Showing posts with label වෘත්තීය දිවිය. Show all posts
Showing posts with label වෘත්තීය දිවිය. Show all posts

Thursday, 24 August 2017

කොහොමද ඉතිං තොරතුරු? - Goss 'bout me!


කොහොමද ඉතිං තොරතුරු?

හොඳයි වරදක් නෑ. රුකියාවේ නම් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් වුණා. ඒවා එක් අතකට ධනාත්මක වෙනස්කම් කියන්න පුළුවනි, නමුත්, ඒ සාපේක්‍ෂකව බැලුවාමයි. ඇත්තට ම නම් කතාව කෙටියෙන් කියන්න පුූළුවන් බැක් ටු ද ෆියුචර් කියලා.

ඒ වුණත්, අගෝස්තු මුල් සතියේ ඉඳලා උදේ ම වැඩට ගිහින් හවස් වෙලා එන්න පටන් ගත්තා. ඒ නිසා ම දෝ, වෙනදා වගේ දුම්රියේ දී පරිගණකය දිග හැරගෙන බ්ලොග් ලිපි ලියන්න හිතුණේ නෑ. ඒ වෙනුවට එක්කෝ කල්පනාවේ ගිලෙමින්, නැතිනම් ජංගම දුරකථනයෙන් මොනවා හරි කියවමින් කාලය ගත කළා.

ඒ අතරතුර, සති අන්තවල දින දෙක තුනක් ම, මගේ තවත් විනෝදාංශයක් වෙන නාට්‍යය කලාව හා සම්බන්ධ කටයුතුවලට ගත කරන්නට සිදුවුණා.

ඒ නාට්‍ය විස්තර පසුව ලියන්නම්.

කාලයක් තිස්සේ නොකඩවා කළ ලිවීම ගැන කියනවා නම්, මෙතැන සඳහන් කළ යුතු එකම වැදගත් සිදුවීම තමයි, මීට මාස දෙක තුනකට කලින් සිදුවුණු සිත තිගැස්සූ එක්තරා සුන්දර අත්දැකීමක් ගැන අමුතුම ආකාරයක ආකෘතියකින් කවියක් මා අතින් ලියවීම. ඊට කලින් මං ලියපු "අවසාන රෝසමල" ගැන කවියට වඩා මං මේ අලුත් කවියට කැමතියි. පසුව දවසක පළ කරන්නම්.

ඒ වෙනුවට මෙන්න පොඩි වාර්තාමය පද්‍ය පේළියක්. මේක නම්, අද උදේ කෝච්චියට නැග්ග ගමන් ලියවුණු එකක්.

කොහොමද ඉතිං තොරතුරු?

එකාකාරී ලෙසින්
ගෙවී ගිය ජීවිතය
නොසිතු ලෙස, ක්‍ෂණයකින් නොපිට පෙරළිලා ඇත
කුසීතව, අලස ලෙස
දිවි ගෙවූ කාලයට
විරාමය තබන්නට නිමේෂය පැමිණ ඇත

ලොකු උපන් දිනට පෙර කරන්නට සිතා සිටි
පොඩි වුණත් සිතට ලොකු ව්‍යාපෘති රාශියකි
එයින් දෙක තුනක්වත් හොඳින් නිම කර ගන්න
මෙවර හෝ හැකි වුණොත් එය කදිම තෑග්ගකි

ඒ වුණත්,

සැම දිනම සිදුවෙනා විලසින් ම
විදුලි දුම්රිය ගමන අවසනට එළැඹුණා
වසා පරිගණකය දුකෙන්
ගමන් මල්ලට දමා නික්මෙන්න සිදුවුණා
කාලයක් පට්ට ගැසු
පරණ ආකෘතියෙන් ම
මේ කවත් ලියන්නට සිදුවුණා!


-රසිකොලොජිස්ට්

(image: Captured at Kingswood Railway Station, NSW, Australia)

Tuesday, 18 April 2017

නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday


අද මෙන්ම එදා මා පාසල් ගිය සමයේ ද, ලංකාවේ පාසල් වාර තුනක් ද, නිවාඩු කාල තුනක් ද විය. ඒ පාසල් වාර තුනම, එක හා සමාන කාල පරාසයක, එනම්, අඩු වැඩි වශයෙන් සති දහතුනක් පමණ, පැතිරී තිබුණු අතර, නිවාඩු කාල ද, බොහෝ විට එක සමාන කාල ප්‍රමාණයේ විය.

මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද වේ. එක් වාරයක් සඳහා සති දහයක කාලයක් වෙන් වී ඇති අතර, නිවාඩු කාල හතරෙන් තුනක් ම, එනම් අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍යයෙන් (සැම විටම නොවේ) පාස්කු දින මැදි කරෙගෙන යෙදෙන නිවාඩුව, ජූලි මාසයේ මුල එන සිසිර නිවාඩුව, සැප්තැම්රයේ අගට යෙදෙන වසන්ත නිවාඩුව, සති දෙකක් බැගින් වූ නිවාඩු කාල වේ.

දෙසැම්බරයේ නත්තල් සමයට සතියකට පමණ කලින් එළැඹෙන ගිම්හාන නිවාඩුව, ජනවාරි අග දක්වා සති හයක් පමණ කාලයක් පුරා විහිදෙයි.

දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි.

පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා ද, සතියක් ම කාර්යාලයෙන් බැහැරව සිටි මට, අද උදෑසන සේවයට යාම සඳහා සූදානම් වීමේ දී දැනුණේ මහා කම්මැලිකමකි.

දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර ගත් විගස මට සිහිවූයේ, අප කුඩා කාලයේ අවුරුදු නිවාඩුව ප්‍රීතියෙන් නිවසේ ගත කර ආපසු පාසල පටන් ගන්නා අවස්ථාවයි.

එසේ පාසල් ඇරඹෙන මුල් දිනයේ, පාසලේ දී වැඩි ලොකු දෙයක් සිදු නොවේ. එයට හේතුව, ගුරුවරුන් ද, තවමත් කම්මැලි අරිමින් සිටින නිසාත්, ගුරු කාමරයට වී අවුරුදු කැවිලි සහ ඕපාදූප බෙදා හදා ගැනීම, පන්තිවලට ගොස් ඉගැන්වීමට වඩා ප්‍රිය කරන නිසාත් විය යුතුය.

එනිසා ප්‍රාථමික පාසලේ බොහෝ ගුරුවරුන් එදින කරන්නේ, "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මාතෘකාවෙන් රචනයක් ලියන ලෙස සිසුන්ට නියම කිරීමයි.

මා පස්වෙනි ශ්‍රේණියේ උගන්නා කාලයේ දී, අවුරුදු නිවාඩුව ගත කරන අතරතුර මට ඔය කාරණය සිහිවිය. මා එවිට කළේ, සිංහල ලිවීමේ සටහන් පොත රැගෙන "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන මැයෙන් පිටු දෙක තුනක විස්තරයක් ලිවීමයි.

අඹ වාරය, අවුරුදු කෑ හැටි, ගුවන් විදුලියේ වැඩ සටහන්, ආච්චිලා ගේ නිවසේ ගත කළ නිවාඩුව යනාදී විස්තර මා ඒ රචනයේ ඇතුළත් කරන්නට ඇත.

අවුරුදු නිවාඩුව අවසාන වී පාසල ඇරඹුණි.

අප පන්ති කාමරය පිරිසිදු කර සකසා ගත්තෙමු.

තවත් දවසක් පුරා නිදහසේ සිටීමේ මගේ අපේක්‍ෂා සුන් කරමින් අපේ පන්තිය භාර බමුණුසිංහ ටීචර් සුපුරුදු පරිදි ඉගැන්වීම ඇරඹුවා ය.

පැය කිහිපයක් තිස්සේ මහන්සි වී මා ලියා ගෙන ආ ඒ "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන වාක්‍ය රචනාව කිසිදා මා හැර වෙනෙකෙු කියවූයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි
නිවාඩුව අවසානයත් සමගම 2017 බ්ලොග් වසන්තය ද ඇරඹී ඇත! මේ මා ඒ සඳහා ලියන දෙවන ලිපියයි.

මුල් ලිපිය-

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html



(image: http://techgirl.co.za/2016/01/14/back-to-work-after-a-holiday/)

Thursday, 30 March 2017

ඉතිං මේ හේමන්තයයි - Autumn Blues


අද මා සේවය කළේ නිවසේ සිටයි.

උදෑසන සිට ම අහස අඳුරු ය. සිරිපොද නමුත් වැස්සේ නැවතුමක් නැත.

ගිම්හානයේ අද දක්වාම පැවතුණු වසන්ත සුන්දරත්වයේ අවසන් හුස්ම පොද ද පිටව ගොසිනි!

සිතට එන්නේ අලස, උදාසීන අදහස් ය.

දවසේ වැඩ අවසානයේ සිතේ දුක මෙලෙස ලියවුණි!

