එසේ වුවද මට මගේ සගයා ගේ පෙර කී කතාවේ පොඩි අවුලක් දැනුණි.

එක්වරම ඒ අවුල කුමක්දැයි මට සිතා ගත නොහැකි වුවත්, තත්පර කිහිපයකින් අවුල නිරවුල් විය.

අවුල වූයේ මෙයයි.

මල්වතු විහාර පිළිබඳව පෙර කී විවේචනය කළ මගේ ගමන් සගයා බුද්ධාගමිකයෙකු නොව කතෝලිකයෙකි.

පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙකු බුද්ධාගං වැඩ විවේචනය කිරීම සහ වෙනත් ආගමක අයෙකු බුද්ධාගං වැඩ විවේචනය කිරීම අතර ලොකු වෙනසක් තිබේ යැයි මට සිතේ.

ඒ වාගේ ම පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගං වැඩ විවේචනය කිරීම සහ ඔහු හෝ ඇය ම වෙනත් ආගමක වැඩ විවේචනය කිරීම අතරත් ඒ ආකාරයේ ම ලොකු වෙනස තිබේ!

මේ නියමයේ කොරොලරිය මෙයයි.

"තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
"මචං, මේ නිකං පන්සලක් නොවෙයි එක නිකායක හෙඩ් ක්වාටර්ස් එක. ඇයි බං ගිහිං බලපංකෝ උඹලාගේ බිෂොප්ලා ඉන්න පල්ලි ගොඩනැගිලි හෙම පොඩි ගවලෙන් වගේ ඒවා ද කියලා!" යැයි කියා මම මගේ මිතුරා නිහඬ කළෙමි.

ප/ප/ලි
මේ ලිපියේ අන්තර්ගතය සමග මූලික සම්බන්ධයක් ඇති, මේ දිනවල සයිබර් අවකාශයේ කතා බහට ලක්වෙන කාරණය සම්බන්ධව මගේ අදහස හෙට රසිකොලෙජියේ පළ වෙනු ඇත.

http://www.jvpsrilanka.com/old/images/stories/2014/September/mal1.jpg

Thursday, 27 April 2017

මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!


ඇට මැස්සා ගේ අඩවිය බ්ලොගය නැවත ඇරඹීම යනු පුනරුත්පත්තියක් ද නැතිනම් පුනරාගමනයක් ද යන කාරණය ඒ බ්ලොගයේ ම සාකච්ඡා කර තිබුණි.

අප බොහෝ දෙනෙකු කුඩා කල සිට ම අසා දැන ඇති පරිදි, "පුනරුත්පත්තිය" යනු මේ ජීවිතය ගෙවා අවසන් වී මිය ගිය පසු නැවතත් මෙලොව ඉපදීම යි. එලෙස ම, අප මේ ගෙවන ජීවිතය ද, පෙර ආත්මයක පුනරුත්පත්තියක් ලු.

ඉපදීම, මියයාම, නැවත ඉපදීම යන නොනවතින චක්‍රයෙන් අපට ඇති එකම ගැලවීම නිවන් යෑම යැයි කියවේ.

අනෙත් අතට, "පුනරාගමනය" යනු පිටව ගිය අයෙකු හෝ යමක් නැවත පැමිණීමයි, නැවත පහළ වීමයි.

"බුදුනේ, බුදු පියාණනේ, පුනරාගමනය කළ මැනවී!" යනුවෙන් ෂෙල්ටන් පෙරේරා ගායනා කළේ නිවන් ගිය, එනිසා පුනරුත්පත්තියක් නැති, බුදුන්ට නැවත ඉපදීම කළ නොහැක්කක් නිසා පුනරුත්පත්තිය කළ මැනවි කියා ගායනා කිරීම නිෂ්ඵල හෙයිනි.

පුනරුත්පත්තිය, එනම් නැවත ඉපදීම, සත්‍යයක් යැයි විශ්වාස කරනන් අතර බහුතරයක් දෙනා බෞද්ධයන් බව සිතමි. ඔව්හූ මේ පුනරුත්පත්තිය මිනිසා නොහොත් මනුසතාට පමණක් නොව සෑම සත්ව කොට්ඨාශයකට ම අදාළ යැයි සිතති.

විශේෂයෙන් ම, පුනරුත්පත්තියට බොහෝ සේ ලක් වී ඇති සත්වයා ලෙස අප දන්නේ බෝධිසත්වයා පිළිබඳවයි.

පන්සිය පනස් ජාතක පොතේ එන කතන්දර පන්සිය හතළිස් හයේ සැම එකක ම සඳහන් වෙන්නේ බෝධිසත්වයා, සිදුහත් ලෙස අවසන්වරට මෙලොව ඉපදෙන්නට කලින්, පෙර ආත්මවල දී ගත කළ ජීවිත පිළිබඳ විස්තර වේ.

නලපාන ජාතකයේ දී බෝධිසත්වයා වඳුරු රජෙකි.

තවත් ජාතකයක බෝධිසත්වයා හාවෙකි.

තවත් ජාතකයක බෝධිසත්වයා වටු කුරුල්ලෙකි.

මගේ ප්‍රියතම නලිනි ජාතකයේ නම් බෝධි සත්වයා මනුසතෙක් ලෙස උපත ලබා බමුණෙකු ලෙස කල් ගෙවූ අයෙකි.

පුනරුත්පත්තිය වැන සංකල්ප, තමන් ම අත්විඳ පසක් කළ නොහැකි, එනිසා ම විශ්වාස කර ඇදහිය යුතු ආකාරයේ ඒවා ය.

බුද්ධ ධර්මය වනාහී "ඒහි පස්සිකෝ" ගුණයෙන් යුතු දහමක් නිසා, ඇදහීම වැනි කාරණා බුද්ධ ධර්මය සමග පරස්පර දේ යැයි මම සිතමි. එනිසා, පුනරුත්පත්තිය වැනි දෙයක් බුදු දහමට ගැළපේ යැයි මට නොසිතේ.

ඒ මගේ අදහසයි.

නමුත්, මා දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩි නිසාත්, ඒ බව මා හොඳින් දන්නා නිසාත්, මේ ගැන වඩා දන්නා අය ගේ අදහස් දැන ගැනීමට රිසියෙමි!

-රසිකොලොජිස්ට්

(image: http://thusithsoftsolution.blogspot.com.au/)

Wednesday, 26 April 2017

වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly


"ගම ගාල්ල, පුක ලෑල්ල" යන කියමන ඔබ අසා තිබේද?

දැන් ගාලු සෙට් එක කලබල වෙන්න එපා, හරිය?

ගාල්ලේ පමණක් නොව ඕනෑම ප්‍රදේශයක උපත ලැබූ පුක ලෑල්ලක් වැනි අය සඳහා "පුක මැස්සෝ බීලා වගෙයි!" කියා ද සමහරු කියති.

දැන් නම් හුඟ දෙනෙකු කලබල වෙන්නට ඉඩ ඇත!

එනිසා තව වැඩි දුර ලියන්නට පෙර යමක් කිව යුතුය.

"ඔළු සෝදමු!" යනුවෙන් කියවුණු දේශපාලු පෝස්ටරයක් "පුක සෝදමු!" යනුවෙන් වෙනස් කළ සිදුවීමක් මීට වසර තුනකට පෙර (2014 අප්‍රියෙල්) ගාල්ලෙන් වාර්තා විය.

ඒ වෙනස්කම සිදු කළ පුද්ගලයාට විරුද්ධව පොලිසියෙන් නඩු පවරන ලදී. ඒ නඩුවට නිමිත්ත වූ වරද වී තිබුණේ, පුක යන වචනය අසභ්‍ය එකක් යැයි පොලීසිය සිතීම බව පෙනේ.

එහිදී කරුණු දැක්වූ විත්තියේ නීතිඥයා කියා ඇත්තේ පුක යනු ශරීරයේ අවයවයක් බවත්, පුක යන වචනයට වෙනත් තනි වචනයක් නොමැති බවත්, මෙය ශබ්දකෝෂයේ පවා සඳහන් කර අරුත් දක්වා ඇති කිසිසේත් ම අසභ්‍ය නොවන වචනයක් බවත් ය.

ඔහු උසාවියේ දී, ප්‍රකාශ කළේ දැයි මා නොදන්නා අනෙක් කරුණ නම් පුක සේදීම යනු අප බොහෝ දෙනෙකු දවසකට වරක් හෝ සිදු කරන ක්‍රියාවක් බවයි.

ගාල්ලේ එකී සිදුවීම වාර්තාවන්නට වසර තුනකට පෙර 2011 අප්‍රියෙල් මාසයේ දී, පුක යනු කුණුහරුපයක් නොවන බව සිංහල සයිබර් අවකාශයේ දී තර්කානුකූලව ඔප්පු කෙරුණු බව එකල බ්ලොග් කියවූ බොහෝ දෙනෙකු දන්නා කාරණයකි.

මේ සමගම කිව යුතු තවත් කාරණක් වන්නේ, මිනිසුන් ගේ වැරදි චර්යාවන් සහ අදහස් පිළිබඳව කෙතරම් උපහාසයෙන් කතා කළත්, ශරීරාංග පිළිබඳව හෝ උපතින් ලද දේ පිළිබඳව හෝ සරදම් කිරීම කිසිසේත් නොකළ යුත්තක් බවයි.

කෙසේ වෙතත්, මට ඒ මැස්සෝ බීලා වගේ යන කියමන සිහිවූයේ මැස්සෙකු පිළිබඳ සඳහන් කමෙන්ටුවක් ඊයේ රාත්‍රියේ රසිකොලොජි බ්ලොගයට ලැබුණු නිසා ය.

ඒ ගෙමැස්සෙකු හෝ පලතුරු මැස්සෙකු පිළිබඳව නොවේ. ඇටමැස්සෙකු පිළිබඳව ය.

ඇටමැස්සා හෙවත් ගැඩ්ෆ්ලයි යනු හිටපු සිංහල බ්ලොග්කරුවෙකි. ඇටමැස්සා ගේ අඩවිය හෙවත් ගැඩ්ෆ්ලයිසෝන් යනු අදාල බ්ලොග් අඩවියයි.

වසර 2010 සිට 2012 දක්වා කාලයේ සිංහල බ්ලොග් අවකාශයේ ලියවී එක්වරම අතුරුදහන් වූ එක් දේශපාලන බ්ලොගයක් මෙලෙස පුරා වසර පහකට පසුව නැවත ප්‍රාතිභූර්ත වීම සතුටට කරුණකි.

පුනරාගමනය නොහොත් පුනරුත්පත්තිය, පලතුරු මැස්සන් රජයන වසන්ත සමයේ පැවැත්වෙන බ්ලොග් වසන්තය නම් පුනරුද සමයේ දී ම සිදුවීම අපුරු සමපාත වීමක් බව කිව යුතුය.

මෙන්න ඇටමැස්සා ගේ අඩවියේ ලිපිනය.

https://hanthana.wordpress.com/

ඒ ලිපිනයෙන් කිව හැක්කේ එක්කෝ මේ ඇටමැස්සා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් එකෙකු හෝ එසේ නැතහොත් ලිනක්ස්කාරයෙකු බවයි.

ඇටමැස්සා ගේ පැටිකිරිය කුමක් වුවත්, පලතුරු මැස්සන් රජයන වසන්ත සමයේ පැවැත්වෙන බ්ලොග් වසන්තය මැද මෙලෙස නැවත ඇරඹුණු ඇටමැස්සා ගේ අඩවියෙන් අපට හොඳ දේශපාලන සටහන් බලාපොරොත්තු විය හැකි යැයි මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි
ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ දැයි දන්නවා ද?

