Showing posts with label ආනන්ද විද්‍යාලය. Show all posts
Showing posts with label ආනන්ද විද්‍යාලය. Show all posts

Monday, 1 November 2021

කොළඹ දිය කිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු! - Random thoughts on school education in Sri Lanka



ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මෑත අතීතය දක්වාම ලංකාවේ අධ්‍යාපනය මූලිකව ම කේන්ද්‍ර වී තිබුණේ පන්සල් වටා බව පැහැදිලි ය. ගමේ ගුරු ගෙදර යන සංකල්පය ගැන අසා තිබුණද, ඒ සේවය සාමාන්‍ය සාක්‍ෂරතාවය ලබා දීමෙන් ඔබ්බට ගියේ ද යන්න සැක සහිත වේ. වෙදකම, නක්‍ෂත‍්‍රය හැරුණු කොට ඉගෙනීමට තිබුණු එකම විෂයය වූයේ ආගම ධර්මය විය යුතුය. ඒ පන්සල් අධ්‍යාපන ක‍්‍රමයේ වත්මන් ස්වරූපය පිරිවෙන් ලෙසින් අද ද දක්නට ඇත.

පන්සල් ආශ‍්‍රිත පිරිවෙන් අධ්‍යාපනයේ එක් සීමාවක් වනුයේ එහි විෂයය මාලාවයි. එය සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් සහ බුද්ධ ධර්මය ඉගෙනීමෙන් පිට යතැයි මම නොසිතමි.

ඒ ආකාරයේ ම එකල පැවති තවත් සීමාවක් වූයේ මේ අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබිය හැකි වූයේ වැඩවසම් සමාජයේ තරමක් හෝ ඉහළ පවුල්වල පිරිමින්ට පමණක් වීමයි. පැහැදිලි හේතූන් මත කාන්තා පක්‍ෂයට පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් නොහැකි විය. පැරණි සිංහල පතපොත ලියූ අය අතර කාන්තාවන් නොමැත්තේ ඒ නිසා යැයි සිතමි. භික්‍ෂුණී සසුන සාපේක්‍ෂකව කෙටි කාලයකින් ම ලංකාවෙන් තුරන් වී තිබීම මේ කාන්තා උගතුන් නොමැති වීමට හේතුව විය හැක.

මෑත අතීතයේ දී විසූ කිවිඳියක වන ගජමන් නෝනා කුඩා කළ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන ගත්තේ පිරිමි ළමයෙකු ලෙස වෙස් ගැනීමෙන් පසුව බව කියවේ.

බටහිර ක‍්‍රිස්තියානි සමාජයේ ද අධ්‍යාපනය මුල් බැස්සේ ආගම වට කොට ගෙන පල්ලිය කේන්ද්‍රය කොට ගෙන බව පෙනේ. ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට නතු වෙන කාලය වන විට එකී පල්ලියේ අධ්‍යාපනය හුදෙක් පූජකයින්ට පමණක් සීමා නොවී විවිධ ජන කොටස්වලට ද ප‍්‍රයෝජනවත් වන පාසල් අධ්‍යාපනයක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පෙරළී තිබුණු බව කිව හැක. මිෂනාරී අධ්‍යාපනය ලෙසින් හැඳින්වෙන්නේ ඒ වැඩ පිළිවෙළයි. ලංකාවේ කොළඹ, යාපනය, මහනුවර ආදී ප‍්‍රධාන නගරාශ‍්‍රිතව කතෝලික සහ අනෙකුත් ක‍්‍රිස්තියානි නිකායන්ට අනුබද්ධිතව පාසල් ගොඩ නැගුනේ මේ මාර්ගයෙනි.

සෑම ක‍්‍රිස්තියානි නිකායකම පාහේ කාන්තා පූජ්‍ය පක්‍ෂයක් තිබුණු හෙයින් කන්‍යාරාම ආශ‍්‍රිතව ගැහැණු ළමුන් සඳහා ද පාසල් බිහිවිය.

විවිධ විෂයයන් ඉගැන්වීම කෙරුන ද, මේ මිෂනාරී අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ ද, පිරිවෙන් ක‍්‍රමය මෙන්ම ආගම වැඩි දියුණු කිරීම බව පැහැදිලි ය.

බටහිර ගොඩ නැගුණු තියෝසොෆිකල් හෙවත් පරමවිඥාර්තවාදීන් ගේ නායකයින් වන ඕල්කොට් සහ බ්ලැවැස්කි දහනමවන සියවසේ ලංකාවට පැමිණි විට එවකට පැවති ක්‍රිස්තියානි මිෂනාරි පාසල් පද්ධතිය සහ ඒවායේ ඉගැන්වීම් හරහා ලංකාවේ බෞද්ධයින් ක‍්‍රිස්තියානිකරනය වන බව පෙනෙන්නට ඇත. එය වැළැක්වීම සඳහා ඔවුන් ගේ උපායයික ක‍්‍රියාමාර්ගය වූයේ ඔවුන් දන්නා බටහිර අධ්‍යාපන රටාව මතම නමුත් බුද්ධාගම සහ ඒ ආශ‍්‍රිත විෂයයන් ද උගන්වන බෞද්ධ මිෂනාරි පාසල් පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමයි.

ඒ මෙයින් වසර එකසිය තිස්පහකට පෙර ය.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ඇති කළ ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් ද ඒ අනුකාරකව බිහි වූ බෞද්ධ පාසල් ද අති බහුතරය කොළඹ සහ ප‍්‍රාදේශිය ප‍්‍රධාන නගරබදව පිහිටවනු ලැබීය. මේ පාසල් බොහොමයක් ක‍්‍රි‍්‍රයාත්මක වූයේ නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස බැවින් රටේ විවිධ පළාත් වල ඇති-හැකි පවුල්වල සිසුන් ට ඒවාට බැඳී නේවාසිකව ඉගෙනුම ලැබිය හැකි විය. නිදහසින් හැට වසරකට පසුව අද ද ලංකාවේ අධ්‍යාපනය වසාගෙන ඔඩු දුවා තිබෙන තිබෙන "කොළඹට කිරි - ගමට කැකිරි" පිළිලයේ ආරම්භය එයයි.

ලංකාවට අවශ්‍ය වන්නේ ප‍්‍රධාන නගරවල තිබෙන සුපිරි පාසල් කිහිපයක් නොව, සෑම නගරයක්ටම, ඒවයේ තදාසන්න ප‍්‍රදේශයකටම විහිදුණු හොඳ පාසල් ජාලයක් බව මගේ අදහසයි. එවැන්නක ආරම්භය ලෙස විසිවන සියවසේ මුල් අර්ධයේ ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල ජාලය සැලකිය හැක. මුල් යුගයේ විශාල වර්ධනයක් පෙන්වා ඇති වුව ද, පසු කාලීන ව සිදුවූ රාජ්‍ය මට්ටමේ කුඩම්මාගේ සැලකිලි නිසා මධ්‍ය මහා විද්‍යාලවලට සිය උපරිම විභවය කිසි දිනක ළඟා කර ගත නො හැකි විය. ඒවා අද ද ප‍්‍රාදේශීය දරුවන් ගේ තෙවන පෙළ තේරීම් පමණකි.

එක්කෝ මධ්‍ය මහා විද්‍යාල ජාලය පුනරුත්ථාපනය කර ගැනීම හෝ නැවතත් එවැනි ප‍්‍රාදේශීය පාසල් ජාලයක් පිහිටුවීම කරනතුරු, අපට කළ හැක්කේ ප‍්‍රාථමික ගෝත‍්‍රවාදී සංකල්පයක් ලෙස මට පෙනෙන ආදී ශිෂ්‍ය සංගම් හරහා ඇති-හැකි අයුරින් පවතින ක‍්‍රමයට ම දර දිය ඇදීමයි.

