Showing posts with label සිඩ්නි සිංහලයෝ. Show all posts
Showing posts with label සිඩ්නි සිංහලයෝ. Show all posts

Saturday, 7 June 2025

තිසර ශ්‍රීමාල්, ෆේස්බුක් සහ ෆොටෝෂොප් - My two cents worth on Thisara Srimal's poem


ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙවන් හිල්ස්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී 09 දෙසැම්බර් 2023 දින පැවැත්වුණු "මකරන්ද" පද්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ දී රසික සූරියආරච්චි කළ කතාවෙන් කොටසකි.

ආයුබෝවන් සහෘදයිනි

මා මේ සැරසෙන්නේ මකරන්ද කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියක් පිළිබඳව “රසවිඳුමක්” කරන්නයි.

“රසවිඳුම” කියන්නේ අපේ ලේඛක සංසදය විසින් මීට අවුරුදු අටකට පෙර ආරම්භ කළ වැඩසටහනට අප දුන් නමයි. ඒ රසවිඳුම වැඩසටහනේ දී අප කරන්නේ අපේ ලේඛකයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් පිළිබඳව විචාරාත්මක කතා බහක යෙදීමයි. වෙනත් වචන වලින් කියනවා නම්, ඒ සාහිත්‍ය නිර්මාණය අප එකිනෙකා රස විඳි ආකාරය පිළිබඳව අපේ අදහස් අන් අය සමඟ බෙදා ගැනීමටයි.

අපි කුඩා කාලයේ දී අකුරෙන් අකුර එකතුකර වචන ශබ්ද නගා කියන්නටත්, වචන එකතු කර වාක්‍ය කියවන්නටත්, වාක්‍ය පිරි පොත් කියවන්නටත් ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත්තත්, සාහිත්‍ය කෘතියක් කියවා රසවිඳීම කියන්නේ ඊට වඩා සංකීර්ණ කාරණයක්. අප කුඩා කාලයේදී බත් පිඟානකට බත් සහ මාළුපිනි බෙදා ඇති විට එයින් කොටස බැගින් අනා කෑ යුතු ආකාරය ඉගෙන ගත්තා සේම ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත යුතු, ඉගෙන ගෙන කළ යුතු කර්තව්‍යයක්.

සාහිත්‍ය නිර්මාණයක සැබෑ රසය විඳීමට නම් ඒ හා සම්බන්ධ පසුබිම් කාරණා පිළිබඳවත් අපට හොඳ අදහසක් තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම කියවීම සහ සතත අභ්‍යාසය ඒ සඳහා ඉවහල් වෙනවා. එනිසා එකම සාහිත්‍ය නිර්මාණය කියවා එකිනෙකා එයින් විඳගන්නා, ලබාගන්නා රසය වෙනස් විය හැකියි.

මකරන්ද පද්‍ය සංග්‍රහයට සම්මාදම් වී ඇති කවියන්, කිවිඳියන් දාහතර දෙනා අතුරෙන් සිඩ්නි තදාසන්නයේ වාසය කරන සුභාෂිනි ජයතිලක, ඊවා පී වික්‍රමගේ කිවිඳියන් සහ චම්ප බුද්ධිපාල කවියා මේ අවස්ථාවට සහභාගී වෙනවා. එනිසා, මා තෝරා ගන්නවා, බ්‍රිස්බේන් නගර තදාසන්නයේ වාසය කරන තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියා විසින් රචනා කොට ඇති "ෆොටෝෂොප්" නම් කවිය.

ෆොටෝෂොප්

මුහුණු පොත පිටුවක
රුවකි මග නොහැරෙන
මල්යාය මැද හිඳ
නුඹ තනිව සිනාසෙන

නුඹ ළඟින් වම් පසින්
උරහිසට අත තියන්
සිටි බවට මා එතැන
සලකුණක්වත් නොමැත

මගේ අත නුඹේ උර
තැබූ තැන නුඹෙ ගවුම
නැගුණු රැළි පවා අද
මැකී ගොස් ඇති අරුම

මේ කවිය කියවූ විගසම මගේ සිත නොදැනුවත්වම ඇදී ගියේ අපේ ගැටවර කාලයටයි. ඒ කියන්නේ අවුරුදු දාසයයි මාසය කාලෙට. ඇඟ ඇතුලේ හෝමෝන් වැටිලා ඇඟපත ලොකු වෙලා එන කාලෙට.

අද මේ සභාවේ ඉන්න සහෘද කවියන් කිවිදියන්ගේ අත්දැකීම් කොහොමදැයි මා හරියට දන්නේ නෑ. නමුත් ඔන්න ඔය කියන කාලෙ තමයි මගේ නම් කවි සිත අවදිවෙලා ඉබේම කවි ලියවෙන්න පටන් ගත්තෙ. ඒ කොළඹ ඉස්කෝලෙකට යන කාලේ දුම්‍-රියේ දී ඇස ගැටුණු සම වයසේ යුවතියන් ගැනයි.

කොටින්ම මගේ ඒ කවි ලියවිල්ල නතර වූයේ ඇක්සයිස් පොත් පහ හයක් පිරෙන්න කවි ලියලා. දැන්නම් ගෙදර තියෙන්නේ ඒ කවි පොත් ටික විතරයි.

තිසර ශ්‍රීමාල් කවියාගේ මේ කවියෙන් කියවෙන්නේ මගේ අත්දැකීම් ආකාරයේ සියයට පනහේ ආදරයක් ගැන නොවේ. ඊට ඉදිරියට ගිය ආදරයක් ගැනයි. එකිනෙකාට ළං වී, උරහිසට අත තියා තුරුළු කරගෙන ඡායාරූපවලට පෙනී සිටි ආදරයක් ගැනයි.

ඒක සීයට පනහට වඩා ඔබ්බට ගිය ආදරයක් වුණත්, කවියා අපට පවසන්නේ එය අවසාන වී ඇත්තේ විරහවෙන් බවයි. විරහ කියන්නේ ප්‍රේමය නිසා ඇතිවන ශෝකය යි. ප්‍රේමතෝ ජායතී සෝකෝ කියා කියනවානේ.

විරහා දුක විඳින පරාජිතයා ළඟ ඉතුරු වෙන දේ තමයි අපේ කාලේ දී නම් පෙම්හසුන්. ඒ නැති වුණත් ප්‍රේමය පිළිබඳ සිතේ ඇති මතකය. නව සහස්‍රකයේ පෙම්වතුන් නම්, ඔවුන් හිටපු පෙම්වතුන් වූ පසු පෙම්හසුන් නොමැති වුවත් බොහෝ විට ප්‍රේමාන්විතව ගත කළ කාලයේ ඩිජිටල් සටහන් සහ විශේෂයෙන්ම ඩිජිටල් ඡායාරූප ඉතිරි වෙනවා සිකුරුයි.

නමුත් ඩිජිටල් ඡායාරූප මෙලොවට බිහිවුණා සේ ම, එම ඡායාරූප වෙනත් අයගේ ඇස ගැටීමට පළ කළ හැකි ෆේස්බුක් වැනි සමාජ ජාලා බිහිවුණා සේ ම, ඒ ඡායාරූප සිතෙන පරිදි වෙනස් කළ හැකි photoshop වැනි මෘදුකාංග ද මෙලොවේ බිහි වී තිබෙනවා.

ඉතින් පෙම්වතියකට හැකියි, තමන් එකල තම පෙම්වතා සමඟ මල් වත්තක් මැද පෙමෙන් වෙළෙමින්, එකට තුරුළු වී හිඳි මොහොතක ලබාගත් ඡායාරූපයකින් පෙම්වතා සහමුලින් ම ඉවත්කර පමණක් නොව, ඔහු තමාගේ උරහිස්සේ අත තබාගෙන සිටීම නිසා ගවුමේ ඇතිවුණු රැලි පවා ඒ ඡායාරූපයෙන් ඉවත් කිරීමට.

අවසානයේ මේ පෙම්වතාටත් ඉතිරිව ඇත්තේ සිතේ ඇති මතකය පමණයි. ඩිජිටල් මතක වෙනස් වී ගොසින්. සබ්බේ සංඛාරා අනිච්චා.

අපි මේ හිටපු පෙම්වතියගේ දෘෂ්ටිකෝණයෙන් මේ කවිය දෙස බැලුවොත් හිටපු පෙම්වතාගේ සලකුණක් හෝ නොමැති වෙන්නට තමන් වෙතින් ඉවත් කිරීමට ඇයට අවශ්‍ය වූයේ දැන් ඇය තනිකඩ බවක් වෙනත් අයට දැන්වීමට විය යුතුයි.

ඔහු අත තැබූ තැන ගවුමේ සෑදුණු රැළි පවා ඉවත් කිරීමෙන් ඇය පවසන්නේ ඇයගේ කිසි අඩුවක් නැති බවයි. එසේම ඒ බව ඇය පවසන්නේ ලෝකයාට පමණක් නොවේ පරාජිත පෙම්වතාටත්, ඔහුගේ හදවතේ කොනටම, දැනෙන්නයි. එසේම, මේ ගවුමේ රැළි නැති කිරීම මගින් ඇය කර ඇත්තේ ඇගේ නැතිවුණු කුමරි බඹසර ඩිජිටිල් තාක්ෂණයෙන් සකසා ගැනීම යැයි යමෙකුට තර්ක කළ හැකියි.

ඒ සමගම පැවසිය යුතු අනෙක් කරුණවන්නේ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව, මෙය, මේ ආකාරයට ම, තම පෙම්වතිය හැර යන පෙම්වතෙකුට වුව ද කළ හැකි බවයි. එනිසා, මේ නිර්මාණය එක් කෝණයකින් ලියා තිබුණත්, එය කාන්තා විරෝධී, පුරුෂෝත්තමවාදී එකක් නොවන බව මගේ අදහසයි.

තිසර ශ්‍රීමාල් තම කවියේ මාතෘකාව ලෙස යොදා ගෙන ඇති "ෆොටෝෂොප්" නම් යෙදුමෙන් තමයි මේ කවිය සම්පූර්ණ වන්නේ. එමගින් අපට වැටහෙන කාරණය තමයි, කවියක මාතෘකාව යන්න කෙතරම් සූක්ෂම ආකාරයට කවියේ රසය උද්දීපනය කිරීමට භාවිතා කළ හැකි ද යන බව.

මට මතකයි මා තරුණ වියේ දී ලියූ එක කවියක තිබුණේ මාතෘකාව පමණයි. කවිය ලියා තිබුණු කොළයේ ඉතුරු ඉඩ කඩ සියල්ලම හිස් අවකාශයක්. මගේ ඒ කවියේ මාතෘකාව වූයේ “ජීවිතය” යන්නයි.

තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියාගේ මේ නිර්මාණයෙහි මා දකින්නේ එකම එක අඩුවක් පමණයි. එනම් මෙහි Facebook යන්න වෙනුවට “මුහුණු පොත” නම් යෙදුම භාවිතා කර තිබීමයි.

මා මේ ළඟ දී "ෆේස්බුක්" අවකාශයේම ලියා පළ කළ පරිදි, "ෆේස්බුක්" යනු තනි වචනයක්, එය වෙළඳ නාමයක්. එනිසා එය දෙකට කඩා, සිංහලට පෙරළා, මුහුණු පොත යැයි ලිවීම වැරැද්දක්. අපේ කවියා "ෆොටෝෂොප්" යන්න මෙලෙසම දෙකට කඩා, සිංහලට පෙරළා “ඡායාරූප සාප්පුව” යැයි මාතෘකාව ලෙස යොදාගෙන නැත්තේ ඒ නිසයි.

