Wednesday 19 January 2022

මගේ ඔමික්‍රොන් දිනපොතේ පිටු නිමවේ! - Last scroll of my Omicron diary


මගේ ඔමික්‍රොන් කතාව මෙතෙක් ගලා ගියේ මෙසේ ය.
අද එතැන් සිට.

ජනවාරි පළමුවෙනි දා

සති දෙකක කාලයක් තිස්සේ ගලා ගිය මගේ ඔමික්‍රොන් දිනපොතේ අද පළ වෙන්නේ අවසාන කොටසයි.

ඇත්තටම මේ අවසාන කොටස බව අප කිසිවෙකු ඊයේ දිනයේ දී දැන සිටියේ නැත. පෙර කතාංගයේ මේ ගැන කිසිදු සඳහනක් නොවුනේ ඒ නිසා ය.

පෙර දා රාත්‍රියේ සිසිල සඟරාවේ සියලු වැඩ නිමවා උදෑසන හයට ඊ-මේල් මගින් සඟරාව සිය ගණනකට බෙදා හරින්නට සකසා මා නින්දට යනවිට රාත්‍රී දෙකේ කණිසම ද ළඟා වී තිබුණු නිසා උදෑසන ඇඳෙන් බැස්සේම දහයට පමණ ය.

නව දවසක් උදා වී ඇත. නව මාසයක් ලබා ඇත. මේ නව වසරකි. ඒත්, නව වසරේ නව හිරුගේ, නව සඳුගේ කැළුම් වෙනදා මෙන් බලන්නට මට හෝ පවුලේ කිසිවෙකුට හෝ නොහැක. අප සිව් දෙනාම තවමත්, එක්තරා ආකාරයක සිරකරුවෝ ය.

මෙහෙම නව වසරක් ජීවිතේටම උදා වී නැත!

එක් සැනසිල්ලක් වනුයේ දියණිය සහ පුතා අද මේ සිරගත් ජීවිතයෙන් මිදීමට නියමිත වීමයි.

පාතරාසයෙන් පසු, නැවතත් වරකට 100 ක් දෙනාට එක් ඊ-මේලයක බීසීසී කරමින් “සිසිල” සඟරාව යවන්නට පටන් ගත්තෙමි. මොහොතකින් ගූගල් ජීමේල්කාරයා මට දැනුම් දුන්නේ අද දිනය සඳහා වූ මගේ ඊ-මේල් කෝටාව අවසාන බවයි. ඇත්තටම ඒ පණිවිඩය නොදැක ඒ වන විට මම තවත් ලිපින සීයක් සහිත ඊ-මේල් තුන් හතර වටයක් යවා තිබුණි.

ඒ ගැන විමසා බලා, නැවත යැවිය යුතු වේ. ඒ අද නොව හෙට ය. පැය විසි හතරකට පසු ය.

උදේ මා ඇඳේ සිටිද්දීම හෙදිය කතා කර රෝගී තත්වය ගැන විමසා, උෂ්ණත්වමානයේ ශ ඔක්සිජන්මානයේ පාඨාංක ද ලබා ගත්තාය. දැන් කැස්සද අඩු බව මම ඇයට පැවසීමි.

උදෑසන එකොළහට පමණ දියණිය අප අමතා ඇය මෙඩි-හෝටලයෙන් පිට වූ බවත්, සිඩ්නි බලා යන ගුවන්යානයට තව කල් වේලා තිබෙන නිසා හෝබාර්ට් නගරයේ දී දිවා ආහාරය ගෙන තරමක් වේලා රැඳී සිට පසුව ගුවන් තොටුපොළට යන බවත් දන්වා සිටියා ය.

පුතා ද, ගමන් මලු සකසා ගෙන දිවා ආහාරය ද ගෙන පිටව යාමට සැරසී හෙදියගෙන් පණිවිඩයක් එන තුරු අල්ලපු කාමරයේ බලා සිටී.

තවත් සුලු මොහොතකින් දියණිය කීවේ, ඇය ඊයේ ප්‍රවේශපතක් ලබාගත් ගුවන්යානය් අවලංගු කර ඇති බවත්, ඇය වහාම සොයා බලා, ඊට අඩ පැයකට පමණ පසු හෝබාර්ට් සිට සිඩ්නි බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයක අසුනක් වෙන් කර ගත් බවත් ය. ගුවන්ගමන් අවලංගු වීම මේ කෝවිඩ් සමයේ ඉතා සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇති බව පෙනේ.

දහවල් දොළහහමාරට පමණ හෙදිය කතා කළා ය. ඇය පවසා සිටියේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කතාවකි. එනම්, අප දෙදෙනාටද අද දිනයේ ම, මෙඩි-හෝටලයෙන් පිට වී යාමට අවසර දීමට වෛද්‍යවරුන් තීරණය කළ බවත්, අපේ නිදහස් කිරීමේ ලිපිය සවස දෙකට පමණ ලබා ගත හැකි බවත් ය.

පුදුමයට කරුණ නම්, මට ඇතිවූයේ අපේක්ෂා භංග වූ විට ඇතිවෙන හැඟීමකි!

අනෙක් කාරණය නම්, මේ වන විට ලොන්සෙස්ටන් නගරයේ සිට සවස් වරුවේ සිඩ්නි බලා යන සියලුම ගුවන් යානා (සියලුම කීවාට දෙකකි!) පිරී ඉතිරී ගොස් තිබීමයි.

“අපි හෙට උදේ යන්න ටිකට් අරගෙන අද රැයත් මෙතැනම ඉඳිමු” යැයි මා බිරිඳට පැවසූ විට ඇය තරමක් කෝපයට ද පත් වුණා ය.

“කොහොම හරි යන්න බලමු, අද ටිකට් නැති වුණත්, මෙතැනින් ගිහින් වෙන හෝටලයක ඉම්මු!” ඇය කීවාය.

වාසනාවක මෙන්, අල්ලපු කාමරයේ සිට තම ජංගම දුරකථනයෙන් පිරික්සා, අප වෙනුවෙන් ද, ඔහු යාමට නියමිත මෙල්බර්න් හරහා යන දීර්ඝ ද්විත්ව ගුවන් ගමනට ප්‍රවේශ පත් දෙකක් ලබා ගැනීමට පුතා සමත් විය.

ඉතිං, සවස දෙකට පමණ, අප තිදෙනා කෝච්-හවුස් හොටේල් පරිශ්‍රයට සමු දුන්නෙමු.

අපට නිකුත් කර තිබුණු කොරන්ටීන් රැඳවීමෙන් නිදහස් කෙරෙන ලිපියේ වෛද්‍ය නිලධාරියා පවසා තිබුණේ, අප සිව් දෙනාම ආසාදිත වූයේ එක දිනයක නිසා, සිව් දෙනාම දැන් අවශ්‍ය දින ප්‍රමාණය කොරන්ටීන් වී ඇති බවයි.

ටැක්සියකින් ගුවන් තොටුපොළට ගිය අපි තිදෙනා පැය තුනකටත් වඩා එහි රැඳී සිට මුලින්ම ඉතා කුඩා ගුවන් යානයකින්, මට මතක් ආකාරය එහි ආසන තිබුණේ විසි හතරක් පමණි, මෙල්බර්න් ගුවන් තොටුපොළටත්, එතැනින් විශාල ප්‍රමාණයේ යානයකින් සිඩ්නි අභ්‍යන්තර ගුවන් තොටුපොළටත් ආවෙමු.

හෝබාර්ට් නගරයේ සිට පැමිණි දියණිය අපට මුණ ගැසුණේ රාත්‍රී අටහමාරට පමණ ය. අප සිව්දෙනා මෙලෙස මුණ ගැසුණේ දෙසැම්බර් 23 දිනට පසුව ය.

එය ඉතා සන්තෝෂජනක, එමෙන්ම සංවේදී, අවස්ථාවක් වූ බව, අමුතුවෙන් කිවයුතු නැතත්, මෙලෙස ලියා තබමි.

අනපේක්ෂිත සිදුවීම්, අපේක්ෂා භංගවීම් මෙන්ම ඉතා විශාල මුදල් නාස්තියක අත්දැකීමද අපට ලබා දුන් සූරියආරච්චි පවුලේ තැස්මේනියා සංචාරය එලෙස නිමා විය.

කොටස් දහහතරකින් යුතු මේ දීර්ඝ දින සටහන් මාලාව කියවූ ඔබට මගේ ස්තුතිය පිරි නමමි.

ජයවේවා.

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


11. ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html


12. ඔමික්‍රොන් කළුවලාවේ රිදී රේඛාවක් - What was that silver line in the dark Omicron cloud?
https://rasikalogy.blogspot.com/2022/01/what-was-that-silver-line-in-dark.html


13. අවුරුද්දේ අවසන් දා ඔමික්‍රොන් මැද ගෙවුණු හැටි - Good bye Omicronian 2021
https://rasikalogy.blogspot.com/2022/01/good-bye-omicronian-2021.html


(ඡායාරූපය: ලොන්සෙස්ටන් ගුවන් තොටුපොලේ දර්ශනයක්)

Tuesday 18 January 2022

අවුරුද්දේ අවසන් දා ඔමික්‍රොන් මැද ගෙවුණු හැටි - Good bye Omicronian 2021


මේ මගේ ඔමික්‍රොන් දිනපොතේ දහතුන්වෙනි කොටස වේ. මීට කලින් ලියා පළකළ කොටස් දොළහ සඳහා සබැඳි මෙහි ද [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12], ලිපියේ අවසානයේ ද ඇතුළත් කර ඇත.

මෙන්න පෙර කොටසේ නැවතූ තැන සිට ඉදිරියට කතාවෙන් කොටසක්.

දෙසැම්බර් 31 වෙනිදා

අද මාසයේ අවසාන දිනයයි. වසරේ අවසාන දිනයයි. නමුත් මගේ කෝවිඩ් ඔමික්‍රොන් සමයේ නම් අවසානයක් නම් පෙනෙන මානයේ නැත.

අද ලැබුණු එක් හොඳ ආරංචියක් නම්, අපේ දියණියට, හෙට උදයේ මෙඩි-හෝටලයෙන් නිදහස් වී යාමට ලැබෙන බවයි. ඇයට අවශ්‍ය වූයේ, දැනට ඇය සිටිනා හෝබාර්ට් නගරයෙන්, අප තිදෙනා සිටිනා ලොන්සෙස්ටන් නගරයට පැමිණ, හෝටලයක් නවාතැන් ගෙන, අපට ද පිටව යා හැකි දිනයක් එළැඹෙන තුරු සිටීමට වුව ද, පසුව ඇය අපේ ඉල්ලීමට කන් දී කෙළින් ම, සිඩ්නි බලා යෑමට තීරණය කළා ය. ඒ සඳහා අවශ්‍ය ටිකට් පතක් ද මිලට ගත්තා ය.

සවස් වෙන විට පුතාට ද හෙදිය විසින් පවසා ඇත්තේ ඔහුට ද, හෙට උදෑසන පිට වී යා හැකි බවයි.

මේ වෙනසට හේතුව වූයේ, නිරෝධායන කාලය දින දහයේ සිට දින හත දක්වා ලිහිල් කිරීමට, සෞඛ්‍ය උපදෙස් මත, තැස්මේනියානු රජය විසින් තීරණය කර තිබීමයි.

ඒ අනුව, ඔහු ද, හෙට, එනම්, ජනවාරි පළමුවෙනිදා, ලොන්සෙස්ටන් සිට සිඩ්නි බලා යාමට ගුවන් ප්‍රවේශපත්‍රයක් මිලට ගැනීමට තැත් කළ ද, ආසන සියල්ල විකිණී තිබුණි.

එසේ නමුත්, අවසානයේ දී, කෙළින්ම නොව, මුලින් මෙල්බර්න් නගරයට ගොස්, එතැනින් සිඩ්නි බලා යාමට ප්‍රවේශපත්‍රයක් සොයාගත හැකිවිය. එකම වෙනස වූයේ, ඒ සඳහා ගෙවූ මිල, සාමන්‍ය මිල මෙන් දෙගුණයක් පමණ වීමයි.

පුතාට හෙට නිරෝධායනයෙන් පිට වී යාමට හැකි නම්, ඔහු ආසාදිත වී ඇති බව සොයා ගත් පීසීආර් පරීක්ෂණය කළ දිනයේ ම කළ පීසීආර් පරීක්ෂණයක් අනුව ආසාදිතයෙකු බව සොයාගනු ලැබූ, ඔහු පැමිණි දිනයේ ම මේ නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණි මට එලෙස පිටත්ව යාමට හැකි බව දැනුම් නොදුන්නේ ඇයි ද යන ප්‍රශ්නය මගේ සිතේ නිරායාසයෙන් ම පැන නැගුණි.

හේතුව පැහැදිලිය. මට නිදහස් වී යාමට හැක්කේ, මා සමග දැන් එකම කාමරයේ නිරෝධායනය වන බිරිඳ නිදහස් වෙන දිනයේ දී ය.

එනිසා, හෙදිය අමතා මා පිළිබඳව තත්වය ගැන විමසීමට නොසිතුවෙමි.

ඒ කරුණු ගැන හිතනවාට වඩා වැදගත් කටයුත්තක් මා හමුවේ ඇත. එනම්, අද දිනය ඇතුළත, සිසිල සඟරාවේ ජනවාරි කලාපයේ සංස්කරණ කටයුතු නිමවා, සඟරාව පීඩීඑෆ් ගොනුවක් ලෙස පිළියෙල කොට, හෙට උදෑසන හයේ කනිසමට ජී-මේල් මගින් පාඨක පිරිස වෙත යැවීමට සම්පාදනය කිරීමයි.

බලාපොරොත්තු වූ පරිදිම සඟරාවේ මූලික කටයුතු සියල්ල රාත්‍රී දහයට පමණ අවසන් කර, සතුටු සිතින් යුතුව, ඒ කටයුත්තේ අවසානයත්, 2021 වර්ෂයේ අවසානයත්, 2022 වර්ෂයේ උදාවත් සැමරීම සඳහා වයින් බෝතලයක් ද විවෘත කර රසවිදිමින් රාත්‍රී ආහාරය ගන්නට පටන් ගත්තෙමි.

තව මට ඉතිරිව තිබුණේ මුල් පිටුවේ ඇතුළත් කරන කතුවැකිය ලියා අවසන් කර, දෙතුන් තැනක ලිපි ආසානයේ තිබුණු හිස් කොටස් පුරවා, පීඩීඑෆ් පිටපත සාදා, පසුදා උදෑසන හයේ සිට ඊ-මේල් මගින් බෙදා හැරීමට සකසා තබා නින්දට යාම පමණි.

තව වයින් වීදුරුවක් ද සමගින් රාත්‍රී කෑම අවසන් කර ඒ කටයුත්ත කිරීම සඳහා පුටුවේ වාඩි වූ විට මා දුටුවේ, මා රාත්‍රී ආහාරය සඳහා පරිගණකයෙන් දෑස් ඉවතට ගන්නට මොහොතකට පෙර නෝරා ගේ ඩයරියේ ජනවාරි එපිසෝඩය ලැබී ඇති බවයි.

