
වර්ෂ 1983 පිළිබඳව සිහි කෙරෙන විට නිතැනින් ම අපේ මතකයට එන්නේ දකුණේ ජාතිවාදී කලබල ඇති වූ 1983 කළු ජූලියයි. ඒත් ඒ කූප‍්‍රකට කළු ජූලියට දෙමසකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ ජාතිවාදී කලබලය ගැන දන්නේ රටේ ජනතාවගෙන් ඉතා අඩු ප‍්‍රතිශතයකි. මේ සටහන ඒ පිළිබඳව ය.
විභාග සමත් කළ හැකි උගතුන් වූ පමණින් ම කිසිවකු බුද්ධිමතෙකු නොවන බව අප කවුරුත් අසා පුරුදු කියමනකි. අහන්නන් වාලේ මෙය අසා තිබෙන නිසා ම අදහනු වෙනුවට එහි නිවරද තේරුම අත්දැකුමෙන් ම මනා ලෙස අවබෝධ කරගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා ඇති ප‍්‍රත්‍යක්‍ෂතම මාර්ගය වන්නේ උසස් පෙළ විභාගය සමත් වී ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන පිරිස් පිළිබඳ සමාජ සමීක්‍ෂණයක් කර බැලීමයි. ඉහත කියමන සනාථ කරවන උදාහරණ සපයන්නෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමණක් නොවේ. එහි ඇදුරෝ ද, තම සැබෑ බුද්ධි මට්ටම ප‍්‍රදර්ශනයේ ලා අති දක්‍ෂයෝ ය.
මේ නිසා ම විශ්වවිද්‍යාලීය සමාජය, රටේ පොදු සමාජයේ නිවරැදි පැතිකඩක් නිරූපණය කෙරේ යැයි ඉඳුරාම කිව හැකි වේ. බුද්ධිමත්හු මෙන් ම මන්දබුද්ධිකලා ද, ඥානවන්තයෝ මෙන් ම මහදැණමුත්තෝ ද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ මෙන් ම සියල්ල දත්තෝ ද, ඒ සමගම සිංහයෝ මෙන් ම සිංහ වෙස්ගත් සිඟාලයෝ ද රටේ ප‍්‍රතිශතයන් ට නොඅඩුව විශ්වවිද්‍යාලවල ද වෙසෙති. ඉදින්, රටේ කෙරෙන නොපනත්කම් ඒ අයුරින් ම විශ්වවිද්‍යාලය තුළ ද සිදුවීම අරුමයක් නොවේ. එසේම, විශ්වවිද්‍යාලයේ සිටින්නන් විභාග සමත් වූවන් වන නිසා, සමහර විට රටේ යම් නොපනත් කමක් වීමට පෙරාතුව ම එය කිරීමට සහ හැකිනම් එය ඊටත් වඩා තිරශ්චීන ලෙසින් කිරීමට, ඔවුන් සමත් වනු ඇත.
මේ දිගු හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, 1983 කළු ජුලියට පුරෝධාවකයක් වෙමින් ඊට මාස දෙක හමාරකට පෙර, මැයි 11 දින, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ අශෝභන, තිරශ්චීන සිදුවීම් කිහිපයක් සහ ඒ සම්බන්ධ වෙනත් කරුණු, මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ගේ දැන ගැනීම පිණිස සටහන් කිරීමටයි.
අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, හිල්ඩා ඔබේසේකර, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් නාමාභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන සුවිසල් මහල් ප‍්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදුකාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්‍ෂණයන් විදහා දක්වන පරිදි මනා නිමැවුමකින් යුතුව සාදන්නට හැකිවී ඇත්තේ කොරියන් යුද්ධයේ අතුරු ඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය සවිමත්ව තිබූ සමයක එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණු නිසා බව කියවේ.
