Showing posts with label මගේ ළමා දිවිය. Show all posts
Showing posts with label මගේ ළමා දිවිය. Show all posts

Friday, 6 March 2026

කිරි මතක - Nespray and Lakspray

මගේ මුල්ම මතකය ඇති කාලේ මා මෙන්ම මගේ බාල සොයුරන් දෙදෙනා ද බිව්වේ නෙස්ප්‍රේ full cream milk නමැති කිරිපිටි වර්ගයයි.

මේවා එකල වෙළඳපොලේ මිලදී ගන්නට තිබුණේද යන්න මම නොදනිමි. නමුත් මා දන්නා කාරණය නම් අපේ තාත්තා මේවා මිළ දී ගත්තේ ඔහු එවකට සේවය කළ බොල්ලත මහා විද්‍යාලය නම් පාසල අසල හන්දියේ පිහිටි කඩෙන් බව ය.

එකල, අදාල හිමිකම ඇති කූපන් පොත්වලට පමණක් මිලදී ගැනීමට හැකියාව තිබුණු මෙම කිරිපිටි වර්ගය කූපන් හිමි යා විසින් සුළු මුදලකට මුදලාලිට විකුණන ලදුව කඩේ මුදලාලිගේ ලාභය ද ගෙවා මගේ පියා මිලට ගත් බව සිතමි.

ටික කලකින්ම ලස්ස්ප්‍රේ නැමැති කිරිපිටි වර්ගය වෙළඳ පොළට පැමිණි බව මගේ මතකයයි. ප්‍රාථමික අවධියක තිබුණු මේ කිරිපිටි තේ හා මිශ්‍ර කරනවිට විශාල ලෙස කැටි ගැසේ. එය වැළැක්වීමට තිබුණු ක්‍රමය වූයේ රිපිටි සහ ශ්‍රීනි මුලින් මිශ්‍ර කර ුණා ක්‍රමක්‍රමයෙන් තේ වතුර බිඳෙන් බිඳ එකතු කරමින්, වේගයෙන් කළතමින් තේ කෝප්පය සාදා ගැනීමයි.

මේ ක්‍රියාවලියේ මුල් ම අවධියේදී ිශ්‍ර කළ සීනි සහ කිරිපිටි ස්වල්පයක් හැන්දෙන් කටට ගෙන කෑමට සිතීම පුදුමයක් නොවේ.

බුදු අම්මෝ එවැනි රසක්!

ඉදින්, ටික කලකින්ම මගේ ප්‍රාර්ථනය වූයේ, කෙදිනක හෝ ලොකු මහත් වී රැකියාව කරන කාලය එළඹුණු පසු මගේ මුල්ම වැටුපෙන් ලක්ස්ප්‍රේ පැකට් එකක් සහ සීනි රාත්තලක් මිළ දී ගෙන එකට මිශ්‍ර කර කෑම යි.

එකල මා සිටියේ හත්වෙනි ශ්‍රේණියේ විය යුතුය.

අධ්‍යාපන වැට කඩුලු අතික්‍රමණය කර, සිව් වසරක විශ්ව විද්‍යාල ජීවිතය ද අවසානයේ මා රැකියාවකට ගියේ ඊට අවුරුදු එකොළහකට පසුව ය.

නමුත් මේ දක්වා මගේ කුඩා කාලයේ ඒ ලක්ස්ප්‍රේ සහ සීනි බලාපොරොත්තුව ඉටුකර ගැනීමට මට සිතුණේ නැත.

අද එය සිහිවුණ ද, මේ වනවිට මගේ සීනි කෝටා එක අවසන් වී ඇත.

- රසික සූරියආරච්චි

(image: ෆේස්බුක් එකේ පළ වී තිබුණු රූපයකි.)

Tuesday, 14 October 2025

අතට අතදීම - To shake a hand, you need a firm mind


මේ සමග ඇති ශානිකා සෝමතිලක ගේ අනගි කාටූන් නිර්මාණය දුටු විට සිනහව අතරින්ම පරණ සිදුවීමක් මගේ සිහියට නැගුණි.

ඒ මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සිදුවූවකි.

ඒ. ඩී. සිසිරප්‍රේම කුමාර යනු මා සමග කොස්සින්න සීලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, එකල කොස්සින්නේ ම පදිංචිව සිටි, සම වයසේ සිසුවෙකි. පහේ පන්තියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ පැවැත්වුණු විභාගයෙන් සමත් වූ අප දෙදෙනාට ම හයවෙනි ශ්‍රේණියේ සිට ඒ ප්‍රදේශයේ හොඳම පාසල ලෙස ඒ කාලයේ සැලකුණු ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි.

ඉන්පසු හත්වෙනි ශ්‍රේණියේ මෙන්ම අටවෙනි ශ්‍රේණියේ ද අප දෙදෙනා ම සිටියේ එකම පංතියේය. මේ නිසා අප දෙදෙනා නමවෙනි ශ්‍රේණියේ අවසානය දක්වාම වාගේ හොඳ මිතුරන් ලෙස සිටි අතර, එනිසාම, ඔහුගේ වාසගම වූයේ අක්මීමනගේ දොන් බව ද දශක ගණනාවකට පසුව ද මගේ මතකයේ රැඳී ඇත.

අප ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ හයවෙනි ශ්‍රේණියේ දී අපේ පන්තිය භාර ගුරුවරයා වූයේ ජේ. ඒ. කුලරත්න හෙවත් ජයසිංහ ආරච්චිගේ කුලරත්න මහතා ය. ඔහු අපේ ගණිතය ගුරුවරයා ද විය. ඒ ජයසිංහ කතාව අප එකල දැන සිටියේ නැත.

හයවෙනි ශ්‍රේණියේ සිටි සිසු සිසුවියන් හත්වෙනි ශ්‍රේණියට, අටවෙනි ශ්‍රේණියට උසස් වෙද්දි අපේ පන්තිය භාර කුලරත්න සර්ට ද ඒ ආකාරයටම උසස්වීම් ලැබුණි.

අටවෙනි ශ්‍රේණියේ පාසල පැවැත්වුණු මේ සිදුවීම වූ දිනයේ කුලරත්න සර්ගේ ගණිතය කාලපරිච්ඡේදයේ දී, කුමක් හෝ හේතුවක් නිසා, ප්‍රේමකුමාර සහ මා අතර යම් විරසකයක් ඇති විය. එයට හේතුව කුමක්ද කියා මගේ මතකයේ අද දක්වා රැඳෙන්නට සටහන් වී නැති නමුත්, මා සාමාන්‍යයෙන් "වලියට බර", වෙනත් අය සමඟ ලේසියෙන් ආරවුල්වල පැටලෙන අයෙකු නොවන බැවින් බොහෝ විට මෙහි දී සිදුවන්නට ඇත්තේ යම්කිසි ම විවාදාත්මක කරුණක් පිළිබඳව අප දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක් විය යුතුය.

ඒ සමගම කිවහැක්කේ, අපට ඒ වැනි විවාදයකට මග පෑදෙන්නට ඇත්තේ ගුරුවරයා විසින් කුමක් හෝ ගණිතය ප්‍රශ්නයක් විසඳන්නට අපට අණකර වෙනත් වැඩක් කරමින් සිටි කාලයේ දී බව ය.

කෙසේ හෝ අප දෙදෙනාගේ කසුකුසුව, විවාදය හෝ ආරවුලේ ශබ්දය කුලරත්න සර් ගේ කනට වැටුණි. ඒ බව මට වැටහුණේ අප දෙදෙනාට වහාම පන්තිය ඉදිරියට පැමිණෙන ලෙස ඔහු අණ කළ විට ය.

කුලරත්න සර් යනු හොඳ ගුරුවරයෙකු බව මගේ අදහස විය. ඒ මක්නිසාදයත්, ඔහු අපේ පන්තියේ සිටි කිසිදු සිසුවෙකුට පහර දෙනවා දැක ඇතිබවක් මගේ මතකයේ නැති නිසා ය.

මෙතනදී ද අප දෙදෙනාගෙන්ම කරුණු විමසා නඩුව ඇසූ කුලරත්න සර් තම විනිශ්චය දෙමින් අපට පවසා සිටියේ "අතට අත දී" යළි මිතුරු වෙන ලෙස ය.

මේ වනවිට ප්‍රේමකුමාරගේ අසාධාරණ කතාව, තර්කය, හෝ ක්‍රියාව නිසා මගේ සිතේ ඔහු ගැන ඇති වූ කෝපය නිවී තිබුණේ නැත. එනිසා ඔහුට එවේලේ අතට අත දුන්නා නම් එය මවාපෑමක්, රඟපෑමක් මිස සිතට එකඟව කරන කාර්යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් මා කළේ කුමක්දැයි සිතාගත හැකිද?

"මෙයාට අතට අත දෙන්න මට බැහැ!" යැයි මම ගුරුවරයාට පවසා සිටියෙමි.

තමන්ගේ අණට අවනත නොවීම යනු ගුරුවරයෙකුට සිසුවෙකුට පහරදීමට ඇති හොඳ අවස්ථාවකි.

නමුත් කුලරත්න සර් එසේ නොකළේ ය.

බොහෝවිට එයට හේතුව වෙන්නට ඇත්තේ මගේ ස්ථාවරය සහ ප්‍රකාශය අවංක එකක් බව ඔහුට වැටහීමයි.

හයවෙනි ශ්‍රේණියේ සිට ම ඔහු මා හොඳින් හඳුනන නිසා, පන්තියේ පළමුවෙනියා හෙවත් හොඳම ශිෂ්‍යයා ලෙස මා තබා ඇති වාර්තාව පිළිබඳව හොඳ අවබෝධයක් ඔහු සතුවීම ද එයට හේතුව වන්නට ඇත.

ප්‍රේමකුමාර සහ මම, නිසොල්මනේ ආපසු අපේ ආසන වෙත ගොස් අසුන් ගත්තෙමු. බොහෝ විට දින කිහිපයකට පසු මගේ කේන්තිය නිවී ගොස් යළි සමාදාන වෙනතුරු අප දෙදෙනා කතා බහකින් තොරව ඉන්නට ඇත.

- රසික සූරියආරච්චි

පසුකතා 1:
කුලරත්න සර් අප සමගම අටවෙනි ශ්‍රේණිය දක්වාම උසස්වීම ලැබූවද, එය එතැනින් අවසාන විය. අපේ පන්තියේ පිරිස නමවෙනි ශ්‍රේණියට ගිය විට දැනගත්තේ පෙරේරා නම් ගුරුවරයෙකුට අපේ පන්තිය භාර දී ඇති බවයි.

කුලරත්න සර් මට නැවත හදිසියේ මුණ ගැසුණේ කොළඹ එන් අයි බී එම් ආයතනයට පුද්ගලයෙකු මුණගැසීම සඳහා මා ගිය දිනයේ ය. ඒ 1993 වසර යැයි සිතමි.

පසුකතා 2:
ජේ ඒ කුලරත්නගේ වාසගම ජයසිංහ ආරච්චිගේ බව මා දැන ගත්තේ මා නමවෙනි ශ්‍රේණිය අවසානයේ ගලහිටියාව පාසලේ අධ්‍යාපනය අවසාන කොට උසස් අධ්‍යාපනය සඳහා කොළඹ පාසලකට ගොස් වසර විස්සකට පමණ පසු, මා එකල පර්යේෂණ කටයුත්තකට සම්බන්ධව සිටි මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඔහුගේ දියණිය මා කවුදැයි නමෙන් හඳුනාගෙන මා සමග දුරකථනයෙන් කතා කළ විටය.

ඇය මෙල්බර්න් නුවර සේවයේ නිරත ප්‍රසව හා නාරිවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරියකි. කුලරත්න සර් සහ ඔහුගේ බිරිඳ ජීවත්වෙන්නේ ද ඒ ප්‍රදේශයේ ය. ඔහු හා මා කෝවිඩ් සමයේ සූම් වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වීමු.

පසුකතා 3:
කුලරත්න සර් යනු මා සිතා සිටි පරිදි සිසුන්ට දඬුවම් නොකරන අයෙකු නොවන බවත්, මගේ බාල මල්ලීට මෙන්ම ඔහුට ද දඬුවම් ලෙස පහර දී ඇති බවත් මල්ලීගේ පන්තියේ සිටි සගයෙකු මීට වසර දෙක තුනකට පෙර මා සමග පැවසීය.

(image: https://www.facebook.com/photo/?fbid=822969620279064)

Wednesday, 6 November 2024

හරිනි අමරසූරිය සිටින ඡායාරූපයක් දැක සිහිවුණු අතීතය - A nostalgic note

හරිනිට පිරිත් ළණුවක් බඳින මේ තෝරපිටියේ ආනන්ද නම් සාදු, සාමනේරයෙකු ලෙස අපේ ගමේ පන්සලේ මහණවුණු දිනය මගේ මතකයේ ඇත.

ගමේ පන්සලේ කිව්වාට, අපේ නාමමාත්‍රික ගම් වූ පරකන්දෙණියේ පරිධියේ (එනම් අල්ලපු වැටේ ගෙදර කොස්සින්න ගමේ ය) ජීවත් වූ අපට පන්සල වුණේ කොස්සින්න පුරාණ රජමහා විහාරයයි.

ඒ කාලේ මම පොඩි ළමයෙක් මි. මේ ආනන්ද සාදු ද එදා ළමාවියෙන් ඔබ්බ්ට යමින් සිටි අයෙකි. ඔහු මට වඩා අවුරුදු හත අටක් වැඩිමල් ය කියායි මා හිතන්නේ. පසුව කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ට පාසලේ ඇරඹුණු, මා ද දෙවසරක් පමණ සහභාගී වුණු දහම් පාසලේ ලොකු ළමයින්ගේ පන්තියක ඔහු ඉගැන්නූ බව මගේ මතකයේ ඇත.

ඉරිදා දිනවල උදේ වරුවේ පැවැත්වුණු මේ කියන දහම් පාසලේ දී මං මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම්, ඒ එකම එක දෙයකි.

එක දවසක් අපේ පන්තියට ඉගැන්වූ ෂෙල්ටන් වැනි නමක් ඇති අයෙකු අපේ කන් හෙවත් කර්ණවල කළාඳුරු නම් ද්‍රව්‍යයක් නිපදවෙනවා, නෑමෙන් පසු ඒවා ඉවත් කිරීම හොඳ දෙයක් බව කීවා මට මතකයි. මේ ෂෙල්ටන් යනු අපේ ආච්චීගේ පරම හතුරෙකු වූ රොමියෙල් ගේ පුතෙකු යැයි සිතමි. ොමියෙල් ආච්චීගේ හතුරෙකු වන්නේ ඇයට අයත් ලියදි කෑල්ලකට රොමියෙල් සමග අවුරුදු දහයක් පමණ ඇදී ගිය ඉඩම් නඩුවක් තිබුණු නිසා ය. අවසානයේ ආච්චී මේ නඩුව දිනුවා ය.

