Showing posts with label ඕස්ට්‍රේලියාව. Show all posts
Showing posts with label ඕස්ට්‍රේලියාව. Show all posts

Monday, 4 November 2024

චූවක දුර - A new measure of distance


"චූවක දුර" යනු මවිසින් සොයා ගත් අලුත් ම දුර මනින ඒකකයකි.

"හූවක දුර" යන දුර මැනීමේ ඒකකය පිළිබඳ අපි සියලුදෙනා ම අසා ඇත්තෙමු. ඔබ එක් තැනක සිට "හූ" හඬක් නැගූ විට එය ඇසෙන දුර ප්‍රමාණය හූවක දුර වේ.

මා සොයාගත් අලුත් මිනුම් ඒකකය ද ඒ ආකාරයේ ම එකකි.

"චූවක දුර" මා අර්ථදක්වන්නේ මෙලෙස ය.

ඔබ වෙනත් අයකු සමග ව්‍යායාමය පිණිස ඇවිදීමේ මගක ගමන් කරමින් සිටිය දී ඔබට මුත්‍රා කිරීමට අවශ්‍ය වුණේ යැයි සිතන්න. එවිට ඔබ මේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ මාර්ගය අසල පිහිටි වැසිකිළියක් තුලට යනු ඇත.

ඔබේ ගමන් සගයාට ඔබ ආපසු එන තුරු වැසිකිලිය අසල නතර නොවී සිට දිගට ම ගමන් කරන ලෙස කියා ඔබ වැසිකිළිය තුළට ගොස් චූ බරෙන් නිදහස් වී එළියට පැමිණෙන මොහොත වෙන විට ඔබේ ගමන් සගයා එතන සිට ගමන් කර ඇති දුර "චූවක දුර" ලෙස අර්ථ දක්වමි.

හූවක දුර යන මිනුම හූ කියන්නාගේ කටහඬේ තීව්‍රතාව, අවට පරිසරයේ හුළං හමන දිශාව සහ පරිසරයේ වෙනත් ශබ්ද ආදිය මත රඳා පවතින නිශ්චිත මිනුමක් නොවන්නා සේ ම, හූවක දුර යන්න ද ඔබේ චූ බරේ ප්‍රමාණය සහ ගමන් සගයාගේ ගමන් කිරීමේ වේගය මත රඳා පවතින බව සැලකිය යුතුයි.

අයිසෙක් නිවටන් ගුරුත්වාකර්ෂනය පිළිබද සංකල්පය ඉදිරිපත් කළේ ඇපල් ගසක් යට දී ලද අත්දැකීමක් අනුසාරයෙන් බව අපි දනිමු. මේ "චූවක දුර" සම්බන්ධ මුල් අදහස මගේ සිත ආවේ, සහ, ඒ ඇසුරෙන් මේ සංකල්පය මා ගොඩනැගුවේ ප්‍රායෝගිකව ඒ හා අදාල අත්දැකීම ලැබීම හරහා බව අමුතුවෙන් කිව යුතු යැයි නොසිතමි.

මේ ඉහළින් පළ කර ඇත්තේ ද, ඒ වැසිකිළියයි. මෙය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ, පෙන් රිත් (Penrith) නගරය හරහා ගලා යන නේපියන් (Nepean) ගංගාව අසබඩ පිහිටා ඇති මනරම් උද්‍යානයේ ය. ගඟ තරණය කිරීමට සාදා ඇති මගී පාළමක් සහ මහා-මාර්ග පාළමක් උපයෝගී කරගෙන නේපියන් ගංගාවේ ඉවුරු දෙක අසබඩ ඇති ඇවිඳින මංතීරු ඔස්සේ අපට කිලෝමීටර් හතක පමණ පා ගමනක යෙදිය හැක.

ගිය වසරේ (2023) ජූනි මාසයේ දී ගිය ඒ පාගමනේ දී මා සොයාගත්, එදිනම ෆේස්බුක් එකේ පළ කළ මේ "චූවක දුර" මිනුම් සංකල්පය මෙලෙස රසිකොලොජි බ්ලොගයට එකතු කරන්නට සිහිවූයේ ඊයේ නැවතත් ඒ මග ගිය බැවිනි.

- රසික සූරියආරච්චි

Sunday, 12 November 2023

අවුරුදු විසි හතරක් පැරණි ටී ෂර්ට් එකක කතාව - Old and gold...!!!


ඒ 1999 වසරයි.

ඒ කාලයේ සාමාන්‍යයෙන් ඉරි සහිත ටී ෂර්ට්වල ඉරි තිබුනේ හරහට ය. ඒවා ඇන්ද විට, දෘෂ්ටි ප්‍රයෝගයක් නිසා, තමන්ගේ ප්‍රමාණයට වඩා මහතට පෙනෙන බව රහසක් නොවේ.

උඩ සිට යටට ඉරි තිබෙන ටී ෂර්ට් තිබුණේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

එනිසා ඒ වසන්තයේ (සැප්තැම්බර්) ටාගට් නම් සාප්පුවේ ඔබ මොබ ඇවිදින මගේ නෙතට මේ ටී ෂර්ට් එක රසඳුනක් විණි.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් විය.

එහි විකුණුම් මිල ඩොලර් 39.90 කි.

ටී ෂර්ට් එක කොච්චර ලස්සන වුණත් එතරම් මුදලක් වියදම් කිරීමට කිසිසේත්ම නොසිතූණි. කොහොමටත් මේ කියන කාලයේ ඩොලර් හතළිහක් යනු විශාල මුදලකි. එනිසාම මම එය මිලට නොගත්තෙමි.

එයට තවත් වැදගත් කාරණයක් ද හේතු විය.

එනම්, සාමාන්‍යයෙන් මේ කඩසාප්පුවල කෙරෙන පරිදි වසන්ත කාලය අවසාන වී, ගිම්හානයේ ද අඩක් පමණ ගෙවෙන විට, එනම් දෙසැම්බර් ක්‍රිස්මස් කාලය නිම වූ පසු අත් කොට කමිස සහ කොට කලිසම් වැනි ග්‍රිස්ම කාලේ අඳින ඇඳුම්වල මිල විශාල ලෙස අඩු වීමයි. මේ ටී ෂර්ට් එක මා මිල දී ගන්නවා නම් ඒ මිල දී ගන්නේ මට අඳින්නට ඇඳුමක් නැති නිසා නොව, එහි ඇති පියකරු බව හේතුවෙන් නිසා කිසිම හදිසියක් ද නැත.

ඉතින් මම ඉවසා සිටියෙමි.

ජනවාරි මාසයේ මුල් සතියේ පමණ සාප්පුව පිහිටි ප්‍රදේශයෙන් යන විට ගොඩවැදී බැලුවෙමි. ටී ෂර්ට් එකක මිල ඩොලර් 10 කින් අඩු වී තිබුණු අතර තවත් ටී ෂර්ට් සෑහෙන ප්‍රමාණයක් විකිණීමට තිබුණි.

මේ ටී ෂර්ට් එක හිමිකර ගැනීම සඳහා ඩොලර් තිහක් පමණ ගෙවීම ද අනවශ්‍ය යයි මට සිතුණි.

තව කල් බලමි.

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යැයි කියවේ.

එයින් කුමක් අදහස් කෙරුණේ වුව ද තවත් මසකට පමණ පසු මා දුටුවේ ටී ෂර්ට් කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවත් ඉන් එකක අලුත් විකුණුම් මිල ඩොලර් 19.90 බවත්ය.

මේ මා ඇඳගෙන සිටින්නේ එදා මිල දී ගත් ටී ෂර්ට් එකයි.

මට ටී ෂර්ට් දුසිම් හතර පහක් ඇති නිසාත්, ටී ෂර්ට් අඳින්නේ ගිම්හාන කාලයේ සහ ශ්‍රී ලංකාවේ දී පමණක් නිසාත්, අවුරුදු විසි තුනකට පසුව ද එය සාපේක්ෂව ඉතා හොඳ තත්ත්වයේ පවතී.

ඇත්තටම කියනවනම් සාමාන්‍යයෙන් මා ටීෂර්ට් එල්ලා තබන ස්ථානයේ නොව, වෙනත් කාමරයක කබඩ් එකක උඩ තට්ටුවේ මුල්ලකට වී තිබුණු මේ ටී ෂර්ට් එක මගේ ඇස ගැටී සේදීමෙන් පසුව මා අද මේ ඇන්ඳේ අවුරුදු හතරකට පමණ පසුව යයි සිතමි.

මගේ සිරස් ඉරි ඇති මේ ටී ෂර්ට් එක තව දිගු කලක් දිනේවා!

- රසික සූරියආරච්චි

ප/ලි
ඔය කාලෙන් පසු උඩ සිට යටට සිරස් අතට ඉරි තිබෙන ටීෂර්ට් බහුල ලෙස වෙළඳපලට පැමිණුනි.

Monday, 14 August 2023

ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්! - Private money for higher education industry


මං "මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!" කියන අපේ කාලේ කැම්පස් කතාව දවස් දෙකතුනකට කලින් පළ කළේ, අවුරුදු එකොළහකටත් වඩා කලින් ලියා තිබුණු මේ ලිපියත් පළකරන්න හිතාගෙනයි.

පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සහ පක්ෂව (එදා වගේ ම අදත්) කෙරෙන විවාදයට සම්බන්ධ වෙලා "මගේ අත්දැකීම්" අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුමක් ඉදිරිපත් කිරීමයි මගේ අදහස.