දැන් ඉතින් මොනවා කරන්න ද?

තවත් පැයකටත් වඩා කල් ගත කරමින්, ඒ ලිපිය ද, සංස්කරණය කොට පිටු සකසා, සඟරාවට ඇතුළත් කළෙමි.

ඊළගට කතුවැකිය ලියූවෙමි.

කතුවැකිය කියවන කිසිවෙකු හෝ වෙතොත්, ඔවුන් ද එය කියවා නොනැවතී ඒ මොන අප්‍රභංශයක්දැයි ඇත්තටම සිතුවොත් පමණක් තේරෙන්නට මෙසේ වැකි කිහිපයක් කතුවැකියට එකතු කළෙමි.
මෙවර සඟරාව නිකුත්වන්නේ විවිධ බාධක කිහිපයක් හැකි උපරිමයෙන් සමතික්‍රමණය කරමිනි.

මේ සම්ප්‍රදායානුකූල නිවාඩු සමයයි.

ඊට අමතරව, ඉතා ඉක්මනින් බෝවන ඔමික්‍රොන් කොරෝනා වයිරසය ඕස්ට්‍රේලියාවේ මෙන් ම ලෝකයේ බෝහෝ රටවල ජනතාව ආසාදිත කරමින් සීඝ්‍රයෙන් පැතිර යයි.

වාසනාවට ඉලෙක්ට්‍රොනික් සඟරාවක් කියවීමෙන් කිසිවෙකුට කොරෝනා නොවැළඳේ.

ඊළගට, අවසාන පිටුවේ පාදයේ ඇතුළත් කෙරෙන සඟරාවේ ප්‍රකාශනය පිළිබඳ පාඨය මගේ තාවකාලික ලිපිනය යොදා මෙසේ වෙනස් කළෙමි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය වෙනුවෙන් ග්ලෙන්මෝ පාර්ක්හි පදිංචි රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි විසින් සංස්කරණය කර 2022 ජනවාරි මස පළමුවෙනි දින ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ 10, යෝක් වීදිය, ලොන්සෙස්ටන්, ටැස්මේනියා සිට බෙදා හරින ලදී.


මේ සියල්ල අවසාන වෙන විට මැදියමට ද ආසන්න වී තිබුණි. ඒ සමගම මා දුටුවේ, සිසිල සඟරාව ආරම්භයේ සිටම හරස් පද ප්‍රහේලිකාව සකසා සපයන මලී දිසානායක විසින් ද තම වගකීම ඉටු කර ඇති බවයි. නමුත් අවාසනාව නම්, මට එය සඟරාවට ඇතුළත් කිරීම සඳහා දැන් කිසිසේත්ම කාලයක් නොමැති වීමයි. එය නිකම්ම එක ලේඛනයකින් කොපි කර අනෙක් ලේඛනයට ඇතුළත් කිරීමක් නොවේ. මා කරන මුල් ම කාර්යය වන හරස් පද ප්‍රහේලිකාව විසඳා බැලීමටම මට අඩ පැයක් පමණ ගත වේ.

එනිසා එම කටයුත්ත ඊළඟ සඟරාවට තබා, ඒ වෙනුවට වෙනත් ආකාරයක ප්‍රහේලිකාවක් “අකුරු බලය” නමින් කඩිනමින් සකසා සඟරාවට ඇතුළත් කළෙමි.

ඊළගට පීඩීඑෆ් පිටපත සැකසීමට පෙර සැකසූ සඟරාව මුල සිට අග දක්වා කියවීම ඇරඹුවෙමි. කලින් නොදුටු සුළු දෝෂ දෙක තුනක් ම ඇස ගැටුණි. ඉතිං, වහා ම ඒවා නිවැරදි කළෙමි.

දුටු දෝෂ සියල්ල සකසා, පීඩීඑෆ් පිටපත සකසා, වරකට බීසීසී (blind carbon copy) ආකාරයෙන් ඊ-මේල් යැවිය හැක්කේ 100 දෙනෙකුට පමණක් නිසා, එවැනි ඊ-මේල් වට කිහිපයක්, උදෑසන හයේ කනිසමේ සිට විනාඩියකට වරක් යැවෙන සේ සකසා මා නින්දට ගියේ පාන්දර දෙකට පමණ ය.

හෙට දියණිය හා පුත්‍රයා සිඩ්නි බලා යනු ඇත. අප දෙදෙනා පමණක් තැස්මේනියාවේ ලොන්සෙස්ටනයේ, මේ කෝච් හවුස් හෝටල් පරිශ්‍රයේ පිහිටුවා ඇති කෝවිඩ් රෝගීන් සඳහා වූ මෙඩි-හෝටලයේ ඉතුරු වෙනු ඇත.

දුක්බර සිතුවිලි මැද වුව ද, පසුදා උදෑසන දහය පමණ වෙනතුරු නිදා ගන්නට හැකිවිය. ඒ සඳහා වයින් බෝතලයට ද ස්තුතිවන්ත විය යුතු ය.

පසුදා, 2022 ජනවාරි මස පළමුවෙනිදා සිදුවූයේ අප නොසිතූ දෙයකි.

ඒ ගැන විස්තර, මගේ ඔමික්‍රොන් දිනපොත ලිපි මාලාවේ දහහතරවෙනි කොටසින් කියවන්න.

https://rasikalogy.blogspot.com/2022/01/last-scroll-of-my-omicron-diary.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


11. ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html


12. ඔමික්‍රොන් කළුවලාවේ රිදී රේඛාවක් - What was that silver line in the dark Omicron cloud?
https://rasikalogy.blogspot.com/2022/01/what-was-that-silver-line-in-dark.html


(සේයාරුව: ගුඩ්බායි 2021, වෙල්කම් 2022!)

Monday 17 January 2022

ඔමික්‍රොන් කළුවලාවේ රිදී රේඛාවක් - What was that silver line in the dark Omicron cloud?


මේ මගේ ඔමික්‍රොන් දිනපොතේ දොළොස්වෙනි කොටසයි. එනම්, මීට කලින් කොටස් එකොළහක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11] පළ වී ඇත.

මෙන්න එකොළොස්වෙනි කොටසේ නැවතූ තැන සිට ඉදිරියට කතාවෙන් කොටසක්.

දෙසැම්බර් 30 වෙනිදා

දිනය ඇරඹුණේ සතුටිනි.

ඒ රෝග ලක්ෂණ කෙමෙන් අඩු වී යාම, විශේෂයෙන් ම, ඇඟේ වේදනාව අඩුවෙන් දැනීම, නිසා ය.

නමුත් දිනය අවසාන වුණේ ලොකු දුකකිනි. එක් අතකට එය බලාපොරොත්තු නොවූ එකක් ම නොවී ය. ඒ දුක් අතරේ, අර කළු වලාකුළුවල තිබෙනවා යැයි පැවසෙන රිදී රේඛාවක් ආකාරයේ, කුඩා සතුටක් ද විය. ඒ පිළිබඳ විස්තර පසුවට.

මා මේ සිටින්නේ හෝටලයක වුව ද, කෑම බීම ලැබෙන්නේ නම් ලෙඩෙකුවන මා භාරව සිටින රෝහලේ කුස්සියෙනි. ගම්බිරිස් කුඩු නිසා දහවල සහ රාත්‍රී කෑම වේල අමාරුවෙන් හෝ කා දැමිය හැක. මට මතක ආකාරයට, දහවල සඳහා ඌරුමස් කෑලි කිහිපයක් ද, රාත්‍රිය සඳහා මාලු කෑල්ලක් ද තිබුණි. කෑම වේලේ අනෙක් කොටස නම් හැම වේලටම එක ය. තම්බා ඇනූ අර්තාපල් බෝලයක්, එලෙසම සැකසූ කැරට් බෝලයක් හෝ තැම්බූ පතුරු කිහිපයක් සහ තැම්බූ බ්‍රොකොලි ය.

කලින් නවාතැනේ දී ලැබුණු සලාදය වැන්නක් නැත. අතුරුපස සඳහා නම් කැපූ පලතුරු සහිත පෙර සැකසූ කුඩා බඳුනක් හෝ පුඩිමක් වැනි පැණි රසැති හෝ ඇත.

මට ඇති එකම සැනසීම, ආහාර අපතේ නොයෑමයි.

කාමරයක් සිරගත් වී මෙන්, සමාජ ආශ්‍රයක් නොමැතිව සිටින අයෙකුට අනවශ්‍යම දේ නම් ඇඳුම් ය. නමුත්, මේ මධ්‍යස්ථානයේ ජනවාරි පස්වෙනිදා දක්වා රැඳී සිටීමට අවශ්‍ය නිසාත්, පිටත්ව යන විට හෝ පිරිසිදු ඇඳුමකින් සැරසිය යුතු වූ නිසාත්, යම්කිසි ව්‍යායමය්ක අවශ්‍ය වූ නිසාත්, කාමරයේ තිබුණු බාල්දිය සහ රෙදි සෝදන කුඩු පැකට්ටු උපයෝගී කර ගනිමින් ඊයේ මගේ ඇඳුම් සේදීමට පටන් ගත්තෙමි.

ඒ කටයුත්තේ අද ද නිරත වුණෙමි.

සිසිල සඟරාවේ වැඩකටයුතු සාර්ථකව සිදුවෙමින් ඇත.

තුෂ් වික්‍රමනායක ගේ “ළමා හිංසනයට තිත පදනම” පිළිබඳ ලිපියේ සංස්කරණ කටයුතු අවසන් කරමින්, රූප සටහන් යොදා පිටු සැකසීම ඇරඹුවෙමි. මෙම ලිපිය සිංහලට පරිවර්තනය කළේ මූලිකවම මා විසිනි. මෙය ලංකාවේ සියලු දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම දරුවන් ද කියවිය යුතු ලිපියකි. ළමා අපයෝජනය කෙතරම් දුක්ඛිත කාරණයක් ද? ළමුන් යනු ලොවේ අස්සරණම ජන කොටසයි.

ඒ ලිපියේ අන්තර්ගතය හා සමාන්තරව යන නිසා, කලකට පෙර මා ලියූ “සකලබුජං” කවිය සහ ඒ ගැන කුඩා සටහනක් ද සමග පිටුවක් සැකසීමි. ඒ සමග පළ කිරීමට මා සොයාගත් ළමා ශ්‍රමිකයින් පිළිබඳ සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් ඇති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (International Labour Organisation) ළමා ශ්‍රමිකයින් යොදා ගැනීම මුලුනුපුටා දැමීම සඳහා වූ අන්තර්ජාතික වැඩසටහන (International Programme on the Elimination of Child Labour) විසින් සකසන ලද පෝස්ටරය මට හමුවූයේ අප්‍රිකානු රටක අධ්‍යාපන ජාලයකින් වීම අරුම පුදුම සිදුවීමක් විය.

ලැබී තිබුණු වෙනත් කවි කිහිපයක් ද සිසිල සඟරාව සඳහා සැකසීමි. කවි නිසදැස් නම් කිරීමට සංස්කරණයක් ඇත්තේම නැත. සාමාන්‍ය නණලළ සහ අක්ෂර වින්‍යාසය සැකසීම පමණි. සංස්කරණය කල් ගත වෙන අභ්‍යාසයක් වෙන්නේ සඳැස් කවි නිර්මාණවල දී ය. එහි දී, තාලය සහ මාත්‍රා ද සලකා බැලිය යුතු වේ. ඊළගට කවියේ රචකයා සමග ඒ සංස්කරණ පිළිබඳ එකඟතාවකට එළඹිය යුතු වේ.

මෙවර සඟරාව සඳහා අගනා කෙටිකතා තුනක් ම ඇත. ඉන් පළමුවැන්න ක්‍රිෂ්ණ රාමනායක ගේ "රීරි යක් මෙහෙයුම" ය. දෙවැන්න කලින් සටහනක සඳහන් කළ බීතල ලියූ "හද සත්සර" ය. තුන්වැන්න, අනුෂ්ක තිලකරත්න ගේ "පොඩි ගුරුන්නාන්සේ" ය.

මා මෙන්ම නිවාඩු කාලයේ සංචාරයක නිරතවෙමින් සිටින දසුනි හෙට්ටිආරච්චි ලියන නෝරාගේ ඩයරියේ ජනවාරි කලාපය සඳහා වූ කොටස අනිවාර්යෙන් ම එවන බව ඇය දිගින් දිගටම කියා සිටිය ද තවම නොලබුණි. ඇයට මෙන්ම, ජගත් ගේ කෙටි සටහන් ලියන ජගත් ජේ එදිරිසිංහට සහ ප්‍රහේලිකාව සපයන මලී දිසානායකට ඔවුන්ගේ සම්මාදම ඉල්ලමින් කිසිසේත් ම කරදරයක් නොවීමට සිතා ගෙන සිටිමි. සවස් යාමයේ දී, මා මේ සටහන ආරම්භයේ දී ඉඟි කළ දුක්බර ආරංචිය ලැබුණි. බිරිඳ ද ආසාදිතයෙකු බව ඊයේ කළ පීසීආර් පරීක්ෂණයෙන් සොයාගෙන ඇත. මා මුලින් සඳහන් කළ දුක්බර ආරංචිය වූයේ එයයි.

ඇය දැන් සිටින, කෝවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් සිටින මධ්‍යස්ථානයෙන් ඉවත් කොට, මා සිටින මෙඩි-හෝටලයට ගෙන එන බවත්, මගේ අකමැත්තක් නැතිනම්, මා සිටින කාමරයට ම අනුයුක්ත කරන බවත් මට දුරකථනයෙන් කතා කළ හෙදිය පැවසූවා ය. කළුවලාවේ රිදී රේඛාව වූයේ ඒ පණිවිඩයයි.

ඇය මගේ කාමරයට පැමිණීම නිසා මට මේ නිරෝධායනයෙන් නිදහස් විය හැකි දිනය කල් යන්නට ඉඩ ඇති බව පෙනෙන්නට තිබුණත්, වෙන්ව තනිව සිටීමට වඩා එක්ව එන කරදරවලට මුහුණ දීම හොඳ බව අමුතුවෙන් කිව යුතු ද?

මධ්‍යම රාත්‍රියේ දී පමණ ඇය පැමිණියා ය.

දින කිහිපයක් තිස්සේ නගර තුනක කාමර හතරක සිටි අප සිව්දෙනා, දැන් නගර දෙකක කාමර දෙකක ය.

මගේ ඔමික්‍රොන් දිනපොතේ ඊළඟ දිනය මේ ලිපිමාලාවේ දහතුන්වෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/good-bye-omicronian-2021.html

-රසික සූරියආරච්චි මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


11. ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html


(ඡායාරූපය: සැලසුම් කිරීම සහ සැලසුම් අසාර්ථකවීම පිළිබඳ හොඳ උදාහරණයකි. )

Sunday 16 January 2022

ඔමික්‍රොන් මැද්දේ, ජීවිතේ පැද්දේ - When is this going to end?


