Showing posts with label ආගම්. Show all posts
Showing posts with label ආගම්. Show all posts

Friday, 22 November 2024

මහා පිරිත් ලණු ප්‍රශ්නය හෙවත් මං දැන් MK? - With metta


මාර වැඩේ නේ ෆ්‍රෙන්ඩ්ස් මට වුණේ.

දවස් දෙකකට කලින් මට පන්සලකට යන්න වුණා සෑහෙන කාලෙකට පස්සේ. මං හිතන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු හිතවත් දෙදෙනෙකු සමග එහි දිනයට පසු මුල්වරට.

එදා ගියේ ඒ අවට මනස්කාන්ත පරිසරය නරඹන්න හිතවතුන් රැගෙන ගිය අතරතුරේ. මෙදා ගියේ හිතවත් පවුලක වැඩිහිටියෙකු මියගොස් තුන් මාසේ දානය දෙන්න.

ඉතින් ඔන්න පන්සලේ විහාරය ඇතුළේ බුද්ධ පූජාව තියලා හාමුදුරුවරු දෙන්නා පිරිත් සජ්ඣායනය කළා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ (ලොකු කිව්වට වයසක කෙනෙක් නොවේ) පිරිත් ලණු තුනක් අරගෙන අපිට එන්න කිව්වා අත්වල බඳින්න.

මාත් ඉතින් ගිහින් අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවක් ගලෝලා පිරිත් ලණුව බඳින්න අත දිගුකළා. හාමුදුරුවෝ බැන්දා.

අනිත් හාමුදුරුවෝ පෝච්චියක් වගේ එකක් අතින් අරන් පිරිත් වතුර බොන්න මට කතා කළාට මම ඒකට අහුවුණේ නැහැ. ඒ පෝච්චිය ඇතුලේ මොන විෂබීජ බෝ වෙලා තියෙනවද කවුද දන්නේ?

දවස් දෙකකට පසු අද උදේ යූටියුබය හරහා ලංකාවේ දේශපාලන වීඩියෝවක් නරඹමින් සිටින කොට තමයි මට තේරුණේ මගේ පිරිත් ලණුව මං බන්දවාගෙන තියෙන්නේ වම් අතේ බව.

ඒ වීඩියෝවේ හිටපු නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිරිත් ලණුව බැඳලා තියෙන්නේ දකුණු අතේ.

දැනුම් තේරුම් ඇති මිතුරන්ගෙන් මට දැනගන්න ඕනෑ වම් අතේ පිරිත් ලණුව බැඳීම හොඳ නැතිද, එයින් පව් සිදුවෙනවා ද කියන කාරණය ගැන.

මෙත් සිතිනි.

- රසිකොලොජිස්ට්

(image: Rasika Suriyaarachchi)

Saturday, 4 November 2023

රජයේ භික්ෂු නිලධාරී (මගේ යෝජනාවකි) – My humble but costly proposal to resolve a burning issue in Sri Lanka


ලංකාවේ මේ දිනවල උද්ගත වී ඇති සීමිත වුවත් බරපතල ප්‍රශ්නයකට මගේ විසඳුම ඉදිරිපත් කිරීම මේ කෙටි සටහනේ අරමුණයි.

මේ ප්‍රශ්නය පිළිබඳ ඉතා මෑත උදාහරණය මේ සටහනේ උඩින් පළ කර ඇති පුවත්පත් වාර්තාවෙන් කියවේ.

ඒ පිළිබඳව ටෙලිවිෂන් නාලිකාවක ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක වීඩියෝවක් ද සමාජමාධ්‍ය ජාලාවල පසුගිය දා බෙදා හදා ගැනුණි. දැක නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න අප බොහෝ දෙනෙකු දැක ඇති වීඩියෝව.



පුවත්පත් වාර්තාවේ දීර්ඝවශයෙන් ද, වීඩියෝවේ කෙටියෙන් ද කියවෙන පරිදි මෙහි සිදුවී ඇත්තේ ලංකාවේ “බුඩ්ඩාගමේ” පන්සලක් විසින් වත්මන් බුදු දහම අනුව ජීවිතය ගෙවන අසරණ පුද්ගලයින් තලන පෙලන අන්දමයි.

පන්සලට නිසි පරිදි දානය පූජා කර නොමැති නිසා, ඒ වෙනුවෙන් රුපියල් 40,000 ක කප්පමක් (එක් දානයක් සඳහා රුපියල් 10,000 බැගින්!) නොගෙවන්නේ නම්, මියගිය පුද්ගලයාගේ සත් දවසේ බණ පිංකම් සඳහා පැමිණීම පන්සලේ කප්පම් මැරයා ප්‍රතික්ෂේප කර ඇත.

මැරුණු එකා දැන් නොමැති බව අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් නොමැති මේ නූගත් අසරණ ගැමියන්, තම තම බිස්නස් සරු කර ගැනීම සඳහා මිය ගිය අය මළ පෙරේතයින් වී පිං බලාපොරොත්තුවෙන් සිටින බවට පච කෙලින අතර දානයේ ආනිසංශ ගැන කුණු බණ දෙසන කහකඩයින්ගේ බසට දිගින් දිගටම රැවටෙන නිසා, කර ඇත්තේ කප්පම්කරුවන් නොවන වෙනත් පන්සලකින් හාමුදුරුවෙකුට එන්න කියා බණ කීයවා ගැනීමයි.

ගමේ පන්සලේ කප්පම්කාරයා විසින් තම එන්ෆෝසර්ස්ලා හෙවත් චණ්ඩි රැළ උසිගන්වා එවා ඇත්තේ, “අඩෝව්, අපේ වැයික්කියේ බිස්නස් කරන්න පිටගංකාරයින්ට දෙන්න පුළුවන් ද ඩෝ?” සටන් පාඨයෙන් ද සන්නද්ධ කිරීමෙන් පසුව බව පෙනේ.

මැරයින් කර ඇත්තේ ගමේ කප්පම්කාරයාගේ ඒරියල් එකෙන් පිට සිට මෙහි බණ දෙසන්නට ආ හාමුදුරුවන්ට පහර දීමයි.

මාස කිහිපයකට පෙර ද, මියගිය මවක ගේ පාංශුකූලය නම් කෙහෙම්මල සඳහා ඒමට වෙනත් ගමක කප්පම්කරුවෙකු ප්‍රතික්ෂේප කර ඇති පුවතක් වාර්තාවිය.



මම ඒ ගැන මගේ අදහස ලියා පළ කළෙමි. මා මළ පසු කළ යුතු නොයුතු දේ එහි සඳහන් වී ඇත. මෙන්න ඒ සටහනට සබැඳිය.
https://rasikalogy.blogspot.com/2023/08/upon-my-death.html

නිරතුරු සිදුනොවුණත් මෙය බරපතල ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාවේ බහුතර සමාජය කෙතරම් ජරාජීර්ණ වී ඇති ද යන්නයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මා අවංක සිතින් කරන යෝජනාව මෙයයි.

බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහා රජයේ හාමුදුරුවරු බඳවා ගන්න.

මෙම තනතුර "රජයේ සාදු නිලධාරී" නොහොත් "රජයේ භික්ෂු නිලධාරී" ලෙස නම් කළ හැක

රජයේ නීතීඥවරු ලබා දෙනවා මෙන්, එසේ නොමැති නම් සාම විනිසුරුවරුන්ගේ සේවය ලබා දෙනවා මෙන්, තමන් අසරණ නැති බැරි අය වන නමුත් පවුලේ මියගිය අයෙකු සඳහා පාංශුකූලය, සත්දවසේ බණ වැනි අවම ඊනියා පිංකම් කිරීම සඳහා ඒ රජයේ හාමුදුරුවරුන්ගේ සේවය නොමිලේ ලබාදෙන්න.

රජයට මේ සඳහා පිරිවැය දැරීමට සිදුවේ. නමුත් බුද්ධාගම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම වගකීමක් තියෙනවා නොවැ!

මට වැදගත්වන්නේ අර අසරණ මිනිසුන්ගේ මානසික තත්වයයි.

- රසික සූරියආරච්චි

සම්මා කප්පමාරාම අතර මේ පහත දැක්වෙන ආකාරයේ සැබෑ පන්සල් ද ඇති බව සිහිපත් කරමි.



(image: සමාජජාලාවලිනි.)

Sunday, 14 August 2022

සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories


සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය ලැබුණු විට මට ඒ හා සම්බන්ධ මගේ අත්දැකීම් කිහිපයක් ම සිහියට නැගුණි.

එයින් මුල් සිදුවීම 1989 දක්වා ඈතට දිව යයි. සල්මන් රුෂ්ඩි යන නම අප බොහෝ දෙනකු මුල්වරට ඇසුවේ ඒ කාලයේ දී ය. එයට හේතුව වූයේ ඔහු විසින් ලියන ලද “සැටනික් වර්සස්” නමැති නවකතාව නිසා ඉස්ලාම් ආගමේ නිර්මාතෲ මොහොමඩ්ට අපහාසයක් සිදුවුවා යයි පවසමින් ඉරානයේ එවකට (ආගමික) නායකයා වූ අයතොල්ලා කොමේනි විසින් සල්මන් රුෂ්ඩි මරා දමන ලෙස ආඥාවක් හෙවත් ෆට්වාවක් නියම කිරීමයි.

අයතුල්ලා කුමේනි ගේ එම නියෝගය අනුව ක්‍රියාත්මක වී, කිසියම් ආගමික උන්මත්තකයෙකු විසින් සල්මන් රුෂ්ඩි මරා දැමීමට ඉඩ ඇති බව පෙනී යාම නිසා මේ ලේඛකයාට සිදුවූයේ අන්වර්ථ නාමයකින් සැඟ වී දිගු කාලයක් ජීවිතය ගත කිරීමටයි. ඔහු යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පටන් ගත්තේ, මට මතක ආකාරයට දිගු කලකට පසුව ය.

මේ සිදුවීම් ඇතිවූ කාලයේ, එනම් 1989 දී, මා සිටියේ ලංකාවේ නොව වෙනත් රටක ඉගනුම ලබමිනි. මා සමග එකම පාඨමාලාව හැදෑරූ පිරිස් අතර එක්තරා බංග්ලාදේශ ජාතිකයෙකු ද විය. පසු කලෙක මා ඒ ගැන සිතා බලන විට ඔහු අන් අයට වඩා, කොටින් ම අන් බංග්ලාදේශ ජාතිකයින්ටත් වඩා, වෙනත් හැසිරීම් තිබුණු අයෙකි. උදාහරණයක් ලෙස ඔහු තමන් හදාරන්නේ නැති විෂයන්ගේ පවා දේශන සටහන් නිබන්ධන යනාදියේ ඡායා පිටපත් ලබා ගනී. තමන්ගේ දේශන සටහන්, පරිශීලනය කරන පාඨ ග්‍රන්ථ යනාදියේ වැදගත් තැන් වර්ණ පෑන් භාවිතයෙන් හයිලයිට් කිරීම එකල අප කාගේත් සිරිත විය. අපේ බංගලි මිතුරාගේ එවැනි සටහන් සහ පොත්පත් ගැන අප කළ නිරීක්ෂණය නම්, ඒවායේ ඕනෑම පිටුවක සියයට අනූපහක් පමණ ම විවිධ වර්ණයෙන් හයිලයිට් කර ඇති බවයි.

සල්මන් රුෂ්ඩි ගේ කෘතියට විරුද්ධව පෙර කී පරිදි අයතොල්ලා කුමේනි විසින් නිකුත් කළ මරණ ආඥාවේ උණුසුම තිබූ කාලයේ, මට මේ බංගලියා සමග යම්කිසි කාර්යයක් සඳහා බස් රථයක නැගී යාමට සිදුවිය. එහිදී අප අතර ඇති වූ සාකච්ඡාවේ දී මට පෙනී ගියේ ඔහු එක හෙළා ම එම මරණ ආඥාව අනුමත කරන බවයි.

අප දෙදෙනාම හදාරමින් සිටි පාඨමාලාව මූලිකව ම ගණිත සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වූ එකක් වූ නිසා ඒ අනුව තර්ක කරමින් මා මේ පුද්ගලයාට පහත ප්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

“දැන් ඔබ හෝ අයතුල්ලා කුමේනි හෝ ඔය පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ කියවන්නේවත් නැතුව එහි අන්තර්ගතය වැරදි බවත්, එනිසා ලේඛකයාට මරණ දඬුවම හිමි විය යුතු බවත්, ඔබ කියන්නේ කවර පදනම මත ද?”

ඒ සඳහා ඔහු ලබාදුන් මට සාපේක්ෂව අසාර්ථක පිළිතුර අනුව මට පෙනී ගියේ, ආගමික උන්මත්තකයෙකුට මේ වැනි කාරණයක දී වත්, කිසිදු තර්කයක් හෝ සොයා බලා වටහා ගැනීමක් හෝ අනවශ්‍ය බවයි.

දැන් මෙන්න මගේ දෙවෙනි අත්දැකීම.

මුල් සිදුවීමට වසර හයකට පසු මම වෙනත් විශ්වවිද්‍යාලයක වෙනත් අධ්‍යයන කටයුත්තක නිරත ව සිටියෙමි. එහිදී මා සමග විශ්වවිද්‍යාලයේ එකම කාමරය බෙදාගනිමින් සිටියේ පෙර කී අයතොල්ලා කොමේනි ගේ දේශයේ ම වැසියෙකි, එනම් පර්සියානු හෙවත් ඉරාන ජාතිකයෙකි.

මේ දිනවල දී ම, අපේ ගමේ පුස්තකාලයෙන් ලබාගෙන මා කියවූ එක් නවකතාවක් වූයේ ඇමරිකානු ජාතික බෙටී මහමුඩී නම් ලේඛිකාව විසින් තම අත්දැකීම් අනුසාරයෙන් රචනා කර තිබුණු “Not without my daughter" නම් කෘතියයි.

මෙම නවකතාව කියවා නැති අයට එහි අන්තර්ගතය පිළිබඳව ඉතා සැකවින් කියනවා නම්, එහි අඩංගු වන්නේ ඉරාන ජාතික වෛද්‍යවරයකු හා විවාහ වන ඇමරිකානු කාන්තාවක්, ඔවුන්ගේ කුඩා දියණිය ද සමග, ඉරාන විප්ලවයෙන් පසු (එනම් අයතුල්ලා කුමේනි බලයට පැමිණීමෙන් පසු) ටික කලකට පදිංචිය සඳහා තම සැමියා සමග ටෙහෙරාන් නුවරට යන ආකාරයත්, එහි දී ඇය තම සැමියා ආපසු ඇමරිකාවට යෑමේ කිසිදු අදහසක් නොමැති බව වටහා ගන්නා නමුත් දියණිය නොමැතිව තනිව ම ආපසු යාමට අකමැති ව දිගු කාලයක් දුක් විඳිමින් සිට පසුව කෙසේ හෝ දියණිය ද සමඟ එයින් මිදී පලා යන ආකාරයත් ය.

මෙම නවකතාවේ එක් තැනක, ඉරානයේ කුකුල් මස් ව්‍යංජනයක් සාදන ආකාරය පිළිබඳව සඳහන් වේ. මගේ සිත ගත් විස්තරයේ වූයේ ඒ කුකුල් මස් කරිය සඳහා ලූනු විශාල වශයෙන් ද, ඊට අමතරව "සැෆ්රන්" යනුවෙන් හැඳින්වෙන කුළුබඩු වර්ගය ද භාවිතා කරන බවයි. සැෆ්රන් යනු ඉතා මිලාධික කුළුබඩු වර්ගයක් නිසා, ඉරානයේ සැෆ්රන් භාවිතය පිළිබඳව මගේ ඉරාන ජාතික මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒ කතාව ආරම්භ කිරීමේ දී, මට ඉහත නවකතාව පිළිබඳව සඳහන් කිරීමට ද සිදු විය. සැෆ්රන් ගැන මට පැවසීම කෙසේ වෙතත් මගේ ඉරාන ජාතික මිතුරා මුලින් ම කළේ, එම නවකතාවේ ඇත්තේ අමූලික බොරු බවත් එය ඉරානයේ තහනම් කර ඇති බවත් පැවසීමයි.

මා ඔහුගෙන් ද විමසා සිටියේ, මුලින් සඳහන් කළ බංග්ලාදේශ ජාතික මිතුරාගෙන් ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි.

“උඹ මේ පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ නොමැති නම්, මෙහි ඇති අන්තර්ගතය පිළිබඳව උඹ නිවැරදිව දන්නේ කෙසේද?”

ඔහුට ද එයට සාර්ථක තර්කානුකූලව පිළිතුරක් දිය නොහැකි විය.

දැන් මෙන්න තුන්වෙනි අත්දැකීම.

මේ මා සඳහන් කළ දෙවන සිදුවීමෙන් වසර 14 කට පසුව 2010 දී වූවකි. මෙයට සම්බන්ධ විදේශිකයෙකු නොව අපේ ම ශ්‍රී ලාංකික මිතුරෙකි.

අපේ යම්කිසි සංවත්සරයක් හා සම්බන්ධව සමරු කලාපයක් සකස් කර මුද්‍රණය කිරීමට ඒ දිනවල කටයුතු කෙරෙමින් තිබුණු අතර ඒ සඳහා අතීතකාමී සටහනක් ලියා දෙන මෙන් මට ඇරයුමක් ලැබුණි.

