Tuesday 15 February 2022

චීන කවියක් නිසා ලියවුණු සටහනකි - Anything lost?


විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් සිටි නමුත්, පළමු වසරේ මුල් මාස දෙක හමාරේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ ජීවිතය සහ දෙවන මාස දෙක හමාරේ මෙන්ම සිව්වෙනි වසරේ මැද භාගයේ මසක් පමණ කාලයේ සවස්වරු කිහිපයක් අමතක කළ හොත්, මගේ ජීවිතය වැඩිපුර ම ගෙවුණේ මහවැලි ගඟේ වම් ඉවුරේ ය.

එනිසා ම නොවුණත්, මට නිකමට හෝ ශාස්ත්‍ර පීඨයේ එනම් කලා පීඨයේ දේශනයක් අහන්නට ලැබී නැත.

ඇත්තටම, මා ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයට ජීවිතය පළමුවෙනි වතාවට ගියේ විශ්වවිද්‍යාලයෙන් පිට වී දශක දෙකකටත් පසු 2008 අවුරුද්දේ දී යි. ඒ මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියූ කෙටිකතා ඇතුළත් "තිරස තරණ" ග්‍රන්ථයේ පිටපත් කිහිපයක් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබා දෙන්නයි.



"කන්දෙන් ලන්දට" යන ගීතයක අප අසා පුරුදු යෙදුම, උපහාස කතා රචකයෙකු වූ, (දිවංගත) මහාචාර්ය මිණිවන් පී තිලකරත්න විසින් තම නවකතාවක නම සඳහා යොදාගෙන තිබුණේ, ඔහු ද කළ ආකාරයට, කඳුරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගෙන, පහතරට පිහිටි විශ්වවිද්‍යාලයක සේවයට යෑම සංකේතවත් කිරීමට ය. ඒ වචනම උපයෝගී කරගෙන විස්තර කරනවා නම් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියන්නේ "ලන්දෙන් කන්දට" ආ පුද්ගලයෙකි.

දෙවරක් පමණ හමු වී කතා බහ කර ඇති, මගේ ෆේස්බුක් මිතුරෙකු ද වන, ලියනගේ අමරකීර්ති විසින් ඊයේ අපට නවමු අත්දැකීමක් ලබා දුන්නේ ය. එය නම්, ඔහුගේ දේශනයක කොටසකට අනියම් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාවකි.

පහත දැක්වෙන්නේ සහශ්‍රක දෙකකටත් ඉහත කාලයක ජීවත් වුණු (එසේ ම, රැවුල වවපු කොණ්ඩෙ බැඳපු) චීන අධිරාජයකු විසින් ලියන ලද විරහ කවියකි.

The sound of her silk skirt has stopped.
On the marble pavement dusk grows.
Her empty room is cold and still.
Fallen leaves are piled against the doors.
Longing for that lovely lady,
how can I bring my aching heart to rest?

Wu Ti, 6th Han Emperor, 157-87 BC
Translated by Arthur Waley

මහැදුරු ලියනගේ අමරකීර්ති අපට කියා තිබුණේ එම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න කියායි. එය ඔහුගේ යම්කිසි දේශනයක ද උපයෝගී කරගන්නා කවියක් බව කියවුණි.

අද උදෑසන පාතරසය රසවිඳින අතරතුර මට ඒ සඳහා යම් උත්සාහයක නිරත වෙන්නට කාලය් ලැබුණි.

මෙන්න එහි මුල් ප්‍රතිඵලය.

සේද සායෙන් ඇගේ, නැගුණු නද නැවතිලා
කිරිගරුඬ පුවරු මත ගොම්මන ද බෝ වෙලා

ඇගෙන් හිස් වූ කුටිය, සීතල ය, නිසසල ය
දොර අසල ගොඩ ගැසුණු මිලින වූ තුරු පත් ය

ඒ සොඳුරු කත කෙරෙහි ලාලසාවන් සිටිමි
රිදුම් දෙන හද මගේ කෙලෙස සතපා ලම් ද?


සියයට සියයක පරිවර්තනයක්, විශේෂයෙන් ම කවියක පරිවර්තනයක්, කිසිවෙකුට කළ හැකි වේ යැයි නොසිතමි. සෑම පරිවර්තනයක් ම, අඩුවැඩි වශයෙන් අනුවර්තනයකි. මෙහි ප්‍රතිශතය 90% පමණ වේ යැයි සිතමි. වචන සහ අදහස සම්බන්ධයෙන් එසේ වුව ද, කවියේ ධ්වනිතාර්ථය, මැවෙන රසය නම් එලෙස පරිවර්තනය කිරීම ඉතා අසීරු වේ. ඉංග්ලිෂ් භාෂාවෙන් Loss in translation කියන්නේ මේ කාරණය ගැනයි.

මෙහි දී අප නොදන්නා අනෙක් කාරණය නම්, මුල් චීන කවිය අප කියවන ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය වෙන අවස්ථාවේ කෙතරම් ප්‍රතිශතයක් නැති වූවා ද යන්නයි.

කෙසේ වෙතත්, මගේ උත්සාහය වූයේ නිසදැසක් නොව තාලයකට කිව හැකි කවියක් නිර්මාණය කිරීම බව ලියා තබමි.

පරිවර්තන සහ අනුවර්තන ගැන මා කාලයක් තිස්සේ අසා තිබුණත්, ඒ රේඛාවේ අනිත් අන්තයේ පිහිටි ප්‍රති-රචනය සහ සෙවනැලි රචනය ගැන මා දැනගත්තේ පිළිවෙලින් හෂිත අබේවර්ධන සහ ප්‍රියන්ත ෆොන්සේකා නිසා බව කිව යුතුයි.

අම්බලවානර් සිවානන්දන් ගේ When memory dies නම් කෘතියේ ප්‍රති රචනයක් හෂිත අබේවර්ධන විසින් මීට වසර කිහිපයක්ට පෙර "මතක මියෙන සඳ" ලෙස ඉදිරිපත් කළේ ය.


දශකයකටත් වඩා දිගු කාලයක් තිස්සේ විදෙස් කවි අනුසාරයෙන් තමන් කරන නිර්මාණ "කවි සෙවණැල්ල" නම් බ්ලොගයක පළ කළ ප්‍රියන්ත ෆොන්සේකා දැන් ඒ කවි එකතුව කවි පොතක් ලෙස ඉදිරිපත් කර තිබේ.


ඒ වගත් මෙසේ ම,

-රසික සූරියආරච්චි

(images: various sources in Internet)