Tuesday, 30 December 2014

ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once


ලංකාවේ සමහරු මැරුණත් යූ.ඇම්.පී ය. තවත් සමහරු මැරුණත් සිරිලංකා ය.

පසුගිය සමයේ නිරතුරු සිදුවූ මන්තී‍්‍රලා ගේ කූඩළු න්‍යායේ හෙවත් කටුසු න්‍යායේ පක්‍ෂ මාරු නිසාත්, ඔවුන් සමග ඒ පැත්තට, මේ පැත්තට ඇදෙන සපෝටර් වර්ගයේ ජනතාව නිසාත්, මේ උග‍්‍ර පාක්‍ෂිකත්වයේ තරමක අඩුවක් අද දකින්නට ලැබුනද, එදා හැටේ හැත්තෑවේ දශක වලදී තත්වය එසේ නොවීය. එක්සත් ජාතික පක්‍ෂය, පාර්ලිමේන්තුවේ ආසන 144 න් අටක් පමණක් ලබා අන්ත පරාජයකට ලක් වූ 1970 මැතිවරණයේ දී ද, ඔවුන් ගේ මුළු ඡන්ද සංඛ්‍යාව ඒ ආකාරයේ සමානුපාතික අඩුවීමකට භාජනය වී නොතිබුණි. ආසන ක‍්‍රමය බැහැරකොට සමානුපාතික ඡන්ද ක‍්‍රමයකට යාමට ජනාධිපති ජයවර්දෙන තීරණය කළේ මේ නිසා යැයි කියවේ.

අද මා සැරසෙන්නේ 1977 මහ ඡන්දය හා සම්බන්ධ කතාවක් ඔබට කියන්නටයි.

මේ මැතිවරණය පැවැත්වෙන විට මට අවුරුදු පහලොවක්වත් සම්පූර්ණ වී නොතිබුණි. ඡන්ද බලය තව දුර වූවද, දේශපාලනයික වශයෙන් අප තරමක් සංවේදී අය වීමු. එකම ප‍්‍රශ්ණයකට තිබුනේ අපේ දේශපාලන මතය අනිවාර්යෙන්ම අපේ දෙමව්පියන්ගේ දේශපාලන මතිමතාන්තර මතම ගොඩ නැගුණු එකක් වීමයි. කොටින් ම කියතොත්, දෙමව්පියන් යූ.ඇම්.පී නම් දරුවෝ ද යූ.ඇම්.පී වූහ. දෙමව්පියන් සිරි ලංකා නම් දරුවෝ ද සිරි ලංකා වූහ. අවුරුදු දහඅට වෙනතුරු ඡන්ද බලය නොලැබෙන්නේ ඇයි දැයි මෙයින් මනාව සාධාරණීකරණය වේ.

වසර 1977 වන විට එවකට පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් යුතු වූ සමගි පෙරමුණු රජය වසර හතක ආණ්ඩු කාලයකින් පසු මුළු රට පුරාම බරපතල අප‍්‍රසාදයකට පත් වී සිටියහ. ඇත්තටම කියනවා නම් 1970 දී ඔවුන් බි‍්‍රතාන්‍ය රැජින යටතේ පාලනය වූ ලංකාණ්ඩුවේ බලයට පත්වුනේ අවුරුදු පහක කාලයකටයි. නමුත් පසුව 1972 දී, ශී‍්‍ර ලංකා ජනරජය බිහි වීමෙන් පසු රජයේ ආයු කාලය නැවතත් අළුත් කරන ලදී. මේ කරුණද, මීට වඩා බරපතල වූ බඩුමිල යනාදී කරුණු ද මේ මහජන අප‍්‍රසාදයට හේතු වී තිබුණි.

රජය විසිරවීමේ නිවේදනය ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කෙරෙනු ඇසෙන විට මා සිටියේ අපේ වැඩිහිටි වන්දනා නඩයක් සමග පලාබත්ගල පාරේ සමනොල කන්දේ සෑහෙන දුරක් නැග ඉඳිකටුපාන හරියට ලඟාවෙමිනි. අතේ ගෙන ගිය රේඩියෝවකින් ප‍්‍රවෘත්තිය අසා පී‍්‍රති ප‍්‍රමෝදයට පත් වූ පියදාස බාප්පා, එහි සිටි තම මිතුරන් කිහිප දෙනෙකුද සමග එක්වී, "මෙදා පොටේ දෙනව බැටේ!" යනුවෙන් හඬ නැගූ අයුරු තවමත් මගේ මතකයේ ඇත.

ඡන්දය ඉතා උණුසුම් වූ එකක් විය. අප අත උඩින් දිනන බව අපි සක්සුදක් සේ දැන සිටියෙමු.

ඒත් පැරදෙන්නට නියමිතව සිටි පිලේ සමහරුනට එය වැටහී තිබුණේ නැත. මගේ පන්තියේ සිටි අෂාද් පෙරේරා එවැන්නෙකි. වරද ඔහුගේ නොවේ. ඔහුගේ දෙමව්පියන්ගේ ය.

මා කලින් කිව්වාක් මෙන් නිවරදි දේශපාලන අවබෝධයක් නොමැති පොඩි එවුන් වූ අප, නිරායාසායෙන්ම පිළිගත්තේ අපේ දෙමව්පියන් ඇදහූ දෙයයි. අෂාද් ගේ පියා ඉහල පෙලේ සිරිලංකා පක්‍ෂයේ ආධාරකරුවෙකි. රජයට අයිති මාධ්‍ය ආයතනයක ඉහල නිලයක් දැරූ පිළිගත් වෘත්තිකයෙකු වූ ඔහුට, ඇත්තටම කියනවා නම්, ආණ්ඩු පෙරලියෙන් පසු රැකියාව ද අහිමි විය.

ආනන්දයේ ගොඩනැගිල්ලක තුන්වන මහලේ තිබූ අපේ පන්ති කාමරයේ අෂාද් සිටියේ මැද තීරුවේ මුල් පෙලේ එක් කොනක ය. මගේ අසුන හරියටම ඔහු පිටු පසින් විය. ඡන්දයට ආසන්න දිනවල, පාඩම් අතර ඉඩ කඩක් ලැබුනු හැම මොහොතකම පාහේ, අපට ඡන්දය ගැන කතාවට ඉඩ කඩ ලැබුණි.

අෂාද් පැරදීමට නියමිත වූ ආණ්ඩු පක්‍ෂයේ ය. මා ජය ගැනීමට නියමිතව සිටි විරුද්ධ පක්‍ෂයේ ය.

එක් දිනක අපේ මහ මැතිවරණය පිළිබඳ කතාවක් අවසාන වූයේ අප දෙදෙනා අතර ඡන්ද ඔට්ටුවකිනි. ඔට්ටුව වැඩි ගණනකට නොවේ. රුපියල් පහකටය. වෙනත් වචන වලින් කියනවා නම් ආනන්දයේ කැන්ටිමේ බිත්තර පාන් දහයක මිල ය. නැතහොත්, පොදු ජන ආහාරය වූ පාන් ගෙඩි පහක මිල ය.

ඔට්ටුව මෙයයි. මහ ඡන්දයෙන් යූඇම්පීය ආසන 75 කට වඩා දිනුවොත් අෂාද් මට රුපියල් පහක් ගෙවිය යුතුය. යූඇම්පී ආසන ගනන 75 වඩා අඩු වූවොතින් මා අෂාද්ට රුපියල් පහක් ගෙවිය යුතුය. මෙම ආසන ගණන එදා වූ ආසන 144 පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍යවූ අවම සරල බහුතරය විය.

මේ දිනවල "රිවිරැස" පත‍්‍රය මගින් එක් එක් පක්‍ෂයට ලැබෙන ආසන ගණන ගැන කියන්නට තරගයක් විය. ඒ කූපන් පිරවීමේදී අපි යූඇම්පීය ට ආසන සියයකට වැඩියෙන් ලැබෙන බව යෙදුවෙමු. එහෙත්, මා අෂාද් සමග ඇල්ලූවේ අවදානමෙන් තොර ඔට්ටුවකි.

ඡන්ද ප‍්‍රතිඵල අනුව යූ.ඇම්.පී.යට තුනෙන් දෙකක බහුතරයක් හිමි වූ අතර මම ඔට්ටුව උඩින් ම දින්නෙමි.

මෙදා පොටේ දුන්න බැටේ!

-රසිකොලොජිස්ට්

පසු සටහන:
වසර තිස් හතක් ගතවී ජීවිතයේ මැදි වියට එලැඹ ඇති අපේ දේශපාලන අදහස් ද අද වන විට සහමුලින්ම වෙනස් වී ඇති බව කිවයුතු නොවේ.

මට නම් සත්‍යය වැටහෙන්නට පටන් ගත්තේ අවුරුදු දහ අට ලැබීමටත් පෙරය. මා උසස් පෙල විභාගයට සූදානම් වෙන සමයේ පැවති 1980 ජූලි වැඩවර්ජනය අනුසාරයෙන් සියළු මොහඳුර මැකුණි. ඊලඟ වසරේ විශ්ව විද්‍යාලයට යන විට මා තරමක දේශපාලන විඥාණයකින් යුතු වෙනස් පුද්ගලයෙකි.

මා මෙන්ම අෂාද් ද දැන් වාසය කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ය. මා වසර 2009 දී එක් දිනක ඔහුට දුරකතනයෙන් කතා කර පරණ සිදුවීම් නැවත මතක් කර අහිංසක සතුටක් ලබා අවසානයේ ඔහුගේ දේශපාලන අදහස් ගැන විමසූ විට මට හැඟුණේ ඔහු එදත් සිරිලංකා අදත් සිරිලංකා ආකාරයේ පොරක් කියා ය. ඒ 2009 දී ය. අද තත්වය කෙසේ දැයි මම අවංකව නොදනිමි.

එදා 1977 දී යූ.ඇම්.පී ය පැත්තට ඔට්ටු අල්ලා රුපියල් පහක් දිනූවද, එම පක්‍ෂයට කිසි දිනක ඡන්දය නොදුන් මම අද කිසිදු පක්‍ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි.


රසික සූරියආරච්චි ලියූ "සිව් වසරක් මරදානේ" (2012) කෘතියෙන් උපුටා ගන්නා ලදී. ප‍්‍රකාශනය දයාවංශ ජයකොඩි සමාගම.

(image: http://srilankanexpatriates.blogspot.com.au/2011/04/rare-collection-of-sri-lankan-currency.html)

Saturday, 27 December 2014

අස්වාභාවික ලිංගික සතුටක් ලබන සිංහල "මනපහතෙක්" ගැන කතාවක් - Story of an evil mind


ජාතිවාදය ඔඩු දුවා තිබූ කාලයේ කෙසේ වෙතත්, විසි එක්වෙනි සියවසේත් අවුරුදු දාහතරක් ගෙවී යන අද වැනි කාලයක මා මේ ඔබට කියන්නට යන ආකාරයේ කතාවක් අසන්නට, දකින්නට ලැබේ යැයි මම මොහොතකටවත් අපේක්‍ෂා නොකළෙමි.

කෙසේ වෙතත්, දැන් ඉතිං කළ යුත්තේ මා ලැබූ තිගැස්ම මදකට සමනය කරගෙන ඒ ගැන ඔබට කීමයි.

ඊට පෙර, මීට දශක දෙකකට ඉහත කාලයක සිදු වූ අතීත කතාවක් කියන්නට අවශ්‍යයයි.

මා ඒ දිනවල සේවය කළේ ලංකාවේ රාජ්‍ය සංස්ථාවකය. කොළඹින් බැහැර පිහිටා තිබූ සංස්ථා භුමියේ සේවක නිවාස රාශියක් ද ඉඳිකර තිබුණි. අවිවාහක නිලධාරීන් සඳහා වූ කාමර පේලියක මම ද, මා සමග සේවයට බැඳුණු මිතුරන් කීප දෙනෙකු ද නතර වී සිටියෙමු. අපට වඩා වසර පහලොවක් පමණ වැඩිමහල් අවිවාහක නිලධාරියෙක් ද එහි කාමරයක නතර වී සිටියේ ය.

එක් දිනක් සවස් යාමයේ අප කීප දෙනෙකු තේ වතුර බොමින් කතා බහක යෙදී සිටින අතරතුර පෙර කී වැඩිමහල් නිලධාරියා අපේ සංස්ථාවේ සේවය කළ එක් දෙමල නිලධාරියෙකු ගැන මෙසේ පැවසීය.

"සිවරාජා දෙමල වුනත් හොඳ මනුස්සයා!"

ඔහු ගේ අනුවණකම පෙන්නුම් කළ ඒ අප්‍රසන්න ප්‍රකාශය ගැන මගේ කණගාටුව පෙන්වමින් මම මෙසේ කීවෙමි.

"මොකක්ද සිරිපාල ඒ මෝඩ කතාව? ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා, නරක මිනිස්සු ඉන්නවා. ඊලඟට, සිංහල මිනිස්සු ඉන්නවා, දෙමල මිනිස්සු ඉන්නවා. ඉතිං සිංහල මිනිස්සු අතර හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා වගේ, දෙමල මිනිස්සු අතරත් ඒ දෙකොටසම ඉන්නවා නේද?"

තම වරද වැටහුණු සිරිපාල කටවහ ගත්තේය.

ඇත්තටම, තේවතුරවල සැර නිසා දෝ, ඔහුට සිදුවී තිබුණේ, පොඩි වචන ටැපලීමකි. සිරිපාල අදහස් කළේ, සිවරාජා හොඳ දෙමල මිනිහෙක් කියන්නටයි.

දැන් මෙන්න වසර දශක දෙකහමාරකට පසු අද දිනයේ මා තිගැස්සූ සිදුවීම විස්තර සහිතව.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අයි. එම්. එස්. සත්‍යප්‍රසාද් විසින් ලංකාවේ ජනාධිපති ඡන්දය හා සම්බන්ධව වත්පොත හරහා කරන ලද දේශපාලන ප්‍රකාශ කිහිපයක් මා මින් දින කිහිපයක්ට පෙර රසිකොලොජි බ්ලොගය හරහා පළ කළෙමි.

එයට ප්‍රතිචාරයක් ලෙස ජගත් පතිරණ නමැත්තෙක් මෙලෙස පවසා තිබුණි.
මට දෙමළ යාලුවෙක් හිටිය මිනිහට පඩයක් ගියාම සැන් කුප්පියක් බින්ද වගේ පලාතම සුවඳයි මොකද ඒක දෙමළ පඩයක්නේ

ඒ වගේම දෙමෙල්ලු කියන්නේ දෙවිවරු උන්ගේ වාක්ය දේවවාක්ය අපි ඒවා සාධුකාර දී පිලිගත යුතුයි

මට එක ප්‍රශ්ණයක් තියෙනවා ඔය පුද්ගලයා ඉස්සර මහින්දට චන්දෙ දුන්න කෙනෙක්ද නැත්නම් හැමදාම මහින්දගේ වැරදිම හොයපු කෙනෙක්ද?
මහ කළු සිංහලයා නම් අන්වර්ථනාමයකින් ධන ලකුණු විශාල සංඛ්‍යාවක් යොදා ඒ ප්‍රතිචාරය අනුමත කර තිබුණි.

ජගත් පතිරණ ගේ ප්‍රතිචාරයේ තිබුණු දෙමළ කතාව මට එක්වරම නොතේරුණු නිසා මම පහත ආකාරයට පිළිතුරක් දුනිමි.
මොකක්ද මේ දෙමල කතාව?

සත්‍යප්‍රසාද් ඡන්දේ දුන්නේ කාටද කියන එක ඔහු ගෙන් අසා දැන ගන්න! අදාල විස්තර උඩ ඇත.
මෙන්න එයට ජගත් පතිරණ නම් උග්‍ර ජාතිවාදියා විසින් එවා තිබුණු මා තිගැස්සූ ප්‍රතිචාරය.
මහත්මයා, ඔය දෙමළ මිනිස්සු කියන්නේ සිංහලයන්ගේ වැරදි හොයමින් සිංහලයන්ට අපහාස කිරීමෙන් "අස්වාභාවික ලිංගික සතුටක්" ලබන පිරිසක් ඔයාගේ යාලුවත් එහෙම අස්වාභාවික බුවෙක් වෙන්න ඇති.
මා එලෙස තිගැස්සුනේ අද මේ කාලයේත් මේ ආකාරයේ උග්‍ර ජාතිවාදී අදහස් දරමින් ඒවා එලිපිට ප්‍රකාශ කරන අය අප අතර ඉන්නා නිසාය.

අහෝ, මෙවැනි ජීවිත!

මම මෙලෙස ඔහුට ප්‍රති-ප්‍රතිචාර දැක්වූයෙමි.
මා මහත්තයෙකු වීම කෙසේ වෙතත් ඔබ නම් අති ජාතිවාදියෙකු බව පෙනේ.

ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් නම් මගේ මිතුරාට දෙමල ජාතිකයෙකු යැයි කීම සරල වැරදි උපකල්පනයක් යැයි මදකට අමතක කරමු.

දෙමල ජාතිකයින් ගැන ඔබ කර ඇති ප්රකාශය නම් අතිශය බියකරු එකකි.

දැන් ඔබ සිහලයෙක් නිසා, ඔබ මේ කර ඇති අති ජාතිවාදී ප්රකාශය සෑම සිංහල ජාතිකයෙකුටම සාධාරණීකරණය කර ඔබ මෙයින් ලබන්නට ඇතැයි යම් අයෙකුට උපකල්පනය කළ හැකි "අස්වාභාවික ලිංගික සතුටක්" වෙතොත් එය මූලුූ සිංහල ජනතාව ගැනම චෝදනාවක් ලෙස ඉදිරිපත් කළ හැකිද?

මේ පවින් මිදී, ඔබට ලබන ආත්මයේ දී වත් හොඳ ජීවිතයක් ලැබේවා යැයි පතමි!
මේ ජගත් පතිරණ යනු කවුදැයි වැඩි විස්තරයක් නොදන්නෙමි. නමුත් අද මා සතුටුවන එක කාරණයක් ද ඇත.

එය නම්, ඔහු ගේ ඉහත ප්‍රතිචාරය නිසාවෙන්, මා මේ ලිපියේ මාතෘකාවට යොදා ගෙන ඇති "මනපහතයා" යන වචනය නිර්මාණය කරගන්නට මට ඉඩකඩ ලැබීමයි.

"මනපහතයා" යනු මනුස්සයා යන්නේ විරුද්ධ පදයයි!

-රසිකොලොජිස්ට්

(http://www.farmlanebooks.co.uk/2010/evil-in-fiction-guest-post-by-pauline-melville/)

Thursday, 25 December 2014

ඡන්දේ දා රෑට හොඳ අළුත් කාඩ් සෙල්ලමක්: Three nought four for two (304 / 2)


දැන් සතියකට පමණ කලින් මට දේශපාලනයෙන් තොර සන්ධ්‍යාවක් ගත කරන්නට ලැබුණි. ඒ ගැන සතුටු සිතින් ලියූ ලිපියේ අවසන මා පැතුවේ ඊලඟ සති අන්තයේ අප කීප දෙනෙක් එක්වී සැලසුම් කර තිබූ දින හතරේ නිවාඩුවේ දී ත් එවැනිම දේශපාලනයෙන් තොර වූ කාලයක් උදා වේවා කියායි.

නිවාඩු කාලය ගත කිරීම සඳහා අප ගියේ නිවසින් කිලෝමීටර් 300 ක් පමණ දුර පලාතකටයි. පවුල් තුනක වැඩිහිටියන් හය දෙනෙක් සහ දරුවන් පස් දෙනෙක් ගමණට එක්වී සිටියහ.

