Thursday 26 December 2019

නවකතාවක් ගැන කතාවක් - Once upon a time in Paris


මේ නවකතාවේ නම අමුතු එකකි. නමේ ඇත්තේ ඉලක්කම් පමණි. අකුරු නැත. නම 12.12.12 වේ. රචකයා මංජුල සේනාරත්න ය.

මා මංජුල සේනාරත්න ගැන දැන ගත්තේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හි ඇති පොත් කියවන අය නම් කණ්ඩායමේ ඔහු ලියූ සටහන් කිහිපයක් සංසරණය විය.

ඉන් එකක ප්‍රංශයේ පැරිස් නගරය මැදින් ගලා බසින සේන් ගංගාව ගැන ද, ඒ අඩවියේ ඇති පැරණි පොත් කඩ ගැන ද සඳහන් වී තිබුණි. මා ද දින දෙක තුනක් ම ඒ අඩවියේ රස්තියාදු වී ඇති නිසා මම ඒ ලිපිය උනන්දුවෙන් කියවීමි. ඒ ලිපියේ ද, ඔහු ලියූ අන් ලිපිවලද අන්තර්ගතය මෙන්ම රචනා විලාසය ද මා සිත් ගත්තේ ය.

මංජුල සේනාරත්න යනු ලේඛකයෙකු බවත් ඔහු ලියූ නවකතා පිළිබඳවත් මට දැන ගන්නට ලැබුණේ ඉන් පසුවයි.

පසුගිය සැප්තැම්බරයේ අම්මාගේ උපන් දිනය අල්ලා ලංකාවට ගිය දිනවල පොත් ප්‍රදර්ශනයට ගොඩවෙන්නට ද අවස්ථාවක් ලැබුණු නිසා, මංජුල සේනාරත්න ලියූ ඉහත සඳහන් 12.12.12 නම් පොත ද, තවත් නවකතාවක් ද මිලට ගන්නට ලැබුණි.

දැන් වසර කිහිපයක සිට වසරක් පාසා ලංකාවට යෑමට මට අවස්ථාව ලැබුණු නිසාත්, ගුවන් සමාගම් විසින් මුල් කාලයේ අප රැගෙන යන ගමන් මල්ල සඳහා පනවා තිබුණු කිලෝ විස්සක සීමාව දැන් කිලෝ තිහ, හතළිහ දක්වා වැඩි කර ඇති නිසාත්, පසුගිය වසර කිහිපය තුළ මා ගමන් මල්ලේ ද, මුහුදු තැපෑලෙන් ද ලංකාවෙන් ගෙනා පොත් ප්‍රමාණය කිලෝ අසුවක් ඉක්මවයි.

එනිසා, ලංකාවෙන් පොතක් ගෙන ආවා යන්නෙන් එය වහා කියවෙන බව අදහස් නොකෙරේ. ඇත්ත වශයෙන් ම මා 2015 දී ගෙන ආ සමහර පොත් තවමත් කියවා නැත. ඒවා කියවීමට පෙර, යළිත් ලංකාවෙන් පොත් ගෙන ඒම ද, ලංකාවේ මුද්‍රිත පොත්වලට අමතරව වෙනත් පොත් කියවීම ද එයට හේතුවයි.

ඒ අනුව සිතන කළ මා 12.12.12 කියවීමට නියමිතව තිබුණේ සමහරවිට තව වසරකින් දෙකකින් වන්නට ද ඉඩ තිබුණි.

නමුත්, මංජුල සේනාරත්න ගැන ද, ඔහු ලියූ පොත් ගැන ද මා දැන ගත් ෆේස්බුක් තුළින් ම ඔහුගේ මේ 12.12.12 පොත ගැන යම්කිසි විවාදාත්මක සාකච්ඡාවක් කෙරෙනු මට දැක ගත හැකි විය.

පොරොත්තු ලේඛන සුනඛයින්ට දමා වහාම 12.12.12 පොත වහා ම කියවීමට මට සිතුණේ ඒ නිසා ය.


මේ නවකතාව අප කියවා හුරුපුරුදු සිංහල නවකතාවට වඩා කිහිප අතකින් වෙනස් වේ.

එය ලියවී ඇත්තේ ලංකාවේ ගමක් හෝ නගරයක් හෝ නොව ප්‍රංශයේ පැරිස් නුවර පසුබිම් කරගෙන ය. එම පසුබිම පාඨක සිත තුළ මවන්නේ මා කලින් දවසක හඳුන්වා දුන් ආගන්තුක චමත්කාරයයි.

පැරිසියේ සිදුවීම් පිළිබඳව විස්තර කෙරුණ ද, ප්‍රංශුවන් ප්‍රධාන චරිත කිහිපයක් ම නිරූපණය කළ ද, 12.12.12 නවකතාවේ ප්‍රධාන චරිතය සහ තවත් චරිත කිහිපයක් ම සිංහල කතා කරන සංක්‍රමණිකයින් වෙති. එනිසා, පාඨක සිත් තුළට අපේ කමක් ද ඇතුළු වේ.

නවකතාව ගෙතී ඇත්තේ අභිරහස් මිනීමැරුමක් පිළිබඳව ය. එය විසඳීමට ප්‍රංශ පොලිසියේ නිලධාරීන් පියවරෙන් පියවර හැකිතාක් දුරට නීතිය නොනමමින් දරණ උත්සාහය පිළිබඳව ය. කොනන්ඩොයිල් කෘති පරිවර්තන ප්‍ර්‍රිය කරන සිංහල පාඨකයින්ට පමණක් නොව සාමාන්‍ය රුචිකත්වයක් ඇති අයට ද මේ පොත ආකර්ෂණීය එකක් වෙනු නොඅනුමාන ය.

මංජුල සේනාරත්නගේ 12.12.12 පොත ලියවී ඇති විලාසය මට සිහි කළේ මා ප්‍ර්‍රියතම මේ ශානරයේ නවකතාකරුවන් දෙදෙනෙකු වන ජෝන් ග්‍රිෂෝම් සහ ජේම්ස් පැටර්සන්ගේ මා කියවා ඇති නවකතා ය. පොතේ අවසානය දක්වාම පාඨක කුතුහලය රඳවා තබා ගැනීම ද, පාඨකයාට ද සිතන්න යමක් සැමවිටම ඉතුරු කරමින් රහස් පරීක්‍ෂණ ක්‍රියාවලියේ කොටසක් කර ගැනීම ද, කතාව ගලා යාමේ දී සිදුවෙන විවිධාකරයේ පොට පෙරළීම් ද, ඒ කතා කීමේ කලාවේ මූලික ලක්‍ෂණ වේ.

මංජුල සේනාරත්න මේ ශානරයේ ලේඛකයෙකු අභිමුඛව ඇති ඒ සාර්ථකත්වයේ නිර්ණායක සියල්ල සමතික්‍රමණය කර ඇත.

නවකතාවේ ඇති මා දුටු එකම දොස නම්, එය ප්‍රමාණයෙන් පිටු 400 ඉක්මවා යාමයි. එය සිංහල නවකතාවක සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ය. සිංහල පාඨකයාට හුරු පුරුදු ලංකාවේ ජවනිකා (පියා අසනීප වීම වැනි) ඉවත් කරන්නට හෝ සංක්‍ෂිපත්ක කළ හැක. එසේ ම, පැරිසියේ සිංහල පුවත්පත් වාර්තාකරු පිළිබඳ අතුරු කතාව ප්‍රමාණයට වඩා උපහාසයට බරවී දිග් ගැසුණේ ද කියාත් සිතේ. එය ඉවත් කළ ද, 12.12.12 මිනීමැරුම් අභිරහසේ රසයට බාධාවක් නොවෙනු ඇත.

ඇත්තටම කියනවා නම්, මෙම නවකතාවේ මුල් කොටස, එනම් මේ යුවල පිළිබඳ මරණයට පෙර කතා කොටස් සියල්ල, ඉවත් කර ඔවුන්ගේ නිවෙස සහිත ගොඩනැගිල්ල බලාකියාගන්නා පුද්ගලයා විසින් මිනීමැරුම පිළිබඳව තොරතුර පොලිසියට ලබාදෙන ස්ථානයේ සිට නවකතාව අරඹා, පොලිසිය විසින් කරුණු සියල්ල සොයා ගන්නා ආකාරයට ලියුවේ නම් නවකතාවේ ඇති රහස් පරීක්ෂකභාවය (එසේ වචනයක් ඇත්නම්) මීට වඩා තීව්‍ර වෙන්නට ඉඩ තිබුණි.

මංජුල සේනාරත්න ලියූ "ප්‍ර්‍රියා සමග ඉරිදාවක්" ළඟඳීම කියවීමට අදහස් කරමි.

-රසික සූරියආරච්චි

Monday 16 December 2019

අමු කවියක් - A raw poem


ආතතිය කියන්නේ
උසස් පෙළ ගණිතයේ පාඩමක දී ඇසුණු
වචනයක් පමණක් ම වූ සොඳුරු කාලයට

විෂාදය කියන්නේ
යුරෝපා බසක සිට සිංහලට පෙරළිච්ච
නවකතාවක දි හෝ හමු නොවුණු
අත්භූත වචනයක් සේ දැනුණු කාලයට

විරහ වේදනා පොදි කැටි ගැසූ
කවක් පබැඳීම යනු
දුක නිවන, සිත සතුට ඇති කරන
කාරියක් වුණු අරුම කාලයට

හෙට දිනය අද දිනට වඩා හොඳ වේවි යැයි
ඇත්තටම හිතුණු ඒ කාලයට
සිතුවිල්ල සැබෑ වුණු කාලයට

කාල යානයක නැග
හැකියාව ලැබේ නම් නැවත යා ගන්නට
කිසි දිනක ආපසු
නොම පැමිණ ඒ ලොවම ඉන්නට!

-රසික සූරියආරච්චි

(image: https://pelhamcommunications.com/art-pr-agency/blog/art-on-this-day-vincent-van-gogh/)

Monday 25 November 2019

බය සමය නැවතත් එළැඹ ඇත - Back to the future!


සන්ජන හත්තොටුව යනු ලේඛකයෙකි. ඔහු ග්‍රවුන්ඩ්වීව්ස් නම් වෙබ් අඩවියේ ආරම්භකයා බව ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු බව ද, ඉන්දියාව, ඕස්ටේ‍ර්ලියාව සහ නවසීලන්තය යන රටවල අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථියෙකු බව ද සඳහන් ය.

ඔහු පිළිබඳ එලෙස කෙටියෙන් සඳහනක් කළේ, නොබෝදා සන්ජන හත්තොටුව විසින් බෙදා හරින ලද ට්විටර් පණිවිඩයක අන්තර්ගතය ගැන කතා කිරීමටයි.



ඉහත පණිවිඩයේ සන්ජන හත්තොටුව සඳහන් කරන ආකාරයට ඔහු විසින් වසර හතරහමාරක් පමණ කාලයක් තිස්සේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට ලියන ලද තීරු ලිපි මාලාවේ පසුගිය ඉරිදාට නියමිත ලිපිය පළ කිරීම කතෘ විසින් අත්හිටුවා ඇත.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ "ඉහළින් ආ අණක්" නිසා ය යන්නයි.

එම ලිපිය තම බ්ලොගයේ පළ කරන බවත්, එසේ නමුත්, කනගාටුව, බිය සහ ස්වයං-වාරණය යන සිතුවිලි දැනටමත් තම සිත තුළට කා වැදී ඇති බව සන්ජන හත්තොටුව පවසයි.

සන්ජන හත්තොටුව පසුගිය ඉරිදා කලාපය සඳහා ලියන ලද, සන්ඩේ අයිලන්ඩ් කතෘ විසින් පළ කිරීම අත්හිටුවන ලද තීරු ලිපියේ අන්තර්ගතය කුමක් කියා සැක කළ හැකිද?

https://sanjanah.wordpress.com/2019/11/24/6-days/

ඉහත සබැඳිය මගින් කියවිය හැකි ඒ ලිපියේ අන්තර්ගතය වී ඇත්තේ ඒ වනවිට දින හයක් ගත වී තිබුණු ගෝටාබය රාජපක්‍ෂගේ ජනාධිපති ධූර කාලය පිළිබඳව කරුණු ය.

ලිපිය පළ නොකරන ලෙස "ඉහළින් අණ" ලැබී ඇත්තේ ඒ අන්තර්ගතය නිසා බව අමුතුවෙන් කිව යුතුව නැත.

මා හිතන ආකාරයට මේ "ඉහළ" යනු කිසිසේත් ම ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ හෝ රජයෙන් පත්කළ වාරණ මණ්ඩලයක් හෝ නොවේ. මේ පුවත්පත් ආයතනයේ ඉහළ අය විය යුතුය.

එනම්, මේ ලිපිය තහනම් කිරීම ප්‍රකාශකයා ගේ ස්වයං-වාරණයකි.

පසුගිය අවුරුදු කිහිපය තුළ නොපැවතුණු එවැනි ස්වයං-වාරණයක් හදිසියේ පැනවී ඇත්තේ ඇයි දැයි වටහා ගැනීම අසීරු නැත.

බය සමය නැවතත් එළැඹෙමින් පවතී.

බැක් ටු ද ෆියුචර් ගයිස්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මට ද පසුගිය වනචර දශකය තුළ දී මේ ආකාරයේ ම නොවුණත් මා ලියූ දේ පළකිරීම සහ මා එකල පවත්වාගෙන ගිය බ්ලොගයක යම් දෙයක් පළ කිරීම පිළිබඳ සුළු ප්‍රශ්න දෙක තුනකට මුහුණ දෙන්නට සිදුවිය.

ඒ ගැන විස්තර ඊළඟට ලියමි.

(image: Captured at Universal Studios, Orlando, Florida, USA)

Sunday 24 November 2019

සුභ ලාලකතිස්ස සහ සිරිලංකා කැබිනෙට්ටුවට අඩුක් වූ කුණුකෑලි - Why do you fill a cabinet with rubbish?


යස ලාලකතිස්ස ගැන ඔබ අසා තිබුණ ද, සුභ ලාලකතිස්ස කියන නම එතරම් ඔබට හුරු පුරුදු නොවන්නට ඉඩ ඇත. මා මේ කියන්නේ ප්‍රාථමික පාසලේ දී අප ඇසු කිං යස ලාලකතිස්ස කතාවේ ජයග්‍රාගී චරිතය වූ ගේට් මුඩ්ලියර් සුභ ගැනම ය.

ඒ කතාවේ සයිමන් නවගත්තේගම සංස්කරණයට අනුව මව්වරුන් දෙනෙනෙකුගේ දරුවන් වුව ද, සුභ සහ යස දෙදෙනා රුවෙන් එක හා සමාන වූයේ එක පියෙකුට දාව උපන් නිසා බවට ඉඟි කෙරේ. එසේ නම්, දෙදෙනාට ම එකම වාසගම දීම මගේ යුතුකම වේ. රජවාසල සේවය කළා යැයි පැවසෙන සුභ ගේ පියාගේ වාසගම මා නොදන්නා නිසා යස ගේ පියාගේ වාසගම ම සුභට ද දුන්නෙමි.

නවගත්තේගමට අනුව සුභ ලාලකතිස්ස යස මරා රජවෙන්නේ කැරැල්ලකට නායකත්වය දෙමිනි. කැරලිකරුවන්ගේ එක් අරමුණක් වන්නේ රටේ බදු බර අඩු කිරීමයි.

නමුත් අවසානයේ වෙන්නේ විපක්‍ෂයේ සිට කයිය ගැසුවට බලයට ආපසු ඒ කෙළි කරන්නට නොහැකි බව සුභ ලාලකතිස්ස අවබෝධ කර ගැනීමයි. මතට තිත ප්‍රතිපත්තිය කෙසේ වෙතත් තිතට මත කරා විතැන් විමයි!

ඒ අතීත කාතාව මට සිහිවූයේ සිරි ලංකාවේ අභිනව ජනාධිපති ගෝටාබය යටතේ ගිය සතියේ පිහිටවූ කැබිනෙට්ටුව නොහොත් රාජසභාවේ සංයුතිය නිසා ය.

හිටපු හොරුන්ගෙන්, උසාවියේ නඩු ඇති චුදිතයින්ගෙන්, පගා කරුවන්ගෙන් සහ මෙලෝ රහක් නැති උන්ගෙන් සමන්විත අලුත් කැබිනට්ටුව ගැන, දැඩිතර වහල් බයියන්ගේ කෙසේ වෙතත්, වියත්මග ගැන සුන්දර සිහින දකිමින් සිටි බයියන්ගේ පවා මුඛ පූට්ටු වී ඇති බව පෙනේ.

