
මගේ දියණිය උසස් පෙළ විභාගය සඳහා කලා විෂයයන් තෝරා ගැනීම ගැන මීට වසර කිහිපයකට පෙර මා ලියූ ලිපියක සරදම් බසින් මා නෝක්කාඩුවක් ලියූවේ මේ ආකාරයටයි.
මගේ හදවත බරය. සිත දුකෙන් පිරී ඇත. වෙලාවෙන් වෙලාවට හෝස් ගා සුසුමක් පිටවේ. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා සේ දැනේ.ඒ එදා මා පළ කළ ලිපියේ ව්‍යාකරණ සඳහා සංස්කරණය කළ පිටපතකි.
ඒ මදිවාට මගේ නෙත් දෙක ද තෙත් වී ඇත!
අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුණේ?
අපේ දියණියට උසස් පෙළ විභාගයට කලා විෂයයන් ඉගෙන ගැනීමට අවශ්‍ය වී ඇත!
විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරලා!)
අනේ, සෝමලතා සුබසිංහ වටහාගෙන හිටි ඒ සත්‍යය, දූගේ අම්මයි, මායි දෙන්නම හොඳින් වටහාගෙන පිළිපැදපු ඔය සත්‍යය, අනේ, ඒ සත්‍යය අපේ දුවගේ හිතට කා-වද්දන්න.
අනේ දුවේ මේ මොකක්ද ඔයා කරගන්න යන්නේ?
ඔයා පොඩි කාලේ ම, අම්මා ඔයාට සෙල්ලම් කරන්න මෙව්වා එකක් අරං දුන්නා ඔයාට මතකද?
සීයාගේ වයස මගේ වයස වගේ දෙගුණයයි. ඔයා ගේ වයස මගේ වයසෙන් හතරෙන් එකයි. තව අවුරුදු දහයකින් සීයා ගේ වයස ඔයාගේ වයස වගේ කී ගුණයක්ද? වගේ ගණං ප්‍රශ්න අහලා මං ඔයා ගේ හිතේ ගණිතයට තියෙන උනන්දුව වැඩි කරන්න හැදුවා මතකද?
මෙගා ෆැන්ටා බෝතලේ දාන්න ඕනෑ, ෆ්‍රිජ් එකේ දොරේ කොයි කෙළවරේද, හැන්ඩ්ල් එක තියෙන පැත්තේද, සරනේරුව තියෙන පැත්තේද? වගේ එදිනෙදා සරල ගැටලු ගැන කතා කරලා මං ගූර්ණය වගේ භෞතික විද්‍යා සංකල්ප ඔයාට වටහලා දෙන්න හැදුවා මතකද?
ඉස්සෙල්ලා තාත්තා වගේ කැම්පස් යනවා, ඊට පස්සේ අම්මා වගේ හොස්පිටිතාලේ යනවා කියලා ඔයා පොඩි කාලේ කියනවා අහලා අපේ බබාත් අපි වගේමයි හිතන්නේ පතන්නේ කියලා ඔයාගේ අම්මත් මාත් කොච්චරක් කියලා සතුටු වුණාද?
"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!" ය කියලා මේ ළඟදී දවසක ඔයා කිව්වහම මං මුලින්ම හිතුවේ ඔයා නිකං විහිළුවක් කරනවා කියලයි.
ඒත් අවස්ථාව ලැබුණු ගමන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයයන් ඔයා අලුයම ඉවත ලූ කෙළ පොදක් වගේ බැහැර කරද්දී මට තේරුණා වැඩේ කපෝතියි කියලා දුවේ.
මේ සුව පහසු කොට්ටේ ඉන්නේ නැතුව කූඩැල්ලෙක් වගේ ඉවතට ඇදිලා යන්නේ ඇයි දුවේ?
අඩු තරමේ වාණිජවත්?
ප/ලි
සෝමලතා සුබසිංහ ඇය ගේ ඉහත ගීතයේ කෙලෙස ලිව්වද අන්තිමේ දී ඇගේ දුව කෞෂල්‍යා ෆර්නැන්ඩු ඉගෙන ගත්තේ කලා විෂයයන් ය. ඒ මදිවාට නියමිත අවුරුද්දේ උසස් පෙළ විභාගය නොකළ ඇය ඒ වෙනුවට සුගතපාල ද සිල්වා ගේ මරාසාද් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට ගියා ය. ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ගියේ ඉන් පසුවයි. ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම චිත්‍රපටයේ රඟපානවා දුටු පසු මා ඇය දැක නැත.
