"ගම ගාල්ල, පුක ලෑල්ල" යන කියමන ඔබ අසා තිබේද?
දැන් ගාලු සෙට් එක කලබල වෙන්න එපා, හරිය?
ගාල්ලේ පමණක් නොව ඕනෑම ප්‍රදේශයක උපත ලැබූ පුක ලෑල්ලක් වැනි අය සඳහා "පුක මැස්සෝ බීලා වගෙයි!" කියා ද සමහරු කියති.
දැන් නම් හුඟ දෙනෙකු කලබල වෙන්නට ඉඩ ඇත!
එනිසා තව වැඩි දුර ලියන්නට පෙර යමක් කිව යුතුය.
"ඔළු සෝදමු!" යනුවෙන් කියවුණු දේශපාලු පෝස්ටරයක් "පුක සෝදමු!" යනුවෙන් වෙනස් කළ සිදුවීමක් මීට වසර තුනකට පෙර (2014 අප්‍රියෙල්) ගාල්ලෙන් වාර්තා විය.
ඒ වෙනස්කම සිදු කළ පුද්ගලයාට විරුද්ධව පොලිසියෙන් නඩු පවරන ලදී. ඒ නඩුවට නිමිත්ත වූ වරද වී තිබුණේ, පුක යන වචනය අසභ්‍ය එකක් යැයි පොලීසිය සිතීම බව පෙනේ.
එහිදී කරුණු දැක්වූ විත්තියේ නීතිඥයා කියා ඇත්තේ පුක යනු ශරීරයේ අවයවයක් බවත්, පුක යන වචනයට වෙනත් තනි වචනයක් නොමැති බවත්, මෙය ශබ්දකෝෂයේ පවා සඳහන් කර අරුත් දක්වා ඇති කිසිසේත් ම අසභ්‍ය නොවන වචනයක් බවත් ය.
ඔහු උසාවියේ දී, ප්‍රකාශ කළේ දැයි මා නොදන්නා අනෙක් කරුණ නම් පුක සේදීම යනු අප බොහෝ දෙනෙකු දවසකට වරක් හෝ සිදු කරන ක්‍රියාවක් බවයි.
ගාල්ලේ එකී සිදුවීම වාර්තාවන්නට වසර තුනකට පෙර 2011 අප්‍රියෙල් මාසයේ දී, පුක යනු කුණුහරුපයක් නොවන බව සිංහල සයිබර් අවකාශයේ දී තර්කානුකූලව ඔප්පු කෙරුණු බව එකල බ්ලොග් කියවූ බොහෝ දෙනෙකු දන්නා කාරණයකි.
මේ සමගම කිව යුතු තවත් කාරණක් වන්නේ, මිනිසුන් ගේ වැරදි චර්යාවන් සහ අදහස් පිළිබඳව කෙතරම් උපහාසයෙන් කතා කළත්, ශරීරාංග පිළිබඳව හෝ උපතින් ලද දේ පිළිබඳව හෝ සරදම් කිරීම කිසිසේත් නොකළ යුත්තක් බවයි.
කෙසේ වෙතත්, මට ඒ මැස්සෝ බීලා වගේ යන කියමන සිහිවූයේ මැස්සෙකු පිළිබඳ සඳහන් කමෙන්ටුවක් ඊයේ රාත්‍රියේ රසිකොලොජි බ්ලොගයට ලැබුණු නිසා ය.
ඒ ගෙමැස්සෙකු හෝ පලතුරු මැස්සෙකු පිළිබඳව නොවේ. ඇටමැස්සෙකු පිළිබඳව ය.
ඇටමැස්සා හෙවත් ගැඩ්ෆ්ලයි යනු හිටපු සිංහල බ්ලොග්කරුවෙකි. ඇටමැස්සා ගේ අඩවිය හෙවත් ගැඩ්ෆ්ලයිසෝන් යනු අදාල බ්ලොග් අඩවියයි.
වසර 2010 සිට 2012 දක්වා කාලයේ සිංහල බ්ලොග් අවකාශයේ ලියවී එක්වරම අතුරුදහන් වූ එක් දේශපාලන බ්ලොගයක් මෙලෙස පුරා වසර පහකට පසුව නැවත ප්‍රාතිභූර්ත වීම සතුටට කරුණකි.
ඒ පුනරාගමනය නොහොත් පුනරුත්පත්තිය, පලතුරු මැස්සන් රජයන වසන්ත සමයේ පැවැත්වෙන බ්ලොග් වසන්තය නම් පුනරුද සමයේ දී ම සිදුවීම අපුරු සමපාත වීමක් බව කිව යුතුය.
මෙන්න ඇටමැස්සා ගේ අඩවියේ ලිපිනය.
https://hanthana.wordpress.com/
ඒ ලිපිනයෙන් කිව හැක්කේ එක්කෝ මේ ඇටමැස්සා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් එකෙකු හෝ එසේ නැතහොත් ලිනක්ස්කාරයෙකු බවයි.
ඇටමැස්සා ගේ පැටිකිරිය කුමක් වුවත්, පලතුරු මැස්සන් රජයන වසන්ත සමයේ පැවැත්වෙන බ්ලොග් වසන්තය මැද මෙලෙස නැවත ඇරඹුණු ඇටමැස්සා ගේ අඩවියෙන් අපට හොඳ දේශපාලන සටහන් බලාපොරොත්තු විය හැකි යැයි මම සිතමි!
-රසිකොලොජිස්ට්
ප/ලි
ගාල්ල උසාවියේ දී විමසුණු ඒ පෝස්ටර් නඩුවට අවසානයේ කුමක් වුණේ දැයි දන්නවා ද?