මගේ අදහසට අනුව, බයියන් මෙන්ම ටොයියන් ද මුහුණ දිය යුතු දේශපාලන යථාර්ථය මෙයයි.

එදා සයිමන් නවගත්තේගමගේ "සුභ සහ යස" නාට්‍යයෙන් පැවසූයේ ද මෙයයි.

තමන් කරන්නට හිතාගෙන සිටි කිසි දෙයක් කරන්නට සිස්ටම් එකෙන් ඉඩ නැති බව සුභ ලාලකතිස්සට වැටහෙන්නේ රජ වුණාට පසුව ය.

ඒ වගේම විපත් මග යැයි නම් ලද, වියත් මග අටමගලය කෙසේ වෙතත්, සිරිලංකාණ්ඩුව සඳහා ඇමතියන් පත්කරන විට බලයේ සිටින සභාගයේ හැම පාර්ශ්වයක්ම නියෝජනය කිරීමට, හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වීමට, ඒ ඒ කණ්ඩායම් වල ජ්‍යෙෂ්ඨයින් පත් කරන්නට සිදුවෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊට අමතරව කාන්තා නියෝජනයකුත් අවශ්‍යයි නේ!

ඉතිං, වියත් මග වෙනුවට නමවෙනි ශ්‍රේණියේ විභාගය, දහවෙනි ශ්‍රේණියේ විභාගය යන්තම් පන්නා ගත් පිරිසක් කැබිනට්ටුවට අඩුක් වීම පුදුමයක් නොවේ.

එය ගෝටස ගේ වරදක් නොවේ. පොර අසරණ ය.

පසුගිය 2015 මහ ඡන්දයේ දී සිස්ටම් එක වෙනස් කරන්නට කියා ජාතික ලැයිස්තු හැදූ ජනතා විමුක්ති පෙරමුණ පවා අන්තිමට කළේ තේරී පත්වුණු වෘත්තිකයින්ට අස්වෙන්න කියා තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පත්කර ගැනීම නොවේද?

අවසානයේ ඉතිං සිරිලංකා ජනතාවට හිමිවන්නේ සොරි ඩොට් කොම් මිස අන් කිසිවක් නොවේ!

-රසිකොලොජිස්ට්

(image: https://www.hgtv.com/shows/danmade/how-tos/how-to-make-a-hidden-trash-can-cabinet)

Thursday 21 November 2019

මොරටුව කටුබැද්දේ ලව් කතා අසා තිබේ ද? - History is being made


යොවුන් වියේ පාසල් අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලට යෑමට පෙරුම් පුරන සමයේ මගේ එකම සිහිනය වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යෑමටයි.

එයට එකම හේතුව වූයේ ඒ වන විට මා කියවා තිබුණු විවිධ නවකතා ආදී සාහිත්‍ය නිර්මාණවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳව මගේ සිතේ මවා තිබුණු අති සුන්දර හැඟීම බව අමුතුවෙන් කිව යුතු නැත. සෑබෑ ඇසින් දැක නොතිබුණ ද, හන්තාන කඳුවැටිය, මහවැලි ගඟ, ආදරවන්තයින්ගේ පටුමග, නෙක පැහැ මල් වැල් පිරි ගස්, සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය වැනි පරම සාරාත්මක පේරාදෙණි සංකේතවලින් තොර විශ්වවිද්‍යාල ජීවිතයක් ගැන මට එදා සිතා ගත නොහැකි විය.

යුවතියක හා පෙමින් බැඳීමට ඊට වඩා සුදුසු වෙනත් පරිසරයක් වේද?

රිඩ් මාවත ගැනත්, මැයි මල් ගැනත්, ග්‍රහලෝකාගාර ගැනත්, කොලේජ් හවුස් ගැනත් එහෙන් මෙහෙන් සාහිත්‍ය නිර්මාණවල සඳහන් වී තිබෙනු දැක තිබුණ ද, ගණිතය ධාරාවේ සිසුවෙකු ලෙස ඉංජිනේරවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටි මා හට තිබුණු විකල්ප වූයේ එක්කෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි, එසේ නැති නම් කටුබැද්ද නමින් අප හැඳින්වූ මොරටුව විශ්වවිද්‍යාලයයි.

නමුත්, මොරටුව විශ්වවිද්‍යාලය යනු එකල ද කිසිසේත්ම කලා නිර්මාණවල සඳහන් වූ, සෞන්දර්යාත්මක වදනින් විස්තර කෙරුණු විශ්වවිද්‍යාලයක් නොවීය. අද මේ දක්වාම ද මොරටුව යන නම ඇසෙන විට මට සිහිවෙන්නේ (මාළු) පිළී ගඳ හෝ (බොල්ගොඩ) මඩ ගඳ පමණි. එය මා අපහාසයට කියන දෙයක් නම් නොවේ. අවංකවම, මොරටුව විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ලියවුණු සුන්දර වදනින් යුතු කලා කෘති මා දැක නැත.

මා උසස් පෙළ උගත් කාලය වනාහී, කොළඹ පාසල්වලින් උසස් පෙළ සමත්ව ඉංජිනේරු විද්‍යාව හදාරන්නට වරම් ලබ සිසු සිසුවියන් බුරුතු පිටින් පේරාදෙණිය වෙනුවට කටුබැද්ද තෝරා ගන්නට පටන් ගෙන තිබුණු කාලයයි. එනිසා, මගේ පේරාදෙණිය තේරීම උඩුගම් බලා පීනීමක් බඳු විය.

පාසලේ අපේ පන්තිවලින් මා හැර පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට යන්නට කැමැත්තෙන් සිටියේ එකම එක් සිසුවෙකු පමණි. එයට හේතුව, ඔහුගේ වැඩිමහල් සොයුරා ඒවන විට තම ඉංජිනේරු පාඨමාලව අවසන් කරමින් සිටි අතර, සොහොයුරිය විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නිසා මිස, මා මෙන් තකතීරු සෞන්දර්යාත්මක පෙම් සිහින දකිමින් සිටි නිසා නොවේ!

සුන්දර පෙම් සිහින කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලට යෑමට ඉල්ලුම් කිරීමට මා පැකිලීමට එක් හේතුවක් විය. එය අපේ පවුලේ ආර්ථික තත්වයයි.

ඒ වන විශ්‍රාමිකයෙකු වූ මගේ පියාට මට පේරාදෙණියේ ජීවත්වීමට වියදම් කිරීමට හැකියාවක් තිබේයැයි මට නොසිතුණි. මොරටුව තෝරා ගත්තේ නම්, පිළියන්දල නැන්දලාගේ නිවසේ සිට, සාපේක්‍ෂව අඩු වියදමකින්, ඉගෙනුම පහසුවෙන් කළ හැකිව තිබුණි.

"උඹ පේරාදෙණි පලයං, මං කොහොම හරි වියදම් කරන්නම්!" මගේ ආදරණීය පියා කීවේ ය.

මම පේරාදෙණියේ ගියෙමි!

මේ කරුණු සියල්ල මගේ සිහියට ආවේ ළඟඳී නැරඹු ටෙලිවිෂන් මාලා නාටකයට එක් කතාංගයක තිබුණු දෙබසක් නිසා ය.

මේ කතාවේ එක් චරිතයක් නගර සංවර්ධන / ඉඳිකිරීම් වැනි විෂයයක් භාර ප්‍රබල ඇමතියෙකි. එසේම ඔහු මුදල් දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ, ඒ සඳහා පාතාලයේ මැරයන් සමග ද ගනුදෙනු කරන ජඩයෙකි.

ඔහුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන යම්කිසි අදහසක් ප්‍රේක්‍ෂකයාට ලැබුණේ එම මාලා නාටකයේ 71 වෙනි කතාංගයේ අවසානයේ දී ය.

මෙන්න ඒ කොටස.


කටුබැද්දේ පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය ගැන කුමන හෝ කලා නිර්මාණයක සඳහන් වුණු ප්‍රථම අවස්ථාව මෙය යැයි මම සිතමි.

එසේ වුව ද, මෙම දෙබස් කොට, නාට්‍යයක හෝ නවකතාවක හෝ දුටුවද එදා තියා අදවත් මා පේරාදෙණිය වෙනුවට කටුබැද්ද තෝරා ගැනීමට පෙළඹේ යැයි මම කිසිසේත් ම නොසිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පෙර කී පරිදි මම පේරාදෙණියේ ගියෙමි. මා එහි දී කළ කී දෑ ගැන කෙටියෙන් විස්තරයක් පහත සටහනේ ඇතුළත් ය.

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?
https://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html



(image: https://i.pinimg.com/originals/84/7a/89/847a89d6b8dff2d5fd4b7ea682984e90.jpg)

Sunday 17 November 2019

ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස - Mostly innocent fools


ලංකාවේ ඡන්ද බලය හිමි ජනතාව තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඡන්ද ප්‍රතිඵලය දැන් ඉතා පැහැදිළි ය. මගේ අප්‍රියතම අපේක්‍ෂකයා වූ ගෝටාබය රාජපක්‍ෂ 52 වඩා වැඩි බහුතරයකින්, වැඩි ඡන්ද දහතුන් ලක්‍ෂයකින් පමණ ජයග්‍රහණය කරන බව පෙනේ.

වැඩි දෙනාගේ කැමැත්ත ගෝටාබය රාජපක්‍ෂට නිසා, ජනාධිපති විය යුත්තේ ඔහු ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් ඡන්දදායකින් පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයා ඔහු ම ය. වෙන කිසිදු අපේක්‍ෂකයෙකුට කිසිසේත් ම එය කළ නොහැකි බව නොරහසකි.

මා බලාපොරොත්තු වූයේ මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලැබේවි ය කියා වූ නමුත් අවාසනාවට මෙන් මගේ බලාපොරොත්තුව ඉටු නොවුණි.

මගේ මේ කෙටි සටහනේ මූලික අරමුණ නම් ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් අය පිළිබඳව මගේ විග්‍රහය ඉදිරිපත් කිරීමයි.

මට සිතෙන ආකාරයට ඒ පිරිස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
  • අමනයින්
  • කපටියන්
එයින් අති බහුතරය අමනයින් බවත් ඒ පිරිස තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති බවත් ඔවුන් ගැන අනුකම්පාවෙන් සඳහන් කළ යුතු ය. ඒ වෙනුවට ඔවුන් සිතාගෙන ඉන්නේ තමන් පහත දැක්වෙන ආකාරයේ අය කියා ය.
  • රට ගැන සිතන දේශප්‍රෙමීන්
  • කළගුණ දන්නා යහපත් පුද්ගලයින්
නමුත් ඇත්තෙන් ම ඔවුන් අන්ධ භක්තිකයින් සහ අනුවණයින් වෙති. සාමාන්‍ය භාෂාවෙන් බයියන් ලෙස හැඳින්වෙන්නේ මේ පිරිස ය.

ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් අය අතරින් සුළුතරයක් වූ කපටියන් පහත ආකාරයේ පුද්ගලයින් ය.
  • අමු ජාතිවාදීන් සහ ලාවට ජාතිවාදීන්
  • පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන්
තම රැළේ නායකයා ගේ පුරවැසිකම පිළිබඳ උසාවිය ගිය අයද, විවිධාකාරයෙන් ඔහු ගැන සහ තමන්ට අකැප වෙනත් දේ ගැන ප්‍රශ්න කළ අය ද සුදු වෑන්වල යැවිය යුතුය කියන්නේද, මීගමුව ඡන්ද කොට්ඨාශයේ ඡන්දදායකයින්ට නැවතත් බෝම්බ ගැසිය යුතු බව කියන්නේ ද, උතුරු නැගෙනහිර ප්‍රදේශවල තම නායකයාගේ ප්‍රතිවිරුද්ධවාදියාට ජය අත් කර දුන් පිරිස විනාශ කළ යුතු බව පවසන්නේ ද මොවුන් ය.

මේ පිරිස තමන් කරන්නේ කුමක් ද යන්න ගැන හොඳාකාරව දනිති. නමුත් මොවුන් හෘදය සාක්‍ෂියක් ඇති පිරිසක් නොවේ.

අලුතෙන් පත්වෙන ජනාධිපතියා පරිස්සම් විය යුත්තේ මේ සුළුතර කපටි පිරිසගෙනි.

ඒ මක් නිසාදැයි පවසතොත්, මේ පිරිස බලාපොරොත්තුවන ආකාරයේ හැසිරීමක් ප්‍රදර්ශනය කිරීමට හෝ පාලනයක් ගෙන යාමට, ඔවුන්ගේ නායකයා බලයට ආ පසු ක්‍ර්‍රියා නොකළහොත්, අපේක්‍ෂා භංගත්වය නිසා, මේ පිරිස අසහනයට පත්ව කුමකින් කුමක් කරාවිදැයි කිව නොහැකි නිසා ය.

මේ මොහොතේ මට මා කියවා අසා ඇති ඉතිහාසයේ දී, මහ බණ්ඩාරනායකට මුලින් පක්‍ෂව සිට පසුව විරුද්ධ වූ බලවේග සිහිවේ!

-රසිකොලොජිස්ට්


(image: Facebook)

Wednesday 13 November 2019

ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවන්නේ කාටද? - My vote, my wish


මේ ලිපියට අවශ්‍ය නම් ජනාධිපති ඡන්දයේ දී ඔබ ඡන්දය දිය යුත්තේ කාටද? යන මාතෘකාව ද යෙදිය හැක. ඒත්, මා ඇත්තටම කියන්නට යන්නේ මගේ මතය මිස, නිරපේක්‍ෂ මතයක් නොවන නිසා මේ යොදා ඇති මාතෘකාව එලෙස ම තබමි.

වැඩි විස්තර කතා කිරීමට පෙර මෙන්න මා ලියා පළ කර ඇති, අද මාතෘකාවට අදාළ, වෙනත් රසිකොලොජි ලිපි කිහිපයක්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


දැන් මෙන්න ප්‍රශ්නයට කෙළින් ම පිළිතුර.

මෙවර ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායකට යි.

කුඩා කල සිටම දේශපාලනය උනන්දුක් දැක්වූ, අදත් දේශපාලනව සක්‍රීයව සිටින, මගේ ම දේශපාලන මතයක් ඇති, නිරතුරු දේශපාලන මාතෘකා ගැන අදහස් පළ කරන අයෙකු ලෙස, මට 1984 පමණ කාලයේ සිට ම, ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සමග විවිධ ප්‍රශ්න තිබී ඇත. දැනුදු තිබේ.

ඒ ප්‍රශ්න බොහොමයක් ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔවුන් දිගු කාලයක් තිස්සේ දැරූ ප්‍රතිගාමීත්වයට සම්බන්ධ ඒවා ය. ඊට අමතරව ඔවුන් 1986 දෙසැම්බරයේ දී දයා පතිරණ මරා දමමින් ඇරඹූ මිනීමරු දේශපාලනය ද මට පිළිකුල් ය. ඊළඟට 2010 දී හිටපු ආමිකාරයෙකු බලයට ගෙනෙන්නට කළ කඩේ යෑම ද මට අප්‍රසන්න විය.

එසේ නම්, මෙවර ජනාධිපති ඡන්දයේ දී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ ඡන්දය හිමිවන්නේ ඇයි?

මුලින් ම මෙන්න මගේ ඡන්දය ඉදිරිපත් වී සිටින අනෙකුත් අපේක්‍ෂකයින්ට හිමි නොවීමට හේතු.

දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය දීමට නම් මගේ කිසිදු කැමැත්තක් නැත.

ඒ කෙසේ වෙතත්, එක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමක් නියෝජනය කරන හිටපු ආමිකාර ගෝටාබය රාජපක්‍ෂ බලයට පත්වීම යනු ලංකාවේ පුරවැසි නිදහසේ අවසානය යැයි මම සිතමි.

අනෙක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමේ සජිත් ප්‍රේමදාස යනු රටක නායකත්වයට සුදුසු පරිචයක් ඇති අයෙකු නොවේ. ඔහු තමන් ගේ ඡන්ද ව්‍යාපාරය තුළ කළ කී දේ අතරින් වැදගත්කමක් ඇත්තේ කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳ කළ ප්‍රකාශය පමණි.

