Thursday 29 December 2016

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? - Nice sheep's clothes


ලතා වල්පොල ගේ ප්‍රසිද්ධ ගීයක් රැප් කරන ගායකයෙකු ගේ වීඩියෝවක් දැන් දින කිහිපයකට පෙර ඇරඹී තවමත් ගලා යන මගේ මේ නිවාඩු සමයේ දී මට නරඹන්නට ඉඩ ලැබුණි.

එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය.

ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

මෙන්න වීඩියෝවට පාර.



උදාවෙන 2017 වසරේ ඔබට ජයෙන් ජයවේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.businessinsider.com/science-reveals-the-most-confusing-emoji-2016-4/?r=AU&IR=T)

Sunday 25 December 2016

නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two days


මගේ වසරාවසාන නිවාඩුව සිකුරාදා දවස් එකොළහයි පාළහට ඇරඹුණි.

එදින රාජ්ජසේවකයින් වූ අපට වරුවක සහන නිවාඩුවක් තිබේ. ඒ සඳහා උදේ වරුව වැඩ කළ යුතු වේ. මේ දිනවල මට එතරම් වැඩ රාජකාරි නොමැති නිසා කලින් දිනයක මෙන් නොව නිවාඩු පාඩුවක් නැතුව වරුවක සහනය ලබා ගන්නට මට ඉඩ ලැබුණි.

උදෑසන හතයි හතළිස් පහට ඔෆීසියට ගිය මට එකොළහයි පාළහට එතැනින් පිටත් වෙන්නට ලැබුණේ එනිසා ය.

දැන් ඉතිං ජනවාරි නමවෙනිදා වෙනතුරු ඔෆීසි යාමක් නැත.

නිවාඩු සමය ගත කරන හස්බන්ඩලාට සහ වයිෆරේලාට පවුලේ සාමය රැකගෙන නිවාඩුව ගත කිරීම සඳහා පහත න්‍යාය පත්‍රය යෝජනා කරමි.

හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
  • ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
  • වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න

වයිෆරේලා ගේ න්‍යාය පත්‍රය
  • හස්බන්ඩා නිවාඩු සමය ගත කළ යුතු ආකාරය ගැන න්‍යාය පත්‍රයක් සාදන්න
  • ඒ අනුව කටයුතු කෙරෙන්නට වග බලා ගන්න!

කෙසේ වෙතත්, ගෙවුණු දින දෙකක කාලය තුළ සතුටු විය හැකි දේ කිහිපයක් ම කළෙමි. ඉන් එකක් මුල් වරට යම් ආහාරය වර්ගයක් පිළියෙල කිරීමයි. එය තාමත් අවසන් නැති නිසා, ඊට වඩා වැදගත් දෙයක් ගැන අද ලියමි.

නිවාඩු සමය සැමරීමට චිත්‍රපට කිහිපයක් ම නැරඹුවෙමි. සිනමා ශාලාවලට ගොස් නොවේ. නිවසේ සිට අන්තර්ජාලය හරහා ටෙලිවිෂනය ඔස්සේ ය. මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය.

කෙටි විස්තරයක් ද සහිතව ඒ ලයිස්තුව මෙන්න. මෙයින් හතරක් ම නැරඹුවේ පසුගිය දින දෙක තුළ වීම වාර්තාවකි.

1. ලයිෆ් ඊස් බියුටිෆුල් (*****)
දෙවෙනි ලෝක යුද සමයේ යුදෙව් ඉතාලියානුවෙකු සහ ඔහු ගේ බිරිඳ සහ කුඩා දරුවා පිළිබඳ සංවේදජනක කතාවක් ඇතුළත් ය.

2. ඉන්වෙස්ටිගේෂන් (****)
තමිල්නාඩු පොලිසියේ දුෂණ හෙළි කරන සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයකි.

3. මසාන් (***)
ඉන්දියාවේ වාරාණසී ප්‍රදේශයේ තරුණ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන චිත්‍රපටයකි.

4. ඩෙල්ලි ඉන් එ ඩේ (****)
දිල්ලි නගරයේ ධනවත් පවුලක් සමග එක් රැයක් ගත කරන්නට එන ඉංග්ලිෂ් තරුණයෙකු වටා ගෙවුණු කතාවකි.

5. ලුක් හූ ඉස් බැක් (*****)
හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.

6. ධනක් (****)
තම අන්ධ බාල සොහොයුරාට යළිත් පෙනීම ලබා දීම සඳහා සිතීමට අපහසු තරම් දුෂ්කර ගමනක යෙදෙන කුඩා දැරියක ගේ කතාව

7. වන් තවුසන්ඩ් රුපීස් (*****)
මේ චිත්‍රපට සියල්ල ම අතරින් ඉතාමත් සිත ඇදගත් නිර්මාණයයි. දුප්පත් මහලු ගැමි කාන්තාවක ගේ ජිවිතය හදිසියේ ම වෙනස් වෙන අයුරු.

හැපි හොලිඩේස් ගයිස්

ආතල්බෝවේවා!

-රසිකොලොජිස්ට්

Thursday 22 December 2016

නොබී ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා උදව් කර ගත හැකි විවිධ ප්‍රායෝගික ක්‍රම - Year end survival guide for men


පොඩි අඩියක් ගහමු ද?, පොඩ්ඩක් අනුමත වෙමු ද?, පොඩ්ඩක් සළු වෙමු ද? මොනව හරි බොමු ද, පොඩි ඩ්‍රින්ක් එකක් දාමු ද? වැනි ප්‍රශ්නයක් වෙනකෙකු විසින් තමන්ගෙන් අසනු ලැබී නැති හෝ තමන් විසින් වෙනත් අයෙකුගෙන් අසා නොමැති හෝ අය සිටී ද?

විශේෂයෙන් ම හෙට හවස සිට ඇරඹෙන නත්තල් සමයේ දී මේ ප්‍රශ්නය ලක්‍ෂ සංඛ්‍යාත වාරයක් ඇසෙනු ඇත!

මද පමණින් බීම ගැන සැවොම පවසති. එය කතාවට ලෙහෙසි නමුත් ක්‍රියාවෙන් අසීරු දෙයක් බව දන්නෝ දනිති.

මත්පැන් පානය පිළිබඳව මා අසා ඇති, ඒ සමගම අත්දැකීමෙන් ම නිවැරදි ය කියා දන්නා, එක් කියමනක් මෙසේ ය.
එ මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ද ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්
එහි සිංහල ඡායානුවාදය මෙලෙසින් දැක්විය හැකි ය.
මිනිහෙකු අරක්කු ටිකක් බොයි. ඒ අරක්කු ටික තව අරක්කු ටිකක් බොයි. අවසානයේ අරක්කු විසින් මිනිසාව අත්පත්කරගනු ලබයි.
ඒ සිංහල ඡායානුවාදයේ එන අරක්කු යන්න වෙනුවට ඕනෑම රහ-මෙර පානයක නමක් යොදා ගත හැක.

එක් දිනක් හෝ අඩියක් ගැසූ, අනුමත වූ, සළු වූ, කර්මාන්තයක් කළ ඕනෑම අයෙකු ඉහත කියමන කෙතරම් සත්‍යයට ළඟදැයි යන්නට සාක්‍ෂි දරනු ඇත!

එක අඩියකින් දෙකකින් පමණක් හෙවත් මද පමණින් නැවතීමට අපට අනුගමනය කළ හැකි දේ මොනවා ද?

මගේ අත්දැකීම අනුව සාර්ථක වූ ක්‍රම දහයක් මෙසේ ය.
  1. තමන් ගේ ප්‍රියතම වර්ගය නොමැති නම් නොබී සිටීම
  2. අපේ බීම අප ම ගෙන යා යුතු (Bring Your Own - BYO) ස්ථානවලට එසේ බීම රැගෙන නොයාම
  3. අනුන් ගේ බෝතල්වලින් නොබීම
  4. තමන් ගේ බෝතලයෙන් / කොටසෙන් හැකි තරම් අනුන්ට පෙවීම
  5. එක වඩියකට නමා ගන්නා ප්‍රමාණය සෙන්ටිමීටර් පරිමාණයෙන් නිගමනය කර, එය පිළිපැදීම
  6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම
  7. වතුර හෝ කෝක් දමනවා නම් කට ළඟට පිරවීම
  8. උගුඩුවෙකු සේ ගුඩු ගුඩුස් ගා නොබී, පොරක් සේ තොල ගාමින් බීම
  9. තනිවම නොබීම, හැම විටම මිතුරෙකු සිටින විට පමණක් සෙට් වීම
  10. බිරිඳගෙන් අවසර ඇති නම් පමණක් බීම
අතීතයේ දී ඉතා ප්‍රතිඵල සහිත වූවද, ඉහත මා සඳහන් කර ඇති දහ වැදෑරුම් ක්‍රම අතුරෙන් කිහිපයක් ම දැන් මට වැඩ කරන්නේ නැත!

එනිසා, ඔබ අත්හදා බලා ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති වෙනත් ක්‍රම ඇති නම් කරුණාකර දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.boreme.com/posting.php?id=35511)

Monday 19 December 2016

කෙමිස්ට්‍රි ටීචර්ලා Chemistry is still a mystery


ඉංග්ලිෂ් වචනයේ සැබෑ තේරුම කුමක් වුව ද, ලංකාවේ දී අප චීටර් යනුවෙන් අදහස් කෙරෙන්නේ කාන්තා ගුරුවරුන් ය.

උස අඩු අයට කම්කරු රැකියා ද, උස වැඩි අයට සෙකියුරිටි රැකියා ද ලැබෙද්දී, කුමක් හෝ එකක් ලොකු හෝ පොඩි නිසා "ටීචිං" සඳහා වරම් ලබා, "ටීචිං" ගොස්, "ටීචිං" කරන පිරිමි ගුරුවරයෙකුට "ටීචර්" කියා ඇමතීම කිසිසේත් ම නොකළ යුතු බව එදා සිට ම අපි දැන සිටියෙමු. ඒ වැදගත් කාරණය හිටපු ගුරුවරයෙකු වූ W3Lanka හි අජිත් පැරකුම් ජයසිංහ ද පසුගිය දිනෙක පවසා තිබුණි.

ටීචිං කරන බොහෝ දෙනා කාන්තාවන් බව මගේ අත්දැකීමයි. වසර දහතුනක පාසල් කාලයේ දී අපට පිරිමි ටීචර්ලා සිටියේ ඉතා ම සුළු ප්‍රමාණයකි. ඒ අය අතරින්, මට කොස්සින්න ශ්‍රී සීලානන්ද ප්‍රාථමික පාසලේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූ ගුරුවරුන් දෙදෙනෙකු ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි.

පසුගිය දිනවල, රසායන විද්‍යාව හෙවත් කෙමිස්ට්‍රි ගුරුවරුන් පිළිබඳව පළ වූ, රුවන් ජයතුංග ගේ ලිපිය ද, මෞර්ය රාජ් ගේ ලිපිය ද මා රසායන විද්‍යාව ඉගෙනගත් කාලය තුළ අපට ඒ විෂයය ඉගැන්වූ ගුරුවරුන් පිළිබඳව මතකය ඇවිස්සුණි.

මේ සටහන ඒ මතකය වමාරා කෑමකි.

හයේ පන්තියේ සිට අපේ විෂයය මාලාවට අයත් වූ විද්‍යාව විෂය සඳහා රසායන විද්‍යා සරල මූලධර්ම සමහරක් මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ඉගෙන ගන්නට ඇත. රසායන විද්‍යාවට අමතරව භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව මෙන්ම සත්ව විද්‍යාවේ ද සංකලනයක් වූ ඒ විද්‍යාව විෂය මා ප්‍රිය කළ එකක් නොවුණු අතර ජාතික පොදු සහතික පත්‍ර විභාගයේ දී මට ඒ සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් නොලැබුණි.

මට පළමුවරට රසායන විද්‍යාව වෙනම ම විෂයයක් ලෙස ඉගෙන ගන්නට ඉඩ ලැබුණේ සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය පසුවයි.

ආනන්ද විද්‍යාලයේ දී අපේ මුල්ම රසායන විද්‍යා ගුරුවරයා වූයේ තිරිමුතුගොඩ වැනි නමක් තිබූ අයෙකි. ඔහු ඉගැන්වූ මෙලෝ හසරක් මගේ මතකයේ නැත. මා මෙන්ම, අපේ පන්තියේ සහෝදර සිසුන් ගේ ද හොඳම විනෝදාංශය වූයේ රසායන විද්‍යාව පාඩම අසා සිටිනවාට වඩා ගුරුවරයා විනාඩියකට ඈනුම් කීයක් යවනවාද කියා ගණං කිරීමයි. (මේ පිළිබඳව විස්තරයක් මගේ සිව් වසරක් මරදානේ පොතේ සඳහන් ය).

දහසක් බලාපොරොත්තු සහිතව, ගාල්ලේ සිට කුලියාපිටිය දක්වාද, කොල්ලුපිටියේ සිට බදුල්ල දක්වා ද විවිධ පාසල් හැර දමා වැඩිදුර අධ්‍යාපනය සඳහා ආනන්ද විද්‍යාලයට පැමිණි සිටි අපේ 10-9 පන්තියේ හතළිස් දෙනෙකු පමණ වූ සිසුන් පිරිස ඒ අත්දැකීමෙන් අපමණ කලකිරීමකට පත්වූ බව කිව හැක.

තිරිමුතුගොඩගෙන් අප ගැළවීමෙන් පසු ඊළඟට අපට රසායන විද්‍යාව ඉගැන්වූයේ ගුරුවරියකි. ඇගේ නිවැරදි නම මට අද අමතක වී ඇත්තේ අප එදා ඇය හැඳින්වූයේ "දෝන කැතරිනා" යන සුරතල් නමින් වීම නිසා ය.

දෝන කතරිනාගෙන් පසු එළැඹියේ වෛද්‍යනාථ යුගයයි. එදා, ගණිත අංශය නොහොත් ඉංජිනියරිං බ්ලොක් එක ලෙස හැඳින්වූ බොරැල්ල අන්තයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි 11M4 පන්තියේ දී අප කාබනික රසායනයේ මූලධර්ම උගත්තේ ඇයගෙන් බව මගේ මතකයයි.

දොළොස් වෙනි ශ්‍රේණියට අප තල්ලුවීමත් සමගම, මා සිටි 11M4 පන්තිය ද, 11M1 පන්තිය ද එකට එකතු කර, පස් මහල් විද්‍යා ගොඩනැගිල්ලේ පහළම මාලයේ පිහිටි විශ්වවිද්‍යාලයක දේශනාගාරයක් වැනි ශාලාවට අපව ගාල් කරන ලදී. එහිදී, අපේ සංයුක්ත පන්තිය භාර වූයේ සහ අපේ රසායන විද්‍යා ගුරුවරිය වූයේ (ලියනගේ) නම් තරුණ ගුරුවරියයි. ඇය උසස් පෙළ සිසුන් අතර ජනප්‍රිය වී තිබුණේ "ඇන්ටිමනී" නමිනි.

තවමත් රසානය විද්‍යාවේ දී අප උගත් ආවර්තිතා වගුව මතකයේ ඇති අය දන්නා පරිදි "ඇන්ටිමනී" යනු මූලද්‍රවයකි. නලින්ගෙයි, පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා යන මතක තබා ගැනීමේ වැකියෙන් කියවෙන පරිදි ඇන්ටිමනී නම් මූලද්‍රවය ආවර්තිතා වගුවේ පිහිටා ඇත්තේ නයිට්‍රජන් වායුව පිහිටි තීරුවේ ඊළඟට එන පොටෑසියම් සහ ආසනික්වලට පහළිනි. බිස්මත් නම් මූලද්‍රව්‍යයට ඉහළිනි!

පෙර කී පස්මහල් විද්‍යා ගොඩනැගිල්ලට ගොස් ඇති අය දන්නා පරිදි එහි පහත මාලයේ අපේ පන්තිය රැස්වූ දේශනාගාරයේ එක් බිත්තියක අති විශාල ප්‍රමාණයේ ආවර්තිතා වගුවක් ඇඳ තිබුණි. එහි ඇන්ටිමනී (Sb) මූලද්‍රව්‍යය පිහිටි ස්ථානය හුණු කූරකින් විශේෂයෙන් ලකුණු කර තිබුණු බව ද මගේ මතකයේ ඇත.

මගේ පියා ගුරුවරයෙකු වූ කාලයේ මෙන් නොව, අපේ කාලයේ, ගුරුවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වුව ද, ටියුෂන් ව්‍යාපාර පවත්වාගෙන ගියේ ගුරුවරුන් පමණක් බව මගේ මතකකයි.

රසායන විද්‍යාව සඳහා මා ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ගේ වැල්ලවත්තේ පන්තියටයි. ආනන්දයේ මගේ මිතුරන් වූ සරෝජ "කස්ටම්" චන්ද්‍රසේන සහ අනුර "ආරෝග්‍යා" ද සිල්වා සමග රෙජියා ගේ පන්ති ගිය කාලය පාසල් සමයේ නොමැකෙන මතකයකි.

රෙජිනෝල්ඩ් සෙනෙවිරත්නට අමතරව කොළඹ නගරයේ රසායන විද්‍යා ටියුෂන් ව්‍යාපාරයේ නිරත වූවෝ ද, රන්ජන් ද සිල්වා, දෙව්රුවන් අල්විස් වැනි පිරිමියෝ ම වූහ.

ගම්පහ නගරය ගැන පවසනවා නම්, එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සේවය කළ ප්‍රේමදාස නම් ගුරුවරයෙකු ගේ කෙමිස්ට්‍රි ටියුෂන් කඩයක් තිබුණු බවත්, දැන් ගම්පහ නගරයේ ව්‍යාපාරිකකෙුවන මා මිත්‍ර සරත් "සෙත්මා" ජයසූරිය ද, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ගම්පහ ප්‍රදේශයේ රසායන විද්‍යාව ඉගැන්වූ බවත් මගේ මතකයේ ඇත.

රුවන් ජයතුංග ගේ ලිපියේ වර්ණනා කෙරුණු "වල්ලිපුරම් ටීචර්" වැනි ගුරුවරියන් ටියුෂන් කරන්නට ඇත්තේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්නලා සේ මහා පරිමාණයෙන් නොව කුඩා කණ්ඩායමක් සඳහා විය යුතුය.

දෝන කතරිනා, වෛද්‍යනාථ සහ ඇන්ටිමනී ටීචර්ලා පමණක් නොව ටියුෂන් ව්‍යාපාරික රෙජියා ද කොපමණ හොඳින් ඉගැන්වූවා වුව ද, රසායන විද්‍යාව නම් මට දිරවා ගත හැකි වූ විෂයයක් නොවේ. උසස් පෙළ විභාගයේ දී රසායන විද්‍යාව සඳහා මට ලැබුණේ සම්මාන සාමාර්ථයක් පමණි. මගේ ගණනය කිරීම් අනුව මට ලැබෙන්නට ඇත්තේ ලකුණු සීයෙන් 61 ක් පමණ සංඛ්‍යාවකි!

-රසිකොලොජිස්ට්

(image: http://www.okclipart.com/teacher-and-class-clipart90ssuilygs/)

Friday 16 December 2016

සෙංකොට්ටං, මාණික්කාවත, ක්‍ෂණික මෝචනය සහ ප්‍රමාද මෝචනය - Novels by Mahinda Prasad Masimbula


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නම් නවක ලේඛකයෙකු පිළිබඳවත්, ඔහු ලියූ සෙංකොට්ටං නම් සංවේදනාත්මක නවකතාවක් පිළිබඳවත් මට අසන්නට ලැබුණේ ෆෙස්බුක් අවකාශය නිසා ය. සෙංකොට්ටං නවකතාවට ලංකාවේ සාහිත්‍ය සම්මාන කිහිපයක් ම හිමි වී තිබුණි.

ඉන් කලකට පසුව 2014 අප්‍රියෙල් මාසයේ දී සති දෙකක නිවාඩුවකට ලංකාව බලා යාමට අවස්ථාව ලැබුණු නිසා, ඒ නවකතාව (සහ තවත් පොත් කිලෝ විසි එකක් පමණ) රැගෙන එන්නට මට අවස්ථාව ලැබුණි.

