Showing posts with label මගේ ශරීර සෞඛ්‍යය. Show all posts
Showing posts with label මගේ ශරීර සෞඛ්‍යය. Show all posts

Tuesday, 27 June 2017

පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues


හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත.

අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, අයිස් මිදෙන යුරෝපියානු, කැනේඩියානු සිසිර සෘතුවක් සේ සෘණ අන්තයටම නොගිය ද, මෙය අපේ ජීවිතවලට විවිධ අපහසුතා එකතු කරන කාලයකි.

පරිසරයේ සීතලත් සමග මට නම් සිදු වී ඇත්තේ, ජීවිතයට කම්මැලිකමක් එකතු වීමයි.

උදෑසන අවදිවන්නට කම්මැලි ය.

ඇඳෙන් බසින්නට කම්මැලි ය.

නාන කමරයේ වතුර මල යටට යන්නට කම්මැලි ය.

උණුසුම් ජල ධාරාව යටට වී ඉන්නට කම්මැලිකමක් නැතත්, ඉන් ඉවතට එන්නට කම්මැලි ය.

වැඩට යන්නට කම්මැලිය!

කොටින් ම, දැන් සති කිහිපයක සිට මා, කාර්යාලයට ළඟා වූයේ උදෑසන දහයේ හෝරාවටත් පසුව ය.

කාර්යාලයේ සිට ආපසු නිවස කරා පැමිණි පසුවත්, සිත ගත තාවකාලිකව පිනවීමට හැර වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට නොසිතේ.

මේ තත්වයට හේතුව අපේ නිවසේ උෂ්ණත්ව පාලක යන්ත්‍රයේ දෝෂයක් නම් නොවේ. සිසිරය නිසා, ස්වභාවිකව ම, ගතට සිතට වදින සාපයකි.

මේ තත්වයෙන් මිදීමට සිතී අද උදෑසනින් අවදි වී රැකියාව සඳහා පිටව යන්නට සිතුවෙමි.

එලාමය සැකසුවේ නැති වුව ද, සිතූ ආකාරයට පහයි හතළිස් පහට නෙත් හැරුණි. එහෙත්, ඇඳෙන් බැසීමට නම් නොසිතුණි.

ඊළඟට හෝරාව පිරික්සන විට විනාඩි පහළොවක් ගත වී තිබුණි.

යාන්තමින් ඇඳෙන් බැස නාන කාමරට ඇදුණේ හයයි කාලට ය. එය කළ හැකි වූයේ ද, විනාඩි පහෙන් පහට ඔරලෝසුව දෙස බලමින්, සිත දිරිමත් කර ගනිමින් ය.

අවසානයේ හතේ කෝච්චියට නැග මේ සටහන කෙටීම ඇරඹිය හැකි විය.

මේ සියල්ල කීවේ, "සතුටු සිතුවිලි" නම් අලුත් බ්ලොගයක් හඳුන්වා දීමටයි.

සතුටු සිතුවිලි :: http://sathutusithuvili.blogspot.com/

මෙය දිගු සටහන් පළවෙන බ්ලොගයක් නොවේ.

විවිධ පුද්ගලයින් විසින් පවසන ලද, අපේ කම්මැලි සිත් දිරිමත් කර ගන්නට උදව් වෙතැයි සිතන, කෙටි ප්‍රකාශන ඇතුළත් එකකි.

ඇරඹූ දින සිට දිනපතා එක් වැකියක් බැගින් සතුටු සිතුවිලි බ්ලොගයේ පළ වී ඇති අතර, එය දිගටම නිතිපතා යාවත්කාලීන වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

Tuesday, 16 May 2017

උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!


"උපන් දා සිට" යනු අපේ මහා සිංහල ලේඛකයා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ස්වයං චරිතාපදානය හෙවත් ඔහු ගේ ජීවිත කතාවට ඔහු විසින් දී ඇති නම ය.

ගැටවර වියේ දී ද, මෑතක දී ද, මා කියවූ ඒ මාර්ටින් වික්‍රමසිංහ ස්වයං චරිතාපදානයේ සඳහන්ව ඇති කරුණු කිහිපයක් පිළිබඳව විවරණයක් සහිත මා ලියූ ලිපියක් පෙර දිනයක රසිකොලොජියේ පළ කර ඇත.

ස්වයං චරිතාපදානයක් ලෙස සලකා බලන කළ "උපන් දා සිට" යන්න කිසිදු නිර්මාණශීලිත්වයක් ගැබ් වී නැති නමක් බව කිව හැක.

සිංහල සාහිත්‍යයේ අනෙකුත් පතාක යෝධයින් වූ එදිරිවීර සරච්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානය "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමින් ද, කේ ජයතිලක තම ස්වයං චරිතාපදානය "පුංචි පැලේ ගස වෙනා" යනුවෙන් ද, මහගම සේකර කොටස් දෙකකින් යුතු වූ තම ස්වයං චරිතාපදානය පිළිවෙලින් "තුංමං හන්දිය" සහ "මනෝ මන්දිර" ලෙස ද නම් කිරීම සලකා බලන කළ "උපන් දා" සිට යන්නේ ඇති අවම නිර්මාණශීලීවය පැහැදිලි වේ.

ඉහත ඡේදයේ සඳහන් කෘති, ඒ ඒ ලේඛකයින් කළ නිර්මාණ මිස, ඔවුන් ලියූ ස්වයං චරිතාපදාන නොවන බවට යමෙකුට අවශ්‍ය නම් තර්ක කළ හැකි බව මම දනිමි. නමුත්, එය සම්පූර්ණ සත්‍යයම නොවේ!

කෙසේ වෙතත්, ඒ "උපන් දා සිට" යන නමෙන් අදහස් වෙන ආකාරයට ම, තමා උපන් දා සිට එම කෘතිය සකසා අවසාන වූ දින දක්වා තමන් ගේ ජීවිතයේ සිදු වූ පොදු රසාස්වාදයට සහ දැනුමට තුඩු දෙන කරුණු මාර්ටින් වික්‍රමසිංහ විසින් තම ස්වයං චරිතාපදානයේ ඇතුළත් කර ඇති බව පෙනේ.

මෙහි දී, කෘතිය සකසා අවසාන වන දින දක්වා යනුවෙන් මා සඳහන් කළේ, ස්වයං චරිතාපදානයක් සැම විට ම අවසන් වන්නේ ලේඛකයා ජීවත් වෙන කාල සීමාවේ දී වීම නිසා ය. යමෙකු ගේ උපන් දා සිට ජීවිතය අවසාන වූ දිනය දක්වා සම්පූර්ණ ජිවීත කාලය පිළිබඳව විස්තර සහිතව ලියවෙන්නේ වෙනත් අය ලියන චරිතාපදාන මිස ස්වයං චරිතාපදාන නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

මෙහිදී මට සිහිවෙන්නේ ජීවිතයේ මුල සිට කතාව ඇරඹුව ද, අවසාන වන දිනයක් යම් ආකාරයකට හෝ නියම කර, ඒ ආශ්‍රයෙන් නම් තබා ඇරඹූ ස්වයං චරිතාපදානයකි.

ඒ ස්වයං චරිතාපදානය ඇත්තටම බ්ලොගයකි.

මා මේ කියන්නේ දැන් එංගලන්තයේ වෙසෙන, අරුණ පෙරේරා හෙවත් අරූ විසින් කොටස් වශයෙන් ලියමින් සිටි "අවුල් වෙන්නට පෙර" නම් තමන් ගේ ජීවිත කතාවයි.

එහි නම වූ "අවුල් වෙන්නට පෙර" යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහු ලියන්නට ඇරඹූ කතාව අවසාන වෙන දිනය පිළිබඳ ඉඟියකි. එනම්, උපන් දා සිට අරඹා, තම මතකය අවුල් වෙන දින දක්වා ඒ කතාව ලියවෙන බව ඒ නම යෙදීමෙන් අරුණ පෙරේරා පාඨක අපට ඉඟි කළේ ය.

ඇත්තටම එලෙස මතකය අවුල් නොවුණත්, වෙනත් අවුලක් හෝ කලකිරීමක් නිසා අරුණ පෙරේරා තම බ්ලොගය ලිවීම 2017 මාර්තු මාසයේ දී නැවැත්වූයේ පාඨක අප ඉතා කනගාටුවට පත් කරමිනි.

මේ කරුණු සියල්ල මට මෙලෙස සටහන් කරන්ට සිතුණේ විශේෂ හේතුවක් නිසා ය.

බ්ලොග් ලිවීම සහ ඕස්ට්‍රේලියාවේ පළවෙන මාසික සඟරා සඳහා ලිපි ලිවීම ඇරඹූ දා සිට අද දක්වා ම, මා ලියා ඇති එක් දහස් පන්සීයකට වඩා වැඩි කෙටි සටහන් සංඛ්‍යාවෙන් අති බහුතරය ලිය වී ඇත්තේ මගේ ජීවිතයේ මා ලැබූ විවිධාකාර අත්දැකීම් පිළිබඳව ය. නමුත්, ඒවා එක කාල රේඛාවකට අනුව එකට ගොනු වුණේ, මා ලියූ "සිව් වසරක් මරදානේ" සහ "EFacMemories" ග්‍රන්ථ ද්වය සංස්කරණයේ දී පමණි.

"සිව් වසරක් මරදානේ" කෘතියේ වුව ද, දින වකවානු කෙළින් ම සඳහන් කිරීමක් මම නොකළෙමි. ඒ මගේ අත්දැකීම් එක්තරා කාලවකවානුවක හිර කර, පාඨක රස වින්දනයට සීමාවක් පැමිණ වීමට මට අවශ්‍ය නොවූ බැවිනි.

නමුත්, මට මේ ළඟදී දිනයක සිතුණේ, උපන් දා සිට, අවුල් වෙන දිනය දක්වා මගේ ජිවීත අත්දැකීම් කාල රේඛාවක් මත එකට පෙළ ගස්වා ලිවිය යුතු ය කියා ය.

එය ස්වයං චරිතාපදානයක් වැනි වෑයමක් වෙනු ඇත.

දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://myrating.lk/ ; http://www.kapruka.com/ ; https://www.monaree.com/ ; https://arugeadaviya.wordpress.com/)

Sunday, 26 February 2017

දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!


දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!

නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.

කතාව මෙයයි.

මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ දොස්තරෙකු වෙත යොමු කළේ මගේ මුඛයේ විදුරුමස් නමින් හැඳින්වෙන කොටස පිළිබඳ ප්‍රතිකාර කිරීමටයි.

මේ විශේෂඥ විෂයය හැඳින්වෙන්නේ පෙරියොඩොන්ටික්ස් නොහොත් පරිදන්තවේදය නමිනි.

මා එහි ගිය මුල් දවසේ, මගේ දත් වහල්ලේ ඉතිරි වී ඇති දත් ගොන්න ගැන බලා, ඒ එකින් එක පිළිබඳ සටහන් රාශියක් ලියා, එක්ස්-රේ රාශියක් ද ගත් ඔහු මා ඩොලර් දෙසිය පනහකින් පමණ දුප්පත් කළා පමණක් නොව, මගේ දත්වල විදුරුමසට යටින් ඇති කොටස් දිරායාම වැළැක්වීම සඳහා දත්වල ඒ කොටස් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කළ යුතු බවත් පැවසීය.

මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි.

ඒ මුල් දිනය වූයේ පසුගිය සඳුදා ය.

උදේ වරුවේ අඩ පැයක පමණ කාලයක දී සිදු කෙරුණු මෙම කාර්යය සඳහා දවසක් ම ලෙඩ නිවාඩු දැමීමට සිදුවීම, නිර්වින්දක ඉන්ජෙක්‍ෂන් වේදනාව, නිර්වින්දිනය කෙසේ වෙතත් විදුරුමස් අස්සේ කටු ගසමින් හූරණ විට දැනුණු වේදනාව, කටේ අඬුපඬු ගසා සිටියදී හුස්ම ගැනීම ආදී කටයුතු නිසා ඇති වූ වේදනාව, ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල ඌයි නොකියා ඉවසා සිටිය ද අවසානයේ දී මහා දරුණු කොහිල කටුවක් ඇනුණි!

ඇන්ටිබයෝටික් නොහොත් ප්‍රතිජීවක ඖෂධ දෙකක් ෆාමසියෙන් මිලට ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරුවක් ලියා දුන් ඔහු ඊළඟට කීවේ මෙයයි.

"රසික, මේ අද කළ ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු ඔබේ විදුරුමස්වලට ආසාදන ඒම වළක්වා ගැනීම සඳහා මේ බෙත් වර්ග දෙක සතියක් එක දිගට නොකඩවා ගන්න. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"

ඌයි!

සතියේ සාමාන්‍ය දවස් අමතක කරමු.

නමුත්,

සිකුරාදා කලාකාමී මිතුරන් පිරිසක් මුණ ගැසී රංගකලාව පිළිබඳ සාකච්ඡාවක් කිරීමට තිබේ.

ඌයි, ඌයි!!

සෙනසුරාදා සවස නිවාඩු පාඩුවේ නිවසට වී සිනමා සිත්තමක් නැරඹීම වැනි විනෝදාත්මක යමක් කිරීමට සැලසුමක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි!!!

ඉරිදා සවස උපන්දින සාදයක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි, ඌයි!!!!

දත් දොස්තරෙකු මට කළ හදියක මහත එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලෙඩ රෝග, බේත් හේත් සමග සෙල්ලම් නැත.

මම තවමත් සිල් බිඳ නොගෙන හොඳ ළමයෙකු ලෙස සිටිමි. මගේ ලොකුම ජයග්‍රහණය වූයේ, සිකුරාදා පැවති කලාකාමී මිතුරු සාදයට සහ සාකච්ඡාවට සහභාගී වී අමුවෙන් ම නිවසට පැමිණීමයි.