මට සාපේක්ෂව ඉතා වැදගත් කරුණු කිහිපයක් ඇතුළත්, සියලු දෙනා ම කිය කිය විය යුතු යැයි මා සිතන ආකාරයේ සටහනක් ලියූ මම එය මේ තුන්වෙනි මිතුරාට ලබා දුන්නෙමි.

එය කිය වූ ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙය මෙලෙස ය.

“මේක නම් පළ කරන්න බැහැ මචං. මේක පළ කළොත් ගුටි කන්න තමයි වෙන්නේ!”

ඒ වදන් අසා අන්දුන්කුන්දුන් වූ මම ඔහුගෙන් මෙසේ අසා යැව්වෙමි.

“ඒ ලිපිය පළ නොකළාට කමක් නැහැ. මං ඒක වෙන තැනක පළ කරන්නම්. මට මෙන්න මේ ප්‍රශ්න කිහිපයට උත්තර දීපං.”
  1. ලිපිය පළ කළොත් කව්ද උඹට එහෙම ගහන්නේ?
  2. එහෙම ගහන්නේ මා ලියූ ලිපියේ වැරදි තියෙන නිසා ද? එසේ නම්, ඒවා මොනවාද?
  3. වැරැද්දක් තිබේ නම් එය පෙන්වා දෙනු වෙනුවට කිසියම් අයෙකු එය පළ කරන උඹට පහර දෙන්නේ ඇයි?”
ඒ ප්‍රශ්නය අසා දැන් වසර 12ක් පමණ ගත වී ඇතත් මට තවමත් පිළිතුරක් නම් ලැබුණේ නැත.

ස්ටැන්ලි තම්බයියා ලියූ බුඩිසම් බීට්‍රේඩ් නම් කෘතිය මෙන් ම, ඩෑන් බ්‍රව්න් ගේ ඩා-වින්චි කෝඩ් නවකතාව ද ලංකාවේ තහනමට ලක් වූ බව ම මෙවෙලේ සිහි වේ. ඒ තීරණ ගත් එවුන් එසේ කළේ ඒ පොත් කියවීමෙන් පසු යැයි මම කිසිසේත් ම නොසිතමි.

හොඳයි දැන් අපි නැවතත් මේ සටහන ඇරඹූ තැනට යමු.

සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය........................

- රසික සූරියආරච්චි

(image: https://www.salmanrushdie.com/)

Monday, 1 November 2021

කොළඹ දිය කිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු! - Random thoughts on school education in Sri Lanka



ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මෑත අතීතය දක්වාම ලංකාවේ අධ්‍යාපනය මූලිකව ම කේන්ද්‍ර වී තිබුණේ පන්සල් වටා බව පැහැදිලි ය. ගමේ ගුරු ගෙදර යන සංකල්පය ගැන අසා තිබුණද, ඒ සේවය සාමාන්‍ය සාක්‍ෂරතාවය ලබා දීමෙන් ඔබ්බට ගියේ ද යන්න සැක සහිත වේ. වෙදකම, නක්‍ෂත‍්‍රය හැරුණු කොට ඉගෙනීමට තිබුණු එකම විෂයය වූයේ ආගම ධර්මය විය යුතුය. ඒ පන්සල් අධ්‍යාපන ක‍්‍රමයේ වත්මන් ස්වරූපය පිරිවෙන් ලෙසින් අද ද දක්නට ඇත.

පන්සල් ආශ‍්‍රිත පිරිවෙන් අධ්‍යාපනයේ එක් සීමාවක් වනුයේ එහි විෂයය මාලාවයි. එය සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් සහ බුද්ධ ධර්මය ඉගෙනීමෙන් පිට යතැයි මම නොසිතමි.

ඒ ආකාරයේ ම එකල පැවති තවත් සීමාවක් වූයේ මේ අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබිය හැකි වූයේ වැඩවසම් සමාජයේ තරමක් හෝ ඉහළ පවුල්වල පිරිමින්ට පමණක් වීමයි. පැහැදිලි හේතූන් මත කාන්තා පක්‍ෂයට පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් නොහැකි විය. පැරණි සිංහල පතපොත ලියූ අය අතර කාන්තාවන් නොමැත්තේ ඒ නිසා යැයි සිතමි. භික්‍ෂුණී සසුන සාපේක්‍ෂකව කෙටි කාලයකින් ම ලංකාවෙන් තුරන් වී තිබීම මේ කාන්තා උගතුන් නොමැති වීමට හේතුව විය හැක.

මෑත අතීතයේ දී විසූ කිවිඳියක වන ගජමන් නෝනා කුඩා කළ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන ගත්තේ පිරිමි ළමයෙකු ලෙස වෙස් ගැනීමෙන් පසුව බව කියවේ.

බටහිර ක‍්‍රිස්තියානි සමාජයේ ද අධ්‍යාපනය මුල් බැස්සේ ආගම වට කොට ගෙන පල්ලිය කේන්ද්‍රය කොට ගෙන බව පෙනේ. ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට නතු වෙන කාලය වන විට එකී පල්ලියේ අධ්‍යාපනය හුදෙක් පූජකයින්ට පමණක් සීමා නොවී විවිධ ජන කොටස්වලට ද ප‍්‍රයෝජනවත් වන පාසල් අධ්‍යාපනයක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පෙරළී තිබුණු බව කිව හැක. මිෂනාරී අධ්‍යාපනය ලෙසින් හැඳින්වෙන්නේ ඒ වැඩ පිළිවෙළයි. ලංකාවේ කොළඹ, යාපනය, මහනුවර ආදී ප‍්‍රධාන නගරාශ‍්‍රිතව කතෝලික සහ අනෙකුත් ක‍්‍රිස්තියානි නිකායන්ට අනුබද්ධිතව පාසල් ගොඩ නැගුනේ මේ මාර්ගයෙනි.

සෑම ක‍්‍රිස්තියානි නිකායකම පාහේ කාන්තා පූජ්‍ය පක්‍ෂයක් තිබුණු හෙයින් කන්‍යාරාම ආශ‍්‍රිතව ගැහැණු ළමුන් සඳහා ද පාසල් බිහිවිය.

විවිධ විෂයයන් ඉගැන්වීම කෙරුන ද, මේ මිෂනාරී අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ ද, පිරිවෙන් ක‍්‍රමය මෙන්ම ආගම වැඩි දියුණු කිරීම බව පැහැදිලි ය.

බටහිර ගොඩ නැගුණු තියෝසොෆිකල් හෙවත් පරමවිඥාර්තවාදීන් ගේ නායකයින් වන ඕල්කොට් සහ බ්ලැවැස්කි දහනමවන සියවසේ ලංකාවට පැමිණි විට එවකට පැවති ක්‍රිස්තියානි මිෂනාරි පාසල් පද්ධතිය සහ ඒවායේ ඉගැන්වීම් හරහා ලංකාවේ බෞද්ධයින් ක‍්‍රිස්තියානිකරනය වන බව පෙනෙන්නට ඇත. එය වැළැක්වීම සඳහා ඔවුන් ගේ උපායයික ක‍්‍රියාමාර්ගය වූයේ ඔවුන් දන්නා බටහිර අධ්‍යාපන රටාව මතම නමුත් බුද්ධාගම සහ ඒ ආශ‍්‍රිත විෂයයන් ද උගන්වන බෞද්ධ මිෂනාරි පාසල් පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමයි.

ඒ මෙයින් වසර එකසිය තිස්පහකට පෙර ය.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ඇති කළ ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් ද ඒ අනුකාරකව බිහි වූ බෞද්ධ පාසල් ද අති බහුතරය කොළඹ සහ ප‍්‍රාදේශිය ප‍්‍රධාන නගරබදව පිහිටවනු ලැබීය. මේ පාසල් බොහොමයක් ක‍්‍රි‍්‍රයාත්මක වූයේ නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස බැවින් රටේ විවිධ පළාත් වල ඇති-හැකි පවුල්වල සිසුන් ට ඒවාට බැඳී නේවාසිකව ඉගෙනුම ලැබිය හැකි විය. නිදහසින් හැට වසරකට පසුව අද ද ලංකාවේ අධ්‍යාපනය වසාගෙන ඔඩු දුවා තිබෙන තිබෙන "කොළඹට කිරි - ගමට කැකිරි" පිළිලයේ ආරම්භය එයයි.

ලංකාවට අවශ්‍ය වන්නේ ප‍්‍රධාන නගරවල තිබෙන සුපිරි පාසල් කිහිපයක් නොව, සෑම නගරයක්ටම, ඒවයේ තදාසන්න ප‍්‍රදේශයකටම විහිදුණු හොඳ පාසල් ජාලයක් බව මගේ අදහසයි. එවැන්නක ආරම්භය ලෙස විසිවන සියවසේ මුල් අර්ධයේ ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල ජාලය සැලකිය හැක. මුල් යුගයේ විශාල වර්ධනයක් පෙන්වා ඇති වුව ද, පසු කාලීන ව සිදුවූ රාජ්‍ය මට්ටමේ කුඩම්මාගේ සැලකිලි නිසා මධ්‍ය මහා විද්‍යාලවලට සිය උපරිම විභවය කිසි දිනක ළඟා කර ගත නො හැකි විය. ඒවා අද ද ප‍්‍රාදේශීය දරුවන් ගේ තෙවන පෙළ තේරීම් පමණකි.

එක්කෝ මධ්‍ය මහා විද්‍යාල ජාලය පුනරුත්ථාපනය කර ගැනීම හෝ නැවතත් එවැනි ප‍්‍රාදේශීය පාසල් ජාලයක් පිහිටුවීම කරනතුරු, අපට කළ හැක්කේ ප‍්‍රාථමික ගෝත‍්‍රවාදී සංකල්පයක් ලෙස මට පෙනෙන ආදී ශිෂ්‍ය සංගම් හරහා ඇති-හැකි අයුරින් පවතින ක‍්‍රමයට ම දර දිය ඇදීමයි.

-රසික සූරියආරච්චි


ප/ලි: මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියක් අකුරු කිහිපයක් වෙනස් කර නැවත පළ කිරීමකි. (images: http://en.wikipedia.org/)

Wednesday, 6 January 2021

ගැහැණියකට බුදුවිය නොහැකි ද? - Dogmatic idiots






















පරණ පිනක් පළ දී මට බුඩ්ඩාගං කල්ට් එකකට අයිති ෆේස්බුක් කණ්ඩායමකට එකතු වෙන්නට අවස්ථාවක් ලැබුණු බව සහ එහිදී ධර්මලොජිස්ට්වරයෙකු මෙන් ධර්ම ගැටලු විසඳන්නට අවස්ථාව ලැබුණු බව මම මීට කලින් පළ කළ සටහනේ දී සඳහන් කළෙමි.

එම ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකාවක විසින් අසා තිබුණු ඉතා වැදගත් ප්‍රශ්නයක් මෙලෙස විය.
බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම පිරිමි ආත්මයක් ම ලබන්න ඕනෑ ද?
මම එම ප්‍රශ්නයට මෙලෙස පිළිතුර දුන්නෙමි.

ගෑනුන්ටත් බුදු වෙන්න පුළුවන්. තාරා නමින් හැඳින්වෙන්නේ බුදුකෙනෙකු නේද? හැබැයි කසාද බැඳලා රාහුල ඉපදුනාට පස්සේ ගිහිගෙයින් නික්මෙන කොට නම් තරමක දුකක් දැනේවි.

හාමුදුරුකෙනෙකු යැයි සිතෙන නමක් ඇති අයෙකු මට ප්‍රතිචාර දක්වා තිබුණි. එහි දී ඇතිවුණු අදහස් හුවමාරුව මෙලෙස විය.
කාන්තාවන්ට බුදුවිය නොහැකී. තාරා යනු මහායාන ඇදහිල්ලකි
ඇයි ඉතින් මහායාන කියන්නේ බුද්ධාගම නොවේද?

අම්මා බුදු වේවා කියා පපුවේ පච්චයක් කොටා ගෙන සිටි මරුසිරාගේ අම්මත් මේ වෙනවිට බුදු වෙලා ඇති.

මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්
ඉතිං මොකක්ද ප්‍රශ්නේ? හීනයෙ හානියත් ඒ ආකාරයටම වෙනස් විදියකට සකස් කර ගත්තු එකක් නොවේද?

ගෑනුන්ට බුදු වෙන්න බෑ කියලා කියන්නේ බුදුන් කියපු කතාවක් ද, එහෙම නැත්තං බුද්ධාගම විකෘති කරලා දෙයියායි අරවයි මේවයි දාගත්තු බමුණන් විසින් ඇතුළත් කරන ලද පුරුෂෝත්තමවාදී අමන තකතීරු මරිමෝඩ කතාවක් ද?

නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.
ඔය කතාව කවුරු හරි තකතීරු බමුණෙකු විසින් එකතු කරන ලද එකක් බව ඉතා පැහැදිලියි.

හාමුදුරුවරුන් ක්‍රියාකළ යුත්තේ එවැනි ජරා කතා අදාළ ලේඛන වලින් ඉවත් කිරීමට නොවේද?

අනිත් එක, කොහේ හරි තැනක ලියලා තිබුණා කියා ගැහැණියෙකුට බුදු වෙන්න ඕනේ නම් බුදු වීම වළක්වන්න බැහැ.

මොකද බුදු වෙන්න කලින් අහවල් කොලේ මෙහෙම ලියලා තිබුණා කියා ඒකට තහනම් දාන්න කවුරු හරි ඉන්නවායැ මේ ලෝකෙ?

කොහොමද පැහැදිලි හේතුවක් කියන්න එය එසේ නොවේ කියන්න
හේතුවක් අවශ්‍ය වෙන්නේ එය එසේ යැයි කීමට මිස එය එසේ නොවේ යැයි කීමට නොවේ.

බුද්ධත්වය යනු උපරිම බුද්ධි මට්ටම ලබා ගැනීම නම් සමාන මොළ ඇති ගැහැණියෙකු සහ පිරිමියෙකු අතරින් එය ගැහැනියට බැරිය කීම තමයි ඔප්පු කර පෙන්විය යුත්තේ.

වෙනත් උදාහරණයක් කියනවා නම් ඇසට නොපෙනෙන දෙවියන් භූතයන් ඇති යැයි විශ්වාස කරන අය තමයි එවන්නං ඇති බව ඔප්පු කර පෙන්විය යුත්තේ. එවැන්නන් නැති බව අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත.

ආ හරි ඔබේ මතය එයනම් ම් හොදයි එයට අනුව කටයුතු කරන්න යහපත අයහපත් තම තමා මත රැදෙන එකක්නෙ නේද
මගේ අදහස නම් බුදු වීමට ඔබට සහ මට ඇති හැකියාව මගේ මවට මෙන්ම ඔබේ මවට ද ඇති බවයි.

එය එසේ නොවේ යැයි කියන්නා වසල සූත්‍රය අනුව වසලයෙකු වෙනු ඇත.

හරි හොදයි හොදයි මන් වසලයෙක් වෙන්නම්කො
අනේ එහෙම වෙන්න එපා.

නිවැරදි අවබෝධය ලබාගෙන ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනයෙන් සංවර වී හොඳ ජීවිතයක් ගතකරන්න.

ඔබට බමුණු මතයෙන් තොර නිවැරැදි දැක්ම ලැබේවා යි සිතමි.

මතුදිනක පිරිමියෙකු ලෙස හෝ ගැහැනියක ලෙස හෝ ලිංග භේදය මත පදනම් වූ අසාධාරණයෙන් තොරව බුදු බව ලැබීමට ද ඉඩ ලැබේවායි ප්‍රාර්ථනය කරමි.


මගේ නම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ විට කියවිය හැකි ආකාරය නිසා මෙන්ම සහ මා කාන්තාවන්ට බුදුවීමට ඇති අයිතිය ගැන කතා කරන නිසා ද, වෙනත් අයෙකු මා කාන්තාවක ලෙස වරදවා වටහා ගෙන මෙලෙස කියා තිබුණි.
සමාවෙන්න මිස්. ධර්මාවබෝධයෙන් යුතුව ධර්මය ගැන කතා කරන්න. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට. තෙරුවන් සරණයි. උතුම් ධර්මාවබෝධය ලැබේවා.
මම ඇයට මෙලෙස පිළිතුරු දුන්නෙමි.

තක්කඩි බමුණන් විසින් පසු කලෙක එකතුකර ඇති එවැනි පුරුෂෝත්තම වාදී අගතිගාමී කතා සාධාරණීකරණය කරන්නේ ඇයි?

අප කළ යුත්තේ එවැනි පදනම් විරහිත තක්කඩි මුසාවාද ඉවත් කොට පිරිසිදු බුදු දහම වටහා ගෙන නිවන් මග අවබෝධ කර ගැනීම නොවේද?


පසුව වෙනත් භික්‍ෂු නාමධාරියෙකු පැමිණ මෙසේ කියූවේය.
ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න.

මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ
ඒ දුටු උපාසකයෙකු එය අනුමත කළේ මෙසේ ය.
ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.
තවකෙකු මට මෙලෙස උපදෙස් දී තිබුණි.
වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී
මගේ අවසාන පිළිතුර මෙලෙස විය.

