Thursday, 26 December 2019

නවකතාවක් ගැන කතාවක් - Once upon a time in Paris


මේ නවකතාවේ නම අමුතු එකකි. නමේ ඇත්තේ ඉලක්කම් පමණි. අකුරු නැත. නම 12.12.12 වේ. රචකයා මංජුල සේනාරත්න ය.

මා මංජුල සේනාරත්න ගැන දැන ගත්තේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හි ඇති පොත් කියවන අය නම් කණ්ඩායමේ ඔහු ලියූ සටහන් කිහිපයක් සංසරණය විය.

ඉන් එකක ප්‍රංශයේ පැරිස් නගරය මැදින් ගලා බසින සේන් ගංගාව ගැන ද, ඒ අඩවියේ ඇති පැරණි පොත් කඩ ගැන ද සඳහන් වී තිබුණි. මා ද දින දෙක තුනක් ම ඒ අඩවියේ රස්තියාදු වී ඇති නිසා මම ඒ ලිපිය උනන්දුවෙන් කියවීමි. ඒ ලිපියේ ද, ඔහු ලියූ අන් ලිපිවලද අන්තර්ගතය මෙන්ම රචනා විලාසය ද මා සිත් ගත්තේ ය.

මංජුල සේනාරත්න යනු ලේඛකයෙකු බවත් ඔහු ලියූ නවකතා පිළිබඳවත් මට දැන ගන්නට ලැබුණේ ඉන් පසුවයි.

පසුගිය සැප්තැම්බරයේ අම්මාගේ උපන් දිනය අල්ලා ලංකාවට ගිය දිනවල පොත් ප්‍රදර්ශනයට ගොඩවෙන්නට ද අවස්ථාවක් ලැබුණු නිසා, මංජුල සේනාරත්න ලියූ ඉහත සඳහන් 12.12.12 නම් පොත ද, තවත් නවකතාවක් ද මිලට ගන්නට ලැබුණි.

දැන් වසර කිහිපයක සිට වසරක් පාසා ලංකාවට යෑමට මට අවස්ථාව ලැබුණු නිසාත්, ගුවන් සමාගම් විසින් මුල් කාලයේ අප රැගෙන යන ගමන් මල්ල සඳහා පනවා තිබුණු කිලෝ විස්සක සීමාව දැන් කිලෝ තිහ, හතළිහ දක්වා වැඩි කර ඇති නිසාත්, පසුගිය වසර කිහිපය තුළ මා ගමන් මල්ලේ ද, මුහුදු තැපෑලෙන් ද ලංකාවෙන් ගෙනා පොත් ප්‍රමාණය කිලෝ අසුවක් ඉක්මවයි.

එනිසා, ලංකාවෙන් පොතක් ගෙන ආවා යන්නෙන් එය වහා කියවෙන බව අදහස් නොකෙරේ. ඇත්ත වශයෙන් ම මා 2015 දී ගෙන ආ සමහර පොත් තවමත් කියවා නැත. ඒවා කියවීමට පෙර, යළිත් ලංකාවෙන් පොත් ගෙන ඒම ද, ලංකාවේ මුද්‍රිත පොත්වලට අමතරව වෙනත් පොත් කියවීම ද එයට හේතුවයි.

ඒ අනුව සිතන කළ මා 12.12.12 කියවීමට නියමිතව තිබුණේ සමහරවිට තව වසරකින් දෙකකින් වන්නට ද ඉඩ තිබුණි.

නමුත්, මංජුල සේනාරත්න ගැන ද, ඔහු ලියූ පොත් ගැන ද මා දැන ගත් ෆේස්බුක් තුළින් ම ඔහුගේ මේ 12.12.12 පොත ගැන යම්කිසි විවාදාත්මක සාකච්ඡාවක් කෙරෙනු මට දැක ගත හැකි විය.

පොරොත්තු ලේඛන සුනඛයින්ට දමා වහාම 12.12.12 පොත වහා ම කියවීමට මට සිතුණේ ඒ නිසා ය.


මේ නවකතාව අප කියවා හුරුපුරුදු සිංහල නවකතාවට වඩා කිහිප අතකින් වෙනස් වේ.

එය ලියවී ඇත්තේ ලංකාවේ ගමක් හෝ නගරයක් හෝ නොව ප්‍රංශයේ පැරිස් නුවර පසුබිම් කරගෙන ය. එම පසුබිම පාඨක සිත තුළ මවන්නේ මා කලින් දවසක හඳුන්වා දුන් ආගන්තුක චමත්කාරයයි.