ප/ප/ලි:
යළිත් වරක් මාර්තු පළමුවෙනිදා දත් වහල්ලේ ඉතුරු අර්ධය සඳහා මේ ප්‍රතිකර්මය ලබා ගැනීමට යා යුතුව ඇත. නැවතත්, සතියක් පුරා මේ බෙහෙත් ම ගත යුතු වෙනු ඇත!


අපොයි!!

(image: http://www.joblo.com/movie-news/director-bryan-singer-shares-magnetos-tools-implying-there-will-be-either-torture-or-dental-work-in-x-mendofp)

Thursday, 6 October 2016

විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?


වෑන් ෆ්‍රෝසම් සහ වෑන් ඔයුඩියුස්ඩන් නම් බෙල්ජියන් ජාතික ආචාර්යවරුන් ගැන මා ලියූ ලිපි ද්වයේ සඳහන් වුණු, මා පශ්චාත් උපාධියක් ලබාගත් තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් ආසියානු තාක්‍ෂණික ආයතනය, අද වන විට වසර හැටකට කිට්ටු ඉතිහාසයක් ඇති විශ්ව විද්‍යාලයකි. සියැටෝ ග්‍රැජුවේට් ස්කූල් ලෙස මෙය ඇරඹී ඇත්තේ වසර 1959 දී ය.

සියැටෝ (SEATO) යනු සවුත් ඊස්ට් ඒෂියා ට්‍රීටි ඕගනයිසේෂන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය නම් නේටෝ (NATO) ආකාරයේ ආරක්‍ෂක එකමුතුවකි.

තායිලන්තයේ පිහිටා තිබුණද ආසියානු තාක්‍ෂණික ආයතනය ජාත්‍යන්තර ආයතනයකි.

කොටින් ම එකල මේ ආයතනයේ සේවය කළ විදෙස් රටවලින් පැමිණි කාර්ය මණ්ඩලයට තීරු බද්දෙන් තොර මත්පැන් පවා මිලට ගත හැකි විය. ආයතනය තුළ පිහිටුවාගෙන තිබුණු අපේ ශ්‍රී ලාංකික සංවිධාධනය විසින් අධ්‍යයන වාරයකට දෙවරක් සංවිධානය කළ, පිළිගැනීමේ සාදය සහ සමුගැනීමේ සාදය යන උත්සව ද්වයට තමන් ගේ තීරු බදු රහිත කෝටාවෙන් ලබා ගන්නා විස්කි බෝතලයක් දෙකක් පරිත්‍යාග කිරීමට අධ්‍යයන මණ්ඩලයේ සිටි ශ්‍රී ලාංකික ආචාර්යවරු ත්‍යාගශීලි වූහ.

ලංකාවේ දී පොල්, ඕල්ඩ්, මෙන්ඩිස් යනාදී අරක්කු වර්ග සහ බියර් පමණක් පානය කර තිබූ මා මුලින් ම විස්කි පානය කළේ ආසියානු තාක්‍ෂණික ආයතනයේ දී ය. ඒ බැලන්ටයින් නම් ස්කොට්ලන්තයේ නිෂ්පාදිත විස්කි වර්ගයයි.

ඒ කඩඉම් අත්දැකීමෙන් අද මගේ මතකයේ රැඳී තිබෙන්නේ, අයිස් සහ කෝකා කෝලා සමග පානය කළ මුල් ම විස්කි වඩියේ මට දැනුණේ "පිදුරු රහක්" බව පමණකි.

දැන් ඔබ ඒ ප්‍රශ්නය මගෙන් අසන්නට පෙර ම අදාළ පිළිතුරු දෙනවා නම්, එදා බැලන්ටයින් විස්කි වඩිය බිව් දිනයට කලින් හෝ ඊට පසු හෝ මා පිදුරු අනුභව කර හෝ පිදුරුවලින් නිපදවනු ලැබූ දෙයක් පානය කර හෝ නොමැත.

මෙහිදී, බැලන්ටයින් විස්කි වඩියේ පිදුරු රසයක් දැනුණා ය යන්නෙන් මා අදහස් කරන්නේ අපේ ආච්චී තමන් ගේ කුඹුරු ලියදි කිහිපය විකුණන්නට පෙර මා ළමා කාලයේ දී වසරකට දෙවරක් මුලින් ම කමත පිහිටි බදුවත්තේත්, පසුව බැත නිවසට ගෙනා පසු නිවස පුරාත් පැතිරුණු, අපූරු සුවඳ එහි තිබුණු බව ය.

ආසියානු තාක්‍ෂණික ආයතයේ උපාධිය නිමවා, සමුගැනීමේ සාදයේ දී ද විස්කි වඩියක් පානය කර පෙරළා ලංකාවට පැමිණි පසු, යළිත් -සියරට දේ සිරි සැප දේ- යන්න අකැමැත්තෙන් නමුත් පිළිපදින්නට වීම නිසා ඒ ස්කොට්ලන්ත විස්කි රස මට ක්‍රමක්‍රමයෙන් අමතක ම වී ගියේ ය.

යළි ඒ නැවුම් "පිදුරු රසය" විඳගන්නට මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණේ තවත් වසර තුනකට පමණ පසුව ය.

එය වෙනම ම ලිවිය යුතු කතාවක් හෙයින් අදට මෙයින් නවතිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පාරිභෝගික අවවාදය.
  • මත්පැන් බීම ශරීර සෞඛ්‍යට අහිතකර ය.
  • ස්කොට්ලන්ත විස්කි බීම බැංකු ගිණුම් ශේෂයට අහිතකර ය.

ප/ප/ලි:
විස්කි වර්ග ගැන කතා කරන විට මේ යර්ස් මිනිස්ටර් කතාංගය අමතක කරන්න බෑ!



(image: https://www.linkedin.com/pulse/whisky-ballantines-shirley-yuan)

Friday, 2 September 2016

මේ කෑම වේලාවයි! - All you can eat


ඕස්ට්‍රේලියන් ෆෙඩරල් ඡන්දයේ ප්‍රතිඵල එනතුරු සිටින කාලයේ දී සිහියට ආ පැරණි සිතුවිල්ලක් අනුව මා ලියූ දිගු ලිපියක මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලෙසින් කඩා පළ කළෙමි. එහි දෙබලකින් විහිදෙන එක් අත්තක පුරුක "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නමින් පසුව පළ විය.

ඒ අත්තේ රිකිලි කිහිපය අද පළ කරන්නට සිටිය ද, එය මදක් කල් දැමීමට සිදු වේ.

ඒ වෙනුවට මෙන්න පොඩි තරගයක්.

මේ පහත පෙනෙන්නේ මේ සතියේ දින දෙකක මගේ දිවා ආහාරයයි. මේ ආහාර ගැන ලිපියක් මා කලින් දිනක රසිකොලොජියේ පළ කර ඇති අතර, මේ ඡායාරූප ද ෆේස්බුක් හි දින දෙකකට කලින් පළ කළෙමි.

මේ ඡායාරූප දෙකේ ඇති වෙනස්කම් මොනවා ද?



මෙය මගේ අත බලා මා මැරෙන දිනය ගැන කියන්නැයි මා කළ අභියෝගය තරම් දරුණු එකක් නොවෙතැයි සිතමි.

සති අන්තයේ පොඩි විවේකයක් ගන්නෙමි. ඒ ගැන කලකට ඉහත නාඳුනන පාඨකයෙකු විසින් අනාවැකියක් ද පවසා තිබුණි.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා පෙර දිනක ලෝවැඩ සඟරාවෙන් සහ ධම්මපදයෙන් කවි කිහිපයක් උපුටා දැක්වුයෙමි. මෙන්න තවත් හොඳ කවියක්.

සියපත සුවඳ ම ය
කුඩ මසු පිළී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය


(image: http://www.newhealthadvisor.com/)

Sunday, 7 August 2016

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය - Sunday, funday!


අලස දවසකි.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඊයේ සවස් යාමයේ සිනුවර පැවැත්වුණු විවිධ ප්‍රසංගයක් නැරඹීමට ගියෙමි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කර තිබුණු "මියැසි රංගන" නම් වූ ඒ ප්‍රසංගය පැවැත්වුණේ ග්ලෙන්මෝ පාක් නම් මා වසනා ගමෙන් කිලෝමීටර් හැටක් පමණ දුරින් පිහිටා ඇති නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ රංග ශාලාවේ දී ය.

මේ ප්‍රසංගය සඳහා මා ටිකට්පත් දෙකක් මිලට ගත්තේ බිරිඳ සමග එය නැරඹීමට යාමට ය. නමුත් හදිසි අධ්‍යාපන/වෘත්තීය කටයුත්තක ලියවිල්ලක් සම්පාදනය කිරීමට කාලය ගත කරන්නට සිදු වූ නිසා, ඇයට ඒ අවස්ථාව අහිමි විය.

නමුත් ඒ ඩොලර් පනහක මුදල අපතේ නොයවා ඒ ප්‍රවේශ පත්‍රය මගේ මිතුරෙකුට ලබා දුනිමි.

රාත්‍රී හතේ කනිසමට ඇරඹී අඩ පැයක පමණ විවේකයක් ද සහිතව රාත්‍රී එකොළහ දක්වා පැවැත්වුණු "මියැසි රංගන" ප්‍රසංගයේ දී මේ ප්‍රාන්තයේ වෙසෙන සිංහල කලාකරුවන් රැසක ගේ ප්‍රතිභාපූර්ණ දස්කම් රැසක් රස විඳින්නට අපට අවස්ථාව ලැබුණි.

කිලෝ මීටර් හැටක් ගෙවා මා ආපසු නිවස කරා ළඟා වන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබුණි.

සෙනසුරාදා දිනවල මෙවැනි ප්‍රසංගයන්ට සහභාගීවීමේ දී යම් කැප කිරීමක් කරන්නට සිදුවේ. එනම්, මද පමණින් අනුමත වීමට අවස්ථාවක් නොමැති වීමයි.

බිග් බෑන්ග් දෙයියන් ලෝකේ මවන විට සතියකට දින හතක් ලබා දුන් නිසා, එය ලොකුම ප්‍රශ්නයක් නොවෙතත්, අනුමත වීම සඳහා සෙනසුරාදා රාත්‍ර්‍රිය තරම් වෙනත් රාත්‍රියක් ළොවෙත් නැති බව නොරහසකි.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඉරිදා යනු මගේ ජීවිතයේ මේ දිනවල සතියේ හොඳම දවසයි.

කලකට පෙර මට ඉරිදා උදෑසනින් ම අවදිව දරුවන් රැගෙන සිංහල පාසලට යෑමට නියමිත වී තිබුණි. ඉන්පසු වස් වරුවේ දියණියව නැටුම් පන්තියට රැගෙන යාමට ද, වෙළඳ ශාලාවකට ගොස් එළවළු, පලතුරු, පාන් සහ අනෙකුත් බඩු භාණ්ඩ රැගෙන ඒම ද ඉරිදා දිනයේ රාජකාරී අතරේ විය.

දැන් ජීවිතය ඊට වඩා සරල ය.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

දැන් මා කරන්නේ ඉරිදා උදෑසන අටට පමණ අවදිව, මුත්‍රාශය සැහැල්ලු කරගෙන නැවතත් ඇඳට ගොඩ වී ජංගම දුරකථනයෙන් ජාලයට පිවිසීමයි.

බ්ලොග් ලෝකයේ, ඊ-ලිපි ලෝකයේ සහ ෆෙස්බුක් ලෝකයේ යන ත්‍රෛලෝකයේ කරක් ගසා, එක්කෝ බිරිඳ විසින් හෝ නැතහොත් මා විසින් සාදනු ලබන තේ කෝප්පයක් ද පානය කරමින්, ඊළඟට මා කරන්නේ ඒබීසී සේවයේ විකාශනය වන ඉන්සයිඩර්ස් නම් කාලීන පුවත් විශ්ලේෂණ රැගත් දේශපාලන වැඩසටහන නැරඹීමයි.

උදෑසන නමයේ හෝරාවට ඇරඹෙන ඉන්සයිඩර්ස් යනු පැයක වැඩ සටහනකි. දවසේ අනෙකුත් වැඩ රාජකාරි සඳහා මා යොමුවන්නේ උදෑසන දහයෙන් පසුවය.

අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

අද දහයට ඇදෙන් ඉවත් වී කුස්සියට ගිය මා කළේ මගේ ප්‍ර්‍රියතම පාතරාසය වන පලතුරු මුදු පානය බෝතලයක් ම පිළියෙල කරගෙන නැවතත් ඇඳට ගොඩවීමයි.

රසිකොලොජියේ පළ කරන්නට මා කෙටුම්පත් කර ඇති ලිපිය කිහිපය පිරික්සු විට මට හිතුණේ, ඉන් එකක් පළ කරනු වෙනුවට, අද ඉරිදා වෙනුවෙන් අලුතෙන් ම ලිපියක් ලිවිය යුතු බවයි.
මේ ලියා අවසානවන්නේ ඒ ලිපිය ය.

නමුත් අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය.

ඔබටත් මෙවැනි සුවබර දිනයක් ප්‍රාර්ථනා කරමි!

-රසිකොලොජිස්ට්

(image: http://therepublicsocialhouse.com/event/sunday-funday-with-rare-form-dj-crew/2016-07-24/)

Monday, 1 August 2016

මගේ මහා පාද යාත්‍රාව - Shed kilos, get fit, walk every day!