වාහන පැදවීමෙන්, විහිළු-තහළුවෙන්, විවේකයෙන්, කෑමෙන් බීමෙන්, මුද්දික පානයෙන් ගතවුණු ඒ දින හතරක කාලයේ දී වුවත් ජංගම දුරකතනය හරහා වත්පොත හා සම්බන්ධ වීමෙන් ගැලවෙන්නට නොහැකි වීම නිසා සිදුවූයේ මිතුරන් විසින් බෙදා හැර තිබූ විවිධ ප්‍රකාශන, වීඩියෝ, පින්තුර යනාදිය කියවීම, නැරඹීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට යම් කාලයක් වැය වීමයි.

එහි ප්‍රතිපලය වූයේ, අපේක්‍ෂිත නිර්දේශපාලනික නිවාඩුව මද වශයෙන් හෝ කුරුවල් වීමයි.

එය එසේ වෙතත්, වත්පොතේ නිතර සරන එක් මිතුරෙක් වූ සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ කිහිපයක් මට වෙනම ලිපියක් ලෙසින් නිවාඩුව අවසන් වී ආපසු නිවසට පැමිණි පසු පළ කරන්නට සිත්වීම නම් නිවාඩුවෙන් සිදුවූ එක් යහපතකි.

නිවාඩු කාලයේ රාත්‍රියේ කෑමට පෙර අප නිරත වූ එක් විනෝද කාර්යයක් වූයේ කාඩ් සෙල්ලම් කිරීමයි. එයිනුත්, 304 නමැති ක්‍රීඩාවේ නිරත වීමයි.

තුන්සිය හතර යනු ලංකාවේ ඉතා ජනප්‍රිය කාඩ් සෙල්ලමකි. ඉතා සරලව කිවහොත්, බූරුවා (ලකුණු 30), නමය (ලකුණු 20), ආසියා (ලකුණු 11), දහය (ලකුණු 10), හේරා (ලකුණු 3) සහ පොරව (ලකුණු 2) කොල සමග කෙරෙන සිව් දෙනෙකු දෙපිලකට බෙදී කරන මේ ක්‍රීඩාවේ දිනුම ලැබීමට නම්, එක් පිලක් විසින් තමන් එක් එක් වාරයේ දී දිනාගන්නා කාඩ්වලට හිමි ලකුණු එකතුව 160 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුයි. එය ඉතා සරල හැඳින්වීමකි. ක්‍රීඩාවේ තවත් නීති රීති රාශියකි.

මේ ක්‍රීඩාව ගැන නොදන්නා අයට යම් අදහසක් 304 සිංහල විකිපීඩියා පිටුවෙන් ලබාගත හැක.

තුන්සිය හතර ක්‍රිඩාවේ එක් සුවිශේෂී අවස්ථාවක් වන්නේ "පාට්නර් ක්ලෝස් (partner close)", එනම්, එක් පිලක එක් තරගකරුවෙක් තම සගයා නිහඬ කර ප්‍රතිවාදීන් දෙදෙනා සමග කරන තරගයයි. මේ "හයි-ස්ටේක්, හයි-රිස්ක්" තරගයට එළැඹෙන්නට නම් ඉතා හොඳ කාඩ් හයක් තමන් අත තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

අප 304 ක්‍රීඩාවේ නිරතුවූ සන්ධ්‍යාවන් තුනේ දී ම අපේ එක මිතුරෙක් මේ අවදානම ගෙන කීප වරක්ම "පාට්නර් ක්ලෝස්" ක්‍රීඩා කළේ ය. එසේම, ඒ හැම අවස්ථාවේ දී ම, ඔහු (සහ ඔහුගේ තරග සගයා) පැරදුනහ.

ඔහු කෙතරම් වරක් පිට පිටම මෙලෙස පැරදුනේද කියනවා නම්, නිවාඩුව අවසානයට ලංවන විට අපේ හොඳම විහිළුව වූයේ මේ "පාට්නර් ක්ලෝස්" කතාවයි!

කෙසේ වෙතත්, ඒ අත්දැකීම් මත පදනම්ව, (මට) අළුත් කාඩ් සෙල්ලමක් නිර්මානය කර ගැනීමට අද මට හැකිවිය.

තුන්සිය හතර ක්‍රීඩාව සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් දෙපිලකට බෙදී බව මා පෙර ලියූවෙමි. නමුත්, මෙය හය දෙනෙකුට ද ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවකි. එහි දී සිදු කරන්නේ අට, හත සහ හය කාඩ් දොළස ද ක්‍රීඩාවට එක් කර ගැනීමයි.

නමුත්, දෙදෙනෙකුට ක්‍රීඩා කිරීමට තුන්සිය හතර වර්ගයේ ක්‍රීඩාවක් මා නම් මෙතෙක් දැන සිටියේ නැත. මිතුරාගේ "පාට්නර් ක්ලෝස්" ක්‍රීඩා උපක්‍රමය මත පදනම්ව මා කළේ ඒ අඩුව පිරවීමයි.

මෙන්න ඒ ගැන විස්තර.

අවශ්‍ය කොල:බූරුවා (30), නමය (20), ආසියා (11), දහය (10), හේරා (3) සහ පොරව (2)

ක්‍රීඩකයින්:    ප්‍රායෝගිකව දෙදෙනෙකි. සගයන් දෙදෙනා සිටිය යුතු නැත. මක්නිසාද යත් මෙය හැමවිටම කණ්ඩායම් දෙකේම "පාට්නර් ක්ලෝස්" තරගයකි!

ක්‍රමය:සුපුරුදු ආකාරය කොල අනා, තුන බැගින් සිව් දෙනාට බෙදන්න. මුල්වටයෙන් තුරුම්පු කියා දෙදෙනා ක්‍රීඩා කරන්න. "පාට්නර් ක්ලෝස්" නිසා තරග සගයින් දෙදෙනා ගේ කාඩ් සියල්ල තරගය අවසාන වන තුරු වසා තබන්න.

ක්‍රීඩා වටය ඉතා ඉක්මනින් අවසන් වේ. ඉන් පසු අවශ්‍ය නම්, වසා ඇති තරග සගයින් ගේ කාඩ් රැගෙන ක්‍රීඩා කළ හැක.

ජනවාරි අටවෙනිදා රාත්‍රියේ නිවසේ දෙදෙනා පමණක් එකතුව ඡන්ද ප්‍රතිපල විස්තර ප්‍රචාරය නරඹන්නට අදහස් කරන අයට මෙය ඉතා ප්‍රායෝගික කාඩ් ක්‍රීඩාවක් වෙනු ඇති යැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(http://daydreams.hubpages.com/hub/how-to-play-the-card-game-Switch)

Wednesday, 24 December 2014

සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ - Political statements by Dr. I.M.S. Sathayaprasad


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සත්‍යප්‍රසාද් මගේ හොඳ මිතුරෙකි.

මෙය අහම්බයෙන් ඇරඹුණු අමුතුම ආකාරයේ මිතුරු කමකි.

මා ඔහුව මුලින් ම දැක හැඳින කතා බහ කළේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් ආයතයේ බංකුවක ඉඳගෙන මෝටර් රථයක් පැදවීමට වාරය එනතුරු බලා සිටි විනාඩි පහක පමණ කාලයක දී ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධරයෙකු වන සත්‍යප්‍රසාද් සහ මට පොදු යහළුවන් කීප දෙනෙකු ම සිටින නිසාදෝ, එදා ඒ අහඹු කෙටි හමුවීම, ඉන් වසර පහලොවකට පසු වත්පොත මගින් නැවත හමුවී හිතවත්කමක් ඇති කරගන්නට තරම් ප්‍රභල ලෙසින්, අප දෙදෙනා ගේ ම මතකයේ රැඳී තිබුණි.

ඒ මුල් හමුවීමෙන් පසු, මා ඔහු හමුවී තරමක හෝ කතා බහක යෙදී ඇත්තේ පසුගිය අප්‍රියෙල් මාසයේ එක් දිනයක දී පමණක් වුවද, වත්පොත් තුලින් නම් මට ඔහුව නිතර හමුවෙයි.

දේශපාලන වශයෙන් තරමක හෝ සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකු කරන්නාත් මෙන් සත්‍යා ද, අද ලංකාවේ දේශපාලන වටපිටාව ගැන තමන් ගේ අදහස් වත්පොතේ සටහන් කරයි.

අද මා රසිකොලොජිය කියවන අය අතර බෙදාගන්නට සිතුවේ සත්‍යප්‍රසාද් විසින් නොබෝදා ලියන ලද ප්‍රධාන ප්‍රකාශන තුනකි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 1

අද සිට මහින්ද රාජපක්ෂ ජනපති පදවියෙන් පහ කළ යුතු වන්නේ ඇයි දැයි යන්න හේතුවෙන් හේතුව සඳහන් කරන්නට මම කැමැත්තෙමි. සමහරවිට ජනපතිවරණය ආසන්න වනවිට මෙසේ අදහස් දැක්වීමට මට ඉතිරි වී ඇති එකම මාධ්‍යය වන වත් පොත ද ඒ සඳහා භාවිතා කරන්නට හැකිවේදැයි සාධාරණ සැකයක් අප බොහෝ දෙනෙකුට ඇති හෙයින් කලින් ම මගේ අදහස් දැක්වීම පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි.

මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් දැනටම දන්නා පරිදි මා රැකියාවක් ලෙස කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමයි. මේ නිසා මුලින් ම මගේ වෘත්තිය සහ රැකියාවට, එනම් සිවිල් ඉංජිනේරු වෘත්තියට සහ විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂෙත්‍රයට බලපාන ගැටලු කිහිපයක් ගැන කතා කරන්නට කැමැත්තෙමි.

රාජ්‍ය දේපල බලයේ සිටින දේශපාලකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. කවදා මේ තිරිසන් සිරිත ඇරඹුණේ දැයි මා පැහැදිලිව නොදන්නා නමුත් ඒ 1970 දශකයෙන් පසුව විය යුතුයැයි සිතමි. එසේ වුවත් මෑතක් වනතුරු ඒවා හොරෙන් සිදු කරන ලද හුදෙකලා සිද්ධීන් කිහිපයකට පමණක් සීමා විය. බොහෝ විට මේවා සිදු කෙරුණේ ලංගම වැනි ආයතන වල සේවක වෘත්තීය සමිති හරහාය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂෙත්‍රයට සමීපව මා කටයුතු කර ඇති දශක තුනකට ආසන්න කාලය තුළ කිසිවිටෙක ඉංජිනේරුවන් වෙත පාලනාධිකාරය විසින් එළිපිට මැතිවරණ කටයුතු වල නිරත වන ලෙස නියෝග කර තිබෙන බවක් මා අසා නැත. මෑතක දී අන්තර්ජාලය හරහා සංසරණය වූ එක් වීඩියෝවක දැක් වුණු මාර්ග සංවර්ධන අධිකාරයේ සේවකයකු පෝස්ටර් අලවමින් සිටින දර්ශනය මා දුටුමුත් එය කිසියම් දේශපාලන හිතවාදී සේවකයකු ගේ ක්‍රියාවක් පමණක් විය යුතු යැයි මම සිතා සිටියෙමි. එහෙත් අද මට දැනගන්නට ලැබුණු පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු විධායක ඉංජිනේරුවන් වෙත පෝස්ටර් 60,000 බැගින් යවා ඒවා ඇලවීමට නියෝග කර තිබෙන බවත් තවමත් වෘත්තීය සදාචාරයක් ඉතිරිවී ඇති අධිකාරියේ ඉංජිනේරු වෘත්තීය සමිතිය ඒ ගැන මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර තිබෙන බවත් තමාගේ වෘත්තියට අදාළ නොවන කටයුතු වලින් බැහැර වන ලෙස ස්වකීය සාමාජිකත්වයට දන්වා තිබෙන බවත් දැනගතිමි. (මේ ලිපියේ පිටපතක් මා සතුව තිබෙන නමුත් එය මේ සමග දැක්වීමට ඉදිරිපත් නොවෙමි.)

ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා දක්වා කිසිම ජනපති වරයකු විසින් නොකළ පරිදි නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීමට සහ රාජ්‍ය දේපල පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියා කර ඇත්තේ මේ ආකාරයෙනි. මේ කරුණ පමණක් වුව ඔහුගේ අපේක්ෂකත්වය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීමට මට සෑහේ.

දශක සතකට ආසන්න කාලයකට පෙර මෙරට ජනතාව දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය නොවන්නට අද මා'තින් මේ ලිපිය නොලියැවෙන්නට බොහෝ ඉඩ තිබිණ. ගතවූ කාලය තුළ මෙරට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් තැබුණු රාජ්‍ය ආයතන අතර අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ආදිය සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද විය. සරසවි පිවිසුම නම් දේශපාලන අතපෙවීම් වලින් නිදහස් තැනෙකැ'යි අපි සිතා සිටියෙමු. මින් පෙර පැවැති කිසිම රජයක් සරසවි පිවිසුම් තෝරාගැනීමේ ක්‍රියාවලියට අත පෙවීමට බිය විය.

මෑතකදී නාමල් රාජපක්ෂ විසින් එක් අපේක්ෂිකාවකට 'සානුකම්පික ලෙස සලකා' විශ්ව විද්‍යාල පිවිසුමට වරම් ලබා දෙන ලෙස ඉල්ලා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව කෙරුණු ඉල්ලීමකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රුහුණු විශ්ව විද්‍යාලයයට යැවුණු ලිපියක් අපට දැක ගන්නට ලැබිණි. සරසවි අයදුම් කරුවන්ගේ 'සානුකම්පික ඉල්ලීම්' සලකා බැලීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් කොමිසමට තිබේ. ඒ ගැන නාමල් රාජපක්ෂ හෝ වෙන කිසියම්ම අයෙකුගේ රෙකමදාරුවක් අවශ්‍ය නොවේ. මේ රටේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය විනය සහ සදාචාරය මේ තරමට පිරිහුණු කාලයක් තවත් නම් නොවීය.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. දූෂණයෙන්, බලය අනිසි ලෙස යෙදවීමෙන් පිරුණු මේ ගමන නවත්වන්නේ නැතිව එය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 2

මීට කීප දිනකට පෙර පුරවැසි බලය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක අදහස් දැක්වූ කෙටි වීඩියෝ පටය ඔබ බොහෝදෙනෙක් දකින්නට ඇත. එහිදී ඔහු සඳහන් කල මෑතකදී පාසල් සිසුන් රැසක් ඉදිරියේ 'ධවල භීෂණ' රඟ දැක් වූ අවස්ථාවක ඇති වූ සිද්ධිය මගේ හිත කීරි ගස්සන්ට සමත් විය. යුද ජයග්‍රහණ, අති විශාල යටිතල පහසුකම් සංවර්ධනය ආදියේ අවසන ජාතියක් හැටියට අප අත් පත් කරගෙන ඇති සමාජමය දියුණුව මේ උදාහරණයෙන් හොඳ හැටි නිරූපණය කෙරේ. උඩින් හුදු ජාති වාත්සල්‍යය සේ හැඟවෙන, එ නමුත් එහි සෙවනැල්ලට මුවා වී ඉස්මතු කෙරෙන, එකෙක් පාගා අනෙකා ඉස්මතුවීමේ මහ ජාතියේ අධිපති වාදය (සහ ඊට සුළු ජාතියේ ප්‍රතිචාරය) ද, සදාචාර වර්ධනය වෙනුවට අන්ධ ලෙස ආගම් ඇදහීමද ආදී වශයෙන් තමන් විසින් තමන් ම රවටා ගැනීමේ පුහු ආකල්ප ද නිසා අද අප නතරවී ඇති තැන මෙතැනයි.

මෙහි කූට ප්‍රාප්තිය නම් තමාට, තම ඇමති මණ්ඩලයට හෝ තම රජයට කිසියම්ම හෝ විනයක් ඇතැයි තමන් කරන කියන දෙයින් පෙන්නුම් නොකරණ පර්සි මහේන්ද්‍ර ජනාධිපතිවරයා මෑතක දී තම මැතිවරණ වේදිකාවක දී ජනතාවට විනයක් ඇතිව වැඩ කළ යුතු බවට, ඇඳුම් ද ඇඳගෙනම, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදීමයි.

දූෂණය, බලය අනිසි ලෙස යෙදවීම, අනිසි පක්ෂපාතිත්වය ආදිය සිදු වූ පලමු ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර රජය නොවේ. එහෙත් මෙතරම් විවෘතව, නිදහසේ, මේ සා විසල් පරිමාණයෙන්, මේ සිදුවනු අපි මීට පෙර දැක නැත්තෙමු. මෙතෙක් කල් බොහෝ විට ඒවා සීමා වූයේ මූල්‍යමය වංචා සහ හිත මිතුරන්ට කෙරුණු පක්ෂග්‍රාහී අනුග්‍රහය දැක්වීම් වලට පමණි. එහෙත් අවකල් ක්‍රියාවන් ලෙස සමාජයේ සම්මත ස්ත්‍රී දූෂණ, මිනී මැරීම්, මත් ද්‍රව්‍ය ජාවාරම් ආදිය රජයේ මැති ඇමතින් විසින් කරනු ලැබීමත් පාලනාධිකාරය විසින් ඒවා නෑසූ කන් ව සිටීමට අමතරව සමහර අවස්ථාවන්හි දී ඒවා සාධාරණීකරණය කිරීමත් පොලිසිය සහ අධිකරණය විසින් ඒ සම්බන්ධ පැමිණිළි විභාග කිරීම ප්‍රමාද කිරීම, අතපසු කිරීම හා මුළුමනින් ම අත් හැර දැමීමත් නම් පසු ගිය දශකය තුළ ඇතිවූ ප්‍රවණතාවයන් ය.

මේ නිසා බලය ඇත්තෙකුට අපරාධ කිරීම සාමාන්‍ය දෙයකැ'යි ද, (යුද්ධය දිනූ නිසා හෝ 'දේශප්‍රේමී' රජයට සහයෝගය දක්වන නිසා) එසේ කිරීමට ඔවුනට අයිතියක් ඇතැ'යි ද කිසියම් අපරාධකරුවකුට බලය ඇති පුද්ගලයකු ලවා තමාට ඇති චෝදනා අහෝසි කරවා ගත හැකැ'යි ද, එවන් අපරාධ අබියස නීතිගරුක රට වැසියකුට කළ හැක්කේ මුනිවත රැකීම පමණකැ'යිද කියා සිතන සමාජයක් අද ඇතිවී ඇත. මෙය විශේෂිත තත්ත්වයක් නොව සාමාන්‍යය බවත් අපට ඒත්තු ගන්වා තිබේ. මෙවන් සමාජයක් අපවෙත උරුම කර දීමේ තනි වගකීම භාරගත යුත්තේ මර්වින් සිල්වාගේ මැර ක්‍රියා, සාරුවා සුනිල් ගේ ස්ත්‍රී දූෂණ, උසාවියෙන් වරෙන්තු ලබා සිටින සුධර්මන් රදලියගොඩ අත් අඩංගුවට පත් නොවී අරලිය ගහ මන්දිරයේ රැස්වීම් වලට සහභාගි වීම ආදිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන ඉවසා බලා සිටින පර්සි මහේන්ද්‍ර නම් තනි පුද්ගලයාය.