කාලය ගත්වෙන් ඉක්මන. මේ අද පළවෙන්නේ මගේ ඔමික්‍රොන් දිනපොතේ එකළොස්වෙනි කොටසයි. එනම්, මීට කලින් කොටස් දහයක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10] පළ වී ඇත.

මෙන්න දහවෙනි කොටසේ නැවතූ තැන සිට ඉදිරියට කතාවෙන් කොටසක්.

දෙසැම්බර් 29 වෙනිදා

සුපුරුදු පරිදි උදෑසන අවදි වූයේ ප්‍රමාද වී ය. මෙතැන ඇති තේ වර්ගය දුටු විට ඒවා බීමට ප්‍රියක් ඇති නොවේ. මට පානය කර පුරුදු බොහෝවිට ඩිල්මා නැතිනම් සමහරවිට ලිප්ටන් හෝ ඉන්දියාවේ නිෂ්පාදිත කාඩමම් හෝ චායි තේ ය. එනිසා කෝපි එකක් බී, උදෑසන ආහාරය සඳහා කෝන් ෆ්ලේක්ස් හෙවත් ඉරිඟු පතුරු බොකුටු පීරිසියක දමා කිරි දියර සමග මුසු කොට කෑවෙමි.

සිසිල සඟරාව සංස්කරණය නිමකර පළ කිරීම සඳහා තව ඇත්තේ දින දෙක හමාරකි. හැකියාව ඇති පරිදි උපරිම ශක්තියෙන් ඒ කටයුතු කිරීමට සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තෙමි.

ඒ සමගම මේ කර්තව්‍යය පහසු වෙනු පිණිස තීරණ කිහිපයක් ද ගත්තෙමි.

නිත්‍ය විශේෂාංග සපයන සහෘද ලේඛකයින් කවරෙකු හෝ තම සම්මාදම් එවා නැති නම් සිහි කැඳවීම් නොයවමි. එකක් මෙය කාගේ කාගේත් නිවාඩු කාලයයි. දෙවැන්න ඒ ලිපි ලැබුණොත් මට ඒ ගැන කටයුතු කිරීමට කාලය සොයා ගත යුතුවනු ඇත. අමතර ලිපි නොලැබුණොත්, පවතින තත්වය යටතේ වුවත්, සියල්ල නිසි වේලාවට අවසන් කරගත හැකිවෙනු ඇත.

පොතක් විචාරය කිරීමට අදහසක් තිබුණ ද, එය අත් හරිමි.

අතීතකාමය ලිපිය ද, අත්‍යාවශ්‍යම නැත.

ඇගේ පතේ වේදනාව තරමක් අඩු ය. හිසරදයක් හෝ උණක් නම් දින කිහිපයකින් ම තිබුණේ නැත. කැස්ස තිබුණ ද, හෙම්බිරිස්සාව නම් තරමක් අඩු ය.

රෝගී තත්වය පාලනය කරගත හැකි මට්ටමේ ය.

ඉතිං, හෙමින්, හෙමින් සඟරාවේ වැඩකටයුතු කරන්නට පටන් ගත්තෙමි.

දියණිය කෝවිඩ් ආසාදිත වූ මෙහොතේ සිටම අප සොයා බලා, අසා, කියවා දැනගත් තොරතුරුවලට අනුව අපේ නුදුරු අනාගතය තීරණය වෙන්නේ මෙලෙස ය.

ආසාදිතයෙකු ගේ සමීපතමයෙකු නම් වෙන් වී හිඳ තුන්වෙනි දවසේ සහ පස්වෙනි දවසේ කෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල සතුටුදායක නම් (සයවෙනි දිනයේ ලැබෙන ප්‍රතිඵල අනුව) මධ්‍යස්ථානයෙන් පිටවී යාමට අවසර ලැබේ. ඒ අනුව තවමත් පුතා සහ මා ද මීට පෙර සිටි ඩෙවන්පෝට් ස්න්‍රයිස් මොටේල් මධ්‍යස්ථානයේ සිටින මගේ බිරිඳට අද දිනට නියමිත පරීක්ෂණ ප්‍රතිඵල අනුව නික්ම යා හැක.

දැන් ප්‍රශ්නය නම් ඇය කළ යුත්තේ වහාම ගුවන් ටිකට්පතක් මිලට ගෙන නිවෙස බලා යෑම ද, නැතිනම් වෙනත් හෝටලයක ගොස්, අප ද නිරෝධායනයෙන් පිටවෙන තුරු රැඳී සිටීම ද?

ආසාදිත වී, මෙඩි-හෝටලයක නිරෝධායනට යාමට සිදුවුණු (මා වැනි) අයට, දින දහයක් එලෙස සිටීමට සිදුවේ. නැවත පීසීආර් පරීක්ෂණ නොපවත්වාම, පිට වී යා හැක. පීසීආර් පරීක්ෂණ නැවත නොපවත්වන්නේ සතියකට පසුවත් වයිරසය ඇඟ ඇතුළේ තිබිය හැකි නිසා ය, නමුත් අන් අයට පැතිරීමේ අවදානම් කාලය නිම වී ඇති නිසා දින දහයකින් පසු නිරෝධායන තවදුරටත් අවශ්‍ය නොවේ.

මේ අනුව හෝබාර්ට් නගරයේ මෙඩි-හෝටලයේ දෙසැම්බර් 23 දින සිට වාසය කරන අපේ දියණියට ජනවාරි මස පළමුවෙනි දින නිදහස් විය හැක. පුතා සහ මා මේ ලොන්සෙස්ටන් මෙඩි-හෝටලයට පැමිණියේ දෙසැම්බර් 27 දින නිසා අපේ කල් පිරෙන්නේ ජනවාරි මස පස්වෙනි දා ය.

මේ අතර අපේ කණ වැටුණේ, දරුණු ඩෙල්ටා ප්‍රබේදය සඳහා සකසා තිබුණු ඒ සෞඛ්‍ය නීති, මේ ඔමික්‍රොන් ප්‍රබේදය සඳහා සිථිල කරන්නට, එනම් ලිහිල් කරන්නට, අදහස් කරන බවයි. නමුත් ඒවා ක්‍රියාත්මකවන්නේ ජනවාරි මස පළමුවෙනිදා සිට බවයි.

වෙන දෙයක් වෙනු ඇත. අපට කළ හැක්කේ බලා සිටීම පමණි.

කෙසේ වෙතත් කළ යුතු හොඳම දේ නම්, හැකි මුල් දවසේම පිට වී නිවෙසට යාම බව තීරණය කළෙමු.

ඊයේ රාත්‍රීයේ මා වූල්වර්ත් නම් සාප්පුවෙන් ඉන්ටර්නෙට් ඔස්සේ ඇණවුම් කළ කෑම බීම සහ වෙන්ත බඩු දහවලේ දී මට ලැබුණි.

මා නොදැනුවත්ව කර තිබුණු එක් වරදක් වූයේ තනිදොර ශීතකරණය ඇතුළේ ඇති අධිශීතකරණ කොටසේ හැඩය හෝ පරිමාව ගැන සිතා නොබලා අයිස් ක්‍රීම් ඇණවුම් කිරීමයි. මුල් වතාවේ හැර ඉන්පසු අයිස් ක්‍රීම් කන්නට නොව බොන්නට හැකි වෙනු ඇත.

දිගු කලකට පසු කොකාකෝලා බිව්වෙමි. තවමත් වයින් බොන්නට නම් සිතක් ඇතිවෙන්නේ නැත. සිසිල සඟරාවේ වැඩකටයුතු හමාර කොට, දෙසැම්බර් 31 වෙනි දා ම, වයින් බෝතලය කඩන්නට සිතා ගෙන, සතුටු සිතින් යුතුව නින්දට ගියෙමි.

එතැන සිට මගේ ඔමික්‍රොන් දිනපොතේ සටහන් මේ ලිපි මාලාවේ දොළොස්වෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/what-was-that-silver-line-in-dark.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


10. ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html


(ඡායාරූපය: ලෙඩ කෑම වෙනුවට ජොලි කෑම)

Saturday 15 January 2022

ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotel


මගේ ඔමික්‍රොන් දිනපොතේ කොටස් නමයක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9] මේ වන විට පළ වී ඇත.

මෙන්න දහවෙනි කොටස.

දෙසැම්බර් 28 වෙනිදා

උදෑසන පහට පමණ හිරු නැග ගෙන එන විට අවදි වුණු නමුත් වැසිකිළියට ගොස් පැමිණ නැවතත් හොඳින් නිදා ගත්තෙමි.

ඇඟපත රුදාව තරමක් දැනේ. කැස්ස ද ඇත. නමුත් හොඳ වෙලාවට උණක් නැත. ඔක්සිජන් ප්‍රමාණයද නිසි පරිදි තිබෙන බව කාමරයේ අපට සපයා තිබුණු මීටරය අතේ ඇඟිල්ලක රුවා ගැනීමෙන් පසු පෙනුණි.

අල්ලපු කාමරයේ සිටින පුතා සමග වීඩියෝ ඇමතුමකින් කතා කළෙමි. ඒ අතරතුරේ බිත්තියට තඩි බා ඔහු සිටින්නේ අල්ලපු කාමරේ ම බව ද සැක හැර දැනගත්තෙමි.

දැන් අප පවුලේ සිව්දෙනා නගර තුනක [හෝබර්ට්, ඩෙවන්පෝට්, ලොන්සෙස්ටන්] කාමර හතරක ය. අපේ ඉඳුම් හිටුම් සහ කෑම බීම වියදම තැස්මේනියානු රජය විසින් දරනු ලැබේ.

කොහොමටත් අපේ නිවාඩු නිකේතනයේ කොටේජය සඳහා නවාතැන් කුලී ගෙවා තිබුණේ දෙසැම්බර් 26 වෙනි දින දක්වා පමණි. මේ ගත වෙන්නේ අපේ ප්‍රසාද දීමනා කාලයයි. ආණ්ඩුවේ වියදමෙන් අපේ නිවාඩුව දිගු වී ඇත.

මේ හෝටල් කාමරයේ ඇති එක් ප්‍රශ්නයක් නම්, විවිධ විදුලි උපකරණ තිබුණ ද, ඒ සඳහා ඇති තරම් ප්ලග් පොයින්ට්ස් නොතිබීම යි. උදාහරණයක් ලෙස මයික්‍රෝවේව් උදුන, එයා ෆ්‍රෙෂ්නර් එක සහ කේතලය සඳහා ඇත්තේ ප්ලග් පොයින්ට් එකකි.

කාමරේ රූපවාහිනී යන්ත්‍රයක් තිබුණද එය නැරඹීමට සිත් නොදේ. එනිසා උදේ ආහාරයෙන් පසු එය ගලවා දමා, ඒ ප්ලග් පොයින්ට් එකේ මගේ පරිගණකය සවිකරගෙන සිසිල සඟරාවේ වැඩ කටයුතුවල හැකි තරමින් නිරත වුණෙමි.

කෙසේ නමුදු වැඩ කළ හැකි වූයේ ඉතා සෙමිනි. එහි නම් කිසිදු වෙනසක් නැතිදෝ යි මොහොතකට සැක සිතේ. සඟරාවේ වැඩකටයුතුවල නිරත වීමට ප්‍රමුඛත්වය දිය යුතු වූ නිසා ඔමික්‍රොන් දිනපොත ලිවීම අතපසු කරන්නට සිදුවිය. මෙතැන් සිට මේ සටහන ලියවෙන්නේ ජනවාරි 13 දින ඉතුරු වී ඇති මගේ මතකය ඇසුරෙනි.

උදෑසන ආහාරය සඳහා මා සතුව වියළි ආහාරයක් (මූස්ලි) තිබුණු අතර ඊට අවශ්‍ය වූ කිරි පැකට්ටු ද ශීතකරණයේ තිබුණි. මා උදේට කන්නට ඇත්තේ දහයට පමණ විය යුතු ය.

උදෑසන මට විශේෂ බඩු මලු දෙකක් ලැබුණි. ඉන් එකක වූයේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය සෞඛ්‍යමය දේ ය.


දෙවෙනි මල්ලේ තිබුණේ විශේෂ උපකරණයකි. එය ඇත්තටම සැම්සුන් වර්ගයේ දුරකථනය කි. එකම වෙනස වූයේ එහි තිබුණේ එකම ඇප් එකක් පමණක් වීමයි. එය අප භාවිතා කළ යුතු වූයේ දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අදාළ උපකරණ ද්වයෙන් මැන බ්ලූටූත් සම්බන්ධය ඔස්සේ ඇතුළත් කිරීමට සහ එලෙසම දිනකට දෙවරක් අපේ අනෙකුත් සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීමටයි.


මෙඩි-හොටේලයේ සිටින හෙදියන්ට මේ දුරකථනය ඔස්සේ මට වීඩියෝ ඇමතුම් ද දීමට හැක. නමුත් ඔවුන් එලෙස මා සමග කතා කළේ එක් වරක් පමණි. බොහෝ විට ඔවුන් භාවිතා කළේ සාමාන්‍ය ජංගම දුරකථනය යි.

දෙවෙනි සැපයුමේ වූයේ අද දහවල, රාත්‍රිය සහ හෙට උදෑසන සඳහා මගේ ආහාර වේල් තුනයි. මේ ආහාර සපයන්නේ මා මීට පෙර සිටි මධ්‍යස්ථානයේ දී මෙන් ඒ හෝටලයෙන් ම නොව, රෝහලෙන් බව ඒවායේ පෙනුම, අසුරා තිබූ ආකාරය (සහ පසුව දැනගත් පරිදි රස) නිසා පැහැදිලි විය. සත්‍යය නම්, එදා මෙන් නොව දැන් අප රෝගීන් ය, එනිසා අපට ලැබෙන්නේ රෝහල් ලෙඩ කෑම ය යන්නයි.

දවාලට ද, රාත්‍රියට ද, එකම වට්ටෝරුවේ කෑම අනුභව කිරීමට සිදුවීම මදකට අමතක කර ඒ එක් ප්‍රධාන කෑම වේලක සං‍යුතිය මදක් විමසා බලමු.

ආහාර වේල සමග ලැබුණු ඉතා කුඩා ගම්බිරිස් කුඩු පැකට්ටුව කෑම මත ඉස ඇති බව සලකන්න.
  • චිකන් ඉතා ස්වල්පයක් සමග චීස් යෙදූ පෙන්නෙ පාස්ටා. රහයි.
  • තම්බා පොඩි කරන ලද අර්තාපල් බෝලයක්. ගම්බිරිස් කුඩු නිසා කෑමට හැකි විය.
  • තම්බා පොඩි කරන ලද කැරට් බෝලයක්. ගම්බිරිස් කුඩු සමග වුවද නීරස විය. ලුණු කුඩු පැකට්ටුව කඩා ස්වල්පයක් එකතු කර ගිල දැම්මෙමි. නරක ම නැත.
  • තැම්බූ බ්‍රොකොලි කැබලි දෙක. සාමාන්‍යයි. වරදක් නැත.
  • අතුරුපස ද මට මතක් විදියට රසට තිබුණි.
වැදගත් ම දේ නම් ඒ ආහාර ප්‍රමාණය කුසට ප්‍රමාණවත් වීමයි. කිසිත් අපතේ නොගියේ ය.

