Monday 30 November 2015

ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony


පසුගියදා ලංකාවේ පැවති සිනමා උළෙලකට සමාන්තරව, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වුණු සාකච්ඡා වැඩ සටහනක් දැන් දෙසතියකට පමණ පෙර සයිබර් අවකාශයේ සංසරණය විය. ඒ සාකච්ඡාවේ මූලික මාතෘකාව වූයේ ඓතිහාසික කතා පුවත් රැගත් නිර්මාණකරණය පිළිබඳ සිංහල සිනමාවේ ඇතිවූ මෑතකාලීන ප්‍රවණතාවයි.

මම ද ඒ සාකච්ඡාව නරඹා රස වින්දෙමි.

ඒ වැඩසටහනේ වීඩියෝවට අදාළ සබැඳිය සහිත පණිවිඩ සයිබර් අවකාශයේ මුදා හැර තිබුණේ "ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණු සාකච්ඡාව" යන මාතෘකාව සමගිනි. එයින් අනියමින් වූයේ ජැක්සන් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය පිළිබඳව නොමිලයේ ප්‍රචාරයක් ද ලබා දීමයි.

ඒ සති දෙකකට පමණ ඉහත දී ය.

එයින් ජැක්සන් ඇන්තනි වැඩසටහනේ අවසානයේ දී පැවසූ දේ රැගත් කොටස පමණක් උපුටා ගෙන අවිචාරකයින් විසින් කපා දමන ලද ජැක්සන් ගේ පැහැදිලි කිරීම යන මැයෙන් සති අන්තයේ නැවත ප්‍රචාරයක් දී තිබුණි.

මෙන්න ඒ වීඩියෝව.
https://www.facebook.com/sudathanthonys/videos/10204940200215777/

මුලින්ම කිව යුත්තේ මේ කොටස කපා දමා තිබුණා ය කීම සාවද්‍ය බවයි.

මෙහි දී ජැක්සන් ඇන්තනි අබා චිත්‍රපටය නිෂ්පාදනයේ පසුබිම පිළිබඳව පවසන බොහෝ දේ නිවරැදිය. ඔහු ම පවසන පරිදි ඒවා ඔප්පු කළ හැකි දේ ද වේ.

නමුත් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ඔහු කියන බොහෝ දේ සාවද්‍ය වේ. මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇත.

මුලින්ම ජැක්සන් ඇන්තනි තමන් ගේ අබා චිත්‍රපටය ගැන පවසන කරුණු ගැන සලකමු.

ඔහු ඉතිහාසය ගැන කතා කරන්නට පටන් ගත්තේ දැනට දශක දෙකකට පමණ පෙර සිටය. එය ඔහු ගේ විනෝදාංශය, ප්‍රියතම විෂයය වෙන්නට ඇත. නමුත්, එය ඔහු ගේ රුකියාව ද විය. තමන් කැමතිම දෙයක් තම බඩ රස්සාව ලෙස කරන්නට ලැබීම තරම් වෙනත් වාසනාවක් මේ ලොවේ නොවේ!

මා වරින් වර ලංකාවට පැමිණි අවස්ථාවන් හි දී, ඔහු විසින් මෙහෙයවනු ලැබූ, නිෂ්පාදනය කරනු ලැබූ, විවිධ රූපවාහිනී වැඩ සටහන් නරඹා ඇත්තෙමි. ඒවා මා සිත්ගත් බව කිව යුතුය.

ඒ ප්‍රකාශයේ දී ජැක්සන් ඇන්තනි විසින් සඳහන් කරන සරසවිය පුවත්පත සමග කරන ලද සාකච්ඡාව ද මම කියවා ඇත්තෙමි.

ජුලියට් ගේ භූමිකාව සිනමා නිර්මාණයෙන් පසු වෙනත් නිර්මාණයක් නොකළේ මන්දැයි විමසනු ලැබූ විට ජැක්සන් ඇන්තනි උත්තර දෙන්නේ ඔහු ඓතිහාසික කතා පුවතක් මත පදනම් වූ තිර රචනයක් ලියා ඇති බවත්, එයට නිෂ්පාදකයෙකු සොයන බවත් ය.

ඒ ලිපිය කියවූ, පසුව අබා චිත්‍රපටය නිෂ්පාදනය කළ දෙදෙනාට පමණක් නොව, වෙනත් අයටද, ඒ චිත්‍රපටය හැකි නම් නිෂ්පාදනය කළ යුතුයි කියා සිතුණු බව කලකට ඉහත කතන්දරකාරයා නම් බ්ලොග්කරුවා ලියූ පහත ලිපියෙන් පෙනේ.

http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html

වසර 2006 අප්‍රියෙල් මාසයේ දී අපේ සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කරන ලද බක් මහ රංගන දෙමංසල අබියස ප්‍රසංගයට සහභාගී වීම සඳහා ජැක්සන් ඇන්තනි සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී අපේ සිංහල සඟරාවට ලිපියක් සැකසීම සඳහා මම ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීමි.

එහිදී මා ඔහුගෙන් විමසූ එක් පැනයක් වූයේ ඔහු නිපදවූ, මෙහෙයවූ ඉතිහාසය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඩීවීඩී ලෙස අපට මිලට ගත හැකි ද කියාය. ඒ මට පෙර කී රුපවාහිනී වැඩසටහන් නැවත නැරඹීට තිබුණු කැමැත්්ත නිසාය.

සාකච්ඡාව අවසානයේ දී ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැන ද මම විමසූවෙමි.
(රසික) අවසාන වශයෙන්, ඔබේ ඉදිරි කලා කටයුතු ගැන කෙටියෙන් කිව්වොත්?

(ජැක්සන්) පණ්ඩුකාභය රජු ගේ ළමා කාලය පිළිබඳව අති දැවැන්ත සිනමා නිර්මාණයක අධ්‍යක්‍ෂණ කටයුතු මම ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා. ඉන් පසු, ජයන්ත චන්ද්‍රසිරි ගේ මීලඟ ඓතිහාසික චිත‍්‍රපටයේ මම විමලධර්මසූරිය රජුමෙන් රඟපෑමට සූදානමෙනුයි ඉන්නේ. ප‍්‍රසන්න විතානගේ ගේ මීලඟ සිනමා කෘතිය, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ ගාඩි කුලය හා සම්බන්ධ එකක්. මෙහි මම ගාඩි රැහේ නායකයා ලෙස රඟ පෑමට නියමිතයි. මේ සිනමා කෘති සියල්ලම ඓතිහාසික කතා රැගත් ඒවා වීම සුවිශේෂ කාරණයක්.
මේ සාකච්ඡාව පැවැත්වුණු 2006 මුල භාගයේ මහින්ද රජා තම බල පරාක්‍රමය රටේ පස් දෙස පතුරවන්නට පටන් ගත්තා පමණකි. එනිසා අප බොහෝ දෙනා පසුකාලීනව ජැක්සන් ඇන්තනි ගේ වැඩ-කිඩ සලකා මේ සිනමා නිර්මාණය දෙස අපරදෘෂ්ටියෙන් බලමින් සිතන දේ නිවැරදි නොවන බව කිව හැකිය.

ඒ සමගම මට පැහැදිලිවම කිව හැකි දෙය නම්, අබා චිත්‍රපටයෙන් පසු සිංහල සිනමා රැල්ලක් ඇති වූ ඉතිහාසය විකුණා කන ආකාරයේ රැල්ලට අබා චිත්‍රපටය වගකිව යුතු නැති බවයි.

ඒ වෙනුවට ඒ රැල්ලට මූලික හේතුව වූයේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවුණු සිංහල ජාතිකවාදී වෙළඳපොළ බව මගේ අදහසයි.

ඒ කරුණු එසේ වුවද, මා මුලින් ද කී පරිදි, ඉහත රූපවාහිනී ප්‍රකාශයේ දී ඉතිහාසය විෂයය ගැන ජැක්සන් ඇන්තනි අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රකාශ කන්දරාවක් ම කරනු පෙනේ.

