Showing posts with label මෙල්බර්න් නගරය. Show all posts
Showing posts with label මෙල්බර්න් නගරය. Show all posts

Wednesday, 31 January 2018

පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why!


මේ සිදුවීම සහ තවත් එකිනෙක ඈඳුණු සිදුවීම් කිහිපයක් ම පෙරේදා හවස් වරුවේ මගේ මතකයේ ඉහළ ස්ථරයට පැමිණ හක්කලං කරන්නට පටන් ගත්තේ ය. පසුදා මා දුටුවේ මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු සටහනකි.

අමතක වී ගොස් තිබුණු රසිකොලොජි බ්ලොගය නැවත එළිපහළි කර, මේ මතක සටහන් දෙක තුන වහවහා ලියා දමන්නට සිත්වුණේ ඒ නිසා ය.

අප මෙල්බර්න් නුවරට සංක්‍රමණය කර ජීවත්වීම ඇරඹූ මුල් කාලයේ පදිංචිව සිටියේ කානර්ගී නම් තදාසන්න ප්‍රදේශයේ තට්ටු නිවාසක ය. නිවාස අටකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි, අපේ කාමර දෙකේ නිවාසයට යටින් පිහිටි නිවසේ ජීවත් වූයේ සුදෝ සුදු කොණ්ඩයකින් යුත් මහලු කාන්තාවකි. අගේ නම ඇනට් වැන්නක් බව මගේ මැකී යන මතකයේ තවමත් රැඳී ඇත.

ඉඳහිට සති අන්තයේ දිනක දී, ටැක්සියකින් පැමිණ ඇය හමුවන මිතුරෙකු හැරෙන්නට ඇය විසුවේ තනිවම ය. සතියට වරක් දෙකක් නිවස අසල ප්‍රදේශයේ දී ඇය හමුවන විට මද සිනහවක් පා, හලෝ යැයි කීම හැර අප අතර වෙනත් ගනුදෙනුවක් නොතිබුණි.

එක් දිනක් සවස්වරුවේ ළදැරික වූ මගේ දියණිය හා මා නිවසේ සිටින අතර නිවසේ ඉදිරි දොරට තට්ටු කරන හඬක් ඇසුණි.

දොර හැර බැලූ විට මා දුටුවේ තරමක් බියපත් වූ මුහුණින් යුතු ඇනට් ය.

"මට උදව්වක් කරන්න හැකිද?" ඇය ඇසුවා ය. "මගේ ගෙදරට මකුළුවෙක් ඇවිත්. පොඩ්ඩක් පහළට එන්න ප්ලීස්."

බිරිඳ ඒ වන විට නිවසට පැමිණ සිටියේ නැති නිසා මම කුඩා දියණිය ද සමග පහළ තට්ටුවේ ඇනට් ගේ නිවසට ගියෙමි.

ඕස්ටේ‍ර්ලියාවේ දරුණු විසකුරු මකුළුවන් ඇති බව මා අසා තිබුණි. නමුත් ඇනට්ගේ නිවසට වැද සිටියේ ද, මා "වධකයා සහ උගේ බිරිඳ" කතාවේ ලියූ ආකාරයේ ම විෂ රහිත සාමාන්‍යයෙන් ගෘහස්ථව වෙසෙන මකුළුවෙකි.

"මට දෙන්න ෂොපින් බෑග් එකක්!" යැයි ඉල්ලා සිලි-සිලි බැගයක් ලබා ගත් මම, එය මගේ අතේ රුවා, මකුළුවා අල්ලා බෑගය නොපිට පෙරලූවෙමි.

මකුළුවා බැගය තුළ කොටුවිය.

"ඔන්න වැඩේ ඉවරයි. මේකාව මං එළියේ තියෙන කුණු බාල්දියට දාන්නම්!" මම කීවෙමි.

ත්‍රාසයෙන් වෙලෙමින් මගේ වීර ක්‍රියාව දෙස බලා සිටි ඇනට් ආච්චී අවසානයේ දී කෘතවේදී බැල්මක් මා වෙත හෙළා කීවේ "මං හිතුවේ ඔබ ඒකාව චප්ප කරලා දාවිය කියලායි" යැයි කීවා ය.

කුකුල් මස්, හරක් මස්, මාළු අනුභව කරතත්, මකුළුවෙකු වැනි කුඩා සතෙකු වුව මරා දමන්නට අසීරු ඇයි දැයි මට එදා සිතුණි.

එදා නොව පෙරේදා ද සිතුණි. ඒ කතාව ඊළඟට ලියමි.

මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් තම ෆෙස්බුක් පිටුවේ ලියා තිබුණේ ද, මේ කාරණය ගැනම ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ මිතුරා ගැන සඳහනේ දී ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් යැයි නොකියා අයිඑම්එස් සත්‍යප්‍රසාද් යැයි කියා ලීව්වා නම්, මකුළුවන් කෙසේ වෙතත් 2014 දෙසැම්බරයේ දී මෙන් "මනපහතයෙකු" හෝ කිහිප දෙනෙකු හෝ නම් හඳුනාගන්නට ද ඉඩ තිබුණි!

(image: )

Wednesday, 12 April 2017

ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශන - Sinhala language publications in Australia


ඕස්ට්‍රේලියාවේ වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. මා දන්නා පරිදි, එහි සිංහල සඟරා හතරක් මාසිකව පළ වේ.

ඉන් මූලික ස්ථානය ගන්නේ ජගත් ජේ. එදිරිසිංහ ගේ උපදේශක කතෘත්වයෙන් යුතුව දැන් වසර දොළහක් තිස්සේ පවත්වාගෙන යන සන්නස සඟරාවයි. එහි මුද්‍රිත සියලුම පිටපත් පහත සංරක්‍ෂිත අඩවියෙන් කියවිය හැකි ය.

http://sannasa.sinhalajukebox.org/

සන්නස සඟරාව ආරම්භයේ සිටම වාගේ මම ඒ සඳහා ලිපි සැපයීමි. මා පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ, "සිව් වසරක් මරදානේ" නම් කෘතියේ අඩංගු වුණේ මා සන්නසට සඟරාව සඳහා ලියූ "පමා නොවී එමි අකුරට" නම්, මා දහවෙනි ශ්‍රේණිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තුරු ගත කළ සිව් වසරක අත්දැකීම් සහිත තීරු ලිපි එකතුවයි.

ඉන් අනතුරුව මම, සන්නස සඟරාව සඳහා "කුමර දිවිය" නමින් තීරු ලිපි දාහතක් රචනා කළෙමි.

මා මේ දිනවල සන්නස සඳහා ලියන්නේ "අපේ කාලයේ කතන්දර" නම් තීරු ලිපි මාලාවකි. මෙවර පළ වුණේ එහි විසි හත්වෙනි කොටසයි.

මීට අමතරව මම, "අල්ලපු ගෙදර" නමින් ද, "සිනුවර හසුන" නමින් ද, සන්නස සඟරාව සඳහා තීරු ලිපි ලියා ඇත්තෙමි.

සන්නස සඟරාව ඇරඹීමට දෙවසරකට පමණ පෙර මෙල්බර්න් නගරයේ ම උපත ලැබූ සඟරාවක් ද වේ. එය නමින් "පහන" නම් වේ. මේ සඟරාව ඇරඹුණේ ද ජගත් ජේ එදිරිසිංහ ඇතුළු පිරිසක ගේ කතෘත්වයෙන් වුව ද, එහි අයිතිය පසුව ව්‍යාපාරිකයෙකු සතු විය.