කුරානය වැනි පොත්වල ලියා තියෙන දේට විරුද්ධ මතකයක් ප්‍රකාශ කළොත් මරා දමන්නට පවා ඉඩ තියෙනවා ලු. අර සල්මන් රෂ්ඩිට පවා මරණ දණ්ඩනය නියම කළේ පූජකයෙක්. නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ මත දරන බමුණන් පවා තමන් හමුවීමට පැමිණ මතවාදී අභියෝග කරන විට පළවා දැමීම නොව අදහස් හුවමාරු කර ගැනීමයි.

මේ බුඩ්ඩාගම් පොතේගුරලා යෝජනා කරන්නේ බුදුන්ට පවා නිගා කරමින් මා කණ්ඩායමෙන් පන්නා දැමීමයි.

නොම දකින් මෙවැනි අමන මිනිසුන්!


මා අනුමාන කළාක් මෙන් අවසානයේ එකී තලේබාන් අයෙතුල්ලා කණ්ඩායම විසින් මාව බ්ලොක් කර දමන ලදී.

බ්‍රව්සරය නොවැසීම නිසා නොමැකී කේෂ් වී තිබුණු පිටුවෙන් ස්ක්‍රීන් ෂොට් ලබා ගැනීම මට හැකිවිය.

පැය කිහිපයක තාවකාලික විනෝද සමයක් එසේ නිමාවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මෙකී ෆේස්බුක් කණ්ඩායමක් ඇති බව දැන ගත්තේ ද එහි සාමාජිකයෙකු විසින් එයට මා එකතු කරනු ලැබූ බව දැඛ එහි ගිය විට ය. එසේ නොමැතිව මා අනාරාධනයෙන් එහි ගොස් අනාචරේ හැසිරුණා නොවේ!

(image: Female Buddha by Arturo Rhodes - https://www.pinterest.com.au/pin/423197696213323544/)

Tuesday, 5 January 2021

රසිකොලොජිස්ට්ගෙන් ධර්ම උපදෙස් - Rasikologist, the Darmalogist






















පිනක් පළ දෙන්නට නියමිත නම් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බව සාක්ෂාත් කර ගැනීමට උපයෝගී කරගත හැකි අපූරු සිදුවීමක් ඊයේ උදේ සිදුවිය.

කවුදෝ මන්දා අයෙකු ධාර්මික කල්ලියක ෆෙස්බුක් අවකාශයේ ඇති කණ්ඩායමකට මාව ද එකතු කර තිබුණි. උදෑසනම එම පුණ්‍යභූමියට පා තැබූ මට දකින්නට ලැබුණේ සිතන නිවන කතා ගොඩකි.

ඒ අතරේ කිහිප දෙනෙකු විසින් විවිධාකාරයේ ධර්ම ප්‍රශ්න ද අසා තිබෙනු දක්නට ලැබුණු අතර මට හැකි පමණින් ඉන් කිහිපයකට පිළිතුරු ලබා දීමට මට හැකි විය.

මේ බ්ලොග් සටහන ලියන්නට සිතුණේ, ඒ ප්‍රශ්න , මා දුන් පිළිතුරු සහ ඉන්පසු ඒ ඇතැම් තැනක ඇතිවුණු සාකච්ඡාව අනාගත රස වින්දනය පිණිස සුරක්‍ෂිත කර තැබීමටයි.

මෙන්න එක ප්‍රශ්නයක්, මගේ පිළිතුර සහ අදහස් හුවමාරුව.
ප්‍රශ්නය මරන්න අරන් යන එළුවෙක්ට ජීව දානය දෙන්න කියක් වගේ යයිද? කොහොමද කරන්නෙ, දන්න කෙනෙක් කියනවද?
මගේ පිළිතුර මෙසේ වී ය.
කිලෝ ගානට ගෙවන්න වෙයි. ඒ අනුව උස මහත එළුවෙකුව බේරා ගත්තොත්, වැයවෙන මුදල වැඩියි, පොඩි එළුවෙකුව බේරගන්න වැයවෙන මුදල අඩුයි.

නමුත් කොහොම කළත් බේරෙන්නෙ එක ජීවිතයක් පමණක් නිසා ලැබෙන පින සමානයි නේද?

මට පෙනෙන විදිහට හොදම වැඩේ පොඩි එළුවෙකුව මරණයෙන් බේරා ගැනීමයි.
මම ද ඇයගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි.
සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ නම් මරණයට නියමිත හරකෙක් වුව බේරා ගැනීමයි. ඔබ එළුවෙකු බේරා ගැනීමට සිතුවේ ඇයි ද කියා දැනගැනීමට කැමතියි.
මට ලැබුණු පිළිතුර මෙසේ ය.
ගොඩාක් සල්ලි නෑ ඒකයි.
ඇයට මගේ අවවාදය මෙසේ විය.
වැල්ලට ගිහින් මුහුදෙන් ගොඩට ගෙන විත් ඇති තවමත් පණ තියෙන පොඩි මාළුවෙකු බේරා ගත්තනම් එක ප්‍රාණයක් බේරාගත් පිනත් ලැබෙනවා. වැයවෙන මුදලක් සෑහෙන අඩුයි.

එළුවෙකු බේරා ගැනීමට යන මුදලෙන් සාලයෙන් සූඩයින් හාල්මැස්සන් සිය ගණනක් බේරා ගැනීමට අවස්ථාව ලැබේවි. ඒ අනුව සිය ගුණයක පිනක් කර ගත හැකියි.
වෙනත් අයෙකු මෙසේ පවසා තිබුණි.
පැටියෙක් නම් 2500 ක් වගෙ. මන් එහෙම බෙරගත්ත. එ ගාන තමා ගියෙ.
එයට මගේ ප්‍රතිචාරය මෙලෙස විය.
එසේ බේරා ගත් පැටියා හොඳින් හැදුණු වැඩුණු පසු දහදාහක් පමණ වියදම් කර මරණයෙන් බේරා ගෙන තවත් කෙනෙකුට පින් කර ගත හැකි වෙනු ඇත.

ඊයේ මට එම කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් ලැබුණේ පරණ පිනක් පළ දීම නිසා බව අපි අනිමු. එසේම, ධර්ම දානය ද පිනක් බව අපි දනිමු. එනිසා, ධර්ම කරුණු කියා දීමෙන් මා ඊයේ කර ගත් පින සුළුපටු නැත.

ඒ ගැන තවත් කතාවක් මීළඟ සටහනෙන් ගෙන එමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ ධර්ම ප්‍රශ්න තිබේ නම් මට යොමු කරන්න.

(image: https://rajblogs8.wixsite.com/thedharmalogist)

Monday, 28 October 2019

සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting


ඊයේ මගේ උපන් දින සංවත්සරයයි.

එය මගේ පමණක් නොව රසිකොලොජි බ්ලොගයේ ද උපන් දින සංවත්සරය විය. ඒ ගැන ලිවීම පසුවට තබා, මේ මා සැරසෙන්නේ මගේ උපන් දිනය වෙනුවෙන් මා අද උදයේ ලද අපූරු සුබ පැතුමක් සහ එයට මා යැවූ පිළිතුර බ්ලොගයේ පළ කරන්නයි.

මේ සුබ පැතුම් පණිවිඩය මට ලැබුණේ මගේ ෆේස්බුක් මිතුරෙකුගෙනි. අපේ මේ සයිබර් මිතුරුකම ඇරඹුණේ මේ නොබෝදා මට ඔහුගෙන් ලැබුණු ඉල්ලීමක් නිසා ය. මා පුද්ගලිකව දන්නා කියන මිතුරන් කිහිප දෙනෙකුවම ඔහු හඳුනන බව පෙනුණි. ඒ සියල්ලම සයිබර් මිතුරුකම් නොවෙන බව සිතේ.

කෙසේ වෙතත්, මෙන්න ඔහු මට එවූ උපන් දින සුබ පැතුම් පණිවිඩය එලෙසින් ම.
මහත්මයාණෙනි, ගෙවීගිය ඊයේ දිනයේදී තම ජන්ම දිනය සමරණ ලද ඔබතුමන්හට සුභම සුභ වූ උපන් දිනයක් වෙනුවෙන් මා මෙලෙසින් මේ පින්බර උදෑසන දී සුභ පතන අතරම, එමෙන්ම අප තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ ගේ අනන්ත වු ගුණානුභාවයෙන්ද, අසමසම නෛර්යාණික වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභාවයෙන්ද, උතුම් ආර්‍යය මහා සංඝ රත්නයේ අනන්ත ගුණානුභාවයෙන්ද සහා දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් හා නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද,ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්,ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්,ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්, දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන් සේම, සකෙලේශ්වර්යාභිවෘද්ධිවර්ධනය කරනු පිණිස වු සතරවරම් දෙවිවරු වන "ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණය" නම් දෙවි මහරජදරුවන් ප්‍රධාන තුන්ලොව වැඩ සිටිනා සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින් ද නිදුක් නිරෝගිමත් ව සිටිනා, වාසනාවන්ත සුභ කාල වකවානුවක් ඔබට උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.

තවද මෙතෙක් ගෙවුනු වර්ෂ වලට වඩා මේ උදා වු වර්ෂය තුල ඔබ ආයුෂයෙන්, වර්ණයෙන්, සැප බල ප්‍රඥාවෙන්, ධන ධාන්‍යයෙන්, යස ඉසුරෙන් වැඩෙත්වා. අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා. ඇසිල්ලක් පාසාම බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි වේවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා.

යන එන මග තොට, ගමන බිමන, නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා. ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා. අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා.

අවසන ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත වු සුභ ජන්ම දිනයක් සමග යහපත් ජීවිතයකට ගෙන අා මේ පැතුමන් ආශිර්වාදක්ම වේවා.

එසේම මේ විශ්වය පුරා රැදී ඇති මහත් වු මහත් බලැති අනන්ත ශක්තින් සමග මා විසින් සංසාර පුරාවට රැස්කරගත් යම් කුසළ ධර්මයකින් ජනිත වු පුණ්‍ය ශක්තියක් ඇත්තේද ඒ සියළු පුණ්‍යය සම්භාරයන්ගේ බල මහිමයෙන් ඔබගේ මෙලොව වශයෙන් ඇති අසනීපයන් සහා අපල උපදව මෙන්ම ග්‍රහ දෝශ දුරු වේවා.

ඔබට සම්මා සම්බුදු සරණයි!
මෙවැනි සුබ පැතුම් පණිවිඩයක් මට ජීවිතයේ කිසි දිනක ලැබී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

අනිවාර්යෙන් ම මෙය ඔහු මා වෙනුවෙන් ම ලියූ සුවිශේෂී පණිවිඩයක් නොවේ. මට අවශ්‍ය වූයේ ඔහුගේ සිත නොරිදා පිළිතුරක් යැවීමයි.

මෙන්න මගේ පිළිතුර.
ඔබේ මේ දිගු සුබපැතුමට මගේ නොවක් ස්තූතිය පිරිනමමි.

ඔබ පවසා ඇති බොහෝ මිත්‍යා කරුණු පිළිබඳව මට සරදම් සිතුවිලි ඇති වෙතත් ඒවා මෙහි නොලියමි. මා විශ්වාස කරන්නේ ඇසට පෙනෙන දේ සහ සහෘද මිනිසුන් කරන කියන දේ පමණි.

ඔබටද මිත්‍යාවෙන් දුරස්ථ වී යහපත් ජීවිතයක් ගත කිරීමට ඉතා ඉක්මනින් ම හැකියාව ලැබේවායි මෙත් සිතින් පතමි.

ස්තුතියි. ජයවේවා.
එපමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් සංවත්සරය පිළිබඳව පසුව ලියමි!

Tuesday, 3 September 2019

ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools


මේ ෆේස්බුක් සංවාදයකින් උපුටා ගත් කතාවකි. මගේ පසු ප්‍රයෝජනය පිණිසත්, අවශ්‍ය අයට කියවීම පිණිසත් මෙසේ සංරක්‍ෂණය කර තබමි.

සංවිධානාත්මක ආගම් නියෝජිතයින් (කහකඩයින් සහ සුදුකඩයින් සියළු දෙනාම) විසින් කරන ප්‍රෝඩා පිළිබඳව ෆේස්බුක් සයිබර් අවකාශයේ නිරතුරු හඬ නගන අයෙකු මෑත දිනයක දී ක්‍රිස්තියානි ආගමික කල්ලියක් පිළිබඳව තබන ලද කෙටි සටහනක අන්තර්ගතය නිසා කුපිත වුණු ළමයෙකු ඔහුට විරුද්ධව මෙසේ බැණ අඬ ගසා තිබුණි.

"බලහන් උබලගෙ තාත්තා උබේ උප්පැන්නෙ ආගම කියන තැනට මොකක්ද දාලා තියෙන්නෙ කියලා. ඉස්සෙල්ල බලපන් උප්පැන්නයක් තියනවද කියලා."

උප්පැන්න සහතිකයේ ආගම සඳහන්ය යනු ඇතැම් දෙනා නොදැනුවත්කම නිසා සිතා සිටින සාවද්‍ය කරුණකි. මා මේ පිළිබඳව රසිකොලොජි සටහනක් ද ලියා ඇත.

කෙසේ වෙතත්, ඉහත ප්‍රතිචාරයට පිළිතුරු ලෙස මම එහි මෙලෙස සටහන් කළෙමි.
උපතෙන් මූලිකවම තීරණය වන්නේ දෙමව්පියන් කවරේද යන්න සහ පුරවැසිභාවය පමණකි. උප්පැන්න සහතිකේ නම් දෙමව්පියන් රෝම ලන්දේසි හෝ වෙනත් නීතියකට අනුව විවාහ වී සිටී දැයි යන වික්ටෝරියානු ප්‍රශ්නයටද පිළිතුර ඇත.

ආගම යනු උපතින් ලැබෙන දෙයක් නොවේ. ආගම් අදහන්නෝ ද මෝඩයෝ ය, උප්පැන්න සහතිකේ ආගමක් සඳහන්ව ඇති යයි සිතන්නෝ ද මෝඩයෝ ය.
එයට පිළිතුරු දුන් කතෝලික කාන්තාවක් සහ මා අතර ඉන් අනතුරුව ඇතිවුණු සංවාදය මෙසේ ය.

ඇය:
දැන් ආගම් නොඅදහන අය බුද්දිමත් කියල නිගමනයකට ආවෙ කොහොමද? මංකොල්ලකාරයන්ට, මැරයන්ටත් ආගම් නැහැ. මම කියන්නෙ බෞද්ද ඒවුන් නෙවෙ. කිතුනු ඒවුන් නම් පව් කරන ගමන් ආගම් අදහන් නැහැ. කිතුනු කියන්නෙ මාර්ගයක්. ඒ මාර්ගයෙ යන විට ලැබෙන අත්දැකිම් වලට තමයි ඔය ආගම කියල පිට අය හදුන ගන්නෙ.

දැන් මොන පදනමකින්ද ආගමක් පිලි නොගන්න ආගමක් (ජන කොට්ටාශයක් ) බුද්දිමත් කියන්නෙ?

ආගමක් individualised.

මගෙ ආගම මගෙ. තව කිතුනුවෙක්ගෙ ආගම ඔහුගෙ. ඒත් යම්කිසි දැනුම් පද්දතියක් පිලිගන්න අය. දැනුම් පද්දතියක් පිලි නොගැනිම කියන ආගමට අයිති අය කොහොමද බුද්දිමත් වන්නෙ?

මම:
නැවත කියවා බලන්න මා ලියා ඇත්තේ ආගම් අදහන්නෝ මෝඩයෝ ය කියාය. ඔබ එය කියවා තේරුම් ගෙන ඇත්තේ ආගම් නොඅදහන අය බුද්ධිමත් කියාය.

එවැනි සරල කරුණක්වත් නිවැරදිව තේරුම්ගත නොහැකි වූ ඔබ අනිවාර්යෙන්ම ආගමක් අදහන්නෙකු බව පෙනේ.

ඔබ ඇසූ මෝඩ ප්‍රශ්නයට නොව මා ලියූ ප්‍රකාශයට හේතුව අවශ්‍ය නම් කියන්නම්.

1. යම්කිසි දෙයක් "ඇදහීමට" අවශ්‍ය වන්නේ එය විමසා බලා අවබෝධ කර ගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස "සර්වබලධාරි දෙයියා" යනුවෙන් සංකල්පයක් ඇත. එවැනි භූතයකු සිටීද යන්න අපට විමසා බලා අවබෝධ කරගත නොහැකිය. එනිසා එය "ඇදහීමට" සිදුවේ. එයින් පෙනෙන්නේ ඇදහීම යනු ස්වාධීන චින්තනයෙන් පරිබාහිර වූ පසුගාමී ක්‍රියාවක් බවයි.

2. ලෝකය පිළිබඳව, ලොව පවතින ආකාරය පිළිබඳව, මිනිසා පිළිබඳව, මිනිසා සහ මිනිස් සිත ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නොයෙකුත් දැනුම් පද්ධති බිහිවී තිබේ. මේවා ධර්මය ලෙස හැඳින්වේ. ධර්මය යනු තමන් විසින් විමසා අවබෝධ කරගත යුතු දැනුම් පද්ධතියකි. ඒවා, පෙර කී ආකාරයෙන් "ඇදහිය" යුතු දේ නොවේ.