දහම් පාසලේ අපේ පන්තියට ජේපින් නෝනා නම් වයෝවෘධ කාන්තාව ද ඉගැන්වූවා යැයි මට පොඩි මතකයක් ඇත. මේ කියන්නේ මං සාමාන්‍ය පාසලේ හයවෙනි ශ්‍රේණියේ පමණ ඉන්නා කාලේ නිසා දැන් ලොකු දෙයක් මතකයේ නැති වීම අරුමයක් නොවේ. එසේම, මතක තියාගන්නට තරම් වැදගත් වූ, සහ, පාසලේ බුද්ධාගම නම් විෂයයෙන් ආවරණය නොවුණු දෙයක් දහම් පාසලේ උගන්වන්නට ඇතැයි මම නොසිතමි.

දහම් පාසලේ දී මා ලද සුවිශේෂී අත් දැකීමක් නම්, මගේ දහම් පාසල් පන්තියේ සිටි කෙල්ලකට ලියුම් කිහිපයක් ලිවීමයි. එය ඇගෙන් මා ලද ඇරයුමෙන් කළ දෙයක් මිස මගේ අවශ්‍යතාවක් මත වූ දෙයක් නොවේ.

එහි ඇති අනිත් සුවිශේෂීත්වය නම් ඇය ඉරිදා දිනයේ දහම් පාසලේ මගේ පන්තියේ සිටිය ද, සතියේ දිනවල සාමාන්‍ය පාසලේ මට වඩා වසරක් ඉහළ පන්තියක සිටි කෙල්ලක වීමයි.

ලියුම් තුනකට පමණ පසු අමුද්‍රව්‍ය හිඟවීම සහ මට "රයිටර්ස් බ්ලොක්" එක වැනි දෙයක් සෑදීම නිසා අපේ "ලව් එෆෙයාර්" එක නැති වී ගියේ ය. ඇයගෙන් ලදුව, මගේ දහම් පාසල් ලියන පොතේ අවසන් පිටු දෙක කවරය අමුණා සාදා තිබූ රහස් කුටීරයේ බහා තිබුණු පෙම් හසුන් දෙක, මා අතින් කීතු-කීතු වී, පන්සල් කන්ද පාමුළ 2/6 බෝක්කුව යටින් දිවෙන දිය පහර හා මුසු වී ගියේය.

ඒ සමගම වාගේ සිදු වූ අපේ චූටි බාප්පා වූ චන්ද්‍රසිරි ගේ හදිසි මරණයත් සමගම, ලොකු බාප්පා වූ ධර්මදාස ගමට පැමිණ කළ කළබගෑනි නිසා අපේ පවුලට, අප පදිංචිව සිටි තාත්තාගේ මහගෙදරින් පිට වී මාස දෙක තුනක් අහිකුණ්ටික ජීවිත ගතකොට පසුව ගණේමුල්ලේ කුලී නිවසකට යාමට සිදුවූයෙන් දහම් පාසල ද මගේ මතකයේ එක් කුඩා ගැටිත්තක් ලෙස පමණක් ඉතුරු විය.

මා නැවත දහම් පාසලකට නොගියෙමි. එනිසා බුද්ධාගම නම් විෂයයට මා ලැබූ විශිෂ්ට සාමාර්ථයට කිසිදු දහම් පාසලක් වගකිව යුතු නැති බව පෙනේ.

එදා කොස්සින්න පන්සලේ ආනන්ද පමණක් නොව නාලන්ද නමින් සිවුරු අන්දන ලද ගැටවරයෙකු ද මහණ විය. පොර නම් පසුව සිවුර හැර ගිය බව මට සැළවිය.

ඒ අනුව ආනන්ද ස්ථවිර හොඳ භික්ෂූවක බව පෙනේ. හරිනි ඔහු ළඟ දණ නැමීමේ ලොකු වරදක් නැත.

ආනන්ද සාදු අකුදිගේ ගම්පහ රැළියටත් සහභාගී වූ බව මට තේරුණේ ඔහුගේ නම කියවුණු නිසාය. නමුත් මේ ඔහු බව වටහා ගත්තේ නම ගම සමග පළ වූ මේ පින්තූරය නිසා ය.

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙය Facebook එකේ මා දුටු ඡායාරූප ගොනුවක් සහ ඒ පිළිබඳ කෙටි විස්තරයක් දැක මගේ අතීතකාමය අවදි වී ලියවුණු සටහනකි.

මෙය හරිනි අමරසූරිය හෝ තෝරපිටියේ ආනන්ද හෝ ගැන නොව මා ගැන සටහනක් බව කරුණාවෙන් සලකන්න.

(image: https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02n9SPdqf7ZKgZJyXQyMjoeZud8UssY9u8NnrQMJkri9bUpvZS2D5VwRPBZAd4Gk9sl&id=61552670000719)

Wednesday, 30 October 2024

උපන්දින මතක - Happy birthdays were not there at the begining!


ඔක්තෝබර් 27 දින මේ බ්ලොගයේ ද, මගේ ද උපන්දිනයයි. නමුත් මේ කෙටි සටහන නම් ජීවිතයේ මුල් කාලයේ මගේ උපන්දින සංවත්සර දිනය ගෙවුණු ආකාරය ගැනයි.

මා කුඩා කාලයේ උපන්දින යනු සාමාන්‍ය දින ම වූවා මිස කිසිදු විශේෂත්වයක් තිබුණු බවක් මගේ මතකයේ නැත.

අප නිවසට නුදුරින් පිහිටා තිබුණු නිවසක විසූ මගේ ඥාතියකු ද වන මට වඩා මාස හයක් පමණ වයසින් වැඩිමහල් මිතුරෙකු වූ ආනන්ද ජයතිලකට නම් ඒ දිනවල ඔහුගේ උපන්දිනය දා කොස්සින්න පන්සලේ මල් පූජා පින්කමකට සහභාගී වීමට සිදුවිය. මේ බව මට මතක තියෙන්නේ අප කුඩා කාලයේ එක් වසරක, අප්‍රේල් 28 වෙනිදාවක් වැනි දිනයක, පන්සලට ගෙනියාම සඳහා අරලියමල් කැඩීමට මා ද ඔහු සමග ගිය බැවිනි.

පසු කලෙක අපේ අම්මා කේක් හදන්නට ඉගෙන ගත් පසු ඇය තම දරුවන් තිදෙනාගේ උපන් දිනවල අනිවාර්යයෙන්ම කේක් බේක් කළාය. අපේ ප්‍රියතම කේක් වර්ගය වූයේ රටඉඳි යොදා සාදන ඩේට් කේක් එකයි.

කේක් සාදා, කපා, කෑව ද "හැපි බර්ත් ඩේ" ගීය ගායනා කිරීම හෝ විශේෂ තෑගි දීම යනාදිය අපට හුරුපුරුදු වූයේ නැත.

අතීතය ගැන කල්පනා කර බැලීමේදී සාමාන්‍යයෙන් තරුණ ජීවිතයේ වැදගත් ලෙස සැලකෙන දහඅටවෙනි උපන්දිනය දින, ඒ වන විට උසස් පෙළ විභාගයෙන් පසු ඉසුඹුළමින් සිටි මා ගත කළේ මගේ මව් පාර්ශයේ මහ ගෙදර බව පෙනේ. එලෙසම වැදගත් වයස විසි එකේ උපන් දිනය මා ගත කරන්නට ඇත්තේ නුවරඑළියේ බෝඩිමක ය. ඒ වනවිට මා පෙම්වතෙකි.

විශේෂ වැදගත්කමක් නැති වයස විසිතුනේ උපන්දනය දා මා තව සති දෙකකින් පමණ පැවැත්වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කඩඉමට සූදානම් වෙමින් සිටියෙමි. වයස විසිහතරේ උපන්දනය දා, සෙකන්ඩ්-අපර් උපාධිය ද සහිතව රස්තියාදුවෙමින් සිටියෙමි. උපන්දිනය යනු තවමත් මගේ ජීවිතයේ වැදගත් දෙයක් නොවීය

මගේ මතකයේ හොඳින් රැදී ඇති එක් උපන්දිනයක් නම්, මගේ 27 වෙනි උපන්දිනයයි. එදින ජීවිතයේ මුල්වරට මට මිතුරන්ගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණි. අප කිහිපදෙනෙකු බැංකොක් තදාසන්නයේ ආසියානු තාක්ෂණ ආයතනය නුදුරේ පිහිටි "පපා" ෂොප් එකට ගොස් "සිංහ" බියර් බොමින් "මමා" නූඩ්ල්ස් කෑවෙමු. එනිසා එය මා උපන්දිනයක් සැමරූ මුල් ම අවස්ථාව විය යුතුය.

මට වයස තිහ සම්පූර්ණ වූ උපන්දිනය වන විට මා විවාහකයෙකි. එදින අප කුමක් කළේදැයි මගේ මතකයේ සඳහන්ව නැත. නමුත් අප දෙදෙනා කාමර දෙකක් කුලියට ගෙන පදිංචිව සිටි ගම්පහ ශාන්ති පාරේ නිවසට නුදුරින් පිහිටි සතොස වෙළඳ සැලේ තිබූ මග් එකක්, එහි මුද්‍රණය කර තිබුණු වැකිය නිසා මගේ සිත් ගත් අතර ඇය කැමති නම් මට උපන්දින ත්‍යාගයක් ලෙස එය ලබා දෙන ලෙස මම බිරිඳගෙන් ඉල්ලුවෙමි.

ඇය එය මට මිළට ගෙන දුන් අතර තවත් වසර තුනකට පමණ පසු අප ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන විට මම එය ලංකාවේ අමතක කර දමා ආවෙමි.

රුපියල්වලින් ගණං බැලුවොතින් නම් මම අද බහු-මිලියනපතියෙක් මි.

ඩොලර් මිණුමෙන් මිලියනපතියෙකු වීම සඳහා මේ සතියේ බ්‍රහස්පතින්දා ලොතරැයියක් මිල දී ගැනීමට අදහස් කරමි.

- රසික සූරියආරච්චි

(image: created using AI)

Thursday, 17 October 2024

එදා පාසල්, එදා සිසුන් සහ දෙමව්පියන් - System changed?


මිතුරෙකු සමග ෆේස්බුක් සංවාදයක පැටලීම නිසා මට සිහිවුණු කරුණු කිහිපයක් වෙනම ලියන්නට සිත්විය. මෙහි ඇති වැදගත්කම නම් කාලය සමඟ කොයි තරම් දේ වෙනස් වන්නේ ද යන්නයි.

මම පාසල් තුනක අධ්‍යාපනය ලබා ඇත්තෙමි.

මා පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා වසර පහක් අධ්‍යාපනය ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කනිෂ්ඨ විද්‍යාලයට මගේ පියා හෝ මව හෝ කිසි දිනයක පැමිණ නැත. පාසල් ගුරුවරයෙකු වූ මගේ පියා උදේ පාන්දරම නිවසෙන් පිටත්වී ගොස් ආපසු පැමිණෙන්නේ හවස හතරට පමණ වන අතර මගේ බාල සොහොයුරාගේ වයස අවුරුදු තුනටත් අඩු නිසා මා මුල් දවසේ පාසලට ගියේ ද ආච්චි සමග ය. ඉන්පසු අහල පහල සම වයසේ සිසුන් සමග මම පාසලට ආවෙමි, ආපසු ගියෙමි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල නොවුණි.

මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට මා ගිය මුල් දවසේ මගේ මව සහ පියා දෙදෙනා ම මා සමග වූහ. එයට එක් හේතුවක් වූයේ එදින පුටුවක් සහ මේසයක් ගැනීමට පාසලට මුදලක් ගෙවීමට තිබීමයි. එය අවසානයේ තාත්තා බසයක නැගී සැතපුම් කිහිපයක් දුරින් තිබුණු ඔහු සේවය කළ පාසලට ගිය අතර, අම්මා එදින යෙදී තිබුණු වෙනත් ගමනක් ගියාය. දෙවෙනි දිනයේ සිට අපේ පදිංචිය වෙනස් වෙනතුරු මම ගමේ සිට බස් එකේ පාසලට ගියෙමි. ගනේමුල්ලේ පදිංචියට පැමිණීමෙන් පසුව පා ගමනින් පාසල් ගියෙමි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි.

දහවෙනි ශ්‍රේණියේ සිට ඉහළට අධ්‍යාපනය ලැබීම සඳහා මා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට තාත්තා තීරණය කළ අතර ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු මා කැටුව එක්තරා සෙනසුරාදා දිනයක කොළඹ මරදානේ පාසැලට පැමිණියේය. ඔහු වැනි දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් එදින පැමිණ සිටියහ. පාසල් යෑම ඇරඹුණු පසු මම මගේ පාඩුවේ පාසැල් ගියෙමි. තාත්තාට පාඩුවක් වූයේ නැත. එකල මගේ වයස අවුරුදු දාහතරයි මාස පහකි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි. එනිසා මම මගේ පන්තියේ සිටි සහෝදර සිසුන්ගේ දෙමව්පියන් ලෙස දැක ඇත්තේ හදිසි අවස්ථාවල දී දරුවන් හමුවීමට පැමිණි තාත්තලා දෙදෙනෙකු පමණි.

පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වෙනි ශ්‍රේණියේ අවසානය දක්වා අවුරුදු දොළහයි මාස අටක් මා පාසල් ගොස් තිබුණ ද, මගේ අවාසනාවට මෙන්ම දෙමව්පියන්ගේ වාසනාවට, ඒ කාලය තුළ ඒ පාසල් තුනෙන් එකකවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් හෝ පැවැත්වුණේ නැතිවීම ද මගේ දෙමව්පියන්ට පාසලට පැමිණීමට අවශ්‍යතාවක් නැතිවීමට තවත් හේතුවක් විය.

අද තත්ත්වය කෙතරම් වෙනස් ද?

මාසයකට අඩු වශයෙන් දිනයක් හෝ කුමක් හෝ කාරණයක් සඳහා දෙමව්පියන්ට පාසලට යාමට සිදුවන බව කියැවේ.

- රසික සූරියආරච්චි

(image: generated using meta.ai)

Friday, 29 March 2024

හතේ පන්තියේ (ප්‍රගති වාර්තා) පොත - A leaf from the past


මා වයස අවුරුදු දොළහේ දී, ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ හත්වෙනි ශ්‍රේණියේ ලබාගත් අධ්‍යාපනයේ ප්‍රගති වාර්තා සටහන මෙසේ පළ කරන්නේ ඒ පිළිබඳ සිත් ගන්නා සුළු නිරීක්ෂණ කිහිපයක්ම කළ හැකි නිසාය.

1. එකල අපි විෂය දොළහක් ඉගෙන ගත්තෙමු.

2. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලට අමතරව තුන්වෙනි භාෂාවක් ඉගැන්වීමට ද අරමුණක් තිබී ඇති බව පෙනේ.

3. නොදන්නා පිරිස් කුමක් කීවත් මෙහි ඇති සමාජ අධ්‍යයනය යන විෂය ඉතා පුළුල් ක්ෂේත්‍රයක කරුණු අඩංගු වූ වැදගත් විෂයකි.

4. මේ පන්තියේ මා සමග ඉගෙන ගත් සහෝදර සිසු සිසුවියන් පිළිබඳව නම් මට ඇත්තේ ඉතා දුකකි. ඒ මක්නිසාද යත්, හතේ පන්තියේ දෙවන වාරය වන විට ලැබූ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය පහළොවකින් පමණ අඩු වූව ද මට පන්තියේ පළමුවෙනි ස්ථානය ලබාගත හැකි විය.

5. මගේ ලකුණු කෙසේ වෙතත්, පන්තියේ සමස්ත සිසු ගහනයේ ලකුණු සාමාන්‍ය අගය හතළිහකි. පස්දෙනකු පමණ හැර මේ පන්තියේ සිටින සිසුන් සියලු දෙනාම ඊට වසර දෙකකට පෙර තරගකාරී විභාගයකින් සමත් වී මෙම විදුහලට පැමිණි අය බව සලකන විට එය ඉතා බරපතල තත්වයකි. එසේම, සාමාන්‍ය අගය හතලිහක් නම්, උපරිමය හැට එකක් නම් සාමාන්‍යය විස්සක් පමණක් වන එක් අයෙකු හෝ සිටින්නට ඇත.

6. හොඳින් විමසා බලන විට මගේ ලකුණු අඩුවී ඇත්තේ සංගීතය විෂයට සහ සෞඛ්‍ය අධ්‍යනය නම් විෂයට ලකුණු අඩුවීම නිසාය. එයට හේතුව මෙහි ඇති ලකුණු විසි නමය සහ තිහ යනු විභාගයෙන් මා ලද ලකුණු පමණක් ම වීමයි. ප්‍රායෝගික පරීක්ෂණ යේ ලකුණු මෙහි ඇතුලත්ව නැත. මේ වාරයේ මා පාසලට ගොස් නැති දින ගණන අටක් තරම් වැඩි බව පෙනෙන නිසා බොහෝ විට මේ ප්‍රායෝගික පරීක්ෂණය තිබුණු දිනවල මා පාසලට යන්නට නැතැයි සිතමි.

- රසිකොලොජිස්ට්

ප/ලි:
මේ වසර අවසානයේ අපේ පවුල "හෝම්ලස්" තත්වයට පත්වූ අතර තාත්තාගේ මහගෙදරින් නික්මී ඔහුගේ මිතුරන්ගේ නිවාස දෙකක ද, පසුව කුලී නිවසක ද වසර හතරක් පමණ කාලයක් ගත කිරීමට සිදුවිය. හත්වෙනි ශ්‍රේණියේ අවසන් දින කිහිපයේ පාසල් නොයා සිටීමට හේතුව එම හෝම්ලස් වීම යැයි සිතමි.

Sunday, 19 November 2023

සිස්සස්ස විභාගේ - How are your grade five results?


බොහෝ දෙනෙකු තමන්ගේ පහේ පන්තියේ තරග විභාග ප්‍රතිඵල ගැන සටහන් තබන නිසා, මට ද කලින් කීප වතාවක ම විවිධ තැන්වල ලියා තිබුණු කරුණු නැවත ලියන්නට සිත් විය.

පස්වැනි ශ්‍රේණියේ දී අපට ශිෂ්‍යත්ව විභාගයක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ හයවැන්නේ සිට ඉහළට ඉගෙන ගැනීම සඳහා විශේෂ පාසැලක් තෝරා ගැනීම පිණිස තරග විභාගයකි.

මේ ගැන මා ඇතුළු පන්තියේ ළමුන් දැනගත්තේ එක් දිනක පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් කළ විස්තරයකිනි. විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර තුනක් ඇති බව ඇය කීවාය. එකක් ගණිතයයි. දෙවැන්න සිංහල භාෂාවයි. ඒ දෙකම බමුණුසිංහ ටීචර් විසින් පන්තියේ ඉගැන්වූ විෂයන් විය.

තුන්වෙනි නම පිළිබඳව අප බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවුණි. ඇත්තටම අපට එහි නම මුලින් ඇසුණේ “බුඩ්ඩි” පරීක්ෂණය කියාය. නිවැරදි නම බුද්ධි පරීක්ෂණය බව පසුව දැන ගත්තෙමු. එසේ වුව ද, මෙය පන්තියේ විෂය මාලාවේ කොටසක් නොවූ නිසා එය කුමක්දැයි යන්න පිළිබඳ අපට අදහසක් ඇති වුණේ ම නැත.

දින කිහිපයකට පසු බමුණුසිංහ ටීචර් රෝනියෝ කරන ලද A4 ප්‍රමාණයේ තරමක් මහත පොතක් පංතියට රැගෙන ආවාය. ඇට්ල්ස් හෝල වැනි අධ්‍යාපනික ප්‍රකාශන සමාගමකින් සකසා තිබුණු මේ පොත ඇය මිල දී ගෙන තිබුණේ අනිවාර්යෙන්ම බමුණුසිංහ ටීචර්ගේ මුදල් වලිනි.

එය බුද්ධි පරීක්ෂණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතකි. එහි ඇතුළත් වුණු ප්‍රශ්න වල ප්‍රධාන වශයෙන්ම තිබුණේ කොටු, ත්‍රිකෝණ, වෘත්ත, තරු යනාදියෙන් පිරී තිබුණු රූ සටහන් ය. අප කළ යුතුව තිබුණේ ඊළඟට නියමිත රූසටහන කුමක්දැයි තේරීමයි. ඒ ආකාරයෙන් ම ඉලක්කම් සහිත ප්‍රශ්න ද තිබුණු බවට යාන්තමට මතකයක් ඇත.

ටීචර් අපට ඒවා විසඳන හැටි කියා දුන්නා ද කියා මට ලොකු මතකයක් නැත. මගේ මතකය රැඳි ඇති ප්‍රධානතම කරුණ නම් මේ පොත පන්තිය ළමයින්ට දිනකට එක් අයකු බැගින් හවසට ගෙදර යන විට රැගෙන ගොස් පරිශීලනය කළ හැකි බව ටීචර් පැවසූ බවයි.

පොත ගෙදර ගෙන යාමේ අනුපිළිවෙල වූයේ පන්තියේ පළමුවැනියාට මුල් දිනය, දෙවෙනියාට දෙවැනි දිනය ආදී වශයෙනි.

ඒ ආනුභාවයෙන් මුල් දිනය දී ම, කිරි කිරියේ “බුඩ්ඩි” පරීක්ෂණය පොත නිවසට ගෙන යාමට මට වරම් ලැබුණි. ඊට අමතරව එදින සිකුරාදාවක් වූ නිසා රාත්‍රී තුනක්, දින දෙකක් පොතේ පිටු පෙරළා බැලීමට මට අවස්ථාව උදා විය.

මගේ මතකයට අනුව පංතියේ දෙවැනියා වූයේ ගෑනු ළමයෙකි. ඇගේ නම පුෂ්පමාලී වැන්නක් බව මට යාන්තමට සිහිවේ. ඇය විසූවේ පාසැලේ සිට අපේ නිවස පිහිටි පැත්තේ නොව අනිත් පැත්තේ ය.

පන්තියේ සිටි සිසුන්ගෙන් අපේ ගෙදර පැත්තේ සිටි එක් අයකු නම් ආනන්ද ජයතිලකයි. ඇත්තටම නම් ඔහු කෙලින්ම මගේ අසල්වැසියා විය. අපේ නිවෙස් සහිත ඉඩම් දෙක දිගු වැටකින් වෙන් වී තිබුණු අතර, අප පාසැල් යාම සඳහා භාවිතා කළ කෙටි මාර්ගය වැටී තිබුණේ ද, ඔවුන්ගේ ඉඩම හරහා ය.

මගේ මතකය නිවැරදි නම් ආනන්ද ජයතිලක පන්තියේ තුන්වෙනියා විය. එදින ඔහු මා අමතා ඉල්ලා සිටියේ “රසික ඔය පොත දෙවනියට පුෂ්පමාලීට දෙන්න කලින් ඔයා කියවා ඉවර වුණොත් සති අන්තයේ දිනක මට දෙන්න!” කියාය. නිවැරදිව මතක නැති උනත් මා ඔහුට ඒ පොත ඉරිදා හවස දෙන්නට ඇතැයි සිතමි.

නිවරදිව මගේ මතකයේ ඇති කරුණක් නම් මාස කිහිපයකට පසුව පැවැත්වුණු තරග විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයකි.

ඉලක්කම් පහක්, හයක් දී ඒවා අවරෝහණ ක්‍රමයට සකසා ලියන ලෙස එම ප්‍රශ්නයේ සඳහන්ව තිබුණි.

කර්ණිකාව-කෝෂිකාව, ලවය-හරය, ආරෝහණ-අවරෝහණ වැනි කිනෙකට ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකක් එකට ඈඳී තිබෙන විට එයින් කුමක් කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම එකල බොහෝ දෙනෙකුට මෙන් මට ද ප්‍රශ්නයක් වී තිබුණි. හරය සහ ලවය කුමක්ද යන්න හඳුනා ගැනීම සඳහා නම් හරකා පිට ළමයා නමින් කෙටි ක්‍රමයක් අප කොහෙන්දෝ ඉගෙන ගෙන තිබුණි. නමුත් කර්ණිකාව තිබෙන්නේ හදවතේ උඩ කොටසේ ද නැතිනම් එහි ඇත්තේ කෝශිකාව ද යන්න පිළිබඳව අදත් මට ස්ථිර ව කිව නොහැක.

සමහරවිට අවරෝහණ සහ ආරෝහණ හඳුනාගන්නට හරකා පිට ළමයා මෙන් කෙටි ක්‍රමයක් එකල තියෙන්නට ඇත. එසේ තිබුණා හෝ නැතා හෝ පෙර කී ප්‍රශ්නයේ අඩංගු වූ ඉලක්කම් කිහිපය විමසා බැලූ මට පෙනී ගියේ එය දැනට ම තිබෙන්නේ අවරෝහණ ක්‍රමයට බවයි.

එනම්, පිළිතුර ලෙස අප ලිවිය යුත්තේ ද ප්‍රශ්නයේ ඇති පිළිවෙළටම ය. ඒ කියන්නේ මෙය අප රැවටීමට යොදා තිබුණු ප්‍රශ්නයක් විය යුතුයි.

එසේ නොමැති නම් මා ආරෝහණ සහ අවරෝහණ ටපලාගෙන ඇත.

විභාගය අවසාන වීමෙන් පසු මා දැනගත්තේ මා සිතූ ආකාරය නිවැරදි බවයි. එනම් ඒ ප්‍රශ්නය අප රවටන්නට සාදා තිබූ ප්‍රශ්නයකි!

ඒ කෙසේ වෙතත් තවත් මාසයකට දෙකකට පසු ප්‍රතිඵල නිකුත් වූ විට මට පෙනී ගියේ එම ප්‍රශ්නයට මා නිවැරදිව පිළිතුරු දී තිබුණ ද, තවත් ප්‍රශ්න කිහිපයකට මා ලබා දුන් පිළිතුරු නිවැරදි නොවන බවයි. මට ගණිතය සඳහා ලැබී තිබුණේ ලකුණු 87 ක් පමණි.

සිංහල විෂයට ඊට ලකුණක් අඩුවෙන් ද, අප මුලින් බුඩ්ඩි පරීක්ෂණය ලෙස හඳුනාගත් බුද්ධි පරීක්ෂණය සඳහා ලකුණක් වැඩියෙන් ද ලැබී තිබුණු නිසා මේ විභාගයේ දී මා ලබා තිබුණු මුළු ලකුණු සංඛ්‍යාව 261 ක් විය. එනම් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 87 % කි.

ඒ මා මගේ පාසල් දිවියේ ලැබූ හොඳම විභාග ප්‍රතිඵලය විය.

එතැන් සිට එළැඹුණේ පල්ලම් බැසීමේ සමයකි.

කොටින්ම උසස් පෙළ විභාගයේ මගේ ප්‍රතිඵලවලට අනුව එම සාමාන්‍ය අගය 69.25 % දක්වා පල්ලම් බැස තිබුණි.

- රසික සූරියආරච්චි

Thursday, 4 August 2022

අද්භූත නායකයෙකුගේ කතාවක් - Instant Leader


රහසක් නොවූ රහස් ඡන්දයකින් පත්වුණු පන්ති නායකයෙකු ගැන සටහනක් මං ලියා පළ කළේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උං එකතුවෙලා පැනලා ගිය එකා වෙනුවට අලුත් ජනාධිපතියෙකු පත් කරගන්න රහස් ඡන්දයක් පවත්වපු වෙලාවෙයි.

අපි හුඟ දෙනෙකු හිතුවට වඩා ඒ ඡන්දේ රහස් ඡන්දයක් වුණා. අනුර දිසානායකට ඡන්දේ දුන්නු අය කවුද කියන එක විතරයි රහසක් නොවුනේ. නමුත් පස්සේ අර හදිසි නීතිය ගැන විවෘත ඡන්දයක් තිබුණු වෙලේ නම් සමහර රහස් එළි වුණා මගෙ හිතේ.

ඒ කෙසේ වෙතත්, මේ සටහන ලියන්න පටන් ගත්තේ එදා කියපු පකිස්ථානු-පිලිපීන රහස් ඡන්දයට වඩා රහසිගත් වූ ඡන්දයක් ගැන ලියන්නයි. නමුත් ඒක පසුවට කල් දාලා මේ ලියවෙන්නේ ඒ කතාවට පසුබිම සපයන වෙනත් කතාවක්.

ලංකාවේ ඉන්නේ ලොක්කන් මිස නායකයින් නොවේ ය කියා දිගු කාලෙකට ඉස්සර හාමුදුරුකෙනෙකු කියා තිබුණා. ඒක නිවැරදියි. නමුත් එයට ලොකුම හේතුව තමයි මහජනයා වෙන අපි ඡන්දය හෙවත් අපේ කැමැත්ත ලබා දෙන්නේ ලොකුකම අනුව වීමයි. එහෙම නැතුව නායකත්ව ගුණ හෝ සුදුසුකම් සලකා නොවීමයි. එච්චර දැනුමක් අපට නෑ. තිබුණා නම් ඉතිං මේ වගේ කෙලවෙන්නේ නෑනේ!