ඒ ගැන සවිස්තරාත්මකව ඊළඟ ලිපියෙන්: http://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html

-රසිකොලොජිස්ට්

Friday 27 November 2015

එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස


මැක්මාන්ස් පොයින්ට් හි දී ය

උද්‍යාන බංකුව මත
සන්ධ්‍යාව ගත කෙරුමට
නිද්‍රාව අමතක කර
වර්ෂාව සපැමිණ ඇත

විශ්‍රාමයෙන් අවදිව
සංවේගයෙන් හඬමින
පක්‍ෂීහු රැළ දස අත
උන්මාදයෙන් පියඹත

සන්තාපයෙන් තෙත්වුණ
සංකාව සපිරි හද තුළ
සන්තුෂ්ටිය ද ඇති බව
ක්ෂණයකට සිහියට එත!


-රසිකොලොජිස්ට්

Wednesday 25 November 2015

දුම් බොන්නන් යනු අපතයින් ය - Kiss only non-smokers!


මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දී පාසලේ අමතර ක්‍රියාකාරකමක් ලෙස අපේ පන්තියෙන් ද මහා වෙසක් කූඩු රාජයෙකු සෑදීමේ ව්‍යපෘතියක් ඇරඹුණි. මෙහි වැඩකටයුතු සඳහා පාසලෙන් පසු පැය කිහිපයක් නතරවීමට අප කතා කරගත්තෙමු.

අදාළ දිනයේ දහවල් දෙක පමණ වෙන විට ව්‍යාපෘතියට අවශ්‍ය උණ ගසක් කපා ගැනීමට හැකි විය. එයින් පසු, ඒ උණ කපා කොටා, අවශ්‍ය ලී පතුරු සාදා ගන්නවා වෙනුවට, අපේ කොලු පිරිසට අවශ්‍ය වූයේ සිගරැට් බීමටයි.

ඒ සඳහා නායකත්වය දුන් කිහිප දෙනා ඊට පෙර ඒ අත්දැකීම ලබා තිබුණු බව පෙනෙන්නට තිබුණි. ජීවිතයේ මුල්වරට, ෆෝ ඒසස් නමින් හැඳන්වුණු සිගරැට් වර්ගයකින් දුම් බිඳක් කට ඇතුළට ගෙන ඒ සැණින් පිට කිරීම ක්‍රියාව මම දෙවරක් පමණ කළෙමි. මගේ ආධුනිකත්වය, අපේ පන්තියේ විශාරදයින් ගේ සිනහවට හේතු වූ අතර, දුම් බොන්නේ මෙසේය, දුම් වළලු යවන්නේ මෙසේය යනුවෙන් උපදෙස් ද මට ඔවුන්ගෙන් ලැබුණි.

මිත්‍ර සමාගම සමග ඒ ආකාරයට දුම්බීමට තවත් වරක් දෙවරක් අවස්ථා උදාවුණු අතර, මා ඒවා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නො කළෙමි. ඒ සියලු අවස්ථා, මුල් දිනයේ පරිදි දෙතුන් වරක් දුම් මුව තුළට ගෙන පිට කිරීමට පමණක් සීමා වී ය.

මේ කාලයේ ලංකාවේ දුම්බීම යනු සාමාන්‍ය එදිනෙදා ක්‍රියාවකි. නිවසට පැමිණෙන අමුත්තන්ට දුම්වැටියෙන් සංග්‍රහ කිරීම ද සාමාන්‍යයෙන් කෙරුණි. ඒ දුම්බොන අය සිටන නිවෙස්වල දී පමණක් නොවේ.

මලගමකදී ද ඔරේන්ජ් බාර්ලි, නෙක්ටෝවලට අමතරව, දුම්වැටි ද පිළිගැන්විණි.

දුම්වැටි පිළිබඳ වෙළඳ දැන්වීම්වලින් පුවත්පත් පිරී තිබුණි.

ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වීම දුම්වැටි ප්‍රචාරණයේ එක් ප්‍රධාන අංගයක් විය. ළමා ළපටි අපේ මෙන් ම, තරුණයින්, වැඩිහිටියන් ගේ ද ප්‍රියතම ගුවන් විදුලි වැඩ සටහනක් වූයේ ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කළ, ලංකා දුම්කොළ සමාගම අනුග්‍රහය දැක්වූ බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු ය.

කෙසේ වෙතත් මා ගනේමුල්ලේ පාසලෙන් සමත්ව, කොළඹ පාසලේ දහවෙනි ශේ්‍රණියට ඇතුළත් වූ පසු පාසල් මිතුරන් දුම් පානය කළ අවස්ථා මට මග හැරී ගියේය.

පසු කලෙක, විශ්ව විද්‍යාල සමයේ දී කටට ගන්නා දුම් උගුරෙන් පහළට පෙනහැල්ල දක්වා යැවීමට උගත් නමුත් එය ද මට කිසිදු උත්තේජනයක් ගෙන දුන් දෙයක් නොවීය. ඒ ආකාරයේ දුම්බීම පවා කෙරුණේ මත්පැන් බිඳක් තොල ගෑ දිනවල පමණි. මත්පැන් බිඳක් තොල ගෑවුණේ, එක්කෝ වසරාවසානයේ පැවැත්වෙන විභාගය අවසන් වූ දින, වාර්ෂික චාරිකාව ගිය දින ගෝ විභාග ප්‍රතිඵල පිටවූ දිනවල පමණි. එනම් වසරකට දෙතුන් වරකි.

මේ හැම අවස්ථාවක දී ම, මගේ මුව තුළ ඉතිරි වූයේ තිත්ත රසයකි. දුම් උගුරු දෙකකින් පසුවද එසේ හැඟෙන කළ, දුම් වැටියක්ම බීවා නම් කෙලෙස වෙන්නට ඉඩ තිබුණේ ද?

වාසනාවට මෙන් එනිසාම මම දුම්බීමට ඇබ්බැහි නොවුණෙමි. වින්දනයක්, රසයක්, ආස්වාදයක් නොලැබෙන දෙයකට කෙසේ නම් ඇබ්බැකමක් ඇති වෙන්නද?

ඒ කාලයේ දුම් බීම පුරුද්දක් ලෙස කළ සමහර මගේ මිතුරන් මේ වෙන විට එයින් අත් මිදී ඇති බව දැන ගන්නට ලැබීම සතුටට කරුණකි.

ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට පැමිණෙන අයට වහාම දුම්බීමෙන් මිදීමට උදව්කර ගත හැකි කාරණා රාශියක් තිබේ.

එලෙස පුනරුත්ථාපනය වූ මගේ මිතුරෙකුට අනුව, ඒ කරුණු මෙසේය.

දුම්වැටි එකක් දෙකක් මිලට ගත නොහැක. ගත යුත්තේ පැකට්ටුවකි. ඒවා බදු මගින් ඉතා අධික ලෙස මිල කර ඇත.

කුලී තට්ටු නිවාසවල ඇතුළත දුම්බීම තහනම් වේ. පසු කලෙක, ලංකාවේ ද ක්‍රියාත්මක කීරීම ඇරඹුණු පොදු වාහන, ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි, කාර්්‍යාල, සිනමා ශාලා, ආපන ශාලා ඇතුළත මෙන්ම, බොහෝ මත්පැන් බොන ස්ථානවල ද, දුම්බීම තහනම් ය. ඒ සඳහා සුවිශේෂී තැන් වෙත යෑමට සිදුවේ.

දුම්බීමේ ආදිනව ගැන දැක්වෙන වාක්‍ය සහ බියකරු ඡායාරූප ද දුම්වැටි පැකැට්ටුවල දෙපස මුද්‍රණය කර තිබේ.

දුම්වැටි පැකට්ටු මිලට ගත හැක්කේ ද, සුවිශේෂී ස්ථාවලින් පමණි.

මේ වන විට, දුම්වැටි පැකට්ටුවල කිසිදු වෙළඳ සලකුණක් මුද්‍රණය නොකර සෑම පැකට්ටුවක්ම එකම ආකාරයෙන් සැකසිය යුතුය, දුම්වැටි පැකට්ටු ඒවා විකුණ ස්ථානවල සඟවා තැබිය යුතුය යනාදී වශයෙන් ඒ නීති තවත් දැඩි වී ඇත.