පරිසරයේ සොඳුරු බව කෙසේ වූව ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය නම් දුෂ්කර වූ ද, කටුක වූ ද එකක් බව නන්දා මාලිනිය ගැයූ සුනිල් ආරියරත්න ගේ "හන්තාන අඩවියේ - පේ‍්‍රමයේ සුවඳ නොවේ" පදමාලාවෙන් මොනවට කියැවේ.
පුරා සිව් වසරක් ඒ හන්තාන අඩවියේ මා ගත කළ දිවියෙන් මගේ ජීවිතයට වූ යහපත කුමක්දැයි කිසිවෙකු මගෙන් විමසුව හොත් මා දෙන උපහාසාත්මක පිළිතුර නම්, ඒ වෙන කිසිවක් නොව අක්බාර්-නෙල් ශාලාවේ භෝජනාගාරයෙන් කොළ ගෝවා මැල්ලූම, මුං ඇට හොදි සහ මස් බොර සමග ලොකු ඇට හාලේ බත් රස ගුණ නොබලා ගිල දැමීම නිසා දශක දෙකකට පසුවත් අදත් මට ඕනෑම කුණු ගොඩක් ගිල නොවමාරා දිරවා ගන්නට ඇති හැකියාව බවයි.
ඒ සරදම් කෙසේ වෙතත්, මගේ පේරාදෙණිය සිව් වසරක ජීවිතයෙන් මා ලැබූ වටිනාම අත්දැකුම වන්නේ උතුරෙන්, නැගෙනහිරෙන් පැමිණි දෙමළ සිසුන් ඇසුරු කිරීමට ලැබීමයි. අපේ ඉංජිනේරු පීඨ කණ්ඩායමේ දළ වශයෙන්, සිංහල සිසුන් 125 ක් පමණ ද, දෙමළ සිසුන් 100 ක් පමණද, මුස්ලිම් සිසුන් 25 ක් පමණ ද වූහ. ඒ දෙමළ, මුස්ලිම් සිසුවෝ ද මා කලින් සඳහන් කළ ලොකු ඇට හාලේ බත්, ගෝවා කොළ මැල්ලූම සමග කෑහ. එසේ හෙයින්, අප වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම එක හැලියේ බත් කෑ අය වෙමු. මේ නම් මා මහත් භාග්‍යයක් කොට සලකන සුවිශේෂ වූ අත්දැමීමක් ම විය. එය මා පාසැල් සමයේ දී සිංහලෙන් කතා කළ බෞද්ධ දෙමළ සිසුවෙකු වූ සෙල්වකුමාර් සමග කළ ඇසුරෙන් ලද අත්දැකීම් වලට වඩා සැම අතින්ම වෙනස් එකක් විය.
උතුරු-නැගෙනහිරෙන් පැමිණෙන සිසුවෝ අති මහත් බහුතරයක් සිංහල බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන පේරාදෙණියට පැමිණෙති. සමස්ත සිංහල සිසු පිරිසම එලෙස ම දෙමළ බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන එහි පැමිණෙති. අපේ සන්ධාන භාෂාව වන්නේ, පිඨයේ උපදේශක භාෂාව ද වන ඉංග්ලිෂ් ය. පේරාදෙණියේ වාසය කිරීමට ලිවීම කෙසේ වෙතත්, සිංහල තරමක් කතා කරන්නටත්, බස් රථ පුවරුවක් වත් කියවා ගන්නට හැකි තරමට සිංහල කියවීමේ දැනුමකුත් අවශ්‍යවේ. නවක සිසුන් සැම දෙන සඳහා ඉංග්ලිෂ් කඩිනම් පාඨමාලා පැවැත්වෙන අතර ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් නොතිබුණ ද නවක දෙමළ සිසුන් ට ජ්‍යෙෂ්ඨ දෙමළ සිසුන් විසින් කඩිනම් සිංහල කතාබහ පාඨමාලා සංවිධානය කෙරේ. මේ අතර තුර සිංහල දෙමළ සිසුන් දෙපිරිස අතර කතාබහ, මුල දී කණ්ඩායම් පැවරුම් විද්‍යාගාර කි‍්‍රයාකාරකම් වැනි අත්‍යාවශ්‍ය අධ්‍යාපනික කරුණු අරභයා ද, පසුව ඊට අමතරව විහිළු තහළු සහ අනෙකුත් සමාජමය කරුණු අරඹයා ද, බැරි බැරි ගාතේ ඉංග්ලිෂ්වලින් පටන්ගෙන පසුව ඉංග්ලිෂ්වලින් සහ හැකි පරිදි සිංහලෙන් ද සිදුවීම ඇරඹේ. මේ හේතුවෙන් දෙපිරිස අතර අනෝන්‍ය අවබෝධයක් මෙන්ම සුහදතාවක් ද ඇතිවේ. මෙය නම් වෙන කිසි තැනෙක නොලැබෙන සැබෑ භාග්‍යයකි.