ප/ප/ලි
මගේ පියා ජීවත්ව සිටියා නම් ඔහු තම ලොකු මිනිපිරිය තමා මෙන් ඉතිහාසය, භාෂාව වගේ කලා විෂයයන් ඉගෙන ගැනීම ගැන සතුටු වෙනු නොඅනුමාන ය.
-රසිකොලොජිස්ට්
පසු විපරම
ලිපියේ අන්තර්ගතය ගැන
මා එදා ඉහත දැක්වූ ලිපිය ලිව්වේ සරදම් ස්වරයෙනි. නමුත්, එය කියවූ කිහිප දෙනෙකු ම අපේ දියණිය උසස් පෙළ සඳහා ගණිතය හෝ විද්‍යාව හෝ තෝරා නොගැනීම ගැන මා ඇත්තටම දුක් වෙනවා යැයි සිතා මගේ සිත සැනසීමට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි.
අපේ දියණිය ද උසස් පෙළ සඳහා විෂයයන් තෝරා ගත්තේ මගේ බිරිඳ සහ මා අප ඒ වයසේ දී කළ ආකාරයට ම, තම කැමැත්ත අනුව යි.
මගේ දියණිය
ඇය උසස් පෙළ සඳහා හැදෑරූ විෂයයන් මෙසේ ය.
භාෂාව (ඒකක හතරකි)
ඉතිහාසය (ඒකක තුනකි)
නාට්‍යය (ඒකක දෙකකි)
සංසන්දනාත්මක ආගම් (එක් ඒකකයකි)
ඇය ඒ විභාගයේ දී මගේ මිම්මට අනුව අති විශිෂ්ට ප්‍රතිඵල (එනම් විෂයය ඒකක දහයෙන් එකකය පමණක් 88% ක් ද, අන් සියල්ලටම 90%ට වඩා ද ලබා ඒටාර් (ATAR) නම් ඕස්ට්‍රේලියානු තෘතියික අධ්‍යාපන රෑන්කයේ 97.45) ලබාගත් බව සඳහන් කළ යුතු ය.
සන්නිවේදනය (Communications) පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor of Arts) හදාරන කාලයේ ම, මුලින් අර්ධකාලීනව ග්‍රීන්පීස් (Greenpeace) ආයතනයේ ඩිජිටල් මාධ්‍ය සහායක (Digital Assistant) තනතුරක සේවය ඇරඹූ ඇය පසුව පුර්ණ කාලීනව සේවය කරමින් ම පසුගිය වසරේ අග දී උපාධිය නිම කළා ය. ඇය දැන් යුනිසෙෆ් (UNICEF Australia) ආයතනයේ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදක (Digital Content Producer) ලෙස සේවය කරයි. වෙනත් වචනවලින් කියන්නේ නම් ඇය වෘත්තීය බ්ලොග් ලියන්නියකි.
මෙන්න ඇය ලියූ බ්ලොග් ලිපි කිහිපයක්.
ග්‍රීන්පීස් ආයතනය: https://www.greenpeace.org.au/blog/author/rsuriyaa/#.WaipX8ax9OQ
යුනිසෙෆ් ඕස්ට්‍රේලියා: https://www.unicef.org.au/blog?author=3e024094-1069-4696-9d22-744a2aa15735
කෞෂල්‍යා ප්‍රනාන්දු
ආකාස කුසුම චිත්‍රපටයෙන් පසු මා ඇය බොරදිය පොකුණ චිත්‍රපටයේ ද, මීට වසර දෙකකට පමණ පෙර කොළඹ දී මා නැරඹූ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයේ අධ්‍යක්‍ෂකවරිය ලෙසින් ද දුටුවෙමි.
තාත්තා
මගේ පියා ජීවත්ව සිටියා නම් තම මිනිපිරිය තමා මෙන් කලා විෂයයන් තෝරා ගැනීම ගැන සතුටු වෙන්නට ඉඩ තිබුණේ ඔහු ගේ යටි සිතෙනි.
මා එසේ කියන්නේ මක් නිසා ද යත්, ඔහු කිසි දිනක මගේ මල්ලිලා දෙදෙනාට හෝ මට හෝ ඔහු මෙන් කලා විෂයයන් ඉගෙන ගන්නට යැයි කියා නැති හෙයිනි. එසේ කීවා නම්, මුලින් ජීව විද්‍යාව හදාරා පසුව භාෂා, නීතිය සහ පුරා විද්‍යාව කරා යොමු වුණු මගේ සමන් මල්ලී අධ්‍යාපනයට ගත කළ කාලය මීට වඩා ඵලදායීවන්නට ඉඩ තිබුණි.
තාත්තා මිය ගොස් මේ වසරේ දෙසැම්බරයට වසර හතකි!
(image: https://www.youtube.com/watch?v=jyyPTOEpcH8)