පසුගිය බ්‍රහස්පතින්දා මා ලද අත්දැකීමක් ඇසුරෙන් ලියවෙන මේ ලිපිය ලංකාවේ පසුගිය දිනවල පැවැත්වෙන පාද යාත්‍රා සන්දර්ශනයට කිසිදු සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.

අපේ කාර්යාලයේ සිදුවුණු ස්ථාන මාරුවෙන් පසු වෙනදා කාර්යාලයට පෙරවරු 9:30ට ළඟාවෙන්නට නිවසෙන් පිටවුණු මා, ඊට වඩා උදෙන් පිටත් වී පෙරවරු 7:45 ට පමණ වැඩ අරුඹන්නට පටන් ගත්තෙමි.

තරමක් දුක තිබුණ ද, ඒ වෙනස සැප බව කලින් ලිපියක ලියූවෙමි.

පසුගිය බ්‍රහස්පතින්දා මා උදේ සේවයට යන්නට සැරසුණේ තරමක් ප්‍රමාද වී ය. කොටින් ම මා ඇඳ පැළඳ නිවසෙන් පිටවීමට සූදානම් වී අවසාන වන විට අපේ පුතා පාසලට ඇරලවා ඒ පාසල අසලම ඇති තම සේවා ස්ථානයට යාමට මා ප්‍රිය බිරිඳ ද සූදානම් වී හමාර ය.

සුපුරුදු පරිදි, මගේ උදෑසන ආහාරය වන පලතුරු ස්මූති පානය ද, දිවා අහාරය වන කෙලවල්ලා සැන්ඩ්විචයට අවශ්‍ය ද්‍රව්‍ය ද, අතරමග දුම්රිය ගමනේ දී රසිකොලොජි ලිපි ලියන්ට භාවිතා කරන ලැප්ටොප් පරිගණකය ද සහිත මල්ල කරේ දමාගත් මා, බිරිඳට වුම්බනයකින් සංග්‍රහ කර, පුත්‍රයාට සැමදාම කරන සරදම වන අද සිට හොඳ ළමයෙකු වෙන්න යැයි පවසා නිවසෙන් පිටත්වන්නට අඩියක් තිබ්බා පමණි. මට එක්වරම දැනුණේ, මට යතුරු කැරැල්ල අමතක වී ඇති බවයි.

නිවසේ යතුර කෙසේ වෙතත්, මෝටර් රථයේ යතුර අත නොමැතිව කෙසෙලක නම් දුම්රිය ස්ථානයට යන්නද?

අමතර යතුරක් තිබුණද, එය ද ඒ හදිසියේ සොයා ගත නොහැකි විය.

ඉතින් මා කළේ, පුතා ද රැගෙන දුම්රිය ස්ථානය අසලටම යන බිරිඳ සමග සම්මුතියකට එළැඹීමයි.

ඒ අනුව, මා ඇගේ වාහනය පදවා ගෙන මුලින් ම පුතා ගේ පාසල අසලට ගොස් ඔහු එහි බස්සවා, ඉනික්බිති දුම්රිය ස්ථානයට ගියෙමි. වෙනදා මෙන් දුම්රිය ස්ථානයේ රථ ගාලේ නොව එහි ඇති "කිස් ඇන්ඩ් රයිඩ්" ස්ථානයේ වාහනය තාවකාලිකව නවතා එතැන් සිට, නුදුරෙන් ඇති ඇගේ සේවා ස්ථානයට යාමට රථය බිරිඳට භාර දුනිමි.

කෙසේ හෝ මෙයින් සිදුවූයේ බිරිඳට මගේ චුම්බන එකක් නොව දෙකක් ම ලැබීමයි.

හවස් වරුවේ මා කළ යුතුව තිබුණේ, ඇයට දුම්රිය ස්ථානයෙන් මා එකතු කර ගැනීමට හැකිවෙන පරිදි, කලින් බිරිඳ සමග ජංගම දුරකථනයෙන් කතාබස් කරගෙන එහි ළඟා වීමයි.

නමුත්, එය එසේ කරනු වෙනුවට මගේ සිතට ඇති වූයේ අපූරු සිතුවිල්ලකි.

එනම් දුම්රිය ස්ථානයේ සිට නිවසට පයින් ම ගමන් කිරීම ය.

කිලෝමීටර් හතක් පමණ යාමට ඇති බව දන්නා නිසා, මුලින් තරමක දෙගිඩියාවක් ඇති වුණද, පසුව එය මග හරවා ගතිමි.

"මං බස් එකේ එන්නම්, ඔයා පරක්කු නොවී ගෙදර යන්න!" යැයි මා ඇමතූ බිරිඳට තරමක සම්‍යක් බොරුවක් දෙසා බෑමි.

සූදානම් ශරීරේ කියා මා කාර්යාලයෙන් පිටවුණේ ද, ඇවිදීමට මා පළඳින සපත්තු ජෝඩුවෙන් සැරසීය.

කිලෝ මීටර් හය හමාරක් පමණ වූ මගේ පාද යාත්‍රාව මට පැයකින් අවසන් කිරීමට හැකිවිය. එකම ප්‍රශ්නය වූයේ ලැප්ටොප් පරිගණකය සහිත මල්ල පමණි.

හැම දිනකම මෙසේ පැයක් පමණ ඇවිදීම, කාර්යාලවල පුටු උඩට වී "බගන්දරා මල්" වවමින් සිටිනා මා වැනි සියලු දෙනාට ම යෝග්‍ය අභ්‍යාසයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පාද යාත්‍රා මගින් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් හොඩ නැගීමට කැප වී සිටින හොරු වෙනුවෙන් හොරු කණ්ඩායම ද මගේ ප්‍රණාමය පිරිනමමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අතරමගදී ගත් ඡායාරූප කිහිපයක්.

Friday, 8 July 2016

අමතක වී ගිය සංවත්සරය - Fading away......!


ඊයේ දිනයට යෙදුණු, මගේ ජීවිතයේ වැදගත්ම සංවත්සරයක් මට අමතක වී ගියේ ය.

ඒ සංවත්සරය වැදගත් එකකැයි මා කියන්නේ, අවාසනවන්ත ආකාරයට අමතක වී ගියේ ජීවිතයේ එක් වැදගත් සන්ධිස්ථානයක දසවෙනි සංවත්සරය නිසායි.

මේ අමතක වීම සිදු වුණේත්, අමතක වුණු බව සිහි වුණේත්, පුදුම සහගත ආකාරයටය. මීට සති දෙකකට පමණ පෙර මට මේ සංවත්සර දිනය ද, එය දසවෙනි සංවත්සරය බව ද, එනිසා ම එහි ඇති වැදගත්කම ද සිහි වී මා ප්‍රිය බිරිඳ සමග ද ඒ බව පැවසූවෙමි. ෆෙස්බුකියේ සහ රසිකොලොජියේ ඒ ගැන යම් සටහනක් තැබිය යුතුයි කියා ද මම එවෙලේ සිතා ගත්තෙමි.

නමුත්, වෙනත් කාරණා සඳහා කාලය ගත වෙද්දී සහ පැය දින වී, දින සති වී ඉගිල යද්දී මට එය සහමුලින් ම අමතක විය.

ඊයේ රාත්‍රියේ නින්දට ගොස් සිටි මා හදිසියේ ම අවදි වී ඇද අසල තබා ඇති මේස කෑල්ල මත තිබුණු මගේ ජංගම දුරකථනය දෙස බැලු විට දුටුවේ වේලාව දෙක පසු වී විනාඩි තිහක් පමණ බව ය. දිනය ජූලි හත්වෙනිදා සිට ජූලි අට වෙනිදා දක්වා වෙනස් වී තිබුණි.

ඒ ක්‍ෂණයකින් ජූලි හත්වෙනිදාට යෙදී තිබුණු මගේ ජීවිතයේ ඒ වැදගත්ම සංවත්සරය සැමරීම මට අතපසු වුණු බව වැටහී මට මද දුකක් ද ඇතිවුණි.

ඒ සමගම, ඒ මද දුක වසාගෙන නැග ආවේ බලවත් ප්‍රීතියකි. සන්තෝෂයකි. යමක් අත්පත් කර ගත්තා හෝ ජය කණුවක් පසු කළා හෝ ආකාරයේ ආහ්ලාදයකි.

ඒ ඇයිදැයි යන්න දැන් ඉතා කෙටියෙන් පවසමි.

මීට දස වසරකට පෙර 2006 ජූලි මස හත්වෙනි දා, කලින් දින නියම කරගෙන තිබුණු පරිදි, සිනුවර තදාසන්නයේ පිහිටි වෙස්ට්මීඩ් නම් වූ රෝහලට මා ඇතුළත් වූණේ පුද්ගලයෙකුට ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවෙන අභාග්‍යසම්පන්න ශල්‍ය කර්මයකට මුහුණ දීමට ය.

මේ ශල්‍ය කර්මයට අත්‍යාවශ්‍ය අඩිතාලම දැමීම සිදුවීම වූයේ ඊට මාස පහකට පෙර 2006 පෙබරවාරියේ දී ය. ඒ අලකලංචියේ දසවෙනි සංවත්සරය දිනයේ දි මම ඒ ගැන ලියු කවි කිහිපයක් ද රසිකොලොජියේ පළ කළෙමි.
අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...! :: http://rasikalogy.blogspot.com/2016/02/decade-old-memory.html
එදා 2006 පෙබරවාරි හත්වෙනිදා උදෑසන සිහිසුන් ව ඇද වැටුණු මට, එදිනම හවස් වරුවේ කරන ලද ඇන්ජියෝප්ලාස්ටි නම් වූ ක්‍රියාවලියේ දී ස්ටෙන්ට්ස් නමින් හැඳින්වෙන රුධිර නාල සකසන කුඩා ගැජට්ටු හතරක් මගේ හදවතට රුධිරය සපයන නාලිකා තුළට ඇතුළත් කරනු ලැබුවද, පස්වැන්න යෙදීමට පෙර මගේ තත්වය දරුණු වූ නිසා එම ක්‍රියාවලිය එතැනින් අවසන් කර ඇත.

සති තුනකට පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ද, හෘදය රෝග වාට්ටුවේ ද ගතකර පසු මා නිවසට ආවේ, තත්වය හොඳ අතට හැරුණු වහාම ශල්‍ය කර්මයක් කළ යුතුම යැයි ලැබුණු උපදෙස පිළිගෙන ය.

පෙර සඳහන් කළ පරිදි 2006 ජූලි මස හත්වෙනි දා මා වෙස්ට්මීඩ් රෝහලට ඇතුළත් වූයේ ඒ හදවත් ශල්‍ය කර්මයට මුහුණ දීමටයි.

මගේ හදවතට රුධිරය සපයන නාලිකාවල, පෙබරවාරියෙ දී ස්ටෙන්ට් ගැජට්ටු දමා පෑදූ තැන් හතර ද, එසේ කිරීමට නොහැකි වූ අනෙක් ස්ථානය ද මගහැරීමට, එනම් බයි-පාස් කිරීමට, පැටර්සන් නම් ශල්‍ය වෛද්‍යවරයා කළ ශල්‍යකර්මය කෙතරම් හොඳින් සිදුවුණා ද කිවහොත් සිව්වෙනි දිනයේ දී මම ආඩම්බරයෙන් නිවසට ද පැමිණියෙමි.

මගේ ආඩම්බරය වැඩි වීමට තවත් හේතුවක් වූයේ බයි-පාස් කළ අය ගැන ද, ඩබල් බයි-පාස් කළ අය ගැන ද, කාලයක සිට නිරතුරු අසා තිබුණ ද, පෙන්ටා බයි-පාස් ඔපරේෂොමක්, එනම් බයි-පාස් පහක් කළ කිසිදු අයෙකු පිළිබඳව මා එතෙක් අසා නොතිබුණු නිසා ය.

එසේම, මගේ ශල්‍ය වෛද්‍යවරයා ඒ බයි-පාස් පහම කර තිබුණේ පපු කුහර ඇතුළතම ඇති වෙනත් නහරයක් [mammary artery] උපයෝගී කරගෙන වූ නිසා, අතෙන් හෝ කකුලෙන් නහර කපා ගැනීමට සිදු කළ සැත්කම්වල තුවාල කැළල් මට නැත.

ඇත්තේ පපුවේ දික් අතර ඇති සිප් (zipper) එකක් වැනි කැපුමක් පමණි.

මේ ලිපිය අවසාන කිරීමට පළමු කරුණු දෙකක් කිව යුතුය.

එයින් මට වැදගත් කාරණය නම්, බයි-පාස් සැත්කමකින් පසුව හදවත වසර දහයකින් තරුණවන බව කියවේ. දහවරක් පහ පනහකි [10x5=50]. එනම් මගේ වයස එදා සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තට ගියේ ය.

මේ ලිපිය කියවූ ඔබට වැදගත් කාරණය මෙයයි.

ස්ටෙන්ට්ස් ගැජට්ටු සහ බයි-පාස් සැත්කම් අවශ්‍ය වන හදවත් රෝගය සෑදෙන්නේ කොලස්ටරෝල් වැඩි, රුධිර පීඩනය වැඩි, දුම්බොන අයට පමණක් ම නොවේ. ඒ කිසිදු සාධකයක් මට අදාළ නොවුණි.