3. මේ දැනුම් පද්ධති හෙවත් ධර්ම පදනම් කොටගෙන ආගම් යනුවෙන් හැඳින්වෙන සංස්ථා බිහිවී තිබේ. එවැනි යම් ආගමක් ඇදහිය යුතු යැයි පැවැසේ නම්, එය ස්වාධීන චින්තනයෙන් පරිබාහිර වූ පසුගාමී එකකි.

4. ආගම් අදහන පුද්ගලයින් මෝඩයින් වන්නේ ඒ නිසාය.

මා පළ කළ අදහස් ප්‍රශ්න කිරීමේ දී ඔබ කළ වරද මෙයයි.

"ආගම් අදහන පුද්ගලයින් මෝඩයින් ය" යන (සත්‍ය වූ) ප්‍රකාශයෙන් ආගම් නොඅදහන පුද්ගලයින් බුද්ධිමතුන් ය කියා අපෝහනය කළ නොහැක. අඩු වශයෙන් ආගම් නොඅදහන පුද්ගලයින් මෝඩයින් නොවේය කියා හෝ අපෝහනය කළ නොහැක.

එසේ කළ හැකි යැයි සිතීම ම, අතාර්තික අමන සිතුවිල්ලකි. හැබැයි ඔබට අවශ්‍ය නම්, එය එසේය කියා "ඇදහිය" හැක. එයට හේතුව නම්, මා පෙර විස්තර කළ පරිදි, යම්කිසි කරුණක් "ඇදහීම" සඳහා විචාර බුද්ධිය තිබීම හෝ අදාළ කරුණ තාර්කික වීම හෝ අනවශ්‍ය නිසා ය.

ඇය:
මම නම් ඇදැහුවෙ ප්‍රත්යක්ශයෙන් ඉන්නව කියල දැන ගත්තට පසුව. අනිත් අයත් ඒහෙමයි.

දැන් ඔබ දහමක් අදහන්නෙ ඒය විය හැකි දෙයක් දැයි නොදැන. Science අදහන්නෙත් ඒය අපිට උගන්වන නිසා.

ඔබ ඔබෙ බිරිද කියන දෙ අදහන්නෙ ඇය ඔබට විශ්වාස වන්ත නිසා. Faith කියන්නෙ ඒකට. ඔබල අදහනව කියන්නෙ පස්ස උඩ දාගෙන වදින ඒකටද? අපි අදහන්නෙ අපි ඒය තියන බව දැන ගත් පසු. ඒක නිසා තව සොයනව. ඒ තුලින්ම ගොස් විශ්වය ගවෙශනය කරනව.

ඒක බුදු දහමෙ නැත්තෙ, ඒය ප්‍රත්යක්ශ නැති නිසා. Practically කරන්න පුලුවන් නම් ඔවුනුත් ඒ faith ඒක තුලම තව ඉදිරියට ගොස් ගවෙශනය කරනව.

දැන්‍රම් පද්දතින් ලැබෙන්නෙ ගවෙශකයන්ට.. ඒ වගෙම තුනි මනසක් ඇති කෙලෙස් අඩු පුද්ගලයන්ට. අනිත් අයට දැනිම (දැනුම නෙවෙ) නැති නිසා ඔවුන් ඒවා ප්‍රතික්ශේප කරනව.

Cambridge books වලම තියනව scientific theories are base on their imaginations කියල. ඒව තමයි දැනිම. ඒහෙම යමක් සොයා ගත්ත අයත් මනස ඇරැනු පුද්ගලයන්.

දැන් ඔබ උගතෙක් උනෙ ඔවුන්ගෙ imaginations කට පාඩම් කර විබාග පාස් කරපු නිසා, මොකද බැරි? ඔබ කියනව අාගම් අදහන පුද්ගලයන් මොඩයන්ය.. ඒ නිගමනය හරිනම් , ඉලගට ඉතුරැ වන පාර්ශවය අාගම් නොඅදහන අය. ඒහෙනම් ඒ අය බුද්දිමත් විය යුතුයි.

අදත් ඇමරිකාවෙ Florida state ඒකෙ mass shooting ඒකක්. ඒ ආගමක් අදහන, ඒ විනයකට යටත් නැති අයෙක්. ඒහෙනම් ඒ කෙනාත් බුද්දිමතෙක්.

මම ආගමක් අදහනව. ඒහෙනම් මම මොඩයෙක්. ඒ ඔබෙ මතය. ඔබ නුවනැත්තෙක්.

බල්ලට පුසට අාගමක් නැහැ. ඔවුනුත් නුවනැත්තෙක්. ආගමක් බිහි වෙන්නෙත් ඒ පරිසරයෙ පුද්ගලයන්ගෙ state of mind ඒකට අනුව. ඒ ආගම් නිසා තමයි, මිනිසුන්‍ ගල් යුගයෙන් එලියට ආවෙ.

අපි සර්ව බලදාරි දෙවියන් දන්නව. අපෙ මනසෙම වැඩ සිටිනව. ගනුදෙනු කරනව. ඒ සියල්ම base on our own experiment. ඉතින් අපි අදහනව, මොකද දන්න දෙයකට faith ඒකක් තියනව. ඔබෙ ගෙදර ගැහැනිය විශ්වාස ඔබට මිසක් ඒහා ගෙදර මිනිහට නෙවෙ නේද? ඒහා ගෙදර මිනිහ ඇවිත් නිව්වොත්, "උඹෙ ගැනිව උඹට විශ්වාසද කියල? ඔයා කියය මගෙ ගැනි මට විශ්වාසයි උඹට පාන්ද? වැඩක් බලා ගනින් කියල😄"

අපෙ මනසෙ ඉන්න මගෙ දෙවියන් , බ්‍රහ්ම සහ මාර. (යම නැහැ. හිටපු ගමන් ඒ form ඒකත් ඒනව.😄) මම දන්නව නම් ඒකෙන් මම දෙවියන් කියන ඉහලම. ස්තරය අදහනව නම් අනිත් ඒවුන්ට පාන්ද? උඹලට නැහැ. මට ඉන්නව.

මම:
එක්කෝ ඔබ මා ලියූ පසු සටහන් දෙක කියවා නැත එසේ නැතිනම් එය කියවුවද ඔබට අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත.

සත්‍යය දෙවැන්න නම් එයට හේතුව ඔබ "ඇදහීම" කරන, ස්වාධීන චින්තනයක් නැති, පසුගාමී, අතාර්තික ආගමිකයෙකු නිසා යැයි මට නිශ්චිතව කිව හැක.
☹️

ඇය:
ඔබ මාව analyse කරෙත් ඔබගෙම මනසෙ තියන දත්ත මත. ඒ කියන්නෙ analyse උනෙ ඔබව.

මොකද මට මගෙම චින්තනයක් තියනව. ඒ වගෙම මගෙම ආගමකුත් තියනව.. ඒ නිරවුල් බව, නිදහස් මනස ලැබෙන්නෙත් කිතුනු මනසක් තියන අයකුට. කිතුනු නිකායන් සිය ගනනක් තියනව. ඒ වගෙම base on christian path, විවිද ආගම් පවා තියනව.

ඒක නිසා මගෙ නිදහස් මනසින් මම ආගමිකයන් දෙස බලනව. ඔබල තමන්ම කොටු කර ගත් රාමුවකට වි, මම කිසිම ආගමක් නොඅදහමි කියන ආගමට කොටුවි කිසිම චින්තනයක් නැති පිරිසක්ව සිටිනව.

චින්තනය නිදහස් නම් සර්ව ආගමිකයකු හො ව්ය හැකියි. ආගම් ගවෙශනය කරන්නකු විය හැකියි. බටහිර කිතුනු චින්තකයන් ඒහෙමයි. බෞද්ද ආසියාතිකයන් , වෙනස්. ඔවුන් තුල තියනව හින මානයක්. ඔවුන් වෙනස්. ඔවුන් දන් නැහැ ගවෙශනයක් කරල තමන්ටම අනන්නය වු කියවිමක් ආගම් ගැන දෙන්න. ඔවුන් දන්නෙ නොතෙරෙන හැම මගුලකටම හිනා වෙන්න. පරිබව කරන්න.

අන්ධ භක්තිය හෙවත් ඇදහිල්ල යනු මෝඩකම ම බව මට යළිත් පැහැදිළි විය.

-රසිකොලොජිස්ට්

(image: https://www.hrgrapevine.com/content/article/notion-2019-06-26-internal-coaching-are-you-relying-on-blind-faith)

Tuesday, 2 April 2019

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately


ශක්තික සත්කුමාර අප බොහෝ දෙනෙකු දන්නා කවියෙකි, ලේඛකයෙකි. ඔහු ලියූ "අර්ධ" නම් කෙටිකතාව පහත පළකර ඇත.

ඒ වෙනුවෙන් ම අටවා ගන්නා ලදැයි පෙනෙන බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධානයකින් ඔහුගේ මෙම කෙටිකතාවට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව මේ ලේඛකයාව පොලිස් අත්දඩංගුවට ගෙන ඇත.

ආගමේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන තලේබානියානු බෞදියක් ලංකාවේ බිහිවෙමින් පවතින බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.

ශක්තික සත්කුමාර කවියා, ලේඛකයා, වහා නිදහස් කරන ලෙස අප සියලු දෙනාම වහා උද්ඝෝෂණය කළ යුතුව ඇත.



-රසික සූරියආරච්චි

ප/ලි
ඉහත රූ සටහන් ලෙස පළ කළ අර්ධ කෙටිකතාව යුනිකෝඩ් අකුරෙන් පහත දැක්වේ.

අර්ධ | ශක්තික සත්කුමාර

හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූයේ ගිහි ජීවිතය පිළිබඳ ඇල්මකින් ම නොවේ. නමුත් ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව ද ඇල්මක් නොවීය. උපැවිදි වීමෙන් පසු කසාන් තවදුරටත් විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරයේ සිටීමට කැමැත්තක් නොදැක්වීය. සරසවියට පැවිද්දෙක් ලෙස පැමිණ උපැවිදි වූ බොහෝ පිරිසක් ඒ වන විටත් භික්ෂු නේවාසිකාගාරයේ ලැගුම් ගෙන සිටියහ. ධම්මිස්සර හිමියන් කසාන් වෙත පැමිණෙන විට ඔහු සිටියේ පරණ සටහන් වගයක් බලමිනි.

"මිදුණා මිදුණා කසාන් නම් මිදුණා...උඹ හොස්ටල් එකේ දිගටම ඉන්නවනේ... දැන් ඉතින් චමරියට බඩු ගේන්න යන්න රෑ වෙනකම් ඉන්න ඕන නෑනේ."

ධම්මිස්සර හිමියෝ කසාන් ගේ කාමරයට ඇතුළු වී අසල තිබූ පුටුවකට බරවූහ. ඇඳෙහි සැතපී 'බුදුන්ගේ රස්තියාදුව' කෘතිය කියවමින් සිටි මේධානන්ද හිමියෝ ධම්මිස්සර හිමිගේ හඬින් පොත දකුණතට ගෙන නැගී සිටියහ.

"අපේ සදහම් සේනාවෙන් මේ පොතට විරුද්දව නඩුවක් දාන්න ඉන්නේ.. මේක සම්පූර්ණ මූලධර්ම වාදීන්ගේ වැඩපිළිවෙළක්" බුදුන්ගේ රස්තියාදුව පොත පෙන්වමින් මේධානන්ද හිමියෝ කීහ.

"කසා බෝඩිමට යනවා කියන්නේ...මූට සිවුර විතරක් නෙමෙයි අපි නෙමෙයි අපි වත් එපාවෙලාද කොහෙද?" කාමරයට එවෙලේ පැමිණි සුමේධ හිමි ගේ හඬින් කසාන් කරමින් සිටි කාර්යය මදකට නතර කළේය.

"එහෙම දෙයක් නෑ මම බෝඩිමට ගියත් නිතර ඔබ වහන්සේලා බලලා යන්න එනවා." කසාන් ගේ හඬෙහි වූයේ හැඬුම්බර ස්වභාවයකි.

"හරි හරි උඹ සීරියස් ගන්න එපා.... කොහේ ගියත් කමක් නෑ උපාධියේ වැඩ ටික හරියට කර ගනින්... "

මං කතාව ඒ විදිහට පටන් ගත්තේ එකපාරටම මට හීරළුවෙක් කියලා කියන්න බැරි හින්දා. ඒත් මම දැන් හීරළුවෙක් කියලා හැමෝම දන්නවා. මම මහණවුණේ මොකටද කියලා මම දන්නේ නෑ සිවුරු ඇරියේ මොකටද කියලා මම දන්නෙත් නෑ. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ සිවුරේ ඉන්න මට තවත් හේතු තිබුණේ නෑ.

ලොයිඩ් අයියගේ බෝඩිමට යන්න මම තීරණේ කරේ ගොඩක් දුර දිග හිතලා නෙවෙයි. ඒත් මම හිටපු පරිසරයෙන් මිදෙන්න වුවමනාවක් තිබුණා. ලොයිඩ් අයියා මට හම්බෙන්නේ අපේ හතුරෙක් විධියට. ඒත් දැන් මගේ මිතුරෙක් වුණාට සදහම් සේනාවට නම් තාම ඔහු හතුරෙක්. ලොයිඩ් අයියා වැඩ කළේ එන්.ජී.ඕ එකක. සදහම් සේනාවත් එක්ක අපි ලොයිඩ් අයියලාගේ කාර්යාලයට බලෙන් කඩා වැදුණා.

"තමුසෙලා පිටරට සල්ලි අරන් හිටපු කොටි නායකයන්ගේ පවුල්වල උදවියට ගෙවල් හදනවා කියන්නෙ ඇත්තද?"

ඥානසාර හාමුදුරුවන්ගේ හඬට කාර්යාලයේ හිටපු ඔක්කොම තමීර වෙලා ගියා. කැමරා අමෝරාගත් මාධ්‍ය කාරයෝ ඔක්කොම හිටියේ අපේ පැත්තේ .

"අවසර හාමුදුරුවනේ... අපි ගෙවල් හදලා දෙන්නේ යුද්දේ නිවාස අහිමි වුණු පවුල් වලට" කාර්යාලයේ වැඩ කරපු ළමයෙක් අපි ඉස්සරහට ආවා

"තමුසේ කවුද ?"

"මම ලොයිඩ් මේ ව්‍යාපෘතියේ"

* * *

"කසාන් බර කල්පනාවක වගේ.. මම එන්න පරක්කු වුනා ද?" ලොයිඩ් අයියා මගේ ඉදිරිපිටින් මෝටර් සයිකලය නැවැත්තුවා. මම බෑග් එකත් අරගෙන බයිසිකලේ පිටිපස්සට නැග්ගා.

"කසාන් සිවුරට වඩා ඩෙනිමට ලස්සනයි.." ලොයිඩ් අයියා බයිසිකලේ වේවැල්දූව පැත්තට හරවන ගමන් කිව්වා. මම හීනියට හිනා උනා. ඒ වෙද්දි මම හිටියේ දෙලොවක් අතර.

"කසාන් මොනවද රෑට කන්නේ. මම නම් ඉඳිආප්ප ෆුල් කොත්තුවක් කනවා. ග්‍රීන් ගාටන් හෝටල් එක ලඟ බයික් එක නතර කරන ගමන් ලොයිඩ් අයියා ඇහුවා. "මට හාෆ් එකක් ඇති." මම හිමිහිට කිව්වා.

සිවුරේ ඉද්දි මං හිතන් හිටියෙ මේ සමාජය ගොඩක් පිරිහිලා කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා දැන් මට හිතෙනවා. සමාජයේ හැමෝම හීරළුවෙක් කියලා මාව කොන් කරයි කියලා බයක් තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. සමාජයේ හැමෝම මාව පිළිගත්තා. සරසවිය වගේම නවාතැනත් වෙනදට වඩා මට ප්‍රියමනාප වුණා.

"කසාන් මං පොඩි කතාවක් ලියන්න ගත්තා. හොඳද කියල බලන්න.." ලොයිඩ් අයියා අතින් ගියපු හාප්සීට් කොළ කිහිපයක් මගේ මේසය මතට අත හැරියා. මාතෘකාවක් නැති ඒ කතාව මම හිමින් සැරේ කියවන්න ගත්තා.

යශෝධරා සිටියේ ඉකිබිඳිමින්ය. චන්නගේ ක්‍රියාවට විරුද්ධ වීමට හැකියාවක් තිබුණත් එය ඉවසා සිටියේ යටිහිත ඊට කැමැත්තක් තිබූ නිසා යැයි යශෝධරා සිතුවාය. සිද්ධාර්ථ ගිහිගෙය හැරගියේ රාහුල ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? සිද්ධාර්ථගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද? යශෝධරාගේ සිත නැගූ පැනවලට ඈ පිළිතුරු සොයනවා වෙනුවට දිගු හුස්මක් හෙලා ළය සැහැල්ලු කර ගැනීමේ බොල් උත්සාහයක නියැළුණාය.

"අම්මෝ! අයියේ මේ ලියවිල්ල නම් ගිනි ගිනිතියලා දාන්න.."

ඡේදයක් කියවූ මම ලොයිඩ් අයයාට කරුණු පහදා දීමට සිතා නැගී සිටියෙමි.