මෙතන "මගේ අත්දැකීම්" කියන්නේ රටවල් තුනක විශ්වවිද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්වවිද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේ දී ම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විසි දෙකකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

මොකක්ද මෙතන කේස් එක?
ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්වවිද්‍යාලවල ඉඩ නැති වීම.

ඒකට හේතුව මොකක්ද?
හේතුව තමයි විශ්වවිද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම.

ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?
ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?
ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

ශතවර්ෂ හතක් අටක් පරණ විශ්වවිද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි ම හිතන්නේ. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේ ම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන ලංකාවේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්වවිද්‍යාලවලයි! එහෙම නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙකු ගැන දන්නවා නම්, මට ඒ විශ්වවිදයාලයේ නම කියන්න කෝ.

මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදලාලි ලා සල්ලි දාලා පටන් ගත්ත ඒවා නොවෙයි!

සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්වවිද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවා ද?

පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්වවිද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?
ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට කාලෙකට ඉස්සර දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන් ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරඹුවේ!

අදත් ඒ කතාබහ එලෙසම තියෙනවා.

ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ මීට වඩා සල්ලි නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ? කොහොමද ඒවා රජයේ විශ්වවිද්‍යාලවලට යොදාගන්නේ?
ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ළඟයි.

ඒ මුදල් ලබාගන්න නම් විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

උදාහරණයකින් පැහැදිලි කළොත්?
හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකට ම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

"උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය" කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.

http://en.wikipedia.org/wiki/HECS#HECS

මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?
හොඳම වාසිය තමයි කපා කපා කෑලි කපා දැම්මත්, රට ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න බලාගෙන නිෂ්මිලා, බාලේලා, වෙනුරලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුණත් මේකට එකඟ වෙන්න පුළුවන්වීම.

ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක් ද?

සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

පුද්ගලික විශ්වවිද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා.

මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!
https://rasikalogy.blogspot.com/2023/08/case-for-private-universities.html


-රසික සූරියආරච්චි

ප/ලි:
හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

(image: )

Thursday, 5 August 2021

රටගිය ඇත්තන්ගේ වර්ගීකරණය - My classification of SL migrants



මේ සටහනේ මුල් සංස්කරණය ලියවුණේ ඉහත පළ කර ඇති කතෘ අඥාත ඇස ගැටුණු වෙලේ ය. එය ෆෙස්බුක් අවකාශයේ කිහිප තැනකම බෙදා හැරිය පසු මට බ්ලොගය ද සිහිවිය. මේ දෙවන සංස්කරණය සකසන්නේ ඒ සඳහා ය.

ලංකාවෙන් පිටත වෙනත් රටක ජීවත්වෙන අතරතුර ලංකාව සෑදීම සඳහා කුඩා හෝ දෙයක් කිරීම මානසික රෝගයක් නම් ඒ රෝගය වැළඳුණු අය කොටස් කිහිපයක් සිටිනා බව මගේ නිරීක්ෂණය අනුව කිව හැක.

1. පළමුවෙනි කණ්ඩායම
ලංකාවේ ගංවතුරක් හෝ වෙනත් ව්‍යවසන තත්ත්වයක් හෝ ඇති වූ විගසම තමන් ජීවත් වෙන රටේ පිහිටුවාගෙන තිබෙන විවිධ සංවිධාන හරහා මුදල් එකතු කර ඒ මුදල් හෝ එරටෙන් මිල දී ගන්නා භාණ්ඩ හෝ ලංකාවට යවන සංක්‍රමණික පිරිස.

මෙවැනි ව්‍යාපෘති කිහිපයකටම අපට ද සහභාගි වන්නට ඉඩ ලැබුණි. උදාහරණයක් ලෙස ඉතාම ආසන්නයේ දී අප සම්මාදම් වූ ලංකාවේ කෝවිඩ් රෝගීන් සඳහා රෝහල්වලට වෛද්‍ය උපකරණ යැවීමේ ව්‍යාපෘතිය නම් කළ හැකි යි.

2. දෙවන කණ්ඩායම
තම තමන් ගෙන ගත් පාසැල් හෝ විශ්වවිද්‍යාල හෝ පදනම කරගනිමින් කුඩා කණ්ඩායම් වශයෙන් විද්‍යාර්ථීන්ගේ සංගම් සහ ආදි ශිෂ්‍ය/ශිෂ්‍යයා සංගම් ගොඩනඟාගෙන ඒ හරහා මුදල් එකතු කර තමන් ඉගෙනගත් ආයතන වල විවිධ ව්‍යාපෘති සඳහා මුදලින් ආධාර කරන පිරිස.

මෙවැනි සංගම් කෙරෙහි මගේ කිසිම උනන්දුවක් නැති නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ දැනට විදෙස් රටවල වාසය කරන සගයින්ගේ මූලිකත්වයෙන් මේ සතියේ ලංකාවේදී අරඹන ඉංජිනේරු පීඨයේ ඊඕඊ පෙරේරා ශාලාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට මට සම්මාදම් වීමට අවස්ථාව ලැබුණි.

3. තුන්වෙනි කණ්ඩායම
විදෙස් රටවලදී තමන් උපයා ගන්නා මුදලින් පසුකලෙක ලංකාවේ විවිධ කර්මාන්ත, ව්‍යාපාර යනාදිය ආරම්භ කරන පිරිස.

එවැනි කිහිප දෙනෙකුව මා පුද්ගලිකව හඳුනන බව පවසමි.

4. සිව්වෙනි කණ්ඩායම
මීට අවුරුදු දොළහකට ඉහත කාලය දක්වා නොරටක හාන්සි පුටුවල වාඩි වී ලංකාවේ එවකට පැවති යුද්ධයට පොහොර දමමින් සිටි, යුද්ධයෙන් රට හදන්නට තැත් කළ සිංහල මෙන්ම දෙමළ පිරිස්

යුද්ධයේ අවසානයෙන් පසු ඔවුන්ගෙන් සමහරු වහල් හිමියා යටතේ වහලුන් ලෙස හැසිරෙමින් ලංකාව හදන්නට පටන් ගත් බව දක්නට ලැබුණි. තවමත් ඒ වහල් භාවයෙන් මිදුණේ නැති පිරිසක් ද සිටින බව මගේ නිරීක්‍ෂණයයි. මෙයින් මා හිතන පරිදි බොහෝ දෙනෙකු ඉඩ ලද පළමු අවස්ථාවේදී ම ලංකාවේ පුරවැසිකම හැරදා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් තවදුරටත් ශ්‍රී ලාංකික පුරවැසකම නොමැති අයයි.

5. පස්වෙනි කණ්ඩායම
පෙර කී කිසිදු සංවිධානාත්මක කටයුතු වලට සම්බන්ධ නොවුණත් ද්විත්ව පුරවැසිභාවය ඇති, දෙරටේම තොරතුරු පිළිබඳව එක සේ උනන්දුවක් දක්වමින්, තමන්ට හැකි ආකාරයට රට සෑදීම සඳහා අර්ථයෙන් කෙසේ වෙතත් ධර්මයෙන් සම්මාදම් වෙමින් කල්ගත කරන පිරිසක් ද දැකගත හැකියි.

මීට අමතරව කෙළින් ම රට හැදීමේ ව්‍යාපෘති වලට සම්බන්ධ නොවුණත් පුද්ගලිකව තමන්ගේ දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට, වැඩිහිටි නිවාස ආගමික සිද්ධස්ථාන වැනි පුණ්‍යායතනවලට මුදල් යවන පිරිස නම් අති විශාලයි. ඔවුන් ලංකාවේ විදෙස් විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට ලොකු සේවයක් කරන අතර එමගින් රට හැදීමට දායක වෙන බව ද පැවසිය යුතුයි. ඉහත රූපය සාදා ඇත්තේ ඉහත පිරිස් ගැන නොවේ.

පසුගිය කාලය තුළ මා නිරීක්‍ෂණය ඇති කරුණක් නම් ලංකාවේ වෙසෙන සමහරුන්ට ලංකාවෙන් පිටත ජීවත්වෙන අය සමග මොකක් දෝ ආරවුලක් තිබේ. ඒ අය පිළිබඳව ද මගේ විශ්ලේෂණයක් ඇත.

එය පසුව ලියමි.

-රසික සූරියආරච්චි (image: from Facebook, creator unkown)

Friday, 21 August 2020

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Sunday, 15 April 2018

එසේ ම නොවේවා, වෙනත් විදියකට වේවා! - Dhananjaya Karunarathne's new year wish


ජනවාරි මුල් සතිය මෙන් ම, අප්‍රියෙල් මස මැද සතිය ද, "එසේම වේවා!" යන්න පට්ට පතුරු ගැසෙන යුගයකි. දිගු කලකට පෙර වෙනත් බ්ලොගයක ද ඒ ගැන ලිපියක් පළ වී තිබුණි.

http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

මේ පිළිබඳව මගේ මෑත කාලීන ප්‍රතිචාරය වූයේ ඕනෑ එකක් වේවා යැයි පැවසීමයි.



එහි සෑබෑ ම අරුත, "ඕනෑ කෙහෙල්මලක් වේවා!" යන්නයි.

නාට්‍යවේදී ධනංජය කරුණාරත්න දැන් උදා වී ඇති එසේ ම වේවා සමය පිළිබඳව පහත ප්‍රතිචාරය දක්වා තිබෙනු මම ඊයේ ෆේස්බුක් අවකාශයේ දී දුටුවෙමි.



සම්මතයෙන් පිට පනිනවා තබා එසේ කිරීමට සිහිනයකින් හෝ නොසිතන අයට ඒ ප්‍රකාශය ඇස් ඇරවන්නක් වෙනු ඇත.