මේ හේතුව නිසා මා වසර කිහිපයකින් දුම්වැටි පැකට්ටුවක් දැක නොතිබුණි. මෑත දිනයක, එක් ස්ථානයක දී එවැන්නක් දුටුවිට මට එය කුමක්දැයි හඳුනා ගැනීමට ද ටියුබ් ලයිට් තත්පරයක් පමණ ද ගත විය.

මේ මා දුටු ඒ සිගරැට් පැකට්ටුවේ පැති පෙනුම් දැක්වෙන ඡායාරූප කිහිපයකි.



මේ තවත් එකක ඡායාරූප ය.



සිගරැට්? යක්!

-රසිකොලොජිස්ට්

(image: http://healthyhighlanders.co.uk/HPAC/BrowseSearch.jsp?subjectId=22&typeId=D&submit=true&sort=title&page=2)

Monday 23 November 2015

මා කන හැටි මොකා දනී? - Eat like a king...!


අශෝක හඳගම ගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක (ජයලත් මනෝරත්න විසින් චරිතය නිරූපණය කරන ලද) විශ්ව විද්‍යාල දේශකයාට මත්පැන් පොදක් තොල ගෑමට ආරාධනාවක් ලැබෙයි. එය කාරුණිකව ප්‍රතික්‍ෂේප කරනු ලැබූ විට ඔහුගෙන් විමසනු ලබන්නේ "ඇයි සර් කවදාකවත් බීලා ම නැද්ද?" යනුවෙනි.

එයට පිළිතුර ලෙස දේශකයා පවසන්නේ, "අපොයි නෑ ජීවිත කාලයේ ම අරක්කු කෝටා එක කලින් ම බීලා හමාර කළා!" යනුවෙනි.

ජීවිතයෙන් අවුරුදු දාසයක් ම පූර්ණකාලීනව හෝ පශ්චාත් උපාධි පරීක්‍ෂණවල නිරතවෙන අතරතුර අර්ධකාලීනව හෝ විශ්ව විද්‍යාල දේශකයෙකු ලෙස මා සේවය කර තිබුණ ද, තවමත් කිසිදු බීමක හෝ කෑමක ජීවිත කාලයේ කෝටාව සහමුලින්ම අහවර වී නොමැත. එසේ නමුත්, විටින් විට ලැබෙන උපදේශ නිසා, එසේ ජීවිතකාලයේ කෝටාව කලින් ම අවසාන වීම වළකා හැකිතාක් දුර පවත්වා ගෙන යෑම සඳහා යම් යම් ආකාරවල සීමා කිරීම් කිරීමට මට ද සිදු වී ඇත.

වෙනදා උදෑසන,ජෑම් සහ මාජරින් හොඳින් තැවරූ පාන් පෙති හතරක් දිනපතාම නහයට යටින් අතුරුදහන් කළ ද, ඒ පුරුදු නවතා, පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු පානයකට උදේ ආහාරය සීමා කිරීමට මා තීරණය කළේ මීට වසරකට පමණ පෙර ය. ඒ විස්තරය රසිකොලොජියේ ද පළ කළෙමි.

එහි දී ජෑම්, මාජරින්වලට වඩා මට සීමා කිරීමට අවශ්‍ය වූයේ තිරිඟු පිටි සහිත පාන් කෑමයි.

කොහොමටත් තිරිඟු පිටි සහිත පාන් කෑම බටහිර ගැති වැඩක් නොවැ? කොටින් ම, ලංකාවේ සමහරු තිරිගු පිටි හඳුන්වන්නේ ද ඇමරිකන් පිටි යනුවෙනි!

සාමාන්‍යයෙන් කාර්යාල දිනවල දවල් ආහාරය ලෙස මා වසර හත අටක සිටම අනුභව කළේ ටූනා හෙවත් කෙළවල්ලන් මාළු සමග පාන් ය.

මා එසේ කළේ, කෙළවල්ලන් කෑම ජපන් ජාතිකයින් ගේ මොළය වැඩීමට හේතු වෙන බව බටහිර විරෝධීන් විසින් පවසන්නට යෙදුණු නිසා නොව, ඔමෙගා බී වැනි ශරීරයට හිතකර විටමින් ප්‍රභේදයක් එහි ඇති නිසා, නිතිපතා රතු මාළු අනුභව කරන ලෙස ලැබුණු වෙද උපදෙස් නිසා ය.

ඕස්ට්‍රේලියාවේ දී කෙළවල්ලන් කෑමට මාළු කඩෙන් ගෙනැවිත් උයා පිහා ගැනීමට අවශ්‍ය ම නොවේ. මා දිවා ආහාරය සඳහා සාමාන්‍යයෙන් ගන්නේ ටින්වල ඇසුරූ කෙළවල්ලන් ය.
මේ කුඩා මාළු ටින්, විවිධ රස සහිතව සකසා තිබුණද, මගේ සිත වැඩියෙන්ම දිනා ගත්තේ මිරිස් රසැති වර්ගයයි.


පාන් කෑම පෙති හතරේ සිට දෙකට අඩු කළ පසු, මා දිවා ආහාරය සකසා ගන්නේ මෙලෙසයි.
  • පාන් පෙති දෙකක් තරමක් කර (ටෝසට්) කර ගනිමි.
  • සලාද කොළ සාමාන්‍ය ප්‍රමාණයක් භාජනයකට දමා එයට සලාද මිශ්‍රණය හෙවත් ඩේ‍රසින් ස්වල්පයක් එකතු කර ගනිමි. සෝදා පිරිසිදු කර ඇසුරු මිශ්‍ර සලාද කොළ සහ ඩේ‍රසින් කෙළින්ම කඩෙන් මිලට ගත හැකිය.
  • දැන් එයට උඩින් ටින් එකේ ඇති කෙළවල්ලන් මිශ්‍රණය එතකු කරමි.
  • පාන් පෙති දෙක කුඩා කැබලිවලට කඩා සියල්ල එක මිශ්‍ර කර සලාදයක් සාදා ගනිමි.
අපේ කාර්යාලයේ සේවය කරන මා මිතුරු ලියම් ටෙරිස් මගේ මේ දිවා භෝජනය හඳුන්වන්නේ "රසික ගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් සැන්ඩ්විච්" කියා ය.



සතියේ දින හතරක් පමණ මේ මගේ මාළු-පාන්-සලාදය කන මා අනෙත් දිනවල කරන්නේ කාර්යාලය අසල ආහාර විකුණන කඩයකින් පාන් නොමැති සලාදයක් මිලට ගෙන කෑමයි.

මේ එවැනි එළවළු සහ මස් මිශ්‍ර සලාදය කිහිපයකි.



මේ ප්‍රමාණයේ (extra large) සැලඩ් කෝප්පයක් ඩොලර් නමයකි.

මේවායේ අඩංගු මස් වර්ගය (පලහන ලද) කුකුළු මස් ය. අඩංගු එළවළු වර්ග අතර කේල් නම් කොළ වර්ගය, කීන්වා නම් ධාන්‍යය, සාමාන්‍ය සලාද කොළ, සුකිනි නම් කැකිරි වර්ගය යනාදිය වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සින්තටික් සිහිනය අරඹා දැන් වසරක් පමණ ගෙවී ගොසිනි. මා පෙර ලිපියේ ද සඳහන් කළ පරිදි, කලිසම් පහළට බැසීම නිසා ඇති වෙන ප්‍රශ්න මග හරවා ගැනීමට සෑම බඳ පටියක ම පාහේ අමතර හිලක් විදීමට සිදුවිය.

නමුත්, පසුගිය කාලය තුළ මගේ ස්කන්ධය නම් බොහෝ දුරට සංස්ථිතිව පවතී!

මෙය විස්තර කිරීමට හැකි, මට සිතාගත හැකි එකම ක්‍රමය නම්, සිරුරේ ජලය සහ මේදය අඩුවී ගොස්, ඒ වෙනුවට අස්ථි ඝනත්වය වැඩි වීමයි.