නායකයින් කියා අපි මුලින් ම දැන ගන්නේ පන්ති නායකයින් ගැනයි. ඊළඟට ශිෂ්‍ය නායකයින් ගැන. හැබැයි, ඒ බෝහෝ දෙනෙකුත් ටීචර්ලා විසින් තමන්ගේ කැමැත්ත අනුව පත් කරන අය මිස ශිෂ්‍යයින්ගේ සැබෑ නායකයින් නොවෙයි. ඔවුන්ගේ රාජකාරි වෙන්නේ, හුනුකුරු සම්පත් කළමනාකරණය, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ප්‍රවාහනය, කළුලෑල්ලේ දෛනික පුනර්ජීවනය වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම වගේ නායකයන්ගේ වැඩ නෙමේ.

මං මුලින්ම පන්ති නායකයා කියන යෙදුම, වචන දෙක, ඇහැව්වෙ හතරෙ පන්තියෙදියි.

මේ දවස්වල මං ගියේ ගමේ තිබුණු කණිෂ්ඨ විදුහලටයි. ගමේ කිව්වට ඇත්තටම ඒක අපේ අල්ලපු ගම. අපේ තාත්තාගේ මහගෙදර තිබුණේ අපේ ගමේ පරිධියේ. අල්ලපු වැට, අල්ලපු ගම.

මේ කණිෂ්ඨ විදුහලේ හිටියේ ප්‍රින්සිපල් හෙවත් විදුහල්පති කෙනෙක් නොවේ, ඒ දවස්වල හැටියට හෙඩ්-මාස්ටර් හෙවත් ලොකු මහත්තයෙක්. පස්සේ මං දැන ගත්තු විදියට මිනිහා වාමාංශික දේශපාලනයේ යෙදුණු කෙනෙක්.

ඔන්න දවසක් උදේ රැස්වීම ඉවරවෙලා අපි පන්තියට ආපු ගමන් මේ කියන ලොකු මහත්තයා පන්තියට කඩාගෙන වැදුණා. මේ වෙන කොට අපි හොඳට දන්නවා මෑන් යන යන තැන තමන්ගේ ජාතික ඇදුමේ දකුණු අත අස්සෙ දිග වේවැලක් හංගාගෙන යන බව. තත්පරයක් ඇතුළත ඒ වේවැල එළියට අරගෙන ළමුන්ට පහර දීමේ සමසමාජ ක්‍රමයක් මිනිහා ප්‍රගුණ කරලා තිබුණා.

ඉතිං පොර පන්තියට ආව විතරයි, අපි සේරම සයිලන්ස් වුණා, මීයො වගේ.

මේ අපි කියල කියන්නෙ සේරම අවුරුදු අටේ, නමයේ පුංචි ළමයි. මගේ වයස අවුරුදු අටයි මාස දෙක තුනයි.

ඔන්න ඒ වෙන කොට අපේ පන්ති භාර රූපසිංහ ටීචරුත් ආව පන්තියට.

"මං බලාගෙන හිටියේ මේ ළමයි දැන් රැස්වීම ඉවර වෙලා පන්තියට ආවෙ කඩාගෙන බිඳගෙන. ඔහොමද ළමයි හැසිරෙන්නෙ පාසලේ? කවුද මේ පන්තියේ නායකයා?" ලොකු මහත්තය ඇහුවා.

"මේ නාලන්ද තමයි" අපේ ටීචර් කිව්ව.

කිව්ව විතරක් නෙමේ ඒ වචන වලින් අර "ඒහි පස්සිකෝ" ක්‍රමයට ඒ මොහොතේ නාලන්දව පන්ති නායක කමට පත්කළා!

"කෝ කවුද ඒ?"

නාලන්දය හෙමින් හෙමින් පන්තියේ ඉස්සරහට ගියා!

අපි සේරම චූ බර වෙලා බලං ඉන්නව. පව් නාලන්ද!

"හොඳයි, අදට කමක් නෑ, හෙට ඉඳල, උදේ රැස්වීමට යනකොටයි, එන කොටයි සේරම ළමයි එක පිළිවෙළකට යන්න එන්න ඕනැ." ලොකු මහත්තය කිව්ව. වේවැල එළියට ආවෙ නෑ, ඇති යංතං!

නිකං දේවදත්ත සිල්ගත්ත වගේ නේද? සොරි, සොරි, දේවදත්ත කොහොමටත් මහණවෙලානෙ හිටියෙ, අමුතුවෙන් සිල් ගන්න ඕනැයැ? අලව් යකා සිල්ගත්තා වගේ ය කියමු.

ඒ අද්භූත ආකාරයටයි නාලන්ද පියතිලක අපේ හතරේ පන්තියේ අද්භූත පන්ති නායකයා වුණේ.

ඉතිං ඔය සිද්ධිය වෙච්ච දවසෙ ඉඳල කාලයක් යනතුරු මං හිතං හිටියෙ මෙන්න මෙහෙමයි.
  • පන්තියෙ නායකයා කියන්නෙ කොල්ලන්ගෙන් එක් කෙනෙක්.
  • ඒ නායකයා කවුද කියල අපිට කියන්නෙ අපේ ටීචර්. කොටින්ම එදා උදේ වෙනකල්, පන්තියේ සිසුන් වුණු අපි තියා, නාලන්ද පියතිලකවත් දැනගෙන හිටියේ නෑ තමන් පන්තියේ නායකයා ය කියලා.
  • පන්තියෙ නායකයා කරන්න ඕනැ, අනිත් ළමයින් පෝලිමේ උදෑසන් රැස්වීමට යන එක සහ රැස්වීම ඉවර වෙලා ආපහු එන එක බලාගන්න එක යි.
මේ ගොඩක් දේවල් වෙනස් වුණේ ඊළඟ අවුරුද්දෙ මං පහේ පන්තියට ගියාමයි. ඒ කතාව ඊළඟට ලියන්නම්.

-රසික සූරියආරච්චි

(image: https://twitter.com/paperboatdrinks/status/795469066198609920)

Sunday, 11 April 2021

බිත්තර පාං නො-කා-පාං - Decades ago



මා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරද්දී ලැබූ අත්දැකීම් මත පදනම් වූ මේ සටහන මුලින්ම සන්නස සඟරාවේ පළ වූ අතර පසුව මා පළ කළ සිව් වසරක් මරදානේ කෘතියේ අඩංගු විය. අද මෙම සටහන මෙලෙස පළ කිරීමට හේතුව අවසානයේ දී දක්වමි.


පරකන්දෙණිය නම් වූ මගේ උපන් ගම පිහිටියේ කොළඹින් සැතපුම් පහළොවක් පමණ නුදුරින් වුව ද, පමා නොවී අකුරට යන්නට නම් අපට උදේ රැයින් ම අවදි වෙන්නට සිදුවිය. පාසල් යන දිනවල පාන්දර පහට පමණ තාත්තා පැමිණ මල්ලීත්, මාත් නිදාගත් නිවසේ ප්‍රධාන කොටසින් වෙන්ව පිහිටා ඇති ඉස්තෝප්පු කාමරයේ දොරට තට්ටු කරයි. මම පහයි කාලට පමණ වදෙන් පොරෙන් ඇඳෙන් නැගිට කුස්සියට යමි. උදේ බස් රථය අපේ නැවතුමට ලඟාවෙන්නේ තවත් පැය භාගයකින් පමණ ය. මා මුලින්ම කරන්නේ, අම්මා උණුවතුර බෝතලයට දමා ඇති කහට වතුර ටිකක් කෝප්පයක දමා, සීනි හා කිරි පිටි සමග මුසුකර තේ කෝප්පයක් සාදා බීමයි.

ඊළඟට හනසු අඟුරු ස්වල්පයක් ගෙන ඇඟිල්ලෙන් දත් මදින මම, වහ වහා මුහුණ, අත, පය සෝදමි. බඹ එකළොහක් ගැඹුරු ළිඳක් මිස නාන කාමර හෝ විදුලියවත් නොතිබුණු නිවසක වාසය කල අපට, සතියේ දිනවල උදේට ඇඟ සේදීමට අවකාශ නොමැත. ඇඳ පැළඳ ගත් පසු මම උදේ ආහාරය ගනිමි. එය බොහෝ විට රොටියකි, නැතිනම් ඉඳිආප්ප ය. බොහෝ දිනවල මේ වෙලාව වනවිට පාරේ ඈතින් බස් රථය එන හඬ ඇසෙයි. සීනි ස්වල්පයක් මැදට දමා දෙකට නවා ගත් රොටිය කන ගමන් ම, මම ගුරු පාර දිගේ මීටර් පන්සීයක් පමණ දුරින් පිහිටි මහ පාරට දිව යමි.

සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි ගනේමුල්ලට යෑමට බස් රථයට බොහෝ විට ගත වෙන්නේ විනාඩි දහයක් වැනි සුළු කාලයකි. එතැන සිට දුම්රියෙන් මරදානට යා යුතුය. ආනන්ද විද්‍යාලය පිහිටියේ දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරිනි. උදෑසන හතට පෙර මා පාසලේ ය.

හවස පාසල නිමවීමෙන් පසු මුල්ම දුම්රියෙන් මරදානෙන් පිටත් වෙන මා, හවස 2:35 ට ගනේමුල්ලට පැමිණිය ද, අපේ පාරේ දුවන්නේ එකම එක බස් රථයක් නිසා එය එනතුරු සිට, විනාඩි දහයක ගමනින් පසු නිවසට ළඟාවෙන විට 3:40 පමණ වෙයි. මා කෙළින් ම දිව යන්නේ අම්මා බෙදා කෑම මේසය මත තබා ඇති බත් පිඟානට බව අමුතුවෙන් කිව යුතු නැත. උදේ රොටිය කමින් දුවන වේලාවේ සිට හවස බත් පිඟානට වග කියන වේලාව දක්වා පැය දහයක කාලය අතර තුර මගේ කුස පුරවා ගැනීම සඳහා අම්මා සමහර විට තවත් කුඩා රොටියක් ඔතා දෙයි. එසේ නොමැති වූ දිනවල මගේ පිහිට ට ඇත්තේ පාසල් කැන්ටිමයි.

පාසලේ ඉන්නා ළමුන් සංඛ්‍යාවට සාපේක්ෂව බලන විට ආනන්දයේ කැන්ටිම ඉතා කුඩා එකක් විය. මෙනිසාම, විවේක කාලයේ එය නිරතුරු පිරී ඉතිරී තිබුණි. කැන්ටිමට යන පාසල් ළමුන් අතර තේ බොන්නෝ හිඟ ය. පෝටෙලෝ, ෂැරෝනා, පැෂෝනා වැනි බීම තිබුණද (ෆැන්ටා, කොකා-කෝලා යුගය එළැඹියේ මින් පසු කාලයක දී බව තරුණ පාඨකයෝ සලකත්වා!), ඒවායේ මිල ගණන් පොදු වශයෙන් ශිෂ්‍යයින් ගේ ක්‍රය ශක්තියෙන් ඔබ්බේ විය. වැඩි පිරිස කරන්නේ මොනවා හෝ කඩචෝරුවක් කෑමයි. ඉන්පසු වතුර පයිප්පයකට කට අල්ලා බඬේ ඉතිරි ටික පුරවා ගත හැක.

කෑම සඳහා කැන්ටිමේ මාළු පාං වර්ග තුනක් විය. ශත විසිපහකට අලෙවි වූ අඟල් තුනක පමණ විශ්කම්භයක් ඇති වෘත්තාකාර ලූණු පාං ගෙඩිය ඉන් මිලෙන් අඩුම ආහාරය විය. ඊළඟට තිබුණේ, තුන් හුලස් හැඩයෙන් යුතු, අල සහ ළුෑණූ මිශ්‍රණයක් සහිත එකකි. එහි මිල ශත තිස් පහක් විය. කෙසේ වෙතත් මා සිත ගත්තේ නම්, අඟල් හයක පමණ දිග සබ්මැරිනයක හැඩ ගත් බිත්තර පාං ගෙඩිය විය. එය මැදින් පලා තැම්බූ බිත්තර තීරු දෙකක් ද, තක්කාලී තීරුවක් ද, අමු මිරිස් කැබලි දෙකක් ද යොදා ගනිමින් වෛවර්ණව සරසා තිබුණි. දුටු සැණින් රස නහර උත්තේජනය වී කටට කෙළ උණා එයි. එහි මිල ශත පනහක් විය.

බිත්තර පාං වලට ඇති දැඩි කැමැත්ත කෙසේ වූව ද, ආනන්දයට ගිය සිව් වසර තුළදී ම, මම කිසි දිනක ශත ශත පනහක් දී බිත්තර පාං ගෙඩියක් මිල දී නොගත්තෙමි. මුදල් අතේ තිබූ දිනවල වුවද, එක්කෝ ශත විසිපහේ ලූණු පාං එකක් හෝ ශත තිස්පහේ එළවළු පාං එකක් මිස, බිත්තර පාං කන්නට මට සිත් වූයේ ම නැත.

බිත්තර-පාං, නො-කා-පාං ම විය.

සතියට දින දෙකක් පමණ විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ අපට නියමිත විෂයය වූයේ ඉංග්ලිෂ් භාෂාවයි. අපට ඉංගිරිසි ඉගැන්වූ දිසනායක ටීචර් ගේ පුතා උගත්තේ දහවැනි ශ්‍රේණියේ ම වෙනත් පන්තියක ය. විවේක කාලය සඳහා සීනුව හැඬ වූ විගසම, ඔහු තම මව සොයා එයි. අම්මා සිය පසුම්බියෙන් ගෙන යම් මුදලක් පුතුට දෙයි. පසුව කැන්ටිමට ගියහොත් දක්නට ලැබෙන්නේ ශත පනහේ බිත්තර පාං ගෙඩියක් රස කරමින් කමින්, ෂැරෝනා හෝ පැෂෝනා බෝතලයක් බොන දිසනායක සිසුවාය. මම සුපුරුදු පරිදි ශත තිස්පහේ මාළු පාං එකක් රැගෙන එය කා දමා වතුර පයිප්පයෙන් බඩ පුරවා ගනිමි.

මේ කතාව සඳහා දශක කිහිපයකට වඩා පැරණි මගේ මතකය අළුත් කරද්දී මට වැටහී ගියේ එදා ඇත්තටම බිත්තර පාං පිළිබඳව මගේ සිතේ තිබී ඇත්තේ මේ කාලයෙන් වසර තුන හතරකට පසු සුනිල් ආරියරත්න විසින් ලියන ලදුව නන්දා මාලිනී ගැයූ අර ”නෙලාගන්න බෑ, මගේ අත දිග නෑ, ඒත් අනේ තව මල් පිපියං! කෝටි ගණං තව මල් පිපියං!!” ගීතයෙන් ගම්‍ය වන ආකාරයේ සංකීර්ණ චින්තනයක් බවයි.

දුඹුරු, රතු, සුදු, කහ, කොළ වර්ණාවලියෙන් අලංකාර වූ බිත්තර පාං දැක සතුටු වූවද, ඒවා රස විඳීම සඳහා අවශ්‍ය අමතර මුදල් ප්‍රමාණය වැය කිරීමට මම කෙදිනක හෝ නොසිතුවෙමි.