දැන් ඉතින් මේ වන විට, පාරේ යන එන අතරතුර ඇස ගැටෙන තරුණියන් පිළිබඳව කවි සිතුවිලි ඇතිවීම, ඇක්සයිස් පොත් පුරා පෙම් කවි ලිවීම අපෙන් දුරස් වී ගොසින්.

ඊයේ ෆේස්බුක් සමාජ ජාලයේ තමන්ගේ තරුණ කාලේ පින්තූරයක් පළ කරමින් අප අතර සිටින කවියෙකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු කියා තිබුණා ඒ කාලයේ තරුණියන් ඔහු දුටුවිට “ඔබයි රම්‍ය සඳකිරණ ගණ අන්ධකාරේ” යැයි පැවසූ බව සහ ඒ නමුත් එසේ කියූ කාන්තාවන් දැන් ඔහු දුටු විට අහක බලාගන්නා බව.

ඒ සටහන බලා මට හිතාගන්නට බැරි වුණු කාරණය නම් එදා මේඝ වලාකුළක් බඳු රැළි කොණ්ඩයක් තිබූ ලක්ෂ්මන්ට සඳ කිරණ කියා ඇමතූ තරුණියන්, ඇත්තටම ඔහුගේ සඳ පායා ඇති මේ කාලයේ ඒ සඳ කිරණ විඳින්නේ නැතුව අහක බලා ගත්තේ ඇයි ද යන්න.

ලක්ෂ්මන්ට මෙන්ම මටත් ඒ අතීත ශ්‍රී විභූතිය නැවත උදාකර ගත හැක්කේ ඉතිං "ෆොටෝෂොප්" මගින් පමණයි.

අපේ සිනුවර කිවිඳියන් දෙදෙනාට සහ කවියාට මගේ සුබපැතුම්.

සහෘද ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා!

- රසික සූරියආරච්ච්චි

(image: )

Friday, 22 November 2024

මහා පිරිත් ලණු ප්‍රශ්නය හෙවත් මං දැන් MK? - With metta


මාර වැඩේ නේ ෆ්‍රෙන්ඩ්ස් මට වුණේ.

දවස් දෙකකට කලින් මට පන්සලකට යන්න වුණා සෑහෙන කාලෙකට පස්සේ. මං හිතන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු හිතවත් දෙදෙනෙකු සමග එහි දිනයට පසු මුල්වරට.

එදා ගියේ ඒ අවට මනස්කාන්ත පරිසරය නරඹන්න හිතවතුන් රැගෙන ගිය අතරතුරේ. මෙදා ගියේ හිතවත් පවුලක වැඩිහිටියෙකු මියගොස් තුන් මාසේ දානය දෙන්න.

ඉතින් ඔන්න පන්සලේ විහාරය ඇතුළේ බුද්ධ පූජාව තියලා හාමුදුරුවරු දෙන්නා පිරිත් සජ්ඣායනය කළා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ (ලොකු කිව්වට වයසක කෙනෙක් නොවේ) පිරිත් ලණු තුනක් අරගෙන අපිට එන්න කිව්වා අත්වල බඳින්න.

මාත් ඉතින් ගිහින් අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවක් ගලෝලා පිරිත් ලණුව බඳින්න අත දිගුකළා. හාමුදුරුවෝ බැන්දා.

අනිත් හාමුදුරුවෝ පෝච්චියක් වගේ එකක් අතින් අරන් පිරිත් වතුර බොන්න මට කතා කළාට මම ඒකට අහුවුණේ නැහැ. ඒ පෝච්චිය ඇතුලේ මොන විෂබීජ බෝ වෙලා තියෙනවද කවුද දන්නේ?

දවස් දෙකකට පසු අද උදේ යූටියුබය හරහා ලංකාවේ දේශපාලන වීඩියෝවක් නරඹමින් සිටින කොට තමයි මට තේරුණේ මගේ පිරිත් ලණුව මං බන්දවාගෙන තියෙන්නේ වම් අතේ බව.

ඒ වීඩියෝවේ හිටපු නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිරිත් ලණුව බැඳලා තියෙන්නේ දකුණු අතේ.

දැනුම් තේරුම් ඇති මිතුරන්ගෙන් මට දැනගන්න ඕනෑ වම් අතේ පිරිත් ලණුව බැඳීම හොඳ නැතිද, එයින් පව් සිදුවෙනවා ද කියන කාරණය ගැන.

මෙත් සිතිනි.

- රසිකොලොජිස්ට්

(image: Rasika Suriyaarachchi)

Saturday, 2 April 2022

ඇළ කණ්ඩියේ සුනිල් - This was published in Sisila Sinhala Monthly Magazine in April 2022


සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ කැන්ගරු නිම්නය, පුංචි සර්, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහිනය, ලංසි කෙල්ල, සුරඟන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, සහ ඇළ කණ්ඩියේ සුනිල් නම් අප දැක ඇති නවකතා ද, සුදු මැණික, වැල්ලේ කොල්ලා වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

මේ සටහන ලියවෙන්නේ සමන් දිසානායක ගේ දහවෙනි නවකතාව, එනම් සුරස පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව පිළිබඳව ය.

නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන්ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ගැන බව මීට දශකයකට පමණ ඉහත දී සමන් දිසානායක ලියූ “දුරුතු සිහිනය” නවකතාව පිළිබඳ විචාරයක් කරමින් මම කීවෙමි. මා කියවා ඇති ඔහුගේ නවකතා ඇසුරින් මට කිව හැක්කේ සමන් දිසානායක මේ කාරණය ඉතා හොඳින් වටහා ගත් ලේඛකයෙකු බවයි. නවකතාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා, ඒවා එකිනෙක හා සියුම් ලෙස සම්බන්ධ කර, විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඇති හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල, සුදු-කළු චරිත නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන චරිත වෙති.

නවකතාවේ නමෙන් ම පැහැදිලි වන පරිදි මේ කෘතියේ ප්‍රධාන භූමිකාව “ඇළ කණ්ඩියේ සුනිල්” ගේ ය. සුනිල් නාගරික ලුම්පන් පවුලක උපන්, පාසල් කාලයේ දී ඉගෙනීමට සැබෑ උනන්දුවක් මෙන් ම ඉතා දක්ෂතාවක් ද පෙන්වූ නමුත් ඉන් පළ නෙලා ගන්නට පෙර තමන් ජීවත් වූ පරිසරය නිසා ම ජීවිතය වෙනස් කරවන අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. වසර කිහිපයකට පසුව තම ජීවිතය නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අවස්ථාවක් ලැබුණ ද, එය කර ගන්නට නොලැබුණු අයෙකි.

සිසිල සඟරාවේ පළ වන ජෙස්තරයගෙ කතන්දර කොලමේ පළ වූ සරදම් කතාවක මිනිස් ජීවිතයකට බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකි බව කියවුණි. ඒවා නම් ජානමය සාධක සහ පාරිසරික සාධක වේ. මෙය විස්තර කිරීමට එහි දක්වා තිබුණු උදාහරණය වූයේ මෙලොව ඉපදෙන දරුවෙකු තම මවගේ සැමියාගේ හැඩරුව ගන්නේ නම් එය ජානමය සාධකවල බලපෑමක් බවත් එසේ නොමැතිව අල්ලපු නිවසේ වෙසෙන පුද්ගලයාගේ රුව ගන්නේ නම් එය පාරිසරික සාධකයක් ලෙස දැක්විය හැකි බවයි. උපත කෙසේ වුව ද, ඇළ කණ්ඩියේ සුනිල් ගේ ජීවිතය ගලා යන්නේ පාරිසරික සාධක මත වුවත් සුනිල්ගේ නැගණිය වූ ගංගා ගේ නම් ජීවිතය ඇරඹෙන්නේ ද පාරිසරක සාධක බව මත පෙනේ.

ප්‍රධාන චරිතය සුනිල්ගේ වුවත්, කතුවරයා මෙම නවකතාව අපට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාසල් මිතුරු ශ්‍රීනාත් විජේසිංහ ගේ දෘෂ්ටිකෝණයෙනි. ශ්‍රීනාත් යනු සුනිල් මෙන් නොව රිදී හැන්දක් මුව රුවාගෙන ව්‍යාපාරික පවුලක උපන්, සුවපහසු ජීවිතයක් ගත කරන එමෙන්ම විභාග සමත්වීම, විශ්වවිද්‍යාලයට යෑම වැනි සාමාන්‍ය අත්දැකීම් මිස වෙනත් කිසිදු සුවිශේෂී ජීවන අත්දැකීමක් නොලබා නීරස ජීවිතයක් ගෙවන චරිතයකි. කොටින් ම මෙම චරිතය ශ්‍රීනාත් නොව ශ්‍රීමත් එනම් සිරිමත් යැයි නම් කළ යුතුව තිබුණි. ඔහු එතරම් ම හොඳ ළමයෙකි. මවට කීකරු ය. උඹ, බං, බොලං වැනි වචන “පරුෂාවාචා” ලෙස සලකයි. කොටින් ම, තරුණ වියට පත් වූ පසු ශ්‍රීනාත් විවාහය සඳහා සොයන්නේ ද අම්මා කැමති වෙන ආකාරයේ, හොඳට ගෙදර දොර ඉවුම් පිහුම් දන්නා තරුණියකි!

ශ්‍රීනාත් ගේ මෑණියගේ චරිතය නවකතාකරුවා විසින් ගොඩ නැගුවේ තම මවගේ චරිතය ඇසුරෙන් බව ඔහු පවසා ඇත. සමහරවිට ශ්‍රීනාත්ගේ චරිතය නවකතාකරු විසින් තමාගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගන්නට ඇතැයි පාඨකයාට හැඟී යනු පිණිස යම් යම් සලකුණු එකතු කරන්නට ද ඇත.

හැටේ දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ඉදිරියට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇදී යන “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ අවසාන භාගයේ දී සැකෙවින් නමුත් සුවිශේෂී සිදුවීම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන 1983 ජූලි මාසයේදී කෙරුණු කොළඹ දී කෙරුණු අමානුෂික දෙමළ ජන සංහාරය සහ දේපල විනාශය සහ මංකොල්ලකෑම් ගැන කියවන විට සංවේදී පාඨකයෙකුගේ ඇසට කඳුළක් නැඟෙනු නොඅනුමාන ය.

කරුණාවන්ත බවේ, මනුස්සකමේ සංකේතයක් බඳු විජේසිංහ මැතිණියගේ චරිතය ද පාඨක සිතට ගෙන එන්නේ පහන් සිතුවිලි ය.

පරිණත නවකතාකරුවෙකු වුව ද සමන් දිසානායක “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ දී මගේ මතයට අනුව වරදක් කර ඇත. එනම් නවකතාව පිටු 40කින් පමණ දීර්ඝ කිරීමයි. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නම් නවකතාව විසින් 1962දී ප්‍රකාශයට පත්වෙන තුරු එතෙක් ලියැවුණු සියලු ප්‍රේමකතා අඩංගු සිංහල නවකතා සුඛාන්ත පමණක් වූ බව කියවේ. සමන් දිසානායක ගොලු හදවත නවකතාව කියවා ඇති බවට මට සැකයක් නැති නමුත් තම දහවෙනි නවකතාවේ දී පවා ඔහු උත්සාහ කර ඇත්තේ එහි අවසානය සුඛාන්තයක් කිරීමටයි. මා පෙර සඳහන් කළ පිටු 40 එකතු වී ඇත්තේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.