ප/ප/ලි:
ඇඟට හිතකර කෑම කන්නට බැරියෝ යැයි ඇඟ කෑ ගසන දිනවලට මම කාර්්‍යාලය අසල පිහිටි තායි බත් කඩේට ගොස් කෑම බාගයක් මිළට ගනිමි. මේ ඒ ආකාරයේ බත් පිගන් කීපයකි. ව්‍යංජන වර්ග දෙකක් සමග බත් පිඟාන ඩොලර් 7.50 කි.

Friday 20 November 2015

සුපිරි වෛද්‍ය උපදේශයක් - නොමිලේ, නොමිලේ, නොමිලේ! :: Life changing medical advice - it comes free of charge


දැනට වසරකට පමණ පෙර සමයෙක, අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනයක් ලැබුණි. අපට කියා කීවාට, මේ ආරාධනය ලැබුණේ ඇත්තට ම මගේ බිරිඳට ය. ඒ ඇගේ සමකාලීන විශ්ව විද්‍යාල මිතුරියක ගෙනි. ඒ සමයේ ම, ඒ පාඨමාලාවම හැදෑරූ තවත් කාන්තාවන් පිරිසක් ද සිය සැමියන් ද සමග එම සාදයට එනු ඇති බව ද මට අසන්නට ලැබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි සුහද සාද පැවැත්වෙන්නේ සෙනසුරාදා ය. අදාළ දිනයේ, අපි ඒ මිතුරු නිවසට ගියෙමු.

කාන්තා පක්‍ෂය තමන් ගේ මිතුරු සමාගම රම්පස් කාමරයේ ඇරඹූ අතර, අප පිරිමි පිරිස, ගෙහිමියා ගේ ඇරයුමෙන් මේසයක් උඩ තබා තිබුණු පොඩි පහේ කුප්පි කිහිපයක් වටා එක් රැස් වී මූ.
මා පසුගිය වසරේ දිනයක "දේශපාලනයෙන් තොර සෑදෑවක්" යනුවෙන් ලියා රසිකොලොජියේ පළ කළේ මේ සාදය පිළිබඳ සටහනකි.

සාදයට සහභාගී වූ කාන්තාවන් සියලු දෙනාම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථීන් වූව ද, ඔවුන් ගේ සැමියෝ විවිධ වෘත්තිකයෝ වූහ.

මේ අතර සිටි, මා එදින හඳුනාගත්, මගේ සමකාලීනයෙකු වූ වෛද්‍ය පීඨ විද්‍යාර්ථියෙකු විසින් මට එහි සිටි වෙනත් සැමියෙකුව හඳුනා දුන්නේ "මචං මේ සුජිත්, අපට වඩා පේරාදෙණියේ අවුරුදු දෙකක් සීනියර් පොරක්!" කියා කියමිනි.

මා පෙර සඳහන් ලිපියේ කියූ පරිදි අප එදා කතා බහ කළේ ගේ දොර, යාන වාහන, දූ දරුවන් වැනි එදිනෙදා කරුණු ගැන ය. ඒ අතර ශරීර සෞඛ්‍යය ගැන ද කතාබහ කෙරුණු නිසා, එකිනෙකා දැක්වූ අදහස්වලින් මා මේ දෙවනුව හඳුනාගත් සුජිත් ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව මට හැඟී ගියේ ය.

පෙර කී කුඩා කුප්පිවල පිරී තිබුණු තරල කෙමෙන් කෙමෙන් අපේ රක්තාණු අතරට මුසු වෙද්දී කෙරුණු අපේ සාකච්ඡා අතරතුර දී සුජිත් තමන් දිනපතා කරගෙන යනු ලබන සෞඛ්‍යමය රෙජීමය පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ ය.
  • ඔහු දිනපතා කිලෝ මීටර් හතරක් පමණ ඇවිදියි.
  • පාන් කෑම සහමුලින් ම නතර කර ඇත.
  • උදෑසන ආහාරය ලෙස ගන්නේ පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු බීමකි.
  • එළවළු සහ මුහුදු මාළු විශාල ලෙස ද, මස් වර්ග මද පමණින් ද ආහාරයට ගනී. බත් කන්නේ හැඳි භාගයක් පමණි.
  • තේ බොන්නේ සීනි නොමැතිව ය.
  • හැකි සෑම දිනකම පාහේ සෑදෑ කාලයේ දී නිවසේ සිට අඩ පැයක් පමණ ව්‍යායාමයේ යෙදෙයි!
සුජිත් ගේ සෞඛ්‍යමය රෙජීමය එලෙස විය.

සතියේ දිනවල දිවා ආහාරය වෙලාවේ කාර්්‍යාලය අසල මාර්ගවල සිරි නරඹමින් ඇවිදීම මා කලක සිට කර ගෙන යන කර්තව්‍යයකි. සුජිත් ගේ රෙජීමයට අඩංගු වුණු ඊට අමතර කර්තව්‍යයන් වූ පාන් නොකෑම, පලතුරු මුසු සුමුදු පානයක් උදෑසන ආහාරය ලෙස ගැනීම, සැඳෑ කාලයේ ව්‍යායාම කිරීම වැනි දේ මා සිත් ගත්තේ ය.

අපේ වයසේ පිරිමින් ගේ සාමාන්‍ය ශරීර ලක්‍ෂණයක් වූ උදරය ඉදිරියට නෙරා ඒම ප්‍රදර්ශනය නොකරන කෙසඟ නමුත් ශක්තිමත් අයෙකු සේ සුජිත් දිස්වුනි. ඊට අමතරව ඔහු වෛද්‍යවරයෙකු ද වේ!

ඉතිං, කුමට ද කුසලට කම්මැලි වෙන්නේ?

මම වහාම වෛද්‍ය සුජිත් පරණගම ගේ රෙජීමයෙන් මට කළ හැකි දේ අනුගමනය කිරීමට අදිටන් කර ගත්තෙමි. අදිටන් කිරීමෙන් නොනැවතී:
  • පසුවදා උදෑසන ම නිවසේ කලක් තිස්සේ තිබුණු ව්‍යායාම මැෂිමේ මකුළුදැල් කඩා දැමුවෙමි.
  • බ්ලෙන්ඩරය කුස්සියේ කබඩ් එකක් අස්සේ තිබී සොයා ගත්තෙමි.
  • කඩපොළට ගොස් වෙනදාට වඩා පලතුරු යනාදිය ද මිලට ගත්තෙමි.
  • නැකත් නොබලා, එදින සවස් යාමයේ ම මගේ අලුත් වැඩ පිළිවෙළ ඇරඹූවෙමි.
"මොකද ඔයාට මේ කවදාකවත් නැතුව එක්සයිස් කරන්න හිතුණේ රසී?" මා දුටු බිරිඳ විමසුවේ ප්‍රීතියෙන් ඉපිල යමිනි.

"ඒ විතරක් නොවෙයි, දන්නවාද, මං හෙට ඉඳලා උදේට බොන්නේ ෆෘට් ස්මූති, පාන් කෑමත් අඩු කරනවා. දවල්ට ඇවිදින එකත් නොවරදවාම කරන්න ඕනෑ!" මම පැවසුවෙමි. "මේ සේරම අර සුජිත් ගෙන් මං අල්ලා ගත්තේ. දැක්කා නේද පොර හොඳ ෆිට් එකේ හිටියේ?"

බිරිඳ ඇගේ විකසිත සුපුෂ්පිත සිනහව පෑවා ය!

"අයියෝ ඔයා සුජිත්ගෙන් ද ඇඩ්වයිස් ගත්තේ?

"ඇයි මොකද, නරකද?"

"නෑ, නෑ, කමක් නෑ, සුජිත් ගේ වයිෆ් ප්‍රියන්ති නම් හිටියේ අපේ ෆැකල්ටියේ තමයි. ඒත් සුජිත් නම් හිටියේ වෙට් ෆැකල්ටියේ!"

"මළ කෙලියයි!" මට කියවිණි.