ඉතිං මේ හේමන්තයයි

අහස අඳුරුයි පාළුයි
රෝස ගස් පෙළ නිහඬයි
සිහින් ඊතල වැස්සයි
ඉතිං මේ හේමන්තයයි

ගිම්හාන අව්රැල්ල
හතළිහේ පෝරණුව
දැන් සිතට අමතක ය
මල් රේණු, තණ කැබලි
දසත විසුරූ සුළඟ
හමා ගොස් හමාර ය
සියක් ගණනක වර්ණ
එක පෙළට මවා ලූ
මල් මිලින වී ගොස් ය
උදෑසන හිරු මරා
ලොව අඳුරු කළ වැස්ස
නිමාවක් නැති ලෙස ය

දවස හෙමිහිට මියයයි
අමාවක සඳ පායයි
හදවතක දුක නිහඬයි
ඉතිං මේ හේමන්තයයි


-රසිකොලොජිස්ට්


Wednesday, 1 March 2017

ඔබ අප්‍රිය කරන තිංග්ස් දහයක් නම් කරන්න - Ten things you hate


මේ දිනවල මම එක්තරා පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමි. එහි දී අපට විවිධ ලිවීමේ අභ්‍යාස පැවරේ. මුල් දිනයේ දී ම කරන්ට සිදුවුණු දෙයක් නම්, මා අකමැති තිංග්ස් දහයක (ten things you hate) ලයිස්තුවක් සැදීමයි.

මා මෙහි දී තිංග්ස් කියා ම ලියන්නේ "things" සඳහා සුදුසු සිංහල වචනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ය. තිංග්ස් යන්න සඳහා "දේවල්" කියා කියන්නට හැකි නමුත්, එය එතරම් ව්‍යක්ත වචනයක් සේ මට නොහැඟේ. එසේ ම "දේ" කියා ලිවූ විට යම් අඩුවක් දැනේ.

කෙසේ වෙතත් මට එදා වැඩසටහනේ දී මා අප්‍රිය කරන තිංග්ස් දහයේ ලයිස්තුව සඳහා සිහියට ආවේ අටක් පමණි.
  1. දුරකථනය මගින් විවිධ සේවා ලබා ගැනීම සඳහා ඇමතු විට මගේ වාසගම ඉංග්ලිෂ් අකුරෙන් එකින් එක කීමට සිදුවීම
  2. අමද්‍යප අය විසින් තම නිවසේ සංවිධානය කරන ප්‍රිය සම්භාෂණ සාද සඳහා සහභාගී වීමට සිදුවීම
  3. උණුවතුරට තේ බෑගයක් දමා දෙන තේ කෝප්පයට ද, ඩොලර් දහසේ යන්ත්‍ර මගින් කාලය සහ ශ්‍රමය වැය කර සාදන කෝපි කෝප්පයකට ගෙවන මුදලම ගෙවන්නට සිදුවීම
  4. ආයතන ප්‍රතිව්‍යුහකරණය (corporate restructuring)
  5. සල්ලි කප්පරක් ගෙවා දත් සම්බන්ධ පිළියමක් කළ පසු ආසාදන වැළැක්වීමට බේත් බොන අතර, එනිසා ම සතියක් පුරා අනුමත නොවී සිටීමට අණ ලැබීම
  6. නොදන්නා බව නොදන්නා නමුත්, ඒ ගැන දැන ගැනීමට අකමැති අය සමග කතා බහ කරන්නට සිදුවීම
  7. සිතා බැලීමකින් තොරව, ඇසෙන, දකින දේ ඒ ආකාරයෙන් ම විශ්වාස කරන අය සමග ආශ්‍රය කරන්නට සිදුවීම
  8. කළ යුතු සැම දෙයක් ම කිරීමට කාලය මදබව සිහියට ඒම
  9. ...........
  10. ...........
ඔබ අකමැති "තිංග්ස්" මොනවාද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මා සහභාගී වෙන්නේ කේන්තිය කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් සඳහා නම් නොවේ. මෙය විනෝදාංශයක් පිළිබඳ එකකි.

(image: http://www.pocketfulofbooks.com/p/top-tens.html)

Sunday, 25 December 2016

නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two days


මගේ වසරාවසාන නිවාඩුව සිකුරාදා දවස් එකොළහයි පාළහට ඇරඹුණි.

එදින රාජ්ජසේවකයින් වූ අපට වරුවක සහන නිවාඩුවක් තිබේ. ඒ සඳහා උදේ වරුව වැඩ කළ යුතු වේ. මේ දිනවල මට එතරම් වැඩ රාජකාරි නොමැති නිසා කලින් දිනයක මෙන් නොව නිවාඩු පාඩුවක් නැතුව වරුවක සහනය ලබා ගන්නට මට ඉඩ ලැබුණි.

උදෑසන හතයි හතළිස් පහට ඔෆීසියට ගිය මට එකොළහයි පාළහට එතැනින් පිටත් වෙන්නට ලැබුණේ එනිසා ය.

දැන් ඉතිං ජනවාරි නමවෙනිදා වෙනතුරු ඔෆීසි යාමක් නැත.

නිවාඩු සමය ගත කරන හස්බන්ඩලාට සහ වයිෆරේලාට පවුලේ සාමය රැකගෙන නිවාඩුව ගත කිරීම සඳහා පහත න්‍යාය පත්‍රය යෝජනා කරමි.

හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
  • ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
  • වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න

වයිෆරේලා ගේ න්‍යාය පත්‍රය
  • හස්බන්ඩා නිවාඩු සමය ගත කළ යුතු ආකාරය ගැන න්‍යාය පත්‍රයක් සාදන්න
  • ඒ අනුව කටයුතු කෙරෙන්නට වග බලා ගන්න!

කෙසේ වෙතත්, ගෙවුණු දින දෙකක කාලය තුළ සතුටු විය හැකි දේ කිහිපයක් ම කළෙමි. ඉන් එකක් මුල් වරට යම් ආහාරය වර්ගයක් පිළියෙල කිරීමයි. එය තාමත් අවසන් නැති නිසා, ඊට වඩා වැදගත් දෙයක් ගැන අද ලියමි.

නිවාඩු සමය සැමරීමට චිත්‍රපට කිහිපයක් ම නැරඹුවෙමි. සිනමා ශාලාවලට ගොස් නොවේ. නිවසේ සිට අන්තර්ජාලය හරහා ටෙලිවිෂනය ඔස්සේ ය. මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය.

කෙටි විස්තරයක් ද සහිතව ඒ ලයිස්තුව මෙන්න. මෙයින් හතරක් ම නැරඹුවේ පසුගිය දින දෙක තුළ වීම වාර්තාවකි.

1. ලයිෆ් ඊස් බියුටිෆුල් (*****)
දෙවෙනි ලෝක යුද සමයේ යුදෙව් ඉතාලියානුවෙකු සහ ඔහු ගේ බිරිඳ සහ කුඩා දරුවා පිළිබඳ සංවේදජනක කතාවක් ඇතුළත් ය.

2. ඉන්වෙස්ටිගේෂන් (****)
තමිල්නාඩු පොලිසියේ දුෂණ හෙළි කරන සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයකි.

3. මසාන් (***)
ඉන්දියාවේ වාරාණසී ප්‍රදේශයේ තරුණ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන චිත්‍රපටයකි.

4. ඩෙල්ලි ඉන් එ ඩේ (****)
දිල්ලි නගරයේ ධනවත් පවුලක් සමග එක් රැයක් ගත කරන්නට එන ඉංග්ලිෂ් තරුණයෙකු වටා ගෙවුණු කතාවකි.

5. ලුක් හූ ඉස් බැක් (*****)
හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.

6. ධනක් (****)
තම අන්ධ බාල සොහොයුරාට යළිත් පෙනීම ලබා දීම සඳහා සිතීමට අපහසු තරම් දුෂ්කර ගමනක යෙදෙන කුඩා දැරියක ගේ කතාව

7. වන් තවුසන්ඩ් රුපීස් (*****)
මේ චිත්‍රපට සියල්ල ම අතරින් ඉතාමත් සිත ඇදගත් නිර්මාණයයි. දුප්පත් මහලු ගැමි කාන්තාවක ගේ ජිවිතය හදිසියේ ම වෙනස් වෙන අයුරු.

හැපි හොලිඩේස් ගයිස්

ආතල්බෝවේවා!

-රසිකොලොජිස්ට්

Monday, 1 August 2016

මගේ මහා පාද යාත්‍රාව - Shed kilos, get fit, walk every day!


පසුගිය බ්‍රහස්පතින්දා මා ලද අත්දැකීමක් ඇසුරෙන් ලියවෙන මේ ලිපිය ලංකාවේ පසුගිය දිනවල පැවැත්වෙන පාද යාත්‍රා සන්දර්ශනයට කිසිදු සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.

අපේ කාර්යාලයේ සිදුවුණු ස්ථාන මාරුවෙන් පසු වෙනදා කාර්යාලයට පෙරවරු 9:30ට ළඟාවෙන්නට නිවසෙන් පිටවුණු මා, ඊට වඩා උදෙන් පිටත් වී පෙරවරු 7:45 ට පමණ වැඩ අරුඹන්නට පටන් ගත්තෙමි.

තරමක් දුක තිබුණ ද, ඒ වෙනස සැප බව කලින් ලිපියක ලියූවෙමි.

පසුගිය බ්‍රහස්පතින්දා මා උදේ සේවයට යන්නට සැරසුණේ තරමක් ප්‍රමාද වී ය. කොටින් ම මා ඇඳ පැළඳ නිවසෙන් පිටවීමට සූදානම් වී අවසාන වන විට අපේ පුතා පාසලට ඇරලවා ඒ පාසල අසලම ඇති තම සේවා ස්ථානයට යාමට මා ප්‍රිය බිරිඳ ද සූදානම් වී හමාර ය.