අතින් ගිලිහී යන පීඑච්ඩී උපාධිය පිළිබඳ, වෘත්තිය පිළිබඳ සහ රැකියාව පිළිබඳ ආතතිය, දවසේ වැඩි වේලාවක් එක්කෝ පරිගණකයක් ඉදිරිපිට හෝ දුම්රිය අසුනක ඉඳගෙන ගෙවීම වැනි දේ පෙර කී සම්මත සාධකවලට වඩා හදවත් රෝගවලට හේතු කාරක විය හැකි ය යන්න මින් වසර දහයකට පෙර මා එළැඹි නිගමනයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වේලාව තිබේ නම් මේ පහත ලිපිය ද කියවන්න.
http://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html :: මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)

(image: http://www.smart-heart-living.com/my-scar-makes-me-cry.html)

Wednesday, 10 February 2016

මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)


මගේ සීයා, එනම් පියා ගේ පියා, කලකට පෙර මිය ගියේය. ඔහු ගේ සිරුර දැවූ සොහොනේ අළු සහිත මුට්ටිය රුගෙන කුලී කාර් එකකින් කැලණි ගඟ අසබඩ දන්නා හඳුනන ස්ථානයකට රැගෙන ගිය මගේ පියා ඒ අළු මුට්ටිය හිල් කර ගඟේ පා කර යැවීය.

ඔහු ඒ ගමනට මා ද මගේ සොහොයුරෙකු ද එක් කර ගත්තේය. ඒ අප මෝටර් රථයකින් රැගෙන ගොස් සතුටු කිරීමට ම නොවෙන බව පසුව මට වැටහිණි.

එය මට වැටහුණේ මීට වසර පහකට කලිනි. ඒ මගේ පියා මිය ගිය පසුය.

පියා ගේ භෂ්මාවශේෂ රැගෙන මාත් මගේ මල්ලීත්, මල්ලී ගේ පුතාලා දෙදෙනා ද සමග ඔහු ගේ වාහනයෙන් කැලණිය පන්සල අසලට ගියෙමු. පාරුවෙන් ගඟ මැදට ගිය අපි ඒ අළු බඳුන හිල් කර දියේ පා කර හැරියෙමු.

මොහොතකින් තාත්තා ගේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය දියේ ගිලී නොපෙනී ගියේය.

දිනෙක මට ද, මගේ මල්ලීට ද අයත් වෙනු ඇත්තේ ඒ ඉරණමයි.

සොහොන් නැත. සැමරුම් නැත.

"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි!" යැයි මහගම සේකර ලියා අමරදේව ගැයුවේ ය.

මගේ අදහස නම් සොහොන් කොත් යනු අනවශ්‍ය දෙයක් බවයි. මේ ලෝකයේ ඉපදී මිය යන සියලු දෙනා වෙනුවෙන් සොහොන් කොත් බැන්ඳොත් ලෝකය විනාශ වී යනු ඇත. ඉතුරුවෙනු ඇත්තේ සොහොන් කොත් පමණි.

ඒත් සොහොන් කොත්වල ලියන්නට යැයි පැවසෙන දුක් ගී?

දුක් ගීවල නම් යම් වැදගත්කමක් ඇත. ඒ මිය ගිය පුද්ගලයින්ට නොව, ඔවුන් වෙනුවෙන් දුක් ගී ලියන ජීවත්වන්නන්ට ය.

නමුත්, ඒ ආකාරයට දුක් ගී ලිවීමට සොහොන් කොතක් බැඳීම ම අවශ්‍ය නොවේ!

කෙදිනක හෝ මා මළ පසු මා වෙනුවෙන් දුක් ගී ලියන්නට සිතැති අයගේ ප්‍රයෝජනය පිණිස, සයිබර් දුක් ගී පිටුවක් අරඹන්නට මා සිතුවේ ඒ නිසාය.

එය මේ රසිකොලොජි බ්ලොගයේ ම පිටුවකි. දැනට ම එය සකසා අනාගතයේ දිනයක් සහ වේලාවක් යොදා පළවීමට සලසා ඇත්තෙමි.

දිනෙන් දින ඒ නියමිත දවස කල් දැමීමට අදහස් කරන නිසා, එය ඔබට පෙනෙනු ඇත්තේ යම් දිනක මා මිය ගොස්, එසේ දිනය වෙනස් කිරීමට මට නොහැකි වූ විටය.

කොහොමද මගෙ ටිකිරි මොළේ?

යම් හෙයකින් මගේ මරණයට පෙර මට අකර්මණ්‍ය වී කල් ගත කරන්නට සිදුවුණුහොතින් ඒ පිටුව පළවීමේ අනතුරක් ඇත. එසේම, වෙනත් හේතු නිසා, මට මගේ බ්ලොගර් ගිණුමට පිවීසිමට නොහැකි වුවහොතින් ද එය එසේ සිදුවිය හැකි බව මම දනිමි. නමුත්, ඒ සියල්ල පිළිගත හැකි මට්ටමේ අන්තරායන් ය.

එහෙනම්:

මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි
දන්නා යුනිකෝඩයකින් දුක් ගීයක් ලියනු මැනවි


-රසිකලොජිස්ට්

ප/ලි:
මෙය ද කිව යුතුය!

මගේ පියා මිය ගිය විට නම් ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු වෙනුවෙන් දුක් ගී ලියුවේ නැත. කොටින්ම ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු ගේ අවමංගල්‍යයට ද සහභාගී නොවූහ.

ඒ රණ්ඩු, වලි, හිත් අමනාපකම් නිසා නම් නොවේ.

මගේ පියා මිය යන විට ඔහු ගේ මිතුරන් සියලු දෙනාම මිය ගොස් ය!

Monday, 8 February 2016

මැරෙන එක ද පණ යන වැඩකි! - Near death experience of Rasikologist


දස වසරකට පෙර සිදුවීමක් ගැන මා ලියූ කවි පන්තියක් පෙරේදා එහි සංවසත්සරය සමරීම පිණිස රසිකොලොජියේ නැවත පල කළෙමි. ඒ සිදුවීම ගැනම, මා ගද්‍යයෙන් ලියා පල කළ “කතන්දරයක්" ද ඇති බව මතක් වුණු නිසා, එය ද, පොඩි සංස්කරනයකින් පසුව, නැවත පල කළ යුතු යැයි සිතුණි.

මෙය කලින් කියවූ ඇත්තෝ සමාවෙත්වා.

කතන්දරය කියවා එහි යටින් ඇති පැහැදිලි කිරීම ද කියවන මෙන් ඉල්ලමි.

මෙන්න මා 2011 මැයි මාසයේ ලියූ ඒ කතන්දරය.
නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!

මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.

එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුණේ නෑ. බැස්සට ඇවිදින්න හිතුණේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.

මං බඩගින්නේ හිටියේ ලේ පරීක්‍ෂාවක් කරන්නයි. ඇගට පණ නැතිකම මං හිතුවේ කලින් දවසේ රෑ නමයට විතර කෑවට පස්සේ තේ එකක්වත් නොබීපු නිසා එන එකක් ය කියලයි.

බැරිම තැන මං ඉස්කෝලේ මිදුලේ තිබුණු පොඩි බංකුවක වාඩි වුණා. එතකොටම බෙල් එක ගහනවා ඇහුණා. මේ පුතා ඉස්කෝලේ යන දෙවෙනි සතිය. කොල්ල බෙල් එක ඇහිල බය වුණා, "යං, යං!" කියල මගේ අතින් ඇද්දා.

මට නැගිටලා ඇවිදගෙන පුළුවන් වුණේ අඩි දෙක තුනයි. මං දැක්කා මගේ කකුල් යටින් තියෙන තණකොළ පදාසය නිකං මොසැයික් කොටු කොටු වේගෙන යනවා. කපල දැම්ම වගේ වැටුණේ ඊළඟටයි.

හැබැයි මාව ඉස්පිරිතාලේට අරං ගිය ගමන මං ගියේ හොඳ සිහියෙන්. යන ගමන් හාමිනේට කෝල් කළා මගේ මොබයිල් එකෙන්.

හාමිනේ මාව බලන්න දුවගෙන එනවා මට මතකයි. වැටිච්ච වෙලේ නහයෙන් ලේ ආපු නිසා, ස්කෑන් එකක් කරන්න ෆෝම් අත්සන් කරනවාත් මට මතකයි.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.

නර්ස් නෝනට ඒක ඇහුණේ නැද්ද, ගණං ගත්තේ නැද්ද අනේ මන්දා.

හැමෝම බලං ඉන්නේ ඇඳ උඩින් පැත්තක හයි කරල තියෙන ඊ.සී.ජී. මොනිටර් එක දිහා. මාත් ඒක දිහා තමයි බලං ඉන්නේ.

පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඒ මොනිටර් එක දිහා මේ විදියට බලං ඉන්නේ. එතකොට අර ඇඳේ දිගාවෙලා ඉන්නේ මං නේද? ඒ මං නං, එතකොට කොහෙමද මට මාව ම පේන්නේ?

හාට් එක නැවතෙනවා කියන්නේ මගේ කාලේ හරිද? මට යන්න වෙලාද?

නෑහ්, දැන්ම යන්න බෑ!

දැන්ම ගිහිල්ලා කොහොමද? පොඩි කාලේ ඉඳලා කවි ලිව්වට, තාම බැරිවුණා පොතක් අච්චු ගහන්න. දැම්ම ගිහින් කොහොමද ඒක කරන්නේ?

ඊටත් වඩා, මං දැම්ම යන්න ගියොත් තාම අවුරුදු පහක්වත් නැති පුතා ලොකු වෙනකොට ඌට තාත්ත කෙනෙක් නෑ නේද? මාව කොල්ලගේ මතකයේවත් තියෙන එකක් නෑ.

නෑහ්, දැන්ම යන්න බෑ!

ඔන්න මං යනවා හෙලිකොප්ටරයක. මාව වෙන ඉස්පිරිතාලෙකටවත් අරං යනවද මන්දා?

හෙලිකොප්ටරේ දොර ඇරුණා. දොරෙන් එහා පැත්ත පුදුමාකාර එළියයි. ඉර දෙකක්, තුනක් පායලා වගේ.

"යන්න, පුතා යන්න". හෙලිකොප්ටරේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට කියනවා. මට පොරව දැකල පුරුදුයි වගේ. මේ අර මාව ඉස්කෝලේ ළඟ ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනාව මනුස්සයා නේද? එකම වෙනස මෙයා ගේ උඩුරුවුලයි, එළු රුවුලයි දෙකම සුදුම සුදුයි!

මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.

මං දොරක් ඇරගෙන ඇතුළත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.

"ඉස්සෙල්ලාම මට ඉඳගන්න පුටුවක් දෙන්න!"

මේ මරණාසන්න අත්දැකීම මගේ සත්‍ය මතකයයි. මට සිහිය එව විට මා ඇත්තටම සිතුවේ හෙලිකොප්ටර් ගමනෙන් පසුව මා ඉන්නේ වෙනත් රෝහලක බවයි.

මේ කතාවේ ඇති යම් යම් සිදුවීම්, මා මීට පෙර අසා ඇති මේ ආකාරයේ කතාවල ආ ආකාරයේ ම වීමේ පුදුමක් නැත. මක් නිසා ද යත්, මා දන්නේ මා අසන, දකින, කියවන, අත්දකින දේ පමණක් බැවිනි.

ජයවේවා.

-රසිකොලොජිස්ට්

Saturday, 6 February 2016

අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...!


හෙට, පෙබරවාරි හත්වෙනිදා, මගේ ජීවිතයේ එක්තරා සංවත්සරයකි.

මේ විවාහ සංවත්සරය නොවේ. එය මැයි විසි අටවෙනිදා ය. උපන් දිනය ද නොවේ. එය ඔක්තෝබර් විසි හත්වෙනි දා ය. නමුත් මේ සංවත්සරය උපන් දින සංවත්සරයකට බොහෝ දුරට සමාන එකකි.

මේ සංවත්සරයට අදාල මුල් සිදුවීම සැමරීම පිණිස ඒ කාලයේ ම ලියා, දෙතුන් සැරයක් විවිධ තැන්වල පළ කළ කවි පන්තියක් නැවත රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

"හන්තාන අඩවියේ ගීතයේ" තාලයට මා ලියූ "ඝණ්ඨාර ශබ්දයෙන් ගීතයේ" අරුත සමහර දෙනාට නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වුවද, මේ සරල කවි පන්තිය ගැන එවැනි ප්‍රශ්න ඇතිවේ යැයි නොසිතෙමි.

කෙසේ වෙතත්, නොරේරෙන තැනක් තියේ නම් කරුණාකර අසනු මැනවි. පසුව පහදා දෙමි.

දවස තාමත් තරුණයි

කපා දැමූ රඹ කඳ මෙන් වැටුණි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිලුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුළ බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුළට යළි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ළයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


ඔබ සැමට නීරෝගී සැප පතමි. ජයවේවා!

-රසිකොලොජිස්ට්

Sunday, 31 January 2016

සින්දු කවි කිරීම සහ ජීවිතයේ ගීතය ද කවියක් කිරීම - This is life mate!


දේශපාලනය ගැනම බ්ලොග් ලියන්නෝ පවා විටින් විට කවි ලියා පළ කරනවා දැක තියෙනවා නේද?

මේ වචන කිහිපය නිකමට මෙන් ලියවුණු ඒවා ය. වැඩිපුර සිතිය යුතු කරුණක් නොවේ.

එසේ වුව ද සංවත්සරයක් ළඟම එයි.

ජීවිතය

නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ
ලොවේ කොයි කාටත් නොදන්වා
ඉබේටම වාගේ
නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ

උපන් දා සිට ඇවිලිලා ගොස්
පහන් තිරය ද කෙටිය දැන්
එලෙස ඇවිලෙන්ට ජවය දී
තෙල් සිඳී ගොස් ඇතිය දැන්

නිවී යන්නට තවත් කෙතරම්
කල් තිබේ දැයි කීව හැකි නම්
නිවෙන්නට මොහොතකට හෝ පෙර
එළිය විහිදමි මුලු ලෝකෙට ම
අවසාන තෙල් බින්දුවෙන්!