මාසික ප්‍රධාන කලාපයට අමතරව මාසයේ මැද ද කලාපයක් නිකුත් කරන පහන සඟරාවේ වෙබ් අඩවිය පහත දැක්වේ. ඔවුන් ගේ පෙර කලාප අන්තර්ජාලයේ කියවීමට තිබේ යැයි නොසිතමි.

http://www.pahana.com.au/

පහන පුවත්පතට මා කළ සඳහන් කළ යුතු සම්මාදම නම්, "කොලු කාලේ" නම් ලිපි විස්සකින් සමන්විත වසර 2010 මැද සිට ලියවුණු තීරු ලිපි මාලාවයි. මා එය ලියූවේ, මෙල්බර්න් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ සිංහල ලේඛකයෙකු වන දොන් බෝල්ඩ්වින් කුරුප්පු සහ එකල මෙල්බර්න් නුවර වාසය කළ ලේඛිකාවක වූ හේමමාලා හේරත් ගේ ඉල්ලීම පිට ය.

මීට අමතරව මා දන්නා පරිදි මෙල්බර්න් නගරයේ පළවෙන මාසික සඟරා දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, සාමන්ත තැන්නගේ විසින් සංස්කරණය කෙරෙන "කැඩපත" නම් සඟරාවයි. එහි වෙබ් අඩවිය මෙලෙස වේ.

http://kadapatha.com.au/

දෙවැන්න නම් විල්ෆ්‍රඩ් සිරිවර්ධන ගේ කතෘත්වයෙන් මෙල්බර්න් සිංහල සඟරා අතරට මීට වසර එකොළහකට පමණ පෙර ඇතුළත් වී ඇති "සිහනද" සඟරාවයි. ඔවුන් ගේ වෙබ් අඩවියක් නම් තිබේ යැයි මම නොසිතමි.

මේ සඟරා සියල්ල මුද්‍රණය කර ප්‍රධාන වශයෙන් කුළුබඩු කඩ හරහා සහ පන්සල් වැනි වෙනත් පොදු ස්ථාන හරහා බෙදා හැරෙන්නේ නොමිලයේ බව ද කිව යුතුය. ඒ සඟරා අතුරෙන් පහන, සන්නස සහ සිහනද සිනුවර දී ද ලබාගත හැකිය.

මීට වසර විසි හතකට පෙර සිනුවර දී පිහිටවූ "සිංහල සංස්කෘතික හමුව" විසින් "සිංහල" නමින් ත්‍රෛමාසික සඟරාවක් වසර 2001 දී පමණ සිට පළ කෙරුණු නමුත්, දැන් එය අභාවයට ගොස් ඇත!

මම වසර 2005 නොවැම්බරයේ සිට 2008 ඔක්තෝබර දක්වා එහි සංස්කාරක ලෙස ස්වේච්ඡා සේවය කරමින් සඟරා කලාප දොළහක් එළි දැක්වූයෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සොය බැලීමේ දී, "සියපත" නමින් මාසික සඟරාවක් ද, "සංචාරකයා" නම් සංචාරක සඟරාවක් ද මෙල්බර්න් නගරයේ පළ වෙන බව ආරංචි විය.

Monday, 13 February 2017

හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son


මෙය පුද්ගලික කරුණු රැගත් සටහනකි. නමුත් ඕනෑම පුද්ගලික විස්තරයක වුව ද පොදු වශයෙන් වැදගත් වෙන කරුණු යම් ප්‍රතිශතයක් තිබේ.

මේ සටහනේ ඒ ප්‍රතිශතය 50% ඉක්මවනු ඇතැයි සිතමි.

මගේ පුතා මොලොව එළිය දුටුවේ 2001 මැයි මාසයේ නමවෙනිදා ය. ඒ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් පුරවරය තදාසන්නයේ ක්ලේටන් නම් නගරයේ පිහිටි රෝහලේ දී ය.

වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය, තැස්මේනියාව ආදී විවිධ ජනපද එකතු වෙමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වී ඇත්තේ ඊට වසර සියයකට පෙර 1901 වසරේ දී නිසා අපේ පුතාට සුවිශේෂී සැලසුමකින් යුතු උප්පැන්න සහතිකයක් ද ලැබුණි.

දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ ආරංචිය සිතට කෙතරම් සතුටක් ගෙන ආව ද, ඒ දරු උපත සිදුවන්නේ මැයි මාසයේ දී බව දැනගත් විට නම් මගේ සිතට එක්තරා ආකාරයක දුකක් දැනුණි.

එයට හේතුව මෙසේ ය.

ඕස්ට්‍රේලියාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස අවසන් දින කිහිපයෙන් එකක දී ය. තවත් විස්තර කළ හොත් ඒ දිනය ජනවාරි මස 26 වෙනිදාට යෙදෙන ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරීමේ නිවාඩු දිනයට දිනයකට පමණ පසුව එන සතියේ දිනයක් වේ.

ලංකාවේ මෙන්ම පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් බල පවත්වන වික්ටෝරියානු රජයේ නීතිවලට අනුව ළමයෙකුට නව පාසල් වසරේ දී පාසල් යාමට සාමාන්‍යයෙන් අවසර ලැබෙන්නේ වයස වසර පහක් සම්පූර්ණ වීමෙන් පසුව ය.

ලංකාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස මුල සතියේ නිසා, ඒ අවුරුදු පහේ නීතියට අනුව තම උපන් දිනය දෙසැම්බරයෙන් පසු යෙදුණු අයට පාසල් අධ්‍යාපනය ඇරඹීමට අන් අයට වඩා වැඩිපුර කාලයක් බලා සිටීමට සිදුවේ. ලංකාවේ දී මේ සීමාවට පුරා මාසයක සහන කාලයක් ද එකතු කොට කඩඉම ජනවාරි 31 දක්වා කල් දමා තිබේ.
මොන සහනයක් ලබා දුන්නේ වුවද, උපතින් එක් දිනයකින් පමණක් වෙනස් වූ (ජනවාරි 31 සහ පෙබරවාරි 1) ළමුන් දෙදෙනෙකු එකිනෙකා හා වසරක පරතරයක් ඇතුව තම අධ්‍යාපනය ඇරඹීම වැළැක්විය නොහැක.

මගේ මල්ලිලා දෙදෙනාගෙන් බාලයා ඉපදුණේ මාර්තු මාසයේ ය. ඒ දිනවල ලංකාවේ පාසල් යාම ඇරඹීමේ අවම වයස වසර හයක් ලෙස නියම කර තිබුණු බැවින් මල්ලී පාසල් අධ්‍යාපනය අරඹන විට ඔහුට වයස හත සම්පූර්ණ වීමට අඩුව තිබුණේ දෙමසක් පමණි!

මෙහිදී වික්ටෝරියානු ප්‍රාන්තය ලංකාවට වඩා වෙනස් වෙන කාරණය නම්, පෙර සඳහන් කළ ආකාරයේ සහන කාලයක් ද සහිතව, වසර පහ සම්පූර්ණ විය යුතු දිනය අප්‍රියෙල් මස තිස්වෙනිදා ලෙස නියම කර තිබීමයි.

දේශය, දීපය, මව සහ පියා යන සිව් මහ බැලුම් හොඳින් සොයා බලා ගලපාගෙන තිබුණු නමුත් අපේ පුත්‍ර රත්නය මෙලොව එළිය දකින්නට සැලසුම් කර තිබුණේ ඒ පාසල් ඇරඹීමේ සහන කාලය අවසාන වී එළැඹෙන වෙසක් මාසයේ දී වීම, මා මුලින් සඳහන් කළ මගේ දුක්ඛප්‍රාප්තියට හේතුව විය.

එදා සිදුහත් පැටියා කළාක් මෙන් තම උපත වෙසක් මාසය වෙනතුරු කල් නොදමා, අඩු වශයෙන් දවස් නමයකට කලින් බක් මාසයේ දී මෙලොව එළිය දුටුවා නම් අපේ පැටියාට 2006 ජනවාරි මස අග දී පාසල් අධ්‍යාපනය ඇරඹිය හැකිව තිබුණි. දින නමයේ ප්‍රමාදය නිසා දැන් ඒ සඳහා 2007 ජනවාරි මස අවසානය වෙන තුරු වැඩිපුර වසරක් බලා සිටින්නට සිදුවේ.