මට අවශ්‍ය බෙහෙත් පෙති වර්ගයක් පාමසියකින් ගෙන්වා ගැනීම සඳහා මා සතුව තිබුණු බෙහෙත් වට්ටෝරු ලියවිල්ල හෙදියට එස්.එම්.එස්. එකක් මගින් යැව්වෙමි. මේ මධ්‍යස්ථානයට පැමිණි මුල් දිනයේ රාත්‍රී මට බෙහෙත් පෙති ගැනීම අමතක වූ නිසා තව දිනක් ප්‍රමාද වුවත් කම් නැත. මේවා එක දවසක් නොබිව්වොත් අසනීප වන ආකාරයේ බෙහෙත් නොවේ.

කැස්ස නිසා උගුරේ ඇති වෙන අපහසුතාව මග හරවා ගැනීමට ස්ට්‍රෙප්සිලස් නම් ලොසින්ජර වර්ගයක් ඇත. පැනඩෝල් පෙති ද අවසාන වෙමින් පවතී. කටට ඇඹුලට කෑමට සුපුරුදු අල පෙති, රටකජු වැනි වර්ග සඳහා ද දොළ දුකක් ඇත. එකී මෙකී නොකී හේතු නිසා, වෙළඳසලකින් ඒ ආකාරයේ භාණ්ඩ කිහිපයක් ගෙන්වා ගැනීමට සිතුණි.

වෙබ් අඩවියට ගොස් බලන විට අවමය ඩොලර් පනහක බඩු ඇණවුම් කළ යුතු අතර, ගෙනැවිත් දීම සඳහා ඩොලර් පහළොවක් ද අය කරයි. අවමයට ළඟා වීමට අත්‍යාවශ්‍ය නොවන දේ ද ඇණවුම් කිරීමට සිදුවිය.

සිසිල සඟරාවේ සංස්කරණ කටයුතු කිහිපයක් කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි.

අද සංස්කරණය කර අවසන් කළ ලිපි අතර, නිහාල් රූපසිංහ ලියන “බංකුව”, ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ “වසගත කාලයක් දිවංගත නොවන සිතුවිලි” සහ දයාරත්න වීරසේකර ලියූ “ජල පා සටහන” ද විය.

එතැන සිට මගේ ඔමික්‍රොන් දිනපොතේ සටහන් මේ ලිපි මාලාවේ එකොළොස්වෙනි කොටසින් කියවන්:
https://rasikalogy.blogspot.com/2022/01/when-is-this-going-to-end.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


9. මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html


(ඡායාරූපය: හෝටලයේ ජනේලයෙන් පෙනෙන රාත්‍රී දසුන)

Friday 14 January 2022

මෙඩි-හෝටලයේ විස්තර - First night at our Medi-Hotel


පමා වී ඇරඹුණු අපේ තැස්මේනියානු සංචාරය කෝවිඩ් රෝග ලක්ෂණ නිසා සීමාවිය. පසු දිනයේ දියණිය ද, තවත් දින එකක්, දෙකක් නොව තුනක් ම විශේෂ මධ්‍යස්ථානයක වෙන් වී සිටි පුතා සහ මා, ඊළඟ දිනයේ දී මෙඩි-හොටේලයක් වෙත ගෙන යන ලදී.

අද එතැන් සිට.

දෙසැම්බර් 27 වැනිදා දිනයේ ඉතුරු කොටස

උතුරු තැස්මේනියාවේ මුහුදුබඩ ඩෙවන්පෝට් නම් නගරයේ පිහිටි, මේ දිනවල කෝවිඩ් වැළඳීමේ ශක්‍යතාවක් ඇති අය සඳහා වූ කොරන්ටීන් නේවාසික හෝටලයක් බවට පරිවර්තනය කර ඇති සන්රයිස් මොටේලයේ සිට පුතා සහ මා රැගත් රෝගීන් ප්‍රවාහනය කරන ඇම්බියුලන්ස් රථයට අපේ අලුත් නවාතැන වූ ලොන්සෙස්ටන් නගරයේ පිහිටි මෙඩි-හෝටලයට පැමිණීමට පැය එකහමාරක් පමණ ගත විය.

එම රථයේ ඇම්බෝලා හෙවත් ඇම්බියුලන්ස් ඔෆිසර්ස්ලා දෙදෙනෙකු සිටි අතර එයින් කාන්තාව රිය පැදවූවා ය.

ලතින් හෝඩියේ අකුරු දාහතරකින් යුත් අපේ වාසගම (Suriyaarachchi) කියවීම ඔවුන් විස්මයට ලක් කළ දෙයක් වූ අතර මම මගේ සුපුරුදු ස්වොර්ෂෙනෙගර් (Schwarzenegger) විහිළුව නොකළෙමි.

මෙඩි-හෝටල භූමියේ දී හෙදියක් විසින් අපව පිළිගත්තා ය. පුතාටත් මටත් වෙනම කාමර ලැබුණි.

මෙය ද කෝච් හවුස් හෝටේල් නමින් දිගු කලක සිට පවත්වාගෙන ආ සංචාරකයින් නවාතැන් ගන්නා තැනකි. මේ වන විට එය තැස්මේනියානුවන් නොවන කෝවිඩ් ආසාදිතයින් රඳවා තබා ගන්නා වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට තාවකාලිකව පත් කර තිබේ.

මෙම ස්ථානයට පැමිණි විගස අපට දැකගන්නට ලැබුණේ, මීට පෙර අප නැවතී සිටි මධ්‍යස්ථානයේ මෙන්ම මෙහි සේවය කරන සියලු දෙනා ම සම්පූර්ණ ආරක්ෂක ඇඳුම් පැළඳුමෙන් සැරසී සිටින බවයි. එසේම ඒ මොහොතේ ඔවුන් කිහිප දෙනෙකු අපට දැක ගන්නට ලැබුණ ද, ඉන් පසු ඔවුන්ව දැකගන්නට ලැබුණේ දවස් කිහිපයකට පසු අප මෙම මධ්‍යස්ථානයෙන් පිට වී යන මොහොතේ දී පමණි.

අප මෙහි රැදී සිටින කාලයේ අපට කිසිසේත්ම කාමරයෙන් එළියට නොඑන ලෙස තරයේ අවවාද කර තිබුණි. සැපයුම් රැගෙන එන අයෙකු දොරට තට්ටු කළ පසු අප දොර ඇරිය යුත්තේ ද විනාඩි දෙකකට පසුව බව කියවුණි.

මගේ කාමරය මෙවැනි අවස්ථාවක සඳහා බොහෝ දුරට අංග සම්පූර්ණ එකක් විය. කොටින් ම එහි තිබුණු කුඩා (bar fridge) ශීතකරණයට සහ මයික්‍රෝවේව් උදුනට අමතරව අලුතෙන් ම එකතු කළ බව පෙනුණු දෙවෙනි ශීතකරණයක් ද විය. වායුසමන/තාපකය ද අලුත් ම අලුත් එකකි.

එක අඩුවක් වූයේ ඇඳි පුටුවක් නොමැති වීමයි. එවැන්නක් මෙවැනි හෝටල් කාමරයක් අනිවාර්යෙන්ම තිබිය යුතු වුවත්, එය වෙනත් වැඩක් සඳහා ගෙන ගොස් ඇති බව පෙනුණි.

මා නිරීක්ෂණය කළ සුවිශේෂී දෙයක් වූයේ රූපවාහිනියේ දුරස්ථ පාලකය, ලංකාවේ සමහරු කරන්නාක් මෙන්, පොලිතීන්වලින් වසා සකසා තිබීමයි. එයට හේතුව ආසාදිතයින් කාමරය අතැර ගිය පසු සියලු දේ ජීවානුහරණය කිරීම පහසු වීම බව මට ක්ෂණයකින් වැටහී ගියේ ය.

අප කලින් සිටි මධ්‍යස්ථානයේ දී මෙන් ම මෙහි දී ද, ඇඳුම් පිරිසිදු කිරීම සඳහා ලොන්ඩරි සේවයක් සැපයි යුතු වුවත්, ඒ පිළිබඳ කිසිදු සටහනක් විස්තර පත්‍රිකාවේ නොවුණි. කාමරයේ තිබූ ප්ලාස්ටික් බාල්දියේ සහ එහි තුළ් සැඟවී තිබුණු කුඩා ප්‍රමාණයේ රෙදි සෝදන කුඩු පැකට් දෙක මා දුටුවේ ඉන් පසුව ය.

මා කාමරයට පැමිණ ටික මොහොතකට පසු ලොන්සෙස්ටන් රෝහලේ වෛද්‍ය රෙජිස්ටර්වරියක මගේ දුරකථනයට කතා කර රෝග ලක්ෂණ පිළිබඳ සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් අසා පිළිතුරු ලබා ගත්තා ය. එහි දී තීරණය කෙරුණේ මා කාමරයේ තනිව සිටීමට තැබීමට සුදුසු ද එසේ නොමැතිනම් රෝහලට ඇතුළත් කළ යුතු අයෙකු ද යන්න බව මට වැටහුණි.

ඉන්පසු මෙම ස්ථානයේ පැය විසිහතර පුරාම පවත්වාගෙන යන හෙද සේවයේ හෙදියක මට කතා කර විස්තර විමාසුවා ය. කාමරයේ තිබුණු ඩිජිටල් උෂ්ණත්වමානයකින් සහ ඔක්සිජන් ප්‍රමාණය සහ හෘද ස්පන්දනය මනින උපකරණයෙන් අවශ්‍ය මැනුම් කර හෙදියට ලබා දුන්නෙමි. ඒ මිනුම් සාමාන්‍ය ප්‍රමාණයෙන් විය. උණක් නැත. ඔක්සිජන් ප්‍රතිශතය ද සියයට අනූ හතක් පමණ තිබුණි.

අද උදේ කලින් නවාතැනේ සිටියදී, පැය දෙකක් පමණ සිසිල සඟරාවේ සංස්කරණ කටයුතු කරන්නට හැකිවීම සතුටට කාරණයක් විය. උදේ වරුවේ පුෂ්පා සූරියආරච්චි ලියන චාරිකා සටහන් වොයිස් ටයිප් කළ හැකිවිය. එසේම, පාලිත ගනේවත්ත ගේ අඬහැරය ලිපිය ද, කරු කහටපිටිය ගේ සුභාවිත ගීතය ද සංස්කරණය අවසන් කළෙමි.

බීතල ගේ අකුරු අහුරු ලිපියේ මෙවර පළවෙන්නේ අපූරු කෙටිකතාවකි. විදෙස් පසුබිමක් සහිතව ලියා ඇති එය පරිවර්තනයක් යැයි කියා යමෙකු රැවටීමට ද හැකි තරම් නිසා මෙය "රුසියානු ජාතික ගත්කරු රුවිනියොෆ් බැල්සෝරියස් ගේ Heart Strings කෙටිකතාවේ සිංහල පරිවර්තනය" ලෙස පළ කරමු ද කියා රචකයාට ලියා යැව්වෙමි.

පවතින රෝගී තත්වය නිසා, මට ලැබෙන ලිපි කෙසේ හෝ පෙර පරිදිම සංස්කරණය කර, සිසිල සඟරාවේ ජනවාරි කලාපයට ඇතුළත් කරන්නටත්, ප්‍රමාද වෙන තීරු ලිපි පිළිබඳ අමුතුවෙන් සොයා නොබලන්නටත් සිතා ගත්තෙමි.

බිරිඳගේ දුරකථන ඇමතුමට ද පිළිතුරු සපයා රාත්‍රී එකට පමණ නිදා ගන්නට ගියෙමි.

පසුවදා සිට විස්තරය මේ ලිපි මාලාවේ දහවෙනි කොටසෙන් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html

- රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html


(image: )

Thursday 13 January 2022

අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!


දිගු කලකට පෙර සැලසුම් කළ අපේ තැස්මේනියානු සංචාරය ඔමික්‍රොන් මැද්දේ මෙතෙක් ගලා ගියේ මෙසේ ය. අද එතැන් සිට.

දෙසැම්බර් 27 වැනිදා

ඊයේ දැනුම් දුන් පරිදි අද උදයේ අපව වෛද්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථානයට රැගෙන යනු ඇතැයි සිතූ නිසා හැකි විගස අවදි වී ස්නානය කර සූදානම් වීමි. රජයේ සම්බන්ධීකරණ නිලධාරියාට කතා කිරීමට ලැබුණේ දෙතුන්වරක් උත්සාහ කර, ඉන්පසු ඊමේලයක් ද යැවීමෙන් පසුව ය. තැස්මේනියානු ප්‍රජා සේවාවේ සේවිකාවක වන ඇය කරන්නේ අප ගැන විස්තර රජයේ සෞඛ්‍ය සේවයට යැවීම පමණි.

ඒ වනවිට මා ද සෞඛ්‍ය අංශයට ද කතා කර අපේ තත්ත්වය ගැන දැනුම් දී තිබිණ.

දහවල ද පසුවූ නමුත් කිසිවක් සිදු නොවුණි.

මෙවර නත්තල් දිනය සහ නත්තල් දිනයට පසු ව එළඹෙන බොක්සිං දිනය නම් ප්‍රසිද්ධ නිවාඩු දින දෙක යෙදී තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා නිසා ඒ වෙනුවට රජයේ සේවයේ බොහෝ දෙනෙකුට හිලව් වශයෙන් ඊළඟ දෙදින, සඳුදා සහ අඟහරුවාදා, නිවාඩු ලැබී ඇති බව මට වැටවුණේ පසුවයි. සියල්ල පමා වන්නේ ඒ නිසා බව පැහැදිලි ය. ඊට අමතරව දෙසැම්බර් 15 දේශ සීමාව විවෘත කිරීමට පෙර කිසිදු කෝවිඩ් රෝගියෙකු නොසිටි තැස්මේනියාවේ පසු දින සිට එක් අයෙකුගෙන් ඇරඹී මේ වන විට දිනකට සොයා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාව 50ක් පමණ දක්වා වැඩි වීම ද හේතුවන්නට ඇත.

ඒ අතරතුර අපට ලැබුණු වෙනත් දුරකථන ඇමතුමකින් කතා කළ තැනැත්තා අපව සොයන්නේ නිවසට වී නිරෝධායනය වීම සඳහා බව පෙනුණි. මේ අනුව අපි දෙදෙනාව සැලකෙන්නේ දේශීය, එනම්, තැස්මේනියානු පදිංචිකරුවන් දෙදෙනෙකු ලෙස මිස, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැමිණි සංචාරකයින් දෙදෙනකු ලෙස නොවේ දැයි සැකයක් ද ඇති විය. අප ගැන තොරතුරු පවසා, තත්වය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියෙමි.