-රසික සූරියආරච්චි


ප/ලි: මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියක් අකුරු කිහිපයක් වෙනස් කර නැවත පළ කිරීමකි. (images: http://en.wikipedia.org/)

Saturday, 8 May 2021

අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees


මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ අම්මා හැඬුවාය.

ගණිත විෂයයන් හැදෑරු මා ලබා තිබුණේ අධි සම්මාන (බී සාමාර්ථ) දෙකක් සහ සම්මාන (සී සාමාර්ථ) දෙකක් පමණි. අම්මලා එච්.එස්.සී. හැදෑරූ කාලයේ නම් මේ වනාහී අති විශිෂ්ට ජයග්‍රහණයකි. එකල, සම්මාන, අධි සම්මාන නොව සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගන්නා ශිෂ්‍යයෙකු පවා විශ්වවිද්‍යාල වරම් ලැබීම අරුමයක් නොවීය.

නමුත් මේ පනහ දශකයේ අග භාගය නොවේ. අසුවේ දශකයේ මුල් කාලයයි. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩි වීමට වඩා ඉහළ වේගයකින් වැඩි වී තිබුණි. ඒ සමගම, සමස්තයක් වශයෙන් අපේ පරම්පරාවේ ඉගෙනුමට ඇති අවශ්‍යතාවයේ, හැකියාවේ, මෙන්ම උනන්දුවේ ද පරිණාමික වර්ධනයක් ද දක්නට ලැබුණි.

මේ පරිණාමික වර්ධනය ගැන උදාහරණයක් දෙන්නේ නම්, අපේ අම්මලාගේ කාලයෙන් දශකයකට පසුව වුවද, සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයක් සමත් වී සම්මාන තුනක් ලබන්නා මහා වීරයෙක් වූ බව කියවේ. ඔහු හෝ ඇය, විෂයයන් දෙකක් ම ගෙඩි පිටින් අසමත් බව කිසිවෙකු නොතැකූහ. එනමුදු මා උසස් පෙළ කරන කාලය වන විට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ අටක් ම ලබා ගන්නෝ සිය ගණනින් බිහිවන්නට පටන් ගෙන සිටියහ.

අම්මා ඇඬූයේ බැලූ බැල්මට ප්‍රමාණවත් නැති යැයි සිතෙන මගේ විභාග ප්‍රතිඵල හෙවත් "B-දෙකයි, C-දෙකයි" නිසා ම නොවේ. උසස් පෙළ විභාගයට "හිතට අරගෙන" වැඩ කරන්නට පටන් ගත් දින සිටම වාගේ ස්වයං-උත්තේජනයකට මෙන්ම ධනාත්මක අභිප්‍රේරණයකට ද මා ලක් කරගන්නට සිතා, කඩදාසියක ඇඳ කාඩ්බෝඩයක අලවා සාදා ගෙන ලියන මේසයේ මා දෙනෙත ඉදිරිපිට හොඳින් පෙනෙන්නට සවිකරගෙන සිටි ඉංගිරිසි "A" අකුරෙන් යුතු පුවරුව ද නිසා ය.

උදේ හවා එකී "A" අකුර සහිත පුවරුව ඉදිරිපිට සිට මා පාඩම් කටයුතු කරනු දැක, උසස් පෙළ විභාගයෙන් සත්‍ය වශයෙන්ම මා "A" සාමාර්ථ හෙවත් විශිෂ්ට සාමාර්ථ හතරක් ම ගනු ඇතැයි ඇය ස්වයං-මායාවකට අසුවී සිටි නිසා ය.

මා ලැබූ ප්‍රතිඵල ගැන මට ද දුකක් නොදැනුණේ නොවේ. අම්මාගේ කඳුළු මුලින් දැක කාමරයට ගිය මා මගේ පෙර කී "A" අකුර සහිත පුවරුව දුටුවේ කඳුළු අතරිනි.

"A" සාමාර්ථ හතරක් කෙසේ වෙතත් යාන්තමින් "A" තුනක් සහ රසායන විද්‍යාවට "A" සම්මාන සාමාර්ථයක් ලැබේ යැයි විභාගයෙන් පසු මා ප්‍රශ්න පත්‍ර සහ අදාළ සටහන් පොත් උඩු යටිකුරු කර සසඳමින් ඇස්තමේන්තු කර තිබුණි.

සැමවිටම මගේ ඇස්තමේන්තු මට වාසියට සිදුවෙන්නට ඉඩ-කඩ ඇති බව සැබවි. එහෙත් එය එසේ වුවද, මට "B" සාමාර්ථ තුනක් හෝ අඩු වශයෙන් ලැබිය යුතුව තිබුණු බව මට වැටහිණ. ලැබී තිබුණේ ඊට වඩා අඩු ප්‍රතිඵලයකි. මේ සියල්ල මැද මට දරාගන්නට නොහැකි වූ පරාජය වූයේ මා විශිෂ්ට සාමාර්ථයක් හෙවත් "A" එකක් අනිවාර්යෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ ව්‍යවහාරික ගණිතය විෂයයට මට ලැබී තිබුණේ "C" සාමාර්ථයක් පමණක් වීමයි.

ඉල්ලුම තරමට සැපයුම නැති ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරීමට සහ එහි දී ද තමන්ට අවශ්‍ය පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීමට විභාග ප්‍රතිඵල අනුව අපොහොසත් වේ යැයි සිතන සිසුන් හමුවේ, නැවත වරක් විභාගයට පෙනී සිටීමට අමතරව, ඇති විකල්පයක් වන්නේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම් කිරීමයි.

අපේ වාරයේ දී අගෝස්තුවේ පැවති අපේ උසස් පෙළ විභාගය ඊළඟ වසරේ දී, අප්‍රියෙල් දක්වා ඉදිරියට පමුණුවා තිබුණි. ඒ සඳහා අයැදුම් කිරීමේ අවසාන දිනය ඉතා අසාධාරනව යොදා තිබුණේ, අපේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට මාසයකට පමණ කලිනි. මා ඒ සඳහා ඒ කාලයේ හැටියට විශාල මුදලක් වූ රුපියක් අසූවක් ම ගෙවා මේ වන විට අයැදුම් කර හමාරය. නව නිර්දේශය සඳහා වූ විභාගය අගෝස්තුවේ දී පැවැත්වීමට නියමිත වූ බැවින් මගේ සමහර මිතුරෝ එය තම විකල්ප ගැලවුම ලෙස යොදාගෙන සිටියහ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා එක් විෂයයකට ගාස්තුව රුපියල් පනහකි. ව්‍යවහාරික ගණිතය සඳහා මා ලබා තිබූ ප්‍රතිඵලය පිළිබඳව මා සිත තුළ කෙතරම් සැකයක් තිබුණේ වුවද, දෙමව්පියන් ගේ සල්ලිවලින් තවත් රුපියක් පනහක් වැය කිරීමට මට සිත් නොදුනි.

මා ලෙසම හිතුවාට වඩා අඩු ප්‍රතිඵල ලැබූ මා මිතුරෙකුට ඔහුගේ දෙමව්පියන් පවසා තිබුණේ, එක්කෝ විෂයයන් තුනම නැවත සමීක්ෂණයට රුපියක් දෙසීයක් දීමට හැකිය, එසේ නැතිනම්, නැවත විභාගයට අගෝස්තුවේ දී පෙනී සිටීමට විභාග ගාස්තු සහ අනෙක් වියදම් සඳහා ඒ මුදලම දිය හැකිය, නමුත් ඒ කාරණා දෙකටම මුදල් වියදම් කිරීම නම් කිසිසේත්ම කළ නොහැකිය, කියායි.