Tuesday, 25 April 2017

උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud : Unique style


විශ්වවිද්‍යාලයෙන් පිටවී වසර එකොළහකට පමණ පසු මා ලංකාවෙන් පිට සිටිනා සමයක, ලංකාවෙන් පැමිණ සිටි තරුණයෙකු මුණ ගැසුණි.

මෙවැනි අවස්ථාවක දී සාමාන්‍යයෙන් මුලින් ම කෙරෙන්නේ "ඔයා ලංකාවේ කොහේද? කොහෙද ඉස්කෝලේ ගියේ?" ආදී වශයෙන් එකිනෙකා පිළිබඳව මූලික තොරතුරු හුවමාරු කර ගැනීමයි.

ඊළඟට එළැඹෙන්නේ "අරයව අඳුනනවා ද? එයාව දන්නවා ද?" වශයෙන් විමසමින් දෙදෙනාම දන්නා පොදු මිතුරන් සිටීදැයි සොයා බැලීමයි.

ඒ අවස්ථාවේ දී, අප දෙදෙනා ම දන්නා, එක් අයෙකු නොව කිහිප දෙනෙකු ම ඉන්නා බව පෙනී ගියේ ය.

ඉන් එක් අයෙකු වූ සුනිල් මා ඉතා හොඳින් දන්නා පුද්ගලයෙකි.

එහි දී නම් සඳහන් වුණු තවත් දෙදෙනෙකු වූ අරවින්ද සහ කමල් ද මම සාමාන්‍යයෙන් දන්නා පුද්ගලයින් ය.

සුනිල් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් බව මම හොඳින් දැන සිටියෙමි. ඒ ප්‍රවේශය සඳහා ලකුණු ඉතා වැඩියෙන් ම අවශ්‍ය පාඨමාලාවක ය.

අරවින්ද සහ කමල් ද එම පාඨමාලාව ම සුනිල්ට පසු වසරේ හදාරන්න වරම් ලැබූ අය වූහ.

අලුත හමුවුණු මිතුරා එදා මා සමග කීවේ මා කිසිසේත් ම බලාපොරොත්තු නොවූ කාරණයකි.

"දන්නවා ද, ඒ සුනිල් තමයි අරවින්දයි සහ කමලුයි දෙන්නාට ම ඒ-ලෙවල් විභාගේ ලිව්වේ!"

"මොනවා?"

"ඔව්, දන්නවානේ සුනිල් ඉගෙනීමට හොඳ දක්‍ෂයෙක්. අරවින්ද සහ කමල් තමයි සුනිල් ගේ හොඳම යාළුවෝ. ඉතිං, සුනිල් ඊළඟ අවුරුද්දේ හොර අයිඩී හදාගෙන අරවින්ද සහ කමල් විදියට විභාගේ ලිව්වා."

"කොහොමද එකම විභාගේ දෙන්නෙකුට ලියන්නේ?"

"මතකනේ ඒ පස්සේ අවුරුද්දේ විෂයය නිර්දේශ මාරු කරපු නිසා විභාග දෙකක් තිබුණු බව. එකක් අප්‍රියෙල්, අනික අගෝස්තු. අරවින්ද අප්‍රියෙල් විභාගේ පාස් වුණා. කමල් අගෝස්තු විභාගේ පාස් වුණා. නිකං නොවෙයි දෙන්නාම අර ඉහළ ලකුණු අවශ්‍ය පාඨමාලාවම කරන්න තරම් හොඳන් පාස් වුණා!"

මේ කතාව ඇත්තක් යැයි සිතමි.

කෙසේ වෙතත් කමල්ට නම් ඒ සමර්ථ වීම එතරම් ප්‍රයෝජනවත් වුණේ නැත. පළමු වසර අවසායේ පැවති කඩඉම් විභාගය ජය ගනු නොහැකි වූ නිසා දෝ ඔහු පාඨමාලාව හැර ගියේ ය.

"අරවින්දත්, මං හිතන්නේ නෑ ඒ විශ්වවිද්‍යාලේ වැඩ ඉවරයක් කළා කියලා!" අලුත් මිතුරා පැවසීය "මිනිහා වෙන ජොබ් එකක් කරන්නේ මං දන්නා තරමට!".

තම මිතුරන්ට උදව් කරන්නට වෙනත් දෙදෙනෙකු ගේ විශ්වවිද්‍යාල වරම විනාශ කළ සුනිල් කර ඇත්තේ හොරකමටත් එහා ගිය පාපයක් බව පැහැදිලි ය.

කෙසේ වෙතත්, සුනිල් යනු එසේ මෙසේ අයෙකු නොවේ.

මිතුරුකම නිසා, තමන් ගේ අනාගතය ද අවදානමකට ලක් කර, ඔහු මේ අනන්‍යතා හොරකම කළා පමණක් නොවේ, තමන් විභාගයට පෙනී සිට වසරක් යන තුරුම ඒ උසස් පෙළ විභාග දැනුම එක සේ ම පවත්වා ගත්තේ ය.

කොටින් ම තුන්වරක් ම, එකම විශ්වවිද්‍යාල පාඨමාලාවට සුදුසුකම් ලැබුවේ ය.

එවැනි වෙනත් අයෙකු සිටීයැයි මම නොසිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
විභාග අක්‍රමිකතා පිළිබඳව කතා කිහිපයක් පළ කරමින් මේ ලිපියේ සඳහන් සිදුවීම පිළිබඳ පැරණි මතකය අවදි කළ "අධ්‍යාපනයේ රසකතා" බ්ලොග්කරු දයාවීට මගේ ස්තුතිය පිරිනමමි.

(image: http://www.bbc.com/news/world-asia-india-31960557)

Monday, 24 April 2017

ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold


මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!

මේ ආකාරයේ (එතෙක්) නොකී කතාවක් මා පෙර දිනයක ද කියා ඇත. එය උඩ කරණම් ගසන්නට ගොස් අවසාන මොහොතේ ඉන් ඉවත් වූ කතාවකි.

මේ අද කියන කතාව ද, ඇත්තට ම, උඩ කරණම් ගැසීමක් පිළිබඳ කතාවකි.

පරකන්දෙනියේ පිහිටි මගේ පියා ගේ මහගෙදර මිදුලේ හොඳින් පලදාව ලැබුණු අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස් දෙකක් විය. අප්‍රියෙල් මාසයේ මල් පිපී, මාස දෙකකින් පමණ පලබර වෙන මේ ලොවි ගස් අපේ ආච්චීට මෙන්ම මට ද ආදායම් මාර්ගයක් ගෙනාවේ ය.

ලොවි පිළිබඳ සැපයුම් දාමය මෙසේ විය.
  • ගසේ ලොවි පළ ගනී.
  • මම ආච්චීට ලොවි කඩා දුන්නෙමි.
  • ගමේ වෙළෙන්දියකට ආච්චී ලොවි විකුණුවා ය. ඉන් ආච්චී ලැබූ මුදලින් කොටසක් මට ද ලැබුණි.
  • වෙළෙන්දිය, කොළඹ තොටළඟ නම් ස්ථානයට මේ ලොවි ද, ගමේන් මිලට ගන්නා වෙනත් පලතුරු සහ අනෙකුත් බෝග වර්ග ද ගෙන ගොස් විකුණුවා ය.
දසත අතු විසිරී පැතිරී ගොස් තිබුණු ඒ ලොවි ගස් දෙකට නැග ඉදුණු ලොවි ගෙඩි කැඩීම, කොලු වයසේ සිටි මට ඉතා සරල වැඩක් විය. කුඩා හෝ ප්‍රශ්නයක් ලෙස තිබුණේ දිමියන් ය. නමුත් දිමි ගොටු ඇති තැන් ඉතා පැහැදිලිව පෙනෙන නිසා, ඒවා මග හැර ලොවි කැඩීම කජු කෑම වැනි කර්තව්‍යයකි.

එසේ නමුත්, කඩන හොඳ හොඳ ලොවි ගෙඩි කටට නොදමා, පලදාව එකතු කරන මල්ලට දැමීම, ගස් නැගීමට හෝ දිමියන්ගෙන් බේරීමට වඩා අසීරු කාර්යයක් විය.
සීයක් කඩන කොට අඩු වෙනවද කීයක්?
කීයද කොල්ලො, කීය ද ඔය ලොවි සීයක්?
මට ලොවි කැඩීම ද, ගස් නැගීම ද එපා කරවූ මේ ලිපියට මාතෘකාව සපයන ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ, මගේ මතකයට අනුව, මට වයස අවුරුදු දහතුනේ දී උදා වූ ඒ එක් ලොවි වාරයේ දී ය.

මේ කාලය වන විට අප පවුල පදිංචිව සිටියේ, ගමේ මහ ගෙදර නොව ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගලහිටියාවේ නමුත්, ලොවි කැඩීමේ රැකියාව සඳහා මම සති අන්තයේ ද, සමහර සතියේ දිනවල සවස් වරුවේ ද මහගෙදර ගියෙමි.

එදා මම මල්ල ද රැගෙන ලොවි ගස් දෙකෙන් උස ගසට නැග්ගෙමි. මේ ගසේ ගෙඩි ලොකු ය, ලස්සනය නමුත් අනෙක් ගසේ පොඩි ගෙඩි තරම් රස නැත!

ලොකු ලොවි ගසේ එක අත්තක තිබූ ඉදුණු ලොවි ගෙඩි කඩා මල්ලට දමා, මම ඒ අත්තේ සිට මට පහතින් පිහිටා තිබුණු වෙනත් අත්තකට පය තිබ්බෙමි.

ඊළඟ මොහොතේ සිදුවූයේ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයට පය ලෙස්සා ගොස් මා බිමට ඇද වැටීමයි.

සරාස්, බරාස්, දඩාස්!

කුමන භෞතික විද්‍යා සිද්ධාන්තයක් නිසා දෝ, හොඳ වෙලාවට මා බිම පතිත වූයේ හිස හෝ කකුල් හෝ අත් හෝ මුලින් පොළොවේ ඇනී කැඩෙන පැළෙන ආකාරයකට නොව මුලින් පස්ස බිම වැදී කොන්ද පොළොවේ තිරස් අතට වදින ආකාරයට ය.

මගේ තට්ටම් සහ කොඳු ඇට පෙළ පෙදෙස කෙතරම් රිදෙන්නට පටන් ගත්තා දැයි කිවහොත් කොටින් ම මට ඇඬුණි.

විනාඩි ගණනාවක් ම කිසිවක් කර කියා ගන්නට හෝ සිතා ගන්නට නොහැකිව මා එතැනම, ඒ ආකාරයෙන් ම තිරස්ව පොළොවේ දිගා වී නොසැලී සිටියෙමි.

වේදනාවේ අඩුවක් නොදැනුණි.

වාසනාවකට හෝ අවාසනාවකට මා ඇද වැටෙනු කිසිවෙකු දුටුවේ නැත. කොහොමටත් නිවසේ සිටියේ ආච්චී, සීයා සහ නැන්දා පමණි. එසේම කෑ ගසා හෝ ශබ්ද නැගෙන්නට හඬා හෝ මා ඒ බව කිසිවෙකුට දැන ගන්නට ඉඩ තැබුවේ ද නැත.