අරුංගෙන් නොලැබුණු දේ මුංගෙන් හෝ මුංගෙන් නොලැබුණු දේ අරුංගෙන් බලාපොරොත්තු වෙමින් අරුං වෙනුවට මුං පත්කර ගෙන හෝ මුං වෙනුවට අරුං පත්කරගෙන, අවසානයේ දී අරුංගෙන් ද, මුංගෙන් ද බැට කන මෝඩයින්වන අපට අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි හොඳම දේ නම් එසේ ම නොවී වෙනත් දෙයක් වේවා යන්න බව පැහැදිලි ය.

මෙලෙස කයිය ගැසුවාට මේ ලියන මා ද, බොහෝ විට හැසිරෙන්නේ සම්මත සීමා තුළ ය.

ඊයේ සිනුවර පැවති සූර්ය සැණකෙළිය හෙවත් සම්මත ආකාරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී සම්මත සැකිල්ලේ කවි රැගත් සම්මත ආකාරයේ කවි කොළයක් විකුණමින් මම ඒ බව මොනවට ප්‍රදර්ශනය කළෙමි.



හැම වසරකම බක් මස මස රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියලු දෙනා

අද මෙම "ප්‍රදර්ශන භූමිය" වෙත එක් වී
හොඳ එකමුතු කමින් බැඳි එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියලු සැමසෙමු සන්සුන් වී

හොද්දට මිටි කිරක් තෙල් දමලා කන්න
සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
සවසට සයිකලෙන් පොඩි රවුමක් යන්න
ඇත්තට මට හිතෙනවා හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිණුම් හැම හොඳ හැටි තරවේවා
ලැබු නව වසර සැමටම ජය අත්වේවා!

-රසිකොලොජිස්ට්

(image: Photo by Mark Newsham, 2017 for Merrigong Theatre Company. Thanks to Edie Watt.)

Friday, 17 November 2017

විවාහ වීමේ සම අයිතිය සහ ඔසී-සිංහලයෝ - Australian marriage equavility and Australian Sinhala people


ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කල් ලිංගිකව පුරුෂයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකු සහ ලිංගිකව ස්ත්‍රියක ලෙස තමන්ව හඳුන්වා ගන්නා අයෙකු යන යුගලයක් අතර පමණක් කළ හැකිව තිබූ නීතිමය විවාහයට එළැඹීමේ අයිතිය, කිසිදු වෙනසක් නොමැතිව, එකී නිශ්චිත යුගලයෙන් පරිබාහිර යුගල සඳහා ද ලබාදීම සඳහා නීති සම්පාදනය කළ යුතු ද යන කරුණ පිළිබඳව මහජන මතය පිරික්සීම සඳහා පසුගිය දිනවල මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති තැපැල් ඡන්ද ජනමත විචාරණයේ ප්‍රතිඵල පේරේදා නිකුත් කෙරුණි.

ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.

එදින සවස් වරුවේ ම, කාලයක් තිස්සේ සාකච්ඡා මගින් කෙටුම්පත් කරමින් තිබුණු, නව විවාහ නීති පනතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, වාද, විවාද, සංශෝධන යනාදියෙන් පසුව අවශ්‍ය නීති දෙසැම්බර් මාසය වන විට සම්මත වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එයින් පසු, දැනට සිවිල්-එකමුතු නම් නිතිමය අවසරය පමණක් හිමි, විෂම ලිංගක නොවන ජෝඩුවලට, එනම්, ලිංගික පිරිමින් දෙදෙනෙකුට ද, ලිංගික ගැහැනුන් දෙදෙනෙකුට ද, සංක්‍රාන්ති ලිංගිකයින්ට ද, නීතිමය විවාහයට ඇතුළත් වීමට හැකිවෙනු ඇත.

දිගු කාලයක් තිස්සේ මා වාසය කරන ඕස්ට්‍රේලියාවේ සාකච්ඡා කෙරෙමින් තිබුණු විවාහ සමානතා ප්‍රශ්නයේ ඉතිහාසය හෝ අනාගතය පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට වඩා, මේ ඓතිහාසික අවස්ථාවේ දී මා අදහස් කරන්නේ, පෙර කී තැපැල් ජනමත විමසුම පැවති කාලයේ දී අපේ ඕස්ටේ‍ර්ලියානු සිංහලයින් අතර මා නිරීක්‍ෂණය කළ කරුණු කිහිපයක් විස්තර කරන්නටයි.

මූලික ම මට කීමට යුත්තේ, තැපැල් ජනමත විමසුමේ දී විවාහ සමානතාවයට අකමැති යැයි ඡන්දය දුන් මා දන්නා ඕස්ට්‍රේලියානු සිංහලයින්, ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය. එය හොමෝෆෝබියාවේ ද, නොදන්නාකමේ ද, තක්කඩිකමේ ද සංකලනයක් විය.

තමන් විවාහ සමානතාවට විරුද්ධව ඡන්දය දීම සාධාරණීකරණය කිරීමට අපේ අයියලා (සහ අක්කලා) විසින් ගෙන ආ හේතු කිහිපයක් සහ ඒ කරුණු අසා මා (සහ අනෙකුත් අය) දැක්වූ ප්‍රතිචාර මෙලෙස ය.


මචං, සමලිංගික කපල්ස් ළමයි හදනවාට මං විරුද්ධයි. ඒ හින්දා මං ඡන්දෙ දුන්නේ නෝ කියලායි.

ඉතිං බං, දැනටත් ළමයි අවශ්‍ය සමලිංගික ජෝඩුවලට ළමයි ඉන්නවානේ. හදන්න කිසිම නීතිමය ප්‍රශ්නයකුත් නෑනේ. ඒ ජෝඩු විවාහ වුණා කියලා මොකක්ද ඇතිවෙන වෙනස?


අනේ ඔය නීතිය ආවොත් මගේ ළමයි හෝමෝ සෙක්ෂුවල් වේවි, ඒ හින්දා මං විරුද්ධයි.

ඔයාගේ ළමයින්ට ජාන එන්නේ ඔයාගෙනුයි ඔයාගේ හබියාගෙනුයි නේද? ළමයි දැන් ඉපදිලා ලොකු වුණු අය. රටේ නීතියකින් කොහොමද ඒ අය හෝමෝසෙක්ෂුවල් වෙන්නේ? එහෙම නීති රීතිවලින් මිනිස්සුන්ගේ ජාන වෙනස් කරන්න පුළුවනි කියලා ද ඔයා කියන්නේ?


මං බුද්ධාගමට අනුකූලව ජීවත්වෙන නිසා මං ඔය නීතිය ගේනවාට විරුද්ධයි.

ඔයාගේ බුද්ධාගමේ කොයි ධර්ම පාඨයෙන් ද, සමලිංගික විවාහය විරුද්ධවෙලා තියෙන්නේ? මං දන්න බුද්ධාගමේ නම් එහෙම දෙයක් නෑ.


මචං මං විරුද්ධවයි ඡන්දේ දෙන්නේ.

මචං, ඒ බයිබලේ නිසා නේද? උග්‍ර කතෝලික රටවල් වෙන අයර්ලන්තයේ, ප්‍රංශයේ සහ රෝමයේත් හොමෝසෙෂුවල් අයට විවාහ වෙන්න පුළුවන් නම්, ඇයි උඹේ අවුල?

අපොයි නෑ, ආගම නිසා නොවෙයි. ඒත් මං විරුද්ධයි.


ඊළඟට කියාවි සත්තු එක්කත් විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මං විරුද්ධයි.

මේ ජනමත විචාරණයේ නැති විකාර දේවල් මේකට ඈඳා ගන්නේ ඇයි බං? ඉතිං සත්තු එක්ක විවාහ වෙන එකට විරුද්ධ වෙයං එහෙම ජනමත විචාරණයක් ආවාම. මේ යෝජනා කරන නීති වෙනස කරන්න යන්නේ මිනිස්සු සඳහානේ.


පෙර කී සංවාදවලට සහභාගී වූ අය ලංකාවේ දේශපාලනය ගැන දරණ මත පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලන විට මට එක් අතිශය වැදගත් කරුණක් පෙනී ගියේ ය.

එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි!

එහි පුදුමයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සිනාසීමට (හෝ ඇඬීමට) අවශ්‍ය නම් ඉහත දැක්වූ එක් සාකච්ඡාවක් දිගට ම ඇදුණු පසු අදාළ පුද්ගලයා කියු මේ පහත කතාව බලන්න.

මිනිසුන් කරන දේ පව් (ද පින් ද කියා) තීරණයවන්නේ බොහෝ විට රටේ නීතිය අනුවයි.
(Most of bad karma will depend on the legal situation in the country)

තේරුණා ද?

මට ද එහි අදහස වැටහුණේ දෙවරක් කියවූ පසුව ය.

Tuesday, 12 September 2017

සිඩ්නි පැත්තේ ඒ-ලෙවල් විභාග විස්තර - My son is entering his last year at school soon!


ෆෙඩරල් රාජ්‍යයක් වන ඕස්ටේ‍ර්ලියාවේ පාසල් අධ්‍යාපනය යනු ප්‍රාන්ත රාජ්‍යවලට අයිති විෂයයකි. එනිසා, සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික සමානතා තිබුණ ද, එක් එක් ප්‍රාන්තයේ සුළු වෙනස්කම් ද තිබේ.