වෙනත් වචනවලින් කියනවා නම්, මගේ මතයට අනුව, “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව අවසාන විය යුතුව තිබුණේ සුනිල් ගේ නිවසට කෙරෙන මැර ප්‍රහාරයේ අරමුණු එලෙසින් ම සාර්ථක වීමෙනි. අප දන්නා යථාර්ථය නම් එයයි. එනම් දේශපාලුවන් කරන දේ “අහෝසි කම්ම”වේ. ඔවුන් සදාකල් යහතින් වැජඹෙති. නමුත් දේශපාලුවන් වෙනුවෙන් සියලු මජර වැඩ කරන ඇළ කණ්ඩියේ සුනිල්ලා කරන දේ දිට්ඨධම්මවේදනීය කර්ම ම වේ. ඔවුන් කෙටිකලකින් ම උපපජ්ජවේදනීය කර්ම ගෙවන්නට නික්ම යති.

සමන් දිසානායක විසින් රචිත, මා කියවා ඇති නවකතා අටකි. ඒ සියල්ලේ ම මෙන් “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ ද “මේසය මත නොතබා එක දිගටම කියවිය හැකි” පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සුවිශේෂී ගුණය ඇත. ඒ සමන් ගේ භාෂාව සරල, සුගම නිසා ය. සංකීර්ණ සිදුවීම් විස්තර කිරීමේ දී වුව ද ඔහුගේ රචනා විලාසය පාඨක සිත් වෙහෙස නොකරන නිසා ය.

චේතනා පරිශුද්ධ පෙම් සටන් දෙක ම ජයගන්නා නිසා ද විය හැක.

අවසානයේ මෙය ද කිව යුතු ය.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස් මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල ම සමතික්‍රමණය කර මේ වන විට නවකතා දුසිමකටත් වඩා රචනා කර ඇති සමන් දිසානායක අපේ විගාමික නවකතාකරුවන්ට පමණක් නොව ලාංකේය අංකුර රචකයින්ට ද ආදර්ශයකි.

- රසික සූරියආරච්චි
ප/ලි:
ඇළ කණ්ඩියේ සුනිල් - සමන් මහානාම දිසානායක
සුරස (ෆාස්ට් පබ්ලිෂින්), 2019
මිළ රුපියල් 450

Thursday, 3 March 2022

සුදු වැලි මතුපිට - කවියෙකු ගැන කතාවක් :: Maithri Panagoda and his lyrics


මෛත්‍රී පනාගොඩ ලියූ "සුදුවැලි - ගී පදමාලා" කෘතිය වෙනුවෙන් ලියවෙන සටහනකි

අපේ නිවසට ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තුවේ මා ප්‍රාථමිකයෙන් ලොකු ඉස්කෝලෙට පිම්මක් පැන්න කාලයේ දී ය. අද මෙන් හැටහුට හමාරක් ගුවන් විදුලි නාලිකා එකල තිබුණේ නැත. සිංහල භාෂාවෙන් විකාශය වූයේ එකල අපට දැනුණු පරිදි නීරස ස්වදේශී සේවය සහ ගීත, නාට්‍ය ඇතුළු වෙනත් වැඩසටහන් වෙළඳ දැන්වීම් අතරේ අමුණා එවූ වෙළඳ සේවය පමණි.

ඒ සමගි පෙරමුණු රජය සමයයි. අවකළමනාකරණය නිසා අද මෙන්ම ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවධියකි. මේ තත්වය පාලනය කිරීමට රජය තමන්ට අයත් ගුවන්විදුලි සේවය හැකි උපරිමයෙන් භාවිතා කළේ ය. තමන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කිරීමට අමතරව මේ සඳහා වෙනත් වැඩසටහන් ද උපයෝගී කර ගන්නා ලදී. සෑම දිනකම උදෑසන අප පාසල් යාමට සැරසෙන හෝරාවේ ප්‍රචාරය වුණු “ජාතික සටනට එක්වෙයි රටතොට” මගේ මතකයේ රැඳී ඇති එවනි එක් ප්‍රචාරකවාදී වැඩසටහනකි. “ගිම්හාන ගීතය” වැනි ගුවන්විදුලි නාට්‍ය ද මේ ආකාරයේ ප්‍රචාරකවාදී නිර්මාණ වූ බව මගේ අදහසයි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියවෙන්නාක් සේ මේ රාජ්‍ය ප්‍රචාරණය තුළින් ද එක් වැදගත් දෙයක් හෝ බිහිවිය. එය නම්, ප්‍රේමසිරි කේමදාස ගේ සංගීත නිර්මාණයෙන් ද, පසු කලෙක ජනප්‍රිය වූ නීලා වික්‍රමසිංහ, ටී එම් ජයරත්න, නිරංජලා සරෝජිනී වැනි ගායක ගායිකාවන්ගේ පමණක් නොව එච් ආර් ජෝතිපාලගේ සම්මාදමෙන් ද ඔප්නැංවී ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබුද්ධ ගී නම් වැඩ සටහනයි. ට්‍රැක්ටරය නම් වචනය අඩංගු ගීයක් ද ඒ අතර වූ බව මගේ මතකයේ ඇති නමුත් මේ ප්‍රබුද්ධ ගී වැඩ සටහන සම්බන්ධයෙන් අද අපට වැදගත් කාරණය නම්, ඕස්ට්‍රේලියාවේ අප අතර දිගු කලක් ජීවත්වෙන මෛත්‍රී පනාගොඩ ගේයපද රචකයා එදා ඒ වැඩ සටහනේ සම්පත් දායකයෙකු වීමයි.

දශක හතකට පමණ පෙර සිංහල නිසදැස් කවියට ඔහු දුන් ආරම්භය නිසා දෝ තවමත් කවියෙකු ලෙස සැලකෙන ගුණදාස අමරසේකරට අනුව සිංහල කවිය නම් පුරන් වූ කේතේ වැවෙන වල් පැළෑටි වන්නේ ගේයපද හෙවත් ගී පදමාලා ය. නමුත් මගේ අදහසට අනුව නම්, කවියන් කෙතරම් කවි ලිව්වත් දනන් තුඩ තුග රැව් දෙන්නේ ද, එනිසාම කාලාන්තරයක් තිස්සේ පවතින්නේ ද, සාමාන්‍ය කවි නොව ගීත ලෙස ගැයෙන කාව්‍ය නිර්මාණ පමණි. එසේම, කවියන් ගැන අප දන්නේ ද, ඔවුන් ලියූ කවි නිසා නොව ඔවුන් ලියූ ගේයපද නිසා බව කිව හැක. කොටින්ම, මෑත යුගයේ මහා සිංහල කවියා ලෙස සැලකෙන මහගම සේකර ගැන කියවෙන විට අපේ මතකයට මුලින්ම එන්නේ ඔහු ලියූ ප්‍රබුද්ධ කාව්‍යයේ අඩංගු කවි නොවේ. “ඈත කඳුකර හිමව් අරණේ”, “මා මළ පසු”, “රත්න දීප ජන්ම භූමි” වැනි ගේයපද රචනා ය.

එදා මා කුඩා දරුවෙකු ලෙස ගුවන්විදුලියෙන් ඇසූ “සුදු වැලි මතුපිට”, “අහස බලාපන් පුතුණේ”, “පාවී පාවී මේ එන්නේ”, “හෙට උපදින පුංචි පුතේ”, “ජාතික රණබිම වෙත යනවා” වැනි ගීපද මාලා වසර පනහකට පමණ පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ ගී සියල්ලේම පද රචකයා වූයේ “සුදුවැලි - ගී පදමාලා” කෘතියේ නිර්මාතෘ මෛත්‍රී පනාගොඩ ය.

තරුණ අවධියේ දී ම “වසන්ත උදානයක් නොව” නමින් තම මුල් කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශනය කර ඇති මෛත්‍රී පනාගොඩ ඉන් පසු දිගු කාලයක් තම වෘත්තීය සහ පවුල් ජීවිත සඳහා කාලය ගතකර නැවත කලා රසිකයින් අතරට පිවිසියේ තම ගේයපද අනුව සැකසුණු ගී නිර්මාණ ඇතුළත් සං‍යුක්ත තැටි සමගිනි. ඒ සං‍යුක්ත තැටි වූයේ, සුදුවැලි (2011), හිරු මල හිනැහෙනවා (ළමා ගී, 2015), ළා හිරු රැස් (ළමා ගී, 2017) සහ මහමෙර සේ (සංයුක්ත තැටි යුගලකි, 2018) ය. මීට අමතරව මෛත්‍රී පනාගොඩ තම දෙවෙනි කාව්‍ය එකතුව “හද මුමුණන හඬ” නමින් 2018 දී එළි දැක්වීය.

“සුදුවැලි - ගී පදමාලා” කෘතියේ මෛත්‍රී පනාගොඩ විසින් රචනා කර ඇති ගේය පදමාලා බොහොමයක් අඩංගු වේ. විශේෂයෙන්ම පෙර නමින් සඳහන් කළ සං‍යුක්ත තැටි පහේ ම ඇතුළත් ගීතවල පදමාලා මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන් විසින් මෑතක දී නිකුත් කෙරුණු සහ නිකුත් කිරීමට නියමිත සං‍යුක්ත තැටිවලට අඩංගු නිර්මාණ කිහිපයක මෛත්‍රී පනාගොඩ විසින් රචනා කරන ලද ගේයපද නිර්මාණ ද “සුදුවැලි - ගී පදමාලා” කෘතියට ඇතුළත් ය.

තම ජීවිතයේ තරුණ කාලයේ දී ගුවන්විදුලියේ ප්‍රබුද්ධ ගී වැඩ සටහනට සහභාගී වීමට වරම් ලැබුණු නිසා, දශක පහකට පසුවත් දනන් තුඩ තුඩ රැව් දෙන නිර්මාණ බිහිකරන්නට මෛත්‍රී පනාගොඩට හැකිවිය. නමුත් එනිසාම අප බොහෝ දුරට දන්නේ ඔහු ලියූ ඒ එක් ආකාරයකට දේශාභිමානී ගී ලෙසින් හඳුන්වන්නට හෝ තවත් ආකාරයකට ප්‍රචාරකවාදී ගී ලෙස ලේබල් කරන්නට හැකි කාව්‍ය නිර්මාණ පමණි. මනුෂ්‍ය සම්බන්ධතා අතරින් ඒ ගේයපද නිර්මාණවල වැඩි වශයෙන් අඩංගු වූයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධයයි.

නමුත් අප සැම අත්දැකීමෙන් ම ඉතා හොඳින් දන්නා පරිදි, තරුණ විය යනු ගතේ හෝමෝන නළියන, සිතේ පෙම් සිතුවිලි උපදින කාලයයි. පෙම් කවි, පෙම් ගී ලියවෙන කාලයයි.