මා ෆේස්බුක් හරහා අසා දැන තිබුණාක් සේ ම සෙංකොට්ටං නවකතාව, අතිශය සංවේදනීය සිදුවීම් රැසක් අනුසාරයෙන්, අප නොදන්නා කාලවකවානුවක් පසුබිම කරගෙන ලියවුණු, මූලිකව උසස් රසයක් ලැබෙන විශිෂ්ට ග්‍රන්ථයක් විය.

නමුත් මට වැටහුණු ආකාරයට නම්, ඒ විශිෂ්ට නවකතාව වනාහී සියවසකට පමණ ඉහත කාලයක ලංකාවේ සබරගමුව පළාතේ රදා නමින් හැඳින්වෙන පහත් යැයි සම්මත කුලයක පවුලක් වටා ගෙතුණු සමස්ත සෙංකොට්ටං නවකතාව ම නොවේ.

මගේ නිගමනය අනුව විශිෂ්ට නවකතාව වූයේ මුද්‍රිත සෙංකොට්ටං නවකතාවේ මූල් 80% පමණ කොටස, එනම්, එහි ආ සංකීර්ණ චරිතයක් වූ පොඩිනා නමැත්තියව, ඇයව ලිංගික අපයෝජනයකට ලක් කළ ඉහළ කුලයක මහත්තැන් කෙනෙකු විසින් කෘර ලෙසින් මරා දමන මොහොත වෙනතුරු සිදුවීම් අඩංගු කොටස, පමණි.

ලේඛක මස්ඉඹුල කර තිබුණේ තමා ගේ විශිෂ්ට නවකතාව, පාඨකයා කියවීමේ සුරතාන්තයට පත් වූ ඒ උච්චස්ථානයෙන් නතර නොකොට, තවත් ඉදිරියට ඇදගෙන ඇදගෙන ගොස් එයට සුරංගනා කතාවක අවසානයක් ලබා දී චොර බොර කර දැමීමයි.

පාඨකයා සුරතාන්තයට පත් වෙන මොහොතින් පසු ලේඛකයා දිගින් දිගටම රචනයේ යෙදීම යනු පාඨකයා එතෙක් ලැබූ වින්දනය, එහි උච්චස්ථානයේ සිට අවගමනය කරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සෙංකොට්ටං කියවූ සමහර බාලාංශ මට්ටමේ පාඨකයින් නම්, සුරංගනා කතාවක් බඳු වූ ඒ දෙවන භාගයට කැමති වන්නට ඇත. එවැනි පිරිස් කියවීමේ සුරතාන්තයට පත්වෙන්නේ සතුරා පැරදී, වීරයා දිනා, කෙල්ල කොල්ලාට හිමි වී, දෙමව්පියන් කටයුත්තට කැමති වී සියල්ල ජොලියෙන් අවසාන වෙන ඉක්බිති සියල්ලෝ ම සතුටෙන් ජීවත් වූහ අච්චුවේ සුඛාන්තයන් හි දී පමණි.

පසුගිය වසරේ (2015) දෙසැම්බර් 16 වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති පොත් එළිදැක්වීමක දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අහම්බෙන් මුණ ගැසුණු වේලේ, මා මේ කාරණාව, එනම් සෙංකොට්ටං නවකතාව නතර කරන්නට තිබුණේ පොඩිනා මියගිය දිනයෙන් බවත්, ඉන්පසු ඔහු එකතු කර තිබුණු පරිච්ඡේද සියල්ලම මූලික කතාව තනුක කරන ඒවා බවත්, ඔහුට කීවෙමි.

සම්මානලාභී ලේඛකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ලේඛකයා ගේ කාර්යභාරය ද, රසිකයා ගේ සහ විචාරකයා ගේ කාර්යභාරයන් ද හොඳින් දන්නා නිසා, මගේ ඒ විවේචනය සිනහ මුසු මුහුණින් යුතුව පිළිගත්තේ ය.

මා පමණක් නොව වෙනත් පිරිස් ද, මා ඔහුට එදා පැවසූ ඒ අදහස, එනම්, සෙංකොට්ටං නවකතාව අවසාන කරන්නට තිබුණේ පෙර කී සුරංගනා කතාවට පිවිසෙන්නට කලින්, පොඩිනා ගේ මරණයත් සමග බව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට කියන්නට ඇති බවට සැක නැත.

නමුත්, ඒ වන විට අප ප්‍රමාද වැඩිය!

ලේඛක මස්ඉඹුල ඒ වනවිටත් ඔහුගේ දෙවන නවකතාව වන මාණික්කාවත ලියා, සකසා, ප්‍රකාශයට පත්කර තිබුණි!

මාණික්කාවත නවකතාව ගෙතී ඇත්තේ සියවස් එකහාමරකට පමණ ඉහත කාලයක, කුල හීන තරුණියකට පෙම් කිරීමේ වරදට තමන් ගේ ගමෙන් පන්නා දමනු ලබන කෙටිහාමි නම් දිරිය තරුණයෙකු විසින් සබරගමුවේ කැලෑබද පෙදෙසක ස්ව-ශක්තියෙන් කුඹුරක් අස්වද්දා, ගමක් බිහි කරන ආකාරය අනුභූතිය කරගෙන ය. එය අප එතරම් නොදන්නා අතීතයක සමාජ දේශපාලන වාතාවරණය විවරණය කෙරෙන අපූරු නිර්මාණයකි.

මාණික්කාවත නවකතාව ද, සෙංකොට්ටං නවකතාව මෙන් ම, ඉතා ජනප්‍ර්‍රිය නවකතාවක් බවට පත්විය. කොටින් ම මම මාණික්කාවත පිටපත් තුනක් ම ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට රැගෙන ආවෙමි.

නමුත් අවාසනාවකට මෙන්, මාණික්කාවත නවකතාවේ දී ද, අපේ හිතවත් ලේඛකයා කතාව එහි උච්චස්ථානයේ දී, එනම්, කෙටිහාමි නම් පෙර කී තරුණයා මහලුව මිය යන ඒ යුගයක අවසානය සනිටුහන් වෙන දිනයේ දී හෝ අඩුතරමින් කුඩා කල අනතුරක් නිසා දෘෂ්‍යාබාධිත වූ ගුණාදරී නම් දියණිය මහලුව මිය යන දිනයේ දී හෝ මේ නවකතාව අවසාන නොකොට අනවශ්‍ය පරිදි තවත් යුගයක් කරා ඇදගෙන ඇදගෙන යයි.

එනම්, පාඨකයා ගේ කියවීමේ සුරතාන්තය එළැඹී පාඨක සුවය අවසාන වුව ද, බොහෝ විට එය වටහා නොගන්නා, ලේඛකයා තව දුරටත් ලේඛන සුවය ම විඳියි.

නොදන්නා අය (සිටී නම් ඔවුන්) ගේ දැන ගැනීම පිණිස කියන්නේ නම්, මනුෂ්‍ය ජීවින් දෙදෙනෙකු අතර ඇතිවන ආදරයේ අවසාන ඵලය වන ලිංගික එක්වීමෙන් දෙදෙනා උපරිම වින්දනය ලබන මොහොත සුරතාන්තය නම් වේ. ප්‍රශස්ත ලිංගික එක්වීමක් සඳහා සුරතාන්තය උදාවීම ප්‍රමාද විය යුතු බව මෙන් ම, දෙදෙනාට ම එක්වර සුරතාන්තය ලැබිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි.

එසේ නොවී එක් අයෙකුට සුරතාන්තය ඉක්මනින් ලැබෙන කළ, ඒ තත්වය හැඳින්වෙන්නේ ක්‍ෂණික මෝචනය නමින් ය.

ලිංගික එක්වන දෙදෙනාගෙන් එක් අයෙකුට ක්‍ෂණික මෝචනය වුවහොත්, එනම්, අනෙකා ලිංගික සුරතාන්තයට පත්වෙන්නට පෙර තමන් ගේ සුරතාන්තය ලදහොත්, අනෙකාට උපරිම ලිංගික වින්දනය නොලැබෙනු ඇත.

ඊට වඩා අභාග්‍ය සම්පන්න තත්වය වනුයේ එක් සහකරුවෙකුට සුරතාන්තය ළඟා වූ පසුවත් අනෙකාට දිගින් දිගටම ලිංගික කර්තව්‍යයේ යෙදීමට අවශ්‍ය වීමයි. මෙය දෙදෙනාට ම අපහසුදායක, අසහනකාරී සමහර විට වේදනාකාරී තත්වයකි.

ක්‍ෂණික මෝචනයට සහමුලින්ම විරුද්ධාර්ථය වූ මේ සංසිද්ධිය ප්‍රමාද මෝචනය ලෙසින් හැඳින්විය හැක.

පාඨක අපේ පැත්තෙන් සලකා බලන කළ, සෙංකොට්ටන් හි දී මෙන් ම මාණික්කාවත නවකතාවේ දී ද සිදුවන්නේ ලේඛකයා ගේ ප්‍රමාද මෝචනයයි. පාඨකයා ගේ සුරතාන්තය ළඟා වී තවත් කාලයක් තිස්සේ නවකතා ද්වයම ඇදි ඇදී යන්නේ ඒ නිසා ය.

නමුත් ලේඛකයා ගේ පැත්තෙන් සලකා බලන කළ, වරද පාඨකයා ගේ ය. ලේඛකයා ගේ සුරතාන්තය උදාවෙන්නට පෙර පාඨකායා ට ක්‍ෂණික මෝචනය සිදු වී ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිගු කලකට පෙර ගුවන් විදුලියේ ප්‍රචාරය වූ "රූපණ" නම් සාහිත්‍යමය වැඩ සටහන් මාලාවේ එක් වැඩසටහනක දී කුලසේන ෆොන්සේකා ගේ "පාලම යට" නම් නවකතාව පිළිබඳව සුචරිත ගම්ලත් දැඩි විවේචනාත්මක විචාරයක් කළේ ය. ඒ විචාර ක්‍රමය එතැන් සිට "දෙඤ්ඤං බැටේ!" විචාර කලාව ලෙසින් හැඳින්වුණි.

අද මා කරන මේ විචාරයට ඒ ආකාරයේ සුවිශේෂී නමක් අවශ්‍ය නම් ඒ සඳහා "මෝචන විචාරය" යන්න සුදුසු බව මගේ අදහසයි.

Tuesday 13 December 2016

රණවිරු බයි ආතල් නැවත වරක් කුඩු වෙයි! - People's Patriotic Army


රණවිරු යන සක්ක පදය ඒ දිනවල වාත්තු කර ගෙන නොතිබුණ ද, අසූවේ දශකයේ අග භාගය වෙන විට දේශයේ මුර දේවතා එළි ගැන ලොකු ප්‍රසාදයක් රටේ දකුණේ ඇති වී තිබුණි. විශේෂයෙන් ම, පොලීසියේ විශේෂ කාර්ය හමුදාවේ නොහොත් එස්ටීඑෆ්ෆෙකේ නැගනෙහිර වික්‍රමයන් ගැන විවිධ යාං හෑලි අපට අසන්නට ලැබුණි.

ඒ ආතල් කුඩු වෙන්නට පටන් ගත්තේ දේශප්‍රේමී බැටළු හමෙන් සැරසුණු ජාතිවාදී ජවිපෙ, සිංහල හරක් ගාලට කඩා වැදුණු 1987 දී, ඒ තත්වය මැඩලන්නට රජය විසින් හමුදාව යොදා ගත් විට ය.

දේශයේ මුර දේවතා එළිවලින් දකුණේ දී නිවී ගියේ ජවිපෙ මැටි පහන් පමණක් නොවේ. අහිංසකයින් දහස් ගණනක් ද නිරපරා දේ රටට අහිමි විය. උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී නිකරුණේ පැහැර ගෙන යනු ලැබූ තම බාල සොයුරා ගේ එක් පාදයක් ටයර් සෑයක දැවෙමින් තිබෙනු දැකීමේ වේදනාවෙන් පෙළෙමින් සිටි මගේ හිතවතෙකු ගේ මුවින් පිටවුණු වදන් පෙළ මට අද ද එදා මෙන් මතකය.

මචං, එදා මුං මඩකලපුවේ දෙමළුන්ට වැඩේ දෙනකොට අපි මෙහේ හුරේ දැම්මා. අපේ උං අපිටම මෙහෙම කරනවා නම්, දෙමළුන්ට කොහොම අමානුෂික විදියට සලකන්න ඇති ද කියලා දැන් තමයි තේරෙන්නේ!

ඒ එකල එනමින් නොහැඳින්වුණේ වුව ද, රණවිරු බයි ආතල් කුඩු වුණු මුල් යුගයේ අවස්ථාවකි.

ජවිපෙ ජාතිවාදය ගත් අවියෙන් ම නැසී ගිය පසු අතීතය අමතක කළ අපි නැවත ක්‍රමයෙන් රණවිරු ආතල් ලැබීම ඇරඹුවෙමු. එහි හිරිකිත ම යුගය වූයේ මානෙල් මල් සමය යි.

ආතල් වැඩි වීමේ වේගය හෙවත් ත්වරණය ද එන්න එන්න ම වැඩි වුණු අතර, 2009 වසරේ මැද භාගයෙන් පසු එය එක්ස්පොනෙන්ෂල් ශ්‍රිතයක හැඩය ගත්තේ ය. පාලකයින් ද එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා අයුරු පෙනී ගියේ ය.

ඒ රණවිරු පූජාව වැරදි ලෙස අර්ථ දක්වා ගත් සරත් ෆොන්සේකා, පැවති රෙජීමයට අහියෝග කිරීමත් සමගම රණවිරු ආතලයට කෙළ වීම ඇරඹුණි. ෆොන්සේකා ඇතුළු සමහර රණවිරුවන් දඟගෙට ගාල් කෙරුණේ කංකෙටිවලින් බිම දිගේ ඇද ගෙන ගොස් ය.

රණවිරුවන් අතර සමහර රණවිරුවන් පහත් බවත්, සමහර රණවිරුවන් උසස් බවත් පාලකයෝ අපට පෙන්වා දුන් හ. එනිසා රණවිරු ආතල් තව දුරටත් වැඩි ආපදාවකින් තොරව පැවතුණි.

එකල සිංහල බ්ලොග් ලෝකයේ පෙරළිකාර පෙර ගමන්කරුවෙකු වූ ටැබූ නම් බ්ලොග්කරුවා දැන් සොල්දාදුවා කරෙන් බිම තබන්නට කාලයයි වැනි මාතෘකාවකින් සටහනක් තැබුවේ ය.

එතැන් සිට සිදුවුණු රණවිරු ආතල් කුඩු වීම් මෙසේ ය.
  • එළවළු වෙළදාම
  • මාර්ගස්ථ කුණු අස් කිරීමේ සේවා
  • නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණයට පහර දී රොෂේන් ශානක රත්නසේකරව මරා දැමීම
  • හලාවත ධීවර උද්ඝෝෂණයට පහර දී ඇන්තනි ප්‍රනාන්දුව මරා දැමීම
  • රතුපස්වල ජනතා උද්ඝෝෂණයට පහර දී නිලන්ත පුෂ්පකුමාර, අකිල දිනේෂ් ජයවර්ධන සහ රවිශාන් පෙරේරා මරා දැමීම
  • ආබාධිත විශ්‍රාමික සොල්දාදුවන් ගේ උද්ඝෝෂණයට පහර දීම
ඒ දීර්ඝ ලයිස්තුවට එක්වෙන අලුත්ම ආතල් කුඩු වීම නම් පසුගිය දා මාගම්පුර වරායේ දී පැවැත්වුණු කම්කරු උද්ඝෝෂණයට කල නාවික හමුදා පහර දීමයි!

පාලිතයා කවුද, පාලකයා කවුද, රාජපුරුෂයා ඉන්නේ කොයි පැත්තේ ද යන්න මතු දිනෙක අපට වැටහෙනු ඇත.

බාලගිරි අද නොවෙයි හෙට?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ කතාව ද වැදගත් ය.

(image: https://en.wikipedia.org/wiki/Tank_Man)

Saturday 10 December 2016

එන පාර වෙසක්කෙකට ලෝකයේ ලොකුම වෙසක් ගහ අනුරාජපුරේ හදමු! - Project sponsors and lessons learnt


නත්තල්ලෙකට ගයන කැරොල් කොපි කර වෙසක්කෙකට භක්ති ගීත ගයනවා නම්,

නත්තල්ලෙකට යවන නත්තල් කාඩ් කොපි කර වෙසක්කෙකට වෙසක් කාඩ් යවනවා නම්,

නත්තල්ලෙකට හදන නත්තල් ගහ වැනි දෙයක් වෙසක්කෙකට නොහදන්නේ ඇයි?

එළැඹෙන 2017 වසරේ වෙසක්කෙක සඳහා මගේ යෝජනාව මෙයයි.
නත්තල්ලෙකට හදන නත්තල් ගහ කොපි කරමු!
එන පාර වෙසක්කෙකට ලෝකේ ලොකුම වෙසක් ගහ හදමු!!
ඒක අනුරාජපුරේ ම හදමු!!!

ව්‍යාපෘති කළමනාකරණයේ අ-අයන්න, ආ-යන්න දන්නා ඕනෑම අයෙකු විසින් එකඟ වෙන පරිදි, ව්‍යාපෘති කළමනාකරණයේ වැදගත් ම අදියරක් නම් ව්‍යාපෘතියක් අවසානයේ කෙරෙන සමාලෝචනයයි. ව්‍යාපෘතියේ දී අපට වැරදුණු තැන් මෙහි දී සාකච්ඡා කෙරෙනු ලැබේ.

නත්තල්ලෙකට හදන්නට ගොස් වැඩේ චොර වූ ලෝකයේ ලොකුම නත්තල් ගස පිළිබඳ ව්‍යාපෘතිය පිළිබඳ කෙරෙන එවැනි සමාලෝචනයක දී පෙනී යන වැදගත් ම කරුණ නම්, ව්‍යාපෘති කළමනාකරණයේ දී ඉගැන්වෙන මූලික ම දෙයක් අමතක කර ඇති බවයි.

එනම්, ප්‍රොජෙක්ට් ස්පොන්සර්ලා ගේ අනුමැතිය සහ ආශිර්වාදය නිසි පරිදි ලබාගෙන නැති බවයි.

එනිසා මේ වෙසක්කෙකේ ලෝකයේ ලොකුම වෙසක් ගහ ගොඩ නැගීමේ ව්‍යාපෘතිය ඇරඹීමට පෙර අනිවාර්යෙන් ම මල්වත්ත, අස්ගිරිය සහ අනෙකුත් අදාළ තැන්වලින් ප්‍රොජෙක්ට් ස්පොන්සර්ස්ලා පත්කරගෙන ඔවුන්ගෙන් නිසි අනුමැතිය සහ ආශිර්වාදය ලබා ගත යුතුයි.

නැතහොත් නත්තල්ලෙකේ නත්තල් ගහට වූ සන්තෑසියම වෙසක්කෙකේ වෙසක් ගහට සිදුවිය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලබන වෙසක්කෙකට සැදීමට යෝජිත ලෝකයේ ලොකුම වෙසක් ගහ සඳහා ඔබේ සැලසුම් දැන් භාර ගනු ලැබේ. ඊ-මේල් මගින් අමතන්න.

මා මිතුරු පෝස්ටර් නිහාල් නම් දැනටමත් වැඩ අරඹා ඇති බව පෙනේ!

(image: http://www.free-management-ebooks.com/faqpm/principles-07.htm)

Thursday 8 December 2016

පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල අතර දශක දෙකක සංසන්දනාත්මක අත්දැකීම් - Already outdated


මිණිවන් පී තිලකරත්න ලියූ "කන්දෙන් ලන්දට" නම් නවකතාවේ නම යොදා මා රසිකොලොජියේ පළ කළ "කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?" නම් බ්ලොග් සටහන "ඉරිදා ලක්බිම" පුවත්පත සඳහා වර්ෂ 2009 ජූනි මාසයේ මා ලියූ ලිපියක සංස්කරණයක් විය.