"ඇයි නිර්මාණයක් විදියට සමාජය බාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද? අනික මේක මහායාන ආගමේ තියෙන සංකල්පයක්" සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියා සලන්නට විය.

"ඒ උනාට මේක ථෙරවාදී බෞද්ධ රටක්." මට කියවුනේ ඉබේමය.

"අප්පේ ඔව් නමට විතරක්."

දෙදෙනෙක් විසින් ඇදගෙන යනු ලැබූ මාව කළුවර කාමරයකට තල්ලු කළා. විසික් වෙලා ගියපු මාව බිම වැටුණා. ඒ එක්කම කාමරේ දොර වැහුණා. අඩ අඳුරේ මම කාමරය පුරා බැල්මක් හෙලුවා. කාමරයේ මුල්ලක ලොකු හාමුදුරුවෝ සැතපිලා ඉන්නවා මම දැක්කෙ ඒ මොහොතේ. උන්නාන්සේ සිටියේ ලොකු අපහසුතාවයකින් වගේ. මම හිමින්සැරේ උන්වහන්සේ ළඟට කිට්ටු කළා. සැතපිලා හිටියට උන්වහන්සේට නින්ද ගිහින් තිබුණේ නෑ. ඇස් වල තිබුණේ කඳුළු. මාව දැක්ක ලොකු හාමුදුරුවෝ එක සැරේම හිටගත්තා. උන්වහන්සේගේ කකුල් දෙක මැද්දෙන් ලේ ගංගාවක් ගලා ගෙන යනවා දැකලා මං හොඳටම බය වුණා.

"මේ මොකද අපේ හාමුදුරුවනේ!" මං හයියෙන් කෑගැහුවා. ඒත් හඬ පිට වුණේ නෑ. හිටගත්ත ලොකු හාමුදුරුවෝ මං පැත්තට හැරිලා සිවුර ඉස්සුවා. දෙයියනේ උන්වහන්සේගේ පුරුෂ ලිංගය කපලා. එතනින් ලේ විදිනවා.

"කවුද මේ අපරාදේ කරේ.."

"ඒයි ඒයි කාසන් මොකද මං මේ රෑ ජාමේ කෑගහන්නේ.."ලොයිඩ් අයියගේ හඬින් මං ඇස් ඇරියා. කාමරේ විදුලි බුබුල දැල්වෙමින් තිබුණා.

"මං පොඩි හීනයක් දැක්කා." මම මදුරු දැල මෑත් කරලා ඇදෙන් ඉදගත්තා.

"උඹට හොඳටම දාඩිය දාලා." ලොයිඩ් අයියා මගේ දිහාවට මේසය උඩ තිබ්බ වතුර බෝතලේ විසික් කළා. බෝතලය දෑතින්ම අල්ල ගත්ත මම ඒක එක උගුරට බීගෙන ගියා. බෝඩිම් කාමරේ දොර ඇරපු ලොයිඩ් අයියා මං දිහා බැලුවෙ හිනාවෙවී.

"උඹ තාම ඉන්නේ අපායෙ ද?"

එහෙත් කිසිවකු නොකියපු මම අඳුරේම වතුර කරාමය දෙසට යන්නට වුනා. මුහුණ කට සෝදා ගත් පසු මට යම් සහනයක් දැනෙන්නට වුණා. මම ඇවිත් නැවතත් මදුරු දැල අස්සට රිංගුවා. සිහින් හඬින් සිංදුවක් මුමුණමින් ලොයිඩ් අයියා කාමරයේ දොර වහලා ලයිට් එක නිව්වා. ටික වෙලාවකට වෙලාවකට පස්සේ ඔහුගේ මිමිණුම් හඬ මගේ කණ ළඟ ඇහෙන්න ගත්තා. ලොකු හාමුදුරුවන්ගේ ඇඟෙන් ආපු දාඩිය මිශ්‍ර සුවඳ ලොයිඩ් අයියගෙ ළඟිනුත් මට දැනෙන්න ගත්තා. මම සෙමෙන් දෑස් පියාගත්තා.

- ශක්තික සත්කුමාර -

[කෙටිකතාව යුනිකෝඩ් වලට හැරවූ සහන් කසීර වික්‍රමසිංහට ඉතා ස්තූතියි.]


(image: https://www.facebook.com/shakthika.sathkumara)

Sunday, 26 August 2018

මෙන්න බුද්ධාගමට නින්දා කරන නිසා තහනම් කළ යුතු කවියක් - Ban this poem in the name of Buddhism


ලෝකයේ ඇති මා දන්නා ප්‍රධාන ආගම් ඇරඹූ පුද්ගලයින් ඒ දහම් මුලු ලෝකයට ම පොදුවේ දායාද කළා මිස, එක් එක් පුද්ගලයින් ට හෝ කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට හෝ කොපි රයිට් යොදා, පේටන්ට් සහතික සහිතව භාර දුන් බවක් මම නම් නොදනිමි.

ඒ අනුව සෑම ආගමික සංකල්පයක් ම ඕපන් සෝස්, එනම් අපට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකි, සංකල්ප ලෙස සැලකිය හැකි යැයි මම සිතමි!

කෙසේ වෙතත්, අද සිදු වී ඇත්තේ ඒ ආගම් ශාස්තෘවරුන් වදාළ ධර්මයට තමන්ම යෝජනා සම්මත කරගෙන ඔප්පු, තිරප්පු, ඇටෝර්නි බලපත් ලියා ගත් අයිතිකාරයින් පිරිසක් බිහි වී සිටීමයි.

ඒ අධම වංචාකාරයින්ගේ පදයට නටන ආණ්ඩු ද අද ලොවේ ඇත.

වත්මන් ලෝකයේ ප්‍රගමනයට ඇති ලොකුම බාධාව නම් මේ දෙපිරිසේ කුසංයෝජනයයි.

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිටිය දී ලියූ මේ පහත කවිය පදනම් වී ඇත්තේ චතුරාර්ය සත්‍යය නම් බෞද්ධ සංකල්පය මතයි.

අද ලංකාවේ ඉන්නා සමහර බයියන්ට අනුව, මේ කවිය බුද්ධාගමට නින්දා කරන එකක් විය හැක. ඒ මා මේ කවියේ පාලි භාෂාවේ එන වචන කිහිපයක්, බුද්ධ ධර්මයේ භාවිතාවෙන සංකල්පයක් අනුසාරයෙන් භාවිතා කර ඇති නිසා විය හැක.

මෙන්න ඒ තහනම් කළ යුතු කවිය.

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය

දුක දනිමි!
තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැනුණු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ
ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ
පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ
පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ

දුකට හේතුව දනිමි
අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුව ය
චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුව ය
වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුව ය
මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුව ය

දුක නැසුම මම දනිමි
අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැති ය
ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැති ය
හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැති ය
මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුළ දි
කෝස්වර්ක් නැති නිසා දුක නැති ය

දුක නසන මග දනිමි
දේශනාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතු ය
කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතු ය
ඇඳුම් කඩමාලු ටික
ගමන් මලු තුළට දා
පැණිදෙනිය හන්දියට යා යුතු ය
ටිකට් පත මිලට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතු ය

දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එ මග
නමුදු කෙලෙසක කරම්
අවැසි අබිනික්මන?

දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත

පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


මේ අච්චුවේ ම වෙනත් කවියක් ද මා ලියා ඇත.
http://rasikalogy.blogspot.com/2018/08/yet-another-blasphemous-poem.html

-රසිකොලොජිස්ට්

(image: http://www.stewardshipreport.com/photo-of-the-day-little-monks/)

Friday, 16 March 2018

දෙයියා යැදූ විභාගෙ ෆේල් මිතුරා - Oh, these people


පසුගිය දා මා සැලසුම් නොකරම සිදුකළ "දෙයියාගේ පිහිට ලැබෙනාකාරයේ සත පනහේ පිං අතේ වැඩක්" නිසා දිගින් දිගටම දෙයියා ගැන කතා සිහියට නැගෙන්නට පටන්ගෙන ඇත.

මේ තවත් කතාවකි.

මේ කතාව මා යතුරු ලිවීම ඇරඹුවේ එදිනම නමුත් විවිධ හේතු නිසා අවසාන සංස්කරණය කර පළ කිරීම තරමක් පමා කරන්නට සිදුවිය.

මේ කියන කාලයේ මම "පස්තාච්චි කුපාඩි" යැයි සමහරුන් විසින් හැඳින්වෙන පශ්චාත් උපාධියක් හදාරමින් සිටියෙමි. ඒ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ ය. කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය (industrial engineering and management) පිළිබඳ ඉංජිනේරුපති (Master of Engineering) උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා සිටි තිස් දෙනෙකු පමණ වූ අපේ පිරිසේ ලංකාවේ මැවිසුරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව විවිධ ආසියාතික රටවලින් පැමිණි සිසුහු වූහ.

ඔවුන් අතරින් කැපී පෙනුණු අයෙකු වූයේ පකිස්ථානු ජාතික කසීම් වලීඩ් අලි ෂා ය. ඒ ආකාරයේ නම්වල පුද්ගල නාමය කුමක් ද, පෙළපත් නාමය කුමක්දැයි හඳුනා ගත නොහැකි නිසා අප පහසුවට ඔහු ඇමතූවේ අලී කියා ය.

වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නිරතු මැවිසුරවෙකු වූ අලී ලාහෝර්වාසියෙකි. ඉතාමත් විනීත ගති පැවතුම් ඇත්තෙකි. උස මහත පාංශු දේහධාරියෙකු වුව ද, කතාවෙන් ශාන්ත පුද්ගලයෙකි. හැමට උදව් කිරීමට ඉදිරිපත් වෙන්නෙකු නිසා සතියකින් පමණ අප කණ්ඩායමේ නියෝජිතයා ලෙස ද නිතරගයෙන් පත්විය.

කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව වූ අපේ පශ්චාත් උපාධියේ මුල් වාරයේ අපට විෂයයන් හතරක් හැදෑරීමට නියමිතව තිබුණි. එයින් නිෂ්පාදන කළමනාකරණය (Production Management), මූලික ප්‍රශස්තිකරනය (Fundamentals of Optimisation) සහ ආර්ථික විද්‍යාවේ මූලධර්ම (Principles of Economics) යන විෂයයන් කෙසේ වෙතත්, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මුල් උපාධිය ලබා තිබුණු අප සමහර දෙනෙකුට ද උත්සාහයකින් තොරව වටහා ගැනීමට අසීරු විෂයයක් වූයේ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම (Introduction to Probability and Statistics) නම් විෂයය යි.

අලී ෂා ට නම් ඒ විෂයයේ අන්තර්ගතය "අණ්ඩර දෙමළ" හෝ "බොල්චොස්ථාන් උර්දු" වැනි විය. එයට හේතුව ලෙස ඔහු අප සමග කීවේ, ඔහු ඒ සංකල්ප මීට කලින් අසා නැති බවයි. අපේ කණ්ඩායමේ සිටි ලාංකික සිසුන් සිව් දෙනා ම හයේ පන්තියේ සිට ම පාසලේ දී සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප ඉගෙන ගෙන, පසුව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාඨමාලාවලදී ඒ පිළිබඳව තවදුරටත් ඉගෙන තිබුණ ද, ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබුණු අලි ෂා ගේ පාකිස්ථානු ඉංජිනේරු උපාධියට හෝ ඒ විෂයය කරුණු ඇතුළත් වී තිබී නැත.

සති හයකින් පමණ පසු පැවැත්වුණු වාර මැද පරීක්‍ෂණයේ දී, මා ද ඇතුළු සිසුන් බහුතරය සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප විෂයයයෙන් ජාම් බේරාගෙන තිබුණි. නමුත්, අලී ගේ ප්‍රතිඵලය නම් ඉතා දුක්බර එකක් විය. කොටින් ම, අවසාන විභාගයේ දී තම ප්‍රතිඵලය අතිවිශාල වශයෙන් වෙනස් කර ගැනීමට හැකි නොවුණහොත් ඔහුට පාඨමාලාව ඉදිරියට හැදෑරීමට ආයතනයෙන් ඉඩ නොදෙනු ඇති බව පෙනුණි.

අපේ හිතමිතුරාට මේ විෂයය අවබෝධ කර ගැනීමට උදව් කරනු වස්, ඉන්දියාවෙන් පැමිණ සිටි අංජනී කුමාර් ෂර්මා ද, මා ද, අලී ෂා සමග එකතුව අවසාන විභාගය සඳහා සූදානම් වීමට සිතුවෙමු.

මෙවැනි කුඩා කණ්ඩායම් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ කුඩා කාමර පැය කිහිපයකට වෙන් කර ගත හැකිය. කලින් කතා කරගත් ආකාරයට අපි තිදෙනා එක් සවස් වරුවක මේ කාමරයකට රැස් වී විෂයය කරුණු සාකච්ඡා කරමින් අපට නියමිතව තිබුණු පාඨ ග්‍රන්ථය වූ ෂෙල්ඩන් රොස් ගේ (Introduction to Probability) පොතේ එන අභ්‍යාස කිරීම ඇරඹුවෙමු.

එක් මොහොතක තම අත් ඔරලෝසුව දෙස බැලූ අලී කලබලයකින් මෙන් නැගිට්ටේ ය. ඒ වැසිකිළියට යාම වැනි දෙයකට යැයි මට ඒ මොහොතේ සිතෙන්නට ඇත. නමුත් අලී කළේ, වහා ම ඒ කුඩා කාමරයේ එක් කොනකට ගොස් බිම දණගසා මට පෙනුණු ආකාරයට යම් කිසි වන්දනාවක් වැනි දෙයක් කිරීමට පටන් ගැනීමයි.

ඒ දසුනෙන් මා විමතියට පත් වූ බව වටහා ගත් ඉන්දියානු මිතුරා මට සෙමෙන් පවසා සිටියේ ඒ අලී යාඥා කරන බවයි. ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.

මා සිතන ආකාරයට මේ යාඥාව සඳහා විනාඩි පහක් හෝ ඊටත් වඩා කාලයක් ගත වෙන්නට ඇත.

අවසානයේ නැවතත් අප හා එක්වුණු අලී පැවසූයේ තමන් එලෙස දිනකට පස්වතාවක් දෙවියන්ට යාඥා කරන බවයි.

මගේ ඇඟේ ලේ රත් වෙන්නට පටන් ගත්තේ එවිට ය.

"අලී මං උඹට පොඩි අවවාදයක් දෙන්න ද?" මම අලී ඇමතුවෙමි. "එක්කෝ උඹ ඒ විදියට දවසකට යාඥාකරන වැය කරන පැය භාගයටත් වඩා වැඩි කාලයත් ඉගෙනීමට යොදපං, නැතිනම් පස් පාරක් නොවෙයි විසි පස්පාරක් දවසකට දෙයියාට යාඥා කරලා මේ විෂයය පාස් කරලා දෙන්න කියලා ඉල්ලාපං!"

එක්කෝ තමාගේ මහත්මා ගුණය නිසා හෝ නැතිනම් තමන්ට උපකාර කරන්නට කාලය කැපකරමින් සිටින හොඳම මිතුරෙකු අමනාප කර ගැනීමට අකමැති නිසා හෝ එසේත් නැතිනම් මා කී දේ අවබෝධ වූ නිසා හෝ අලී මුවින් නොබැණ සිටියේ ය.

ඉන් පසු දිනවල ද, අපි එක්වී අධ්‍යයන කටයුතු කළෙමු. එසේ වෙතත්, ඒ අවස්ථාවල දී ඔහු යාඥා කරනු මට දක්නට ලැබුණේ නැත. මම ද ඒ ගැන නොවිමසා සිටියෙමි.
විභාගය අවසන් විය.

සතියකින් පමණ ප්‍රතිඵල නිකුත්විය.

කසීම් වලීඩ් අලි ෂා නම් පාකිස්ථානු ජාතික මැවිසුරුවා සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් වූ විෂයය අසමත් වී තිබුණි.

එය අලී විසින් දෙයියා අතහැරීම නිසා සිදුවූවක් ද, එසේත් නැතිනම් දෙයියා විසින් අලී අතහැරීමක් නිසා සිදුවූවක් ද යන්න මම අද ද නොදනිමි.

ඒ කෙසේ වෙතත් අවසානයේ පශ්චාත් උපාධි ආයතනයේ නීතිවලට අනුව මා මිත්‍ර අලීට අපේ පාඨමාලාව අතහැර ආපසු පාකිස්ථානය බලා යාමට සිදුවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔහු අපෙන් සමුගෙන යාමට පෙර දිනයක දී, අලී මට ලීවලින් තැනූ අගනා අඩිකෝදුවක් තෑගි දුන්නේ ය. එය පසුව මා ලංකාවට ද රැගෙන ආවෙමි.

ඔහු මට ඒ ත්‍යාගය දුන්නේ මා ඔහුට සිහිවටනයක් ලෙස ලංකාවෙන් ගෙන ගොස් තිබුණු කුඩා වෙස් මුහුණක් තෑගි දුන් අවස්ථාවේ දී ය.

"බොහොම ස්තුතියි, ඒත් මට මේක මා එක්ක පාකිස්ථානයට ගෙනියන්න වෙන්නේ නෑ!" අලී කීවේ ය.

"ඒ ඇයි?"