අද වන විට මේ 'සදාචාර සංවර්ධනයේ' ඵල පාර්ලිමේන්තුව, පලාත් සභා, ප්‍රාදේශීය සභා විනිවිද පොදු මහජනතාවගේ සාමාන්‍ය ජීවිතය තෙක් විහිදී ඇත. ධර්මසිරිගේ නාට්‍යය අතරමැද 'රිදුණද?' කියා අසන පාසැල් දරුවා බිහිවන්නේ මෙසේ පාදඩ කරණය, පාහරකරණය කරනු ලැබූ සමාජයෙනි. ඒ පාප කර්මයේ පළමු වග උත්තරකරුවා වන්නේ පර්සි මහේන්ද්‍රයි. විනය යනු සමාජයක ඉහළ තැනින් පටන් ගෙන ආදර්ශයෙන් පහළ ස්ථර වෙත පැතිරවිය යුත්තකි. අද සිදුවන්නේ ජනපති කකුළුවා හරහට යන ගමන් සමාජය කෙළින් යවන්නට තැත් කිරීමයි. එද සමාජයට ඇති ආදරයකින් නොව සිය කටයුතු පහසු කර ගැනීමට පමණක් ම බව වටහා නොගන්නට තරම් අපි බයියන් නොවෙමු.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. ඔඩු දුවන පිළිලයක් සේ, අඬු විහිදාගත් බූවල්ලකු සේ, මුළු මහත් සමාජ දේහය වසාගෙන ඉහළ සිට පහළට පැතිර පවත්නා අවිනීත බව, නොමිනිස් බව හා සදාචාරයෙන් තොර බව මුලිනු'පුටා නොදමාඑය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 3

මේ දිනවල දේශපාලන වේදිකාවෙන් පොදු අපේක්ෂක මෛත්‍රී ගේ අතීත දූෂණ, වංචා සහ බලය අනිසි ලෙස යෙදවීම් ගැන අසන්නට ලැබේ. ඒ එක්කම මෙය පුද්ගලයින් දෙදෙනෙකු අතර සටනක් බවට ඌණනය වී තිබෙනු ද දකින්නට ලැබේ.

අද මෙරට ඇතිවී තිබෙන සමාජමය ගරාවැටීම, නීතිය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳීයාම, රාජ්‍ය දේපළ ගසා කෑම සාමාන්‍ය කරණය වීම ආදිය පාලකයාගේ පුද්ගල ස්වභාවයට පමණක් ලඝු කිරීමක් කිසියම්ම හෝ සමාජාවබෝධයක් ඇත්තෙකුගෙන් මම බලාපොරොත්තු නොවෙමි. පශ්චාත් 77 යුගයේ දී ජනාධිපති වරයා යන තනි පුද්ගලයා මත පිරිනමනු ලැබූ අධික බල සංකේන්ද්‍රණය විසින් බලය අයුතු ලෙස යෙදවීම වෙත ආකර්ශකයක් (temptation) සැපයුණා. මෙය ජේ. ආර්. ගෙන් පසුව අඩු වැඩි වශයෙන් එක් එක් ජනපති වරයා/ වරිය විසින් අවභාවිත වුවත්, කෘත්‍රිම ලෙස ඇති කරගත් 2/3 ව්‍යවස්ථාදායක බලයත් සමග, අධිකරණයත් තම අණසක යටතේ පවත්වාගෙන, ව්‍යවස්ථාවෙන් ජනපති වරයා වෙත පමුණුවා තිබුණු වාර ගණනේ සීමාවත් ඉවත්කර ගෙන මේ බල සංකේන්ද්‍රණය අතිශය අනර්ථකාරී මට්ටමකට ගෙන ආවේ රාජපක්ෂ විසිනුයි. මෙහිදී පුද්ගල සාධක බල නොපාන බව නොවේ මා කියන්නේ, මෙකී බලය අවභාවිතාව රාජපක්ෂගේ ම වරදක් නොවන බවයි. එනම්, රාජපක්ෂ හෝ මෛත්‍රිපාල යන පුද්ගලයින් දෙදෙනාගේ ගුණ දොස් විවේචනය නිශ්ඵල බවයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මතු වන්නේ මේ සන්දර්භය තුළයි. මෙතැන දී අවධානය යොමු වන්නේ රාජපක්ෂ නම් පුද්ගලයා නොව රාජපක්ෂ නියෝජනය කරන ක්‍රමය වෙනස් කිරීමයි. රාජපක්ෂ විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවීම බලාපොරොත්තු විය නොහැකි වන්නේ ඔහුගේ වත්මන් පැවතීම තීරණය වන්නේත් ඒ සාධක මත නිසායි. මෙහිදී පොදු අපේක්ෂකයාගේ පුද්ගල සාධක ඉස්මතු කරගෙන ඉදිරියට එන්නේ ඔහුට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ ශක්‍ය තාවයි. එහිදී පොදු විපක්ෂයේ තේරීම වන මෛත්‍රීපාල නිවැරදි තේරීමක් බව මා සිතනවා.

ඊළඟට වැදගත් වන්නේ මෛත්‍රීපාල හරහා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්නයි.

මෛත්‍රීපාල උපදින්නේ ම පොදු වැඩසටහන තුළිනි. ඔහු පොදු වැඩ සටහනේ නිර්මිතයක් මිස පොදු වැඩ සටහන ඔහුගේ නිර්මිතයක් නොවේ. මෛත්‍රීපාල දිනුවොත් ඔහුට අවශ්‍ය වන පාර්ලිමේන්තු බලය එක් කර ගැනීමට මේ වැඩ සටහන මෙහෙයවන අනෙක් පක්ෂ වල සහය අවශ්‍යය. මෛත්‍රීපාල ගේ ඡන්ද ව්‍යාපාරයේ මූලිකම ඉල්ලීම ව්‍යවස්ථා වෙනසම නිසා එයින් පළා යාමට කිසිවකුට නොහැකිය. දින සියය වැඩ සටහන යනු ඉතා කෙටි කාලීන සහ නිශ්චිත අරමුණු කිහිපයක් සහිත වැඩ සටහනකි. එහි ප්‍රගතිය ජනතාවට මාස තුනක් තුළ දැකිය හැකිය. ඒ අනුව ඒ එක්කම එන මහමැතිවරණයට පෙර දින සියය වැඩ සටහනේ සාධනීය ප්‍රතිඵලයක් නැතිව ඔවුනට මහ මැතිවරණයට මුහුණ දිය නොහැකිය. මේ අනුව මේ යෝජනාව තුළ ජනතාවට සැපයෙන ආරක්ෂාවක්, සහතික කිරීමක් ඇත. කෙසේ වුවත් ඇතිවන තත්ත්වය දැනට වඩා ජනතා හිතවාදී බව පැහැදිලිය.

මෛත්‍රීපාල ගේ දූෂණ, වංචා ලෙස මේ දක්වා තිබෙන්නේ වෙස්ට්මිනිස්ටර් යුගයේ දකින්නට ලැබුණු වංචාය. (මෙය නිවැරදි බවක් මින් අදහස් නොකෙරේ). මේ එකක්වත් අඩු ගණනේ රාජපක්ෂ මුලින් තේරී පත් වුණු අවධියේ ඔහුට විරුද්ධව තිබුණු 'හෙල්පින් හම්බන්තොට' තරම් වත් ඒවා නොවේ.

මෙරට දේශපාලනය තුළ (හෝ වෙනත් කිසියම්ම රටක දේශපාලකයින් අතර) දූෂණයෙන් තොර දේශපාලකයින් සිටියේ හෝ සිටින්නේ නැත. මේ තත්ත්වය තුළ අප විසින් 'අඩු නරක' තෝරා ගැනීම හැර වෙන විකල්පයක් නැත. මිනිසුන් සුදු හෝ කළු ලෙස විග්‍රහ කිරීමේ ක්‍රමය කෙතරම් අප්‍රායෝගිකද යන්න අප දැන ගත යුතුය. අපට සංසන්දනය කළ යුතුව ඇත්තේ අළු මිනිසුන් ය. එ නිසා මෙවර ජනපතිවරණයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රී නම් වූ මිනිසා බලයට ගෙන ඒම නොව මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරණු ලබන විෂම පාලන ක්‍රමය වෙනස් කිරීමයි. එය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු වැඩ සටහන ජයග්‍රහණය කරවීමෙන් පමණි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


සත්‍යා ගේ ඉදිරි ප්‍රකාශන කියවන්නට කැමති අය සඳහා ඔහුගේ වත්පොත් පිටුව මෙන්න.
https://www.facebook.com/ims.sathyaprasad

-රසිකොලොජිස්ට්

(image: http://www.imagesbuddy.com/man-is-by-nature-a-political-animal/)

Tuesday, 23 December 2014

හිතට වද දෙන ඡායාරූපයක් - Act of sadism by a Sri Lankan Policeman?


ඉහත ඡායාරූපය මා දුටුවේ අද උදේ LankaeNews වෙබ් අඩවියේ පුවත් කියවද්දී ය.

එය වීඩියෝවකින් ලබා ගන්නා ලද එකක් යැයි සිතමි. ඒ වීඩියෝවද මම නැරඹුවෙමි.

එලෙස වීඩියෝගත කර තිබුණේ ඊයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභා කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණු සිසුන් පිරිසකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර, අධීන ජල ප්‍රහාර එල්ලකර පහර දෙන ආකාරයයි.

මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ක්‍රියාකලාපයක් නොවේ. අපේ කාලයට පෙර ද, අපේ කාලයේ ද, විවිධ වර්ණයේ ආණ්ඩු සහ ඔවුන් ගේ පොලීසිවලින් කරන ලද්දේ ද මෙයයි.

එකම වෙනස නම්, ඩිජිටල් ෆොටෝ හෝ වීඩියෝ නොතිබුණු ඒ යුග ගැන අද මේ ආකාරයේ සාක්‍ෂි ඉතුරු වී නොතිබීමයි!

ඉහත ඡායාරූපය දුටු මොහොතේ සිට මේ වන තෙක්ම මගේ සිතට වද දෙන ප්‍රශ්ණයක් තිබේ.

එය නම්, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් ගැලවී තම යෙහෙලියට ද ආරක්‍ෂාව සපයමින් ඇය සමග එතැනින් දිවයන මේ සිසුවා ගේ පස්සා පැත්තට මේ ආකාරයට පා පහරක් එල්ල කරන්නට මේ පොලිස්කාරයාට සිතුනේ ඇයි?

මේ සම්බන්ධයෙන් මට හිතෙන දේ ප්‍රශ්ණාවලියක් ලෙසින් මෙලෙස දැක්විය හැක.
  1. නිල නියෝග පිළිපැදීමෙන් ලැබෙන දෙයට අමතර පරපීඩාකාමී (sadist) සතුටක් අසරණව දිවයන අයෙකුට පහර දීමෙන් ලැබෙන නිසාද?
  2. ඒ ආකාරයේ පරපීඩාකාමී සතුටක් වෙතොත් එය පස්සා පැත්තට
  3. ගැසීමෙන් වැඩි වෙන නිසාද?
  4. කෙල්ල ඉදිරියේ කොල්ලා ගේ පෞරුෂය ප්‍රශ්ණ කරන්නද?
  5. මෙහි සිටින සිසුවිය නොසිටියා නම් මෙතැනින් නොනැවතී බිම පෙරලාගෙන කළුවර පොලු ප්‍රහාරයක් ලැබෙන්නට ඉඩ තිබුණාද?

ඔබට මේ සම්බන්ධයෙන් සිතෙන්නේ මොනවාද?

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
මේ ආකාරයේ පොලිස් පහරදීම් ගැන සුනිල් ආරියරත්න ලියා නන්දා මාලනී ගැයූ ගීතයක පද පෙල මෙසේය.

රණ දෙරණේ ගිනි අවි ගත් යුද සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිස ය
යුක්තිය උදෙසා මොර දෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගනුව

ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට මිනිමරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමට ද නුඹ පළදින තරු?

මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුද සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය!

ඒ ගීතය මා මුලින්ම ඇසූයේ අසූව දශකයේ අග භාගයේ දී පැවැත්වුණු නන්දා මාලනී ගේ පවන නම් සංගීත ප්‍රසංගයේ ගීත එකතුව සහිත කැසට් පටයකිනි.

ඉහත පොලිස් පහරදීම හා සම්බන්ධව වත්පොතේ තැබුනු පින්තූර සටහනක මේ පදවැල අඩංගු වී තිබෙනු මොහොතකට පෙර දුටු විට මට සිහි වූයේ ඒ ගීතය සහ එහි පදවැල අදාල වෙන්නේ පොලිසිය සහ ආරක්‍ෂක අංශ විසින් සිංහල ජනතාවට පහර දෙන අවස්ථා සඳහා පමණක් නොවේද කියායි!

(image: http://54.236.171.247/si_news_image/HND-Student-Attack.jpg)

Thursday, 18 December 2014

ඕස්ට්‍රේලියාවේ ප්‍රාණ ඇපකරු සිදුවීමෙන් පසු - I will ride with you..!


පසුගිය සඳුදා උදෑසන සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි කෝපි කඩයට කඩා වැදුනු තුවක්කුකාර අමනුස්සයෙක් කළ විනාසය ගැන දැන් සැවොම දනිති. පැය දාසයක් තිස්සේ දාහත් දෙනෙකුව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන කළ ඒ ත්‍රස්ත ක්‍රියාව අවසාන වූයේ අහිංසකයින් දෙදෙනෙකු ගේ ජීවිත විනාශ වීමෙනි. පොලිස් වෙඩි පහරින් තුවක්කුකරුවා ද නරකාදියට ගියේය.

මේ වන විට ඒ මිය ගිය දෙදෙනා සිහිකරමින් දහස් ගණනක පිරිසක් විසින් මල් පොකුරු දහස් ගණනක් ඒ ආපන ශාලාව අවට ප්‍රදේශයේ තබා ඇති දර්ශනය අප හද කම්පා කරවයි.

මේ සිද්ධිය මුලදී ප්‍රදර්ණය කෙරුණු අරාබි අකුරු වලින් ලියවුණු මුස්ලිම් ආගමික වැකියක් සහිත බැනරය නිසා, වැඩි දෙනා සිතුවේ මෙය මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් දියත් කළ සැලසුම් සහගත ප්‍රහාරයක් බවයි.

මේ දිනවල වත්පොත අරක් ගෙන මහින්දට කඩේ යමින් සිටින සිඩ්නිවාසී පුද්ගලයෙකු "සිඩ්නි නගරයට අයිසිස් ලා පහර දෙනවා. අනේ මට අපේ ජනාධිපතිතුමා විසින් ත්‍රස්තවාදයෙන් බේරාගත් ලංකාවේ මේ මොහොතේ ඉන්න තිබුණා නම්!" යනුවෙන් ප්‍රකාශයක් ද පළකර තිබුණි.

දැන් අප දන්නා පරිදි මේ ප්‍රාණ ඇපකරු සිද්ධියට වගකිව යුතු මෝනිස් නමැත්තා, මීට කලින් උසාවියෙන් වරදකරුවෙකු වී දඬුවම් ලබා ඇති, දැනට ස්ත්‍රී දුෂණ චෝදනා හතලිස් ගණනක් සහ තම පෙර බිරිඳ මරා දැමීමට අනුබල දුන්නා යැයි චෝදනාවක් ද ලබා උසාවියෙන් ඇප පිට සිටි අයෙකි. ඔහු ගේ හිටපු නීතිඥයා පැවසූ අන්දමට මෝනිස් ආගම නිසා උම්මත්තකයෙක් වූවෙකි.

මේ උන්මත්තකයා අපට සමාන කළ හැක්කේ වසර තුනකට ඉහත දී ස්වීඩනයේ උද්‍යානයක සිටි අහිංසකයින් හැට නමදෙනෙක් මරා දමා තවත් සියයකට බඩා පිරිසකට තුවාල සිදු කළ බ්‍රෙයිවික් නමැත්තාටය.

සිඩ්නි නුවර කැළඹූ මෝනිස් ගැන සත්‍ය කරුණු හෙලිවෙන්නට පටන් ගත්තේ රාත්‍රියේ දී ය.

මා පෙර කී පරිදි, ඊට පෙර බොහෝ දෙනා සිතා සිටියේ මෙය මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඒ තත්වය උඩ, ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන සුළුතරයක්වන මුස්ලිම් ජනතාවට යම් ප්‍රශ්ණවලට මුහුණ දෙන්නට වේ දෝ බියක් කා අතරත් මද වශයෙන් හෝ ඇති වී තිබුණි. සිරියාව ආශ්‍රිතව මාස කිහිපයකට උඩදී පැන නැගුණු අයිසිස් ත්‍රස්තවාදීන් ගේ මුස්ලිම් රාජ්‍ය සටන නිසා, රටේ විවිධ පැතිවල මුස්ලිම් කාන්තාවන්ට බැණ වැදීම්, මුස්ලිම් පල්ලිවලට ඌරු හිස් විසිකිරීම් වැනි සිදුවීම් කිහිපයක් ඇතිවී තිබුණි.

මෙහිදී කාන්තාවන්ට පමණක් බැණ වැදීම් වී තිබුණේ ඇයි දැයි යන්න ඉතා පැහැදිලිය. ඒ ඔවුන් සාමාන්‍යයෙන් ගමන් බිමන් යන්නේ විවිධාකාරයෙන් තම හිසකෙස් වසාගෙන නිසා ඔවුන් හඳුණා ගැනීම ඉතා පහසු නිසාය.

තවමත් ප්‍රාණ ඇපකරු සිද්ධිය පැවතෙද්දී එදින සවස දුම්රියෙන් යමින් සිටි සිඩ්නි වාසී රේචල් ජාකොබ්ස් නමැති කාන්තාව දුටුවේ මුස්ලිම් කාන්තාවක් තම හිසකෙස් වැසූ හිජාබය ගලවා සඟවා ගන්න ආකාරයයි.

ඇය ලඟට ගිය රේචල් ඒ කාන්තාව අමතා කියා ඇත්තේ "ඔයා ඒක ආපහු දා ගන්න. මං ඔයා එක්ක ගෙදර ලඟට යනකං ඇවිදන් එන්නම්!" කියාය.

මේ සිදුවීම සහ ඒ කාරුණික වදන් වත්පොතේ පළවූ පසු එය දුටු තෙරේසා කුම් නමැති තවත් කාන්තාවක් කළේ තමන් ද එසේ මුස්ලිම් කාන්තාවන් ගේ ආරක්‍ෂාවට දුම්රියේ හෝ බස්රියේ හෝ යාමට කැමති බව දන්වා ට්වීටර් පණිවිඩයක් මුදා හැරීමයි. තෙරේසා එලෙස ඇරඹු (#illridewithyou) නම් ට්ටීටර් පණිවිඩය දිනක් ඇතුලත ලක්‍ෂ ගණනක් දෙනා ගේ සහයෝගය ලබමින් පැතිර ගියේය.

ඊට අමතරව, පසුවදා වන විට මේ සංකේතය සහිත ස්ටිකර් දහස් ගණනක් මෙල්බර්න් වැනි ප්‍රදේශවලට දුම්රිය ස්ථාන වැනි තැන්වල බෙදා හැරුණි.

තල් අත්තට වැටුණු දිවුල් ගෙඩියක හඬ අසා කළබල වී දිවයන සතුන් රැලක් නොවී යම් සිදුවීමක සත්‍යය වටහා ගෙන, එසේ නොගන්නා අයගෙන් තවත් පිරිසකට අගතියක් වේ යැයි සිතා, ඒ ගැන කටයුතු කිරීමට සිතන පිරිසක් සිටිනු දැකීම ද අප හද සසල කරයි.

-රසිකොලොජිස්ට් (
http://rasikalogy.blogspot.com/
)

ප/ලි:
සිඩ්නි නගරයේ සිදුවූ අවාසනාවන්ත මරණ දෙක ගැන ඇතිවුණු දුක පහව යන්නටත් පෙර අසන්නට ලැබුණේ පකිස්ථානයේ ආගමික උන්මත්තකයින් පිරිසක් පාසලකට කඩා පැන සිසුන් ගුරුවරුන් ඇතුලු 132 දෙනෙකු මරා දමා ඇති පුවතයි!

(images: http://www.abc.net.au/radionational/programs/breakfast/tessa-kum/5969608
http://www.dailytelegraph.com.au/newslocal/central-coast/flowers-left-at-terrigal-memorial-to-honour-martin-place-siege-victims/story-fngr8h0p-1227159355054?nk=fc57131ea1ee249956fcb41702b470d0)

Tuesday, 16 December 2014

සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness


මා සේවය කරන්නේ සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශයේ ය.