තරුණ මෛත්‍රී පනාගොඩ කවියා එකල ලංකාවේ දී හෝ පසුව ලන්ඩනයේ දී හෝ පෙම් ගී ද ලියන්නට ඇත. නමුත් ඒ පෙම් ගී පදවැල් අපට ගීත ලෙස අසන්නට ලැබුණේ නැත. නිර්මාණ විරාමයෙන් පසු අප අතරට ඔහු පෙම් ගී ගෙනාවේ වුව ද ඒවා හෝමෝන නළියන පෙම් ගී නොව, කරුණාව, දයාව මත පදනම් වූ නිර්මාණ විය.

පෙම් ගී රසිකයෙකු ලෙස එය මගේ කනගාටුවට කරුණකි.

-රසික සූරියආරච්චි

මෛත්‍රී පනාගොඩ මෑත අතීතයේ ලියූ ගේයපද මාලාවක්

කළණ මිතුරියට

කළණ මිතුරිය දිගු ගමනේ
යවන සොඳුරිය හද අරණේ
බලන බැල්මේ දොඩන වදනේ
මිහිරි ආදරයේ

අඳුරු මේ කුළු සරණ අහසට
ඉන්ද්‍ර චාපය වී
වියළි දෙනෙතට කඳුළු කැඳවන
චමත්කාරය වී

නිසල දිය මත දිලෙන සෙලවෙන
රේඛාව ඔබ වේ
රැයක කළුවර මකා හිනැහෙන
තනි තරුව ඔබ වේ

පද රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව / සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: චමින්ද කුරුප්පු
(“සුදුවැලි” සං‍යුක්ත තැටියෙනි)

(කවර නිර්මාණය: ඒ ඩී රංජිත් කුමාර)

Tuesday, 4 January 2022

රටින් රටට පැන ලැගුම් සොයා - Kangaroo Vannama: A novel by Lakshman Kodituwakku


ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ “කැන්ගරු වන්නම” නවකතාව පිළිබඳ විචාරයකි.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ මෙහි ජීවත්වෙන ජනතාව කොටස් කිහිපයකට වර්ගීකරණය කළ හැක. එයින් බොහෝ දෙනෙකු මූලිකව ලංකාවේ දී අධ්‍යාපනය ද, වෘත්තීය සුදුසුකම් සහ පුහුණුව ද ලබා ආර්ථික හේතු මත සහ පුද්ගල සුඛ විහරණය පතා ස්වාධීන සංක්‍රමණිකයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ ජීවත්වෙන අය සහ ඔවුන්ගේ පවුල්වල අයයි. ඒ සමගම උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපන සුදුසුකම් ලබා මෙහි ස්ථිර ලෙස පදිංචි වී සිටින විශාල පිරිසක් ද වෙති. එසේම, එම අරමුණ ම ඇහිව මෙහි පැමිණ තවමත් ශිෂ්‍යයින් ලෙස ජීවත්වෙන තරුණ ලාංකීය පිරිසක් ද වේ.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පිරිසක් නම්, මහ සයුර තරණය කර “නීති විරෝධීව” මෙහි පැමිණ හෝ සංචාරක වීසා ලබා නීත්‍යානුකූලව ගුවන් යානයෙන් මෙහි පැමිණ මෙහි දී සරණාගත තත්ත්වය ඉල්ලා එය අනුමත වෙන තුරු රැඳී සිටින පිරිසයි.

ඕස්ට්‍රේලියාවේ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දශක කිහිපය තුළ වඩාත් ප්‍රවෘත්ති මැව්වේ මේ සරණාගත තත්ත්වය ඉල්ලා පැමිණෙන සංක්‍රමණිකයින් පිරිස වුවත්, සංක්‍රමණික ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් ලියැවෙන නවකතා, කෙටිකතා යනාදී සාහිත්‍ය නිර්මාණ සඳහා සරණාගතයින් වස්තු බීජ වෙන අවස්ථා සාපේක්ෂව අඩු බව මගේ නිරීක්ෂණයයි. මීට වසර පහළොවකට පමණ පෙර ජගත් ජේ එදිරිසිංහ විසින් ලියන ලද “අසුර අඩවිය” නම් කෘතිය ද, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් ඔවුන්ගේ සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද කෙටිකතා ඇතුළත් “ඔසී රටේ අපේ කතා” කෘතියට අඩංගු වූ ප්‍රියන්ත ෆොන්සේකා ගේ “රමේෂ්” නම් කෙටිකතාව ද, පොත් එකතුවේ තිබුණ ද මා තවමත් කියවා නොමැති පද්මා ජයවර්ධනගේ “අපිදු යාත්‍රා කළෙමු” නවකතාව ද, මෙහි දී මගේ සිහියට නැගේ.

එසේම, මා සඳහන් කළ තාවකාලික ශිෂ්‍ය වීසා බලපත් යටතේ මෙහි වාසය කරන තරුණ පිරිස වස්තු බීජ කොට කෙරුණු සාහිත්‍ය නිර්මාණ ඇත්තේ ද ස්වල්පයකි. ජගත් එදිරිසිංහ ගේ “ගිම්හාන සුළඟ” නවකතාව මෙන්ම, පෙර කී ඔසී රටේ අපේ කතා කෘතියේ අඩංගු ඩිලිනි ඊරියවල ගේ “ස්ට්‍රේලියාව, රටගාය සහ අපි” නිර්මාණය ද මෙහි දී මගේ සිහියට එයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරන කවියෙකු, කෙටිකතාකරුවෙකු, නාට්‍යකරුවකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචනා කරන ලද “කැන්ගරු වන්නම” නම් නවකතාව වැදගත් වන්නේ මූලිකවම එයට වස්තු බීජ වී ඇති ‍ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය නිසා ය. ඊට අමතරව කෙදිනක හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා ගැනීමේ අරමුණින් මෙහි වසන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් පිළිබඳව ද කැන්ගරු වන්නම නවකතාවේ අඩු නොමැතිව සඳහන් ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු නිර්මාණකරුවාව මා මුලින් හඳුනාගත්තේ කෙටිකතාකරුවෙකු ලෙසිනි. ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා ඇතුළත් ග්‍රන්ථ තුනක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති අතර සිව්වැනි කෙටිකතා සංග්‍රහය මුද්‍රණයේ පවතී. ඒ අතරින් ඔහුුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන “පරමේශ්වරී සහ වෙනම රටක්” (2009) ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ අතර “ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්” (2015) කෙටිකතා සංග්‍රහය ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ට නිර්දේශ විය. ඊට අමතරව ලක්ෂ්මන් කොඩිතුවක්කු “පැය අටේ මිත්‍රයෝ” නමින් කාව්‍ය සංග්‍රහයක් ද, “පුංචි ටොමී සිඩ්නි ගියා” (2006) සහ “මේ අපේ ලොවයි” (2015) නමින් ළමා කතා ද්වයක් ද, “හුුස්ම” (2013) නමින් කෙටිකතා සංග්‍රහයක් ද, “පරාරෝපණය” (2014) නමින් යොවුන් නවකතාවක් ද ප්‍රකා‍ශයට පත්කර ඇති ප්‍රවීණ ලේඛකයෙකි. “කැන්ගරු වන්නම” ලක්ෂ්මන් කොඩිතුවක්කු රචනා කළ දෙවැනි නවකතාවයි. ඔහුගේ මුල් නවකතාව “කවුළුවක් මං පියාපත් නැති” නමින් 2017 දී ප්‍රකාශයට පත්වුණි.

මා මුලින් සඳහන් කළ පරිදි “කැන්ගරු වන්නම” නවකතාවට මූලිකවම පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ සංක්‍රමණ සරණාගත නිසා අයැදුම් කර, එය අනුමතවේද කියා කිසිදු ස්ථිරත්වයක් නොමැතිව, ඒ අතරතුර විවිධාකාරයේ සුළු රැකියාවල නිරත් වෙමින් දරිද්‍රතාවය අද්දර ජීවත්වන ජන කොටසේ කතාවයි. මේ පිරිස අතර මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන, ශ්‍රී ලංකාවේ සිට නැටුම් කණ්ඩායමක් සමග සංදර්ශනයක් සඳහා පැමිණ සංචාරය නිමවා සෙසු පිරිස සමග ආපසු නොගොස් සිඩ්නි නගරයේ නතර වුණු හෙවත් “ගල් වුණු” ජිනේන්ද්‍ර මෙන් ම, ලංකාවේ උතුරුකරයේ සිට බොහෝවිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පැමිණ සරණාගත වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් වන ගනේෂ් සහ ශංකර් ද, නේපාල ජාතික බිරේන්ද්‍ර ද සිටී. එසේම ශිෂ්‍යයකු ලෙස මෙහි පැමිණ, විවිධ ප්‍රශ්න වලට පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කරගත් නිසා ආපසු ලංකාවට නොයා සරණාගතයෙකු ලෙස මෙහි පදිංචිවීමට අවසර ගැනීමට වෙර දරන සුපුන් සහ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසිකම ලබා ගැනීමේ අවසාන බලාපොරොත්තුව සහිතව තවමත් ඉගෙනුම මජීමා නම් තරුණ ශිෂ්‍යාව ද මෙහි චරිත මවති.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ නාට්‍ය සහ කෙටිකතා නිර්මාණවල අපට නිරතුරු අසන්නට, දක්නට ලැබී ඇති උපමා, උපමේය, රූපක යනා දී භාෂාලංකාරයෙන් අනූන සාහිත්‍යමය රචනා ශෛලිය කැන්ගරු වන්නම නවකතාවේ ද නොමදව දකින්නට ඇත. සාමාන්‍ය, සරල කතන්දර කියන්නෙකු නොව ලක්ෂ්මන් කොඩිතුවක්කු ශූර ලේඛකයෙකු වන්නේ ඒ අති පොහොසත් ලෙස භාෂාව හැසිරවීමේ කෞශල්‍යය නිසා බව මගේ අදහසයි.

නවකතාවේ භූමිකා නිරූපණය කරන සරණාගත සහ ශිෂ්‍ය චරිත තමන්ගේ එදිනෙදා ජීවිකාව සපයා ගැනීම උදෙසා විඳින දුක් කරදර මෙන්ම, ඔවුන්ගේ චිත්ත දෝමනස්සය ද, පිටු තුන්සිය පනහක් ඔස්සේ දිවයන මේ නවකතාවේ මැනවින් විග්‍රහ කෙරේ. කතාව අවසානයේ දී ඇතැමෙකුගේ ඒ බලාපොරොත්තු සුන් වී, ආපසු ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ සමගම, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඒ දුක් කතරින් මිදී තමන් අපේක්ෂා කළ ගමනාන්තය කරා ළඟා වෙති, එනම්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචය සඳහා අවසරය කෙසේ හෝ ලබා ගනිති. නමුත් එය සිදුවන්නේ ඔවුන් පැතූ ආකාරට සුන්දරව, සුමටව හෝ ක්ෂණිකව හෝ නොවේ. එ නිසා කැන්ගරු වන්නම නවකතාව කිසිසේත් ම සුඛාන්තයක් ලෙස වර්ගීකරණය කළ නොහැක.

මීට අවුරුදු පහළොවකට පමණ පෙර මම ඕස්ට්‍රේලියානු වාසී සංක්‍රමණික සිංහල ලේඛකයින්ගේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු කෙටිකතා සංග්‍රහයක් “තිරස තරණ” (2009) නමින් සම්පාදනය කළෙමි. කෙටිකතා පහළොවක් ඇතුළත් අත් පිටපත නිමවා, එය අපේ සංගමයේ එවකට නිලතල දැරූ නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනාට යොමුකළ විට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ මේ කෙටිකතාවලින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ජනතාව පිළිබඳව ඇතිවන්නේ සෘණාත්මක හැඟීමක් බවයි. එය සත්‍යයෙන් බොහෝ දුරස්ථ නිසා කෙටිකතා සංග්‍රහය කෙතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය ද මතුවිය.