මා ඒ ලිපියට අනුපූරක දෙවන කොටසක් ද ලියූ නමුත් එය එම පුවත් පතේ පළ වී තිබෙනු මම නොදුටුවෙමි. මේ ඒ දෙවන කොටස ඇසුරෙන් සැකසෙන බ්ලොග් සටහනකි.

මා මෙහි දී අදහස් කරන්නේ ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාල ද්වයක් වන පේරාදෙණිය සහ කැලණිය පිළිබඳව සමාජයීය තොරතුරු බිඳක් මගේ සීමිත අත්දැකීම් ඔස්සේ සංසන්දනය කිරීමටයි.

උපහාස කතා කලාවේ ශූරයෙකු අභාවප්‍රාප්ත මහාචාර්ය මිණිවන් පී තිලකරත්න තමා සේවය කල කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පසුබිම් කරගෙන ලියූ ඉහත සඳහන් "කන්දෙන් ලන්දට" නවකතාවේ කන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ලන්ද යන්නෙන් ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්වවිද්‍යාලය නිරූපණය කෙරුණි. පනහ දශකයේ අගභාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්වවිද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස කන්දෙන් ලන්දට ලෙස නම් කර තිබුණි. මා ද එලෙස කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි.

මිණිවන් පී තිලකරත්න ගේ නවකතාවේ එන පනහ දශකයේ චරිත මෙන් ම, කන්දෙන් ලන්දට අනූව දශකයේ පැමිණි අය ද තරමක සංස්කෘතිකමය තිගැස්මකට ලක්වීම සාමාන්‍ය දෙයක් යයි මම සිතමි. මෙයට හේතු වෙන, සමහර විට සමාජ විද්‍යාත්මක වැදගත්කමක් ද තිබිය හැකි, කරුණු කිහිපයකි.

අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම (unique) වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, ජයතිලක, විජේවර්ධන, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් අභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන, සුවිසල් මහල් ප්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදු කාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, අධ්‍යයන පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්ෂණයන් විදහා දක්වන පරිදි, අති විශාල වියදමක් දරා, අගනා නිමැවුමින් යුතුව සාදා ඇත.

මෙයට හේතු වී ඇත්තේ එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණේ කොරියන් යුද්ධයේ අතුරුඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී්‍ර ලංකාවේ ආර්ථිකය ඉතා සවිමත්ව තිබූ සමයක වීම නිසා බව අසා ඇත්තෙමි.

රබර් බුබුල බිඳී යාමෙන් අනතුරුව රටේ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වු නිසා, පසු කලෙක බිහිවුණු විද්‍යෝදය, විද්‍යාලංකාර යනාදී විශ්වවිද්‍යාල පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරම් ගාම්භීර මට්ටමෙන් සුවිසල් ලෙස ගොඩ නගන්නට නොහැකි වී ඇත. මෙනිසා කන්දෙන් ලන්ද ට එන්නෙකු ලන්දේ පිහිටා ඇති සාමාන්‍ය මට්ටමේ, පාසලක ස්වරූපය විදහා දක්වන, ගොඩනැගිලි දැක මුලින් ම පුදුමයට පත්වීමට නියමිත ය.

මා ලන්දේ විශ්වවිද්‍යාල භූමියට මුලින්ම පැමිණියේ මා කන්දේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ උගන්නා කාලයේ අපේ ගාන්ධර්ව සභාවේ යම්කිසි කර්තව්‍යයක් සඳහා මා මිතුරු උදය සිල්වා ද සමගිනි. එදින ලන්දේ ශිෂ්‍ය ආපන ශාලාවට ගිය වේලේ, එයට අනුබද්ධව ඇති ලන්දේ ක්‍රීඩාගාරයේ ප්‍රමාණය දැක මම පුදුමයෙන් පුදුමයට පත්වීමි.

මා දැක පුරුදු කන්දේ ක්‍රීඩාගාරය කන්දේ අනෙකුත් ගොඩනැගිලි හා සසඳා බලන කල එහි ඇති එකම අවලස්සන ගොඩනැගිල්ලයි. මෙය පුදුමයක් නොවන්නේ, එය සුවිශේෂීව ගෘහ නිර්මාණය කරන ලද්දක් නොව ඇත්තට ම ගුවන් යානා නවත්වන අංගනයක් හෙවත් හැඟරයක් වීම නිසාය. එනිසාම, එය ප්‍රමාණයෙන් අති විශාල වේ. පැසිපන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, මේස පන්දු ස්ථාන කිහිපයක්, බැඩ්මින්ටන් පිටි කිහිපයක් සහ ජිම්නාස්ටික්, බර ඉසිලීම යනාදී කී්‍රඩා රාශියක් සඳහා මේ එකම ගොඩනැගිල්ල තුළ ඉඩ කඩ තිබේ.

ඒ හා සසඳන කල ලන්දේ ක්‍රීඩාගාරය කුරුමිට්ටෙක් බඳු විය. එය බැඩ්මින්ටන් පිටි දෙකක ප්‍රමාණයට සීමා වී තිබුණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ විෂමතාවය හෙවත් කැකිරි-කිරි සංකල්පය උසස් අධ්‍යාපන අංශයට ද පොදු බව මට එදා වැටහිණ.

මින් අනතුරුව ලන්දේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගිය මට දක්නට ලැබුණේ එක ම දෙමහල් ගොඩනැගිල්ලේ, ජීව රසායන විද්‍යාගාර ද, සිංහල ඈ මානව ශාස්ත්‍ර ආචාර්යවරුන් ගේ කාර්යාල ද එකිනෙකට යාබදව පිහිටා තිබෙන බවයි. කන්දේ නොව මා උසස් පෙළ උගත් ආනන්ද විද්‍යාලයේ පවා මෙවැනි නිශ්චල දේපල හිඟයක් නොතිබුණි. කැකිරි-කිරි වර්ගයේ විෂමතාවයේ සකී්‍රය බව තව දුරටත් සාධනය විය.

අද වන විට මේ තත්වය වෙනස් වී ලන්දේ ශාස්ත්‍ර, සමාජ විද්‍යා සහ කළමනාකරණ යනාදී පීඨ සඳහා වෙන් වෙන්ට ගොඩනැගිලි ඉඳීවී පවතී.

මෙයින් වසර ගණනාවකට පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැදුණු පසු මම එහි ශිෂ්‍ය ප්‍රජාවේ උප සංස්කෘතිය පිළිබඳව සුවිශේෂී නිරීක්ෂණ දෙකක් කළෙමි.

මින් පළමුවැන්න නම් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසු සිසුවියන් එකිනෙකා අමතන්නේ අයියා, නංගී, අක්කා, මල්ලී ලෙස බවයි. පුද්ගල නාම වලින් එකිනෙකා ඇමතුවේ එකම වසරේ සිසු සිසුවියන් පමණි. බොහෝ විට ප්‍රාදේශීය මට්ටමේ පාසල් වල පවතින මේ චර්යා රටාව ඒ හරහා කැලණිය විශ්වවිද්‍යාලයට ද පැතිරෙන්නට ඇතැයි මම එකල සිතුවෙමි.

මේ තත්වය අර්ථ දැක්විය යුත්තේ පොදුවේ සිංහල සමාජය සතුව පවතින වැදගත් සාරධර්මයක් වන වැඩිහිටියන් ට ගරු කිරීමේ ආචාර ධර්මය හා සමාන්තරව ය. අප හොඳින් දන්නා පරිදි පුද්ගල නාමයෙන් පමණක් වැඩිහිටියන් ඇමතීම නොකටයුතු වේ. නමින් ඇමතිය යුත්තේ සම තත්වයේ අයට පමණි.

විශ්වවිද්‍යාල සිසුන් ද මෙසේ එක පවුලක් සේ තම තමන් හඳුන්වා ගැනීමේ ලොකු වරදක් නැති නමුත් මේ සමගම සහ මෙනිසා ම දැඩි ලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අසමානත්වය තහවුරු වන බව කිව යුතුය. මිලිටරි පසුබිමක දී නම් මෙවැනි දෘඪ ව්‍යුහයක් අවශ්‍ය වෙන නමුදු විශ්වවිද්‍යාලයක් බඳු සමාජයක මෙය ඇතැම් විට පසුගාමී, සෘණ ප්‍රතිඵල ගෙන දෙන වාතාවරණයක් මැවීමට ද ඉඩ තිබේ.

ලන්දේ වග එසේ නමුත්, මා කන්දේ විශ්වවිද්‍යාලයේ උගන්නා සමයේ දී මෙලෙස අයියා, අක්කා, නංගී, මල්ලී යන ඇමතීමක් කිසි දිනක කර තිබුණේ හෝ අසා තිබුණේ හෝ නැත. ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසුහූ එකිනෙකා නමින් ම ඇමතූහ. අධ්‍යයන කටයුතු සඳහා කාණ්ඩ බෙදීමේ දී සිසුන් ඔවුන් ගේ පෙළපත් නම අනුව ලයිස්තුගත කර තිබුණු බැවින් සිසුවියන් කෙසේ වෙතත් සිංහල සිසුන් බොහෝ විට එකිනෙකා අමතා ගත්තේ එම පෙළපත් නමිනි.

සම්ප්‍රදායානුකූල ලෙස නම් තබා තිබූ බහුතරයක් දෙමළ සිසුන් ගේ මුල් නම තම පියාගේ නම ද දෙවන නම තමා ට තබා ඇති නම ද වන නිසා, ඔවුන් ලයිස්තුගත වී තිබුණේ පොදු අච්චුවේ ලා සලකන විට පෙළපත් නම ලෙස පෙනෙන ඔවුන් ගේ සෑබෑ නමිනි. එනිසා දෙමළ සිසුන් බොහෝ විට ඔවුන්ගේ ම නමින් හැඳින්විණි.

කෙසේ වෙතත් මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සිසුන් තම තම නමින් එකිනෙකා ඇමතීම සැලකිය යුත්තේ සියලු දෙනා ම සමාන ය, සම මට්ටමේ ය යන සාධාරණ න්‍යාය අනුව විය යුතු නිසා මෙවැනි සහෝදරාත්මක වාතාවරණයක් පසුගාමී බාධකයට වඩා බොහෝ විට ප්‍රගතිශීලී ආශිර්වාදයක් වෙන බවට තර්කයක් ද ගෙන ආ හැක.

(මා එදා අනූව දශකයේ මුල් භාගයේ දී දැන නොසිටි කාරණයක් නම් මා උගත් කන්දේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමාජය ද මේ ආකාරයේ අයියා-මල්ලී පරිවර්තනයකට බඳුන් වෙමින් පැවති බවයි. මා ඒ බව දැන ගත්තේ 2010 තරම් පසු කාලයක දී ය. මා මේ තත්වය අර්ථ නිරූපණය කරන්නේ හයිරංකාර-බලුගැත්තර තත්වයක් ලෙසයි!)

ලන්දේ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමෙන් පසු මා තවත් මෙවැනි ම නිරීක්ෂණයක් කළෙමි. එනම්, එනම් ලන්දේ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයේ අනෙක් සේවක පිරිස් සමග සමීප, කුළුපග සහෝදරාත්මක සම්බන්ධයක් ඇති බවයි.

උදාහරණයක් ලෙස, ශිෂ්‍ය ආපන ශාලාවේ සේවය කළ පිරිසට සිසුන් ඇමතුවේ අක්කා හෝ අයියා කියාය. සේවකයෝ ද, සිසු සිසුවියන් ට මල්ලී, නංගී කියා ඇමතූහ.

එයට සාපේක්ෂකව, කන්දේ විශ්වවිද්‍යාලයේ දී අප ගනුදෙනු කළේ මුදලාලි ලා සමගය. වෙනත් සේවකයින්ට ඇමතූවේ ඔවුන් ගේ නමිනි. ඇතැම් ළාබාල සේවකයෙකුට මල්ලී කියා ඇමතූව ද, එය සහෝදරාත්මක මල්ලී ඇමතුම නොව, එක්තරා මට්ටමක අධිපතිවාදී හඬකින් කරන අර ”මල්ලී...” ආකාරයේ ඇමතුම විය. ඒ අතර, මුදලාලි ද, සේවකයෝ ද සියලු දෙනා අප ඇමතුවේ ”සර්” කියා ය.

එහි දී, පන්ති පරතරය අකුරටම ක්‍රියාත්මක විය!

රසිකොලොජිස්ට්

ප/ලි
මා වසර දී 2009 ඉරිදා ලක්බිම පුවත් පත සඳහා ලියූ ලිපියේ මේ දෙවන කොටස රසිකොලොජියේ පළ කරන්නට සකස් කර තිබුණ ද, එය අතපසු වී ගිය අතර යළි සිහියට ආවේ සොඳුරු අතීීතයෙන් බිඳක් බ්ලොගයේ ලිපියක සඳහන් වුණු "ස්ටුඩන්ට් මහත්තයා" නම් යෙදුම නිසා ය.

(image: http://www.thepapare.com/university-of-kelaniya-vs-university-of-peradeniya-slug-rugby/)

Monday 5 December 2016

හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!


"හිටං විහිළු" යනු මොනවාදැයි දැන ගැනීමට සහ "හිටං විහිළු" කිහිපයක් හෝ දැන ගැනීමට පහත පළ කෙරෙන මගේ මුල් ම "හිටං විහිළු" වැඩ සටහනේ පිටපත කියවන්න.

මෙය මා ඉදිරිපත් කළේ 2016 දෙසැම්බර් තුන්වෙනි දා සවස පැවැත්වුණු ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ වර්ෂාවසාන සාදයේ දී ය.


කුණුහරුප සහ අමාරු වචන

ආයිබෝවන්, සුභ සැන්දෑවක් වේවා!

ටික ටික වයසට ගිහින් ඉස නිකට පැහෙන කොට අපිට හැදෙනවා පොඩි ලෙඩක්.

මේකට කියන්නේ "අතීතකාමය" කියලයි.

කලබලවෙන්න එපා. අතීතකාමය කියන්නේ කුණුහරුපයක් නොවෙයි. හැබැයි ඒකේ තේරුම දන්නෙ නැති අයට ඒක අමාරු වචනයක්.

අපි ඉස්කෝලේ ගිය පොඩි කාලේ, අකුරෙන් අකුර ගැ ගහගෙන වචනෙන් වචනේ කියවන්න හැකි වෙලා, පොත් පත්තර කියවන්න පටන් ගත්තු කාලේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අමාරු වචන.

අමාරු වචන කියලා කියන්නේ මහප්‍රාණ අකුරු තියෙන, උණ්ඩුඛඵුච්ඡය, භෞමිඛ අඛණ්ඪඨාවය වගේ වචනවලටම විතරක් නොවෙයි.

මං පොඩි කාලේ, මට මතක විදියට තුනේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ, මං දැක්කා කෝච්චි ටිකට් එකක්. දුම්රිය ප්‍රවේශ පත්‍රයක්.

මං ඒ දවස්වල අතට අහුවෙන ඕනෑම දෙයක් කියවනවා. කෝච්චි ටිකට් මෙන්න මෙහෙම ලියලා තිබුණා.
නිකුත් කළ දිනට පමණක් වලංගුයි
ගනේමුල්ල සිට කොළඹ කොටුව
මිල ශත හැත්තෑවයි
මං බැලුවා මේ ටිකට් එකේ අනිත් පැත්ත
අත්සන් කිරීම තහනම්!
අත්සන් කිරීම තහනම්?

"මේ මොන විකාරයක් ද?" මට හිතුණා. "මේ ටිකට් එක අපි සල්ලි දීලා ගත්තා නම්, අපි ඒකේ අත්සන් කළාට මක්වෙනවාද?"

මං ගත්ත පෑන, ගැහැව්වා අත්සනක් ටිකට් එක පිරෙන්න.

පස්සෙ තමයි මං දැන ගත්තේ ඒ තිබුණේ අත්සන් කිරීම නොවෙයි අන්සන්තක කිරීම කියන අමාරු වචනය ය කියලා!

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ මට මතකයි ගනේමුල්ලේ තිබුණා කවි මඩුවක්.

මේක හිටගෙන කවි කියන තැනක් කියලයි කියවුණේ.

ඒ කාලේ ඒ පැත්තේ හිටපු නං දරාපු කවිකාරයෝ, කවිකාරියෝ, ගනේමුල්ලේ සිරිනන්දන, කටුවාලමුල්ලේ වයි ජිනදාස, බිංගිරියේ විජයකුමාර, සෝමා හපුගොඩ හෙම ඇවිල්ලා හිටියා එදා.

මට මතකයි, මං ඒ හිටගෙන කවි මඩුව බලන්න ගියාම දැක්කේ ස්ටේජ් එකේ පුටු දාලා කවියෝ හොඳට වාඩිවෙලා හිටිය හැටියි.

මං හිතුවා, හිටගෙන කවි කියන්න ඇයි මේ පුටුවල වාඩිවෙලා ඉන්නේ කියලා.

හැබැයි තමන් ගේ වාරය ඇවිල්ලා කවියක් කියන්න කලින් මේ හැමෝම නැගිටලා හිට ගන්නවා. මයික් එක ළඟ හිටගෙන තමයි කවි කියන්නේ. මං හරි නේ කියලා මට හිතුණා.

මේ හිටගෙන කවි නොවෙයි හිටිවන කවි බවත්, හිටිවන කවි කියන්නේ ගෙදරදී ලියාගෙන කට පාඩම් කරගෙන ඇවිල්ලා හිටගෙන කියන කවි නොවෙයි, ක්‍ෂණිකව ගොතා කියන කවිවලට බව මං දැන ගත්තේ එදායි.

ඊට අවුරුදු විස්සකට විතර පස්සේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ එක දවසක් මං ටෙලිවිෂන් එකේ දැක්කා හොඳ විහිළු තහළු වැඩ සටහනක් යනවා.
ඒ විකට වැඩ සටහන හැඳින්වුණේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියලායි.

ඒ කියන්නේ හිටගෙන විහිළු?

මට එක පාරටම මතක්වුණේ අර හිටගෙන කවි මඩුවේ කේස් එකයි.

එතකොට මේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ හිටගෙන කරන විහිළු කියන එක ද, නැතිනම් ගෙදරදී ලියලා, පුහුණුවෙලා එන්නේ නැතුව හිටිවන ම, ක්‍ෂණිකව කරන විහිළු කියන එකද?

මොනවා වුණත්, ඒ මුල්ම ස්ටෑන්ඩ් අප් කොමඩිය දැකලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ මටත් ඒ වගේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්න හිතුණු වෙලාවේ, මට තේරුණා මේකට සිංහල නමක් අවශ්‍ය බව.
හිටගෙන විහිළු කියලා කියනවද?
හිටිවන විහිළු කියලා කියනවද?
හොඳ වෙලාවට මේකට ඒ දෙකටම වඩා ගැලපෙන නමක් ලංකාවෙන් මට හම්බ වුණා!
හිටං විහිළු!!!
ලංකාවේ මිනිස්සු හිනා ගස්සන්න නම්, පුක වගේ දෙයක් කීවාම ඇති කියලා පසුගිය දවසක කෙනෙක් කිව්වා. නමුත් මේ වෙනකොට නං ඇත්තටම "හිටං" කියලා කිව්වාමත් බොහෝ දෙනෙකුට හිනා යනවා!

ඉතිං මේ තමයි මං ප්‍රසිද්ධ වේදිකාවක "හිටං විහිළු" කරන මුල්ම අවස්ථාව.

මං මුලින් කිව්වා නේද අර අමාරු වචන ගැන?

පොඩි කාලේ පොත් පත්තදර කියවන කොට අපිට හමුවෙන අමාරු වචනවල තේරුම මං අහගන්නේ අපේ තාත්තාගෙන්.

අපේ තාත්තා ගුරුවරයෙක්. තාත්තා ඕනෑම අමාරු වචනයක තේරුම දන්න වීරයෙක්.

