Tuesday 24 July 2018

කළු ජූලිය සහ ජවිපෙ - Thanks JVP


යම් කිසි පුද්ගලයෙකු හෝ සිදුවීමක් පිළිබඳ පුවත "ජාත්‍යයන්තරයට යෑමක්" ගැන අද සමහර මාධ්‍යවලින් ඇසේ. ඒ නිසා ම, ඒ යෙදුම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට ද බෝ වී ඇත.

එසේ වුවත්, ජාත්‍යයන්තර යන වචනයේ අරුත ජාතීන් අතර යන්න නිසා, මේ ජාත්‍යයන්තරයට යෑම යනු නිවැරදි යෙදුමක් නොවන බව භාෂා විශාරදයින් ගේ මතයයි.

ජාත්‍යයන්තරයට යෑම යන්නෙන් අද අදහස් කෙරෙන කාරණයට සමාන තේරුමක් ගෙන ඒම සඳහා, අප දන්නා කාලයේ යෙදුණේ ලෝක ප්‍රසිද්ධ වීම යන්නයි.

සමහරු පවසන ආකාරයට ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ තේ නිසා ය. සමහරුන් පවසන්නේ මැණික් නිසා කියා ය.

රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ගත කල, සමහරුන්ට අනුව ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ 2009 දී ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි පැවසෙන ඇල්ටීටීය පරාජය කිරීම නිසා ය. තවත් සමහරුන් පවසන්නේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම වූයේ 2006 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම කියා යි.

නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ගියේ එසේ නැති නම් රටේ සිදුවූ ලෝක ප්‍රසිද්ධියට කෙසේ වෙතත් ලෝක කූප්‍රසිද්ධියට පත් වූ සිදුවීම වූයේ රටේ නමට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ 1983 ජූලි ජාතිවාදී කලබලය බව මගේ අදහසයි.

මා මේ කෙටි සටහන ලියන්නේ ඒ කුරිරු ජාතිවාදී මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන කතා කිරීමට නොව, ජූලි කලබලයේ අතුරු ඵලයක් ලෙස සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණේ තහනම සහ ඉන් කලකට පසු රටේ ඇති වුණු විනාශකාරී තත්වය ගැන මගේ අදහස ඉදිරිපත් කිරීමටයි.

ජූලි ජාතිවාදී ප්‍රහාරවලින් දින දෙකකට පමණ පසුව, එදා බලයේ සිටි විධායක ජනාධිපති ජේආර් ජයවර්දෙන කළේ ජනතා විමුක්ති පෙරමුණ ද, කේපී සිල්වා ලේකම් වූ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ද, වාසු-බාහුගේ නව සමසමාජ පක්‍ෂය ද, ජාතිවාදී කෝලාහල මුවාවෙන් රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළේ ය යන භයානක චෝදනාව යටතේ තහනම් කිරීමයි. ඒ ඒ පක්‍ෂවල නායකයින් සිරභාරයට ගැනීමට නියෝග කරන ලදී.

මුලින් ම පොලිසියට භාර වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ය. පැවැත්වුවා යැයි කියන ලද පරීක්‍ෂණයකින් පසුව ඔවුන්ව නිදහස් කර පක්‍ෂ තහනම ඉවත් කරන ලදී.

නව සම සමාජ පක්ෂයේ නායකයින් මාස කිහිපයක් සැඟවී සිට පසුව විජය කුමාරණතුංගගේ මැදිහත්වීම සහිතව එළියට පැමිණි පසු නිදහස් වූ අතර පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී.

නමුත් 1983 ජූලියේ දී ම යටිබිම්ගත වූ ජවිපෙ නායකයින් පසුව ඔවුන්ව මරා දමන තෙක් ම එළියට ආවේ නැත.

ජූලි කලබලවලින් මද කලකට පසුව ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ යම් දේශපාලන කණ්ඩායමකට විරුද්ධව නඩුවක් පැවරුණ ද, ඒ උඩුවරගේ හෙන්රි පෙරේර වැනි පිරිසක් සම්බන්ධව සිටි ජාත්‍යන්තරය තියා ලෝකල්බූවාලාවත් නොදන්නා කණ්ඩායමකට විරුද්ධව මිස ජනතා විමුක්ති පෙරමුණට හෝ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට හෝ නව සමසමාජ පක්‍ෂයට හෝ විරුද්ධව නොවේ!

ජූලි කලබල සම්බන්ධයෙන් හෝ ඒ අව්අස්සේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට හෝ ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නැති නම්, විජේවීර සහ ගමනායක වැනි අය හැංගී නොසිට එළියට නොඑන්නේ ඇයි දැයි මා දිනක් රංජිතන් ගුණරත්නම්ගෙන් විමසූ විට ඔහු කීවේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් එළියට ආවොත් ඔවුන්ව මරා දැමීමේ තර්ජනයක් ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිගරුකව එළියට පැමිණ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නැවත දේශපාලනයේ යෙදෙනු වෙනුවට ජවිපෙ නායකයින් කළේ දිගින් දිගටම බිම් ගත ව සිටිමින්, උතුරේ අරගලයට විරුද්ධව බහුතර සිංහල ජනමතය දිනාගැනීම සඳහා මුලින් ජාතිවාදයට කප්පම් නොදෙනු, ජනතාවට අයිතීන් දෙනු වැනි සටන් පාඨ, උතුරේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද වැනි පොත්පත්, විජේවීරගේ පණිවිඩ රැගත් කැසට්පට නිකුත් කරමින් සිට පසුව 1987 ශ්‍රී ලංකා-ඉන්දියා සාම ගිවිසුමෙන් පසුව, බැංකු මංකොල්ලකෑම්, ටී-56 සහ ගල්කටස් සටනක් හරහා දස දහස් ගණනකගේ ජීවිත ද සමග විනාශය කරා යාමයි.

මා 1983 සිට 1989 දක්වා ලැබූ අත්දැකීම් මත ජවිපෙට ස්තුතිවන්ත වෙන එක් කාරණයක් තිබෙන බව ද කිව යුතු ය.

එය නම් රට, ජාතිය, මව්බිම, දේශප්‍රේමය වැනි වචන සටන්පාඨ ලෙස ඉදිරිපත් කරන දේශපාලන කණ්ඩායම් සැබැවින් ම අවස්ථාවාදී නරුම භ්‍රෂ්ඨයින් බව සක්සුදක් සේ ඔප්පු කිරීමයි.

එය 1990 සිට ගතවෙමින් තිබෙන පසුගිය දශක තුනක පමණ කාලයේ දී දියෙන් කිරී වෙන්කර හඳුනා ගැනීමට මට ඉතා ප්‍රයෝජනවත් විය.

-රසිකොලොජිස්ට්