මේ අවස්ථාවේ දී මගේ පිහිටට ආවේ මගේ මවගේ බාලම නැගණිය හෙවත් මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ය.

"ප්‍රතිඵල වෙනස් වේවි යැයි පුතාට හොඳටම විශ්වාසය ඇති විෂය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කරන්න!" යැයි පවසා ඇය මට රුපියක් පනහක් දුන්නා ය.

මම ඒ මුදලින් ව්‍යවහාරික ගණිතය විෂයය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කළෙමි.

කාලය ගත වී ගියේය. මම අප්‍රියෙල් මාසයේ දෙවන වරටත් උසස් පෙළ සඳහා පෙනී සිටියෙමි. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා මා මුල් වතාවට වඩා හොඳින් විභාගයට මුහුණ දුන්නා යැයි විභාගය අවසානයේ මට වැටහිණි. රසායන විද්‍යාව විෂයය පිළිබඳව නම් මගේ සිත තුළ ඉතිරි වූයේ කුකුසක් පමණි.

විභාගයෙන් පසු මුළු දිවා කාලයම ගලහිටියාව ගම් සභා පුස්තකාලයේ ගතකරමින් පොත් කියවීමටත්, රාතී්‍ර කාලය පුස්කාලයෙන් දිනපතා ගෙන එන පොත කියවීමටත්, ගත කරන්නට පුරුදු වූ මගේ සිතට නිරතුරු වද දුන් ප්‍රශ්නාවලිය වූයේ විභාග ප්‍රතිඵල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයයි.

"B" සාමාර්ථ දෙක සහ "C" සාමාර්ථ දෙක සඳහා මට අවම වශයෙන් ලකුණු දෙසිය හතළිහක් ලැබී තිබිය යුතු වූ අතර, උපරිමය ලෙස ලකුණු දෙසිය හැත්තෑ හයක් ද ලැබී තිබෙන්නට ද ඉඩ ඇත. ඒ වනාහී ලකුණු තිස් හයක දැවැන්ත පරතරයකි.

ඒ අවමය මට කොළඹ දිස්ත්‍රික්කයෙන් ගණිත ධාරාවේ විශ්ව විද්‍යාල පාඨමාලාවකට ඇතුළුවීමට ප්‍රමාණවත් වේද? ඒ උපරිමය මා බලාපොරොත්තු වූ පරිදි ඉංජිනේරු පීඨයට ඇතුළුවීම සඳහා ප්‍රමාණවත් වේවිද? මගේ ලකුණු ප්‍රමාණය සෑහෙන්නේ විද්‍යා පීඨයට ඇතුළුවීමට පමණක් නම්, ඒ අවස්ථාව ඉවත දමා, මගේ උසස් පෙළ දෙවෙනි උත්සාහයේ ප්‍රතිඵල මත බලාපොරොත්තු තබා ගන්නද? මගේ මනස සැම විටම අවුල් ජාලයක් විය.

මේ තුන් තේරවිල්ලට මුහුණ දී සිටියේ මා පමණක් නොවන බවද, තවත් මා වැනි සිය ගණනක් සිසුන් සිටි බවද, මෙහිදී කිව යුතු ය.

එදා අප මුහුණ දුන් තත්වය ඉන් පසු කාලයට වඩා තවත් අසීරු වීමට හේතුවක් වී තිබුණේ, අපට පෙර වසරවල දී සිසුන් සඳහා ඔවුන් උසස් පෙළ සඳහා ලැබූ නිවරදි ලකුණු ප්‍රමාණය නිකුත් කර නොතිබීමයි. එනිසා, යම් යම් අනුමානයන් මිස ඒ එක් එක් පාඨමාලාව සඳහා අවශ්‍ය වෙන අවම ලකුණු මට්ටම් පිළිබද ඉතිහාසයක් කිසිවෙකු දැන නොසිටියහ.

මගේ තාත්තා ගේ මිතුරෙක් මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවේ සේවය කළේ ය. තාත්තා ඔහු හමුවීමට ගොස් මේ පිළිබඳව පවසා මගේ විභාග අංකය ඔහුට ලබා දී ඇත. එක් දිනක් රාත්‍රී කාලයේ අප නිවසට ඔහු ගොඩ වැදුණේ මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණය අපට පවසන්නටයි.

"පුතා ට ලකුණු දෙසීය හැත්තෑ හතක් තියෙනවා!" ඔහු කීවේය.

මට මගේ දෙසවන් විශ්වාස කළ නොහැකි විය.

” වෙන්න බෑ. මගේ විභාග ප්‍රතිඵල අනුව මට තියෙන්න පුළුවන් උපරිමය දෙසිය හැත්තෑ හයයි නේ!” මම පවසා සිටියෙමි.

” දෙසිය හැත්තෑ හතක් බව මට විශ්වාසයි, ඇස් දෙකින්ම දැක්කා!” තාත්තාගේ මිතුරා තමා දෙපාර්තමේන්තුවේ දී ලියා ගත් කොළ කැබැල්ල තාත්තා අත තැබීය.

පසුව මට වැටහුණු පරිදි මෙහිදී මගේ තාත්තා ගේ මිතුරා කර තිබුණේ කිසියම් ආකාරයක අයුතු දෙයක් නොවේ. අපේ උසස් පෙළ ලකුණු, මේ සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත පාසල ට එවා තිබුණි. මේ ආකාරයට තමන්ගේ උසස් පෙළ විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව දැනගත් මුල්ම කණ්ඩායම අප විය.

පසුදින මා පාසල වෙත ගියේ සහතිකයක් ලබා ගැනීමටයි. පුස්තකාලයෙන් ”සන්ඩේ ඔබ්සෝවර්” පත්‍රයේ ඇබෑර්තු කියවා රැකියාවක් සඳහා අයැදුම් කරන්නට සැරසී සිටි මට පාසලෙන් යම්කිසි ආකාරයක සහතිකයක් අවශ්‍ය වී තිබුණි.

නම, ශිෂ්‍ය අංකය, උසස් පෙළ ප්‍රතිඵල, බාහිර ක්‍රියාකාරකම් යනාදී විස්තර අයැදුම් පතේ පුරවා විදුහලේ කාර්්‍යාලයට බාර දුන් මම, ඉන් පැය කිහිපයකට පසු නැවත එහි ගොස් නිල ලාංඡනය සහිත මුද්‍රිත කොළයක ටයිප් කර සකසා තිබූ මගේ සහතිකය ලබා ගත්තෙමි.

පුදුමයකට මෙන් මගේ උසස් පෙළ ප්‍රතිඵල ලෙස එහි සඳහන් වූයේ ”බී” සාමාර්ථ තුනක් සහ එක් ”සී” සාමාර්ථයකි. මම වහාම කාර්්‍යාලයේ නිලධාරියා ට මේ බව කීවෙමි. ඔහු පවසා සිටියේ ඒ මගේ නිවැරදි නිල ප්‍රතිඵලය බවයි. මගේ නැවත සමීක්ෂණ ඉල්ලීම සාර්ථක වී ව්‍යවහාරික ගණිතය සඳහා වූ ප්‍රතිඵලය ”බී” සාමාර්ථයක් ලෙස වෙනස් වී ඇති වග ඊට පෙර දින පාසලට දන්වා ඇති බව මට දැනගන්නට ලැබුණේ එවේලේ ය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා මා ගෙවූ රුපියල් පනහක මුදල මට ආපසු ලැබුණි ද, නැද්ද යන්න පිළිබඳව නිවැරදි අදහසක් මගේ මතකයේ නැත. ඒ කෙසේ වූව ද මගේ සුනීතා පුංචි අම්මා විසින් සිදු කර ඇති හොඳම රුපියල් පනහක ආයෝජනය එය වන්නට ඇතැයි මට අද ද සිතේ.