දවසක් අම්මා ගෙදර ගෙනැවිත් තිබුණු පත්තරයක තිබුණු කෙටිකතාවක් කියවන කොට ඒකේ තිබුණා මට නොතේරුණු අමාරු වචනයක්.
මං ගිහින් තාත්තා ගෙන් ඒකේ තේරුම ඇහැව්වා.

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

එදා තමයි මට තේරුණේ තාත්තා හැම වචනයකම තේරුම දන්නේ නෑ කියලා.

තාත්තා කළේ මං කියවපු පත්තරේ මගෙන් උදුරාගෙන ගිහිල්ලා අමමාට බැන්න එකයි.

ඉතිං මං තේරුම් ගත්තා ගණිකාව කියන්නේ අමාරු වචනයක් විතරක් නොවෙයි කුණුහරුපයක් ය කියලා.

මං ඊට පස්සේ අමාරු වචනයක තේරුම තාත්තාගෙන් ඇහැව්වේ හොඳට කල්පනා කරලායි.

ඔය කුණුහරුප තියෙනවා නේද?

පොඩි කාලේ අපි ඒවා ඉගෙන ගත්තේ අපේ දෙමව්පිය ගුරුවරුන්ගෙන් නොවෙයි. අවට සමාජයෙන්, ගමේ මිනිස්සුන්ගෙන්, ඉස්කෝලේ අනිත් වනචර කොල්ලන්ගෙන්.

ඒ හින්දම ද කොහෙද, ලංකාවේ දී සේරම සිංහල කුණුහරුප මං ඉගෙන ගත්තත්, ඉංග්ලිෂ් කුණුහරුප මට දැන ගන්න ලැබුණේ කීපයයි.

ඇත්තම කියනවා නම් මං සමහර ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළාට පස්සෙයි.

දැන් මගේ පුතාට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.

ඒ කියන්නේ පුතා අවට පරිසරයෙන් සේරම ඉංග්ලිෂ් කුණුහරුප මටත් වඩා හොඳින් ඉගෙන ගෙන තිබුණත් සිංහල කුණුහරුප එකක්වත් දන්නේ නෑ.

මොකද, එයාට මුණ ගැහෙන කිසිම සිංහල කෙනෙක් කුණුහරුප කියන්නේ නෑනේ!

හැබැයි අපි පොඩි කාලේ වගේ නොවෙයි නේ මෙහේ හැදෙන අපේ ළමයි.

පුතා කෙළින්ම ඇවිත් මට කිව්වා මෙහෙම.

"තාත්තෙ මට සිංහල කුණුහරුප ටිකක් කියලා දෙන්න ප්ලීස්?"

මං අහුවෙයි ඕවට!

දවසකට විතර පස්සේ මට ඇහුණා පුතා දෙතුන් පාරක් මං ඉන්න හරියෙන් යනකොට මට ඇහෙන්න වගේ "අපොයි, අපොයි" කියලා කියනවා.
නිකං මාව ටෙස්ට් කරන්න වගේ!

පස්සේ තමයි මං දැන ගත්තේ ගූගල් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකේ අර එෆ් අකුරෙන් පටන් ගන්නා අකුරු හතරේ ඉංග්ලිෂ් වචනෙට දීලා තියෙන සිංහල තේරුම තමයි ඒ අපොයි කියන එක කියලා.

හොඳයි එහෙනම් ආයිබෝවන්, මට ලැබුණු කාලය අවසානයි.

මං දැන් "අපොයි-ඕෆ්" වෙන්නම්!

මගේ නම රසික සූරියආරච්චි, ආයේ දවසක හිටං විහිළු කතාවකින් හමුවෙමු, ඔබ සැමට සුභ සැන්දෑවක් වේවා!


අවස්ථාව ලැබෙන පරිදි, දිගින් දිගටම, "හිටං විහිළු" ඉදිරිපත් කිරීම මගේ අරමුණයි. මීළග අවස්ථාව ජනවාරි 26 දින ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ සාදයට, උත්සවයට, සංදර්ශනයට හිටං විහිළු ජවනිකාවක් එකතු කරගැනීමට අවශ්‍ය නම් මා අමතන්න.

Saturday 3 December 2016

අල කරගත් මංගල දඩ කොළයේ කතාව නොහොත් මගේ රියැදුරු බඹසර බිඳුණු හැටි - My first traffic offence


ඇතුල්කෝට්ටේ දෙසින් කොරොල්ලා කාරය පදවාගෙන පැමිණි මට පාර්ලිමේන්තු පාරට අවතීර්ණව බොරැල්ල දෙසට මීටර් පන්සියයක්වත් යන්නට වුයේ නැත. මා එක් වරම දුටුවේ ඈත සිට වාහනය එන මගට පිනූ පොලිස්කාරයෙකු මට නවතින්නට අණ කරන ආකාරයයි. වහාම තිරිංග තද කළ මම, පොලිස්කාරයින් දෙදෙනෙකු මෝටර් සයිකලයක් නවත්වා ගෙන සිටි ස්ථානය මදක් පසු කර වාහනය නවත්වා ගතිමි.

පාර පැත්තෙන් මා අසලට පැමිණි පොලිස්කාරයා විවර කළ කවුළුවෙන් මා අමතා "මහත්තයා වේග සීමාව කැඩුවා!" කියා ඔහු අත තිබුණු උපකරණයක් මට පෙන්වී ය. වේග මාපකයක් යැයි මා අනුමාන කළ මා ජීවිතයේ මුල්වරට දුටු ඒ උපකරණයේ මුහුණතේ 64 යන ඉලක්කම දුඹුරු පැහැයෙන් දිලිසෙමින් තිබුණි.

මම ඇස් කොනෙන් ඉදිරිපස මගී අසුනේ සිටි බිරිඳ දෙස බැලුවෙමි. අවුලක් නැති සෙයක් පෙනේ. මේ අපේ වාහනය පොලිසිය විසින් නවත්වන ලද මුල් ම අවස්ථාවයි.

එකල ඇතුල්කොට්ටේ පදිංචිව සිටි අප සාමාන්‍යයෙන් මේ මාර්ගයේ ගමන් කරන උදේ කාර්යාල වේලාවේ දී පැයට කිලෝ මීටර් විස්සක වේගයකින් වාහනය පදවන්නට ලැබෙන්නේ නම් එය වාසනාවකි. මේ වන විට වේලාව දහවල් එකොළහ පමණ වී තිබුණු අතර, වෙනදා දැක පුරුදු වාහන පෝලිම වෙනුවට හොඳටම හිස්ව ගිය මාර්ගය දුටු මගේ දෑස, මෂ්තිෂ්කය හරහා දකුණු කකුලට උත්තේජනයක් ලබා දී ඇක්සලරේටරය ලෑල්ලට ම නොවෙතත් ලෑලි භාගයකට පමණ පාගවා තිබුණි.

"එහෙනම් මහත්තයා දඩයක් ගෙවමු නේද?" පොලිස්කාරයා පැවසී ය.

වෙන කුමක් කරන්න ද? මම මද සිනහවක් පෑවෙමි.

නවක වාහන හිමිකරුවෙකු මෙන් ම, ඊටත් වඩා නවක වාහන පදවන්නෙකු ද වූ මට ඒ දිනවල පොලිස්කාරයින්ට "බනිස් කා තේ බොන්නට සල්ලි දීම" ගැන කිසිදු වැටහීමක් තිබුණේ නැත. එය කෙසේ වෙතත්, අද පමණක් නොව එදා ද කිසි ලෙසකින් අල්ලසක් දීම හෝ දීමට තැත් කිරීම හෝ මගේ ප්‍රතිපත්තිය නොවේ.

"එහෙනම් ලයිසන් එක දෙන්නකෝ!"

එදා මට එතැනින් නික්ම යන්නට ලැබුණේ මගේ තෙමසක් වයසැති රියදුරු බලපත්‍රය පොලිස්කාරයාට දී, ඒ වෙනුවට තාවකාලික බලපත්‍රයක් යැයි සැලකිය හැකි පොඩි තුණ්ඩු කැබැල්ලක් සහ රුපියල් එකසිය පනහක් වැනි මුදලක දඩයක් ගෙවීම සඳහා ඉන්වොයිසියක් ද රැගෙන ය.

ඕනෑම තැපැල් කාර්යාලයකින් ඒ දඩය ගෙවීමට හැකි බවත්, ගෙවූ කුවිතාන්සිය සමග වැලිකඩ පොලිසියේ රථවාහන අංශයට පැමිණ රියදුරු බලපත්‍රය ආපසු ලබාගැනීමට හැකි බවත් පොලිස්කාරයා මට කාරුණිකව දැනුම් දුන්නේ ය.

අවාසනාවක මහත!

මා කළ යුතුව තිබුණේ, "අද කළ යුතු දේ හෙටට කල් නොදමනු!" යන අප කුඩා කාලයේ අපේ ආච්චී නිතර කියනු අසා තිබූ ආත්තෝපදේශය අනුගමනය කරමින් රුපියල් එකසිය පනහේ දඩය එදින ම ගෙවා දැමීමයි. නමුත්, එය දිනෙන් දිනම අතපසු වී අවසානයේ මට අමතකම වී ගියේ ය.

සති දෙක තුනකට පසු මගේ වොලට්ටුවේ තිබුණු කඩදාසි තුණ්ඩුවක් දැක සිහිය සැපත් වුණි. වහාම තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවන්නට සැරසුණු වෙලේ එතැන සිටි ලිපිකරුවා මට පැවසූයේ දඩය ගෙවිය යුතු අවසාන දිනය ඒ වන විට ඉක්මවා ගොස් ඇති බවයි.

අවසානයේ මට සිදුවුණේ, උසාවියක දවසක් රස්තියාදු වී, කළ වරද ද ප්‍රසිද්ධියේ පිළිගෙන, විනාඩි කිහිපයක් උසාවියේ හිර කූඩුවේ ද ලැග, එකසිය පනහේ දඩය වෙනුවට ගෙඩි රුපියල් පන්සීයක ම දඩයක් ගෙවා නිදහස් වීමටයි.

එදා ඇරඹුණු දඩ කොළ සෙල්ලම එතැනින් අවසාන නොවී ය. පසුව ඕස්ටේ‍ර්ලියාවේ දී ද, නවසීලන්තයේ දී ද මම ඒ සුන්දර දඩ කොළ ක්‍රීඩාවේ යෙදුණෙමි.

මේ ලෙස ම නීරස ඒ විස්තර පසු දිනයක ලියමි.

-රසිකොලොජිස්ට්

(image: http://uncova.com/the-latest-joy-selfies-with-police-officers-giving-you-a-ticket)

Thursday 1 December 2016

මෙන්න අපේ වැඩ කිඩ! - New working conditions in my office


අපේ ආයතනයේ අලුතින්ම හඳුන්වා දී දැන් ක්‍රියාත්මක වන සේවා කොන්දේසි පිළිබඳ මා මේ සටහන ලියන්නේ ඉතා සතුටෙනි!

කලකට ඉහත මා ලියූ "නිවාඩු පාඩුව" නම් ලිපියේ දී, මා මගේ සේවා ස්ථානයේ සේවක-සේවා යෝජක දෙපක්‍ෂය අතර ඇති කරගෙන ඇති සේවා කොන්දේසි, විශේෂයෙන් ම සේවය කළ යුතු කාලය සහ නිවාඩු ආදිය, පිළිබඳව යාන්තමින් සඳහන් කළෙමි.

ඒ කාලයේ මා උදෑසන කාර්යාලයට ළඟා වූයේ පෙරවරු 9:30 ට පමණ ය. දවසේ සේවය නිමා කර ඉන් පිටවූයේ බොහෝ විට සවස හයට ය.

අපේ දිනපතා සේවා කාලය සහ නිවාඩු යනාදිය ඒ සඳහා සකසා ඇති පද්ධතියක සටහන් නිවැරදිව සටහන් කළ යුතු ය.

පෙර කී ලිපියේ විස්තර කෙරුණු පරිදි, දවසේ 9:30 සිට 3:30 දක්වා අවම කාලයක් සේවයේ නිරත වීමත්, පැය පහකට වඩා සේවය කරන දිනවල අඩ පැයක අවම ආහාර වේලාවක් සටහන් කිරීමත්, සතියකට අවමය ලෙස පැය 35 ක් සේවය කිරීමත් අනිවාර්ය කොන්දේසි වී තිබුණි. එසේ නැතිනම් අදාළ පරිදි නිවාඩු ලබා ගත යුතු විය. රාජකාරී ගමන් නොයෙදී ඇති දිනක උපරිම සේවා කාලය වූයේ උදෑසන 7:30 සිට සවස 6:00 දක්වා ය.

අපේ කාර්යාලයේ ස්ථාන මාරුව සහ කාර්යාලේ ඇති කළ "වැඩට-ඉඩ" සැලසුම පිළිබඳව ද මා මීට පෙර ලියා ඇත. ඒ වෙනස්කම් ඇති වූයේ පසුගිය මැයි මාසයේ ය.

ඉන් පසු නොබෝදා, සේවක-සේවා යෝජක එකඟත්වය මත සේවය කරන කාලය පිළිබඳව ලොකු වෙනස්කම් කිහිපයක් ක්‍ර්‍රියාත්මක කරන ලදී.

අපේ අලුත් සේවා කොන්දේසි මෙසේ ය.

1. උදෑසන හතේ හෝරාවේ සිට සවස හතේ හෝරාව දක්වා ඕනෑම වේලාවක අවශ්‍ය පරිදි සේවය කළ හැක. මින් පෙර මේ සීමාව උදෑසන හතහමාරේ සිට සවස හය දක්වා විය.

2. පෙර පැවති උදෑසන 9:30 සිට 3:30 දක්වා වූ අනිවාර්ය කාල සීමාව අහෝසි කර ඇත. දැන් දවසේ ඕනෑම වේලාවක(*) සේවයට වාර්තා කළ හැක.

3. නිවාඩු නොදමා දිනකට සේවය කළ යුතු අවම කාලය පැය පහක් පමණි.

මේ සියල්ල සේවකයා සහ කළමනාකරුවා අතර පෙර එකඟත්වයෙන්, තමන් කරන රාජකාරියට අනුකූලව පමණක් කළ යුතු වේ.

මේ අනුව මට සවස් වරුවේ පුද්ගලික කාර්යයක් යෙදී ඇති නම්, පෙර දී මෙන් නිවාඩු ඉල්ලීම අවශ්‍ය නැත. මට අවශ්‍ය නම් උදෑසන 700ට සේවය අරඹා දවල් 12:00 ට සේවය අවසාන කළ හැක. එවිට දවසේ අවම සේවා කාලය වන පැය පහ සම්පූර්ණ ය.

එසේ නොව, උදේ වරුවේ වෙනත් අවශ්‍යතාවක් යෙදී ඇති නම්, ඒ කටයුතු අවසාන කර පස්වරු 2:00 ට සේවය අරඹා සවස 7:00 වෙනතුරු සේවය කිරීම සෑහේ. වෙනදා මෙන් වරුවක් අනිවාරයෙන් නිවාඩු දමා අපර භාගයේ සේවය ඇරඹීම කිසිසේත් ම අවශ්‍ය නොවේ!

පෙරදා සවස කළ කර්මාන්තයක් නිසා උදෑසනක අවදිවීමට ප්‍රමාදවීම, වාහන තදබදය, දුම්රිය ප්‍රමාදය, සුපුරුදු දුම්රිය වැරදීම වැනි හේතු නිසා කාර්යාලයට යෑමට ප්‍රමාදවීම කියා දෙයක් දැන් නැත. මා එහි යන වේලාව, මා සේවය අරඹන වේලාවයි!

කොහොමද? හොඳයි නේද?

මීට අමතරව, අපට නිකුත්කර ඇති 4G සම්බන්ධතා සහිත ලැප්ටොප් පරිගණක නිසා වීපීඑන් හරහා කාර්යාලයට සම්බන්ධ වී නිවසේ සිට හෝ දුම්රියේ යනෙන විට දී හෝ සේවය කිරීමට ද ඉඩ සැලසී ඇත.

මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් වෙන්නේ දවසකට අවමය පැය පහක් වුව ද, පෙර දී මෙන් ම, සතියකට අවමය ලෙස පැය තිස් පහක් සේවය කළ යුතු බවයි. සතියේ දින පහම උදේ හතේ සිට දහවල් දොළහ දක්වා අවම පැය පහ පමණක් සේවය කර එය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ ම, සෑම රැකියාවක් ම මේ ආකාරයට විවිධ වේලාවලට ඇරඹීමට නොහැකි අතර, එකම කණ්ඩායමේ සියලු දෙනාට ම එකම දිනයේ මේ ආකාරයට සේවය කළ නොහැක.

ඒ සමගම, තමන් විසින් ඉටු කළ යුතු රාජකාරීවලට අමතරව යෙදෙන, පොදු රැස්වීම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් වැනි කටයුතු සඳහා සහභාගී වීමෙන් ගැලවීමට මේ නම්‍ය සේවා සහන නිසා ඉඩ නොලැබේ.

එවැනි ප්‍රායෝගික කරුණු නිසා අනිවාර්යෙන් ම ඇති එවැනි සීමා යටතේ වුව ද, මේ අලුත් සේවා කොන්දේසි නිසා අපට සැලසී ඇති වාසි එමට ය.

උදාහරණයක් ලෙස, පසුගිය සතියේ දිනක සවස 3:00 ට මට විශේෂඥ වෙදෙකු හමුවීමට යෙදී තිබුණු අතර, වෙනදා මෙන් උදෑසන සේවයට ගොස් වරුවක ලෙඩ නිවාඩුවක් වැය කර ඒ සඳහා කලින් කාර්යාලයෙන් නික්ම යනවා වෙනුවට මා කළේ, එදා උදෑසන නමයට සේවය අරඹා සවස දෙකට වැඩ අවසාන කිරීමයි.

මේ වෙනසකම් ඇරඹී දැන් සති හතරක් පමණ ගෙවී ඇති මුත්, අපේ සේවා ස්ථානයේ සගයන් ගේ වැඩට පැමිණීමේ, පිටව යාමේ රටාවේ ලොකු වෙනසක් මා නුදුටුවෙමි.

ඒ කුමක් නිසා යත්, මොන සේවා කොන්දේසි අදාළ වුවත්, වඩා වැදගත් වනුයේ තමන්ට නියමිත කාර්යයන් නිසි පරිදි, නිසි වෙලාවට ඉටු කිරීම හෙයිනි!

-රසිකොලොජිස්ට්

Tuesday 29 November 2016

ලොකු ළමයෙකු ගේ ලොකු අකුරු - Ransirimal Fernando's blog


පසුගිය දිනවල හෝඩියේ පන්තියේ පොඩි ළමයින් ගැන ලියමින් සිට ඊට පසු "එයා දැන් ලොකු ළමයෙක්" ගැන ලියූ මට මට අද ඊටත් වඩා "ලොකු දෙයක්" ගැන ලියන්නට සිත් විය.

මෙය "ලොකු දෙයක්" වෙන්නේ ලොකු ළමයෙකු ගැන ලියවෙන සටහනක් නිසා පමණක් නොව, මේ කාරණයේ මට ලොකු වැදගත්කමක් ද ඇති නිසා ය.

මේ ලියන්නේ "ලොකු" ගැන ය. කෙටියෙන් ලොකු කියන්නේ මැද පිළිවෙතින් සිරිමල් ගැන ය. දිගට කියනවා නම් රන්සිරිමල් ගැන ය. තවත් දිගට කියනවා නම්, ආන්ජලෝ රන්සිරිමල් ප්‍රනාන්දු නම් සහෘදයා ගැන ය.

මා රන්සිරිමල් යන නම මුලින් ම දුටුවේ ප්‍රාග් යුනිකෝඩ් ගල් යුගගේ දී බිහි වී තිබුණු "සිරිමල් උයන" නම් වෙබ් අඩවිය හරහා ය. අන්තර්ජාලීය සිංහල සාහිත්‍යකරණයේ ඒ ප්‍රමුඛ පියවර ගැන මින් පෙර රසිකොලොජියේ ලිය වී ඇත.