මේ ඇඟපත වේදනාව ද, කැස්සද පවතී. කැස්ස එන්නේ කතා කළ පසු ය. ඇතැම් විට පමණක් පැනඩෝල් ද, නිතරම උගුරේ සහනය් සඳහා උණුවතුර ද පානය කළෙමි.

තවත් වැදගත් රෝග ලක්ෂණයක් වන්නේ මත්පැන් පානය කිරීමට කැමැත්තක්, උවමනාවක් ඇති නොවීමයි. නිවාඩු නිකේතනයේ සිට මෙම හෝටලයට පැමිණෙන විට ඉතුරුව තිබුණු වයින් බෝතලයක් ද රැගෙන ආ නමුත්, එය මේසය උඩ ඇහේ හැපෙමින් තිබෙන නමුත්, වෙනදා මෙන් නොව, බීමට හිතක් කිසිසේත්ම පහළ නොවේ.

දැන් පුතා සහ මම දෙදෙනාම කෝවිඩ් ආසාදිතයින් ලෙස දින දෙකකට පෙර කළ පරීක්ෂණ අනුව සොයාගෙන ඇති නිසා, කිසිසේත් ම අවශ්‍ය නොවුණත්, එහි ප්‍රතිඵල ලැබීමට පෙර දෙසැම්බර් 26 වෙනිදා අපට කතා කළ සෞඛ්‍ය සේවයේ අයෙකු විසින් දින ලබාදුන් පරිදි අද සවස් වරුවේ ද අපට පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණි. ඒ තේරුමක් නැති පරීක්ෂණයේ ප්‍රතිඵල අපට කිසි දිනක දැනුම් දුන්නේ නැත!

මේ පරීක්ෂණ කිරීම සඳහා සේවකයින් දෙදෙනෙකු පැමිණෙති. දෙදෙනාම සර්ව සම්පූර්ණ පුද්ගලික ආරක්ෂක උපකරණ සහ ඇඳුම් පැළඳුම් සහිතව ය. අපේ ජෝඩුව කාන්තාවක් සහ පිරිමියෙකි. කාන්තාව අත අප පිළිබඳව සියලු විස්තර රැගත් පත්‍රිකා යනාදිය ඇති අතර (ඔවුන් පැමිණෙන වාහන්‍ය පදවන්නේ ඇය විය යුතු ය) පිරිමියා සෞඛ්‍යය අපද්‍රව්‍ය බහාලන රෝද සවි කළ විශාල බක්කියක් ද ඇදගෙන පැමිණෙයි. සියලු ඛේට සාම්පල ලබා ගන්නේ, අසුරන්නේ මෙන්ම, ඉන්පසු, තමන්ගේ අත්වැසුම්, අනෙකුත් ආරක්ෂක ඇඳුම් සහ අනෙකුත් අපද්‍රව්‍ය පෙර කී බක්කියට දමන්නේ ද ඔහු ය. ලංකාවේ දී නම් මේ කාර්යය සඳහා සිව් දෙනෙකු අවශ්‍ය වෙනු ඇතැයි මේ කෝවිඩ් කැස්ස මැද ම මට සිතුණි. එනම් කුණු බක්කිය තල්ලු කරගෙන යෑමට වෙනත් පුද්ගලයෙකු සහ වාහනය පැදවීමට සිවුවැනි පුද්ගලයෙකු වශයෙනි.

හවස් වන විට ද, කිසිදු ආරංචියක් නොලැබුණු නිසා අද “මෙඩි-හොටේල්” මධ්‍යස්ථානයකට යාමට තැබූ බලාපොරොත්තු සියල්ල අතහැර දැමීමට සිදුවිය. මට ඇති එකම ප්‍රශ්නය නම් ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිරුරේ උෂ්ණත්වය මැනීමට ක්‍රමයක් නොතිබීමයි. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය සහ හෘද ස්පන්දනය නම් මගේ සැම්සන් වර්ගයේ දුරකථනයේ පසුපස ඇති සෙන්සරය මගින් හෙල්ත් ඇප් එක එක හරහා ගණනය කළ හැකි ය. ඔක්සිජන් ප්‍රමාණය 95%ට වඩා වැඩි වූ නිසා බිය වීමට කරුණක් නොතිබුණි.

මා දිනපතා ගන්නා ඖෂධ පෙත්තක් අවසන් වෙමින් යන නිසා එය ෆාමසියකින් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් මේ ඩෙවන්පෝට් නගරයේ ෆාමසි සියල්ලම අද වසා ඇති බව පෙනේ. නොඑසේ නම් ඔවුන් දුරකථනයට පිළිතුරු දෙන්නේ නැත. කෙසේ වෙතත් වැඩිපුර පෙති අවශ්‍ය වන්නේ අදින් තුන්වැනි දිනයේ ය. පෙති දෙකක් දැනට මා සතුයි.

දැන්නම් ලැබෙන ආහාර තරමක් අනුභව කළ හැකි තත්වයේ ඇත. කලින් ප්‍රශනය වූයේ ලුණු වැඩිවීමයි. සමහරවිට දැන් මගේ දිව ඒ ලුණු මට්ටමට පුරුදු වී ඇති බව පෙනේ. අද දිවා ආහාරය සඳහා අපට ලැබුණේ චිකන් සමග කුස්-කුස් ය. මුද්දරප්පලම් යනාදිය යොදා සාදා තිබුණු එය ප්‍රියමනාප විය. මොනවා නොකෑවත් හැමදාම ලැබෙන කොළ සලාද ස්වල්පය නම් දුකක් නැතුව අනුභව කළ හැක. එයට හේතුව ඒ සමග ලැබෙන ප්‍රංශ සෝස් එකයි.

අතුරුපස සඳහා මුල් දිනවල ලැබෙමින් තිබුණු ඇපල් ගෙඩිය වෙනුවට දැන් කෙසෙල්ගඩි සහ අද වන විට දොඩං සහ කිවිපෘට් ලැබෙමින් පවතී.

මා දිවා ආහාරය ගන්නේ සවස තුනක් පසුවී නිසා සාමාන්‍යයෙන් අපට සවස පහට පමණ ලැබෙන රාත්‍රී ආහාරය මා අනුභව කරන්නේ රාත්‍රි 10 ට පමණ ය. නමුත් රාත්‍රියේ හත හමාරට පමණ අපට දැනුම් දෙනු ලැබුවේ අප දෙදෙනාව ලොන්සෙස්ටන් නගරයේ “මෙඩි-හොටේල්” මධ්‍යස්ථනයකට අද රාත්‍රියේ රැගෙන යන බවයි. ඒ සඳහා රෝගීන් රැගෙන යන වාහනයක් හෙවත් පේෂන්ට් ට්‍රාන්ස්පෝට් ඇම්බියුලන්ස් වර්ගයේ රථයක් එවන බව පැවසුණු නිසා, රාත්‍රී ආහාරයෙන් තුනෙන් එකක් පමණ අමාරුවෙන් ගිල දැම්මෙමි.

අවසානයේ, රාත්‍රී නමයට පමණ, බිරිඳ ඇගේ කාමරයේ වීදුරු ජනේලය තුළින් බලමින් අත වනමින් සිටිද්දී, පුතා සහ මම අපේ බෑග් අතේ කරේ එල්ලාගෙන, රාත්‍රී හතරක් අප නවාතැන් ගෙන සිටි සන්‍රයිස් මොටේලයට සමු දුන්නෙමු.

පැය එක හමාරක පමණ ගමනකින් පසුව ලොන්සෙස්ටන් නගරයේ කෝච් හවුස් හොටේල් නම් මේවන විට ආසාදිතයින් රඳවා ගැනීමට භාවිතා කරන මධ්‍යස්ථානයට පැමිණියෙමු.

එතැන් සිට කතාව මේ ලිපි මාලාවේ හෙට පළවෙන නමවෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/first-night-at-our-medi-hotel.html
-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html


(ඡායාරූපය: මෙඩි-හෝටලයට යන අතරතුර)

Wednesday 12 January 2022

නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling

Smoked Salmon
මුල් දිනයේ බාධා වී, එනිසා දිනකින් ප්‍රමාද වී, ඇරඹුණු අපේ තැස්මේනියානු සංචාරයේ මුල් දින දෙක හොඳින් ගත වුණත්, තුන්වෙනි දිනයේ අපට සිදුවුණේ කෝවිඩ් වයිරසය සඳහා පීසීආර් පරීක්ෂණ කරගෙන නවාතැනට වී සිටීමටයි. ඊළග දිනයේ වයිරසය වැළඳුණු අප දියණිය හෝබාර්ට් නගරයේ "මෙඩි-හොටේල්" මධ්‍යස්ථානයකට ගෙනයන ලද අතර තවත් දිනකට පසු අප ද, නිවාඩු නිකේතනය හැර දා ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් සඳහා වෙන්වුණු හෝටලයකට ආවෙමු.

ඒ ආ මුල් දිනයේ ම ඇන්ටිජන් පරීක්ෂණයකින් කෝවිඩ් වැළඳී ඇති බව දැනගත් මම, දෙවෙනි දිනයේ කළ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු දැන් බලා සිටිමි.

අද එතැන් සිට:

දෙසැම්බර් 26

උදෑසන අවදි වූයේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් නහයෙන් හොටු ගැලීම සහ ඇඟපතේ වේදනාව සමඟිනි. නැවතත් ඇඳට වැටී තව පැය තුනක් පමණ නිදා ගත්තෙමි. උදෑසන ආහාරය සඳහා පාන් පෙති දෙකක් මාමලේඩ් සමග ගිල දැමූ පසු ෆේස්බුක් එකේ සැරිසරන්නට ද, සඟරාවේ සංස්කරණ කටයුතුවල නිරත වන්නට ද, සිතේ තරමක් දිරිය ඇතිවිය.

උදෑසන 12 වෙන්නටත් පෙර දිවා ආහාරය ලැබුණු නමුත් කෑමට සිතක් ඇති වූයේ ඉන් පැය එකහමාරකට පමන පසුව ය. දුම් ගසන ලද සැමන්, කඩල සහ සලාද සහිත එම ආහාර වේල සාපේක්ෂව ඉතා රසවත් එකක් විය. ප්‍රථම වතාවට කෑම පැකට්ටුව ම කෑවෙමි.

සවස තුන පමණ වනවිට බිරිඳගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණි. ඇයට වයිරසය නැත. නමුත්, පුතාට සහ මට කිසි දැනුම් දීමක් නොලැබුණි. එසේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේ වයිරසය ඇති අයට බව අපි පෙර අත්දැකීමෙන් දැන සිටියෙමු. කොහොමටත් අපේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල බොරු වෙන්න බැහැ නොවැ? එනිසා සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ අපට පුදුමයක් තිබුණේ නැත.

හවස පහමාරට පමණ පුතාට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩයෙන් ඔහුගේ වයිරසය ආසාදනය තහවුරු කරන ලදී. ඒ පණිවිඩයේ ම සෞඛ්‍ය අංශය විසින් ඔහුට යම්කිසි ෆෝර්මයක් පිරවීමට සබැඳියක් ද ලබා දී තිබුණි. මට රෝගය වැළඳී ඇති බව දක්වන පණිවිඩය ලැබුණේ පුතා එම ෆෝර්මය ද පුරවා, තවත් පැයකට පමණ පසුවයි.

ඒ පණිවිඩය බලාපොරොත්තු වූ අන්තර්ගතය සහිත එක ම වූව ද පෙර කී ෆෝර්මය ඒ වෙනුවට මට එවා තිබූ එස්.එම්.එස්. පනිවිඩයේ සබැඳිය මා රැගෙන ගියේ මා ආසාදිතයෙකුගේ සමීපතම සබැඳියෙකු නිසා එන් වී සිටිය යුතු ය යන දැන් මට අදාළ නැති පණිවිඩයකටයි. ඒ පිළිබදව පැමිණිල්ලක් කළෙමි. නමුත් සිදුවුණු දෙයක් නම් නැත.

මෙතෙක් කල් කෝවිඩ් රෝගීන් එතරම් නොසිටි රාජ්‍යයක් නිසා, තැස්මේනියාවේ මේ කටයුතු තවමත් නිසි පරිදි සැකසී නැති බව දෙවෙනි වතාවටත් පෙනී ගියේ ය. මුල් අවස්ථාව, ඊයේ රාත්‍රියේ බිරිඳට ආ දුරකථන පණිවිඩයයි.

කෝවිඩ් ආසාදිතයින් පිළිබඳ කටයුතු කරන්නේ තැස්මේනියානු සෞඛ්‍ය සේවාවයි. එහි ද විවිධ කණ්ඩායම් සිටී.

නමුත් ආසාදිතයින් ගේ සමීපතම ආශ්‍රිතයින්, එනම්, සමාජයෙන් දුරස්ථ වී මේ හෝටලයේ සිටින අප වැනි පිරිස් ගැන සොයා බලන්නේ තැස්මේනියානු ප්‍රජා සේවාවයි. අපේ කටයුතු සොයා බැලීමට සම්බන්ධීකාරකයෙකු ද පත්කර තිබේ.

නමුත්, විවිධ කණ්ඩායම් අතර ගණුදෙණු කෙරෙන්නේ ඊ-මේල් එහා මෙහා යැවීමෙන්, පැරණි අකාර්යක්ෂම ක්‍රමයට ම, බව පෙනේ.

කෙසේ වෙතත්, තවත් ටික වේලාවකට පසු “කන්ටෑක්ට් ට්‍රේසර්” හෙවත් ආසාදිතයින්ගේ ළඟම සබඳතා සොයන කණ්ඩායමේ අයකු පුතාට ද, මට ද, දෙදෙනාට ම එකම දුරකථන ඇමතුම ඔස්සේ කථා කරමින් අපේ සියලු විස්තර ලබා ගන්නා ලදී. මෙ කාර්යය සඳහා පැයකටත් වඩා කාලයක් ගත විය. අවසානයේ ඇය පවසා සිටියේ ආසාදිතයෙකු නොවන මගේ බිරිඳ මේ කාමරයෙන් පිට වී, අප දෙදෙනාගෙන් වෙන් වී තනිවම සිටීමට වෙනත් කාමරයකට යා යුතු බවත්, සම්බන්ධීකාරකට කතා කර මේ විස්තරය අප විසින් දැනුම් දිය යුතු බවත් ය. ඒ සමගම එක්කෝ අද රාත්‍රියේ ම, එසේ නොමැති නම් හෙට උදේ, අප දෙදෙනාව මෙම මධ්‍යස්ථානයෙන් ඉවත් කර වෛද්‍ය පහසුකම් ඇති “මෙඩි-හොටේල්” මධ්‍යස්ථානයකට ගෙන එන බව ද දැනුම් දෙන ලදී.