මේ ආකාරයට සුබ ලකුණු දැක ගැනීමට ලැබීමෙන් මා සිත අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැති වුවද මෙහි ලියා තැබිය යුතුම ය. ලකුණු දෙසිය හැත්තෑ හතක් ලැබීම යනු මා බලාපොරොත්තු වූ ආකාරයටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුවීමට මට හැකිවෙන බවට කෙරුණු සහතිකයි.

ඊටත් වඩා මා උද්දාමයට පත් වූ කාරණය නම්, මගේ නව ප්‍රතිඵලය වූ ”බී” සාමාර්ථ තුනක් සහ ”සී” සාමාර්ථය සඳහා මට ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය වූ දෙසිය අසූ හයට වඩා මා ලබා තිබුණේ ලකුණු නමයක් පමණක් අඩුවෙන් වීමයි. විෂයයන් හතර අතර බෙදන විට එය ලකුණු දෙකක පමණ වෙනසක් පමණි.

මේ දෛවෝපගත දිනයෙන් මාස දෙකක් පමණ ඇතුළත මගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑවිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු පීඨයට යාම සඳහා අවශ්‍ය වූ අවම ලකුණු ප්‍රමාණය දෙසිය හැට නමයක් බව අපට දැනගන්නට ලැබුණි.

මේ අතර, දෙවන වරට මා පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වූ අතර බැලූ බැල්මට වඩාත් හොඳ යැයි සිතෙන ”ඒ” සාමාර්ථ දෙකක්, ”බී” සාමාර්ථයක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සඳහා මා ලබා තිබුණේ ලකුණු දෙසිය හැත්තෑ තුනක් පමණි.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත යෑමට ලක ලැහැත්ති වී නිවසින් පිටත් වූ දිනය අද මෙන් මගේ මතකයේ ඇත.

එදා මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ හැඬු අම්මා මෙදා මා දෙස බලා සතුටින් සිනාසුණාය.

රුපියල් පනහක තම ආයෝජනය මගින් සිදුවූ යහපත දැක සුනීතා පුංචි අම්මා ද සිනාසුණාය!

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ එහි මුල් කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ.

(https://www.leftovercurrency.com/exchange/sri-lankan-rupees/withdrawn-sri-lankan-rupees-banknotes/50-rupees-central-bank-of-ceylon-banknote-armorial-ensign-1977/)

Friday, 7 May 2021

අම්මා ඇඬූ දා - My A/L Results


මගේ ලියන මේසය මත ඇති චිමිනි ලාම්පුවේ දීප්තිමත් එළියෙන් අපේ කුඩා කාමරය ආලෝකමත් වී ඇත. ඔහු ගේ මේසය මත ඇති චිමිනි ලාම්පුව නිවා දමා මල්ලී නින්දට ගියේ දැන් මද වේලාවකට කලිනි. මල්ලීටත් මටත් දෙදෙනාටම නිදාගැනීමට ඇති කුඩා ඇඳේ ඔහුගේ කොටසට ගුලි වී ඔහු මේ වන විටත් හොඳ නින්දේ ය.

වේලාව රාත්‍රී දහය ද පන්නා ඇති බව අපේ එලාම් ඔරලෝසුව කියයි. මට නිදිමතක් දැනේ. මම මා කියවමින් සිටි කාබනික රසායනය සටහනෙන් හිස ඔසවා ඈනුමක් යවමි.

ඈනුම අවසානයේ මගේ නෙත් විවර වෙනවාත් සමගම මා දකින්නේ හාෆ් ෂීට් කඩදාසියක ලියා, කාඩ්බෝඩ් පුවරුවක අලවා සකසා මේසය උඩ තබා ඇති පුවරුවකි. බැලූ බැල්මට එහි පෙනෙන්නේ එක් විශාල අකුරකි. ඒ අන් කිසිවක් නොව ඉංගිරිසි අකාරාදියේ මුල් අකුරයි. උසස් පෙළ හදාරන සිසුන් ගේ සිත් සතන් තුළ පැල පදියම් වූ පරමාදර්ශී ශුද්ධ වූ කුසලානයි. ආණ්ඩුවේ විභාගයෙන් ලබාගත හැකි විශිෂ්ටතම සාමාර්ථය නිරූපණය කෙරෙන "A" අකුරයි!

"A" අකුරට අමතරව එම පුවරුවේ ඉංගිරිසියෙන් ලියූ කෙටි වැකි කිහිපයක් වේ.

මට "A" සාමාර්ථ හතරක් ගැනීමට අවශ්‍යය!
මා "A" සාමාර්ථ හතරක් ගත යුතුමය!!
ඔව්, මම "A" සාමාර්ථ හතරක් අනිවාර්යෙන් ම ගනිමි!!!

මේ පුවරුව දකින මගේ නිදිමත නැති වී යයි. උදෑසන පහට පමණ අවදි විය යුතු බව, පහයි හතළිස් පහට අප නිවස පසු කරන බසය අල්ලා ගත යුතු බව, ඒ බසයෙන් දුම්රිය ස්ථානයට ගොස් මරදාන බලා යන දුම්රියකට ගොඩ විය යුතු බව මට අමතක වී යයි.

"A" හතරක් ගැනීම යනු, සාපේක්ෂව හොඳින් ජීරණය වන විෂයයන් වන ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව සහ ශුද්ධ ගණිතයට පමණක් නොව තරාදියේ අනෙත් පස ඇති රසායන විද්‍යාවට ද විශිෂ්ට සාමාර්ථයක් ගැනීමයි. මම නැවතත් රසායන විද්‍යා සටහනේ ඇති "ටොලුයීන්" නම් වූ සංයුක්තය "මීතයිල් සැලිසිලෙට්" බවට පරිවර්තනය කිරීම සඳහා ඇති ක්‍රමවේදය දෙස සිත යොමු කරමි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කවදත් සැකසී ඇත්තේ මනාව සකසා ඉදිරිපත් කර ඇති තිර රචනා කිහිපයක් ද සමගිනි. පහේ පන්තියේ විභාගය සමත් වූයේ නම් ගමේ පාසලේ සිට අසල නගරයේ පාසලට යා යුතුය. ඉන් පසු ඇති සාමාන්‍ය පෙළ වැනි විභාගයක් ඉහළින් සමත් වූයේ නම් උසස් පෙළ සඳහා විද්‍යාව හැදෑරිය යුතු වෙන අතර ඊට අතමරව හැකි නම් වඩා හොඳ, ඇතැම් විට අගනුවර හෝ ප්‍රධාන නගරයක ඇති ජාතික මට්ටමේ පාසලකට යා යුතු ය. ගණිතය සඳහා දස්කම් දක්වන්නන් උසස් පෙළ සඳහා භෞතික විද්‍යා විෂයය ධාරාව තෝරා ගත යුතුය. විද්‍යාව සඳහා දස්කම් ඇත්තන් ජීව විද්‍යාව විෂයය ධාරාව තෝරා ගත යුතුය. එතැනින් ඔබ යා යුත්තේ එක්කෝ ඉංජිනේරු පීඨයට ය. නැතිනම් වෛද්‍ය පීඨයට ය.

ධාවන පඨ ඉතා සරල ය. අපට ඇත්තේ පිටපත අනුගමනය කිරීම පමණි.