ඉන්පසුව, තරංග ජයසේන හෙවත් කූඹියා ගේ මූලිකත්වයෙන් ඇරඹුණු "බූන්දි" හරහා මට රන්සිරිමල් ගේ නිර්මාණ කියවන්නට ලැබුණි. ඔහු ගේ ප්‍රියම්භිකාව වන මානෙල් ගේ විවිධ නිර්මාණ ද බූන්දිය එකල පැවතුණු ඊ-මේල් වේදිකාව හරහා කියවන්නට ලැබුණි.

අන්තර්ජාලය හරහා එසේ දැන හඳුනාගෙන සිටි ඔවුන් දෙදෙනා මට මුලින් ම මුහුණට මුහුණ හමුවූයේ ඊට කලකට පසු 2009 දී සිඩ්නි නගරයේ දී ය.

ඉන්පසු 2010 ජනවාරියේ දී බූන්දි කණ්ඩායමේ අනුග්‍රහයෙන් කොළඹ දී පැවැත්වුණු ජගත් ජේ එදිරිසිංහ ගේ රාජාලි පියාපත් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණු උලෙළේ දී මට ඔවුන් දෙපළ මුණ ගැසුණි.

ඊළඟට පසුගිය දෙසැම්බරයේ කොළඹ දී පැවැත්වුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කෘතිය දොරට වැඩීමේ උත්සවයේ දී මට රන්සිරිමල් හමුවිය.

ඉතිං, මගේ සිතට ආ මේ සියලුම කරුණු මෙලෙස මෙහි සටහන් කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ගේ නවතම බ්ලොග් අඩවිය ගැන පවසන්නයි.

ඔහු එය නම් කර ඇත්තේ "ලොකු අකුරු" කියා ය.

https://lokuakuru.blogspot.com/

ලොකු වෙන්නට පෙර කතා, ලොකු වුණාට පසු කතා, ජීවිත කතා, කවි ආදී විවිධ මානයන් ගේ, විවිධාකරයේ ලියවිලි, නිර්මාණවලින් පිරුණු ලොකු ගේ ලොකු අකුරු බ්ලොගය මට රස සාගරයක් ලෙස හැඟුණි.

ලොකු ලියා ඇති ලොකු ගේ තාත්තා ගැන සටහන මගේ නෙතට කඳුළු නැංවුවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකුම ලොක්කා නොහොත් බොසී හමුවෙන්නට ගිය ගමනක් ගැන සටහන මට සිතට නව නළු රසයම ගෙනාවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකු අකුරු ගැන සටහන මට මගේ හෝඩියේ පන්ති සමය සිහි කළේ ය.

ඒ සමගම ලොකු, පොඩි අපට නොහැකි ලොකු ලොකු වැඩ ද කර ඇති බව පෙනුණි.

තවත් ලොකු පොඩි සටහන් බොහෝ ය.

ගොස් කියවන්න!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමතක වීමට ගිය තවත් කරුණක් මෙසේ ය.

මා හිතන ආකාරයට දැන් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රන්සිරිමල් පවුල වාසය කරන්නේ කැනඩාවේ ය.

මේ විශ්ව ගම්මානයේ සැරිසරන අපට ඒ අක්‍ෂාංශ දේශාංශ කවරේ ද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. අපට ඉර පායන්නේ, බහින්නේ වෙනස් කාලවල බව පමණක් මතක තබා ගැනීම ප්‍රමාණවත් ය.

ප/ප/ලි:
තවත් කරුණක්.

මේ ලොකු අකුරුකාරයා මීට කලින් ද බ්ලොගයක් ලියූ බව මගේ මතකයයි. අවාසනාවකට මෙන් ඒ කුමක්දැයි මට සිහිපත් කර ගත නොහැක!

Saturday 26 November 2016

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots


අපි දකුණේ, අපි කොළඹ, අපි නුවර ආදී වශයෙන් ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටියක් ඊයේ පෙරේදා ෆෙස්බුකියේ පැතිර ගියේ ය. තවමත් තරමක හෝ උණුසුමක් පවතී.

මේ සඳහා මා ද කොනකින් සම්බන්ධ වූයේ පිරිසක් "කිඹුලා බනිස්" ලෙස ද, තවත් පිරිසක් "වියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "පියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "සීනි කුරුල්ලන්" ලෙස ද, තවත් පිරිසක් "කොකෝ බනිස්" ලෙස ද, හඳුන්වන අප සැම දන්නා දිගැති පැණි රසැති බනිස් විශේෂය ඒ කිසිවක් නොව "ගැඩවිල් බනිස්" ලෙස හැඳින්වීමෙනි. මගේ අදහස අනුව ඒ බනිස් වර්ගයේ හැඩයට ඉතා හොඳන් ගැලපෙන්නේ "ගැඩවිල්" යන නාමයයි. මගේ යෝජනාව නිෂ්ප්‍රභා කෙරෙන තර්කයක් කිසිවෙකු මතු කර නොමැත!

ඒ කෙසේ වුවත්, මෙකී ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටිය නිසා මගේ පියා අප කුඩා කාලයේ මා සමග කියූ අති පැරණි රසවත් කතාවක් මගේ සිහියට නැගිණි.

මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන්නේ ඒ කතාවේ සාරාංශයයි.

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය

මෙන්න වැඩි විස්තර.

දහ අටවන සියවසේ අග භාගය වන විට ලංකාවේ දකුණු ප්‍රදේශය පැවතී ඇත්තේ ඕලන්ද පාලනය යටතේ ය. ඔවුන් ගේ ප්‍රධාන බලකොටුව ගාල්ල වෙන්නට ඇතැයි සිතමි. නගරයෙන් දුර පළාත්වල පාලනය, කුළුබඩු මිලට ගැනීම, වැට් බදු එකතුව වැනි කටයුතු සඳහා වෙනත් කුඩා බලකොටු ද හෙවත් ඩීආරෝ කන්තෝරු ප්‍රාදේශීියව පිහිටුවා තියෙන්නට ඇත.

ඒ සමයේ දී ලන්දේසීන්ට විරුද්ධව යම් ප්‍රාදේශීය කැරැල්ලක් ඇති වී ඇත. ආයුධ රැගත් දේශප්‍රේමී තරුණයින් ලන්දේසි බලකොටුවකට පහර දී ඇති අතර එය සාර්ථක වී නොමැති බව කියවේ.

ඒ පහර දීමෙන් කුපිත වූ ලන්දේසි රණවිරුවන් කර ඇත්තේ අවට ගම්වලට පැන වැදී තරුණයින් අත් මරා දමන්නට, අත් අඩංගුවට ගන්නට, එළියකන්දට දක්කාගෙන යන්නට, අතුරුදහන් කරන්නට පටන් ගැනීමයි.

තත්වය දරුණු අතට හැරුණු නිසා, එකල බද්දේගම නම් සුන්දර ගම්මානයේ නිවැසිව සිටි දේශප්‍රේමී එක් කුස උපන් සහෝදරයින් තිදෙනෙකු කර ඇත්තේ තමන් සතු අවි ආයුධ ද රැගෙන උතුරට පලා යාමයි. සති ගණනාවක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණි ඔවුන් අවසානයේ නතර වී ඇත්තේ කැලණි ගංගාව ද තරණය කළ පසුවයි.

අද බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර-කඩවත ප්‍රදේශයේ වාසය කරන සූරියආරච්චිලා එසේ පැමිණි සහෝදරයින් තිදෙනාගෙන් පැවතෙන අය යැයි මගේ පියා මා සමග පැවසුවේ ය.

එය ඔහුට ඊට පෙර පරම්පරාවෙන් අසන්නට ලැබුණු කතාවකි.

මගේ පියා කුඩා කාලයේ කඩවත, උතුරු පරකන්දෙණිය ප්‍රදේශයේ පිහිටි අපේ සීයා ගේ මහගෙදරට ගිය දිනයක, ඊටත් වසර එකසිය ගණනකට ඉහත කාලයක උතුරට සංක්‍රමණය කළ තම මුතුන් මිත්තන් එදා ඔවුන් රැගෙන ආ ආයුධ වැලලූ ස්ථානය පවා පියා ගේ මහප්පා කෙනෙකු විසින් පෙන්වා දී ඇත.
ඒ දකුණට මගේ ඇති සම්බන්ධයයි.

මගේ ප්‍රිය බිරිඳ ගේ පියා දකුණේ සිට කඳුරටට සංක්‍රමණය කර ඇත්තේ ඊට සම්පුර්ණයෙන් ම වෙනස් වූ, ආර්ථික හේතු නිසා ය.

මාතර ප්‍රදේශයේ ඇල්ගිරියේ උපන් ඔහු, ඒ දිනවල දකුණේ තරුණයින් සිය ගණනක් තරුණයින් කර ඇති ආකාරයට, උඩරට ගොස් ඇත්තේ රැකියාව ලෙස වෙළඳාමෙහි නිරත වීමට ය. කාලයක් තිස්සේ සෑහෙන කට්ටක් කා, යමක් කමක් හරි හම්බ කරගෙන කුඩා ව්‍යාපාර හිමියෙකු වූ ඔහු විවාහ වී ඇත්තේ ද, ඇල්ගිරියම නිජ බිම කරගත් තරුණ ගුරුවරියක හා සමග ය.

මගේ බිරිඳ ගේ හතරවරිගයේ ම ඇයට කලින් පරම්පරාවේ ඇයින් තවමත් සිටින්නේ මාතර-අකුරැහැ ප්‍රදේශයේ ම ය. ඇගේ පරම්පරාවේ අය නම් රටේ ද, ලෝකයේ ද විවිධ ප්‍රදේශවල විසිරී සිටිති.

අප දෙදෙනා ගේ මේ බද්දේගම සහ ඇල්ගිරිය සම්බන්ධය අනුව, අපේ දරු දෙදෙනා ට ද, අපි දකුණේ තමයි, හරිය? කියමින් වත්මන් ෆේස්බුක් ගාලගෝට්ටියට සම්බන්ධ වීමට හැකියැයි සිතමි!

-රසිකොලොජිස්ට්

(http://exploresrilanka.lk/2016/01/prince-of-pastries/)

Thursday 24 November 2016

විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - Just some goss


ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන පරම්පරාවේ" නවකතා තරමක් සරල තරමක් අවුල් පෙම් කතා විය.

මා මෙහිදී "දෙවන පරම්පරාවේ" යන හැඳින්වීමෙන් අදහස් කරන්නේ, "ඉක්බිති සියල්ලෝ ම සතුටින් විසිර ගියහ!" අච්චුවේ වාත්තු කරන ලද, කොල්ලා සහ කෙල්ල ගේ අකලංක ප්‍රේමය සියලු සතුරන් මැඩ, සියලු බාධක සිඳ බිඳ දමා ජයගන්නා සුරංගනා කතා ඇතුළත් වූ "මුල් පරම්පරාවේ" නවකතාවලින් පසුව, කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද මොන්ටිසෝරි ආදර අන්දරයක අඳෝනාව රැගත් "ගොළු හදවත" නවකතාවෙන් පසු බිහි වූ නවකතා පරම්පරාව ය.

මේ නවකතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. එහි අනෙකුත් නියමුවෝ වූයේ, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි වැන්නන් බව මගේ අදහසයි. කුමාර කරුණාරත්න ගේ "රතු රෝස" මෙන් ම, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ "සුභා, ප්‍රාර්ථනා සහ සුබ ප්‍රාර්ථනා" ද මා ආශාවෙන් කියවූ නවකතා ය.



කරුණාරත්න සපුතන්ත්‍රි ගේ "එයා දැන් ලොකු ළමයෙක්" සහ "මනමාලී" නවකතා ඉතා ජනප්‍ර්‍රිය වූුවා පමණක් නොව ධර්මසේන පතිරාජා ඒ නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් ද අධක්‍ෂණය කළේ ය. සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සැලකෙන ධර්මසේන පතිරාජා ගේ චිත්‍රපට අතුරෙන් ඉතා ජනප්‍ර්‍රිය වී ඇත්තේ ද ඒ චිත්‍රපටය වීම යම් ආකාරයක සරදමකිි.

අපේ අම්මා සහ පුංචි අම්මලා එය නැරඹූව ද, "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපට නැරඹීමට මට ඉඩ නොලැබුණි. මා සිතන ආකාරයට එයට හේතුව වෙන්නට ඇත්තේ ස්ත්‍රී දුෂණයක ජවනිකාවක් තිබුණු නිසා එය "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" ආකාරයේ ලේබලයක් ඇලවී තිබීම විය හැක.

කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නමට ද අදාළව, එහි එන එක් දර්ශනයක මාලනී ෆොන්සේකා වැඩිවියට පත්ව දිය නා ගෙට එන දර්ශනයක් ඇතුළත් වූ ප්‍රචාරක දැන්වීම් ද, බණ්ඩාර කේ විජේතුංග ගේ ගැඹුරු හඬින් "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්" යනුවෙන් සහ "අවාරෙට කෝපි මලුත් පිපිලා ඇති!" යනුවෙන් මාලනී ෆොන්සේකා ගේ දෙබසක් සහිත රේඩියෝ වෙළඳ දැන්වීම් ද, මගේ මතකයේ ඇත.



නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත. හරියට, අබා චිත්‍රපටියේ උන්මාද චිත්‍රා ගේ චරිතය වයස හතළිස් පහක් පමණ වූ සබීතා පෙරේරා රඟපෑවාක් මෙනි!

මාලනී ෆොන්සේකාට අමතරව මේ චිත්‍රපටයේ අන් ප්‍රධාන චරිත නිරුපණය කළේ විජය කුමාරතුංග සහ පසුගිය දා මිය ගිය විමල් කුමාර් ද කොස්තා ය.

චිත්‍රපටයේ කතාවේ සාරාංශය අති සංක්‍ෂිප්තව පවසතොත්, ගැමි කෙල්ලකවන සුසිලාවතී (මාලනී) තම ඥාතියෙකු වන සිරිපාල (කොස්තා) අතින් දුෂණය වී අසරණ වන නමුත්, ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටිනා ග්‍රාමසේවක (විජය) ඇගේ පිහිටට පැමිණේ.

මට මේ සටහන ලියන්නට සිතුණේ විමල් කුමාර් ද කොස්තා ගේ මරණයෙන් පසු ඔහු ගැන ධනංජය කරුණාරත්න විසින් ලියූ විශේෂ ලිපියක විමල් කුමාර් ද කොස්තා සහ මාලනී ෆොන්සේකා අතර හෝඩියේ පන්තියේ සිට පැවති සුවිශේෂී සම්බන්ධතාවයක්, එය 50% ආදරයක් ද විය හැක!, ගැන කියවුූ විට දී ය.

තමන් ඒ වන විට රඟ පා තිබුණු චරිත අතරින් වඩාත් කැමත්ත ඇත්තේ "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට බව ඒ දිනවල විමල් කුමාර් ද කොස්තා පවසනු මා අසා ඇත.



ධනංජය කරුණාරත්න ගේ ලිපියේ අඩංගු කරුණුවලින් හැඟවෙන පරිදි, හෝඩියේ පන්තියේ සිට සිතෙන් තමන් ප්‍රේම කළ නමුත්, විවිධ සමාජ කරුණු නිසා තමන්ට අහිමි වූ ඒ මාලිනි ය, අතාත්වික ලෝකයක දී සුලු මොහොතකට හෝ තමන්ට හිමි කරගන්නට ලැබීම නිසා විමල් කුමාර් ද කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට වඩාත් ප්‍රිය කරන්නට ඇතැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: https://rateyourmusic.com/film/එයා_දැන්_ලොකු_ළමයෙක්; http://www.silumina.lk/punkalasa/20110306/_art.asp?fn=ar1103069)

Tuesday 22 November 2016

තවත් බලු කොලු කතාවක් - Of dogs and boys


මා පසුගිය සැප්තැම්බරයේ රසිකොලොජියේ නැවත පළ කළ "මිනිස් බල්ලා සහ බලු මිනිසා" නම් වූ මගේ සඟරා ලිපිය ගැන විවිධ අදහස් පළ වුණි.

තම අදහස් දක්වන එක් අයෙකු පුන පුනා පවසා සිටියේ ඒ මා ලියා ඇත්තේ සත්‍ය අත්දැකීමක මතකය මත පදනම් වූ කතාවක් නොව මා නිර්මාණය කළ ප්‍රලාපයක් බවයි.

ඇත්තටම එය සත්‍ය කතාවක් නොව නිර්මාණයක් නම්, මම වඩාත් සතුටුවෙමි. ඒ මන්ද යත්, එවැනි නිර්මාණයක් කිරීම මට නම් ලේසියෙන් නොහැකි නිසා ය. මින් පෙර මා ලියා පළ කර ඇති විවිධාකර අත්දැකීම් පදනම් වූ ලිපි අනුභූති සේ ගෙන කෙටිකතා සීයක් ලියන්නෙමි යැයි මා ඒ කාලයේ ම පවසා සිටිය ද, තවමත් මා අතින් එවැනි එකදු කෙටිකතාවක් හෝ ලියවුණේ නැත!

ගෙදර වැඩ හෝ පැවරුම් යනාදිය පිළිබඳව අප එකල අසා නොතිබුණ ද, උදෑසන පන්තියේ ගුරුවරියට පෙන්වීම සඳහා ගල්ලෑල්ලේ චිත්‍රයක් ඇඳගෙන යාමට, අත් අකුරු පුහුණුව පෙන්වීම සඳහාත්, භාෂාව ඉගෙනීම පෙන්වීම සඳහාත්, වචන හෝ වාක්‍ය හෝ පිළිවෙළට ලියාගෙන යෑමට, මට එකල උපදෙස් ලැබී තිබුණි.

මා ලියාගෙන යන දේ කුමක් වුවද, එයට අති විශාල හරියකින් ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවතී ටීචර් ගේ ගේ සිරිත විය. අකුරක හැඩයේ වරදක්, වචනයක අක්‍ෂර වින්‍යාසයේ වරදක් හෝ වාක්‍යයක ව්‍යාකරණ වරදක් තිබුණේ නම්, ඇය එය නිවරද කරන්නට ඉඩ තිබුණි. නමුත්, පෙරදා රාත්‍රියේ නිවසේ දී ගල්ලෑල්ලේ ලියා දෙමව්පියන්ට පෙන්වන දෙයක වරදක් පසුදා උදෑසනවන විට තිබෙන්නට ඉඩක් නැත.

අද මා කියන්නට යන හෝඩියේ පන්තියේ බලු කතාව මෙයයි.

එක් දිනයක උදෑසන අවදිව පාසල් යන්නට සූදානම් වෙමින් සිටි මට පෙනුණේ, කුමක් හෝ හේතුවක් නිසා, පෙර දින රාත්‍රියේ මා ගල්ලෑල්ලේ කිසිවක් ලියා නොමැති බවයි.

චිත්‍රයක් අඳින්නට ද වෙලාවක් නොමැත. අපේ නිවසට අල්ලපු වත්තේ විසූ ආනන්ද ජයතිලක සමග මා කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය වෙත පා ගමනින් යාම අරඹන්නේ උදෑසන හතට ය. එය අඩ සැතපුමක පමණ දුරකි.

ලියන්නට වාක්‍යයක් අසා ගන්නට තාත්තා ද නොමැත. බොල්ලතේ පාසලක සේවය කළ රජයේ ගුරුවරයෙකු වූ ඔහු නිවසෙන් පිටත්වන්නේ උදෑසන හයටත් පෙර ය.

නිවසේ කිසියම් කාර්යයක නිරත වෙමින් සිටි අම්මා වෙත ගිය මම, අම්මේ මොනවා හරි කියන්න මට ගල්ලෑල්ලේ ලියා ගෙන යන්න කියා ඇගෙන් ඉල්ලීමි.

අනේ පුතේ, අර නැන්දාගෙන් අහගන්න කෝ! යැයි අම්මා පැවසූයෙන් මම නැන්දා වෙත ගියෙමි.

නැන්දා මට ලියන්නට කීවේ මේ වාක්‍ය යුුගලයි!
බල්ලා බත් කයි.
කොල්ලා හූ කියයි.

