Saturday, 27 May 2017

සනත් ජයසූරිය සහ සරත් විජේසූරිය අතර සමානකම්! - Anything strange there?


මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටියදී කළ සෑම දේශනයක දී ම ද, ලියූ සෑම ලිපියක දී ම, එක් අරමුණක් කර ගත්තේ ඔවුන් ගේ දේශපාලනික සතුරා වූ, නව සමසමාජ පක්‍ෂයට සහ හරය පුවත්පතට පහර ගැසීම වූ අතර ඒ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ගේ ලිපි සහ දේශනවලින් මූලිකව ම පහර කෑවේ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශ සහ ඒවායේ ආචාර්ය මහාචාර්යවරුන් ය.

සුචරිත ගම්ලත් ගේ එවැනි ලිපියක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අකටයුතු ගැන එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් ගැන කියවුණි. මා පසුව ලංකාවේ දී මිලට ගෙන කියවූ ඒ ග්‍රන්ථය නම් සරත් විජේසුූරිය විසින් ලියන ලද "මගේ නඩුව ඉවරයි" නම් කෘතියයි.

"මගේ නඩුව ඉවරයි" කෘතියේ නවකතාවක ස්වරූපයෙන් විස්තර කෙරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කරන කථිකාචාර්යවරයෙකු ගේ කතාවයි. ඒ කතාව, සහමුලින් ම ඒ ග්‍රන්ථයේ කතෘ සරත් විජේසූරිය ගේ පුද්ගලික කතාව බව ඉතා පැහැදිලිය. නමුත්, උත්තම පුරුෂයෙන් ලියවී ඇති මේ නවකතාවේ ප්‍රධාන චරිතයේ නම ලෙස සරත් විජේසූරිය විසින් යොදා ඇත්තේ "සනත් ජයසූරිය" යන්නයි!

අප දන්නා පරිදි, සනත් ජයසූරිය යනු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු සහ උප ඇමතියෙකු ද වන පුද්ගලයා ය. ඒ සියල්ල අතීත පට්ටම් වන අතර, වර්තමානයේ ඔහු කුමක් කරන්නේදැයි මම නිවැරදිව නොදනිමි.

එසේ ම, සරත් විජේසූරිය යනු, කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු, ලේඛකයෙකු, දේශකයෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු මෙන් ම, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වන පුද්ගලයා බව ද අපි දනිමු.

සරත් විජේසූරිය තමන් ගේ කතාව කීමට ප්‍රධාන චරිතය ලෙස "සනත් ජයසූරිය" යන නම යොදා ගත්තේ ඇයි?

මේ දෙදෙනා අතර ඇති සමානකම් මොනවා ද?

මට පෙනෙන ආකාරයට නම්, ඇත්තේ මේ නම් ඇති අකුරු, මාත්‍රා සහ අරුතේ සමානකම් පමණි. විජය-සූරිය යන්න ජය-සූරිය යන්නට වඩා ඉහළයි කියා ද අවශ්‍ය නම් තර්ක කළ හැක. එපමණකි.

මේ පිළිබඳව මගේ නඩුව ඉවරයි ග්‍රන්ථයේ මුල් කොටසේ දී කතෘ පවසා ඇත්තේ මෙයයි.


විශ්වවිද්‍යාලයක සිංහල මහාචාර්යවරයෙකු එලෙස "සනත් ජයසූරිය" යන නම, තම මුඛ්‍ය කෘතියේ ලා භාවිතා කරයි නම්, අප වැනි සරල බ්ලොග්කරුවන් ඒ නම හෝ වෙනත් නම් ගම් ඕනෑ තැන්වල දී අදාළ පරිදි භාවිතා කිරීමේ කිසිදු වරදක් මට නොපෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"මගේ නඩුව ඉවරයි" කෘතිය පිළිබඳව විවරණයක් පසුව ලියන්නට අදහස් කරමි.

එතෙක්, විශ්වවිද්‍යාලවල සිංහල ආචාර්යවරුන් ගේ කෘති පිළිබඳව ලියවුණු මේ ලිපිය කියවන්න.

කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?
https://rasikalogy.blogspot.com/2016/10/whats-issue-with-sinhala-language.html

Friday, 26 May 2017

සනත් ජයසූරිය නිසා සුචරිත ගම්ලත් සිහිවීම! - Wondering mind


අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ඇසුවේ දුටුවේ, පසුව ලංකාවේ ජනාධිපති ලෙස ද පත්වුණු ර ප්‍රේමදාස පිළිබඳව සඳහන් වුණු ස්ථානවල දී ය. දේව යසපාල ද සිල්වා වැනි නමක් ඇති අයෙකු විසින් ලියන ලද "සුවඳ හමන මලක්" නම් ග්‍රන්ථයේ ර. ප්‍රේමදාස ගේ උපන්දා සිට එදා තෙක් චරිතාපදානය ලිය වී තිබුණු බව මගේ මතකයයි.

"සුචරිත" යන වචනය නමක් ලෙස භාවිතා වෙනු මා අසා ඇත්තේ මීට වසර තුනකට පෙර මෙලොව හැර ගිය ජ්‍යෙෂ්ඨ සිංහල මහාචාර්යවරයෙකු වූ සුචරිත ගම්ලත් පිළිබඳව පමණි.

මා මුලින් ම සුචරිත ගම්ලත් දුටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී ය. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයක සම්පත් දායකයෙකු ලෙස ඔහු සහභාගී වූ අවස්ථාවක් විය.

ඔහු එවකට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු නොවී ය. දේශපාලන හේතුවක් නිසා සේවයෙන් නෙරපන ලදුව සිටි ඔහු, මා අසා ඇති පරිදි, පොල්ගහමුල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක් කරමින් ජීවිකාව සරි කර ගත්තේ ය. ඒ කාර්යයටත් වඩා ඔහු තම කාලය යෙදුවේ අද සමාජ සමානතා පක්‍ෂය ලෙස හැඳින්වෙන, එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් වූ, දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට බව පෙනුණි.

මට, සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද සාහිත්‍යමය මෙන්න දේශපාලන කරුණු පිළිබඳව කෙරුණු දේශන කිහිපයක් ම ශ්‍රවණය කිරීමට ඉන් පසුව ද අවස්ථාව ලැබුණි. එසේ ම, සුචරිත ගම්ලත් විසින් ලියන ලද ඒ ආකාරයේ ලිපි රාශියක් ද මම කියවා ඇත්තෙමි.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටි අවධියේ දී තමන් ලියූ සෑම ලිපියක ම, පැවැත්වූ සෑම දේශපාලන දේශනයක ම, අවසානයේ දී, නව සමසමාජ පක්‍ෂයට බැණ වදින්නටත්, නව සමසමාජය විසින් පළ කළ හරය නම් පුවත්පතට පත්තර කඩමාල්ල කියා අවමන් කිරීමටත් පුරුදුව සිිටියේ ය.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කම්කරු සංගමයේ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ලියූ ලිපිවල පෙර දී නව සමසමාජ පක්‍ෂය ගත් තැන ලැබුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවලට සහ ඒවායේ සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ය.

ඔවුන් සිංහල භාෂාව නිවැරදිව නොදන්නා බවත්, එසේ ම, ඔවුන් ඉංග්ලිෂ් පිළිබඳව කිසිදු දැනුමක් ද නොමැති ලිං මැඩියන් බවත්, සිසුන්ට දේශන වමාරන බවත්, සිසුන් ඒ දේශන කටපාඩම් කර විභාගයේ දී එලෙසම ලියන බවත්, පවසමින් සුචරිත ගම්ලත් ඒ මහාචාර්යවරුන්ව නිර්දය ලෙස විවේචනට ලක් කළේ ය.

සුචරිත ගම්ලත් ලියූ ඒ ලිපි කියවීමෙන් මා ලද හාස්‍යය, බීභත්ස, අද්භූත රස එකට කැලතූ ආස්වාදයට අමතරව වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් එක් දිනක මට ලැබුණි. ඒ මීට දශකයකට පමණ ඉහත එවැනි ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවද්දී ය.

ඒ ලිපියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අභ්‍යන්තර කරුණු හෙළි කෙරෙන ග්‍රන්ථයක් පිළිබඳව සඳහන් විය. එය ලියා ඇත්තේ සරත් විජේසූරිය නමැති එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් බව ද කියවුණි.

පසුව ලංකාවට ගිය අවස්ථාවක දී මම ඒ පොත මිලට ගත්තෙමි.

ඒ ගැන වැඩි විස්තර හෙට බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්


(image: https://au.pinterest.com/pin/399061216957657699/)

Thursday, 25 May 2017

ජයසූරිය ගේ කලිසමේ සිප් එක - Keeping your zipper up!


අප කුඩා කාලයේ දී ඇඳි ඉලාස්ටික් සහිත පොප්ලින් කොට කලිසම්වලින් මිදී, ටවුමේ ටේලර් විසින් ටසෝ, ඩ්‍රිල් වැනි රෙදිවලින් මසන කොට කලිසම්වලට උසස් වීම ලැබූ සමයේ, කොට හෝ දිග හෝ කලිසම්වල ඉදිරි පස වැසීම සඳහා යොදා ගැනුණේ අද මෙන් සිප් (Zip) හෙවත් සිපර් (Zipper) නොව බොත්තම් ය.

කලිසම් බොත්තම් වර්ග දෙකක් තිබුණි.

ඉන් එක් වර්ගයක් මහන මැෂිමක නූල් ඔතා යටින් ඇතුල් කරන බොබින් එකක හැඩය ගත්, කලිසමෙන් කලිසමට මාරු කළ හැකි ආකාරයේ ඒවා විය. ඒ බොබින් බොත්තම් සවි කිරීම සඳහා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසේ ම, එක හා සමාන බොත්තම් කාස හෙවත් බටන් හෝල් සාදා තිබුණි.

දෙවෙනි වර්ගයේ කලිසම් බොත්තම් වූයේ හැඩයෙන් සාමාන්‍ය කමිස බොත්තම් මෙන් වූ, නමුත් තරමක් ඝනකම ඇති සවිමත් ඒවා ය. ඒවා කලිසමේ ඉදිරිපසින් එකට යාවෙන දෙකොටසෙන් එකක සවි කර තිබුණු අතර, අනිත් පැත්තේ කොටසේ, කමිසවල මෙන්, බොත්තම් කාස මසා තිබුණි.

පොඩි පන්තිවලින් ලොකු පන්තිවලට මාරු වී, දහයේ පන්තියේ දී පමණ කොට කලිසම් ඇඳි අවසාන කාලයේ දී, අපේ පැත්තේ ටේලර්ලා කලිසම්වලට සිප් සවි කිරීම ඉගෙන ගෙන තිබුණි.

මේ සඳහා බොහෝ විට යොදා ගත්තේ අද ද භාවිතයේ ඇති YKK නම් සිප් වර්ගය යි. සාමාන්‍ය රෙද්දෙන් මසන කලිසම් සඳහා ප්ලාස්ටික් කොකු සහිත සිප් ද, ඩෙනිම් හෝ කොඩ්රෝයි හෝ රෙද්දෙන් මසන කලිසම් සඳහා ලෝහ කොකු සහිත සිප් ද, අද මෙන් ම, භාවිතා විය.

මේ කාලයේ අපේ පන්තියේ සිටි සිසුවෙකු වූ ජයසූරිය අප සමඟ පවසා සිටියේ ඔවුන් ගේ ජයසූරිය පවුලේ සුරතල් මසුන් බෝ කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ඇති බවත්, ඒ මසුන් වතුර ද සමග අසුරා යවන්නේ ප්ලාස්ටික් බෑග්වල බවත්, ඒ බෑග් සඳහා භාවිතා කරන්නේ ද YKK සිප් බවත් ය.

වතුර පිරි ප්ලාස්ටික් බෑගයක් ආරක්‍ෂිතව වැසීම පිණිස සිප් එකක් භාවිතා කරන්නේ කෙසේද යන්න මට එකල ප්‍රශ්නයක් වුවත්, ඒ සිප් වනාහී, කලිසම්වලට සවි කරන ආකාරයේ ප්ලාස්ටික් හෝ ලෝහ හෝ කොකු සහිත ඒවා නොව, වතුර කාන්දු නොව ආකාරයෙන් වැසිය හැකි වෙනස් ආකාරයක ඒවා බව මට අවබෝධ වූයේ තවත් වසර කිහිපයකට පසුව ය.

-රසිකොලොජිස්ට්

(image: http://de.ykkeurope.com/)

Wednesday, 24 May 2017

මැයි මහේ වීරයා - A hero of our time


අප අසා ඇති අන්දමට බක් මහේ විරුවෝ සිටිති. සුනිල් අංකල් ලියා මන්දා නාලනී ගැයූ සින්දුවේ කියවෙන පරිදි ඒ ඇත්තෝ පිළිම නෙලා නැති විරුවෝ ය.

ඉල් මහේ විරුවෝ ද සිටිති. සුනිල්-නන්දා ගේ සුසංයෝග සින්දු එකල ගැයූ, ගයමින් විරුවන් වූ, ඔවුන් ගැන නම් පසු කලෙක සුනිල්-නන්දා පෙර පරිදි සුසංයෝගයක් කළා යැයි මගේ මතකයේ නැත.

ඇත්තට ම මේ බක් මහ සහ ඉල් මහ හෝ "විරුවෝ සිටිති" ය කියා ලිවීම, වියරණ අනුව කෙසේ වෙතත්, අරුතෙන් සාවද්‍ය වේ. එසේ වන්නේ ඒ වීරයින් යනු ජීවත්වන අය නොව මිය ගිය අය වීම නිසා ය.

කෙසේ වෙතත් මා මේ කියන්නට යන්නේ ඒ බක් මහ හෝ ඉල් මහ හෝ ආකාරයේ වීරයෙකු ගැන නොවේ.

ඒ ආකාරයේ වීරයින් හා සටන් කළ රණ විරුවන් ගැන ද නොවේ. ඒ වීරයින් මළ පසු, මානෙල් මලින් පුද ලද රණ විරුවන් ගැන ද නොවේ.

මේ කතාව ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකු ගැන ය.

අපේ කතානායකයා, අපි ඔහුට රනුක යැයි කියමු, භද්‍ර යෞවනයේ සිටිද්දී, එක් යෞවනියක පිළිබඳ සිතක් පහළ විය. ප්‍රශ්නය වූයේ ඒ වසන්ත සමයේ මෙකී යෞවනිය ගේ අත පතා, පුරාණ ස්වයංවර අවස්ථාවක දී මෙන්, කුමාරවරු රාශියක් ඉදිරිපත් වී සිටිමයි.

මේ තරුණයා කළේ ක්‍රමානුකූලව සිතා මතා සැලසුමකට අනුව ක්‍රමක්‍රමයෙන් ප්‍රස්තූතයට එළැඹීමයි.

ඔහු ඇය සමග දීර්ඝව කතා කළ මුල් දවසේ පැයක පමණ කාලයක් ගත කළේ තමාව ඇයට හඳුන්වා දීමටයි.

ඒ පළමු පන්තිය විය.

දෙවන පන්තියේ දී, ඇගෙන් විවිධාකර ප්‍රශ්න අසමින් ඇය ගැන විස්තරාත්මක වැටහීමක් ඇති කර ගැනීමට ඔහු උත්සාහ කළේ ය.

තුන් වෙනි අවස්ථාව ඔහු යොදා ගත්තේ, ඔවුනොවුන් අතර ඇති ගැළපීම් ගැන සාකච්ඡාවක් කිරීමටයි.