එක් කුඩා ප්‍රශ්නයකට තිබුණේ, පිටපතේ විදියට රඟපා අපේක්ෂිත පරිදි ඉංජිනේරු පීඨයට හෝ වෛද්‍ය පීඨයට හෝ යෑමට නම් උසස් පෙළ විභාගය ඉතා ඉහළින් ම සමත් වීමට සිදුවීමයි. එය තිර රචනය කියවද්දී නම් ඉතා ලෙහෙසි දෙයක් ලෙස පෙනෙන නමුත් ප්‍රායෝගිකව ඉතා අසීරු කර්තව්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අසීරු ඉලක්කය කරා හඹා යන ගමන ආරම්භ වීමත් සමගම පාහේ ඒ සඳහා මගේ උනන්දුව සැමදා නො අඩුව තබා ගැනීමට මා මෙහිදී අනුගමනය කළේ ඉතා සරල අභිපේ්‍රරණ විධික්‍රමයකි. එය නම්, උසස් පෙළ විභාගයෙන් ලැබිය හැකි හොඳම ප්‍රතිඵලය හෙවත් විශිෂ්ට සම්මාන හතරක්, "A" හතරක්, ගැනීමට සැලසුම් කිරීමයි. එම සැලැස්ම නිතර දෙවේලේ, මවිසින්, මට ම, සිහිපත් කරවා ගැනීමයි.

මට්ටකුණ්ඩලී ගේ පියා පිළිස්සූ කරවල කැබැල්ලක් තම නැහැය ඉදිරියේ තබා ඒ සුවඳ විඳිමින් අමු අමුවේ බත් කෑ බව කියවේ. නීරස වූ රසායන විද්‍යා පාඩම් රසවත් සේ ගිල දැමීමට මෙන්ම, අන්තර්ගතය එතරම් ප්‍රශ්නයක් නොවූ නමුත් කාලය පිළිබඳව සැමවිටම අභියෝග මැවූ, භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය සහ ශුද්ධ ගණිතය විෂයයන් ගේ අත ගැසෙන මානයේ වූ සියලුම උදාහරණ, ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න සහ අභියෝග හැදෑරීමට ද මට උපකාරී වූයේ පෙර විස්තර කෙරුණු පරිදි අපේ කාමරයේ මගේ ලියන මේසය ඉදිරියේ පුටුවේ මා අසුන් ගත් කළ, මූණට පොල්ලෙන් ගැසුවාක් සේ නොවැරදී පෙනෙන්නට තබා තිබුණු "A" අකුරේ සටහනය.

මේ පුවරුව මගේ මවගේ දැඩි ඇගයුමට ද, සොහොයුරන් ගේ සරදමට ද ලක්වූ බව කිව යුතු ය. කෙසේ වුවද, අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයේ අවසානයත් සමගම මට වැටහුණේ, මගේ උත්සාහය මුළුමනින්ම නිෂ්ඵල නොවී, ”ඒ” හතරක් කෙසේ වෙතත්, යාන්තමින් හෝ "A" සාමාර්ථ තුනක් සහ "B" සාමාර්ථයක් ලබාගන්නට මට ඉඩ කඩ ඇති බවකි. "B" සාමාර්ථය ගණිතය ධාරාවේ උසස් පෙළ සිසුන්ගේ බියකරු සිහිනය වූ රසායන විද්‍යාව සඳහා ය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීමත් සමගම විභාග පටිපාටිය ද වෙනස් වෙමින් පැවතුණු නිසා අපේ සුවිශේෂී උසස් පෙළ විෂයය නිර්දේශය සඳහා වූ ඊළඟ වසරේ විභාගය නියමිත වූයේ අප්‍රියෙල් මාසයට ය. ඒ සඳහා මුදල් ගෙවා අයැදුම් කරන්නට දිනය අත ළඟටම පැමිණියේ වුවද, අගෝස්තුවේ පැවැත්වූ අපේ විභාගයේ ප්‍රතිඵලය නම් නිකුත් කරන සේයාවකුදු නොවී ය. සිදුවෙමින් පැවතියේ මහා අසාධාරණයකි. එහෙත්, ශී්‍ර ලංකාව වැනි රටක මේ ගැන කාට නම් පැමිණිලි කරන්නද? කණගාටුවෙන් මෙන් මා ඇතුළු, පෙර ලියු පිටපතට අනුව ඉංජිනේරු සහ, වෛද්‍ය පීඨයන්ට යාමට සිහින මවමින් සැදී පැහැදී සිටි, එනමුත් තම විභාග ප්‍රතිඵල පිළිබඳ සියයට සීයක ස්ථිරත්වයක් නැති, බොහෝ දෙනෙකුට සිදුවූයේ නැවතත් විභාගයට පෙනී සිටීමට අයැදුම් කිරීමටයි.

අවසානයේ විභාග ප්‍රතිඵල නිකුත් විය. මා එදා පාසලේ සිට නිවස බලා ආයේ කැළඹුණු සිතින් ද, දැවෙන හදවතින් ද, යුතුව බව කිව යුතු ය.

මා ගෙට ගොඩවත්ම අම්මා හා තාත්තා මා ඉදිරියට පැමිණියහ.

"කොහොමද? මොනවද ප්‍රතිඵල?" අම්මා ගේ දෑස් දැඩි උනන්දුව නිසාම ප්‍රභාමත් වී ඇති අයුරු මම දිටිමි.

"බී දෙකයි, සී දෙකයි" බිඳුණු හඬින් මා පැවසූයේ අම්මා හෝ තාත්තා හෝ දෙස නොබලා ම ය.

තාත්තා නිසොල්මන්ව බලා සිටියේය. අම්මා ගේ මුහුණේ ඇඳී ගියේ අමුතුම ආකාරයක හිනාවකි.

"ඔයා ඔය බොරු නේද කියන්නේ? ඇත්ත කියන්නකෝ ළමයෝ විහිළු නොකර?"

"බොරු නෙමේ අම්මේ මේ ඇත්ත තමයි. බී දෙකයි, සී දෙකයි මට ඇවිත් තියෙන්නේ."

අම්මා ගේ කඳුළින් පිරුණු දෙනෙත දුටු මට ඇතිවූයේ බලවත් සංකාවකි.

"කමක් නෑ අම්මේ, මං මේ අප්‍රියෙල්වල ආපහු විභාගේ කරනවා, කොහොමටත් ඇප්ලිකේෂනුත් දාල නේ තියෙන්නේ" මම අමාරුවෙන් වචන ගලපා ගතිමි.

"උඹ ආයේ විභාගේ කරපන්" තාත්තා සුපුරුදු එඩිතර හඬින් පැවසීය.

කාමරයට ගිය මම ඇඳ මත දිගාවී මගේ ලියන මේසය දෙස බැලූවෙමි.

"A" අකුර සහිත පුවරුව මගේ දෙනෙතට අසුවිය. කෙමෙන් තෙත් වී ගෙන ගිය මගේ දෑසෙන් ඒ රුව බොඳවී යන්නට ගතවූයේ තත්පර කිහිපයක් පමණි.

(දෙවන කොටස: අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees
https://rasikalogy.blogspot.com/2021/05/best-use-of-50-rupees.html
)

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ දෙවන කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ. (image: )

Tuesday, 6 August 2019

මගේ නැන්දා සෝමා සූරියආරච්චි සහ මරදානේ ආනන්ද විද්‍යාලයේ මගේ මුල්ම ගුරුවරිය - Who is Soma Suriyaarachchi


සෝමා සූරියආරච්චි කියන්නේ මගේ නෑයෙකු දැයි අසා මට පණිවිඩ ලැබුණේ දින දෙකකට පමණ ඉහත දී ය.

ඇත්තටම සෝමා සූරියආරච්චි යනු මගේ ලොකු නැන්දා ගේ නම ය. ඇය ගුරුවරියක් ලෙස සේවය කර විශ්‍රාම ගිය අයෙකි.

නමුත් ඇය මියගොස් දැන් වසර දහයක් පමණ ගත වී ඇත.