"අපිට මේ වගේ සුරුවම් ළඟ තබා ගැනීම තහනම්!" ඔහු දුක්මුසු ස්වරයක් යැයි මට සිතුණු හඬින් කීවේ ය.

අලී විභාගය අසමත් වීම පිළිබඳව මට දෙවෙනි වරටත් දුක සිතුණි!


ප/ප/ලි:
ලිපිය පළ කළ පසු සිහිවූ කරුණක්.

ඉහත ඳහන් කළ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් විෂයය අපට ඉගැන්වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් (Statistics) සහ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Probablity) යන දෙදෙනා විසිනි.

ඔවුන් ගැන මා මීට පෙර ලියා ඇති ලිපි දෙකක් මෙසේ ය.

1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?
https://rasikalogy.blogspot.com/2016/09/i-suspect-i-can-blog-well.html


2. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


(image: http://www.alamy.com/stock-photo/sri-lanka.html?cutout=1)

Wednesday, 31 January 2018

පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why!


මේ සිදුවීම සහ තවත් එකිනෙක ඈඳුණු සිදුවීම් කිහිපයක් ම පෙරේදා හවස් වරුවේ මගේ මතකයේ ඉහළ ස්ථරයට පැමිණ හක්කලං කරන්නට පටන් ගත්තේ ය. පසුදා මා දුටුවේ මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු සටහනකි.

අමතක වී ගොස් තිබුණු රසිකොලොජි බ්ලොගය නැවත එළිපහළි කර, මේ මතක සටහන් දෙක තුන වහවහා ලියා දමන්නට සිත්වුණේ ඒ නිසා ය.

අප මෙල්බර්න් නුවරට සංක්‍රමණය කර ජීවත්වීම ඇරඹූ මුල් කාලයේ පදිංචිව සිටියේ කානර්ගී නම් තදාසන්න ප්‍රදේශයේ තට්ටු නිවාසක ය. නිවාස අටකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි, අපේ කාමර දෙකේ නිවාසයට යටින් පිහිටි නිවසේ ජීවත් වූයේ සුදෝ සුදු කොණ්ඩයකින් යුත් මහලු කාන්තාවකි. අගේ නම ඇනට් වැන්නක් බව මගේ මැකී යන මතකයේ තවමත් රැඳී ඇත.

ඉඳහිට සති අන්තයේ දිනක දී, ටැක්සියකින් පැමිණ ඇය හමුවන මිතුරෙකු හැරෙන්නට ඇය විසුවේ තනිවම ය. සතියට වරක් දෙකක් නිවස අසල ප්‍රදේශයේ දී ඇය හමුවන විට මද සිනහවක් පා, හලෝ යැයි කීම හැර අප අතර වෙනත් ගනුදෙනුවක් නොතිබුණි.

එක් දිනක් සවස්වරුවේ ළදැරික වූ මගේ දියණිය හා මා නිවසේ සිටින අතර නිවසේ ඉදිරි දොරට තට්ටු කරන හඬක් ඇසුණි.

දොර හැර බැලූ විට මා දුටුවේ තරමක් බියපත් වූ මුහුණින් යුතු ඇනට් ය.

"මට උදව්වක් කරන්න හැකිද?" ඇය ඇසුවා ය. "මගේ ගෙදරට මකුළුවෙක් ඇවිත්. පොඩ්ඩක් පහළට එන්න ප්ලීස්."

බිරිඳ ඒ වන විට නිවසට පැමිණ සිටියේ නැති නිසා මම කුඩා දියණිය ද සමග පහළ තට්ටුවේ ඇනට් ගේ නිවසට ගියෙමි.

ඕස්ටේ‍ර්ලියාවේ දරුණු විසකුරු මකුළුවන් ඇති බව මා අසා තිබුණි. නමුත් ඇනට්ගේ නිවසට වැද සිටියේ ද, මා "වධකයා සහ උගේ බිරිඳ" කතාවේ ලියූ ආකාරයේ ම විෂ රහිත සාමාන්‍යයෙන් ගෘහස්ථව වෙසෙන මකුළුවෙකි.

"මට දෙන්න ෂොපින් බෑග් එකක්!" යැයි ඉල්ලා සිලි-සිලි බැගයක් ලබා ගත් මම, එය මගේ අතේ රුවා, මකුළුවා අල්ලා බෑගය නොපිට පෙරලූවෙමි.

මකුළුවා බැගය තුළ කොටුවිය.

"ඔන්න වැඩේ ඉවරයි. මේකාව මං එළියේ තියෙන කුණු බාල්දියට දාන්නම්!" මම කීවෙමි.

ත්‍රාසයෙන් වෙලෙමින් මගේ වීර ක්‍රියාව දෙස බලා සිටි ඇනට් ආච්චී අවසානයේ දී කෘතවේදී බැල්මක් මා වෙත හෙළා කීවේ "මං හිතුවේ ඔබ ඒකාව චප්ප කරලා දාවිය කියලායි" යැයි කීවා ය.

කුකුල් මස්, හරක් මස්, මාළු අනුභව කරතත්, මකුළුවෙකු වැනි කුඩා සතෙකු වුව මරා දමන්නට අසීරු ඇයි දැයි මට එදා සිතුණි.

එදා නොව පෙරේදා ද සිතුණි. ඒ කතාව ඊළඟට ලියමි.

මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් තම ෆෙස්බුක් පිටුවේ ලියා තිබුණේ ද, මේ කාරණය ගැනම ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ මිතුරා ගැන සඳහනේ දී ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් යැයි නොකියා අයිඑම්එස් සත්‍යප්‍රසාද් යැයි කියා ලීව්වා නම්, මකුළුවන් කෙසේ වෙතත් 2014 දෙසැම්බරයේ දී මෙන් "මනපහතයෙකු" හෝ කිහිප දෙනෙකු හෝ නම් හඳුනාගන්නට ද ඉඩ තිබුණි!

(image: )

Sunday, 31 December 2017

වාචාල බණ - Yet another year ends......


මා මේ දිනවල නිවාඩු සමය ගත කරන ලංකාවේ නිවසේ දින කිහිපයකට පෙර සාංගීක දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි.

තමන් සතු අතිරික්ත දේ අනුන් ගේ යහපත පිණිස දීම හොඳ කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. කිසිදු තර්කානුකූල පැහැදිලි කිරීමක් මා මේ වන තුරු අසා නැතත්, මේ දන්දීම් අතරින් සාංගීක දාන වඩාත් උතුම් බව බෞද්ධයින් ගේ පිළිගැනීමයි.

එදා සාංගීක දානයේ මුල් කොටසේ දී, නිවස පසුපස කාමරයට වී එකත්පස්ව මගේ පාඩුවේ සිටීමට හැකි වුවත් දානය අවසානයේ දී පැන් වැඩීමක් තිබුණු නිසා මට ඒ ප්‍රදේශයට යාමට සිදුවිය. එනිසා ම, ඒ අවස්ථාවේ දී දෙසන්නට යෙදුණා වූ, බුද්ධපුත්‍ර වචන ද මගේ සවනත ගැටුණි.

සුඛා සද්ධම්ම දේශනා නොවේ දෝ යැයි සිතමින් මම එහි තවදුරටත් රැඳී සිටියෙමි.

"අද දවසේ ඉපදෙන දරුවෙකු ගේ පරමායුෂ අවුරුදු කීයක් දැයි දන්නවා ද?" තම ධර්ම අනුශාසනාව අරඹමින් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑ වැදෑරූ දෑ ය.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත්, ඒ ප්‍රශ්නයට පිළිතුරක් මා අවසාන වරට බුද්ධාගම විෂයයක් ලෙස උගත් නමවෙනි ශ්‍රේණියේ දී හෝ ඉගෙන ගෙන නොතිබුණු බැවින් මම ද නිහඬව සිටියෙමි.

සමහරවිට මේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ මේ දිනවල සිනුවරට වඩිමින් සිටින උඩඊරියගම ධම්මජීව වැනි හිටපු ඇග්‍රෝ, වලස්මුල්ලේ අභය වැනි හිටපු ඉංජෝ විසින් විද්‍යාත්මකව පහදා දෙනවා යැයි කියවෙන, මා තවමත් නොදන්නා, අභිධර්මයේ යැයි මම මොහොතකට සිතුවෙමි.

මගේ ඒ සිතුවිල්ල ගැන මට ම ලැජ්ජාවක් ඇතිකරමින් මොහොතකින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට ලබා දෙන ඉඟියක් ලෙස ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ වැදෑරුවේ මෙලෙස ය.

"ඊයේ දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහත්මයාගේ වැඩසටහන නැරඹුවා නම් ඒ ප්‍රශ්නයට පිළිතුර දැන ගන්න තිබුණා."

මේ මොන මෑණියන්ගේ වස්ත්‍රයක් ද කියා සිතමින් ම මම සැදැහැවත්ව සවන යොමා සිටියෙමි.

"ඒ වැඩසටහනට සහභාගී වුණු විශේෂඥ වෛදවරයෙකු ප්‍රකාශ කළා මිනිසා ගේ පරමායුෂ ක්‍රමයෙන් අඩුවෙන බව. ඊළඟ පරම්පරාවේ ඉපදෙන ළමයින් ජීවත් වෙන්නේ අවුරුදු තිස් පහක් පමණයි! ඒ වැඩ සටහන නරඹන වෙලේ මට සිහිවුණා බුද්ධ වචනයේත් සඳහන් වෙන බව මිනිසාගේ පරමායුෂ අවුරුදු 120 ක් ව තිබී ක්‍රමයෙන් අඩු වුණු බව. දැන් ළඟඳී ම ඒ වයස අවුරුදු තිස් පහක් වෙන බවයි ඒ විශේෂඥ වෛදවරයා ප්‍රකාශ කළේ."

මට තව දුරටත් මුවින් නොබැණ සිටීමට නොහැකිවිය.

"ඒ විදියට අවුරුදු තිස් පහක් පරමායුෂ තියෙන පරම්පරාව එන්නේ කොයි කාලෙ ද ඇත්තටම?" මම විමසුවෙමි.

සමහරවිට අපේ ජීවිත කාලය තුළ නොවෙන්න පුළුවන් අද ඉපදෙන දරුවන් යැයි වදාළ තම මුල් වදන් දෙවන වරටත් වෙනස් කරමින් ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ පැවසූ දෑය.

කිසිම පදනමක් නැති බව පෙනෙන මෙහෙම කතා කියන කොට ඒ සියලු අතුරු කතා මුලින් කියන්න ඕනෑ නේදැයි මා අසා සිටියත් එයින් නොසැලුණු ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ තවදුරටත් තම කෙප්පංග ජාතකය ම තවත් විනාඩි කිහිපයක් නාස්ති කරමින් වදාළ දෑය.

මගේ අභද්‍ර වචන පිළිබඳව එහි සිටි වැඩිහිටි අවිද්‍යාවේ සර්ධාවෙන් වෙලී සිටින ඥාතී වර්ගයාට මළ පැනීමට ඉඩ තිබුණු නිසා, මා වැඩිදුර කතාවට නොපැටලවී සිටියෙමි.

වෙනත් අවස්ථාවක දී නම්, මා ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑගෙන් අසන්නට ඉඩ ඇති ප්‍රශ්න යුගල මෙසේ ය.
  1. සංඝයාගේ යුතුකම වන්නේ ගිහියන් දෙන දානය පිළිගෙන ඔවුන්ට බුද්ධ වචනය දෙසීම නොවේ ද?
  2. එසේ නොමැතිව දහදුරා රූපවාහිනී නාලිකාවල වාචාල නිවේදකයින් මෙහෙයවන වෙළඳ වැඩසටහන්වල කියවෙන ප්‍රකාශ එහි පසුබිම හෝ අදාළ වෙනත් තොරතුරු නොමැතිව ධර්මදේශනා ලෙස දේශනා කරන්නේ ඇයි?
කෙසේ වෙතත් වසර අවසානයට පෙර තවත් ලිපියක් රසිකොලොජියට එකතු කිරීමට මට අවස්ථාව සඃසා දීම ගැන ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මම ස්තුතිවන්ත වෙමි.

ඒ කරගත් පිනෙන් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මොහදුර දුරු කර ඥානාලෝකය පහළ කර ගැනීමට ඉඩ ලැබේවා යැයි ද වැඩි දුරටත් පතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
එදා ඒ දෙරණ නාලිකා සාකච්ඡාවේ දී චතුර අල්විස් සමග කතා කළ වෛද්‍යකාරයා පවසා ඇත්තේ පරිසර දුෂණය නිසා මිනිස් ආයුෂ අඩුවෙනවාය වැනි කතාවක් බව පසුව නිල නොවන ආකාරයකින් දැන ගතිමි.

Friday, 15 September 2017

අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness


මා ඊයේ නිර්මාණය කර ෆෙස්බුක්හි පළ කළ ඉහත පෝස්ටරය පිළිබඳ විස්තර කරන්නට පෙර යම් අතීත කතාවක් කිව යුතුය.

මා අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ, සවස් වරුවේ රබර් බෝල ක්‍රිකට් ගැසීමට එක් වීමට පුරුදු වී සිටියෙමු. ඇත්තටම මේ ස්ථානයේ පැවතුණේ ටියුෂන් පන්තියකි. නමුත්, අප එහි යාමේ මූලික අරමුණ වූයේ සම වයසේ මිතුරන් සමග කරන ක්‍රිකට් ක්‍රීඩාවයි.

එක් දිනක් මේ පරිශ්‍රයේ දුවද්දී මා පය ලිස්සා ගොස් ඇද වැටුණි. දණහිස් සහ වැළමිටි නිසා හිස ඒ බොරළු පොළොවේ නොගැටී වළක්වා ගත් නමුත්, මා ඊළඟ මොහොතේ නැගිටින විට වැළමිටි දෙකම පතුරු ගොස් තිබුණු අතර දණහිස්වලින් ලේ ගලා එමින් තිබුණි.

ඒ තුවාල නිසා මට දැනුණු වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, ඒ මොහොතේ මා දුටුවේ ඒ අසල සිටි එක් කොලුවෙකු මහ හඬින් සිනාසෙන බවයි. එය මට මහත් ප්‍රහේලිකාවක් විය.

"යකෝ, මං ඇදගෙන වැටිලා, තුවාල වෙලා, ලේ ගලන වෙලේ උඹ ඇයි හිනාවෙන්නේ?" මම ඔහුගෙන් ඇසුවේ කෝපයෙනි.

ඔහු කට වසා ගත්තේ ය.

නමුත්, මේ සිදුවීම දශක ගණනාවකට පසුව ද, මගේ සිතේ නොමැකී පවතී.

මනුෂ්‍යත්වය යනු තවත් අයෙකුගේ දුකක දී, ආපදාවක දී, අඩු වශයෙන් ඒ ගැන කණගාටුවීමයි, හැකි අයුරකින් උපකාරයක් කිරීමයි, ඔවුන් සමග ඒ දුක බෙදා ගැනීමයි.
සිරියාවේ පැවති කලබල නිසා දස දහස් සංඛ්‍යාත පිරිස් පලා යද්දී අප යුරෝපයේ දුටුවේ ඒ මානුෂිකත්වයයි.

එසේ නොමැතිව, වෙනත් අයෙකුගේ ආපදාවකදී සිනාසීම හෝ ඒ පිළිබඳව අවඥාවෙන් කතා කිරීම යනු, වෙනත් බොහෝ දෙනෙකුට මෙන්ම, මට ද සිතෙන පරිදි අමානුෂිකත්වයේ ලකුණකි.

මියන්මාරයේ පසුගිය දිනවල මහා ජන සංහාරයක් සිදුවුණු බව අපි සැම දනිමු. රජයේ හමුදාවන්ගේ ප්‍රහාර මැද දහස් සංඛ්‍යාත පිරිස් තමන් ගේ ගම් ප්‍රදේශ හැර දමා පලා යන්නට වූහ. ඔවුන් අද අසල්වැසි බංග්ලාදේශයේ සරණාගතයින් ලෙස අසරණව සිටිති.

දැන් සරනාගතයින්ව තම රටට භාර ගැනීම යනු හැම දේශයකට ම කළ හැකි දෙයක් නොවේ. ලංකාවේ රජයෙන් එවැනි තිරණයක් ගෙන ඇතැයි කියවෙන, ව්‍යාජ යැයි පැවසෙන සංවිධානයක් විසින් නිකුත් කරණ ලද ප්‍රකාශයක් දුටු විගස අපේ සමහර අයියලා අඳු කොළ දුටු නාගයින් මෙන් පෙණ පුප්පන්නට පටන් ගනු මම දුටුවෙමි.

ඔවුන්ගෙන් ඇතමෙකු සාධාරණ ලෙස කරුණු දක්වා තිබුණ ද, කැබිනට් ප්‍රකාශකයින් ගෝනියක් ම සිටින ලංකාවේ, ව්‍යාජ සංවිධානයකින් නිකුත් කළා යැයි කියවෙන ප්‍රකාශයකින් පමණක් කලබල වීම නම් විහිළුවකි.

ඒ සුළු පිරිස හැර අන් බහුතරය කර තිබුණේ, මේ අගතියට පත් ජන පිරිස පිළිබඳව වෛරී ප්‍රකාශ වැපිරවීමයි.