සුපුරුදු පරිදි, මගේ උදෑසන ආහාරය වන පලතුරු ස්මූති පානය ද, දිවා අහාරය වන කෙලවල්ලා සැන්ඩ්විචයට අවශ්‍ය ද්‍රව්‍ය ද, අතරමග දුම්රිය ගමනේ දී රසිකොලොජි ලිපි ලියන්ට භාවිතා කරන ලැප්ටොප් පරිගණකය ද සහිත මල්ල කරේ දමාගත් මා, බිරිඳට වුම්බනයකින් සංග්‍රහ කර, පුත්‍රයාට සැමදාම කරන සරදම වන අද සිට හොඳ ළමයෙකු වෙන්න යැයි පවසා නිවසෙන් පිටත්වන්නට අඩියක් තිබ්බා පමණි. මට එක්වරම දැනුණේ, මට යතුරු කැරැල්ල අමතක වී ඇති බවයි.

නිවසේ යතුර කෙසේ වෙතත්, මෝටර් රථයේ යතුර අත නොමැතිව කෙසෙලක නම් දුම්රිය ස්ථානයට යන්නද?

අමතර යතුරක් තිබුණද, එය ද ඒ හදිසියේ සොයා ගත නොහැකි විය.

ඉතින් මා කළේ, පුතා ද රැගෙන දුම්රිය ස්ථානය අසලටම යන බිරිඳ සමග සම්මුතියකට එළැඹීමයි.

ඒ අනුව, මා ඇගේ වාහනය පදවා ගෙන මුලින් ම පුතා ගේ පාසල අසලට ගොස් ඔහු එහි බස්සවා, ඉනික්බිති දුම්රිය ස්ථානයට ගියෙමි. වෙනදා මෙන් දුම්රිය ස්ථානයේ රථ ගාලේ නොව එහි ඇති "කිස් ඇන්ඩ් රයිඩ්" ස්ථානයේ වාහනය තාවකාලිකව නවතා එතැන් සිට, නුදුරෙන් ඇති ඇගේ සේවා ස්ථානයට යාමට රථය බිරිඳට භාර දුනිමි.

කෙසේ හෝ මෙයින් සිදුවූයේ බිරිඳට මගේ චුම්බන එකක් නොව දෙකක් ම ලැබීමයි.

හවස් වරුවේ මා කළ යුතුව තිබුණේ, ඇයට දුම්රිය ස්ථානයෙන් මා එකතු කර ගැනීමට හැකිවෙන පරිදි, කලින් බිරිඳ සමග ජංගම දුරකථනයෙන් කතාබස් කරගෙන එහි ළඟා වීමයි.

නමුත්, එය එසේ කරනු වෙනුවට මගේ සිතට ඇති වූයේ අපූරු සිතුවිල්ලකි.

එනම් දුම්රිය ස්ථානයේ සිට නිවසට පයින් ම ගමන් කිරීම ය.

කිලෝමීටර් හතක් පමණ යාමට ඇති බව දන්නා නිසා, මුලින් තරමක දෙගිඩියාවක් ඇති වුණද, පසුව එය මග හරවා ගතිමි.

"මං බස් එකේ එන්නම්, ඔයා පරක්කු නොවී ගෙදර යන්න!" යැයි මා ඇමතූ බිරිඳට තරමක සම්‍යක් බොරුවක් දෙසා බෑමි.

සූදානම් ශරීරේ කියා මා කාර්යාලයෙන් පිටවුණේ ද, ඇවිදීමට මා පළඳින සපත්තු ජෝඩුවෙන් සැරසීය.

කිලෝ මීටර් හය හමාරක් පමණ වූ මගේ පාද යාත්‍රාව මට පැයකින් අවසන් කිරීමට හැකිවිය. එකම ප්‍රශ්නය වූයේ ලැප්ටොප් පරිගණකය සහිත මල්ල පමණි.

හැම දිනකම මෙසේ පැයක් පමණ ඇවිදීම, කාර්යාලවල පුටු උඩට වී "බගන්දරා මල්" වවමින් සිටිනා මා වැනි සියලු දෙනාට ම යෝග්‍ය අභ්‍යාසයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පාද යාත්‍රා මගින් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් හොඩ නැගීමට කැප වී සිටින හොරු වෙනුවෙන් හොරු කණ්ඩායම ද මගේ ප්‍රණාමය පිරිනමමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අතරමගදී ගත් ඡායාරූප කිහිපයක්.

Friday, 8 July 2016

අමතක වී ගිය සංවත්සරය - Fading away......!


ඊයේ දිනයට යෙදුණු, මගේ ජීවිතයේ වැදගත්ම සංවත්සරයක් මට අමතක වී ගියේ ය.

ඒ සංවත්සරය වැදගත් එකකැයි මා කියන්නේ, අවාසනවන්ත ආකාරයට අමතක වී ගියේ ජීවිතයේ එක් වැදගත් සන්ධිස්ථානයක දසවෙනි සංවත්සරය නිසායි.

මේ අමතක වීම සිදු වුණේත්, අමතක වුණු බව සිහි වුණේත්, පුදුම සහගත ආකාරයටය. මීට සති දෙකකට පමණ පෙර මට මේ සංවත්සර දිනය ද, එය දසවෙනි සංවත්සරය බව ද, එනිසා ම එහි ඇති වැදගත්කම ද සිහි වී මා ප්‍රිය බිරිඳ සමග ද ඒ බව පැවසූවෙමි. ෆෙස්බුකියේ සහ රසිකොලොජියේ ඒ ගැන යම් සටහනක් තැබිය යුතුයි කියා ද මම එවෙලේ සිතා ගත්තෙමි.

නමුත්, වෙනත් කාරණා සඳහා කාලය ගත වෙද්දී සහ පැය දින වී, දින සති වී ඉගිල යද්දී මට එය සහමුලින් ම අමතක විය.

ඊයේ රාත්‍රියේ නින්දට ගොස් සිටි මා හදිසියේ ම අවදි වී ඇද අසල තබා ඇති මේස කෑල්ල මත තිබුණු මගේ ජංගම දුරකථනය දෙස බැලු විට දුටුවේ වේලාව දෙක පසු වී විනාඩි තිහක් පමණ බව ය. දිනය ජූලි හත්වෙනිදා සිට ජූලි අට වෙනිදා දක්වා වෙනස් වී තිබුණි.

ඒ ක්‍ෂණයකින් ජූලි හත්වෙනිදාට යෙදී තිබුණු මගේ ජීවිතයේ ඒ වැදගත්ම සංවත්සරය සැමරීම මට අතපසු වුණු බව වැටහී මට මද දුකක් ද ඇතිවුණි.

ඒ සමගම, ඒ මද දුක වසාගෙන නැග ආවේ බලවත් ප්‍රීතියකි. සන්තෝෂයකි. යමක් අත්පත් කර ගත්තා හෝ ජය කණුවක් පසු කළා හෝ ආකාරයේ ආහ්ලාදයකි.

ඒ ඇයිදැයි යන්න දැන් ඉතා කෙටියෙන් පවසමි.

මීට දස වසරකට පෙර 2006 ජූලි මස හත්වෙනි දා, කලින් දින නියම කරගෙන තිබුණු පරිදි, සිනුවර තදාසන්නයේ පිහිටි වෙස්ට්මීඩ් නම් වූ රෝහලට මා ඇතුළත් වූණේ පුද්ගලයෙකුට ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවෙන අභාග්‍යසම්පන්න ශල්‍ය කර්මයකට මුහුණ දීමට ය.

මේ ශල්‍ය කර්මයට අත්‍යාවශ්‍ය අඩිතාලම දැමීම සිදුවීම වූයේ ඊට මාස පහකට පෙර 2006 පෙබරවාරියේ දී ය. ඒ අලකලංචියේ දසවෙනි සංවත්සරය දිනයේ දි මම ඒ ගැන ලියු කවි කිහිපයක් ද රසිකොලොජියේ පළ කළෙමි.
අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...! :: http://rasikalogy.blogspot.com/2016/02/decade-old-memory.html
එදා 2006 පෙබරවාරි හත්වෙනිදා උදෑසන සිහිසුන් ව ඇද වැටුණු මට, එදිනම හවස් වරුවේ කරන ලද ඇන්ජියෝප්ලාස්ටි නම් වූ ක්‍රියාවලියේ දී ස්ටෙන්ට්ස් නමින් හැඳින්වෙන රුධිර නාල සකසන කුඩා ගැජට්ටු හතරක් මගේ හදවතට රුධිරය සපයන නාලිකා තුළට ඇතුළත් කරනු ලැබුවද, පස්වැන්න යෙදීමට පෙර මගේ තත්වය දරුණු වූ නිසා එම ක්‍රියාවලිය එතැනින් අවසන් කර ඇත.

සති තුනකට පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ද, හෘදය රෝග වාට්ටුවේ ද ගතකර පසු මා නිවසට ආවේ, තත්වය හොඳ අතට හැරුණු වහාම ශල්‍ය කර්මයක් කළ යුතුම යැයි ලැබුණු උපදෙස පිළිගෙන ය.

පෙර සඳහන් කළ පරිදි 2006 ජූලි මස හත්වෙනි දා මා වෙස්ට්මීඩ් රෝහලට ඇතුළත් වූයේ ඒ හදවත් ශල්‍ය කර්මයට මුහුණ දීමටයි.