මේ සටහන මගේ නැන්දා වූ සෝමා සූරියආරච්චි නම් ගුරුවරිය ගැන නොව කොළඹ ආනන්ද විද්‍යාලයේ මගේ පළමු ගුරුවරිය ගැන ය.

මා කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවේ දහවැනි ශ්‍රේණියේ සිට යි. එදා නවක සිසුවෙකු ලෙස විදුහල් භූමියට ඇතුළත් වූයේ මා පමණක් තට්ට තනියම නොවේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නමය ශ්‍රේණිය සමත්වී එහි පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාව සිය දෙනෙකු පමණ වේ යැයි සිතමි.

මා අනුයුක්ත වූයේ 10-9 පංතියටයි. අපේ පන්තියේ සිසුන් තිස් පස් දෙනෙකුට වඩා සිටින්නට ඇතැයි සිතමි. එතෙක් මිශ්‍ර පාසලක ඉගෙනුම ලබා සිටි මට මේ පන්ති කාමරයේදී දකින්නට ලැබුණු වෙනස නම් ගැහැණු ළමුන් සහ පිරිමි ළමුන් සඳහා මැදින් දෙකට බෙදුණු ආසන සැකසුමක් නොව මෙහි වූයේ කොටස් තුනකට බෙදුණු ආසන සැකසුමක් බවයි.

මට අසුන් ගැනීමට ඉඩ ලැබුණේ මැද කොටසේ දෙවන පේළියේ තවත් සිසුන් දෙදෙනකු සමඟිනි. පළමු පේළියේ සිටි ඉරේෂ්, අෂාඩ්, සහ සිසිර මෙන්ම මගේ පේළියේ සිටි වජිර ද කොළඹ කොල්ලුපිටියේ මහානාම විද්‍යාලයේ ආදි සිසුන් වූහ. මගේ පේළියේ සිටි උපුල් පැමිණ සිටියේ කැලණියේ විදුහලකිනි. මේ සටහන ලියන මා ඊට පෙර උගත්තේ ගනේමුල්ල ගලහිටියාව මධ්‍යම විදුහලේ ය.

අපේ පන්තිභාර ගුරුවරිය වූයේ පේලිමුහන්දිරම් නම් විශ්‍රාම වයසට ළංවී සිටි කාන්තාවකි. අප සියලු දෙනා ඇය ඇමතූයේ ටීචර් කියා ය. ඇය අපට ඉගැන්වූයේ ගණිතයයි.

වසරකටත් වඩා වැඩි කාලයක් ඇගෙන් ඉගෙන ගත් ගණිතයෙන් මගේ මතකයේ ඇත්තේ සංඛ්‍යා ගුණ කිරීම පිළිබඳව ඇය අපට කියා දුන් පාඩම පමණි. ඇගේ වචනයෙන් එය මෙලෙස විය.

"ළමයිනේ මතක තියාගන්න,
ධන ධන ධන
ධන ඍණ ඍණ
ඍණ ධන ඍණ
ඍණ ඍණ ධන"

ඒ පාඩම මගේ මතකයේ තාමත් රැඳී ඇත්තේ ඇයගේ මහප්‍රාණ "ධ" උච්චාරණය සහ "ඍණ" යන්න පැවසූ ආකාරය නිසා ය.

අප ඇයගේ පන්තියෙන් උපාධි ලබා පිට වී ඉහළ පන්තියට ගොස් තවත් මාස ගණනක් ගත වූ වීමෙන් පසු පේලිමුහන්දිරම් ටීචර්ගේ පැන්ෂන් යන දිනය උදාවිය. එදා අප කිහිප දෙනෙකුට ඇය අහම්බෙන් මුණ ගැසුණේ පාසල ඉදිරිපිට ප්‍රදේශයේ බුදුපිළිමයක් පිහිටා තිබෙන ගොඩනැගිල්ල අසල මං තීරුවේ දී ය.

"ළමයිනේ මම පැන්ෂන් යනවා හෙට මගේ අන්තිම දවස!" ඇය පැවසුවේ කිසිදු කනගාටුවකින් යුතුව නම් නොවේ.

අප අතරේ සිටි එක් සිසුවෙකුට ඇයට ප්‍රසාදය පළ කෙරෙන ආකාරයේ යමක් කීමේ අවශ්‍යතාවය ඇති වූ බව පෙනුණි. ඔහුට ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූයේ "අනේ ටීචර් ඔයා පසු ආත්මභවයේ දී ත් අපේම ටීචර් වෙන්න!" කියා විය යුතුය.

නමුත් මා මිතුරාගේ මුවෙන් පිට වුණේ මෙයයි.

"අනේ ටීචර්, ආයේ ඉපදෙන්න!"

-රසිකොලොජිස්ට්

ප/ලි
මාස කිහිපයකට පසු බ්ලොගය මතක් විය. ඒත් ඇත්තම කියනවා නම්, මා මේ සටහන වොයිස් ටයිප් කරන්නට පටන් ගත්තේ ෆේස්බුක් සඳහා ය. තරමක් දිගු වූ නිසා, බ්ලොගයේ පළ කරන්නට සිත් විය!

Wednesday, 25 February 2015

ඊළඟ ජනාධිපති ගේ ඡායාරූපය ගාලු මුවදොර පිටියේ හොරෙන් බෙදයි! - Next president..!, next president..!


ජේ.ආර්. ජයවර්දෙන ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූයේ ඡන්දයකින් දිනා නොවේ.

අලුතින් ගෙනා ව්‍යවස්ථාව ලියා තිබුණේ මුල් වාරයේ පමණක් එවකට සිටින අගමැතිට විධායක ජනාධිපති වීමට "පිනා චාන්ස්" එකක් ලැබෙන ආකාරයටයි. (එවැනි පිනා චාන්ස් ලැබෙන තවත් ක්‍රමයක් ඇති බව අපි පසුව දැන ගත්තෙමු!)

මහ ඡන්දය දිනා 1977 සිට ජේආර් ජයවර්දෙන අගමැතිව සිටි කාලයේ පාර්ලිමේන්තුවේ සභානායක වී සිටියේ, එජාප උප නායකයා ද වූ, ර. ප්‍රේමදාස ය.

ර. ප්‍රේමදාස යනු එවකට ජේ.ආර්. ළඟට පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයා නොවේ. නුවර පළාතේ යූඇම්පී දේශපාළුවෙකු වූ ඊ.එල්. සේනානායක වැන්නෝ ප්‍රේමදාසට වඩා ජ්‍යෙෂ්ඨයෝ වූහ. මා අසා ඇති විදියට, සේනානායක වැනි අය ප්‍රේමදාසට අගමැති තනතුර දෙනවාට කිසිසේත් කැමති වී නැත.

ඊට කලින් තිබූ 1965-1970 යූඇම්පී ආණ්ඩුවේ ර. ප්‍රේමදාස බොහෝ කලක් සිට ඇත්තේ උප ඇමතිවරයෙකු ලෙසයි. ඉන්පසුව ඔහු දැරු ඇමතිකම ද කැබිනට් ඇමතිකමක් නොවේ. ඔහු පක්‍ෂයේ ඉදිරියට ආවේ, විපක්‍ෂයේ ගතකළ 1970-77 කාලයේ දී ක්‍රියාන්විත නායකයෙක් සහ දක්‍ෂ කථිකයෙක් ලෙස කටයුතු කළ නිසා යැයි සිතමි.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර් ජයවර්දෙන දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි හතර වෙනිදා ය. මේ කාලයේ පෙබරවාරි හතර වෙනිදා යනු රජයේ නිවාඩු දිනයක් නොවේ. එයට හේතුව නම්, 1972 දී ලංකාව එංගලන්ත මහ රැජිනගෙන් සම්පූර්ණව නිදහස් වී ජනරජයක් වූ මැයි 22 දා, ලංකාවේ ජාතික දිනය ලෙස සැමරීමයි. පසුව 1979 සිට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ ජාතික දිනය ලෙසත් රජයේ නිවාඩු දිනයක් ලෙසත් නම් කෙරුණු අතර, එතෙක් ජනවාරි පළමුවැනිදාට යෙදී තිබුණු ජාතික වීර දින රජයේ නිවාඩු දිනය මැයි 22 දිනට ගෙන යන ලදී. (මීට වසර ගණනාවකට පසු මැයි 22 දාවක මා ජාතික මට්ටමේ නොවුණත් පුද්ගලික මට්ටමේ වීරත්වයක් ලබා ගත්තෙමි. ඒ කතාව පසුවට!)

