Monday 14 August 2023

ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්! - Private money for higher education industry


මං "මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!" කියන අපේ කාලේ කැම්පස් කතාව දවස් දෙකතුනකට කලින් පළ කළේ, අවුරුදු එකොළහකටත් වඩා කලින් ලියා තිබුණු මේ ලිපියත් පළකරන්න හිතාගෙනයි.

පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සහ පක්ෂව (එදා වගේ ම අදත්) කෙරෙන විවාදයට සම්බන්ධ වෙලා "මගේ අත්දැකීම්" අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුමක් ඉදිරිපත් කිරීමයි මගේ අදහස.

මෙතන "මගේ අත්දැකීම්" කියන්නේ රටවල් තුනක විශ්වවිද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්වවිද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේ දී ම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විසි දෙකකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

මොකක්ද මෙතන කේස් එක?
ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්වවිද්‍යාලවල ඉඩ නැති වීම.

ඒකට හේතුව මොකක්ද?
හේතුව තමයි විශ්වවිද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම.

ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?
ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?
ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

ශතවර්ෂ හතක් අටක් පරණ විශ්වවිද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි ම හිතන්නේ. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේ ම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන ලංකාවේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්වවිද්‍යාලවලයි! එහෙම නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙකු ගැන දන්නවා නම්, මට ඒ විශ්වවිදයාලයේ නම කියන්න කෝ.

මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදලාලි ලා සල්ලි දාලා පටන් ගත්ත ඒවා නොවෙයි!

සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්වවිද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවා ද?

පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්වවිද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?
ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට කාලෙකට ඉස්සර දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන් ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරඹුවේ!

අදත් ඒ කතාබහ එලෙසම තියෙනවා.

ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ මීට වඩා සල්ලි නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ? කොහොමද ඒවා රජයේ විශ්වවිද්‍යාලවලට යොදාගන්නේ?
ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ළඟයි.

ඒ මුදල් ලබාගන්න නම් විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

උදාහරණයකින් පැහැදිලි කළොත්?
හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකට ම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

"උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය" කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.

http://en.wikipedia.org/wiki/HECS#HECS

මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?
හොඳම වාසිය තමයි කපා කපා කෑලි කපා දැම්මත්, රට ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න බලාගෙන නිෂ්මිලා, බාලේලා, වෙනුරලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුණත් මේකට එකඟ වෙන්න පුළුවන්වීම.

ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක් ද?

සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

පුද්ගලික විශ්වවිද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා.

මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!
https://rasikalogy.blogspot.com/2023/08/case-for-private-universities.html


-රසික සූරියආරච්චි

ප/ලි:
හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

(image: )

Saturday 12 August 2023

මුදලාලි ගෙ මෝඩ පුතා - A case for private universities!


පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන විවිධ අදහස් ආපහු ඇහෙන්න පටන් අරන්. මේ දවස්වල නං ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩලය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක්.

අපේ යුනිවසිටි කාලේත් ඔය වගේ කචල් තිබුණා විටින් විට. ඇම්බීබීඇස් දෙන තිප්පොලවල් ගැන විතරක් නෙමේ පොදුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන.

ඒ වෙන කොට උසස් අධ්‍යාපන පනතට කරලා තිබුණු සංශෝධන නිසා පෞද්ගලික ආයතනවලට උපාධි දෙන්න බලතල පවරන්න ආණ්ඩුවට බලය ලැබිලයි තිබුණේ මට මතක හැටියට.

මේ සංශෝධනවලට එරෙහිව මහා විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩලය හෙවත් අපි කියපු විදියට අයියුඑස්එෆ් එකෙන්.

පේරාදෙනියේ අපි පිහිටුවලා තිබුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙවත් ඒසී එකෙන් ඒ හා සම්බන්ධ වැඩකටයුතු කරන්න පටන් ගත්තා.

විශ්වවිද්‍යාලයම පුරා විතරක් නෙමේ ඒ දවස්වල පේරාදෙණියේ ඉඳලා නුවරටමත් අපි පෝස්ටර් ගහනවා. සිගරට් බට් එක තීන්තවල ඔබලා, අලි මුඩුක්කුවෙන් ගන්න පෝස්ටර් කඩදාසිවල අකුරු අඳින එක හරිම ජොලි වැඩේ.

මේ දවස්වල අපි හිටපු නේවාසිකාගාරයේ තිබුණු කැෆටේරියා එක කළේ හොඳ ජොලි මුදලාලි කෙනෙක්. නියම කට්ට පෙනුමක් තිබුණු හින්දා කොල්ලෝ පොරට කාඩ් එකක් ගහලා තිබුණා නරියා මුදලාලි කියලා.

නරියා මුදලාලි ගැනත් හොඳ හොඳ කතා සිහිවෙනවා ලියන්න. නමුත් මේ අද කතන්දරේ මුදලාලිගේ පුතා ගැනයි.