මද වේලාවකට පසු සිටි තැනින් නැගිට සිටි මා යාන්තම් කොර ඇදමින් ගොස් ඇඳක් මත වැතිර තවත් අඩ පැයක් පමණ නිසොල්මන්ව වේදනාව උසුලාගෙන සිටියෙමි.

මට අද වැටහෙන පරිදි, මගේ ශරීරයේ කිසිදු අස්ථියක් හෝ වෙනත් අවයවයක් හෝ බිඳී නොතිබුණි. ශරීරයේ හැම කොටසක් ම වාගේ දැඩි දැවිල්ලකට ලක් කළ ඒ වේදනාව පැය කිහිපයකට පසු මට දරාගත හැකි මට්ටමේ එකක් බවට පත් විය.

නමුත්, මා පස්ස බිම ඇනෙන ආකාරයට නොව, වෙනත් ඉරියව්වකින් බිම පතිත වූවා නම්, හිස හෝ අත හෝ කොඳු ඇට හෝ ඉල ඇට හෝ බිඳී මා දැඩි රෝගාතුර තත්වයට පත්වන්නට ඉඩ තිබුණු බව මට පසුව වැටහුණි.

මා ලොවි ගසෙන් වැටුණු මෙතෙක් නොකී කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/pin/433401164111641630/)

Sunday, 23 April 2017

කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka


මා සමග එකම ඔෆීසියේ සේවය කරන ජෝර්ජ් කැම්බල් මගෙන් ඉන්දියානු සමෝසා පිළිබඳව විමසූ කතාව මතකද?

බොහෝ විදේශිකයින්ට තියා සමහර විට අපට වුවත්, ලංකාවෙන්, ඉන්දියාවෙන් කියා මිනිසුන් වෙන් කර හඳුනා ගන්නට නොහැකි ය.

අප මිත්‍ර දේශප්‍රිය ලංකාපුත්‍ර මහතා සහ එම මැතිනියට, ඉන්දියානුවන් ලෙස රඟ පා, අඩු මිල ටිකට්ටු මිල දී ගෙන ටජ් මහල නරඹන්නට හැකි වුණේ ඒ නිසා ය.

ලංකාවෙන් පිටත සිටිය දී, වෙනකෙකු අප ඉන්දියානුවන් යැයි සිතීම කෙසේ වෙතත්, ලංකාව ඇතුළත දී ම එලෙස සිදුවුණ හොත්, ඔබට කුමක් සිතේ ද?

මේ මගේ ම විදේශික අත්දැකීම් පිළිබඳ සටහනකි.

මේ එක හා සමාන අත්දැකීම් කිහියට මට මුහුණ දෙන්නට සිදුවුණේ මීට වසර දහයකට පමණ ඉහත 2007 දෙසැම්බර් නිවාඩුවේ සුතනඹුවන් සමග ලංකාවට ගිය කාලයේ දී ය.

උදෑසන පිළියන්දලින් පිටත් වූ අපි පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියෙමු. ඒ අවසානයේ මම ආපසු රථගාල දෙසට යමින් සිටියෙමි. පාර අයිනේ කඩයක අපූරු අලි කැටයමක් දුටු මම එහි මදක් නැවතී එය පරීක්ෂා කර බලා එහි සිටි වෙළඳ තරුණියගෙන් කැටයමේ මිල විමසුවෙමි.

"කීයද මේ ලී කැටයම?"

මගේ වදන් ඇසූ එහි සිටි තවත් යුවතියක් පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියා ය.

පසුව ඇය "අනේ මේ අපූරුවට සිංහල කතා කරන්නේ! මහත්තයා සිංහල ද?" කියා මගෙන් විමසූවේ මා තක්බීර් කරමිනි.

"ඇයි මම දෙමළ කියලද, මුස්ලිම් කියලද හිතුවේ?" මම සරදම් බසෙන් ඇසුවෙමි.

"නෑ! මම හිතුවේ ඉන්දියාවෙන් ආපු සංචාරකයෙක් කියලයි"!

"ඇයි එහෙම හිතුණේ?"

"නෑ, මට නිකන් හිතුණා!" ඇය ලැජ්ජාවෙන් කීවා ය.

ඒ යුවතිය පින්නවල රථ ගාලේ ටිකට් පත් නිකුත් කරන්නියයි.

මෙය හුදෙකලා, අහඹු සිද්ධියක් ලෙස සලකා මගේ මතකයෙන් බැහැර කිරීමටත් පෙර පසුදා ටෙම්ල් ඔෆ් ටූත් අසළ පිහිටි කෞතුකාගාරයේ දී ද මෙවැනි සිද්ධියක් සිදුවිය.

මා එහි ඇතුළු වී ටික වේලාවකින් කෞතුකාගාර සේවකයෙක් මා වෙත පැමිණ එහි වූ ඡායාරූප කිහිපයක් පෙන්වමින් "සෑර්, ඇල් ටී ටී ටෙරොරිස් බොම් ද ටැම්පල්" යනාදී වශයෙන් ඉංග්ලිෂ් භාෂාවෙන් මා සමග විස්තරයක් කියවන්නට විය.

"මං සිංහල!" යැයි මම හෙමින් කොඳුරා ඔහුට කීවෙමි.

"සමාවෙන්න සර්, මට හිතුණේ සර් පිටරට කෙනෙක් කියලයි" පැවසූ ඔහු පසෙකට විය.

එදිනම හවස අප බහිරවකන්දේ බුදු පිළිමය නරඹන්නට ගිය විට ද මෝටර් රථය නවතා මා බහිනවාත් සමගම, "සෑර්, යූ කැන් කීප් ෂූස් හියර්" යැයි මිනිසෙක් පවසනවා ඇසුණි.

ඒ ද මා විදේශිකයෙක් යැයි සිතා ය.

එදා 2007 වසරේ දින දෙකක් ඇතුළත ඒ එක හා සමාන අහඹු සිදුවීම් තුනට මා මුහුණ දුන් කාලයෙන් පසුව, මම ලංකාවට හත් වතාවක් ගොස් ඇත්තෙමි.

නමුත්, මා ඉන්දියන්කාරයෙකු යැයි ඊට පසු කිසිවෙකු හෝ රැවටී මා හා කතා කර නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මේ ලිපියට සම්බන්ධ පෙර පළ කළ ලිපි.

1. ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa?
https://rasikalogy.blogspot.com/2016/05/sri-lankan-samosa.html


2. දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra visit India
https://rasikalogy.blogspot.com/2017/04/mr-and-mrs-lankaputhra-visits-india.html


(image: https://www.thestar.com/news/world/2015/02/16/india-signs-nuclear-pact-with-sri-lanka-countering-china.html)

Saturday, 22 April 2017

කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged


බ්ලොග් අවකාශයේ ද, ෆේස්බුක් එකේ ද, පසුගිය දිනවල කුණු ඇවිස්සෙනවා දුටුවත්, කුණු කේස් ගැන අලුතෙන් දෙයක් ලියන්න මා නම් නොසිතුවේ කලින් කුණු ගැන සටහන් කිහිපයක් ම ලියා තිබුණු නිසා ය.

නමුත් ඊයේ වෙනත් තැනක සටහනක් තබද්දී ලියවුණු පහත කාරණය රසිකොලොජියේ ද පළ කරන්නට සිතුවෙමි.

මේ ලිපියේ අමුතු හෝ අලුත් දෙයක් නැති බව මුලින් ම පවසමි.

කතාව කෙටියෙන් මෙය යි.

නගර සභාවෙන් හෝ පාරේ ඇති හිස් ඉඩමකින් හෝ පාරේ පාළු වංගුවකින් හෝ කිසිදු උදව්වක් නොමැතිව අපට අපේ කුණු අප ඉන්නා නිවස පිහිටි ඉඩමේ දී ම කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සිතන්න.

දැන් මෙය අප කරන්නේ කෙසේ ද?

කුණු යනු කුණුවෙන කුණු සහ කුණු නොවන කුණු ලෙස මූලිකව ම කොටස් දෙකකි. එනිසා අප මුලින් ම කළ යුත්තේ මේ කුණු වර්ගීකරණය කර ඒ ආකාරයට බෙදා එකතු කිරීමයි. ඉන් පසුව ඒ වෙන් කර ගත් කුණු සහ නොකුණු ඒ ඒ වර්ගවලට යෝග්‍ය ආකාරයට කළමනාකරණය කිරීමයි.
  1. කුණු නොවන කුණුවලින් කොටසක් කෙළින් ම නැවත පාවිච්චි කළ හැකි ඒවා ය.
  2. කුණු නොවන කුණුවලින් තවත් කොටසක් නැවත නිෂ්පාදන ක්‍රියාවලියක දී අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කළ හැකි ඒවා ය.
  3. කුණු නොවන කුණුවලින් තවත් කොටසක් ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතු වෙනු ඇත.
  4. කුණු නොවන කුණුවලින් ඉතිරි කොටස ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
  5. කුණු වෙන කුණුවලින් මූලිකවම පොහොර සෑදිය හැක.
  6. එසේ පොහොර සඳහා භාවිතා කළ නොහැකි කුණු වෙන කුණු ද, එක්කෝ ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතුය, නැතහොත් ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
ගමේ කුණු, නගරයේ කුණු, පළාතේ කුණු සහ රටේ කුණු කළමනාකරණය කළ යුත්තේ ද ඉහත ආකාරයට ම ය.

ඒ කුණු කළමනාකරණයට යන වියදම, භාණ්ඩ පරිභෝජනය කරන්නන් විසින් ඒ ඒ භාණ්ඩයේ මිලේ කොටසක් ලෙස ගෙවීම වඩාත් සාධාරණ ක්‍රමය වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා 2015 වසරේ ලියූ කුණු කතා කිහිපය මෙසේ ය.

1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html


2. පරණ කුණු කතා - Latter day litter, later!
http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html


3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html


4. අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish
https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html


(image: http://media.gettyimages.com/photos/sri-lankan-man-walks-past-a-poster-bearing-portraits-of-president-picture-id459409154)

Friday, 21 April 2017

පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?


පහළ පරකන්දෙණියේ පිහිටි තාත්තා ගේ මහගෙදර මිදුලේ වැවී තිබුණු ලොවි ගස් ගැන ලියන විට (අප කුඩා කාලයේ සිට අද දක්වාත්, අනාගතයේදීත් ලොවි කියා කීවාට, මේවා යේ නිවැරදි නම උගුරැස්ස බව සඳහන් කළ යුතු ය!) මා කුඩා කල ලියූ කවියක් සිහියට ආවේ ය.

මා මේ කවිය ලියූවේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ බව මගේ මතකයයි.

එය ලොවි නම් ඒ ප්‍රණීත පළතුර පිළිබඳව නොව සුළඟ ගැන ලියවුණු එකකි. නමුත්, ලොවි මල් ගැන යම් සඳහනක් ඒ කවියට ඇතුළත් වී ඇත.

මෙන්න ඒ කවි ය.

සුළඟ

දොරකඩ ළඟ ලොවි ගහේ
මල් පිපිලා සුවඳ හමයි
හැම තැන යන සුළඟ ඇවිත්
බඹරිඳුහට එය පවසයි
හිරු රැස් වැඩි වී ගොසින්
පීඩා එයි දස අතින්
හැම තැන යන සුළඟ ඇවිත්
අපගේ ගිම් රැස් නිවයි
පොඩි ළමයා අවදි වෙයි
කැරකෙන පෙත්තක් හදයි
හැම තැන යන සුළඟ ඇවිත්
විගහට එය කරකවයි
අහස කෙමෙන් අඳුරු වෙයි
වලාකුළෙන් පිරී යයි
හැම තැන යන සුළඟ ඇවිත්
වැහි බිඳු සැම තැන බෙදයි


මේ කවියේ එක් කොටසක් මුලදී මගේ මතකයට නංවා ගැනීම අසීරු විය. එහෙත්, දැන් ස්වල්ප මොහොතකට පෙර, ඒ මතකය යළි අවදි කරවා ගෙන මතකයේ සැඟවී තිබුණු පදය ගැලපෙන පරිදි යළිත් සකසා ගැනීමට මට ඉඩ ලැබුණි.