එවෙලේ හදිසියෙන් ඒ වාක්‍ය දෙක ගල්ලෑල්ලේ ලියාගෙන පාසලට ගිය මට ප්‍රඥාවතී ගුරුවරිය ගෙන් ගල්ලෑල්ල පුරා විසිරී ගිය විශාල හරියක් ලැබෙන්න ඇත.

මා මුලින් ම නිර්මාණාත්මක ලියවිල්ල ඉගෙන ගත්තේ එදා යැයි පසු කාලයක මේ සිදුවීම ගැන සිතන විට මට වැටහී ගියේ ය.
  • කොල්ලා බත් නොකා බල්ලා බත් කෑවේ ඇයි?
  • බල්ලා හූ නොකියා කොල්ලා හූ කීවේ ඇයි?
  • බල්ලා කෑවේ කොල්ලා ගේ බත් ටික ද?
  • කොල්ලා හූ කීවේ, ඒ දැක කෝපයෙන් ද?
නැන්දා ගේ ඒ වාක්‍ය යුගල නිර්මාණයේ තෝතැන්නකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් මේ කතාව ද, සත්‍ය සිදුවීමක් නොව මවිසින් කරණ ලද නිර්මාණයක් යැයි නොකියන්න.

මේ ලිපිය මා අලුතෙන් ලියූවක් වුව ද, මෙහි විස්තර කෙරෙන සිදුවීම නම් මීට වසර කිහිපයකට කලින් බස් රේඩියෝව සඳහා කරන ලද වැඩ සටහනක දී මම විස්තර කර ඇත්තෙමි.

(image: https://commons.wikimedia.org/wiki/File:A_boy_and_a_dog.jpg)

Sunday 20 November 2016

තේරෙන නොතේරෙන තේරවිල්ලක් (කුණුහරුපයක් නම් නොවේ!) - Can you solve this riddle?


පීටර් ගිබන්ස් යනු මා සමග එක ම ආයතනයේ, එක ම ඩිවිෂනයේ, එක ම දෙපාර්තමෙන්තුවේ, එක ම අංශයේ සේවය කරන මිතුරෙකි. මීට මාස හතකට කලින් අප දෙදෙනා සිටියේ කිලෝමීටර් තිහකට වඩා දුරින් පිහිටි කාර්යාල දෙකක ය. පසුගිය මැයි මාසයේ ඇති වූ සුවිශේෂී වෙනසට පසු දැන් අපේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකම කාර්යාලයකට වාර්තා කරමු.

එදා පීටර් සහ මා දිවා ආහාරය ගැනීමට අපේ "වැඩට-ඉඩ" සැලසුම සහිත කාර්යාලයේ කුස්සි කෑල්ලට ගියේ එකට ය. මේසය වටා බංකුවල වාඩිවුණු අපි සුපුරුදු පරිදි දිවා ආහාරය අඹරන්නට පටන් ගත්තෙමු.

අඹරන, ගිලින අතර මා කළේ, මේසය මත තිබුණු "සිඩ්නි මෝනිං හෙරල්ඩ්" පුවත් පතේ පිටු පෙරළමින් එහි තිබෙන රූප නැරඹීමයි. පීටර් තම කාර්යාල ජංගම දුරකථනය මත ඔහු ගේ පුද්ගලික ජංගම දුරකථනය ඇලයට තබා යම් කිසි පුවත් අඩවියක් පිරික්සන්නට පටන් ගත්තේ ය.

එක් ජංගම දුරකථනයක් මට තැබූ තවත් ජංගම දුරකථනයක් දුටු මට සිහි වුණේ අප කුඩා කාලයේ ඉගෙන ගත් තේරවිල්ලකි.

"පීටර්, කැන් යූ සොල්ව් දිස් රිඩ්ල්"" මම පීටර් ගිබන්ස්ගෙන් ඇසුවෙමි, "එ ෆෘට් ඔන් එ ට්‍රී, එ ට්‍රී ඔන් එ ෆෘට්!"

මා කුඩා කාලයේ අසා පුරුදු ඒ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" තේරවිල්ල පීටර් පෙර අසා නොතිබුණි.

තේරවිලි යනු අප කුඩා කාලයේ අපේ වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත් ඉතා අපූරු භාෂා ප්‍රයෝග විශේෂයකි.

ඒ අතර පද පෙරළි සහිත "බුදු කුටිය" වැනි තුන් තේරවිලි ද, "දෙකොන දේශනාවට මඩුව මත්වෙලා" වැනි හය තේරවිලි ද ඇත.

මුලින් කියූ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" ආකාරයේ විවිධ සැඟවුණු අරුත් ඇති කියමන් ද ඇත.

මේ පහත දැක්වෙන්නේ ද තේරවිල්ලකි. මෙය මා කලින් අසා ඇති එකක් නොව, වෙනත් අනාගතයේ පළවීමට නියමිත බ්ලොග් ලිපියක හැඳින්වීම ලියද්දී මගේ සිතට ආ මගේ ම අදහසකි. එසේම මෙය කුණුහරුපයක් නම් නොවේ.

මෙන්න විසඳන්න.
  • මේවා ගැහැනුන්ට මෙන් ම පිරිමින්ට ද තිබේ.
  • ගැහැනුන් ගේ ඒවා පිරිමින් ගේ ඒවාට වඩා අනිවාර්යෙන් ම ලොකු ය. අඩු වශයෙන් මා දැක ඇති ගැහැනුන් ගේ ඒවා මගේ එකට වඩා ලොකු ය.
  • සාමාන්‍යයෙන් ගැහැනුන්ට මේවා එකකට වඩා ඇත. පිරිමින්ට බොහෝ විට ඇත්තේ මේවා එකකි.
  • ගැහැනුන් ගේ ඒවා විවිධ ප්‍රමාණයෙන්, විවිධ වර්ණයෙන් තිබේ. සෑම පිරිමියෙකු ගේ ම එක බොහෝ විට අන් පිරිමියෙකු ගේ එක සමාන ය. එසේ ම ඒවා බොහෝ විට එකම වර්ණයේ ය. නැතහොත් ඉතා සමාන වර්ණයන් ය.
මේ කියන්නේ කුමක් ගැන ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිතුර සහ මුලින් කී ලිපිය තව දින දෙක තුනකින් පමණ පළ කරමි.

දෙවසරක් තිස්සේ දින දෙකකට වරක් බැගින් රසිකොලොජියේ ලිපි 366 ක් පළ කළ මගේ මේ ඇරඹුණු තුන්වෙනි වසර සඳහා ඉලක්කය ලිපි එකසිය විස්සක් පමණි!

Thursday 17 November 2016

අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ රසික ඔබ! (හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ) - WARNING: Not for general consumption


ඉංග්ලිෂ් භාෂාවෙන් සර් කියන්නේ මහත්මයා යන්නටයි. සැවොම එකිනෙකා "මේට්" වශයෙන් හෝ මුල් නමින් අමතන ඉගලිටේරියන් සමාජයක් ඇති ඕස්ට්‍රේලියාවේ දී වුව, සේවා සපයන ස්ථානයකට ගිය හෝ දුරකථනයෙන් එවැනි සේවාවකට ඇමතූ හෝ ඒ වැනි අවස්ථාවලදී මේ සර් පදයෙන් අමතනු අසා ගත හැකි ය.

ලංකාවේ දී බොහෝ විට සර් කියා අමතන්නේ පාසල් සිසුන් විසින් තම ගුරුවරුන්ට බව අපි දනිමු. ගුරුවරුන් අතර ද එකිනෙකා ඇමතීමට ද සර් යන පදය භාවිතා කෙරෙනු මා අසා ඇත.

ඊට අමතරව, සේවා ස්ථානවල, සේවා සැපයෙන ආයතනවල, දුරකථනයෙන් පාරිභෝගික කටයුතු සඳහා කතා කරද්දී වැනි අවස්ථාවලදී සර් වචනය භාවිතා වේ.

මීට මාසය කිහිපයකට පෙර නන්දා මාලනී සහ වික්ටර් රත්නායක ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් සිනුවර දී පැවැත්වුණු අතර, ඉතා කණගාටුවෙන් වුව ද, මට එයට සහභාගීවීමට සිදුවිය.

ඒ ප්‍රසංගයේ දී නන්දා මාලනී, අමරදේව පිළිබඳව සඳහන් කළ දෙතුන් වතාවේ දී ම ඔහු හැඳින්වූයේ "අමරදේව සර්" යනුවෙනි. මීට පෙර නන්දා මාලනී ගේ සංගීත ප්‍රසංග නැරඹීමට මා ගිය තෙවතාවේ දී ම (2000, 2005 සහ 2010) ඇය අමරදේව පිළිබඳව සඳහන් කළේ "අමරදේව සර්" යනුවෙන් බව මගේ මතකයයි.

නමුත්, ඉහත ප්‍රසංගයේ දී මෙන් ම, 2005 දී ද, වික්ටර් රත්නායක විසින් අමරදේව පිළිබඳව කතා කළේ ඔහුව "අමරදේව සූරීන්" ලෙස හඳුන්වමිනි.

නන්දා මාලනී ගේ "අමරදේව සර්" හැඳින්වීම, මා හඳුනා ගත්නේ, ඇය අමරදේව ගුරු තනතුරෙහි ලා සැලකීමක් ලෙසයි. එනම්, මෙහි දී සර් යන වචනය භාවිතා වෙන්නේ එහි මූලාශ්‍ර ඉංග්ලිෂ් තේරුම වන මහත්මයා යන අරතෙන් නොව ගුරුවරයා යන සිංග්ලිෂ් අරුතෙන් බවයි.

පාසල් දැරියක ලෙස ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වල ගීත ගායනා කිරීමට පැමිණි නන්දා මාලනීගේ ගායන කුසලතාව ඔප් නංවා ගැනීමට, එවක ගුවන් විදුලියේ වාද්‍ය මණ්ඩල ප්‍රධානියා වූ අමරදේව විවිධ අවස්ථා උදා කර දුන් අයුරුත්, අවසානයේ අමරදේව විසින් සංගීත අධ්‍යක්‍ෂණය කළ රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනා කිරීමට තෝරා ගත් අයුරුත් නන්දා මාලනී විසින් විවිධ අවස්ථාවල කෘතවේදීව සඳහන් කර තිබන අයුරු මම කියවා ඇත්තෙමි.

එසේම, නන්දා මාලනී යනු අමරදේව ගේ ගුරු කුලයට අයත් ගායිකාවක් බව තවත් ස්ථිර කෙරෙන උදාහරණයක් ද ඇත.

එය නම්, අන් ගායක ගායිකාවන්ට සාපේක්‍ෂව අමරදේව සහ නන්දා මාලනී දෙදෙනා සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන ආකාරයයි.

මා කිහිප විටක් අසා ඇති පරිදි වික්ටර් රත්නායක සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන්නේ "රසික රසිකාවියන්" කියා ය.

"නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා" යනාදී වශයෙන් තමන් ගේ සනුහරයට ගී ගයන අය හැර අන් බොහෝ ගායක ගායිකාවන් ද භාවිතා කරන්නේ මේ "රසික රසිකාවියන්" යන යෙදුම යි.

නමුත්, අමරදේව මෙන් ම නන්දා මාලිනී ද මෙහි දී භාවිතා කරන්නේ "රසික ඔබ" යනුවෙනි. මෙහිදී "රසික" යන වචනය ඔවුන් යොදා ගන්නේ නිර්ලිංගික එනම් ජෙන්ඩර් නියුට්‍රල් ආකාරයට බව පෙනේ.

නමුත් නමින් රසික වන මට, ඇගේ ඒ "රසික ඔබ" යන කියමන ඇසෙන්නේ, දැනෙන්නේ මට ම කෙරෙන ඇමතුමක් ලෙස ය.

මා සහභාගී වූ නන්දා මාලනී ගේ පෙර ප්‍රසංගයවල දී ඇය "රසික ඔබ" යැයි පවසනු ඇසී එය මතකයේ රැඳී තිබුණු හෙයින් මම 2010 ප්‍රසංගයේ දී, මා හඳුනන කිහිප දෙනෙකුට, ඔන්න අද නන්දා මාලනී මා වෙනුවෙන් ගීතයක් ගයනවා යැයි පැවසීමි.

එය ඒ ලෙසම සිදුවිය.

ඇය දෙතුන් විඩක් ම "ඊළඟ ගීතය මා තෝරා ගත්තේ රසික ඔබ වෙනුවෙන්" යැයි කියා ගී ගැයුවා ය.

එපමණක් නොව මෙවර 2016 ප්‍රසංගයේ දී, "මීළඟ ගීතය ගායනා කිරීමේදී මා හා එක්වන ලෙස රසික ඔබෙන් මා ආදරයෙන් ඉල්ලා සිටිනවා" යැයි කී වෙලේ, "අන්න රසික ඔයාට කතා කරනවා!" යැයි අවට සිටි කිහිප දෙනෙකු මට කී නිසා මට අසුනෙන් නැගිට වේදිකාවට යන්නට ද මොහොතකට සිතුණි.

නමුත්, අමරදේව ගේ ප්‍රසංගයක දී (2005) සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

"පීනමුකෝ කළු ගඟේ" නම් ගීතය ගයන්නට පෙර ඒ ගැන යාන් හෑල්ලක් කියන්නට පටන් ගත් අමරදේව, එය ඇරඹුවේ මෙසේ කියමිනි.

"රසික ඔබට මතක ඇති වර්ෂ 1945 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වුණා ස්වර මේලා නම් සංගීත ප්‍රසංගයක්. ඒ සඳහා තමයි මා මුලින් ම...."

මගේ සැබෑ වයස අමරදේව නිසා හෙළි වූයේ එලෙස ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මුලින් ම කී පරිදි, මේ සටහන හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ.

මා ලියා ඇති මේ පොදුවේ නොවැදගත් යැයි පෙනෙන කාරණා නිවැරදිව තේරුම් ගැනීමට හැක්කේ තවත් රසික නමැත්තෙකුට ම පමණක් යැයි සිතමි.

(images: various sources)

Monday 14 November 2016

මයි ඩාලින් රසිකා - Rasika, my darling!


මගේ නම රසන්ත නොවී රසික වූ හැටි ගැන මම පසුගිය සතියේ ලියූවෙමි.

ඒ නම් දෙකෙන් මගේ නම කුමක් වූව ද, එසේ නොමැතිව, මගේ නම සුසන්ත, ප්‍රියන්ත, සමන්ත, ජයන්ත, වසන්ත වැනි ත-යන්නෙන් අවසාන වෙන්නක් වූව ද, එක්තරා කාරණයක් සම්බන්ධයෙන් නම් ඇතිවෙන ප්‍රතිඵලය එකම බව කිව හැක.

මේ ඒ ගැන විස්තර කෙරෙන මගේ අත්දැකීම් සහිත පොඩි කතා කෑලි දෙකකි.
මීට වසර පහළොවකට පමණ පෙර, කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් තිබී, ඒ දිනවල අලුතෙන් අන්තර්ජාලයේ පළ කිරීම ඇරඹුණු එක්තරා සිංහල පුවත්පතක් කියවමින් සිටි මට ඒ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ කුඩා ගැටලුවක් ඇති විය. මට මතක ආකාරයට එය පුවත් පතේ පෙර කලාපයක් කියවීම සඳහා යොදා තිබුණු සබැඳියක් බිඳී තිබීම වැනි දෙයකි.

මා එවිට කළේ, ඒ වෙබ් අඩවියේ සඳහන් වූ ඊ-මේල් ලිපිනයක් භාවිතා කරමින් අදාළ වෙබ් මාස්ටර්ට ඒ පිළිබඳව කියා යැවීමයි.

මා බලාපොරොත්තු නොවූ ආකාරයට වහාම මට පිළිතුරු ලැබුණු අතර, අදාළ දෝෂය ද නිවරද කර තිබුණි. එයට ස්තුති කරමින් මා යැවූ පිළිතුරෙන් පසු, මා විමතියට ලක් කරමින්, මට ඒ වෙබ් මාස්ටර්ගෙන් මගේ පුද්ගලික විස්තර විමසන ඊ-මේල් දෙකක් පමණ ලැබුණි.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම නැවත පිළිතුරු නොලියා නිහඬ වී මි.
දෙවෙනි සිදුවීම මෙසේ ය.
ඒ කාලයේ මා සේවය කළ ආයතනයේ, අපේ දෙපාර්තමේන්තුවේ, කාර්යාල තුනක් එකිනෙකින් කිලෝමීටර් හතළිහක් පමණ දුරින් පිහිටා තිබුණි. යම් කරුණක් ගැන බෙදා හැරුණු පොදු ඊ-මේල් පණිවිඩයකට මා පිළිතුරු යැවූ පසු, අපේ දෙපාර්තමේන්තුවේ ම වෙනත් කාර්්‍යාලයක අලුතෙන් සේවයට බැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකුගෙන් මට පුද්ගලික ඊ-මේලයක් ලැබුණි.

තමන් හඳුන්වා දෙමින් අරඹා තිබුණු ඒ ඊ-මේලයෙන් කියවුණේ, ඔහු මා හඳුනා ගැනීමට කැමති බවත්, නුදුරු දිනකදී අපේ කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීමකට සහභාගී වීම සඳහා ඔහු පැමිණෙන බවත් ය. රැස්වීමෙන් පසු කෝපි කෝප්පයක් බොමු ය යන යෝජනාවක් ද ඒ ඊමේලයේ තිබුණි.

මම ප්‍රසාදය පළ කර පිළිතුරක් යැවූවෙමි.

එදා රැස්වීමේ දී, මේ ඉන්දියානුවා අසුන් ගත්තේ, මා කවුදැයි නොදැන, මා අසලින් ම ය. සාකච්ඡාව පැවැත්වෙන වේලේ ඔහු මා කවුරුන්දැයි දැන ගන්නට ඇත. නමුත් ඔහු මා සමග වචනයකුදු කතා නොකළේ ය.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම ද නිහඬ සිටියෙමි.
මේ කතාංග ද්වයෙන් මා පැහැදිලි කිරීමට උත්සාහ කළ කරුණ මෙසේ ය.

රසික (Rasika) පමණක් නොව රසන්ත (Rasantha), සුසන්ත (Susantha), ප්‍රියන්ත (Priyantha), සමන්ත (Samantha), ජයන්ත (Jayantha), වසන්ත (Vasantha / Wasantha) වැනි සියලුම පිරිමි නම් ද ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ කළ, ඒවා රසිකා (Rasika), රසන්තා (Rasantha), සුසන්තා (Susantha), ප්‍රියන්තා (Priyantha), සමන්තා (Samantha), ජයන්තා (Jayantha), වසන්තා (Vasantha / Wasantha) යනුවෙන් ද කියවෙන නිසා, නමේ හිමිකාරයා හමු වී නොමැති විට ඒ නම කාන්තාවක ගේ ය කියා රැවටීමකට ලක්වීමට ඉඩ ඇත!

මා ඉහතින් ලියූ කතා කෑලි දෙකේ කියවුණු අත්දැකීම්වලදී මට එය හොඳින් අවබෝධ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තිලක / තිලකා, මදුර / මදුරා, මධුර / මධුරා, පුෂ්ප / පුෂ්පා, වැනි නම් ද මේ කී ආකාරයේ ටැපලීම් ඇති කරයි.

නමුත්, ආසිරි, මානෙල්, කුමුදු වැනි නම් හිමිකරුවන් පිළිබඳව වරදවා වටහා ගන්නට නම්, ඒවා ඉංග්ලිෂ් අකුරෙන් ලිවිය යුතු නැත!

(image: http://www.goodreads.com/book/show/14625389)

Friday 11 November 2016

ඉස්කෝලේ ගිය කාලේ තවත් කතාවක් - How to draw an umbrella


හෝඩියේ පන්තියේ දී ගල්ලෑල්ලක අඳින ලද මිනිස් බල්ලෙකු සහ බලු මිනිසෙකු ගැන ලියවුණු ලිපියේ මා සඳහන් කළ අත්දැකීම ලැබූ කාලයේ මගේ වයස අවුරුදු පහමාරක් පමණ විය.