ඉහත විස්තරයෙන් මට කියන්නට වුවමනා වූයේ මේ කියන 1978 පෙබරවාරි හතරවෙනිදා නිවාඩු දිනයක් නොවූ බැවින් අප පාසල් ගිය බවයි.

පාසලට ගොස් මද වේලාවක් තුන්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි අපේ 10-9 පන්තියේ ගත කළ පසු මගේ මිතුරු උදය සහ මා තීරණය කළේ එදින ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය නරඹන්නට යෑමටයි. යූඇම්පීය මහ ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් දිනූ මගේ යුඇම්පී කම ඒවන විටත් එලෙසම තිබුණු බව මේ අනුව පෙනේ. (ඇත්තටම එය නැතිවූයේ 1980 මැද භාගයේ දී පමණය!)

පාසලෙන් පිටවී මරදානට පයින් ගිය අපි දෙදෙනා, දුම්රියෙන් කොටුවට ගොස් එතැන සිට ඇවිදගෙන ගාලු මුවදොර පිටියට ගියෙමු.

ඒ විශාල පිටියේ අතුරු සිදුරු නැතුව ජනයා පිරී සිටියහ. කොටු ඇඳ ගණං බැලීමට ගුවනේ සිට ගත් ඡායාරූප නැති නමුත් පනස් දහසක් පමණ පිරිසක් ඒ ඓතිහාසික අවස්ථාව නැරඹීමට පැමිණ සිටි බව මගේ අදහසයි!

පාසල් ළමුන් ද සහභාගී වූ ආචාර පෙළපාලියක් එහි පැවැත්වුණු බව යාන්තමට මතකයේ ඇත. (මේ මතකය තවමත් ඇත්තේ මගේ වෙන්ඩ බිරිඳ නමවෙනි ශ්‍රේණියේ දැරියක ලෙස ඒ ආචාර පෙළපාලියට සහභාගී වුණු බව පසුව අසන්නට ලැබුණු හෙයිනි!) මගේ සිත් ගත්තේ එහි දී පැවැත්වුණු ආචාර වෙඩි මුර විසි එකයි. මාත් උදයත් සිටියේ කාලතුවක්කු වෙඩි හඬින් කන් බිහිරි වෙන-නොවෙන තරම් එයට ආසන්නයේ ය.

උත්සවයේ වැඩකටයුතු පැවැත්වෙන අස්සේ සෙනග අතර තෙරපී තෙරපී ඔබ මොබ යමින් කිසිවක් රහසින් මෙන් කියමින් පොස්කාඩ් ප්‍රමාණයේ යමක් බෙදන මැරවර පෙනුමැති තරුණයෙකු මට පෙනුණි.

ඔහු කියමින් සිටියේ, "මීළඟ ජනාධිපති, මීළඟ ජනාධිපති" කියා ය.

තරුණයා බෙදමින් සිටි, ඒ පෝස්කාඩ් ප්‍රමාණයේ පත්‍රිකාවේ තිබුණේ ඡායාරුපයකි.

ඒ අන් කිසිවෙකු ගේ නොව, නව ජනාධිපති ලෙස ජේආර් ජයවර්දෙන ගේ පත්වීමෙන් පසු රටේ නව අගමැති ලෙස දිවුරුම් දෙන්නට නියමිතව සිටි ර. ප්‍රේමදාස ගේ ය...!

ර. ප්‍රේමදාසට, ඔහු එදා 1978 සිටම සැලසුම් කළ ඒ තනතුරට පත්වෙන්නට ලැබුණේ ඉන් වසර එකොළහකට පසුව 1989 දී ය.

එයිනුත් වසර හතරහමාරක් පමණ ගෙවුණු පසු, මා මුලින් කී "පිනා චාන්ස්" එකෙන් ජනාධිපති වීමේ දෙවෙනි ක්‍රමය ගැන අපට දැන ගන්නට හැකිවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මට දැන් සහිවෙන විදියට ඒ ඡායාරූපය නිකං බෙදුවා නොවේ. එය රුපියලක් වැනි මුදලකට අළෙවි කෙරුණි! මා එයින් එකක් නොගත්තේ එනිසා ය.
(image: http://www.sundayobserver.lk/2006/11/19/imp07.asp)

Tuesday, 30 December 2014

ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once


ලංකාවේ සමහරු මැරුණත් යූ.ඇම්.පී ය. තවත් සමහරු මැරුණත් සිරිලංකා ය.

පසුගිය සමයේ නිරතුරු සිදුවූ මන්තී‍්‍රලා ගේ කූඩළු න්‍යායේ හෙවත් කටුසු න්‍යායේ පක්‍ෂ මාරු නිසාත්, ඔවුන් සමග ඒ පැත්තට, මේ පැත්තට ඇදෙන සපෝටර් වර්ගයේ ජනතාව නිසාත්, මේ උග‍්‍ර පාක්‍ෂිකත්වයේ තරමක අඩුවක් අද දකින්නට ලැබුනද, එදා හැටේ හැත්තෑවේ දශක වලදී තත්වය එසේ නොවීය. එක්සත් ජාතික පක්‍ෂය, පාර්ලිමේන්තුවේ ආසන 144 න් අටක් පමණක් ලබා අන්ත පරාජයකට ලක් වූ 1970 මැතිවරණයේ දී ද, ඔවුන් ගේ මුළු ඡන්ද සංඛ්‍යාව ඒ ආකාරයේ සමානුපාතික අඩුවීමකට භාජනය වී නොතිබුණි. ආසන ක‍්‍රමය බැහැරකොට සමානුපාතික ඡන්ද ක‍්‍රමයකට යාමට ජනාධිපති ජයවර්දෙන තීරණය කළේ මේ නිසා යැයි කියවේ.

අද මා සැරසෙන්නේ 1977 මහ ඡන්දය හා සම්බන්ධ කතාවක් ඔබට කියන්නටයි.

මේ මැතිවරණය පැවැත්වෙන විට මට අවුරුදු පහලොවක්වත් සම්පූර්ණ වී නොතිබුණි. ඡන්ද බලය තව දුර වූවද, දේශපාලනයික වශයෙන් අප තරමක් සංවේදී අය වීමු. එකම ප‍්‍රශ්ණයකට තිබුනේ අපේ දේශපාලන මතය අනිවාර්යෙන්ම අපේ දෙමව්පියන්ගේ දේශපාලන මතිමතාන්තර මතම ගොඩ නැගුණු එකක් වීමයි. කොටින් ම කියතොත්, දෙමව්පියන් යූ.ඇම්.පී නම් දරුවෝ ද යූ.ඇම්.පී වූහ. දෙමව්පියන් සිරි ලංකා නම් දරුවෝ ද සිරි ලංකා වූහ. අවුරුදු දහඅට වෙනතුරු ඡන්ද බලය නොලැබෙන්නේ ඇයි දැයි මෙයින් මනාව සාධාරණීකරණය වේ.