වසර දහයක් වයසැති සාමාන්‍ය අත්දැකීම් ඇති කුඩා ළමයෙකුට සුළඟ පිළිබඳව මීට වඩා හොඳ කවියක් ලියන්නට ශක්‍යතාවක් තිබුණේ යැයි මම නොසිතමි.

"සිහිල් සුළං රැල්ලේ" වැනි පෙම් ගී ලියවෙන්නට නම්, විකසිත ආදරයේ පහස විඳ තිබිය යුතු ය.



"එන්න මදනලේ" වැනි විරහ ගී ලියවෙන්නට නම්, ඉතා දුක්බර ආදර වියෝ වේදනා අත් විඳ තිබිය යුතු ය.



අවුරුදු දහයේ කොල්ලෝ ඒ කතා නොදනිති!

මේ ගීතය ද අප ඇසුවේ ඊට පසු කාලයක දී ය.



-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇපල් මල් ගැන පවා ගී ලියවී ඇති රටේ, ලොවි මල් ගැන ගීයක් නෑ (තවමත්) නේද?

(image: https://apeosupela.blogspot.com.au/2015/10/flacourtia-indica.html)

Thursday, 20 April 2017

ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain


රචකයා හැර මේ ලොව අන් කිසිවෙකු විසින් නොකියවූ "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මැයෙන් යුතු වාක්‍ය රචනාව මා ලියූයේ පහේ පන්තියේ දී මා ගත කළ අවුරුදු නිවාඩු කාලයේ දී ය.

වසරේ අනිත් නිවාඩු කාල දෙකට වඩා, අවුරුදු නිවාඩුව අපට සැම විටම වැඩි සතුටක් ගෙන දෙන්නට හේතු කිහිපයක් විය. ඉන් එක හේතුවක් වූයේ මේ කාලයේ දී අපට හිතේ හැටියට කජු පුහුලම් සහ අඹ කන්නට ලැබීමයි.

මගේ පියා ගේ මහගෙදර ලෙස අප හඳුන්වන නිවස පිහිටා තිබුණේ පහළ පරකන්දෙණියේ ය. ආච්චීට පරම්පරාවෙන් හිමිව තිබූ සහ කොටස් වශයෙන් මිල දී ගෙන තිබූ එකිනෙක යාබද ඉඩම් කට්ටි කිහිපයක මැද පිහිටා තිබුණු ඒ නිවස අවට කජු ගස් රාශියක් ද, එක් සුවිසල් අඹ ගසක් ද විය.

අවුරුදු නිවාඩු කාලේ පළ නොදැරුවේ වුව ද, ආච්චී ගේ ගෙවත්තේ තිබූ මා ඉතා ප්‍රිය කළ පලතුරු වර් ගය වූ යේ ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.

එහි ලොවි ගස් එකක් නොව දෙකක් ම විය.

ලොවි ගස්වල ගෙඩි හට ගන්නේ වසරකට එක් වතාවක් පමණි. මගේ මතකයට අනුව අප්‍රියෙල් මාසය වන විට ලොවි මල් පිපී, ගස් දෙකම මී මැස්සන් ගේ කෙලිබිමක් බව පෙරළේ. ඒ මී මැස්සන් ගේ මීවදය කොතැනක තිබුණිදැයි අපි දැන නොසිටියෙමු. අප දුටුවේ උදෑසන සිට සවස් යාමය වන තුරුම ගසේ පිරී සිටි මී මැස්සන් රංචුත්, උං නැගු ගුමු ගුමු නාදයත් පමණි.

මී මැස්සන් කෙමෙන් තම කාර්යය නිමා කර ඉවත් ගිය පසු ලොවි ගසේ ලොවි මල්වලින් කුඩා ලොවි ගෙඩි මතුවේ. ඉන් පසුව ගතවෙන මාස දෙකක පමණ කාලය තුළ මේ ලොවි ගෙඩි ක්‍රමයෙන් ලොකු වී ඉදෙන්නට පටන් ගනිනි.

ලොවි වාරය එළැඹීම කුඩා අපට මෙන් ම අපේ ආච්චිට ද ඉතා සතුටත් ගෙන දෙයි.

අපට උදැසන සිට සවස් වෙන තුරුම ලොවි කෑම කළ හැකිය. ආච්චීට ලොවි විකුණා යම් මුදලක් උපයා ගත හැකි ය.

ආච්චි ගේ ලොවි මිලට ගන්නේ, ගමේ වෙළෙන්දියකි.

මා දන්නා පරිදි දරුවන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක ගේ මවක වූ ඇය, එදා වේල සරි කර ගත්තේ, ගමේ හැදෙන ලොවි, අඹ, ගැට පොලොස්, ගස්ලබු වැනි දේ දිනපතාම පාහේ කොළඹ තොටළඟ නමින් හැඳින්වෙන ස්ථානයට ගෙන ගොස් විකිණීමෙනි.

ලොවි ගස් දෙකේ පහතින් ඇති අතුවල හටගන්නා ගෙඩි නම් අපේ ආච්චීට කඩා ගත හැකි වුව ද, ඉහළ ගෙඩි නෙලා ගැනීමට ඇයට සහය අවශ්‍ය වේ. ඒ කාර්යය ඉටු කර දුන්නේ මා ය. නිකම් නොවේ, ඇය ඒ සඳහා මට මුදලක් ද දුන්නා ය.

මගේ මතකයට අනුව, ලොවි ගෙඩි සීයක් කඩා දුන් විට ආච්චී මට ශත දහයක් ගෙවන්නී ය. එය, ඇයට ලොවි විකුණා ලැබෙන මුදලින් 10% පමණ ප්‍රමාණයකි.

මාස දෙකක් පමණ කාලයක් තිස්සේ පවතින ලොවි වාරයේ දී, ආච්චීට ලොවි කඩා දීමෙන් මට ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් උපයා ගත හැකි විය.

ඒ අනුව බලන කළ, ඒ කාලයේ මම ද අපේ ගමේ ආර්ථික ක්‍රියා දාමයේ වැදගත් කොටස්කරුවෙකු වීමි!

-රසිකොලොජිස්ට්

මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන සිව්වෙනි ලිපියයි.

ප/ලි:
මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html


(image: https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/10635773_601019323335490_4886273938178538734_n.jpg?oh=8f8a0a7be175ac20610641a5ce8e8419&oe=598FF8B5)

Wednesday, 19 April 2017

බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history


උපාධිධාරී විද්‍යා ගුරුවරයෙකු, ගුරු උපදේශකයෙකු සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරු හොබවා දැන් විශ්‍රාමිකව සිටින දයා-වී(ර?) නම් අයෙකු විසින් ලියන අධ්‍යාපන රසකතා නම් අලුත් බ්ලොගය ඔබ කියවූවා ද?

එහි එක් ලිපියකට මාතෘකාව සැපයූ "බින්න බැසීම" නම් යෙදුම දුටු විට මට ඒ පිළිබඳව මේ විස්තරය ලියන්නට සිත්විය.

අප දන්නා පරිදි, සම්ප්‍රදායානූකුල සිංහල විවාහයේ දී සිදුවන්නේ විවාහ වූ තරුණිය තම දෙමව්පියන් ගේ නිවස හැරදා, සැමියා ගේ නිවසේ පදිංචියට ගොස් අලුත් නෑදෑයින් සමග එහි ජීවත්වීමයි. සැමියා ගේ මහගෙදර හිමිකම ඇත්තේ ඔහුට නොවේ නම්, පසු කලෙක මේ යුවළ විසින් ඒ ගම් ප්‍රදේශයේ ම වෙනත් නිවසක් තනා ගැනීම සාමාන්‍යයෙන් කරනු ඇත.

නමුත්, බින්න විවාහයක දී සිදුවන්නේ පෙර කී සාමාන්‍ය විවාහයේ ප්‍රතිලෝම ක්‍රියාවලියයි. එනම්, විවාහ වූ තරුණයා, තම දෙමව්පියන් ගේ නිවස හැර දමා, තම මනාලිය ගේ මහගෙදර පදිංචියට ඒමයි.

ඒ ආකාරයට බින්න විවාහ සිදුවීමට එකම කොන්දේසිය වන්නේ විවාහ වන තරුණිය තම පවුලේ එකම දරුවා වීම වේ.

එලෙස, එකම දරුවා වන දියණිය පිට ගමක දීගයක ගියහොත් ඇගේ දෙමව්පියන්ට ඉන්පසු තනිවම තම නිවසේ ජීවත්වීමට සිදුවෙන නිසා, එය වළක්වා ගැනීම පිණිස බින්න විවාහ ක්‍රමය සැකසී ඇති බව නොරහසකි.

සාමාන්‍යයෙන් අතීතයේ සිටම සිංහල පවුල්වල දරුවන් කිහිප දෙනෙකු සිටි නිසා, මේ බින්න විවාහ අවශ්‍ය වූයේ ඉතා කලාතුරකින් පමණි.

ඇත්තටම මේ දක්වා මා දන්නේ බින්න විවාහ දෙකක් පිළිබඳව පමණි. ඉන් එකක් මගේ පියාගේ මිතුරු යුවළක ගේ එකම දියණිය ගේ විවාහයයි. ඔවුන් අපේ ඥාතීහු ද වෙති.
අනෙක් බින්න විවාහය ඊටත් වඩා අපට සමීප එකකි. ඒ මගේ පියා ගේ දෙමව්පියන් ගේ විවාහයයි.

මගේ පියා ගේ මව, උපන් විගසම පාහේ ඉතා අවාසනාවන්ත ලෙස ඇගේ මව මිය ගොස් ඇත. වෙනත් විවාහයක් ගැන නොසිතා, තම දියණිය රැක බලා ගත් ඇගේ පියා කර ඇත්තේ ඒ කාලයේ හැටියට නිසි වයස එළැඹුණු පසු තම දියණිය සඳහා බින්න විවාහයක් පිළියෙල කිරීමයි.

ආච්චී ගේ තාත්තා ගේ පාරම්පරික ගම් ප්‍රදේශය කොස්සින්නට නුදුරු පහළ පරකන්දෙණියයි. සීයා ඉහළ පරකන්දෙණියේ තරුණයෙකි.

මා තාත්තා ගේ මහගෙදර ලෙස දන්නා නිවස යනු, විවාහයෙන් පසු සීයා ද පදිංචියට පැමිණ මිය යන තුරුම ජිවත් වුණු පහළ පරකන්දෙණිය ගම් ප්‍රදේශයේ පිහිටි ආච්චී ගේ නිවසයි.

විවාහයක් යනු සමාන දෙපාර්ශවයක් අතර සම්බන්ධයක් ලෙස සැලකූ විට බින්න විවාහය සහ සාමාන්‍ය විවාහය අතර වෙනසක් නැති නමුත්, පෙර විස්තර කළ පරිදි පවුලේ සුවිශේෂී තත්වය හේතුවෙන් ඇතිවෙන බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි.

බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත් ටෝච් එකක් නිතරම සකසා තබා ගත යුතු යැයි කතාවක් ඇත. ඒ අණ ලැබුණු ඕනෑම මොහොතක නිවසෙන් පිටවී යෑම සඳහා ය. හුළු අත්තක් අවශ්‍ය විය හැක්කේ ඒ මොහොත රාත්‍රියක් ද විය හැකි නිසා ය!

මා දන්නා කාලයේ පටන් අට සිල් සමාදන් වී, පිරිත් කියමින්, භාවනා කරමින්, නිර්මාංශික, විකාල භෝජනයෙන් පවා තොර ජිවිතයක් ගත කළ, මගේ සීයාට නම් එලෙස හුළු අත්තක් සමග ජීවත් වීමට අවශ්‍යතාවක් නොතිබුණි.

අවසන් මොහොත දක්වාම, සීයාට උම්බලකඩ පවා නොදැමූ ආහාර පිළියෙල කරදුන්, ඔහු භාවනාවෙන් යම් කිසි ඉහළ තත්වයට එළැඹ සිටියේ යැයි විශ්වාස කළ අපේ ආච්චී ඉඳහිට දිනක සීයාට කළ එකම චෝදනාව නම්, ආච්චි ගේ නිවසට බින්න බැස, ඇගේ වතුපිටිවල ගොවිතැන් යනාදිය කළ සීයා, තමන්ට හිමි ඉහළ පරකන්දෙණියේ ඉඩම් ඔහුගේ ඥාතීන්ට නොමිලේ ම ලියා දුන් බව පමණි!

ඒ සීයා ගේ දාන පාරමිතාවේ කොටසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන තුන්වෙනි ලිපියයි.

මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html

Tuesday, 18 April 2017

නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday


අද මෙන්ම එදා මා පාසල් ගිය සමයේ ද, ලංකාවේ පාසල් වාර තුනක් ද, නිවාඩු කාල තුනක් ද විය. ඒ පාසල් වාර තුනම, එක හා සමාන කාල පරාසයක, එනම්, අඩු වැඩි වශයෙන් සති දහතුනක් පමණ, පැතිරී තිබුණු අතර, නිවාඩු කාල ද, බොහෝ විට එක සමාන කාල ප්‍රමාණයේ විය.

මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද වේ. එක් වාරයක් සඳහා සති දහයක කාලයක් වෙන් වී ඇති අතර, නිවාඩු කාල හතරෙන් තුනක් ම, එනම් අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍යයෙන් (සැම විටම නොවේ) පාස්කු දින මැදි කරෙගෙන යෙදෙන නිවාඩුව, ජූලි මාසයේ මුල එන සිසිර නිවාඩුව, සැප්තැම්රයේ අගට යෙදෙන වසන්ත නිවාඩුව, සති දෙකක් බැගින් වූ නිවාඩු කාල වේ.

දෙසැම්බරයේ නත්තල් සමයට සතියකට පමණ කලින් එළැඹෙන ගිම්හාන නිවාඩුව, ජනවාරි අග දක්වා සති හයක් පමණ කාලයක් පුරා විහිදෙයි.

දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි.

පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා ද, සතියක් ම කාර්යාලයෙන් බැහැරව සිටි මට, අද උදෑසන සේවයට යාම සඳහා සූදානම් වීමේ දී දැනුණේ මහා කම්මැලිකමකි.

දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර ගත් විගස මට සිහිවූයේ, අප කුඩා කාලයේ අවුරුදු නිවාඩුව ප්‍රීතියෙන් නිවසේ ගත කර ආපසු පාසල පටන් ගන්නා අවස්ථාවයි.

එසේ පාසල් ඇරඹෙන මුල් දිනයේ, පාසලේ දී වැඩි ලොකු දෙයක් සිදු නොවේ. එයට හේතුව, ගුරුවරුන් ද, තවමත් කම්මැලි අරිමින් සිටින නිසාත්, ගුරු කාමරයට වී අවුරුදු කැවිලි සහ ඕපාදූප බෙදා හදා ගැනීම, පන්තිවලට ගොස් ඉගැන්වීමට වඩා ප්‍රිය කරන නිසාත් විය යුතුය.

එනිසා ප්‍රාථමික පාසලේ බොහෝ ගුරුවරුන් එදින කරන්නේ, "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මාතෘකාවෙන් රචනයක් ලියන ලෙස සිසුන්ට නියම කිරීමයි.

මා පස්වෙනි ශ්‍රේණියේ උගන්නා කාලයේ දී, අවුරුදු නිවාඩුව ගත කරන අතරතුර මට ඔය කාරණය සිහිවිය. මා එවිට කළේ, සිංහල ලිවීමේ සටහන් පොත රැගෙන "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන මැයෙන් පිටු දෙක තුනක විස්තරයක් ලිවීමයි.

අඹ වාරය, අවුරුදු කෑ හැටි, ගුවන් විදුලියේ වැඩ සටහන්, ආච්චිලා ගේ නිවසේ ගත කළ නිවාඩුව යනාදී විස්තර මා ඒ රචනයේ ඇතුළත් කරන්නට ඇත.

අවුරුදු නිවාඩුව අවසාන වී පාසල ඇරඹුණි.

අප පන්ති කාමරය පිරිසිදු කර සකසා ගත්තෙමු.

තවත් දවසක් පුරා නිදහසේ සිටීමේ මගේ අපේක්‍ෂා සුන් කරමින් අපේ පන්තිය භාර බමුණුසිංහ ටීචර් සුපුරුදු පරිදි ඉගැන්වීම ඇරඹුවා ය.

පැය කිහිපයක් තිස්සේ මහන්සි වී මා ලියා ගෙන ආ ඒ "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන වාක්‍ය රචනාව කිසිදා මා හැර වෙනෙකෙු කියවූයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි
නිවාඩුව අවසානයත් සමගම 2017 බ්ලොග් වසන්තය ද ඇරඹී ඇත! මේ මා ඒ සඳහා ලියන දෙවන ලිපියයි.

මුල් ලිපිය-

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html



(image: http://techgirl.co.za/2016/01/14/back-to-work-after-a-holiday/)

Monday, 17 April 2017

තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!


කාන්තාවන් ගේ පියයුරු හෙවත් පයෝධර හෙවත් තන හෙවත් ස්තන ග්‍රන්ථි විස්තර කිරීම සඳහා රණ හංසයින්, ජම්බෝල, රන් තැඹිලි යනාදී විවිධ උපමා උපයෝගී කරගත හැකි බව අපි හොඳින් දනිමු.

නමුත්, පියයුරු සඳහා තිඹිරි ගෙඩි උපමාවක් ලෙස යොදා ගෙන තිබෙනු ඔබ මීට පෙර අසා තිබුණා ද?

මේ උපමාව යෙදෙන්නේ සාහිත්‍ය කෘතියක නොවේ. මා හතේ අටේ පන්තිවල දී උගත්, බුදු දහමේ එන වැදගත් සූත්‍රයක් වන පරාභව සුූත්‍රයේ ය.

පරාභව සුූත්‍රය, ත්‍රිපිකයේ සූත්‍ර පිටකයේ, බුද්දක නිකායේ, සුත්ත නිපාතයේ, උරග වග්ගයේ එන සූත්‍රයකි.

සුපුරුදු පරිදි බුදුන් සැවැත්නුවර, ජේතවනයේ, අනාථපිණ්ඩිකස්ස ආරාමයේ වැඩ විසූ දිනයක, හෙඩ් ලයිට් දමාගෙන එහි පැමිණි දෙයියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පවසන ලදැයි කියනු ලැබුව ද, පරාභව සූත්‍රයේ මූලිකවම අඩංගු වන්නේ, දෙයියන් ගේ කෙසේ වෙතත් මිනිසා ගේ පරාභවයට හෙවත් පරිහානියට හේතු වන කාරණා ය.
ඒ කාරණා බොහොමයක් අපට සිතා ගත හැකි, සාමාන්‍ය තර්කයකින් වටහා ගත හැකි, ඒවා ය.

උදාහරණ ලෙස, ධාර්මිකව නොහැසිරීම, අසත්පුරුෂයන් ආශ්‍රය කිරීම, අලසකම, පරදාර සේවනය හෙවත් කොටු පැනීම සහ සුරාවට ලොල් වීම හෙවත් අනුමත වීම වැනි දේ මිනිසා ගේ පිරිහීමට කාරණා ලෙස මේ සූත්‍රයේ දැක්වේ.

පරාභව සූත්‍රයේ එන පරිහානියට කාරණා ලයිස්තුවේ දසවැනි කාරණය දැක්වෙන්නේ මෙසේ ය.
අතීතයොබ්බනො පොසො
ආනෙති තිම්බරුත්තනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතො මුඛං
එහි තේරුම සාමාන්‍ය සිංහලෙන් මෙලෙස වේ.
ඉක්මගිය යෞවන වයසේ ඉන්නා (මහලු) පුරුෂයෙක් තිඹිරි ගෙඩි වැනි (කුඩා?) පියොවුරු ඇති තරුණ දැරියක් ආවාහ කොට ගෙන ඇය (අන් පුරුෂයින් හා එක් වේ යැයි සැකයෙන් ඒ) පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් නො නිදා ගත කරයි ද එය පිරිහීමට කාරණයක් වේ.
තිඹිරි ගෙඩි යනු සාමාන්‍යයෙන් පියවුරු සඳහා උපමා ලෙස භාවිතා වෙන තැඹිලි, ජම්බෝල, පත්තක්කා (මෙලන්) වැනි ප්‍රමාණයේ ගෙඩි වර්ගයක් නොව ඉතා කුඩා පලතුරකි.

එනිසා, මට නම් පෙනෙන්නේ පරාභාවයට යාමට පෙර, එවැනි පියයුරු ඇති ළාබාල තරුණියක් විවාහ කර ගන්නා තැනැත්තා, බාලාපරාධය සඳහා සිරගත විය යුතු බවයි!

කෙසේ වෙතත්, පරාභවයට හේතුව නම්, ඊට කලින් දැක්වූ කාරණාවල සඳහන් වූවා සේ ම, නොනිදා සිටීම හෝ ඊර්ෂ්‍යා කිරීම මිස මේ විවාහ වීම නම් නොවන බව කිව යුතුය. නිකරුණේ වද නොවිඳ හොඳින් නිදා ගන්නේ නම්, පරාභාවයට කිසිදු හේතුවක් නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ගායක වික්ටර් රත්නායක පසුගිය දා තම ජීවිතයේ දෙවෙනි වසන්තය උදා කර ගත්තේ ය. මතභේදයට තුඩු දුන් ඒ විවාහය සිදුවුණු දිනවල දී කෙටුම්පත් කළ නමුදු පළ කිරීම අතපසු වුණු මේ ලිපිය අදින් ඇරඹෙන බ්ලොග් වසන්තය සැමරීම පිණිස මෙලෙස පළ කිරීමට සිත්විය.

(image: https://apeosupela.blogspot.com.au/2017/03/tibiri-diospyros-malabarica_21.html)

Friday, 14 April 2017

ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය - Comedy time in Australia


ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් ම මෙල්බරන් නගරයේ, මාසිකව පළ කෙරෙන සිංහල සඟරා කිහිපයක් පිළිබඳව විස්තරයක් මම පෙර ලිපියේ සඳහන් කළෙමි.