පන්ති පහක් ම කරන්නට ඔහු මුලින් සිතා සිටිය ද, ඒ සඳහා කාලය ගත නොකර ඔහු ඊළඟට කෙළින් ම ඇයට ප්‍රශ්නය යොමු කළේ ය.

"මට හිතෙනවා අපි දෙන්නා ගැලපෙනවා ය කියලා. ඔයා මොකද කියන්නේ?"

ඇය දිනක් කල් ඉල්ලා පසු දින මුණ ගැසුණු විට මෙසේ කීවා ය.

"මගේ ජීවිතයේ පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත සිදුවුණු දේ නිසාත්, දැන් මං ඉන්නා තත්වය නිසාත්, මට ඔයා කියන දේට කැමති වෙන්න බෑ!"

"අනේ, මා එක්ක තරහා වෙන්න එපා රනුක!" ඇය ඒ සමගම ඔහුගෙන් ඉල්ලා සිටියා ය.

අපේ කතා නායකයා, තම ජීවිතයේ දී කියූ හොඳම දෙවන වචන කිහිපය ඔහු ගේ මුවින් පිටවුණේ ඒ මොහොතේ දී ය.

"මං කොහොමද ඔයා එක්ක තරහා වෙන්නේ? මං ඔයාට ආදරෙයි නේ. ඒ ආදරය හැමදාම පවතීවි!"

තම සිත ඒ මොහොතේ සසල වූ බව ඇය පසුව ඔහුට කීවා ය.

කෙසේ නමුත්, ඒ හමුවීම් එතැනින් අවසන් විය.

කාලය ගත විය.

සමස්ත පරිසරය ම සුන්දර වෙන, කහපාට, දම්පාට මල් පිපෙන මැයි මාසය උදා විය.

අපේ කතානායකයා ට පෙර කී යෞවනිය ගේ මිතුරියක අලුත් අවුරුදු සමයේ දී හදිසියේ මුණ ගැසී තිබුණි.

"ඔය දෙන්නා හොඳට ගැලපෙනවා රනුක. ඔයයි, එයයි එකතු වෙනවා නම් අපි ඔක්කොම කැමතියි!" ඇය එදා කීවා ය.

එයින් දිරිගත් කතානායකයා කළේ නැවතත් යෞවනිය මුණ ගැසී පෙර ප්‍රශ්නය ම නැවතත් ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමයි.

පිළිතුර සඳහා යළිත් කල් ඉල්ලීමක් කෙරුණි.

දින දෙකක් පමණ ගත විය.

"හෙට නිවාඩු නේද රනුක? අන්න අරයා හවස් වරුවේ ඇවිත් හම්බ වෙන්න කිව්වා!" මග දී කතා නායකයාව නැවැත්වූ පෙර සඳහන් කළ මිතුරිය කීවා ය.

"ඔව් හෙට නිවාඩු නේ. හෙට ජාතික වීර දිනය. මං එන්නම් කියන්න!" අපේ කතා නායකයා මිතුරියට පැවසුවේ ය.

එදා තම සිත ගත් යෞවනිය හමු වී, බලාපොරොත්තු මල් පුබුදාගෙන, ඇය සමග දෙපැයක් පමණ අති සොඳුරු කතා බහක ද යෙදෙමින් සිට, ආපසු එන ගමනේ අතරමග දී ඇය වෙනුවෙන් පොඩි කඩේ යෑමක් ද කර, අපේ කතා නායකයා, දෙමහල් තෙමහල් මැදුරු, මල්වතු, උයන් වතු, පටු පාලම් යනාදිය පසු කරමින් සිය නේවාසික ස්ථානය වෙත පැමිණියේ වීරයෙකු ලෙසිනි.

නිකම්ම නිකං විරුවෙකු ලෙස නොව මැයි මහේ විරුවෙකු ලෙසිනි.

මුලින් මා සඳහන් කළ ආකාරයට ඔබ මා වැනි දෙකයි පනහේ විරුවෙකි ලෙසිනි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වීර කතාව රැගත් සමනල වර්ණ සිහින සිත්තම මාස දෙකක් පමණ බොක්ස් ඔෆිස් ෆුල් කරමින් දිව්වේ ය!

(http://www.ft.lk/2014/05/08/university-of-peradeniya-a-treasure-of-beauty-and-wisdom/)

Tuesday, 23 May 2017

ජාතික වීර දින රජයේ නිවාඩුවට මක්කැයි වුණේ? - I will never forget May 22


අප කුඩා කාලයේ ලංකාවේ හෙවත් එකල "සිලෝන් එකේ" සිදුවුණු ලොකු දේශපාලන වෙනසක් නම් ලංකාව බ්‍රිතානයෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වාධීන ජනරජයක් වීමයි.

"සිලෝන්" එක "රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා" විය.

බ්‍රිතාන්‍යයේ රැජින හෝ ඇගේ නියෝජිත අග්‍රාණ්ඩුකාරයා වෙනුවට ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙකු නම් කෙරිණි. "ක්වීන් කවුන්සිලර්ස්ලා" වෙනුවට ජනාධිපති නීතිඥවරු පත් වූහ. "රෝයල් කොමිෂන්" වෙනුවට ජනාධිපති කොමිසම් පත් විය.

ඒ මොන රඹ පුෂ්පයක් වැට පැන්න ද, පාසල් සිසුන් වූ අපට වැදගත් කාරණය වූයේ, ඒ වසරේ සිට ලංකා ඉතිහාසයේ මේ ඓතිහාසික දිනය, මැයි 22 දා, රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමයි. කලින් නිදහස් දිනය ලෙස පැවතුණු, පෙබරවාරි 4, රජයේ නිවාඩුව 1973 සිට අහෝසි වෙන්නට ඇතැයි සිතමි.

කාලය වේගයෙන් ගෙවී ගියේ ය.

හාල් සේරු දෙක දීමට පොරොන්දු වී බලයට ආ සිරිමම්මා ගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවට ඇට රාත්තල් අටක් දෙන්නට පොරොන්දු වී "ෂේවියර් ඔෆ් ද නේෂන්" හෙවත් "යැංකි ඩිකී" හෙවත් ජේ.ආර් පප්පා ගේ නායකත්වයෙන් යූඇම්පී ආණ්ඩුව 1977 දී බලයට පත් විය. ඔහු කළේ, ශ්‍රී ලංකා ජනරජය, ඉන්දියානු මොඩලයෙන් වෙනස් කර, විධායක ජනාධිපතියෙකු සහිත ඉන්දියානු-ඇමරිකානු-ප්‍රංශ හයිබ්‍රිඩ් ජනරජයක් කිරීමයි.

මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවන්නට ඔහු හිතාමතා ම තෝරා ගත්තේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ඩොමිනීයන් තත්වය ලැබූ පෙබරවාරි හතරවෙනිදා ය.

ඒ 1978 වසරේ දී ය.

ජේ.ආර්. පප්පා ගෝල්ෆේස් පිටියේ දී, නෙවිල් සමරකෝන් ඉදිරිපිට දිවුරුම් දුන් අතර, එදා සිට පෙබරවාරි හතරවෙනි දා යළි රජයේ නිවාඩු දිනයක් බවට පත් විය.

නමුත් මෙහි දී සැලකිය යුතු කරුණු දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, ලංකාව ජනරජයක් වූ මැයි 22 දා සැමරුනේ ජනරජ දිනය ලෙස වුවත්, විධායක ජනාධිපති ජනරජය බිහිවුණු පෙබරවාරි 4 වෙනිදා ඊළඟ වසරේ (1979) සිට සැමරුනේ ජනරජ දිනය ලෙස නොව නිදහස් දිනය ලෙස ය.

දෙවන කරුණ ඊට වඩා සිත් ගන්නා එකකි.

ඔවුන් බලයට පත් වූ පසු 1970 සිට එතෙක් ලංකාවේ නිවාඩු දිනයක් වූ සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින රජයේ නිවාඩුව අවලංගු කළ ද, කුමක් හෝ හේතුවක් නිසා, ජේආර් පප්පා ගේ ආණ්ඩුව මැයි 22 නිවාඩු දිනය අවලංගු නොකළේ ය. ඒ වෙනුවට ඊට පෙර ජනවාරි පළමුවෙනිදාට යෙදී තිබුණු ජාතික වීර දිනය නම් රජයේ නිවාඩුව මැයි 22 දිනට ගෙන එන ලදී!

මැයි 22 ජාතික වීර දින නිවාඩුව මා සිතන ආකාරයට 1994 දක්වා ම පැවතුණි. ඒ වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුතුව "අරුං දාහත් වසරක් තිස්සේ රට කාගෙන කාගෙන කාගෙන ගිය තැන සිට රට කාගෙන කාගෙන කාගෙන යන්නට" සිරිලංකා එක බලයට පැමණි පසු ඔවුන් වීරයා සැමරීම පිණිස නැවතත් සැප්තැම්බර් 26 බණ්ඩාරනායක දින නිවාඩුව ප්‍රතිස්ථාපනය කළේ, මැයි 22 ජාතික වීර දින රජයේ නිවාඩුව අහෝසි කරමිනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
එක්තරා පුද්ගලික කාරණයක් නිසා මේ මැයි 22 ජාතික වීර දිනය තවමත් මගේ මතකයේ රැඳී පවතී.

ඒ ගැන හෙට ලියමි.

(image: http://poerty-dawson.blogspot.com.au/2012/06/blog-post.html)

Monday, 22 May 2017

පද දෙකේ වැඩ - Question and Answers


මා දශක තුනකට පෙර ලියූ දිග කවියකින් දැනට ශේෂ වී ඇති පද දෙකක් ගැන සටහනක් ඊයේ ලියා පළ කරෙමි. ඊට පෙර දින කිහිපයේ පළ කළ, නූතන ජන කවි, පොල් සහ තල් ගස් සහ පරාක්‍රම සහ මගේ කවි මෙන් ම, මතකයේ රැඳී ඇති පද දෙකක් පමණක් දන්නා මුල් කවිය ද, යුද විරෝධී කවියක් විය.

ගද්‍ය නිර්මාණ පිළිබඳව කතාව කෙසේ වෙතත්, කොයි භාෂාවකින් වුව ද, පද්‍ය නිර්මාණ කියවා රස විඳින්නන් ලොවේ අඩු බව සත්‍යයකි. එය අදට පමණක් නොව එදාටත් වලංගු සදාකාලික සත්‍යයක් බව පෙනෙන්නේ දහතුන්වෙනි සියවසේ දී පමණ ලිය වී ඇති සිංහල කාව්‍යයක් වන කව් සිළුමිණ කෘතියේ ඇති පහත කවි දෙපදයෙනි.
පෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ
අද බ්ලොග්වල ලියවෙන කවි පිළිබඳව ද, කවි සම්බන්ධ ලිපි පිළිබඳව ද, එම නිගමනයට එළැඹිය හැකි ය.

සිංහල කවිය, ගී විරිතේ සිට සන්දේශ කාව්‍ය හරහා අප දන්නා එළිසමය (සහ සමහර විට එළිවැට ද සහිත) පද හතරකින් යුතු ආකෘතිය කරා වෙනස් වූයේ ගම්පොළ යුගයේ දී ලියවුණු මයුර සන්දේශය ආදී නිර්මාණ තුළින් බව කියවේ.

අපේ ජනකවි සියල්ලම පාහේ මේ සිව්පද ආකෘතියෙන් නිර්මාණය වුණු ඒවා ය.

අපට ඉහළ පරම්පරාවේ උදවිය පෙම් කවි ලීවේ ද සිව් පද ආරෙනි.

මේ එවැනි කවියකි.
සැනසුම සතුට මා වෙත සැම දින ගෙනෙන
මිහිරාවියේ ඔබ මගෙ හද මිණි පහන
මා ඉදිරියේ ඇතිනම් ඔය සුදු මූණ
ආහාර ජලය කිසිවක් මත නැත ඕන
පද රාශියක කවියක් මතක තබා ගැනීමට වඩා පද හතරක කවියක් මතකයේ රැඳීමේ සම්භාවිතාව වැඩිය.

සමහර විට පද හතරකින් ද මතකයේ රැදෙන්නේ දෙකක් විය හැක. මේ මගේ නැන්දාට, ලැබුණු පෙම් කවකින් ඇගේ මතකයේ රැඳී තිබුණු පද දෙකකි.
හද කිති කවන ආදර සූරිය සෝමේ
මැදියම් රැයේදිත් සිහිවෙයි ඔබෙ නාමේ
සූරිය සෝමේ යනු, ඇගේ නම, වූ සෝමා(වතී) සූරියආරච්චි යන්න, ඒ වෙන්ඩ පෙම්වතා කවියට ගැළපෙන්නට සාදාගත් ආකාරයයි.

පද හතරකටත් වඩා පද දෙකක් මතකයේ රඳවා ගැනීම ලෙහෙසි නිසා මෙන් ම, පද හතරකට වඩා පද දෙකක් ගෙතීම පහසු නිසා ද, මේ පද හතරේ ආකෘතිය ඉතා ඉහළින් ජනප්‍රිය වෙන්නේ එක් අයෙකු පද දෙකක් ලියූ පසු වෙනකෙකු ඉතුරු පද දෙක ලියා සිව්පද කවිය සම්පුර්ණ කළ හැකි ද නිසා ය.

මේ දෙනෙකු එකතු වී කෙරෙන කවි ලිවීම බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නයක් සහ එයට පිළිතුරක් ලෙසිනි.

කලකට ඉහත මේ ආකරයේ කවි ලිවීම්, කවි කීම් පුවත්පත් සඟරාවල ද, ගුවන් විදුලියේ ද ජනප්‍රිය වී තිබුණි.

මෙන්න උදාහරණයක්.

ප්‍රශ්නය:    කරුණක් අසමි මෙය පහදා දෙනවා ද?
සැවුළා කියන්නේ කුකුළාටම නේද?
පිළිතුර: මොකටද කරන්නේ ඒ ගැන අපි වාද?
කිකිළියෝ රංවුවට රජු කුකුළා නේද?

තවත් උදාහරණයක්.

ප්‍රශ්නය:    ඔබ රුව දකින සැම විට මගෙ සුදු කෙල්ලේ
ඉහවහ යතේ ආදරයක් සිත පතුලේ
පිළිතුර: එය රෝගයක් බව ඉඳුරා කිව හැකි ය
ඉසකුඩුච්චියක් දා ගත්තොත් හොඳ ය

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙහි කියවන ඔබ, මට කවි පද දෙකක් යොමු කළ හොත් එයට පද දෙකකින් පිළිතුරු දී කවිය සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වෙමි.

(image: http://www.introinto.com.au/abstract-art-the-visual-poetry-that-warms-the-heart/)

Sunday, 21 May 2017

අතුරුදහන් - Missing in action


පැරණිතම සිංහල කාව්‍යයන් ලෙස සැලකෙන්නේ මුවදෙව්දාවත, සසදාවත සහ කව් සිළුමිණ යන නිර්මාණ වේ. සන්දේශ කාව්‍යවල දී යොදා ගෙන ඇති ආකාරයේ චන්දස සහිත කවියෙන් නොව, ගී යැයි හැඳින්වෙන ආකෘතියෙන් ඒ නිර්මාණ බිහිවී ඇත්තේ පොළොන්නරු යුගයේ දී සහ දඹදෙණිය යුගයේ දී ය.

නමුත්, අනෙකුත් කලා ශිල්ප දියුණු තත්වයක පැවති ඊට පෙර සියවස්වල ද සිංහල කාව්‍ය නිර්මාණ ලියවී ඇතැයි උපකල්පනය කෙරෙන අතර, ඒවායින් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත්තේ, පැරණිතම සිංහල කාව්‍යය ලෙසින් අද සැලකෙන, අසක්දා කව නම් සිංහල කාව්‍යයෙන් පමණි.