වාමාංශික පක්‍ෂ කණ්ඩායම් ගැන සලකා බලන කළ, සමාජ සමානතා පක්‍ෂය කෙරෙහි එදා සිට අද දක්වාම විවේචනාත්මක (එහි සාමාජිකයින්ගේ පොදු චර්යාව ගැන) සහයෝගයක් ඇතත්, ඔවුන්ට ඡන්දය දීමෙන් ඔවුන්ට හෝ සිදුවන කිසිදු යහපතක් නැත. ඇත්තටම එවැනි පක්‍ෂයක් ඡන්දය ඉල්ලන්නේ ඇයි දැයි මට නොතේරේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන ද කිව හැක්කේ එය ම ය. හොඳ පොරවල් එහි සිටිති, නමුත් පක්‍ෂයේ බොහෝ දෙනාගේ කතා බහ වෛරයෙන් කරන ඒවා බව මට පෙනී ගොස් ඇත.

ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂිකාව, අජන්තා පෙරේරා, පිළිබඳ යම් ප්‍රසාදයක් ඇතත්, මගේ වටිනා ඡන්දය ඇය වෙනුවෙන් නාස්ති කරගත යුතු නැති යැයි සිතේ.

වාමාංශික හෝ දක්‍ෂිණාංශික හෝ නොවන අපේක්‍ෂකයින් අතරින් වෘත්තිකයින් ගේ නියෝජිතයා ලෙස ඉදිරිපත් වී සිටින මහේෂ් සේනානායක යනු හිටපු ආමිකාරයෙකි. ඔහු මගේ සමකාලීන පාසල් සගයෙකු වීම, ගම්සභා ඡන්දයක දී වැදගත් වීමට ඉඩ ඇත ද, මෙහි දී වැදගත් නැත.

අනෙකුත් අපේක්‍ෂකයින් පිළිබඳව නම්, වචන නාස්ති කර ගත යුතු නැත.

යම් කිසි ලෙසකින් මට මනාප සලකුණු කරමින් ඡන්දය දෙන්නට සිතී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ පළමු මනාපය දුන්නොතින් දෙවන මනාපය අජන්තා පෙරේරාට ද, තෙවෙනි මනාපය දුමින්ද නාගමුවට ද දිය හැකි නමුත්, සුළුතර පක්‍ෂවලට එවැනි මනාප අනවශ්‍ය බව මා 1982 දී සිට දන්නා කාරණයකි.

දැන් මෙන්න ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මා ඡන්දය දෙන්නට තීරණය කිරීමට පැහැදිලි හේතු කිහිපයක්.

ජාතික ජන බලවේගයේ බොහෝ ප්‍රතිපත්ති සමග මට එකඟ විය හැක.

මේ කණ්ඩායම හා එක්ව ඡන්ද ව්‍යාපාරයේ වැඩ කරන අය පිළිබඳව මට ඇත්තේ ප්‍රසාදයකි.

අනුර කුමාර දිසානායක යනු උගත්, දැනුමැති පුද්ගලයෙකු බව ඔහු 2010 දී (ප්‍රථම සහ) අවසන්වරට සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී කළ කතාවෙන් මට පැහැදිලි විය. මා ඔහුගෙන් ඇසූ ප්‍රශ්න ද්වයට ම ලැබුණු පිළිතුරු සාර්ථක යැයි කිව නොහැකි වුව ද, දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකුගෙන් පක්‍ෂයේ මතයට අමතරව යමක් බලාපොරොත්තු විය නොහැක. (එයට සාපේක්‍ෂව, 2012 දී ප්‍රේමකුමාර් ගුණරත්නම් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයක් අවසානයේ දී මා ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර බුද්ධිමත් එකක් වූ බව සඳහන් කළ යුතු ය).

ශ්‍රී ලංකාව අද වැටී ඇති අගාධයෙන් ගොඩ නැගීමට නම්, ඒ සඳහා ශක්‍යතාවය ඇති එකම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි මම අවංකව ම සිතමි. යූඇම්පී හෝ සිරිලංකා හෝ උංට අවශ්‍ය එක රැළක් රට කාගෙන කාගෙන කාගෙන ගොස් නවත්වන තැන සිට රට කාගෙන කාගෙන යන්නට තමන්ගේ රැළට බලය ලබා ගැනීම පමණි.

මා බලාපොරොත්තුවෙන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

අනුර කුමාර දිසානායක = 35%
සජිත් ප්‍රේමදාස රණසිංහ = 33%
නන්දසේන ගෝටාබය රාජපක්‍ෂ = 31%

ජාතික ජනබලවේගයට ජයවේවා.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මා ඡන්දය දීම ගැන කලින් ලියූ සටහන් කිහිපයකට සබැඳි නැවතත්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


Monday 11 November 2019

ඊස්කලස්, රෝහණ දන්දෙනිය, ගෝඨාභය රාජපක්‍ෂ සහ රසික සූරියආරච්චි - Aeschylus, Rohana Dandeniya, Gotabhaya Rajapaksa and Rasika Suriyaarachchi


සමහර විට යම් විෂයයක් පිළිබඳ කරුණු සොයා බලනවිට ඒ හමුවෙන දේ අතරින් තවත් දේ පෙනේ. වෙනත් මතකයන් එයට ඈඳේ.

මෙය වයසට යෑමේ අතුරු ඵලයක් ද විය හැක.

පසුගිය දිනක ඊස්කලස් (සමහරු ඉස්කලස් කියා ද ශබ්ද කරති) නම් පැරණි ග්‍රීක නාට්‍යකරුවා පිළිබඳව විකිපීඩියාව වැනි වෙබ් අඩවිවලත්, අතට හසුවුණු තවත් පොතක දෙකකත් තිබුණු කරුණු කියවනා විට ඔහු ගැන ලියවී ඇති කරුණු නිසා වෙනත් අතුරු කතා කිහිපයක් ම සිතට ආවේ ය.

මා ඊස්කලස් ගැන ලියූ කෙටි සටහන ප/ලි කොටසට කල් තබා මුලින් ම, ඒ අතුරු කතා කිහිපයෙන් දෙක තුනක් අකුරු කරමි.

ඊස්කලස් සහ රෝහණ දන්දෙනිය
ඊස්කිලස්ගේ පුතුන් වූ යුෆෝරියන් (Euphorion) සහ යූයියන් (Euaeon) ද නාට්‍යකරුවන් වූ බවත්, ඔවුන් තම පියාගේ නාට්‍ය ද නැවත නිෂ්පාදනය කර රඟ දැක්වූ බවත් විකිපීඩියාවේ කියවේ.

මගේ සීමිත දැනුමට අනුව, තම පුතෙකු ද නාට්‍ය කලාවට යොමු වූ සිංහල නාට්‍යකාර පියෙකු ලෙස මගේ සිහියට ආවේ පරාස්ස වැනි වේදිකා නාට්‍ය නිපදවූ රෝහණ දන්දෙණිය යි. ඔහුගේ පුත් තරංග දන්දෙණිය නාට්‍යකාරයෙකු වන අතර මෙල්බන් උතුරේ පැවැත්වුණු පෙරේරලා ගේ කසාදේ දර්ශනය නැරඹීමට ද පැමිණියේ ය. ඊස්කලස්ට තරංග දන්දෙණිය ගේ ඇති තවත් සම්බන්ධයක් නම් ඔහු විසින් ඊස්කලස්ගේ අගමෙම්නොන් () නම් නාට්‍යය සිංහලෙන් නිෂ්පාදනය කිරීමයි.

හේමසිරි ලියනගේ නම් නාට්‍යවේදියාගේ පුත් සෞම්‍ය ද නාට්‍යකරුවෙකු බව මේ මොහොතේ මට සිහිපත් විය.

ඊස්කලස් සහ ගෝඨාභය රාජපක්ෂ
ශෝකාන්ත නාට්‍යයේ ප්‍රමුඛයා ලෙසත්, නාට්‍ය හැත්තෑපහකට වඩා නිර්මාණය කළ නාට්‍යවේදියකු ලෙසත් ඊස්කලස් ඉතිහාස ගත වී ඇති නමුත් ඔහුගේ සොහොන් කොතේ ඒ පිළිබඳ සටහනක් නොමැති බවත් එහි දැක්වෙන්නේ, ඔහු යුද භටයෙකු ලෙස සංග්‍රාම භූමියේදී කළ කී දේ ගැන බවත් සඳහන් වේ.

අද මෙන්ම එදා ද කලාකරුවාට වඩා යුද භටයා ඉහළ තත්වයට ලා සැලකුණු බව එයින් පෙනේ.

තමන් සාමාජිකත්වය දරන රහස් සංවිධානයක අභ්‍යන්තර කරුණු නාට්‍යයක් තුළින් ඉදිරිපත් කළ වරදට වරෙක ඊස්කලස්ව උසාවිය හමුවට ගෙන එන ලදී.

තම සොහොයුරා ද තමන් ද, යුදබිම් දෙකක සටන් කළ රණවිරුවන් බව පවසමින් ඊස්කලස් කළ අභියාචනය පිළිගත් උසාවිය ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත.

මෙයින් හැඟෙන්නේ අද ලංකාවේ පවතින රෝගයක් වන "රණවිරුගාය" පුරාණ ග්‍රීසියේ ද පැවැති බවයි.

වැරදීමකින් හෝ තමන් බලයට පත්වුවහොත්, විවිධ අපරාධ කර චෝදනා ලබා ඇති "රණවිරුවන්ව" සහ උසාවි නඩු විනිශ්චයෙන් පසු සිරදඬුවම් ගෙවන "රණවිරුවන්ව" නිදොස් කොට නිදහස් කරන බව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රකාශ කරන ලදී.

ඊස්කලස් සහ රසික සූරියආරච්චි

ශෝකාන්ත නාට්‍යයේ පළමුවෙනියා ලෙස සැලකෙන ඊස්කිලස්ගේ ජීවිතය ද ශෝකාන්තයක් ම විය. එනම්, දුක්බර ලෙස අවසාන විය. එය බොහෝ දෙනෙකුට ළඟා කරගත නොහැකි, මා වැන්නන්ට පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයේ අවසානයකි.

ඊස්කලස් මියගොස් ඇත්තේ රාජාලියකු විසින් ගුවනේ සිට පහළට හෙළන ලද ඉබ්බෙකු හිසමත වැටීම නිසා හටගත් අභ්‍යන්තර සහ බාහිර තුවාල නිසා බව කියවේ. ඉබි මස් කෑමට ප්‍රිය කරන රාජාලීන් ඉබ්බන්ගෙ කටුව පුපුරවා මස් එළියට ගැනීම සඳහා භාවිතා කළ උපක්‍රමය නම් ඉබ්බන් ව ඉහළ අහසේ සිට බිම ඇති කළු ගල් මතට අතහැරීමයි.

කෙස් නොමැති ඊස්කිලස්ගේ තට්ට හිස රාජාලියා දැක ඇත්තේ තම අවශ්‍යතාවයට ගැලපෙන ගලක් ලෙස ය.

ඒ අනුව, ශෝකාන්ත නාට්‍යයේ පළමුවැන්නායි කියවෙන ඊස්කිලස්ගේ ජීවිතය ශෝකාන්තයක් වූයේ තම තට්ට හිස නිසා බව පෙනේ.

මේ කතාව අසා ඔබට හිනා යන්නට ඉඩ ඇති නමුත් එය කිසිසේත්ම සුඛාන්තයක් හෝ ප්‍රහසනයක් හෝ යැයි නොසිතන්න.

එය ශෝකාන්තයක් ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් මෙන්න ඊස්කලස් ගැන කෙටියෙන්.

  • ඊස්කලස් යනු පුරාණ ග්‍රීසියේ විසූ (ක්‍රිපූ 525 සිට ක්‍රිපූ 456) නාට්‍යකරුවෙකි. ඔහු සැලකෙන්නේ ශෝකාන්ත නාට්‍යයේ පියා ලෙසයි. නාට්‍ය හැත්තෑපහකට (අනූවක් යැයි ද කියවේ) වඩා රචනා කොට නිෂ්පාදනය කළැයි සැලකෙන ඔහු තුන් ඈඳුතු නාට්‍ය නිපදවූ පළමුවැන්නා ලෙස ද සැලකේ.

    ඉතා තරුණ අවධියේදී ම, මා සැක කරන පරිදි භින්නෝන්මාද රෝග ලක්ෂණයක් ඇති වූ පසු (එනම් එක් දිනක දවල් හීනයක් දකිමින් සිටි ඔහුට දෙවියන් පෙනී නාට්‍යය රචනා කරන්නට යැයි පැවසීම), ඊස්කලස් නාට්‍ය ලියන්නට පටන් ගත්තත් ඔහු, එකල ග්‍රීසියේ නිරතුරුවම පැවති නාට්‍ය තරගයකින් ජයග්‍රහණය කර ඇත්තේ බොහෝ කලකට පසුවයි. නාට්‍ය හැත්තෑපහකට වඩා ඔහු ලියා නිෂ්පාදනය කළ බව කීවත් ඉතිරි වී ඇත්තේ නාට්‍ය හතක් පමණක් වීමට හේතුව, ඒවා ජයග්‍රහණය කළ නාට්‍ය වූ නිසා නැවත නැවතත් පෙන්වූ හේතුවෙන් විය යුතුයි.
  • නාට්‍ය කලාවට ඔහුගෙන් සිදුවුණු අනෙක් ප්‍රධාන සම්මාදම වන්නේ එතෙක් පැවති එක් වරකට වේදිකාවේ සිටින එක් නළුවෙකු එහි සිටින ගායක කණ්ඩායම හෙවත් කෝරසය සමග කෙරෙන ප්‍රසාංගික ගනුදෙනුවලට පමණක් සීමා වූ නාට්‍ය ආකෘතිය එයින් වෙනස්කර නළුවන් දෙදෙනෙකු එක්වර වේදිකාවට ගෙන්වා නළුවන් නිරූපණය කරන චරිත අතර ගැටුම් වේදිකාවේ ඉදිරිපත් කිරීමයි.
  • ඊට අමතරව ඊස්කලස් නාට්‍යයක දර්ශන පසුතල පිළිබඳවත්, රංගවස්ත්‍ර පිළිබඳවත් සාධනීය වෙනස්කම් සිදුකළ බව කියවේ. විශේෂයෙන්ම ඔහුගේ නාට්‍යවල ගායක කණ්ඩායමේ හෙවත් කෝරසයේ රංගවස්ත්‍ර සහ රඟපෑමට ඔහු කළ වෙනස්කම් නිසා, ඔවුන් වේදිකාව මතට ආ විට, කුඩා දරුවන්ට කලන්තය සෑදීම, පුරුෂයින්ට මුත්‍රා යෑම සහ ගර්භණී මාතාවන්ට විලිරුදාව සෑදීම නිරතුරුවම සිදුවූ බව පැවසේ.
  • ඔහුගේ නාට්‍යයක ඇතුළත් සදාකාලික වැදගත් කමකින් යුතු රුවන් වැකියක් මෙසේය.
    "යුද්ධයක දී පළමුවෙන් ම මියයන්නේ සත්‍යය යි"

(images: https://www.britannica.com/biography/Aeschylus-Greek-dramatist, https://pbs.twimg.com/media/DCsUEnXXoAAOlBl.jpg)

ඇමරිකානු ආධාර නිසා එළියට ආ කුණුගොඩවල් - MCC Grant and Rubbish


මේ ලිපියේ අලුත් දෙයක් නැත. මෙහි ඇත්තේ, දින දෙක තුනක සිට කතා බහට ලක් වූ මාතෘකාවක් සහ එනිසා එළියට ආ, මේ වන විට පිළුණු වීමට කිට්ටු වී ඇති, කුණුගොඩවල් දෙකක් ගැන වචන හත්අටසීයක් පමණි.

එකී මාතෘකාව නම් ඇමරිකානු එක්සත් ජනපද රජයේ ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එක විසින් ලංකාවට ප්‍රදානය කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන් 480 ක ආධාරයයි. ලංකා රජය විසින් දශකයටත් පෙර කාලයක සිට ඉල්ලුම් කර ඇති නමුත්, එකල නොලැබුණු, මේ ආධාරය මෙවර අනුමත වී ඇත්තේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විහිදෙන උපායයික වටිනාකමකින් යුක්ත වූ කලාපයේ ඉඩම්, මාර්ග යනාදියේ මූලික සංවර්ධන වැඩකටයුතු කිරීමටයි.