-රසිකොලොජිස්ට්

ප/ලි
දේශපාලන බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා පළ කරන ලද කවියක් මෙන්න.
අලුත් කුරුල්ලෙක් ඇවිදින් - http://www.w3lanka.com/2016/01/blog-post_24.html

Monday, 11 January 2016

දින පොතේ පිටු දෙකක සටහන් නොහොත් ජීවිතෙන් සති දෙකක් බ්ලාස් ගිය හැටි - New year begins today!


පසුගිය දෙසැම්බර් විසි අට වෙනිදා මගේ දවසම ගෙවුණේ මරදානේ ය.

මරදානේ ඉපදුණු, සිව් වසරක්ම මරදානේ පාසල් ගිය මට මරදාන යනු නුපුරුදු තැනක් නොවේ. නමුත්, මෙදා මට මරදානේ දී වැඩ වැරදුණි!

ඉර මුදුන් වෙනතුරු මා දවසේ මුලින් ම ක්‍රියාන්විත පැය කිහිපය ගත කළේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ ය. නැවත හවස් වරුවේ එහි එන බලාපොරොත්තුවෙන් එතැනින් පිට වී, දවසේ අපරභාගය ගත කළේ විජේසූරිය, දයාවංශ ජයකොඩි, සූරිය සහ සුරස පොත්හල්වල ය. දවල්ට කෑවේ බිම් මහලක තිබුණු අයිල කඩයකිනි.

උසුලා ගෙන යන්නට බැරි පොත් කන්දක් ඒ වෙන විට එකතු වී තිබුණු නිසාත්, පාස්පෝට් ඔෆීසියේ යටිමහලේ තිබුණු සංහිඳ පොත්හලට යාමට තිබුණු නිසාත්, මරදානේ ගොඩගේ පොත්හලට යාම පසු දිනකට කල් දැම්මෙමි.

කල් ඉකුත් වී වසර අටහමාරක් ගත වී තිබුණු මගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ලබාගත් අලුත් බලපත්‍රයද, කිලෝ විස්සක් පමණ පොත් මලු කිහිපයක් ද රැගෙන මරදානෙන් පිටත් වූයේ හවස පහමාරට පමණ වුවද, පිළියන්දල-කොළඹ මාර්ගයේ ඉඳිකිරීම් සහ වාහන තදබදය නිසා, මා නිවසට ළඟාවෙන විට රාත්‍රී හත ද පසු වී තිබුණි.

උදේ මා සමග නොගිය, ඇඟේ අමාරුවක් ද, කැස්සක් ද, හිසරදයක් ද, සවස මා සමග නිවසට පැමිණ තිබුණි.

එතැන් පටන් ඇරඹුණේ කහිමින් ද, හොටු හූරමින් ද, නිදා ගනිමින් ද, නිකරුණේ ඇඳ මත වැතිරී සිටිමින් ද, නිදා වැටෙමින් ද, පෙති, කරල්, කුඩු ආදී මෙකී නොකී ඖෂධ වර්ග ඇඟ ඇතුළට දමා ගනිමින් ද, මා ගත කළ ලෙඩ කපුටෙකු ගේ ජීවිතයයි.

සති තුනක් ගත කළ ලංකාවෙන් චුත වී, තවත් දවසක් ම මග ගෙවා, ඒ සතියේ ඉරිදා වෙන විට යළි සුතනඹුවන් අතරට පැමිණි මුත්, ලෙඩ කපුටු සාපය තවත් සතියක් ම පැවතුණි.

නව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.

අහම්බෙන් මෙන් සිදු වූ එකම වැදගත් කර්තව්‍යය වූයේ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන අහම්බකාරක කියවා හමාර කිරීම පමණි.

අද අලුත් සේවා සතියක් ඇරඹේ.

හොඳින් හිරු පායා ඇති පැහැබර දිනයකි.

උදෑසන අටයි කාලට පමණ මා දුම්රිය පොළේ වාහන ගාලට ළඟාවෙන විට ම උෂ්ණත්වය අංශක විසි දෙකක් වී තිබුණි. හවස් වෙන විට අපේ ගම් පෙදෙසේ පරිසරය අංශක තිස් අටක් දක්වා වැඩි වීමට නියමිත බව පෙනේ. සේවා ස්ථානය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශය අංශක තිස් දෙකක් වීමට නියමිතය.

පසුගිය වසරේ ද මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.

නව වසර අද ජනවාරි එකොළොස්වෙනිදා සිටවත් අරඹමි!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි (12/01/2016):
මේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.

මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.

මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.

1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.

3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.

6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

7. රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.

8. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.

10. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.

14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.

Wednesday, 25 November 2015

දුම් බොන්නන් යනු අපතයින් ය - Kiss only non-smokers!


මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දී පාසලේ අමතර ක්‍රියාකාරකමක් ලෙස අපේ පන්තියෙන් ද මහා වෙසක් කූඩු රාජයෙකු සෑදීමේ ව්‍යපෘතියක් ඇරඹුණි. මෙහි වැඩකටයුතු සඳහා පාසලෙන් පසු පැය කිහිපයක් නතරවීමට අප කතා කරගත්තෙමු.

අදාළ දිනයේ දහවල් දෙක පමණ වෙන විට ව්‍යාපෘතියට අවශ්‍ය උණ ගසක් කපා ගැනීමට හැකි විය. එයින් පසු, ඒ උණ කපා කොටා, අවශ්‍ය ලී පතුරු සාදා ගන්නවා වෙනුවට, අපේ කොලු පිරිසට අවශ්‍ය වූයේ සිගරැට් බීමටයි.

ඒ සඳහා නායකත්වය දුන් කිහිප දෙනා ඊට පෙර ඒ අත්දැකීම ලබා තිබුණු බව පෙනෙන්නට තිබුණි. ජීවිතයේ මුල්වරට, ෆෝ ඒසස් නමින් හැඳන්වුණු සිගරැට් වර්ගයකින් දුම් බිඳක් කට ඇතුළට ගෙන ඒ සැණින් පිට කිරීම ක්‍රියාව මම දෙවරක් පමණ කළෙමි. මගේ ආධුනිකත්වය, අපේ පන්තියේ විශාරදයින් ගේ සිනහවට හේතු වූ අතර, දුම් බොන්නේ මෙසේය, දුම් වළලු යවන්නේ මෙසේය යනුවෙන් උපදෙස් ද මට ඔවුන්ගෙන් ලැබුණි.

මිත්‍ර සමාගම සමග ඒ ආකාරයට දුම්බීමට තවත් වරක් දෙවරක් අවස්ථා උදාවුණු අතර, මා ඒවා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නො කළෙමි. ඒ සියලු අවස්ථා, මුල් දිනයේ පරිදි දෙතුන් වරක් දුම් මුව තුළට ගෙන පිට කිරීමට පමණක් සීමා වී ය.

මේ කාලයේ ලංකාවේ දුම්බීම යනු සාමාන්‍ය එදිනෙදා ක්‍රියාවකි. නිවසට පැමිණෙන අමුත්තන්ට දුම්වැටියෙන් සංග්‍රහ කිරීම ද සාමාන්‍යයෙන් කෙරුණි. ඒ දුම්බොන අය සිටන නිවෙස්වල දී පමණක් නොවේ.

මලගමකදී ද ඔරේන්ජ් බාර්ලි, නෙක්ටෝවලට අමතරව, දුම්වැටි ද පිළිගැන්විණි.

දුම්වැටි පිළිබඳ වෙළඳ දැන්වීම්වලින් පුවත්පත් පිරී තිබුණි.

ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වීම දුම්වැටි ප්‍රචාරණයේ එක් ප්‍රධාන අංගයක් විය. ළමා ළපටි අපේ මෙන් ම, තරුණයින්, වැඩිහිටියන් ගේ ද ප්‍රියතම ගුවන් විදුලි වැඩ සටහනක් වූයේ ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කළ, ලංකා දුම්කොළ සමාගම අනුග්‍රහය දැක්වූ බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු ය.

කෙසේ වෙතත් මා ගනේමුල්ලේ පාසලෙන් සමත්ව, කොළඹ පාසලේ දහවෙනි ශේ්‍රණියට ඇතුළත් වූ පසු පාසල් මිතුරන් දුම් පානය කළ අවස්ථා මට මග හැරී ගියේය.

පසු කලෙක, විශ්ව විද්‍යාල සමයේ දී කටට ගන්නා දුම් උගුරෙන් පහළට පෙනහැල්ල දක්වා යැවීමට උගත් නමුත් එය ද මට කිසිදු උත්තේජනයක් ගෙන දුන් දෙයක් නොවීය. ඒ ආකාරයේ දුම්බීම පවා කෙරුණේ මත්පැන් බිඳක් තොල ගෑ දිනවල පමණි. මත්පැන් බිඳක් තොල ගෑවුණේ, එක්කෝ වසරාවසානයේ පැවැත්වෙන විභාගය අවසන් වූ දින, වාර්ෂික චාරිකාව ගිය දින ගෝ විභාග ප්‍රතිඵල පිටවූ දිනවල පමණි. එනම් වසරකට දෙතුන් වරකි.

මේ හැම අවස්ථාවක දී ම, මගේ මුව තුළ ඉතිරි වූයේ තිත්ත රසයකි. දුම් උගුරු දෙකකින් පසුවද එසේ හැඟෙන කළ, දුම් වැටියක්ම බීවා නම් කෙලෙස වෙන්නට ඉඩ තිබුණේ ද?

වාසනාවට මෙන් එනිසාම මම දුම්බීමට ඇබ්බැහි නොවුණෙමි. වින්දනයක්, රසයක්, ආස්වාදයක් නොලැබෙන දෙයකට කෙසේ නම් ඇබ්බැකමක් ඇති වෙන්නද?

ඒ කාලයේ දුම් බීම පුරුද්දක් ලෙස කළ සමහර මගේ මිතුරන් මේ වෙන විට එයින් අත් මිදී ඇති බව දැන ගන්නට ලැබීම සතුටට කරුණකි.

ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට පැමිණෙන අයට වහාම දුම්බීමෙන් මිදීමට උදව්කර ගත හැකි කාරණා රාශියක් තිබේ.

එලෙස පුනරුත්ථාපනය වූ මගේ මිතුරෙකුට අනුව, ඒ කරුණු මෙසේය.

දුම්වැටි එකක් දෙකක් මිලට ගත නොහැක. ගත යුත්තේ පැකට්ටුවකි. ඒවා බදු මගින් ඉතා අධික ලෙස මිල කර ඇත.

කුලී තට්ටු නිවාසවල ඇතුළත දුම්බීම තහනම් වේ. පසු කලෙක, ලංකාවේ ද ක්‍රියාත්මක කීරීම ඇරඹුණු පොදු වාහන, ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි, කාර්්‍යාල, සිනමා ශාලා, ආපන ශාලා ඇතුළත මෙන්ම, බොහෝ මත්පැන් බොන ස්ථානවල ද, දුම්බීම තහනම් ය. ඒ සඳහා සුවිශේෂී තැන් වෙත යෑමට සිදුවේ.

දුම්බීමේ ආදිනව ගැන දැක්වෙන වාක්‍ය සහ බියකරු ඡායාරූප ද දුම්වැටි පැකැට්ටුවල දෙපස මුද්‍රණය කර තිබේ.

දුම්වැටි පැකට්ටු මිලට ගත හැක්කේ ද, සුවිශේෂී ස්ථාවලින් පමණි.

මේ වන විට, දුම්වැටි පැකට්ටුවල කිසිදු වෙළඳ සලකුණක් මුද්‍රණය නොකර සෑම පැකට්ටුවක්ම එකම ආකාරයෙන් සැකසිය යුතුය, දුම්වැටි පැකට්ටු ඒවා විකුණ ස්ථානවල සඟවා තැබිය යුතුය යනාදී වශයෙන් ඒ නීති තවත් දැඩි වී ඇත.

මේ හේතුව නිසා මා වසර කිහිපයකින් දුම්වැටි පැකට්ටුවක් දැක නොතිබුණි. මෑත දිනයක, එක් ස්ථානයක දී එවැන්නක් දුටුවිට මට එය කුමක්දැයි හඳුනා ගැනීමට ද ටියුබ් ලයිට් තත්පරයක් පමණ ද ගත විය.

මේ මා දුටු ඒ සිගරැට් පැකට්ටුවේ පැති පෙනුම් දැක්වෙන ඡායාරූප කිහිපයකි.



මේ තවත් එකක ඡායාරූප ය.



සිගරැට්? යක්!

-රසිකොලොජිස්ට්

(image: http://healthyhighlanders.co.uk/HPAC/BrowseSearch.jsp?subjectId=22&typeId=D&submit=true&sort=title&page=2)

Monday, 23 November 2015

මා කන හැටි මොකා දනී? - Eat like a king...!


අශෝක හඳගම ගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක (ජයලත් මනෝරත්න විසින් චරිතය නිරූපණය කරන ලද) විශ්ව විද්‍යාල දේශකයාට මත්පැන් පොදක් තොල ගෑමට ආරාධනාවක් ලැබෙයි. එය කාරුණිකව ප්‍රතික්‍ෂේප කරනු ලැබූ විට ඔහුගෙන් විමසනු ලබන්නේ "ඇයි සර් කවදාකවත් බීලා ම නැද්ද?" යනුවෙනි.

එයට පිළිතුර ලෙස දේශකයා පවසන්නේ, "අපොයි නෑ ජීවිත කාලයේ ම අරක්කු කෝටා එක කලින් ම බීලා හමාර කළා!" යනුවෙනි.