නිවසේ සිට ලඟම දුම්රිය ස්ථානයට මෝටර් රථයෙන් ගොස් දුම්රියට ගොඩවෙමි. උතුරු සිඩ්නියට පිවිසීම සඳහා නගරයේ මධ්‍යම ප්‍රදේශය හරහා ගොස් සුවිසල් පාළම උඩින් සිඩ්නි වරාය තරණය කළ යුතුය. කිලෝමීටර් පනහක් පමණවන ඒ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය ගමනට පැයයි විනාඩි දහයක් පමණ ගතවේ.

පුද්ගලික කරුණු කීපයක් යෙදී තිබුණු බැවින් මම සඳුදා (15) සේවයට නොගියෙමි.

වෙනදා වේලාවටම නිවසෙන් පිටවී, අපේ නිවස පිහිටි ප්‍රදේශයේ නගර මධයට ගොස් පෙර කී එක් කරුණක් සඳහා සහභාගී වී, ඊලඟ කාරණය සඳහා යමින් සිටියදී මෝටර් රථයේ රේඩියොවෙන් අහන්ට ලැබුණේ සිඩ්නි නගරයේ සිදුවෙමින් පැවති ප්‍රාණ ඇපකරු සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තියයි.

ඉස්ලාම් ආගමට සම්බන්ධ ධජයක් ප්‍රදර්ශණය කෙරෙමින් සිදුවුණු මේ සිද්ධිය නිසා, මෙය මුස්ලිම් අන්තවාදියකු ගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් දෝ යැයි සැක ඇති වුණද, ඊයේ රාත්‍රිය දක්වාම ඒ කිසිවක් පැහැදිලි වී නොතිබුණි.

පසුව හෙළිවුණු පරිදි කලක් තිස්සේ පොලීසිය දැන සිට ඇති, මෝනිස් නමැති මේ මැර තුවක්කුකරුවා ගේ ග්‍රහණයට පත් වී ඇති අහිංසක පිරිස පිළිබඳව ඕනැම සංවේදී පුද්ගලයෙකු ගේ සිතේ ඇතිවන්නේ කම්පනයකි, කණගාටුවකි. එසේම ඔවුන්ට නිරුපද්‍රිතව මෙයින් ගැලවෙන්නට ලැබේවා යන ප්‍රාර්ථනය ද සිතට නැගේ.

නමුත් පැය ගණනාවක්ම මේ සිදුවීම ගැන ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් සජීවීව ප්‍රචාරය වූ විවිධ වැඩසටහන් අසමින් නරඹමින් සිටියදී මට පුද්ගලිකව යම් කාරණයක් ගැන අප්‍රසන්න බවක් ඇතිවිය.

මේ පිරිස ගැන, ගුවන් විදුලියේ, රූපවාහිනීයේ පමණක් නොව වත්පොතේ ද කියවුනු හැම පණිවිඩයකම ඔවුන්ට අනතුරකින් තොරව මින් ගැලවීමට ලැබේවා යන පැතුම සඳහා යෙදුණු වචනය නම් ප්‍රෙයා හෙවත් යාඥා යන්නයි.

යාඥා කරනවා යනුවෙන් අදහස් වෙන්නේ බැගෑපත්ව ඉල්ලනවා යන්නයි.

මට නම් මේ යාඥාව යන්න මහා අප්‍රසන්න වචනයකි.

මේ කියන යාඥාව කවුරුන් අමතා කෙරෙන්නක්ද?

මට නම් දෙවියන් යන වචනයද, යාඥාව යන්නද මහත් අප්‍රසන්න, පිළිකුල් සහගත දේ ය.

මගේ අදහස නම් අද ලෝකයේ ඇති ප්‍රශ්ණවලින් යම් ප්‍රමාණයකට වගකිවයුතු වන්නේ ඔය දෙවියන් ඇදහිල්ලය යන්නයි.

මිනිසුන් විසින් දෙවියන් මවා ගන්නට ඇත්තේ තම දුර්වල සිත්වලට යම් ධෛර්යයක් ලබා ගැනීමට විය යුතුයි. එසේ වෙතත්, ඒ මවාගත් දෙවියන් නිසාම අද අප පත්වී ඇත්තේ දුර්වල, අසරණ තත්වයකටයි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(image: http://www.abc.net.au/news/2014-12-15/sydney-siege-martin-place-lindt-cafe-hostages-remain-inside/5967340)

Sunday, 14 December 2014

දේශපාලනයෙන් තොර හැන්දෑවක් - An evening without politics, oh, what a feeling!


මේ දිනවල බ්ලොග් ලෝකාර්ධයේත්, වත් පොතේත්, ඊ-මේල් අතරේත් දේශපාලනය වැහි වැහැලා ය.

දන්න යකා හොඳයි කියන්නෝ ද, අළුත් යකා ට දීලා බලමු කියන්නෝ ද, මොන යකාත් එකයි කියන්නෝ ද අඩු නොඅඩුව සිටිති. ඔව්හූ තම හැකි හැකි පමණින් බ්ලොග් ලිපි ලියති. ප්‍රතිචාර දක්වති. වත්පොතේ ලියති. කැමැත්ත පෙන්වති. ප්‍රතිචාර දක්වති. බෙදා ගනිති. ඊ-මේල් යවති. පිළිතුරු ලියති. නැවත ඒවා දසත බෙදති.

මේ දිවවල මගේ එක් මිතුරෙක් දිවි ගෙවන්නේ වත් පොතේ දෝ කියා සිතේ. ඔහුගේ එකම කර්තව්‍යය නම් අන් අය වත්පොතට එක් කරන වීඩියෝ, ඡායාරූප, අදහස් වැනි දේ නැවත වත්පොතේ අය අතර බෙදීම ය. මේ සියල්ල අද දවසේ දේශපාලනයට සම්බන්ධ දේවල් පමණි.

මධ්‍යම රාත්‍රිය පසුවී නින්දට යන මා උදෑසන හතට පමණ අවදිවී ඇඳේ සිටම දුරකතනය මගින් වත්පොත පිරික්සන විට මගේ මිතුරා විසින් පෙරදා රාත්‍රී කාලයේ නැවත බෙදන ලද විවිධ ඡායාරූප, වීඩියෝ සහ අදහස් විසිපහක් තිහක් පමණ ගැන පණිවිඩ දැකගත හැක. ඔහු රාත්‍රියටවත් නිදා ගන්නේ යැයි මම නොසිතමි!

දේශපාලන මඩහොහොරුවේ සෑදෙන බැක්ටීරියාවකින් බෝවී පසුගිය සති දෙකතුන තුල උත්සන්න වූ මේ උණ රෝගය උත්සන්න වී උණසන්නිපාතයට හැරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඊයේ (සෙනසුරාදා) සවස යාන්තම් හිතට නිවනක්, සැනසිල්ලක් ලැබුණි.

ඒ මා ප්‍රිය බිරිඳ ගේ මිතුරියක් විසින් සංවිධානය කරන ලද භෝජන සංග්‍රහයකට සහභාගීවෙන්නට ලැබුණු ඇරයුමක් නිසාය.

මේ සාදය බිරින්දෑවරුන් ගේ සාදයක් විය. මගේ බිරිඳ උගත් විශ්ව විද්‍යාලයේ එම පීඨයේම වසරකට පමණ එහා මෙහා කාල පරාසයක උගත් ඇගේ මිතුරිය මෙදින ආරාධනා කර තිබුණේ තම ක්‍ෂේත්‍රයේම රැකියාවල යෙදෙනා මිතුරියන් පිරිසකටයි. පවුලේ සාදයක් බැවින් අපේ පුත්‍රයා සමග මම ද එහි ගියෙමි.

ගමන පිටත්වීමට පෙර ඒ සඳහා සූදානම් වෙන අතරතුර දී ද, වාහනය පදවන අතරතුර දී ද, මා කල්පනා කලේ ඔතැනට ස්වාමිපුරුෂයින් හත් අට දෙනෙක් පැමිණෙන්නට නියමිතව ඇති නිසාත්, අනිවාර්යෙන්ම මුද්‍රික පානාදිය භාවිතාවෙන නිසාත්, ඒ අතරතුර ඇතිවෙන කතාබහේ දී නිසැකවම ලංකාවේ දේශපාලනය ගැන අදහස් හුවමාරු වෙන්නට ඉඩ ඇති බවයි.

වාසනාවට මගේ නිගමනය වැරදී ගියේය.

දේශපාලන මඩගොහොරුව පිළිබඳ එකදු වචනයක් නොදොඩා, නොඅසා, පැය හතරක් පමණ සතුටු සාමීචියේ යෙදීමට අපට හැකිවිය.

අප කතා කළේ දරුවන් ගැන ය. නිවෙස් සැදීම, අළුත්වැඩියාව ගැන විස්තර ය. සෞඛ්‍යමය ජීවන රටාවක් ගැන ය. සිරුරට ගුණදායක කෑම බීම ගැන ය.

කොටින්ම කියනවා නම්, මට යලිත් දේශපාලනය සිහිවූයේ අද (ඉරිදා) උදෑසන අවදිවී, ඇදෙන් නොබැසම ජංගම දුරකතනය හරහා ජාලගත වූ විට පෙර කී මගේ මිතුරා විසින් වත්පොතේ බෙදාහැර තිබූ වීඩියෝ, ඡායාරූප සහ සටහන් පිළිබඳ පණිවිඩ දකිත් දී ය.

ලබන සති අන්තය වන විට පාසල් නිවාඩුවට අමතරව රාජකාරියෙන් ද සති දෙකක් ම නිවාඩු ලැබෙන නිසා, අපි දින හතරක පමණ චාරිකාවක යෙදීමට සැලසුම් කරගෙන සිටිමු.

මුළු නිවාඩුව කෙසේ වෙතත්, අනේ, අඩු වශයෙන් ඒ දින හතර හෝ ඊයේ සැන්දෑව මෙන් සොඳුරු, සෞම්‍ය, ඵලදායී එකක් වේවා!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
අද වෙන විට දේශපාලන මඩ ගොහොරුවට සම්බන්ධ දේ වත්පොතේ බෙදාහරිමින් තොග වෙළෙන්දෙකු ගේ තත්වයට පත්ව ඇති මගේ පෙර කී මිතුරා, නිකම්ම නිකං පුඤ්චි සිංඤෝ කෙනෙකු නොවේ.

ඔහු කවියෙකි, ගී පදමාලා රචකයෙකි, තීරු ලිපි රචකයෙකි, ඒ සේරටමත් වඩා, පොත් දහයක් දොලහක් ලියා ඇති වියත් ලේඛකයෙකි!

ඔහු වැන්නෙකු පත් වී ඇති තත්වය එය නම්, අප වැනි හාල්මැස්සන් ගැන කවර කතාද?

(image: http://www.northpointtoyota.com.au/company/Testimonials)

Thursday, 11 December 2014

අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? - Change is the only permanent thing!


ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරිය.

ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු උපදෙස් මාලාවක් සති දෙකකට පමණ ඉහත දී මා මේ බ්ලොගයේ පළ කළෙමි.

වික්ටෝරියානු ප්‍රාත්තයේ මැතිවරණය අළලා ඕස්ට්‍රේලියාවේ ඡන්ද කෙරෙන හැටි ගැන කෙටි සටහනක් ද ලියූවෙමි.

ඊලඟට පලවූයේ ලංකාවේ ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයින්ගෙන් කෙරුණු ඉල්ලීමකි.

ඉතින් පෙර කීවා සේ "ලංකාවේ ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරි" බව අමුතුවෙන් කිව යුතු නැත.

ඡන්දය ගැන මුල් ආරංචිය ආ දා සිට අද දක්වා විවිධ මාධ්‍ය මගින් පළවූ දේ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට පනින අය ගැන පිළිබඳ පුවත් ය.

මේ සම්බන්ධයෙන් ලැබුණු එක් අළුත් පුවතක් වූයේ සිඩ්නි නගරයේ කලක් විසූවෙක් මෙන්ම අද ද විටින් විට මෙහි පැමිණෙන, ඒ සමගම සිඩ්නි නගරය අවට වෙසෙන සිංහල ජනකොටසේ සංස්කෘතිකමය අවශ්‍යතාවයන් සඳහා පුරෝගාමී මෙහෙයක් කළ සිනමාවේදී සෝමරත්න දිසානායක ගේ පිල් මාරුවයි.

කුප්‍රකට මැර දේශපාලකයෙකු වෙන මර්වින් සිල්වා ද පිල් මාරු කරන්නට යන්නේ යැයිද ආරංචියක් ඊයේ පෙරේදා පැතිරිණි. පොදු අපේක්‍ෂක දේශපාලනයේ යහපත උදෙසා එය වැලැක්විය යුතුය යනුවෙන් මතයක්ද ඒ සමගම පැන නැගී ඇත.

මගේ අදහස මෙයයි.

දේශපාලන අදහස් දැරීම යනු මානව හිමිකමකි. එසේම තම දේශපාලන අදහස් වෙනස් කිරීමද ඒ හා සමාන අයිතිවාසිකමකි.

මේ ඡන්දය පොදු අපේක්‍ෂකයා දිනන්නට නම් ලංකාව පුරා ලක්‍ෂ ගණනක් ඡන්දදායකයින් තම දේශපාලන මතය වෙනස් කළ යුතුමය. සත්‍යය එයයි.

ප්‍රශ්ණය වන්නේ ඊයේ ආණ්ඩුවේ දුෂණයට කරදුන් දේශපාලකයින්, ආණ්ඩුවට කත් ඇදි යම්කිසි මට්ටමක සිවිල් බලයක් හිමි අය, අද අදහස් වෙනස් කිරීමෙන් නොනැවතී කරන පිල් මාරුවලින් පසු ඔවුන්ට තමන් මේ දක්වා කර ඇති, දායක වී ඇති, හොරමැරකම් යටපත් කරගැනීමට හැකිවේද යන්නයි.

පසුගිය සමයේ දෑත් ශක්තිමත් කරන්නට ගිය සෑම අයෙකුම වාගේ මේ ආකාරයේ "ඩීල්" කාරයෝ බව කියවිණි.

මේ සම්බන්දයෙන් අපේ ස්ථාවරය පහත සටන් පාඨ දෙකෙන් කැටිකර දක්වමි.
  1. අහෝසි කම්ම අහෝසි කරනු!
  2. අංගුලිමාලලා නිවන් යන්නට පෙර මුලින් නඩු අසා හිරේ යවනු!
පැහැදිලියි නේද?

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(http://movies.sulekha.com/kannada/angulimala/pictures/4.htm)

Monday, 8 December 2014

ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලියුමක් - An appeal by a group of Sri Lankans living in Australia


පහත උපුටා දක්වා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙසෙමින් විශේෂයෙන්ම ලේඛන කටයුතුවල යෙදෙන කිහිප දෙනෙක් එක්වී ඕස්ට්‍රේලියාවේ ම වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතා තව මසකින් ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයකි.

http://sannasa.sinhalajukebox.org/2014/Dec/2014Dec_page12.pdf
http://sannasa.sinhalajukebox.org/2014/Dec/2014Dec_page13.pdf

අප සැමට ම එය වැදගත් වේ යැයි සිතා මෙලෙස පළකරමි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත කෙරෙන ආයාචනයයි

හදිසි ජනාධිපතිවරණය - 2015 ජනවාරි 08

ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට මහජන මුදල් කෝටි ගණනක් වියදම් වෙයි. අපේක්ෂකයන් ප්‍රචාරය සඳහා කරන වියදම් ද එක්වූ විට එය පුංචි දුප්පත් පුංචි රටකට ඔරොත්තු නොදෙන මුදලකි. ලංකාවේ ආර්ථිකය තවමත් පවත්වාගෙන යන්නේ විශාල වශයෙන් ලබා ගන්නා අන්තර්ජාතික ණයවලින් බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා 2010 පැවති ජනාධිපතිවරණයෙන් යළි බලයට පත්වූයේ වසර හයක කාලයකටය. ඒ ධූර කාලයෙන් වසර හතර ඉක්මවූ වහාම යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කළේ මෑතකදී පැවති බස්නාහිර සහ ඌව පළාත් සභා ඡන්දවලින් ආණ්ඩුව කෙරෙහි රටේ මහජනයා අතර විශාල කලකිරීමක් වර්ධනය වෙමින් පවතින බව ප‍්‍රදර්ශනය වූ බැවිනි. තවත් වසර දෙකක් යන විට මේ ජනතා කලකිරීම උත්සන්න වන බව දන්නා ඔහු මහජන මුදල් කෝටිගණනක් වැය කර හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තීරණය ගෙන ඇත. ඒ මහජන යහපත වෙනුවෙන් ද නැතහොත් තම බලය තවත් කාලයකට දීර්ඝ කරගැනීමටද?


දැන් මැතිවරණ කොමසාරිස්ගේ තත්වය

ජනාධිපතිවරණයක් හෝ වෙනත් ඕනෑම ඡන්දයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළ විට ඒ සඳහා සුදුසු දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ය. එහෙත් මේ කැඳවා ඇති ජනාධිපතිවරණය ජනවාරි අටවෙනි දින පැවැත්විය යුතු යයි කල්තබාම කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවන් ය. ඒ දිනය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නට කලකට පෙරම රටේ ප‍්‍රසිද්ධ වී තිබිණ. ඒ අනුව රටට පෙනී යන්නේ මැතිවරණ කොමසාරිස්වරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස සලකා ඇත්තේ ජනාධිපතිවරයාගේ කේන්දරය බවයි. රටේ මුළුමහත් ජනතාවට වගකිවයුතු බරපතල වගකීමක් දරණ තනතුරක් වන මැතිවරණ කොමසාරිස් තනතුර මෙසේ නිවට නියාලූ හාස්‍යජනක තත්වයට පත්කරනු ලැබුවේ කෙසේද? ඒ ස්වාධීනව පැවතිය යුතු සියලූ රාජ්‍ය ආයතන විධායක ජනාධිපතිවරයා යටතට පත්කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගිනි.

මෙය ලෝකයේ කිසිම රටක නැති තත්වයකි. එම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට හැකි රජකෙනෙක් බවට පත්වූ රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණය පත්ව ඇති සෝචනීය තත්වය ද ඊයේ පෙරේදා පැහැදිලිව පෙන්නුම් කෙරිණ. මෙතෙක් බලයේ සිටි කිසිම ජනාධිපතිවරයකු නොකළ ආකාරයට තමන්ට ඕනෑම වාර ගණනක් ජනාධිපතිවරණයට තරග කළ හැකිවන සේ 18වැනි සංශෝධනය යොදාගැනීම රාජපක්ෂ මහතාගේ සැලසුම විය. එක් පුද්ගලයකු ඔහු කොතරම් හොඳ කෙනෙකු වුවත් වාර දෙකකට වඩා ජනාධිපති ලෙස කටයුතු නොකිරීම ලෝකයේ සෑම රටක්ම අනුගමනය කරන්නා වූ සම්ප‍්‍රදායකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් එ් සම්ප‍්‍රදාය අනුගමනය කෙරෙන්නේ කොතරම් හොඳ පුද්ගලයකු වුවත් දීර්ග කාලයක් බලයේ සිටින විට බලයෙන් දූෂිත වන බවට ඇති පිළිගැනීම නිසාය. කෙසේ හෝ ලංකාවේ පාර්ලිමේන්තුව හදිසියේ සම්මත කළ එම සංශෝධනය ආපස්සට බලපාන්නක් නොවන නිසා එ් වන විටත් දෙවරක් පත්වී සිටි වත්මන් ජනාධිපතිවරයාට එසේ තරග කිරීමට නීතිමය ඉඩක් නැතැයි හිටපු අග‍්‍රවිනිශ්චයකරුවකු සහ නීතිඥයන් බහුතරයක් පෙන්වා දී තිබුණු තත්වයක් තුළ එවැනි නීතිමය ඉඩක් ඇත්ද නැතිද යන්න විවෘත උසාවියක තීන්දු කළ යුතුව තිබිණ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ තමා ම පත්කළ ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවන්ගෙන් එය පුද්ගලිකව විමසීමයි. එම විනිසුරුවන් රහසිගතව රැස්වී තම මතය රහසිගතව ම ජනාධිපතිවරයාට දන්වා යැවීය. එයින් කියා ඇත්තේ රාජපක්ෂ මහතාට තෙවරක් තරග කළ හැකි බව යයි නිමල් සිරිපාල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කී නමුත් එවැනි උපදෙසක් හෝ තීරණයක් ඇතොත් එය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කතානායකවරයාට යවා පාර්ලිමේන්තුවේ සභා ගතකිරීමේ සම්ප‍්‍රදාය ද අනුගමනය කළේ නැත. දැන් මැතිවරණ කොමසාරිස්වරයා රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිගන්නට යන්නේ උසාවියක කෙරුණු විවෘත තීන්දුවක් අනුව නොව පාර්ලිමේන්තුවේ කෙරුණු කටකතාවක් අනුව ය. හිතවතුනි, මෙන්න ඔබේ මව්බිමේ අධිකරණයටත්, නීතියටත්, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයටත්, මහජනයාගේ ස්වෛරී බලයටත් වර්තමානයේ අත්වී ඇති ඉරණම!