”අනුං ඇවිත් මල් නෙළුවාවේ! එමල් දකින පින ලැබුණාවේ!!”

ඒ බිත්තර පාං වල රසය අදත් මම සිතෙන් පමණක් විඳින්නෙමි.

-රසික සූරියආරච්චි

පසු සටහන:
මීට වසර කිහිපයකට පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති නන්දා මාලිනී ගේ ගීත පිළිබඳ සම්මන්ත්‍රණයක දී මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා සිටියේ, ”නෙලාගන්න බෑ” ගීතය, ධනපති පැළැන්තියට උඩ ගෙඩි දෙන, ධනවාදී ක්‍රමය සාධාරණීකරණය කරන, ප්‍රතිගාමී, සමාජ විරෝධී අදහසක් දෙන්නක් බවයි. ආර්ථික යේ ඵළ සැම දෙනාටම එක සේ අයත් විය යුතු බවටත්, සමහරුන් ට ඒ සඳහා අත දිග නැත්තේ සමාජ ක්‍රමයේ වැරදි නිසා බවත්, සත්‍යය එසේ වෙද්දී නිර්ධන පන්තියට ඉච්ඡා භංගත්වය ඇති කරවන මෙවැනි ගීත ලිවීම සමාජ විරෝධී වන බවටත් ඔහු තර්ක කළේය.

ඉහත සඳහන් නන්දා මාලිනී ගේ ගීතයේ සම්පුර්ණ පදමාලාව මෙන්න.
නෙලාගන්න බෑ, මගේ අත දිග නෑ,
අනේ ඒත් තව මල් පිපියං! කෝටි ගණං තව මල් පිපියං!
මට විතරද මල් පිපෙන්නෙ? මං විතරද මල් කඩන්නෙ?
අනුන් ඇවිත් මල් නෙළුවාවේ! මලේ සුවඳ මට දැනුණාවේ!
අතින් නෙළන මල් පිපෙන්නෙ, පෙර පිනටයි මට හිතෙන්නෙ
මුළු ලොවටම මල් පිපුණාවේ! එ මල් දකින ඇස් ලැබුණාවේ

පසු සටහන 2:
දශක එකහමාරකට පමණ කලින් ලියන ලද මෙම සටහන අද මෙලෙස පළ කරන්නට සිතුණේ මෙහි සඳහන් කෙරෙන දිසානායක ගුරුවරියගේ බිත්තර පාං කෑ පුතා, වසන්ත සේනානායක, මියගිය පුවත දැනගන්නට ලැබුණු නිසා ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු වසන්ත කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවිද්‍යා උපාධිය ලබා මහරගම පිළිකා රෝහලේ පරිපාලක ලෙස කටයුතු කරමින් සිටියේය. එදා පාසල් කාලයෙන් පසු මට ඔහු ගැන දැන ගන්නට ලැබුණේ මීට වසර දෙකකට පමණ පෙර රෝහලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහු කළ අමාවතුර ප්‍රකාශයක් නිසා ය.

(image: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFiIMoQjovP0dHKFAuvBjY4Jj6XxDnJaCtSV8HRNKzvPKHNdqxttVus9B_u4ZPPiKpyT4PM53860Y4nklJ3Vp1QdCE-RzM0jVdRZpheKT1MB0Bw6Yc5JTYBWcVyL0n4LnFaj2-hh_G6V8/s1600/sri+lanka+tangalle+beach+curry+and+rice+wattpalam+kottu+roti+21-10-2012+4-54-04+PM.JPG)

Thursday, 6 July 2017

දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි! - Generation gap?


මේ ලියන්නේ දාසය වියැති අපේ පුතා ගැනයි.

ඔහු පුදුම කොලුවෙකු බව මට දැන් මාස කිහිපයකට පෙර සිතී, වැටහී, එය සාක්‍ෂි සහිතව ස්ඵුට විය. ඒ සුවිශේෂී අත්දැකීම් දෙක තුනක් මත පදනම් වී මා කරන ප්‍රකාශයකි.

ඉන් මුල් අත්දැකීම මා ලැබුවේ මීට තෙමසකට පමණ පෙර පුතා ගේ පාසලේ අපේ භාෂාවෙන් ස්පෝර්ට්ස් මීට් එක හෙවත් මෙහි යෙදුමෙන් ස්පෝර්ට්ස් කානිවල් එක දවසේ ය.

මේ උත්සවය පැවැත්වුණේ ඔවුන් ගේ පාසල් ක්‍රීඩා පිටියේ නොව, ඊට වඩා පහසුකම් ඇති ජවන හා පිටිය මලල ක්‍රීඩා සඳහා සකසන ලද ක්‍රීඩා පිටියක ය. එය පිහිටියේ පුතා ගේ පාසලේ සිට කිලෝ මීටර් හයක් පමණ දුරිනි.

ඒ ස්ථානයට ළමුන් රැගෙන පාසලෙන් උදේ අටයි හතළිස් පහට බස් රථ පිටත්වෙන බව දන්වා තිබුණත්, නිවසේ සිට පාසල කරා යන අතර මගදී මට වැටහුණේ නියමිත වේලාවට පාසලට යෑමට නොහැකි වෙන බවයි. එනිසා මා ඒ ගමන අමතක කර කෙළින් ම, නියමිත ක්‍රීඩා පිටිය වෙත වාහනය පැදවීමි.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය යනු, මා ගලහිටියාව මධ්‍යම පාසලේ ඉගෙන ගන්නා කාලයේ අපේ වසරේ ප්‍ර්‍රියතම දිනය විය. ඒ ගැන යටි සිතින් සිතමින් රිය පැදවූ මම, අදාළ ස්ථානයට ළඟා වීමි.

පුතා රියෙන් බැස මගෙන් සමුගෙන ක්‍රීඩාගාරය කරා යන්නට සැරසෙත් ම, මට යමක් හදිසියේ මතක් විය. ඔහුට නවතින්ට කී මම, කලිසමේ පිටුපස සාක්කුවෙන් පසුම්බිය රැගෙන මුදල් නෝට්ටුවක් ගෙන ඔහුට දුන්නෙමි.

"මට එපා!" පුතා කීවේ ය.

"ඇයි, එපා කියන්නේ ගන්න!"

"එපා, මට අම්මා දුන්නු සල්ලි තියෙනවා!" ඔහු කීවේ මා මවිතයට පත් කරමිනි.

මේ හා සමාන සිදුවීමක්, ඊළඟ පාසල් නිවාඩු කාලයේ දී, පාසලේ මිතුරන් සමග, සිනුවර පැවැත්වෙන වාර්ෂික කෘෂිකර්ම ප්‍රදර්ශනය නැරඹීමට යාම පිණිස පුතාව දුම්රිය පොළට හැරලවූ මොහොතේ දී ද සිදුවිය.

ඔහු ගේ වයසේ දී, මේ වැනි අවස්ථාවක් එළැඹුණ හොත් මා නම් කරන්නේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් හෝ වියදම් සඳහා මා අතට දෙන ඕනෑම මුදලක් එපා නොකියා ගැනීමයි.

දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!

හොඳම සිදුවීම වූයේ ඉන් පසු දිනක ය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කොයි කවුරුත් මෙන් අප ද සාමාන්‍යයෙන් නිවසේ දී පානය කරන්නේ තේ වතුර ය. තේ සාදන සාමාන්‍ය ක්‍රම දෙකෙන් වැඩි පහසුව පිණිස අපි කෝප්පවලට දමන තේ බෑග් භාවිතා කරමු. තේ කුඩු යොදා තේ පෝච්චියට තේ සෑදීම වඩා ප්‍රිය මනාප නමුත් කාලය වැඩියෙන් ගත වීම සහ පසු-පිරිසිදු කිරීම් වැඩිවීම නිසා අප නිවසේ එතරම් නොකෙරේ.

කෝපි සෑඳීම සඳහා නම් ක්‍රම හතරක් ම ඇත. එයින් ද, පහසුව පිණිස අප කරන්නේ ක්‍ෂණික කෝපි කුඩු භාවිතයයි. වසර කිහිපයක සිට ජනප්‍රිය වී ඇති පොඩ්ස් භාවිතය ද, සෑහෙන්න ලේසි පහසු මෙන් ම පසු-පිරිසිදු කිරීම් ද අඩු ක්‍රමයකි.

එතෙක් එළ කිරි හෝ කිරි තේ හෝ බොමින් සිටි අපේ පුතා දැනට මාස කිහිපයක සිට කෝපි කෝප්පයක රස විඳින්නට ද පටන් ගත්තේ ය. සෑදීමේ පහසුව නිසා ම, ඔහු වඩා ප්‍රිය කළේ ක්‍ෂණික කෝපි පානයටයි.

දිනක් සවස නිවසට පැමිණි මා දුටුවේ මා සාමාන්‍යයෙන් මිල දී නොගන්නා වර්ගයක කෝපි කුඩු බෝතලයකි.

"ඇයි ඔයා මේ අපි කලින් බීලා නැති කෝපි ජාතියක් මේ පාර ගෙනාවේ?" මම බිරිඳගෙන් විමසුවෙමි.

"මං නොවෙයි, මං කඩේ ගියේ නෑ!" ඇය කීවා ය.

"මායි ගෙනාවේ!" පුතා වරද පිළිගත්තේ ය.

"ඇයි ඒ?"

"කෝපි බෝතලේ ඉවරවෙලා තිබුණා ඊයේ!"

"ඉතිං ඔයාට කොහෙන් ද සල්ලි?"

"මා ගාව තාත්තා කලින් දවසක දුන්නු සල්ලි ටිකක් ඉතුරු වෙලා තිබුණා, ඉතිං මං ඉස්කෝලේ ඉවර වෙලා එද්දී කඩෙන් ගත්තා!" මා මවිත කරමින් පුතා කීවේ ය.

"ඇයි ඔයාගේ සල්ලිවලින් ගෙනාවේ? කීයක් ගියා ද? ඉන්න මං සල්ලි දෙන්න!" මම වහා කීවෙමි.

"එපා, ඒ මගේ සල්ලි නෙමෙයි නේ, ඔයාලා කලින් දවසක මට දුන්නු සල්ලි නේ."

ඔන්න දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!

-රසිකොලොජිස්ට්

(image: http://www.pinsdaddy.com/)

Sunday, 25 June 2017

සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu


අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට ප්‍රිය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුණේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කළේ අපූරු චමත්කාරයකි.

පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුනු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහළ පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.

ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. මා ප්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පළවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.

මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි. "අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පාසල් වාරයකට පන්තියට දුන් පොත් හතළිහකින් වරකට එක බැගින් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. පසුව මට "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳී තැපැල් මගින් පොත් ගෙන්වා ගැනීමට ද හැකි වීය. නමුත්, මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි.

මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු ඔක්තෝබරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි. මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නව දැලි හේනේ පිහිටා තිබූ අප පාසල් පොත් මිලට ගත් "මහජන පොත්හල" නමැති වැඳිරිය වහා සිහිවිය.

මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ගේ අනුග්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙක ම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පළමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මුදල් බලයෙන් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම මා සිතට වික්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" (The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe) කෘතියේ සිංහල පරිවර්තනය වූ "මැංචෝසන් චාරිකා" නමැති කෘතියයි.

කතාවේ අන්තර්ගතයට ම නිවැරදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ඩීී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.

මැංචෝසන් සාමි ගේ වික්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාසය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.

අද බ්ලොග්කරුවෙකු ලෙස මා නොකඩවා සිංහලෙන් ලියන්නේ "මැන්චෝසන් චාරිකා" කියවා එදා ලද වින්දනය නිසා යැයි මට සිතේ.

වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියේ දී මා ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.

මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ, ඊට අමතරව තවත් විවිධ ග්‍රන්ථ පනහකට අධික ප්‍රමාණයක් සිංහලෙන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ, පරිවර්තනය කළ ඩී බී කුරුප්පු ලේඛකයා පෙරේදා මෙල්බර්න් නගරයේ දී තම ජීවන චාරිකාව නිම කළේ ය.

මේ ලිපිය ඔහු ගේ නාමයට උපහාරයක් ම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe කෘතිය ඔබ ඉංග්ලිෂ් භාෂාවෙන් මෙතැනින් කියවීමට හැකිය. මෙහි එක පරිච්ඡේදයක් අපේ අටවෙනි ශ්‍රේනිය සඳහා වූ ඉංග්ලිෂ් පාඩම් පොතට ඇතුලත් කර තිබුණි!
https://www.gutenberg.org/files/3154/3154-h/3154-h.htm

(image: https://www.facebook.com/DB-Kuruppu-544346445758395/)

Thursday, 15 June 2017

පරිධියේ ජීවිතේ - At the edge


කරුණාකර මේ මාතෘකාව වරදවා වටහාගන්න එපා!

මේ කියන්නට යන්නේ ලකාන් හෝ ෂිෂැක් හෝ ජිජැක් හෝ ඩෙරීඩා හෝ කියූ පරිධියක් ගැන හෝ ඒ ආකාරයේ පරිධියක සිට කේන්ද්‍රය දෙස බැලීමක් ගැන හෝ නොවේ. මා ඒ පඬියන් ගේ නම් අසා දැක තියෙනවා මිස, ඔවුන් කියූ ලියූ කිසිවක් අසා, දැක, කියවා නැත.

මා මේ කියන්නේ ලංකාවේ ගම්මානයක පරිධියේ ජීවත්වීම ගැනයි.

අප කුඩා කාලයේ ජීවත් වුනු තාත්තා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ගම්මානයේ ය. එහි ද, ඈත බටහිර අන්තයේ ය.

මා පසුව දැනගත් පරිදි, මේ කියන කාලය වෙන විටත් අපේ ආච්චී ගේ නිවස සහ වතුපිටි තිබුණු මේ ප්‍රදේශය ලඩ්කාණ්ඩුවෙන් කටුවාලමුල්ල ලෙස නම් කර ගැසට් කර තිබුණ ද, එය කිසිසේත් ම ප්‍රායෝගිකව නම් භාවිතා නොවුණි. අපි කැපුවත් පර, කැපුවත් දෙණි, පරකන්දෙණියන් ම වීමු.

සාමාන්‍යයෙන් ගමක ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැළකිය හැක්කේ පාසල, පන්සල, කඩ මණ්ඩිය යනාදිය පිහිටා ඇති ස්ථානයයි. සුදෝ-සුදු කවි කතාවේ විස්තර වුණු කටුරොද ගම්මානයේ කඩ මණ්ඩිය ගම කෙලවර පිහිටා තිබුණ ද, සාමාන්‍යයෙන් ගමක කඩ මණ්ඩිය ස්වභාවිකව ගොඩ නැංවෙන්නේ පාරවල් දෙකක් එක්වෙන හෝ කැපෙන ස්ථානයක වීම නිසා, එය ගමේ ගුරුත්ව කේන්ද්‍රය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය.