ආසංඛවතී නම් ජාතක කතාව ඇසුරෙන් ලියවී ඇති ඒ අසක් දා කාව්‍යයේ ද අද ඉතිරි වී ඇත්තේ පද කිහිපයක් පමණි. එසේ ඉතුරුව ඇත්තේ, පැරණිතම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාවේ, උදාහරණ ලෙස අසක් දා කවේ පද පේලි කිහිපයක් යොදා තිබුණු බැවිනි.

එලෙස උදාහරණ ලෙස යොදා ගත් හෙයින් සුරැකී ඇති පද පේළි කිහිපයෙන් සම්පූර්ණ යැයි සැලකීමට හැක්කේ පහත කවියයි.
රතත දිදී ඉහිල් - වසනතුරෙන් රසන් දම්
කියව කර හළලා - පැහැබර දිගු නුවන් ලා
එහි තේරුම මෙසේ ය.
ඔබේ සුරක්ත වූ අත, ලිහිල්ව ගියා වූ වස්ත්‍ර අතරින් ගෙන රසනදාමය කෙරෙහි යොදමින්, බෙල්ල දිගු කොට, දීප්තියෙන් බර වූ ඔබේ දෙ ඇස මා දෙස යොමා කියනු මැනවි.
ඒ බඹදත් රජතුමා ආසංඛවතී කුමරිය අමතන ආකාරයයි.

ඉහත අරුත් දැක්වීම මා උපුටා ගත්තේ ගුණදාස අමරසේකර විසින් පෙර කී ආසංඛවතී ජාතකය ම පදනම් කොට ගෙන රචනා කර ඇති අසක් දා කව නම් කාව්‍ය නිර්මාණය ඇතුළත් ග්‍රන්ථයේ එන ලිපියකිනි.

තමන් ගේ අසක් දා කව නිර්මාණයේ ද, ආසංඛවතී කතා වස්තුවේ, නිවැරදි යැයි නීර්ණය කළ තැන්වල දී, ගුණදාස අමරසේකර විසින් සිදත් සඟරාවේ උදාහරණ ලෙසින් ගත් නිසා අප අතර ඉතුරු වී ඇති පැරණි අසක් දා කවේ පද කිහිපය එලෙස ම යොදා ගනියි.

මා කලක් සංස්කාරක ලෙස කටයුතු කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ, දකුණු කුරු දිව් කව් නම් වූ, ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ ද, මම අසක් දා කව නිර්මාණයේ ඉහත සඳහන් කළ උදාහරණය ආකාරයේ කවක් ගොතා යෙදූවෙමි.

එය මෙසේ විය.
සිතට දිදී සිසිල් - ලියන ලදින් මෙවන් කව්
බලව සිත හැරලා - නුවණැති යුග දෙනෙත් ලා
ඒ කරුණු මට සිහිවුනේ, කලකට පෙර මා ලියූ, දැන් අස්ථාන ගත වී ඇති, නමුත් පද දෙකක් පමණක් මතකයේ රැඳී ඇති කවියක් නිසා ය.

මා නූතන ජන කවි ලියූවේත්, තාලවර්ගයේ පොල් සහ තල් ගස් ගැන ගීයක් ලිව්වේත්, පරාක්‍රම කුරුප්පු සමග එකතුව කවි ලිව්වේත්, ලංකාවේ පැවති කුරිරු යුද්ධයේ අවසාන කාලයේ දී සහ අවසාන වීමෙන් පසුව ය.

නමුත්, යුද්ධයේ ආරම්භයේ දී ද, මා ඒ ගැන කවි ලියූවෙමි.

වර්ෂ 1986 දී එසේ මා ලියූ එක් කවියක අන්තර්ගතය වූයේ විරැකියාව නිසා, යුද්ධය සඳහා එකතු වෙන තරුණයෙකු ගේ සිතුවිලි ය.

ඒ කාලයේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය විසින් ඉදිරිපත් කර තිබූ, වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක රුපියලක් නොදෙනු!! යන සටන් පාඨයේ ශේෂයක් මගේ කවියේ ගැබ්ව තියෙන්නට ඇතැයි මට අනුමාන කළ හැක.

හයවෙනි සියවසේ, අනුරාධපුර යුගයේ දී රචනා වුණු, අසක් දා කවෙන් අද පද පේළි කිහිපයක් පමණක් ඉතුරු වී ඇති වා සේ, මා එදා 2006 දී ලියූ, පද විස්සකින් පමණ සමන්විත වූ, ඒ යුද විරෝධී කවියෙන් අද (මගේ මතකයේ) ඉතුරු වී ඇත්තේ පද දෙකක් පමණි.

ඒ මෙසේ ය.
මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී!
දැන් මා කළ යුත්තේ, මේ පද යොදා අලුතෙන් කවියක් ලිවීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තෙන් ම, මා එදා 1986 දී ලියූ ඒ කවිය සොයා ගත හැකි එක් ක්‍රමයක් ඇත. ඒ වසරේ අග භාගයේ දී, මේ කවිය දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක විසින් සංස්කරණය කළ අටවෙනි පිටුව නම් විශේෂාංගයේ පළ විය.

ඒ පුවත්පත් සංරක්‍ෂණය කර ඇති ස්ථානයකින් මට මගේ අස්ථානගත වූ කවිය සොයා ගත හැකි වෙනු ඇත!

ප/ප/ලි:
මම ද පසු කලෙක යුද්ධයට බැඳෙන්නට සිතුවෙමි. මේ පහත සබැඳියෙන් දැක්වෙන්නේ එතෙක් මා නොකී ඒ කතාව මා මුල්වරට ලියූ අවස්ථාවයි.

https://rasikalogy.blogspot.com/2015/06/some-stories-are-never-told-fully.html

Saturday, 20 May 2017

පරාක්‍රම ගේ කවි සහ මගේ කවි - Continuing on the same theme


පැරකුම් සහ පරාක්‍රම යනු එකම නමේ වෙනස් යොදා ගැනීම් දෙකකි. හරියටම ගැමුණු සහ ගාමිණී වගේ ය.

මට පැරකුම් නම් මිතුරෙකු ද, පරාක්‍රම නම් මිතුරෙකු ද දෙදෙනෙකු ම සිටිති.

පැරකුම් මා දැන හඳුනා ගෙන වසර හතක් පමණ වේ. නමුත්, මා පරාක්‍රම දන්නේ දශක දෙක හමාරකටත් වඩා පෙර කාලයක සිට ය.

පැරකුම් කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

පරාක්‍රම ද කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

කෙසේ වෙතත්, මාතෘකාවේ සඳහන් වෙන පරිදි මා ලියන්නට යන්නේ පරාක්‍රම ගැන මිස පැරකුම් ගැන නොවේ.

එසේ ම, පරාක්‍රම ගේ කවි කියා කීවාට මේ කියන්නේ පරාක්‍රම කොඩිතුවක්කු නම් ප්‍රසිද්ධ කවියා ගැන ද නොවේ.

මේ කියන්නේ පරාක්‍රම කුරුප්පු නම් මා හිතවත් කවියා ගැන ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් මැවිසුරුවෙකි.

විශ්ව විද්‍යාල සමයේ දී මා ඔහු ලියූ කවි කියවා තිබේ. එයින් පසු අප දෙමගක ගිය හෙයින් ඔහු ගේ පසු කාලීන කවි මා කියවා නොතිබුණි.

පසුව ඊ-මේල් මගින් අප හමු වුව ද ඔහු ලියූ කවියක් මට මුලින් ම කියවන්නට ලැබුණේ මීට වසර අටකට මදකට අඩුවෙන් ඉහත කාලයක දී ය. ඒ කවි කියවූ මම ද එයට යම් එකතු කිරීමක් කළෙමි.

මේ සටහන ඒ ගැන ය.

අපේ කවි හුවමාරුව සිදුවුණේ, මානුෂික යුද්ධය නිමා වී, සියල්ල අවසාන වූ පසුව ය. දස දහස් සංඛ්‍යාත පිරිසක් අනාථ කඳවුරුවල රඳවා තිබුණි.

පරාක්‍රම කුරුප්පු මෙසේ ලියා එවී ය.

කලකදි රස වෙයි කලකදී වස ලූ
එකෙකුගෙ ලෙල්ලම එකෙකුට විහිළුෑ
දිලුණත් වටපිට කරමින් එකළුෑ
පහන් කණුව පා මුල කළුවර ලූ

මරණ තුනක් මැද අතරමංව හිඳ
මරු එයි අද අද හිතමින් ගිනි වැද
අතකින් ගත් දඬුවැල් බෑ මී වද
මිනිසුනි සිත් සන්තොසින් බුඳිනවද

ලිප ගිනි මෙලවෙන තෙක් දිය කෙළිමින
රෑ නොවැටුණු වල දවාලෙ වැටෙමින
සුරා පිරූ විත සුරතේ දරමින
ගිනිකන එළියේ රඟති මෙපුර දන

මී පුප් සෙව්වෙමි ගිනිගත් කතරේ
දරුවන් මග හැරුණිය ඝන අඳුරේ
මී පුප් මතුවුණු මහ වැහි අතරේ
දරුවෝ සැඟවුණි දෝ ගං වතුරේ


ඔහු ඒ කවි නම් කර තිබුණේ නූතන ජන කවි ලෙස ය.

නමුත් ඒ කවියේ විරිත, අප දන්නා ජන කවියේ විරිත නොවන බවත්, ජනකවියක් ලෙස ලියූවොත්, එහි මුල් කවිය මෙලෙස විය යුතු බවත් මම පරාක්‍රමට ලියා යැවූයෙමි.

කලකදි රස ලු කලකදී වස වෙනවා ලූ
එකෙකුගෙ ලෙල්ලමක් එකෙකුට වෙයි විහිළුෑ
දිලුණත් වටපිටාව ම කරමින් එකළුෑ
පහන් කණුව පාදය මුල කළුවර ලූ


ඒ කවි තමන් හිතා මතා ම ලියූවේ මාත්‍රා දහසයේ ජනකවි විරිතෙන් වෙනස් කර බව පරාක්‍රම මට දන්වා එව්වේ ය.

ඔහු ඉන් පසු ලියා එවූ කවිය මෙසේ විය. මේ කවි ජනකවි විරිතෙන් රචනා වී ඇත.

රජකම් කළත් දවසක පිරිවර අතරේ
මිය යයි තවත් දවසක ගොර මඩ වගුරේ
එකෙකුගෙ මිනිය යට කළ රළු වැලි කතරේ
තවෙකෙකු ගේ සිහසුන ඉදිවෙයි නුදුරේ

දෙපසින් අමෝරා සිටි අවි අතර සිට
සැම දා මුහුණ දී හිඳ රුදු මරණයට
සියක් දහක් මිය ගිය මළ ගමක සිට
අයෙක් නටත් තවෙකෙක් මළ සතුට පිට

විසි හය වසක් යුද ගිනි ඇවිලුණු රටක
නිසි රිසි අහර නොලබන දරුවන් රැසක
කුස ගිනි නිවන්නට බත් හැළියක් මිසෙක
කිරිබත් කුමට සිය දහසක් මළ තැනෙක?


පරාක්‍රම ගේ ජනකවියට මගේ එකතු කිරීම මෙලෙස විය.

ආවුද ගත් එවුන් ආයුදයෙන් මැරෙතී
කළ කම් ඒ විලස දිනයක පල දරතී
පෙර දින ඇසූ දුටු කියමන් සැබෑ වෙතී
පෝලිම මෙයින් ඉවරයි නම් කමක් නැතී

මනස නොඋස් වූ පෙර වානර යුගයේ
යුදට වැද සතුරු මැඩ පැණ විසඳූයේ
මනස උසස් වී මිනිසුන් වූ දිනයේ
වඳුරු ගති ඇරී නැති හැටියකි දුටුයේ

මිනිස් පලිහ ලෙස නම් කල පෙරදාක
සිය දහසක් දෙනා ගැන දුක් වී නේක
මිනිස් මෙහෙයුමින් මුදවා ගත් සේක!
ඇයි අද කොටු කරන් උන් හැම කඳවුරක?


මට ද නූතන ජනකවි ලියන්නට සිතුණේ, පරාක්‍රම කුරුප්පු මිතුරා ගේ නූතන ජනකවි කියවූ පසු ය.

ඇත්තෙන් ම, මේ ඉහත පළ කර ඇති කවි පිළිබඳව මගේ කිසිදු මතකයක් නොතිබුණි. වාසනාවකට මෙන් මා රසිකොලොජියේ පළ කළ, "නූතන ජන කවි" සහ "පොල් ගස තාල වර්ගයේ" මුලින් ම ඉන්ටර්නෙට් හි පළ වූයේ කවදාදැයි සොයා බලන අවස්ථාවේ දී බූන්දි වෙබ් අඩවියේ තිබී මේ කවි වසර ගණනාවකට පසු යළි තෙන ගැටුණි!

-රසිකොලොජිස්ට්

(image: https://sugarvenom88.wordpress.com/)

Friday, 19 May 2017

පොල් ගස ද, තල් ගස ද, ගස් වර්ග දෙක ම, තාල වර්ගයේ ය - I only like war when it is made in Hollywood


ලංකාවේ පැවති මානුෂික යුද්ධය මතක ද?

මා මේ කියන්නේ ඩෙංගි මදුරුවන් සහ කීටයින් සමූල ඝාතනය කිරීම පිණිස රසායනික අවි සහ බර අවි භාවිතයෙන් කළ මෙහෙයුම් පිළිබඳව නම් නොවේ.

මා මේ කියන්නේ ජාති හෝ ආගම් හෝ වෙනසකින් තොරව, අවිගත් හෝ අවි නොගත් හෝ වෙනසකින් තොරව, ලාංකික මිනිසුන් දස දහස් ගණනින් මිය ගිය මානුෂික යුද්ධය ගැන ය.

ලංකා ඉතිහාසයේ ඒ අඳුරු පරිච්ඡේදය ගෙවෙන අතරතුර, 2009 ජනවාරියේ දී, මම ඒ මානුෂික යුද්ධය ගැන කවියක් ලිව්වෙමි.

මෙය මානුෂික යුද්ධයක් ගැන ලියවුණු අමානුෂික කවියකි.

එය මෙසේ විය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුණු ලුණු රස වේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!


වසරකට පමණ පසු කාලයක, මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කෙරුණු ගීත එකතුව සඳහා ඒ කවිය අනුසාරයෙන් සැදුණු පදමාලාවක් මම ඉදිරිපත් කළෙමි.

සංගීත විශාරද ඉන්දු ප්‍රේමතිලක ගේ සංගීතයට අනුව, එකල ළමා ගායක තිසල් පාදුක්ක විදාන විසින් ගායනා කෙරුණු මගේ පදමාලාව සහිත ගීතය රුවැත්තියේ නම් සංයුක්ත තැටියට ඇතුළත් කෙරිණි.

ගීයේ පිටපතක් පසුව එකතු කරමි. ගී පදවැලේ අවසානය කවියට වඩා මදක් වෙනස් වේ.