ජීවිතයෙන් අවුරුදු දාසයක් ම පූර්ණකාලීනව හෝ පශ්චාත් උපාධි පරීක්‍ෂණවල නිරතවෙන අතරතුර අර්ධකාලීනව හෝ විශ්ව විද්‍යාල දේශකයෙකු ලෙස මා සේවය කර තිබුණ ද, තවමත් කිසිදු බීමක හෝ කෑමක ජීවිත කාලයේ කෝටාව සහමුලින්ම අහවර වී නොමැත. එසේ නමුත්, විටින් විට ලැබෙන උපදේශ නිසා, එසේ ජීවිතකාලයේ කෝටාව කලින් ම අවසාන වීම වළකා හැකිතාක් දුර පවත්වා ගෙන යෑම සඳහා යම් යම් ආකාරවල සීමා කිරීම් කිරීමට මට ද සිදු වී ඇත.

වෙනදා උදෑසන,ජෑම් සහ මාජරින් හොඳින් තැවරූ පාන් පෙති හතරක් දිනපතාම නහයට යටින් අතුරුදහන් කළ ද, ඒ පුරුදු නවතා, පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු පානයකට උදේ ආහාරය සීමා කිරීමට මා තීරණය කළේ මීට වසරකට පමණ පෙර ය. ඒ විස්තරය රසිකොලොජියේ ද පළ කළෙමි.

එහි දී ජෑම්, මාජරින්වලට වඩා මට සීමා කිරීමට අවශ්‍ය වූයේ තිරිඟු පිටි සහිත පාන් කෑමයි.

කොහොමටත් තිරිඟු පිටි සහිත පාන් කෑම බටහිර ගැති වැඩක් නොවැ? කොටින් ම, ලංකාවේ සමහරු තිරිගු පිටි හඳුන්වන්නේ ද ඇමරිකන් පිටි යනුවෙනි!

සාමාන්‍යයෙන් කාර්යාල දිනවල දවල් ආහාරය ලෙස මා වසර හත අටක සිටම අනුභව කළේ ටූනා හෙවත් කෙළවල්ලන් මාළු සමග පාන් ය.

මා එසේ කළේ, කෙළවල්ලන් කෑම ජපන් ජාතිකයින් ගේ මොළය වැඩීමට හේතු වෙන බව බටහිර විරෝධීන් විසින් පවසන්නට යෙදුණු නිසා නොව, ඔමෙගා බී වැනි ශරීරයට හිතකර විටමින් ප්‍රභේදයක් එහි ඇති නිසා, නිතිපතා රතු මාළු අනුභව කරන ලෙස ලැබුණු වෙද උපදෙස් නිසා ය.

ඕස්ට්‍රේලියාවේ දී කෙළවල්ලන් කෑමට මාළු කඩෙන් ගෙනැවිත් උයා පිහා ගැනීමට අවශ්‍ය ම නොවේ. මා දිවා ආහාරය සඳහා සාමාන්‍යයෙන් ගන්නේ ටින්වල ඇසුරූ කෙළවල්ලන් ය.
මේ කුඩා මාළු ටින්, විවිධ රස සහිතව සකසා තිබුණද, මගේ සිත වැඩියෙන්ම දිනා ගත්තේ මිරිස් රසැති වර්ගයයි.


පාන් කෑම පෙති හතරේ සිට දෙකට අඩු කළ පසු, මා දිවා ආහාරය සකසා ගන්නේ මෙලෙසයි.
  • පාන් පෙති දෙකක් තරමක් කර (ටෝසට්) කර ගනිමි.
  • සලාද කොළ සාමාන්‍ය ප්‍රමාණයක් භාජනයකට දමා එයට සලාද මිශ්‍රණය හෙවත් ඩේ‍රසින් ස්වල්පයක් එකතු කර ගනිමි. සෝදා පිරිසිදු කර ඇසුරු මිශ්‍ර සලාද කොළ සහ ඩේ‍රසින් කෙළින්ම කඩෙන් මිලට ගත හැකිය.
  • දැන් එයට උඩින් ටින් එකේ ඇති කෙළවල්ලන් මිශ්‍රණය එතකු කරමි.
  • පාන් පෙති දෙක කුඩා කැබලිවලට කඩා සියල්ල එක මිශ්‍ර කර සලාදයක් සාදා ගනිමි.
අපේ කාර්යාලයේ සේවය කරන මා මිතුරු ලියම් ටෙරිස් මගේ මේ දිවා භෝජනය හඳුන්වන්නේ "රසික ගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් සැන්ඩ්විච්" කියා ය.



සතියේ දින හතරක් පමණ මේ මගේ මාළු-පාන්-සලාදය කන මා අනෙත් දිනවල කරන්නේ කාර්යාලය අසල ආහාර විකුණන කඩයකින් පාන් නොමැති සලාදයක් මිලට ගෙන කෑමයි.

මේ එවැනි එළවළු සහ මස් මිශ්‍ර සලාදය කිහිපයකි.



මේ ප්‍රමාණයේ (extra large) සැලඩ් කෝප්පයක් ඩොලර් නමයකි.

මේවායේ අඩංගු මස් වර්ගය (පලහන ලද) කුකුළු මස් ය. අඩංගු එළවළු වර්ග අතර කේල් නම් කොළ වර්ගය, කීන්වා නම් ධාන්‍යය, සාමාන්‍ය සලාද කොළ, සුකිනි නම් කැකිරි වර්ගය යනාදිය වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සින්තටික් සිහිනය අරඹා දැන් වසරක් පමණ ගෙවී ගොසිනි. මා පෙර ලිපියේ ද සඳහන් කළ පරිදි, කලිසම් පහළට බැසීම නිසා ඇති වෙන ප්‍රශ්න මග හරවා ගැනීමට සෑම බඳ පටියක ම පාහේ අමතර හිලක් විදීමට සිදුවිය.

නමුත්, පසුගිය කාලය තුළ මගේ ස්කන්ධය නම් බොහෝ දුරට සංස්ථිතිව පවතී!

මෙය විස්තර කිරීමට හැකි, මට සිතාගත හැකි එකම ක්‍රමය නම්, සිරුරේ ජලය සහ මේදය අඩුවී ගොස්, ඒ වෙනුවට අස්ථි ඝනත්වය වැඩි වීමයි.

ප/ප/ලි:
ඇඟට හිතකර කෑම කන්නට බැරියෝ යැයි ඇඟ කෑ ගසන දිනවලට මම කාර්්‍යාලය අසල පිහිටි තායි බත් කඩේට ගොස් කෑම බාගයක් මිළට ගනිමි. මේ ඒ ආකාරයේ බත් පිගන් කීපයකි. ව්‍යංජන වර්ග දෙකක් සමග බත් පිඟාන ඩොලර් 7.50 කි.

Friday, 20 November 2015

සුපිරි වෛද්‍ය උපදේශයක් - නොමිලේ, නොමිලේ, නොමිලේ! :: Life changing medical advice - it comes free of charge


දැනට වසරකට පමණ පෙර සමයෙක, අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනයක් ලැබුණි. අපට කියා කීවාට, මේ ආරාධනය ලැබුණේ ඇත්තට ම මගේ බිරිඳට ය. ඒ ඇගේ සමකාලීන විශ්ව විද්‍යාල මිතුරියක ගෙනි. ඒ සමයේ ම, ඒ පාඨමාලාවම හැදෑරූ තවත් කාන්තාවන් පිරිසක් ද සිය සැමියන් ද සමග එම සාදයට එනු ඇති බව ද මට අසන්නට ලැබුණි.

සාමාන්‍යයෙන් මෙවැනි සුහද සාද පැවැත්වෙන්නේ සෙනසුරාදා ය. අදාළ දිනයේ, අපි ඒ මිතුරු නිවසට ගියෙමු.

කාන්තා පක්‍ෂය තමන් ගේ මිතුරු සමාගම රම්පස් කාමරයේ ඇරඹූ අතර, අප පිරිමි පිරිස, ගෙහිමියා ගේ ඇරයුමෙන් මේසයක් උඩ තබා තිබුණු පොඩි පහේ කුප්පි කිහිපයක් වටා එක් රැස් වී මූ.
මා පසුගිය වසරේ දිනයක "දේශපාලනයෙන් තොර සෑදෑවක්" යනුවෙන් ලියා රසිකොලොජියේ පළ කළේ මේ සාදය පිළිබඳ සටහනකි.

සාදයට සහභාගී වූ කාන්තාවන් සියලු දෙනාම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථීන් වූව ද, ඔවුන් ගේ සැමියෝ විවිධ වෘත්තිකයෝ වූහ.

මේ අතර සිටි, මා එදින හඳුනාගත්, මගේ සමකාලීනයෙකු වූ වෛද්‍ය පීඨ විද්‍යාර්ථියෙකු විසින් මට එහි සිටි වෙනත් සැමියෙකුව හඳුනා දුන්නේ "මචං මේ සුජිත්, අපට වඩා පේරාදෙණියේ අවුරුදු දෙකක් සීනියර් පොරක්!" කියා කියමිනි.

මා පෙර සඳහන් ලිපියේ කියූ පරිදි අප එදා කතා බහ කළේ ගේ දොර, යාන වාහන, දූ දරුවන් වැනි එදිනෙදා කරුණු ගැන ය. ඒ අතර ශරීර සෞඛ්‍යය ගැන ද කතාබහ කෙරුණු නිසා, එකිනෙකා දැක්වූ අදහස්වලින් මා මේ දෙවනුව හඳුනාගත් සුජිත් ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව මට හැඟී ගියේ ය.

පෙර කී කුඩා කුප්පිවල පිරී තිබුණු තරල කෙමෙන් කෙමෙන් අපේ රක්තාණු අතරට මුසු වෙද්දී කෙරුණු අපේ සාකච්ඡා අතරතුර දී සුජිත් තමන් දිනපතා කරගෙන යනු ලබන සෞඛ්‍යමය රෙජීමය පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ ය.
  • ඔහු දිනපතා කිලෝ මීටර් හතරක් පමණ ඇවිදියි.
  • පාන් කෑම සහමුලින් ම නතර කර ඇත.
  • උදෑසන ආහාරය ලෙස ගන්නේ පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු බීමකි.
  • එළවළු සහ මුහුදු මාළු විශාල ලෙස ද, මස් වර්ග මද පමණින් ද ආහාරයට ගනී. බත් කන්නේ හැඳි භාගයක් පමණි.
  • තේ බොන්නේ සීනි නොමැතිව ය.
  • හැකි සෑම දිනකම පාහේ සෑදෑ කාලයේ දී නිවසේ සිට අඩ පැයක් පමණ ව්‍යායාමයේ යෙදෙයි!
සුජිත් ගේ සෞඛ්‍යමය රෙජීමය එලෙස විය.

සතියේ දිනවල දිවා ආහාරය වෙලාවේ කාර්්‍යාලය අසල මාර්ගවල සිරි නරඹමින් ඇවිදීම මා කලක සිට කර ගෙන යන කර්තව්‍යයකි. සුජිත් ගේ රෙජීමයට අඩංගු වුණු ඊට අමතර කර්තව්‍යයන් වූ පාන් නොකෑම, පලතුරු මුසු සුමුදු පානයක් උදෑසන ආහාරය ලෙස ගැනීම, සැඳෑ කාලයේ ව්‍යායාම කිරීම වැනි දේ මා සිත් ගත්තේ ය.

අපේ වයසේ පිරිමින් ගේ සාමාන්‍ය ශරීර ලක්‍ෂණයක් වූ උදරය ඉදිරියට නෙරා ඒම ප්‍රදර්ශනය නොකරන කෙසඟ නමුත් ශක්තිමත් අයෙකු සේ සුජිත් දිස්වුනි. ඊට අමතරව ඔහු වෛද්‍යවරයෙකු ද වේ!

ඉතිං, කුමට ද කුසලට කම්මැලි වෙන්නේ?

මම වහාම වෛද්‍ය සුජිත් පරණගම ගේ රෙජීමයෙන් මට කළ හැකි දේ අනුගමනය කිරීමට අදිටන් කර ගත්තෙමි. අදිටන් කිරීමෙන් නොනැවතී:
  • පසුවදා උදෑසන ම නිවසේ කලක් තිස්සේ තිබුණු ව්‍යායාම මැෂිමේ මකුළුදැල් කඩා දැමුවෙමි.
  • බ්ලෙන්ඩරය කුස්සියේ කබඩ් එකක් අස්සේ තිබී සොයා ගත්තෙමි.
  • කඩපොළට ගොස් වෙනදාට වඩා පලතුරු යනාදිය ද මිලට ගත්තෙමි.
  • නැකත් නොබලා, එදින සවස් යාමයේ ම මගේ අලුත් වැඩ පිළිවෙළ ඇරඹූවෙමි.
"මොකද ඔයාට මේ කවදාකවත් නැතුව එක්සයිස් කරන්න හිතුණේ රසී?" මා දුටු බිරිඳ විමසුවේ ප්‍රීතියෙන් ඉපිල යමිනි.

"ඒ විතරක් නොවෙයි, දන්නවාද, මං හෙට ඉඳලා උදේට බොන්නේ ෆෘට් ස්මූති, පාන් කෑමත් අඩු කරනවා. දවල්ට ඇවිදින එකත් නොවරදවාම කරන්න ඕනෑ!" මම පැවසුවෙමි. "මේ සේරම අර සුජිත් ගෙන් මං අල්ලා ගත්තේ. දැක්කා නේද පොර හොඳ ෆිට් එකේ හිටියේ?"

බිරිඳ ඇගේ විකසිත සුපුෂ්පිත සිනහව පෑවා ය!

"අයියෝ ඔයා සුජිත්ගෙන් ද ඇඩ්වයිස් ගත්තේ?

"ඇයි මොකද, නරකද?"