පරකන්දෙණිය ගමේ බටහිර කොනේ ජීවත් වූ අප සිටියේ, ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉතා දුරිනි. ඇත්තටම කියනවානම් අප සිටියේ පරකන්දෙණිය ගමේ පරිධියේ ය.

මගේ ඥාතියෙකු මෙන් ම, එකම පන්තියේ සගයෙකු ද වූ ආනන්ද ජයතිලකලා ගේ නිවස පිහිටා තිබුණේ අපේ වත්තට අල්ලපු වත්තේ ය. ඔවුන් අයත් වූයේ කොස්සින්න නම් ගම්මානයට ය.

ඒ අනුව ආනන්ද ජයතිලකලාත් සිටියේ කොස්සින්න ගම්මානයේ පරිධියේ වුව ද, වාසනාවකට මෙන් කොස්සින්න ගම්මානයේ ගුරුත්ව කේන්ද්‍රය හෙවත් පන්සල, කඩ වීදිය සහ පාසල පිහිටා තිබුණේ අපේ නිවෙස්වල සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකිනි.

එනිසා කොස්සින්න වාසී විතානගේ ආනන්ද ජයතිලක මෙන් ම පරකන්දෙනිය වාසී රසික සූරියආරච්චි වූ මම ද, හෝඩියේ පන්තිය හෙවත් පළමුවෙනි ශ්‍රේනියේ ශිෂ්‍යයින් ලෙස පාසල් අධ්‍යාපනය ඇරඹුවේ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ය.

එසේම, මාස් පතා පසලොස්වක පෝයට ද, වාර්ෂික බණ මඩු කාලයට දිනපතා ම වාගේ ද, අම්මා සමග (තාත්තා මා දන්නා කාලයේ පන්සල් ගියේ නැත!) අප ගියේ කොස්සින්න යටවත්ත පුරාණ රජමහා විහාරට ය. ආනන්ද ජයතිලකලා නම්, අපට වඩා වැඩි වැඩිවාර ගණනක් පන්සල් ගිය හ. ඔහු ගේ උපන්දිනය දා ද පන්සලේ පින්කමක් පැවැත්වුණු බව මගේ මතකය යි.

ගනේමුල්ල සහ කඩවත අතර ධාවනය කෙරුණු 218 බස් රථය ද, අප සමහර විට හැඳින්වූයේ කොස්සින්න බස් එක ලෙස යි. එය පරකන්දෙණිය හරහා ද ගිය බව මෙන් ම, නිල වශයෙන් හැඳින්වුනේ පරකන්දෙණිය බසය නමින් බව ද අපි අමතක කෙරුවෙමු.

කොටින් ම, ගතින් පරකන්දෙණියේ සිටියද, මම ප්‍රායෝගිකව කොස්සින්නේ කොලුවෙකු වූයෙමි.

කෙසේ වෙතත්, මට තරමක හෝ දුකක් ඇතිවුණේ, පරකන්දෙණියේ අයෙකු වූ මට පරකන්දෙණිය සමග කිසිදු ප්‍රායෝගික සම්බන්ධතාවක් නොතිබීම ගැනයි. පරකන්දෙණිය පන්සලට මා එක් දිනක් හෝ ගොස් නැත. මායාදුන්නේ නමින් කණිෂ්ඨ විද්‍යාලයක් ද, මහා විද්‍යාලයක් ද පරකන්දෙණිය ගමේ තිබුණු නමුත්, ඒ පාසල්වලට යන කිසිවෙකු ගැන මම දැන නොසිටියෙමි. සීයා ගේ නෑදෑයින් සිටිය ද මා පරකන්දෙණිය ගමේ ඒ ප්‍රදේශයට ගොස් ඇත්තේ එකම එක ඇට්-හෝම් උත්සවයකට සහභාගී වීමට පමණි.

ගමේ වෙනස සමගම ආ තවත් වෙනස්කම් ද තිබුණි.

අප හතරවෙනි ශ්‍රේනියේ ඉගෙන ගන්නා කාලයේ, සිංහල පාඩමේ දී අපට අභ්‍යාසයක් ලෙස ලිපියක් ලියන්නට පැවරුණි. ලිපිය ආරම්භ කළ යුතුව තිබුණේ ලියන්නා ගේ ලිපිනයෙනි.

මා අසල සිටි ආනන්ද ජයතිලක තම ලිපිය අරඹමින් ලිපිනය ලෙස:
220,
කොස්සින්න
ගණේමුල්ල
කියා ලිව්වේ ය. මෙහි ගණේමුල්ල යනු ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටා තිබුණු ස්ථානයයි.

අපේ මහගෙදර උළුවස්සේ අලවා තිබුණු සංගණන ලේබලය නිසා නිවසේ අංකය 101 යැයි මම දැන සිටියෙමි.

මම මගේ ලිපිය අරඹමින්:
101
පරකන්දෙණිය
ගණේමුල්ල
කියා ලිව්වෙමි.

"රසිකලා ගේ ගෙදර තියෙන පරකන්දෙණියට තැපැල් එන්නේ ගණේමුල්ලේ ඉඳලා නොවෙයි ඉඹුල්ගොඩ තැපැල් කන්තෝරුවෙනුයි!" ආනන්ද මට කීවේ ය.

මේ ඉඹුල්ගොඩ යනු කොළඹ නුවර පාරේ පිහිටා ඇති කඩ මණ්ඩියයි. කොටුවේ සිට දුවන 138 බස් රථවල පසු කාලයක ගමනාන්තය වූයේ මේ ස්ථානයයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.wired.com/2008/12/abstract-dlc-re/)

Thursday, 25 May 2017

ජයසූරිය ගේ කලිසමේ සිප් එක - Keeping your zipper up!


අප කුඩා කාලයේ දී ඇඳි ඉලාස්ටික් සහිත පොප්ලින් කොට කලිසම්වලින් මිදී, ටවුමේ ටේලර් විසින් ටසෝ, ඩ්‍රිල් වැනි රෙදිවලින් මසන කොට කලිසම්වලට උසස් වීම ලැබූ සමයේ, කොට හෝ දිග හෝ කලිසම්වල ඉදිරි පස වැසීම සඳහා යොදා ගැනුණේ අද මෙන් සිප් (Zip) හෙවත් සිපර් (Zipper) නොව බොත්තම් ය.

කලිසම් බොත්තම් වර්ග දෙකක් තිබුණි.

ඉන් එක් වර්ගයක් මහන මැෂිමක නූල් ඔතා යටින් ඇතුල් කරන බොබින් එකක හැඩය ගත්, කලිසමෙන් කලිසමට මාරු කළ හැකි ආකාරයේ ඒවා විය. ඒ බොබින් බොත්තම් සවි කිරීම සඳහා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසේ ම, එක හා සමාන බොත්තම් කාස හෙවත් බටන් හෝල් සාදා තිබුණි.

දෙවෙනි වර්ගයේ කලිසම් බොත්තම් වූයේ හැඩයෙන් සාමාන්‍ය කමිස බොත්තම් මෙන් වූ, නමුත් තරමක් ඝනකම ඇති සවිමත් ඒවා ය. ඒවා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසෙන් එකක සවි කර තිබුණු අතර, අනිත් පැත්තේ කොටසේ, කමිසවල මෙන්, බොත්තම් කාස මසා තිබුණි.

පොඩි පන්තිවලින් ලොකු පන්තිවලට මාරු වී, දහයේ පන්තියේ දී පමණ කොට කලිසම් ඇඳි අවසාන කාලයේ දී, අපේ පැත්තේ ටේලර්ලා කලිසම්වලට සිප් සවි කිරීම ඉගෙන ගෙන තිබුණි.

මේ සඳහා බොහෝ විට යොදා ගත්තේ අද ද භාවිතයේ ඇති YKK නම් සිප් වර්ගය යි. සාමාන්‍ය රෙද්දෙන් මසන කලිසම් සඳහා ප්ලාස්ටික් කොකු සහිත සිප් ද, ඩෙනිම් හෝ කොඩ්රෝයි හෝ රෙද්දෙන් මසන කලිසම් සඳහා ලෝහ කොකු සහිත සිප් ද, අද මෙන් ම, භාවිතා විය.

මේ කාලයේ අපේ පන්තියේ සිටි සිසුවෙකු වූ ජයසූරිය අප සමඟ පවසා සිටියේ ඔවුන් ගේ ජයසූරිය පවුලේ සුරතල් මසුන් බෝ කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ඇති බවත්, ඒ මසුන් වතුර ද සමග අසුරා යවන්නේ ප්ලාස්ටික් බෑග්වල බවත්, ඒ බෑග් සඳහා භාවිතා කරන්නේ ද YKK සිප් බවත් ය.

වතුර පිරි ප්ලාස්ටික් බෑගයක් ආරක්‍ෂිතව වැසීම පිණිස සිප් එකක් භාවිතා කරන්නේ කෙසේද යන්න මට එකල ප්‍රශ්නයක් වුවත්, ඒ සිප් වනාහී, කලිසම්වලට සවි කරන ආකාරයේ ප්ලාස්ටික් හෝ ලෝහ හෝ කොකු සහිත ඒවා නොව, වතුර කාන්දු නොව ආකාරයෙන් වැසිය හැකි වෙනස් ආකාරයක ඒවා බව මට අවබෝධ වූයේ තවත් වසර කිහිපයකට පසුව ය.

-රසිකොලොජිස්ට්

(image: http://de.ykkeurope.com/)

Tuesday, 23 May 2017

ජාතික වීර දින රජයේ නිවාඩුවට මක්කැයි වුණේ? - I will never forget May 22


අප කුඩා කාලයේ ලංකාවේ හෙවත් එකල "සිලෝන් එකේ" සිදුවුණු ලොකු දේශපාලන වෙනසක් නම් ලංකාව බ්‍රිතානයෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වාධීන ජනරජයක් වීමයි.

"සිලෝන්" එක "රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා" විය.

බ්‍රිතාන්‍යයේ රැජින හෝ ඇගේ නියෝජිත අග්‍රාණ්ඩුකාරයා වෙනුවට ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙකු නම් කෙරිණි. "ක්වීන් කවුන්සිලර්ස්ලා" වෙනුවට ජනාධිපති නීතිඥවරු පත් වූහ. "රෝයල් කොමිෂන්" වෙනුවට ජනාධිපති කොමිසම් පත් විය.

ඒ මොන රඹ පුෂ්පයක් වැට පැන්න ද, පාසල් සිසුන් වූ අපට වැදගත් කාරණය වූයේ, ඒ වසරේ සිට ලංකා ඉතිහාසයේ මේ ඓතිහාසික දිනය, මැයි 22 දා, රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමයි. කලින් නිදහස් දිනය ලෙස පැවතුණු, පෙබරවාරි 4, රජයේ නිවාඩුව 1973 සිට අහෝසි වෙන්නට ඇතැයි සිතමි.

කාලය වේගයෙන් ගෙවී ගියේ ය.

හාල් සේරු දෙක දීමට පොරොන්දු වී බලයට ආ සිරිමම්මා ගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවට ඇට රාත්තල් අටක් දෙන්නට පොරොන්දු වී "ෂේවියර් ඔෆ් ද නේෂන්" හෙවත් "යැංකි ඩිකී" හෙවත් ජේ.ආර් පප්පා ගේ නායකත්වයෙන් යූඇම්පී ආණ්ඩුව 1977 දී බලයට පත් විය. ඔහු කළේ, ශ්‍රී ලංකා ජනරජය, ඉන්දියානු මොඩලයෙන් වෙනස් කර, විධායක ජනාධිපතියෙකු සහිත ඉන්දියානු-ඇමරිකානු-ප්‍රංශ හයිබ්‍රිඩ් ජනරජයක් කිරීමයි.

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවන්නට ඔහු හිතාමතා ම තෝරා ගත්තේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ඩොමිනීයන් තත්වය ලැබූ පෙබරවාරි හතරවෙනිදා ය.

ඒ 1978 වසරේ දී ය.

ජේ.ආර්. පප්පා ගෝල්ෆේස් පිටියේ දී, නෙවිල් සමරකෝන් ඉදිරිපිට දිවුරුම් දුන් අතර, එදා සිට පෙබරවාරි හතරවෙනි දා යළි රජයේ නිවාඩු දිනයක් බවට පත් විය.

නමුත් මෙහි දී සැලකිය යුතු කරුණු දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, ලංකාව ජනරජයක් වූ මැයි 22 දා සැමරුනේ ජනරජ දිනය ලෙස වුවත්, විධායක ජනාධිපති ජනරජය බිහිවුණු පෙබරවාරි 4 වෙනිදා ඊළඟ වසරේ (1979) සිට සැමරුනේ ජනරජ දිනය ලෙස නොව නිදහස් දිනය ලෙස ය.

දෙවන කරුණ ඊට වඩා සිත් ගන්නා එකකි.

ඔවුන් බලයට පත් වූ පසු 1970 සිට එතෙක් ලංකාවේ නිවාඩු දිනයක් වූ සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින රජයේ නිවාඩුව අවලංගු කළ ද, කුමක් හෝ හේතුවක් නිසා, ජේආර් පප්පා ගේ ආණ්ඩුව මැයි 22 නිවාඩු දිනය අවලංගු නොකළේ ය. ඒ වෙනුවට ඊට පෙර ජනවාරි පළමුවෙනිදාට යෙදී තිබුණු ජාතික වීර දිනය නම් රජයේ නිවාඩුව මැයි 22 දිනට ගෙන එන ලදී!

මැයි 22 ජාතික වීර දින නිවාඩුව මා සිතන ආකාරයට 1994 දක්වා ම පැවතුණි. ඒ වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුතුව "අරුං දාහත් වසරක් තිස්සේ රට කාගෙන කාගෙන කාගෙන ගිය තැන සිට රට කාගෙන කාගෙන කාගෙන යන්නට" සිරිලංකා එක බලයට පැමණි පසු ඔවුන් වීරයා සැමරීම පිණිස නැවතත් සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින නිවාඩුව ප්‍රතිස්ථාපනය කළේ, මැයි 22 ජාතික වීර දින රජයේ නිවාඩුව අහෝසි කරමිනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
එක්තරා පුද්ගලික කාරණයක් නිසා මේ මැයි 22 ජාතික වීර දිනය තවමත් මගේ මතකයේ රැඳී පවතී.

ඒ ගැන හෙට ලියමි.

(image: http://poerty-dawson.blogspot.com.au/2012/06/blog-post.html)

Tuesday, 16 May 2017

මල් කුමාරයා - Oh, no!