එපමණක් නොවේ.

පුතා පුර්ණකාලීන අධ්‍යාපනය නිමවා පූර්ණකාලීන රැකියාවක් ඇරඹීම ද වසරකින් ප්‍රමාද වේ. ඔහු ගේ විශ්‍රාම වයස එළැඹෙන විට ගෙවා ඇති සේවා කාලය ද, වසරකින් අඩු ය.
ඔහුට ඒ කාලයේ දී සිදුවන පාඩුව මිලියන් කිහිපයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ සියල්ල මාස හයක් වැනි සුලු කාලයක් ඇතුළත වෙනස් විය.

එතෙක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ගත කළ ගන්ධබ්බ ජීවිතය හැර දැමූ මම, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ රැකියාවක් සඳහා ගිවිසුම් අත්සන් කර, සුතනඹුවන් ද සමග උතුරට සංක්‍රමණය කළෙමි.

වසර සියයකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වීමෙන් පසුව ද, පාසල් අධ්‍යාපනය ප්‍රාන්ත රාජ්‍යවල විෂයක් ලෙස දිගටම පැවතෙන නිසා, පාසල් අධ්‍යාපනය ඇරඹීමේ අවම වයස් සීමාව සඳහා දී ඇති සහන කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් බවත්, අප පදිංචි වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ කඩ ඉම ජූනි 30 දින බවත් පසක් වූ දින මා පෙර කී දුක්ඛ චිත්තයෙන් මිදී ආහ්ලාදයට පත් වුණෙමි.

පුතා 2006 ජනවාරි 30 දින, වයස අවුරුදු හතරයි මාස අටක ළමයෙකු ලෙස තම පාසල් ගමන ඇරඹී ය.

-රසිකොලොජිස්ට්

Friday, 24 June 2016

සිනුවර සිංහල පන්සල් - Sinhala Buddhist Temples in Sydney


වයසට යත් ම අපේ කාර්යක්‍ෂමතාවය අඩුවේ. තව දුරටත් කිරීමට හැකියාව ඇති සෑම දෙයක්ම කළ හැකිවන්නේ තරුණ කාලයේ දී ට වඩා අඩු වේගයකිනි. ඇවිදීම, කතාව, කියවීම, අවබෝධය, ධාරණ ශක්තිය වැනි මෙකී නොකී සියලු දේම ටිකෙන් ටික මන්දගාමී වේ. කරුණු එසේ නමුදු, එක් දෙයක නම් වේගය අඩුවීමක් ඇත්තේ ම නැත. ඒ අන් කිසිවක් නොව කාලය ගත වෙන වේගයයි. ඇත්තටම කියනවා නම් කාලය ගතවීම අපට දැනෙන වේගය යි. එහි වැඩි වීමක් මිස අඩු වීමක් නැත.

අළුත් වසර 2009 එළැඹුණේ අද ඊයේ මෙන් තවමත් දැනුනද, අද අප මේ ඉන්නේ වසරේ අවසානයේ ය. කල් ගතවෙන ඉක්මන! නැවතත් කියනවා නම්, කාලය ඉතා වේගයෙන්, අප තරුණ කාලයේ දී සිදු වූවා ට වඩා ඉතා වැඩි වේගයකින් ගලා යයි. නමුත් මෙහි සැබෑ තේරුම නම්, අප තව තවත් වයසට යන වේගය ද වැඩි වී ඇති බව නොවේ ද? නමුත් ලොව අන් සියලු දේ සේම තරුණ මහලු යන්නද සාපේක්‍ෂ අර්ථ දැක්වීමකි.

ඒ කෙසේ වූවද, ටිකෙන් ටික ජීවිතයේ සන්ධ්‍යා භාගයට අප ළංවෙත් ම, සිරුරේ මෙන්ම ජීවීතයේ ද වෙනස් කම් කීපයක් ඇතිවේ. මින් ප‍්‍රධාන වෙනසක් නම් ආගම දහමට සිත නැඹුරු වීමයි. ලෝ වැඩ සඟරාවේ දැක්වෙන පරිදි "කොතැන උනත් නැත මරු හට බාදා" නිසා, "අද අද එයි මරු පින් කර ගන්නේ" යැයි සිතමින්, "තම තම නැණ පමණින් දැන ගත යුතු" ධර්මය ආශ‍්‍රය කරන්නට අප පෙළඹෙමු. නිතර පන්සල් යන්නෙමු. පෝය ට සිල් ගන්නෙමු. භාවනා කරන්නෙමු. මේ කරුණු ගැන සමාන උනන්දුවක් ඇති අය හමුවූ විට නිරතුරු සාකච්ඡා කරන්නෙමු. සමහර විට භාවනාව පිළිබඳ කෙරෙන මෙවැනි සාකච්ඡා සඳහා ඇත්තටම භාවනා කරනවාට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්නෙමු. එහි වරදක් නැත. මේ සියලුම දේ වල මූලික අරමුණ චිත්ත සන්තුෂ්ටිය ම වන බැවිනි.

සිනුවර වෙසෙන ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති බෞද්ධයින් ට ආගමික කටයුතු සඳහා මෙතෙක් ඇත්තේ එකම එක සම්ප‍්‍රදානුකූල "සිංහල" පන්සලක් පමණි. ඒ සිඞ්නි නගරයෙන් කිලෝ මීටර් 45 ක් පමණ වයඹ දිගින් පිහිටි ස්කෝෆීල්ඞ් (Schofields) හි ලංකාරාමයයි. මීට අමතරව සිනුවරින් කිලෝමීටර 100 ක් පමණ බටහිරින් කටුම්බා (Katoomba) ප‍්‍රදේශයේ ද ආරණ්‍ය සේනාසනයක් පිහිටා ඇත.

මා අසා ඇති ඉතිහාසයට අනුව, වසර 1992 දී සිනුවර වාසය කරන ශී‍්‍ර ලාංකික බෞද්ධයින් ගේ ආධාර සහ උපකාර ඇතුව ලංකාරාම විහාරය ලිඩ්කොම්බ් (Lidcombe) හි කුලී නිවසක ආරම්භ කර, ඒ වසර අවසානයේ දී ඕබන් (Auburn) කරා ගෙන ගොස්, පසුව 1997 දී ස්කෝෆීල්ඞ් හි දැන් විහාරය පවත්වාගෙන යන ස්ථානයේ පිහිටුවා ගෙන ඇත. මේ වන විට (2009) ලංකාරාමය, චෛත්‍යය, බෝ මළුව, බුදු මැදුර සහ සංඝාවාසය ආදී වූ ප‍්‍රධාන විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත බෞද්ධ මධ්‍යස්ථානයකි.

ඩොලර් තුන් ලක්‍ෂයකටත් වඩා වැඩි වියදමක් දරා, දිගු කාලයක් තිස්සේ ඉඳිකිරීම් කටයුතු කර ගෙන ගොස්, 2006 නොවැම්බරයේ දී කොත් පළඳවා විවෘත කරන්නට යෙදුණු ලංකාරාම වෛත්‍යය ගැන ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. කළුතර බෝධි සෑය සිහිගන්වන මෙම වෛත්‍යයේ සැකිල්ල කුහරාකාර වන අතර සමාධි පිළිමයකින් යුතු බුදු මැදුර පිහිටා ඇත්තේ චෛත්‍යය මධ්‍යයේය. පන්සලේ දී වන්දනා මාන කළ යුත්තේ වෛත්‍යය, බෝධිය, බුදු මැදුර යන අනු පිළිවෙළට නිසා, එය අනුගමනය කරන සැදැහැවතුන් ට චෛත්‍යය මළුවට දෙවරක් පිවිසීමට මෙනිසා වරම් ලැබේ.