ඡන්ද ප‍්‍රචාරය

ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වන ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මැතිවරණයකදී කෙරෙන ප‍්‍රචාරයේ ස්වරූපය දැක තිබේ. අද මේ මොහොතේ ලංකාවට යන කෙනෙකුට එහි සිදුවන ඡන්ද ප‍්‍රචාරයේ තරම දැක බලා ගන්නට පුළුවන. ජනාධිපතිවරණයට තවම නාමයෝජනා දී නැත. එහෙත් අද ලංකාවෙන් ලැබෙන තොරතුරු අනුව රටේ සෑම ලයිට් කණුවකම රාජපක්ෂ මහතාගේ පින්තූර ය. බැලූ බැලූ අත පොල්ගස් උසට එතුමාගේ කටවුට් ය. රජයේ රූපවාහිනි චැනල රජයේ පුවත්පත් පමණක් නොව තම බලයෙන් සහ වෙනත් මාර්ගවලින් තමන්ගේ කීකරු ආයතන බවට පත්තරගෙන සිටින පුවත්පත් මේ සියල්ල දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරයාගේ ඡන්ද ප‍්‍රචාරයේ යෙදී සිටින්නේ තරගයකට මෙනි. මේ අතර මාස දෙකක කාලයක සිට ජනාධිපති වෙසෙන අරලියගහ මන්දිරයේ දන්සැලක් පවත්වාගෙන යයි. සෑම දිනකට එක් එක් ක්ෂේත‍්‍රවලින් පන්දාහ බැගින් එහි කැඳවා කන්න බොන්න දෙයි. මේවාට වියදම් කරන කෝටි ගණන් මුදල් කාගේද? මේවා ඡන්ද අල්ලස් නොවන්නේද? ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි කල්තබාම දන්නා එක් අපේක්ෂකයෙක් මැතිවරණ කොමසාරිස් එය ප‍්‍රකාශයට පත්කරන්නට මාස ගණනක් තිබියදී ම දැවැන්ත ප‍්‍රචාරයක් දියත් කරයි. එවිට මෙය සාධාරණ මැතිවරණයක් වෙන්නේද?


යුද්ධය

මේ කරුණු අඩුවැඩි වශයෙන් ඔබ ද දන්නා බව අපි දනිමු. එහෙත් මෙහි සිටින ශී‍්‍ර ලාංකිකයන් බොහෝදෙනා විශේෂයෙන් සිංහලයන් අතරින් බොහෝ දෙනෙක් තුළ රාජපක්ෂ පාලනය ගැන යම් පැහැදීමක් ඇත්තේ කුරිරු ත‍්‍රස්තවාදී ප‍්‍රභාකරන්ට විරුද්ධව යුද්ධ කර රට බේරා ගත් නායකයා ඔහුය යන මතය නිසාය. සැබෑය. සාම සාකච්ඡා මගින් එගඟත්වයක් ඇති කර ගැනීමට ආණ්ඩු කිහිපයක්ම දැරූ උත්සාහයන් අසාර්ථක කරමින් යුද්ධයම ඉල්ලා සිටි, සිංහලයන් පමණක් නොව තමන්ගේම දෙමළ ජාතියේ නායකයන්, බුද්ධිමතුන් ඝාතනය කරමින් රට විනාශ කරමින් සිටි එල්ටීටීඊ සංවිධානය ඔවුන් ඉල්ලා සිටි යුද්ධ මාර්ගයෙන්ම පරාජය කිරීම අගය කළ යුතු බව ඇත්ත ය. මහින්ද රාජපක්ෂ පාලනයට පසුගිය කාලයේ තිබුණු ජනපි‍්‍රයතාවේ ලොකුම සාධකය යුද්ධය බව ඇත්ත ය. අදත් ඡන්දයක් එන විට ආණ්ඩුවේ ලොකුම ප‍්‍රචාරය වන්නේ යුද්ධයයි. දැන් මේ මොහොතේත් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සේම රාජ්‍යය විසින් යටත් කරගන්නා ලද සියලූ මාධ්‍ය උදේ සිට රෑ වන තුරු පෙන්වන්නේ එල්ටීටීය කළ අපරාධ ය. අදත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම තුරුම්පුව යුද්ධයයි. සමහරු කියන්නේ නූතන දුටගැමුණු ඔහු බවයි. එසේ කියන අය සත්‍යයේ හරි අඩකට වඩා වසන් කරති. දුටුගැමුණු ගැන ඔබ කියවා ඇති ඉතිහාසය මතක් කර ගන්න. දුටුගැමුණු එළාර පරාජය කළේ තමාම යුද බිමට ගොස් යුද්ධකිරීමෙනි. රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ යුද්ධය කරගෙන යාමට එදා සිටි හමුදාපතිවරයාට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යුද්ධය මෙහෙයවා ජයගත් එ් හමුදාපතිවරයාට රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකූ ආකාරය ඔබ හොඳින් දනී. ඔහුට බොරු චෝදනා මවා වසර ගණනාවක් හිරේ දමුවා පමණක් නොව ඔහුගේ නිල ලාංඡනත් ප‍්‍රජා අයිතියත් අහිමි කළේය. ඉතිහාසය තම වාසියට කියවන අයට මතක් කරදිය යුතු තවත් කරුණක් වන්නේ දුටුගැමුණු කළ යුද්ධයේ පැසසුම් ලබන්නේ එ් රජු පමණක් නොවන බවයි. එ් ඉතිහාසයේ දස මහා යෝධයන් ගැනත්, ඔවුන්ගේ සුරුවිරුකම් ගැනත් ලියා ඇති බව අපි දනිමු. මේ වත්මන් දුටුගැමුණුට දසමහා තබා එකමහා යෝධයකු වත් නැත. ඉන්නා එකම යෝධයා ඔහු ම පමණකි.

ඊ ළඟට අපි එල්ටීටීයට විරුද්ධව කෙරුණු යුද්ධය ආශි‍්‍රතව ආණ්ඩුව යට ගසන තවත් දේ ටිකක් සොයා බලමු. අද ලංකාවේ රූපවාහිනිය අරන්තලාවේ භික්ෂු ඝාතනය, ශී‍්‍ර මහා බෝධිය යට මිනිස් ඝාතන, දළදා මැදුරට බෝම්බ ගැසීම ආදී අපරාධවල රූප රාමු පෙන්වමින් මහින්ද ජනාධිපතිවරයා රට ගලවා ගත්තේ මෙවැනි දේ කළ අපරාධකරුවන්ගෙන් බව කියන අතර විපක්ෂය යළිත් එම අපරාධකරුවන්ට පාර කපන බවක් ද අඟවයි. යුද්ධයේ අතීතය අපක්ෂපාතී මනසකින් යළි මෙනෙහි කරන ඕනෑම කෙනෙකුට එදා ඉහතකී අපරාධ මෙහෙයවූයේ එවකට එල්ටීටීඊ යුද නායකයා ව සිටි කරුණා අම්මාන් බව මතකය. එදා එල්ටීටීයට උදව්කළේ යයි අදත් පොඩි පොඩි මිනිසුන් අල්ලා හිරේ දමන රාජපක්ෂ ආණ්ඩුව ඉහත කී අපරාධ මෙහෙයවූ කරුණා අම්මාන්ට ඇමති පදවියක් දුන්නා පමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකමක් ද පිරිනැමුවේ ය. අද ඔහු මහජන මුදලින් සැප විඳින, ආණ්ඩුවේ ගජ මිතුරෙකි!

සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේ ආයුධ වෙළදාමකට හවුල් වූයේ යයි චෝදනා නගා අත් අඩංගුවට ගන්නට නියෝග කෙරුණු ෆොන්සේකා මහතාගේ බෑණා තවම සිටින්නේ වරෙන්තු පිටය. එ් අතර එල්ටීටීය වෙනුවෙන් ආයුධ ගෙන්වූයේයයි ද නැව් බැංකු ගිනුම් පාලනය කළේ යයි ද එදා ආණ්ඩුව ම කී කේපී නැමැත්තා දැන් ආණ්ඩුවේ සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සුවසේ වැජබෙයි. ඔහු ළඟ ඇතැයි කී රත්තරන් ටොන් ගණන් දැන් ඇත්තේ කොහේදැයි සොයන්නකු නැත. යුද්ධය කළා යයි රාජපක්ෂ ජනාධිපතිවරයාට තුති පුදන අතරම යුද්ධය හා සම්බන්ධ මෙකී දේවල් ගැනද සිතා බැලීම අවශ්‍ය නොවන්නේද?

තවද යුද්ධය ජයගත් මට රට හදන්නට තවත් වරක් බලය දෙන්නැයි 2010 දී රාජපක්ෂ මහතා ඉල්ලා සිටි විට ජනතාව ඔහුට නැවත වරක් බලය දුන් අතර ජාතික ප‍්‍රශ්නය විසඳා රට ගොඩනගනු වෙනුවට එතුමා කළේ තම පවුල ගොඩනැගීමයි. එහෙයින් යුද්ධය කළ බව කියා තවත් වරක් බලය ඉල්ලන්නට සුදුසුකමක් දැන් එතුමාට නැත.


ඇමති මණ්ඩලය

ඊළඟට රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇති කැබිනට්ටුවේ තත්වය ගැන බලමු. එතුමා 2005 දී පොරොන්දු වූයේ ඇමති මණ්ඩලය 30කට සීමා කරන බවටය. නමුත් තමාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව හසුරුවා ගැනීම සඳහා ඔහු කළේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දදායකයන් දුන් ඡන්දයෙන් තේරී පත්වී ආ අවස්ථාවාදී මන්තී‍්‍රවරුන් හඳුනාගෙන ඔවුන්ට තාන්න මාන පඬුරු පුදා ඇමතිකම් දී තමන්ගේ පැත්තට අත උස්සන්නන්ගේ ගොඩ වැඩි කර ගැනීම ය. එ් අවස්ථාවාදීන්ට අල්ලස්දීමටය ඇමති මණ්ඩලය 100 ඉක්මවා වැඩිකළේ. මේ සියල්ලන් නඩත්තු කිරීම වෙනුවෙන් තවමත් ලෝකයේ දුප්පත්ම රටවල් විස්සෙන් එකක් වන අපේ රටේ මහජන මුදල් කොතෙක් නම් වැය කරන්නේද? අද අපේ රටේ සිදුවන මත්කුඩු ජාවාරම ඇතුළු සෑම අපරාධයක් පිටුපසම මේ මැති ඇමතිවරු සිටින බව රටේ ජනයා හොඳින් දනිති. නමුත් නීතිය රකින්නට ඉන්නා පොලීසිය ඉන්නේ මේ අපරාධකාරයන්ගේ අතවැසියන් හැටියටය. මේ තත්වය තුළ අද අපේ රට ලෝකයේ අපරාධ බහුලම රටවල් දෙක තුනෙන් එකක් බවට පත්ව තිබේ. දියුණු ලෝකයේ රටවල් ගණනාවක්ම ශී‍්‍ර ලංකාවට යාමෙන් වළකින ලෙස තම ජනතාවට අවවාද කරන්නේ මේ නිසාය.

කැබිනට්ටුවේ ඇමතිවරු කොපමණ හිටියත් රටේ තීරණාත්මක සියලූ ක්ෂේත‍්‍ර ඇත්තේ රාජපක්ෂ පවුලේ අය අතේ ය. අටේ අයවැයෙන් විශාලම කොටස යන්නේ එ් අයගේ අමාත්‍යාංශවලට ය. වැඩිම මුදල වෙන් කෙරෙන ආරක්ෂක හා නාගරික සංවර්ධනය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතේ ය. ඊළඟට වැඩිම කොටස බෙදන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථිත සංවර්ධන අමාත්‍යාංශයට ය. කැබිනට් එක කොතරම් ලොකු වුණත් කෝටි ප‍්‍රකෝටි ගණන් කොමිස් එහා මෙහා වෙන මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ය. මුදල් අමාත්‍යාංශය ඔහු යටතේ ය. වසරකට කෝටි ගණනක් පාඩු ලබන ශී‍්‍ර ලංකා එයාවේස් සභාපති ජනාධිපතිතුමා ගේ මස්සිනා ය. කොතරම් පාඩු ලැබුවත් හැම අයවැයකින්ම ශී‍්‍ර ලංකා එයාර්වේස් සහ මිහින්ලංකාවලට මුදල් වෙන් කරයි. ජනෘධිපති පවුලේ අය ගේ අතපල්ලෙන් වැටෙන දෙයක් ලෙවකා හැමදේටම අත උස්සමින් යැපීම මිස කිසිදු වැදගත් තීන්දුවක් ගැනීමට බලයක් අනෙක් ඇමතිවරුන්ට නැත. එ් නිවට ඇමතිවරු ජනාධිපතිවරයා ඉදිරියේ පමණක් නොව ඔහුගේ පුත‍්‍ර නාමල් රාජපක්ෂ ඉදිරියේද කොන්ද හතරට නමති. නාමල් ගේ විනෝදාංශයක් වන කාර් රේස් පැදීම වෙනුවෙන් ගෙන්වන ලැම්බෝගිනි කාර් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපති තාත්තා අයවැයෙන් යෝජනා කළ විට එයද අනුමත කළේ මේ රූකඩ මැති ඇමතිවරු ය. යෝජනා කළ අයට සේම එය අනුමත කළ අයටද රටේ දුප්පත් ජනතාව ගැන තිබෙන කැක්කුම කෙබඳු දැයි එයින්ම නොපෙනේ ද? පවුලේ අයගේ අමාත්‍යාශවලට ලොකුම කුට්ටිය බෙදාගන්නා, පුතාගේ විනෝදය සඳහා ගෙන්වන ලැම්බෝගිනි රේසින් කාර් බද්දෙන් නිදහස් කරන අයවැයෙන් සමස්ත ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්නේ 2‍% දෙකටත් අඩු ප‍්‍රමාණයකි.

ජේ.ආර්. හැදූ, අනෙක් අයත් මේ දක්වා පවත්වාගෙන යන චන්ද ක‍්‍රමය යටතේ අද ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින බොහෝ දෙනෙකුට ඇත්තේ සල්ලිකාරයන් වීමේ හා එ් සල්ලි බලයෙන් චන්ඩින් වීමේ සුදුසුකම පමණකි. එ් නිසාම අද පාර්ලිමේන්තුව රස්තියාදුකාරයින් ගේ, වාචාලයන් ගේ කෙළිබිමක් බවට පත්ව ඇත. රටේ අග‍්‍රවිනිශ්චයකාරතුමිය ජනාධිපති සමග නොහොඳ වූ විට ඇයට විරුද්ධව චෝදනා හදා නඩු අසා ඇය තනතුරෙන් පහකිරීමේ තීන්දුව ගත්තේ එ් මන්ත‍්‍රීවරුන් ය.


ආගම්වලට සැලකීම

රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ බෞද්ධයකු නිසා මොනවා කළත් ඔහු බලයේ තබාගත යුතු යයි සිතන පිරිසක් ද රටේ සිටිති. මෙය ද සැබැවින්ම මුලාවකි. සරත් ෆොන්සේකා හිරේට දැමූ විට ඔහු නිදහස් කරන්නැයි අස්ගිරි මල්වතු නාහිමිවරු ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එ සේ ම අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් පළි නොගන්නැයි මහනායක හිමිවරු ඉල්ලා සිටියහ. එ් කිසිවකට රාජපක්ෂ ජනාධිපතිවරයා ගරු කළේ නැත. එපමණක් නොවේ මෑතකදී නාමල් රාජපක්ෂ දළදා මාලිගාව අවට පාරවල්වල කාර් රේස් පැදීමක් සංවිධානය කළ විට අස්ගිරි මල්වතු නාහිමිවරු දළදා මාළිගා බිමේ කාර් රේස් නොපවත්වන්නැයි ඉල්ලා සිටියහ. ලොකුම බෞද්ධයකු ලෙස පෙනී සිටින මේ ජනාධිපතිවරයා එ් ඉල්ලීමටත් ගරු කළේ නැත. පුත‍්‍රයාගේ විකාර ආසාව ඉටුකර ගන්නට දළදාමාළිගාවේ ගෞරවය කෙළෙසන්නට ඔහු ඉඩ දුන්නේ මහනායක හිමිවරු තුට්ටුවකට නොසලකමිනි. අවුරුද්දකට වරක් රටේ අග නගරයේ පාරවල් වසා කෝටි ගණන් මුදල් නාස්ති කරමින් දින දෙකක් රාති‍්‍ර කාර් රේස් මේලා පවත්වන්නට ජනාධිපතිතුමා තම පුත‍්‍රයාට ඉඩ දෙයි.

බුද්ධාගමට පමණක් නොව අනෙක් ආගම්වලටද එතුමා සලකන්නේ එ් විදියටම ය. කතෝලික බැතිමතුන්ගේ ආධ්‍යාත්මික නායක පාප්වහන්සේ ලංකාවේ සංචාරය කරන්නට නියමිත දිනවල ජනාධිපතිවරණය යෙදීමෙන් එම ආගමට ද ඔහු කළේ මහත් හෙලෙත්තාඩුවක් නොවන්නේ ද? ඔහුට පාප්වහන්සේට වඩා නැකත්කරුවාගේ වචනය ලොකු ය.

එපමණක් නොවේ රටේ ආගම් අතර වෛරය, ජාතීන් අතර වෛරය පතුරමින් යකා නටන්නට බොදු බල සේනා නමැති අපකීර්තිමත් කල්ලියට නිදහස දී අහක බලාගෙන හිඳින්නේද මේ ජනාධිපතිවරයා ය. බොදුබලසේනා වැනි සංවිධාන කි‍්‍රයාකරන්නේ ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම්ගේ අනුග‍්‍රහය යටතේ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ අය මෙවැනි සංවිධාන නඩත්තු කරන්නේ බලය ගිලිහෙන්නට යන විට රට අවුල්කරන කුමන්ත‍්‍රණයක් සඳහා පාවිච්චි කිරීමට බව බුද්ධිමත් ජනයාගේ විශ්වාසයයි.