ඒ අනුව මොටේලයේ කළමනාකරුට කතාකර වෙනත් කාමරයක් පිළියෙල කර ගැනීමෙන් පසු බිරිඳ, පුතා සහ මා දෙදෙනා අපේ පවුල් කාමරයේ දමා, පිටත්ව ගියා ය. ඇගේ අලුත් කාමරය ඇස එක ගැටෙන මානයේ තිබූ, දුරින් වුවත් එකිනෙකා හඳුනා ගත ඇති ආකාරයට ජනේලයෙන් බැලූ විට එකිනෙකා පෙනෙන එකක් වූ නිසා මේ වෙන්වීම ලොකු දුකක් ගෙන දුන්නේ නැත.

මෙදින රාත්‍රියේ කෑමට ලැබී තිබුණේ නැවත්ත් බැදපු මාළු සහ බැදපු අල පෙති ය. ලුණු වැඩි මාළු කෑලි දෙකෙන් එකක් සෝස් සමග අමාරුවෙන් ගිල දැමූ නමුත්, අල පෙති නම්, වෙනදා මෙන් ම, කන්නට ප්‍රියජනක ආකාරයට සැකසු ඒවා නොවී ය.

කැස්ස, කිවිසුම් යාම, උගුරේ මද අසහනය, ඇඟපත රුදාව දිගටම තිබෙද්දී නිදාගන්නට ගියෙමි.

එතැන් සිට විස්තරය මේ ලිපි මාලාවේ අටවෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html


(පින්තූරය: දිවා ආහාරය)

Tuesday 11 January 2022

ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room


මේ අප තැස්මේනියාවේ ගෙවන සත්වෙනි රාත්‍රියයි. සැලසුම් කළ ගමනේ මුල් දිනයේ ගුවන්‍ යානය අවලංගු වී ආපසු යන්නට විය. ආවේ ඊට පසු දිනයේ ය. දෙදිනක් චාරිකාවේ යෙදුණු නමුත්, පසුදා පීසීආර් පරීක්ෂණ සිදුකරගෙන එතැන් සිට නවාතැනට කොටු වී ඉන්නට සිදුවිය. වයිරසය වැළඳී ඇති බව හඳුනා ගත් නිසා දියණියට හෝබාර්ට් නගරයේ “මෙඩි-හොටේල්” මධ්‍යස්ථානයකට පසුදා යාමට සිදුවූ අතර, ඊළඟ දිනයේ, එනම් දෙසැම්බර් 24 වෙනි දා, අප තිදෙනාට ද, නිවාඩු නිකේතනයෙන් බැහැර වී, වෙන් වී සිටීම සඳහා ඩෙවන්පෝට් නගරයේ හෝටල කාමරයකට යාමට සිදුවිය. එදින රාත්‍රියේ පුතා සහ මා දෙදෙනාට ම වයිරසය වැළඳී ඇති බව ඇන්ටිජන් පරීක්ෂණ මගින් සොයා ගතිමු.

අද එතැන් සිට:

දෙසැම්බර් 25 සෙනසුරාදා

දැන් ඉතින් මා කෝවිඩ් රෝගියෙකි. ඇන්ටිජන් පරීක්ෂණයෙන් වයිරසය වැළඳී ඇති බව පෙන්වන්නේ වයිරස් ප්‍රමාණය ඉතා වැඩිනම් ය. එනිසා, අදට නියමිත පීසීආර් පරීක්ෂණයෙන් මා අනිවාර්යෙන් ම රෝගියෙකු ලෙස හඳුනා ගනු ඇත.

මා පමණක් නොව පුතා ද රෝගියෙකි. ඔහුට ද එම සන්තෑසියම ලැබෙනු ඇත.

බිරිඳ පමණක් යහතින් සිටීම සතුටට කරුණකි.

කෑම බීම යනා දී සැපයුම් අපට ලැබෙන විට, දොරට තට්ටු කරන සේවකයා ඒවා තබා ගිය පසු, දොර හැර කාමරය තුළට ගන්නේ ඇයයි. පුතා සහ මා වෙසෙන කාමරයේ දොර වසා ඇති අතර, අපේ කෑම බීම ඇය අපේ දොර ළඟින් පුටුවක තබයි. අප එළියට යන්නේ නාන කාමරය පමණි. මේ එක් අයෙකු හෝ බේරී සිටීමට දරණ උත්සාහයකි.

අද නත්තල් දවස ය. නත්තල් තෑගි ලෙස අප සියලු දෙනාටම විශාල චොක්ලට් පැකට්ටුව බැගින් ලැබුණි.

ඇඟ පතේ අමාරුවට, අමතරව නහයෙන් හොටු දියර ගැලීම ද, කිවිසුම් යාම ද, කැස්ස ද පැමිණ ඇත. හිසරදය නම් පහව ගොස් ය.

පුතාත් මාත් ඉන්නා හෝටල් කාමරයේ දිග පළල මීටර් පහ බැගිනි. ඇවිදිනවා නම් එක් වරකට පියවර පහකි. ඒත් ඇවිදින්නට තියා හිටගෙන සිටීමට හෝ පණ නැති සේ දැනේ. අනිත් අතට නිකරුණේ හිටගෙන කුමක් කරන්නද? කාමරයේ දොරට විරුද්ධ පැත්තේ මුළු බිත්තිය පුරා දිවයන ජනේලයක් ඇති නමුත් එයින් පෙනෙනුයේ ද ගොඩනැගිල්ලේ පසුපස පාළුවට ගිය බිම් තීරුව සහ අල්ලපු වත්තේ ඇති පැරණි තාලේ ගිනිමැල චිමිනිවලින් ද සමන්විත නිවසකි. එහි කිසිවෙකු සිටින බවක් නොපෙනේ.

සිසිල සඟරාව සඳහා අතින් ලියා ඡායාරූපගත කර වට්සැප් හරහා ලැබුණු ලිපියක් ජංගම දුරකථනයට වොයිස් ටයිප් කළෙමි. ඒ කරු කහටපිටිය ලියන සුභාවිත ගී රසවිදුම විශේෂාංගයේ මෙවර ලිපියයි. සඟරාවේ සංස්කරණ කටයුතු එමට ය. එසේ නමුදු පරිගණකය විවෘත කිරීමටවත් සිත් නොදේ.

බිරිඳ නම් පවසන්නේ සඟරාවේ සංස්කරණය අමතක කර, අදාළ අයට දන්වා, ජනවාරි කලාපය අහෝසි කර දමන ලෙසයි.

සිසිල සඟරාව, මා ම යෝජනා කර ඇරඹූ, මා හිතවත් ලේඛකයින් ලබාදෙන ලිපි මා ම සංස්කරණය කර සම්පාදනය කරන්නක් බවත්, ඒ සඳහා වගකීම ඇත්තේ මට නිසා, සඟරාව පළ නොකිරීමට හේතුවක් තවමත් නැති බවත් මම ඇයට මතක් කර දුන්නෙමි. ඒ ඇය ඒ බව නොදන්නා නිසා නොව මගේ සිත දිරිමත් කරගැනීම උදෙසා ය.

ලෙහෙසියෙන් ම, ඇඳේ සිටම, කළ හැකි නිසා, මම මේ ඔමික්‍රොන් දිනපොතේ සැකිල්ල ජංගම දුරකථනයට වොයිස් ටයිප් කිරීමට පටන් ගත්තෙමි. (ඔබ කියවන මේ පිටපත නම් මුළුමනින් ම පාහේ නැවත ලියූ එකකි).

මධ්‍යහන්‍යය පසුවූ පසු මොටේලය වෙත පැමිණි සෞඛ්‍ය සේවක දෙපළක් විසින් පීසීආර් පරීක්ෂණ සඳහා අප තිදෙනාගේ සාම්පල ලබා ගන්නා ලදී.

අද අපට දිවා ආහාරය සඳහා ලැබුණේ බදින ලද මාළු සහ අල කැබලි, සලාදයක් සහ අතුරුපස ලෙස රසැති ලෙස පෙනෙන පැව්ලෝවා සහ එයට යොදන පලතුරු ය. ලුණු වැඩි මාළු කෑල්ලක් අමාරුවෙන් ගිල දමා සැලඩ් එක රස වින්දෙමි. සීනි අධික පැවලෝවාව අතහැර ස්ට්‍රෝබෙරි ආදී පලතුරු ස්වල්පය ද දුකක් නැතුව අනුභව කළෙමි.

රාත්‍රී ආහාරය සඳහා කළුකුම් මස්, ක්‍රෑන්බෙරි සෝස්, තැම්බූ අර්තාපල්, බතල සහ බ්‍රොකොලි ලැබුණි. මේ නත්තල් රාත්‍රී භෝජනයයි. කෑමබීම නීරස වීම, ගඳ සුවඳ නොදැනීම මෙන්ම කෑම අරුචිය ද කෝවිඩ් රෝග ලක්ෂණයක් යැයි පැවසුන ද, මගේ කෑම අරුචියට නම් මූලික හේතුව ලුණු වැඩි වීමයි. ක්‍රෑන්බෙරි සෝස් එකතු කළ පසු ලුණු තත්වය බැලන්ස් වීම නිසා මස් කැබැල්ලකින් භාගයක් පමණ ගිල දැමීමට හැකිවිය.

රාත්‍රිය වන විට ඇගේ පතේ වේදනාව තරමක් අඩු වූ අතර, වැඩකිරීමට කැමැත්තක් ඇති වූ නිසා, ඔමික්‍රොන් දිනපොත ජංගම දුරකථනයට වොයිස් ටයිප් කරනවාට අමතරව, සිසිල සඟරාවේ සුලු සංස්කරණ කටයුත්තක ද නිරත වූයෙමි.

රාත්‍රියේ සෞඛ්‍ය සේවයේ අයෙකු දුරකථනයෙන් අමතා බිරිදට කෝවිඩ් ආසාදිතයෙකු ලෙස ඇය හැසිරිය යුතු ආකාරය ගැන උප්දෙස් දෙන්නට පටන් ගෙන ඇත. දහවල් පීසීආර් පරීක්ෂණය කළ නමුත් තවම ප්‍රතිඵල සාමන්‍යයෙන් සිදුවෙනවා සේ එස්.එම්.එස්. පණිවිඩයකින් නොලැබුණු බව ඒ තැනැත්තාට පැවසූ බිරිඳ ප්‍රතිඵල කෙසෙදැයි විමසූ විට ඔවුන් කියා ඇත්තේ ඔවුන්ට රෝගීන්ගේ ප්‍රතිඵල විස්තර නොපෙනෙන් බවත් මේ කතා කරන්නේ ඔවුනට ලැබී ඇති රෝගීන් ගේ ලයිස්තුවක් අනුව බවත් ය.

එය යම්කිසි වැරදීමක් බව පැහැදිලි ය. අද දහවල පීසීආර් පරීක්ෂණය සඳහා ලබා දුන් සාම්පලයේ ප්‍රතිඵලය ලැබීමට දිනක් පමණ ගතවේ.

කෙසේ වෙතත් එකක් පැහැදිලිය. හෙට ලැබෙන ප්‍රතිඵල අනුව පුතා සහ මා දෙදෙනා ම ආසාදිතයින් ලෙස නම් කෙරෙනු ඇත.

ඉන් පසු කුමක් වේද?

අපට මේ හෝටලයෙන් බැහැර වී “මෙඩි-හොටේල්” ස්ථානයකට යාමට සිදුවෙනු ඇත. ඒ මධ්‍යස්ථානවල යම් කිසි මට්ටමක සෞඛ්‍යමය නිරීක්ෂණ කෙරෙන බව දියණිය අප සමග පවසා ඇත. අප සිව්දෙනා, දිනකට දෙතුන්වරක්, ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ වීඩීයෝ සහිතව කතාබහ කර තොරතුරු හුවමාරු කර ගනිමු.

තවමත් මා බේතක් ලෙස ගන්නේ පැරසිටමෝල් පමණි.

විවිධාකාර සිතුවිලි මැදින් නින්දට වැටුණෙමි.

එතැන් සිට සිදුවුණු දේ මේ ලිපි මාලාවේ හත්වෙනි කොටසේ ලියමි:
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html

- රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html


(දවල් කෑම වේල. මුහුද අසල නිසාදෝ ලුණු පිරී තිබුණි.)

Monday 10 January 2022

නිරෝධායන සමය ඇරඹෙයි - In isolation


අනපේක්ෂිත සිදුවීම් එකක් නොව දෙකකටම පසු දෙවන දිනයේ අලුත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල ද සමග ඇරඹුණු අපේ තැස්මේනියා සංචාරයේ මුල් දෙදින සැලසුම් පරිදි ගතවුණු නමුත් එක් අයෙකුට රෝග ලක්ෂණ පහළ වීමත් නවාතැනේ දී කළ ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵලය ද හොඳ නොවූ නිසාත් තුන්වෙනි දින අපට සිදුවූයේ සියලු සංචාර සැලසුම් අතහැර, පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා දී නිවසට වී සිටීමයි. පසුදා උදෑසන වනවිට දියණියට රෝගය වැළඳී ඇති බව තහවුරු වූ නිසා එදින සවස් යාමයේ ඇයට “මෙඩි-හෝටෙල්” එකක නිරෝධායනය යාමට සිදු වූ අතර අපට නිවාඩු නිකේතනයේ ම රැඳී සිටීමට සිදුවිය.

අද එතැන් සිට.

දෙසැම්බර් 24 සිකුරාදා

දෙසැම්බර් 22 දින සිදුකළ පීසීආර් පරීක්ෂණය අනුව රෝගයක් නොතිබුණ ද, පසුදා හොඳ සනීපයෙන් යුතුව සිසිල සඟරාවේ සංස්කරණ වැඩ කිහිපයක ද නිරත වෙමින් සිට රාත්‍රී දහයට පමණ නින්දට ගිය ද, මෙදින මට උදෑසන ඇඳෙන් බැසීමට කිසිදු ශක්තියක් නොතිබුණි. ඇත්තට ම රාත්‍රී දෙක හමාරට පමණ අවදි වී වැසිකිළියට යාමට කාමරයෙන් පිටතට යද්දී ද ඇඟට තරමක අසීරුවක් දැනුණි.

මා වයිරසය වැළඳුණු රෝගියෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු නිසාත්, මේ ඇඟට දැනෙන නිසැක අසනීප තත්වය නිසාත්, දැන් ඉතින් එන පොට හොඳ නැති බව වැටහුණු හෙයින් කෝකටත් කියා විනාඩි දහයකින් ප්‍රතිඵල ලැබෙන ඇන්ටිජන් පරීක්ෂණයක් කළෙමි. නමුත් එහි ප්‍රතිඵලය කියා පෑවේ මට රෝගය වැළඳී නැති බවයි. එසේ නොමැති නම්, එම පරීක්ෂණයෙන් සොයා ගැනීමට තරම් වයිරස් ප්‍රමාණයක් මගේ නහය තුළ නැති බවයි.