මගේ හදවතට රුධිරය සපයන නාලිකාවල, පෙබරවාරියෙ දී ස්ටෙන්ට් ගැජට්ටු දමා පෑදූ තැන් හතර ද, එසේ කිරීමට නොහැකි වූ අනෙක් ස්ථානය ද මගහැරීමට, එනම් බයි-පාස් කිරීමට, පැටර්සන් නම් ශල්‍ය වෛද්‍යවරයා කළ ශල්‍යකර්මය කෙතරම් හොඳින් සිදුවුණා ද කිවහොත් සිව්වෙනි දිනයේ දී මම ආඩම්බරයෙන් නිවසට ද පැමිණියෙමි.

මගේ ආඩම්බරය වැඩි වීමට තවත් හේතුවක් වූයේ බයි-පාස් කළ අය ගැන ද, ඩබල් බයි-පාස් කළ අය ගැන ද, කාලයක සිට නිරතුරු අසා තිබුණ ද, පෙන්ටා බයි-පාස් ඔපරේෂොමක්, එනම් බයි-පාස් පහක් කළ කිසිදු අයෙකු පිළිබඳව මා එතෙක් අසා නොතිබුණු නිසා ය.

එසේම, මගේ ශල්‍ය වෛද්‍යවරයා ඒ බයි-පාස් පහම කර තිබුණේ පපු කුහර ඇතුළතම ඇති වෙනත් නහරයක් [mammary artery] උපයෝගී කරගෙන වූ නිසා, අතෙන් හෝ කකුලෙන් නහර කපා ගැනීමට සිදු කළ සැත්කම්වල තුවාල කැළල් මට නැත.

ඇත්තේ පපුවේ දික් අතර ඇති සිප් (zipper) එකක් වැනි කැපුමක් පමණි.

මේ ලිපිය අවසාන කිරීමට පළමු කරුණු දෙකක් කිව යුතුය.

එයින් මට වැදගත් කාරණය නම්, බයි-පාස් සැත්කමකින් පසුව හදවත වසර දහයකින් තරුණවන බව කියවේ. දහවරක් පහ පනහකි [10x5=50]. එනම් මගේ වයස එදා සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තට ගියේ ය.

මේ ලිපිය කියවූ ඔබට වැදගත් කාරණය මෙයයි.

ස්ටෙන්ට්ස් ගැජට්ටු සහ බයි-පාස් සැත්කම් අවශ්‍ය වන හදවත් රෝගය සෑදෙන්නේ කොලස්ටරෝල් වැඩි, රුධිර පීඩනය වැඩි, දුම්බොන අයට පමණක් ම නොවේ. ඒ කිසිදු සාධකයක් මට අදාළ නොවුණි.

අතින් ගිලිහී යන පීඑච්ඩී උපාධිය පිළිබඳ, වෘත්තිය පිළිබඳ සහ රැකියාව පිළිබඳ ආතතිය, දවසේ වැඩි වේලාවක් එක්කෝ පරිගණකයක් ඉදිරිපිට හෝ දුම්රිය අසුනක ඉඳගෙන ගෙවීම වැනි දේ පෙර කී සම්මත සාධකවලට වඩා හදවත් රෝගවලට හේතු කාරක විය හැකි ය යන්න මින් වසර දහයකට පෙර මා එළැඹි නිගමනයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වේලාව තිබේ නම් මේ පහත ලිපිය ද කියවන්න.
http://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html :: මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)

(image: http://www.smart-heart-living.com/my-scar-makes-me-cry.html)

Wednesday, 29 June 2016

ඒ දිනවල ජීවිතේ සහ මේ දිනවල ජීවිතේ හෙවත් "කොහොමද වෙනස සැපයි ද"? - One jungle to another


"කොහොමද වෙනස සැපයි ද?" යන්න බයියන් විසින් මූලිකවම ටොයියන්ගෙන් සහ සමහර විට පොදුවේ බයියන් නොවෙන සැමගෙන් සමහර විට අසන බයියන්ට සැනසිලි ත්‍යාගයක් බඳු වී ඇති ප්‍රශ්නයකි.

අපේ ඔෆීසියේ ස්ථාන මාරුව සහ ඇක්ටිවිටි බේස්ඩ් වර්කින් හෙවත් වැඩට-ඉඩ ක්‍රමයට මාරුවීම නිසා එදිනෙදා ජීවිතයේ සිදුවී ඇති වෙනස්කම් කවරේදැයි දුම්රියේ නිවසට යන අතරතුර කල්පනා කර විශ්ලේෂණය කර බැලීමි.

ඒ කවුරුන් හෝ "කොහොමද වෙනස සැපයි ද?" යනුවෙන් මගෙන් විමසුවොත් පිළිතුරු දීම සඳහා ය.

ජීවිතේ නම් මගේ ම බව සැබෑ ය. නමුත් පොඩි පොඩි වෙනස්කම් සිදුව ඇත, නැතිනම් වෙනස්කරම් කර ගන්නට සිදුවී ඇත.

වෙනදා උදෑසන හත පමණ වෙනතුරු නිදා ගත් මම, දැන් මගේ එලාමය තබාගෙන ඇත්තේ හිමිදිරි පාන්දර හයට නාද වන ලෙස ය. වදෙන් පොරෙන් හත පසුවී විනාඩි පහළොවක් ගත වන විට ඇදෙන් නැගිට නාන කාමරය වෙත ඇදෙමි. කෙසේ හෝ උදෑසන හතට පෙර දුම්රිය ස්ථානයට ළඟාවීම මගේ අරමුණයි.

නාන කාමර කර්තව්‍යයන් ගේ වෙනසක් නැත. මා ඒ දිනවල ද දිනපතා රැවුල නොකැපුවෙමි. දැන් ද එසේ ම ය. කැලේ වෙනස් වූ පලියට පුල්ලි වෙනස් කර ගන්නේ ඇයි?

ඇඳ පැළද ගැනීමේ දී සිදු වී ඇති එක් වෙනසක් නම්, වෙනදා කළාක් මෙන් ස්මාරට් කැෂුවල් ඇඳුම් එනම් අත් දිග කමිසය සහ කලිසම නොව දැන් මා ඊට අමතරව ටයි පැළඳ, කෝට් ද ඇඳ ජැන්ඩියට සැරසීමයි. එය මා විසින් උවමනාවෙන් ම ඇති කර ගත් වෙනසකි. සිනුවර දැන් ගිලී ඇති ශීත සිසිරය ද එයට හේතුවකි.

වෙනදා මෙන්ම එක අතකින් තේ දැමූ ට්‍රැවල් මග් එක ද, අනෙත් අතෙන් ලැප්ටොප් පරිගණකය, උදෑසන පාතරසය ලෙස ගන්නා නිවසේ සැදූ පලතුරු සුමුදු බීම බෝතලය සහ පොත් පත් සහිත බෑගය ද රැගෙන වාහනයට නගින්නේ බොහෝ විය හයයි හතළිස් පහට පමණ ය. අලුත් කාර්යාලයට ඒන්නට පෙර සමයේ නිවසෙන් මීට පැයකට පමණ පසුව පිටවූ කාලයේ දී මුහුණ දෙන්නට සිදුවුණාත් මෙන් අතරමග රථවාහන නිසා ප්‍රමාදයක් දැන් ඇති නොවේ.

එකම වරද නම්, දුම්රිය ගමන විනාඩි තිහකට පමණක් සීමා වීමයි. ලැප්ටොප් පරිගණකය දිග හැර වචන දෙතුන් සීයක් කොටන්නට පෙර ගමනාන්තය ළඟා වේ. ඉතින්, මුලින් කොන්ට්‍රොල් එස් ගසා, ඉන්පසු ලැප්ටොප් පරිගණකය වසා බෑගය ඇතුළට දමා ගනිමි.

උදෑසන හත පසුවී විනාඩි හතළිහ වන විට මා කාර්යාලයේ ය. වෙනදා මා සේවය ඇරඹුවේ බොහෝ විට උදැසන නමයයි තිහට ය.

එහි ගිය විගස මා කරන්නේ ඒ දවසේ මගේ වැඩ-ස්ථානය ලෙස භාවිතා කිරීමට තැනක් තෝරා ගැනීමයි. මා මේ දක්වා ගතවුණු සති හතරකට වඩා වැඩි කාලය තුළ එකම ස්ථානයක දෙවරක් අසුන් ගෙන ඇත්තේ දෙතුන් වරක් පමණි. උදෑසනම කාර්යාලයට යෑමේ ඇති වාසිය එයයි.

බෑගය එහි තබා, මගේ ලොකර් කබඩය වෙත ගොස් එය හැර මගේ කාර්යාලීය ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් අඩුම-කුඩුම රැගෙන නැවත තෝරාගත් මේසය වෙත එමි.

ලැප්ටොප් පරිගණකය එහි ඇති ඩොකින් පුවරුවට සවි කර ගත් පසු කාර්යාලයේ වැඩ කටයුතු වෙනදා මෙන් කළ හැක.

ඊළඟට කිව යුතු විශාලම වෙනස නම් සවස හතරට පෙර දවසේ වැඩ කටයුතු නිමවා මට කාර්යාලයෙන් පිටත් විය හැකි බවයි. ආපසු යන ගමනේ දී බොහෝ විට එදින උදෑසන ඇරඹූ රසිකොලොජි ලිපිය අවසාන කළ හැකි වෙන අතර සවස පහේ හෝරාවට පෙර නිවසට ළඟා වී තේ කෝප්පයක් ද පානය කළ හැකි වේ.