ඒ ඇගයීම සත්‍යයකි. මන්ද යත් ඒ කෙටිකතා පහළොවෙන් එකොළහක් ශෝකාන්ත ලෙස නම් කළ හැකි ඒවා විය. මෙයට හේතුව සංක්‍රමණික ජන පිරිස දුක්මුසු ජීවිත ගත කිරීම නොව, කෙටිකතාවක් වැනි සාහිත්‍යමය නිර්මාණයක් කිරීම සඳහා අප බොහෝ විට පෙළඹෙන්නේ හිත වඩාත් සසල කරන අත්දැකීමක් අනුසාරයෙන් නිසා වීමයි. මේ තත්ත්වයෙන් මිදීම සඳහා කෙටිකතා එකතුවේ සංස්කාරක ලෙස මා ගත් ක්‍රියාමාර්ගය වූයේ, අත්පිටපත සඳහා කෙටිකතා රචනා කර තිබුණු ලේඛකයින් පහළොස් දෙනා අතුරින් මා පුද්ගලිකව දන්නා කියන දෙදෙනෙකුගේ සහ මගේ කෙටිකතා වෙනුවට, අප තිදෙනා විසින් ලියා තිබුණු දුක නොමැතිව හාස්‍ය රසයක් ගෙන දෙන කෙටිකතා තුනක් එකතු කිරීමයි. එමගින් කෘතියේ අඩංගු දුක් ප්‍රතිශතය 50% ආසන්නයටම අඩු කරගැනීමට මට හැකි විය.

නැවතත් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ “කැන්ගරු වන්නම” නවකතාවට අවධානය යොමු කළහොත්, එය ශෝකාන්තයක් වන්නේ එහි පාත්‍ර වර්ගයාට මුහුණ පාන්නට සිදුවන දුක්බර අත්දැකීම් නිසා ම ය. එය සත්‍යයයි. සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන අයගේ ජීවිත මෙන්ම, ලංකාවේ දී අවම මුුදලක් වියදම් කර ශිෂ්‍ය වීසා ලබාගෙන, ඕස්ට්‍රේලියාවේ දී රැකියා කරමින් ජීවත්වෙන අතරතුර ඉගෙනගැනීමට මෙහි පැමිණෙන අයගේ ජීවිත ද කිසිසේත්ම සුඛදායක ඒවා නොවේ. එනිසා දුකෙන් කෑල්ලක් කපා ඒ වෙනුවට හාස්‍ය කෑල්ලක් ඔබ්බවා සරණාගතයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ කතාව වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ කැන්ගරු වන්නම නවකතාව, සදාකාලිකව ජීවත්වීම පිණිස ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන අය මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය ද කියවිය යුතු කෘතියක් ලෙස මම නිර්දේශ කරමි.

කැන්ගරු වන්නම සුරස ප්‍රකාශනයකි. මිල රුපියල් 550.

- රසික සූරියආරච්චි [rasika.suriyaarachchi@gmail.com]

Thursday, 27 May 2021

පුරසඳ, අවසඳ සහ සෝමරත්න දිසානායක - Lunar-tic thoughts



මෙවර වෙසක් පුරසඳ වෙනුවට සිනුවර අපට දක්නට ලැබුණේ අවසඳකි.

ඒ අවසඳ මට සිහිකළේ 1993 දී පමණ ලංකාවේ විකාශය කෙරුණු "අවසඳ" නම් ටෙලිනාට්‍යයයි. එය අධ්‍යක්‍ෂණය කළේ කලකට පෙර සිනුවර වැසියෙකු වූ සෝමරත්න දිසානායක විසිනි. ඔහු මේ වසරේ තිස්වෙනි සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපති ද වේ.

"අවසඳ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ බව මගේ මතකයයි. භීෂණ සමයේ අතුරුදහන් වූ තම පෙම්වතා ගැන කම්පනයෙන් සිටින යුවතියක පිළිබඳ කතාවක් රැගත් "අවසඳ" නිර්මාණය එකල ආණ්ඩුවේ ලොක්කන්ට ඇල්ලුවේ නැත. එනිසා, කතාව අවසන් වෙන්නට කලින් එය විකාශය කිරීම අත්හිටුවන ලදී.

ඒ තහනම පිළිබඳ අදහස් දැක්වූ එවකට මාධ්‍යය පිළිබඳ රාජ්‍ය ඇමතියෙකු වූ ඒ ජේ රණසිංහ නමැත්තා ප්‍රකාශ කළේ එම නිර්මාණය "අවසඳ" නොව "නව ගඳ" ලෙසින් නම් කළ යුතුව තිබුණු බවයි.

ඒ ජේ රණසිංහ නමැත්තා ගඳ සුවඳ හඳුනන්නෙකු නොවේ. එවකට ජනාධිපති ර. ප්‍රේමදාසගේ සුවට කීකරු බලු කුක්කෙකු වූ ඔහු එකල පැවසූ තම "ස්වාමියාගේ සෙරෙප්පුවලින් තමන් සුප් එකක් හදා බොන්නට වුව සූදානම්" ය යන කූප්‍රකට ප්‍රකාශයෙන් ඒ බව අපට හොඳින් වැටහී තිබුණි.

පැවති යූඇම්පී ආණ්ඩුව වෙනුවට 1994 දී පොදු පෙරමුණු බලයට පත්වූ පසුව ද "අවසඳ" ටෙලි නාට්‍යය නැවත විකාශය වූයේ යැයි නොසිතමි.

ඒ ආණ්ඩු පෙරළිය සඳහා සෝමරත්න දිසානායක ද යම් වැඩ කොටසක් ඉටු කළා විය යුතුයි. එදා 1994 මහ ඡන්දයේ දී පොදු පෙරමුණට සහය දක්වමින් කලාකරුවන් ගේ සංවිධානයක් විසින් නුගේගොඩ දී පවත්වන්නට යෙදුුණු, කාලෝ ෆොන්සේකා, ලූෂන් බුලත්සිංහල, කේ බී හෙරත් සහ බන්දුල විජේවීර වැනි පුද්ගලයින් කතා කළ රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය (සහ සෝමරත්න දිසානායක?) බව මගේ මතකයයි.

වරක් මෙල්බර්න් නගරයේ දී ද, දෙතුන් වරක් සිනුවර දී ද, දෙවරක් කොළොම්පුරයේ දී ද, මට සෝමරත්න දිසානායක හමු වී කතාබස් කර ඇති නමුත්, ඔහුගෙන් කිසි දිනක අවසඳ ටෙලිනාට්‍යය අවසන් වීමට නියමිතව තිබුණු ආකාරය ඇසීමට මට අමතක විය.

ඒ කාලයේ දී ම විකාශය වූ, සෝමරත්න දිසානායක ම ලියා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයක් වූ "ඉටිපහන්-1" නරඹන කාලයේ දී ද මට ඔහුගෙන් විමසීමට ප්‍රශ්නයක් තිබුණි. එනම්, "කතාව අවසානයේ දී හෝ සුද්දා ආපසු ඒවි ද?" යන්නයි. නමුත් "ඉටිපහන්-1" අවසාන වෙනවිට ද සුද්දා ආවේ නැත.

සුමිත්‍රා රාහුබද්ධ ලියූ "ඉටිපහන" නවකතාව ඇසුරෙන් නිපදවුණු "ඉටිපහන්-2" ටෙලිනාට්‍යය නැරඹීම අරඹන විට සුද්දා කිසි දිනෙක ආපසු නොඑන බව අපට වැටහී තිබුණි!

එසේනම් අපි පොසොන් මහේ දී පුරසඳ නරඹමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයක් පිළිබඳ කතාවක්.
https://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html

(image: https://www.abc.net.au/news/2021-05-26/see-how-the-rare-super-blood-moon-lit-up-the-australian-sky/100168486)

Friday, 21 August 2020

ජුකී කෙල්ල හෙවත් සුරඟන කුමරියගේ වාසනාව - Rasika Suriyaarachchi reviews Surangana Kumariya, a novel by Saman Mahanama Dissanayake
























"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් මහානාම දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.

"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.

සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත් අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.

සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.

ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.

එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැක ය.

මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.

මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.

සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.

සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.

-රසික සූරියආරච්චි ප/ලි: සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව https://rasikalogy.blogspot.com/2020/08/2007-rasika-suriyaarachchis-review-of.html

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි

Saturday, 11 January 2020

විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"



එච්. එච්. කරුණාරත්න ලියූ "හෙළ දම් පැදි වැල" කවි එකතුව පිළිබඳ රසික සූරියආරච්චි විසින් 2011 දී ලියූ විචාරයකි. මෙය 2011 මාර්තු සන්නස කළාපයේ පළ විය.



විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"

මා, එච්. එච්. කරුණාරත්න කවියා මුලින් ම දුටුවේ වසර 2005 අග භාගයේ දී ස්කැට්ස් (SCATS) සංවිධානය විසින් සිඩ්නි නුවර එපින් හි දී පවත්වන්නට යෙදුණු "සාහිත්‍ය චින්තා" කවි සමුළුවේ දී ය. එදින ඔහු ලියූ සාහිත්‍යමය ලිපියක් කියවූ බව ද, ඔහු විසින් රචිත කවි පන්තියක් රස විඳි බව ද, මගේ මතකයේ ඇත.

එතැන් පටන් පසුගිය පස්වසර තුළ කරුණාරත්නයන් විසින් පබැඳුණු කවි පන්ති කිහිපයක් ම අසා, කියවා, රස විඳින්නට මට ඉඩ කඩ ලැබුණි.

"හෙළ දම් පැදි වැල" නමින් පසුගිය දා ප්‍රකාශයට පත්වුණු එච්. එච්. කරුණාරත්න කවි එකතුව පිළිබදව මා මේ කෙටි සටහන තබන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි.

තමා කවියෙකු නොවන බව නිරහංකාර ලෙස පෙරවදනේ සඳහන් කළ ද, එච්.එච්. කරුණාරත්නයෝ දීර්ඝකාලයක් තිස්සේ කාව්‍ය රචනාවෙහි යෙදුණු පළපුරුදු කවියෙකු වෙති. මේ කාව්‍ය සංග්‍රහයේ අඩංගු කර ඇති විවිධ විරිතින් පබැඳුණු සඳැස් කවි මෙන් ම සැහැලි වර්ගයේ රචනාවලින් ද ඒ බව මනාව සාධනය වේ.

ගණනින් එකුන් සැටක් වූ මේ කාව්‍ය පන්තීන්ගෙන් බහුතරයක් ම බෞද්ධ චින්තනය මත පදනම්ව, බොහෝ විට ධර්ම කරුණු පිළිබඳව රචිත ඒවා වීම ජීවිතයේ සැඳෑ කාලයේ පසුවෙන අප වැඩිහිටි පරපුරට මෙන් ම, මැදිවිය පසුකරමින් සිටින අපේ පරම්පරාවේ බණට, දහමට නැඹුරු වූ සිත් ඇත්තන්හට ද සතුට දනවන කරුණක් වෙනු ඇත.