සිනුවර තදාසන්න ප‍්‍රදේශ වල වෙසෙන සිංහල බෞද්ධයින් සියලු දෙනාටම ඇත්තේ මේ එකම පන්සල බැවින් පෝය දින වලට පන්සල සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි. දැන් ලංකාරාමයට ඇති ලොකුම අවශ්‍යතාවය දැනට ඇති තාවකාලික ශාලාව වෙනුවට වැඩි පිරිසකට රැුස්විය හැකි ධර්ම ශාලාවකි. ඩොලර් මිලියනයක පමණ වියදමක් ඇස්තමේන්තු ගත ධර්ම ශාලාව ගොඩ නැගීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ දිනවල ඇරඹී ඇත.

සිනුවර තදාසන්නයේ ඇති එකම "සිංහල" පන්සල වන ලංකාරාමය ගැන කතා කරන විට මට සිහිවන්නේ මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටා ඇති "සිංහල" පන්සල් ප‍්‍රමාණයයි. සිනුවර සගයින් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියතොත්, මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල "සිංහල" පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප‍්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප‍්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. මීට අමතරව රිංග්වුඞ් හි සිංහල හාමුදුරුනමක් ද මෙහෙණින් වහන්සේ ලා ද වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් බිහිවුණු අතර මා මෙල්බර්න් නුවරින් සිනුවරට සංක‍්‍රමනය වූ 2001 වන විට මෙල්බර්න් හි උතුරු ප‍්‍රදේශයේ ද "සිංහල" පන්සලක් ගොඩ නැගීමට අදහස් කර තිබුණි. එදා තත්වය අද තව තවත් වැඩි දියුණු වී ඇති බවට සැක නැත.

මේ අනුව බලන කළ මෙල්බර්න් පුරවරය අද ඕස්ටේ‍්‍රලියාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රස්ථානයයි. සිනුවර එහි අහලක වත් නැත.

පන්සල් ගණන වැඩිවත් ම, ඒ අනුපාතයටම නොවුණත්, ප‍්‍රජාවේ ආගමික හැදියාව වැඩිවේ. එය නිසැකවම හොඳ දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එකම ප‍්‍රශ්නය නම් සම්පත් බෙදී යාමයි. එයද කෙටි කාලීන ප‍්‍රශ්නයක් පමණකි.

සිනුවර තදාසන්නයේ තවත් "සිංහල" පන්සල් බිහි වේවා යැයි ශාසනාලයෙන් යුතුව පතමි.

-රසිකොලොජිස්ට්

පසු-සටහන:
මා මේ ලිපිය 2009 වසරේ අග භාගයේ දී ලියන්නට හේතු වූයේ ඒ දිනවල සිනුවර අරඹන්නට පිඹුරුපත් සැකසෙමින් තිබුණු මහමෙවුනා නම් "පන්සලක්" පිළිබඳ ලංකාරාමයේ රැස්වීමක දී ඇතිවුණාය කියන සාකච්ඡාවක් ගැන තොරතුරු කන වැටීමයි.

ඒ මහමෙවුනා පන්සල පිහිටුවා දැන් සෑහෙන කලක් ගත වී ඇත. නමුත්, මා එය පිහිටා ඇත්තේ කොයි ඉසව්වේද යන්න අදත් නිශ්චිතව නොදනිමි.

"පරණ වැඩ මල්ලේ" (ශාන්ත කේ හේරත්ගෙන් අහුලා ගත් වචනයකි!) තිබී මේ ලිපිය පළ කරන්නට හිතුවේ, ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටුවා තිබෙන යම් කිසි මාළිගාවක් පිළිබඳ තොරතුරක් පසුගිය දා ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙනවා දැකීම නිසා ය.

Sunday, 17 April 2016

සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ? නොහොත් ලොකු ලොකු ලේඛකයින් බ්ලොග් ලියන්නට ඒමේ ප්‍රීතිය! - Jagath J Edirisinghe enters the Sinhala blogsphere!


මේ සටහනට මා යොදා ඇති මාතෘකාවේ [සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ?] යන කොටසින් අදහස් කෙරෙන්නේ [සිරිලංකා නිදහස් පක්‍ෂයේ එක් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතා, එම පක්‍ෂයේම තවත් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතෙකු වන මහින්ද රාජපක්‍ෂව පුම්බන්න පළ කරන්නට ගිය පත්තරේට සල්ලි නොදැම්මේ ඇයි?] යන්නයි!

බ්ලොග්කරනය යනු ලියන්නට කැමැති ඕනෑම අයෙකුට හෙවත් ලේඛකයෙකුට පුවත්පත් සහ සඟරා ඉඩකඩ සීමාවලට කොටු නොවී, පුවත්පත් සහ සඟරා සංස්කාරකවරුන් ගේ රසඥතාවයට සීමා නොවී තමන් ලියන දේ, තමන් ගේ නිර්මාණ ඒවා කියවා රස විඳින පිරිසක් අතරට ගෙන යා හැකි හොඳම ක්‍රමය බව මම පෙර දිනයක ලියූවෙමි. පාඨකයින් වශයෙන් අපට බ්ලොග් අවකාශය වැදගත් වෙන්නේ ඇයි ද යන්න ගැන ද එහිම සඳහන් වේ.

කෙසේ වෙතත්, තවමත්, සිංහල බ්ලොග්කරනය පවතින්නේ ළඳරු අවදියකයි. මුද්‍රිත මාධ්‍යවල ආධිපත්‍යය (එහි ලොකු අවුලක් නැත!) තව සෑහෙන කාලයක් පවතින ලකුණු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

බ්ලොග්කරුවන් තම ලිපි පුවත්පත් සඟරාවල පළ කරගැනීම වැදගත් කාරණයක් ලෙස සැලකෙන්නේ ද, බ්ලොගයක් ඇසුරෙන් පොතක් පළ කිරීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන්නේ ද එ නිසා ය.

මේ තත්වය යටතේ, මෙතෙක් කල් පුවත්පත් පිටු අතර, මුද්‍රිත පොත් අතර රජකම් කළ අය, බ්ලොග් ලියන්නට පැමිණීම බ්ලොග්කරුවන් ලෙස අපට වැදගත් කරුණකි.

වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ මා දැන හඳුනන, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", හෙන්රි වර්ණකුලසූරිය එසේ පොත් පත්තර ලෝකයෙන්, බ්ලොග් ලෝකයට ආ එක් අයෙකි. ඔහු ලියන නොකී කතා බ්ලොගය ගැන අපි දනිමු.

මා මේ සටහන තබන්නට සිතුවේ තවත් ඒ ආකාරයේ, එනම්, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", කෘතහස්ත ලේඛකයෙකු ගේ බ්ලොග් ආගමනය ගැන ලියන්නටයි.

ඒ මා දැන් වසර පහළොවකට පමණ ඉහත කාලයක ඉහත මුලින් ඔහු ලියූ දේ තුළින් ද, පසුව වසර දහයකට පමණ කාලයකට පෙර ඊ-මේල් මගින්ද, අනතුරුව දුරකථනයෙන් ද, තවත් කාලයකට පසුව සැබැවින් මුණ ගැසී ද හඳුනා ගත් ජගත් ජේ එදිරිසිංහ නම් සහෘදයාය.

ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ප්‍රකාශන ඇරඹීමේ ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ, ජගත් ගේ පොත් එළි දැක්වීම් උත්සව දෙකකට ද මම සහභාගී වී ඇත්තෙමි.

මා ජීවත් වන ප්‍රදේශයෙන් කිලෝමීටර් අටසීයක් පමණ දුරින් මෙල්බර්න් නුවර ජීවත්වෙන ජගත් ජේ එදිරිසිංහ නම් ඒ කෘතහස්ත ලේඛකයා අරඹා ඇති බ්ලොගය මානව ලෙසින් නම් කර ඇත.

http://maanawa.blogspot.com/

ජගත් දැනටමත් ලිපි කිහිපයක් ම එහි පළ කර ඇති අතර, මේ සටහනේ මාතෘකාවේ කොටසක් සඳහා මා යොදා ගත්තේ ඉන් එක් සටහනක් සම්බන්ධ කාරණයකි.