මේ පිළිබඳ සිංහල භාෂාවෙන් ලියවුණු ලිපි දෙකක් පහත දැක්වේ. මේ ලිපි ලියා ඇත්තේ ආර්ථික විද්‍යාඥයෙකු, මැවිසුරුවෙකු සහ විශ්වවිද්‍යාල දේශකයෙකුවන ඉකොනොමැට්ටා විසිනි.

1. අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට! https://economatta.blogspot.com/2019/11/blog-post_4.html

2. දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්! https://economatta.blogspot.com/2019/11/blog-post_6.html

ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවුණු විචාරයක් සහ වැදගත් මූලාශ්‍ර එකතුවක් පහත සටහනෙන් කියවා බලා ගත හැක. මෙය ලියා ඇත්තේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක ඉහළ තනුරක් දරණ ශ්‍රී ලාංකික මහැදුරෙකුවන ජනක රුවන්පුර විසිනි.

Projects under MCC https://www.facebook.com/janaka.ruwanpura/posts/10157349834435199

දැන් ලෝකය ගැන යම් කිසි අවබෝධයක් ඇති ඕනැම අයෙකු දන්නා පරිදි, ධනවත් රටවල් මගින් දියුණු වෙමින් පවතින රටවලට ආධාර ලබා දීම සාමාන්‍ය කරුණකි. මා වසන ඕස්ටේ‍ර්ලියාව ද එසේ කරයි. මේ වසරේ එසේ ලබාදෙන ආධාර ප්‍රමාණය ඕස්ටේ‍ර්ලියානු ඩොලර් බිලියනට හතරකට වැඩිබව කියවේ. විකිපීඩියාවට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික විදේශාධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන් 40 කට වැඩිය. මේ යුධ ආධාර නොව සංවර්ධන ආධාර ප්‍රමාණයයි. ලංකාවටත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන දාහතරක් පමණ විශාල ආධාරයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කෙරෙන බව පැවසේ. මීට අමතරව සුනාමියෙන් පසු නැවත ඉඳිකිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 135 ක් ලබා දී ඇත. මෙයට ආරුමුගම් බොක්කේ පාලම ගොඩනැගීමට කර ඇති ආධාරය ද ඇතුළත් ය.

අප බොහෝ දෙනෙකු කුඩා කළ පාසලේ දී අනුභව කළ ඇදිහැස නම් විස්කෝත්තු ද අපට ලැබුණේ ඇමරිකානු ආධාරයක් නිසා බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.

එසේ නමුදු ඉතිහාසය පුරා සිදුවුණු විවිධ දේශපාලනික බලපෑම් නිසා ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව ලාංකික අප සිත් තුළ විශාල බියක් පැලපදියම් වී ඇත. මේ ඇමරිකානු විරෝධය සමාජවාදී කඳවුරට පක්ෂව සිටි විවිධ සමාජවාදී පක්ෂ මගින් ලංකාවේ ඇති කරන ලද අනියත බියක් පමණක් බව සිතිය හැක්කේ, ලංකාව තමන්ගේ ඊළඟ දියාගෝ ගාර්ෂියාව කිරීමට ඇමරිකානු හමුදා මෙරට ආක්‍රමණය කරන තෙක් අප බලා සිටිය ද, එය තවමත් සිදුවුණේ නැති නිසා ය.

අනිත් අතට, මා කලක් සේවය කළ වානේ සංස්ථාව යනු ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනවාදී කඳවුරේ ප්‍රධාන සතුරා වූ රුසියාවෙන් මුළුමනින් ම අපට ලබා දුන් ආධාරයකි. රුසියාව තවත් මේ ආකරයේ කර්මාන්ත ශාලා ලංකාවට ලබා දී තිබුණ ද, එ නිසා ලංකාව රුසියාව විසින් අත්පත් කර ගත්තේ ද නැත.

ධනවත් රටක් දුප්පත් රටකට ආධාරයක් කරන විට, අප පුන්‍යාධාරයක් කර සතුටුවනවාට වඩා වැඩි යමක්, යටි අරමුණක්, එහි ඇතැයි සිතීම සැම විටම අසත්‍යයක් නොවේ. බොහෝ විට ඒ අරමුණ කලාපයේ තමන්ට මිතුරන් සාදා ගැනීම විය හැක. අදාළ රටේ ධනවාදී ආර්ථියක දියුණු කර එමගින්, තම වෙළඳ පොළ දියුණුකර ගැනීම විය හැක. ඇමරිකානු එක්සත් ජනපදය යනු ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළයි. වෙළදාමේ වාසිය ලංකාවේ පැත්තට ය.

එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දයක දී තමන්ට ඡන්දයක් ලබා ගැනීම විය හැක. පෝක්ලන්ත යුද්ධයේ දී මුළු ලොවම එංගලන්තයට විරුද්ධ වෙද්දී ලංකාව පක්‍ෂපාතීව ඡන්දය දුන්නේ වික්ටෝරියා ජලාශය සැඳීමට දුන් ආධාර නිසා යැයි කියවේ. සමහරුන්ට මෙය කෙළෙහි ගුණ සැලකීමක් ලෙස ද විස්තර කළ හැක.

චීනයෙන් ලංකාවේ විවිධ කටයුතු සඳහා ආධාර දෙන විට, ඒවා ණය ලෙසත්, වෙළඳ අනුපාතික යටතේ දුන් නිසා මෙවැනි ප්‍රශ්න, එනම් යටි අරමුණු තිබේ ද වැනි, අපේ සිතට ආවේ නැත. අවසානයේ බොහෝවිට සිදුවූයේ සුදු අලි කිහිප දෙනෙකු සහ අධික ණය බරක් උරුම වීම පමණකි.

ඩොලර් මිලියන හාරසිය අසුවක මේ ආධාරය ලංකාව පසුගිය දශකය තුළ ගත් ණය හා සලකන විට ඉතා සුළු එකකි. එසේම, ලෝක විදේශ ආධාර ගැන සලකන විට මෙය ඉතා සොච්චමකි. එයිනුත් සෑහෙන ප්‍රතිශතයක්, මෙම ව්‍යාපෘතිවල සේවය කරන විදේශ සහ දේශීය පුද්ගලයින් ගේ වැටුප්, වාහන සහ කාර්යාල කුලිය සඳහා වැයවෙන බව සිතිය හැකියි.

අපේ සිත්වල පැලපදියම් වී ඇති ඇමරිකානු විරෝධය සහ පොදු අතතිභීතිකාව නිසා, කරුණු කිසිත් නොසොයා, නොබලා, ලංකාවේ බයියන් කිහිප දෙනෙකු, නිසැකවම ඡන්ද වාසි පිණිස, මේ ආධාර වැඩසටහන පිළිබඳ ජනතාව තුළ බිය ඇතිකරන ප්‍රචාර ආරම්භ කරන ලදී.

වීරවංශ වැනි නිසැක බයියන් ගැන සහ ගොමා වැනි බයි සංගම් ගැන බයිට් නාස්ති කිරීම අතහැර ඉහත පිරිසෙන් වෙනස් ආකාරයකින් සුවිශේෂ කුණු ගොඩවල් දෙකක් ගැන මගේ අදහස් කෙටියෙන් මේ ලිපියට ඇතුළත් කරමි.

එයින් නොවැදගත් පුද්ගලයා නම් ජනනායක නම් ටියුෂන්කාරයෙකි. ඔහු ජීවවිද්‍යා ටියුෂන්කාරයෙකු බවත්, අසරණ දෙමව්පියන් දිනකට රුපියල් දහස් ගණනක් ගෙවා ටියුෂන් ගැනීමට මෙකී පුද්ගලයාගේ කඩයට එවන ළමුන්ගේ අගනා කාලයෙන් විනාඩි විස්සක් පමණ ප්‍රමාණයක් මොහු තම සිතැඟි පරිදි බයලොජි වෙනුවට බයි-ලොජි දෙසමින් සිසුන්ගේ මනසට අසූචි පිරවීමට තැත් කරන බව පෙනුණි.

බයලොජි හැදෑරුවේ නැතිවුණද, මම ද උසස් පෙළ සඳහා ටියුෂන් පිහිට පතා ඇත්තෙමි. ඒ රසායන විද්‍යාවටයි. මා හැදෑරු අනෙකුත් විෂයන් තුන සඳහා ද විටින් විට විවිධ කරුණු පිළිබඳ වැඩිදුර දැනුමක් ලබා ගැනීමට ටියුෂන් සරණ ගොස් ඇත්තෙමි. මගේ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා වූ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න හො අන් කිසිවෙකු තමන්ගේ පන්තිය පැවැත්වෙන සතියකට පැය තුනක කාලය තුළ, විෂය කරුණු මිස මේ ආකාරයේ අසූචි කතා නොකියූ බව මට සහතිකව කිව හැක.

ජනනායක වැනි කපටි හොරුන්ට සතිපතා තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදලින් දහසින් බැඳි පියලි පුදන දෙමව්පියන් ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුව ඇති බව පෙනේ.

මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් එකේ ආධාරය නිසා හෙළිදරව් වූ ප්‍රධානතම කුණු ගොඩ නම් උඩුදුම්බර කාශ්‍යප නම් චීවරධාරියා ය.



මොහු ගැන පැහැදී කලකට පෙර ඔහු ගැන ද, තවත් ඔහු මෙන්ම මැවිසුරු වෘත්තිය අතහැර මහණ දිවියට පිවිසුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවෙකු ගැන ද, මා ලියූ ලිපියක් මෙසේ ය.

ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones - https://rasikalogy.blogspot.com/2016/02/fake-monks-and-real-ones.html

තම ඉංජිනේරු වෘත්තිය අතැර මහණ දම් පිරීම අරඹා, වනවාසීව වැඩ සිටිමින් අභිධර්මය හදාරා විචිත්‍ර ධර්මදේශකයෙකු සහ බුදු දහම ප්‍රවර්ධනය කරන්නෙකු ලෙස නව ජීවිකාවක් ඇරඹූ උඩුදුම්බර කාශ්‍යප විටින්විට ඕස්ටේ‍ර්ලියාවට පැමිණි අයෙකි.

එවැන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ චර්යාවක් පෙන්නුම් කරමින් පෙර කී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර ව්‍යාපෘතියට විරෝධය පාමින්, දේශපාලන බළල් අතක් සේ ඔහු උපවාසයක් ඇරඹීම අප බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු වූ බව අමුතුවෙන් කිව යුතුව නැත.

තම සසර ගමන ඉක්මනින්ම අවසාන කොට ගෙන නිවන වහාම ළඟා කරගැනීමට උඩුදුම්බර කාශ්‍යපට මෙම උපවාසය මගින් අවස්ථාව ලැබේවා යැයි ඉත සිතින් පැතූ අය ද එමට සිටින්නට ඇත.

ඔහු අපේක්‍ෂා කළ ආකාරයට ම තම ජනප්‍ර්‍රියතාව අවභාවිතා කරමින්, දිනක් වැනි කාලයක් ඇතුළත ප්‍රධාන දේශපාලන බලවේග දෙකෙන්ම ලිඛිත හා වාචික පොරොන්දු ලබාගෙන, උපවාසය අවසාන කිරීමට උඩුදුම්බර කාශ්‍යපට හැකි විය.

එපමණක් නොව ඒ ඩීල් එකේ තීන්ත වේලෙන්නටත් පෙර, තම උපවාස කර්මයේ දිට්ඨ ධම්මවේදනීය පලදීමක් ලෙස කොළඹ හතේ ඉඩමක් පිනට ලබා ගැනීමට ද කාශ්‍යපට හැකි විය.

බුදු බණ බොරු කළ නොහැක!


-රසිකොලොජිස්ට්

(image: http://www.designindaba.com/sites/default/files/node/news/19851/files/christoph-niemann-xenophobia-hi-res.jpg AND https://www.facebook.com/permalink.php?story_fbid=2459084017671307&id=1960441840868863)

Thursday 31 October 2019

කාන්තා සනීපාරක්‍ෂක තුවා කතිකාව සහ බයියන් - Slaves have no use of their brain


මේ සටහන ලියවෙන්නේ ඊයේ පෙරේදා සිට කරළියට පැමිණ ඇති කාන්තා සනීපාරක්‍ෂක තුවා සංවාදය ගැන ය.

පසුබිම් කරුණු අමුතුවෙන් විස්තර කළ යුතු නැත. නමුත් කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමි.

ලංකාවේ ඇති පසුගාමී ආකල්ප නිසා කාන්තාවන් තමන්ගේ මාසික ශුද්ධිය හෙවත් ඔසප් ලෙසින් හැඳින්වෙන කාලය තුළ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්නේ දැයි හොඳින් ම දන්නේ කාන්තාවන් ම ය. ඔසප් සමයේ යෝනියෙන් පිටවන රුධිරය සනීපාරක්‍ෂිතව ඉවත් කර ගැනීම සඳහා දැනට පවතින හොඳම ක්‍රමය නම් සනීපාරක්‍ෂක තුවා භාවිතයයි. නිෂ්පාදන වියදම සහ රජයෙන් පනවා ඇති අධික වෙළඳ බදු නිසා රටේ තරුණ ජනගහනයෙන් අඩකටත් වඩා පාවිච්චි කළ යුතු මේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයේ ලංකාවේ සිල්ලර මිල ඉතා ඉහළ අගයක පවතී.

සනීපාරක්‍ෂක තුවා සඳහා පනවා ඇති අධික බදු අඩු කරන ලෙස පසුගිය දිනවල ලංකාවේ විශාල ව්‍යාපාරයක් පැවති නමුදු, එයින් අත්කරගත් ජයග්‍රහණයක් නැත. මූලිකවම මිල අධික වීම සහ වෙනත් සමාජමය කාරණා නිසා, තරුණ කාන්තා ජනගහනයෙන් මේ සනීපාරක්‍ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණ අඩු පිරිසක් බව කියවේ. එනම්, 70% පිරිසක් තම ඔසප් සමයේ අපහසුවට පත්වෙති. ගම්බඳ දිළිඳු තරුණ සිසුවියන් සමහරු පාසල් ද නොයති.

මෙතෙක් කල්, ඡන්ද වේදිකාවේ දී විවිධාකාරයේ විහිළු සපයමින් සිටි යූඇම්පී අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, මේ ප්‍රශ්නය කරලළියට ගෙන එමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ ය.

එහි සාර්ථකත්වය මැනිය හැකි හොඳම ක්‍රමය නම්, බයියන් එයට කුලප්පු වූ ආකාරයයි. නිකම්ම නිකං ගොං බයියන් පමණක් නොවේ, හොඳට දැන උගත් වුවත් වහල් බයිකම ඊට වඩා වැදගත් කොට සලකන අය ද මේ ආකාරයට කුලප්පු වී ඇත.

මට බයියන් ගැන ඇතිවන්නේ ඉතා දුකකි.

මෙන්න මා දන්නා හඳුනන උග්‍ර ගෝටාවාදී බයියෙකු ෆෙස්බුක් හි මේ ගැන තැබූ සටහනක්.
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉඳලා සාජිත් පෑඩ් නොමිලේ දෙනව කිව්වම කාන්තා විමුක්තිය ලැබුණා වගේ උත්කර්ෂයට නංවන අයගෙන් අහන්නෙ.
කඩේකට ගිහිං කටක් ඇරල පෑඩ් පැකට්ටෙකක් ඉල්ලන්න පැකිළෙන කාන්තාවො ඉන්නෙ. දැන් පෑඩ් ගෙදරට තැපෑලෙන් එවනවද ? පාරෙ අනවුන්ස් කරන් මොබයිල් සර්විස් එකක් යනවද ? සමූපකාරෙන් සලාක ක්‍රමේට දෙනවද ? නැත්තං බොත්තමක් ඔබල ගන්න පාර අයිනෙ පෑඩ් ඩිස්ට්‍රිබියුෂන් මැෂින් හයි කරනවද?
බෙදන වැඩපිළිවෙළ මොකක්ද?
මෙන්න මා ඔහුට දුන් පිළිතුර
මිතුර, සමාජය වෙනස් විය යුතුයි. මෙය තව දුරටත් ලැජ්ජාවට දෙයක් නොවිය යුතුයි. සනීපාරක්ෂක තුවායක් ගැනීම ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් ගැනීම හා සමාන සරල කාරණයක් විය යුතුයි.
මේක අපි සැම දෙනා ගේ උපතට ද සම්බන්ධ කාරණයක්.
පුතාණෝගේ මේ ප්‍රකාශය අති වැදගත් වන්නේ එනිසා යි.
වල්පල් එපා.
කුහක කම නැති අයට ඒ කාරණය වැටහෙනවා.
මේ සමාජ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන ඒම ගැන සජිත් ප්‍රේමදාසට සියලුම කාන්තාවන්ගේ ස්තුතිය හිමිවිය යුතු යැයි සිතමි.

වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස කරළියට ගෙනා කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳව කලබල වී ඇති බයියන් මෙන්ම බැයියන් ද, කියන එක කතාවක් නම්, මුලින් රට දියුණු කළ යුතුය, ඉන් පසු සනීපාරක්‍ෂක තුවා මිලට ගැනීමට සැම දෙනාටම හැකිවෙනු ඇත කියා ය.

එවුන් නොකියා කියන්නේ තව අවුරුදු හැත්තෑවකින් පමණ රට දියුණු වෙනතුරු ලංකාවේ දුප්පත් තරුණියන්, කාන්තාවන් ආවර්ත දරිද්‍රතාවයෙන් දුක් විඳිය යුතු බවය.

ඔවුන් නොදන්නා අනෙක් කාරණය නම්, දියුණු රටවල පවා මේ ආවර්ත දරිද්‍රතාව හෙවත් පවතින බවයි.

මේ ඕස්ටේ‍ර්ලියාවේ (2019) තත්වයයි.
https://probonoaustralia.com.au/news/2019/08/supermarket-giant-vows-to-end-period-poverty-in-australia/

මේ එංගලන්තයේ (2019) තත්වයයි.
https://www.independent.co.uk/life-style/period-poverty-taskforce-government-plan-uk-procter-gamble-penny-mordaunt-a8930721.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඉන්දියාවේ පෑඩ්මෑන් ලෙස විරුදාවලිය ලද අරුණාචලම් මුරුගානන්දන් විසින් කළ කතාවක් අසා 2013 දී ලියවුණු සටහනක්. එහි එම වැදගත් කතාවේ වීඩියෝව ද ඇත.

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
https://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html


ප/ප/ලි:
සනීපාරක්‍ෂක තුවා පහසුවෙන් ලබා ගත හැකි වීමෙන් ම මේ ප්‍රශ්නය අවසාන වන්නේ නැත. රට පුරා පාවිච්චි කළ තුවා ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් ද සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

(image: No one knows who made this poster!)

Monday 28 October 2019

සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting


ඊයේ මගේ උපන් දින සංවත්සරයයි.

එය මගේ පමණක් නොව රසිකොලොජි බ්ලොගයේ ද උපන් දින සංවත්සරය විය. ඒ ගැන ලිවීම පසුවට තබා, මේ මා සැරසෙන්නේ මගේ උපන් දිනය වෙනුවෙන් මා අද උදයේ ලද අපූරු සුබ පැතුමක් සහ එයට මා යැවූ පිළිතුර බ්ලොගයේ පළ කරන්නයි.

මේ සුබ පැතුම් පණිවිඩය මට ලැබුණේ මගේ ෆේස්බුක් මිතුරෙකුගෙනි. අපේ මේ සයිබර් මිතුරුකම ඇරඹුණේ මේ නොබෝදා මට ඔහුගෙන් ලැබුණු ඉල්ලීමක් නිසා ය. මා පුද්ගලිකව දන්නා කියන මිතුරන් කිහිප දෙනෙකුවම ඔහු හඳුනන බව පෙනුණි. ඒ සියල්ලම සයිබර් මිතුරුකම් නොවෙන බව සිතේ.

කෙසේ වෙතත්, මෙන්න ඔහු මට එවූ උපන් දින සුබ පැතුම් පණිවිඩය එලෙසින් ම.
මහත්මයාණෙනි, ගෙවීගිය ඊයේ දිනයේදී තම ජන්ම දිනය සමරණ ලද ඔබතුමන්හට සුභම සුභ වූ උපන් දිනයක් වෙනුවෙන් මා මෙලෙසින් මේ පින්බර උදෑසන දී සුභ පතන අතරම, එමෙන්ම අප තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ ගේ අනන්ත වු ගුණානුභාවයෙන්ද, අසමසම නෛර්යාණික වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභාවයෙන්ද, උතුම් ආර්‍යය මහා සංඝ රත්නයේ අනන්ත ගුණානුභාවයෙන්ද සහා දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් හා නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද,ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්,ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්,ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්, දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන් සේම, සකෙලේශ්වර්යාභිවෘද්ධිවර්ධනය කරනු පිණිස වු සතරවරම් දෙවිවරු වන "ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණය" නම් දෙවි මහරජදරුවන් ප්‍රධාන තුන්ලොව වැඩ සිටිනා සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින් ද නිදුක් නිරෝගිමත් ව සිටිනා, වාසනාවන්ත සුභ කාල වකවානුවක් ඔබට උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.

තවද මෙතෙක් ගෙවුනු වර්ෂ වලට වඩා මේ උදා වු වර්ෂය තුල ඔබ ආයුෂයෙන්, වර්ණයෙන්, සැප බල ප්‍රඥාවෙන්, ධන ධාන්‍යයෙන්, යස ඉසුරෙන් වැඩෙත්වා. අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා. ඇසිල්ලක් පාසාම බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි වේවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා.

යන එන මග තොට, ගමන බිමන, නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා. ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා. අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා.

අවසන ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත වු සුභ ජන්ම දිනයක් සමග යහපත් ජීවිතයකට ගෙන අා මේ පැතුමන් ආශිර්වාදක්ම වේවා.

එසේම මේ විශ්වය පුරා රැදී ඇති මහත් වු මහත් බලැති අනන්ත ශක්තින් සමග මා විසින් සංසාර පුරාවට රැස්කරගත් යම් කුසළ ධර්මයකින් ජනිත වු පුණ්‍ය ශක්තියක් ඇත්තේද ඒ සියළු පුණ්‍යය සම්භාරයන්ගේ බල මහිමයෙන් ඔබගේ මෙලොව වශයෙන් ඇති අසනීපයන් සහා අපල උපදව මෙන්ම ග්‍රහ දෝශ දුරු වේවා.

ඔබට සම්මා සම්බුදු සරණයි!
මෙවැනි සුබ පැතුම් පණිවිඩයක් මට ජීවිතයේ කිසි දිනක ලැබී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

අනිවාර්යෙන් ම මෙය ඔහු මා වෙනුවෙන් ම ලියූ සුවිශේෂී පණිවිඩයක් නොවේ. මට අවශ්‍ය වූයේ ඔහුගේ සිත නොරිදා පිළිතුරක් යැවීමයි.

මෙන්න මගේ පිළිතුර.
ඔබේ මේ දිගු සුබපැතුමට මගේ නොවක් ස්තූතිය පිරිනමමි.

ඔබ පවසා ඇති බොහෝ මිත්‍යා කරුණු පිළිබඳව මට සරදම් සිතුවිලි ඇති වෙතත් ඒවා මෙහි නොලියමි. මා විශ්වාස කරන්නේ ඇසට පෙනෙන දේ සහ සහෘද මිනිසුන් කරන කියන දේ පමණි.

ඔබටද මිත්‍යාවෙන් දුරස්ථ වී යහපත් ජීවිතයක් ගත කිරීමට ඉතා ඉක්මනින් ම හැකියාව ලැබේවායි මෙත් සිතින් පතමි.

ස්තුතියි. ජයවේවා.
එපමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් සංවත්සරය පිළිබඳව පසුව ලියමි!

Monday 14 October 2019

රෑ මනමාලි - Bride of the night



මමයි රෑ මනමාලි

ලොවට හොර රහසේ - පැළඳ සුදු සේලේ
ගනඳුරේ සැරසුණ - මමයි රෑ මනමාලි
මධු සුවඳ විහිදමින් - ආදරය අයැදුවද
බමර පහසක් නොලද - මමයි රෑ මනමාලි
නොලද පේ්‍රමයෙ නමින් - රහසේම ඉකිබිඳ
ගනඳුරේ මිලිනවන - මමයි රෑ මනමාලි


දින දෙකකට කලින් අපේ කිවිඳිය, චිත්‍ර ශිල්පිනිය, ගායිකාව ප්‍රසාදිකා වික්‍රමාරච්චි විසින් මට විද්‍යුත් ලිපියකින් එවපු ඒ කවිය කියවා මගේ සිතේ ඇතිවුණු අදහස් ඉතා කෙටියෙන් පවසන්නම්.

අප කවුරුත් දන්නා පරිදි, කාව්‍යමය භාෂාවෙන් කතා කරන කොට භාවිතා කෙරෙන සම්මත සරල උපමාවක් තමයි කාන්තාවන් සඳට, ඒවගේම මල්වලට සමාන කිරීම.

ඒකට හේතුව තමයි, මල් කියන්නේ නෙතින් දැකීම සිතට සතුට ගෙන දෙන, සුන්දර, වර්ණවත්, සුවඳ හමන සුන්දර ස්වභාවික වස්තුවක්.

හැම දවසකම, දවසේ හැම මොහොතකම නැතුවත් කාන්තාවන් කියන්නේත් මල් වගේම සුන්දර වස්තූන් බව මෙහි සිටින පිරිමින් සියලූ දෙනාම පිළිගන්නා බවට මට සැකයක් නෑ.

මේ කරුණ, අරලිය, සමන් පිච්ච වලට පමණක් නොවෙයි, කටු අතුවල පිපෙන රෝස මල්වලටත් අදාළයි. රෝසමලක වුණත් ඇතින් සිට සුන්දරත්වය රස විඳින්නත්, ලං වෙලා සුවඳ බලන්නත් පුළුවනි. එහෙන් මෙහෙන් අත දාන්න ගියොත් තමයි කටු ඇනෙන්නේ.

කාන්තාවන්ව මල්වලට සමාන කරනවා වගේම කාව්‍යමය භාෂාවෙන් පිරිමින්ව සමාන කෙරෙන්නේ බඹරුන්ටයි. ඒ සමගම අප දන්නවා, බඹරුන් මල්වලින් රොන් ගැනීම සමාන කෙරෙන්නේ ගැහැණු පිරිම කාම සම්භෝගයට බව.

දැන් රෑ මනමාලී කවියේ අපේ කිවිඳිය කතා කරන්නේ සුවිශේෂී පුෂ්පයක් ගැනයි. ඒ තමයි රාත්‍රී කාලයේ පිපී උදෑසනවන විට පරවී යන බ්‍රයිඞ් ඔෆ් ද නයිට් එහෙමත් නැතිනම් ක්වීන් ඔෆ් ද නයිට් කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන මල. මං හිතන්නේ කඩුපුල් මල් කියාත් සිංහලෙන් පැවසෙන්නේ මේ වර්ගයේ මල්වලටයි.

ඉතිං, රෑ මනමාලී පුෂ්පය පිපී තියෙන්නේ රාත්‍රී කාලයේ පමණක් නිසා, දිවා කාලයේ මල්ගොමුවල සැරිසරන බඹරුන්ගේ පහස මේ රෑ මනමාලී මල්වලට ලැබෙන්නේ නෑ. මල පරවෙන්නේ බඹර පහස විඳින්නේ නැතුවයි.

මලක් යනු කාන්තාවක් නම්, බඹරෙකු යනු පිරිමියෙකු නම්, ඒ අනුව මේ කවියෙන් කිවිඳිය පවසන්නේ ජීවිතයේ කිසි දිනක පිරිමියෙකුගේ පහස නොලැබ, කාම සම්භෝගයේ නොගැලී තම ජීවිතය හැර යන කාන්තාවක ගැන බව පැහැදිලියි.

අප දන්නවා විවිධ සමාජ, ආර්ථික මෙන්ම පුද්ගලික කාරණා නිසා ද, ඒ ආකාරයේ දිවි ගත කරන කාන්තාවන් මේ ලෝකයේ සිටින බව.

ඔවුන්ගේ දුක් වේදනාවයි ප්‍රසාදිකා මෙලෙස තම කවියෙන් අපට ඉදිරිපත් කර ඇත්තේ.

කවියන්ට තම නිර්මාණවලදී ව්‍යාකරණ නීති මෙන්ම තවත් දේ ද නිර්මාණය වෙනුවෙන් නොසකකා සිටීමට සුවිශේෂී බලපත්‍රයක් තිබේ යැයි කියමනක් තියෙනවා. එනිසා, ඇත්තටම ඒ රාත්‍රී කාලයට පිපෙන මල් පරාගණය කිරීමේ අවශ්‍යතාව ස්වභාව ධර්මය විසින් අමතක කර නොමැති බවත්, ඒ සඳහා රාත්‍රී කාලයේ සැරිසරන රෑ සමනළයින් සහ සලබයින් වැනි වෙනත් කෘමි සතුන් මේ ලෝකයේ සිටින බවත් මේ කවියේ සඳහාන් නොවීමේ ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරන කොට, රෑ මනමාලී මල ප්‍රාර්ථනය කරන්නේ ඒ සලබයෙකු ගේ පහස නොව සැබෑ බඹරෙකුගේ පහස විය හැකියි. ඇය දුක්වන්නේ ඒ නිසා විය හැකියි.

හොඳයි බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මා මෙයත් පවසන්නම්.

මා මුලින් සඳහන් කළා, පිරිමින්ට කාන්තාවන්ව පෙනෙන්නේ මල් ලෙසයි, එහෙම නැතිනම් සඳ ලෙසයි කියා. කාන්තාවන්ට පිරිමි අපව බඹරු පෙනෙනවා විය යුතුයි. මට මතකයි තරුණ කාලේ මා ගැනත් ඒ ආකාරයට බඹරෙකු ලෙස සඳහන් කෙරුණු බව.

ඒත් මොකද මන්දා දැන් ටික කාලයක සිට මාව දැක්කාම සමහරුන්ට මතක් වෙන්නේ සඳ ලු. මං හිතන්නේ මා මිත්‍ර ලාල් වික්‍රමාරච්චිගේ අත්දැකීමත් එහෙම වෙන්න ඇති.



-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සිනුවර වෙසෙන ගායිකාවක, චිත්‍ර ශිල්පිනියක සහ කිවිඳියක වන ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ "සිත් කවුළුව" කාව්‍ය සංග්‍රහය එළි දැක්වුණු අවස්ථාවේ එම කෘතියේ අඩංගු "රෑ මනමාලී" නම් කව පිළිබඳව මා කළ විචාරයයි.


Saturday 21 September 2019

පොත් ප්‍රදර්ශනය සහ ලේඛකයෝ - Writers? Who are they?





මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මම ද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි.

එහි දී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.

ප්‍රදර්ණය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී විකිණෙන්නේ පොත් ය.

පොත් ලියන්නේ ලේඛකයින් ය.

එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.

එහෙත් යථාර්තය ඊට වෙනස් ය.

පොත් ප්‍රදර්ශනයේ නොවැදගත් ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි වීය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.

මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකි ය.

මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී.

එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑම ද කළ හැක.

මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණ ය

ගිය වසරේ ඔහු සහභාගි වූ දෙල්පචිත්‍ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවෙය් දී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සති අන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.

නමුත් මේ වසරේ ද වෙනසක් සිදුවී නොමැති හැඩයි.

චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.

හෙට ඉරිදා, හවස, මෙම ස්ථානයේ දී ම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.

අහෝ ඛේදයකි.

-රසික සූරියආරච්චි

Friday 20 September 2019

සුනිල් සෙනෙවි යෝජනා කරන සිංහල කවියේ ඉම පැනීම - A paradigm shift is needed?


ලංකාවේ සිංහල සාහිත්‍ය වසන්තය එළැඹ ඇති මේ සැප්තැම්බරයේ, සිසිර නිද්‍රාවක ගිලී සිටි මගේ රසිකොලොජි බ්ලොගය ද පුබුදුවාගෙන, විවිධ සාහිත්‍යමය කාරණා ගැන සටහන් තබමින් මා මේ කරන්නේ සතත අභ්‍යාසයකි.

ඒ අභ්‍යාසයේ අද ඉලක්කය වන්නේ පසුගිය සිකුරාදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති ආරියවංශ රණවීර ගේ ඉම තව දුරය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ දී, විශ්වවිද්‍යාල සේවයේ නියුතු විද්වතෙකු වන හිනිදුම සුනිල් සෙනෙවි විසින් කළ දේශනය පිළිබඳව මගේ මතකය අවදි කිරීමයි.