පැරිසියේ සිදුවීම් පිළිබඳව විස්තර කෙරුණ ද, ප්‍රංශුවන් ප්‍රධාන චරිත කිහිපයක් ම නිරූපණය කළ ද, 12.12.12 නවකතාවේ ප්‍රධාන චරිතය සහ තවත් චරිත කිහිපයක් ම සිංහල කතා කරන සංක්‍රමණිකයින් වෙති. එනිසා, පාඨක සිත් තුළට අපේ කමක් ද ඇතුළු වේ.

නවකතාව ගෙතී ඇත්තේ අභිරහස් මිනීමැරුමක් පිළිබඳව ය. එය විසඳීමට ප්‍රංශ පොලිසියේ නිලධාරීන් පියවරෙන් පියවර හැකිතාක් දුරට නීතිය නොනමමින් දරණ උත්සාහය පිළිබඳව ය. කොනන්ඩොයිල් කෘති පරිවර්තන ප්‍ර්‍රිය කරන සිංහල පාඨකයින්ට පමණක් නොව සාමාන්‍ය රුචිකත්වයක් ඇති අයට ද මේ පොත ආකර්ෂණීය එකක් වෙනු නොඅනුමාන ය.

මංජුල සේනාරත්නගේ 12.12.12 පොත ලියවී ඇති විලාසය මට සිහි කළේ මා ප්‍ර්‍රියතම මේ ශානරයේ නවකතාකරුවන් දෙදෙනෙකු වන ජෝන් ග්‍රිෂෝම් සහ ජේම්ස් පැටර්සන්ගේ මා කියවා ඇති නවකතා ය. පොතේ අවසානය දක්වාම පාඨක කුතුහලය රඳවා තබා ගැනීම ද, පාඨකයාට ද සිතන්න යමක් සැමවිටම ඉතුරු කරමින් රහස් පරීක්‍ෂණ ක්‍රියාවලියේ කොටසක් කර ගැනීම ද, කතාව ගලා යාමේ දී සිදුවෙන විවිධාකරයේ පොට පෙරළීම් ද, ඒ කතා කීමේ කලාවේ මූලික ලක්‍ෂණ වේ.

මංජුල සේනාරත්න මේ ශානරයේ ලේඛකයෙකු අභිමුඛව ඇති ඒ සාර්ථකත්වයේ නිර්ණායක සියල්ල සමතික්‍රමණය කර ඇත.

නවකතාවේ ඇති මා දුටු එකම දොස නම්, එය ප්‍රමාණයෙන් පිටු 400 ඉක්මවා යාමයි. එය සිංහල නවකතාවක සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ය. සිංහල පාඨකයාට හුරු පුරුදු ලංකාවේ ජවනිකා (පියා අසනීප වීම වැනි) ඉවත් කරන්නට හෝ සංක්‍ෂිපත්ක කළ හැක. එසේ ම, පැරිසියේ සිංහල පුවත්පත් වාර්තාකරු පිළිබඳ අතුරු කතාව ප්‍රමාණයට වඩා උපහාසයට බරවී දිග් ගැසුණේ ද කියාත් සිතේ. එය ඉවත් කළ ද, 12.12.12 මිනීමැරුම් අභිරහසේ රසයට බාධාවක් නොවෙනු ඇත.

මංජුල සේනාරත්න ලියූ "ප්‍ර්‍රියා සමග ඉරිදාවක්" ළඟඳීම කියවීමට අදහස් කරමි.

-රසික සූරියආරච්චි

Monday, 16 December 2019

අමු කවියක් - A raw poem


ආතතිය කියන්නේ
උසස් පෙළ ගණිතයේ පාඩමක දී ඇසුණු
වචනයක් පමණක් ම වූ සොඳුරු කාලයට

විෂාදය කියන්නේ
යුරෝපා බසක සිට සිංහලට පෙරළිච්ච
නවකතාවක දි හෝ හමු නොවුණු
අත්භූත වචනයක් සේ දැනුණු කාලයට

විරහ වේදනා පොදි කැටි ගැසූ
කවක් පබැඳීම යනු
දුක නිවන, සිත සතුට ඇති කරන
කාරියක් වුණු අරුම කාලයට

හෙට දිනය අද දිනට වඩා හොඳ වේවි යැයි
ඇත්තටම හිතුණු ඒ කාලයට
සිතුවිල්ල සැබෑ වුණු කාලයට

කාල යානයක නැග
හැකියාව ලැබේ නම් නැවත යා ගන්නට
කිසි දිනක ආපසු
නොම පැමිණ ඒ ලොවම ඉන්නට!

-රසික සූරියආරච්චි

(image: https://pelhamcommunications.com/art-pr-agency/blog/art-on-this-day-vincent-van-gogh/)