මා මේ පිළිපැදීම අරඹා ඇත්තේ පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පශු වෛද්‍ය, පශු නොවන වෛද්‍ය කතා කෙසේ වෙතත් මගේ නව සෞඛ්‍යමට රෙජීමයට දැන් වසරක් ගත වී ඇති අතර, මගේ සෑම බඳ පටියකම අලුතෙන් හිලක් බැඟින් විදින්නට සිදු වූ බව සතුටින් සඳහන් කරමි.

ඊට අමතරව, 2014 අප්‍රියෙල් මාසයේ දී නලීන් දිල්රුක්‍ෂ මිතුරාගේ කාරුණිකත්වය නිසා මට ලැබුණු බ්ලොග් ලියන්නන් ගේ මීඩියම් ප්‍රමාණයේ ටී-ෂර්ටය ද මට පසුගිය දිනයක වදෙන් පොරෙන් හෝ ඇඳීමට හැකි විය!

(images: http://www.bigfooty.com/forum/threads/hawks-logo-mascot.977926/ & http://digitalcitizen.ca/2009/02/05/soccer-and-rugby-fans-facebook-friends-tagging-challenge/)

Monday 16 November 2015

ප්‍රංශ කොඩිය දැමීම නිසා හෙළිවන අපේ සමහර අයියලා ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත - Nakedness exposed


මීට වසර තුනකට පමණ පෙර බාලචන්ද්‍රන් නම් ළමයා ගේ මරණයට පෙර සහ පසු ඡායාරූප මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණු පසු අපේ සමහරුන් ගේ අමානුෂික ජුගුප්සාජනක නිරුවත හෙළිදරව් වූ හැටි ඔබට මතක ඇතැයි සිතමි.

බාලචන්ද්‍රන් යනු සතුරෙකු ගේ දරුවෙකු නිසා, ඔහු මරා දැමීම සාධාරණීකරණය කරන්නට සමහරු වඳ පීදුණු කෙසෙල් ගස්වලින් එන කෙසෙල් මොටයි පවා කපා දමා විනාශ කළ යුතුයි ආදී විවිධ න්‍යායයන් ගෙන හැර දැක්වූහ. ඒ ප්‍රකාශවලින් හෙළි වූයේ උන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

දෙසතියකට පමණ පෙර, ළාබාල තරුණියන්ට බැටන් පහර දෙන පොලිස්කාරයින් ගේ ඡායාරූප ගැන ද, එවැනි ම අමානුෂික කතා, එනම්, අහවල්, අහවල් හේතු නිසා උන්ට එලෙස ගැහැව්වාට කමක් නැත යනුවෙන්, සමහරු ලියා තිබෙනු දක්නට ලැබුණි.

එයින් හෙළි වූයේ ද ඔවුන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

පෙරේදා ප්‍රංශයේ දී සිදු වූ මිනිස් ඝාතනයෙන් පසු ඒ ගැන විවිධාකාරයෙන් ශෝකවන්නන්, ප්‍රංශ ධජයේ වර්ණ ෆේස්බුක් ජාලයේ තම පුද්ගල ඡායාරූපයට යොදාගන්නන් අපට දැකිය හැකිවිය.

මෙය දකින අප අතරම වෙසෙන මනපහතයින් පිරිසක් පවසා ඇති කරුණු කිහිපයක් මෙසේය.
ප්‍රංශයේ මියගිය උන් වෙනුවෙන් දුක් වෙන්නේ ඇයි?
උං කොළඹ අහවල් බෝම්බය පිපිරුණු විට දුක් වුණා ද?
ප්‍රංශයේ ඛේදවාචකය වෙනුවෙන් ප්‍රංශ ධජයේ වර්ණ ආදේශ කර ගන්නේ ඇයි?
ලංකාවේ මිනිසුන් ඝාතනය වුණු විටදී උන් ලංකා කොඩියේ වර්ණ තමන් ගේ ෆේස්බුක් ඡායාරූපයට යොදා ගත්තා ද?
ප්‍රංශයේ මිනිස් ඝාතනය ගැන තමන්ට දුකක් නැතිනම් ඕනෑ චොකා බයිලාවකට නටමින් හිටියාට අවුලක් නැත. නමුත්, එසේ නොකර සිදුකරනු ලබන මෙවැනි ද්වේෂ සහගත කථාවලින් පෙනෙන්නේ ද මේ පුද්ගලයින් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත බව පැහැදිලිය.

ඒ නොමිනිසුන්ට අතමරව තවත් කොටසක් මෙසේ ද පවසති.
ප්‍රංශ රජය ලෝකයේ කලබල ඇතිකරවන, යුද්ධවලට සහය දෙන රටකි. එනිසා, ප්‍රංශ ජාතිකයින් මෙලෙස මිය යාමේ ද ප්‍රශ්නයක් නැත!
මෙන්න මේ ආකාරයේ ප්‍රකාශකරන පිරිස නම්, මතවාදීව සිටින්නේ අයිසිස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් ගේ පිළේ බවට කිසි සැකයක් නැත. ඒ මක් නිසාද යත්, ත්‍රස්තවාදීන් සිටින්නේ ද, රටක රජයක් කරන ක්‍රියාවන්ට, ඒ රටේ සියලුම වැසියන් වගකිව යුතුය, තම ජීවිතවලින් වන්දි ගෙවිය යුතුය යන පදනමේ ය.

ෆේස්බුක් වැනි සමාජ ජාලයන් ගේ කෙතරම් ප්‍රයෝජන තිබුණද, ඒ හරහා මෙවැනි අමානුෂික ප්‍රකාශ දකින්නට ලැබීම නම් දරුණු අභාග්‍යයකි. නමුත්, අනිත් අතට සලකා බලන කල, අප අතර සිටින නොමිනිසුන්, ඔවුන්ගේ මේ ආකාරයේ ප්‍රකාශ හරහා හෙළිදරව් වීම නම් ඉතා වැදගත් කරුණකි.

-රසිකොලොජිස්ට්

(image: from Mike Baird's Facebook page)

Friday 13 November 2015

වධකයා සහ උගේ බිරිඳ - James Bond with a licence to kill


මා කුඩා කාලයේ එක් දිනක්, අපේ බාප්පා "බුදු අම්මෝ!" යැයි මහ හඬින් කෑ ගසමින් තම කඩා වැටෙන සරම ද අතින් අල්ලාගෙන නිවසේ සිට වත්ත පහළට දිව යනු මට මතකය. අප මවිතයට පත්කළ ඔහු ගේ ඒ හැසීරීමට හේතුව ලෙස අපට පසුව අසන්නට ලැබුණේ, බාප්පා ගේ කාමරයේ මකුළුවෙකු සිට ඇති බවයි.

සාමාන්‍යයෙන් කැරපොත්තන්, මකුළුවන් වැනි කෘමි සතුන්ට බියවන්නේ බහුතරයක් කාන්තාවන් ය. පිරිමින් අතර ද එවැනි දුබල සිතැති අය ඇති බවට අපේ බාප්පා සාක්‍ෂියකි. ඒ ඔහු මකුළුවෙකුට බයේ කෑ ගසමින් දිව ගිය එකම දිනය නොවේ!

බාප්පලා, නැන්දලා කොයිතරම් බිය වුවද, ලංකාවේ දකින්නට ලැබෙන මකුළු වර්ග කිහිපය විෂ සහිත වුන් නොවේ. එසේ නොවී උන් විසකුරු සතුන් වූයේ නම්, ලංකාවේ නිවාසවල සාමන්‍යයෙන් දකින්නට ඇති මකුළු දැල් ප්‍රමාණයට අනුව, මිනිසුන් නොමැරී ජිවත් වෙන්නේ කෙලෙසදැයි සිතා ගත නො හැකි වෙනු ඇත.

නමුත්, විසකුරු මකුළු වර්ග ද ලොව සිටිති.

මා කුඩා කාලයේ කියවූ ජේමිස් බණ්ඩා චරිතය සහිත චිත්‍රකතා පොතක දිවි මකුළුවා නම් විසකුරු එකෙකු සම්බන්ධ කොටසක් ද තිබුණි. ඒ මාරාන්තික මකුළුවා යොදා අංගවිකල දරුවෙකු මරා දමන්නට කෙරුණු උත්සාහයක් ජේමිස් බණ්ඩා නම් අපේ කාලයේ වීරයා අන්තිම තත්පරයේ දී ව්‍යවර්ථ කර දැම්මේ අප සන්ත්‍රාසයේ සිට උද්දාමයට පත් කරමිනි.