අපේ පිඨයේ වැඩි ශිෂ්‍ය දේශපාලනයක් නොතිබුණි. ඒ කෙසේ වෙතත්, දෙමළ සිසුන් මේ අරභයා අනුගමනය කළේ නිශ්කී‍්‍රය පිළිවෙතකි. එයට හේතුව සරලය. අපේ තාත්තලා ගේ කාලයේ යම් ප‍්‍රගතිශීලි අදහසක් දැරුවෙක් වෙත්නම් ඔහු සමසමාජ කාරයෙක් සේ හංවඩු ගැහුණා සේම, අපේ කාලයේ යම් සමාජ ප‍්‍රතිගාමී කි‍්‍රයාවන් ට විරෝධතාවයක් දැක්වූයෙක් වූයේ නම් ඔහු ජේවීපී කාරයෙක් වූවා සේ ම, එවැන්නෙක් දෙමළ වූයේ නම්, ඒ 1983 ජූලියට පෙර සමයේ පවා ඔහු එල්ටීටීඊ කාරයෙක් බවට සැකයට භාජනය වන්නට ඉඩ තිබුණු බව දෙමළ සිසුන් හොඳින් දැන සිටින්නට ඇත. පසුව මා විස්තර කරන්නට අදහස් කරණ පරිදි සිදුවුණේ ද එයයි.
අප ඒ සුන්දර පේරාදෙණිය පරිසරයේ, අන්තර් ජනවාර්ගික සාමකාමී සහජීවනයේ යෙදෙමින් සිටි මේ සමයේ උතුරේ සටන, එහි මුලික හේතුව වූ ජනවාර්ගික ප‍්‍රශ්නය යටපත් කරමින්, බිම්බෝම්බ රැගත් දෙමළ ත‍්‍රස්තවාදයෙන් ද, පුස්තකාල ගිනිතැබීම්, අතුරුදහන් වීම් යනාදිය පෙරටු කොට ගත් රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් ද, ඉන්ධන ලබමින් හොඳින් ගිනිගන්නට පටන් ගෙන තිබුණි. මෙසේ කාලය ගත වෙද්දී, මගේ මේ ලිපියට උදෘත වී ඇති මැයි 11 දිනය උදාවිය.
බුද්ධිමතුන් පරදා මන්දබුද්ධික ලා රජ වූහ. ඥානවන්තයන් වෙනුවට මහදැනමුත්තෝ උපදේශක ලා වූහ. සිංහයන් වෙනුවට සිංහ වෙස්ගත් සිඟාලයින් පෙරට ආහ. සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංහතියටම නින්දා කෙරිණ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන කැළලක් ඇතිවිය. සැලසුම් සහගතව කෙරුණා යැයි සැක සිතෙන තරමට සුක්‍ෂම ලෙස කුඩා පිරිසක් විසින් අරඹන ලදුව, ඔවුන් ගේ උසිගැන්වීමෙන්, සිංහල සිසුවෝ පිරිසක් විසින් දෙමළ සිසුන් කිහිපදෙනෙකුට පහර දුන්නෝ ය. නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දුන්නෝ ය. මැයි එකොළහ රැය කෑලි කැපිය හැකි ඝනදුරෙන් යුතු තිත්ත කළුවර රැයක් විය.