රට චීනයට යටත් කරවීම

චීනය යනු තවදුරටත් මාවෝ සේතුන් විප්ලවයෙන් ගොඩනැගූ සමාජවාදී චීනය නොවන බව ඔබට අලූතෙන් පෙන්වා දීම අවශ්‍ය නොවේ. චීන වෙළඳ ආධිපත්‍ය ලෝකය වෙලා ගන්නා හැටි ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඔබ ඇස්පනාපිට අත්දකින්නකි. රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අද අපේ රට ද චීන ව්‍යාපාරිකයන් විසින් ගිලගෙන ඇත. රටේ සංවර්ධන කටයුතු සඳහා ඉතා අඩු පොළියට සහ සමහරවිට පොළි රහිතව දීර්ගකාලීනව ගෙවන්නට ණය ලබාදුන් සියළුම රටවල් තරහ කරගෙන ඇති ජනාධිපතිවරයා නැව් නො එන වරායවල්, ගුවන් යානා නො එන ගුවන්තොටුපොළවල්, අධිවේගී මාර්ග, මුහුද ගොඩකර හදන කැසිනෝ සහ විනෝද දූපත් හදන්නට ණය ගන්නේ චීනයෙනි. එ් 6% පොළියට කෙටිකාලීනව ගෙවන කොන්දේසි යටතේ ය. එසේ ගන්නා ණයවලින් කෙරෙන ඊනියා සංවර්ධන ව්‍යාපෘති ටෙන්ඩර් නැතිව බාර දෙන්නේ චීන කොම්පැණිවලට ය. නියම වියදමට වඩා විසිතිස් ගුණයක වියදමින් කෙරෙන මේ ව්‍යාපෘතිවලින් කෝටිප‍්‍රකෝටි ගණනින් කොමිස් ලැබෙන බව තවදුරටත් රහසක් නොවේ. මේ විනාශකාරී ණය ගෙවිය යුතු වන්නේ රටේ අනාගත පරම්පරාව මිස ජනාධිපතිවරයා හෝ ඔහුගේ දරුවන් නොවේ.

පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටට කීවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් එ් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ තමාට බවය. එයින් ඔහු කියන්නේ "මට කරන්න පුළුවන්, එ්ත් මම කරන්නේ නෑ!" කියන එක නේද? ඔහු බලයට පත්වුණේ කෙටිකලක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන බවටත් රටේ විනාශයට තුඩු දී ඇති ජාතික ප‍්‍රශ්ණයට දේශපාලන විසඳුමක් මාස තුනක් ඇතුළත දෙන බවටත් පොරොන්දු වෙමිනි. අවුරුදු 10කට වැඩි කාලයක් බලයේ සිටි ඔහු දැන් කියන්නේ "මට කරන්න පුළුවන්, එ්ත් මම කරන්නේ නෑ!" කියාය. මේ නම් ඔහුට ඡන්දය දුන් ජනයාට ඇඳිවත උස්සා පෙන්වමින් ඔච්චම් කිරීමක් මිස වෙන දෙයක් නොවේ. යුද්ධය අවසන් වී අවුරුදු පහමාරක් ගතවී ඇතත් ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ඔහු යෝජනා කරන්නේ නැත. ඔහුම කියන පරිදි එ් සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට බලය තිබේ. යුද්ධය කළේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට විරුද්ධව මිස දෙමළ ජනයාට විරුද්ධව නොවේ යයි ආණ්ඩුව එදා කීවේ ය. එසේ නම් කළ යුතුව තිබුණේ යුද්ධය අවසන් වූ වහාම උතුරේ දෙමළ ජනයාට ගෞරවයෙන් යුතුව නිදහසේ ජීවත්වීමට හැකි වන පරිදි දේශපාලන විසඳුමක් දීමය. එ් වෙනුවට ඔහු කරන්නේ උතුරේ ජනයා හමුදා පාලනයකට යටකර පීඩනයට පත්කිරීමයි. එ් මගින් නැවතත් යුද්ධයකට පාර කැපීමයි. චීනය එකම මිතුරා කර ගැනීමෙන් ඉන්දියාව තරහ කර ගැනීම නිසා අප රටට ඇත්තේ කොයි මොහොතක හෝ පුපුරා යා හැකි අනතුරකි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් උතුර පමණක් නොව මුළු රටම හමුදා පාලනයකට සූදානම් කෙරෙමින් තිබේ. රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ සිටියොත් රටට ලැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව හමුදා පාලනයකි.


පිට ඔපය යට ඇති දේ

විදේශවල වෙසෙන සමහර ශ්‍රී ලාංකිකයන් වසර ගණනාවකට පසු මේ කාලයේ කෙටි නිවාඩුවකට ලංකාවට ගිය විට දැක ඇත්තේ අලූතින් ඉදිවුණු අධිවේගී මාර්ග, විශාල ගොඩනැගිලි, ව්‍යායාම සඳහා ඇවිදින මාවත් සහිතව අලංකාර කළ උද්‍යාන, ආදියේ ආශ්චර්යය පමණි. එ්වා දැක දැන් අපේ රට ලොකු දියුණුවක් ලබා ඇතැයි සිතන්නෝ සහ කියන්නෝ ද සිටිති. එහෙත් මේ බාහිර සංවර්ධනය වෙනුවෙන් ණයට ගෙන වියදම් කරන කෝටි ගණන් මුදල්වලින් කොතරම් ප‍්‍රමාණයක් දේශපාලකයන්ගේ සාක්කුවලට යන්නේ ද යන්න එසේ බාහිර ආටෝපය දකින්නන්ට නො පෙනෙයි. අධිවේගී මාර්ගයක එක කිලෝමීටරයක් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකකින් ඉදිකරන්නට හැකිව තිබියදී මේ ආණ්ඩුව යටතේ චීන කොන්ත‍්‍රාත් කරුවන් ඉදිකරන අධිවේගී මාර්ගවලට එක කිලෝමීටරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ත් 18ත් අතර ගණනක් වියදම් කර ඇති බව ආණ්ඩුවේ ඇමතිවරයකු ව සිටි නවීන් දිසානායක මහතා ඉතා මෑතකදී හෙළි කළේය. ඕනෑම කෙනෙකුට මේවා අන්තර්ජාලයෙන් බලාගත හැකිය. ඔබ අද යාපනයට ගියහොත් එහිද ලස්සන පාරවල්, සංචාරක හෝටල් ආදිය ඉදිවී ඇති බව දකින්නට පුළුවන. එහෙත් එ් බාහිර ඔපයට නො රැවටී යාපනයේ වෙසෙන සාමාන්‍ය ජනයා සමග කතාබහ කළොත් ඔවුන් ඉල්ලන්නේ නිදහස මිස පාරවල් හෝටල් හෝ සැනකෙළි නොවන බව ඔබට වටහා ගන්නට හැකිවනු ඇත. කොළඹ නගරය සහ එ් අවට ලස්සන නවීකරණය දකින කෙනෙක් එ් හැම තැනකම අවි දරාගෙන සහ සිවිල් ඇඳුමෙන් සිටින හමුදා භටයන් නොදකින්නේ නම් ලංකාවේ ඇත්ත තත්වය ගැන අවබෝධයක් ඔහුට නොලැබෙනු ඇත.

නාස්තිකාර, එ්කාධිපති ස්වරූපයේ පාලනයෙන් අපේ රට මුදවා ගැනීමට අවස්ථාවක් දැන් පෑදී තිබේ. එ් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ම මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමයි. ඔහු බලයට පත්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්වාධීන කොමිසම් පත්කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප‍්‍රධාන විරුද්ධ පක්ෂ සියල්ලේම ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා මහතා සේම කලින් පොදු අපේක්ෂකයා ලෙස නම්කර සිටි මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සහාය ද මේ පොදු අපේක්ෂකයාට ලැබේ. එසේම මෑතක් වන තුරු ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිිටි ජාතික හෙළ උරුමයද සහාය දක්වන්නේ පොදු අපේක්ෂක මෛතීපාල සිරිසේන මහතාට ය. රටේ උගතුන් ගේ සංවිධාන වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොදු අපේක්ෂකයාට සහාය දක්වයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ ද පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් රට ගලවා ගැනීම වෙනුවෙනි.

රටතුළ මෙවැනි විරෝධයක් ගොනුවී ඇත්තේ රාජපක්ෂ පාලනය රට විනාශ කරන හැටි තවදුරටත් ඉවසා සිටින්නට බැරි තැනය.


ඔබේ යුතුකම

ඔබ ඕස්ටේ‍්‍රලියාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු රටක සිටියත් ඔබේ නෑයින් හිත මිතුරන් වෙසෙන්නේ මෙහි ඉතා කෙටියෙන් කී අයුරු පරිහානිගත හා අනතුරුදායක තත්වයකට පත්ව තිබෙන ඔබේ රටේ ය. රට මේ තත්වයෙන් ගලවා ගන්නට ඔබ කැමති නම් මේ අවස්ථාවේ එය කරන්නට ඉදිරිපත් වී සිටින අයට ඔබේ සහාය දීම අත්‍යවශ්‍ය ය. දැන් ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂකයා ලවා රට විනාශයෙන් ගලවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවා ගැනීම දැන් රටේ ජනතාවට බාරය. ඕස්ටේ‍්‍රලියාව වැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වෙසෙන ඔබට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනත් ජාතීන් අතර සහජීවනයේත්, ආගම් අතර සහජීවනයේත් අගය ගැන හොඳ වැටහීමක් ඇති බව නිසැක ය. ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන නමුත් තමා උපන් මව්බිමට හිතැති ඔබට මේ අවස්ථාවේ රට වෙනුවෙන් කළ හැකි වැඩ කොටසක් තිබේ. ලංකාවේ සිටින ඔබේ පවුලේ අයට, හිතවතුන්ට මේ කරුණු පෙන්වාදී අපේ රට වැටී ඇති අභාග්‍යමත් තත්වයෙන් රට ගලවා ගෙන ලෝකයේ ගෞරවයට පාත‍්‍රවන දියුණු රටක් බවට අපේ රට පත්කර ගැනීමට ඔබටත් දායක විය හැකිය. එ් සඳහා ඔබට හැකි උපරිම දේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙයට

පුරවැසි බලය’ වෙනුවෙන්

ජයතිලක කම්මැල්ලවීර
ශ්‍යාමන් ජයසිංහ
ලයනල් බෝපගේ
ජගත් ජේ එදිරිසිංහ
රසික සූරියආරච්චි
චරිත දිසානායක
වරුණ සාවින්ද
අසෝක සුබසිංහ
මාලන් බණ්ඩාර කපුවත්ත
අසෝක සිල්වා
ගාමිණී රණසිංහ


(image: http://nepalesevoice.com.au/australia-sri-lanka-to-sign-people-smuggling-deal/)

Friday, 5 December 2014

ජේවීපී ප්‍රකාශනයක තිබී කියවූ පරණ පත්තර කෑල්ලක් නිසා අහෝසි වෙන එක් දුර්මතයක්


මුලින්ම අප බොහෝ දෙනෙක් දන්නා කාරණා කිහිපයක් සඳහන් කරමි.

විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1978 දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාවෙනි. රටේ මුල්ම විධායක ජනාධිපතිවරයා වූයේ එවකට පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටි ජුනියස් රිචඩ් ජයවර්දෙන ය. ඔහු ඒ තනතුරේ දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි මස හතරවෙනිදා යි. පසුව 1981 දී පැවති ජනාධිපති ඡන්දයේ දී ජයවර්දෙන බහුතර මහජන කැමැත්තෙන් ඒ තනතුර සඳහා තේරී පත්විය.

ගැහැණු පිරිමි ලිංග වෙනස්කම හැර අන් ඕනෑම දෙයක් කරන්නට හැකි බලතල ඇති යැයි එහි නිර්මාතෘ ජයවර්දෙන විසින් නම් කෙරුණු විධායක ජනාධිපති තනතුරේ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිපතිවාදී ලක්‍ෂණ රාශියකි. එදා 1978 දී ඒ ගැන එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැන්නෝ අනතුරු හැඟවූහ. ජනාධිපති ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි එල්ලා විරෝධය පලකළ වික්‍රමබාහු කරුණාරත්නට එනිසා තම විශ්ව විද්‍යාල රැකියාව පවා අහිමි විය.

විධායක ජනාධිපති තනතුරේ ඇති යැයි කියවෙන එක් අධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් බලයක් නම් ජනාධිපති සමාව නම් උපක්‍රමය මගින් නීතියට පිටින් යමින් ඕනෑම මිනීමරුවෙක් වරදින් නිදොස් කර තනිමතයට නිදහස් කිරීමට ජනාධිපතිට ඇති අවසරයයි. මේ ආකාරයට ජනාධිපති සමාව මගින් එකල හිරෙන් නිදහස් වූ එක් අයෙක් කුප්‍රකට මැරයෙක් මෙන්ම ස්ත්‍රී දුෂකයෙක් ද වූ ගෝනවල සුනිල් නම් එකල බියගම මන්ත්‍රී සහ අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ ගේ ආධාරකරුවෙකි.

මේ සිද්ධිය එකල කොයි තරම් සාකච්ඡා වුනේ ද යත් මේ ආකාරයට ලබාදෙන ජනාධිපති සමාව කතාබහේ දී සඳහන් කෙරුණේ ගෝනවල සුනිල් සමාව ලෙසිනි.

ඒ ගෝනවල සුනිල් සමාවෙන් පසුගිය කාලය තුලදීද සිර දඬුවම් විඳිමින් සිටි දේශපාලකයින් සහ මැරයින් කීප දෙනෙක්ම නිදහස ලැබූ බව රහසක් නොවේ.

පසුගිය දා මිතුරෙක් විසින් ඊ-මේලයකින් එවන ලද සබැඳියක් හරහා යමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් සම්පාදනය කරන ලද (ඔව්, එය හොරා ගේ අම්මාගෙන් පේන ඇසීමක් බඳුය) ඔවුන් ගේ ම ඉතිහාසය ගැන කෘතියක් කියවද්දී එහි තිබුණු පරණ පුවත්පතක ඡායා පිටපතක් නිසා, මට වැටහී ගියේ මේ ජනාධිපති සමාව අද පවතින විධායක ජනාධිපති ක්‍රමයේ කොටසක් නොව, ඊට පෙර පැවති නාමමාත්‍රික රාජ්‍යනායක ජනාධිපති තනතුරේ ද තිබුණු බලයක් බවයි.

මෙන්න ඒ දිනමිණ පුවත් පතේ මුල් පුවත ඇතුලත් ඡායා පිටපත.


ඒ ප්‍රවෘත්තියට අනුව, 1971 අප්‍රියෙල් මාසයේ සිදු කළ කැරැල්ල සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් ලබමින් සිටි නන්දසිරි (රෝහණ) විජේවීර සහ පිරිස එදා 1977 නොවැම්බර් මස දෙවෙනි දින නිදහස ලබා ඇත්තේ ජනාධිපති සමාව ලබාය.

ඒ අනුව ඒ සමාව දි ඇත්තේ ඒ දිනවල ලංකාවේ පැවති ආණ්ඩු ක්‍රමය යටතේ නාමමාත්‍රික ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව විසිනි!

එදා විජේවීර ඇතුලු ජේවිපීකාරයින් සමගම විදේශ විනිමය වංචාවලට වරදකරුවන් වී සිරබත් කමින් සිටි ව්‍යාපාරික හොරුන් කීප දෙනෙක්ද නිදහස ලැබූ බව කියවේ. එසේ නමුත්, 1972 මැයි 28 සිට, 1978 පෙබරවාරි 4 දින දක්වා නාමමාත්‍රික ජනාධිපති තනතුර හෙබවූ විලියම් ගොපල්ලව විසින් ඊට පෙර සමාව දෙන ලද වෙනත් අපරාධකරුවන් ගැන අප අසා නැත.

මේ අනුව පෙනී යන්නේ වරද ඇත්තේ බලයේ නොව, බලය හිමියා සහ බලය භාවිතයේ බවයි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
ඒ දිනවල පුවත්පත් සිංහල අකුරු කෙතරම් කැත ද කියා බලන්න!

(Images
http://www.globalsecurity.org/military/world/sri-lanka/jayewardene.htm; http://archives.dailynews.lk/2010/01/19/fea01.asp; http://www.sangam.org/articles/view2/?uid=693)

Wednesday, 3 December 2014

ගී පද රචකයා ගේ නම හැලී යාමට නූර්ති යුගයෙන් විසඳුමක් - Immortal Joseph Andrew


පසුගිය මාසයේ සිඩ්නි නගරයේ "එදා මෙදා ගී රංග සොබා" නමින් ප්‍රසංගයක් පැවැත්වුණි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ගේ නිව් සවුත් වේල්ස් ඕස්ටේ‍ර්ලියා සංගමය මගින් සංවිධානය කරන්නට යෙදුණු මේ ප්‍රසංගය ඉදිරිපත් කළේ අද ලංකාවේ සිටින ජනප්‍රියතම මෙන්ම විශිෂ්ඨ රංග ශිල්පීන් වන, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුලසූරිය සහ මාධනී මල්වත්ත විසිනි.

එහිදී ජයලත් මනොරත්න ගැයූ එක් ගීතයක් වූයේ ආ අප බොහෝ දෙනෙක් අසා පුරුදු "ශාන්ත ජෝන් ගේ වීදියේ කඩේ" නම් වූ නාඩගම් ගීයයි. මෙය "බැලසන්ත" නම් නාඩගමේ ආ ගීතයක් බව කියවුණි.

මෙන්න ඒ ගීතය ජයලත් මනෝරත්න ම ගයන වෙනත් අවස්ථාවක දර්ශනයක්.

මේ ගීතයේ අවසාන පද කිහිපය හොඳින් අසන්න.



ගීතය අවසානයේ ජයලත් මනෝරත්න වේදිකාවෙන් ඉවත්ව ගිය පසු, ඒ වන විට ප්‍රසංගයේ ගීත ඉදිරිපත් කරමින් සිටි රොඩ්නි වර්ණකුලසූරිය, ඒ ගීතය් සම්බන්ධ අපූරු පුවතක් ප්‍රේක්‍ෂක අප සමග පැවසීය.

එනම්, මේ ගීතයේ අවසන් පද දෙකෙන් කියවෙන්නෙ ගීතයේ පද රචකයා ගේ නම බවයි.
සිරිලක තුල පින්වත් අපෙ සිංහල නාමෙට ගෞරව
මේ පද බැන්දේ සතොසින් ඒ ජෝශප් ඇන්ඩෲය මම
ශාන්ත ජෝන් ගේ වීදියේ කඩේ ගීතය විසි තිස් වාරයක් එකල ගුවන් විදුලියෙන් සහ පසුව විවිධ මාධ්‍ය මගින් අසා තිබුණද මේ බව අප බොහෝ දෙනෙකුට වැටහුණේ එවිටයි.

විශේෂයෙන්ම ගුවන් විදුලි නාලිකාවලින් ගීත ප්‍රචාරය කිරීමේදී ගායක ගායිකාවන් ගේ නම් සඳහන් වූවද, ගී පද බැඳි රචකයා ගේ නම සඳහන් වෙන්නේ කලාතුරකිනි. අද කතාබහට ලක්වෙන ඒ ප්‍රශ්ණයට එදා නූර්ති සමයේ සිටි ජෝශප් ඇන්ඩෲ පද රචකයා සොයාගත් විසඳුම කදිමට ගැලපෙන බවද රොඩ්නි වර්ණකුලසූරිය පැවසූයේ මුලු ප්‍රේක්‍ෂකාගාරයම සිනාවේ ගිල්වමිනි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
අන්තර්ජාලයේ ඇති ඇතැම් මේ ගීතයේ පිටපත්වල පෙර කී නම සහිත දෙපදය ඇතුලත් නොවෙන බව මේ ලිපිය ලිවීම සඳහා කළ සොයා බැලීම්වලදී මට වැටහුණි.

(image: http://www.ozlanka.com/2104-albums/puaan-edamedagee/)

Saturday, 29 November 2014

ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections


අද ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ, එනම් මෙල්බර්න් නගරය ප්‍රධාන නගරය වන ප්‍රාන්තයේ, මහ ඡන්දය පැවැත්වේ.

නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සිඩ්නි නගර තදාසන්නයේ ජීවත්වන මට ඒ ඡන්දය අදාල නැතිමුත්, මේ අවස්ථව උපයෝගී කරගෙන ඕස්ටේ‍ර්ලියාවේ මැතිවරණ ගැන සටහනක් ඉතා කෙටියෙන් කිරීමට සිතුවෙමි.

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය පාලනය තට්ටු තුනකින් සිදුවේ.

එහි පහල පෙලේ තට්ටුව වන්නේ ප්‍රාදේශීය සභා සහ නගර සභා ය. මෙහි ප්‍රාදේශීය සභා යන්න ෂයර් (කෝරලය) කවුන්සිල් කියා හැඳින්වේ. නගර සභා නම් නගර සභා හෙවත් සිටි කවුන්සිල් ම ය. එක් එක් සභා ප්‍රදේශය වෝඩ් හෙවත් වාට්ටුවලට බෙදා ඇති අතර මේවා සඳහා නියෝජිතවරණ සෑම සිව් වසරකටම වරක් පැවැත්වේ.

ඊලඟට ඇත්තේ ප්‍රාන්ත රාජ්‍යයන්ය. මේවා ලංකාවේ පලාත් සභාවලට පොතේ හැටියට බලය පැවරුණොත් ඇතිවන තත්වයට වඩා ඉහල රාජ්‍ය බලයක් ඇති පාලන ආයතන වේ. රටේ ප්‍රාන්ත හයකි. බ්‍රිස්බේන් නුවර පිහිටි ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්සය, වික්ටෝරියාව, හෝබාට් නගරය පිහිටි තැස්මේනියාව, ඇඩිලේඩ් නගර පිහිටි දකුණු ඕස්ට්‍රේලියාව සහ පර්ත් නගරට පිහිටි බටහිර ඕස්ට්‍රේලියාව වශයෙනි. මීට අමතරව ඩාවින් නගරය පිහිටි උතුරු ප්‍රදේශය සහ කැන්බරාව පිහිටි ඕස්ටේ‍ර්ලියානු අගනුවර ප්‍රදේශය ද අඩු බලතල ඇති වෙනම ප්‍රාන්ත ලෙස ක්‍රියාත්මක වේ. එක් එක් ප්‍රාන්ත ඡන්ද කොට්ටාශ ලෙස බෙදා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඒකල ක්‍රමයට ඡන්දයෙන් තෝරා ගැනේ. මීට අමතරව ප්‍රාන්ත කිහිපයක පමණක් සෙනෙට් සභාවක් වැනි අපර් හවුස් එකක් ඇති අතර ඒ සඳහා නියෝජිතයින් තෝරන්නේ සමානුපාතික ක්‍රමයටයි.

ඕස්ට්‍රේලියාවේ අගනුවරවන කැන්බරා නුවර පිහිටා ඇති පාර්ලිමේන්තුවේ රැස්වන්නේ ෆෙඩරල් රජයයි. මේ සඳහා ද මුළු රටම ඡන්ද කොට්ඨාශ වලට බෙදා කේවල ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කරගන්නා අතර සෙනෙට් සභාව සඳහා සමානුපාතික ක්‍රමයට එක් එක් ප්‍රාන්තය සඳහා නියෝජිතයින් පත්කර ගැනේ. ඒ ප්‍රධාන ප්‍රාන්තවලට සභිකයින් හය දෙනා බැගින් ද, අනෙක් ප්‍රදේශවල අඩු සංඛ්‍යාවක් ද ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ නිල කාලය තුන්වසරකි නමුත් සෙනෙට් සභිකයෙකුගේ නිල කාලය වසර හයක් වේ.

ඕස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති එක් පැහැදිලි වෙනසක් නම් ඡන්දය දැමීම, ඒ සඳහා ලියාපදිංචි වී ඇති සියළු දෙනාටම, අනිවාර්ය කර තිබීමයි. ඡන්දය නොදැම්මොත් සතියකින් දෙකකින් ඩොලර් පනහක දඩ කොළයක් ගෙදරට එනු ඇත.

නමුත් ඒ නිසාම ඡන්දය දෙන්නට විවිධ පහසුකම් සලසා ඇත. ඒ සඳහා නියමිත දිනය එනකෙත් සිටිය යුතු නැත. සතියක් තිස්සේ ප්‍රධාන නගරාශ්‍රිතව ඡන්ද මධස්ථාන විවෘත වී ඇත. මා සිතන පරිදි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලවල දී ද මෙලෙස ඡන්දය දිය හැක. ඒ සමගම ඕනෑම කෙනෙකුට තැපැල් ඡන්ද සඳහා ලියා පදිංචි වී තම ප්‍රජාතන්ත්‍රික අයිතිය බුක්ති විඳිය හැකිවේ. මීට අමතරව ඡන්ද දිනයේ දී නියමිත ඡන්ද පොලට යා යුතුවන්නේ ද නැත.

මෙකී කරුණු නිසා, අද පැවැත්වෙන වික්ටෝරියානු ප්‍රාන්ත නියෝජිතවරණය සඳහා ඊයේ හවස වෙන විට 33% ක පිරිසක් ඡන්දය පාවිච්චි කර තිබුණි!

ඒකල ඡන්ද කොට්ඨාශයක නියෝජිතයා ලෙස පත්වීමට අපේක්‍ෂකයෙකුට ප්‍රකාශිත ඡන්දවලින් 50% කට වඩා ලබා ගත යුතුවේ. මෙහිදී ඡන්දය දෙන්නෙකුට එක්කෝ තමන් කැමති අපේක්‍ෂකයාට ඡන්දය පාවිච්චි කිරීමට හෝ නැතිනම් (ලංකාවේ ජනාධිපතිවරණයක දී මෙන්) තමන් කැමති අය අනුපිළිවෙලට නම් කිරීමට හැකි නිසා ඡන්දය බෙදී ගොස් ඇති අවස්ථාවලදී දෙවෙනි, තුන්වෙනි මනාප සලකා 50% සීමාව ඉක්මවන අපේක්‍ෂකයා තෝරා ගැනේ. සෙනෙට් සභාවට, එනම් අපර් හවුස් එක සඳහා, නියෝජිතයින් පත්කර ගැනීම සමානුපාතික ක්‍රමයට සිදුවෙන නමුත් එහිදී ද මේ ආකාරයෙන් මනාප ක්‍රමයක් ක්‍රියාත්මක වේ. (එක් එක් ප්‍රාන්තවල මැතිවරණ ඉහත දක්වා ඇති නීතිරීතිවල යම් යම් වෙනස්කම් සහිතව සිදුවෙන බව සලකන්න.)

මැතිවරණය පැවැත්වෙන්නේ සැමවිටම සෙනසුරාදාවක ය. ඒ සමගම මැතිවරණ අපේක්‍ෂකයින් සඳහා තරග කාලය ඉතා කෙටිය. බොහෝවිට සති තුන හතරකි. ප්‍රචාරණ කටයුතු විද්‍යුත් මාධ්‍ය සහ ශාලාවල පැවැත්වෙන කුඩා රැස්වීම්වලට බොහෝවිට සීමාවේ. සමහර දිනවල අපේක්‍ෂකයෝ උදෑසන දුම්රිය නැවතුම්පලට පැමිණ පත්‍රිකාවක් බෙදමින් මගීන් හා කතා බහ කරනු දැකිය හැක. සති පොලේ මේසයක් අල්ලා ගෙන ඡන්දදායකින් මුණ ගැසෙන්නෝ ද සිටිති. ගෙයින් ගෙට යෑම ද සමහරවිට සිදු කෙරේ.

ඡන්දය පැවැත්වෙන දිනයේ ඒ කටයුතු සවස පහට නිමවෙන අතර හවස හයට පමණ ඡන්ද ගැනීම ඇරඹේ. රාත්‍රී අට පමණවන විට 10-15 % පමණ ඡන්ද ගැන හමාරවන විට ඒ අනුව පෙනෙන නැඹුරුව සලකා බොහෝ ආසනවල ප්‍රතිපල නිල නොවන වශයෙන් ප්‍රකාශ කෙරේ.

මගේ අත්දැකීමේ හැටියට රාත්‍රී නමය පමණවන විට පරාජය වෙන්නන් එය පිලිගෙන දිනන අයට දුරකතනයෙන් සුභපතා, විද්‍යුත් මාධයෙන් කතා පවත්වන්නට පටන් ගනිති. දිනන්නෝ ද ටික වේලාවකට පසුව එසේම කරති.

මේවන විට කිසිම ආසනයක ප්‍රකාශිත ඡන්ද සියල්ලම ගැන අවසාන වී නැත. ඡන්දය ගණින්නෝ ඒ ස්ථාන වසා දමා නිවෙස්වලට යති. යලි සඳුදා සේවයට පැමිණෙති. අන්තිම ඡන්දය දක්වා ගැන නිල ප්‍රතිපල ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් දින කිහිපයකිනි. මා පෙර කී මනාප ක්‍රමය සහ 50% අවම ප්‍රතිශතය නිසා සතියකටත් වඩා මේ ඡන්ද ගැනීම සිදුවෙන අවස්ථාද ඉඳහිට හෝ ඇතිවේ.

සෙස්ස පස්සට.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(image: http://www.bbc.co.uk/news/world-asia-24000133)

Friday, 21 November 2014

ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම - Country Vs I


ඉහත ඡායාරූපය මා දුටුවේ අද උදයේ අන්තර්ජාලයේ සැරිසරද්දී ය.

එයින් දැක්වෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණය (නියමිත කාලයට කලින්) කැඳවීම සඳහා වූ ගැසට් නිවේදනයට අත්සන් තැබීම සඳහා සුභ මොහොත හෙවත් නැකත එලැබෙන තුරු සිය අත් ඔරලෝසුවලින් වේලාව බලමින් සිටින ජනාධිපති සහ ජනාධිපති ලේකම් ය.

මේ දර්ශනය දුටු විට මගේ හිතට නැගුණේ දැඩි දුකකි, කණගාටුවකි, අපුලකි.

එයට හේතුව නම්, ලංකාවේ සිදුවෙන දේ තීරණය වෙන්නේ කොහේවත් ඉන්නා නක්‍ෂත්‍රකරුවන් ගේ කැමැත්ත අනුව නොවේද කියා සිතට නැගුණු සිතුවිල්ලයි.

මේ ගැන මා මගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කළෙමි.
ලංකාව දියුණු රටක් වීමට නම් (රාජ්‍යය සහ ආගම් පමණක් නොව) රාජ්‍යය සහ නක්ෂත්‍රය (ද) වෙන් විය යුතුය.
A country where the State is separated from (religion and) astrology is a developed country...!
මේ පුද්ගලික කටයුත්තක් නොවේ. රටටම බලපාන රාජකාරී කටයුත්තකි. ඔය ආකාරයට නැකතක් බැලිය යුතු යැයි කියා ව්‍යවස්ථාවේ කිසිසේත්ම සඳහන් නොවෙන බව අමුතුවෙන් කිව යුතුද?

මම නක්‍ෂත්‍රය විශ්වාස නොකරමි. බිරිඳ ද එසේම ය. අප තීරණ ගන්නා මගේ හෝ අපේ පවුලේ වෙනත් අයගේ කටයුතුවලට නැකැත් කිසිසේත්ම අදාල නොවේ.

මගේ අදහස අනුව නැකත එළැඹෙන තුරු ජනාධිපතිවරයා සහ ලේකම්වරයා කරන මේ විනාඩි කීපයක් හෝ කාලය මැරීම යනු මහා නාස්තියකි. මේ අයගේ සහ පිරිවර සේනාවේ පඩි නඩි සලකා බලන විට ඒ නාස්තිය රුපියල් ලක්‍ෂ ගණනක් වෙනු ඇත.

එසේ නැතුව නක්‍ෂත්‍රය නිවැරදි විද්‍යාවක් යැයි මොහොතකට සිතමු.

එසේ නම් මේ ජනාධිපතිවරයා කරන්නේ තමා ද අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනය කෙරෙන තමන්ට වාසිදායක පාක්‍ෂික ක්‍රියාවක් නොවේද? ඒ මේ නැකත සාදා ඇත්තේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ගේ පුද්ගලික කේන්දරයට අනුව ඔහුට වාසිදායක වෙන පරිදි නිසාය.

සමහරවිට විරුද්ධ පක්‍ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත අයෙක් නිවරදිව දන්නේ නම් ඒ පුද්ගලායා ගේ කේන්දරයට අපල කාලයක්ම තෝරා ගන්නටද ඉඩ ඇත.

මා මිතුරෙකු සමග අද දවල් කාලයේ දී කතා බහ කරද්දී මේ ගැන සඳහන් කළෙමි.

"නැකත් කියන ඒවා නිවරදි විද්‍යාවක් නම්, ඔය අත්සන ගහන්න තිබුණේ ලංකාවේ කේන්දරය බලා, ඒ කේන්දරයට සුභ නැකතක් හොයා, ඒ අනුව නොවේද?" මම ඔහුට කීවෙමි.

"මෝඩ කතා කියන්න කියවන්න එපා රසික!" මිතුරා කීවේය. "රටට සුභ නැකතකින් අත්සන් කරන්න තරම් මෝඩ මොන ජනාධිපතිද? එහෙම ලංකාවට සුභ නැකතකින් අත්සන් කළොත් රට දිනනවා කියන්නේ මිනිහා පැරදෙනවා කියන එකනේ!"

මට කට උත්තර නැතිවිය.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
රට දිනවමු!

Monday, 17 November 2014

ලංකාවේ යහ පාලනයක් සඳහා ඕස්ටේ‍ර්ලියාවේ ඉන්නා රටගිය ඇත්තන්ගෙන් උපදෙස් - Statement from Australian Advocacy for Good Governance in Sri Lanka


ලබන වසරේ පැවැත්වෙතැයි අපේක්‍ෂිත ජනාධිපතිවරණය සඳහා විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි මතයක් පවතී. මේ පිළිබඳ සෑහෙන කතිකාවතක් බ්ලොග් ඇතුලු විවිධ ජන මාධ්‍ය තුළ මේ දිනවල කෙරෙමින් පවතී.

මේ පිළිබඳ මගේ එකඟතාවයක් ඇතත්, ඒ සමගම මට කිවයුතු අනෙක් කරුණ නම්, කවර පුද්ගලයෙක් ජනාධිපති වුවද, බලය ලැබුණු පසු ඔහු හෝ ඇය කුමක් කරාවිදැයි කිව නොහැකි බවයි. ෆෙස්බුකියේ මා මේ පිළිබඳ දැක්වූ එක් අදහසක් මෙසේය.

මගේ අදහස නම් වෙස්සන්තර වගේ පොරක්ව කොමන් කැන්ඩිඩේටයා කරලා ජනාධිපති කළත් කිසිම වෙනසක් නැතුව කලින් එකා රට කාගෙන කාගෙන ගිහිල්ලා නතර කරපු තැන ඉඳන් කාගෙන කාගෙන යාවි කියන එකයි.

මේ පිළිබඳව මා 2009 දී ලියූ කවි පන්තියක කොටසක් මෙසේ ය.

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී


කෙසේ වෙතත් මේ රසිකොලොජි පෝස්ටුව පළ කරන්නට මා සිතුවේ ශ්‍රි ලංකාවේ යහපාලනය පිළිබඳ ඕස්ටේ‍ර්ලියානු උපදේශක්වය සංවිධානයෙන් පොදු අපේක්‍ෂකයෙකු සම්බන්ධයෙන් නොබෝදා කළ ප්‍රකාශයක් උපුටා දක්වන්නටයි.

(මේ සංවිධානයේ කිසිවෙකු මම පෞද්ගලිකව නොදනිමි. සිංහල පිටපතක් ඇතිනම් පසුව එක් කරමි).

-රසිකොලොජිස්ට්



Australian Advocacy for Good Governance in Sri Lanka (AAGGSL) - Statement

Australian Advocacy for Good Governance in Sri Lanka (AAGGSL) is a non-profit organisation with members of diverse backgrounds aimed at creating awareness of the lack of democracy, accountability and good governance in Sri Lanka, in particular due to the executive presidential system. It is committed to positively subscribe to the establishment of practicing democracy and rule of law in Sri Lanka respecting the rights and will of all its peoples.

Background

The democratic space for political interaction in Sri Lanka has been diminishing over time. Politicisation and militarisation of civil administration, over-centralisation of decision making, and practice of graft and corruption have been on the rise. Repression of independent journalists and civil society activists is ongoing. Lack of democratic principles and rule of law, and disrespect for human rights, political rights and religious rights have become quite evident.

A major factor contributing to this continuing deterioration has been the executive presidential system that has led to an increasingly autocratic rule that controls all aspects of socio-economic and political life of the people in Sri Lanka. The Executive President, while in power, is not answerable to the judiciary, and enjoys detrimental influence over the Supreme Court making it somewhat a biased third chamber of government. A great majority of our multi-ethnic, multi-religious polity would welcome substantial constitutional reforms to change course for the better.

The next presidential election is likely to be held early next year, and the campaign work has already begun. Prohibition of foreigners from visiting the North without specific permission from the military; emphasis given to an imaginary war threat; propping up the need to vest power in the current leadership supposedly to preserve Sri Lanka’s unity; making significant personnel changes in the security apparatus; pledging to increase salaries and reduce cost of living pressures; provision of cash, land, jewellery and other graft, incentives and concessions to constituents – all these are forerunners to influence the outcome of an election – presidential or parliamentary, or a referendum to extend the current parliamentary term.

In the elections held since 2009, the executive presidency and the government of Sri Lanka had relied mainly on the military victory over the LTTE and the subsequent economic infrastructure developments for re-election. Similarly, this time again, recreation of euphoria over the war victory five years ago has begun with lot of fanfare, and a fear psychosis has been induced. With majority of the mainstream media under the government’s thumb, only the government’s political campaign can reach the entire country. Nevertheless, the issues relating to democracy, independence of judiciary and good governance appear to have gained prominence in the current political discourse. Such issues, however, are yet to be widely debated in public, as fear psychosis among the people is deep-rooted.

What can we do?

In light of this situation, AAGGSL believes that positively subscribing to the re-establishment of democratic practices and the rule of law is vital. Our road map to achieving good governance in Sri Lanka, inter-alia, includes the following objectives:

  1. Promote conditions conducive for a free and fair election
  2. Advocate selection of a common opposition candidate for the impending presidential election backed by a common opposition
  3. Support the common opposition candidate determined by Sri Lanka’s like-minded politicians, who would pledge to implement an agreed ‘common minimum program’ for consensus politics in our multi-ethnic, multi-religious society
  4. Work with the citizenry of Sri Lanka to help build a strong peoples’ movement to pressure the elected president and any future elected government to implement the ‘common minimum program’ including:
    1. Abolition of the executive presidential system
    2. Restoration of practicing parliamentary democracy, with the head of state answerable to the judiciary
    3. Constitutional reforms with checks and balances to protect human rights, political rights and religious rights of all peoples
    4. Attainment of a negotiated political settlement with the elected representatives of the North and East to the Tamil national question of power-sharing within an agreed time frame
    5. Discontinuation of militarisation and politicisation of civil administration and the unprecedented land grabbing of the displaced without due process or compensation
    6. Provision of tangible economic relief to low income earning people
    7. Establishment of independent constitutional entities to maintain the rule of law, accountability and transparency, and
    8. Enforce measures to effectively curtail bribery and corruption.

Sri Lanka deserves inclusive-good governance, responsive to the will of its peoples. We believe we can make a meaningful contribution to this end.

Our Ethics

Our attempt is to underline the significance of democracy and good governance for Sri Lanka and to raise awareness on the relevant principles. Such principles associate with almost every field of life, social, political, economic, cultural and business alike.

What do we mean by good governance?