ලයිසන්ස් ටු කිල් හෙවත් මිනිසුන් මරා දැමීමේ ලයිසොමක් ඇති වධකයෙකු වූ ජේමිස් බණ්ඩාට දිවි මකුළුවෙකු යනු කජ්ජක් ද?

ඕස්ට්‍රේලියාවේ මකුළු වර්ග රාශියක් සිටිති. ඉන් බොහෝ වර්ග විසකුරු නැතිමුත් විෂ සහිත එවුන් ගේ විෂ, ඉතා දරුණු විය හැකිබව කියවේ.

නමුත්, නපුරු දුදනන් ගේ සියොළඟෙහිම විෂ තිබුණ ද, මකුළුවන් ගේ විෂ ඇත්තේ එක් කුඩා තුඩක පමණක් නිසා, මකුළුවෙකු හැපීමෙන් මිය ගොස් ඇති මිනිසුන් සංඛ්‍යාව ඉතා අල්ප බව පැවසේ.

ඊයේ සවස මා සේවය නිමවී නිවසට ළඟා වුයේ හත හමාරට පමණය. ආලිංගනයෙන් සහ දෙතොල් මත තැබුණු චුම්බනයකින් සුපුරුදු පරිදි මා පිළිගත් මගේ ප්‍රියම්භිකාව, වෙනදාටත් වඩා ආදරයෙන් මා ඇමතීය.

"අනේ රසී, ඔයා එනකං තමයි මං මේ බලාගෙන හිටියේ. තඩීම තඩි මකුළුවෝ දෙන්නෙක්ම ඉන්නවා ගේ ඇතුළේ. අනේ උංව අරං දාන්න!"

තරප්පුව යට ඇති කුඩා ගබඩා කාමරයේ දොර දෙපැත්තේ සිවිලිමේ රුඳී සිටි මකුළුවන් දෙදෙනෙකු ඇය මට ඇඟිල්ලෙන් පෙන්නුවාය.

"මෙන්න මූ නම් රෙඩ් බැක් එකෙක් වගෙයි. අනිකා නම් ෆනල් වෙබ් එකෙක් ද මන්දා?"

හිස ඔසවා ඒ දෙස බැලූ මා දුටුවේ වෙනත් වර්ග දෙකක මකුළුවන් දෙදෙනෙකි. කලබලවීමට හේතුවක් තිබුණේ නැත.

වෙනදාට මෙවැනි අවස්ථාවල දී මා කරන්නේ පරණ සිලි-සිලි බැගයක් අතේ දමාගෙන මකුළුවාව අල්ලා, ඌ බැගය ඇතුළට දමාගෙන කුණු බක්කිය තුළට දැමීමයි.

නමුත් ඊයේ මා කළේ ගබඩා කාමරයෙන් කුඩා පියගැට ඉණිමගක් ගෙන ඒ මත නැග, මකුළුවන්ට මෝටීන් විෂ ප්‍රහාරයක් එල්ල කිරීමයි. සිහිසුන් වී බිම ඇඳ වැටුණු මකුළුවන් දෙදෙනා ඊළඟට සිලි-සිලි බැගයක් ඇතුළේ සැතපී කුණු බක්කියට වීසි වූහ.

මගේ බිරිඳ මකුළුවන්ට ඇති බිය මා හොඳින් දන්නා නමුත් මම බිරිඳ අමතා මෙසේ කීවෙමි.

"අයියෝ ඔයා මං එනකල් හිටියේ ඇයි ඕක කරන්න. මෝටීන් ස්ප්‍රේ කළා නම් ඉවරයිනේ?"

"අනේ මට බෑ ඒවා කරන්න. පවුලේ හබියා ඉන්නේ ඒකට තමයි!" ඇය කීවා ය.

"ඒ කියන්නේ මං තමයි මේ ගෙදර වධකයා?"

"ඔව් ඔයා තමයි!" ඇය සිනාසෙමින් පැවසුවේ මා ඊළඟට කියන්නට යන දේ ගැන කිසිදු අදහසක් නොමැතිව ය.

"හොඳයි මං වධකයා නම්, මගේ බාරිය වෙන ඔයා කවුද?"

විරුද්ධවාදියා ක්‍ෂණයකින් නිරුත්තර කරමින් මා ඊයේ දවසේ වාග් සංග්‍රාමය ජයගත්තේ එලෙස ය.

ප/ලි:
සර්පයෙකු දුටුවහොතින් නම්, මා අපේ බාප්පා කළාක් මෙන් "බුදු අම්මෝ!" කියා කෑ ගසමින් කඩා වැටෙන සරම ද අල්ලාගෙන දිව යන්නට ඉඩ නොමැති මුත්, හිරිකිතකම නිසාත්, විසකුරු බව නිසාත් මගේ ජේමිස් බණ්ඩාකම අමතක කර දැමීමට තරමක් ඉඩ ඇත!

(image: https://www.magshop.com.au/australian-spiders-poster)

Thursday 12 November 2015

දවසක ඇරඹුම - Just another day


නිදා සිටි නෙත් දෙපියන
කෙමෙන් විවරව එන විට
එලාමය ඒ බව දැක
නගයි කෝකිල ගී හඬ

උදෑසන හිරු පිබිදී
අඩ පැයක් ගත වී ඇත
එහෙත් ගත ඇත නිදිමත
තවත් පැයකට ගැලපෙන

කෙමෙන් දිගු කර දකුණත
නිහඬ කරවමි ගී නද
පියා ගමි යළි නෙත් දෙක
මාවුලාවේ(*) ඔබමින

යළිත් සීනුව හැඬවෙත
යොමමි නෙත කවුළුව වෙත
පෙරෙන හිරු රැස් කුරිරුව
දවයි අඩවන් මා නෙත

අතට ගෙන සෙල්ෆෝනය
එබෙමි අන්තර්ජාලෙට
දකිමි මිතු තතු දස දෙස
විඳිමි බ්ලොග් ලොව ලිපි රැස

කොහිද යැයි අමතක මුත්
දුටුව ඒ පෙර දිනයක
යෙදුම මා සිහියට එයි
"දවස තවමත් තරුණය!"

-රසිකොලොජිස්ට්

(*) - මංජුල වෙඩිවර්ධන ගේ "මගේ ආදරණීය යක්‍ෂණි" කෘතියේ තිබූ අමාරු වචනයකි. ෆේස්බුක් ජාලය හරහා මිතුරන් ගේ උදව්වෙන් තේරුම දැන ගතිමි.

(iamge: http://deborahvelasquez.blogspot.com.au/2013/05/may-flower-challenge-day-twenty-nine.html)

Monday 9 November 2015

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ කිවියර යසනාත් ධම්මික බණ්ඩාර - In defence of Yasanatha Dhammika Bandara


මා හතේ පන්තියේ ඉගෙනුම ලබද්දී වෙසක් සුබ පැතුමක මුද්‍රණය වී තිබී කියවා පරම්පරා දෙකකට පමණ පසු තවමත් මතකයේ රැඳී තිබෙන කවියක් මෙසේ ය.
ඒම දුකකි
යාම දුකකි
ඒම, යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම පෑ සම්බුදු හිමි
පිහිට පතමි ඔබ හට මම
සාධු, සාධු!
ඒ කවිය මගේ මතකයේ රැඳී තියෙන්නේ එය කවියක් නිසා මිස, සම්බුදු හිමි ගැන හෝ දුක නැති කිරීම ගැන හෝ ඇති විශේෂ කැමැත්තක් නිසා නොවේ.
මරණය කාටත් පොදු දෙයකි. උපන්නොත් මරණය නියත බව අපි දනිමු. නමුත් එය සිදුවෙන්නේ කෙදිනකදැයි අපි නොදනිමු.
ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන් දිනපතා මරණයට පත්වෙති. ඒ ගැන අපි සාමාන්‍යයෙන් දුක් නොවෙමු. කලින් නොදන්නා අයගේ මරණයන් ගැන අප දුක් වෙන්නේ ඒ මරණ එක්කෝ හදිසි මරණ නැතිනම් අනතුරු හෝ ඒත් නැතිනම් කුරිරු මිනිමැරුම් නම් පමණි.