හම්බන්තොට ලේවායේ ලුණු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කවිය ලියා මාස පහක් යන්නට පෙර ඓතිහාසික කිරිබත් කෑමක් සිදුවුණ ද, මා ලියූ පරිදි හම්බන්තොටින් ලුණු ද, කිලිනොච්චියෙන් දෙහි ද, යාපනයෙන් මිරිස් ද ගෙන සෑදූ ලුණුමිරිසක් සමග පොළොන්නරුවේ හාලෙන් ඉවූ කිරිබතක් මුළු රටම එකට කෑ දිනයක් ඉන් පසුව හෝ පැමිණියා ද කියා මම නොදනිමි.

(image: https://www.lankapropertyweb.com/; http://acrustours.com/jaffna-district/)

Thursday, 18 May 2017

රීසයිකල් නූතන ජන කවි - Lest we forget


මාස දෙකක් පමණ සිතෙහි කැරකෙමින්, එකතුවෙමින්, හැඩ ගැසෙමින් තිබුණු අදහස් ගොන්නක් පහත දැක්වෙන කවි පන්තියේ ස්වරූපයෙන් මා අතින් ලියවුණේ 2009 වසරේ මැද භාගයේ ජූලි මාසයේ දී පමණ ය.

ඒ කාව්‍ය නිර්මාණය විවිධ ස්ථානවල, විවිධාකාරයෙන් පළ වුණි.

මේ එසේ පළ වූ තැන්වලින් අද සොයා ගත හැකි තැන් කිහිපයකි.

ජූනි 2009 බූන්දි-ඔන්-ලයින් බ්ලොග් අඩවියේ:
http://boondionline.blogspot.com/2009/06/blog-post_06.html

ජූනි 2009 කැටපත්පවුර බ්ලොග් අඩවිය
http://ketapathpawra-blog.blogspot.com/2009/06/blog-post_06.html

මාර්තු 2010 බුන්දි වෙබ් අඩවියේ:
http://www.boondi.lk/article.php?ArtID=426


නිමවී වසර අටකට පමණ පසු, අද මේ කවි නැවත පළ කරන්නට සිතුණේ, යම් කිසි ආකාරයක පසු විපරමක් ද සහිතව ය.

මා මේ කවි පන්තිය නූතන ජනකවි කියා නම් කළේ, ඒ කවිවල අන්තර්ගතයට පසුබිම සපයන ජනවහරේ එන විවිධ යෙදුම් සඳහා එදා 2009 වාතාවරණය තුළ මා අලුත් අර්ථදැක්වීම් කිහිපයක් ම එකතු කර ඇති නිසා ය.

මා යොදා ගෙන ඇති ඒ ජනවහරේ එන ආත්තෝපදේශ කිහිපය මෙසේ ය.
  • වක්කඩේ හකුරු හැංගුවා වගේ!
  • රට වටකර වැට බැන්දත්, කට වැටකර වැට බැඳිය හැකි ද?
  • ලෝක ධර්මය වළක්වන්න බෑ!
  • අවි ගත්තෝ අවියෙන් ම නසිති!
  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
  • මීයක් කන්නේ අත ලෙවකන්නද?
  • ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ!
  • ඔරුව පෙරලූනාම ඒ පැත්ත හොඳයි කිව්වලු!
  • ලබ්බට තියපු අත පුහුලටත් නොතියාවිද?
  • වෙහෙර ගිලපු යකාට අග්ගලා කජ්ජක්ද?
අද ප්‍රතිචක්‍රීකරණය වෙන, මා එදා 2009 ජූලි මාසයේ දී ලියූ, නුතන ජන කවි මෙසේ ය.

මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
පුදුමාතලන් වෙරළේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වළකනු හැකිවෙද, මිතුරූ?

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුද ගින්නේ දැවුණු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එළවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?


මළබෙර හඬ මැද කිරිබත් කෑව ද, මරණ ලයිස්තුව එයින් නිම නොවූ බවත්, පොලොස් පමණක් නොව පැහුණු හෙරලි පවා කඩු පහරට ලක් වූ බවත්, කඩා ගත් මීවද කඩා ගත් උං දිගටම කෑ බවත්, ඉගුරු ද සැර බවත්, කෙම්බිම ළඟාවීම කෙසේ වෙතත්, යකා පුහල් ගෙඩිය පමණක් නොව වෙහෙර ද ගිල්ල බවත් ගතවුණු වසර කිහිපය තුළ අපි හොඳින් වටහා ගත්තෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් වසන්තෙ නැතුව පාලුයි!

(image: http://www.galeriemagazine.com/picassos-famous-anti-war-painting-guernica-celebrates-80-years-in-madrid/)

Wednesday, 17 May 2017

සටනින් අද මා දිනුවා : self-satisfaction


"සටනින් අද මා දිනුවා" යන යෙදුම, නිමල් මෙන්ඩිස් ගේ තනුවක් සඳහා ඔගස්ටස් විනයාගරත්නම් ලියා අමරදේව ගායනා කළ නිම් හිම් සෙව්වා මා සසරේ යන ගීයේ අවසාන පදයයි. මගේ ප්‍රියතම ගීතයක් වන එය, ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් වූ මනික් සන්ද්‍රසාගර ගේ "සීතා දේවී" චිත්‍රපටයේ ඇතුළත් වූවකි.

ප්‍රියතම ගීත අතරින් එකක් නොවුනද, මා කැමති තවත් ගී පදයක් නම් "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා!" යන්නයි. ඒ මගේ "දූර ගමං, ඒක චරං" සිත පාලනය කිරීම ඇතැම් වෙලාවට මට අසීරු නිසා ය.

උදාහරණයක් ලෙස කිවහොත්, උදෑසන දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර රසිකොලොජි බ්ලොගය සඳහා යම් කරුණක් පිළිබඳව ලිපියක් ලිවීම ඇරඹුව ද, දූරං ගමං, ඒක චරං සිත නිසා, බොහෝ විට අවසානයේ ලියවෙන්නේ මුල් මාත්‍යකාවට යාන්තමින් ගෑවෙන වෙනත් දෙයකි.

මෙය මට පමණක් නොව තවත් බ්ලොග්කරුවන්ට ඇති ප්‍රශ්නයක් යැයි සිතමි. "පදුර වටේ කොටනවා!" යන ආදරණීය වදන් පෙළින් හැඳින්වෙන්නේ මෙයයි. නමුත්, රසිකොලොජියේ සටහන් කිසි විටකත් "පදුරු කෙටීම්" නොවන්නේ මා ඒ සටහන් කොටස් වශයෙන් වෙන් වෙන්ව කියවීමට හැකි ලෙස සකසා පළ කරන නිසා ය.

ඒ එක උදාහරණයක් පමණි. සිත හීලෑ නැති විම, දෛනික ජීවිතයේ විවිධ කාරණා කෙරෙහි අනිසි ලෙස බලපෑමට ඉඩ ඇත. එනිසා, සිත හීලෑ කර ගැනීම මට නම් අත්‍යවශ්‍ය කරුණකි.

සමහරු මේ සඳහා භාවනාව සුදුසු යැයි යෝජනා කරති. වෙනත් ක්‍රම ද තිබිය හැක.

පසුගිය මාසය තුළ මම මා සමගම සටනක නිරත වුණෙමි.

එය නම්, මේ වන විට "එහෙන් මෙහෙන්" (occasional bloggers) බ්ලොග්කරුවන් වන ඉන්දික කොඩිතුවක්කු සහ දුෂාන් කරවිට විසින් ආරම්භ කර මෙවර අති සාර්ථක තුන්වෙනි වසරේ පැවැත්වුණු බ්ලොග් වසන්තය සඳහා මගේ උපරිම සහයෝගය දීම සඳහා දිනකට එක් බ්ලොග් සටහනක් පළ කරමි! යනුවෙන් මා මට ම කරගත් අභියෝගය ජයගැනීමේ සටනයි.

බ්ලොග් වසන්තය ඇරඹුණු අප්‍රියෙල් දාහත් වෙනිදා සිට අභියෝගය සමතික්‍රමණය කරමින් දිනපතා ලිපියක් පළ කළ මම, අවසාන සතියේ මගේ ම අභියෝගය මා ම සුනුවිසුනු කරමින්, දිනකට ලිපි දෙකක් බැගින් පළ කළෙමි.

සටනින් අද මා දිනුවා!

මා ලියූ ලිපි තිස් හතේ ලයිස්තුව මෙසේ ය. මේ වර්ගීකරණය මගේ ය.

මෙන්න බ්ලොග් වසන්තය 2017 සඳහා මා ලියා පළ කළ ලිපි:

1. අතීතකාමය හෙවත් කුමර දිවිය

1.1. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html


1.2. පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?
https://rasikalogy.blogspot.com/2017/04/childish.html


1.3. ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold
https://rasikalogy.blogspot.com/2017/04/all-revealed-nothing-left-untold.html


1.4. සිගරැට් බීම - Who else hates smoking?
https://rasikalogy.blogspot.com/2017/05/who-else-hates-smoking.html


1.5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html


1.6. මල් කුමාරයා - Oh, no!
http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html



2. එදිනෙදා ජීවන සටහන්

2.1 නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


2.2 කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka
https://rasikalogy.blogspot.com/2017/04/being-foreigner-in-sri-lanka.html


2.3 උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style
https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html


2.4 ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report
https://rasikalogy.blogspot.com/2017/05/lecturer-no-show-first-case-report.html


2.5 හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts
https://rasikalogy.blogspot.com/2017/05/fatherly-thoughts.html


2.6 මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day
https://rasikalogy.blogspot.com/2017/05/nobodys-day.html


2.7 ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie
https://rasikalogy.blogspot.com/2017/05/string-hoppers-from-toongabie.html


2.8 මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart
https://rasikalogy.blogspot.com/2017/05/jokes-apart.html



3. සමාජ විමර්ශන

3.1 තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


3.2 කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged
https://rasikalogy.blogspot.com/2017/04/rubbish-must-be-garbaged.html


3.3 බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html



4. ආගම් පිළිබඳ මගේ අදහස්

4.1 මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!
https://rasikalogy.blogspot.com/2017/04/not-just-about-you-and-me-mate.html


4.2 බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others
https://rasikalogy.blogspot.com/2017/04/self-critisism-vs-criticising-others.html


4.3 ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them
https://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html


4.4 උප්පැන්න සහතිකේ බුද්ධාගම්කාරයෝ? - What a joke?
https://rasikalogy.blogspot.com/2017/05/what-joke.html


4.5 චූ ක්‍රිස්තු සහ මතභේදයට තුඩු දුන් වෙනත් කලා නිර්මාණ - Shock art
https://rasikalogy.blogspot.com/2017/05/shock-art.html



5. සහෝදර බ්ලොග්කරුවන් පිළිබඳ සටහන්

5.1 වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly
http://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html


5.2 විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html


5.3 විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html



6. මෑත ඉතිහාසය

6.1 මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html



7. කාලීන සටහන් (වෙසක්)

7.1 ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak
http://rasikalogy.blogspot.com/2017/05/preethi-vesak.html


7.2 අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak
https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html


7.3 ඔළු බක්කන් නැටවීම තහනම් - Ban on "big headed" people
https://rasikalogy.blogspot.com/2017/05/ban-on-big-headed-people.html



8. දේශපාලන මළකෝලං!

8.1
එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others
https://rasikalogy.blogspot.com/2017/05/all-jvpers-are-equal-but-some-jvpers.html


8.2 ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties
http://rasikalogy.blogspot.com/2017/05/mothers-day-messages-sent-by-lankan.html



9. සිංහල භාෂාව සහ ලේඛන කලාව

9.1 ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?
https://rasikalogy.blogspot.com/2017/05/can-i-write-novel.html


9.2 "ඊ-ෆැක් මෙමොරීස්" පොතේ නිධාන කතාව - Good memories and not so good memories!
https://rasikalogy.blogspot.com/2017/05/good-memories-and-not-so-good-memories.html


9.3 වෙසක් එක? - WTH?
https://rasikalogy.blogspot.com.au/2017/05/wth.html


9.4 දද, දද, දද, දද, දද - Homonyms or synonyms?
http://rasikalogy.blogspot.com/2017/05/homonyms-or-synonyms.html


9.5 දිද්දෙණියේ දර්මදාස - Grade four memories
http://rasikalogy.blogspot.com/2017/05/grade-four-memories.html


9.6 උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!
http://rasikalogy.blogspot.com/2017/05/martin-wickramasinghe-or-aruna-perera.html


සැමට ජයවේවා.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා රසිකොලොජියේ ලියා පළ කළ ඉහත ලිපි තිස් හතට අමතරව තවත් ලිපි රාශියක් 2017 බ්ලොග් වසන්තය සඳහා ලියවුණි. ඒ ලිපි කියවීමටත්, ඔබ කැමති ලිපි සඳහා මනාපය පළ කිරීමටත් පහත බ්ලොග් පිටුවෙන් ඔබට හැකිවෙනු ඇත.

http://upashantha.blogspot.com/2017/05/2017.html

ස්තුතියි.

(image: http://www.cianellistudios.com/blog/tag/abstract-art-prints/)

Tuesday, 16 May 2017

මල් කුමාරයා - Oh, no!


දැන් ඉතිං මා "උපන්දා සිට හෝ අවුල් වෙන දින දක්වා හෝ ස්වයං චරිතාපදානයක් ලියන්නට සිතෙන් සැලසුම් කරන නිසා, එක අතකට, මේ කෙටි සටහන් මේ ආකාරයට ලියා පළ කිරීමේ තේරුමක් නැත. නමුත් සැලසුම් ක්‍ර්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳව එතරම් පැහැදීමක් නොමැති නිසා, ඔන්න ඔහේ ලියා දමමි.

අපේ චූටි නැන්දා ගේ විවාහය සිදුවුණේ මා කණිෂ්ඨ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ කාලයේ ය. හෝඩියේ පන්තිය හෙවත් පළමු වසර එකල පාසල් අධ්‍යාපනයේ නොතිබුණු නිසා එවකට මගේ වයස අවුරුදු හයක් පමණ විය.

චූටි නැන්දා ගේ විවාහ උත්සවය සඳහා මල් කුමරෙකු සහ මල් කුමරියක අවශ්‍ය බව කියවුණි. මෙය ඊට වසර දෙකකට කලින් විවාහ වූ අපේ නන්දා නැන්දා ගේ විවාහ උත්සවයේ දී හෝ ඒ කාලයේ මස සහ ඊට පසුව සිදුවුණු අපේ පුංචි අම්මලා ගේ විවාහ උත්සවවල නොතිබුණු අංගයක් විය.

චූටි නැන්දා ගේ කැමැත්ත වූයේ මා ඒ මල් කුමරා ගේ චරිතය රඟපාන්නට තෝරා ගැනීමටයි. මල් කුමරිය ලෙස අසල නිවසක සිටි චූටි නැන්දා ගේ හිතවත් ගුරුවරියක වූ ශීලා නැන්දා ගේ දියණිය, කුමුදුනී, නම් වී තිබුණි. ඇය මා හා සම වයසේ සිටියේ යැයි සිතමි.

මංගල උත්සවය සඳහා කුමුදුනීට සැරසීමට මල් කුමාරී ඇඳුමක් ඇගේ මව සතුව විය. ඊට ගැලපෙන පරිදි මල් කුමරා ඇඳිය යුතු වූයේ සිල්ක් දිග කලිසමක් සහ රැළි දැමූ සිල්ක් කමිසයකි. මල් කුමරිය කුඩා මල් පොකුරක් අත දැරිය යුතු වූ අතර මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත දැරීමට නියමිතව තිබුණි.

මල් කුමරා ගේ ඇඳුම් කට්ටලය චූටි නැන්දාට දීමට ඇය සමග එකම පාසලේ සේවය කළ ගුරුවරියක වූ එදිරිසිංහ ටීචර් පොරොන්දු වී තිබුණි. මේ එදිරිසිංහ ටීචර් යනු සුනිල් එදිරිසිංහ ගේ අක්කා බව මගේ මතකයයි.

