Monday 23 May 2022

"ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" - Feeling sick


මීට වසර තිහකට පමණ පෙර මට තායිවාන චීන ජාතිකයෙකු හමුවිය. මා ලාංකිකයෙකු බව දැනගත් විට ම ඔහු ඉතා සතුටින් මා සමඟ පැවසුවේ ශ්‍රී ලංකාවේ මිනිසුන් විසින් පරිත්‍යාග කරන ලද අක්ෂි කුණිත ඔහුගේ රටට ලැබෙන බවත්, ඒවා බද්ධ කරගෙන ඇස් පෙනීම නැවත ලබා ගත් සෑහෙන පිරිසක් එරට වෙසෙන බවත් ය.

ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු මෙලෙස මියගිය පසු ඇස් කුණිත දන් දීමට කැමැත්ත පළ කරන බව අප දනිමු. එය එක් අතකින් දාන පාරමිතාවක් පිදීම ලෙසද අර්ථ දැක්විය හැකිය.

නමුත් සත්‍යය නම් ඕස්ට්‍රේලියාව වැනි රටවල ද මිනිසුන් මියගිය පසු තම සිරුරේ කොටස් වෙනත් අයට දීම සඳහා කැමැත්ත පළ කරන බවයි. විශේෂයෙන්ම හදිසි අනතුරකින් මිය ගිය පසුව ඇස් පමණක් නොව තමන්ගේ සිරුරේ කොටස් ද වෙනත් අයගේ ප්‍රයෝජනය පිණිස භාවිතා කිරීමට කැමැත්ත පළ කිරීම රියදුරු බලපත්‍රයක් ගන්නා අවස්ථාවේදීම කළ හැක. මම ද ඕස්ට්‍රේලියානු වාහන බලපත්‍රය ලබාගැනීමේ දී එසේ කළෙමි.

යමෙකු එසේ කරන්නේ අන් අයගේ යහපත ගැන සිතා ය. එසේ නොමැතිව තමන්ගේ ලොකු කමකට නොවේ.

ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායිවාන් ජාතිකයින් ගේ ප්‍රයෝජනය පිණිස මිස ලංකාවේ ලොකුකමක් පෙන්වීමට නොවේ.

ලෝකයේ විවිධ රටවල ගංවතුර භුමිකම්පා වැනි විවසන ඇතිවී ජනතාවට උන්හිටි තැන් නැති වූ සමහර අවස්ථාවල ඔවුනට ආධාර පිණිස ශ්‍රී ලංකාවේ තේ කොල පරිත්‍යාග කරන බව මම ලංකාවේ සිටිය දී පුවත්පත්වලින් දැක ඇත්තෙමි. ලංකාණ්ඩුව එසේ කරන්නේ තමන්ගේ ලොකුකමක් පෙන්වීමට නොව වෙනත් අයෙකු අසරණ තත්ත්වයට පත්වූ විට පිහිට වීම සඳහා ය.

ලංකාව මේ වන විට මුහුණ පා සිටින අසරණ තත්ත්වයට යම් කිසි ආකාරයකින් මුදල් වීම පිණිස දකුණු ඉන්දියානු තමිල්නාඩු රජයෙන් මේ වන විට ආධාර ලබා දී තිබේ. ඒ සඳහා එකතු කරන අරමුදලට කුඩා ඉන්දියානු දැරියක් තම කැට එකතු කර මුදල් ද, හිඟන්නෙකු විසින් අනුන්ගෙන් තම අසරණකම පෙන්වා ලබාගත් මුදල් ද ප්‍රදානය කර තිබෙන බව ප්‍රවෘත්ති සටහන් මගින් දැනගත්තෙමි.

තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් අපේ සමහර අයියලා ගේ අදහසයි.

එසේ නොව, ඔවුන් එලෙස ආධාර උපකාර කරන්නේ ලාංකිකයින් වැටී ඇති අසරණ තත්වය ගැන ඔවුන්ගේ සිතේ ඉපදුනු අනුකම්පාව නිසා සහ ඔවුන්ගේ දානමය සිතුවිලි නිසා බව පිළිගැනීමට සමහරු පැකිළෙති.

එවැනි අදහස් පිළිබඳව මට ඇති වන්නේ පිළිකුලකි.

මේ අර "ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" යන අමන මානසිකත්වය ම ය.

-රසික සූරියආරච්චි