නමුත්, අප දන්නා හඳුනන අයෙකු ගේ මරණය ගැන අපට සංවේගය ගෙන දෙයි. මිය ගියේ ළඟම මිතුරෙකු හෝ ඥාතියෙකු නම් අප හඬන්නට ද බොහෝ විට ඉඩ තිබේ.

සතුරෙකු ගේ මරණය ගැන ආරංචිය ලැබුණු විටට, අප කෙසේ හැසිරෙමු ද?

මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ මරණය ගැන පුවත ලැබුණු පසු විවිධ පුද්ගලයෝ විවිධාකාරයෙන් ප්‍රතික්‍රියා දැක්වූහ.

කෝට්ටේ බංගලා හන්දියේ පදිංචිව සිටි වසර දෙක හමාරක කාලය තුළ මා දෙවරක් පමණ නාග විහාරයට ගොස් ඇති නමුදු, මා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ගැන දන්නේ භික්‍ෂුවක ලෙස නොව සමාජ දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙනි.

පසුගිය වසරේ ඔහු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට විරුද්ධව පොදු අපේක්‍ෂකයා ලෙසින් ඉදිරිපත් වෙන්නට කැමැත්ත පළ කළ නිසා, මාදුළුවාවේ සෝභිත යනු දේශපාලන ක්‍රියාකාරිකයෙකුට වඩා ඔබ්බට ගිය කෙළින්ම දේශපාලකයෙකු ලෙස ද හැඳින්වීම වරදක් නොවේ.

මාදුළුවාවේ සෝභිත හිමි ගේ මරණය ගැන ලියවුණු අදහස් අතරින් ෆේස්බුක් තුළ, මා දන්නා පරිදි, වඩාත් ම කැළඹීමක් ඇති කළේ යසනාත් ධම්මික බණ්ඩාර පළ කර තිබුණු අදහස් ය.

මා යසනාත් ධම්මික බණ්ඩාරව දන්නේ මූලිකවම ගී පද රචකයෙකු ලෙසිනි. ඔහු ගී පිළිබඳව අගනා ලිපි රචනා කර පළ කරන අර්ධකාලීන බ්ලොග්කරුවෙකු ද වේ. ඔහු ගේ වෘත්තිය අනුව අර්ධකාලීන පොල් කඩන්නෙකු ද වෙන බව මට අනුමාන කළ හැක. ඒ ඔහු ගේ පුර්ණකාලීන රජයේ රැකියාවට අමතරව යැයි සිතමි.

යසනාත් ගේ විවාදාත්මක අදහස මේ ලිපිය ආරම්භයේ දක්වා ඇත.

මා ෆේස්බුක්හි අදාළ තැන්වල පළ කළ පරිදි මේ පිළිබඳව මගේ අදහස මෙසේය.

යසනාත් ගේ ඉහත ප්‍රකාශය අප නිවැරදිව දැකිය යුත්තේ උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදී දේශපාලන සත්වයෙකු හෙවත් බයියෙකු විසින් උග්‍ර මහින්ද රාජපක්‍ෂ විරෝධී දේශපාලන සත්වයෙකු හෙවත් ටොයියෙකු ගේ මරණය පිළිබඳව කළ වෛරී ප්‍රකාශයක් ලෙසින් පමණි.

ඒ සන්දර්භය අමතක කර, යසනාත් ගේ එම්බීබීඑස් උපාධිය හෝ කවීත්වය හෝ සෝභිත හිමි ගේ භික්‍ෂුත්වය හෝ මෙයට අදාළ කර ගත යුතු නැත!

මහින්ද රාජපක්‍ෂ රෙජීමය පැරදවීමට මුල් වූ සෝභිත හිමි ගේ ඓතිහාසික කාර්යභාරය ඒ දේශපාලන ක්‍රියාමාර්ගය අනුමතක කළ අයට පෙනෙන්නේ යහපත් ක්‍රියාවක් ලෙස වුව ද, උග්‍ර මහින්දවාදියෙකු වෙන යසනාත් ගේ අන්තයේ සිට බලන කළ එය පෙනෙන්නේ ද්‍රෝහී පාවාදීමක් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ!

ඒ අනුව සෝභිත හිමි යනු යසනාත් සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමේ පරම හතුරා ය. හතුරෙකු ගේ මරණය ගැන ප්‍රීතිවීම අපේ තත්කාලීන සංස්කෘතියේ එක කොටසකි.

උදාහරණ අනවශ්‍ය යැයි සිතමි.

මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට ෆේස්බුක් අවකාශයේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!

එසේම, මේ කරුණත් කිව යුතු ය.

සෝභිත හිමි මිය ගියේ සත්‍යාවබෝධය ලැබීමෙන් පසුව වීම වැදගත් කරුණකි. ඔහු ගේ මරණය ජනවාරියේ දී සිදු වූවා නම් ඔහු මිය යන්නට ඉඩ තිබුණේ ඒ සත්‍යාවබෝධය නො මැතිවයි.

මාදුළුවාවේ සෝභිත හිමියන් නැවත මේ ලෝකයේ නො ඉපදී වහාම නිවන් සැප ලැබේවා යි පතමි!

-රසිකොලොජිස්ට්

Saturday 7 November 2015

සිංහල බ්ලොග් සඳහා අවශ්‍ය (ද) ආචාර ධර්ම (?) - Ethical blogging...!!!


පසුබිම් කතා නොකියා, කෙළින්ම මාතෘකාවට බසින්නම්.

සිංහල බ්ලොග් සඳහා ආචාර ධර්ම අවශ්‍ය ද?

එසේ නම් ඒ මොනවා ද?

මගේ අදහස් නම් ඉතා කෙටියෙන් මෙසේය. මා ගැණ දන්නෝ මේවා මා අලුතින් කියන ඒවා නොවන බව දනිති.

බ්ලොග්
  • බ්ලොග් සඳහා පොලිසි අවශ්‍ය නොවේ.

බ්ලොග්කරුවන්
  • බ්ලොග්කරුවන් සියලු දෙනාම එක හා සමාන ය.
  • බ්ලොග්කරුවන් අවංකව තමන් ගේ අදහස්/මත/කතා/නිර්මාණ ඉදිරිපත් කළ යුතුයි.
  • මතවාදී වෙනස්කම් පුද්ගලිකව සැලකිය නො යුතුයි.

බ්ලොග් කියවන්නන්
  • බ්ලොග් කියවන්නන් ද සැවොම සමානයෝ වෙති.
  • අදහස්වල ඇති විරුද්ධතා පුද්ගලිකව නොසැලකිය යුතුයි.
  • තම අදහස් දැක්වීමේ දී අවංකව, සංවරව එය සිදු කළ යුතුයි.

වෙනත් එකතු කළ යුතු යමක් තිබේද?

මේවා කිසිසේත් බ්ලෙග් සඳහා ම පමණක් අදාල, සුවිශේෂී, ආචාර ධර්ම නොවේ. අප සාමාන්‍යයෙන් හැසිරිය යුත්තේ ද මෙලෙස ය.

-රසිකොලොජිස්ට්

(image: https://culcbuia134.wordpress.com/2013/07/03/blog-4-ethical-leadership/)

Wednesday 4 November 2015

අනුර කුමාර දිසානායක ගේ හදවත සහ හිටපු ජේවීපීකාරයින් ගේ (සහ තවත් අය ගේ) නිරුවත - Heart attack and nakedness


ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක පසුගිය දිනයක හදිසියේ අසනීප වී රෝහලකට ඇතුළත් කළ පුවත ෆේස්බුක් සහ වෙනත් පුවත් මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබුණි.

මුල් ආරංචිවලින් කියවුණේ ඔහුට හදවත හා ආශ්‍රිත, එනම් හෘදයාබාධයක් වැනි, රෝගයක් වැළදී ඇති බවයි. පසුව එය උදරාබාධයක් ලෙස නිවැරදි කෙරිණි.