මුදලාලි කොල්ලාත් උදේ හවා හිටියේ අක්බාර් එකේ කැෆටේරියා එකේම තමයි. මුදලාලි තාත්තා එතන නැති වෙලාවට කැෂියර් වැඩේ කලේත් පුත්‍ර රත්නයයි.

පොර අනිවාර්යෙන්ම අපිට වඩා බාල එකෙක්. ඒත් ඉස්කොලේ යන පාටක් නම් පේන්න තිබුනේ නෑ. සමහර විට ඕලෙවල්වලින් ම ඉස්කෝලෙන් අස්වෙලා තාත්තාගේ බිස්නස් එක පුරුදු වෙන්න පටන් ගන්න ඇති. කොහොම වුනත් තාත්තා වගේ නෙමේ ටිකක් මෝඩ පාටක් තමයි කොල්ලාගේ මූණේ තිබුනණේ.

සමහර විට මේ බත් තම්බන රස්සාවට තිබුණු අකමැත්ත හින්දා ඇතිවුණු දුක මූණෙන් පිළිබිඹු වුණා වෙන්න ඇති.

ඔන්න එක දවසක් අපි මහා පන්ති වර්ජනයක් කරලා, පිකටින් කරලා, විශ්වවිද්‍යාලය පුරා පෙළපාලියක් ගිහින්, ගලහ හන්දියේ රැස්වීමක් තියලා අන්තිමේදී දවල්ට කන්න අක්බාර් එකට ආවා.

මුදලාලි හිටියේ නෑ. කැෂියර් එකේ හිටියේ පුත්‍රයා.

පොර හිටියේ මාර ජොලියෙන් බව පෙණුනා. අර මූණේ මෝඩ පාට පැත්ත පලාතේවත් නෑ.

පස්සේ තමයි අපිට වැඩේ තේරුණේ!

කවුන්ටරේ දෙපැත්තේ තියෙන සින්ක් දෙක ලඟ ලොකු නෝටිස් බෝඩ් දෙකේ මහා පෝස්ටර් දෙකක් ගහලා. දෙකේම තිබුණේ එකම සටන් පාඨය.



මේ ලිපියත් කියවන්න:
ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්!
- Private money for higher education industry
https://rasikalogy.blogspot.com/2023/08/private-money-for-higher-education.html
- රසිකොලොජිස්ට්

(image: created using Bing AI image creater using DALL-E)

Saturday 5 August 2023

මා මළ පසු - Upon my death


බුදුන් දෙසූ ධර්මයේ කුමක් තිබුණත් ලංකාවේ "බුඩ්ඩාගම' නැමති බිස්නස් එක කරන කහකඩ ව්‍යාපාරිකයින් විසින් මිනිසුන්ගේ සිතට කාවද්දා තියෙන දෙයක් තමයි මැරුණට පස්සේ ආපහු ඉපදෙනවා ය, සුගතියක ඉපදෙන්න නම් හාමුදුරුවෙකු කැඳවා පාංශුකූලයක් දිය යුතු ය කියන මිත්‍යාව.

මං වැරදි වෙන්න පුළුවන්, හැබැයි මං හිතන්නේ ලංකාවේ කතෝලිකයිනුත් රැවටිලා ඉන්නේ තමන් මැරුණට පස්සේ මිනිය පල්ලිය වත්තේ වැළලුවේ නැත්තං ස්වර්ගයට යන්න බෑ කියලා.

මං නං බිරිඳට කියලා තියෙන්නේ මං මැරුණු දවසට ඔය මළ විකාර කරන්න එපා කියලයි.

මෙන්න මා මළ පසු කළ යුතු දේ.

0. සිරුරේ අවයව දන් දීමට ලියාපදිංචි වී ඇත. (R30-179-890).
     Please call: 1800 777 203.

1. මගේ මිනිය බලන්න කැමති අය ඉන්න පුලුවන් නිසා ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න.

2. අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා නම්:
     පවුලේ අය කතා කරන්න.
     මිතුරන්ට ද කතා කරන්න දෙන්න.

3. මා වචන ලියූ ගී පසුබිමෙන් වාදනය කරන්න.

4. උත්සවයට සහභාගී වෙන අයට වයින්, චීස් සහ ක්‍රැකර්ස් සංග්‍රහයක් කරන්න.

5. වියදම් අඩු ක්‍රමය එය නිසා, සිරුර පුළුස්සා දමන්න.

6. සැමරීමේ දිනවල දී ඒ සඳහා ලංකාවේ පාසල් පුස්තකාලයකට පොත් ලබා දෙන්න.

නොකළ යුතු දේ.

7. ආගමික කටයුතු, ආගමික කතා එපා.

8. පන්සල්වලට දාන එපා.

- රසික සූරියආරච්චි

(image: Lankasara)