ඇඳුම් කට්ටලය ගෙන ඒම සඳහා චූටි නැන්දා මා ද කැටුව එක්තරා සෙනසුරාදාවක සපුගස්කන්ද බලා ගියා ය. එදිරිසිංහ ටීචර් ගේ නිවසේ දී වැටහුණේ මල් කුමරා ගේ කලිසමට යාන්තමින් බැසීමට මට හැකි වුණ ද, දිගෙන එය අඟල් හයක් පමණ කොට බවයි. රැළි කමිසයේ ද බොත්තම් පියවීම අසීරු විය.

එය අවුරුදු හතරක පහක කොලුවෙකු සඳහා මසන ලද ඇඳුම් කට්ටලයකි.

යම් කිසි තීරණයක් ගත් චූටි නැන්දා මා කැටුව යළි මහගෙදරට ගියේ ඇඳුම් කට්ටලය ද රැගෙන ය.

මංගල උත්සවයේ මල් කුමරා චරිතය මගේ රුවන් මල්ලීට හිමිවිය.

මම නිකම්ම නිකම් ප්‍රේක්ෂකයෙකු පමණක් වීමි!

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/msousli/my-paintings/)

උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!


"උපන් දා සිට" යනු අපේ මහා සිංහල ලේඛකයා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ස්වයං චරිතාපදානය හෙවත් ඔහු ගේ ජීවිත කතාවට ඔහු විසින් දී ඇති නම ය.

ගැටවර වියේ දී ද, මෑතක දී ද, මා කියවූ ඒ මාර්ටින් වික්‍රමසිංහ ස්වයං චරිතාපදානයේ සඳහන්ව ඇති කරුණු කිහිපයක් පිළිබඳව විවරණයක් සහිත මා ලියූ ලිපියක් පෙර දිනයක රසිකොලොජියේ පළ කර ඇත.

ස්වයං චරිතාපදානයක් ලෙස සලකා බලන කළ "උපන් දා සිට" යන්න කිසිදු නිර්මාණශීලිත්වයක් ගැබ් වී නැති නමක් බව කිව හැක.

සිංහල සාහිත්‍යයේ අනෙකුත් පතාක යෝධයින් වූ එදිරිවීර සරච්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානය "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමින් ද, කේ ජයතිලක තම ස්වයං චරිතාපදානය "පුංචි පැලේ ගස වෙනා" යනුවෙන් ද, මහගම සේකර කොටස් දෙකකින් යුතු වූ තම ස්වයං චරිතාපදානය පිළිවෙලින් "තුංමං හන්දිය" සහ "මනෝ මන්දිර" ලෙස ද නම් කිරීම සලකා බලන කළ "උපන් දා" සිට යන්නේ ඇති අවම නිර්මාණශීලීවය පැහැදිලි වේ.

ඉහත ඡේදයේ සඳහන් කෘති, ඒ ඒ ලේඛකයින් කළ නිර්මාණ මිස, ඔවුන් ලියූ ස්වයං චරිතාපදාන නොවන බවට යමෙකුට අවශ්‍ය නම් තර්ක කළ හැකි බව මම දනිමි. නමුත්, එය සම්පූර්ණ සත්‍යයම නොවේ!

කෙසේ වෙතත්, ඒ "උපන් දා සිට" යන නමෙන් අදහස් වෙන ආකාරයට ම, තමා උපන් දා සිට එම කෘතිය සකසා අවසාන වූ දින දක්වා තමන් ගේ ජීවිතයේ සිදු වූ පොදු රසාස්වාදයට සහ දැනුමට තුඩු දෙන කරුණු මාර්ටින් වික්‍රමසිංහ විසින් තම ස්වයං චරිතාපදානයේ ඇතුළත් කර ඇති බව පෙනේ.

මෙහි දී, කෘතිය සකසා අවසාන වන දින දක්වා යනුවෙන් මා සඳහන් කළේ, ස්වයං චරිතාපදානයක් සැම විට ම අවසන් වන්නේ ලේඛකයා ජීවත් වෙන කාල සීමාවේ දී වීම නිසා ය. යමෙකු ගේ උපන් දා සිට ජීවිතය අවසාන වූ දිනය දක්වා සම්පූර්ණ ජිවීත කාලය පිළිබඳව විස්තර සහිතව ලියවෙන්නේ වෙනත් අය ලියන චරිතාපදාන මිස ස්වයං චරිතාපදාන නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

මෙහිදී මට සිහිවෙන්නේ ජීවිතයේ මුල සිට කතාව ඇරඹුව ද, අවසාන වන දිනයක් යම් ආකාරයකට හෝ නියම කර, ඒ ආශ්‍රයෙන් නම් තබා ඇරඹූ ස්වයං චරිතාපදානයකි.

ඒ ස්වයං චරිතාපදානය ඇත්තටම බ්ලොගයකි.

මා මේ කියන්නේ දැන් එංගලන්තයේ වෙසෙන, අරුණ පෙරේරා හෙවත් අරූ විසින් කොටස් වශයෙන් ලියමින් සිටි "අවුල් වෙන්නට පෙර" නම් තමන් ගේ ජීවිත කතාවයි.

එහි නම වූ "අවුල් වෙන්නට පෙර" යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහු ලියන්නට ඇරඹූ කතාව අවසාන වෙන දිනය පිළිබඳ ඉඟියකි. එනම්, උපන් දා සිට අරඹා, තම මතකය අවුල් වෙන දින දක්වා ඒ කතාව ලියවෙන බව ඒ නම යෙදීමෙන් අරුණ පෙරේරා පාඨක අපට ඉඟි කළේ ය.

ඇත්තටම එලෙස මතකය අවුල් නොවුණත්, වෙනත් අවුලක් හෝ කලකිරීමක් නිසා අරුණ පෙරේරා තම බ්ලොගය ලිවීම 2017 මාර්තු මාසයේ දී නැවැත්වූයේ පාඨක අප ඉතා කනගාටුවට පත් කරමිනි.

මේ කරුණු සියල්ල මට මෙලෙස සටහන් කරන්ට සිතුණේ විශේෂ හේතුවක් නිසා ය.

බ්ලොග් ලිවීම සහ ඕස්ට්‍රේලියාවේ පළවෙන මාසික සඟරා සඳහා ලිපි ලිවීම ඇරඹූ දා සිට අද දක්වා ම, මා ලියා ඇති එක් දහස් පන්සීයකට වඩා වැඩි කෙටි සටහන් සංඛ්‍යාවෙන් අති බහුතරය ලිය වී ඇත්තේ මගේ ජීවිතයේ මා ලැබූ විවිධාකාර අත්දැකීම් පිළිබඳව ය. නමුත්, ඒවා එක කාල රේඛාවකට අනුව එකට ගොනු වුණේ, මා ලියූ "සිව් වසරක් මරදානේ" සහ "EFacMemories" ග්‍රන්ථ ද්වය සංස්කරණයේ දී පමණි.

"සිව් වසරක් මරදානේ" කෘතියේ වුව ද, දින වකවානු කෙළින් ම සඳහන් කිරීමක් මම නොකළෙමි. ඒ මගේ අත්දැකීම් එක්තරා කාලවකවානුවක හිර කර, පාඨක රස වින්දනයට සීමාවක් පැමිණ වීමට මට අවශ්‍ය නොවූ බැවිනි.

නමුත්, මට මේ ළඟදී දිනයක සිතුණේ, උපන් දා සිට, අවුල් වෙන දිනය දක්වා මගේ ජිවීත අත්දැකීම් කාල රේඛාවක් මත එකට පෙළ ගස්වා ලිවිය යුතු ය කියා ය.

එය ස්වයං චරිතාපදානයක් වැනි වෑයමක් වෙනු ඇත.

දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://myrating.lk/ ; http://www.kapruka.com/ ; https://www.monaree.com/ ; https://arugeadaviya.wordpress.com/)

Monday, 15 May 2017

දිද්දෙණියේ දර්මදාස - Grade four memories


අද උදේ මා පළ කළ "දද, දද, දද, දද, දද" සටහන දුම්රියේ යද්දී නැවත කියවන විට තවත් පැරණි මතකයක් සිතට නැගුණි.

ඒ ද-යන්නේ සින්දුව යි.

අප කුඩා කාලයේ මගේ මල්ලී ගේ උපන් දිනයකට අපේ සුනීතා පුංචි අම්මා විසින් අපූරු පොතක් තෑගි දී තිබුණි. එහි නම වූයේ සින්දු හෝඩියයි.

ඒ. එච්. පියසේන නමැති අයෙකු විසින් රචනා කර ඇති මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වී ඇත්තේ, සිංහල හෝඩියේ අකුරු සින්දු යැයි මෙහි දී හැඳින්වෙන කුඩා කවි පන්ති මගින් ඉදිරිපත් කිරීමයි. එක් එක් අකුර සඳහා ඒ ඒ අකුර ඉතා බහුලව යෙදෙන කවි පෙළ බැගින් මෙහි යොදා ඇත.

කුඩා කවි පන්ති විසි හතරකින් යුතු ඒ එකතුවෙන්, මගේ මතකයේ හොඳින් ම රැදී තිබුණේ ද-යන්නේ සින්දුවයි. ඒ එහි කියවෙන අපූරු කතන්දරය නිසා යැයි සිතමි.

කෙසේ වුව ද, ද-යන්නේ සින්දුව පිළිබඳ මගේ මතකයේ ද අඩුපාඩු තැන් තිබුණු අතර, පසුගිය වරෙක ලංකාවට ගිය වේලේ සින්දු හෝඩිය පොතේ දෙවන (1998) මුද්‍රණයෙන් (සරසවි, නුගේගොඩ) පිටපතක් හදිසියේ ඇස ගැසී මිලට ගන්නට මට අවස්ථාව ලැබුණු නිසා නැවතත් ඒ කවි සියල්ල ම රස විඳිය හැකි විය.

ඔබේ රස වින්දනය පිණිස මෙන්න ඒ ද-යන්නේ සින්දුව.

වස ගානෙ දිද්දෙණියේ
ර්මදාස හති
ගෙවල් වලට ඇවි බෙයි
වස පත්තරේ

ර්මදාස මුලදි මුලදි
ඬු රු පැටියෙකි
ද්දුව මද්දුම සීයයි
හො හැටි හැදුවේ

කුණු ණේ දදේ හැදී
දුක් වි විඳිනා
ම්බැද්දේ යානන්
ර්මෙ ගෙ මිතුරා

වසක් දා යානන්
දේට වෙ කමක් ගන්න
වෙ ගෙරට ඇදෙන විදි
ර්මෙට පෙනුණා

යානන් හති
වි වි කොර ඇ
දෙන විදිදුටු ර්මේ
දින් දුක්වුණා

ර්මදාස කිට්ටු වෙලා
යානන් කරට අරන්
දොළෙන් එහා වෙ ගෙරට
ගිහින් ඉන්දුවා


මේ දෙවෙනි මුද්‍රණයේ ඇති එකම අඩුව නම්, එදා අප කියවූ මුද්‍රණයේ රතු අකුරෙන් මුද්‍රණය කර තිබුණු ඉහත කවියේ ද-යන්න වැනි ඒ එක් කවියේ මූලික අකුර එලෙස වෙනසක් නොම කර, කළු පැහැයෙන් ම මුද්‍රණය කර තිබීමයි.

මේ සින්දු හෝඩිය කතෘ ඒ එච් පියසේන ගේ පොතේ පසු කවරයේ දැක්වෙන ඡායාරූපයයි.



සින්දු හෝඩිය පොතේ එන කවි පන්ති විසි හතරම මේ ආකාරයේ අපූරු නිර්මාණ වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඒ. එච්. පියසේන යනු අතාවුද හෙට්ටිගේ පියසේන නම් පාසල් ගුරුවරයෙකු බවත්, ඔහු කලක් කොළඹ රාජකීය විද්‍යාලයේ සේවය කළ බවත්, ඔහු සමන් සහ අශෝක අතාවුදහෙට්ටි ගේ පියා බවත් ෆෙස්බුක් හරහා සචින් ජයනෙත්ති විසින් දන්වා ඇත.

දද, දද, දද, දද, දද - Homonyms or synonyms?


මේ සටහනේ අන්තර්ගත කාරණය මගේ සිහියට ආවේ, ඊයේ මා ලියා පළ කළ, "මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා" ගේ විහිළු කතාවේ ආ, කලවානේ ආච්චී එකතු කර තිබුණු පැරණි රසවාහිනී නම් සඟරාව ගැන ලියද්දී ය.

නවකතා, කෙටිකතා පොත් ඇය සතුව නොතිබුණ ද, ආච්චී ළඟ තිබුණු එක්තරා කුඩා පොතක් මා එකල ආශාවෙන් කියවීමි.

එහි නම වූයේ "ප්‍රහේලිකා ජය මග" යන්නයි.

ඒ පොතේ ඇතුළත් වූයේ සිංහල වචන සඳහා ඇති විවිධ සමාන වචන එකතුවකි. වෙනත් වචනයකින් කිව හොත් එය එක්තරා ආකාරයක සිංහල-සිංහල ශබ්දකෝෂයකි.

සම්පූර්ණ ලයිස්තු දැන් කිසිසේත් ම මගේ මතකයේ නොමැති වුවත්, එහි වූ වචන ලයිස්තුවේ, සූර්යයා හෙවත් හිරු සඳහා දිනමිණ, දිනකර වැනි සමාන වචන ද, සඳ සඳහා චන්ද්‍ර, තාරපති, සිසි, තරිඳු වැනි සමාන වචන ද, නෙළුම් මල සඳහා තඹර, සියපත වැනි සමාන වචන ද, බුදුන් සඳහා සමාන වචන දුසිමක් පමණ ද වූ බව මට අද සිහිකර ගත හැක.

ඒ සමාන වචන ලයිස්තුව අතරින් වඩාත්ම ආකර්ෂණීය වචනය වූයේ "දද" යන්නයි.

සාමාන්‍යයෙන් අප "දද" යනුවෙන් දන්නේ කුඩා කාලයේ අප කාටත් වැළඳී තිබුණාට සැක නැති ඒ චර්ම රෝග විශේෂයයි.

ඊට අමතරව-
  • දද යනු මෝඩ, අමන යන තේරුම දෙයි.
  • දද යනු බමුණාට හෙවත් බ්‍රාහ්මණයාට යෙදෙන තවත් නමකි.
  • දද කියා කුරුල්ලාට හෙවත් පක්‍ෂියාට කියත හැකියි ලු.
  • දද යන්නෙන් කොඩිය යන අදහස ද ගෙන දේ. මින් දද කියා මල්සරාට කියන්නේ උගේ කොඩියේ මාළුවෙකු ඇති නිසා ලු!
  • ඒ සියලු තේරුම් මදිවාට දෝ දත සඳහා ද දද යැයි කියත හැකි බව කියවුණි.
ආච්චී ගේ ප්‍රහේලිකා ජය මග පොතේ තිබූ වෙනත් සමාන වචන ලයිස්තු කෙසේ වෙතත්, දද යන වචනයේ තේරුම් හෙවත් සමාන වචන රාශියක් තවමත් මගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ පොත කියවූ දිනවල මා "දදක් ඇති, දද, දදෙක්, දදක් ගෙන යන විට...." යනාදී වශයෙන් දද යන වචනයේ සියලුම තේරුම් කැටිවෙන පරිදි එක් වාක්‍යයක් රචනා කරන්නට ගත් උත්සාහය නිසා යැයි සිතමි.