නූතන කවීන් සියයක් දෙනාගේ නිර්මාණ ඇසුරු කරමින් තමන් විසින් තවමත් කරගෙන යනු ලබන පර්යේෂණයක් ඇසුරෙන් කෙරුණු මූලික නිගමනයක් ද ඇතුළු කොටස් කිහිපයකින් යුතු අති දීර්ඝ (මා හිතන පරිදි එය මිනිත්තු හැත්තෑපහකට වඩා දිගු විය) කථාවක් කළ හිනිදුම සුනිල් සෙනෙවි ඒ අතරතුර රසවත් ප්‍රකාශ කිහිපයකින් ම ශ්‍රාවක රසිකයින් කුල්මත් කළේ ය.

ඒ අතරින් වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ සිංහල භාෂාවේ සාහිත්‍යමය ඉරණම ගැනයි. ඔහු දැක්වූ උදාහරණ ද එකතුකර ගනිමින් පැවසුවහොත්, හිනිදුම සුනිල් සෙනෙවි කීවේ වීරවංශ, ගම්මන්පිල (සහ තවත් නොවැදගත් නම් කිහිපයක් කියවිණි) වැනි දේශපාලුවන් තම ජඩ අරමුණු සඳහා සිංහල භාෂාව භාවිතා කළ පසු (ඒ වචන, යෙදුම්, භාෂා ප්‍රයෝග යනාදිය නැවත) අපට සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණ වන බවයි.

ඒ ප්‍රකාශය සත්‍යයකි.

නමුත් මගේ අදහස නම්, ඒ තත්වය අද ඊයේ ඇතිවූවක් නොවන බවයි. සිංහල ජඩ දේශපාලුවන් විසින් සිංහල භාෂාව තම ජඩ අරමුණු සඳහා යොදා ගත් සෑම අවස්ථාවක දී ම පාහේ සිදු වී ඇත්තේ එයයි.

පස් අවුරුදු සැලැස්ම, වගා සංග්‍රාමය වැනි දේ හැත්තෑවේ දශකයේ එළිබට හුදු පුහු වෙඩි සඳහා අවභාවිතා වූ යෙදුම් ය. ඒ නිසාම ඒ වචන පසුගිය දශක කිහිපය තිස්සේම නැවත භාවිතා කිරීමට නොහැකි අයුරින් දුෂිතව තිබුණි. නමුත් මේවන විට නම් ඒ කතා බොහෝ දෙනෙකුට අමතක වී ඇතුවාට සැක නැත.

හැත්තෑවේ දශකයේ අගභාගයේ දී එවකට ජනාධිපති ජයවර්දෙන විසින් ධර්මිෂ්ඨ සමාජයක් යන යෙදුම ගණිකා වෘත්තියේ යෙදවූ අතර, අද වෙනතුරුත් ඒ උත්තර සමාජය උදා නොවීම කෙසේ වෙතත්, ඒ යෙදුම නම් තවමත් වෙනත් කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි තරමට කිලිටි ය.

සුබ අනාගතයක්, ආශ්චර්යය මෙන්ම යහපාලනය වැනි යෙදුම් ද නැවතත් අපේ ජීවිතකාලයේ දී නම් කිසිදු නිර්මාණාත්මක කටයුත්තකට ඒවායේ නිසි අර්ථයෙන් යොදා ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.

මා මුලින් සඳහන් කළ පරිදි, සිංහල කවිය පිළිබඳව තමන් කරමින් සිටින පර්යේෂණයක් ආශ්‍රිතව හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ වැදගත් කාරණය, මට වැටහුණු ආකාරයට නම්, සිංහල කවියේ විකාශය පිළිබඳව සලකා බලන කල, අද අප සිටින්නේ එක්තරා සංධිස්ථානයක බවයි. එනම් ආකෘතියෙන් ද, අන්තර්ගතයෙන් ද අද සිංහල කවියේ ප්‍රගමනය අඩාල වී යම් ආකාරයක එක තැන කැරකීමක් සිදුවෙන බවයි. එනිසා, මේ තත්වයෙන් මිදී කොයි ලෙසකින් හෝ සිංහල කවිය අද ළඟා වී ඇති ඉම පැනිය යුතු බවයි. සිංහල කවියේ තත්කාලීන සුසමාදර්ශකයේ හෙවත් පැරඩයිමයේ විතැන් වීමක් අද අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

ඒ පිළිබඳව මගේ ය කියා අදහසක් පළ කිරීමට තරම් ප්‍රමාණයික දැනුමක් මට නැති නමුත්, එවැනි සුසමාදර්ශී වෙනසක් කාලයත් සමගම ඉබේ සිදුවෙන්නක් සහ එලෙස සිදුවූ පසු අපට හැඟී යන්නක් මිස, අවශ්‍යතාවය මත, ක්‍ෂණිකව කළ හැක්කක් නොවන බව නම් මට හැඟේ.

එසේ වෙතත්, එවැනි සුසමාදර්ශී වෙනසක් වෙනුවෙන් කටයුතු කරන ලෙස සුනිල් සෙනෙවි විසින් ආරියවංශ රණවීරගෙන් කළ ඉල්ලීමට එකඟ වීමට නම් මට හැකිය. ආරියවංශ රණවීර යනු ඒ සඳහා අවශ්‍ය ශක්‍යතාව සහ ප්‍රතිභාව ඇත්තෙකු බව මා අමුතුවෙන් කිව යුතු නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ලියා පළ කළ ලිපි.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness
6. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
7. සම්මාන නැති කතාවක් - Awardless
8. "ඉම තව දුර ය" - A note about a book launch
9. කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


(image: Facebook)

Thursday 19 September 2019

කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


මේ සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූ කිවියර ආරියවංශ රණවීරගේ "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දී ලේඛකයින් විසින් කළ ප්‍රධාන කතා ත්‍රිත්වය අතරින් මා සිත වඩාත් ම ඇද ගත්තේ ප්‍රධාන දේශන ද්වයට අමතරව පෙර දැනුම් දීමකින් තොරව ක්‍ෂණිකව මෙන් ඉදිරිපත් කෙරුණු (නමුත් පෙර සූදානමක් තිබුණා යැයි මට නිකමට මෙන් සිතුණු) සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය විසින් කළ ඉදිරිපත් කිරීමයි.

එයට මූලික හේතුව වූයේ, ඇය ඒ කථාවේ අන්තර්ගතය ලෙස තමන් කිවිඳියක ලෙසත්, කවි රස විඳින රසිකාවියක ලෙසත්, තමන් ලැබූ අත්දැකීම් එකතු කර රසවත්ව ඉදිරිපත් කිරීමයි. එහි රසවත්බව මට හොඳින් දැනුණේ, මා ලියන කියන දෙයින් අති බහුතරයේ ද අන්තර්ගතය ඒ අච්චුවේ, එනම්, මුළුමනින්ම පාහේ අත්දැකීම් පාදක කොට ගත්, ඒවා වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

එය එසේ වූයේ නැතත්, තම කතාව ආරම්භ කිරීමට වේදිකාවට ගොඩ වූ මොහොතේ සිට සුහර්ෂණී ධර්මරත්න විසින් එදින මහවැලි ශාලාවේ රැස් වී සිටි ඒ සාහිත්‍යකාමී සභාවට එක් කළේ සුවිශේෂී වූ ආකර්ෂයකි. ඒ කුමක්දැයි අමුතුවෙන් සිතන්නට අපට අවශ්‍ය වූයේ නැත. ඊට පෙර ම, මම කාන්තා පක්‍ෂයේ හඬ මේ සාහිත්‍ය සභාවේ නියෝජනය කරනවා යැයි පැවසූ සුහර්ෂණී අපට එතෙක් නොතේරුණු ඒ සුවිශේෂී කාරණය, ඒ සභාවේ පමණක් නොව අප දැක ඇති අති මහත් බහුතරයක් සාහිත්‍ය සභාවල දී ද පැවති බව අපරදෘෂ්ටියෙන් දැන් අප දන්නා ඒ සුවිශේෂී කාරණය, එනම් අති බහුතරයක් සාහිත්‍ය උත්සව සභාවල ලේඛිකාවන් නිසි ලෙස නියෝජනය නොවන බව, අපට වටහා දුන්නී ය.

දින කිහිපයකට ඉහත මා ලියා පළ කළ, 2018 දී මා අත්විඳි සැප්තැම්බරයේ දිගු දවස් ලිපියේ මා සඳහන් කළා වූ, මා සහභාගී වූ පොත් එළිදැක්වීම් පහේ පැවති විදග්ධ සභාවල කාන්තා නියෝජනය අතිශය අවමය විය. වසරක් පැරණි මගේ මතකයට අනුව එයින් කාන්තාවන් තම අදහස් පළ කළේ චාමර අකලංක පොල්වත්තගේ ගේ ආදරේ රත්නපුර වගේ කවිපොත එළිදැක්වීමේ දී සහ හෙන්රි වර්ණකුලසූරියගේ කී නොකී කතා කතන්දර පොත එළිදැක්වීමේ දී පමණි. මුල් අවස්ථාවේ දී, අමන්දා අබේසූරිය සහ නදීෂා චන්ද්‍රසේන වේදිකාප්‍රාප්ත වූ අතර, දෙවෙනි අවස්ථාවේ දී පුෂ්පා රම්ලනී තම අදහස් දැක්වූවා ය.

ගද්‍ය පද්‍ය ලේඛනයෙන් කාන්තාවන් සම්මාන ලබන සමාජයක, එම ලේඛිකාවන් ගේ කෘති එළිදක්වන උත්සවවල දී පවා කාන්තා අදහස් දැක්වීම අතිශය අවම වීම ද කනගාටුවට කරුණකි.

විදග්ධ සාහිත්‍ය සභා ඉම කාන්තා හඬට තවත් දුර බව පැහැදිලිය.

සුහර්ෂණී ධර්මරත්න එදා උත්සවයට එකතු කළේ නාම මාත්‍රික කාන්තා නියෝජනයක් පමණක් නොවේ. සම්මානලාභී ලේඛිකාවක වන ඇය ඒ බව මනාව විදහා පාමින් තම අදහස් ඉදිරිපත් කළා ය. ගලේවෙල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන ඇය, විද්‍යාව වැනි කර්කශ විෂයයක් වුව ද, ආකර්ෂණීය ලෙස උගන්වනවා විය යුතු යැයි මට සිතුණි.

තම කෙටි දේශනයේ දී සුහර්ෂණී ධර්මරත්න විසින් පවසන ලද කරුණු කිහිපයක් ම මගේ මතකයේ ඇත. එයින් පොදු වැදගත්කමක් ඇති කරුණක් වන්නේ විශ්වවිද්‍යාලවලින් සිංහල භාෂාව පිළිබඳ උපාධි ලබා රජයේ පාසල්වල සිංහල උගන්වන්නට යන අයගේ සාහිත්‍ය දැනුමේ ඇති ඌනතා ගැන ඇය සරදම් බසින් කළ සඳහනයි.

විවාහයේ දී සිදුවන පිරිමියා සහ ගැහැනියගේ ඒකල භූමිකා නිමවී පොදු භූමිකාවක් නිර්මාණය වීමේ දී සිදුවන ප්‍රායෝගික අසාධාරණය ගැන තමන් ලියූ කවක් ද, එම මාතෘකාව පිළිබඳව ම ආරියවංශ රණවීර ලියූ කවක් ද සංසන්දනය කරමින් සුහර්ෂණී ධර්මරත්න කළ සඳහන ද, එහි රසවත්බව නිසා ම, සදාකාලිකව රැදෙන ලෙස මතකයේ කෙටුණි.

මේ නිර්මාණ ද්වයේ ම, රූපක ලෙස නිර්මාණකරුවන් යොදාගෙන තිබුණේ ගංගාවක ජලය මුහුදට එක් වීමේ දී, ගඟ නැති වී, මුහුද පමණක් අවසානයේ ඉතිරි වීම ය. ගඟ විවාහප්‍රාප්ත ගැහැනියයි, මුහුද පිරිමියා ය.
මා මුල්වරට ඇසූ ඒ කවි යුගල සහ එහි අරුත් පිළිබඳ විවරණයක යෙදීම පස්සට කල් තබා මට කිව හැක්කේ, ඒ මොහොතේ මට දැනුණේ නම් සුහර්ෂණී ධර්මරත්න සමස්තයක් ලෙස පැවසූ දෙයින් ඇගේ කවියේ අරුත, ගංගාවක ජලය මුහුදු ජලයට එක්වී අහෝසි වී යන්නාක් සේ, ආරියවංශ රණවීරගේ කවිය හේතුවෙන් නැති වී ගිය බවයි.

මෙහි දී මගේ අදහස වන්නේ එය එසේ නොවිය යුතු බවයි. කෙසේ වෙතත් ඒ කවි ද්වය ම, මා ම, කියවා ඒ ගැන නැවතත් ලිවීමට අදහස් කරමි.

ඊට අමතරව, ඇය කළ කථාවේ දී, ඇය විද්‍යා ගුරුවරියක් බව කියවුණු අතර, පසුව ඇගේ සැමියාගේ වෘත්තීමය කාර්යබහුලත්වය පිළිබඳ ඉඟියක් ද පිටවුණු නිසා, සුහර්ෂණී ධර්මරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් අයෙකු යැයි මම එක එල්ලේ නිගමනය කළෙමි. පසුව ඇගෙන් විමසා මා නිවැරදි බව තහවුරු කර ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන සිව්වන ලිපියයි.

1. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
2. සම්මාන නැති කතාවක් - Awardless
3. "ඉම තව දුර ය" - A note about a book launch

ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ නමවෙනි ලිපිය ද වේ.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness

(image: From Facebook)

Tuesday 17 September 2019

"ඉම තව දුර ය" - A note about a book launch



දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.

එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.

ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:

මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න

ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.

මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.

ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.

පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.

එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.

ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.

පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.

මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.

Monday 16 September 2019

සම්මාන නැති කතාවක් - Awardless


මේ සැප්තැම්බරයේ දිගු දවස් ය. මේ සමය කොළඹ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ උණුසුම් ම කාලය වෙන්නේ පොත් ප්‍රදර්ශන ද, පොත් එළිදැක්වීමේ උත්සව ද පමණක් නොව පසුගිය වසරේ ලියවුණු කෘති සඳහා සම්මාන පිරිනැමීම ද සිදුවෙන නිසා ය.

ඒ ආකාරයෙන් සම්මාන ලැබූ කෘති සම්මානිත කෘති ලෙස ද, ඒ කෘති නිපදවූ ලේඛකයින් සම්මානිත ලේඛකයින් ලෙස ද සම්මානිත හැඳින්වේ.

"අසම්මානී" යනුවෙන් වචනයක් තිබේ නම් අප එය අර්ථ දක්වා ගත යුත්තේ ඒ අනුසාරයෙනි.

දැන් මා මේ සැරසෙන්නේ මාස කිහිපයක් පැරණි කතාවක් ලියන්නටයි. මෙය කතාවක් ගැන කතාවක් හෙයින් කතා වර්ගයක් ලෙස ද සැලකිය හැක.

මා පුද්ගලිකව නොහඳුනන අයගෙන් මට ෆේස්බුක් මිතුරු ඉල්ලීම් ලැබී, ඔවුන්ගේ ඒ ඉල්ලීම පිළිගත් විගස මා කලක සිට කරන එක් කාර්යයක් වන්නේ මගේ රසිකොලොජි බ්ලොගය පිළිබඳව පවසා ඔවුන්ට කෙටි පණිවිඩයක් යැවීමයි. මුල් කාලයේ දී මේ පණිවිඩයට රසිකොලොජි බ්ලොගයට සබැඳියක් ද ඇතුළත් වූ නමුත් දැනට වසරකට පමණ පෙර සමයක මාර්ක් සකර්බර්ග් ගේ බොට් බලකාය මට ඒ එකතු කිරීමට ඉඩ නොදේ. එනිසා, පසුකාලීනව ඒ සඳහා වෙනත් විවිධ උපක්‍රම අනුගමය කිරීමට මට සිදු වූ අතර, ඒ සඳහා ගතවෙන කාලය නිසා, මිතුරු පොරොත්තු ලේඛනය පන්සියය ද ඉක්මවා ගියේ ය.

ඒ කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පණිවිඩයක් යැවීමේ එක් වැදගත්කමක් වන්නේ පසු කලෙක දී ද සොයා ගත හැකි වෙන පරිදි එය සයිබර් අවකාශයේ රැඳී තිබීමයි.