මට අවශ්‍ය කාරණයක් මා මට අවශ්‍ය ආකාරයෙන් උපුටා ගත්ත ද, ඔහු ලියා ඇති නවකථා, කෙටිකතා, කවි, සහ සිහි සටහන් ලිපි අති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මට කිව හැක්කේ ජගත් ජේ එදිරිසිංහ ගේ මානව බ්ලොගය විවිධාංග බ්ලොගයක් ලෙස සිංහල බ්ලොග් අවකාශයට වැදගත් යමක් එකතු කරන්නට නියමිත බවයි.

ඒ සඳහා ජගත්ට අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා ඔහු ලියන දේ කියවා අපේ අදහස් දක්වන මෙන් රසිකොලොජි පාඨක ඔබට යෝජනා කරමි.

ස්තුතියි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජගත් ජේ එදිරිසිංහ පිළිබඳව රසිකොලොජියේ මීට කලින් ලියවුනු අවස්ථා මෙසේ ය.

1. කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?

2. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist

3.

4.

Tuesday, 22 September 2015

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia


ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහලයින් ද මේ වන විට ලෝකය පුරා විවිධ රටවලට සංක්‍රමණය කර සැලකිය යුතු තරමේ විසිරි ජන කොටසක් හෙවත් ඩයස්පෝරාවක් බවට පත් වී ඇත. එයින් මා වෙසෙන ඕස්ට්‍රේලියාව තම නිත්‍ය වාස භූමිය කරගත් පිරිස සහ ඔවුන්ගෙන් පැවත එන දරු මුනුබුරු පිරිස පනස් දහසක් පමණ වෙති.

ඒ සමගම, අපේ සිංහල බ්ලොග් අර්ධගෝලයේ ද, සමානුපාතික නියෝජනයක් ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන්ට හිමි වී ඇති බව පෙනේ.

මගේ මේ වෑයම, ඕස්ට්‍රේලියානුවාසී සිංහල බ්ලොග්කරුවන් අතරින් මා දන්නා කීප දෙනෙකු පිළිබඳව විස්තර කිරීමයි. මේ ලැයිස්තුව පලවෙන්නේ අකාරාදී පිළිවෙළට නොව විකාරාදී පිළිවෙළට (එනම්, මගේ සිතට එන අනුපිළිවෙලට) බව සලකන්න.

මේ ලයිස්තුවට ඇතුළත් විය යුතු වෙනත් අය ගැන ඔබ දන්නේ නම්, කරුණාකර මට ඒ විස්තර දන්වා එවන්න.


ඔබ්සර්වර් - සනත් විජේවර්ධන
වසර 2012 අප්‍රියෙල් මාසයේ දී අප අතරින් වියෝවුණු සනත් විජේවර්ධන තම ඔබ්සර්වර් නම් බ්ලොග් අඩවිය අරඹන විට කාලයක් තිස්සේ බ්ලොග් කියවන්නෙකු සහ අන්තිම පෙළිය නම් සාමූහික බ්ලොග් ප්‍රයත්නයේ ක්‍රියාකාරිකයෙකුව ද සිටියේ ය.

මූලිකව ම හාස්‍ය රසය බෙදා හදා ගැනීමට අමතරව, ඕස්ට්‍රේලියාව පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ද, සනත් ගේ බ්ලොගයේ පළවුණි.

ඔහු ගේ ලිපිවලින් හෙළිවුනු පරිදි ගම්පහ ප්‍රදේශයේ හැදී වැඩී, වෙස්ලි විද්‍යාලයෙන් සහ ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතයෙන් අධ්‍යාපනය ලැබූ සනත් විජේවර්ධන ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කරන්නට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ බටහිර දෙසින් පිහිටි පර්ත් නගරබදව විසු සනත් සමග මම කිහිපවරක් ම දුරකථනයෙන් කතාබහ කර ඇත්තෙමි.

ඔබා හෙවත් ඔබා මාමා ලෙසින් සිංහල බ්ලොග් වැසියන් අතර ආදරයෙන් හැඳින්වුණු සනත් විජේවර්ධනව සැමරීම සඳහා අන්තිම පේළිය බ්ලොග් කණ්ඩායමේ සාමාජිකයෝ සෑම වසරකම ලංකාවේ දී ලේ දන් දීමේ වැඩ සටහනක් සංවිධානය කරති.

http://observer-nireekshaka-observer.blogspot.com/


මියුරු වර්ල්ඩ් - මියුරු
මියුරු වෙසෙන්නේ ද පර්ත් නුවරය. සිංහල බ්ලොග් ලියන්නන් අතරින් සනත් විජේවර්ධන හෙවත් ඔබ්සර්වර් ගේ අවමගුලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ ඇයට පමණි.

ඇගේ මියුරු වර්ල්ඩ් නම් වූ බ්ලොග් අඩවිය නම් දැන් අක්‍රිය වී ඇත. එය සක්‍රීයව පැවති කාලයේ විවිධ රසකතා අප හා බෙදා ගත් අයුරු ඇය අමතක කර දැමීම ගෙන දෙන්නේ දුකකි!

http://miyuruworld.blogspot.com/


රඟහල - තිසර ශ්‍රීමාල්
තිසර දැන් දිගු කාලක සිට බ්ලොග් කියවන්නෙකු, කමෙන්ට්කරුවෙකු සහ ෆේස්බුක් සැරිසරන්නෙකු වුවද, කලකට පෙර රඟහල නම් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියේය.

ඔහු වෙසෙන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර තදාසන්නයේ ය. මා තිසර සමග කිහිපවරක් දුරකථනයෙන් කතාබහ කර ඇති වුවද, කිසි දා මුණ ගැසී නැත. අපට මුණ ගැසෙන්නට ලැබුණු හොඳම අවස්ථාවද, එදින පැවති කලබලකාරී වාතාවරණය නිසා අවාසනාවට මෙන් මග හැරී ගියේ ය.

http://rangahala.blogspot.com/


දයල් බතී - දයල් බතී
දයල් බතී නම් බ්ලොග් අඩවියේ එනමින් ම පෙනී සිටින එහි කතෘ වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ බව ඔහු ලියන ඇතැම් ලිපිවලින් පෙනේ. සමහරවිට දයල් බතීව මට මුණ ගැසී තියෙන්නට ද ඉඩ තිබේ. නමුත් ඒ ගැන මට නිශ්චිතව කිව නොහැක.

දයල් බතී බ්ලොග් රචකයා ගේ ඒ ආරුඪ නාමය සිගිරියේ කුරුටු ගී ලියූ කවියෙකු ගේ බව කියවේ. බ්ලොග් ලියන දයල් බතීට ඇත්තේ ද අසමසම රචනා විලාසයක් බව කිව යුතුය. එනම්, ඔහුටම ආවේණික ඒ ලිවීමේ ශෛලිය මා වෙනත් කිසිදු ස්ථානයක දැක නොමැත.

http://dayal-bathee.blogspot.com/


රයිගම හන්දිය - චන්ද්‍රකුමාර
රයිගම හන්දිය බ්ලොග්කරුවා ගේ නම චන්ද්‍රකුමාර යැයි බ්ලොගයේ පැවසේ. කැන්බරා නුවර රජයේ සේවයේ නිරත විද්‍යාඥයෙකු බවද එහි පළවෙන ලිපි මගින් සොයා ගත හැක.
රයිගම බ්ලොගය රචනා වෙන්නේ සැමට නොව කීප දෙනෙකුට කියවීමට පමණක් යැයි බ්ලොග්කරුවා නිතර පවසයි.