"නෑ, නෑ, කමක් නෑ, සුජිත් ගේ වයිෆ් ප්‍රියන්ති නම් හිටියේ අපේ ෆැකල්ටියේ තමයි. ඒත් සුජිත් නම් හිටියේ වෙට් ෆැකල්ටියේ!"

"මළ කෙලියයි!" මට කියවිණි.

මා මේ පිළිපැදීම අරඹා ඇත්තේ පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පශු වෛද්‍ය, පශු නොවන වෛද්‍ය කතා කෙසේ වෙතත් මගේ නව සෞඛ්‍යමට රෙජීමයට දැන් වසරක් ගත වී ඇති අතර, මගේ සෑම බඳ පටියකම අලුතෙන් හිලක් බැඟින් විදින්නට සිදු වූ බව සතුටින් සඳහන් කරමි.

ඊට අමතරව, 2014 අප්‍රියෙල් මාසයේ දී නලීන් දිල්රුක්‍ෂ මිතුරාගේ කාරුණිකත්වය නිසා මට ලැබුණු බ්ලොග් ලියන්නන් ගේ මීඩියම් ප්‍රමාණයේ ටී-ෂර්ටය ද මට පසුගිය දිනයක වදෙන් පොරෙන් හෝ ඇඳීමට හැකි විය!

(images: http://www.bigfooty.com/forum/threads/hawks-logo-mascot.977926/ & http://digitalcitizen.ca/2009/02/05/soccer-and-rugby-fans-facebook-friends-tagging-challenge/)

Monday, 17 August 2015

ප්‍රේමදාස මොඩලයේ නව රෙජීමයක් යටතේ හෙට (අගෝස්තු 18) සිට ඇරඹෙන නව යුගය - Dawn of a new era in my life...!!!


අපේ සිරි ලංකාවේ 1978 සිට 1989 දක්වා අගමැති ලෙස ද, 1989 සිට 1993 දක්වා ජනාධිපති ලෙස ද කටයුතු කර මිය පරලොව ගිය ර. ප්‍රේමදාස යනු ඔහු ගේ එකී පසු නිල සමයේ දී මා ඉතාමත් අකමැති පුද්ගලයෙකු වූ, මගේ දැඩි අප්‍රසාදයට පත්වූ අයෙකි.

ඒ අතරම ඔහු ගැන මගේ හිතේ ඇති වූ එකම එක ප්‍රසාදජනක හැඟීමක් ද විය. එයට හේතුව වූයේ, ර. ප්‍රේමදාස ගැන මා අසා තිබුණු එක් වැදගත් කරුණකි. එනම් ඔහු මධ්‍යම රාත්‍රී දොළහට නින්දට ගොස් පාන්දර හතරට නැගිට තම දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නෙකු ය යන්නයි.

කරන්නේ මොන දහදුරා වැඩ වුණත්, ඒ ආකාරයට වැඩ කටයුතු කරන අයෙකු ගැන අසන්නට ලැබීම ආශ්වාදජනක කරුණකි. කෙසේ වෙතත්, මා ඒ ආරංචියෙන් යම් පාඩමක් උගත්තේ නම් ඒ රාත්‍රී නින්දට යෑම ගැන පමණකි.

කුඩා කල සිටම අපේ පියා අපව පුරුදු කර තිබුණේ රාත්‍රී නමය වන විට නින්දට යෑමටයි. ගුවන්විදුලියෙන් මුවන්පැලැස්ස (හෝ එවැනි නාට්‍යයක්) අසා, රාත්‍රී නමයට ප්‍රවෘත්ති විකාශය සඳහා තේමා වාදනය ගුවනට එක් වෙනවාත් සමගම අපට නින්දට යෑම සඳහා අණ නිකුත් වේ. පසුදා උදයේ අප අවදි වූයේ තාත්තා නිවසින් පිටත් වූවායින් පසුව එනම්, උදෑසන හයට පමණය.

පසු කලෙක උසස් පෙළ සඳහා කොළඹ පාසලට යද්දී නම් මටත් උදේ පහ පසුවුණු පසු අවදි වීමට සිදු වූු අතර, විභාගය කිට්ටු වූ විට නිදා ගන්නට වූයේ ද රෑ බෝ වී ය.

වැඩිහිටි වියට පත් වූ පසු නින්දට යන වේලාව සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය දක්වා දිගු විය.

මේ දිනවල නම් තත්වය තවත් දරුණු වී ඇත.

සතියේ දිනවල සවස හයට පමණ කාර්යාලයෙන් පිටත්වෙන මා නිවසට එන්නේ රාත්‍රී හතහමාරට පමණ ය. ඉන්පසු, මදක් විවේක ගෙන, වෙනත් වැඩ කටයුතු නැතිනම් ශාරීරික අභ්‍යාසවල ද නිරත වී, ස්නානය කර, රාත්‍රී ආහාර ගෙන, නිවසේ වෙනත් වැඩක් වෙතොත් ඒවාද ඉටු කර, පරිගණකය අසලට පැමිණෙන විට සමහර දිනවල රාත්‍රී දහයද පසුවේ. ඉතින් අවසානයේ මා නින්දට යන විට වේලාව රාත්‍රී එක ද පසුවෙයි.

එතරම් ප්‍රමාද වී නින්දට ගොස් කෙසේ නම් උදේ පාන්දර අවදි වෙන්නද?

මා අවදිවන්නේ උදේ හත පසු වූ පසුවයි. නිවසින් පිටත් වන්නේ හතයි හතළිස් පහට පමණය. කාර්යාලයට යන විට නමයේ හෝරාව පසු වී ඇත. එනිසා, කාර්යාලයෙන් පිටවන්නේ දවස හමාරවෙන හයේ කණිසමටයි.

සියල්ල එකම විෂම චක්‍රයකි.

උදයේම අවදි වූවොත් ඉක්මනින් ම කාර්යාලයට ගොස්, අදට වඩා කලින් නිවසට පැමිණ, සියලු වැඩ හමාර කොට ඉක්මනින් ම නින්දට යා හැක. එවිට පසුදා ද උදයෙන් ම අවදි වීමට හැකි වෙනු ඇත.

මා දැන් කල යුත්තේ දැන් ඉන්නා විෂම චක්‍රයේ සිට ඒ යහපත් චක්‍රයට මාරු වීමයි.

ඒ කියන්නේ මට අවශ්‍ය වී ඇත්තේ නරක රෙජීමයේ සිට හොඳ රෙජීමයකට මාරු වීමයි!

මේ සඳහා හොඳම දිනය අගෝස්තු 18 වෙනදා බව පෙනේ.

මා සිටින්නේ ලංකාවේ වේලාවෙන් පැය හතරහමාරක් ඉදිරියෙන් නිසා, අද ඡන්දය දා නිදි මරාගෙන සිටීමේ ප්‍රයෝජනයක් නැත. කළ යුත්තේ හෙට උදේ පාන්දරින් අවදිවීමයි.

මගේ ජීවිතයේ හෙට සිට මේ නව රෙජීමය යටතේ නව යුගයක් ඇරඹෙන්නේ ඒ ආකාරයට ය.

එසේ නම්, ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ සමගම කළ යුතු තවත් දෙයක් වනුයේ ඩ්‍රයි ජුලයි මාසයේ නිහඟතාවයෙන් පසු අගෝස්තු පළමුවෙනි දින සිට අරඹා, එක එල්ලේ දින දාහතක් දිවූ බ්ලොග් මැරතන් එකට මද විවේකයක් දීමයි!


(image: http://us.abrsm.org/en/about-abrsm/news-articles-and-comment/latest-news/?abrsm%5BnewsId%5D=450&abrsm%5BId%5D=450&cHash=bdcd449d876d4c59d582cbd9dc833279)

Monday, 25 May 2015

බේකරි නිදිමත - Sleeping around ;-)


මා සේවය කරන්නේ නිවසේ සිට කිලෝමීටර් හැට හයක් පමණ දුරින් පිහිටා ඇති කාර්යාලයක බව මීට පෙර ලිපියක සඳහන් කළෙමි. මේ ගමන සඳහා මට නිවසේ සිට මෝටර් රථයෙන් කිලෝමීටර් අටක් පමණ දුර ගෙවා දුම්රිය ස්ථානයට ගොස් එතැනින් දුම්රියේ නැගී උතුරු සිඩ්නි නම් ප්‍රදේශය බලා යාමට සිදුවේ.

මේ දුම්රිය ගමනට විනාඩි හැත්තෑ පහක් පමණ ගතවෙතත්, එය කිසිසේත් ම කාලය නාස්තියක් නම් නොවේ. මා දුම්රියට ගොඩවන්නේ එය ඇරඹෙන දුම්රිය පොළ ආසන්නයේ ම ඇති නැවතුමකින් නිසා මට අනිවාර්යෙන් ම හොඳ අසුනක් තෝරා බේරා වාඩිවීමට හැකිවේ. දුම්රිය අසුන් ද, ඉතා සුවපහසුව වාඩී වී සිටීමට හැකි ආකාරයට මනාව සකසා ඇති බැවින්, පැයකටත් වඩා දිගු කාලයක් ඒ මත අසුන්ගෙන සිටීම ද කිසිසේත් වදයක් නොවේ.

සතියේ දිනවල රාජකාරි ස්ථානයට යෑමේ දී දුම්රියේ දිගු දුරක් ගමන් කිරීම, ඒ දුර වාහනයක් පදවාගෙන යාමට හෝ බස් රථයකින් ගමන් කිරීමට හෝ වඩා හැම අතින් ම වාසිදායක කටයුත්තකි. වාහනයක් පැදවීමේ දී මෙන් නිරතුරුවම මානසික අවධානය එක සේ තබා ගැනීම හෝ අතෙන් පයෙන් විවිධ කර්තව්‍යයන් කිරීම හෝ මෙහි දී අවශ්‍ය නොවේ. එසේම, බස් රථයක ගමන් කරද්දී මෙන්, නිරතුරු නැවැත්වීම් සහ මාර්ගයේ ඒ අතට මේ අතට වංගු ගැනීම් වල දී ඇතිවෙන, අහපසුතා දුම්රිය ගමනේ දී නැති තරම් ය.

මේ කරුණු නිසා, දුම්රිය ගමනට ගතවෙන කාලය ඉතා ඵලදායී ආකාරයට යොදා ගැනීමට මට හැකිවේ.

මේ දිගු ගමන ඇරඹූ මුල් කාලයේ, එනම් 2004 වසර මැද සිට 2007 වසරේ මුල දක්වා, මා දුම්රියේ දී බොහෝ විට කළේ, රාජකාරියට අදාළ වැඩ ය. ඒ දිනවල විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ මට, දේශන සටහන් විමර්ශනය කිරීම, විෂය අත්පොත් කියවීම, නිබන්ධන ලකුණු කිරීම වැනි දුම්රියේ දී වැඩි අපහසුවකින් තොරව කළ හැකි කර්තව්‍යයන් අවශ්‍ය තරම් තිබුණි.

අධ්‍යාපනයට වෙන් කෙරෙනුයේ සියයට හයට අඩුවෙන් ද වැඩියෙන් ද යන්න කෙසේ වෙතත්, විශ්ව විද්‍යාලයක සේවය කරනවාට වඩා රජයේ සේවකයෙකු වීම පොකැට්ටුවට ගුණදායක බව වසර 2007 පෙබරවාරියේ දී ප්‍රායෝගිකව වටහා ගැනීමෙන් පසු මා මුලින්ම පෙළඹුණේ දුම්රියේ දී පොත් කියවීමටයි. සටහන් පොතක කවි යැයි මට හිතෙන දේ කුරුටු ගෑමටයි. මේ ඇරඹුම, පසුව උකුල උඩ තබාගත හැකි පරිගණකයන් ආධාරයෙන් විවිධ ලිපි සහ කතන්දර ලිවීමට දක්වා වැඩි දියුණු විය.

ඒ පරිගණකය කැඩුණු මුල් දිනවල විටින් විට දුම්රියේ දී නිදා ගැනීමට පෙළඹුණෙමි. කියවීමට ගන්නා පොත් නිසා එලෙස නින්දට වැටීම ඉතා පහසු විය. කොටින්ම යළි දුම්රියේ දී පරිගණකයක් භාවිත කිරීමට අකමැත්තක් සිත තුළ ඇතිකරවන තරමටම මේ නින්දට ඇති කැමැත්ත වැඩි දියුණු විය. දුම්රියේ දී කිසිවක් නොලියන නිසා, ඒ සඳහා කාලය නිවසේ දී හොයා ගැනීමට සිදුවූයේ රාත්‍රීයේ නින්ද අඩු කිරීමෙනි. එය විෂම චක්‍රයක්ම විය. පෙරදා රාත්‍රියේ නොලද නින්ද ලබා ගත්තේ උදෑසන දුම්රියේ දී ය.

මේ අතර පොත් කියවීම ද නතර වී ඒ වෙනුවට ජංගම දුරකථනය හරහා ෆේස්බුක් අවකාශයේ සැරිසැරීම සහ බ්ලොග් කියවීම පුරුද්දක් බවට පත්විණි.

මේ සටහන ලියන්නට සිත්වූයේ, ගිය සිකුරාදා අලුතින් පරිගණකයක් මිලට ගත් මා අද සිට නැවතත් දුම්රියේ ජංගම ලේඛන කුටියක් ඇරඹූ බව කියන්නටම නොවේ. මේ දුම්රියේ කුකුළු නින්දට ආයුබෝවන් කීමේ සිද්ධිය හා අදාළව මට සිහිවූ අතීත කතාවක් ද ඔබ සමග බෙදා ගැනීමටයි.

එය මෙසේය.