මා 2016 අගෝස්තුවේ දී යවන ලද එවැනි පණිවිඩයක් මෙසේ ය.



එලෙස ෆේස්බුක් මිතුරුකමක් ඇරඹුණු පසු, සාමාන්‍යයෙන්, සිදුවන්නේ අලුත් මිතුරා/මිතුරිය තම කාල රේඛාවේ පළ කරන දෑ, ඔබට දර්ශනය වීමට පටන් ගැනීමයි. එතරම් හැඳුනුම් කමක් නැති අය තම මුතු දත් පෙන්වා සිනාසෙමින් ගෙන පළකරන ඡායාරූප සඳහා බියුටිෆුල් යැයි ලියන්නට මට අවශ්‍යතාවයක් නොමැති නමුත් ගද්‍යපද්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් තත්වය එය නොවේ.

මගේ මේ ෆේස්බුක් මිතුරිය පළ කර තිබුණු නිර්මාණයක් මා නෙත ගැටී කියවූ මට ඒ ගැන මගේ ප්‍රතිචාරය දැක්වීමට සිතුණේ පසුගිය මැයි මාසයේ දී ය.

කුඩා ළමුන් සඳහා ලියවුණු කුඩා ගැමි කතන්දරයක් වූ එහි සාරාංශය මෙසේ ය.
ගමක වෙසෙන දුප්පත් මිනිසෙකි. ඔහු බඩගින්න නිසා ම ගමේ පොහොසතාගේ වත්තේ වැවුණු දෙයක් සොරකම් කිරීමට ගොස් අයිතිකරුට අසුවෙයි. අයිතිකරු ඔහුට සමාව දී නිදහස් කර හරින්නේ සොරකම් නොකරන ලෙසත්, ඒ වෙනුවට අවශ්‍යතාව දන්වා ඉල්ලන ලෙසත් අවවාද කරමිනි.

ඒ දුප්පත් මිනිසාට පසු දිනයක ද කෑමට යමක් නොතිබුණු නිසා, පොහොසතාගේ නිවසට ගොස් වී ස්වල්පයක් ඉල්ලා සිටී. බිස්සේ වී ඇටයක්වත් නැති යැයි මුසාවක් පවසන පොහොසතා කිසිත් නොදී දුප්පතා පලවා හරියි. එදින රාත්‍රියේ දුප්පත් මිනිසා, පොහොසතාගේ වී බිස්සෙන් වී සොරකම් කරයි.

පසුදින ගමේ කඩමන්ඩියේ දී පොහොසතා තම වී බිස්සට හොරු පැන ඇති බව කණගාටුවෙන් පවසන විට එහි සිටින සොරා කියන්නේ හොරු පැන්නාට මොකද ඉතිං වී බිස්සේ වී ඇටයක්වත් නෑ නේ කියායි.
මේ කතන්දරය කියවා ස්ටිකර් නොව, ලිඛිත ප්‍රතිචාර දක්වා තිබූ සැම දෙනාම පවසා තිබුණේ එය කුඩා දරුවන්ට ආදර්ශ රැසක් දෙන කතාවක් බවයි. සමහර අම්මලා එය තම දරුවන්ට කියා දෙන බව ද පවසා තිබුණි.

කළ යුතුව තිබුණු පරිද්දෙන් ම, මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.

මේ කතාව කුඩා දරුවන්ට ලබා දෙන්නේ, බොරුවක් කියූ අයෙකුගෙන් හොරකම් කිරීම වරදක් නැතිය ආකාරයේ වැරදි ආදර්ශයකි. අවසානයේ හොරා වීරයා වී, මුල් හොරකමට සමාව දුන් තැනැත්තා දුෂ්ටයා වී ඇත.

මගේ ඒ ප්‍රතිචාරයට ෆේස්බුක් මිතුරියගෙන් ක්‍ෂණිකවම වගේ ලැබුණේ රතු පැහැති හදවත ලකුණ දරන ආදරෙයි ප්‍රතිචාරයකි. ඉන් දිරිමත් වූ මම, තවත් තරමක් දිගු මේ කතාවේ අවසානය වෙනස් කරන ලෙසයි. ඒ සඳහා මම විකල්ප දෙකක් ද ලබා දුන්නෙමි.

ඉන් පළමු විකල්පය වූයේ ගමේ කඩමණ්ඩියට ගමේ පන්සලේ හාමුදුරුවන්ව එවෙලේම ගෙන්වා, සොරකම සහ බොරු කීමේ ආදිනව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

ඒ අවසානය සම්ප්‍රදායානුකුල මෙන්ම, ඒක ආගමික නිසා දෙවන විකල්පය ලෙස මා යෝජනා කළේ, දුප්පත් මිනිසා නිවසට පැමිණ තම හපන්කම කියද්දී, ඒ තාත්තාගේ දියණිය ලවා, ඔහුට සොරකමේ වරද පිළිබඳව පෙන්වා දෙන ලෙසයි. තාත්තලාට අවවාද දිය හැකි දියණියන් ලොව සිටින බවට මා කළ උපකල්පනය සැම විටම සත්‍යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

මට යළිත් ඒ කතන්දරය සහ මගේ ප්‍රතිචාර පිළිබඳව සිහිවූයේ, ඉන් සති කිහිපයකට පසුව, මිතුරෙකු හා සාහිත්‍යමය කරුණු පිළිබඳව සාකච්ඡාවක යෙදෙමින් සිටිය දී ය. මා යළි කියනවාට වඩා ඔහුටම එය කියවීමට දෙනු පිණිස මම ජංගමයෙන් අදාළ කතන්දරකාර ෆේස්බුක් මිතුරියගේ අඩවියට ගොස් අදාළ කතන්දරය සෙව්වෙමි.

කතාව තිබුණි. නමුත් මා දැක් වූ මුල් ප්‍රතිචාරය මෙන්ම, දෙවනුව කළ යෝජනා ද අතුරුදහන් වී තිබුණි. එසේම, මා තවදුරටත් එකී තැනැත්තාගේ ෆේස්බුක් මිතුරෙකු නොවන බව ද, එනම් මා අන්ෆ්‍රෙන්ඩ්කරණයට බඳුන් වී ඇති බව ද මට පෙනුණි.

එසේ මිස මා බ්ලොක්කරණය කර නොතිබුණු නිසා, පහත සඳහන් ප්‍රතිචාරය පණිවිඩ සේවය මගින් යවන්නටත්, ඊට අමතරව, ඊයේ රාත්‍රියේ හදිසියේ සිහි වී, අද මෙලෙස අකුරු කරන තුරු මේ සිදුවීම මතකයේ රඳවා ගැනීමටත් මට හැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තටම මට මේ කතාව නොලියා ඉන්නට තිබුණි. එහෙත් ඊයේ ෆේස්බුක් හි පළවුණු වෙනත් සටහන් දෙක තුනක් කියවන විට සිහියට නැගුණු නිසා ඔන්න ඔහේ ලියා දාන්නට සිත්විය.

(image: https://www.abc.net.au/radionational/programs/booksandarts/winning-awards-as-an-emerging-writer/3959746)

Sunday 15 September 2019

සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September


වසර කිහිපයකට පෙර මා මිලට ගත්, නමුත් තවමත් කියවන්නට අවකාශයක් නොලද ආකර්ෂණීය නමකින් යුතු නවකතාවක නම මදක් වෙනස් කර එය භාවිතා කරමින් මා මේ සැරසෙන්නේ, මේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍යය පිළිබඳව ඇති උනන්දුව තවත් වැඩි කරවන සිදුවීම් කිහිපයක් පිළිබඳව සටහන් මාලාවක් ලියන්නයි.

වර්ෂ 1995 අප්‍රියෙල් මාසයේ දී ඇරඹුණු මගේ විගාමික ජීවිතයේ දී සාමාන්‍යයෙන් මා ලංකාවට පැමිණියේ මහජන නිවාඩු දින රාශියකින් ද, දිගු පාසල් නිවාඩුවෙන් ද සමන්විත දෙසැම්බර්-ජනවාරි කාලයේ දී ය. නමුත්, 2012 වසරේ දී මුල්වරට සැප්තැම්බර් මාසයක දින කිහිපයක් හෝ ලංකාවේ ගත කරන්නට මට අවකාශය ලැබුණි. එවර පොත් ප්‍රදර්ශනයේ ආස්වාදය ලබා ගැනීමටත්, එහි පැවති සාහිත්‍ය සාකච්ඡාවක කොටසක් ශ්‍රවණය කිරීමටත් මට ඉඩ ලැබුණු නමුත් වෙනත් සාහිත්‍ය කටයුතුවලට සහභාවී වීමට අවස්ථාවක් තිබුණේ නැත.

ඒ සියල්ල වෙනස් වූයේ පසුගිය වසරේ දී ය. මා 2018 සැප්තැම්බරයේ ලංකාවේ ගත කළ සති දෙක ඇතුළත සාහිත්‍යමය අවස්ථා රාශියකට, විශේෂයෙන් ම පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයකටම සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.

ඒ විස්තරය මෙසේ ය.

චමල් අකලංක පොල්වත්තගේ ලියූ ආදරේ රත්නපුර වගේ කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 16 දින දියත උයනේ දී (චමල් යනු සහෘද බ්ලොග්කරුවෙකි).


දමිත් විලේගොඩ ලියූ එහෙ මෙහෙ යන අතර කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 17 දින බොරැල්ලේ පුංචි තියටර්හි දී (දමිත් යනු සහෘද බ්ලොග්කාරියක වූ නිනී සෙනෙවිරත්න ගේ සැමියා ය).


නුවන් හෙට්ටිආරච්චි විසින් පුවත්පතක් සඳහා කළ සම්මුඛ සාකච්ඡා මාලාවක එකතුවක් වූ සොඳුරු රස්තියාදුව නම් කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 18 දින මහවැලි කේන්ද්‍රයේ දී.


තිඹිරියාගම බණ්ඩාර ගේ ගිනිගත් දේශයක කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 19 දින බොරැල්ලේ කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාල භූමියේ පිහිටි ශාලාවේ දී.


හෙන්රි වර්ණකුලසූරිය විසින් රචිත කී නොකී කතා කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් මස 22 දින විජේරාම මාවතේ පිහිටි ඉංජිනේරු ආයතනයේ ශාලාවේ දී (හෙන්රි වර්ණකුලසූරිය යනු සහෘද බ්ලොග්කරුවෙකි).


මීට අමතරව, සැප්තැම්බර් 15 දින පැවැත්වුණු ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය නැරඹීමට ද මට හැකිවිය. ආරාධිත අමුත්තන් සඳහා පමණක් විවෘත වූ ඒ අවස්ථාව සඳහා මට ඉඩකඩ ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශක ජනක ඉනිමංකඩ විසිනි.


ඒ 2018 සැප්තැම්බරයේ දිගු දවස් කිහිපයක විස්තරයයි.

දැන් 2019 සැප්තැම්බරයේ ද එවැනි දිගු දවස් අත්විඳින්නට මට අවස්ථාව ලැබී ඇත. ඒ විස්තර ඉදිරි දිනවල සටහන් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පොත් එළිදැක්වීමේ උත්සව පැවැත්වෙන්නේ සැප්තැම්බරයේ පමණක් ම නොවේ. මා 2015 දෙසැම්බරයේ ලංකාවට පැමිණ ගත කළ සති දෙකක කාලයේ දී මට පොත් එළිදැක්වීම් දෙකකටම සහභාගීවීමට ඉඩ ලැබුණි.

1. යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ ඉතා කෙටි කළබළ සිහින කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 12 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poetry-is-not-for-everyone.html

2. නිරාශ ගුණසේකර ලියූ මැරිලින් මොන්රෝ, ඔබ සහ මම කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 16 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

(image: https://ladymud.wordpress.com/2014/09/01/welcome-september/)

Thursday 5 September 2019

පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitive behaviour


ලංකාවේ සාහිත්‍ය මාසය නිසා සිංහල සාහිත්‍යකාමීහු පිබිදෙමින් සිටිති. මකුළු දැල් බැඳෙමින් තිබුණු මගේ රසිකොලොජි බ්ලොගය ද නැවත පණ ගැහුණේ මේ සාහිත්‍ය මාසය නිසාම ය.

මේ දිනවල සමාජජාලාවල පැතිර යන උණුසුම් පුවතක් නම් ප‌ොත් ප්‍රකාශකයින්ගේ සංගමය නම් සංවිධානය මගින් තමන්ගේ ප්‍රකාශන සඳහා ලබාදෙන උපරිම වට්ටම සියයට විස්සක් බව තීරණය කර එය ක්‍රියාත්මක කිරීම සහ එම සංගමයේ සාමාජිකයින් නොවන විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකුණන වෙළඳුන්ට ද 20% ට වඩා වට්ටම් පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමයි.

පොත් ප්‍රකාශකයින් තමන් විසින් ප්‍රකාශනය කරන පොත් සඳහා සිල්ලර මිල නියම කරන්නේ තමන්ම බැවිනුත් සඳහා වට්ටම් ලබා දෙන නොදෙන බව සහ වට්ටම් ප්‍රමාණය තීරණය කරන්නේ ද තමන් ද බැවිනුත් මේ වට්ටම් යනු කෘතිම දෙයක් බව පැහැදිලිය.

එසේම, මගේ අදහස නම් වැඩි වට්ටමක් යනු ප්‍රෝඩාවක් බවයි එනම් සෑම පොතකම මිල රුපියල් දහදාහකට නියම කළහොත් ඔවුනට පාරිභෝගිකයින්ට 95% ක වට්ටමක් දිය හැක.

කෙසේ වෙතත්, පොත් ප්‍රකාශන සංගමයේ සාමාජිකයින් විසින් මේ ක්‍රියාත්මකවන්නේ කතිපයාධිකාරයක (oligopoly) ආකාරයට බවත් එය පාරිභෝගික ආරක්ෂක පනත සහ වෙළඳ නීතිවලට අනුව තරඟකාරී-විරෝධී (anti-competitive) නීති විරෝධී කටයුත්තක් බවත් නිසැකවම කිව හැක. එපමණක් නොව ඔවුන් විසින් තමන් නියම කරන මිලට භාණ්ඩ විකුණන ලෙස පොත් ප්‍රකාශකයින් නොවන වෙනත් වෙළඳුන්ට කරන බලපෑම ද නීති විරෝධී එකක් වේ

මගේ යෝජනාව නම් පාරිභෝගිකයින් ලෙස අප මේ පිළිබඳව සාධාරණ වෙළඳ කොමිසමට සහ වෙනත් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පෙනී වෙනුවෙන් පෙනී සිටින ආයතනවලට පැමිණිලි කළ යුතු බවයි.

එසේම ධනවාදී වෙළෙඳපොළ නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ඒකාධිකාරීත්වය (monopoly) ද්වි අධිකාරීත්වය (duopoly) සහ පෙර සඳහන් කළ කතිපයාධිකාරීත්වය (oligopoly) නොමැතිව වෙළෙන්දන් අතර හොඳ තරගයක් තිබිය යුතු වන අතර ඒ සමගම පාරිභෝගිකයින් සහේතුක (rational) ආකාරයට තීරණ ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව තොරතුරු නිසි පරිදි ලැබී තිබිය යුතුයි.

සාධාරණ වෙළෙඳ කොමිසම සහ තවත් රජයේ ආයතන පිහිටා තිබෙන්නේ මේ සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ය.

මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ මා පෙර සඳහන් කළ පරිදි පාරිභෝගිකයින් විසින් සහේතුකව තීරණ ගැනීමයි. යම්කිසි වෙළෙන්දෙකු හෝ වෙළද සංගමයක් විසින් පාරිභෝගිකයින්ට නොමනා අන්දමින් සලකන විට ඔවුන් තවදුරටත් වෙළඳාම කරනවද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විශාල බලපෑමක් කළ හැකියි.

පොත් ප්‍රකාශන සංගමයේ කතිපයාධිකාරී ක්‍රියාකාරීත්වය ගැනත් වෙනත් වෙළඳුන්ට කරන බලපෑම් පිළිබඳව පාරිභෝගිකයින් වශයෙන් අප සාධාරණ වෙළඳ කොමිසමට පැමිණිලි කළ යුතු යයි මම නැවතත් යෝජනා කරමි.