එපමණක් ම නොවේ.

ඒ වන විට පාසල නිමවා නිවසට පැමිණ සිටින පුතා සමග ගමේ පාරක ඇවිඳින්නට, කඩයට පිලට යන්නට, ව්‍යායාම කරන්නට, කොක්ටේල් බීමක් සාදන්නට, බිරිඳ නිවසට එන්නට පෙර අවශ්‍ය පරිදි හොද්දක් බතක් උයන්නට ද මට දැන් වේලාව ඇත.

කොහොමද වෙනස සැපයි ද?

ඔව්, සැපයි තමයි ඕයි!

ඇයි අවුල් ද?

-රසිකොලොජිස්ට්

(image: http://ravaya.lk/?p=7565)

Sunday, 22 May 2016

මං ගොඩ ආ හැටි සහ අකරතැබ්බය බෝනස් එකකට හරවා ගත් හැටි - Not unhappy at all


මගේ යතුරු කැරැල්ලට එකතු කරගෙන තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයකින් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකකින්) එක් පරිගණයකින් තවත් පරිගණකයකට දත්ත මාරු කිරීම පිණිස, පසුගිය දා සිදුවුණු මගේ කාර්යාලයේ ස්ථාන මාරුවෙන් පසු අප වැඩකරන ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින් මේසයක පරිගණක තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයක මෝටර් රථයේ සහ නිවසේ යතුරු සහිත එම යතුරු කැරැල්ල ද හොම්බෙන් එල්ලු හැටිත්, වැඩ කරන දවස අවසානයේ එය අමතක කර කාර්යාලයෙන් පිටව ගිය හැටිත්, සුපුරුදු ජංගම දුරකථනය ද අහිමිව තිබුණු නිසා කාර්යාලයේ කිසිවෙකුට කතා කිරීමට නොහැකිව පාළු රථගාලක අසරණ වුණු හැටිත්, මම ඊයේ පළ කළ "මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක්" නැමති සටහනේ ලියුවෙමි.

නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවත් එසේ ම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවත් මම එදා ජීවිතයේ දෙවන වරටත් උගත්තෙමි.

අද ලියන්නේ මා ඒ කරදරයෙන් ගොඩ ආ හැටි සහ මා ලක් වූ අකරතැබ්බය බෝනසයකට හරවා ගත් හැටි ය.

දුම්රිය පොළේ සිට නිවසට කිලෝමීටර් අටකි. එය නම් ටැක්සියක යා හැක. මේ වේලාව වන විට පාසල නිම වී පුතා නිවසට පැමිණ ඇති නිසා, නිවසේ දොර හැර ගැනීමේ ප්‍රශ්නය ද නැත. බිරිඳ නිවසට පැමිණි පසු නිවසේ ඇති අමතර යතුර රැගෙන ඇය සමග දුම්රිය රථ ගාලට පැමිණ මගේ කාර් කට්ට නිවසට දැක්කිය හැකිය.

නමුත්, වඩා වැදගත් කාරණය වන්නේ යතුරු කැරැල්ල ආරක්‍ෂිත කර ගැනීමයි. දස වසරකට පෙර මේ නස්පැත්තිය ම සිදුවුණු මොහොතේ මා අත කාර්යාල සගයින් ගේ අංක ඇතුළත් කර තිබුණු ජංගම දුරකථනයක් තිබුණු නිසා, එක ඇමතුමකින් මට යතුරු කැරැල්ල සොයා එය ආරක්‍ෂිත තැනකට යොමු කිරීමට හැකි විය.

බිරිඳ ගේ සහ දරුවන් ගේ අංක පමණක් ඇතුළත් කර තිබෙන මේ තාවකාලික ජංගම දුරකථනයෙන් මට ඒ සඳහා අද පිහිටක් නැත.

මම විනාඩි කිහිපයක් තක්බීර් වී කල්පනා කරමින් සිටියෙමි.

ඒ කළු වලාවේ රිදී රේඛාවක් ඇඳුණා මෙන් මට ස්වල්ප වේලාවකට පසු සිහි වුණේ, එදින උදයේ අපේ ආයතනයේ ම වෙනත් කාර්යාලයක සේවය කරන මිතුරෙකු මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් බවයි.

වහාම ඒ අංකය සොයාගෙන ඔහු ඇමතූ මම ඔහු හරහා මගේ කාර්යාලයේ ම සේවය කරන වෙනත් මිතුරෙකු අමතා ඔහු එදින කාර්යාලයේ දී මා වාඩි වී ස්ථානයට යවා පරිගණක තිරය පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී සිටි මගේ යූඑස්බී මෙමරි ස්ටිකය සහිත යතුරු කැරැල්ල සොයා ගත්තෙමි.

තව මොහොතකින් කාර්යාලයෙන් පිටත් වීමට නියමිත ඔහුට එය රැගෙන යන ලෙස ඉල්ලා සිටි මම, කාර්යාලය සහ මගේ ගමනාන්තය අතර නැවතුමක් වූ ඔහු ගේ දුම්රිය ගමනාන්තයේ දී ඔහු හමු වී යතුරු කැරැල්ල ලබා ගන්නා බව ද පැවසීමි.

ඒ කටයුත්ත අවසාන කර මා නිවසට යන විට පුරා පැය තුනක් ම ගත වී තිබුණි.

ඉතින්, මා මුහුණ දුන් ඒ අකරතැබ්බය බෝනසයක් කර ගත්තේ මෙසේ ය.

අතරමග දී මුණ ගැසී මගේ යතුරු කැරැල්ල ලබා ගැනීම පිණිස මිතුරා මුණ ගැසීම සඳහා ආපසු යාමට දුම්රියට ගොඩ වුණු වහාම මා කළේ, ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන මට වුණු අකරතැබ්බය ගැන මේ ලිපිය ලිවීම ඇරඹීමයි.

මේ ලිපිය සඳහා ඉංග්ලිෂ් නම ලෙස "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යන්න හොඳ යැයි මට එවෙලේම සිතුණි. ඒ යෙදුම මා මුලින් ම දුටුවේ අපේ තාත්තා ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට රැපියල් දී ගෙනා පරණ රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවලින් බව මට ඊළඟට සිහිවිය.

මේ ලිපිය ලිවීමට පසුවට කල් තබා මා තාත්තා සම්බන්ධ ඒ කතාව ලියන්නට පටන් ගත්තෙමි. එදා දුම්රියේ මා ගත කළ පැයක පමණ අමතර කාලයේ දී එය ලියා සම්පුර්ණ කිරීමටත්, පසුදා සේවයට යද්දී, එය සංස්කරණය කර "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට්" නමින් පළ කරන්නටත් මට හැකි විය.

අහම්බෙන් සිදුවුණු අකරතැබ්බය, හැකි තරමට හොඳ අතට මා පෙරළා ගත්තේ එසේ ය. වෙනදා දවසකට පැය දෙක හමාරක් පමණ මා දුම්රියේ බ්ලොග් ලියමින්, කියවමින් ගත කළ ද, පසුගිය සතියේ සිට එය පැයකට පමණ අඩු වී ඇති නිසා, මට ඒ ලිපිය ලියා ගැනීම බෝනස් එකක් ම විය.

අතීතයේ කිමිදෙමින් මා ලියූ ඒ ලිපිය, බොහෝ දෙනෙකු ගේ අතීතකාමය ඇවිස්සීමට සමත් වීම තවත් සුපිරි ම බෝනසයක් විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ දිනවල මගේ බ්ලොගය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලොගයක් (BLog) එනම් "වෙබ් හි ලොග්" (weB Log) ලිවීමක් බවට පත් වී ඇත.

මෙය නම් බ්ලොග් වසන්තයක් ම ය!

(image: https://railish.wordpress.com/)

Saturday, 21 May 2016

මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක් - Yet another lesson learnt


මගේ කාර්යාලයේ ස්ථාන මාරුවත් සමගම අප "ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින්" හෙවත් "වැඩට-ඉඩ" නම් ක්‍රමයකට මාරු වුණු නිසා මගේ වෘත්තීය දිවියේ මුල්වරට මගේ ම කියා මේසයක් පුටුවක් නොමැති තත්වයක් උදාවුණි.

අප සියලු දෙනා දැන් කාර්යාලයට ගිය විගස කරන්නේ, කලින් දිනයේ නික්ම යෑමට පෙර අපේ ලොකර හෙවත් කුඩා කබඩ්වල දමා ගිය ලැප් ටොප් පරිගණකය ද, අනෙකුත් අත්‍යවශ්‍ය අඩුමකුඩුම ටික ද රැගෙන තමන්ට රිසි, තවමත් පුරප්පාඩුව පවතින, සේවා මේසයක් කරා ගොස් එහි පරිගණකය ඩොකින් කරගැනීම, එනම්, මේසයේ ඇති විශාල තිරය, ජාල කේබලය, රැහැන් නැති යතුරු පුවරුව සහ මූසිකය සම්බන්ධ කරගැනීමයි.