මා මුලින් කියූ පරිදි මානුෂික ගුණය වන්නේ දුකට පත් අයට වචනයකින් හෝ පිහිට වීමයි. එසේ නොකිරීම කෙසේ වෙතත්, එවැනි අයගේ දුක දැක සිනාසෙන්නෝ, අවඥා කතා කියන්නෝ නම් අමනුෂ්‍යයෝ ම ය.

ඒ අමනුෂ්‍යත්වයට හේතුව, අප කාගේත් සිත්වල ඇති ජාතිවාදයයි. එසේම අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නමින් හැඳින්වෙන අපට ආගන්තුක දේ පිළිබඳව ඇති බියයි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අවුන් සාන් සූ කී පවා, මියන්මාර් ජන ඝාතන පිළිබඳව මුක පූට්ටු කරගෙන සිටියදී, අප වැන්නන් ගැන කවර කතා ද?

මගේ පෝස්ටරයෙන් කියවෙන්නේ එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න සංශෝධිත මෛත්‍රී භාවනාව.

මියන්මාරයේ රොහිංගලා හැර අන් සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා, සැපවත්වෙත්වා, දුකෙන් මිදෙත්වා, නිවන් දකිත්වා!

Thursday, 31 August 2017

රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil


සංවිධානය වූ ආගම් යනු මූලිකව ම මිනිසුන්ගේ රැවටීම මත ගොඩ නැගී, සවිමත් වී, පැවතෙන කූට ව්‍යාපාර විශේෂයක් ය යන්න ආගමික අන්ධයින්ට හැර අන් සියලු දෙනාට ම සක්සුදක් සේ පැහැදිලි විය යුතු සත්‍යයකි.

එසේ ම, අල්ලාගෙන සිටින රාජ්‍ය බලය රැකගෙන දිගින් දිගට ම පවත්වාගෙන යාම තම ප්‍රධාන පරමාර්ථය ලෙස සලකන දේශපාලුවන්ට ද ඒ සඳහා අවශ්‍යවන්නේ ජනතාව දිගින් දිගම රැවටීමට බව ද අපි දනිමු.

එනිසා, සංවිධානය වූ ආගම් සහ රාජ්‍යය කරන දේශපාලුවන් ඒ එකම අරමුණ උදෙසා එකට කඳවුරු බැඳීමේ කිසිදු පුදුමක් නැති බව පෙනේ.

මේ අශුද්ධ සංධානය අද ඊයේ සිදු වූවක් නොව මිනිස් ශිෂ්ටාචාර ආරම්භයේ සිට ම සිදු වූවකි. බුදුන් සහ ජේසුන් වැනි ආගම් කතුවරු තම දහම රාජ්‍ය බලයෙන් තොරව පැතිරවූයේ වුව ද, ඔවුන්ගේ මරණයෙන් පසු ඒ දහම විකුණමින් බෞද්ධ සහ කතෝලික ආගම් දෙක සංස්ථාපිත වූයේ රජුන් හා එකතුව ජනතාව රැවටීමේ පොදු අවශ්‍යතාවය පෙරදැරී කරගෙන ය. ඒවා අද පැවතෙන්නේ ද, බොහෝ දුරට ඒ ආකාරයෙන් ම බව ද පැහැදිලිව පෙනේ.

ලංකාවේ අද පවතින සියලුම ආගමික සංස්ථා ද මුලින් ඇරඹුණේ, ඒ ඒ කාලවල සිටි රජුන්ට බෝලය බස්සවා, ඇම කවා බව අප අසා ඇත. තමන් නිරතුරු කරන ජඩ වැඩ එළිපිට කරනවාට වඩා ආගමට මුවා වී කිරීම ඊසි-පීසි බව පහසුවෙන් ම වටහා ගත් රජාලා ද, ක්‍ෂණයකින් ම වැඩේට සෙට් වූහ.

මා කියවා නැති වුණත්, මැකියවේලීලා ද, කෞටිල්‍යලා ද, විෂ්ණු ශර්මාලා ද, මේ ආකාරයෙන් පූජකයින් සහ රජය කරන්නන් යන දෙපාර්ශවයට වින්-වින් තත්වයක් උදා කරන ඔවුන් ගේ අශූද්ධ සන්ධානයේ ඇති වැදගත්කම ගැන ලියා තියෙනවාට සැක නැත.

කෙසේ වෙතත් මේ අශුද්ධ සන්ධානය කඩා ආගම සහ රාජ්‍යය වෙන් කිරීම නම්, අර නිර්ධන පන්තියේ ආඥාදායකත්වය උදා කිරීම වැනි, කිසිදාක කළ නොහැකි තරමේ අසීරු කාර්යයක් දෝ යැයි සිතේ.

මා වසන ඕස්ට්‍රේලියාව යනු සෑහෙන දුරකට ආගම සහ රාජ්‍යය වෙන්කර පවත්වාගෙන යන රටකි. උදාහරණ කිහිපයක් සඳහන් කළහොත්, රජයේ පාසල් ආරම්භයේ දී පන්සිල් ගැනීම් වැනි ආගම් සිහි කිරීමක් නැත. පාසල අවසානයේ දී "යෝවද තම්පව" හෝ "රෝමනු ජේසු" හෝ කීමක් නැත. රජයේ වියදමෙන් පාසල්වල ආගම උගන්වනු නොලැබේ. අවශ්‍ය අය සඳහා හැමට පොදු පාඩමක් ඇති අතර, දෙමව්පිය කැමැත්ත මත අපේ ළමුන් කළාක් මෙන් ඒ වෙලාවේ පුස්තකාලයට යාමට හැක. විෂයයක් ලෙස සංසන්දනාත්මක ආගම් ගැන උසස් පෙළ සඳහා ඉගෙන ගැනීමට නම් පහසුකම් සැපයෙතත් ආගම් සඳහා පොදු බදු මුදල් වැය කිරීමක් ගැන අසන්නට නැත.

තත්වය එසේ නමුත්, තවමත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹෙන අවස්ථාවේ දී දෙවියන්ට යාඥාවක් කියනු ලැබේ. මෙය වසර සියයකටත් ඉහත කාලයක දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹූ කාලයේ සිට පැවත එන, තවමත් ඉවත් කර නැති, සම්ප්‍රදායකි.

ඒ හැර ආගම් සහ රාජ්‍යය අතර සම්බන්ධයක් ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි තරම් ය.

පාසල් ආරම්භයේ දී මෙන් ම, වෙනත් රාජ්‍ය උත්සව ආරම්භයේ දී ද, පන්සිල් ගැනීම ආදී ආගමික කටයුතු කෙරුණ ද, ලංකාවේ පාර්ලිමේන්තුවේ නම් සිල් ගැනීම් හෝ වෙනත් ආගමික කටයුතු නොකෙරෙන බව මගේ විශ්වාසයයි. කොහොමටත්, පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරයක් හොරුන් සහ බොරුකාරයින් බවත්, තවත් පිරිසක් බඩුකාරයින් සහ අනියම් මිනීමරුවන් බවත්, ඒ මිස පන්සිල් රකින්නන් නොවන බවත්, අමුතුවෙන් කිව යුතුව නැත.

ලංකා පාර්ලිමේන්තුවේ ආගම් ඇදහීමක් නොවුණත්, රාජ්‍යයේ කටයුතුවලට ආගම්වල බලපෑම ඉතා විශාල බව බැලු බැල්මට ම පෙනේ.

මෙහි දී මුලින් ම අපට පෙනෙන්නේ, සංස්ථාපිත ආගම් ප්‍රෝඩාව රාජ්‍ය මට්ටමෙන් ද පවත්වා ගෙන ගොස් ජනතාව දිගින් දිගටම මුළා කිරීමේ ව්‍යාපෘතිය සඳහා, රජය විසින් ආරම්භ කර විශාල පිරිවැයක් දරමින් පවත්වාගෙන යන බුද්ධ ශාසන, ක්‍රිස්තියානි කටයුතු, හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යනා දී අමාත්‍යාංශ ගොන්නයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්‍ෂාව, නීතිය හා සාමය වැනි කරුණු නම් රාජ්‍යයේ විෂයය පරාසයට ඇතුළත් විය යුතු බව පැහැදිලි වුවත්, අතිශය පුද්ගලික කාරණයක් වූ ආගමික කටයුතු සඳහා අමාත්‍යාංශ අවශ්‍යවන්නේ ඇයි දැයි මට නම් නොතේරේ.

බෞද්ධ කටයුතු සඳහා ඇමතියෙකු පත් කරන ලෙසත්, ප්‍රතිපාදන සපයන ලෙසත්, බුදුන් කිසි දිනයක කොසොල් රජාගෙන් හෝ, සුද්දෝධනගෙන් හෝ ලිච්ඡවිලා සෙට් එකෙන් ඉල්ලූ බවක් මා නම් අසා නැත.

ලෝකයේ ඇති අනෙකුත් ආගම්වන ෂින්ටෝ, යුදෙව්, සීක්, බහායි වැනි ආගම් ලංකාවේ නැත්තේ රටේ අයවැයේ යහපතට බව පෙනේ.

බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් ලංකාවේ වැරදීමකින් හෝ බිහිවුණු දිනයක මේ ආගමික අමාත්‍යාංශ සියල්ල විසුරවා දමනු ඇතැයි සිතා සැනසීම හැර අපට කළ හැකි අන් දෙයක් තියේ ද?

සංස්ථාපිත ආගම් සහ රාජ්‍යය අතර ඇති මේ අශුද්ධ සන්ධානය නිසා ලංකාවේ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින ව්‍යවසනයන් බොහෝ ය. ඒ බොහොමයකට හේතුව වී ඇත්තේ, රාජ්‍යය සමග තමන් අයිති සංස්ථාපිත ආගමේ ඇති අශුද්ධ සංධානයේ බලයෙන් මත් වෙන ආගමික නියෝජිතයින් ඉන් පසු රාජ්‍යයේ කටයුතුවලට අයුතු ලෙස බලපෑම් කරන්නට යෑම නිසා ය.

සඟ බලවේගය කරට ගෙන රජ පුටුවට ගිය සොලමන් බණ්ඩාරනායකට වූ දෙය ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වේ.

මේ කරුණු සියල්ල මගේ සිතට නැගුණේ පසුගිය දිනවල, විශේෂයෙන් ම ෆේස්බුක් හරහා, අසන්නට ලැබුණු සංස්ථාපිත ආගම් ලොක්කන්ගේ පිස්සු කෙළි කිහිපයක් නිසා ය.

විවිධ හේතු මත අනවශ්‍ය කළල ගබ්සා කිරීමට නීතියෙන් අවසර දීමට ඇති සැලසුම පිළිබඳව කතෝලික පල්ලිය විසින් නගා ඇති විරෝධය ඉන් එක් කරුණකි.

අන් බොහෝ දෙනෙකු පවසා තිබුණාත් මෙන් ම, මේ සම්බන්ධයෙන් මගේ අදහස ද වන්නේ, කතෝලික පල්ලියට තමන් අවශ්‍ය නම් තම අනුගාමිකයින්ට නීති පනවා ගන්නවා මිස, රටේ පොදු නීති සම්පාදනයට බලපෑම් කරන්නට අයිතිවාසිකමක් නැති බවයි. මෙය මීට කලින් ඔවුන් සාර්ථකව කර ගත් ආකාරයේ ඩාවින්චි කෝඩ් පොත හෝ චිත්‍රපටය තහනම් කිරීම වැනි සරල කාරණාවක් නොවේ.

ඒ ආකාරයේ දෙවන සිද්ධිය වූයේ, කතරගම පැත්තේ දේවාලයක වුණු කලබගෑනියයි. බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් අද ලංකාවේ වැරදීමකින් හෝ බිහිවී තිබුණා නම් මේ අවස්ථාවේ දී සිදුවිය යුතුව තිබුණේ ඒ මහා ප්‍රෝඩාව සදහටම නතර කර දැමීමයි.

ඒ වෙනුවට සිදුවුණේ, මෝඩයින් හැත්තක ගේ මුදල් කපටියන් කිහිප දෙනෙකු අතර කෙසේ බෙදී යා යුතුද වැනි අදින්නාදාන පාපයක් සම්බන්ධ මේ කුණු ගොඩ නිරාකරණය කර ගැනීම සඳහා හොරකම පවක් ලෙස සලකන බුද්ධාගම තම දඩමීමා කරගෙන සිටින බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වීමයි!

තුන් වෙනි කාරණය ගැන ෆේස්බුක් හි ආරංචිය පැතුරුණේ ඊයේ ය. පොළොන්නරුවේ කවුදෝ ගනින්නාන්සේ කෙනෙකු පෝයදාට කඩ වහන්නට යැයි කියා නගරයේ ව්‍යාපාරික ස්ථානයකට ලිපියක් යවා ඇත.

බබා ස්වරයෙන් ලියා තිබුණද, එහි අන්තර්ගතයේ ඇති තර්ජනය ඉතා පැහැදිලි වේ. කොටින් ම, දැන් සති කිහිපයකට කලින් පුවත් මැවූ භාවනා කරපං ඩෝ *රියා සහ යනවද නිවන් නැතිනම් අපි අරින්ඩ ද ආකාරයේ මහා කාරුණික ඉල්ලීමකි.

වසර තිහකට කලින් භීම සමයේ ජවිපෙ බළල් අතක් වූ කුඩහපොළ බලකාය වැනි ත්‍රස්තවාදීන් මේ ආකාරයේ කඩේ වහපිය ඩෝ සෙනෙහෙ කොළ යැවූ අතර, ඒවා පිළි නොපදින බුලත් තට්ටුකාරයින් පවා ජවිපෙ මිනීමරු අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මරා දමන ලදී. ඒ ඉන්දු ලංකා ගිවිසුම දඩමීමා කරගත් ජාතිවාදී ව්‍යාපාරයක ක්‍රියා ය.

කාලයක් තිස්සේ ජඩ වැඩ කරමින් රට ගඳ ගැස්සවූ නානසාර නිහඬ වී ඇති මේ මොහොතේ සිදුවුණු මේ ගනින්නාන්සේගේ ක්‍රියාව ප්‍රාදේශීය ආගමික ත්‍රස්තවාදයක පෙරනිමිත්තක්දැයි සැකයක් ඇති වීම සාධාරණ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංස්ථාපිත ආගම්වලට රැවටී ඉන්නා අයගේ සහයෝගය ලබා ගැනීම පිණිස ලංකාවේ රාජ්‍යය විසින් කර ඇති එකම අකටයුත්ත මා පෙර සඳහන් කළ අමාත්‍යාංශ පිහිටුවා මහජන මුදල් නාස්ති කිරීම පමණක් නොවේ.

ඊට අමතරව, ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැකීමක් ගැන නොමනා සඳහනක් කිරීම, පෝය නිවාඩු දහතුනක් රජයේ නිවාඩු දින ලෙස නම් කර රටේ ඵලදායීතාව අඩු කිරීම, "ගනිං ඩෝ පන්සිල්" න්‍යායෙන් පෝය දිනවල මත්පැන් අලෙවිය තහනම් කිරීම, පන්සල් සහ පල්ලිවලට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පරිසරය දුෂණය කරන්නට ඉඩ දීම, ආගමික දිනයන් හි දී, බැනර් දැමීමට, ගොඩනැගිලි ආලෝකමත් කිරීමට මහජන මුදල් නාස්ති කිරීම යනාදිය ද දැක්විය හැකි ය.


(image: )

Monday, 10 July 2017

අපොයි මෙහෙම බණ - Be warned, human race is doomed


ගෑනු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරා දාපිය

පිරිමි ජාතිය
උතුම් ජාතිය
කන්න දීපිය
මල් පුදාපිය


ඒ මා කුඩා කාලයේ අසා තිබුණු උපහාසාත්මක කවියකි. ඒ සමග ජන කතාවක් ද ඇඳී තිබුණු නමුත්, මේ මොහොතේ එය සිහියට නොවේ.

ඒ උපහාසාත්මක කවිය සිහියට ආවේ දින දෙකකට පමණ පෙර ෆෙස්බුකියේ හුවමාරු වී තිබුණු අපූරු බණ දේශනාවකින් උපුටා ගත් කොටසක් ඇසීමෙනි.

මෙන්න එය.



මේ බණ දෙසන රාජගිරියේ අරියඥාන නම් සාදුට අනුව, ඔබ කාමයේ වරදවා හැසුරුණොත් ඊළඟ ආත්මයේ නපුංසකයෙකු වී උපදී. ඉන් පසු වෙනත් විවිධ තිරිසන් ආත්මවල ඉපදී, දඩුවමේ ම කොටසක් ලෙස ස්ත්‍රියෙකු වී ද උපදී.

වෙනත් වචනවලින් කියනවා නම්, මෙලොව වසන සියලුම කාන්තාවන් කලින් ආත්මවල කාමයේ වරදවා හැසිරීමේ වරදට දඬුවම් ලෙස මේ ආත්මයේ කාන්තාවන්ව ඉපිද ඇති අයයි.

මේ බණ කෑල්ල අසන නිරවුල් සිතකින් යුතු ඕනෑම අයෙකුට ඒ බණ දෙසන රාජගිරියේ අරියඥාන සාදු ගේ අම්මා මතක් වීම අනිවාර්යෙන් ම සිදුවේ.

එයට හේතුව නම්, අම්මාට තම මෑණියන්ට මේ සාදු කරන අපහාසය නිසා ඒ අසරණ කාන්තාව ගැන ඇතිවෙන අනුකම්පාව නිසා ය.