මෙහි දී කැපී පෙනෙන සිදුවීමක් වූයේ, මේ තිරශ්චීන සිදුවීම් මාලාව ගැන, සාක්‍ෂි මත පදනම්ව, ලියවී ඇති ලිපිවලට අනුව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ට නිසි මග පෙන්වීමට සිටි ආචාර්ය මහාචාර්යවරුන් ඇතමෙක්, එසේ උපදෙස් දීම කෙසේ වෙතත්, මේ අමානුෂික කි‍්‍රයාවලට වක‍්‍රාකාරයෙන් හෝ සහය දීමයි.
තම ආරක්‍ෂාව පිළිබඳ බැරෑරුම් ප‍්‍රශ්න මතුවීම නිසා බියට පත් දෙමළ සිසුවෝ පසුවදා ම විශ්ව විද්‍යාලය අතරහැර තම ගම් බිම් බලා ගියහ.
මැයි එකොළහ කළුවර රෑ ආමනුෂික සිද්ධීන් පිළිබද වැඩි විස්තර මා මේ සටහනේ දෙවන කොටසෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මේ සිද්ධීන් හා සම්බන්ධයෙන් එතෙක් කිව යුතු ධනාත්මක කරුණු දෙකක් ඇත.
මින් පළමුවැන්න නම්, නිවෙස් බලා ගිය තම දෙමළ සගයින් ගේ ආරක්‍ෂාව තහවුරු වී ඔවුන් යළි විශ්ව විද්‍යාලයට පැමිණෙන තෙක් ම, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ පැසසුම් සහගත දුරදර්ශී නායකත්වය යටතේ, ඉංජිනේරු සිසුන් දේශන සහ අනෙකුත් අධ්‍යාපන කටයූතු වලට සහභාගී වීමෙන් වැළකී සිටි බවයි. උගතුන් අතර බුද්ධිමතුන් ද, මහදැනමුත්තන් අතර ඥානවන්තයින් ද සිටිනා බව මට පසක් විය.
දෙවැන්න නම්, එදා දෙමළ සිසුන්ට අඩන්තේට්ටම් කිරීමට ගිය මැරයන් ගැයූවායැයි පැවසුණු "කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනූ" යනාදී ජාතිවාදීන්ට උඩ ගෙඩි සැපයෙන ගීත නිර්මාණයෙන් සුනිල් ආරියරත්නයෝ ද, නන්දා මාලිනිය ද ඉන් පසු සහමුලින් ම පාහේ වැළකුණු බවයි. ඔහු ඉන් පසු ලියූවේ, ඇය ඉන්පසු ගැයූවේ, "උරය පලා සැතකින් බලන් රුහිරූ, එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ" වැනි ගීත ය.
මින් මාස දෙකහමාරක් ගතවෙන්නටත් පෙරාතුව කූප‍්‍රකට කළු ජූලිය එළැඹිණ. ඒ නරුම දේශපාලන ප‍්‍රවාහය මදක් අත් විඳ සැලීගිය සිතකින් යුතුව මා ලියූ පහත කවෙන් මේ මැයි එකොළහ කළුවර රෑ ලිපියේ පළමුවන කොටස අවසන් කරමි.
ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහිණ
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවින!
"මැයි එකොළහ කළුවර රෑ" සටහනේ දෙවන කොටසින් යළි හමුවෙමු.
-රසික සූරියආරච්චි
මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983
http://rasikalogy.blogspot.com/2018/05/aftermath-of-racial-violence-at.html
(image: https://www.flickr.com/photos/charithmania/33688270383)