ඒ සඳහා එක් උදාහරණයක්, එනම් පාසල් අධ්‍යාපනය ඇරඹීම සඳහා ළමුන් සපුරා තිබිය යුතු අවම වයස පිළිබඳ නීතියේ වෙනස පිළිබඳව මම "හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son" ලිපියේ සඳහන් කළෙමි.

තවත් උදාහරණයක් සඳහන් කරතොත්, අප මුලින් ජීවත් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ වන විට ද පැවතියේ ප්‍රෙප් නොහොත් ප්‍රිපෙයාටරි නම් වූ වසරෙන් ඇරඹෙන පාසල් අධ්‍යාපනය එක එල්ලේ වසර දහතුනක් ලැබූ පසු ළමුන්ට ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන වූ වීසීඊ (වික්ටෝරියන් සර්ටිෆිකේට් ඔෆ් එඩියුකේෂන්) නම් වූ විභාගයට පමණක් මුහුණ දෙන්නට සිදුවෙන ක්‍රමයකි.

ලංකාවේ සාමාන්‍ය පෙළ වැනි විභාගයක් කලකට පෙර වික්ටෝරියාවේ දහවෙනි ශ්‍රේණියේ සිසුන්ට සඳහා ද පැවැත්වී ඇති නමුදු ඒ කාලය වන විට එය අහෝසි කර තිබුණි.
ඒ ගැන මා එකල මගේ පර්යේෂණ නියාමක ආචාර්ය ඇන්ඩෘ වර්ත්ගෙන් විමසූ විට ඔහු කීවේ, දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගය අවසානයේ පාසල්වලින් හැලෙන සිසුන් සංඛ්‍යාව, ඒ විභාගය අහෝසි කළ පසු, විශාල වශයෙන් අඩු වූ බවයි. වෙනත් වචනවලින් කිවහොත් දහවෙනි ශ්‍රේණියේ විභාගය අහෝසි කිරීමෙන් පසු දහතුන් වසරක් පුරා පාසල් අධ්‍යාපනය ලබා ගන්නා ප්‍රතිශතය ඉතා ඉහළ ගොස් ඇත.

එනම්, ඕ ලෙවල් පමණක් සමත් වික්ටෝරියානු වැඩිහිටි පිරිස අඩු වී ඇත!

නමුත් අප සිඩ්නි නගරය පිහිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණි පසු දුටුවේ, මෙහි පාසල්වල දහවෙනි ශ්‍රේණිය අවසානයේ පාසල් සහතිකය (ස්කූල් සර්ටිෆිකේට්) නමින් විභාගයක් පැවැත්වෙන බවයි. අපේ දියණියට ද එයට පෙනී සිටීමට සිදුවිය.

පෙර කී හේතුව නිසා ම දෝ, අපේ දියණිය පෙනී සිටි වසරෙන් පසුව ඒ පාසල් සහතිකය විභාගය නැවත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවැත්වුණේ නැත.

ඇත්තටම ඒ පැවති පාසල් සහතික විභාගය කිසි වැදගත්කමකින් යුතු වූ එකක් නොවුනේ එහි ප්‍රතිඵල කිසිදු කාරණයක් සඳහා ඒ වන විටත් උපයෝගී කර ගැනුණේ නැති වීමයි!

විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති සඳහා සිසුන් තම විෂයයන් තෝරා ගන්තේ ඒ දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගයේ ප්‍රතිඵල මත නොව තම තමන් ගේ කැමැත්ත අනුව ය. වසර කිහිපයකට පෙර, ඒ දහවැන්නේ ඕ/ලෙවල් විභාගය අහෝසි කළායින් පසුව වුවද, උසස් පෙළ සඳහා දහවැන්නේ දී හැදෑරු විෂයයන් මත පදනම් නොවී තමන්ට කැමති විෂයයන් තෝරා ගත හැක. නමුත්, විෂය නිර්දේශයේ ඇති හැට-හුටහාමරක් වූ සෑම විෂයයක් ම, සෑම පාසලක ම උගන්වන්නේ නැති බව ද කිව යුතු ය.

පුතා ගේ අද වයසේ මා එදා සිටියදී, මගේ අම්මා ගේ කැමැත්ත වූයේ මා උසස් පෙළ සඳහා ගණිතය නොව ජීව විද්‍යා විෂයයන් තෝරා ගැනීම වුව ද, මම ඒ විකල්පය පිළිබඳව දෙවරක් තියා එක් වරක්වත් නොසිතුවෙමි. වෘත්තියෙන් ගුරුවරයෙකු ද, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වූ, මගේ තාත්තා නම් කීවේ උඹට කැමති දෙයක් උඹ කරපන් කියා ය. ඔවුන් කුමක් කීව ද, උසස් පෙළ සඳහා ගණිතය හැදෑරීමට මා ගෙන තිබුණු තීරණය වෙනස් වෙන්නට ඉඩක් නොතිබුණි.

එනිසා, මගේ පුතා, තම සොහොයුරිය කළ පරිදි ම, විද්‍යා විෂයයන් හැදෑරීම සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීම ගැන මට කිසිසේත් ම ප්‍රශ්නයක් වූයේ නැත.

මා ප්‍රිය බිරිඳ, අද පුතා ගේ වයසේ සිටිය දී මේ උසස් පෙළ විෂයය තීරණය ගන්නට සිදු වුණු අවස්ථාවේ දී, ඇගේ පාසලේ ගුරුවරියන් මෙන් ම, මා අසා ඇති පරිදි ඇගේ දෙමව්පියන් ද පවසා ඇත්තේ, ඇය සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති නිසා, ජීව විද්‍යා විෂයයන් නොව, ගණිතය තෝරා ගන්නා ලෙසයි. කෙසේ නමුත්, ඇය ගේ කැමැත්ත වූයේ ජීව විද්‍යාවයි.

පසු කලෙක ඇය කළ තවත් එක් වැදගත් තේරීමක් මෙන් ම, උසස් පෙළ සඳහා ජීව විද්‍යා ධාරාව (එනම්, උද්භිද, සත්ව, රසායන සහ භෞතික විද්‍යාව) තෝරා ගැනීම ද, ඉතා නිවැරදි, ජීවිත කාලය පුරා අතිශය සතුටුදායක ප්‍රතිඵල ලබා දෙන තීරණයක් විය.

පුතා විද්‍යා විෂයන් තෝරා නොගැනීම පිළිබඳව ඇයට මද කනස්සල්ලක් ඇති වුණේ යැයි මට සිතේ.

අඩු තරමේ රසායන විද්‍යාවවත්?

අපේ පුතා එච්.එස්.සී නමින් හැඳින්වෙන උසස් පෙළ සඳහා තෝරා ගත් විෂයයන් මෙසේ ය.
ගණිතය (විෂයය ඒකක තුනක්)
භාෂාව (විෂයය ඒකක දෙකක්)
ආර්ථික විද්‍යාව (විෂයය ඒකක දෙකක්)
ඉතිහාසය (විෂයය ඒකක දෙකක්)
සමාජය සහ සංස්කෘතිය (විෂයය ඒකක දෙකක්)
ආගම් අධ්‍යයනය (විෂයය ඒකක එකක් පමණි)
මේ ගෙවෙන්නේ ඔහුගේ එකොළොස් වෙනි ශ්‍රේණියේ අවසන් වාරයේ අවසන් සති දෙකයි. ඔක්තෝබර් දෙවන සතියේ යළි පාසල ඇරඹුණු විට එළැඹෙනු ඇත්තේ පුතාගේ අවසන් පාසල් වසර ය.

ඒ වසරේ අවසානය ඔහුගේ මෙන්ම දෙමව්පියන්වන අපේ ජීවිතවල ද සුවිශේෂී කඩඉමක් වෙනු ඇත!

-රසිකොලොජිස්ට්

(image: )

Monday, 3 July 2017

ඕස්ට්‍රේලියාවෙන් හොඳ ප්‍රවෘත්ති කිහිපයක් - Good news and better news


පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවෙන් හොඳ යැයි කිව හැකි ප්‍රවෘත්ති කිහිපයක් ම මතුවිණි.

ඉන් ප්‍රධානතම පුවත වූයේ, ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ ලොකුම ලොක්කා වූ, මේ වන විය රෝමයේ වතිකානුවේ පෝප් යටතේ ඉහළ තනතුරක් දරන ජෝර්ජ් පෙල්ස් නම් පූජකයාට එරෙහිව පොලිසිය විසින් ළමා අපචාර චෝදනා ගොනු කිරීමයි. මා හිතන පරිදි මේ චෝදනා කෙළින්ම අපචාර සම්බන්ධයෙන් නොව, මීට දශක කිහිපයකට පෙර කතෝලික පල්ලියේ ප්‍රාදේශීය ලොක්කෙකු ලෙස සේවය කරන කාලයේ ළමා අපචාර සඳහා චෝදනා ලද පූජකයෙකු පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු නොකර ගොඩින් බේරා දැමීම වැනි කරුණු අරභයා, ගොනු කෙරෙනු ඇත.

ජෝර්ජ් පෙල් ලොක්කාට මේ ආකාරයට චෝදනා ලැබීම, වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ළමා ලිංගික අපචාර පිළිබඳව කෙරෙන රාජකීය කොමිසම් විමර්ශන එක් ප්‍රතිඵලයක් පමණි.

ලංකාවේ ද, පන්සල්, පල්ලි වැනි ලිංගික ආතතියකින් කල් ගත කරන්නට සිදු වී ඇති ආගමික නියෝජිතයින් සිටින ස්ථානවල, මේ ආකාරයේ විවිධාකාරයේ ලිංගික අපචාර සිදුවී ඇති බවටත්, තව දුරටත් සිදුවෙන බවටත් සැකයක් නැත. ඒ අකටයුතු සම්බන්ධයෙන් ද, නුදුරු දිනයක දී ම, නිසි ක්‍රමවේදයක් මගින් විමර්ශනයක් කළ යුතුව ඇත.