ලංකාවේ සේවය කළ සමයේ පාරිභෝගිකයින් විසින් කරනු ලැබූ එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳව ඔවුන් විසින් නිසි පරීක්ෂණ පැවැත්වූ බව ඒ සමහර කටයුතු වලට උපදේශකයෙකු ලෙස සහභාගි වූ මම හොඳින් දනිමි.

-රසිකොලොජිස්ට්

(image: https://blog.ipleaders.in/anti-competitive-agreements/)

Wednesday 4 September 2019

බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation?



මසකට පමණ පෙර නිවසේ මිඳුලේ රෝස ගසක අවාරයේ පිපී තිබුණු රෝස මලක් දුටු මා ප්‍ර්‍රිය බිරිඳ ඒ ගැන කවක් ලියූවා ය. මේ සුවිශේෂී රෝස වර්ගය හැඳින්වෙන්නේ ද බ්ලු මූන් නමිනි.

ඉහත පළ කර ඇත්තේ ඒ (නිල් පැහැ) රෝස මලයි.

ඇය ඒ කව ෆේස්බුක් හි පළ කළ සැණින් මම එය සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ දී මට එය රසිකොලොජියේ පළ කරන්නට සිත් විය.


Lonely rose

A rare spectacle
A rose in winter
Alone in a wilting bush
Amidst barren twigs

No buzzing bees
No whispering butterflies           
No selfie fanfare
No twitting birds

A mauve blue rose
Proud and tall
No ordinary fete
A blue moon indeed!

තනි වූ රෝස මල

විරලතම දසුනකි ය
වින්ටරය මැද පිපි රෝස මල
මැරී යන පඳුරක
කොළ හැළුණු ඉපලක, තනිව

නැත බඹර ගුම් නද
නැත සමනළ කසුකුසුව
නැත "සෙල්ෆි" කාහල නද
නැත "ට්විටර" විහඟුන්

ප්‍රභාවත් නිල් මලෙකි
සාඩම්බරව වැජඹෙන
සුලභ දසුනක් නොවේ
මෙය "බ්ලූ මූන්" ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අවාරයේ පිපි රෝස මලක් පිළිබඳව මම ද මීට වසරකට පෙර කවක් ලියූවෙමි. එය ද රසිකොලොජියේ පළ කෙරුණු අතර මිතුරෙකුගෙන් ලද ඇරයුමක් නිසා ලංකාවේ පුවත්පතක ද පළ විය.

Tuesday 3 September 2019

ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools


මේ ෆේස්බුක් සංවාදයකින් උපුටා ගත් කතාවකි. මගේ පසු ප්‍රයෝජනය පිණිසත්, අවශ්‍ය අයට කියවීම පිණිසත් මෙසේ සංරක්‍ෂණය කර තබමි.

සංවිධානාත්මක ආගම් නියෝජිතයින් (කහකඩයින් සහ සුදුකඩයින් සියළු දෙනාම) විසින් කරන ප්‍රෝඩා පිළිබඳව ෆේස්බුක් සයිබර් අවකාශයේ නිරතුරු හඬ නගන අයෙකු මෑත දිනයක දී ක්‍රිස්තියානි ආගමික කල්ලියක් පිළිබඳව තබන ලද කෙටි සටහනක අන්තර්ගතය නිසා කුපිත වුණු ළමයෙකු ඔහුට විරුද්ධව මෙසේ බැණ අඬ ගසා තිබුණි.

"බලහන් උබලගෙ තාත්තා උබේ උප්පැන්නෙ ආගම කියන තැනට මොකක්ද දාලා තියෙන්නෙ කියලා. ඉස්සෙල්ල බලපන් උප්පැන්නයක් තියනවද කියලා."

උප්පැන්න සහතිකයේ ආගම සඳහන්ය යනු ඇතැම් දෙනා නොදැනුවත්කම නිසා සිතා සිටින සාවද්‍ය කරුණකි. මා මේ පිළිබඳව රසිකොලොජි සටහනක් ද ලියා ඇත.

කෙසේ වෙතත්, ඉහත ප්‍රතිචාරයට පිළිතුරු ලෙස මම එහි මෙලෙස සටහන් කළෙමි.
උපතෙන් මූලිකවම තීරණය වන්නේ දෙමව්පියන් කවරේද යන්න සහ පුරවැසිභාවය පමණකි. උප්පැන්න සහතිකේ නම් දෙමව්පියන් රෝම ලන්දේසි හෝ වෙනත් නීතියකට අනුව විවාහ වී සිටී දැයි යන වික්ටෝරියානු ප්‍රශ්නයටද පිළිතුර ඇත.

ආගම යනු උපතින් ලැබෙන දෙයක් නොවේ. ආගම් අදහන්නෝ ද මෝඩයෝ ය, උප්පැන්න සහතිකේ ආගමක් සඳහන්ව ඇති යයි සිතන්නෝ ද මෝඩයෝ ය.
එයට පිළිතුරු දුන් කතෝලික කාන්තාවක් සහ මා අතර ඉන් අනතුරුව ඇතිවුණු සංවාදය මෙසේ ය.

ඇය:
දැන් ආගම් නොඅදහන අය බුද්දිමත් කියල නිගමනයකට ආවෙ කොහොමද? මංකොල්ලකාරයන්ට, මැරයන්ටත් ආගම් නැහැ. මම කියන්නෙ බෞද්ද ඒවුන් නෙවෙ. කිතුනු ඒවුන් නම් පව් කරන ගමන් ආගම් අදහන් නැහැ. කිතුනු කියන්නෙ මාර්ගයක්. ඒ මාර්ගයෙ යන විට ලැබෙන අත්දැකිම් වලට තමයි ඔය ආගම කියල පිට අය හදුන ගන්නෙ.

දැන් මොන පදනමකින්ද ආගමක් පිලි නොගන්න ආගමක් (ජන කොට්ටාශයක් ) බුද්දිමත් කියන්නෙ?

ආගමක් individualised.

මගෙ ආගම මගෙ. තව කිතුනුවෙක්ගෙ ආගම ඔහුගෙ. ඒත් යම්කිසි දැනුම් පද්දතියක් පිලිගන්න අය. දැනුම් පද්දතියක් පිලි නොගැනිම කියන ආගමට අයිති අය කොහොමද බුද්දිමත් වන්නෙ?

මම:
නැවත කියවා බලන්න මා ලියා ඇත්තේ ආගම් අදහන්නෝ මෝඩයෝ ය කියාය. ඔබ එය කියවා තේරුම් ගෙන ඇත්තේ ආගම් නොඅදහන අය බුද්ධිමත් කියාය.

එවැනි සරල කරුණක්වත් නිවැරදිව තේරුම්ගත නොහැකි වූ ඔබ අනිවාර්යෙන්ම ආගමක් අදහන්නෙකු බව පෙනේ.

ඔබ ඇසූ මෝඩ ප්‍රශ්නයට නොව මා ලියූ ප්‍රකාශයට හේතුව අවශ්‍ය නම් කියන්නම්.

1. යම්කිසි දෙයක් "ඇදහීමට" අවශ්‍ය වන්නේ එය විමසා බලා අවබෝධ කර ගත නොහැකි නිසා ය. උදාහරණයක් ලෙස "සර්වබලධාරි දෙයියා" යනුවෙන් සංකල්පයක් ඇත. එවැනි භූතයකු සිටීද යන්න අපට විමසා බලා අවබෝධ කරගත නොහැකිය. එනිසා එය "ඇදහීමට" සිදුවේ. එයින් පෙනෙන්නේ ඇදහීම යනු ස්වාධීන චින්තනයෙන් පරිබාහිර වූ පසුගාමී ක්‍රියාවක් බවයි.

2. ලෝකය පිළිබඳව, ලොව පවතින ආකාරය පිළිබඳව, මිනිසා පිළිබඳව, මිනිසා සහ මිනිස් සිත ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව නොයෙකුත් දැනුම් පද්ධති බිහිවී තිබේ. මේවා ධර්මය ලෙස හැඳින්වේ. ධර්මය යනු තමන් විසින් විමසා අවබෝධ කරගත යුතු දැනුම් පද්ධතියකි. ඒවා, පෙර කී ආකාරයෙන් "ඇදහිය" යුතු දේ නොවේ.

3. මේ දැනුම් පද්ධති හෙවත් ධර්ම පදනම් කොටගෙන ආගම් යනුවෙන් හැඳින්වෙන සංස්ථා බිහිවී තිබේ. එවැනි යම් ආගමක් ඇදහිය යුතු යැයි පැවැසේ නම්, එය ස්වාධීන චින්තනයෙන් පරිබාහිර වූ පසුගාමී එකකි.

4. ආගම් අදහන පුද්ගලයින් මෝඩයින් වන්නේ ඒ නිසාය.

මා පළ කළ අදහස් ප්‍රශ්න කිරීමේ දී ඔබ කළ වරද මෙයයි.

"ආගම් අදහන පුද්ගලයින් මෝඩයින් ය" යන (සත්‍ය වූ) ප්‍රකාශයෙන් ආගම් නොඅදහන පුද්ගලයින් බුද්ධිමතුන් ය කියා අපෝහනය කළ නොහැක. අඩු වශයෙන් ආගම් නොඅදහන පුද්ගලයින් මෝඩයින් නොවේය කියා හෝ අපෝහනය කළ නොහැක.

එසේ කළ හැකි යැයි සිතීම ම, අතාර්තික අමන සිතුවිල්ලකි. හැබැයි ඔබට අවශ්‍ය නම්, එය එසේය කියා "ඇදහිය" හැක. එයට හේතුව නම්, මා පෙර විස්තර කළ පරිදි, යම්කිසි කරුණක් "ඇදහීම" සඳහා විචාර බුද්ධිය තිබීම හෝ අදාළ කරුණ තාර්කික වීම හෝ අනවශ්‍ය නිසා ය.

ඇය:
මම නම් ඇදැහුවෙ ප්‍රත්යක්ශයෙන් ඉන්නව කියල දැන ගත්තට පසුව. අනිත් අයත් ඒහෙමයි.

දැන් ඔබ දහමක් අදහන්නෙ ඒය විය හැකි දෙයක් දැයි නොදැන. Science අදහන්නෙත් ඒය අපිට උගන්වන නිසා.

ඔබ ඔබෙ බිරිද කියන දෙ අදහන්නෙ ඇය ඔබට විශ්වාස වන්ත නිසා. Faith කියන්නෙ ඒකට. ඔබල අදහනව කියන්නෙ පස්ස උඩ දාගෙන වදින ඒකටද? අපි අදහන්නෙ අපි ඒය තියන බව දැන ගත් පසු. ඒක නිසා තව සොයනව. ඒ තුලින්ම ගොස් විශ්වය ගවෙශනය කරනව.

ඒක බුදු දහමෙ නැත්තෙ, ඒය ප්‍රත්යක්ශ නැති නිසා. Practically කරන්න පුලුවන් නම් ඔවුනුත් ඒ faith ඒක තුලම තව ඉදිරියට ගොස් ගවෙශනය කරනව.

දැන්‍රම් පද්දතින් ලැබෙන්නෙ ගවෙශකයන්ට.. ඒ වගෙම තුනි මනසක් ඇති කෙලෙස් අඩු පුද්ගලයන්ට. අනිත් අයට දැනිම (දැනුම නෙවෙ) නැති නිසා ඔවුන් ඒවා ප්‍රතික්ශේප කරනව.

Cambridge books වලම තියනව scientific theories are base on their imaginations කියල. ඒව තමයි දැනිම. ඒහෙම යමක් සොයා ගත්ත අයත් මනස ඇරැනු පුද්ගලයන්.

දැන් ඔබ උගතෙක් උනෙ ඔවුන්ගෙ imaginations කට පාඩම් කර විබාග පාස් කරපු නිසා, මොකද බැරි? ඔබ කියනව අාගම් අදහන පුද්ගලයන් මොඩයන්ය.. ඒ නිගමනය හරිනම් , ඉලගට ඉතුරැ වන පාර්ශවය අාගම් නොඅදහන අය. ඒහෙනම් ඒ අය බුද්දිමත් විය යුතුයි.

අදත් ඇමරිකාවෙ Florida state ඒකෙ mass shooting ඒකක්. ඒ ආගමක් අදහන, ඒ විනයකට යටත් නැති අයෙක්. ඒහෙනම් ඒ කෙනාත් බුද්දිමතෙක්.

මම ආගමක් අදහනව. ඒහෙනම් මම මොඩයෙක්. ඒ ඔබෙ මතය. ඔබ නුවනැත්තෙක්.

බල්ලට පුසට අාගමක් නැහැ. ඔවුනුත් නුවනැත්තෙක්. ආගමක් බිහි වෙන්නෙත් ඒ පරිසරයෙ පුද්ගලයන්ගෙ state of mind ඒකට අනුව. ඒ ආගම් නිසා තමයි, මිනිසුන්‍ ගල් යුගයෙන් එලියට ආවෙ.

අපි සර්ව බලදාරි දෙවියන් දන්නව. අපෙ මනසෙම වැඩ සිටිනව. ගනුදෙනු කරනව. ඒ සියල්ම base on our own experiment. ඉතින් අපි අදහනව, මොකද දන්න දෙයකට faith ඒකක් තියනව. ඔබෙ ගෙදර ගැහැනිය විශ්වාස ඔබට මිසක් ඒහා ගෙදර මිනිහට නෙවෙ නේද? ඒහා ගෙදර මිනිහ ඇවිත් නිව්වොත්, "උඹෙ ගැනිව උඹට විශ්වාසද කියල? ඔයා කියය මගෙ ගැනි මට විශ්වාසයි උඹට පාන්ද? වැඩක් බලා ගනින් කියල😄"

අපෙ මනසෙ ඉන්න මගෙ දෙවියන් , බ්‍රහ්ම සහ මාර. (යම නැහැ. හිටපු ගමන් ඒ form ඒකත් ඒනව.😄) මම දන්නව නම් ඒකෙන් මම දෙවියන් කියන ඉහලම. ස්තරය අදහනව නම් අනිත් ඒවුන්ට පාන්ද? උඹලට නැහැ. මට ඉන්නව.

මම:
එක්කෝ ඔබ මා ලියූ පසු සටහන් දෙක කියවා නැත එසේ නැතිනම් එය කියවුවද ඔබට අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇත.

සත්‍යය දෙවැන්න නම් එයට හේතුව ඔබ "ඇදහීම" කරන, ස්වාධීන චින්තනයක් නැති, පසුගාමී, අතාර්තික ආගමිකයෙකු නිසා යැයි මට නිශ්චිතව කිව හැක.
☹️

ඇය:
ඔබ මාව analyse කරෙත් ඔබගෙම මනසෙ තියන දත්ත මත. ඒ කියන්නෙ analyse උනෙ ඔබව.

මොකද මට මගෙම චින්තනයක් තියනව. ඒ වගෙම මගෙම ආගමකුත් තියනව.. ඒ නිරවුල් බව, නිදහස් මනස ලැබෙන්නෙත් කිතුනු මනසක් තියන අයකුට. කිතුනු නිකායන් සිය ගනනක් තියනව. ඒ වගෙම base on christian path, විවිද ආගම් පවා තියනව.

ඒක නිසා මගෙ නිදහස් මනසින් මම ආගමිකයන් දෙස බලනව. ඔබල තමන්ම කොටු කර ගත් රාමුවකට වි, මම කිසිම ආගමක් නොඅදහමි කියන ආගමට කොටුවි කිසිම චින්තනයක් නැති පිරිසක්ව සිටිනව.

චින්තනය නිදහස් නම් සර්ව ආගමිකයකු හො ව්ය හැකියි. ආගම් ගවෙශනය කරන්නකු විය හැකියි. බටහිර කිතුනු චින්තකයන් ඒහෙමයි. බෞද්ද ආසියාතිකයන් , වෙනස්. ඔවුන් තුල තියනව හින මානයක්. ඔවුන් වෙනස්. ඔවුන් දන් නැහැ ගවෙශනයක් කරල තමන්ටම අනන්නය වු කියවිමක් ආගම් ගැන දෙන්න. ඔවුන් දන්නෙ නොතෙරෙන හැම මගුලකටම හිනා වෙන්න. පරිබව කරන්න.

අන්ධ භක්තිය හෙවත් ඇදහිල්ල යනු මෝඩකම ම බව මට යළිත් පැහැදිළි විය.

-රසිකොලොජිස්ට්

(image: https://www.hrgrapevine.com/content/article/notion-2019-06-26-internal-coaching-are-you-relying-on-blind-faith)