
මෙතෙක් කතාව මෙසේ ය.
සිරස සුපර් ස්ටාර් තරගයේ එක් වටයක දී, අප තියා ඒ පදමාලාව ලියූ සුනිල් ආරියරත්න පවා වැඩිය අසා නැති, රෝහණ වීරසිංහ ගේ සංගීතයෙන් යුතු, ප්‍රදීපා ධර්මදාස ගේ සොයා දියව් නම් ගීතය නව ආරකින් කියා භාෂී මධුභාෂිණී නම් තරගකාරියක් ජනප්‍රසාදය දිනා ගත්තා ය.
ඒ රියැලිටි තරගයේ ඊළඟ වටයේ දී ඇය ගැයූ, සුනිල් ආරියරත්න ගේ පදමාලාවෙන් ද, මර්වින් පෙරේරා ගේ සංගීතයෙන් ද යුතු නන්දා මාලනී ගේ, හන්තාන අඩවියේ නම් ගීතයට විනිශ්චය මංඩලයේ සාමාජික තනූජා ජයවෝධනගෙන් යුගයේ ගායිකාව ලෙස ප්‍රසාද සම්මාන ලැබුණද මට නම් වැටහී ගියේ භාෂී මධුභාෂිණී ඒ ගායනය සඳහා ආරූඪ කරගත් කර්ණ කඨෝර මහාප්‍රාණ හඬ හන්තාන අඩවියේ ගීයේ අරුතට කිසිසේත් ම නොගැලපෙන බවයි.
රසිකයින් වැඩි පිරිසක් ද එසේම සිතන බව මගේ රසිකොලොජියේ ලිපියට ද, ෆේස්බුක් අවකාශයේ පළවුණු තිබුණු විවිධ සටහන්වලට ද, ලැබී තිබුණු ප්‍රතිචාරවලින් මොනවට පැහැදිලි විය.
හොඳ ගායනා හැකියාවක් ඇති බවට සැක නැති භාෂී මධුභාෂිණී එක් රැයකින් ජනප්‍රසාදයේ සිට ජන-අප්‍රසාදය දක්වා පල්ලම් බැස ඇති බව පෙනේ.
ඇය දැන් කළ යුත්තේ සුන්දර පදමාලාවලින් යුක්ත අප අසා ඇති, අප ප්‍රිය කරන, ගීත ඇය ආරූඪ කර ගෙන ඇති ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬින් ගැයීම නොව, ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවකින් ගීතයක් නිර්මාණය කරගැනීම බව මගේ අවංක අදහසයි.
ඇයට ඒ මග පාදා දීම පිණිස ම, ඇය ප්‍රියකරන ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවක් ලියන්නට මම අදහස් කළෙමි.
මේ මා ඒ සම්බන්ධයෙන් ගත් උත්සාහයේ දළ ප්‍රතිඵලයයි.
මෙය විප්‍රලාපී ස්වරූපයක් ගැනීම, සෑහෙන උත්සාහයක් ගත්තද, වැළකිය නොහැකි විය.
ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ
අෂ්ටවර්ණ ටෙලිවිෂනය ගෙනෙනා
ලම්බකර්ණ ශ්‍රවණේන්ද්‍රිය මඩිනා
සප්තස්වරය නිෂේධනය කරමින්
කර්ණ කඨෝර වු ශබ්ද රසය විඳිනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
කකියන රුධිරේ ගොජ ඝෝෂාවයි
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ
කෞශල්‍යය සහජව ඇත පිහිටා
අභ්‍යාසය සතතව කර හනිකා
ස්ව නිර්මාණය දෙනු කියමින්
ටෙලිවිෂනය යූ ටියුබය බලනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ
මේ පද තව දුරටත් සංශෝධනය කළ යුතුයි.
ඒ සඳහා ඔබේ යෝජනා තිබේද?
සුනිල් ආරියත්න ලියූ පදමාලා සහිත වෙනත් ගීත භාෂී මධුභාෂීනී ගේ ගායනයට ගැලපෙන පරිදි කෙසේ වෙනස් විය යුතුද?
-රසිකොලොජිස්ට්
ප/ලි
මා මේ කොපි-කැට් පදමාලාව ලියූයේ ඇත්තට ම අභ්‍යාසයක් විදියටයි.
මීට අවුරුදු ගාණකට කලින් මගේ හිතවතෙක් මට ඔහු හදපු තනුවක සංගීත කණඩයක් දී වචන යොදා පදමාලවක් ලියන ලෙස මගෙන් ඉල්ලීය. මා ලියූ පදමාලා කිහිපයකටම ඔහු සංගීතය යෙදා තිබුණු නිසා මම එය කරන්නම් කියා බාර ගත්තෙමි. සති කිහිපයක් තිස්සේ පැය ගණනාවක් උත්සහ කළද එය මට කළ නොහැකි විය.
පෙරේදා මා ලියූ ලිපිය ලියා පල කළාට පස්සේ මේ අද පළ කර ඇති පදමාලාවේ අදහස සිතට නැගුණි. මෙය ලියන්නට ද දවසක්ම ගතවුණි!
ඒ දවස්වල කරුණාරත්න අබේසේකරලා ඒ තරම් විශාල හින්දි සින්දු ගණනක තනුවලට චවන දැම්මේ කොහොමද කියා මට නම් හිතා ගන්නත් අමාරුයි.
මෙය අපහාසයට ලියූ එකක් නොවේ. මේ පදමාලාවේ වචන තුළිනුත් මා කියා ඇත්තේ එයයි.
(image: https://www.facebook.com/bmmadhubashini)