මේ කනගාටුදායක සිදුවීම හා අදාළව විවිධ පුද්ගලයින් විසින් පළ කළ අදහස් රාශියක් මට ප්‍රධාන වශයෙන් ෆේස්බුක් හරහා දැක ගන්නට ලැබුණි.

මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ සැලකිය යුතු පිරිසක් අනුර කුමාර දිසානායකට හදිසියේ අසනීප වීම ගැන විවිධ සරදම් බස් තෙපලනු, උසුළු විසුළු කරනු, දක්නට ලැබුණි.

වඩාත්ම ශෝකජනක තත්වය වූයේ, ඒ පිරිසෙන් බහුතරයක් දෙනා, මීට පෙර ජනතා විමුූක්ති පෙරමුණ සමග කුඩා හෝ සම්බන්ධයක් තිබී පසුව විවිධ හේතු නිසා එය අමතක කර දැමූ, නමුත් තව දුරටත් වාමාංශිකයින් ලෙස පෙනී සිටින, අය බව දකින්නට ලැබීමයි.

මේ සම්බන්ධයෙන් මට කියන්නට ඇත්තේ මෙයයි.

හතුරෙකු වුවද, යමෙකු රෝගාතුර වූ පසු ඒ ගැන සතුටු වෙන්නෝ, සරදම් කරන්නෝ අධමයෝ ය.

බොහෝ දෙනෙකුට මෙන් මට ද, ජනතා විමුක්ති පෙරමුණේ අතීත සහ වත්මන් දේශපාලන මතවාදය සහ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල ප්‍රශ්න ඇත. එසේ වුවද, එවැනි දේශපාලනිකව වෙනස් අදහස් දරන්නන්, ඒ වෙනස්කම් මතවාදීව බේරා නොගෙන, මේ කරන හැසිරීම නම් සහමුලින්ම අමානුෂික බව කිව යුතු ය.

එය කුඩා දරුවෙකු මරා දමා තිබෙනු දුටු විට වඳ කෙසෙල් මොටයි සිහි කිරීම, පොලීසියෙන්, හමුදාවලින් කෙරෙන අමානුෂික පහරදීම් දැක එහි පිටුපස අදෘශමාන බලවේග දැකීම වැනි දේවලට නො දෙවෙනි ජඩ, තුච්ඡ හැසිරීමකි.

ලෝකයේ මෙන් ම, ලංකාවේ ද වාමාංශික බලවේග ඉතිහාසය පුරාම විටින් විට මතු වූ විවිධ හේතු මත කැඩී බිඳී වෙන් වී ගොස් ඇති බව අපි දනිමු.

ඒ ආකාරයට කාලයක් එකට වැඩ කර පසුව බෙදී වෙන්වුණු බොහෝ පිරිස් තමන් ගේ පොදු සතුරාට වැඩියෙන් දරුණු ලෙස පහර දෙන්නේ තමන් සමග එක ඉවුරේ ම සිටින් අනෙක් පිරිස්වලට බව ද මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

එසේ වුව ද, රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් සේ ගැනීම නම් කිසිසේත් ම එකඟ විය නො හැකි කාරණයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
නමුත්, දේශපාලන වෙනස්කම් ගල්කටස් එකෙන් විසඳන්නට හැදූ, ඒවාට කෙළින් ම සහය දැක්වූ, ඒ ගැන විරුද්ධව කතා නොකර අනියම් සහයෝගය දැක්වූ සහ ඒ ගැන අද ද මුනිවත රකින අය ගේ එදා සහ අද ක්‍රියාකලාප ගැන සිතන විට මෙය අලියෙකු පෑගු පොල් කටුවක් උඩ සමනළයෙකු වැසුවා වැනි දෙයක් බව ද කිව යුතුය!


(image: http://www.sundaytimes.lk/140803/columns/as-un-probe-begins-controversy-over-local-inquiry-109378.html)

Tuesday 3 November 2015

බස් පෙරැලූ රුවන් වැකි - Have a healthy laugh (about ourselves)


නොදන්නා මිතුරෙකු විසින් එවා තිබුණු ඊ-මේලයකින් කියවූ රුවන් වැකි කිහිපයක් කෙතරම් මගේ සිත ගත්තේ ද යත් ඒවා සහ ඒවායේ මගේ සිංහල අනුවර්තන මෙලෙස රසිකොලොජිය හරහා බෙදා ගැනීමට සිතුවෙමි.

මේවා විදෙස් ජාතිකයින් විසින් කියන ලද ඒවා වුවද, අපට ද කියවා අපට ම සිනා සිය හැකි වෙනු නිසැක ය!
We hang the petty thieves and appoint the great ones to public office.
-Aesop
අපි පොඩි හොරුන්ව එල්ලා මරා ලොකු හොරුන්ව අපේ නායකයින් ලෙස පත් කර ගන්නෙමු.
If we got one-tenth of what was promised to us, there wouldn't be any inducement to go to heaven.
-Will Rogers
අපට දුන් පොරොන්දුවලින් 10%ක්වත් අපට ලැබුණේ නම් දිව්‍යලෝකයට යාමට කිසිදු අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.
When I was a boy I was told that anybody could become President; I'm beginning to believe it.
-Clarence Darrow
මගේ ළමා කාලයේ ඕනෑම අයෙකුට රටේ ජනාධිපති විය හැකි බව කියවෙනු ඇසීමි. මා දැන් එය විශ්වාස කරමි.
Politicians are people who, when they see light at the end of the tunnel, they go out and buy some more tunnels.
-John Quinton
දේශපාලකයින් යනු උමග කෙළවර ආලෝකය ඇති බව දුටු විට තවත් උමං මිලට ගන්නෝය.
Politics is the gentle art of getting votes from the poor and campaign funds from the rich, by promising to protect each from the other.
-Oscar Ameringer
මේ දෙපිරිස එකිනෙකාගෙන් ආරක්‍ෂාකරන බවට පොරොන්දු දෙමින් දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය නම් වේ.
I offer my opponents a bargain: if they will stop telling lies about us, I will stop telling the truth about them.
-Adlai Stevenson, campaign speech, 1952
මගේ විරුද්ධ අපේක්‍ෂකයින්ට මං හොඳ වාසිදායක යෝජනාවක් කරන්නවා. මා ගැන බොරු කියන එක නතර කරන්න. මං ඔවුන් ගැන ඇත්ත කියන එක නවත්වන්නම්.
A politician is a guy who will lay down your life for his country.
-Tex Guinan
දේශපාලකයෙකු යනු රට වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි.
I have come to the conclusion that politics is too serious a matter to be left to the politicians.
-Charles de Gaulle
දේශපාලනය යනු දේශපාලකයින්ට පමණක් භාර දී සීටීමට නොහැකි බැරෑරුම් දෙයක් බව මම නිගමනය කළෙමි.
Instead of giving a politician the keys to the city, it might be better to change the locks.
-Doug Larson
දේශපාලකයින්ට නගරයේ යතුරු භාර දෙනවාට වඩා, අගුළු වෙනස් කිරීම යෝග්‍ය වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි
ඔබට මේ ලයිස්තුවට එකතු කිරීමට දේ තිබේ ද?

මෙන්න මගෙන්-
1. ඕනෑම දේශපාලයෙකුට නියමිත මිලක් ඇත. ඒ මිලට වඩා ලන්සුවක් ආ විගස ඔහු හෝ ඇය විකිණෙනු ඇත.
-රසික සූරියආරච්චි

2. දේශපාලයෙකයින් අතරින් අන්ත දූෂිතයින් යනු රට, ජාතිය, ආගම යනාදී වචන නිතරම භාවිතා කරන අයයි.
-රසික සූරියආරච්චි

3. ඔබේ ළඟම මිතුරෙකු වුව ද දේශපාලකයෙකු නම් විශ්වාස නොකරන්න.
-රසික සූරියආරච්චි

(image: http://quoteseverlasting.com/quotations/category/inspirational-quotes/page/22/)