පන්සල කේන්ද්‍රකොට ගත් බුද්ධාගම නමැති සංස්ථාව වෙත අප බැඳ තබා ගන්නා ආමිස පූජාවන් හි ප්‍රධාන තැනක් ගන්නා ගස් වන්දනාව සහ පිළිම වන්දනාව යන වන්දනා ද්වයේහි දී ම, සුගම විරිතට පබැඳිව, සුමුදු හඬින් ගැයෙන සිංහල කවි සහ පාලි ගාථා සාර්ථකව යොදා ගන්නා බව අප හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව බලන කල, "හෙළ දම් පැදි වැල" කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කාව්‍ය නිර්මාණ බොදු චින්තනය මත පදනම් වූ දිවි මගකට පාඨකයා යොමු කරවන ආකාරයේ ප්‍රබල විභවයක් ඇති රචනා බවට සැකයක් නැත.

ඇතැම් ගැඹුරු දහම් කරුණු පවා කරුණාරත්නයන් ගේ කාව්‍යමය හැකියාව හමුවේ සුගම පදවැල් බවට පෙරළී ක්‍රමිකව ගලා යයි. මා මේ කෘතියේ දුටු තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම්, බුදුගුණාලංකාරයේ අප කියවා ඇති ආකාරයේ කෙටි මාත්‍රාවෙන් යුතු කවි ප්‍රබල අරුත් හුවා දැක්වෙන අයුරින් පබැඳී ඇති ආකාරයයි.

උපන් බිමේ දිගු කලක් තිස්සේ කළ මෙහෙය නිමවා, විශ්‍රාමික සංක්‍රමණිකයෙකු ලෙස මේ "දකුණු කුරු දිවයින" ට පැමිණ තමා ලද ඒ විප්‍රවාසී අත්දැකීම් ද කවි බසට පෙරළා, හෙල දම්පැදිවැල කෘතියෙහි එන පදවැල් අතරට එක් කිරීමට කරුණාරත්නයෝ උත්සුකවීම ද පැසසිය යුතු කරුණකි. විගාමික සිංහල සාහිත්‍යයක පිබිදීමට ඉන් ලැබෙන රුකුල මම මෙහි ලා බෙහෙවින් අගය කරමි.

දේශපාලන කසළ ගොඩට සහ එහි ඉහඳ තබන නිලමැස්සන් ට වන්දිබට්ටකම් කෙරෙන "යුග පෙරළිය" නම් වු කවි පෙළ හමුවේ කිලිටි කර නොගෙන මා දෙනෙත වසාලමින්, "හෙළ දම් පැදි වැල" නමැති මේ කිරි කළය, කිරි කළයක් ලෙස ම හුවා දැක්වීමට මම කැමැත්තෙමි.

"හෙළ දම් පැදි වැල" කෘතියෙහි අඩංගු දම් පැදිවැල් කියවන, අසන, සෑම සිතක ම දම් සිතුවිලි පහළ වේවා, ඒ සිත් නිවේවා, සුවපත් වේවා යන්න මගේ පහන් පැතුමයි.

උපත සහ විපත අතර දුකෙහි ගැලෙමින්, සැපත සොයමින් අප ගෙවන මේ කෙටි ජීවිත කාලය අවසානයේ දී යම් ප්‍රයෝජනවත් වැඩක් කළා යයි සතුටු වීමට නම් "ගසක් වවා, පුතෙක් හදා, පොතක් ලියා තිබිය යුතුය" යනුවෙන් වැඩි දෙනෙකු නොදන්නා කියමනක් වේ.

සිනුවර අප අතර වෙසෙන කරුණාරත්නයන් තම දිගු ජීවිත කාලය තුළ අනේක සංඛ්‍යාවක් ගස් වවා ඇතැයි මම සිතමි. ඔහු රටට වැඩදායක දූ පුතුන් හදා ඇති බව ද අපි මැනවින් දනිමු. "හෙළ දම් පැදි වැල" නමින් මේ කෘතිය නිර්මාණය කිරීම තුළින් ඉහත කී තෙවැනි විවරණය ද එච්. එච්. කරුණාරත්නයන් ලබා ඇති බව කරුණා සිතින් යුතුව ඔබ සැමට මෙලෙස ලියා දන්වමි.

රසික සූරියආරච්චි

ප/ලි
මෙම කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා අවුරුදු 95 ක තම දිවිසැරිය පසුගිය දා නිම කර හෙට අවසන් ගමන් යයි. සුබ ගමන් කවියාණෙනි.

Monday, 14 October 2019

රෑ මනමාලි - Bride of the night



මමයි රෑ මනමාලි

ලොවට හොර රහසේ - පැළඳ සුදු සේලේ
ගනඳුරේ සැරසුණ - මමයි රෑ මනමාලි
මධු සුවඳ විහිදමින් - ආදරය අයැදුවද
බමර පහසක් නොලද - මමයි රෑ මනමාලි
නොලද පේ්‍රමයෙ නමින් - රහසේම ඉකිබිඳ
ගනඳුරේ මිලිනවන - මමයි රෑ මනමාලි


දින දෙකකට කලින් අපේ කිවිඳිය, චිත්‍ර ශිල්පිනිය, ගායිකාව ප්‍රසාදිකා වික්‍රමාරච්චි විසින් මට විද්‍යුත් ලිපියකින් එවපු ඒ කවිය කියවා මගේ සිතේ ඇතිවුණු අදහස් ඉතා කෙටියෙන් පවසන්නම්.

අප කවුරුත් දන්නා පරිදි, කාව්‍යමය භාෂාවෙන් කතා කරන කොට භාවිතා කෙරෙන සම්මත සරල උපමාවක් තමයි කාන්තාවන් සඳට, ඒවගේම මල්වලට සමාන කිරීම.

ඒකට හේතුව තමයි, මල් කියන්නේ නෙතින් දැකීම සිතට සතුට ගෙන දෙන, සුන්දර, වර්ණවත්, සුවඳ හමන සුන්දර ස්වභාවික වස්තුවක්.

හැම දවසකම, දවසේ හැම මොහොතකම නැතුවත් කාන්තාවන් කියන්නේත් මල් වගේම සුන්දර වස්තූන් බව මෙහි සිටින පිරිමින් සියලූ දෙනාම පිළිගන්නා බවට මට සැකයක් නෑ.

මේ කරුණ, අරලිය, සමන් පිච්ච වලට පමණක් නොවෙයි, කටු අතුවල පිපෙන රෝස මල්වලටත් අදාළයි. රෝසමලක වුණත් ඇතින් සිට සුන්දරත්වය රස විඳින්නත්, ලං වෙලා සුවඳ බලන්නත් පුළුවනි. එහෙන් මෙහෙන් අත දාන්න ගියොත් තමයි කටු ඇනෙන්නේ.

කාන්තාවන්ව මල්වලට සමාන කරනවා වගේම කාව්‍යමය භාෂාවෙන් පිරිමින්ව සමාන කෙරෙන්නේ බඹරුන්ටයි. ඒ සමගම අප දන්නවා, බඹරුන් මල්වලින් රොන් ගැනීම සමාන කෙරෙන්නේ ගැහැණු පිරිම කාම සම්භෝගයට බව.

දැන් රෑ මනමාලී කවියේ අපේ කිවිඳිය කතා කරන්නේ සුවිශේෂී පුෂ්පයක් ගැනයි. ඒ තමයි රාත්‍රී කාලයේ පිපී උදෑසනවන විට පරවී යන බ්‍රයිඞ් ඔෆ් ද නයිට් එහෙමත් නැතිනම් ක්වීන් ඔෆ් ද නයිට් කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන මල. මං හිතන්නේ කඩුපුල් මල් කියාත් සිංහලෙන් පැවසෙන්නේ මේ වර්ගයේ මල්වලටයි.

ඉතිං, රෑ මනමාලී පුෂ්පය පිපී තියෙන්නේ රාත්‍රී කාලයේ පමණක් නිසා, දිවා කාලයේ මල්ගොමුවල සැරිසරන බඹරුන්ගේ පහස මේ රෑ මනමාලී මල්වලට ලැබෙන්නේ නෑ. මල පරවෙන්නේ බඹර පහස විඳින්නේ නැතුවයි.

මලක් යනු කාන්තාවක් නම්, බඹරෙකු යනු පිරිමියෙකු නම්, ඒ අනුව මේ කවියෙන් කිවිඳිය පවසන්නේ ජීවිතයේ කිසි දිනක පිරිමියෙකුගේ පහස නොලැබ, කාම සම්භෝගයේ නොගැලී තම ජීවිතය හැර යන කාන්තාවක ගැන බව පැහැදිලියි.

අප දන්නවා විවිධ සමාජ, ආර්ථික මෙන්ම පුද්ගලික කාරණා නිසා ද, ඒ ආකාරයේ දිවි ගත කරන කාන්තාවන් මේ ලෝකයේ සිටින බව.

ඔවුන්ගේ දුක් වේදනාවයි ප්‍රසාදිකා මෙලෙස තම කවියෙන් අපට ඉදිරිපත් කර ඇත්තේ.

කවියන්ට තම නිර්මාණවලදී ව්‍යාකරණ නීති මෙන්ම තවත් දේ ද නිර්මාණය වෙනුවෙන් නොසකකා සිටීමට සුවිශේෂී බලපත්‍රයක් තිබේ යැයි කියමනක් තියෙනවා. එනිසා, ඇත්තටම ඒ රාත්‍රී කාලයට පිපෙන මල් පරාගණය කිරීමේ අවශ්‍යතාව ස්වභාව ධර්මය විසින් අමතක කර නොමැති බවත්, ඒ සඳහා රාත්‍රී කාලයේ සැරිසරන රෑ සමනළයින් සහ සලබයින් වැනි වෙනත් කෘමි සතුන් මේ ලෝකයේ සිටින බවත් මේ කවියේ සඳහාන් නොවීමේ ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරන කොට, රෑ මනමාලී මල ප්‍රාර්ථනය කරන්නේ ඒ සලබයෙකු ගේ පහස නොව සැබෑ බඹරෙකුගේ පහස විය හැකියි. ඇය දුක්වන්නේ ඒ නිසා විය හැකියි.

හොඳයි බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මා මෙයත් පවසන්නම්.

මා මුලින් සඳහන් කළා, පිරිමින්ට කාන්තාවන්ව පෙනෙන්නේ මල් ලෙසයි, එහෙම නැතිනම් සඳ ලෙසයි කියා. කාන්තාවන්ට පිරිමි අපව බඹරු පෙනෙනවා විය යුතුයි. මට මතකයි තරුණ කාලේ මා ගැනත් ඒ ආකාරයට බඹරෙකු ලෙස සඳහන් කෙරුණු බව.

ඒත් මොකද මන්දා දැන් ටික කාලයක සිට මාව දැක්කාම සමහරුන්ට මතක් වෙන්නේ සඳ ලු. මං හිතන්නේ මා මිත්‍ර ලාල් වික්‍රමාරච්චිගේ අත්දැකීමත් එහෙම වෙන්න ඇති.



-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සිනුවර වෙසෙන ගායිකාවක, චිත්‍ර ශිල්පිනියක සහ කිවිඳියක වන ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ "සිත් කවුළුව" කාව්‍ය සංග්‍රහය එළි දැක්වුණු අවස්ථාවේ එම කෘතියේ අඩංගු "රෑ මනමාලී" නම් කව පිළිබඳව මා කළ විචාරයයි.