නමුත් මගේ අදහස නම්, ලංකාවේ පරණ කථාවල සිට, රුසියාව, එංගලන්තය හරහා ඕස්ටේ‍ර්ලියාව දක්වා ද, පතෝල කරලේ සිට සොසේජ් කරල දක්වා ද විහිදෙන මේ බ්ලොගයේ අන්තර්ගතය අප හැම දෙනාටම විටින් විට රස විඳිය හැකි සලාදයක් බවයි.

ඔහු සමග මා කිහිප විටක් දුරකථනයෙන් කතා බහ කර ඇත.

https://raigamahandiya.wordpress.com/


ඕෆ් ද ටැන්ජන්ට් - නිරෝ
නිරෝෂිණී වාසය කරන්නේ මෙල්බර්න් නුවර ය. ඇය පරිගණක විද්‍යාඥවරියක බවත්, ළඟදී ආචාර්ය උපාධිය ලැබූ බවත්, ඊට කලින් යුග දිවියට ඇතුළත් වුණු බවත් මම ඒ බ්ලොගයෙන් කියවා ඇත්තෙමි.

නිරෝ මට එක් දිනක් මුණ ගැසුණු මුත් ඒ අවස්ථාවේ තිබූ කනගාටුදායක තත්වය නිසා අල්ලාප සල්ලාපයේ යෙදීමට නොහැකි විය.

http://niro-offonatangent.blogspot.com/


රසිකොලොජිස්ට් - රසික සූරියආරච්චි
මගේ බ්ලොග් ලිවීම ගැන මෙතනින් කියවන්න.

1. http://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html
2. http://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.html


මැල්බනයේ විත්ති – ප්‍රබුද්ධ මිස්සක
ප්‍රධාන වශයෙන් මෙල්බර්න් නගරයේ සහ පොදුවේ ඕස්ට්‍රේලියාවේ විස්තර සහිතව කෙටි කලක් පැවතුණු බ්ලොගයකි.

http://storiesfrommelbourne.blogspot.com/


ඔසී කතා - කස්ස
දැනට වසර දෙකකින් පමණ යාවත්කාලීන වී නැති වුණත් ඔසී කතා පවත්වාගෙන ගිය කාලයේ එය තරමක ප්‍රසිද්ධියක් ලත් බ්ලොග් අඩවියක් බව මගේ මතකයයි.

මෙහි රචකයා වන කස්ස යනු එනමින් අන්තිම පේළියේ (හෝ එවැනි තැනක) ලියූ කස්ස දැයි නොදනිමි!

http://ozikatha.blogspot.com/


සිඩ්නි සිතුවිලි – ප්‍රියන්ත ෆොන්සේකා
ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයෙකු ලෙස ගත කළ සමයේ ලද අත්දැකීම් ඇසුරෙන් සිඩ්නි සිතුවිලි නම් බ්ලොග් අඩවිය ලියූ ප්‍ර්‍රියන්ත ෆොන්සේකා දැන් ආපසු ලංකාව බලා ගොස් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සේවය කරයි.

http://sydneythought.blogspot.com/


ඇත්ත කතා - ගීතක ජයසූරිය
ගීතක ජයසූරිය විසින් කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ ඇත්ත කතා නම් වූ බ්ලොග් අඩවිය ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමත් සමගම වසා දමා ඇති බව කණගාටුවෙන් දැන්විය යුතුය.

ඇත්ත කතා රචකයා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙකු බව ඔහු ලියූ ලිපිවලින් සහ කමෙන්ටුවලින් හැඟී ගියේ ය. ඔහු දැන් ජීවත් වෙන්නේ මෙල්බර්න් නගරයේ ය. ඇත්ත කතා බ්ලොගයේ පල වූ ඒ සියලු ලිපි සුරක්‍ෂිතව ඇති බව මා ඔහුට දුරකථනයෙන් කතා කළ වේලේ ගීතක මා සමග පැවසීය.

බ්ලොග් ලිවීම අතහැර ඇති වුවද, මේ දිනවල ගීතක ෆේස්බුක් අවකාශයේ නම් නිබඳව සැරිසරනු පෙනේ!


මා බාල කාලේ - කවිඳු ජයසිංහ
මේ බ්ලොග් අඩවිය මගේ ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ තමා වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ බව කවිඳු නමින් බ්ලොග් ලියන්නා විසින් මට දන්වා එවා තිබුණු බැවිනි. ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගත්තෙකු බව ද කලකට පෙර එහි පලවී තිබුණු ලිපිවලින් මම දැන ගත්තෙමි.

නමෙන් ම පැවසෙන පරිදි මේ බ්ලොග් අඩවියේ ලියවෙන්නේ කවිඳු ජයසිංහ ගේ ජීවිත කතාවයි. බාල කාලේ විස්තර පමණක් නොව විශ්ව විද්‍යාල සමයේ කතා ද එහි ඇතුළත් බව කිව යුතුය.

http://kalukitty1.blogspot.com/


යාං හෑලි - මහසොහොන් පිල්ලිය
මේ අන්වර්ථ නාමයෙන් බ්ලොග් ලිපිවලට ප්‍රතිචාර දක්වන්නා මෙල්බර්න් නුවර වාසය කළේ ය. ඔහු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන අයෙකු බව මගේ අදහසයි. මුලින් කමෙන්ට්කරුවෙකු පමණක් වුවද, මහසොහොන් පිල්ලිය පසුව බ්ලොග් අඩවියක් ද ඇරඹීය.

මේ වෙන විට මහසොහොන් පිල්ලිය ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නේදැයි ස්ථිරව කිව නොහැකි මුත්, මේ ලයිස්තුවට ඔහුව ද ඇතුළත් කළ යුතු යැයි මට සිතුණි.

http://mahason-gibberish.blogspot.com/


බ්ලොග් කවි - සුනිල් ගෝවින්නගේ
සුනිල් ගෝවින්නගේ යනු දශක ගණනාවක් තිස්සේ ප්‍රබන්ධ සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් ඇසුරු කළ අයෙකි. ද්වි භාෂා රචකයෙකු වන ඔහු ඉංගිරිසියෙන් මෙන්ම සිංහලෙන් ද කෙටිකතා, නවකථා සහ කවි පොත් රචනා කර ඇත.

තම කාව්‍ය රචනා පාඨකයින් සමග බෙදා ගැනීම පිණිස සුනිල් බ්ලොග් අඩවි දෙකක් භාවිතා කරයි. ඉන් පළමුවැන්න මතක මාවත වන අතර දෙවැන්න පර්ත් කවි වේ.

1. http://perthkavi.blogspot.com/
2. http://govinnage.blogspot.com/


බ්ලොග් හතක් ලියන සුජීව කොකාවල
සයිබර් අවකාශයේ දිගු කාලයක සිට බඩ පිනුම් ගසන ෆැටී ෆ්‍රොග් (නමින් සැදි ඊ-මේල් ලිපිනයක් ඇති) සුජීව කොකාවලව අමුතුවෙන් හඳුන්වා දිය යුතුද?

සුජීව ගැන මා මුලින් දැන ගත්තේ ප්‍රධාන වශයෙන් ම බ්ලොග් අඩවිවල දීරඝ කමෙන්ට්කරුවෙකු ලෙසය. නිරතුරු යාවත්කාලීන නොකළ ද, ඔහු ඔහු ගේ ම බ්ලොග් අඩවි කිහිපයක් ම පවත්වා ගෙන යයි.

එසේ නමුත් සුජීව කොකාවල තම ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ලෙස යොදා ගන්නේ ෆේස්බුක් අවකාශයයි. ඒ ඔහු මූලිකව ම දේශපාලන සත්වයෙකු නිසා යැයි සිතමි.

සුජීව ගේ බ්ලොග් අඩවිවල අන්තර්ගතය සහ ඔහු ගේ ෆේස්බුක් සටහන්වල අන්තර්ගතය එකිනෙකින් හාත්පසින්ම වෙනස් බව කිව යුතු ය.