ගිය සතියේ ම, ඕස්ට්‍රේලියාවෙන් මතුවුණු දෙවන හොඳ පුවත තිබුණේ, පසුගිය වසරේ පවත්වන ලද ජන සංගණනයේ ප්‍රතිඵල අතර ය.

උප්පැන්න සහතිකයේ නැති, සංගණනයකදී පමණක් ප්‍රශ්න කෙරෙන කාරණයක් වූ ආගමික නැඹුරුව ගැන ඇසූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු අනුව අනාවරණය වී ඇත්තේ රටේ ජනගහනයෙන් 30% ප්‍රමාණයක් නිර්ආගමික බවයි. වසර පහකට වරක් පවත්වන සංගණනවලදී මේ ප්‍රතිශතය 2006 දී 19% ක් ද, 2011 දී 22% ක් ද වී ඇත. එනම්, නිර්ආගමිකයින් සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම සිදු වී ඇත්තේ පසුගිය වසර පහක කාලය තුළ ය.

මේ ප්‍රවෘත්තියේ වැදගත් ම කොටස නම්, ජනගහනයේ ඉතුරු 70% පිරිස පිළිපදින ආගම් වෙන් වෙන් වශයෙන් සලකා බලන කළ, ඉන් ඉහළ ම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කතෝලික ආගම සඳහා වූ නමුත් එය නිර්ආගමික ප්‍රතිශතයට වඩා අඩු අගයක් එනම්, 22.6% පමණක් වීමයි.

මේ ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් තවත් වසර පහළොවක් පමණ කාලයකින් ඕස්ට්‍රේලියාවේ බහුතරයක් ජනතාව නිර්ආගමිකයින් වෙනු ඇති බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කතෝලික සහ ක්‍රිස්තියානි සියලු ප්‍රභේද එක් කළ විට ජනගහනයෙන් 52% ක් තවමත් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ ය. ඒ අතර බෞද්ධ යැයි තමන් හඳුන්වා ගන්නා පිරිස ජනගහනයෙන් 2.4% කි.

ප/ප/ලි:
ඇත්තෙන්ම ගිය සතියේ තවත් වැදගත් ආරංචියක් පැතිරිණි. ඒ, වත්මන් ඔසී රජයේ බලයේ සිටින ලිබරල් පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුමක් පිළිබඳව ය. මේවන විට සාමාන්‍ය මන්ත්‍රීයෙකු ලෙස කටයුතු කරන ලිබරල් පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු අගමැති ටෝලි ඇබට් විසින් ලිබරල් පක්‍ෂයේ වත්මන් නායක සහ අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නායකත්වයට එළිපිට ම කෙනෙහිළි කරන්නට පටන් ගෙන තිබේ.

වත්මන් රජය බලයේ සිටන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකින් බව සලකන විට මෙය හොඳ ප්‍රවණතාවයකි.

(image: http://churchleaders.com/pastors/pastor-articles/170132-john-eldredge-poison-of-religion.html)

Friday, 14 April 2017

ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය - Comedy time in Australia


ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් ම මෙල්බරන් නගරයේ, මාසිකව පළ කෙරෙන සිංහල සඟරා කිහිපයක් පිළිබඳව විස්තරයක් මම පෙර ලිපියේ සඳහන් කළෙමි.

එයින් එක් සඟරාවක් වන සිහනද මාසිකයේ මෙවර පළ වී තිබුණු අපූරු ලිපියක් කියවා රස විඳි මට, ඒ ලිපිය අන්තර්ජාලයේ නොමැති නිසා, ඒ රසය විඳ ගැනීමට ඔබට ද අවස්ථාවක් ලබා දීමට සිත් විය.

මද කලකට පෙර ලංකාවේ පුවත් පත් කතුවරයෙක් මට පණිවිඩයක් එවමින්, විදෙස්ගත ලාංකිකයින්ට ඒ ඒ රටවල ඔවුන් ගේ වෘත්තිය සඳහා ඇති පිළිගැනීම සහ එමගින් ලංකාවට සැලසෙන වාසි පිළිබඳව ලිපියක් ලිවිය හැකි දැයි විමසුවේ ය. මා ඒ ආකාරයේ කරුණු අඩංගු ලිපියක් නොලිව්ව ද, මේ පහත පළ කෙරෙන ලිපියෙන් නම්, ලාංකික අපට විදෙස් රටවලට කොතරම් සේවයක් කළ හැකි දැයි මොනවට පැහැදිලි වේ!

මෙන්න ඒ සිහනද ලිපිය.

අපේ කට්ටඬි වෘත්තිකයා මුලින් ම කරන්නේ ඕස්ට්‍රේලියාවේ වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ කෙන්දරය පෙන්වා සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් සොයා ගත් හැකි අතීත විස්තරයක් ඉදිරිපත් කිරීමයි.



ඊළඟට කට්ටඬි වෘත්තිකයා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ වත්මන් විපක්‍ෂ නායක බිල් ෂෝටන් ගේ කෙන්දරය පෙන්වා, අප සැම දන්නා පුද්ගලික විස්තර ගෙන හැර දක්වයි.



මේ කට්ටඬි වෘත්තිකයා පවසන ආකාරයට, මැල්කම් ටර්න්බුල් පසුගිය ජූලි මාසයේ රජය පිහිටුවන්නේ ඕස්ට්‍රේලියානු මහජනතාව ඡන්දය දුන් ආකාරය අනුව නොවේ. ටර්න්බුල් ගේ ග්‍රහචාරයේ ඇති යෝගයක් සහ ෂෝටන් ගේ පාප ග්‍රහයන් නිසා ය.

විනෝද සමයේ හොඳම කොටස එන්නේ ඉන් පසුව ය.

මෙන්න අපේ කට්ටඬි වෘත්තිකයා අගමැති ගේ සහ විපක්‍ෂ නායකයා ගේ කෙන්දර ඇසුරෙන් ඕස්ට්‍රේලියාව පිළිබඳ පළකරන අනාවැකි!



රූපවාහිනී ප්‍රවෘත්ති සහ වෙනත් වැඩ සටහන් නරඹන, පුවත්පත් කියවන අපට ඔයිට වඩා ඉතා ප්‍රශස්ත මට්ටමේ අනාවැකි ඉදිරිපත් කළ හැකි වෙනු ඇත!

මෙන්න අපේ කට්ටඬි වෘත්තිකයා පිළිබඳ විස්තර.



ඔහු කරන මේ උදාර සේවය අප සැමට ආඩම්බරයකි. ජයින් ජයිම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉකොනොමැට්ටා බ්ලොග්කරු මේ ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වතැයි සිතමි!

Wednesday, 12 April 2017

ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශන - Sinhala language publications in Australia


ඕස්ට්‍රේලියාවේ වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. මා දන්නා පරිදි, එහි සිංහල සඟරා හතරක් මාසිකව පළ වේ.

ඉන් මූලික ස්ථානය ගන්නේ ජගත් ජේ. එදිරිසිංහ ගේ උපදේශක කතෘත්වයෙන් යුතුව දැන් වසර දොළහක් තිස්සේ පවත්වාගෙන යන සන්නස සඟරාවයි. එහි මුද්‍රිත සියලුම පිටපත් පහත සංරක්‍ෂිත අඩවියෙන් කියවිය හැකි ය.

http://sannasa.sinhalajukebox.org/

සන්නස සඟරාව ආරම්භයේ සිටම වාගේ මම ඒ සඳහා ලිපි සැපයීමි. මා පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ, "සිව් වසරක් මරදානේ" නම් කෘතියේ අඩංගු වුණේ මා සන්නසට සඟරාව සඳහා ලියූ "පමා නොවී එමි අකුරට" නම්, මා දහවෙනි ශ්‍රේණිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තුරු ගත කළ සිව් වසරක අත්දැකීම් සහිත තීරු ලිපි එකතුවයි.

ඉන් අනතුරුව මම, සන්නස සඟරාව සඳහා "කුමර දිවිය" නමින් තීරු ලිපි දාහතක් රචනා කළෙමි.

මා මේ දිනවල සන්නස සඳහා ලියන්නේ "අපේ කාලයේ කතන්දර" නම් තීරු ලිපි මාලාවකි. මෙවර පළ වුණේ එහි විසි හත්වෙනි කොටසයි.

මීට අමතරව මම, "අල්ලපු ගෙදර" නමින් ද, "සිනුවර හසුන" නමින් ද, සන්නස සඟරාව සඳහා තීරු ලිපි ලියා ඇත්තෙමි.

සන්නස සඟරාව ඇරඹීමට දෙවසරකට පමණ පෙර මෙල්බර්න් නගරයේ ම උපත ලැබූ සඟරාවක් ද වේ. එය නමින් "පහන" නම් වේ. මේ සඟරාව ඇරඹුණේ ද ජගත් ජේ එදිරිසිංහ ඇතුළු පිරිසක ගේ කතෘත්වයෙන් වුව ද, එහි අයිතිය පසුව ව්‍යාපාරිකයෙකු සතු විය.