වසර 1977 වන විට එවකට පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් යුතු වූ සමගි පෙරමුණු රජය වසර හතක ආණ්ඩු කාලයකින් පසු මුළු රට පුරාම බරපතල අප‍්‍රසාදයකට පත් වී සිටියහ. ඇත්තටම කියනවා නම් 1970 දී ඔවුන් බි‍්‍රතාන්‍ය රැජින යටතේ පාලනය වූ ලංකාණ්ඩුවේ බලයට පත්වුනේ අවුරුදු පහක කාලයකටයි. නමුත් පසුව 1972 දී, ශී‍්‍ර ලංකා ජනරජය බිහි වීමෙන් පසු රජයේ ආයු කාලය නැවතත් අළුත් කරන ලදී. මේ කරුණද, මීට වඩා බරපතල වූ බඩුමිල යනාදී කරුණු ද මේ මහජන අප‍්‍රසාදයට හේතු වී තිබුණි.

රජය විසිරවීමේ නිවේදනය ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කෙරෙනු ඇසෙන විට මා සිටියේ අපේ වැඩිහිටි වන්දනා නඩයක් සමග පලාබත්ගල පාරේ සමනොල කන්දේ සෑහෙන දුරක් නැග ඉඳිකටුපාන හරියට ලඟාවෙමිනි. අතේ ගෙන ගිය රේඩියෝවකින් ප‍්‍රවෘත්තිය අසා පී‍්‍රති ප‍්‍රමෝදයට පත් වූ පියදාස බාප්පා, එහි සිටි තම මිතුරන් කිහිප දෙනෙකුද සමග එක්වී, "මෙදා පොටේ දෙනව බැටේ!" යනුවෙන් හඬ නැගූ අයුරු තවමත් මගේ මතකයේ ඇත.

ඡන්දය ඉතා උණුසුම් වූ එකක් විය. අප අත උඩින් දිනන බව අපි සක්සුදක් සේ දැන සිටියෙමු.

ඒත් පැරදෙන්නට නියමිතව සිටි පිලේ සමහරුනට එය වැටහී තිබුණේ නැත. මගේ පන්තියේ සිටි අෂාද් පෙරේරා එවැන්නෙකි. වරද ඔහුගේ නොවේ. ඔහුගේ දෙමව්පියන්ගේ ය.

මා කලින් කිව්වාක් මෙන් නිවරදි දේශපාලන අවබෝධයක් නොමැති පොඩි එවුන් වූ අප, නිරායාසායෙන්ම පිළිගත්තේ අපේ දෙමව්පියන් ඇදහූ දෙයයි. අෂාද් ගේ පියා ඉහල පෙලේ සිරිලංකා පක්‍ෂයේ ආධාරකරුවෙකි. රජයට අයිති මාධ්‍ය ආයතනයක ඉහල නිලයක් දැරූ පිළිගත් වෘත්තිකයෙකු වූ ඔහුට, ඇත්තටම කියනවා නම්, ආණ්ඩු පෙරලියෙන් පසු රැකියාව ද අහිමි විය.

ආනන්දයේ ගොඩනැගිල්ලක තුන්වන මහලේ තිබූ අපේ පන්ති කාමරයේ අෂාද් සිටියේ මැද තීරුවේ මුල් පෙලේ එක් කොනක ය. මගේ අසුන හරියටම ඔහු පිටු පසින් විය. ඡන්දයට ආසන්න දිනවල, පාඩම් අතර ඉඩ කඩක් ලැබුනු හැම මොහොතකම පාහේ, අපට ඡන්දය ගැන කතාවට ඉඩ කඩ ලැබුණි.

අෂාද් පැරදීමට නියමිත වූ ආණ්ඩු පක්‍ෂයේ ය. මා ජය ගැනීමට නියමිතව සිටි විරුද්ධ පක්‍ෂයේ ය.

එක් දිනක අපේ මහ මැතිවරණය පිළිබඳ කතාවක් අවසාන වූයේ අප දෙදෙනා අතර ඡන්ද ඔට්ටුවකිනි. ඔට්ටුව වැඩි ගණනකට නොවේ. රුපියල් පහකටය. වෙනත් වචන වලින් කියනවා නම් ආනන්දයේ කැන්ටිමේ බිත්තර පාන් දහයක මිල ය. නැතහොත්, පොදු ජන ආහාරය වූ පාන් ගෙඩි පහක මිල ය.

ඔට්ටුව මෙයයි. මහ ඡන්දයෙන් යූඇම්පීය ආසන 75 කට වඩා දිනුවොත් අෂාද් මට රුපියල් පහක් ගෙවිය යුතුය. යූඇම්පී ආසන ගනන 75 වඩා අඩු වූවොතින් මා අෂාද්ට රුපියල් පහක් ගෙවිය යුතුය. මෙම ආසන ගණන එදා වූ ආසන 144 පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍යවූ අවම සරල බහුතරය විය.

මේ දිනවල "රිවිරැස" පත‍්‍රය මගින් එක් එක් පක්‍ෂයට ලැබෙන ආසන ගණන ගැන කියන්නට තරගයක් විය. ඒ කූපන් පිරවීමේදී අපි යූඇම්පීය ට ආසන සියයකට වැඩියෙන් ලැබෙන බව යෙදුවෙමු. එහෙත්, මා අෂාද් සමග ඇල්ලූවේ අවදානමෙන් තොර ඔට්ටුවකි.

ඡන්ද ප‍්‍රතිඵල අනුව යූ.ඇම්.පී.යට තුනෙන් දෙකක බහුතරයක් හිමි වූ අතර මම ඔට්ටුව උඩින් ම දින්නෙමි.

මෙදා පොටේ දුන්න බැටේ!

-රසිකොලොජිස්ට්

පසු සටහන:
වසර තිස් හතක් ගතවී ජීවිතයේ මැදි වියට එලැඹ ඇති අපේ දේශපාලන අදහස් ද අද වන විට සහමුලින්ම වෙනස් වී ඇති බව කිවයුතු නොවේ.

මට නම් සත්‍යය වැටහෙන්නට පටන් ගත්තේ අවුරුදු දහ අට ලැබීමටත් පෙරය. මා උසස් පෙල විභාගයට සූදානම් වෙන සමයේ පැවති 1980 ජූලි වැඩවර්ජනය අනුසාරයෙන් සියළු මොහඳුර මැකුණි. ඊලඟ වසරේ විශ්ව විද්‍යාලයට යන විට මා තරමක දේශපාලන විඥාණයකින් යුතු වෙනස් පුද්ගලයෙකි.

මා මෙන්ම අෂාද් ද දැන් වාසය කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ය. මා වසර 2009 දී එක් දිනක ඔහුට දුරකතනයෙන් කතා කර පරණ සිදුවීම් නැවත මතක් කර අහිංසක සතුටක් ලබා අවසානයේ ඔහුගේ දේශපාලන අදහස් ගැන විමසූ විට මට හැඟුණේ ඔහු එදත් සිරිලංකා අදත් සිරිලංකා ආකාරයේ පොරක් කියා ය. ඒ 2009 දී ය. අද තත්වය කෙසේ දැයි මම අවංකව නොදනිමි.

එදා 1977 දී යූ.ඇම්.පී ය පැත්තට ඔට්ටු අල්ලා රුපියල් පහක් දිනූවද, එම පක්‍ෂයට කිසි දිනක ඡන්දය නොදුන් මම අද කිසිදු පක්‍ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි.


රසික සූරියආරච්චි ලියූ "සිව් වසරක් මරදානේ" (2012) කෘතියෙන් උපුටා ගන්නා ලදී. ප‍්‍රකාශනය දයාවංශ ජයකොඩි සමාගම.

(image: http://srilankanexpatriates.blogspot.com.au/2011/04/rare-collection-of-sri-lankan-currency.html)