දැන් ඉතිං මා "උපන්දා සිට හෝ අවුල් වෙන දින දක්වා හෝ ස්වයං චරිතාපදානයක් ලියන්නට සිතෙන් සැලසුම් කරන නිසා, එක අතකට, මේ කෙටි සටහන් මේ ආකාරයට ලියා පළ කිරීමේ තේරුමක් නැත. නමුත් සැලසුම් ක්‍ර්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳව එතරම් පැහැදීමක් නොමැති නිසා, ඔන්න ඔහේ ලියා දමමි.

අපේ චූටි නැන්දා ගේ විවාහය සිදුවුණේ මා කණිෂ්ඨ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ කාලයේ ය. හෝඩියේ පන්තිය හෙවත් පළමු වසර එකල පාසල් අධ්‍යාපනයේ නොතිබුණු නිසා එවකට මගේ වයස අවුරුදු හයක් පමණ විය.

චූටි නැන්දා ගේ විවාහ උත්සවය සඳහා මල් කුමරෙකු සහ මල් කුමරියක අවශ්‍ය බව කියවුණි. මෙය ඊට වසර දෙකකට කලින් විවාහ වූ අපේ නන්දා නැන්දා ගේ විවාහ උත්සවයේ දී හෝ ඒ කාලයේ මස සහ ඊට පසුව සිදුවුණු අපේ පුංචි අම්මලා ගේ විවාහ උත්සවවල නොතිබුණු අංගයක් විය.

චූටි නැන්දා ගේ කැමැත්ත වූයේ මා ඒ මල් කුමරා ගේ චරිතය රඟපාන්නට තෝරා ගැනීමටයි. මල් කුමරිය ලෙස අසල නිවසක සිටි චූටි නැන්දා ගේ හිතවත් ගුරුවරියක වූ ශීලා නැන්දා ගේ දියණිය, කුමුදුනී, නම් වී තිබුණි. ඇය මා හා සම වයසේ සිටියේ යැයි සිතමි.

මංගල උත්සවය සඳහා කුමුදුනීට සැරසීමට මල් කුමාරී ඇඳුමක් ඇගේ මව සතුව විය. ඊට ගැලපෙන පරිදි මල් කුමරා ඇඳිය යුතු වූයේ සිල්ක් දිග කලිසමක් සහ රැළි දැමූ සිල්ක් කමිසයකි. මල් කුමරිය කුඩා මල් පොකුරක් අත දැරිය යුතු වූ අතර මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත දැරීමට නියමිතව තිබුණි.

මල් කුමරා ගේ ඇඳුම් කට්ටලය චූටි නැන්දාට දීමට ඇය සමග එකම පාසලේ සේවය කළ ගුරුවරියක වූ එදිරිසිංහ ටීචර් පොරොන්දු වී තිබුණි. මේ එදිරිසිංහ ටීචර් යනු සුනිල් එදිරිසිංහ ගේ අක්කා බව මගේ මතකයයි.

ඇඳුම් කට්ටලය ගෙන ඒම සඳහා චූටි නැන්දා මා ද කැටුව එක්තරා සෙනසුරාදාවක සපුගස්කන්ද බලා ගියා ය. එදිරිසිංහ ටීචර් ගේ නිවසේ දී වැටහුණේ මල් කුමරා ගේ කලිසමට යාන්තමින් බැසීමට මට හැකි වුණ ද, දිගෙන එය අඟල් හයක් පමණ කොට බවයි. රැළි කමිසයේ ද බොත්තම් පියවීම අසීරු විය.

එය අවුරුදු හතරක පහක කොලුවෙකු සඳහා මසන ලද ඇඳුම් කට්ටලයකි.

යම් කිසි තීරණයක් ගත් චූටි නැන්දා මා කැටුව යළි මහගෙදරට ගියේ ඇඳුම් කට්ටලය ද රැගෙන ය.

මංගල උත්සවයේ මල් කුමරා චරිතය මගේ රුවන් මල්ලීට හිමිවිය.

මම නිකම්ම නිකම් ප්‍රේක්ෂකයෙකු පමණක් වීමි!

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/msousli/my-paintings/)

උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!


"උපන් දා සිට" යනු අපේ මහා සිංහල ලේඛකයා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ස්වයං චරිතාපදානය හෙවත් ඔහු ගේ ජීවිත කතාවට ඔහු විසින් දී ඇති නම ය.

ගැටවර වියේ දී ද, මෑතක දී ද, මා කියවූ ඒ මාර්ටින් වික්‍රමසිංහ ස්වයං චරිතාපදානයේ සඳහන්ව ඇති කරුණු කිහිපයක් පිළිබඳව විවරණයක් සහිත මා ලියූ ලිපියක් පෙර දිනයක රසිකොලොජියේ පළ කර ඇත.

ස්වයං චරිතාපදානයක් ලෙස සලකා බලන කළ "උපන් දා සිට" යන්න කිසිදු නිර්මාණශීලිත්වයක් ගැබ් වී නැති නමක් බව කිව හැක.

සිංහල සාහිත්‍යයේ අනෙකුත් පතාක යෝධයින් වූ එදිරිවීර සරච්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානය "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමින් ද, කේ ජයතිලක තම ස්වයං චරිතාපදානය "පුංචි පැලේ ගස වෙනා" යනුවෙන් ද, මහගම සේකර කොටස් දෙකකින් යුතු වූ තම ස්වයං චරිතාපදානය පිළිවෙලින් "තුංමං හන්දිය" සහ "මනෝ මන්දිර" ලෙස ද නම් කිරීම සලකා බලන කළ "උපන් දා" සිට යන්නේ ඇති අවම නිර්මාණශීලීවය පැහැදිලි වේ.

ඉහත ඡේදයේ සඳහන් කෘති, ඒ ඒ ලේඛකයින් කළ නිර්මාණ මිස, ඔවුන් ලියූ ස්වයං චරිතාපදාන නොවන බවට යමෙකුට අවශ්‍ය නම් තර්ක කළ හැකි බව මම දනිමි. නමුත්, එය සම්පූර්ණ සත්‍යයම නොවේ!

කෙසේ වෙතත්, ඒ "උපන් දා සිට" යන නමෙන් අදහස් වෙන ආකාරයට ම, තමා උපන් දා සිට එම කෘතිය සකසා අවසාන වූ දින දක්වා තමන් ගේ ජීවිතයේ සිදු වූ පොදු රසාස්වාදයට සහ දැනුමට තුඩු දෙන කරුණු මාර්ටින් වික්‍රමසිංහ විසින් තම ස්වයං චරිතාපදානයේ ඇතුළත් කර ඇති බව පෙනේ.

මෙහි දී, කෘතිය සකසා අවසාන වන දින දක්වා යනුවෙන් මා සඳහන් කළේ, ස්වයං චරිතාපදානයක් සැම විට ම අවසන් වන්නේ ලේඛකයා ජීවත් වෙන කාල සීමාවේ දී වීම නිසා ය. යමෙකු ගේ උපන් දා සිට ජීවිතය අවසාන වූ දිනය දක්වා සම්පූර්ණ ජිවීත කාලය පිළිබඳව විස්තර සහිතව ලියවෙන්නේ වෙනත් අය ලියන චරිතාපදාන මිස ස්වයං චරිතාපදාන නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

මෙහිදී මට සිහිවෙන්නේ ජීවිතයේ මුල සිට කතාව ඇරඹුව ද, අවසාන වන දිනයක් යම් ආකාරයකට හෝ නියම කර, ඒ ආශ්‍රයෙන් නම් තබා ඇරඹූ ස්වයං චරිතාපදානයකි.

ඒ ස්වයං චරිතාපදානය ඇත්තටම බ්ලොගයකි.

මා මේ කියන්නේ දැන් එංගලන්තයේ වෙසෙන, අරුණ පෙරේරා හෙවත් අරූ විසින් කොටස් වශයෙන් ලියමින් සිටි "අවුල් වෙන්නට පෙර" නම් තමන් ගේ ජීවිත කතාවයි.

එහි නම වූ "අවුල් වෙන්නට පෙර" යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහු ලියන්නට ඇරඹූ කතාව අවසාන වෙන දිනය පිළිබඳ ඉඟියකි. එනම්, උපන් දා සිට අරඹා, තම මතකය අවුල් වෙන දින දක්වා ඒ කතාව ලියවෙන බව ඒ නම යෙදීමෙන් අරුණ පෙරේරා පාඨක අපට ඉඟි කළේ ය.

ඇත්තටම එලෙස මතකය අවුල් නොවුණත්, වෙනත් අවුලක් හෝ කලකිරීමක් නිසා අරුණ පෙරේරා තම බ්ලොගය ලිවීම 2017 මාර්තු මාසයේ දී නැවැත්වූයේ පාඨක අප ඉතා කනගාටුවට පත් කරමිනි.

මේ කරුණු සියල්ල මට මෙලෙස සටහන් කරන්ට සිතුණේ විශේෂ හේතුවක් නිසා ය.

බ්ලොග් ලිවීම සහ ඕස්ට්‍රේලියාවේ පළවෙන මාසික සඟරා සඳහා ලිපි ලිවීම ඇරඹූ දා සිට අද දක්වා ම, මා ලියා ඇති එක් දහස් පන්සීයකට වඩා වැඩි කෙටි සටහන් සංඛ්‍යාවෙන් අති බහුතරය ලිය වී ඇත්තේ මගේ ජීවිතයේ මා ලැබූ විවිධාකාර අත්දැකීම් පිළිබඳව ය. නමුත්, ඒවා එක කාල රේඛාවකට අනුව එකට ගොනු වුණේ, මා ලියූ "සිව් වසරක් මරදානේ" සහ "EFacMemories" ග්‍රන්ථ ද්වය සංස්කරණයේ දී පමණි.

"සිව් වසරක් මරදානේ" කෘතියේ වුව ද, දින වකවානු කෙළින් ම සඳහන් කිරීමක් මම නොකළෙමි. ඒ මගේ අත්දැකීම් එක්තරා කාලවකවානුවක හිර කර, පාඨක රස වින්දනයට සීමාවක් පැමිණ වීමට මට අවශ්‍ය නොවූ බැවිනි.

නමුත්, මට මේ ළඟදී දිනයක සිතුණේ, උපන් දා සිට, අවුල් වෙන දිනය දක්වා මගේ ජිවීත අත්දැකීම් කාල රේඛාවක් මත එකට පෙළ ගස්වා ලිවිය යුතු ය කියා ය.

එය ස්වයං චරිතාපදානයක් වැනි වෑයමක් වෙනු ඇත.

දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://myrating.lk/ ; http://www.kapruka.com/ ; https://www.monaree.com/ ; https://arugeadaviya.wordpress.com/)

Monday, 15 May 2017

දිද්දෙණියේ දර්මදාස - Grade four memories


අද උදේ මා පළ කළ "දද, දද, දද, දද, දද" සටහන දුම්රියේ යද්දී නැවත කියවන විට තවත් පැරණි මතකයක් සිතට නැගුණි.

ඒ ද-යන්නේ සින්දුව යි.

අප කුඩා කාලයේ මගේ මල්ලී ගේ උපන් දිනයකට අපේ සුනීතා පුංචි අම්මා විසින් අපූරු පොතක් තෑගි දී තිබුණි. එහි නම වූයේ සින්දු හෝඩියයි.

ඒ. එච්. පියසේන නමැති අයෙකු විසින් රචනා කර ඇති මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වී ඇත්තේ, සිංහල හෝඩියේ අකුරු සින්දු යැයි මෙහි දී හැඳින්වෙන කුඩා කවි පන්ති මගින් ඉදිරිපත් කිරීමයි. එක් එක් අකුර සඳහා ඒ ඒ අකුර ඉතා බහුලව යෙදෙන කවි පෙළ බැගින් මෙහි යොදා ඇත.

කුඩා කවි පන්ති විසි හතරකින් යුතු ඒ එකතුවෙන්, මගේ මතකයේ හොඳින් ම රැදී තිබුණේ ද-යන්නේ සින්දුවයි. ඒ එහි කියවෙන අපූරු කතන්දරය නිසා යැයි සිතමි.

කෙසේ වුව ද, ද-යන්නේ සින්දුව පිළිබඳ මගේ මතකයේ ද අඩුපාඩු තැන් තිබුණු අතර, පසුගිය වරෙක ලංකාවට ගිය වේලේ සින්දු හෝඩිය පොතේ දෙවන (1998) මුද්‍රණයෙන් (සරසවි, නුගේගොඩ) පිටපතක් හදිසියේ ඇස ගැසී මිලට ගන්නට මට අවස්ථාව ලැබුණු නිසා නැවතත් ඒ කවි සියල්ල ම රස විඳිය හැකි විය.

ඔබේ රස වින්දනය පිණිස මෙන්න ඒ ද-යන්නේ සින්දුව.

වස ගානෙ දිද්දෙණියේ
ර්මදාස හති
ගෙවල් වලට ඇවි බෙයි
වස පත්තරේ

ර්මදාස මුලදි මුලදි
ඬු රු පැටියෙකි
ද්දුව මද්දුම සීයයි
හො හැටි හැදුවේ

කුණු ණේ දදේ හැදී
දුක් වි විඳිනා
ම්බැද්දේ යානන්
ර්මෙ ගෙ මිතුරා

වසක් දා යානන්
දේට වෙ කමක් ගන්න
වෙ ගෙරට ඇදෙන විදි
ර්මෙට පෙනුණා

යානන් හති
වි වි කොර ඇ
දෙන විදිදුටු ර්මේ
දින් දුක්වුණා

ර්මදාස කිට්ටු වෙලා
යානන් කරට අරන්
දොළෙන් එහා වෙ ගෙරට
ගිහින් ඉන්දුවා


මේ දෙවෙනි මුද්‍රණයේ ඇති එකම අඩුව නම්, එදා අප කියවූ මුද්‍රණයේ රතු අකුරෙන් මුද්‍රණය කර තිබුණු ඉහත කවියේ ද-යන්න වැනි ඒ එක් කවියේ මූලික අකුර එලෙස වෙනසක් නොම කර, කළු පැහැයෙන් ම මුද්‍රණය කර තිබීමයි.

මේ සින්දු හෝඩිය කතෘ ඒ එච් පියසේන ගේ පොතේ පසු කවරයේ දැක්වෙන ඡායාරූපයයි.



සින්දු හෝඩිය පොතේ එන කවි පන්ති විසි හතරම මේ ආකාරයේ අපූරු නිර්මාණ වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඒ. එච්. පියසේන යනු අතාවුද හෙට්ටිගේ පියසේන නම් පාසල් ගුරුවරයෙකු බවත්, ඔහු කලක් කොළඹ රාජකීය විද්‍යාලයේ සේවය කළ බවත්, ඔහු සමන් සහ අශෝක අතාවුදහෙට්ටි ගේ පියා බවත් ෆෙස්බුක් හරහා සචින් ජයනෙත්ති විසින් දන්වා ඇත.

Saturday, 13 May 2017

සිගරැට් බීම - Who else hates smoking?