ඕස්ට්‍රේලියාවේ දි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කාලයක් ලංකාවේ ගත කළ සුජීව නැවත 2012 දී මෙහි සංක්‍රමණය කළ පසු මට ප්‍රථම සහ එකම වතාවට හමුවිය. දුරකථනයෙන් නම්, දෙතුන්වරක් ම කතා බහ කර ඇත්තෙමි.

1. http://a-y-a-a-l-e.blogspot.com/
2. http://vagathuga.blogspot.com/
3. http://slash-dev-slash-null.blogspot.com/
4. http://nikamata.blogspot.com/
5. http://free-unbound.blogspot.com/
6. http://short-katha.blogspot.com/
7. http://stray-foot.blogspot.com/


ජීවිතයේ කෙටි සටහන් - අනුෂ්ක තිලකරත්න
මා අනුෂ්කව හැඳින ගත්තේ බූන්දිය හරහාය. වසර තුනකට පෙර ඔහු සිනුවරට සංක්‍රමණය කළේ ය. ඉඳහිට කවියක් දෙකක් බ්ලොගයේ පළකරයි.

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන් අතරින් මගේ ළඟම අසල්වැසියා ඔහු ය. ළඟම කිව්වාට කිලෝ මිටර් අටක් පමණ ඇත.

http://anushka0703.blogspot.com/


පොඩි කුමරිහාමි - ප්‍රවීනා පලිපාන
වසර පහක පමණ කාලයක සිට බ්ලොග්කරනයේ යෙදෙන පොඩි කුමාරිහාමි හෙවත් බොහෝ දෙනා ඇය හඳුන්වන පරිදි පොඩ්ඩි වෙසෙන්නේ ඕස්ටේ‍ර්ලියාවේ, වික්ටෝරියානු ප්‍රාන්තයේ, මෙල්බර්න් නගරයේ නිරිත දෙසින් පිහිටා ඇති නියම්ගමක බව දැන් නිශ්වය වශයෙන්ම දනිමි.

මුල් අවුරුදු කිහිපය තුල නිතිපතා රසකතා ලියූ ඇයට, පසුව ඒ ඇබ්බැහියෙන් තරමක් මිදුණි. එයට හේතුව අහුකුණ්ටිකයෙකු මෙන් හැම තැන ඇවිදින අවිවේකී ජීවිතයක් ගත කිරීම බව ඇය පවසා ඇත.

නමුත් ඒ හැම දීර්ඝ සංචාරකින්ම පසුව ඒ ගමන් විස්තර සහිත රසවත් ලිපියක් අප හමුවට ගෙන ඒමට ඇය අමතක නොකරයි. ඒ ගැන මගේ ස්තුතිය ඇයට හිමිවේ.

http://podikumarihami.blogspot.com/


ලංකාවෙන් පිටත වෙසෙන සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් එක් ස්ථානයකට එකතු කළ සින්ඩිකේටරයක් ද මට පසුගිය දිනයක හමුවිය. එය රටගිය ඇත්තෝ ලෙසින් නම් කර තිබුණි.

http://ratagiyaeththo.blogspot.com/

රටගිය ඇත්තෝ යනු දිගු කලකට පෙර ලංකාවේ විකාශනය වූ ටෙලි නාට්‍යයකි. එහි කතා වස්තුව වූයේ ලංකාවෙන් එංගලන්තයට සංක්‍රමණය කළ පිරිසක ගේ ජීවිත ගෙවෙන ආකාරයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සැකසුණේ 2015 සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍යය යනු මුද්‍රිත පොත් පමණක් ම නොවන බව කියවීමට කැමති සියලු දෙනා විසින්ම වටහාගත යුතු වේ!

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

Monday, 13 April 2015

සිඩ්නි නගරයට අලුත් නමක් - Sydney renamed...!


මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ මුලින්ම වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයටයි. එහි තදාසන්න ප්‍රදේශ තුනක, වසර හයක් පමණ කල් විසීමෙන් පසු ජීවිතයේ සිදුවුණු වෙනස්කම් කිහිපයකට පසුව අප පවුලට නැවතත් සංක්‍රමණයක්, මෙවර රට අභ්‍යන්තරයේ, සිඩ්නි නගරය බලා, කරන්නට සිදුවිය.

සිඩ්නි නගරය ඕස්ට්‍රේලියාවේ පැරණිම නගරය මෙන්ම, ප්‍රමාණයෙන් විශාලතම, වැඩිම ජනගහනයක් වෙසෙන සහ වඩාත්ම වියදම්කාරී නගරය ද වේ. දැනට සාර්ථක දහතුන්වෙනි වසරේ සිඩ්නි තදාසන්නයේ වාසය කරන මට, මේ සුවිසල් නගරය හා ඇති එක ප්‍රශ්ණයක් නම් සිඩ්නි යන නාමය කවි පදයක යෙදිය හැකි ආකාරයේ මටසිළුටු එකක් නොවීමයි.

එලිවැට හෝ එළිසමය රුකීමට සිඩ්නි යන්න යොදා ගැනීම නම් හුදෙක් සිහිනයක් ම පමණි.

මේ ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට සමනලයෙකු මගින් යැවෙන සංදේශ කාව්‍යයක් ”සමනල දූතය” නමින් රචනා කළ සිඩ්නිවාසී හෙන්රි කුමාරප්පෙරුම කවියා ය.

වසර 2005 අග භාගයේ දී හෙන්රි කුමාරප්පෙරුම එකල සභාපතිත්වය දැරූ නිව් සවුත් වේල්ස් හි "ස්කැට්ස්" සංවිධානය මගින් ඉදිරිපත් කළ "සංක්‍රමණික චින්තා" නම් සිංහල කාව්‍යය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී පළ කෙරුණු සඟරාව සඳහා ඔහු රචනා කර තිබුණු කවි පන්තියක සිඩ්නි නුවර යන්න යෙදුම කෙටි කොට -සිනුවර- යන නම නිමවා භාවිතා කොට තිබුණි.

කවියක එළිසමය සහ තාලය රකිමින් යොදන්නට ඉතා අසීරු වචනයක් වන සිඩ්නි යන්නට වඩා "සිනුවර" යන්න කොතරම් යෝග්‍ය දැයි මට එකෙනෙහිම සිතුණි.

මෙල්බර්න් නුවර වසන ගීත රචකයෙකු වන සිසිර දිසානායක විසින් මෙල්බර්න් පුරවරය සඳහා භාවිතයට "මෙපුර" යනුවෙන් මේ ආකාරයේ ම වදනක් නිපදවා තිබේ.

එයින් වසර තුනකට තුනකට පමණ පසු ඕස්ට්‍රේලියාවේ පළවෙන එක් සිංහල මාසික සඟරාවක් වන සන්නස පුවත් පත සඳහා සිඩ්නි විස්තර බිඳක් එකතු කරන්නට මා ඇරඹූ තීරු ලිපිය සඳහා මා යොදා ගත්තේ "සිනුවර හසුන" යන නමයි.

වසර 2008 සැප්තැම්බරයේ සිට වසරකට අධික කාලයක් තිස්සේ සිනුවර හසුන තීරු ලිපිය සන්නස මාසිකයේ පළ විය.

http://sannasa.sinhalajukebox.org/2008/Sep/2008Sep_page12.pdf

පසු කළෙක, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිඩ්නි ශාඛාව විසින් ඇරඹුණු වාර්ෂික සංස්කෘතික විවිධ ප්‍රසංගයට ද සිනුවර යන නම සහිතව සිනුවර ප්‍රතිභා යනුවෙන් නම් කෙරිණි.

සිනුවර නාමාභිෂේකය ලබූ අළුත්ම දරුවා වන්නේ මැතක දී වත් පොතේ ඇරඹුණු "සිනුවර සිංහල සංවාද" වත්පොත් කණ්ඩායමයි.

සිනුවර සදා දිනේවා යැයි පතමි!