උදෑසන කුකුළා අතින් රැගෙන කාර්යාලයට පැමිණියහොත් නම්, සැමදා තමන්ට එකම මේසය අයිතිකරගත හැකි නමුත් එය තාවකාලික හිමිකමක් පමණක් වන අතර මා මුලින් සඳහන් කළාක් මෙන්, සැමදා කාර්යාලයෙන් බැහැරව යන විට තමන් ගේ අඩුමකුඩුම සියල්ල මේසයෙන් ඉවත් කර ගෙන ලොකරයේ බහාලිය යුතු වේ.

මේ හේතුව නිසා මට මගේ ආදරණීය තේ බෑග් එකතුව වෙනදා මෙන් මේසයක් මත තබා ගැනීමට නොහැකිව ඇතිවා පමණක් නොව පෑන්, පෑඩ්, පැන්සල් යනාදියට ද ලබා ඇත්තේ ද ඒ නරක දසාව ම ය.

මේ බව දැන සිටි නිසා, පසුගිය සිකුරාදා අපේ පරණ කාර්යාලය හැර යද්දී මා කළ එක් දෙයක් නම්, මගේ එක් යූඑස්බී මෙමරි ස්ටිකයක් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකක්) යතුරු කැරැල්ලට එක් කර ගැනීමයි.

නිවසේ යතුරු සහ මෝටර් රථයේ යතුර සහිත මගේ යතුරු කැරැල්ලට යූඑස්බී මෙමරි ස්ටිකයක් එකතු කර තබා ගැනීම මා නතර කළේ මීට දස වසරකට පෙර සිදුවුණු එක්තරා ඇබැද්දියක් හේතුවෙනි. ගිය සිකුරාදා මා නැවත යූඑස්බී මෙමරි ස්ටිකයක් යතුරු කැරැල්ලට අමුණද්දී අතීතය පුනර්ජීවනය වෙතැයි මට මොහොතකට හෝ සිතුණේ නැත.

නමුත් සිදුවුණේ ද එය ම ය.

මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයේ තිබුණු යම් ලියවිල්ලක් කාර්යාලීය ලැප්ටොප් පරිගණකයට එකතු කර ගැනීම පිණිස මම පෙරේදා දවල් වරුවේ මගේ යූඑස්බී මෙමරි ස්ටිකය භාවිතා කළෙමි. ලැප්ටොප් පරිගණකයේ යූඑස්බී පෝට් සියල්ල වෙනත් දේ සඳහා ඒ වන විට භාවිතා වෙමින් තිබුණු නිසා මා කළේ යූඑස්බී මෙමරි ස්ටිකය එල්සීඩී තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයකට සවි කිරීමයි.

ඉතින්, මා එදින සවස තුනහමාරට පමණ සේවය නිමවා, ලැප්ටොප් පරිගණකය සහ අඩුමකුඩුම සියල්ල මගේ ලොකරයේ බහා, පැරමටා දුම්රිය ස්ථානය වෙත පයින් ගොස්, එතැනින් අපේ ගම් පැත්තට යන දුම්රියට ගොඩ වී, ජගත් එදිරිසිංහ ගේ උපදේශක සංස්කරණයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ ප්‍රකාශයට පත්වෙන "සන්නස" මාසික සඟරාවට මා ලියන "අපේ කාලේ කතන්දර" නමැති කොළමේ ජූනි මාසය සඳහා මා කෙටුම්පත් කර තිබුණු "මහණවීම සහ මහණවීම" නම් කතාංගය සංස්කරණය කරමින් නිදි නොකිරූ ගමනක යෙදී, මගේ ගමනාන්තය වූ කිංස්වුඩ් දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් බැස, එහි රථගාලේ එක් කෙළවරක නවතා තිබුණු මගේ මෝටර් රථය වෙත ගොස්, එහි දොර හැරීම සඳහා සෙවූ මොහොත වෙනතුරු ම, මගේ යතුරු කැරැල්ල, එයට මා ඈඳා තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයේ පිහිටෙන් කාර්යාලයේ මගේ තාවකාලික පරිගණක තිරයේ පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී තිබුණි.

සති අන්තයේ මා මගේ ජංගම දුරකථනය රෙදි සෝදන යන්ත්‍රයේ දමා සෝදා එහි අඩංගු කර තිබුණු සියලුම දුරකථන අංක අහිමි කරගෙන තිබුණු අවාසනාවන්ත තත්වය යටතේ කාර්යාලයේ කිසිවෙකුට කතා කරන්නට නොහැකි බව මට පසක් විය.

දුරකථන අංක මතකයේ තබා ගත් සමය නිමා වී බොහෝ කල් ය.

පැරණි කාර්යාලයට වඩා තරමක් අපේ නිවසට ලඟින් පිහිටා ඇති අලුත් කාර්යාලයට උදෑසන ම ගොස්, කලින්ම නිවසට ඒ මා ඇරඹූ තුන්වෙනි දවසේ ම එය කඩාකප්පල් වී මා යතුරක් නැති මෝටර් රථය අසල අතරමං වීමි!

මෙහිදී මා උගත් ප්‍රධානතම පාඩම වනුයේ නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවයි. එසේම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවයි.

ඒ පාඩම නම් අප බොහෝ දෙනෙකු දැනටමත් දන්නා එකක් විය හැකි ය.

තවත් වැදගත් පාඩමක් තිබේ.

එය හෙට ලියමි!
https://rasikalogy.blogspot.com/2016/05/not-unhappy-at-all.html

-රසිකොලොජිස්ට්

(image: http://www.thinkstockphotos.ae/image/stock-photo-keys-of-many-sizes-and-a-usb-memory/533442151)

Friday, 13 May 2016

ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle bet


අරක්කු හා සසඳන විට වතුරවලට වඩා සුළු ප්‍රමාණයක් පමණක් මද්‍යසාර ඇති බියර් බීමට අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොපෙළඹුනේ, බියර් බීමෙන් රුපියලකට ලැබෙන මත්වීම අරක්කුවලට සාපේක්‍ෂකව ඉතා අඩු නිසා බව මම ඊයේ පළ කළ ලිපියේ ලීවෙමි.

සිව් වසරක් පේරාදෙණියේ ගත කර, මුල් රැකියාව ලෙස නුවර එළියට ගිය පසු, ඒ පරිසරය නිසාත්, අතේ මුදල් ගැවසුණු නිසාත්, ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් විය.

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවේ ඒ දිනවල ය.

මේ ඒ කතාවයි.

මා මුල්ම රැකියාව කළේ, නුවර එළියේ පිහිටි, එකල ඇඩ්ලර් නම් වූ ජර්මන් සමාගමකට හිමිව තිබුණු ඉන්ටර් ෆැෂන් නම් ඇඟලුම් කම්හලේ ය. මේ කතාවේ මා ජර්මන්කාරයා යනුවෙන් හඳුන්වන්නේ ෂීරා නමැති ඒ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකරුවා ය. සහකාර නිෂ්පාදන කළමනාකාර පුහුණුවන්නෙකු ලෙස සේවය අරඹා තිබුණු මගේ බොසා ද ඔහු විය.

ජර්මානුවො බියර් බීමට රුස්සෝය. ඔවුන් බියර් බොන්නේ පයින්ට් එකේ හෝ ඊටත් වඩා විශාල විදුරු වලිනිි. ඔක්ටෝබර්ෆෙස්ට් නමින් හැඳින්වෙන ජර්මානු බියර් උත්සවය ලෝක ප්‍රසිද්ධ එකකි.

මා මීට වසර තුනකට පමණ පෙර ජර්මනියේ දී දුටු පරිදි, සෑම සිල්ලර කඩයක ම පාහේ බියර් (වයින් සහ අනෙකුත් මත්පැන් වර්ග) විකුණන්නට තිබෙන අතර, ඒවායේ මිල ද, ඕස්ට්‍රේලියාවට සාපේක්‍ෂව ඉතා අඩු විය.

නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෲවරියේ බියර් කඩෙන් කරාමයෙන් වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට අප ඉඳහිට ගිය විට, අපේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇතැම් ජර්මානු ජාතිකයින් ද එහි පැමිණ බියර් බොනවා පෙනේ. ඇතමෙකු ආපසු නිවසට යන්නේ බියර් බෝතල් විසි හතරකින් යුතු ක්‍රේට් එකක් මිලට ගෙන එය තම වාහනයේ පටවාගෙන ය.

මගේ කළමනාකරණ පුහුණුවේ සති හතරක් පිරීමටත් කලින්, හදිසියේම මා පුහුණුවෙන් ඉවත් කර, කර්මාන්ත ශාලාවේ රෙදි කපන අංශයේ නිත්‍ය තනතුරකට පත් කරන ලදී. එයට හේතුව වූයේ, මගේ සුපිරි දක්ෂකමකටත් වඩා, මා ඒ අංශයේ මා සති දෙකක් පමණ පුහුණවක් ඒ වන විට ලබා සිටීමත්, එහි කෝඩිනේටර් නම් තනතුරේ කටයුතු කළ තිලක් නම් පුද්ගලයා, සති අන්තයේ නිවාඩුවට කොළඹ පිහිටි තම නිවසට ගොස් ආපසු පැමිණ නොසිටීමත් ය. එහි කලින් පුහුණුව ලැබූ අයට සාපේක්‍ෂව මා ඒ තනතුරට සුදුසු බව ෂීරාට වැටහී තිබෙන්නට ඇත. අපට "වර්ක් ස්ටඩි" නම් ක්‍රමවේදය උගන්වන්නට ජර්මනියෙන් පැමිණ සිටි වෙයිස් නම් පුහුණුකරුවා ගේ පැසසුමට මා ලක් වී තිබීම ද බොහෝ විට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ ඇති වුණු ක්‍ෂණික වෙනසෙන් මම ඉතා සන්තෝෂයට පත් වීමි. මූලික පඩියේ වැඩි වීමක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අටේ-පහේ (එනම් දිවා කාලයේ) රැකියාවක් වුව ද, එය කාර්ය බහුල එනිසාම, අතිකාල දීමනා බහුලව ලැබෙන රැකියාවකි. නිවසෙන් පිට බෝඩිමක ජීවත්වෙන, කළ යුතු වෙනත් කාර්යක් නැති අවුරුදු විසි තුනක තනිකඩයෙකු වූ මට කාලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබුණි!