ඊළඟ ආත්මයේවත් උතුම් වූ පිරිමි ආත්මයක් ලබා ගැනීම පිණිස නිකං එසේ මෙසේ පින්කම් නොව මහා පරිමාණයේ පින්කම් රාශියක් සිදු කරන ලෙස ද, ඒ බණ කෑල්ල දෙසා දමන සාදු බණ අහන කාන්තාවන්ට උපදෙස් දෙයි.

ඒ පින්කම් අතරට සාංගීක දානමය පින්කම් ද අයිතිදැයි කියා ද, ඇස් ඉස් පමණක් නොව මස් ද දන්දිය යුතුදැයි කියා ද මේ බණ කෑල්ල ඇසූ කිසිවෙකු බණ දෙසූ සාදුගෙන් ඇසුවාදැයි මම නොදනිමි.

කෙසේ වෙතත්, මට නම් සිතුණේ මෙයයි.
මේ බණ අසන පිරිමින් ඊළඟ ආත්මයේ අර පාපකාරී කාන්තා ආත්ම ලැබීම ගැන බිය වී කාමයේ වරදවා හැසිරීම නොකරන්නට ඉඩ ඇති නිසා ද, ඒ අසන කාන්තාවන් මෙලෝ සිහියක් නැතුව පින්කම් කර, මරණින් පසු උතුම් පිරිමි ආත්ම ලබන්නට ඉඩ ඇති නිසා ද, මතු දිනක මේ ලොවේ කාන්තාවන් අඩු වී ගොස් උතුම් මව් පදවි ලබන්නට කිසිවෙකු නොමැති නිසා මිනිස් වර්ගයා තුරන් වී යාමට ඉඩ ඇත!
දැන් අප කළ යුත්තේ කුමක් ද?

විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මා වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බුදු සාදු පාරිලෙය්‍ය වනයේ!

(image: https://www.buddhistdoor.net/features/honey-offering-festival-commemorating-service-of-animals-to-the-buddha)

Monday, 3 July 2017

ඕස්ට්‍රේලියාවෙන් හොඳ ප්‍රවෘත්ති කිහිපයක් - Good news and better news


පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවෙන් හොඳ යැයි කිව හැකි ප්‍රවෘත්ති කිහිපයක් ම මතුවිණි.

ඉන් ප්‍රධානතම පුවත වූයේ, ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ ලොකුම ලොක්කා වූ, මේ වන විය රෝමයේ වතිකානුවේ පෝප් යටතේ ඉහළ තනතුරක් දරන ජෝර්ජ් පෙල්ස් නම් පූජකයාට එරෙහිව පොලිසිය විසින් ළමා අපචාර චෝදනා ගොනු කිරීමයි. මා හිතන පරිදි මේ චෝදනා කෙළින්ම අපචාර සම්බන්ධයෙන් නොව, මීට දශක කිහිපයකට පෙර කතෝලික පල්ලියේ ප්‍රාදේශීය ලොක්කෙකු ලෙස සේවය කරන කාලයේ ළමා අපචාර සඳහා චෝදනා ලද පූජකයෙකු පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු නොකර ගොඩින් බේරා දැමීම වැනි කරුණු අරභයා, ගොනු කෙරෙනු ඇත.

ජෝර්ජ් පෙල් ලොක්කාට මේ ආකාරයට චෝදනා ලැබීම, වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ළමා ලිංගික අපචාර පිළිබඳව කෙරෙන රාජකීය කොමිසම් විමර්ශන එක් ප්‍රතිඵලයක් පමණි.

ලංකාවේ ද, පන්සල්, පල්ලි වැනි ලිංගික ආතතියකින් කල් ගත කරන්නට සිදු වී ඇති ආගමික නියෝජිතයින් සිටින ස්ථානවල, මේ ආකාරයේ විවිධාකාරයේ ලිංගික අපචාර සිදුවී ඇති බවටත්, තව දුරටත් සිදුවෙන බවටත් සැකයක් නැත. ඒ අකටයුතු සම්බන්ධයෙන් ද, නුදුරු දිනයක දී ම, නිසි ක්‍රමවේදයක් මගින් විමර්ශනයක් කළ යුතුව ඇත.

ගිය සතියේ ම, ඕස්ට්‍රේලියාවෙන් මතුවුණු දෙවන හොඳ පුවත තිබුණේ, පසුගිය වසරේ පවත්වන ලද ජන සංගණනයේ ප්‍රතිඵල අතර ය.

උප්පැන්න සහතිකයේ නැති, සංගණනයකදී පමණක් ප්‍රශ්න කෙරෙන කාරණයක් වූ ආගමික නැඹුරුව ගැන ඇසූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු අනුව අනාවරණය වී ඇත්තේ රටේ ජනගහනයෙන් 30% ප්‍රමාණයක් නිර්ආගමික බවයි. වසර පහකට වරක් පවත්වන සංගණනවලදී මේ ප්‍රතිශතය 2006 දී 19% ක් ද, 2011 දී 22% ක් ද වී ඇත. එනම්, නිර්ආගමිකයින් සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම සිදු වී ඇත්තේ පසුගිය වසර පහක කාලය තුළ ය.

මේ ප්‍රවෘත්තියේ වැදගත් ම කොටස නම්, ජනගහනයේ ඉතුරු 70% පිරිස පිළිපදින ආගම් වෙන් වෙන් වශයෙන් සලකා බලන කළ, ඉන් ඉහළ ම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කතෝලික ආගම සඳහා වූ නමුත් එය නිර්ආගමික ප්‍රතිශතයට වඩා අඩු අගයක් එනම්, 22.6% පමණක් වීමයි.

මේ ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් තවත් වසර පහළොවක් පමණ කාලයකින් ඕස්ට්‍රේලියාවේ බහුතරයක් ජනතාව නිර්ආගමිකයින් වෙනු ඇති බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කතෝලික සහ ක්‍රිස්තියානි සියලු ප්‍රභේද එක් කළ විට ජනගහනයෙන් 52% ක් තවමත් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ ය. ඒ අතර බෞද්ධ යැයි තමන් හඳුන්වා ගන්නා පිරිස ජනගහනයෙන් 2.4% කි.

ප/ප/ලි:
ඇත්තෙන්ම ගිය සතියේ තවත් වැදගත් ආරංචියක් පැතිරිණි. ඒ, වත්මන් ඔසී රජයේ බලයේ සිටින ලිබරල් පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුමක් පිළිබඳව ය. මේවන විට සාමාන්‍ය මන්ත්‍රීයෙකු ලෙස කටයුතු කරන ලිබරල් පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු අගමැති ටෝලි ඇබට් විසින් ලිබරල් පක්‍ෂයේ වත්මන් නායක සහ අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නායකත්වයට එළිපිට ම කෙනෙහිළි කරන්නට පටන් ගෙන තිබේ.

වත්මන් රජය බලයේ සිටන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකින් බව සලකන විට මෙය හොඳ ප්‍රවණතාවයකි.

(image: http://churchleaders.com/pastors/pastor-articles/170132-john-eldredge-poison-of-religion.html)

Friday, 9 June 2017

මයුරි ගේ "ආගම් මාරුව" - This is an old story


මෙය පැරණි කතාවකි.

වසර කිහිපයකට පෙර තමා එතෙක් ඇදහූ හෝ නොඇදහූ ආගම මාරු කර වෙනත් ආගමක් ඇදහීම අරඹන මිනිසුන් පිළිබඳ ලොකු කතාවක් ඇති වී තිබුණා ඔබට මතක ඇතැයි සිතමි.

ආගම යනු උපතින් අපට ලැබෙන රට, ජාතිය, ජාන, ලෙඩ රෝග වැනි දෙයක් නොවේ. උප්පැන්න සහතිකයේ ආගමක් ගැන සඳහනක් නැත්තේ ද ඒ නිසා ය.

ආගම යනු අප අඳින සරමක් හෝ කලිසමක් වැනි දෙයකි. තමන් කැමති දෙයක් ඇඳීමට, සරමෙන් කලිසමට මාරු වීමට සහ කලිසමෙන් සරමට වැසීමට නිදහස තිබිය යුතු ය. එය මූලික ප්‍රජා අයිතියකි.

ආගම් මාරු කිරීමට විරුද්ධව නීති ගේනවා යැයි කියා පාර්ලිමේන්තු ගිය උන්දලා ද, පසුව ඒ කතා අමතක කර දැමුවේ ඒ නිසා ය.

මීට දස වසරකටත් වඩා ඉහත ඒ සමයේ දී, මිතුරු නිවසක පැවති සුහද සාදයකට සහභාගී වීමට අපට සිදුවිය.

පිරිමින් පිරිස මද පමණින් දෂ්ඨ කරමින් සිටිය දී, "අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්!" වර්ගයේ කාන්තාවන් පිරිසක් විසිත්ත කාමරයේ අසුන්වලට බර දී ලොකු කතා බහක නිරතවෙමින් සිටියහ.

"ඉතිං අනේ එයා දැන් මුළුමනින් ම ක්‍රිස්තියානි ආගමට හැරිල නෙ!" ඒ මහා විස්සෝපයකින් යුතුව කතා කරමින් සිටියේ මයුරී ය. "මේ සේරම පටන් අරගෙන තියෙන්නෙ එයා දවසක් ෂොපින් යනකොට අඳුනන්නෙවත් නැති එක්කෙනෙක් එක්ක කතා කරලා යි. ඊට පස්සෙ දෙන්නා කතාවට වැටිලා. පස්සේ ගෙදරත් ඇවිල්ලා දෙගොල්ලෝ හොඳම හිතවත් වෙලා. අන්තිමේ දී, දැන් ආගමත් මාරු කරල. හිතන්න පුළුවන් ද අනේ?"

එතැන සිටි අනෙක් කාන්තාවන් කිහිප දෙනා ද හූමිටි තබමින් මයුරිට සවන්දෙමින් සිටියහ.

"මාත් අහල තියෙනවා ඔය විදියෙම ආගම මාරු කරපු කතාවක්” එතැන නැවතුණු මම කියූවෙමි.

කාන්තා පිරිස ගේ අවධානය මට යොමුවිය.

"ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල".

"ඉතිං?"

"ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුනන හැම දෙනාම ඒ ආගමට හැරිලයි".

"ආනේ!" මයුරි ඇස් දෙක ද විශාල කොට ඉතා පුදුමයෙන් යුතුව කීවා ය "කවුද අනේ ඔය තිස්ස කියන්නේ? කොහේ කෙනෙක්ද ඔය ඔයා ගේ යාළුවා? පේරාදෙණියෙ කෙනෙක් ද?"

"මේ මගෙ යාළුවෙක් නං නෙමේ, මේක මාත් තුන් හතර පාරක් ම අහල තියෙන හරි පරණ කතාවක්".

"මං නං ඔය කතාව ඇහුවෙම මේ අදයි".

"වෙන්න බෑ, ඇයි ඔයා තුනේ පන්තියෙදි බුද්ධාගම පාඩම ඉගෙන ගත්තෙ නැද්ද?"

"රසික, ඔය අඹ කතාව හැර වෙනත් අඹ කතා තියෙනවා ද?" කරුණු වටහා ගත් වෙනත් අයෙකු සිනාව අතරින් ම පවසනවා මට ඇසුණි.

-රසිකොලොජිස්ට්

(image: http://wallpaperswide.com/buddha_buddhism_blue_calm_digital_art-wallpapers.html)

Wednesday, 31 May 2017

ගංවතුරේ හොඳ පැත්තක් - Excellent by products of flood disaster


"හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබේ!" යැයි කියමනක් ඇත. ඉන් අදහස් කෙරෙන්නේ, කෙතරම් නරක දෙයකින් වුව, යම් ආකාරයක හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකි බවයි.

"පර්සි මහෙන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියොත් හොඳය!" කියා 2015 අප්‍රියෙල් මාසයේ දී ම, එනම් ජනාධිපති ඡන්දයෙන් ඔහු පැරදී පලා ගොස් මාස තුනක් ගත වෙන්නටත් පෙර, සටහනක් ලියා පළ කළේ ද, මේ කරුණ ම, එනම් කළු වලාවේ ඇති රිදී රේඛාව මා දුටු, නිසා ය.

සිය ගණනක් ජීවිත අකාලයේ නැතිවීම පිළිබඳවත්, දේපල හානි නිසා ජීවත්වෙන අයට සිදුවෙන පාඩු සහ අපහසුතා ගැනත් දුක් වෙන අතරතුර, මා මේ ගංවතුර ව්‍යවසනය නිසා ඇති වී තිබෙන යහපත් අතුරුඵල ලෙස දකින්නේ මේවා ය.

1. කේන්දරකාර හොරුන් ගේ පුකත්වය හෙළිදරව් වීම


2. මිත්‍යාදෘෂ්ඨික දෙයියන් අදහන බයියන් ගේ ඉච්ඡාභංගත්වයට සිනාවිමට හැකිවීම


3. දේශපාලුවන් ගේ සැබෑ ජනතාවට සේවය කිරීමේ අභිලාෂය හෙළිදරව් වීම


එක් පින්තූරයකින් වචන දහසක් පැවසෙයි යන්න සත්‍යයක් නිසා, වැඩිදුර නොලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අවාසනාවට මෙන්, මීට වසර දෙක හමාරකට පෙර මා සිඩ්නි නගරයේ දී දුටුවේ මීට වඩා වෙනස් තත්වයකි. එනම්, අනතුරු අතරේ තවදුරටත් දෙයියංට ස්තුති කිරීමයි!
https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html


(images: facebook, Mirror, Divaina and http://www-evasion.imag.fr/~Fabrice.Neyret/gallery/color_and_light/silverlining/catalog.html)

Friday, 12 May 2017

වෙසක් එක? - WTH?


වෙසක් දින දෙක ම ගෙවී ගියත් තවමත් මගේ සිත ඇත්තේ වෙසක් කවි සහ වෙසක් කූඩු නිසා ඇති වූ වෙසඟේ නිරාමිස ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙමිනි.

සඳට කොහේ කෙදිනක පසළොස්වක පෝය ලැබුවත් ඕස්ට්‍රේලියාවට සැම විට ම පෝය ලබන්නේ ම සති අන්තයේ ය. ඒ අනුව, සිනුවර ලංකාරාමයේ වෙසක් පිංකම් මේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වේ. එදින සවසට ස්කෝෆීල්ඩ් ගම පැත්තේ ගියහොත්, වෙසක් කූඩු නැරඹීමට ද, කඩල කෑමට ද හැකිවෙනු ඇත.

ඊයේ ඔළු බක්කන් ගැන ලියමින් සිටිද්දී, මීට වසර දහයකට පමණ පෙර මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවේ "සිංහල" නම් වූ ත්‍රෛමාසික සඟරාවට, මවිසින් ලියන ලද කතුවැකියක් මගේ මතකයට නැගුණි.

එය සිංහල භාෂාවේ එක්තරා අපූර්වත්වයක් පිළිබඳව ලියවුණු එකකි. මේ එයින් කුඩා කොටසක්, යළි ලිවීමකි.

අපේ සිංහල භාෂාවට පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන එකතු කර ගැනීම ඉතා ලේසි බව අප දනිමු.

අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ක්‍රියා පදයක් නම් අප කරන්නේ එයට අගින් "කරනවා", "වෙනවා" වැනි සිංහල ක්‍රියා පදයක් එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස ටයිප් කරනවා, පෝස්ට් කරනවා, කමෙන්ට් කරනවා, මොඩරේට් කරනවා, ඇපෲ කරනවා වැනි යෙදුම් ද, හිට් වෙනවා, හැක් වෙනවා වැනි යෙදුම් ද දැක්විය හැක.

එසේ ම, අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ නාම පදයක් නම් අප කරන්නේ එයට අගින් "එක" යන සිංහල වචනය එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස එකවුන්ට් එක, බ්ලොග් එක, කමෙන්ට් එක, රිප්ලයි එක වැනි යෙදුම් දැක්විය හැක.

මීට අමතරව ටීවී එක, කාර් එක, බස් එක, ඔෆිස් එක, බිල්ඩින් එක, ටේ‍ර්න් එක, පාක් එක, බීච් එක, ගවර්න්මන්ට් එක යනාදී වශයෙන් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන කෙළ-කෝටියක් අපි අපේ ම කරගෙන පාවිච්චි කරමු.

දැන් මේ පින්බර වෙසඟේ මගේ සිතට ආ කාරණය මෙයයි.
වෙසක් "එකට" මොකද කළේ?
වෙසක් "එකට" කූඩු හැදුවා ද?
වෙසක් "එකට" දන්සැල් වැන්දා ද?
වෙසක් "එකට" පන්සල් ගියා ද?
මළා!

අප "වෙසක් එක" කියා කියන්නේ ඒකත් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචනයක් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙසක් එක විතරක් නොවෙයි, ඇයි "පොසොන් එක"?

මට හිතෙන විදියට පොසොන් එක පමණක් නොව වෙසක් එක ද, පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ආක්‍රමණයක් නොව, අශෝකලා ගේ, මිහිඳුලා ගේ, මෝඩිලා ගේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කොටසක් වේ!

වහා කළු කොඩි දමනු!

(image: http://english.fastnews.lk/44266)