ආච්චී වර්ෂ 1993 ජනවාරියේ දී මිය පරලොව ගියා ය.

ඇය සහ ආතා වාසය කළ කලවානේ නිවස දැන් විකිණී ගොස්, කැඩී ගොස්, නිවස ඉදිරිපිට තිබුණු මානෙල් මල් විල ද, කෙසෙල් පාත්ති ද, ගෙවතු ද විනාශ වී ගොස් ඒ බිමේ පින්බර හාඩ්වෙයාර් කඩයක් පහළවී ඇති බව ගූගල් මග සලකුණු අනුසාරයෙන් මා දැන ගත්තෙමි!

-රසිකොලොජිස්ට්

(image: Google street view)

Sunday, 14 May 2017

ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties


අද නිවැරදි "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය උදා වෙන්නට පෙර මට ගිය සතියේ "නෝ බොඩීස් ඩේ" හෙවත් කාගෙවත් නොවන දිනයක් උදා වුණු හැටි ගැන සිතෙන් සිනාසෙමින් සිටියදී මගේ සිතට ආවේ ලංකාවේ දේශපාලන පක්‍ෂ ද "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කළොත් ඒ කොයි ආකාරයට වේ ද යන්න ය.

මේ ඓතිහාසික කරුණු පිළිබඳ තරමක අධ්‍යයනයකින් පසුව පිළියෙල කළ "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දින සුබ පැතුම් කිහිපයකි.



ආදරණීය ලංකා ජාතික සංගම් අම්මේ,

අද ඔබ අප අතර නැති වුවත් මම ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා යැයි පතමි!

මේ ඔබේ ආදර දියණිය,

එක්සත් ජාතික පක්‍ෂය



ආදරණීය එක්සත් ජාතික පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය




ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ශ්‍රී ලංකා මහජන පක්‍ෂය

ප/ලි:
මගේ එක්සත් ජාතික පක්‍ෂ ආච්චී ද අද මව්වරුන් ගේ දිනයේ දී ආදරයෙන් මතක් කරමි.



ආදරණීය ශ්‍රී ලංකා මහජන පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

බහුජන නිදහස් පෙරමුණ

ප/ලි:
මගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආච්චී ද අද මව්වරුන් ගේ දිනයේ දී ආදරයෙන් මතක් කරමි.




ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ලංකා කොමියුනිස්ට් පක්‍ෂය



ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

නව සමසමාජ පක්‍ෂය




ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ ආච්චියේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර මිනිපිරිය,

සමාජ සමානතා පක්‍ෂය

ප/ලි:
අනේ මගේ අම්මා විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය අද ජීවතුන් අතර සිටියා නම්!

ප/ප/ලි:
මේ මං විප්ලවවාදී කොමියුනිස්ට් සංගම් මිනිපිරිය හොඳේ. මං නම වෙනස් කළා ආච්චී!



ආදරණීය ලංකා කොමියුනිස්ට් පක්‍ෂ ආච්චියේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර මිනිපිරිය

ජනතා විමුක්ති පෙරමුණ

ප/ලි:
අනේ මගේ අම්මා ලංකා කොමියුනිස්ට් පක්‍ෂ චීන පිල අද ජීවතුන් අතර සිටියා නම්!




ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ජාතික නිදහස් පෙරමුණ

ප/ලි:
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ නංගී සුබ පැතුමක් එව්වා ද? මට නං ඒකිව පෙන්නන්න බෑ. අම්මාත් මා එක්ක නයි වයිරයි කියා මං දන්නවා!



ආදරණීය ජනතා විමුක්ති පෙරමුණු අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

ප/ලි:
ජාතික නිදහස් පෙරමුණ අක්කා සුබ පැතුමක් එව්වා ද? මට නං ඒකිව පෙන්නන්න බෑ. අම්මාත් මා එක්ක නයි වයිරයි කියා මං දන්නවා!




ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

හෙළ උරුමය

ප/ලි:
මේ මං සිහල උරුමය දියණිය හොඳේ. මං නම වෙනස් කළා අම්මේ!

ප/ප/ලි:
මට තවත් අම්මලා ඉන්නවා ද මන්දා?




තවත් සුබ පැතුම් යැවෙන්නට ඇත. ඔබට හැකි නම් එක් කරන්න.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/explore/family-tree-templates/)

මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart


සිංහල බ්ලොග් කියවන අප බොහෝ දෙනෙකු මෙන් විහිළු කතා කියවීමට, කාටූන් බැලීමට මම ද කුඩා කාලයේ සිටම ඇල්මක් දැක්වූයෙමි.

අපේ අම්මා මාස් පතා මිලට ගත් සහ එකතු කර තිබුණු ශ්‍රී සඟරාවල ද, අම්මා ගේ අම්මා හෙවත් අපේ කලවානේ ආච්චී මිලට ගෙන එකතු කර තිබුණු රසවාහිනී සඟරාවල ද, අපේ තාත්තා ඒ දිනවල සති අන්තයට මිලට ගත් සිළුමිණ, ලංකාදීප සහ රිවිරුස පුවත්පත්වලද මේ ආකාරයේ විහිළු කතා සහ කාටූන් එමට තිබුණි.

ඒ දිනවල කියවූ මගේ මතකයේ තවමත් රැඳී ඇති එක් කතාවක් මෙසේ ය. මෙය මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා අතර දෙබසකි. මේ දෙදෙනා, එක ළඟ පිහිටි නිවාස දෙකක පවුල් දෙකක බිරින්දෑවරු ය.

මිසිස් පෙරේරා: ලබන සුමානේ තමයි අපේ පුතා ගේ පස්වෙනි උපන් දිනේ!

මිසිස් සිල්වා: ආනේ ඇත්තද? ඉතිං ඔයා මොනවද පුතාට උපන් දින තෑග්කට දෙන්න ඉන්නේ?

මිසිස් පෙරේරා: මං හිතන් ඉන්නේ එයා ගේ කැටේ තියෙන සල්ලිවලින් එයාට අලුත් ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් අරං දෙන්නයි. අපේ තිබුණු කෙට්ල් එක කැඩිලා ගියා නේ. ලිපේ වතුර උණු කරලා මට දැන් එපා වෙලා!

අප කියවන විහිළු කතා සමහර විට පසු කලෙක හෝ අපට ප්‍රයෝජනවත් වෙයි.

ඇත්තටම ඒ මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා කතාව මට අද ප්‍රයෝජනවත් විය.

ඒ මෙසේ ය.

ගිය සුමානේ ඉරිදා මට මදර්ස් ඩේ හෙවත් අම්මලාගේ දිනය වැරදුණු හැටි ගැන දුක්බර කතාව රසිකොලොජියේ ලිව්වෙමි.

දුක වූයේ දිනය වැරදීමත්, යළිත් ඊළඟ සතියේත් ත්‍යාගයක් මිලට ගැනීමට සිදුවෙන බව තේරුම් යාමත් නිසා ය.

නිවැරදි අම්මලාගේ දිනය අද උදා විය.

මා කාලයක් තිස්සේ උදෑසන ආහාරය සඳහා පලතුරු බීම සෑඳීමට ගන්නා බ්ලෙන්ඩරය දැන් තරමක් අංජබජල් වෙමින් තිබෙන බව මට සිහිවිය.

ගිය සිකුරාදා අසල නගරයේ පිහිටි කේ-මාර්ට් නම් මිල අඩු සාප්පුවට ගිය මම අම්මලාගේ දිනය වෙනුවෙන් බිරිඳට ත්‍යාගයක් මිලට ගත්තෙමි.

ඒ වෙන කිසිවක් නොව, මා කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙස ගන්නා පලතුරු බීම සෑඳීමට ගන්නා වර්ගයේ බ්ලෙන්ඩරයක් සහ අමතර බෝතල් දෙකකි.

බිරිඳට ත්‍යාගයක් ලෙස දීමට මා ගිය සතියේ හදිසියේ මිලට ගත් රෆායලෝ චොකලට් පෙට්ටිය විවෘත නොකර ම තිබුණි.

අද උදෑසන තේ කෝප්පයක් ද, ඒ සමග කෑමට මාගරීන් සහ ජෑම් තැවරූ පාන් පෙත්තක් ද නිදන කාමරයට ම ගෙනැවිත් දුන් මා ඊළඟට කළේ, තෑගි පිරිනමා හාදු වැස්සක් ද වැස්සවීමයි!

ලෝකවාසී සියලුම අම්මලාට සැප සතුට පිරි අම්මලා ගේ දිනයක් පතමි.

-රසිකොලොජිස්ට්

Saturday, 13 May 2017

තාත්තා ගේ දුරාචාරය - One bad habit


අද මෙන් නොව අප කුඩා කාලයේ සිගරුට් බීම ලොකු වරදක් ලෙස නොසැලකිණි. බූරුවා ගැසීම සහ මත්පැන් බීම යනු සිගරැට් බීම මෙන් සියක් දහස් ගුණයක පාප කර්ම විය.

කොටින් ම මළ ගෙවල්වලට එන ඥාතී හිතමිත්‍රාදීන්ට අලියා බී සමාගමේ ඔරේන්ජ් බාර්ලි වතුරට අමතරව බුලත් විට සහ සිගරැට්වලින් ද සංග්‍රහ කෙරුණි. මා හත්වෙනි ශ්‍රේණියේ සිටියදී අකල් මරණකට ලක් වූ අපේ බාප්පා ගේ මළ ගෙදරට පැමිණි ගමේ දඩබ්බර කොල්ලන් සිගරැට් හොයනු මට අද මෙන් මතක ය.

මත්පැන් නොබිව් අපේ තාත්තා ගේ එකම දුරාචාරය වූයේ ද දුම් බීමයි.

නමුත්, මා "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane" ලිපියේ ලියූ පරිදි අපේ තාත්තා පානය කළේ සිගරැට් නොව තම්ෂර් නම් වෙළඳ නමකින් යුතු සුරුට්ටු වර්ගයකි.

පාසල් ගුරුවරයෙකු වූ මගේ තාත්තා ඉගැන්වූ පාසලේ ගුරුවරයෙකු වූ බෞද්ධ භික්‍ෂුවක් ඒ කාලයේ තායිලන්තයේ චාරිකාවක නිරත විය. ඔහු ආපසු එන විට අපේ තාත්තාට ත්‍යාගයක් ලෙස ගෙනැවිති තිබුණේ, ඩියුටී ෆ්‍රී කඩයකින් විස්කි බෝතලයක් නොව, දුම්කොළ දමා බොන පයිප්පයකි.

එතෙක් කල් තම්ෂර් සුරුට්ටු බොමින් සිටි තාත්තා මේ අලුත් උපකරණය පාවිච්චි කර බලන්නට පටන් ගත්තේ එකල දුම්කොළ සමාගමෙන් විකුණු අයිලන්ඩ් ප්‍රයිඩ් නම් පයිප්ප දුම්කොළ යොදා ය.

ඒ දුම්කොළ පිළිස්සෙන විට සිත්ගන්නා සුළු වැනිලා වැනි සුවඳක් හාත්පස පැතිරේ.

මද කලකින් ම තාත්තා, තමන් ම පයිප්ප දුම්කොළ සාදා ගැනීමට පටන් ගත්තේ ය. ඒ තමාට සුපුරුදු තම්ෂර් සුරුට්ටු ඉතා සියුම් ලෙස කපා ගැනීමෙනි.

නමුත්, අර වැනිලා සුවඳ ඒ දුම්කොළ යොදා පයිප්පය උරණ විට ආවේ නැත.

තවත් පයිප්ප බොන අයෙකු ගේ කීමක් අසා බ්‍රැන්ඩි බාගේ බෝතලයක් රැගෙන ආ තාත්තා ඒ දුම්කොළවලට බ්‍රැන්ඩි බිඳක් එක් කිරීම ඇරඹී ය.

මා පෙර කීවා සේ, මත්පැන් බීම යනු ලොකු වරදක් නිසා දෝ, තාත්තා ගේ ඒ බ්‍රැන්ඩි බාගේ බෝතලය වසරකට වැඩි කාලයක් කල් පැවතුණි.

මද කලකට පසු, පයිප්පයේ මිට කැඩී වෙන් වී ගියේය. තාත්තා කළේ, පේර වැනි ගසකින් කඩා ගත් අතු කැබැල්ලකින්, දින ගණනාවක් තිස්සේ මහන්සි වී, තායිලන්ත පයිප්පයේ හිසට සරිලන මිටක් සාදා ගැනීමයි.

හරියටම කවදාදැයි මට නිවැරදිව කිව නොහැකි වුවත්, එක්තරා කාලයකට පසු තාත්තා දුම්බීම නතර කර තිබුණි.

ඒ තම්ෂර් සුරුට්ටු සුවඳ ද, වැනිලා සුවඳ ද, බ්‍රැන්ඩි සුවඳ ද, දැන් සිහිනයෙන් ගෑ සුවඳ සේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://www.aliexpress.com/promotion/regional-products_smoking-pipes-india-promotion.html)

සිගරැට් බීම - Who else hates smoking?


මා මුලින් ම සිගරැට් දුම් උගුරක් ඇද්දේ "වෙසක් එකට" පින් සිදු වෙන්නට ය.

ඒ වසරේ වෙසක් එකට මා උගත් ගලහිටියාව මධ්‍යම පාසලේ හැම පන්තියකටම වෙසක් කූඩු සාදන්නට යැයි ඉහළින් අණක් හෝ ඕඩරයක් හෝ ඉල්ලීමක් හෝ නිවේදනයක් හෝ එවැනි මොකක්දෝ එකක් ලැබී තිබුණි.

වෙසක් කූඩු තැනීම වනාහී, පාසල පැවැත්වෙන වේලාවේ කළ හැකි කාර්යයක් නොවේ.

අපි පාසල අවසාන වූ පසු නැවතීමට කතා කර ගත්තෙමු.

සෑහෙන පිරිසක් එසේ නතර වූහ.

එදා අප මුලින් ම කළේ, ජාඇල පාර දිගේ ගොස් දකුණට හැරී වෙල අද්දරට දිවෙන ගුරු පාර අවසානයේ තිබුණු, මා හිතන විදියට අයිතිකරුවෙකු නිශ්චිතව නොමැති, උණ ගස් පඳුරකින් උණ ගසක් කපා ගෙන කොල්ලන් ගේ කර උඩින් පාසල් භූමියට වැඩැම්ම වීමයි.

අපේ පන්තියේ සිටි කර දඬු උස් මහත් වූ කොල්ලන් දෙතුන් දෙනා ඉන් පසු කළේ අනෙකුත් කොල්ලන්ගෙන් ශත පහක් වැනි මුදලක් බැගින් එකතු කිරීමයි.

එකල ෆෝ ඒසස් සිගරැට්ටුවක් ශත පහළොවක් විය.

බ්‍රිස්ටල් එකක් ඊට ශත පහක් පමණ වැඩි වෙන්නට ඇත.

ෆිල්ටරයක් නැති ත්‍රී රෝසස් නම් ඊට අඩු මිලකට අලෙවි කෙරිණි.

නමුත් පෙර කී කොල්ලන් කැමති වූයේ ෆෝ ඒසස් නමැති සිගරැට් වර්ගයටයි.

කඩේට ගියේ කවුද, සිගරැට් පත්තු කළේ කෙසේ ද යන්න මට දැන් මතක නැත.