ඒ ලිපියට මා ලද ඇතැම් ප්‍රතිචාරවල ලියවී තිබුණු ආකාරයට, වයස අවුරුදු පහක් යනු බලි රූප චිත්‍ර අඳින, අකුරු හකුරු සේ ලියන ළමා කාලයක් යැයි සමහරු නොදැනුවත්කම නිසා දෝ සිතන බව පෙනුණි.

එවැනි නොදැනුවත්කමකට හේතුව, සමහර විට ස්මරණ ශක්තියේ අඩුවක් නිසා, තමා ගේ ජීවිතයේ ඒ කුඩා කාලය මේ වන විට අමතක වී ගොස් තිබීම විය හැක. එසේ නොමැතිනම්, ඒ ලිපියේ සඳහන් සිදුවීම සත්‍යයක් නොව, මා කළ නිර්මාණයකැයි පුන පුනා තර්කයේ නිරතවෙන අය ගේ ළමා කාලය මගේ ළමා කාලය තරම් සාර්ථක ඒවා නොවන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ බලු මිනිස් රූපවල ඓතිහාසික පසුබිම ගැන ද මම පසුව ලියුවෙමි. ලියූ තවත් කථාවක් පළ කරන්නට ද ඇත.

එදා හෝඩියේ පන්තියේ දී අප අකුරු ලීවේ, චිත්‍ර ඇන්දේ ගල්ලෑල්ල නම්, මෙකල ඇති "අයි-පෑඩ්" යනාදී ඉලෙක්ට්‍රොනික මෙවලමේ මුල් අදියරේ උපකරනක් මත, ගල්කූර නමැති, මෙකල "ස්ටයිලස්" නමින් හැඳින්වෙන මෙවලමේ මුල් අදියරේ, උපකරනයෙනි. ඉලෙක්ට්‍රොනික පෑඩයක් මත ස්ටයිලසයකින් රේඛා චිත්‍රයක් ඇඳීම පහසු වැඩකි. නිසි උපදෙස් ලද විට, එවැනි චිත්‍ර අපට එකල ගල්ලෑලි මත ගල්කූරෙන් ඇඳිය හැකි විය.

හෝඩියේ පන්තියේ සිත්තරාවිය කථාවේ මා කීවේ ද එවැනි චිත්‍ර පාඩමක් ගැනයි.

කාගෙන් උගත්තේ දැයි අද මට අමතකමුත්, මා එකල ආශාවෙන් ඇඳි තවත් එක් චිත්‍රයක් වූයේ කුඩයකි. රේඛා කිහිපයක් මගින් සරලව ඒ චිත්‍රය අඳින්නේ මෙසේ ය.

මුලින් ම අර්ධ වෘත්තයක් ඇඳ එය කොටස් කිහිපයකට බෙදෙන ලෙස චාප කිහිපයක් අඳින්න.


දැන් ඒ චාප යනු කුඩයේ නන ලෙස සලකා, කුඩ රෙද්ද අඳින්න.


ඊළඟට, කුඩයේ මිට ඇතුළු අනෙකුත් කොටස් ඇඳ සම්පූර්ණ කරගන්න.


එදා ගල්ලෑල්ලේ ගල්කූරෙන් අඳින විට කළ නොහැකි වුව ද, අද පෑඩයක් මත, ස්ටයිලසයකින් අඳින විට හෝ මා මෙහි දී කළ ආකාරයට පරිගණක තිරය මත මූසිකයක් ආධාරයෙන් අඳින විට දී හෝ ඔබට අවශ්‍ය නම් මේ කළු කුඩය, පාට පාට කුඩයක් බවට පත් කර ගත හැක!


ළමා කාලයේ මෙවැනි චිත්‍රයක් ඇඳීමට හැකිවීම යනු උස් මහත් වූ විට රටේ ලෝකේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වීමේ පෙර නිමිත්තක් ලෙස වරදවා වටහා ගත යුතුව නැත.

අතීතයේ අප දැක ඇති කුමන දෙයක් වුව ද චිත්‍රයට නැගුවත්, අපට කළ නොහැකි දෙයක් වනුයේ අනාගතය චිත්‍රයට නැගීමයි.

එදා මට මුහුදු වෙරළක දර්ශනයක් සහ චීත්ත මෝස්තරයක් යන චිත්‍ර ඇඳීමට ඉගැන්වූ ගෑල්ළමයා අද විශේෂඥ වෛද්‍යවරියකි.

ඇගෙන් ඉගෙන ගෙන හෝ හැකි පමණින් චිත්‍ර ඇඳි මම, උදේ සවස දුම්රියේ යනෙන විට පරිගණකයක අකුරක් දෙකක් කොටා බ්ලොග් ලියනා අර්ධකාලීන බ්ලොග්කරුවෙක් මි. එසේ ම, කාර්යාලයක පුටුවක වාඩිවී භගන්දරා මල් වවමින්, පරිගණක තිරයකට අනිමිසලෝචන පූජා පවත්වන පූර්ණකාලීන මැවිසුරුවෙක් මි.

-රසිකොලොජිස්ට්

(image: http://www.objectlessons.org/childhood-and-games-victorians/school-slate--pencil-victorian-original/s67/a1016/)

Tuesday 8 November 2016

අම්මාට යන්න නොලැබුණු පුතා ඉස්කෝලේ ගිය මුල් දවස - Some poor mothers miss out


පාසල් ගිය මුල් දවස මතකද?

උපන් දිනයේ සිට දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් සමග වසර පහක් පමණ කල් ගෙවා අප පාසල් ගිය මුල් ම දිනය යනු අපේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් වන වැදගත් සිදුවීමකි.

"පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ!" යනුවෙන් ඇන්ජලීන් ගුණතිලක ගයන්නේ ඒ දවසේ මවකට දැනෙන සිතුවිලි ගැනයි!

සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිදුවුණු නොවැදගත් සිදුවීම්වල පවා දින වකවානු සහ දෙබස් සමග කිව හැකි තරම් මතකයක් ඇති මට ඒ වැදගත් දිනය පිළිබඳව පුදුමයකට මෙන් කිසිදු මතකයක් නැත.

මා මුලින් ම පාසල් ගොස් ඇත්තේ මගේ අම්මා හෝ තාත්තා හෝ සමග නොව, ආච්චී සමගින් ය යනුවෙන් මා පසු කලෙක දී ඇසූ දවසේ මට තරමක දුකක් දැනුණි.

ඒ දුක දැනුණේ මා වෙනුවෙන් නම් නොවේ. මගේ දෙමව්පියන් වෙනුවෙනි. එයිනුත් විශේෂයෙන් ම මගේ මව වෙනුවෙනි.

මට මා වෙනුවෙන් දුකක් නැත්තේ, එදින ද මට කිසිමාකාරයක දුකක් නොදැනුණු බව ස්ථිර නිසා ය. එදා මට දුකක් දැනුණේ නම්, අද මට ඒ ගැන ඉතා සුළු මතකයක් හෝ තිබිය යුතුයි. එවැනි මතකයක සේයාවක් හෝ නැති නිසා, මා පාසලට ගිය මුල් දිනයේ මා ඉතා සතුටෙන් ඉන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත්, මා පාසල් යාමට පටන් ගැනීමට කලින් වසරේ දී, මගේ දෙමව්පියෝ මා නිවස අසල තිබුණු මොන්ටිසෝරියක් වැනි තැනකට යවන්නට තැත් කළ හැටිත් එහි මා ගිය මුල් දිනයේ දී මට කියවන්නට හෝ ලියන්නට ලැබුණු දේ මට පහසුවෙන් කළ හැකි වූ නිසා, මා පසුවදා එහි යෑම ප්‍රතික්‍ෂේප කළ බවත් මගේ මතකයේ ඇත.

ඉතින්, මුලින් ම පාසල් ගිය දිනයේ මට දෙමව්පියන් සමග නොව ආච්චී සමග එහි යාමට සිදුවුණේ ඇයි?

මගේ පියා පාසල් ගුරුවරයෙකු නිසා, ඔහු අලුත් වසරේ ප්‍රථම දිනයේ තම රාජකාරිය ඇරඹීම සඳහා උදෑසන ම නිවසින් පිට වෙන්නට ඇත.

මේ වන විට මගේ බාල ම සොහොයුරා ගේ වයස අවුරුදු දෙකයි මාස දහයක් පමණි. එනම් ඔහු සිටියේ ගමන් බිමන් යන විට වඩාගෙන යන වයසේ ය. අනෙක් බාල සොහොයුරාට නම් වයස අවුරුදු හතර පිරී තිබුණි.

අම්මාට මා කැටුව එදා පාසලට යෑමට නොහැකි වී ඇත්තේ ඒ බාල දරුවන් දෙදෙනා නිසා ය.

තම ප්‍රථම දරුවාට නමක් තබන්නට ගොස් සිදුවුණු අපේක්‍ෂාභංගත්වය ගැන මෙන් ම, ඒ සුපින්වත් කුමරුවා තක්සලාවට ගිය මුල් දිනයේ දී ඒ ගමනට එක්වන්නට නොලැබීම ගැන ද අම්මා දුකෙන් සිහිපත් කරනු මා අසා ඇත.

ඇත්තටම තාත්තා කළ යුතුව තිබුණේ, එදින නිවාඩුවක් දමා, අම්මාත්, මල්ලිලාත් කැටුව ඒ ඓතිහාසික ගමන මා සමග යෑමයි. දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට යාම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත නොවේ යැයි සිතිය නොහැකි ය.

නමුත්, තාත්තා ඔහු ගේ ගුරු රාජකාරිය, තම පවුලේ කාර්යයට වඩා උස් කොට සලකා ඇති බව පෙනේ.

කමක් නැත!

මේ ආකාරයටම, අපේ දියණිය පාසල් ගිය මුල් දිනයේ ඇය කැටුව ගියේ මා පමණි. ඒ දිනවල මෙල්බර්න් තදාසන්නයේ මරුන්ඩා රෝහලේ හදිසි රෝගී අංශයේ සේවය කළ මා බිරිඳට එදින උදෑසන හතට සේවයට වාර්තා කිරීමට තිබුණි.

උදේ රැයෙන් නැගිට කිරිබතක් සෑදු ඇය ඉන්පසු රාජකාරිය සඳහා පිටව ගිය අතර, දියණිය ගේ ජීවිතයේ ඒ සැතපුම් කණුව හා සම්බන්ධ සෑම මොහොතක් ම තනිවම අත් විඳීමට එදා මට වරම් ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ - ඇන්ජලීන් ගුණතිලක



(image: http://darkaresgaming.net/index.php?/topic/4221-first-day-of-school/)

Sunday 6 November 2016

රසික උපත නොහොත් පොඩි කතාවක් දෙකක් - In the beginning there was light....!


මගේ අම්මාට අවශ්‍ය වී ඇත්තේ තමන් මෙලොවට බිහිකළ සුපින්වත් පුත් කුමරුවා "රසන්ත" යනුවෙන් නම් කරන්නට ය. නමුත්, මගේ චූටි නැන්දා, එනම් තාත්තා ගේ බාල නැගෙණිය යෝජනා කර ඇත්තේ "රසික" යන නමයි.

ඒ යෝජනා දෙක සලකා බලමින්, දරු උපත ලියාපදිංචි කිරීම සඳහා, දි සොයිසා රෝහලේ කාර්යාලයට ගිය තාත්තා කර ඇත්තේ අදාළ ෆෝර්මයේ ළමයා ගේ නම යන ස්ථානයේ "රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි" කියා ලිවීමයි. "හරිශ්චන්ද්‍ර" යනු මගේ පියා ගේ මැද නම ද වේ.

සතියකට පමණ පසු උප්පැන්නය තැපෑලෙන් නිවසට ලැබුණු විට සිදු වී ඇති දෙය දැනගත් මගේ අම්මා, අපේක්‍ෂා භංගත්වයෙන් ඉතා දුක් වී ඇත.

තවත් සති කිහිපයකට පසු අම්මාට ආරංචි වී ඇත්තේ ඇගේ දුක තවත් වැඩි වෙන කාරණයකි. එනම්, තම සුපින්වත් පුත්‍ර රත්නය සඳහා අම්මා යෝජනා කළ "රසන්ත" යන නම, චූටි නැන්දා විසින් තාත්තලා ගේ පරකන්දෙනියේ මහගෙදර සිටි පුස් පැටියෙකුට යොදා ඇති බවයි!

මට අවුරුදු හතරහමාරේ දී පමණ අප ද ඒ මහගෙදරට පදිංචිව ගිය මුත්, ඒ නිවසේ "රසන්ත" වැනි නමක් ඇති සිටි පූසෙක් සිටි බවට මට කිසිදු මතකයක් නැති නිසා, මට සිතෙන්නේ රසන්ත නම ලද ඒ බිළාලයා වසර කිහිපයක් තුළ මිය ගොස් ඇති බවයි.

මම නම්, තවමත් යහතින් ජීවත් වෙමි.

කෙසේ වෙතත්, බල්ලන්ට, පූසන්ට මෙන් ම කොල්ලන් සඳහා ද "රසන්ත" යන නම මෙන්ම "රසික" යන නම ද එකල අලුත් පන්නයේ දුලබ නම් වී ඇත. කණිෂ්ඨ විද්‍යාලයේ මගේ පන්තියේ සිටි අනෙක් සිසුන් ගේ නම් වූයේ, ආනන්ද, සිසිර, ගාමිණී, නිමල්, ලයනල්, නිහාල්, හේමචන්ද්‍ර, ප්‍රේමසිරි, සරත්, සුගත් වැනි සුලභ ඒවා ය.

ඇත්තටම, මට වඩා වයසැති, "රසික" නමැති වෙනත් අයෙකු මට මෙතෙක් හමු වී නොමැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ පියා මගේ උපත ලියා පදිංචි කර වසර තිස් එකකට පසුව මම ද, ඒ රෝහලේ දී ම, අපේ දියණිය ගේ උපත ලියා පදිංචි කළෙමි.

නමුත්, මා නම් එදා අදාළ ෆෝර්මයේ, ඇලපිල්ලක, පාපිල්ලක, ඉස්පිල්ලක වෙනසකින් තොරව, බිරිඳත්, මාත් එකඟ වී සිටි ආකාරයට ම, අපේ දියණිය ගේ නම ලීවෙමි.

Thursday 3 November 2016

අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!


මගේ පියා ගුරුවරයෙකි. ඔහු වයස දහනමයේ දී ගුරු සේවයට බැඳී වසර තිස් නමයක් සේවය කළේ ය. ඔහු ගේ සොහොයුරියන් දෙදෙනෙකුත්, සොහොයුරෙකුත් ගුරුවරු ලෙස සේවය කළහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු විවාහ වූයේ ද ගුරු සේවයේ අය සමග ය.

මගේ මව ගේ දෙමව්පියන් ද, එක් සොහොයුරියක් ද ගුරුවරු ය. මගේ මව ද ගුරු සේවයට යන්නට සිහින මවමින් සිට ඇත ද, වෙනත් සිහිනයක්, එනම් විවාහ සිහිනය, ඊට පෙර සැබෑවීම නිසා ඒ අදහස අත හැරගෙන ඇත.

මගේ බිරිඳගේ පවුලේ ද, ගුරුවර, ගුරුවරියන් වැහි වැහැලා ය. අපේ ඒ වැඩිහිටි පරම්පරාවේ හතර වරිගයේ ළඟ ඥාතීන් සහ දුර ඥාතීන් අතර ගුරු වෘත්තිකයින් ටියුෂන් පන්තියක් පුරවන්නට තරම් සිටියහ.

මා මේ කියන වැඩිහිටි පරම්පරාව යනු පසුගිය සියවසේ මුල් වසර පනහ තුළ උපන් අයයි.

අපේ ඥාතීන් අතර ඒ සා විශාල පිරිසක් ගුරු වෘත්තියේ නිරතව සිට ඇත්තේ ඇයි?

යටත් විජිත සමයේ ලංකාවේ රජයෙන් ලබා දුන් වර්නකියුලර් එනම් ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් අධ්‍යාපනය හොඳින් නිම කරන අයට රැකියාවක් ලෙස තිබී ඇත්තේ විකල්ප කිහිපයකි.

ඔවුනට එක්කෝ ශිෂ්‍ය ගුරු පත්වීමක් ගෙන ගුරු වෘත්තියට පිවිසිය හැකි විය. එය ගමේ තරුණයෙකුට, තරුණියකට ලබාගත හැකි වුණු රජයේ හොඳ මට්ටමේ එකම රැකියාවයි. මගේ තාත්තා සහ ලොකු නැන්දා ආදීන් කර ඇත්තේ එයයි.

එසේ ගුරුවරයෙකු නොවුනේ නම්, ගම්පහ සිද්ධායුර්වේදය වැනි ආයතනයට බැඳී දේශීය වෛද්‍යවරයෙකු වීමට අවස්ථාව තිබී ඇත. අපේ වෙද මාමා කර ඇත්තේ එයයි.

උදාහරණ නොමැති වුවත්, ඊට අමතරව නොතාරිස්වරයෙකු වීම වැනි විකල්ප ද තිබී ඇති බව පෙනේ. නමුත්, ඒවා ස්වයං රැකියා ය.

රජයේ සියලු වෙනත් රැකියා සඳහා ඉංග්ලිෂ් මාධ්‍යයෙන් විභාග සමත් වී තිබිය යුතුව ඇත. මධ්‍යම විද්‍යාල ඇතිවෙන තුරු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් ඉගෙනීම යනු මුදල් ගෙවා ලබා ගත යුතු අධ්‍යාපනයක්ව තිබී ඇත.

පනහේ දශකයේ දී මගේ නැන්දා කෙනෙකු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ ද, ඇය ද අවසානයේ ගුරුවරියක් ම වූවා ය.

ගම්බද පවුල්වල තරුණ තරුණියන් ට, මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා, රජයේ සේවයේ ඉහළ තනතුරුවලට යාමට අවස්ථාව ලැබුණේ රාජ්‍ය භාෂාව වෙනස් කිරීමෙන් අනතුරුව සහ එ නිසා ම පමණි.

ජනගහනයේ වැඩිවීමත් සමගම ප්‍රසාරණය වන ගුරු සේවය වාසනාවට මෙන් තවමත් බොහෝ දෙනෙකු, වෙනත් විකල්පවලට වඩා, ප්‍රිය කරන වෘත්තියකි. මගේ බාල සොහොයුරා ද, ඥාති සොහොයුරියක් ද, ගුරුවරුන් ය.

එසේ නමුත්, අපේ පාසල් කාලයේ මෙන්ම, අදත් ලංකාවේ, ගුරු සේවයේ වැඩි වශයෙන් නිරතවන්නේ කාන්තාවන් බව පෙනේ. ඕස්ට්‍රේලියාවේ තත්වය ද එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ....."

මේ ගී පදයේ ඉතිරි කොටස කෙසේ සම්පූර්ණ කර ගත යුතුදැයි තවමත් සිතා ගත නොහැකි විය.

".......තුන් සිංහලයම අත දරුවෝ?"

(image: http://www.biography.com/news/favorite-tv-teachers)

Monday 31 October 2016

ටීචර්, සර්, මහත්තයා - Primary memories



ඇතැම් සම්මත සේවාවල රැකියාවල නිරතවන්නන්ට නියමිත නිල ඇඳුම් ඇත. මෙය රජයේ සේවාවල මෙන්ම පුද්ගලික අංශයේ ද දැකිය හැකි දෙයකි. සේවා දායකයාට, සේවා සපයන්නා පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසීම මෙමගින් අපේක්ෂිත එක් ප්‍රතිඵලයක් විය යුතු ය.

ලංකාවේ රජයේ සේවා රැකියාවන් ගැන සලකා බලද්දී පොලීසිය, ත්‍රිවිධ හමුදා වැනි රැකියාවල මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය, ආගමන විගමන සේවය, රේගු සේවය, හෙද සේවය වැනි රැකියාවන්හි යෙදෙන්නන්හට ද මෙසේ නිල ඇඳුම් ඇඳීමට නියම වී ඇත.

එසේ නමුදු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින විශාලතම සේවාව වූ රජයේ ගුරු සේවයේ නියුතු අයට නම් නිල ඇඳුමක් නියමිතව නැති බව පෙනේ.

