
මා මේ ලියන සටහන "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලිපියේ ඇරඹුණු දිගු කථාවෙන් පැන නැගුණු "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නම් අත්තේ දෙවන පුරුක යි. එහි අවසාන අතු රිකිලි පසුව දළුලනු ඇත.
ඕස්ට්‍රේලියාව පාලනය වන හැටි සහ එහි ඡන්ද ක්‍රමය ගැන මම මීට පෙර ලිපි කිහිපයක් ම, ලියා ඇත්තෙමි. ඒ සමගම, පසුගිය ජූලි මාසයේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා පැවැත්වුණු මහ ඡන්දය ගැන ද, මම ලිපි දෙකක් ලියූවෙමි.
මා මුලින් ම ඕස්ට්‍රේලියාවේ දී දුටුවේ ද ෆෙඩරල් මහ ඡන්දයක් පැවැත්වෙන ආකාරය යි. ඒ 1996 මාර්තුවේ දී ය. එවකට මා මෙරටට සංක්‍රමණය කර වසරක්වත් ගත වී නොතිබුණි. මා ද්විත්ව පුරවැසියෙකු වීමට ලංකාංඩුවෙන් ගාස්තු ගෙවා අවසර ගෙන ඕස්ට්‍රේලියානු පුරවැසිබව හිමි කර ගත්තේ වසර 1998 වසරේ ජනවාරි යේ දී ය.
මේ කරුණු නිසා මට ඒ 1996 ඕස්ට්‍රේලියානු මැතිවරණය ගැන තිබුණේ තරමක උනන්දුවක් පමණි. මා දැන සිටියේ එවකට පැවතියේ අගමැති පෝල් කීටින් ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්‍ෂයේ රජයක් බවත්, විපක්‍ෂය වූයේ ජෝන් හාවඩ් නායකත්වය දැරූ ලිබරල් පක්‍ෂය හා ඔවුන් සංධානගතව සිටි නැෂනල් පක්‍ෂය බව වැනි සරල කාරණා කිහිපයක් පමණි.
කම්කරු පක්‍ෂය ඒ වන විට බලයට පැමිණ වසර දහ තුනක් පමණ ගෙවී තිබුණු අතර ෆෙඩරල් පාලනයේ තට්ටු මාරුවකට කාලය එළැඹී තිබුණු බව රට හැම අතින් ම ලැබෙන ප්‍රවෘත්තිවලින් දිස්වුනි.
මේ ඡන්දය සඳහා ලිබරල්-නැෂනල් සන්ධානයෙන් ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් නම් ඡන්ද කොට්ඨාශය සඳහා නාම යෝජනා ලැබී තිබුණේ පෝලීන් හැන්සන් නම් කාන්තාවකටයි. ඇය එවකට කඩයප්පම් කඩයක හිමිකාරියක වූ අතර නගර සභා මැම්බර්වරියක් ලෙස අර්ධකාලීන දේශපාලනයට ද පිවිස තිබුණි.
දුර බැහැර පළාතකින් ඡන්දයට මුල්වරට ඉදිරිපත්වන ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට වුව ද ජාතික තලයේ ප්‍රචාරයක් සාමාන්‍යයෙන් නොලැබේ. විශේෂයෙන් ම, මේ ඔක්ස්ලි ආසනය කම්කරු පක්‍ෂය විසින් ඉන් පෙර ඡන්දයේ දී දිනාගෙන තිබුණේ 12% පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් නිසා, එය සැලකුණේ ආරක්‍ෂිත කම්කරු පක්‍ෂ ආසනයක් ලෙසයි.
එසේ නමුත්, පෝලීන් හැන්සන් ඡන්දයේ ප්‍රචාරක සමයේ කළ එක්තරා කැළඹුම්කාරී ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා, ඇයට තරමක ප්‍රසිද්ධියක් ලැබුණි.
ඇය කළ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසික ජනතාව රජයෙන් දෙන ශුභසාධන දීමනා අන් ජන කොටස්වලට වඩා වැඩියෙන් භුක්ති විඳිමින් වංචා සහගතව ජීවත්වෙන බවයි.
ඒ ප්‍රකාශය ජාතික මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීමත් සමගම ඇයට විරුද්ධව විශාල විරෝධයක් රට සතර අතින් නැගුණි. ඒ විරෝධයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලිබරල් පක්‍ෂ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රකාශ කිරීමේ වරදට, නායක ජෝන් හාවඩ් විසින් පෝලීන් හැන්සන් අපේක්‍ෂිකාවට දුන් පක්‍ෂ සහයෝගය ඉවත් කිරීමයි.
එසේ නමුත් ඡන්දයේ දී සිදුවූයේ ජෝන් හාවඩ් ප්‍රමුඛ ලිබරල් පක්‍ෂය හෝ අන් ප්‍රදේශවල ජනතාව හෝ අපේක්‍ෂා නොකළ දෙයකි. පෝලීන් හැන්සන් ඔක්ස්ලි ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රීවරිය ලෙස තේරී පත්වූවා ය.
ඒවන විට රටේ විවිධ පළාත්වලින් යම් යම් අති දක්‍ෂිණාංශික ප්‍රතිගාමී බලවේග ද ඇය වටා එක්රොක්වන්නට පටන් ගෙන තිබුණි.
ඒ වසරේ අලුත් පාර්ලිමේන්තුව රැස්වූ පසු, තම මංගල පාර්ලිමේන්තු කතාවේදී පෝලීන් හැන්සන් පෙරටත් වඩා ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළා ය. එංගලන්ත ජනපද එක්කොට 1901 දී ඕස්ට්‍රේලියාව නම් රාජ්‍යය පිහිටවූ දිනවල ම සිට වාගේ රටේ පැවතුණු සුදු ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය කෙමෙන් අතහැර දමමින් හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කරමින් කතා කළ පෝලීන් හැන්සන් පවසා සිටියේ සංක්‍රමණය සහ ජනගහන වර්ධනය අනුව රට ඉතා ටික කාලයකින්ම ආසියානුවන් ගේ රටක් බවට පත්වීමට නියමිත බවයි.
එහිදී ආසියානුවන් ලෙස හැඳින්වුණේ සාමාන්‍යයෙන් චීන සහ කොරියන් වැනි සම්භවයකින් යුතු ජන කොටස් ය.
ප්‍රායෝගිකව සිදුවෙන බවට කිසිසේත් ම ඔප්පු කර පෙන්විය නොහැකි ඒ ප්‍රකාශය ගණිතඥයින් ගේ ද, සමාජ විශ්ලේෂකයින් ගේ ද, ප්‍රගතිශීලී ඕස්ට්‍රේලියානුවන් ගේ ද, සරදමට භාජනය වුවත්, රටේ විවිධ ප්‍රදේශවල පිරිස් එය විශ්වාස කරන්නට ඇත.
සමහර විට වික්ටොරියා ප්‍රාන්තයේ, නෝබල් පාක් ගම්මානයේ පන්සලක සිටි ලාංකික භික්‍ෂුවක් ද එය විශ්වාස කරන්නට ඇත.
විශ්වාස කරනවා පමණක් නොව එය තමන්ට කොයි ආකාරයකට පාවිච්චි කළ හැකි ද කියාත් ඔහු එදා සිතා බලන්නට ඇත!
ඒ විස්තර ද දිනක ලිවිය යුතුය.
-රසිකොලොජිස්ට්
(http://www.whaleoil.co.nz/2014/10/sure-channelling-pauline-hanson-winner-jacinda-dear/)