මාසික ප්‍රධාන කලාපයට අමතරව මාසයේ මැද ද කලාපයක් නිකුත් කරන පහන සඟරාවේ වෙබ් අඩවිය පහත දැක්වේ. ඔවුන් ගේ පෙර කලාප අන්තර්ජාලයේ කියවීමට තිබේ යැයි නොසිතමි.

http://www.pahana.com.au/

පහන පුවත්පතට මා කළ සඳහන් කළ යුතු සම්මාදම නම්, "කොලු කාලේ" නම් ලිපි විස්සකින් සමන්විත වසර 2010 මැද සිට ලියවුණු තීරු ලිපි මාලාවයි. මා එය ලියූවේ, මෙල්බර්න් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ සිංහල ලේඛකයෙකු වන දොන් බෝල්ඩ්වින් කුරුප්පු සහ එකල මෙල්බර්න් නුවර වාසය කළ ලේඛිකාවක වූ හේමමාලා හේරත් ගේ ඉල්ලීම පිට ය.

මීට අමතරව මා දන්නා පරිදි මෙල්බර්න් නගරයේ පළවෙන මාසික සඟරා දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, සාමන්ත තැන්නගේ විසින් සංස්කරණය කෙරෙන "කැඩපත" නම් සඟරාවයි. එහි වෙබ් අඩවිය මෙලෙස වේ.

http://kadapatha.com.au/

දෙවැන්න නම් විල්ෆ්‍රඩ් සිරිවර්ධන ගේ කතෘත්වයෙන් මෙල්බර්න් සිංහල සඟරා අතරට මීට වසර එකොළහකට පමණ පෙර ඇතුළත් වී ඇති "සිහනද" සඟරාවයි. ඔවුන් ගේ වෙබ් අඩවියක් නම් තිබේ යැයි මම නොසිතමි.

මේ සඟරා සියල්ල මුද්‍රණය කර ප්‍රධාන වශයෙන් කුළුබඩු කඩ හරහා සහ පන්සල් වැනි වෙනත් පොදු ස්ථාන හරහා බෙදා හැරෙන්නේ නොමිලයේ බව ද කිව යුතුය. ඒ සඟරා අතුරෙන් පහන, සන්නස සහ සිහනද සිනුවර දී ද ලබාගත හැකිය.

මීට වසර විසි හතකට පෙර සිනුවර දී පිහිටවූ "සිංහල සංස්කෘතික හමුව" විසින් "සිංහල" නමින් ත්‍රෛමාසික සඟරාවක් වසර 2001 දී පමණ සිට පළ කෙරුණු නමුත්, දැන් එය අභාවයට ගොස් ඇත!

මම වසර 2005 නොවැම්බරයේ සිට 2008 ඔක්තෝබර දක්වා එහි සංස්කාරක ලෙස ස්වේච්ඡා සේවය කරමින් සඟරා කලාප දොළහක් එළි දැක්වූයෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සොය බැලීමේ දී, "සියපත" නමින් මාසික සඟරාවක් ද, "සංචාරකයා" නම් සංචාරක සඟරාවක් ද මෙල්බර්න් නගරයේ පළ වෙන බව ආරංචි විය.

Thursday, 30 March 2017

ඉතිං මේ හේමන්තයයි - Autumn Blues


අද මා සේවය කළේ නිවසේ සිටයි.

උදෑසන සිට ම අහස අඳුරු ය. සිරිපොද නමුත් වැස්සේ නැවතුමක් නැත.

ගිම්හානයේ අද දක්වාම පැවතුණු වසන්ත සුන්දරත්වයේ අවසන් හුස්ම පොද ද පිටව ගොසිනි!

සිතට එන්නේ අලස, උදාසීන අදහස් ය.

දවසේ වැඩ අවසානයේ සිතේ දුක මෙලෙස ලියවුණි!

ඉතිං මේ හේමන්තයයි

අහස අඳුරුයි පාළුයි
රෝස ගස් පෙළ නිහඬයි
සිහින් ඊතල වැස්සයි
ඉතිං මේ හේමන්තයයි

ගිම්හාන අව්රැල්ල
හතළිහේ පෝරණුව
දැන් සිතට අමතක ය
මල් රේණු, තණ කැබලි
දසත විසුරූ සුළඟ
හමා ගොස් හමාර ය
සියක් ගණනක වර්ණ
එක පෙළට මවා ලූ
මල් මිලින වී ගොස් ය
උදෑසන හිරු මරා
ලොව අඳුරු කළ වැස්ස
නිමාවක් නැති ලෙස ය

දවස හෙමිහිට මියයයි
අමාවක සඳ පායයි
හදවතක දුක නිහඬයි
ඉතිං මේ හේමන්තයයි


-රසිකොලොජිස්ට්


Saturday, 11 March 2017

කඩේ ගියෙමි! - My shopping cart this week


අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය.

ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු නමුත්, දෙවසරකට පම පෙර ඒ සමාගම බංකොලොත් වී ගියේ ය.

අප සාමාන්‍යයෙන් බඩු ගන්නේ වූල්වර්ත් කඩයෙන් හෝ අල්ඩි කඩයෙනි. එයට මූලික හේතුව ඒ කඩ පිහිටා ඇති ස්ථාන කරා යාම අපට පහසු වීමයි. මීට අමතරව, අප සාමා්‍යයෙන් එළවළු වර්ග ගන්නා කඩ දෙකක් ද ඇත.

සාමාන්‍යයෙන් අපේ නිවසේ කඩේ යන්නා මා නමුත් මේ වසරේ මුල් දෙමස තුළ මට සති අන්තවල යෙදුණු වැඩ රාජකාරී නිසා ඒ වගකීම ඉටු කරන්නට නොලැබුණි. බිරිඳ කඩේ ගියා ය.

සති දෙකකට ඉහත ඇය ගොස් තිබුණේ කෝල්ස් නමැති සමාගමේ කඩයකටයි. ඒ සමාගමේ ඇති පාරිභෝගික ප්‍රසාද දීමනා ක්‍රමයේ මේ දිනවල ඇති විශේෂ දීමනාවක් නිසා (සති හතරක් එක දිගටම වරකට ඩොලර් අසුවක බඩු මිලට ගතහොත් ඩොලර් පනහක දීමනාවක් ලැබේ!) කඩේ යාමේ රාජකාරිය යළි මා භාරයට ගත් පසු, මට ද, කෝල්ස් කඩයටම යන්නට සිත් විය.

ඉතිං, අද සෙනසුරාදා පුතාව පුස්තකාලයට බස්සවා ආපසු එන ගමනේ දී මම කෝල්ස් පිහිටි කඩමණ්ඩිය අසල නවත්වා කඩේ ගියෙමි.

කඩෙන් බඩු ගැනීමේ දී මා භාවිතා කරන මූලික තීරක කිහිපයකි.

1. බඩු ගන්නේ වෙළඳ නාමය අනුව නොවේ. වැඩි වාසිය අනුව ය.

2. ඒ ඒ සතියේ විශේෂ වට්ටම් දී ඇති භාණ්ඩ, හදිසියේ අවශ්‍ය නොවුණත්, පසුව ප්‍රයෝජන සඳහා මිලට ගනිමි.

3. බොහෝ විට ඒ සතියට පමණක් නොව සති දෙක තුනකට සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගනිමි.

මා අද ගෙනා විවිධ භාණ්ඩ පිළිබඳ විස්තරයක් පහත දක්වමි. මේවායින් බොහෝ දේ, මේ සතියේ විශේෂ වට්ටම් සහිතව විකිණීමට තබා තිබූ ඒවා ය.

කෙසෙල් කිලෝවක් 1.99 බැගින් කිලෝ තුනක් පමණ.


පෙයාර්ස් කිලෝවක් 1.90 බැගින් කිලෝ එකහමාරක් පමණ.
ඇපල් කිලෝවක් 3.00 බැගින් කිලෝ එකහමාරක් පමණ.


ශීත කරන ලද කල් තබා ගත හැකි බෙරී පළතුරු වර්ග ග්‍රෑම් 500 පැකට්ටුව ඩොලර් හතරයි.


සෝයි කිරී ලීටරයක පැකට්ටුවක් ඩොලර් 1.80 බැගින් (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.50 ක් පමණ වේ).

ඒ සියල්ල බිරිඳ ගේ සහ මගේ උදෑසන ආහාරය සඳහා ය.

ඕරියෝ බිස්කට් පැකට්ටුව ඩොලර් 2.80 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 3.00 කි).
මාරි බිස්කට් පැකට්ටුව ඩොලර් 1.60 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.00 කි).


හෙල්ගාස් පාන් ගෙඩියක් ඩොලර් 3.50 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).


බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 කි).


ඉරිගුවලින් සෑදූ අති ප්‍රනීත (සීනි නිසා) උදෑසන කෑමකි. කිරි මුසු කර අනුභව කළ යුතුයි. පැකට්ටුවක් ඩොලර් 2.32 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 කි).


කිරි ලීටර් දෙකක්. ඩොලර් 2.00. කිරි මිල මේ වෙළඳ සමාගම් අතර තරගය නිසා දරුණු ලෙස පහත වැටී ඇත. කිරි ගොවියන් ගේ අනාතතය අනතුරේ.


රට කජු පැකට්ටුව ඩොලර් 2.10. මට හවස නිවසට පැමිණි පසු විකීම සඳහා.


කඩා සෝදා වියලන ලද සලාද කොළ. පැක්ටුවක් ඩොලර් 3.00 යි.


මස් පෙති පැකට්ටුවක් ඩොරල් නමයයි.

සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත.

අයිස්ක්‍රීම් ලිටර් දෙකක් ඩොලර් 3.54 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).
යෝගර්ට් ලීටරයක් ඩොලර් හතරයි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 ක් පමණ වේ).


වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).