මට මතක ඇති එකම දෙය නම්, බෙදා හදා ගත් සිගරැට් තුන හතරෙන් එකකින් මා උගුරක් දෙකක් ඇද්ද බවත්, ඒවායේ රසට මා කැමති වූයේ නැති බවත් ය.

මා සිගරැට් බිව් අන්තිම දිනය ඒ මුල් දිනය නොවුණත්, වාසනාවට මෙන්, සිගරැට් බීමට මට කිසි දිනයක ආශාවක් ඇති නොවුණි. ඒ හැම මිතුරු බෙදා ගැනීමක් ම තත්පරයකට දෙකකට පමණක් සීමා විය.

දැන් නම් දශක දෙකකින් පමණ සිගරැට්ටුවක් තත්පරයකට හෝ මගේ දෙතොල අසලට පැමිණ නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි

ලංකාවේ සිගරැට් පැකට්ටුවල අවවාදාත්ම වැකි පළ කිරීමට නීති ගෙනා දිනවල මා ලියූ ලිපියේ ද, අද මා ලියූ කතාව ම මා වෙනත් ආකාරයකට ලියා ඇත. ඕස්ට්‍රේලියාවේ සිගරැට් පැකට්වල යෙදා ඇති එවැනි පණිවිඩ එහි දැක්වේ.
https://rasikalogy.blogspot.com/2015/11/kiss-only-non-smokers.html

ගාමිණී ෆොන්සේකා සම්බන්ධ බාලාපරාධයක් කතාවක් මෙන්න.
https://rasikalogy.blogspot.com/2015/03/this-isnt-funny.html

(image: http://media.gettyimages.com/photos/indian-school-boys-dress-in-skeleton-design-during-the-world-no-day-picture-id475483970)

Friday, 12 May 2017

450. ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie



ඉතිං අපට පාං ද කියා අසන්නට එපා!

මේ පාන් නොව ඉඳිආප්ප කෑමකි.

සිඩ්නි බටහිර තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ඉඳිආප්ප, ආප්ප, කොත්තු, පිට්ටු, රොටී යනාදිය ද, ලංකාවේ ක්‍රමයට සාදන ලද බත් මාළුපිනි යනාදිය ද ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යා යුතු හොඳම නගරය ටූන්ගැබී යැයි සිතමි.

මගේ නිවස පිහිටා ඇති ග්ලේන්මෝ පාර්ක් නම් සුන්දර ගම්මානයේ සිට ටූන්ගැබී කඩමණ්ඩියට දුර කිලෝමීටර් 30 ක් පමණ වෙතත්, සිඩ්නි සිට බටහිරට දිවෙන අධිවේගී මාර්ගය ද භාවිතා කළ හැකි නිසා ඒ දුර සති අන්තයේ දිනවල අඩ පැයකින් පමණ තරණය කළ හැක.

මා සම්බන්ධ වී ඇති නාට්‍ය වැඩමුළුවක් සහ වෙනත් කලාබර වැඩ නිසා මේ දිනවලට මසකට වරක් හෝ දෙකක් ටූන්ගැබී යාමට මට සිදුවේ. එයට හේතුව ඒ නගරයේ පිහිටා ඇති ප්‍රජා මධ්‍යස්ථානයේ ඇති ශාලා අපේ කර්තව්‍යයන් සඳහා නගර සභාවට මුදල් ගෙවා වෙන්කර ගෙන භාවිතා කරන නිසා ය.

අපේ කටයුතුවලට සහභාගීවන සිනුවර විවිධ තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ටූන්ටැබී හොඳ මධ්‍යම ස්ථානයකි.

දඹුලු ගිය විට තලගොයෙකු දඩයම් කරනවා සේ, ටූන්ගැබී යන සෑම දිනකට පාහේ මම එහි කඩවීදියේ පිහිටා ඇති ආපන ශාලාවකින් කඩයප්පම් මිලට ගන්නෙමි.

ටූන්ගැබී කඩවීදියේ පිහිටා ඇති ශ්‍රී ලාංකික ආපනශාලා ප්‍රමාණය මේ වන විට පහක් දක්වා ඉහළ ගොස් ඇත.

පිට්ටු, රොටී, කොත්තු කෙසේ වෙතත් මා නම් සැම දින ම පාහේ මිලට ගන්නේ ඉඳිආප්පයි.

කලකට පෙර ඕස්ටේ‍ර්ලියානු ශත විසි පහක් පමණ වූ මේ ඉඳිආප්පයක මිල දැන් ශත හතළිහ දක්වා ඉහළ ගොස් ඇත.

නමුත් මේවා, සුළඟට විසිවෙන ආකාරයේ තුනී කුඩා ඒවා නොවේ.

එක ඉඳිආප්පයක ප්‍රමාණයෙන් බත් කන පිඟානක් තරම් වේ. ඉඳිආප්ප තුනක් කෑ විට මට නම් ප්‍රමාණවත් ය. ඉඳිආප්ප සමග ඒවා කෑමට පොල් සම්බෝලද, කිරි (අඩු) හොද්දක් ද ලැබේ.

ගිය ඉරිදා නිවසට ගෙනා ඉඳිආප්පවලින් තුනක්, කෑම පෙට්ටියකට දමා, පොල් සම්බෝල, පරිප්පු සහ මස් කරියක් සමග සඳුදා ඔෆීසියට ගෙන ගියෙමි.

එසේ ගෙන ගිය ඉඳිආප්ප මා අනුභව කළේ පිහියකින් කපා ගෑරුප්පුවකිනි.



චීන ආපන ශාලාවකදී චොප්ස්ටික් හෝ ගෑරුප්පුවක් හෝ උපයෝගී කරගෙන නූඩ්ල්ස් කනවාට වඩා ගෑරුප්පුවකින් ඉඳිආප්ප කෑම පහසු බව මට ස්ථිරවම කිව හැක.



කනවානම් ඉඩිආප්පම් කාපම්!

-රසිකොලොජිස්ට්

වෙසක් එක? - WTH?


වෙසක් දින දෙක ම ගෙවී ගියත් තවමත් මගේ සිත ඇත්තේ වෙසක් කවි සහ වෙසක් කූඩු නිසා ඇති වූ වෙසඟේ නිරාමිස ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙමිනි.

සඳට කොහේ කෙදිනක පසළොස්වක පෝය ලැබුවත් ඕස්ට්‍රේලියාවට සැම විට ම පෝය ලබන්නේ ම සති අන්තයේ ය. ඒ අනුව, සිනුවර ලංකාරාමයේ වෙසක් පිංකම් මේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වේ. එදින සවසට ස්කෝෆීල්ඩ් ගම පැත්තේ ගියහොත්, වෙසක් කූඩු නැරඹීමට ද, කඩල කෑමට ද හැකිවෙනු ඇත.

ඊයේ ඔළු බක්කන් ගැන ලියමින් සිටිද්දී, මීට වසර දහයකට පමණ පෙර මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවේ "සිංහල" නම් වූ ත්‍රෛමාසික සඟරාවට, මවිසින් ලියන ලද කතුවැකියක් මගේ මතකයට නැගුණි.

එය සිංහල භාෂාවේ එක්තරා අපූර්වත්වයක් පිළිබඳව ලියවුණු එකකි. මේ එයින් කුඩා කොටසක්, යළි ලිවීමකි.

අපේ සිංහල භාෂාවට පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන එකතු කර ගැනීම ඉතා ලේසි බව අප දනිමු.

අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ක්‍රියා පදයක් නම් අප කරන්නේ එයට අගින් "කරනවා", "වෙනවා" වැනි සිංහල ක්‍රියා පදයක් එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස ටයිප් කරනවා, පෝස්ට් කරනවා, කමෙන්ට් කරනවා, මොඩරේට් කරනවා, ඇපෲ කරනවා වැනි යෙදුම් ද, හිට් වෙනවා, හැක් වෙනවා වැනි යෙදුම් ද දැක්විය හැක.

එසේ ම, අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ නාම පදයක් නම් අප කරන්නේ එයට අගින් "එක" යන සිංහල වචනය එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස එකවුන්ට් එක, බ්ලොග් එක, කමෙන්ට් එක, රිප්ලයි එක වැනි යෙදුම් දැක්විය හැක.

මීට අමතරව ටීවී එක, කාර් එක, බස් එක, ඔෆිස් එක, බිල්ඩින් එක, ටේ‍ර්න් එක, පාක් එක, බීච් එක, ගවර්න්මන්ට් එක යනාදී වශයෙන් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන කෙළ-කෝටියක් අපි අපේ ම කරගෙන පාවිච්චි කරමු.

දැන් මේ පින්බර වෙසඟේ මගේ සිතට ආ කාරණය මෙයයි.
වෙසක් "එකට" මොකද කළේ?
වෙසක් "එකට" කූඩු හැදුවා ද?
වෙසක් "එකට" දන්සැල් වැන්දා ද?
වෙසක් "එකට" පන්සල් ගියා ද?
මළා!

අප "වෙසක් එක" කියා කියන්නේ ඒකත් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචනයක් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙසක් එක විතරක් නොවෙයි, ඇයි "පොසොන් එක"?

මට හිතෙන විදියට පොසොන් එක පමණක් නොව වෙසක් එක ද, පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ආක්‍රමණයක් නොව, අශෝකලා ගේ, මිහිඳුලා ගේ, මෝඩිලා ගේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කොටසක් වේ!

වහා කළු කොඩි දමනු!

(image: http://english.fastnews.lk/44266)

Thursday, 11 May 2017

ඔළු බක්කන් නැටවීම තහනම් - Ban on "big headed" people


අප්‍රියෙල් අලුත් අවුරුද්දට ලැබෙන අමතර නිවාඩු දවස, අවුරුදු උදාවට පෙර ලැබෙතත්, වෙසක් එකට අමතර නිවාඩුව දෙන්නේ පෝයට පසු දිනය වීමට හේතුව ලෙස මා කීවේ එසේ කරන්නේ වෙසක් පෝයට පසුව දා ඔළු බක්කන් නටවන්නට ඉඩ දෙන්නට බවයි.

නමුත්, අප කුඩා කාලයේ දී රස විඳි ඒ ඔළු බක්කන් නැටවීම අද ලංකාවේ නිල වශයෙන් ම හෝ එසේ පනතකින් සම්මත වී නොමැතිව හෝ තහනම් වී ඇති බව නම් දැන් පන්සල්වලට බාර හාර වී, ඉන්ටර්වීව් සමත්වුණු පොලිස්පති ගේ පහත නියෝගයෙන් පෙනේ.



අප කුඩා කාලයේ පැවැත්වුණු ඔළු බක්කන් සංදර්ශනවල වැඩි වශයෙන් ම තිබුණේ ජේ.ආර්. සිරිමා වැනි දේපාලුවන් ගේ ඔළු ගෙඩි ය.

පත්තර පල්ප්වලින් සාදන ලද විශාල ප්‍රමාණයේ ඔළු ගෙඩි තුළට තම හිස් ඔබා ගත් තරුණයින් විසින් ජනප්‍ර්‍රිය ගීතයක තාලයට අත පය විසි කරමින් නටනවා හැරෙන්නට මේ ඔළු බක්කන් සංදර්ශනවල ඇති වෙනත් දෙයක් නොතිබුණි.

නාට්‍යමය ජවනිකා හෝ දෙබස් හෝ තිබුණා යැයි මම කිසිසේත් ම නොසිතමි.

ඔළු බක්කන් ඒ ප්‍රාථමික අඩවියේ සිට තරමක් වැදගත් තැනකට ආවේ අනූවේ දශකයේ අග භාගයේ ටී.එන්.එල්. නාලිකාවේ ප්‍රචාරය වුණු ඕල්වේස් බ්‍රේක් ඩවුන් නම් දේශපාලන ප්‍රහසන වැඩ සටහන නිසා ය.

ඇනිබල් (චන්ද්‍රිකා), ඇම්ඩන් (රනිල්), සේලයින් (පවුසි), කිරි බර්ටි (අනුර) වැනි දේශපාලුවන් නිරූපණය කෙරෙන චරිත රැගත් ඒ ඕල්වේස් බ්‍රේක් ඩාන්ස් වැඩ සටහන් කොටස්වල යම් කිසි තත්කාලීන දේශපාලන ප්‍රශ්නයක් ගැන කතාවක් ද, ඊට අමතරව ජනප්‍ර්‍රිය ගී තනුවලට පබැඳුණු ගීත කිහිපයක් ද විය.

මේ ගී කෙතරම් ජනප්‍රිය වී ද යත්, ඒවා කැසට්පට ලෙස ද වෙළඳපොළට නිකුත් විය.

ඒ එක කැසටයක් ද, වීඑච්එස් වීඩියෝ පටයකට නගන ලද ඕල්වේස් බ්‍රේක් ඩවුන් කොටස් කිහිපයක් ද එකල මා සතුව ද තිබුණි.

නමුත්, ඕල්වේස් බ්‍රේක් ඩාන්ස් වැඩසටහන් රාශියෙන් යුටියුබයේ මට සොයා ගන්නට ලැබුණේ එහි තේමා ගීතයේ හඬ පටය සහ පෙර කී කැසට්ටුවක හඬ පටය පමණි.



මේ වැඩ සටහන නව සහස්‍රකයේ මුල් කාලයේ ද ලංකාවේ ප්‍රචාරය වුණු බව මගේ මතකයයි. ඒ මක් නිසා ද යත් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස එකල සාකච්ඡා වුණු

දේශපාලන පැකේජය ගැන ලියවුණු ගීත කිහිපයක් ම මා සතුව ඇති කැසට්ටුවට අඩංගු වී ඇති නිසා ය.

කිරි බර්ටි ගේ දේශපාලන ජීවිතයට විසිපස්වසරක් සම්පූර්ණ වුණු කාලයේ ලියවුණු ගීතයක මුල් පද කිහිපය තවමත් මගේ මතකයේ ඇත.

කිරි බර්ටී අද චාටර් වී ඉන්නේ
උපන් දා පටන් විපක්‍ෂයේ ම යි නේ
රිදී ජුබිලිය ද සමරන්න යන්නේ
අයියෝ බර්ටී, කිරි බර්ටී
දුක සැප කොහොමද බර්ටි මස්සිනා, කිරි බර්ටී

(නිසංසලයි සීතයි - ජෝතිපාල)

ඇනිබල් අක්කා ගේ ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් ගේ චරිත අපට ඕල්වේස් බ්‍රේක් ඩවුන් වැඩ සටහනේ දී හමු වුව ද, සමනල විප්පලවය නවකතාවේ ආ සාසනයා (හෝ ධීවරයා හෝ) එහි සිටි බවක් මට මතක නැත.

කෙසේ වෙතත්, ඕල්වේස් බ්‍රේක් ඩවුන් වැඩ සටහන වසර කිහිපයකට පසු අවසන් විය.

ඇන්-කොම්පැනිය ආවේ ඊට පසුවයි සිතමි.

ඇන් කොම්පැනියේ ද සාසනයා (හෝ ඔහු ගේ පුනරුත්පත්තියක් හෝ) සිටියා යැයි මා දැක නැත.

-රසිකොලොජිස්ට්

මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day


ලංකාවේ සතියක් ගත කර, අවුරුදු සහ වෙසක් රැගෙන මගේ බිරිඳ ආපසු සිනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ සෙනසුරාදා රාත්‍රී අටට පමණ ය.

එදින දිවා කාලය මා ගත කළේ මිතුරෙකු ද සමග එක් වී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව පිහිටුවා ඇති ලේඛක සංසදයෙන් ළඟදීම ප්‍රකාශනය කිරීමට අදහස් කරන මෙරට වෙසෙන සිංහල ලේඛකයින් ගේ සංක්‍රමණික අත්දැකීම් රැගත් කෙටිකතා නිර්මාණ සංග්‍රහයේ අවසාන වැඩ කටයුතුවල නිරත වෙමිනි.