The fundamental indicator of good governance is free and fair elections with guarantees of freedom of expression, including the right to be critical of the Executive and the government. When people are bribed, coerced and manipulated in an unprecedented manner, how can one count such a vote as free, fair and voluntary expression of their will? To keep a government’s integrity, not only adequate laws against graft and corruption are necessary, but impartial implementation of such laws is essential, as rights can only be enjoyed when there is a realistic means of investigation and enforcement.

The Universal Declaration of Human Rights (UDHR) succinctly sets out the fundamental rights and freedoms that all human beings, regardless of race, colour, sex, language, religion, political or other opinion, ethnicity and national background are entitled to enjoy. These rights are not just a construct based on Western ideals. They have deep roots in the traditions of all peoples. Human rights only have meaning when they can be enjoyed in a practical sense. Simply by reason of being human, every human being is entitled to universal human rights codified by the UN legal framework covering civil, cultural, economic, political and social rights.

Democracy and good governance refer to the protection of civil and political rights and economic and cultural rights, such as the rights of minority communities. Democracy becomes hollow without the protection of civil and political rights, and governance becomes bad without the rule of law and respect for human rights.

Good governance is defined as ‘the transparent and accountable management of a country’s resources for its equitable and sustainable economic and social development’. Essential ingredients of good governance consist of democratization, rule of law and respect for human rights. Good governance aims at achieving justice, and needs to be nurtured for ensuring respect for human rights. Assurances of protection of human rights will remain hollow, without the rule of law, independent courts and other social institutions that are essential components of good governance. Good governance is democratic governance, that values:
  • Human Rights – respecting human rights and fundamental freedoms of people
  • Civil Liberties – allowing people to live with dignity, freedom and justice
  • Egalitarianism – a society free of discrimination based on race, ethnicity, class, gender, religion or any other attribute
  • Inclusiveness – people having a say in decisions that affect their lives
  • Accountability – people can hold the decision-makers accountable
  • Fairness – social inclusion and fair rules, institutions and practices governing social interactions
  • Gender Equality – women are equal partners with men in private and public spheres of life
  • Farsightedness – forward-looking policies to reflect the needs of future generations, and
  • Socio-economic policy development – responsive to people’s needs and aimed at eradicating poverty and improving the socio-economic status of the disadvantaged.

Recognition of the inherent dignity and of equal and inalienable rights of all members of the human family is the foundation of freedom, justice and peace. History teaches that transparent, responsible, accountable and participatory governance is a prerequisite for lasting wellbeing of a nation. Only Good Governance will bring enduring peace and prosperity.

Convenors:
Wimal Jayakody, Shyamon Jayasinghe, Sarath Jayasuriya, Saliya Galappaththi, Ranjith Weerasinghe, Lionel Bopage, Ari Pitipana, Anura Manchanayake, Ajith Rajapakse

END.

(photo:http://www.artsrilanka.org/history/introduction.html)

Friday, 14 November 2014

අවුරුදු අනූ දෙකේ දී ත් පොත් ලියන ජනමාධ්‍යවේදියා - Veteran journalist S Piyasena

නාකි යන වචනය සෑදී ඇත්තේ නොහැකි යන අරුතින් බව අපි අසා ඇත්තෙමු. නමුත් මේ කතාව සැම විටම සත්‍යය නොවේ. ඒ බව හොඳින් අපට පසක් කරවන චරිතයක් හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.

තම මාධ්‍යවේදී දිවිය අරඹා වසර හැත්තෑ හතරකට පසුවත් නොනැවතී එකසේ උනන්දුවෙන් අදත් පුවත්පත් සඳහා ලිපි සපයන මේ අපූරු පුද්ගලයා අද නොවැම්බර් 14 දින තම අනූ දෙවෙනි උපන්දිනය සමරණ සේනාධීර පියසේන නම් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ය.

ඔහු මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වලටත්, ඕස්ට්‍රේලියාවේ සිංහල මාසික සඟරාවලටත් ලියූ ලිපි එකතුවක් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර "හුදකලාවේ ආවර්ජන" නමින් ප්‍රකාශයට පත් කර ඇත.

"හුදකලාවේ ආවර්ජන" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයකි.

මේ ග්‍රන්ථයේ දොරට වැඩුම සිදුවූයේ පසුගිය සෙනසුරාදා සිඩ්නි නගරයේ දී පවත්වන්නට යෙදුණු ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආදී ආනන්දීය සංගමයේ වාර්ශික සුහද හමුවේ දී ය. මෙහිදී සේනාධීර පියසේන මාධ්‍යවේදියා සභාවට හදුන්වා දෙන්නට මට අවස්ථාව ලැබුණි.

පහත පලවෙන්නේ එහිදී මා කළ කතාවයි.



ආනන්දනීය සන්ධ්‍යාවක් වේවා ප‍්‍රිය මිතුරනි,

අද මේ සන්ධ්‍යාවේ දී දොරට වඩින "හුදකලාවේ ආවර්ජන" කෘතිය රචනා කළ වියත් ලේඛකයා හඳුන්වා දීමට ලැබීම ඉතා සතුටක්. විශාල භාග්‍යයක්.

සේනාධීර පියසේන, එසේ නැතිනම් "ඇස්. පියසේන" උපත ලැබුවේ වර්ෂ 1922 නොවැම්බරයේ එනම් මීට වසර අනූ දෙකකට පෙරයි. මුලින් අළුත්ගම විදුහලෙන් ඉගෙනුම ලැබූ සේනාධීර පියසේන ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වසර 1933 දී යි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා 1939 ජූනි මාසයේ දී ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

ඉන්දියාවට යන්නට පෙර සිටම සමසමාජ දේශපාලනයේ අත්පොත් කියවා සිටි සේනාධීර පියසේන අනතුරුව එළැඹි දෙවන ලෝක යුධ සමයේ ලංකාවට පැමිණි අවස්ථාවේ 1940 දී කොමියුනිස්ට් පක්ෂය විසින් නැවත ඇරඹූ ජනශක්තිය පුවත් පතේ ප‍්‍රකාශක ලෙස තම පුවත්පත් දිවිය ඇරඹුවා.

එවකට පැවති නීති අනුව පුවත්පතක ප‍්‍රකාශකයෙකු වයස විසි එක පන්නා තිබිය යුතු වී ලූ. මේ වන විට යාන්තම් දහඅටවන වියේ පසුවූ සේනාධීර පියසේන කළේ තමා උපන්නේ 1920 බව සඳහන් කර තම වයස වෙනස් කිරීමයි.

එතැනින් පටන් ගත් සේනාධීර පියසේන ගේ මාධ්‍යවේදී ජීවිතය, ලේක් හවුසිය, ගුවන් විදුලිය, පාර්ලිමේන්තුව, ආකාශවාහිනීය, තවත් මාධ්‍ය ආයතන කිහිපයක් හරහා පමණක් නොව රජ ගෙදර හරහාත් ඇදී ගොස් අද වයස අනූ දෙකක තරුණයෙක් ලෙසත් පවත්වා ගෙන යනු දැකීම අප හැමටම වැදගත් ආදර්ශයක්, ඉමහත් ආශ්වාදයක්.

මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ගැන ශ‍්‍රි ලංකාවේ දී දැන ගෙන සිටි කීප දෙනෙකු මෙතැන සිටින්නට පුළුවනි. නමුත් අප බොහෝ දෙනාගේ මතකයට "ඇස්. පියසේන" යන නම එකතු වෙන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පළකෙරෙන "පහන" මාසික සඟරාව සඳහා ඔහු ලියූ ලිපිවලින් සහ කලකට පෙර එස්.බී.එස්. සිංහල වැඩසටහනේ ප‍්‍රචාරය වුණු සම්මුඛ සාකච්ඡා නිසා බව මා හිතනවා.

එසේ මා හැඳින ගෙන වුන් ඇස්. පියසේන මහතා සමග මා මුලින්ම කතා කළේ මීට දෙවසරකට පෙර ඔහු ගේ අනූවෙනි උපන් දිනයට සුභ පැතීමටයි. ඒ මොහොතේ මා විශ්මයට පත් කරමින් ඔහු හා මා පහන මාසික සඟරාවේ අකුරු තුලින් එකිනෙකා හා හමුවුණු අවස්ථා දෙකම ගැන ඔහු සිහිපත් කළා. ඉන් එක අවස්ථාවක් වන්නේ ආනන්ද විදුහලේ 125 වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මා ලියූ ලිපිය, ඒ ගැනම ඔහු ලියූ ලිපිය සමග එකට පළ වී තිබුණු අවස්ථාව බවත් සිහිපත් කළ යුතුයි.

මිතුරනි, පසුගිය සතියේ අපේ පාසල, ආනන්ද විද්‍යාලය අරඹා වසර එකසිය විසි අටක් සම්පුර්ණ වුනා. ලබන සතියේ, එනම් නොවැම්බර් මස 14 දා සේනාධීර පියසේන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා තම අනූ දෙවෙනි ජන්ම දින සමරණවා. ඔහු අද ජීවත්වෙන ජ්‍යෙෂ්ඨතම ආදී ආනන්දියා ද බව ආදරයෙන් සිහිපත් කරන්නට මා කැමතියි.

සේනාධීර පියසේන ලේඛකයා ලියූ "හුදකලාවේ ආවර්ජන" නම් අද මේ දොරට වඩින කෘතියේ පිටපත් ඔහු අපේ ආදී ආනන්දයින් ගේ සංගමයට බාර දී ඇත්තේ ඒවා විකුණා ලැබෙන මුදල ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා දියත් කර ඇති ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ලෙස කෙරුණු ගෞරවණීය පරිත්‍යාගයක් ලෙසයි.

දැන් අප සැම අමතන ලෙස සේනාධීර පියසේන මාධ්‍යවේදියාට මා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා.



අද සිය අනූ දෙවෙනි උපන්දිනය සමරන සේනාධීර පියසේන මාධ්‍යවේදියාට දීර්ඝායුෂ පතමි.



-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(photos: OZLanka.com)

Wednesday, 12 November 2014

පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - Death did us apart!


අහෝ දුකකි!

Medion all-in-one PC පරිගනක කුමරිය ගේ වියෝවෙන් තැවෙන මගේ හදවතේ බුර බුරා නැගෙන දුක් කඳුළු ගංගාවයි මේ.

ඉරට දුකයි ඉර ගිරවිය මිය යෑම
සඳට දුකයි සඳ සාවිය මිය යෑම
හිතට දුකයි පරිගනකය මිය යෑම
කියනු මැනවි දුක උහුලන්නද කෝම?

හන්දියෙ කඩේ සිට මට ඉඟිබිඟි පැවා
හත් සියයක් දී කැන්දා ගෙන ආවා
මැදින් මහේ සිට මගෙ දුක සැප බැලුවා
මොකද වුනේ මගෙ සිත වාවනු බැරුවා!

ඕල් ඉන් වන් ය, එහි වින්ඩෝස් එයිට් ය
ඇප් හැම තැන ය, කිසි අඩුවක් නැතේ ය
මාස හතක් කරදුන් වැඩ බොහෝ ය
අයියෝ මගේ අත කැඩුණා වගේ ය!

පටන් ගත් තැනම බ්ලොග් එක පාලු වෙලා
හිතන් හිටපු වැඩ සේරම අවුල්වෙලා
වොරන්ටියෙන් එනතුරු ඔබ අළුත් වෙලා
හුල්ලමින් ඉන්නෙමි මම බකන්නිලා

තිබුණත් තවත් හමගිය ලැප්ටොප් නිවසේ
මගෙ හිත ගියේ ඔබ වෙතමයි හැම දවසේ
ඔබ නැති තැන ලියන්නෙම් දෝ මා කෙලෙසේ
යලි ඉපදිලා එනතුරු ඉන්නම් දුකසේ!


මේ වගට දුකෙන් තැවෙන,

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(http://www.itechnews.net/2013/04/15/medion-akoya-p2004-23-6-inch-all-in-one-pc/)

Thursday, 6 November 2014

බලු බෙටි, ගොම්බෙටි සහ බුල් ෂිට් - Avoid at all costs


මා දන්නා තරමට ලංකාවේ බල්ලන් වර්ග දෙකකි. එකක් රට බල්ලන් ය. අනික වල් බල්ලන් ය. රට බල්ලන් බොහෝ විට ඇල්ශේෂන් වර්ගයේ එවුන් නිසා වල් බල්ලන් වල්ශේෂන් කියා ද හැඳින්වේ.

රට බල්ලන් වෙසෙන්නේ යමක් කමක් ඇති හැකි අයගේ නිවෙස්වල ය. උන් හුරතලයට සැපට හැදෙති. වෙලාවට කෑම, බීම ලැබේ. අසනීප වූ විට, අඩු තරමෙන් ත්‍රී විලරයකින් හෝ ගොස් දොස්තර හමුවී බෙහෙත් හේත් ලබා ගැනීමට පින් ලබා ඇත.

වල් බල්ලෝ බොහොමයක් ද නිවාසවලට අනුයුක්ත වූවෝ වෙති. නමුත් වැඩිපුර වාසය ගෙයින් පිට ය. උන් සමහරු ඉන්ජෙක්ෂන් ද ලබා ඇත. ඒ උන්ට අනුකම්පාවකට නොව අපේ බලු භීතිය නිසා දුන් බෙහෙත් ය.

මා වෙසෙන රටේ නම් ඇල්ශේෂන් මෙන්ම, පොමනේරියන්, පූඩ්ල්, කූගීස්, ඩැල්මේෂියන්, බුල් ටෙරියර්, ලැබඩෝර් යනාදී බලු වර්ග රාශියකි. උන් හැදීමට ලයිසොම් බල කඩදාසි ලබා ගත යුතුය. උන් ට විශේෂ කෑම ජාති තිබේ. (දැන් මේවා ලංකාවේ සුපිරි මාර්කැට්ටුවල ද විකිණීමට ඇත.) ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්‍යස්ථාන ද, සුභසාධක ආයතන ද තිබේ.

මෙහි වෙසෙන බල්ලෝ කාර්වලින් ගමන් බිමන් යනවා මිසක පාර තොටේ දඩාවතේ යාමක් දකින්නට නැත. දවසේ වැඩි හරියක් තම දේපල ආරක්ෂා කරගෙන සිටිති. යම් හෙයකින් බල්ලෙක් පාරේ ඔබ මොබ සරනු දුටුවහොත් ඒ අතරමං වූ එකෙකි. උපන්තේකට හතර පයින් හෙයින් පිටත ගොස් නැති මුංට ආපසු තම නිවස කරා ඒමේ ඉව නැත.

එවැනි අතරමං වූ බල්ලන් ගේ කරපටියේ එල්ලා ඇති නාම ඵලකය මගින් උගේ අයිතිකරුගේ නම සහ දුරකතන අංකය සොයාගත හැකි වෙනු ඇත. මේ නාම ඵලක "ඩෝග් ටැග්" (dog tag) යනුවෙන් හැඳින්වේ. ඇමරිකන් සොල්දාදුවන් තම කර පලඳන අනන්යතා ඵලකය ද හැඳින්වෙන්නේ "ඩෝග් ටැග්" නමිනි. මෙය දිරාපත් නොවන අමුද්‍රව්ය වලින් නිම කර ඇති නිසා, යුද්ධයේ දී මළ සොල්දාදුවන් ගේ සිරුරු කෙදිනක හෝ හඳුණාගත හැකිවේ.

මේ වන විට සරල "ඩෝග් ටැග්" වලින් ඔබ්ඔට ගොස් ඇති බල්ලෝ ඒ වෙනුවට ක්‍ෂුද්‍ර-චිපයක් (micro-chip) සිරුර තුල පලඳිති. එහි ඇති දත්ත ජාතික බලු දත්ත ගබඩාව හා සසඳා අයාලේ යන බල්ලන්ගේ අයිතිකරුවන් සොයා ගත හැක.

ජී.පී.එස්. (GPS) ආධාරයෙන් ආපසු තම නිවස සොයාගන්නා ආකාරයද බල්ලන්ට කියා දෙන කාලය වැඩි ඈතක නැති බව සිතිය හැක.

මේ රටේ බලු ලයිසොම සහිතව හදන බල්ලන් අයිතිකරුවන් සමග පිටත පා ගමනින් යනවා නම් (බොහෝ ප්‍රදේශවල) ගෙන යා යුතුවන්නේ රැහන් පොට සහිතවය. සමහර උද්යාන වල දී පමණක් උන්ට ව්‍යායාමයට දිවීම සඳහා රැහැන් පටින් මුදා හළ හැකිවේ.

මේ සේරමටත් වඩා වැදගත් කරුණ මෙයයි. මෙලෙස පා ගමනින් තම බල්ලා ද රැගෙන යන අයිතිකරුවන් ට, තම බල්ලා මල පහ කළ හොත් එය සුද්ද පවිත්ර කිරීමට සිදුවේ. නැතිනම් දඩ ය.

එසේ වුවද, "චූ කිරීම" සම්බන්ධයෙන් නම් මේ නීතිය අදාල නොවේ.

ඉහත කරුණු සලකා බලන කල, සුව පහසුකම් සහ සමාජ තත්වය අතින් මේ රටේ සියළුම බල්ලන් ඉතා ඉහල ජීවිත ගතකරනවා යැයි සිතිය හැකිය.

නමුත් මට නම් සිතෙන්නේ ලංකාවේ බල්ලන් බහුතරය අඩු තරමේ එක දෙයකින් මෙරට බල්ලන්ට වඩා පින් කර ඇති බවයි.

ඒ අන් කිසිවක් නිසා නොව බහුතරයක් ලංකාවේ බල්ලන්ට තමන් රිසි පරිදි "කක්කා කිරීමට" ඇති ඉඩ නිසාය. මහපාරේ, තණ බිස්සේ, මිදුලේ, වැලි ගොඩේ, ගං ඉවුරේ, අඩිපාරේ යනාදී මෙකී නොකී ඕනැම තැනක තම ශරීර කෘතය කිරීමට ලංකාවේ බල්ලන්ට කාගෙන් වත් අවසර ඕනෑ නැත.

මේ සියළු කරුණු මා පැවසුවේ මේ සම්බන්ධයෙන් මගේ පහත නිගමනය ඔබට පවසන්නටයි.

පාරේ ඇවිදින විට පයට බලු බෙට්ටක් පෑගීමේ සම්භාවිතාවය මා ඉපදී හැදී වැඩුණු ලංකාවට වඩා, අද මා වාසය කරන රටේ ඉතා අඩුය.

වෛද්‍ය උපදෙස් මත ව්‍යායාමය පිණිස දිනකට පැය බාගයක් පමණ දැන් වසර ගණනාවක සිට ඇවිදින මා ඉතා කලාතුරකින් බලු බෙටි දැක ඇති වුව ද, අද දක්වාම බලු බේට්ටක් මත වැරදීමකින් හෝ පය තබා නැත.

ලංකාවේ සිටියදී නම් පෑගුණු බලු බෙටි එමට බව කිව යුතුම ය.

බලු බෙටි මෙන්ම ලංකාවේ මෙන් තැන තැන ගොම්බෙටි ද මේ රටේ දක්නට නොමැත. ඒ සියළුම හරක් ගාල් කර ඇති නිසාය.

එය එසේ වීමුත් දේශපාලකයින් ගේ බුල්ෂිට් (Bullshit) වලින් නම් එරට මෙන්ම මෙරට ද අඩුවක් නැති බව කිව යුතුය. දිනපතාම පාහේ පුවත්පත්වලත්, රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල්වලත් මේ දේශපාලන බුල්ෂිට් දැකිය හැක. මැතිතුමා ආදී ඇමතුම් හෝ පුද්ගලවන්දනාමානයන් සාමාන්‍යයෙන් නැති නිසා, ඒ බුල්ෂිට් දුටු විට එකෙනෙහිම ඒවා බුල්ෂිට් ලෙස හඳුන්වන්නට කිසිවෙක් බිය නොවෙති.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(image: http://bunkblog.net/dog-behavior/small-dog-syndrome#.VFosMTSUdcM)