එයින් එක් සඟරාවක් වන සිහනද මාසිකයේ මෙවර පළ වී තිබුණු අපූරු ලිපියක් කියවා රස විඳි මට, ඒ ලිපිය අන්තර්ජාලයේ නොමැති නිසා, ඒ රසය විඳ ගැනීමට ඔබට ද අවස්ථාවක් ලබා දීමට සිත් විය.

මද කලකට පෙර ලංකාවේ පුවත් පත් කතුවරයෙක් මට පණිවිඩයක් එවමින්, විදෙස්ගත ලාංකිකයින්ට ඒ ඒ රටවල ඔවුන් ගේ වෘත්තිය සඳහා ඇති පිළිගැනීම සහ එමගින් ලංකාවට සැලසෙන වාසි පිළිබඳව ලිපියක් ලිවිය හැකි දැයි විමසුවේ ය. මා ඒ ආකාරයේ කරුණු අඩංගු ලිපියක් නොලිව්ව ද, මේ පහත පළ කෙරෙන ලිපියෙන් නම්, ලාංකික අපට විදෙස් රටවලට කොතරම් සේවයක් කළ හැකි දැයි මොනවට පැහැදිලි වේ!

මෙන්න ඒ සිහනද ලිපිය.

අපේ කට්ටඬි වෘත්තිකයා මුලින් ම කරන්නේ ඕස්ට්‍රේලියාවේ වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ කෙන්දරය පෙන්වා සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් සොයා ගත් හැකි අතීත විස්තරයක් ඉදිරිපත් කිරීමයි.



ඊළඟට කට්ටඬි වෘත්තිකයා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ වත්මන් විපක්‍ෂ නායක බිල් ෂෝටන් ගේ කෙන්දරය පෙන්වා, අප සැම දන්නා පුද්ගලික විස්තර ගෙන හැර දක්වයි.



මේ කට්ටඬි වෘත්තිකයා පවසන ආකාරයට, මැල්කම් ටර්න්බුල් පසුගිය ජූලි මාසයේ රජය පිහිටුවන්නේ ඕස්ට්‍රේලියානු මහජනතාව ඡන්දය දුන් ආකාරය අනුව නොවේ. ටර්න්බුල් ගේ ග්‍රහචාරයේ ඇති යෝගයක් සහ ෂෝටන් ගේ පාප ග්‍රහයන් නිසා ය.

විනෝද සමයේ හොඳම කොටස එන්නේ ඉන් පසුව ය.

මෙන්න අපේ කට්ටඬි වෘත්තිකයා අගමැති ගේ සහ විපක්‍ෂ නායකයා ගේ කෙන්දර ඇසුරෙන් ඕස්ට්‍රේලියාව පිළිබඳ පළකරන අනාවැකි!



රූපවාහිනී ප්‍රවෘත්ති සහ වෙනත් වැඩ සටහන් නරඹන, පුවත්පත් කියවන අපට ඔයිට වඩා ඉතා ප්‍රශස්ත මට්ටමේ අනාවැකි ඉදිරිපත් කළ හැකි වෙනු ඇත!

මෙන්න අපේ කට්ටඬි වෘත්තිකයා පිළිබඳ විස්තර.



ඔහු කරන මේ උදාර සේවය අප සැමට ආඩම්බරයකි. ජයින් ජයිම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉකොනොමැට්ටා බ්ලොග්කරු මේ ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වතැයි සිතමි!

Wednesday, 12 April 2017

ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශන - Sinhala language publications in Australia


ඕස්ට්‍රේලියාවේ වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. මා දන්නා පරිදි, එහි සිංහල සඟරා හතරක් මාසිකව පළ වේ.

ඉන් මූලික ස්ථානය ගන්නේ ජගත් ජේ. එදිරිසිංහ ගේ උපදේශක කතෘත්වයෙන් යුතුව දැන් වසර දොළහක් තිස්සේ පවත්වාගෙන යන සන්නස සඟරාවයි. එහි මුද්‍රිත සියලුම පිටපත් පහත සංරක්‍ෂිත අඩවියෙන් කියවිය හැකි ය.

http://sannasa.sinhalajukebox.org/

සන්නස සඟරාව ආරම්භයේ සිටම වාගේ මම ඒ සඳහා ලිපි සැපයීමි. මා පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ, "සිව් වසරක් මරදානේ" නම් කෘතියේ අඩංගු වුණේ මා සන්නසට සඟරාව සඳහා ලියූ "පමා නොවී එමි අකුරට" නම්, මා දහවෙනි ශ්‍රේණිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තුරු ගත කළ සිව් වසරක අත්දැකීම් සහිත තීරු ලිපි එකතුවයි.

ඉන් අනතුරුව මම, සන්නස සඟරාව සඳහා "කුමර දිවිය" නමින් තීරු ලිපි දාහතක් රචනා කළෙමි.

මා මේ දිනවල සන්නස සඳහා ලියන්නේ "අපේ කාලයේ කතන්දර" නම් තීරු ලිපි මාලාවකි. මෙවර පළ වුණේ එහි විසි හත්වෙනි කොටසයි.

මීට අමතරව මම, "අල්ලපු ගෙදර" නමින් ද, "සිනුවර හසුන" නමින් ද, සන්නස සඟරාව සඳහා තීරු ලිපි ලියා ඇත්තෙමි.

සන්නස සඟරාව ඇරඹීමට දෙවසරකට පමණ පෙර මෙල්බර්න් නගරයේ ම උපත ලැබූ සඟරාවක් ද වේ. එය නමින් "පහන" නම් වේ. මේ සඟරාව ඇරඹුණේ ද ජගත් ජේ එදිරිසිංහ ඇතුළු පිරිසක ගේ කතෘත්වයෙන් වුව ද, එහි අයිතිය පසුව ව්‍යාපාරිකයෙකු සතු විය.

මාසික ප්‍රධාන කලාපයට අමතරව මාසයේ මැද ද කලාපයක් නිකුත් කරන පහන සඟරාවේ වෙබ් අඩවිය පහත දැක්වේ. ඔවුන් ගේ පෙර කලාප අන්තර්ජාලයේ කියවීමට තිබේ යැයි නොසිතමි.

http://www.pahana.com.au/

පහන පුවත්පතට මා කළ සඳහන් කළ යුතු සම්මාදම නම්, "කොලු කාලේ" නම් ලිපි විස්සකින් සමන්විත වසර 2010 මැද සිට ලියවුණු තීරු ලිපි මාලාවයි. මා එය ලියූවේ, මෙල්බර්න් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ සිංහල ලේඛකයෙකු වන දොන් බෝල්ඩ්වින් කුරුප්පු සහ එකල මෙල්බර්න් නුවර වාසය කළ ලේඛිකාවක වූ හේමමාලා හේරත් ගේ ඉල්ලීම පිට ය.

මීට අමතරව මා දන්නා පරිදි මෙල්බර්න් නගරයේ පළවෙන මාසික සඟරා දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, සාමන්ත තැන්නගේ විසින් සංස්කරණය කෙරෙන "කැඩපත" නම් සඟරාවයි. එහි වෙබ් අඩවිය මෙලෙස වේ.

http://kadapatha.com.au/

දෙවැන්න නම් විල්ෆ්‍රඩ් සිරිවර්ධන ගේ කතෘත්වයෙන් මෙල්බර්න් සිංහල සඟරා අතරට මීට වසර එකොළහකට පමණ පෙර ඇතුළත් වී ඇති "සිහනද" සඟරාවයි. ඔවුන් ගේ වෙබ් අඩවියක් නම් තිබේ යැයි මම නොසිතමි.

මේ සඟරා සියල්ල මුද්‍රණය කර ප්‍රධාන වශයෙන් කුළුබඩු කඩ හරහා සහ පන්සල් වැනි වෙනත් පොදු ස්ථාන හරහා බෙදා හැරෙන්නේ නොමිලයේ බව ද කිව යුතුය. ඒ සඟරා අතුරෙන් පහන, සන්නස සහ සිහනද සිනුවර දී ද ලබාගත හැකිය.

මීට වසර විසි හතකට පෙර සිනුවර දී පිහිටවූ "සිංහල සංස්කෘතික හමුව" විසින් "සිංහල" නමින් ත්‍රෛමාසික සඟරාවක් වසර 2001 දී පමණ සිට පළ කෙරුණු නමුත්, දැන් එය අභාවයට ගොස් ඇත!

මම වසර 2005 නොවැම්බරයේ සිට 2008 ඔක්තෝබර දක්වා එහි සංස්කාරක ලෙස ස්වේච්ඡා සේවය කරමින් සඟරා කලාප දොළහක් එළි දැක්වූයෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සොය බැලීමේ දී, "සියපත" නමින් මාසික සඟරාවක් ද, "සංචාරකයා" නම් සංචාරක සඟරාවක් ද මෙල්බර්න් නගරයේ පළ වෙන බව ආරංචි විය.

Monday, 10 April 2017

දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra visits India


දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තට ම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ සහ හෙළම පමණක් වේ.

ලංකාපුත‍්‍ර මැතිනිය ගැන කිව යුත්තේ ද එය ම ය.

ලංකාපුත‍්‍රලා ගේ සිව් පාර්ශවයෙන් ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට හේතුව නම් විජය ගේ සිට වීර පනික්කිලා දක්වා විවිධ කාල වකවානුවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිංහල වංශය සෑදූ අයටත් වඩා ලංකාපුත‍්‍රලා මුළු ඇඟ පුරා ම හෙළ ලේ තියෙන අය වීමයි.

ඔය ආන්ද්‍ර ප‍්‍රදේශයෙන්, කේරළයෙන්, ගුජරාටියෙන්, ඇසෑමයෙන් ලංකාවට පැමිණි අරුන් මුන්ටත් වඩා ලංකාපුත‍්‍රලා දේශපාලනිකව ඉන්දියානු වීරෝධී වෙන්නේ එනිසා ය.

ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට කෙරුණු ඉන්දියානු අතදැමීම්වලට ලංකාපුත‍්‍රලා එක හෙළා විරුද්ධ වූහ.

පරතසාරතීලා ගේ, ඩික්සිත්ලා ගේ සිට රාවෝලා දක්වා වූ ඉන්දියන් ඒජන්තයින් ද ලංකාපුත‍්‍රලාට වහකදුරු සේ ය.

විජයගේ ලංකාගමනය කෙසේ වෙතත් ඉන්පසු සිදුවූ එළාර, මාඝ, සේන, ගුත්තික, අලකේශ්වර, කන්නසාමි, අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් ආදී සියලූ ඓතිහාසික ඉන්දීය ආක‍්‍රමණ ලංකාපුත‍්‍රලා නිරතුරු හෙළා දකිති.

පරිප්පු ගුවනින් හෙළීම, ඉන්දු ලංකා ගිවිසුම, සාම සාධක හමුදාව යනාදිය කරුණාකර මතක් නොකරන්න!

කරුණු එසේ හෙයින් දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ඉන්දියාවේ සංචාරයක් කිරීමට තීරණය කිරීම අප වැනි පුඟුලන් ගේ විමතියට කාරණයක් විය.

නමුත් ඒ මොහොතේ අපට නොවැටහුනු කරුණක් වූයේ ලංකාපුත‍්‍රලා ගියේ ඉන්දියාවට නොව දඹදිව නමැති දිවයිනකට බවයි. (දඹදිව යනු ඉන්දියාවේ ඇතැම් කොටස් ද, නේපාලයද අයිති මනෝ රාජ්‍යයකි!)

ලංකාපුත‍්‍රලා ගේ ඉන්දියානු සංචාරයේ එක් අතුරු අරමුණක් වූයේ ටජ්මහල නැරඹීමයි.