නිල ඇඳුමක් තිබීම නිසා සේවකයින්ට ලැබෙන වාසියක් නම් ඒ නිල ඇඳුම් මෙන්ම ඒවා නඩත්තු කිරීම සඳහා දීමනාවක් ද ලැබීමයි. එය සෑහෙන ආර්ථිකමය වාසියකි. නිල ඇඳුමක් නොමැති නම් තමන්ට කැමති වර්ණයක හෝ ආකාරයක ඇඳුමක් සේවය සඳහා ඇඳිය හැකි වෙතත් ඒ සඳහා යන වියදම තමන්ගේ වේතනයෙන් පියවා ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගුරු සේවය සඳහා නියමිත නිල ඇඳුමක් නැති යැයි මා ඉහත ලියූවේ එසේ නිල ඇඳුම් නිකුත් කිරීමක් හෝ පත්වීම් ලිපියේ නිල ඇඳුමක් තියා අඩු ගණනේ ඇඳිය යුතු ඇඳමක් ගැන සඳහනක් හෝ නොමැති බව අසා සැක හැර දැනගෙන ඇති නිසා ය.

නමුත් ප්‍රායෝගික සත්‍යය එය නොවෙන බව අපි දනිමු!

විවිධ සමාජ, චාරිත්‍ර, සම්මත, රීති නිසා සහ ඒ මත පදනම්ව බොහෝවිට තමන් ම පනවා ගෙන ඇති වාරණ මත ගුරු සේවයටද නොනිල නිල ඇඳුමක් නියමිතව ඇත.

ගුරුවරියන් සඳහා මේ නිල ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියයි. සේවයේ නිරත නොවන කාල වේලාවේ දී ගවුම්, සාය හැට්ට, කමිස කලිසම්, ලූංගි, සල්වාර් කමීස් හෝ වෙනත් මොන ඇඳුමක් ඇන්දා වුවද ගුරු සේවයේ යෙදෙන කාන්තාවෝ අනිවාර්්‍යයෙන්ම එක්කෝ සාරිය හෝ නැතිනම් ඔසරිය සේවය සඳහා අඳිති.

මා කොලූ කාලේ උගත් පාසලේ ඉංගිරිසි ගුරුවරියක් ලෙස සේවය කළ වෑන් ඩයික් නම් වූ බර්ගර් යුවතියට ද සාරිය ඇඳ සේවයට එන්නට සිදුවූයේ මේ නිසා ය. ඇය ගවුමකින් සැරසී සේවයට පැමිණියා නම් සමහර විට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. නමුත් කිසි දිනෙක එය සිදු නොවුණි!

පූජ්‍ය පක්ෂයට අයත් නොවන පිරිමි ගුරුවරුන් සේවය සඳහා පැමිණියේ එක්කෝ කලිසම සහ කමිසය ඇඳගෙන ය. නැතිනම් ජාතික ඇඳුම ඇඳගෙන ය.

බතික් හෝ පිජාමා හෝ පලේකාට් හෝ සරමක් ඇඳ සේවයට පැමිණීමට කිසිවෙකු නොසිතූ බව පෙනුණි. ඒ ඇඳුම් තත්වයෙන් බාල වූ ඒවා වෙන්නට ඇත.

අතීතකාමයේ ගැලෙමින් මා මේ ලිපිය සඳහා කරුණු ගොනු කළේ එක් විශේෂ කරුණක් කියන්නටයි.

මා ප්‍රාථමික පන්තිවල උගත් කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී අප ගුරුවර ගුරුවරියන් ඇමතීම සඳහා ආමන්ත්‍රණ පද යොදා ගත්තේ ඔවුන් ඇඳ සිටි ඇඳුම අනුව ය.
සාරිය හෝ ඔසරිය ඇඳ සිටි ගුරුවරියන් අප ඇමතූවේ ඉංගිරිසි බසින් ”ටීචර්” යන පදයෙනි. ඒ අය පිළිවෙලින් ප්‍රඥාවතී ටීචර්, සීලවතී ටිචර්, හේමවතී ටීචර්, රූපසිංහ ටීචර්, බමුණුසිංහ ටීචර් වූහ.

ජාතික ඇඳුම ඇඳි පිරිමි ගුරුවරුන් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූහ. චන්ද්‍රසේන මහත්තයා, නිකුලස් මහත්තයා, ලොකු මහත්තයා (විදුහල්පති) යනාදී වශයෙනි.

කලිසම සහ කමිසය හැඳ සේවයට පැමිණි ඒකනායක නම් ඉංග්ලිෂ් ගුරුවරයා සහ පාසලේ සිටි අන් එකම පිරිමි ගුරුවරයා යන දෙදෙනා පමණක් ”සර්” නමින් අපෙන් ඇමතුම ලද්දෝ ය.

”සර්” යන පදය ප්‍රාථමික පාසලේ වසර පහක් ඉගෙනුම අවසානයේ දී පහේ පන්තිය සමත්ව මා ඒ කණිෂ්ඨ විද්‍යාලයෙන් ඉවත්වන තුරුම කලිසම් අඳින ගුරුවරයෙකු සඳහා මිස ජාතික ඇඳුම අඳින ගුරුවරයෙකු සඳහා නොයෙදුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇඳුම් ගැන මා මින් පෙර ලියූ ලිපි මෙන්න.
1. සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?

2. ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate!

3. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women

4. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද?

ගුරුවරුන් ගැන ලිපි කිහිපයක් ද මෙහි පළ වී ඇත.
5. ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower

6. බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did that!

7. හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!

8. ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading

Thursday 27 October 2016

ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!


(image: http://www.cafleurebon.com/cafleurebon-saffron-in-perfumery-golden-threads-of-spice-best-saffron-perfumes/)

මේ ලිපිය මා ලියන්නට සිටියේ මීට වසර කිහිපයකට කලිනි. නමුත්, ලිපියට අදාළ මූලාශ්‍ර නිවැරදිව එකල අන්තර්ජාලයෙන් සොයා ගන්නට නොහැකි වූ නිසා, එය ලිවීම දිනෙන් දින කල් ගොස්, පසුව මුළුමනින් ම අතපසු වී ගියේ ය.

පසුව ලියන්නට පටන් ගත් මොහොතේ සිට සිතට ආ විවිධ අදහස් සමග මේ ලිපිය ඇදි ඇදී ගිය හෙයින්, "සුදු කලිසමේ පින්වන්තකම", "ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය" සහ "පිරිමි අපට ඇයි කෙනෙහිළි" වශයෙන් ඒ අතුරු සටහන් වෙනම ම පළ කළෙමි.

ලංකා දේශපාලන තට්ටු මාරු ක්‍රමය පිළිබඳව නිරුවත හෙළිකරන, මා ජීවිතයේ අසා ඇති හොඳම කියමන මා මෙන් ම ලක්‍ෂ සංඛ්‍යාත ලංකාවාසීන් ගේ සවනට වැටුණු 1994 මහ ඡන්දයේ දී, පෙර කී කතාව කළ ජනතා විමුක්ති පෙරමුණේ චම්පා සෝමරත්න, ඇය ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙන් තරග කළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් නොවුන ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් අසුනක්, ජවිපෙ ට හිමි විය.

ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ කවරෙකු කවර අනු පිළිවෙළට සිටිය ද, කවුරු කොපමණ මනාප සංඛ්‍යාවක් ලබා ගත්තද, ජනතා විමූුක්ති පෙරමුණට අවශ්‍ය වූයේ ඔවුන් ගේ එකල සිටි එක් නායක චරිතයක් වූ ගලප්පත්ති නමැත්තාව ඒ මන්ත්‍රී තනතුරට පත් කරවා ගැනීමටයි.

නමුත් ගලප්පත්ති ගේ නම, ඡන්දයට පෙර ඡන්ද කොමසාරිස්ට ලබා දී තිබුණු හම්බන්තොට දිස්ත්‍රික්ක ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ නොතිබුණි.

ඡන්ද නීතියට අනුව ඡන්ද කොමසාරිස් කරනුයේ, අදාළ මන්ත්‍රී තනතුර සඳහා මනාප ලයිස්තුවේ ඉහළින් ම සිටින අපේක්‍ෂකයා පත් කිරීමයි. ඉන් පසු ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රී ලෙස දිවුරුම් දිය යුතුය.

මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනහොත් හෝ මරණයට පත් වුණහොත් එවැනි තත්වයක් උද්ගත වුණහොත් එයින් හිස් වෙන මන්ත්‍රී තනතුර සඳහා මනාප ලයිස්තුවේ ඊළඟට සිටින්නා නම් කෙරේ.

තම නායකයෙකු වූ ගලප්පත්ති නමැත්තාව මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීකම සඳහා පත් කර ගන්නට පැවති පෙර කී නිතිය තුළ, ජවිපෙ සැරසුණේ ඡන්දයට කලින් ලබා දී තිබූ ලයිස්තුවේ අපේක්‍ෂකයින් සියලු දෙනාම එක් අයෙකුට පසුව අනෙකා මන්ත්‍රීයෙකු කර, වහාම ඒ නවක මන්ත්‍රීයාට තනතුරෙන් ඉල්ලා අස්වීමට සලස්වා, ලයිස්තුවේ අවසාන පුද්ගලයා ද මන්ත්‍රීකමෙන් ඉල්ලා අස් වූ පසු ගලප්පත්ති ගේ නම ඡන්ද කොමසාරිස්ට යවා, තම අභිප්‍රාය ඉටු කර ගැනීමටයි.

මේ උපාය මාර්ගයේ එක පොඩි කොස්සක් තිබුණි. එය මෙසේ ය.

ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවේ නම තිබුණත්, මනාප කොපමණ ලබා ගත්තත්, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නම්, එක්කෝ යුරෝපීය ක්‍රමයේ ඇඳුම් කට්ටලයකින් සැරසී එහි යා යුතුය, නැතහොත් ජාතික ඇඳුමෙන් සැරසී එහි යා යුතුය, එසේත් නැතිනම්, කපටි ඇඳුම ලෙස සැලකෙන ටියුනික් කොලරය සහිත කමිසය සහ කලිසමක් ඇඳිය යුතුය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජවිපෙ ලයිස්තුවේ සිටි පිරිස එකිනෙකා මේ ආකාරයට දිවුරුම් දෙවන්නට තිබුණු එකම ප්‍රශ්නය වූයේ ඒ අයට පෙර කී ආකාරයේ ඇඳුම් නොමැති වීමයි. අඩු වශයෙන් ඒ එක ඇඳුම් කට්ටලයක් හෝ, බොහෝ විට උසට හතට ගැලපෙන පරිදි ඇඳුම් කට්ටල කිහිපයක් අලුතෙන් මසා ගත යුතු විය.

මා මේ කාරණය දැන ගත්තේ පෙර කී ඡන්දයෙන් සති කිහිපයකට පසු නුගේගොඩ පිහිටි ජවිපෙ රැස්වීමක දී කෙරුණු කතාවකට ඇහුම්කන්දුන් නිසා ය. ඒ කථිකයා (ඒ විමල් වීරවංශ නමින් පසු කලෙක කූප්‍රසිද්ධ වුණු පුද්ගලයා යැයි මට මෑතක දී සිතුණි) ඔය කපටි සුට් මැසීමේ කතාව පැවසූවේ ඒ සම්බන්ධව විස්තරාත්මකව පැවසූ වෙනත් දේශපාලන ඕපාදූප කතාවක කොටසක් ලෙසිනි.

ඒ ඕපාදුපයට අනුව, පෙර කී ආකාරයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජේවීපී ලයිස්තුවේ පිරිස එකා එකා අනු පිළිවෙළට දිවුරුම් දෙන්නට සැරසෙද්දී, එවකට චන්ද්‍රිකා බ. කුමාරතුංග ගේ අගමැති නායකත්වයෙන් පිහිටුවා තිබුණු පොදු පෙරමුණු රජයේ එක්තරා, එදා වීරවංශ ගේ වචනයෙන් "ජීවං නොවන", උප ඇමතියෙකු එක් ජවිපෙ ලයිස්තු අපේක්‍ෂකයෙකුට කොක්ක ගහන්නට තැත් කර ඇත. ඒ නිකං නොවේ, දිවුරුම් දීමට අවශ්‍ය පෙර කී ආකාරයේ ඇඳුම් කට්ටලයක් ද සපයමිනි!

"ජීවං නොවන" උප ඇමතියා ගේ අපේක්‍ෂාව වෙන්නට ඇත්තේ, අවම වැඩි ආසන සංඛ්‍යාවකින් පිහිටුවා තිබුණු ඒ පොදු පෙරමුණු රජයේ දෑත් එක පාර්ලිමේන්තු ආසනයකින් ශක්තිමත් කර ගැනීම විය යුතුය.

ඇඳුම් කට්ටල සැපයුව ද, ජීවං නොවන උප ඇමතියා ගේ සැලසුම සාර්ථක නොවුණු බව අපි දනිමු.

කෙසේ වුවත්, මේ කතාවෙන් අපට පැහැදිලි වන්නේ පිරිමියෙකු ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු ලෙස දිවුරුම් දීමට, සහ ඉන් පසු සභා වාරවලට සහභාගී වීමට, මහජනයාගෙන් වැඩි මනාප ලබා ගැනීමට අමතරව, පෙර කී ආකාරයේ ඇඳුම් කට්ටල ද අවශ්‍ය බවයි.

ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් සඳහා ද මෙවැනි නීතියක් ඇත. එනම්, කාන්තා මන්ත්‍රීවරියන් එහි පැමිණිය යුත්තේ සාරි (හෝ ඔසරි) පටලාගෙන බවය!

සාරියක් නොඇඳ, සර්වාර් කමීස් නමින් හැඳින්වෙන ඇඳුමකින් සැරසී එහි ආ තංගේෂ්වරී කදිරාමන් නම් මන්ත්‍රීවරියට වහාම ආපසු හැරී යාමට 2009 ජූනි මාසයේ දිනක නියෝග ලැබී ඇත.

දැන් මගේ මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන කාරණයට එතොත්, පෙර කී 1994 පාර්ලිමේන්තු ඡන්දයෙන් දශකයකට පමණ පසුව 2004 දී පැවති ඡන්දයේ දී, ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්‍ෂූන් දායක දායිකාවන් ගේ මනාපයෙන් සැබෑ මන්ත්‍රී හාමුදුරුවරුන් ලෙස තේරී පත්වූහ. ඒ, තිලක් කරුණාරත්න විසින් සිහළ උරුමය ලෙස අරඹා, පසුව සඟ සතුකොට පූජා කළ ජාතික හෙළ උරුමිය නම් පක්‍ෂයෙනි.

ඒ මන්ත්‍රී හාමුදුරුවරු සියලු දෙනා ම පිරිමින් බව සැක නැත!

ඇත්තටම කියනවා නම්, ඒ ඇතමුන් පිරිමින් ද කියා නිසැකවම දැන ගැනීම සඳහා වෘෂණ කෝෂ පරීක්‍ෂාවක් ද, එක් දිනයක පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු බව දැන ගන්නට ලැබුණි.

එසේනම්, ඒ පැවිදි පිරිමින් නඩය එදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සහ පසුව දිගින් දිගටම පාර්ලිමේන්තුවට සහභාගීවීමට ඇන්දේ කොයි ඇඳුම් කට්ටලය ද?
යුරෝපීයානු කලිසම්, කමිස, කරපටි සහ කබා ද?
සිංහල හෝ දෙමළ පන්නයේ ජාතික ඇඳුමද?
එසේත් නැතිනම්, ටියුනික් කොලරය සහිත කමිසය සහ කලිසමෙන් සැදුම්ලත් කපටි සූට් එක ද?
ඒ එකක්වත් නොවේ.

ඒ මන්ත්‍රී හාමුදුරුවරුන් සියලු දෙනා දිවුරුම් දෙන්නට ඇන්දේත්, පසුව ඇන්දේත් සිවුරම ය.

එසේනම්, ඔවුන් පාර්ලිමේන්තු ඇඳුම් නීතියෙන් බේරුණේ කෙසේ ද?

ඒ අර කහ සිවුර, කාන්තාවන් සඳහා නියම වී ඇති සාරියක් ලෙස සැලකීමෙනි.

ඒ අනුව එදා ජාතික හෙළ උරුමීයේ සාදුලා පාර්ලිමේන්තු ගොස් ඇත්තේ සාරියේ පිහිටෙන් බව ඔප්පු වේ.

වත්මන් පාර්ලිමේන්තුව සඳහා කතානායක කරු ජයසූරිය විසින් පනවා ඇති නීතිවල ද, පිරිමි මන්ත්‍රීලා සඳහා සිවුරක් ඇඳීම අනුමත වී නැත.

එසේ නම්, අද පාර්ලිමේන්තුවේ සිටිනා අතුරලියේ රතන වැන්නන් එහි සිටින්නේ ද, පාර්ලිමේන්තු නීති පොතට අනුව නම් කහ සාරි පොරවා ගෙන කාන්තාවන් ලෙස ය!

ඇත්තටම ප/ලි [5:45pm AEST]:
මේ ලිපියේ කොටසක් මා ෆේස්බුකියේ වොයිස් කණ්ඩායමේ පළ කළ විට ප්‍රතිචාරයක් දක්වන ධනංජය මෙන්ඩිස් හෙළ උරුමිය මන්ත්‍රී හාමුදුරුවන්ට පෙර පාර්ලිමේන්තුවට ගිය සමසමාජයේ බද්දේගම සමිත පිළිබඳව සඳහන් කර තිබුණි.

බද්දේගම සමිත සාදු පාර්ලිමේන්තු ගොස් ඇත්තේ 2001 දී බව විකිපීඩියාව පවසයි. ඒ නිසා මුලින් ම සාරි නීතියෙන් පාර්ලිමේන්තු ගිය පිරිමියා වීමේ ගෞරවය ඔහුට හිමි ය.

හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තු යන විට, සිවුර සරිය ලෙස සැලකීමේ සම්ප්‍රදායක් බිහිවී තිබුණු බව පෙනේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජි බ්ලොගය අරඹා අදට හරියටම වසර දෙකකි. අද මේ පලවෙන්නේ රසිකොලොජියේ 366 වෙනි ලිපියයි. ඒ සුවිශේෂී අංකයෙන් අදහස් වෙන දේ ඔබ සැම හොඳින් දන්නා බව මම දනිමි.

වසර දෙකක් තුළ ලිපි 366 ක් ලියා පල කිරීමටත්, හිට්ස් 400,000කට වඩා ලබා ගැනීමටත්, ෆලෝවර්ස්ලා 200+ ආකර්ෂණය කර ගැනීමත් මට නම් ලොකු ජයග්‍රහණයකි.

එසේ නමුත්, ගෙවුණු වසර මගේ බ්ලොග් ඉතිහාසයේ ඉතාම දුක්මුසු කාලය බව නොකියාම බැරි ය.

මා සිතන ආකාරයට දේශපාලනිකව මගේ හතුරන් විසින් අටවන ලද උගුල්වල අසුවී, විවිධ අඥානයින් විසින් මට අභූත චෝදනා එල්ල කිරීමත්, කිසිදු සාක්‍ෂියක් ගැන විමසීමකින් තොරව ඒ මුසාවාද පිළිගන්නා පිරිසක් බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් අතර සිටින බව දැන ගැනීමට ලැබීමත් මගේ බ්ලොග් ඉතිහාසයේ කනගාටුදායක ම සිදුවීම විය.

එකොළොස් වසරකටත් එපිට 2005 අප්‍රියෙල් මාසයේ සිංහල බ්ලොග්කරනයට පිවිස, 2009 ජූලි මාසයේ සිට ඉතා උනන්දුවෙන් ඒ කර්තව්‍යයේ නිරත වුණු මා සැමවිට ම ක්‍රියා කළේ සිංහල බ්ලොග් අවකාශයේ, බ්ලොග් ලියන්නන් ගේ යහපත පිණිස ම බව දන්නෝ දනිති.

මගේ එකම සතුට එයයි!

මිතුරු සතුරු සැමට ජයවේවා!