දින දෙකකින් පමණ ගමේ ගිය තිලක් ආපසු වැඩට පැමිණියත්, ඔහු සමග මටත් දිගටම ඒ අංශයේ සේවය කරන ලෙස ෂීරා පවසා සිටියේ ය. තවත් සති කිහිපයකින්, අප දෙදෙනාට දිනකට පැය දොළහ බැගින් දවසේ පැය විසි හතර ආවරණය කරන ලෙස නියම විය. මේ කර්මාන්ත ශාලාව සතියේ දින හයක්, දවසේ පැය විසි හතරම නොනවත්වා නිෂ්පාදන කටයුතු කෙරෙන තැනකි.

තවත් මාසයක් පමණ ගෙවී ගිය පසු නැවතත් සති අන්තයේ කොළඹ ප්‍රදේශයේ තම නිවසට ගිය තිලක් සඳුදා සේවයට පැමිණියේ නැත. මා එහි සිටි නිසා, විශාල ප්‍රශ්නයක් ඇති නොවුණි.

දෙවෙනි දිනය ද උදාවිය. තිලක් එදින ද පැමිණියේ නැත.

මගේ මේසය අසලට පැමිණි ෂීරා "අයි ඩොන්ට් තින්ක් තිලක් විල් කම් ඇට් ඕල් දිස් ටයිම්, අයි විල් ගෙට් යූ සම් හෙල්ප්!" යැයි කීවේය.

"නෝ, හී විල් කම් ප්‍රොබබ්ලි ටුමාරෝ" මම කීවේ, තිලක්ට කලින් වාරයේ මෙන් අසනීපයක් වැළඳි ඇතැයි සිතමිනි.

"නෝ, හී වෝන්ට් කම් දිස් ටයිම්. හී ප්‍රොබබ්ලි ගොට් අනදර් ජොබ්" ෂීරා නැවත කීවේය.

තමන් නොදන්වා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවකට යන බවට ඉඟියක්වත් තිලක්ගෙන් මට ලැබී නොතිබුණු නිසා, මම මුරණ්ඩු ලෙස මගේ මතයේ ම සිටියෙමි.

ෂීරා සහ මා අතර ඒ කතාබහ අවසාන වූයේ තිලක් ගේ පැමිණීම නොපැමිණීම ගැන අප දෙදෙනා බියර් බෝතලයක ඔට්ටුවකට එකඟ වීමෙනි.

පාසලේ දී අෂාඩ් පෙරේරා සමග මා ඇල්ලූ ඡන්ද ඔට්ටුවෙන් දිනුවා මෙන් මෙවර ද මට ජය ලැබේ යැයි මම සිතුවෙමි.

නමුත් තිලක් යළි අපේ කම්හලේ සේවයට පැමිණියේ නැත.

සතියකට පමණ පසු, තමන් රැකියාවෙන් අස්වෙන බව කියා තිලක්ගෙන් විදුලි පණිවිඩයක් ලැබී තිබුණි. මා ද පසුව වටහා ගත් පරිදි, ඒ දිනවල සාමා්‍යයෙන් විදුලි පණිවිඩයක් කොළඹ සිට නුවර එළියට ඒමට දින තුන හතරක් ගතවේ!

විදුලි පණිවිඩය රැගෙන මවෙත පැමිණි ෂීරා ජයග්‍රාහී විලාසයෙන් "යු ලොස්ට් ද බෙට්!" රසික කියා කීවේ ය.

මම පරාජය භාර ගත්තෙමි.

එදින හවස, අරවින්දනාදන් ද සමග නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෘවරියේ බියර් කඩේට ගිය මම, ඔහු සමග චීස් සහ ක්‍රීම් ක්‍රැකර් කමින් පිල්ස්නර් බෝතල් දෙකක් ද හිස් කොට, තවත් බෝතලයක් මිලට ගෙන, පයින් ම හාවා එළියේ පිහිටි කම්හල වෙත පැමිණ, ඒ වන විටත් කම්හල තුළ සේවය කරමින් සිටි ෂීරා පිටත්ව යන මොහොතේ දී ඔහු ගේ මෝටර් රථය ගේට්ටුව අසල නවත්වා ගෙන, බෝතලය ඔහුට දී, ඔට්ටුවේ කොන්දේසිය ඉටු කළෙමි.

අපට ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවූයේ, මත්පැන් කිසිවක් කම්හල් පරිශ්‍රය තුළට ගෙන යාමේ තහනමක් තිබුණු බැවිනි!

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් අල්ලා පැරදුණු කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. නොබී සිටීමට අපහසු ම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කිසිදාක මත්පැන් නොබී සිටියොත් එය වඩා හොඳ ය.

(image: Google street view)

Thursday, 12 May 2016

බියර්, බියර්, බියර්!!! (බියර් මතක කිහිපයක්) - Beer, beer, beer


මා මුලින්ම බියර් බිඳක් තොල ගෑවේ උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට යාමට කල් මරමින් සිටි ගන්ධබ්බ සමයේ එක් දිනක ඥාතී නිවසක පැවති වැඩිහිටියන් ගේ සාදයක් අතර මැද දී ය. ඒ වන විට මා වයස දහ අටක් සම්පුර්ණ කර තිබුණු බව හදිසියේ දෝ මතක් වූ කරුණාවන්තයෙකු විසින්, බියර් බිඳක් කුඩා වීදුරුවකට දමා හොරෙන් මෙන් මට දෙන ලදී.

ඒ බියර් උගුරු එක හමාරේ අමුතු රසයක් හෝ නීරසක් හෝ මට දැනුණා යැයි දැන් මගේ මතකයේ නැත. නමුත්, කිසිමාකාරයක මත් වීමක් නම් ඉන් ඇති නොවුණු බව ඉඳුරාම කිව හැකිය.

විශ්ව විද්‍යාල සමයේ දී, නවකවද සමය අවසාන වූ දිනයේ, වසරවසාන විභාගයේ අවසන් දිනයේ, ප්‍රතිඵල නිකුත් වූ දිනයේ, වාර්ෂික චාරිකා දිනයේ වැනි අතළොස්සක් දිනවලදී, රහමෙර බිඳක් එහෙන් මෙහෙන් තොල ගෑවුණද, බියර් නම් ඇස නොගැටුනා හා සමාන විය.
එයට මූලිකම හේතුව වූයේ, අපේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව බව අමුතුවෙන් කිව යුතු නැත.

එක රුපියලකට වැඩිපුර මත් වෙන්නේ අරක්කු බීමෙන් වූ කළ, දරිද්‍රතාවයේ ගිලුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බියර් බීමට පෙළඹෙතොත් එය පුදුමයකි. බියර්වල අඩංගු මද්‍යසාර ප්‍රතිශතය 5%ක් පමණ වූ අතර, අරක්කුවල එය 30%-35%ක් පමණ වූයේ යැයි සිතමි.

විශ්ව විද්‍යාල දෙවන වසරේ අග භාගයේ දී, මාස දෙකහාමරක් පමණ කාලයක් නුවර එළියේ ඉඳිකිරීමේ වැඩ බිමක කල් ගෙවන කාලයේ, නගරයේ එක් විදියක පිහිටි සිලෝන් බෲවරියේ කඩයට ආශාවට මෙන් දෙවරක් පමණ මම ගොඩ නැගී ඇත්තෙමි. ඒ කඩයේ තිබුණු ලොකුම ආකර්ෂණය වූයේ, බෝතලයක් කඩා නොව, කරාමය හැර වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට හැකි වීමයි.

මේ කාලයේ එක් දිනක්, මා කුරුණැගල බස් නැවතුම අසල පිහිටි, ගෙඩි සහිත බිලිං ගසක් වටකර සාදා තිබුණු, හෝටලයේ පොඩි පහේ ප්‍රේම සල්ලාපයක යෙදෙමින් සිටියෙමි. මට නුදුරු මේසයක සිටියෙකු කෑමට පෙර පාවිච්චිය සඳහා බියර් බෝතලයක් ද, සෝඩා බෝතලයක් ද ගෙන්වා ගෙන ඒවා මිශ්‍ර කර බොනු දැක මම පුදුමයට පත්වීමි. යාන්තම් මද්‍යසාර 5% අඩංගු (එනම් 95% වතුර සහිත) බියර් තවත් කුමකට තනුක කරන්නේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයයි.

ඇත්තටම කියනවානම් බියර් හොඳ වන්නේ අරක්කු තනුක කිරීමටයි!