ටජ්මහල වනා හී සාමාන්‍යයෙන් දඹදිව වන්දනාවේ යන පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේලා ගේ චාරිකාවලට අයත් වෙන ස්ථානයක් නොවේ. නමුත් ලංකාපුත‍්‍රලා ගියේ පෙර කී ආකාරයේ පැන්ෂන්කාරයින් ගේ චාරිකාවක් නොවේ. ස්පැෂල් එකකි. කාලය දින දාහතකි. ඒ දිනවල එක් අයෙකුට වියදම ගෙඩි රුපියල් ලක්ෂයකි.

අනෙක් අතට ටජ්මහල වනාහී කෙළින් ම රාමා ගේ හෝ හනුමාන්ලා ගේ හෝ බූදලයක් නොවේ. සාජහන්ලා, මුම්ටාස්ලා ඉන්දියාව ආක‍්‍රමණය කළේ බටහිර දෙසින් පැමිණ ය. ටජ්මහල නැරඹීමට ලංකාපුත‍්‍රලාට අවශ්‍ය වූයේ ඒ නිසාද විය හැක.

නේපාලයේ සහ ඉන්දියාවේ පිහිටි විවිධ බෞද්ධ ඓතිහාසික ස්ථාන වැඳ පුදා ගත් ලංකාපුත‍්‍ර මැතිතුමා සහ එම මැතිනිය තම ගමන් සගයින් කිහිප දෙනා ද සමග දිගු ගමනකින් පසු එක් රාත‍්‍රියක අග‍්‍රාවට ළඟා වූහ.

පසුදා උදේ පාන්දරින් ම ටජ්මහල නැරඹීමට යාමට සිතා සිටිය ද එදින සිකුරාදාවක් වූ බැවින් ටජ්මහල වසා තිබුණි. අවට පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන නැරඹීමේ දී ලංකාපුත‍්‍රලාට පෙනී ගියේ ඇතුළු වීමේ ටිකට් පතක් වෙනුවෙන් ඉන්දියානුවෙක් ගෙවන මුදලට වඩා දෙගුණයක් පමණ ලංකාවේ සිට පැමිණෙන සංචාරකයෙකු සඳහා ගෙවිය යුතු බවයි.

”මේක මහා අසාධාරණයක් නේ!” දේශප‍්‍ර‍්‍රිය ලංකාපුත‍්‍ර තම අප‍්‍රසාදය පල කළේ ය.

”හැබැයි ඉතිං ලංකාවෙත් ඔහොම තමයි, ටෙම්පල් ඔෆ් ද ටූත් බලන්න යන්නත් ෆොරිනර්ස්ලාට ටිකට් ගන්න වෙනවානේ!” ලංකාපුත‍්‍ර මැතිනිය කීවා ය.

හොඳම අසාධාරණය පෙනෙන්නට තිබුණේ පසුදා නැරඹීමට නියමිත වූ ටජ්මහල සඳහා ය. ඉන්දියානුවෙකු ගෙවිය යුතු වන්නේ ඉන්දියානු රුපියල් විස්සකි. ලාංකිකයෙකු සඳහා එය ඉන්දියානු රුපියල් පන්සීයකි. එනම්, විසිපස් ගුණයකි.

පළපුරුදුකාරයෙකු වූ නඬේ ගුරා ගෙන් වටිනා උපදෙසක් ලැබුණේ මේ මොහොතේ ය.

”අපිට පුළුවන් වෙයි ඉන්දියන්කාරයෝ වගේ ගිහින් ටිකට් ගන්න. සමහරු ඕක කරනවා. හැබැයි සමහරු අහුවෙනවා. මිසිස් ලංකාපුත‍්‍රට පුළුවනි නම් අර සල්වාර්-කමීස් ඇඳුමක් වගේ එකක් ඇඳන් යන්න ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ!”

ඒ උපාය වැඩ අපූරුවට වැඩ කළේ ය.

ලංකාපුත‍්‍ර මැතිනිය පාරම්පරික හෙළ කුල කතාන්තාවන් ගේ උත්තම වස්ත‍්‍රය වන තම ඔහොරිය ගලවා අලූතෙන් ම මිලට ගත් සල්වාර් කමීස් සහ බාච්චු කලිසමකින් සැරසී ගොස් ඉන්දියානු කාන්තාවක් ලෙස රඟ පා රුපියල් විස්සේ ටිකට් ගත්තා ය.

”විශ්වාස කරන්න මිස්ටර්, ඒ ඇඳුමට ගියේ ඉන්දියන් රුපියල් දෙසීය ද කොහෙද. නමුත් ඒකෙන් අපිට සෑහෙන්න වාසියක් වුණා!” සිව් පාර්ශවයෙන් ම සුපිරි හෙළයෙකු වන මහා ඉන්දියානු විරෝධී දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා තම වික‍්‍රමය පිළිබඳ පම්පොරිය මා සමග පැවසුවේ එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.sannasa.com/)

Friday, 7 April 2017

පිරිමින් ගේ අවයව සඳහා යොදා ගත හැකි උපමා කවරේද? - Pot belly and what else?


මේ උපමා උපමේය අසා තියෙනවා නේද?
මුහුණ සඳ වගේ ය.
දෙතොල් නා දළු වගේ ය.
පියයුරු රණ තිසරුන් වගේ ය.
කෙස් වැටිය වලාකුළක් වගේ ය.
බෙල්ල හක්ගෙඩියක් වගේ ය.
උකුල කරත්ත රෝදයක් වගේ ය.
ඇස් දෙක නිල් මානෙල් වගේ ය.
කාන්තා සිරුරේ විවිධ අවයව කොටස් වර්ණනා කිරීමට විශේෂයෙන් ම, පැරණි සිංහල සාහිත්‍යයේ ද, කොළඹ යුගයේ සෞන්දර්යාත්මක කවියේ ද, විවිධාකාර උපමා උපමේය භාවිතා කර ඇති බව අපි දනිමු. මේ වර්ණනා බොහෝ විට අති ශෘංගාරාත්මක අදහස් ජනිත කරවන ආකාරයේ ඒවා ය.

බෞද්ධ භික්‍ෂූන් විසින් රචනා කර ඇති ග්‍රන්ථවල පවා මේ ආකාරයේ ශෘංගාරාත්මක කාන්තා වර්ණනා සුලභව දකින්නට ඇත.

එවැනි කාන්තා රූප සම්පත්තිය වර්ණනා කෙරෙන නිර්මාණ බිහිවීමට හේතුව නම්, ඒ පුරාණ සාහිත්‍ය කෘති රචනා කර ඇත්තේ පිරිමින් වීම බව අමුතුවෙන් කිව යුතු නැත. තොටගමුවේ ශ්‍රී රාහුල වැනි බෞද්ධ භික්‍ෂූන් ද අවසාන විග්‍රහයේ දී පිරිමින් ය.

ඒ හේතුව නිසා ම, එනම්, වෙනත් ආකාරයකට කියනවා නම්, පුරාණයේ සාහිත්‍යකරණයේ යෙදුණු කාන්තාවන් නොසිටි නිසා ම, පිරිමින් ගේ රූප ස්වභාවය උපමා උපමේය යොදා ගනිමින් වර්ණනා කෙරෙන අවස්ථා සාහිත්‍යයේ දක්නට නොලැබෙන තරම් ය. ඒ සමගම අපේ පැරණි සිංහල සාහිත්‍යකරුවන් අතර සමකාමීන් නොසිටීම හෝ ඔවුන් ඒ බව හෙළි නොකිරීම ද මෙයට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැක.

මීට වසර දහයකට පමණ පෙර කාලයක, සිනුවර පැරණි සිංහල සාහිත්‍යය පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්විණි. පැරණි ගද්‍ය පද්‍ය කෘති පිළිබඳව සාරගර්භ දේශනවලින් සමන්විත වුණු මේ සමන්ත්‍රනයට සම්පත්දායකත්වය සපයන ලද්දේ මේ ප්‍රදේශයේ වාසය කරන මැදි විය පසු කරමින් සිටින සාහිත්‍යධරයන් සිව් දෙනෙකු විසිනි.

එදින ඒ වැඩසටහන මෙහෙයවීමේ කාර්යය භාර වී තිබුණේ මට ය.

සම්පත් දායකයින් විසින් විවිධ සාහිත්‍ය ක්‍ෂේත්‍ර පිළිබඳව පැවැත්වූ දේශනවලින් අනතුරුව එළැඹියේ සභාවේ සිටි සාහිත්‍යකාමීන් ගේ ප්‍රශ්න ඇසීමේ වාරයයි.

මෙහිදී සභාවේ සිටි එක් කාන්තාවක ප්‍රශ්නයක් යොමු කරමින් මා මේ සටහනේ මුල් කොටසේ දී ඉඟියක් දුන් ප්‍රශ්නය, එනම්, පැරණි සිංහල සාහිත්‍යයේ පිරිමින් ගේ රූප ස්වභාවය වර්ණනා කෙරුණේ කවර උපමා උපමේය උපයෝගී කොට ගෙනදැයි විද්වත් මණ්ඩලයෙන් විමසන ලදී.

එයට පිළිතුරු දෙන්න උත්සාහ කළ විද්වත් මණ්ඩලයේ එක් අයෙකු පවසා සිටියේ පිරිමින් ගේ උරහිස්වල පළල් බව පැරණි සාහිත්‍ය කෘතිවල දී වර්ණනාවට ලක් වී ඇති බවයි.

ශාලාවේ ඉදිරිපසින් ප්‍රේක්‍ෂකාගාරය දෙසට මුහුණ ලා වාඩි වී සිටි විද්වත් මණ්ඩලයේ සිව් දෙනාට පිටුපසින් ඒ මොහොතේ සිටි මට, ඒ ප්‍රශ්නයට වඩාත් ගැලපෙන පිළිතුරක් පැහැදිලිව පෙනුණි.

ලෙක්ටර්නයේ මයික්‍රෆෝනය අසලට ගිය මම මෙසේ පැවසුවෙමි.

"අතීතයේ දී සාහිත්‍ය කෘතිවල කාන්තාවන් ගේ මුහුණ සඳට සමාන කර තිබුණු බව මා දන්නා නමුත් පිරිමින් පිළිබඳව එවැනි උපමා භාවිතා වුණු බව මා නම් අසා නෑ. නමුත් මේ විද්වත් මණ්ඩලය දෙස පිටුපස සිට බලා සිටි මට නම් ඔවුන් ගේ සිරුරේ කුමන කොටස සඳට සමාන කළ යුතු ද යන්න ගැන ඉතා පැහැදිලි වුණා!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තට ම, පිරිමින් පිළිබඳ යොදා ගත් හැකි සාහිත්‍යමය වර්ණනා, උපමා තිබේ නම් ඒ මොනවා ද?

(https://www.flickr.com/photos/28851808@N07/2694783321/lightbox/)

Wednesday, 5 April 2017

ගුණරත්නම්, වීරවංශ සහ වර්ණකුලසූරිය නොහොත් පරණ, නොවැදගත්, පුද්ගලික කතාවක් - Political agenda of Nelum Yaya organisers


මුලින් ම මා මේ සටහනේ මාතෘකාවට යොදා ඇති වියාචන (ඩිස්ක්ලේමර්) වර්ගයේ විශේෂණ පද කිහිපය පිළිබඳ කරුණු තුනක් පවසමි.
පරණ කතාවලින් වත්මනට ප්‍රයෝජන තිබේ.