මා මුලින් ම සිගරැට් දුම් උගුරක් ඇද්දේ "වෙසක් එකට" පින් සිදු වෙන්නට ය.

ඒ වසරේ වෙසක් එකට මා උගත් ගලහිටියාව මධ්‍යම පාසලේ හැම පන්තියකටම වෙසක් කූඩු සාදන්නට යැයි ඉහළින් අණක් හෝ ඕඩරයක් හෝ ඉල්ලීමක් හෝ නිවේදනයක් හෝ එවැනි මොකක්දෝ එකක් ලැබී තිබුණි.

වෙසක් කූඩු තැනීම වනාහී, පාසල පැවැත්වෙන වේලාවේ කළ හැකි කාර්යයක් නොවේ.

අපි පාසල අවසාන වූ පසු නැවතීමට කතා කර ගත්තෙමු.

සෑහෙන පිරිසක් එසේ නතර වූහ.

එදා අප මුලින් ම කළේ, ජාඇල පාර දිගේ ගොස් දකුණට හැරී වෙල අද්දරට දිවෙන ගුරු පාර අවසානයේ තිබුණු, මා හිතන විදියට අයිතිකරුවෙකු නිශ්චිතව නොමැති, උණ ගස් පඳුරකින් උණ ගසක් කපා ගෙන කොල්ලන් ගේ කර උඩින් පාසල් භූමියට වැඩැම්ම වීමයි.

අපේ පන්තියේ සිටි කර දඬු උස් මහත් වූ කොල්ලන් දෙතුන් දෙනා ඉන් පසු කළේ අනෙකුත් කොල්ලන්ගෙන් ශත පහක් වැනි මුදලක් බැගින් එකතු කිරීමයි.

එකල ෆෝ ඒසස් සිගරැට්ටුවක් ශත පහළොවක් විය.

බ්‍රිස්ටල් එකක් ඊට ශත පහක් පමණ වැඩි වෙන්නට ඇත.

ෆිල්ටරයක් නැති ත්‍රී රෝසස් නම් ඊට අඩු මිලකට අලෙවි කෙරිණි.

නමුත් පෙර කී කොල්ලන් කැමති වූයේ ෆෝ ඒසස් නමැති සිගරැට් වර්ගයටයි.

කඩේට ගියේ කවුද, සිගරැට් පත්තු කළේ කෙසේ ද යන්න මට දැන් මතක නැත.

මට මතක ඇති එකම දෙය නම්, බෙදා හදා ගත් සිගරැට් තුන හතරෙන් එකකින් මා උගුරක් දෙකක් ඇද්ද බවත්, ඒවායේ රසට මා කැමති වූයේ නැති බවත් ය.

මා සිගරැට් බිව් අන්තිම දිනය ඒ මුල් දිනය නොවුණත්, වාසනාවට මෙන්, සිගරැට් බීමට මට කිසි දිනයක ආශාවක් ඇති නොවුණි. ඒ හැම මිතුරු බෙදා ගැනීමක් ම තත්පරයකට දෙකකට පමණක් සීමා විය.

දැන් නම් දශක දෙකකින් පමණ සිගරැට්ටුවක් තත්පරයකට හෝ මගේ දෙතොල අසලට පැමිණ නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි

ලංකාවේ සිගරැට් පැකට්ටුවල අවවාදාත්ම වැකි පළ කිරීමට නීති ගෙනා දිනවල මා ලියූ ලිපියේ ද, අද මා ලියූ කතාව ම මා වෙනත් ආකාරයකට ලියා ඇත. ඕස්ට්‍රේලියාවේ සිගරැට් පැකට්වල යෙදා ඇති එවැනි පණිවිඩ එහි දැක්වේ.
https://rasikalogy.blogspot.com/2015/11/kiss-only-non-smokers.html

ගාමිණී ෆොන්සේකා සම්බන්ධ බාලාපරාධයක් කතාවක් මෙන්න.
https://rasikalogy.blogspot.com/2015/03/this-isnt-funny.html

(image: http://media.gettyimages.com/photos/indian-school-boys-dress-in-skeleton-design-during-the-world-no-day-picture-id475483970)

Tuesday, 9 May 2017

හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts


මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.

කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.

නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී පමණ එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ශාලාවක සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවත්වුණු කුකරි පන්තියකට ගොස් කේක් සෑදීමට ඉගෙන ගත් අපේ අම්මා, මල්ලිලා දෙදෙනාගේත්, මගේත් උපන්දින සැමරීමට ඩේට් කේක් නම්, සාමාන්‍ය බටර් කේක්වලට වඩා ඉතා රසවත්, කේක් වර්ගයෙන් කිලෝවක පමණ කේක් ගෙඩියක් සාදන්නට පටන් ගත්තා ය.

නමුත් ඉටිපන්දම් පත්තු කිරීමක් හෝ "හැපි බර්ත්ඩේ ටූ යූ!" ගීය ගායනා කිරීමක් හෝ කිසි දිනෙක සිදු නොවුණි.

මේ අතීතාවර්ජනය නිතැතින් ම සිදුවුණේ, අදට යෙදෙන අපේ පුතා ගේ උපන් දිනය සඳහා සටහනක් ලිවිය යුතු යැයි සිතට ආ මොහොතේ ය.

අද එළැඹෙන්නේ ඔහු ගේ ජීවිතයේ දහසයවෙනි උපන්දින සැමරුම යි. හෙට සිට අපේ පුත්‍රයා, ජීවිතයේ දාහත්වෙනි වසර අරඹයි.

පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම දා මා රසිකොලොජියේ පළ කළ "පුතාගෙන් අතීතය දැකීම - Back to the future" ලිපියේ මා සඳහන් කළේ ඔහු පොත් කියවීම අඩු බවයි. ඒ දියණිය සම වයසේ දී කළ කී දෑ පිළිබඳ මතකය අනුව කළ සංසන්දනාත්මක නිරීක්‍ෂණයකි. නමුත්, පුතා ගේ පරම්පරාවේ හිරිමල් තරුණ තරුණියන් අද ගත කරන්නේ මුද්‍රිත පොත් කියවන, පෑනෙන් අකුරු ලියන යුගයක් නොවන බව ද මම ඒ සටහනේ සඳහන් කළෙමි.

තමන් උපන් ඕස්ටේ‍ර්ලියානු ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට දෙමව්පියන් සමග පදිංචිය වෙනස් කරන්නට සිදුවුණු නිසා, අවුරුදු හතරහමාරෙන් 2006 ජනවාරියේ දී පාසල් යෑමට වරම් ලද, අපේ පුතා, මේ ගෙවන්නේ පාසල් දිවියේ දොළොස් වෙනි වසරයි.

එනම්, ඔහු දැන් ඉගෙනුම ලබන්නේ එකොළොස් වෙනි ශ්‍රේණියේ ය. ලබන වසර අවසානයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිනු ඇත.

අධ්‍යාපනයේ අරමුණ යනු ඉහළ විභාග ප්‍රතිඵල ලැබීම නොවන බව කට කැඩෙන තුරු විවිධ ප්‍රාඥයින් ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කුමක් දැයි අපි හොඳින් දනිමු.

මගේ පාසල් ජීවිතයේ දී මුහුණ දුන් විභාගවලදී මා හොඳම ලකුණු ලබ ගත්තේ පහේ පන්තියේ දී ය. එතැන් සිට උසස් පෙළ දක්වා මා කළේ 87% සිට 69.25% දක්වා මහා පල්ලම් බැසීමකි.

මා මුහුණ දුන් ඒ පහේ පන්තියේ විභාගයට සමාන විභාගයේ දී අපේ පුතා ලබා ගත්තේ ලකුණු 69.67% පමණකි. නමුත්, එතැන් සිට ඔහු කළේ තාත්තා මෙන් පල්ලම් බැසීමක් නොව මහා කන්දක් නැගීම ඇරඹීමයි.

ඒ ගමනේ විවිධ සලකුණු දැන් දැන් විද්‍යාමානවෙමින් පවතී.

ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය!

-රසිකොලොජිස්ට්

Monday, 24 April 2017

ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold


මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!

මේ ආකාරයේ (එතෙක්) නොකී කතාවක් මා පෙර දිනයක ද කියා ඇත. එය උඩ කරණම් ගසන්නට ගොස් අවසාන මොහොතේ ඉන් ඉවත් වූ කතාවකි.

මේ අද කියන කතාව ද, ඇත්තට ම, උඩ කරණම් ගැසීමක් පිළිබඳ කතාවකි.

පරකන්දෙනියේ පිහිටි මගේ පියා ගේ මහගෙදර මිදුලේ හොඳින් පලදාව ලැබුණු අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස් දෙකක් විය. අප්‍රියෙල් මාසයේ මල් පිපී, මාස දෙකකින් පමණ පලබර වෙන මේ ලොවි ගස් අපේ ආච්චීට මෙන්ම මට ද ආදායම් මාර්ගයක් ගෙනාවේ ය.

ලොවි පිළිබඳ සැපයුම් දාමය මෙසේ විය.
  • ගසේ ලොවි පළ ගනී.
  • මම ආච්චීට ලොවි කඩා දුන්නෙමි.
  • ගමේ වෙළෙන්දියකට ආච්චී ලොවි විකුණුවා ය. ඉන් ආච්චී ලැබූ මුදලින් කොටසක් මට ද ලැබුණි.
  • වෙළෙන්දිය, කොළඹ තොටළඟ නම් ස්ථානයට මේ ලොවි ද, ගමේන් මිලට ගන්නා වෙනත් පලතුරු සහ අනෙකුත් බෝග වර්ග ද ගෙන ගොස් විකුණුවා ය.
දසත අතු විසිරී පැතිරී ගොස් තිබුණු ඒ ලොවි ගස් දෙකට නැග ඉදුණු ලොවි ගෙඩි කැඩීම, කොලු වයසේ සිටි මට ඉතා සරල වැඩක් විය. කුඩා හෝ ප්‍රශ්නයක් ලෙස තිබුණේ දිමියන් ය. නමුත් දිමි ගොටු ඇති තැන් ඉතා පැහැදිලිව පෙනෙන නිසා, ඒවා මග හැර ලොවි කැඩීම කජු කෑම වැනි කර්තව්‍යයකි.

එසේ නමුත්, කඩන හොඳ හොඳ ලොවි ගෙඩි කටට නොදමා, පලදාව එකතු කරන මල්ලට දැමීම, ගස් නැගීමට හෝ දිමියන්ගෙන් බේරීමට වඩා අසීරු කාර්යයක් විය.
සීයක් කඩන කොට අඩු වෙනවද කීයක්?
කීයද කොල්ලො, කීය ද ඔය ලොවි සීයක්?
මට ලොවි කැඩීම ද, ගස් නැගීම ද එපා කරවූ මේ ලිපියට මාතෘකාව සපයන ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ, මගේ මතකයට අනුව, මට වයස අවුරුදු දහතුනේ දී උදා වූ ඒ එක් ලොවි වාරයේ දී ය.

මේ කාලය වන විට අප පවුල පදිංචිව සිටියේ, ගමේ මහ ගෙදර නොව ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගලහිටියාවේ නමුත්, ලොවි කැඩීමේ රැකියාව සඳහා මම සති අන්තයේ ද, සමහර සතියේ දිනවල සවස් වරුවේ ද මහගෙදර ගියෙමි.

එදා මම මල්ල ද රැගෙන ලොවි ගස් දෙකෙන් උස ගසට නැග්ගෙමි. මේ ගසේ ගෙඩි ලොකු ය, ලස්සනය නමුත් අනෙක් ගසේ පොඩි ගෙඩි තරම් රස නැත!

ලොකු ලොවි ගසේ එක අත්තක තිබූ ඉදුණු ලොවි ගෙඩි කඩා මල්ලට දමා, මම ඒ අත්තේ සිට මට පහතින් පිහිටා තිබුණු වෙනත් අත්තකට පය තිබ්බෙමි.

ඊළඟ මොහොතේ සිදුවූයේ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයට පය ලෙස්සා ගොස් මා බිමට ඇද වැටීමයි.

සරාස්, බරාස්, දඩාස්!

කුමන භෞතික විද්‍යා සිද්ධාන්තයක් නිසා දෝ, හොඳ වෙලාවට මා බිම පතිත වූයේ හිස හෝ කකුල් හෝ අත් හෝ මුලින් පොළොවේ ඇනී කැඩෙන පැළෙන ආකාරයකට නොව මුලින් පස්ස බිම වැදී කොන්ද පොළොවේ තිරස් අතට වදින ආකාරයට ය.

මගේ තට්ටම් සහ කොඳු ඇට පෙළ පෙදෙස කෙතරම් රිදෙන්නට පටන් ගත්තා දැයි කිවහොත් කොටින් ම මට ඇඬුණි.

විනාඩි ගණනාවක් ම කිසිවක් කර කියා ගන්නට හෝ සිතා ගන්නට නොහැකිව මා එතැනම, ඒ ආකාරයෙන් ම තිරස්ව පොළොවේ දිගා වී නොසැලී සිටියෙමි.

වේදනාවේ අඩුවක් නොදැනුණි.

වාසනාවකට හෝ අවාසනාවකට මා ඇද වැටෙනු කිසිවෙකු දුටුවේ නැත. කොහොමටත් නිවසේ සිටියේ ආච්චී, සීයා සහ නැන්දා පමණි. එසේම කෑ ගසා හෝ ශබ්ද නැගෙන්නට හඬා හෝ මා ඒ බව කිසිවෙකුට දැන ගන්නට ඉඩ තැබුවේ ද නැත.

මද වේලාවකට පසු සිටි තැනින් නැගිට සිටි මා යාන්තම් කොර ඇදමින් ගොස් ඇඳක් මත වැතිර තවත් අඩ පැයක් පමණ නිසොල්මන්ව වේදනාව උසුලාගෙන සිටියෙමි.

මට අද වැටහෙන පරිදි, මගේ ශරීරයේ කිසිදු අස්ථියක් හෝ වෙනත් අවයවයක් හෝ බිඳී නොතිබුණි. ශරීරයේ හැම කොටසක් ම වාගේ දැඩි දැවිල්ලකට ලක් කළ ඒ වේදනාව පැය කිහිපයකට පසු මට දරාගත හැකි මට්ටමේ එකක් බවට පත් විය.

නමුත්, මා පස්ස බිම ඇනෙන ආකාරයට නොව, වෙනත් ඉරියව්වකින් බිම පතිත වූවා නම්, හිස හෝ අත හෝ කොඳු ඇට හෝ ඉල ඇට හෝ බිඳී මා දැඩි රෝගාතුර තත්වයට පත්වන්නට ඉඩ තිබුණු බව මට පසුව වැටහුණි.

මා ලොවි ගසෙන් වැටුණු මෙතෙක් නොකී කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/pin/433401164111641630/)