එහෙත්, මත්පැන් පානයේ දී බියර් සහ අරක්කු කවලම් වුණොත් සිදුවෙන ඩෝප් වීම, ඒ ද්‍රව්‍ය වෙන වෙනම පානය කළ විට සිදුවෙන ඩෝප් වීමට වඩා බොහෝ වැඩි බවට ඒ දිනවල අප අතර කතාවක් පැතිර තිබුණි. නමුත්, එවැන්නත් ප්‍රායෝගිකව එය අත්විඳ තිබුණු අයෙකු නම් අප අතර නොවීය.

එක් දිනක් මට ම ඒ කතාව සත්‍යයක් බව අත්දැකීමෙන් ම වටහා ගැනීමට ඉඩ ලැබුණි. හොඳ වෙලාවට මට එදා ඒ ආකාරයෙන් මුදලට වඩා වෙරි වීමට තරමක අවශ්‍යතාවක් ද ඇතිවී තිබුණි. ඒ පුද්ගලික ජයග්‍රහණයක් තනිව ම සැමරීමටයි.

නමුත්, එදා මා කොයි තරම් මත්වූයේ ද කිවහොත්, අර පුද්ගලික ජයග්‍රහණය පසුවදා ම මට අහිමි වෙන්නට ගොස්, යාන්තම් ජාම් බේරා ගත්තේ ඉතා අසීරුවෙනි!

ඒ වසර අග දී මගේ මුල්ම රැකියාව ලෙස දෛවා්පගත අයුරින් නැවතත් නුවර එළියටම යාමට සිදුවුණු සඳ, මට නවාතැන් ගන්නට ලැබුණේ සිලෝන් බෲවරියට අල්ලපු වැටේ පිහිටි මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නිල නිවසක ය. එපමණක් නොව කාලයක් තිස්සේ ආහාර ගත්තේ ද, බ්‍රෘවරියේ නිල නිවාසක ජීවත් වූ පවුලක සාදර අනුග්‍රහයෙනි.

දවසේ තුන් තිස් පැයම බියර් මල් සුවඳ දරා ගනිමින් ඒ කාලයේ අපි ජීවත් වීමු. ඉඳහිට දවසක පෙර කී කරාමයෙන් වීදුරුවට දැමෙන ඩ්‍රාෆ්ට් බියර් බීමට හැකි කඩයට ගොඩ වැදී, කරාමයෙන් ද, සාමාන්‍ය බෝතලයෙන් ද බියර් රස වින්දෙමු.

මේ ආකාරයට ටිකෙන් ටික බියර් ගැන යහපත් අදහසක් සිත තුළ ඇති කර ගැනීමට හැකි විය. අපේ ආර්ථික තත්වය ද යහපත් වී තිබීම එයට ප්‍රධාන හේතුවක් විය.

මගේ ජර්මානු ජාතිකයෙකු සමග බියර් බෝතලයක ඔට්ටුවක් ඇල්ලුවේ ඒ මගේ ජිවිතයේ නුවර එළිය දිනවල දී ය.

ඒ කතාව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. අවශ්‍යම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මත්පැන් නොබී සිටින්නට හැකි නම් වඩාත් හොඳය.

(image: http://www.alamy.com/stock-photo/crates-of-beer-shop.html)

Wednesday, 4 May 2016

ලොකු වෙනසක් අත ළඟ! - Coming colour no good guys!


මගේ වෘත්තිය දිවියේ විශාල වෙනසක් ළඟදීම සිදුවීමට නියමිතයි.

මේ පිළිබඳව මා කලක සිට දැන සිටියද, දැන් දැන් ඒ වෙනසට පසු ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව වඩාත් හොඳින් දැනෙමින් පවතී!

මෙය සේවායෝජකයාගේ වෙනසක් නොවේ. තනතුරේ වෙනසක් ද නොවේ. කළමනාකරුගේ වෙනසක් ද නොවේ. නිකම්ම නිකන්, කාර්යාලය පිහිටි ස්ථානයේ වෙනසක් පමණි. නමුත් මෙය සැම අතින් ම විශාල වෙනසකි.

මැයි මස 16 දින සිට අපේ කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට නියමිතයි.

මගේ වත්මන් ගම වන සුන්දර ග්ලෙන්මෝ පාර්ක් හි සිට මා ළඟම දුම්රිය ස්ථානයට මෝටර් රථයෙන් ගොස් එතැන් සිට සිඩ්නි නගරයේ මගේ කාර්යාලය පිහිටි ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කරන බව කලකට පෙර රසිකොලොජියේ ලිව්වෙමි. ඒ ගමන සඳහා මට පැය එකහමාරක් පමණ වැයවේ. එනම් දිනකට පැය තුනක් මා මහ මග ය!

එය දිගු කාලයකි.

නමුත් ඒ පැය එකහමාරේ එක් ගමනකින් පැයකටත් වඩා ගත වෙන්නේ දුම්රිය මැදිරියක සුව පහසු ආසනයක් මත නිසා, එක්කෝ පොතක් පත්තරයක් කියවන්නටත්, නැතිනම් ලැප්ටොප් යන්ත්‍රය දිග හැරගෙන බ්ලොග් ලිපියක් ලියන්නටත්, නැතිනම් ජංගම දුරකථනයෙන් ඊ-මේල් කියවන්නට හෝ ෆේස්බුක් සමාජජාලයේ සැරිසරන්නටත්, එසේත් නැතිනම් හොඳ හැටි නිදාගන්නටත් මට අවස්ථාව ලැබේ.

සාමන්‍යයෙන් මම උදෑසන ගමනේ දී බොහෝ විට පරිගණකයේ ලිපි ලියමි. නැතිනම් පොතක් බලමි. රාත්‍රී දිගු නින්දෙන් අවදි වී පැයක්වත් ගත වී නැති නිසා, නිදිමතක් නම් නොදැනේ.

හවස ගමනේ දී නම්, පොතක් දිග හැරිය විගස නිදිමත ඒම වැළැක්විය නොහැක. එනිසා, මා බොහෝවිට කරන්නේ පොත් දිග නොහැර ම නිදා ගැනීමයි. නැතිනම් ජංගම දුරකථනයෙන් ෆේස්බුක් සමාජජාලයේ සැරීමයි.

අද මේ සවස් වරුවේ නම් මා කරන්නේ මේ ලිපිය ලිවීමයි!

ඇත්තටම, මා දුම්රියේ ගත කරන ඒ කාලය මට සැම අතින්ම විශාල වශයෙන් ප්‍රයෝජනවත් කාලයකි. එහි කිසිදු නාස්තියක් මට නම් නැත!

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි මස තුන්වෙනි සතියේ සිට අපේ කාර්යාලය දැනට එය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශයේ සිට ගෙන යනු ලබන්නේ පැරමටා නම් නගරයට ය.

පැරමටා යනු, මගේ නිවස පිහිටි ග්ලෙන්මෝ පාර්ක් ගම්මානයට, උතුරු සිඩ්නි ප්‍රදේශයට වඩා ළඟින් පිහිටි උප නගරයකි.

මේ වෙනසට අනුව, මා දිනකට දුම්රියේ ගත කරන කාලය දැන් පැය දෙකයි විනාඩි විස්සේ සිට පැයක් දක්වා අඩු වෙනු ඇත. එනම්, මගේ දුම්රිය ගමන එක් වරකට විනාඩි තිහක් දක්වා සීමා වෙනු ඇත!

දුම්රියට නැග, හරිබරි ගැසී වාඩි වී, ලැප්ටොප් යන්ත්‍රය දිග හැර වැඩ පටන් ගෙන, ලියන්නට ඇති දේ සිතේ ගලපා ගෙන, තවත් සුලු මොහොතකින් ම, මට පරිගණකය වසා දැමීමට සිදුවෙනු ඇති බව පෙනේ.

ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක් වනු ඇත්තේ, හවස් වරුවේ පැරමටා නැවතුමෙන් දුම්රියට ගොඩවුණු පසු, එතැන් සිට ගමනාන්තයට දක්වා පරිගණකයේ වැඩ කරමින් ගමන් කළ හැකි ආකාරයේ අසුනක් සැමවිටම මට ලැබේද යන්නයි.

ඒ අනුව මා එක් දිනකට දුම්රියේ ලේඛන කටයුතුවල යෙදෙන කාලය අඩ පැයකටත් වඩා සීමාවීමට ඉඩ ඇත.

මගේ බ්ලොග් ලිවීම තරමක් හෝ අඩපණ වෙනු ඇති බව පෙනේ.

එනිසා, දවසේ මා අතරමග ගෙවන කාලය විශාල වශයෙන් අඩු වුණද, දොළොස් වසරක් තිස්සේ ගමේ සිට රටේ ප්‍රධාන නගරය දක්වා සතියේ දිනවල නිතිපතා ගිය ගමන මෙලෙස සීමාවීම ගැන මගේ සිතේ ඇති වන්නේ ලොකු දුකකි.

බලමු, බලමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාර්යාලයේ තැන් මාරුව නිසා පුද්ගලිකව මට ඇති වන වෙනස එය පමණක් වුවද, පොදුවේ මගේ කාර්යාලයේ සියලු දෙනාට ඊටත් වඩා විශාල වෙනස්කම්වලට භාජනය වීමට සිදුවෙනු ඇත.

ඒ විස්තරය ලිවීම පසුවට කල් තබමි.

මගේ ගමනාන්ත දුම්රිය නැවතුම දැන් අත ළඟය.