යම් අයෙකුට නොවැදගත් කතාවක වෙනත් අයෙකුට ප්‍රයෝජනයක් තිබිය හැකි ය.

පුද්ගලික අත්දැකීම්වලද පොදු වින්දනයට ඉඩ ලැබෙන කාරණා අඩංගු විය හැකි ය.
දැන් මෙන්න ඒ පරණ, නොවැදගත්, පුද්ගලික කතාව කෙටියෙන්.

මීට වසර නමයකට පමණ ඉහත 2008 නොවැම්බරයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට මා නොදැන සිටි අලුත් ඉරිදා සිංහල පුවත්පතක් දැක ගන්නට ලැබුණි. එහි නම වූයේ "හෙළදිව" ය.

එහි පළ වී තිබුණු ලිපි අතරින් දෙකක් මගේ මතකයේ ඉතා හොඳින් රැඳී ඇත. ඉන් එකක් නම්, නොකී කතා බ්ලොග්කරු, හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියන ලද තම සරසවි සගයෙකු වූ ආනන්ද ඉඩමේගම පිළිබඳ නොකී කතා සටහනකි. දෙවැනි ලිපිය වූයේ එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි අභ්‍යන්තර නායකයා ලෙස සැලකුණු ප්‍රේමකුමාර් ගුණරත්නම් පිළිබඳව විවිධ චෝදනා සහ මඩ අඩංගු වූ කිසිදු විශ්වාසනීයත්වයකින් තොර වූ එකකි.

කරුණු සොයා බැලීමේ දී මා දැන ගත්තේ, "හෙළදිව" පුවත්පත ප්‍රකාශනය කරන්නේ ඒවන විට ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී වෙන් වී මරා ගේ දෑත ශක්තිමත් කරන්නට කරණමක් ගසා තම සෑබෑ දේශපාලු ගමන අරඹා තිබුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංශ ගේ කණ්ඩායම විසින් බවයි. මේ පුවත්පත මුද්‍රණය කෙරෙන්නේ මත්තේගොඩ පිහිටි සයුර නම් ප්‍රකාශන ආයතනයකින් බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයෙන්නේ ජපානයේ වාසය කරන හිටපු ජේවීපීකාරයෙකු විසින් බවත් කියවුණි.

විශ්වවිද්‍යාල සිසුන් ගේ නිර්මාණ සහ වෙනත් ලියවිලි සඳහා වෙන්වූ හෙළදිව පුවත් පතේ අතිරේකයක් විය. එය නම් කර තිබුණේ "නිෂ්මි පිටුව" නමිනි.

මේ කාලයේ වන විට, මා විසින් ලියන ලද අපේ කාලයේ විශ්වවිද්‍යාල තොරතුරු අඩංගු ලිපි කිහිපයක් සුමති ප්‍රකාශනයක් වන "ඉරිදා ලක්බිම" පුවත් පතේ පළ වී තිබුණි.

මාස දෙක තුනකට පසු, 2009 මාර්තුවේ දී මට ඊ-මේලයක් එවූ හෙන්රි වර්ණකුලසූරිය කියා සිටියේ පෙර කී "නිෂ්මි පිටුව" සඳහා මා ලියා "ඉරිදා ලක්බිම" පුවත් පතේ පළ වී තිබුණු රංජිතන් ගුණරත්නම් (එනම් ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ මියගිය වැඩිමහල් සොයුරා) පිළිබඳ ලිපිය උපයෝගී කර ගත හැකිදැයි, "හෙළදිව" පුවත්පතේ සංස්කාරකයෙකු විමසන බවයි.

"හෙළදිව" පුවත්පතේ පසුපස ඇති විමල් වීරවංශ දේශපාලනය පිළිබඳව සහ එහි පල වී තිබූ මා මුලින් සඳහන් කළ දේශපාලන ලිපිය පිළිබඳව මා සිත තුළ වූ පිළිකුල නිසා මගේ පෙර කී ලිපිය හෝ එයින් උපුටා ගත් කොටසක් හෝ එවැනි තැනක පළ කිරීම පිළිබඳ මට කිසිදු ප්‍රසාදයක් ඇති නොවුණි.

මා මේ පිළිබඳව ඔහුට කියූ විට හෙන්රි වර්ණකුලසූරිය මට අප හොඳින් දන්නා පහත කාරණය සිහිපත් කර දුන්නේ ය.
හැම පුවත්පතකටම අයිතිකරුවන් ඇත.

ඒ ඒ අයිතිකරුවන්ට ඔවුන් ගේ දේශපාලනයක් ඇත.

අප ලියන්නේ අපට අවංකව අපට අවශ්‍ය දේ නම්, අප ඒ ලියන දේ පුවත්පත්වල ඒ ආකාරයට ම පළවෙනවා නම්, ඒ පුවත්පත්වල අයිතිකාරයින් ගේ පැටිගිරිය හෝ දේශපාලනය ගැන හෝ අනවශ්‍ය පරිදි සිතීම අවශ්‍ය නැත.
මේ අතීත සිදුවීම මගේ සිහියට ආවේ, පසුගිය දිනවල පැවති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කළ මාධ්‍ය ආයතනයේ දේශපාලනය නිසා සිංහල බ්ලොග් කලාව අවරට යාවි යැයි ඇතැමුන් කළ මතය පිළිබඳව කල්පනා කරද්දී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
හෙන්රි වර්ණකුලසූරිය ගේ පැහැදිලි කිරීම කෙසේ වුව ද, මම නිෂ්මි පිටුව සඳහා රංජිතන් ගුණරත්නම් පිළිබඳව මා ලියූ ලිපිය ලබා නොදුන්නෙමි.

Tuesday, 4 April 2017

කෝකටත් තෛලය සහ කෝකටත් දොස්තර - JMHO


පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් අධ්‍යාපනය ලබා මැවිසුරු වෘත්තියට සුදුසුකම් ලැබුවේ වුව ද, අපේ සහෘද නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය, තම වෘත්තීය ජිවිතයේ සෑහෙන කාලයක් ගත කර ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අතර යැයි සිතමි. මා දන්නා තරමින් ඔහු පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යයන අංශය, ස්වර්ණවාහිනිය සහ ජනතා විමුක්ති පෙරමුණ මගින් එකල පවත්වාගෙන ගිය වී-එෆ්එම් සේවය වැනි ආයතන කිහිපයක ම සේවය කර ඇත.

එනිසා, මාධ්‍ය කටයුතුවලින් මදක් ඈත්ව මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙසින් මෑතක දී සේවය කරමින් සිටි ඔහු, ඒ සේවා කොන්ත්‍රාත්තුව නිම වී ලංකාව පැමිණි විගසම ලයිෆ් ටී වී නම් අලුතෙන් අරඹන්නට යන රූපවාහිනී චැනලයක ප්‍රධාන විධායක නිලධාරී සහ වැඩ සටහන් අධ්‍යක්‍ෂක ලෙස තනතුරු භාර ගන්නට කිසිසේත් ම පැකිළෙන්නට නැත.

එතැන් සිට, ඔහු තම දශක ගණනාවක පළපුරුද්ද ද, ක්‍ෂේත්‍රයේ සගයින් ගේ දායකත්වය ද උපයෝගී කර ගනිමින් අලුත් නාලිකාව සඳහා වැඩ සටහන් නිර්මාණය කිරීම අරඹා ඇත.

පසුගිය දිනවල හෙන්රි වර්ණකුලසූරිය විසින් ෆේස්බුක් හරහා ද, තම නොකී කතා බ්ලොගය හරහා ද ලියා ඇති විස්තරයට අනුව මාස කිහිපයක් ඇතුළත ඒ සියල්ල අවසානයට පත්ව ඇත්තේ, ශ්‍රම දායකත්වය සපයන්නන්ට නියමිත වැටුප් නොගෙවීමේ හේතුවෙනි.

ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට කැමති, මෙතෙක් කියවා නොමැති අය පහත සබැඳි යොදමි.

නොකී කතා මුල් ලිපිය:
ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක් - https://nokieekatha.blogspot.com/2017/04/blog-post.html

නොකී කතා දෙවෙනි ලිපිය:
ලයිෆ් එකට එරෙහිවූ Life -https://nokieekatha.blogspot.com/2017/04/life.html

ෆේසුබුක් සංවාදය:
https://www.facebook.com/henrywarna/posts/10155092689236683

හෙන්රි වර්ණකුලසූරිය ලියා පළ කර තිබූ විස්තරය කියවද්දී මට හැඟී ගියේ අද ලාංකික සමාජයේ අවගමනයට මුල් වී ඇති එක් කරුණක් සුළු වශයෙන් හෝ මේ අවාසනාවන්ත තත්වයට හේතු වී ඇති බවයි.

තම සේවායෝජකයින් හෙවත් බොස්ලා පිළිබඳව සඳහන් කරන හැම තැනක දී ම හෙන්රි වර්ණකුලසූරිය ඔවුන් ගේ වෘත්තීය නාමය වූ "දොස්තර" යන්න යොදා ගනියි.

"ලයිෆ් ටීවී" චැනලයේ මූලික අරමුණ වූයේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ වැඩ සටහන් විකාශය කිරීම වුව ද, ව්‍යාපාරයක් ලෙස, සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඒ පිළිබඳ සැලකීමේ දී එහි අයිතිකරුවන් ලබා ඇත්තේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයක් ද, ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනයක් ද, කෘෂි විද්‍යා අධ්‍යාපනයක් ද යන්න අදාළ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, වාහනයේ ඉදිරිපස ප්‍රදර්ශනය කෙරෙන රථගාල සඳහා වූ අවසර පත්‍රය මෙන් ම, වෛද්‍ය යන නාමයේ ද යම් කිසි අනිසි වැදගත්කමක් ඇති බව පැහැදිලි ය.

විශේෂයෙන් ම සිංහල සමාජයේ කාලාන්තරයක් තිස්සේ පැවත එන මේ එක්තරා ආකාරයක "පසුගාමී පූජනීයත්වය" ගැන හොඳින් දන්නා මේ සමහරු එය තම ව්‍යාපාරික වාසිය සඳහා භාවිතා කරති. ඒ සමගම සෙසු අය එය දැන හෝ නොදැන එයට වසඟ වෙති.

ස්වර්ණාභරණ වෙළෙඳුන් පිරිසක් හෝ අශ්ව රේස් බුකිකරුවන් පිරිසක් හෝ මානෙල් මල් වෙළෙදුන් පිරිසක් හෝ විසින් අරඹන මාධ්‍ය ව්‍යාපාරයක් ගැන සිතේ ඇති වීමට ඉඩ ඇති සැකයක් වෙතොත් එය, විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පිරිසක් විසින් අරඹන මාධ්‍ය ව්‍යාපාරයක් පිළිබඳව ඇති නොවීමට ඉඩ ඇත.

මේ කරුණ අද හෙන්රි වර්ණකුලසූරිය ද පිළිගත්තේ ය.

මා විශ්වාස කරන ආකාරයට වෛද්‍ය උපාධිය වැදගත් වෙන්නේ එවැන්නෙකු ලියන නවකතාවක්, කවියක් හෝ කලා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නොව, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුවල දී පමණි!

ආචාර්ය උපාධි ද, මහාචාර්ය වැනි තනතුරු නාම ද පිළිබඳව කිව යුත්තේ ද එය ම ය.

-රසිකොලොජිස්ට්

(image: http://lainehmann.com/sometimes-life-sucks/)