Sunday, 1 September 2019

බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" novel


මා ප්‍රිය බිරිඳ පසුගිය දා පොතක් ලියා පළ කළා ය.

එය නවකතාවකි. එහි නම "Lost in Floral Rain" ය. එයින් හැඟෙන පරිදි මෙය ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයකි.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී, සරසවි පොත් සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වුණු "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථයේ පිටපත් රට පුරා විහිදී ඇති එම සමාගමේ පොත්හල්වලින් මිලට ගත හැක.

මෙම කෘතියේ ශ්‍රී ලාංකික දොරට වැඩුම 2019 අප්‍රියෙල් මස 20 දා, සෙනසුරාදා, රාත්‍රියේ පිළියන්දල මඩපාත තොටුපල හෝටලයේ දී, ආරාධිත ඥාතී හිත මිතුරන් සමූහයක් අභිමුඛයේ දී පැවැත්විණි.

"ලොස්ට් ඉල් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථය සහ එහි කතුවරිය පිළිබඳව ලියවුණු සාකච්ඡාමය ලිපියක් ඩේලි නිවුස් පුවත්පතේ ඉන් දින කිහිපයකට පසුව පළ විය. https://lostinfloralrain.blogspot.com/2019/05/feature-article-in-daily-news-of.html

පුෂ්පා සූරියආරච්චිගේ නවකතාව පිළිබඳව මුල්ම විචාරය ලියවුණේ එහි අත්පිටපත කියවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්ලිෂ් භාෂා අංශයේ මහාචාර්ය කාමන් වික්‍රමගමගේ අතිනි. එම විචාරය ද ඩේලි නිව්ස් පුවත් පතේ පළ විය. http://www.dailynews.lk/2019/05/29/tc/186812/fond-memories-childhood

ඩේලි නිව්ස් පුවත් පතට තවත් විචාරයක් සපයා තිබුණේ, "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතියේ මුද්‍රිත පිටපතක් කියවූ කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය කමණී ජයසේකර විසිනි. http://www.dailynews.lk/2019/07/17/tc/191278/petal-reading-experience

මෙම කෘතියේ ඕස්ටේ‍ර්ලියානු දොරට වැඩුම පැවැත්වුණේ 2019 ජූලි 14 දින දී ය. නමුත් ඊට පෙර පුෂ්පා සූරියආරච්චි සේවය කරන ස්ථාන ද්වයක (හොක්ස්බරි රෝහල සහ මින්චින්බරි රෝහල) ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සව සංවිධානය කර තිබුණි.

ඒ එක් උත්සවයක් පිළිබඳව සිඩ්නි තදාසන්න ප්‍රාදේශීය පුවත්පතක පළවුණු විස්තරයක් දුටු සිනුවර වෙසෙන ශ්‍රී ලාංකික පුවත්පත්කලාවේදියෙකු වන නුවන් ගන්කන්ද විසින් සති අග අරුණ පුවත්පතට ලිපියක් ද සපයා තිබුණි. http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=90e0ce3f

"ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.

මෙන්න ඒ විස්තර නැවතත්.

බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අකර්මන්‍ය වී තිබූ මගේ බ්ලොග් කෙරුවාව, අද 2019 සැප්තැම්බර් පළමුවෙනිදා, මෙසේ යළි ඇරඹේ.

(image: )

Friday, 23 August 2019

සමකාමී බඹරෙකුට ගැයෙන ගීයක් - A song about a gay bumble bee


මා විසින් 2006 දී පද රචනා කෙරුණු මේ ගීතය මුලින්ම සංගීතය මුසු වී ගායනා කෙරුණේ ඊට වසර හතරකට පසුව ය. එය මා මිත්‍ර හේමාල් ජයවික්‍රමගේ මුල්ම ස්වීය ගීතය විය.

පසුව 2019 මාර්තු මාසයේ දී නිකුත්වුණු "සදා ඔබෙයි මා" නම් හේමාල්ගේ ගී එකතු සංයුක්ත තැටියට මේ ගීතය ද අඩංගු විය.

මුලින් ම ගීය අසමු.



මෙන්න පදමාලාව.

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ

රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා


ගායනය- හේමාල් ජයවික්‍රම
තනුව- සිසිල් ෆොන්සේකා
සංගීත සංයෝජනය- විශාරද ඉන්දු ප්‍රේමතිලක
පදවැල- රසික සූරියආරච්චි

(image: Hemal Jayawickrama)

Tuesday, 12 February 2019

සදා ඔබෙයි මා - හේමාල් ජයවික‍්‍රම ගීත සමුච්චය :: I am yours for ever


සංගීතඥයින් කිහිප දෙනෙකුගේ ම නිජබිම වූ කඩුගන්නාව තම ගම් පියස වූව ද, නුගවෙල මධ්‍යම විද්‍යාලයේ දී හින්දි ගී ගයමින් "ලෝකල් රාෆි" ලෙස මිතුරන් අතරේ නමක් දිනා ගත්ත ද, හේමාල් ජයවික‍්‍රමගේ සිත මුලින් ම ඇදී ගියේ ගණිතයටයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා සිවිල් ඉංජිනේරුවෙකු ලෙස දිගු කලක් ශ‍්‍රී ලංකාවේ සේවයෙන් පසු, 1996 දී ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කළ හේමාල්, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත රජයේ සේවයේ යෙදෙන අතරතුර ලැබෙන හැම අවස්ථාවක දී ම, සිනුවර පැවැත්වෙන සංස්කෘතික ප‍්‍රසංගවල සිංහල මෙන් ම, හින්දි ගීත ද ගැයුවේ ය.

හේමාල් ජයවික‍්‍රම ගායකයාට තම සංගීත දිවිය අරුත්බර කරගන්නට අවකාශ ලැබුණේ ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්නගේ සිනුවර ආගමනයට පසුවයි. වසර හතරක් ෂෙල්ටන් පේ‍්‍රමරත්න ගාන්ධර්වයා යටතේ සංගීතය ප‍්‍රගුණ කළ හේමාල් පසුව නටරාජ් නර්තන කලා සහ සංගීත ආයතනයට බැඳී සංගීතඥ අවිජිත් සර්කාර් යටතේ හින්දුස්ථානි රාගධාරී සංගීතය හදාරමින් ඉන්දීය ප‍්‍රසංගවල හින්දි ගීත ගායනය ද ඇරඹීය.

හේමාල් ජයවික‍්‍රම සංගීතවේදියා ස්වතන්ත‍්‍ර නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත්තේ මීට දශකයටත් එපිට කාලයක ය. ඔහු සිනුවර නිපදවුණු සංගීත තැටි කිහිපයක් ම සඳහා, ගායනයෙන්, තනු නිර්මාණයෙන් සහ පද රචනයෙන් සම්මාදම් වී ඇත. එසේ දිගු කාලයක් තිස්සේ තමන් නිර්මාණය කළ ගීතාවලිය, "සදා ඔබෙයි මා" නමින් සංයුක්ත තැටියක් ලෙසින් එළි දක්වන්නට හේමාල් ජයවික‍්‍රම සූදානම්ව සිටී.

"සදා ඔබෙයි මා" සංයුක්ත තැටියේ අඩංගු ගී පහළොවෙන් දොළසක ම තනු නිර්මාණය හේමාල් ජයවික‍්‍රමගෙනි. එක් ගීතයක පදමාලාව ද රචනා කර ඇති හේමාල්, ගීත එකතුවේ අඩංගු ගී නවයක් ගායනා කරයි.

"සදා ඔබෙයි මා" ගීත එකතුව සඳහා නිර්මාණ දායකත්වය සපයා ඇති අනෙකුත් නිර්මාණකරුවන් නම්, සංගීත නිර්මාණයෙන් සහ ශබ්ද සංකලනයෙන් විශාරද ඉන්දු පේ‍්‍රමතිලක, ශ‍්‍රී ලංකාවේ වාද්‍ය වෘන්දය මෙහෙයවීමෙන් මහින්ද බණ්ඩාර, ගී පද රචනයෙන් පුජ්‍ය කුඩාගල කෝවිද, රසික සූරියආරච්චි, ඇනට් ගුණසේකර, ප‍්‍රසාදිනී වෙත්තසිංහ, නිහාල් රූපසිංහ, මෛත‍්‍රී පනාගොඩ සහ මලී දිසානායක, ගායනයෙන් දිනාලි සෝමවීර, රංගිකා මයුරපානී සහ ඉන්දු පේ‍්‍රමතිලක, යුග ගායනයෙන් ශශිකා නිසංසලා, ලංකා ප‍්‍රියංගනී, සමනලී ජයසූරිය, ඉරේෂා ගුණසේකර සහ රුවී නිම්නදී වේ.

"සදා ඔබෙයි මා" ගී සමුච්චය මාර්තු මස තුන්වෙනිදා, ඉරිදා, සවස පෙනන්ට් හිල් ප‍්‍රජා ශාලාවේ දී එළි දැක්වෙනු ඇත. උත්සවය සංවිධානය කරනු ලබන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මේ සංගීත සන්ධ්‍යාවට සහභාගී වෙන මෙන් සංගීතකාමී ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමු.

[සන්නස මාසික සඟරාව, 2019 පෙබරවාරි කලාපය, 48 පිටුව]

-රසික සූරියආරච්චි

ප/ලි:
හේමාල් ජයවික්‍රම පිළිබඳ වැඩි විස්තර සඳහා:
Facebook fan page: https://www.facebook.com/Hemal-Jayawickrama-338010029873227/
Facebook profile: https://www.facebook.com/hemal.jayawickrama

ප/ප/ලි:
මෙම ගී එකතුවේ එන සදා ඔබේ මා යනු මා 2005 වසරේ ප්‍රකාශයට පත් කළ "පෙම් ගී" බ්ලොග් අඩවියේ පළ කෙරුණු පදමාලාවක් ඇසුරෙන් නිර්මාණය වූ ගීයකි. [http://pemgee.blogspot.com/]

(image: www.sannasa.com.au)

Monday, 12 November 2018

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there


සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කළ "ඔසී රටේ අපේ කතා” ග්‍රන්ථයේ 2018 නොවැම්බර් 11 දින පැවති සිනුවර දොරට වැඩුම උත්සවයේ දී ලේඛක සංසදය වෙනුවෙන් රසික සූරියආරච්චි විසින් කළ දේශනය

දීර්ඝකාලීන ව්‍යාපෘතියක අවසානයේ යම්කිසි නිමාවක් සනිටුහන් කරන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය සමග මුල සිටම අද දක්වාම සම්බන්ධව සිටි සම්බන්ධීකාරක හැටියට අදහස් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටක්.

මට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමින්, අසා සිටින ඔබ හැමටත් පීඩාකාරී නොවන ආකාරයට, ඉතාම කෙටියෙන් මා කරුණු තුනක් පිළිබඳව අදහස් දැක්වීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. මා මේ කියන්නට යන ඇතැම් කරුණු සිංහල සංස්කෘතික හමුව සහ ලේඛක සංසදය සමග දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරන මගේ සහෘදයින් බොහෝ දෙනෙකු දන්නා නමුත් අද මෙම උත්සවයට සහභාගි වෙන සියලූ දෙනාගේම දැන ගැනීම පිණිසයි මා කතා කිරීමට අදහස් කරන්නේ.