බිරිඳ ආපසු නිවසට විත් දින තුනකට පසු අපේ පුතා ගේ උපන් දිනය යෙදෙන බව අප සිතේ ධාරණය කර ගත්තේ ගුවන් ටිකට් පත ඇණවුම් කරන දිනයේ ම ය. "මදර්ස් ඩේ" හෙවත් අම්මලා ගේ දිනය කියා වසරකට වරක් පැවැත්වෙන දිනය සාමාන්‍යයෙන් යෙදෙන්නේ පුතා ගේ උපන් දිනයට ආසන්න ඉරිදා දිනයේ බව මගේ මතකයේ තිබුණි.

ඒ කියන්නේ හෙට ය.

මළා!

අම්මලා ගේ දිනයට තම මවට මෙන් ම බිරිඳට ද, සුළු හෝ ත්‍යාගයක් දීම කවුරුත් වාගේ පුතුන් සහ පිරිමින් අනුමනය කරන පිළිවෙතකි.

ත්‍යාගයේ ප්‍රයෝජනය කෙසේ වෙතත්, එයින් ආදරය වැඩේ!

"පුතා, අපි හවස ෂොපින් යමු, මදර්ස් ඩේ එකට තෑග්ගක් ගන්න!" දිවා ආහාරය වෙලාවේ මම පුතා සමග කීවෙමි.

මිතුරා නිවසෙන් සවස දෙක හමාරට පමණ පිටත්ව ගිය ද, එතැන් සිට ෆේස්බුක් සහ රසිකොලොජි වැනි වැදගත් කටයුතු කිහිපයක් යෙදුණු නිසා, මට යළිත් වෙලාව පිළිබඳව සිහිවුනේ සවස හතරට පමණය.

දැන් ඉතින්, අසල නගරයේ සාප්පු සංකීර්ණයට ගොස් තෑගි ගන්නට වෙලාවක් නැත. හවස ගුවන් තොටුපොළට යෑමට ද ඇත. ඊට පෙර රාත්‍රී ආහාරය පිළිබඳව ද සිතිය යුතු ය.

නගරයේ සාප්පුවලට නොයා ගමේ කඩෙන් තෑග්ගක් ගත යුතු යැයි මම සිතුවෙමි. රාත්‍රී ආහාරයට අවශ්‍ය සලාද කොළ ද, පසුවදා උදෑසන සඳහා පලතුරු ද මිලට ගැනීමට, කොයි හැටි වෙතත්, ගමේ කඩේට යා යුතුව තිබුණි.

වෙනදා අම්මලා ගේ දිනය සඳහා විශේෂයෙන් සකසන ලද තෑගි ගමේ කඩේ ද තිබෙනු මා දැක ඇතත් මෙවර, මල් හැර, එවැනි දේ පෙනෙන්නට නොතිබුණි.

මේ හේමන්ත කාලයේ වුව ද, නිවසේ වවා ඇති රෝස ගස්වල හොඳින් මල් පිපෙන නිසා කඩෙන් රෝසමල් මිලට ගැනීමට අවශ්‍යතාවක් නැත. එනිසා, මා කළේ, පලතුරු සහ සලාද කොළ සමග "රෆායෙලෝ" නම් සුමිහිරි චොකලට් වර්ගයෙන් පෙට්ටියක් ද මිලට ගැනීමයි.

හේමන්ත රෝස මල් ද, සුදු පැහැති මැග්නෝලියාවක් ද සහිත මල් කළඹක් රැගෙන ගොස් බිරිඳ ගුවන් තොටුපළෙන් නිවසට කැඳවා ගෙන ආවෙමි.

ගතවුණේ සතියක් පමණක් නිසා දෝ, කලේ පැන් නැවුම් රසින් තිබුණු බව ද, රොටි සහ ලුණු මිරිස් අවුල් නොවූ බව ද පෙන්වමින්, මා සැකසූ අති ප්‍රණීත රාත්‍රී ආහාරයෙන් ඇය සන්තර්පනය කළෙමි.

* * *

පසුදා උදෑසන අවදිව ඇයට අති ප්‍රණීත තේ කෝප්පයක් සාදා ඇඳ ළඟටම ගෙනැවිත් දුන්නෙමි.

පසුව, පෙර දින ගමේ කඩෙන් මිලට ගත් සුමිහිරි "රෆායෙලෝ" චොකලට් පෙට්ටිය ඇයට දී, මෙවර ද අති ප්‍රණීත, චුම්බනයක් ද දුන්නෙමි.

"හැපි මදර්ස් ඩේ, ඩාලින්!"

"ආ, ඇයි අද? ලබන සුමානේ නේද මදර්ස් ඩේ?" බිරිඳ විමසුවා ය.

මදක් සොයා බැලූ විට මට වැටහුණේ ඇත්තට ම මේ වසරේ අම්මලා ගේ දිනය යෙදී ඇත්තේ ඊළඟ ඉරිදාට බවයි.

දැන් ඉතිං තවත් තෑග්ගක් ගන්නට සිදුවෙනු ඇත.

ඔන්න මටත් වෙන වැඩ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සකල ලෝ වාසී සියලු අම්මලාට, සැප සතුට ජය පතමි.

(image: http://www.nairaland.com/3473746/hypothesis-love)

Wednesday, 10 May 2017

අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak


කෙටි නිවාඩුවකට ලංකාවට ගිය බිරිඳ ආපසු පැමිණියේ අවුරුදු පමණක් නොව වෙසක් ද රැගෙන ය.

අවුරුදු කියන්නේ කැවුම්, අලුවා, රුලං, තල කැරළි, අල ටොෆි වැනි දේ ය.

වෙසක් කියන්නේ වෙසක් කූඩු ය. අටපට්ටම් කූඩු ය. එකක් නොව වෙසක් කූඩු හතරක් ම ඇය ගෙනැවිත් තිබුණි.

එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි.

අද වෙසක් දවසේ දැහැමෙන් සෙමෙන් මම ඒ අටපට්ටම් වෙසක් කූඩු හතරෙන් එකක් එකලස් කළෙමි.

පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවේ අටපට්ටම් කැබලි වර්ග දෙකක් විය. රැළි සඳහා සව් කඩදාසි හතරක් ද තිබුණි.



සාමාන්‍යයෙන් අටපට්ටම් වෙසක් කූඩුවක් සාදන්නට අවශ්‍ය වන්නේ හරි හතරැස් සැකිලි හයක් වුවද, මේ කාඩ්බෝඩ් කුූඩුව සඳහා ත්‍රිකෝණාකාර කැබලි ද අවශ්‍යවේ. ඒ පට්ටම සාදා සව්කඩදාසි ඇලවීමක් මෙහිදී නොමැති බැවිනි.



මා හතරැස් කොටස් සහ ත්‍රිකෝණාකාර කොටස් එකිනෙක සවි කළේ ස්ටේප්ලර් කටු මගිනි.



කූඩුව සෑදීගෙන එන අයුරු.







සැකිල්ල සාදා අවසන් බව පෙනුණත් එහි හෙලවෙන ස්වභාවයක් විය. ඒ ගැන සොයා බැලූ විට මා දුටුවේ කූඩුවේ උඩට සහ යටට සවි කිරීමට විශේෂ කාඩ්බෝඩ් කැබලි දෙකක් ඇති බවයි!



මෙන්න අටපට්ටම.



එක් සව් කඩදාසියකින් රැළි ද කැපුවෙමි.





රැළි ද සවි කළ කූඩුව අපේ නිවස ඉදිරිපස සුදලෙන අයුරු.



මා අවසාන වරට වෙසක් කූඩුවක් හැදුවේ නමවෙනි ශ්‍රේණියේ දී පමණ බව මගේ මතකයයි. ඒ පරම්පරා දෙකකට පමණ පෙර ය.

එදා, උණ බටයක් කපා, ඉරා, එක ප්‍රමාණයට කෝටු විසි හතරක් සකසා ගෙන, හතරැස් කොටු හයක් කම්බිවලින් බැඳ සාදා, ඉන්පසු ඒවා එකිනෙක බැඳ අටපට්ටම සාදා, සව්කඩදාසි අලවා, රැළි දමා, ඒ සියලු කටයුතු සඳහා දින කිහිපයක් ගත කර, අටපට්ටමක් සාදා ගන්නවාට වඩා මේ පැතලි පැකට්ටුවල එන මුද්‍රිත කාඩ්බෝඩ් කෑලි එකට ඈඳා අටපට්ටමක් සෑදීම ටොයිස් වැඩක් බව කිව යුතු ය.

එසේ නමුත්, මේ කුඩා කූඩුව සැදීමට ද පැයක් පමණ ගත විය.

පැකට්ටුවේ තිබුණු අනෙක් කූඩු පසුව සාදමි.

අද වෙසක් වුව ද, සිනුවර පන්සල්වල වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මේ සතියේ සෙනසුරාදා ය.

සැමට ප්‍රීති වෙසඟක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද ෆේස්බුක් හි අදහස් දැක්වූ මිතුරන් දෙදෙනෙකු ම පවසා තිබුණේ ලංකාවේ ඇති වෙසක් සැරසිලි සියල්ල ම පාහේ චීනයේ නිෂ්පාදන බවයි.
එසේ වුව ද, මේ අටපට්ටම් වෙසක් කූඩු කට්ටලය නම් ලංකාවේ නිෂ්පාදනයකි.

ප/ප/ලි:
අමතක වූ දෙපස රැළි සවි කළ පසු!


(image: https://www.timeout.com/sri-lanka/art-culture/how-to-make-a-vesak-lantern)

ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak


අලුත් අවුරුද්ද සඳහා මෙන් ම වෙසක් පෝය සඳහා ද ලංකාවේ දින දෙකක් ම නිවාඩු ඇති බව මගේ මතකයයි. නිවාඩු වැඩිවීමක් මිස අඩුවීමක් නැති නිසා, එය තවමත් එලෙස විය යුතු ය.

අලුත් අවුරුද්ද සඳහා ඇති නිවාඩු දින දෙකෙන් අමතර නිවාඩු දිනය ලෙස ඇත්තේ අලුත් අවුරුද්ද උදාවෙන දිනයට පෙර දිනයයි.

ඒ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සූදානම් වීමේ කටයුතු කිරීම පිණිස විය යුතුය.

නමුත්, වෙසක් උත්සවය සඳහා පෝය දිනයේ ලැබෙන නිවාඩුවට අමතර නිවාඩු දිනය හැම විටම පෝය දිනයට පසු දිනය වේ.

එයට හේතුව දන්නවා ද?

වෙසක් පෝය දින නිවාඩු දෙන්නේ දන් සිල් භාවනා යනාදිය සඳහා ය.

වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දෙන්නේ ඔළු බක්කන් නැටවීම සඳහා ය.

වෙසක් දවසේ නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වැඩ අකැප වේ.

එනිසා, ඔළු බක්කන් නැටවීම හෙට කරමි.

මෙන්න අද වෙසක් පෝය දවස වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණය වෙන කවි පන්තියක්. මෙය මුලින් ම පළවුනේ වසර පහකට කලිනි.

බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ

උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
සත්තම දමන්නට එන්නේ කොයි කවුද
ඇත්තම වීඩියෝවල සටහන් වුවද
ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද

අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

ගුවන් විදුලියේ හැම දිනයකම බණ
නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
මෙවන් පිනට බර දේසෙක හතර කොන
රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

ගතේ දැවටුනද බණ පද නිරන්තර
අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර


-රසිකොලොජිස්ට්

Tuesday, 9 May 2017

හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts


මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.

කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.

නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී පමණ එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ශාලාවක සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවත්වුණු කුකරි පන්තියකට ගොස් කේක් සෑදීමට ඉගෙන ගත් අපේ අම්මා, මල්ලිලා දෙදෙනාගේත්, මගේත් උපන්දින සැමරීමට ඩේට් කේක් නම්, සාමාන්‍ය බටර් කේක්වලට වඩා ඉතා රසවත්, කේක් වර්ගයෙන් කිලෝවක පමණ කේක් ගෙඩියක් සාදන්නට පටන් ගත්තා ය.

නමුත් ඉටිපන්දම් පත්තු කිරීමක් හෝ "හැපි බර්ත්ඩේ ටූ යූ!" ගීය ගායනා කිරීමක් හෝ කිසි දිනෙක සිදු නොවුණි.

මේ අතීතාවර්ජනය නිතැතින් ම සිදුවුණේ, අදට යෙදෙන අපේ පුතා ගේ උපන් දිනය සඳහා සටහනක් ලිවිය යුතු යැයි සිතට ආ මොහොතේ ය.

අද එළැඹෙන්නේ ඔහු ගේ ජීවිතයේ දහසයවෙනි උපන්දින සැමරුම යි. හෙට සිට අපේ පුත්‍රයා, ජීවිතයේ දාහත්වෙනි වසර අරඹයි.

පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම දා මා රසිකොලොජියේ පළ කළ "පුතාගෙන් අතීතය දැකීම - Back to the future" ලිපියේ මා සඳහන් කළේ ඔහු පොත් කියවීම අඩු බවයි. ඒ දියණිය සම වයසේ දී කළ කී දෑ පිළිබඳ මතකය අනුව කළ සංසන්දනාත්මක නිරීක්‍ෂණයකි. නමුත්, පුතා ගේ පරම්පරාවේ හිරිමල් තරුණ තරුණියන් අද ගත කරන්නේ මුද්‍රිත පොත් කියවන, පෑනෙන් අකුරු ලියන යුගයක් නොවන බව ද මම ඒ සටහනේ සඳහන් කළෙමි.

තමන් උපන් ඕස්ටේ‍ර්ලියානු ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට දෙමව්පියන් සමග පදිංචිය වෙනස් කරන්නට සිදුවුණු නිසා, අවුරුදු හතරහමාරෙන් 2006 ජනවාරියේ දී පාසල් යෑමට වරම් ලද, අපේ පුතා, මේ ගෙවන්නේ පාසල් දිවියේ දොළොස් වෙනි වසරයි.

එනම්, ඔහු දැන් ඉගෙනුම ලබන්නේ එකොළොස් වෙනි ශ්‍රේණියේ ය. ලබන වසර අවසානයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිනු ඇත.

අධ්‍යාපනයේ අරමුණ යනු ඉහළ විභාග ප්‍රතිඵල ලැබීම නොවන බව කට කැඩෙන තුරු විවිධ ප්‍රාඥයින් ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කුමක් දැයි අපි හොඳින් දනිමු.

මගේ පාසල් ජීවිතයේ දී මුහුණ දුන් විභාගවලදී මා හොඳම ලකුණු ලබ ගත්තේ පහේ පන්තියේ දී ය. එතැන් සිට උසස් පෙළ දක්වා මා කළේ 87% සිට 69.25% දක්වා මහා පල්ලම් බැසීමකි.

මා මුහුණ දුන් ඒ පහේ පන්තියේ විභාගයට සමාන විභාගයේ දී අපේ පුතා ලබා ගත්තේ ලකුණු 69.67% පමණකි. නමුත්, එතැන් සිට ඔහු කළේ තාත්තා මෙන් පල්ලම් බැසීමක් නොව මහා කන්දක් නැගීම ඇරඹීමයි.

ඒ ගමනේ විවිධ සලකුණු දැන් දැන් විද්‍යාමානවෙමින් පවතී.

ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය!

-රසිකොලොජිස්ට්