මගේ රෝග ලක්ෂණ මට සිහි කළේ පොඩ්ඩක් එහ මෙහා වී වැඩිපුර මත්පැන් වඩි දෙක තුනක් පානය කළ දිනයකට පසු දින උදයේ ඇඟට දැනෙන විජලනය නිසා ඇතිවන අපහසුතාවයි. ඇඟ පුරා හැම සෛලයක්ම වේලී ගොස් ඇති සේ දැනුණි. පොඩි පහේ හිසරදයක් ද තිබුණි.

පැරසිටමෝල් පෙති දෙකක් ද සමග වතුර වීදුරුවක් දෙකක් පානය කළ විට ඒ අපහසුකම බොහෝ දුරට නිමා විය. නමුත් මුව ආවරණය සහිතව දිගු වේලාවක් සිටීම අපහසු බව වැටහුණි.

මේ අතරතුර තැස්මේනියානු සෞඛ්‍ය බලධාරීන්ගෙන් අපට උපදෙස් ලැබුණේ වයිරසය ආසාදිත අයගේ සමීපතම ආශ්‍රිතයයින් ලෙස අපට සමාජයෙන් වෙන් වී සිටීම සඳහා රජයෙන් දිවයිනේ උතුරුකරයේ ඩෙවන්පෝට් නගරයේ නවාතැන්පොළක් වෙන්කර ඇති බවයි. ඒ උපදෙස පිළිගත් අපට කුලියට ලබාගෙන සිටි වාහනයෙන් ම එහි යාමට අවසර ලැබුණේ අතර මග කිසිදු තැනක නතර නොවන ලෙසට කළ ඉල්ලීමක් ද සමග ය. කුලියට ගත් වාහනය ගුවන් තොටුපොළේ කාර්යාලයට නොව, එම වාහන සමාගමේ ඩෙවන්පෝට් ශාඛාව විසින් භාර ගැනීමට නියමිත විය.

වාහනයේ ගමනට පැය එක දෙකක් පමණ ගත විය. සන්‍රයිස් මොටේල් නම් අප සඳහා කාමරයක් වෙන් කර තිබුණු ඒ නවාතැන, මේ දිනවල රජයේ කොන්ත්‍රාත්තුවක් මත මේ ආකාරයට කෝවිඩ් ආසාදිතයින් ගේ සමීපතම ආශ්‍රිතයින්ට නිරෝධායන පහසුකම ලබා දෙන හෝටලයකි. බිරිඳටත්, පුතාටත් මටත්, කාමර දෙකකින් යුතු නේවාසික ඒකකයක් ලැබුණි. දොරෙන් ඇතුල් වෙන විට ම දෙදෙනෙකුගේ ඇඳක්, මේසයක්, රූපවාහිනියක් සෝපාවක් සමග කාමරයකි, ඊළඟට වැසිකිළිය සහිත නාන කාමරයයි. දොරකින් ඇතුල් වී යා යුතු පිටුපස කාමරයේ තනි ඇඳන් දෙකක් මේසයක් සහ කුඩා රූපවාහිනියක් විය.

පුතා පසුපස කාමරයට ගිය අතර දෙමව්පියන් වන අපට ඉදිරිපස කාමරය ලැබුණි.

මෙහි නේවාසිකයින්ට කෑම බීම යනාදිය කාමරයේ දොරකඩට සපයනු ලැබේ. අපට තිබුණේ දෙන දෙයක් අනුභව කර කාමරයට ම වී සිටීමයි.

පසුදින කෙරෙන පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව රෝගය නැතිනම්, කාමරයෙන් පිටතට විත් විශේෂ ස්ථානයක දිනපතා අඩ පැයක් ව්‍යායාම කළ හැකි බවත්, පස්වෙනි දිනයේ කරනු ලබන දෙවෙනි පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව අපට මේ නිරෝධායන හෝටලයෙන් පිටව යා හැකි බවත් රජයේ නිලධාරියා අපට දුරකථනයෙන් දැන්වීය.

කෙසේ වෙතත් කාමරයට පැමිණි විගස මා කළේ, ආහාරය සඳහා ලැබුණු මෂෲම් රිසෝටෝව එහෙන් මෙහෙන් ගිල දමා, නැවතත් පැරසිටමෝල් පෙති දෙකක් වතුර සමග පානය කර, ඇඳට වැටී නින්දට යෑමයි. මේ වන විට ඇස් යටින් තරමක හිසරදයක් ද නැවතත් ඇති වී තිබුණි. පැය තුනකට පමණ පසු අවදිවුණු පසු ද සුවයක් නොතිබුණි.

පුතා ද, තරමක අපහසුකමකින් සිටින බව වැටහුණු නිසා ඔහුට ඇන්ටිජන් පරීක්ෂණයක් කළ බිරිඳ නිරීක්ෂණය කර තිබුණේ පුතාට වයිරසය වැළඳී ඇති බවයි. ඉන් පැයකට පමණ අවදිවුණු මට ද ඒ සන්තෑසියම උදා වී ඇති බව ඇන්ටිජන් පරීක්ෂණය හෙළි කළේ ය.

එනිසා අප තීරණය කළේ, මා ද පුතා සිටින පසුපස කාමරයට මාරු විය යුතු බවයි. ඒ බිරිඳගේ ආරක්ෂාව පිණිස ය. එක් අයෙකු හෝ නිරෝගීව සිටීමට උත්සාහ කිරීමේ වරදක් නැත.

දැන් අප සිව්දෙනා, නගර දෙකක, හෝටල් දෙකක කාමර තුනක, ඇඳන් හතරක ය.

රාත්‍රී කෑම සඳහා අපට තිබුණු විකල්ප දෙකෙන් මා තෝරාගත් ඇංගස් බීෆ් සොසේජ් ආහාර වේලෙන් එක හමාරක් පමණ වදෙන් පොරෙන් අල චිප්ස් කිහිපයක් සමග ගිල දැම්මෙමි. එය නීරස වූයේ කෝවිඩ් රෝගය නිසා නොව ලුණු වැඩි නිසා ය. සැලඩ් ස්වලපයේ නම් වරදක් නොතිබුණි. චිකන් පාමජානා තෝරා ගත් පුතා ද කීවේ එය නීරස බවයි.

සිසිල සඟරාව නියමිත වේලාවට නිම කළ හැකි වේ දැයි සැකයක් මතු වේ. ඒ ඇඟපතේ වේදනාව නිසා ය. හෙට වෙන විට කුමකින් කුමක් වේදැයි නොදැන නින්දට ගියෙමි.

ඒ සිහිනයක් හෝ නොමැති වූ පාළු දුක්බර නින්දකි.

මේ ලිපි මාලාවේ හයවෙනි කොටසින් හමුවෙමු.
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html


(ඡායාරූපය: තැස්මේනියාවේ ලෙඩුන් ප්‍රවාහනය කරන රථයක්)

Sunday 9 January 2022

ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us


අප තැස්මේනියාගේ ගියේ ඔමික්‍රොන් නිසා ගුවන් ගමන අවලංගු වූ මුල් දිනයේ නොව නැවතත් පීසීආර් පරීක්ෂණයකින් ද සමත්ව ඊට පසු දිනයේ ය. එහි ගත කළ මුල් දින දෙක සැලසුම් කළ පරිදි සංචාරයේ යෙදුණු නමුත් ඒ දෙවෙනි දිනය අවසානයේ එක් අයෙකුට රෝග ලක්ෂණ පහළ වී නවාතැනේ දී කළ ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵලය ද නරක වූ නිසා පසු දින අප කළේ සියලු සැලසුම් අතැර, පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා දී නිවසට වී සිටීමයි.

එදින රාත්‍රියේ පීසීආර් ප්‍රතිඵල එස් එම් එස් මගින් ලැබෙන්නට පටන් ගත්තේ ය.

අද එතැන් සිට.

දෙසැම්බර් 23 බ්‍රහස්පතින්දා

ප්‍රතිඵල එන්නට පටන් ගත්තේ මැදියම් රැය පසු වූ පසුවයි, මගේ නම් රාත්‍රී 12:16ට ය. මට වයිරසය නැත. බිරිඳට ද නැත. පුත්‍රයාට ද නැත.

උදේ පාන්දර වන විට අපට දැනගන්නට ලැබුණේ දියණිය ගේ ප්‍රතිඵලය පොසිටිව් බවයි. එනම්, ඇයට රෝගය වැළඳී ඇති බවයි.

දැන් ඇය කෝවිඩ් ආසාදිත රෝගියෙකි. අප තිදෙනා, ක්ලෝස් කන්ටෑක්ට්ස් හෙවත් සමීපතම ආශ්‍රිතයින් ය. සෞඛ්‍ය උපදෙස් පරිදි අප කළ යුතුව තිබුණේ, ආසාදිතයා වෙනම නිරෝධායන වීමත්, අන් අය වෙනමත් වෙන් වී සිටීමත් ය. ඉතින් අප මෙදින කළේ මුඛ ආවරණ පැළඳගෙන දියණිය නිවඩු නිකේතනයේ එක් නිවෙසකත්, අප වෙනමත්, එකිනෙකාගෙන් දුරස්ථව කල් ගෙවීමයි. අපේ නේවාසික ස්ථානයෙන් පිටතට නොගියෙමු.

පසුගිය සැප්තැම්බරයේ සිට මම “සිසිල” නම් සිංහල සාහිත්‍යමය සඟරාවක් සංස්කරණය කරමි. ඕස්ට්‍රේලියාවේත්, වෙනත් රටවලත් වෙසෙන සිංහල ලේඛකයින්ගේ ලිපි ඇතුළත්, ලොව පුරා ඊ-මේල මගින් බෙදා හැරෙන මේ සඟරාව සංස්කරණය කිරීම සෑහෙන කාලයක් මිඩංගු කළ යුතු කාර්යයකි. සඟරාව මාසයේ පළමුවෙනිදා බෙදා හැරීම මගේ අරමුණයි. එනිසා ඊට පෙර සතියක පමණ දින කිහිපය මට ඉතා කාර්ය බහුල වේ.

දෙසැම්බර් 18 වෙනිදා සිට 26 වෙනිදා දක්වා අපේ තැස්මේනියා ගමන යෙදී තිබුණු නිසා, මා මෙවර කළේ සඟරාවට ඇතුළත් කරන ලිපි සහ විශේෂාංගව්ලින් හැකි පමණ කොටස් කලින් ම පිළියෙල කර පිටු සැකසීමයි. විශේෂයෙන් ම අන්තිම මොහොතේ සකසන මා ලියන ලිපි මෙවර එසේ කලින් ම සකස් කළෙමි. මගේ සැලසුම වූයේ දෙසැම්බර් 26 වෙනිදා දිවා කාලයේ නිවසට පැමිණි පසු, වෙහෙස් නොබලා සඟරාවේ ඉතිරි වැඩකටයුතු අවසාන කොට 2022 ජනවාරි පළමුවෙනිදා හිමිදිරියේ අවුරුදු සුබ පැතුම් ද සමග සඟරාව බෙදා හැරීමටයි.

එසේ වෙතත්, මෙවර කලාපය් සඳහා පොතක් පිළිබඳව විචාරයක් ලිවීමට අදහස් කළ නිසා අදාළ ග්‍රන්ථය ද, මගේ ලැප්ටොප් මොඩලයේ පරිගණකය ද, සංචාරය සඳහා සූදානම් වෙද්දී, අවසාන මොහොතේ, ගමන් මල්ලට ඔබා ගත්තෙමි. ඊට අමතරව ඉංග්ලිෂ් ලිපියක යාන්තමින් අරඹා තිබුණු සිංහල පරිවර්තනයක් ද හමාර කිරීමට තිබුණි.

එය කෙතරම් දූරදර්ශී ක්‍රියාවක් ද කියා වැටහෙන්නේ දැන් ය. සාමාන්‍ය සෞඛ්‍ය රෙගුලාසි අනුව අප දින හතක් සමාජයෙන් වෙන්ව ගත කළ යුතු ය.

පරිගණකය දිගහැර ගත් මම පරිවර්තන කාර්යය ඇරඹුවෙමි. මා සාමන්‍යයෙන් භාවිතා කරන සුචරිත ගම්ලත් ශබ්දකෝෂය මෙන්ම, සරසවි සිංහල ශබ්දකෝෂය ද ළඟ නැතිවීමේ අඩුව හොඳින් දැනුණි. පරිවර්තනය සඳහා පමණක් නොව නිවැරදි අක්ෂර වින්‍යාසය සොයා ගැනීමට ද ඒ ග්‍රන්ථ ඉතා ප්‍රයෝජනවත් වේ.

රෝගය වැළඳුණු තැස්මේනියානු වැසියන් කළ යුත්තේ නිවසේ දීම නිරෝධායනය වීමයි. අප සංචාරකයින් නිසා එය තරමක් වෙනස් වේ. ඒ අනුව දියණියව මෙඩි-හොටේල් නමින් හැදින්වෙන යම් ආකාරයක සෞඛය පහසුකම් ඇති ස්ථානයකට ගෙන යන බව දැනුම් දෙන ලදී. එය පිහිටියේ අප සිටි නිවාඩු නිකේතනයට පැය එකහමාරක් පමණ දකුණෙන් පිහිටි තැස්මේනියාවේ අගනුවර වන හෝබාර්ට් නගරයේ ය.

මෙදින සවස් යාමයේ හතහමාරට පමණ සෞඛ්‍ය බලධාරීන් විසින් ගිලන් රථ සේවාවක් එහි ගෙන යන ලදී. ඒ අවස්ථාව ඉතා දුක්බර මොහොතක් විය.

පසුදින වන විට අපට ද, වෙන්ව විසීම පිණිස රජයෙන් පවත්වාගෙන යන මධ්‍යස්ථානයක යා හැකි බව දැනුම් දෙනු ලැබී ය. එය අපට වැදගත් වූයේ අප නිවාඩු නිකේතනය වෙන් කරවාගෙන තිබුණේ දෙසැම්බර් 26 වෙනි දින දක්වා පමණක් වීම නිසා ය.

අපට තිබුණු එක් ප්‍රශ්නයක් වූයේ කුලියට ලබා ගෙන තිබුණු මෝටර් රථය ගුවන් තොටුපොළේ පිහිටි වාහන සමාගමට ආපසු භාර දෙන්නේ කෙසේ ද යන්නයි. නමුත්, අපට සිදු වී ඇති, වෙමින් පවතින දේ හා සසඳන විට එය සුලු කරුණක් විය.

අද උදේ හයට පමණ අවදිව, සඟරාවේ කටයුතු ද තරමක් හෝ සිදුකර රාත්‍රී දහයට පමණ මා නින්දට ගිය ද, පසුදා උදාවූයේ කිසිසේත් ම සුබ දවසක් නොවේ.

ඒ පිළිබද තොරතුරු මීළඟ කොටසින්, මේ ලිපි මාලාවේ පස්වෙනි කොටසින්, කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


(ඡායරූපය: ගන්නා ලද්දේ දෙසැම්බර් 24 දිනයේ ය.)

Saturday 8 January 2022

ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!