-රසික සූරියආරච්චි (aka රසිකොලොජිස්ට්)

ප/ලි:
සයිබරයේ සිංහල බ්ලොග් වසන්තය ඇරඹී තිබුණද සිනුවර නම් මේ දිනවල ගිලෙමින් ඇත්තේ හේමන්තයේ ය.

(image:http://rcbtv.org/2014/08/06/sinuwara-prathiba-2014-photos/)

Saturday, 31 January 2015

තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් - All them kings men (and women)!


තානාපති යනු තමන් ගේ රටේ ආණ්ඩුව වෙනත් රටකදී නියෝජනය කරන පුද්ගලායා ගේ තනතුරු නාමයයි. මේ සිරිත ආදී රජ කාලයේ සිටම පැවත එන්නකි.

එවකට "සිලොන්" නොහොත් නිකම්ම නිකං ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ කර ඇත්තේ වසර 1949 දී ය. රටවල් ද්වයම අයත් වන්නේ පරණ බ්‍රිතාන්‍ය යටත් විජිතව තිබූ රටවල් නොහොත් පොදු රාජ්‍යය මණ්ඩලයට නිසා මේ තානාපති කාර්්‍යාල හැඳින්වෙන්නේ මහ කොමසාරිස් කාර්යාල යනුවෙනි. තානාපති ලා ගේ නිල නාමය වන්නේ, මහ කොමසාරිස් යන්නයි.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර පිහිටා ඇත. මා එහි ගොස් නැති නමුත් මීට වසර එකොලහකට පමණ ඉහත එක් දිනයක දුරකතනයෙන් අමතා ඇත්තෙමි.

ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මා දන්නා කාලයේ පිහිටා තිබුණේ, කෞතුකාගාරය ඉදිරිපිට දැන් එක් කූප්‍රසිද්ධ නිවෙසක් තනා ඇති යැයි පැවසෙන ස්ථානයේ ය. මා එම කාර්යාලයට පස් හය වතාවක් ගොස් ඇත්තෙමි.

ඕස්ට්‍රේලියාව සුවිශාල රටකි. එහි බටහිර කොනේ ඇති පර්ත් නුවර සිට නැගනෙහිර කොනේ ඇති සිඩ්නි නගරයට ඇති දුර කිලෝමීටර් හාරදහසක් පමණ වේ. මෝටර් රථයකින් ගමන් කරන්නේ නම් පැය 42 ක් එක දිගට ධාවනය කළ යුතුයි. ගුවනින් පැය පහකි. ලංකාවේ සිට සිංගප්පුරුවට ගුවනින් යාමට ගත වෙන්නේ පැය තුන හමාරක් පමණ බව සලකන විට මෙය කෙතරම් විශාල දුරක් දැයි වැටහේ.

එනිසා ම, කැන්බරා නුවර පිහිටි මහ කොමසාරිස්වරයාට අමතරව මෙල්බර්න් (වික්ටෝරියා ප්‍රාන්තය) සහ සිඩ්නි (නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය) යන නගරවලට තානාපතිවරුන් හෙවත් කොන්සල්ලා ද, ඇඩිලේඩ් (දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය), බ්‍රිස්බේන් (ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය) සහ පර්ත් (බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය) යන නගරවලට ගරු කටයුතු (හොනරරි) කොන්සල්ලා ද පත්කර ඇත.

පෙරකී කොන්සල් ලා යනු ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ යුතු පිරිසකි. ඔවුන් ඒ නගරවල කාර්යාල පිහිටුවා ගෙන අනෙකුත් නිළධාරීන් හා රාජකාරී කටයුතු කරති.

ගරු කටයුතු හෙවත් හොනරරි කොන්සල්ලා යනු වේතනයට නොව සේවයක් ලෙස එම කාර්යය ඉටු කරන්නෝ වෙති. ඔවුන් බොහෝ විට වෙනත් රුකියාවක් කරන අය වේ.

මෑතක් වෙන තුරුම මෙල්බර්න් නුවර සිටයේ ගරු කටයුතු, එනම් වේතන නොලබන, කොන්සල්වරයෙකි. නමුත් හදිසියේම දැන් වසර දෙකකට පමණ පෙර ඒ නගරයට පුර්ණකාලීන වේතන ලබන කොන්සල්වරයෙක් පත්කර, ස්ථිර කොන්සල් කාර්යාලයක් පිහිටුවන ලදී.

මෙල්බර්න් නගරය වනාහී ඕස්ට්‍රේලියාවේ වැඩිම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිසක් වෙසෙන නගර නිසාත්, වෙළද කටයුතු, සහ සංචාරක කටයුතු බහුලව සිදුවෙන නිසාත්, සී ෂෙල්ස්, ස්වාසිලන්තය වැනි තැන්වල පවා තානාපති කාර්යාල පිහිටුවනු ලබන සමයක, මෙල්බර්න් නුවර ස්ථිර කොන්සල් කාර්යාලයක් පිහිටුවීම හොඳ වැඩක් සේ පෙණුනි.

නමුත් බළලා මල්ලෙන් එලියට පැන්නේ ඉන් පසුවය.

මෙල්බර්න් නුවර ප්‍රකාශයට පත් කෙරෙන සන්නස පුවත් පතේ පලවූ ලිපියකට සහ ඒ කාලයේ ලැබුණු විවිධාකාර පුවත් අනුව, මේ කොන්සල් කාර්යාලය පිහිටවීමේ එක් අරමුණක් වී ඇත්තේ රජ්ජුවරුන් ගේ රාජ්ජ සභාවේ ඇමෑත්තයින් ගේ ඥාතී හිතෛශීන් ලංකාවේ වියදමින් මෙල්බර්න් නුවර ජීවත් වීම සඳහා එවීම ය.

මේ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා එවකට ලංකාවේ විදේශ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඕස්ට්‍රේලියාවට පැමිණි අතර, දඹුළු ගමනේ දී තලගොයි මරමින් මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛාවේ රැස්වීමක් ද පැවැත්වුණි.

තවමත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය දරමින් කැන්බරා නුවර වෙසෙන හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ ගේ නිරුවත හෙළිවුනේ එදා ය! ඔහු ගේ පුකත්වය නම් ඊට කලින්ම හෙළි වී තිබුණි.

ඒ විස්තර වෙනම ලිපියකින් බලාපොරොත්තුවන්න.

එතෙක්, මා දන්නා පරිදි, දේශපාලන සම්බන්ධතා මත ඕස්ට්‍රේලියාවේ තානාපති සේවය සඳහා පත් කර ඇති අයගෙන් කීප දෙනෙකු ගේ නම් සඳහන් කරමි.

ලක්‍ෂ්මන් හුළුගල්ල –උප මහ කොමසාරිස්, කැන්බරා නුවර
ඔසඳ යාපා අබේවර්ධන -මෙල්බර්න් කොන්සල් කාර්යාලය
යසාරා අබේනායක -සිඩ්නි කොන්සල් කාර්යාලය

මෙවැනි තවත් පත්වීම් ගැන ගිය වසරේ දිනක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කතාවක් කර තිබුණි.

මෙන්න ඔහු ගේ කතාව: https://www.youtube.com/watch?v=AIIHZnOPseQ

මෙන්න එහි දී නම් කළ දේශපාලන පත්වීම් ලයිස්තුව: http://offair.nethfm.com/article/2616

මෙල්බර්න් කොන්සල් කාර්යාලය පිළිබඳව ඩීබී කුරුප්පු ලියූු සන්නස පුවත් පතේ පළවූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියට මෙතනින් කියවන්න:
http://sannasa.sinhalajukebox.org/2013/Mar/2013Mar_page14.pdf

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ "නිරුවත, පුකත්වය සහ තගරි" ගැන මීළඟ ලිපියෙන්.

(image: http://www.team-bhp.com/forum/post-war/43200-landmaster-ambassador-picture-gallery-60.html)