
පැරණි සිංහල චිත්‍රපටයක් වන "සැඩ සුළං" හි එන තැබෑරුමක දර්ශනයක දී ගැයෙන "පදමට පොල්තෙල් ගහපල්ලා!" යන ගීතයේ පද කිහිපයක් මෙසේය.
ලොකුකම්, පොඩිකම් තැබෑරුමේ නෑ,
අපි කවුරුත් සමසමාජයයි
ජුංඩල, බණ්ඩල, මන්තිරි හාමුල
ගහන්නෙ මෙතෙන්දී පොල් තෙල් ම යි!
මෙහි "පොල්තෙල්" යනුවෙන් රචකයා (ආනන්ද සමරකෝන්) අදහස් කළේ "කෂියා" විශේෂයක් ද නැතිනම් ඒ කාලයේ සීල් අරක්කු නමින් හැඳින්වුණු නීතිගත මධ්‍යාසාර වර්ගයට යෙදෙන සුවිශේෂී නමක්දැයි නොදනිමි.
ඒ කෙසේ වෙතත් මට මේ ගී පදයේ ඇති වැදගත් කරුණ නම් සමසමාජය යන පදය සහ ජුන්ඩලා සහ බණ්ඩලා පිරිස මන්තිරි හාමුලාට සමාන බව කීමයි.
එක එල්ලේ අරුත වැටහෙන සමසමාජය (=සමාන සමාජය) යන්න සමාජ දේශපාලන වශයෙන් උත්තර දේශයක් ගැන කෙරෙන ප්‍රාර්ථනාවක් බව අපි දනිමු. ඒ යුටෝපියානු සංකල්පයට ඇති විරෝධය කෙසේ වෙතත්, සමසමාජය යන්න, ලංකාවේ දේශපාලන පක්‍ෂයක නම වූ නිසා ද, ඊට අමතරව, ඒ ගිතයේ වෙනත් පදවලින් කෙලින්ම කියවෙන ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳ උපහාසාත්මක කරුණු නිසා ද, ජුන්ඩලා සහ බණ්ඩලා සමග මන්තිරි හාමුලා සමාන කළ එම ගීතය ඒ කාලයේ රජයේ බලපෑම මත යම්කිසි ආකාරයක තාවකාලික හෝ තහනමකට ලක් වූ බව ද කියවේ.
අද සමසමාජ පක්‍ෂයේ ඉතිරිව සිටිනා නායකයින්ගෙන් එක් අයෙකු වෙන කූප්‍රකට වාසුදේව නානායක්කාර ගැන මා කලකට පෙර අසා ඇති, එසේම සමහර විට නගරබද මිථ්‍යාවක් වීමට ද ඉඩ ඇති, එක් කතන්දරයක් මෙසේය.
දිනයක් වාසුදේව නානායක්කාර ගමේ ප්‍රභූවරයෙකු මුණ ගැසීමට ඔහුගේ නිවසට ගියේය.වලව්වේ හාමුලා හෙවත් හාමුදුරුවරුන් යනු වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂයන් වේ. වැඩවසම් ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සහිත සමාජයක් බිහිවුණද, ඒ සමාජයේත් සෑහෙන කාලයක් යනතුරු පරණ වලව්වේ හාමුදුරුවරු මෙන්ම අලුතින් බිහිවුණු නඩුකාර හාමුදුරුවරුන් ද සිටියහ.
"කෝ අහවල් මහත්තයා ඉන්නවා ද ගෙදර?" වාසුදේව නිවසේ ගේට්ටුව අසල සිටි සේවකයාගෙන් විමසා ඇත.
සේවකයා එවිට කියා ඇත්තේ "අද හාමුදුරවෝ වලව්වේ නැත!" කියා ය.
"එහෙනම් හාමුදුරුවෝ ආවම කියපං බුදු හාමුදුරුවෝ ඇවිත් ගියාය කියලා" යැයි වාසුදේව සේවකයාට පවසා ඇත.
ඉහත සරදම කරමින් එදා වාසුදේව ප්‍රතික්‍ෂේප කළේ ඒ හිරිකිත දනවන තත්වයයි. ඔහු එදා සැබවින්ම පෙනී සිටියේ සමාජයේ සාමාජිකයින් සැවොම එක හා සමානයින් ලෙස සැලකෙන සමසමාජයක් වෙනුවෙනි.
නමුත් තත්වය තවමත් වෙනස් වී නැත. ඒ ධුරාවලි සමාජ නාරවලේ දිගටම ගිලෙමින් වහලුන් ලෙස ම සිටින්නට අපේ ඇත්තන් ගේ ඇති ආශාව මහින්ද රාජපක්‍ෂට රජතුමා යැයි නම් පටබැඳීමෙන් ම මනාව ඔප්පු විය.
එසේම නමින් සමසමාජයක් සඳහා පෙනී සිටිය ද, එම දේශපාලන පක්‍ෂය ගැන සිතනවාත් සමගම අද සිහියට එන කාලෝ ෆොන්සේකා, තිස්ස විතාරණ මෙන් ම වාසුදේව නානායක්කාර වැන්නන් ලංකාව යළි වැඩවසම් ක්‍රමයකට ගෙන යන්නට තැත දරන ජෝකරයන් බවට පත් වී තිබීම නම් දෛවයේ කුරිරු සරදමක් ම ය.
සමහර විට ඔවුන් පෙනී සිටින මේ ට්‍රොට්ස්කිවාදී සමසමාජය යනු අර ලෝ ප්‍රකට "ඇනිමල් ෆාම්" කෘතියේ දී ජෝර්ජ් ඕවල් විසින් ට්‍රොට්ස්කිවාදීන් ගේ පසමිතුරන් වූ ස්ටාලින්වාදීන්ට සරදම් කරන්නට උපයෝගී කරගත් "සියලු දෙනාම සමාන එහෙත් සමහර දෙනා අන් අයට වඩා වැඩියෙන් සමාන" වර්ගයේ සමසමාජයක් විය යුතුය.
වාසුදේව නානායක්කාර යනු මගේ මවටත් වඩා මාස කිහිපයක් වැඩිමහලු පුද්ගලයෙකි.
මගේ අම්මා නම් මේ දිනවල කරන්නේ පසළොස්වක පෝය දිනවල පනසලේ සිල්ගනිමින්, දිනපතා බණ පිරිත් අසමින් (එසේ ම ටෙලිනාටක ද නරඹමින්), වන්දනා ගමන්වල නිරත වෙමින්, කෙදිනක හෝ අනිවාර්යෙන් එළැඹෙන බව හොඳින් දන්නා පරලොව සඳහා සූදානම් වීමයි.
වයසෙන් අඩු වැඩි වශයෙන් සමාන වුවද, වාසුදේව නානායක්කාර, මගේ අම්මා අද තම ජිවිතය ගෙන ආකාරය අනුගමනය කළ යුතු යැයි මම කිසිසේත් ම නොකියමි. මක්නිසාද යත්, මට අම්මා ගේ වයස එළඹුණු දිනයක පන්සල් යෑමට හෝ බණ ඇසීමට හෝ අදහසක් මා තුළ නොමැති හෙයිනි.
නමුත් මට ඒ සමාන කිරීම නොකර සිටීමට නොහැකි විය!
-රසිකොලොජිස්ට්
(image: http://newsfirst.lk/english/wp-content/uploads/2015/02/sama-samaja-summit.jpg)