ඒ කඩ මණ්ඩියේම ඇති එළවළු කඩයෙන් එළවළු වර්ග දෙකක්ගත්තෙමි.
බෝන්චි කිලෝවේ බෑගය ඩොලර් තුනයි.


මල්ගෝවා ගෙඩිය ඩොලර් දෙකයි.


කෝල්ස් සමාගමටම අයිති ලිකර්ලෑන්ඩ් නම් වයින් කඩයක් එතැනම ඇත. ඒ කඩයේ ප්‍රදර්ශනය කර තිබුණු සුදු වයින් බෝතලයක් ද ආසාවට මෙන් ගත්තෙමි. මිල ඩොලර් හතකි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).

එලෙස ආසාවක් ඇති වුනේ මේ වයින් වර්ගය නිපදවන නවසීලන්ත ප්‍රදේශයේ අප කළ සංචාරයක් සිහිවුනු නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිටකොටුවේ වෙළඳ පොලේ මිල පිළිබඳව මේ ලිපිය කියවන්න.

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? ::
http://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


(imageL GettyImages)

Sunday, 26 February 2017

දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!


දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!

නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.

කතාව මෙයයි.

මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ දොස්තරෙකු වෙත යොමු කළේ මගේ මුඛයේ විදුරුමස් නමින් හැඳින්වෙන කොටස පිළිබඳ ප්‍රතිකාර කිරීමටයි.

මේ විශේෂඥ විෂයය හැඳින්වෙන්නේ පෙරියොඩොන්ටික්ස් නොහොත් පරිදන්තවේදය නමිනි.

මා එහි ගිය මුල් දවසේ, මගේ දත් වහල්ලේ ඉතිරි වී ඇති දත් ගොන්න ගැන බලා, ඒ එකින් එක පිළිබඳ සටහන් රාශියක් ලියා, එක්ස්-රේ රාශියක් ද ගත් ඔහු මා ඩොලර් දෙසිය පනහකින් පමණ දුප්පත් කළා පමණක් නොව, මගේ දත්වල විදුරුමසට යටින් ඇති කොටස් දිරායාම වැළැක්වීම සඳහා දත්වල ඒ කොටස් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කළ යුතු බවත් පැවසීය.

මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි.

ඒ මුල් දිනය වූයේ පසුගිය සඳුදා ය.

උදේ වරුවේ අඩ පැයක පමණ කාලයක දී සිදු කෙරුණු මෙම කාර්යය සඳහා දවසක් ම ලෙඩ නිවාඩු දැමීමට සිදුවීම, නිර්වින්දක ඉන්ජෙක්‍ෂන් වේදනාව, නිර්වින්දිනය කෙසේ වෙතත් විදුරුමස් අස්සේ කටු ගසමින් හූරණ විට දැනුණු වේදනාව, කටේ අඬුපඬු ගසා සිටියදී හුස්ම ගැනීම ආදී කටයුතු නිසා ඇති වූ වේදනාව, ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල ඌයි නොකියා ඉවසා සිටිය ද අවසානයේ දී මහා දරුණු කොහිල කටුවක් ඇනුණි!

ඇන්ටිබයෝටික් නොහොත් ප්‍රතිජීවක ඖෂධ දෙකක් ෆාමසියෙන් මිලට ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරුවක් ලියා දුන් ඔහු ඊළඟට කීවේ මෙයයි.

"රසික, මේ අද කළ ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු ඔබේ විදුරුමස්වලට ආසාදන ඒම වළක්වා ගැනීම සඳහා මේ බෙත් වර්ග දෙක සතියක් එක දිගට නොකඩවා ගන්න. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"

ඌයි!

සතියේ සාමාන්‍ය දවස් අමතක කරමු.

නමුත්,

සිකුරාදා කලාකාමී මිතුරන් පිරිසක් මුණ ගැසී රංගකලාව පිළිබඳ සාකච්ඡාවක් කිරීමට තිබේ.

ඌයි, ඌයි!!

සෙනසුරාදා සවස නිවාඩු පාඩුවේ නිවසට වී සිනමා සිත්තමක් නැරඹීම වැනි විනෝදාත්මක යමක් කිරීමට සැලසුමක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි!!!

ඉරිදා සවස උපන්දින සාදයක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි, ඌයි!!!!

දත් දොස්තරෙකු මට කළ හදියක මහත එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලෙඩ රෝග, බේත් හේත් සමග සෙල්ලම් නැත.

මම තවමත් සිල් බිඳ නොගෙන හොඳ ළමයෙකු ලෙස සිටිමි. මගේ ලොකුම ජයග්‍රහණය වූයේ, සිකුරාදා පැවති කලාකාමී මිතුරු සාදයට සහ සාකච්ඡාවට සහභාගී වී අමුවෙන් ම නිවසට පැමිණීමයි.

ප/ප/ලි:
යළිත් වරක් මාර්තු පළමුවෙනිදා දත් වහල්ලේ ඉතුරු අර්ධය සඳහා මේ ප්‍රතිකර්මය ලබා ගැනීමට යා යුතුව ඇත. නැවතත්, සතියක් පුරා මේ බෙහෙත් ම ගත යුතු වෙනු ඇත!


අපොයි!!

(image: http://www.joblo.com/movie-news/director-bryan-singer-shares-magnetos-tools-implying-there-will-be-either-torture-or-dental-work-in-x-mendofp)

Monday, 13 February 2017

හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son


මෙය පුද්ගලික කරුණු රැගත් සටහනකි. නමුත් ඕනෑම පුද්ගලික විස්තරයක වුව ද පොදු වශයෙන් වැදගත් වෙන කරුණු යම් ප්‍රතිශතයක් තිබේ.

මේ සටහනේ ඒ ප්‍රතිශතය 50% ඉක්මවනු ඇතැයි සිතමි.

මගේ පුතා මොලොව එළිය දුටුවේ 2001 මැයි මාසයේ නමවෙනිදා ය. ඒ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් පුරවරය තදාසන්නයේ ක්ලේටන් නම් නගරයේ පිහිටි රෝහලේ දී ය.

වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය, තැස්මේනියාව ආදී විවිධ ජනපද එකතු වෙමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වී ඇත්තේ ඊට වසර සියයකට පෙර 1901 වසරේ දී නිසා අපේ පුතාට සුවිශේෂී සැලසුමකින් යුතු උප්පැන්න සහතිකයක් ද ලැබුණි.

දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ ආරංචිය සිතට කෙතරම් සතුටක් ගෙන ආව ද, ඒ දරු උපත සිදුවන්නේ මැයි මාසයේ දී බව දැනගත් විට නම් මගේ සිතට එක්තරා ආකාරයක දුකක් දැනුණි.

එයට හේතුව මෙසේ ය.

ඕස්ට්‍රේලියාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස අවසන් දින කිහිපයෙන් එකක දී ය. තවත් විස්තර කළ හොත් ඒ දිනය ජනවාරි මස 26 වෙනිදාට යෙදෙන ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරීමේ නිවාඩු දිනයට දිනයකට පමණ පසුව එන සතියේ දිනයක් වේ.

ලංකාවේ මෙන්ම පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් බල පවත්වන වික්ටෝරියානු රජයේ නීතිවලට අනුව ළමයෙකුට නව පාසල් වසරේ දී පාසල් යාමට සාමාන්‍යයෙන් අවසර ලැබෙන්නේ වයස වසර පහක් සම්පූර්ණ වීමෙන් පසුව ය.

ලංකාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස මුල සතියේ නිසා, ඒ අවුරුදු පහේ නීතියට අනුව තම උපන් දිනය දෙසැම්බරයෙන් පසු යෙදුණු අයට පාසල් අධ්‍යාපනය ඇරඹීමට අන් අයට වඩා වැඩිපුර කාලයක් බලා සිටීමට සිදුවේ. ලංකාවේ දී මේ සීමාවට පුරා මාසයක සහන කාලයක් ද එකතු කොට කඩඉම ජනවාරි 31 දක්වා කල් දමා තිබේ.
මොන සහනයක් ලබා දුන්නේ වුවද, උපතින් එක් දිනයකින් පමණක් වෙනස් වූ (ජනවාරි 31 සහ පෙබරවාරි 1) ළමුන් දෙදෙනෙකු එකිනෙකා හා වසරක පරතරයක් ඇතුව තම අධ්‍යාපනය ඇරඹීම වැළැක්විය නොහැක.

මගේ මල්ලිලා දෙදෙනාගෙන් බාලයා ඉපදුණේ මාර්තු මාසයේ ය. ඒ දිනවල ලංකාවේ පාසල් යාම ඇරඹීමේ අවම වයස වසර හයක් ලෙස නියම කර තිබුණු බැවින් මල්ලී පාසල් අධ්‍යාපනය අරඹන විට ඔහුට වයස හත සම්පූර්ණ වීමට අඩුව තිබුණේ දෙමසක් පමණි!

මෙහිදී වික්ටෝරියානු ප්‍රාන්තය ලංකාවට වඩා වෙනස් වෙන කාරණය නම්, පෙර සඳහන් කළ ආකාරයේ සහන කාලයක් ද සහිතව, වසර පහ සම්පූර්ණ විය යුතු දිනය අප්‍රියෙල් මස තිස්වෙනිදා ලෙස නියම කර තිබීමයි.

දේශය, දීපය, මව සහ පියා යන සිව් මහ බැලුම් හොඳින් සොයා බලා ගලපාගෙන තිබුණු නමුත් අපේ පුත්‍ර රත්නය මෙලොව එළිය දකින්නට සැලසුම් කර තිබුණේ ඒ පාසල් ඇරඹීමේ සහන කාලය අවසාන වී එළැඹෙන වෙසක් මාසයේ දී වීම, මා මුලින් සඳහන් කළ මගේ දුක්ඛප්‍රාප්තියට හේතුව විය.