ශ්‍රී ලංකාවේ සිටි සමයේ මා කලක් සේවයට ආ ගිය කොම්පැනියේ මාණ්ඩලික නිලධාරීන් ගේ බස් රථයට මා උදැසන මහරගමින් ගොඩ වෙන විට එහි පසුපස අසුනක සුව නින්දේ පසුවන අයෙකු දක්නට ලැබේ. ඉඳහිට හෝ නෙත් අඩක් විවර කර අවට බැලූවද යළි නින්දට වැටෙන ඔහු සම්පූර්ණයෙන් අවදි වෙන්නේ බසය සේවා ස්ථානයට ළඟාවූ පසුවයි.

සවස සේවය අවසානයේ දී බසයට ගොඩ වීමෙන් පසු තද නින්දට වැටීමට ඔහුට ගත වෙන්නේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. මා මහරගමින් බසින විට ඔහු සැමදා නින්දේය. ඒ බස් රථයේ මා ගමන් කළ වසර දෙකක පමණ කාලය තුළ මේ පුද්ගලයා ගේ ඒ නිදිමත චර්යාව වෙනස් වූයේ ම නැත. මා ඔහු සමග කතා කර ඇත්තේ ද වචන දෙක තුනක් පමණි.

වෙනකෙකුගෙන් මා අසා දැනගත් පරිදි අපේ සගයා ගේ නින්දට හේතුව මෙයයි.

ඔහු අපේ සමාගමේ කළ රැකියවාට අමතරව, බේකරියක හිමිකරුවෙකු ද වේ. බේකරියේ පරිපාලන කටයුතු තමන්ම කළ නිසා අපේ සගයා උදෑසන අවදි වෙන්නේ දෙකේ කණිසමටය. ස්වල්ප වේලාවකින් බේකරියට යන ඔහු පාන් පිච්චීමේ, බෑමේ, බෙදා බැරීමේ ක්‍රියාවලිය අධීක්‍ෂණය කර නිවසට එන්නේ යාන්තම් ඇඟපත සෝදා ගෙන සේවයට යාමට සඳහා සැරසීමට විනාඩි කිහිපයක් තිබියදීය.

නොලබන නින්දේ හිඟය ඔහු පියවා ගන්නේ උදෑසන සහ සවස බස් රථ ගමනේ දී ය. නැවත රාත්‍රී නමයේ කනිසමේ සිට පසුදා උදෑසන දෙකේ කණිසම දක්වා නිදා ගන්නා බව ද සැලවිය.

ඔහු උදෑසන අටේ සිට සවස හතරහමාර දක්වා කාර්යාලයේ ගත කරන කාලයේ නම් නිදා වැටුණේ යැයි නොසිතමි. ඒ මන්ද යත් ඔහු සේවය කළේ ගනුදෙනුකරුවන් නිරතුරු ගැවසෙන අලෙවි දෙපාර්තමේන්තුවේ නිසාය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත ඡායාරූපයේ නිදා සිටින්නේ ලාංකීය බ්ලොග්කලාවේ පෙර ගමන්කරුවෙකි. ඔහු කවුදැයි දන්නවාද?

(image: http://indi.ca/2012/04/my-uncanny-sleeping-skills/)

Wednesday, 15 April 2015

දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


පොඩි කාලේ සිට ම, ලංකාවේ දී අප බිව්වේ තේ කොළ තේ පෝච්චියට දමා එයට උතුරණ උණුවතුර වත්කර පෙරා සාදා ගත් තේ වතුර ය. කඩවල නම් තේ හදන්නේ රෙදිවලින් සාදා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ දමා ඒ හරහා උණු වතුර යැවීමේ තරමක අප්‍රසන්න ක්‍රමයකටයි.

මීට හාත්පසින් ම වෙනස් ආකාරයක තේ බීමේ අත්දැකීමක් මට ලැබුණේ විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර තුනක් පමණ ලංකාවේ ගතකර ඉන් පසු තායිලන්තයේ ආසියානු තාක්‍ෂණ ආයතනයට බැඳුණු දිනයේ ය. මා තේ බෑග් නමින් හැඳින්වෙන කුඩා තේ ගොට්ටකින් තමන් ම තේ හදා බොන්නට පුරුදු වුණේ එහි දී ය.

මිතුරෙකු සමග මුලින්ම ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපන ශාලාවට ගොස් බාට් තුනක් ගෙවා කෝප්පයකට දැමූ තේ බෑගයක් සහ උණුවතුර සහිත තේ කෝප්පයක්, එය තැබූ පීරීසිය මත තිබුණු හැන්දක් ද සහිතව ලබා ගත් හැටි හොඳින් මගේ මතකයේ ඇත. තේ කහට හොඳින් උණන තුරු සිට, කෝප්පයට කිරි සහ සීනි මුසු කරගෙන, අර තේ බෑගය හැන්ද වටා නූලෙන් ඔතා මිරිකා සියළු තේ රස එකතු කරගෙන එදා රස වින්දෙමි.

පසු කළෙක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු, තේ බෑග් භාවිතය හැර වෙනත් තේ හැදිමක් ගැන නොසිතුවේ තේ කොළ පෙරීම, තේ පෝච්චි හේදීම යනාදී තේ කෝප්පයක් රස විඳිමට පරිබාහිර අනවශ්‍ය වැඩ ගැන කරදර වීමට නැති නිසා ය. නමුත්, තේ කොළවලින් ඔරිජිනල් විදියට තේ සෑදීම තරම් මේ තේ බෑග් ක්‍රමය රසවත් නොවෙන බව ඉඳහිට හෝ වෙනත් නිවසකට ගොස් තේ කොළවලින් පෙරූ තේ කෝප්පයක් බොන විට තේරුණි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පසු සිදුවුණු තවත් වෙනස්කම් කීපයක් විය. ඉන් වැදගත්ම වෙනස්කම වූයේ නිකම්ම නිකං "බ්ලැක් ටී" වෙනුවට, චායි තේ, ග්‍රීන් තේ සහ විවිධ පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් තේ වර්ග බොන්නට හැකි වීමයි. ඒ සියලු රස මා විඳින්නේ තේ බෑග් භාවිතා කරමිනි. මේ සමහර තේ බෑග්වල නොතිබුණේ ද තේ කොළ ය.

මේ දැක්වෙන්නේ ඔෆීසියේ ඇති මගේ පුද්ගලික තේ එකතුවයි. (ඔෆීසියේ ඇති ඔෆීෂියල් ලිප්ටන් "බ්ලැක් ටී" මට නම් මෙලෝ රහක් නැත!)



මෙන්න නිවසේ ඇති විවිධ තේ වර්ග එකතුව.



ඉඳහිට එවැනි පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් වෙනත් තේ වර්ග බොනවා වුවද, උදේ හවා අප නිරතුරු පානය කරන්නේ කටට හුරුපුරුදු කළු තේ ම ය. මුලදී නම අසා සුපුරුදු නිසා ලිප්ටන් යනාදී තේ වර්ග සොයා ගිය ද, පසුව අපට වැටහුණේ, නියම තේ රස ඇත්තේ ලංකාවේ නිෂ්පාදිත ඩිල්මා නම් තේ වර්ගයේ බවයි. මේ තේ වර්ගය මෑත කලෙක සිට ලංකාවේ දී ද මිළට ගත හැකිය.

ඩිල්මා තේ ද වර්ග කීපයක් ඇත. දැන් දැන් මගේ කටට කහට රහ ගෙනෙන්නට සමත් වෙන්නේසාමාන්‍ය මට්ටමේ ඩිල්මා වර්ගය නොව, එක්කෝ එක්ස්ට්‍රා ස්ටේ‍රන්ත් හෝ නැතිනම් සිලෝන් ගෝල්ඩ් වර්ගයයි.

ඕස්ට්‍රේලියාවේ දී මට හුරු වෙන්නට අපහසු වූයේ කිරිපිටි වෙනුවට දියර කිරි දමා තේ බීමයි. කිහිප වරක් උත්සාහ කර එය අතහැර දැමූ මම, ඉන්පසු කිරි පිටි වර්ග කිහිපයක් පරීක්‍ෂණයට භාජනය කර වඩාත් දිවට ගැලපෙන වර්ගය තෝරා ගතිමි. ඕස්ට්‍රේලියාවේ දී තේ කෝපි බීම සඳහා කිරිපිටි භාවිතා කරන්නේ අප වැනි කිහිප දෙනෙකු පමණක් විය යුතුයි. මෙහි මේ කිරිපිටි වර්ග නිපදවෙන්නේ නොයෙකුත් රසකැවිළි වර්ග සහ වෙනත් අතුරු පස සෑදීම සඳහා ය.

තේ සෑදීම හා සම්බන්ධව ගත් කල, මා ඕස්ට්‍රේලියාවේ දී උගත් වැදගත් කරුණු දෙකක් වේ. මේ කරුණු ද්වයම මා උගත්තේ ඒ ඒ ඇසුරුම්වල මුද්‍රණය කර ඇති සාදා ගන්නා අන්දම දැක්වෙන සටහන් කියවා බලා ය.

ඉන් වැදගත්ම කරුණ නම්, තේ වතුර සෑදීමේ දී, සෑම විටම අළුතෙන් කරාමයෙන් ගත් වතුර නටවා ගත යුතු බවයි. වරක් රත් කර නිවූ වතුර නැවත රත් කර තේ සෑදීම යෝග්‍ය නොවෙන බව උගත්තෙමි. ඉන් රසයේ සෑහෙන වෙනස් කමක් ඇතිවේ.

දෙවෙනි කාරණය තේ වතුරට කිරි පිටි දිය කිරීම පිළිබඳවය. ලංකාවේ දී අප නිරතුරු උත්සාහ කළේ, කිරිපිටි සහ සීනි මුලින් එකට කවලම් කර ඉන්පසු එය මතට උණු වතුර මදින් මද එකතු කර තේ කෝප්පයේ කිරි පිටි දිය කිරීමයි. නමුත්, මෙහි අප භාවිතා කරන කිරිපිටි වර්ගය අසුරා ඇති ඇසුරුමේ සඳහන් වන්නේ උණුවතුරට කිරි පිටි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්නට කියාය. මා දැන් අනුගමනය කරන්නේ ඒ නොවරදින ක්‍රමයයි.

ඒ හැර මේ මෑත අතීතයේ දී සිදුවුණු තවත් වෙනස්කම් දෙකක් ද ඇත.

මින් වසර පහළොවකට පමණ පෙර, එවකට සිංගප්පූරුවේ සේවය කරමින් සිටි මා මිතුරෙකු අප නිවසට පැමිණ දින දෙකක් පමණ ගත කළේය. ඔහු තේ කියා බීවේ නිකම්ම නිකං කහට තේ පමණි. ඒ ගටැන විමසූ විට ඔහු කීමේ මෙය, ඔහු ජපානයේ වසර දෙකක් පශ්චාත් උපාධියක් හැදෑරූ කාලයේ දී පුරුදු වුණු දෙයක් බවයි.

සිදු වී ඇත්තේ මෙයයි.

ඒ දෙවසරේ කාලය තුල මගේ මිතුරා තම ජපන් ජාතික උපදේශක මහාචාර්යවරයා හමුවෙන්නට ඔහුගේ කාර්යාලයට ගිය සැම වතාවක ම, මහාචාරයවරයා මුලින් ම කර ඇත්තේ ජපන් ක්‍රමයට තේ පෝච්චියක් වත් කිරීමයි. ඉන් පසු ඔවුන් ගේ පරීක්‍ෂණ යනාදිය ගැන සෑම කතා බහක්ම කෙරී ඇත්තේ අර තේ පෝච්චිය කුඩා කෝප්ප පුරවමින් බොන අතරතුර දී ය.

දෙවසර අවසානයේ මගේ මිතුරා, සීනි හෝ කිරි හෝ නොමැතිව තේ බොන්නට පුරුදු විය.

මා ගැන කියනවා නම් දැන් කාලයක සිට, මා ද කාර්යාලයේ තේ පානය කරන්නේ සීනි පමණක් නොව කිරි ද හෝ නොමැතිවය. සීනි කෑම අවම කිරීම යනු, පාන් කෑම අඩු කිරීම මෙන්ම ශරීර සෞඛයට වැඩදායක දෙයකි!

මෑත අතීතයේ දී සිදුවුණු වෙනස්කම් දෙක එලෙස වේ.

තේවල නියම රසය දැනෙන්නේ සීනි සහ කිරි නොමැතිව පානය කරන විට බව මම දැන් දනිමි.

තරුණ කාලයේ දී යම් යම් උත්සව අවස්ථාවලදී එක්කෝ කෝක් හෝ නැතිනම් සෝඩා හෝ එක් කළා වුවද, දැන් නම් නිකම්ම නිකං අයිස් පමණක් පාවිච්චි කරන්නේ ද අන්න ඒ වගේ කාරණයක් නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මැද පෙරදිගින් ඇරඹී අප්‍රියෙල් 8-15 කාලයේ පැවතුණු, ජැස්මින් බ්ලොග් වසන්තයට මගේ සම්මාදම අදින් නිම කරමි.

බ්ලොග් වසන්තය 1 - 8, අප්‍රියෙල් 2015
අප්‍රියෙල් 8 - වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia
අප්‍රියෙල් 9 - මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...!
අප්‍රියෙල් 10 - ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම - Grass for my feet
අප්‍රියෙල් 11 - වසන්තයේ අග දවසක - End of Spring is not end of life
අප්‍රියෙල් 12 - පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title
අප්‍රියෙල් 13 - සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...!
අප්‍රියෙල් 14 - තේකක් බොමු ද? - Any time is tea time
අප්‍රියෙල් 15 - දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


(image: http://www.kgbclothing.co.uk/newYork.html)