මගේ ඔමික්‍රොන් දිනපොතේ මුල් පිටු දෙකේ මා ලියූ පරිදි අපේ තැස්මේනියා සංචාරය ඇරඹුණේ, මුල් දිනයේ ලද බරපතල අපේක්ෂා භංගත්වය, දෙවෙනි දිනයේ දී අලුතින් මිල දී ගත් ගුවන් ගමන් ටිකට් මගින් ද, මුදල් ගෙවා කළ පීසීආර් පරීක්ෂණයකින් ද මැඩපවත්වා ගැනීමෙනි.

තැස්මේනියාවේ ලොන්සෙස්ටන් නගරයට ගොඩ බට අප, නිවාඩු නිකේතනයට ගොස්, අවට සිරි ද නරඹා, සතුටු සිතින් යුතුව, පසුදා සිට චාරිකාවේ සැළසුම් කර තිබුණු වැඩසටහන අනුව කටයුතු කිරීමට අදිටන් කර ගත්තෙමු.

අද එතැන් සිට:

දෙසැම්බර් 20 සඳුදා

මෙය ඔමික්‍රොන් දිනපොත මිස චාරිකා සටහනක් නොවන නිසා ගමන් බිමන් සහ නැරඹූ දේ ගැන විස්තර අවමයෙන් ලියමි.

උදෑසනම, අප නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය අසල පිහිටි ආපන ශාලාවකින් පාතරසය වැළඳූ අප ඉන් පසු කළේ මෝටර් රථයේ නැගී හෝබාට් නගරය අසල පිහිටි මියුසියම් ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නිව් ආර්ට් හෙවත් මෝනා නම් ප්‍රදර්ශන භූමිය වෙත යෑමයි. මේ සඳහා කළින් ටිකට්පත් මිල දී ගෙන තිබුණි. පැය තුනක් පමණ එහි ගත කර, එහි තිබුණු ආපන ශාලාවෙන් දිවා ආහාරය ද ලබාගෙන, ඊළඟට අප ගියේ මේ ප්‍රදේශයේ ඇති උසම කඳු මුදුනවන මවුන්ට් වෙලින්ටන් වෙතයි. දැඩි සීතලෙන් පිරී ගිය එහි, දරුණු ලෙස හමන සුළඟ මැඩගෙන අඩ පැයක් පමණ ගත කළ අප, අතරමග නගරයක නවතා, රාත්‍රී කෑමට ද්‍රව්‍ය ද මිලට ගෙන ආපසු නවාතැන වෙත පැමිණියෙමු.

සැන්දෑ සමය සුපුරුදු පරිදි සතුටින් ගත විය.

දෙසැම්බර් 21 අඟහරුවාදා

අප උදෑසනින් පිටත්ව ගියේ තැස්මේනියාවේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති වයින් ග්ලාස් බේ නම් සුන්දර් ප්‍රදේශයටයි. මේ කලපු ප්‍රදේශයේ බෝට්ටුවකින් සවාරියක් යෑමට අප කලින් ආසන වෙන් කරගෙන තිබුණි. පැය හතරක පමණ ගමනකි. දිවා ආහාරය ද බෝට්ටුවේ දී ම ලබා ගත්තෙමු.

ඉන් අනතුරුව, අප කළේ අසල පිහිටි ජාතික වනෝද්‍යානයට ටිකට්පත් රැගෙන ඇතුලු වී, එහි ඇති කන්දක් තරණය කිරීමයි. කඳු මුදුණේ සිට වයින් ග්ලාස් බේ නම් ස්ථානයේ මනරම් දසුන නැරඹිය හැකිවිය.

සියල්ල වෙනස් වෙන්නට පටන් ගත්තේ මෙදින රාත්‍රියේ ය. අපේ කණ්ඩායමේ සාමාජිකයකු බෝට්ටු සවාරිය අවසන් කළේ තරමක් රෝගී ස්වභාවයෙනි. සවස් යාමයේ දී, එය හුදෙක් තෙහෙට්ටුවට වැඩි යමක් බව අවබෝධ වූ බැවින් අප සතුව තිබුණු විනාඩි දහයක් ඇතුලත ප්‍රතිඵල ලබා දෙන කෝවිඩ් වයිරස් පරීක්ෂණ කට්ටලයක් උපයෝගී කරගනිමින් පිරික්සූ විට පෙනී ගියේ රෝගය වැළඳී ඇති බවයි. ඒ නිසා පසු දිනට නියමිත වූ චාරිකා වැඩපිළිවෙළ (බේ ඔෆ් ෆයර්ස් ප්‍රදේශය නැරඹීමට යෑම) අමතක කොට ළඟම නගරයට ගොස් අප සියළු දෙනාම පිසීආර් පරීක්ෂණය කරගත යුතු යැයි අපි තීරණය කළෙමු.

ඔමික්‍රොන් සමය ඇරඹුණි.

දෙසැම්බර් 22 බදාදා

අප නවාතැන් ගෙන සිටි පිටිසර පෙදෙසේ පීසීආර් පරීක්ෂණ කර ගැනීමේ පහසුකම් නොතිබුණි. ඒ ජනගහනය ඉතා අඩු පෙදෙසක් වීමට අමතරව කෝවිඩ් රෝගය ද පසුගිය දෙවසරක කාලය තුළ ඉතාම අඩුවෙන් පැතිරුණු තැස්මේනියාවේ ද එක් කොණක් වීම නිසා ය.

එනිසා වාහනයේ නැගුණු අප කළේ පැය එකහමාරක පමණ දුරින් පිහිටි ලොන්සෙස්ටන් නගරය වෙත ගමන් කිරීමයි. මුලින් අපේ අදහස වූයේ අප සිඩ්නි ගුවන්තොටුපළේ දී කළ ආකාරයට මුදල් ගෙවා පරීක්ෂණය කරගෙන, පැයකින් පමණ ප්‍රතිඵල ලැබෙන නිසා, වයිරසය වැළදී නැතිනම් සැළසුම් කර තිබුණු ගමනාන්තයට යෑමටයි. නමුත් ලොන්සෙස්ටන්හි පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානවල එම පහසුකම නොතිබුණි.

ඇත්තටම ඔමික්‍රොනය තැස්මේනියාව ආක්‍රමණය කළේ දෙසැම්බර් 15 දා දේශසීමා විවෘත කිරීමෙන් පසුව ය.

එනිසා අප සියළු දෙනාම පීසීආර් පරීක්ෂණයට මුහුණ දී, දිනකින් ප්‍රතිඵල එනතුරු නිවාඩු නිකේතනයටම වී සිටීමට අදිටන් කරගෙන එක එල්ලේ ආපසු ආවෙමු.

ඔමික්‍රෝනය අපේ චාරිකාවේ දිනයක් ම ගිල ගන්නා ලදී.

එදින මැදියම් රැයේ දී පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එස් එම් එස් මගින් ලැබෙන්නට පටන් ගත්තේ ය.

ඒ විස්තර මේ ලිපි මාලාවේ සිව්වෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


(ඡායාරූපය: වයින් ග්ලාස් බේ ප්‍රදේශය කඳු මුදුනේ සිට පෙනෙන අයුරු)

Friday 7 January 2022

මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything


මේ සටහන් පෙළේ පළමු කොටසේ මා ලියූ පරිදි අපේ තැස්මේනියානු සංචාරය සැලසුම් කර ඒ සඳහා මූලික කටයුතු අප යෙදුවේ 2021 මැයි මාසයේ දී ය. පීසීආර් ප්‍රතිඵල ද ඇතුළු සියලු කොන්දේසි සපුරාගෙන අප ගුවන්තොටුපොළට ගිය විට සිදුවුණේ නොසිතූ පරිදි ගුවන් යානය අවලංගු වීමයි.

අද එතැන් සිට

මගේ වසර තිස් තුනක ගුවන් ගමන් ඉතිහාසයේ මේ ආකාරයට ගුවන්‍ ගමනක් අවලංගු වූයේ පළමුවෙනි වතාවට බව කිව යුතුයි. අපේ ගුවන් ගමන පමණක් නොව, වර්ජින් ගුවන් සේවාවේ ගුවන් ගමන් හතරක් ම අවලංගු වී ඇති බව පෙනුණි.

මෙය කිසිසේත්ම කාර්මික දෝෂයක් විය නොහැකි බව පැහැදිලි විය.

පසුව අපට දැන ගන්නට ලැබුණේ ගුවන් කාර්ය මණ්ඩලයේ අයෙකුට කෝවිඩ් වැළඳී ඇති නිසා, ඒ පුද්ගලයා ගේ සමීප සේවකයින් ස්වය නිරෝධායනයට ලක් කිරීම මේ අවලංගු කිරීමව්ලට හේතුව බවයි.

තවත් ටික වේලාවකට පසු ගුවන් යානයට පටවා ගන්නා ලද අපේ ගමන් මලු නිදහස් කරන ලදී. ඒවා අප අතට පත් වූ වහාම අප දිව ගියේ ලොන්සෙස්ටන් නගරය එදින ගමන් ගන්නා වෙනත් ගුවන් සේවයක ටිකට් ඉතුරුව තිබේ නම් ඒවා මිල දී ගෙන සැලසුම් කළ පරිදි අද ම අපේ ගමන යෑමටයි.

අවාසනාවකට මෙන් එය කළ නොහැකි වූ අතර අපට හැකිවුණේ ඊළඟ දවසේ පිටත් වෙන ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක ටිකට් පත වෙන් කර ගැනීමට පමණි.

එලෙස ඇති වූ අපේක්ෂා භංගත්වය මැඩ යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් අප මුහුණ දුන් ඊළඟ ප්‍රශ්නය වූයේ, හෙට, එනම් දෙසැම්බර් 19 වන දිනය වන විට, අප ලබාගෙන තිබූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නියමිත පැය 72 ඉක්ම ගොස් අවලංගු වීමයි.

එනිසා, ගුවන් තොටුපලේ සිට ආපසු නිවස බලා යන අතරේ අප කළේ පීසීආර් පරීක්ෂණය කරන මධ්‍යස්ථානයකට ගොස් ඛේට සාම්පල ලබා දීමයි. නමුත් මේ වන විට විදෙස්ගත් වීමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ ම වෙනත් ප්‍රාන්ත වෙත යෑම සඳහා ම විශාල පිරිසක් ද, රෝග ලක්ෂණ පහළ වීම නිසා තවත් පිරිසක් ද, රෝගයට ගොදුරු වී ඇති අය සමග ළඟින් ඇසුරු කළ නිසා තව පිරිසක් ද පීසීආර් පරීක්ෂණය කර ගන්නා නිසා අපේ ප්‍රතිඵල පහුවදා දහවලට පෙර ලබා දීම කිසිසේත්ම පිළිබඳ වගකීමක් දිය නොහැකි යයි අපට පවසන ලදී.

ඇත්තටම එය එසේ ම විය. අපට එම ප්‍රතිඵල ලැබුණේ දින එකහමාරකට පසුව ය.

එනිසා නිවසට ගිය පසු අප තීරණය කළේ, විදෙස් ගමන් යන්නන්ගේ සහ විදේශවල සිට පැමිණෙන අයගේ අවශ්‍යතා සපුරනු පිණිස සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවා ඇති පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානයට ගොස් මුදල් ගෙවා පරීක්ෂණය කර ගැනීමට තීරණය කිරීමයි. මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිඵලය ලබා දීම විනාඩි 90ක් ඇතුළත කරන බවට සහතිකයක් ඇත. අයකරන මුදල ඩොලර් 79 කි.

අපේ ගුවන් ගමන් යෙදී තිබුණේ මධ්‍යාහ්නයේ වුවත්, අප පසුවදා එනම් දෙසැම්බර් 19 ඉරිදා ද, පෙරදින මෙන් උදෑසන ම අවදිව, නිවසේ සිට ගුවන් තොටුපලේ මෙවර ජාත්‍යන්තර අංගනයට ගොස් වාහනය එහි නවත්වා, එදින උදෑසන ඉන්ටර්නෙට් ඔස්සේ මුදල් වෙන් කරගෙන තිබුණු පරිදි පීසීආර් පරීක්ෂණය කර ගත්තෙමු. ඉන්පසුව, එතනින් පිටත් වී මද දුරකින් පිහිටා ඇති සිඩ්නි අභ්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් වාහන අංගනයේ මෝටර් රථය නවත්වා ප්‍රතිඵල එනතුරු බලා සිටිමු. පැයක් පමණ ගිය පසු අප සියලු දෙනාටම බලාපොරොත්තු වූ ප්‍රතිඵලය, එනම්, අපට වයිරසය ආසාදනය වී නොමැති බව කියවෙන පණිවිඩය ලැබුණි.

ඉතින්, මුලින් සැලසුම් කළ වෙලාවෙන් පැය විසි අටකට පමණ පසු අප තැස්මේනියා දිවයිනේ ලොන්සෙස්ටන් නගරයේ ගුවන් තොටුපළට ළඟාවීමු.

ගුවන් තොටුපළේ දී අපට පර්යන්තයෙන් පිටට ඒමට ඉඩ ලැබුණේ, කෝවිඩ් සඳහා එන්නත් දෙකක් ලබා ඇති බවට ෆෙඩරල් රජයෙන් නිකුත් කළ සහතිකය සහ පීසීආර් පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵලය පෙන්වීමෙන් පසුව ය. එසේ කළ නොහැකි වූ තිදෙනෙකු යැයි අපට සිතුණු දේශීය සංචාරකයින් තිදෙනෙකු එක්කෝ පරීක්ෂණය කිරීම සඳහා හෝ නැතිනම් නිරෝධායනය සඳහා හෝ රැගෙන යනු දක්නට ලැබුණි.

මේ වන විට අපේ මුල් චාරිකා සැලසුම අවුල් වී ගොස් තිබුණු බව අමුතුවෙන් කිව යුතු නැත. වැස්සක් ද ඇරඹී තිබුණි. අප සෙනසුරාදා සවස් වරුවේ කිරීමට සිතූ ගමන, අද ඉරිදා කිරීමට කාලය නොතිබුණි. ඉරිදාට සැලසුම් කළ දේ ද කෙළින්ම අතහැර දැමීමට සිදුවිය.

එනිසා අප කළේ, වෙන කර ගෙන තිබුණු කුලී වාහනය ද පදවාගෙන, ස්වොන්සි නගරයේ පිහිටි, අපේ සංචාරක නවාතැන වෙත යෑමයි.

එදින සැන්දෑ යාමය, අල්ලාප සල්ලාපයෙන් ද, ප්‍රණීත ආහාර මෙන්ම පානයෙන් ද සතුටුවෙමින් අප කල් ගත කළේ, පසුදා, එනම් දෙසැම්බර් 20 සඳුදා සිට මුල් සැලසුමේ පරිදි කටයුතු කිරීමටයි.

නමුත් දින දෙකක් ඇතුළත සියල්ල වෙනස් විය.

ඒ විස්තර ඊළඟ කොටසින්:
ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


-රසික සූරියආරච්චි

මුල් කොටස සඳහා සබැඳිය:
රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html