එදා සිදුහත් පැටියා කළාක් මෙන් තම උපත වෙසක් මාසය වෙනතුරු කල් නොදමා, අඩු වශයෙන් දවස් නමයකට කලින් බක් මාසයේ දී මෙලොව එළිය දුටුවා නම් අපේ පැටියාට 2006 ජනවාරි මස අග දී පාසල් අධ්‍යාපනය ඇරඹිය හැකිව තිබුණි. දින නමයේ ප්‍රමාදය නිසා දැන් ඒ සඳහා 2007 ජනවාරි මස අවසානය වෙන තුරු වැඩිපුර වසරක් බලා සිටින්නට සිදුවේ.

එපමණක් නොවේ.

පුතා පුර්ණකාලීන අධ්‍යාපනය නිමවා පූර්ණකාලීන රැකියාවක් ඇරඹීම ද වසරකින් ප්‍රමාද වේ. ඔහු ගේ විශ්‍රාම වයස එළැඹෙන විට ගෙවා ඇති සේවා කාලය ද, වසරකින් අඩු ය.
ඔහුට ඒ කාලයේ දී සිදුවන පාඩුව මිලියන් කිහිපයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ සියල්ල මාස හයක් වැනි සුලු කාලයක් ඇතුළත වෙනස් විය.

එතෙක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ගත කළ ගන්ධබ්බ ජීවිතය හැර දැමූ මම, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ රැකියාවක් සඳහා ගිවිසුම් අත්සන් කර, සුතනඹුවන් ද සමග උතුරට සංක්‍රමණය කළෙමි.

වසර සියයකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වීමෙන් පසුව ද, පාසල් අධ්‍යාපනය ප්‍රාන්ත රාජ්‍යවල විෂයක් ලෙස දිගටම පැවතෙන නිසා, පාසල් අධ්‍යාපනය ඇරඹීමේ අවම වයස් සීමාව සඳහා දී ඇති සහන කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් බවත්, අප පදිංචි වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ කඩ ඉම ජූනි 30 දින බවත් පසක් වූ දින මා පෙර කී දුක්ඛ චිත්තයෙන් මිදී ආහ්ලාදයට පත් වුණෙමි.

පුතා 2006 ජනවාරි 30 දින, වයස අවුරුදු හතරයි මාස අටක ළමයෙකු ලෙස තම පාසල් ගමන ඇරඹී ය.

-රසිකොලොජිස්ට්

Monday, 6 February 2017

xxන්න නිදහස - Exercising your freedom to think


ඊයේ ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සමරුව පැවැත්විණි.

සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි.

ෆෙස්බුක් හි කෙටි සටහනක් තබන බ්ලොග්කරු මෞර්ය රාජ් "මොනවා නැතත් හිතන්න නම් නිදහස අවශ්‍ය තරම් ඇත!" යැයි කියා තිබුණි.

"හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න" යැයි වෙනකෙකු එයට පිළිතුරු දී තිබුණි.

ලංකාවේ නිදහස් සැමරුම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ද ඊයේ පැවැත්වුණි. සාමාන්‍යයෙන් මේ උත්සවය සිනුවර පැවැත්වෙන්නේ පෙබරවාරි හතරවෙනිදා ම නොව, ඊට නුදුරුම සෙනසුරාදා දිනයේ ය. වසර ගණනාවකට පසු ඊයේ පෙබරවාරි හතර වෙනිදා සෙනසුරාදාවක් වී තිබුණි.

උත්සවය සංවිධානය කෙරුණේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව විසින් සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහභාගීත්වය ඇතුව සහ සංක්‍රමණික ලාංකික ජනතාව විසින් සිඩ්නි ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇති ප්‍රජා සංවිධාන කිහිපයක එකමුතුවෙනි. සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග ද, නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් ද උත්සවයට සහභාගී වී සිටියහ.

ඊයේ දහවල ෆේස්බුක් හරහා ලංකාවේ වාසය කරන මිතුරෙකු හා චැටක යෙදී සිට අවසානයේ "තව ස්වල්ප වේලාවකින් නිදහස් දින සැමරුමට යාමට තිබේ" යැයි මා පැවසූ විට, ඔහු, "කාගේ නිදහස ද සමරන්නේ"" යැයි පවසමින් "එදා සුද්දාගෙන් නිදහස ලැබුණේ මහ ජනතාවට නොවේ කළු සුද්දන්ට" යනා දී වශයෙන් දේශනයක් කිරීමට ඇරඹූ විට, "නෑ මං එහි යන්නේ උත්සව ශාලවේ අපේ ලේඛක සංගමය විසින් කරන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් ලියූ පොත් ප්‍රදර්ශනයේ රාජකාරි සඳහා ය" කියා ගැලවුණෙමි.

ඇත්තටම මා මගේ මිතුරාට කිව යුතුව තිබුණේ "මා සමරන්නේ ලංකාවෙන් ගැලවීමේ නිදහස ය" කියා ය. එසේ නම් එය සැමරිය යුත්තේ පෙබරවාරි නොව අප්‍රියෙල් මාසයේ මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ දිනයේ ය.

නමුත්, ඇත්තට ම මා එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි.

මෙන්න උදාහරණයක්.

ඊයේ ෆෙස්බුක් සමූහයක තම අදහස් දක්වන මිතුරෙකු මෙලෙස පවසා තිබුණි.
යාළුවෙක් එක්ක තේකක් බොන අතරෙ පොඩි චැට් එකක් දාන ගමන් ඌ මගෙන් ඇහුවා ලංකාවෙ උන් ජාතිවාදීන් විදියට පිල් බෙදිල මරාගන්න හදන එක නවත්වන මොකද්ද කරන්න ඕන කියල.

ඉතින් මම ඌට මෙන්න මෙහෙම කිව්ව.

"මචං, ලංකාවෙ මිනිස්සු ජාතිවාදය අවුස්සන් පිල් බෙදිල මරාගන්න හදන එක නවත්තන්නනම් උන්ට තේ බොන හැටි අලුතින්ම උගන්නන්න ඕන.

කොටින්ම සුහදත්වය ඇතිකරගන්න තේ කෝප්පෙකට තියන පවර් එක ගැන උන්ට කියල දෙන්න ඕන. සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් උන් එකට එකතු වෙලා තේ බොන සංස්කෘතියක් රටේ ඇති කරන්න ඕන. උන්ට තේකක් බොන ගමන් එකිනෙකා හඳුන ගන්න, අවබෝධ කරගන්න,අනෙකා තේරුම් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. ඔය හිත්වල තියන කහට කැපිල යන්නත් එක්ක ඉඟුරු කෑල්ලක් එකතු කරගත්තත් වරදක් නෑ.
ඒ සමගම ඔහු ඒ අදහස ඇතුළත් පහත චිත්‍රය පළ කර තිබුණි.


මෙවැනි දේ දැකීම ඊනියා ජාතිකවාදී බයියන්ට "නයාට අඳුකොළ" මෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත චිත්‍ර සටහන දැක මට මුලින් ම සිහිවුනේ කලකට පෙර ටැබූසබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා විසින් ලංකා ජාතික කොඩිය ජාතිවාදීන් විසින් දකින අයුරු පෙන්වමින් ඉදිරිපත් කර තිබුණු පහත චිත්‍රයයි.

සිංහයා තේ සාදන චිත්‍රය දැක කුපිත වූ ඊනියා ජාතිකවාදීන් විසින් ජාතික කොඩියට අපහාස කර ඇති බවට ලොකු ගාලගෝට්ටියක් කරද්දී ඇති වූ අදහස් හුවමාරුවේ දී වෙනත් මිතුරෙකු විසින් පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කර තිබුණි.

නරඹා සතුටුවෙන්න.


(https://www.facebook.com/photo.php?fbid=10154203730717703&set=p.10154203730717703&type=3&theater)


(https://static1.squarespace.com/static/567c18b105f8e2f75c69a9eb/t/567dc63bd82d5e8736669835/1451091809819/Skiz's+original+logo.jpg)


(http://www.shawfundraising.com/wp-content/uploads/2016/01/shaw_widget3.png)


(http://www.währungsrechner.org/images/flags/lk.png)


http://images.clipshrine.com/wheel/medium-Flag-of-Sri-Lanka-0-106534.png


(https://thumb9.shutterstock.com/display_pic_with_logo/1425809/203317378/stock-vector-swimsuit-lettering-seascape-sun-inscription-summer-landscape-painted-on-a-bathing-suit-203317378.jpg)

ඔබටත් සියලු බැමිවලින් නිදහස ලැබේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
xxන්න නිදහස යනු හිතන්න නිදහස ය.

හිත වෙනුවට xx යෙදුවේ මට ඒ සඳහා නිදහස ඇති බැවිනි. වැරදි වැටහීම් ඇති වූවා නම් කනගාටුවෙමි!

ප/ප/ලි:
ජාතික කොඩිය ගැන මේ ජාතික චින්තනවාදීන් සහ ජාතිවාදීන් මෙතරම් කළබළ වෙන්නේ ඇයි කියා දන්නවා ද?

ඔවුන් තම මානසික නිරුවත වසා ගන්නේ මේ රෙද්දෙනි. එනිසා කිසිවෙකු ඒ රෙද්ද කඩනවාට උං කැමති නැත!