අද දොරට වඩින මෙම "ඔසී රටේ අපේ කතා" කෙටි කතා එකතුව සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය ලෙස අප සලකන්නේ 2012 මාර්තුවේ දී සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් පැවැත්වූ කෙටිකතාකරණය පිළිබඳ වැඩමුළුවයි.

ඒ වැඩමුළුව පිළිබඳව පසුව පැවැත්වූ සාකච්ඡාවක දී ලේඛක සංසදය විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් රචනා කරන කෙටිකතා එකතුකර ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බවට තීරණයක් ගත්තා.

අපි 2013 මුල්භාගයේ දී මාධ්‍ය නිවේදන මගින් මේ යෝජිත කෘතියට තමන් විසින් රචනා කරන ලද කෙටිකතා එවන ලෙස ඉල්ලා සිටියා. අපේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානුවාසි සිංහල ලේඛකයින් විසින් තමන්ගේ සංක‍්‍රමණික අත්දැකීම් මත පදනම් රචනා කරන ලද කෙටිකතා මෙම යෝජිත කෙටිකතා සංග‍්‍රහයට ඇතුළත් කිරීමටයි. අඩු වශයෙන් ඕස්ට්‍රේලියාවේ දී යමෙකු ගෙවන ජීවිතය ගැන යම් හෝ සඳහනක් මේ නිර්මාණ වලට ඇතුළත් විය යුතු බව අපේ අදහස වුණා.

එයට හේතුව තරමක් පැහැදිලි කරනවා නම්, ලේඛකයින්ගේ වෙනත් පරිසරයක දී ලබන ලද අත්දැකීම් මත පදනම් වූ නිර්මාණ අපට ශ‍්‍රී ලංකාව මූලික කොටගත් සිංහල සාහිත්‍යයේ ඇති තරම් දැකීමට ලැබෙන අතර එවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ඇති විශාල පිරිසක් ද ශ‍්‍රී ලංකාවේ වෙසෙනවා. නමුත් නිසැකවම ඕස්ට්‍රේලියාව පසුබිම් කරගත් නිර්මාණ බිහි කළ හැකි පිරිස සිටින්නේ අප අතර පමණයි. ඕස්ට්‍රේලියාවට කෙටිකාලීන සංචාර සඳහා පැමිණි අය යම්යම් නිර්මාණ බිහි කළත්, ඒවායේ අන්තර්ගතය තුළින් සංක‍්‍රමණික අපේ ජීවිත එතරම් හොඳින් නිරූපණය වෙනවා යැයි සිතන්නට බැහැ.

එසේම මේ වන විට සිංහල සාහිත්‍යයේ මධ්‍යස්ථානය වන ශ‍්‍රී ලංකාවෙන් පරිබාහිරව විදෙස් රටවල සිටින සිංහල ලේඛකයින් විසින් කරන සාහිත්‍යමය නිර්මාණ, විගාමික සිංහල සාහිත්‍යය නම්, වෙනම සුවිශේෂී ශානරයක් ලෙස සැලකීමට තරම් දියුණු වී තිබෙනවා. මේ කෘති කියවීමෙන් ලංකාවේ වෙසෙන සිංහල පාඨකයාට ලැබෙන්නේ, අප එදා රුසියානු ඇතුළු වෙනත් විදේශීය රටවල් පසුබිම් කරගෙන නිර්මාණය වුණු කෘති කියවීමෙන් ලැබූ මා ”ආගන්තුක චමත්කාරය” ලෙස හදුන්වන සුවිශේෂී රසාස්වාදයට සමාන රසයක්.

අපේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස මෙම යෝජිත කෘතියේ අඩංගු කිරීම පිණිස අපට කෙටිකතා විසි අටක් ලැබුණා. අපේ නිර්නායකයට අනුකූලව අප එයින් කෙටිකතා විසිතුනක් මේ කෘතිය සඳහා තෝරා ගත්තා.

ඒ ලැබුණු කෙටි කතා සංස්කරණය කර මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අප තෝරා ගත්තේ ඉතාමත් කල් ගතවෙන නමුත් ලේඛක සංසදයේ සාමාජිකයින්ට ප‍්‍රයෝජනවත් වෙතැයි සිතන ක‍්‍රමවේදයක්. එනම්, සංසදයේ සාමාජිකයින් රැස්වී කෙටිකතා එකිනෙක සාමූහිකව කියවා ඒවා පිළිබඳ සාකච්ඡුා කොට ඒත් සංස්කරණය කිරීමේ ක‍්‍රමවේදයයි. අපේ ව්‍යාපෘතියේ මේ අදියර ඇරඹුණේ 2013 සැප්තැම්බර් මාසයේදී යි.

මේ සංස්කරණ ලෙසින් සඳහා මුලදී ලේඛක සංසදයේ සාමාජිකයින් හත් අට දෙනෙකු පමණ සහභාගී වූවා. මගේ මතකයට අනුව අප මූලික සංස්කරණ රැුස්වීම් දොළහක් පමණ පැවැත්වූවා. පාලිත ගනේවත්තගේ නිවසේ රැස්වීම් හතරකුත්, ඊළ`ගට පුෂ්පා සූරියආරච්චිගේ නිවසේ දීත්. මේ කර්තව්‍යය සඳහා අපට වසර එකහමාරක් පමණ කාලයක් ගත වුණා.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, ලේඛක සංසදයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම කෘති සඳහා තමන්ගේ කෙටිකතා නිර්මාණ ඒවා තිබුණ නිසා අප සංස්කරණය රැස්වීම්වලදී භාවිතා කළේ රචකයාගේ නම නොමැති පිටපත් බවයි. ලේඛක සංසදය විසින් ගන්නා ලද තීරණයක් අනුව එක් එක් කෙටි කතාවේ රචකයා කවුදැයි දැන සිටියේ මේ ව්‍යාපෘතියේ ආරම්භක සම්බන්ධීකාරක වූ මා පමණයි.

කෙටිකතා සංස්කරණයේ දී අප සැලකිල්ලට ගත්තේ, ”නණලළ” ඇතුළු අක්ෂර වින්‍යාසය, පද බෙදීම, පද යෙදීම සහ කෙටිකතාවේ අන්තර්ගතය පාඨකයින්ට සම්පේ‍්‍රෂණය වීම වැනි කරුණු පමණයි.

මේ ආකාරයෙන් කඩදාසි පිටපත් මත සංස්කරණය කරන ලද කෙටිකතා ඊළ`ගට මෘදු පිටපතට නංවා, ලේඛකයින්ගේ අනුමැතිය පිණිස යැවීම කළ යුතුව තිබුණා. මේ කර්තව්‍යය ආරම්භක සම්බන්ධීකාරක වූ මගේ වගකීමක් වූ නිසා, ඒ සඳහා අවාසනාවන්ත ලෙස ඉතා දීර්ඝ කාලයක් ගත වුණා. කෙතරම් දීර්ඝ කාලයක් ගත වුණේ ද යත්, මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉක්මන් කිරීම සඳහා ඥානතිලක හේවාගමගේ ද සම සම්බන්ධීකාරකයෙකු ලෙස ලේඛක සංසදය විසින් පත්කරනු ලැබුවා.

ඥානතිලක හා මා දින කිහිපයක් ම මුණ ගැසී, වැඩකටයුතු බෙදාගෙන, එක්වත්, වෙන්වෙන්වත් කටයුතු කළා. අවසානයේ, 2017 ජූලි මාසය වනවිට අපට මේ කෘතියේ අත්පිටපත සම්පාදනය කරගත හැකි වුණා.

කෙටිකතා නිර්මාණය කළ ලේඛකයින්ගේ දෙවන වටයේ අදහස් ද අඩංගු කර ගනිමින් නැවතත් අත්පිටපත සංස්කරණය කර සරසවි ප‍්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට ලැබුණේ මෙම වසරේ ජූලි මාසයේදී යි.

සිඞ්නි නගරයට මෙම කෘතියේ පිටපත් ගෙන්වාගැනීමට අප කටයුතු කරන අතරේ ශ‍්‍රී ලංකාවේදී ඔසී රටේ අපේ කතා කෘතිය ජනගත කිරීමේ උත්සවයක් පැවැත්වුණු බව ඔබ සමහර දෙනා දන්නවා. ඒ කටයුතු සංවිධානය කළේ නිහාල් රූපසිංහ සහ කලක් අප අතර සිට දැන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන ප‍්‍රියන්ත ෆොන්සේකා විසිනුයි.

ඒ උත්සවය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මාසයේ 17 වෙනි දා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආරියපාල ශ‍්‍රවණාගාරයේ දී යි. එහිදී වියත් පිරිසක් විසින් විගාමික සාහිත්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථයෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳ කරුණු දක්වන්නට යෙදුණා. අපේ කෘතියේ වැදගත්කම පිළිබඳව ධනාත්මක විචාර කිහිපයක් ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ ලේඛිකාවක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන සංජීවනී රූපසිංහ සහ සම්මානලාභී කෙටිකතාකරු කමල් පෙරේරා විසිනුයි.

මා කලින් සඳහන් කළ විගාමික සිංහල සාහිත්‍ය ශානරයට ඔසී රටේ අපේ කතා කෘතිය තුළින් යම්කිසි ප‍්‍රමාණවත් සම්මාදමක් කිරීමට අපට හැකි වූවා තියා මට සිතෙනවා. ආරම්භයේ සිටම මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කටයුතුවලට සහ සංස්කරණයට සහභාගි වූ සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ සාමාජිකයෙකු ලෙස මට ඒ කාරණය පිළිබඳ ඇත්තේ දැඩි සතුටක්.

දැන් මා කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙන දෙවැනි කාරණය දෙස යොමු වෙන්නම්.

අද මෙහි දී එළිදක්වෙන ”ඔසී රටේ අපේ කතා” කෘතිය සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් ප‍්‍රකාශිත මුල්ම කෘතියයි. නමුත් අද මේ සිටින බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙය සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කරන්නට යෙදුණු තුන්වැනි කෘතිය වෙනවා.

සංස්කෘතික හමුව වශයෙන් අප විසින් ප‍්‍රකාශයට පත් කළ මුල් කෘතිය වූයේ ”තිරස තරණ” නම් කෙටිකතා එකතුවයි. ”ඔසී රටේ අපේ කතා” කෘතිය ආකාරයෙන්ම සංක‍්‍රමණික සිංහල ලේඛකයින් විසින් තමන්ගේ ඕස්ට්‍්‍රලියානු අත්දැකීම් අළලා ලියැවුණු කෙටි කතා පහළොවකින් යුතු ”තිරස තරණ” කෘතිය එළිදැක්වුණේ 2008 වසරේ පෙබරවාරි මාසයේදී යි. සිංහල සංස්කෘතික හමුවේ සංස්කාරක ලෙස තිරස තරණ කෘතිය සම්පාදනය කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඊළ`ගට සිංහල සංස්කෘතික හමුව මගින් සම්පාදනය කෙරුණේ ඕස්ට්‍්‍රලියාව පිළිබඳව සම්මත ආකෘතියෙන් ලියැවුණු සඳැස් කවි සහිත ග‍්‍රන්ථයක්. සර්ග අටකින් ද, සිව් පදයෙන් යුතු සඳසෙන් බැඳුණු කවි හාරසිය අනූ පහකින් ද, යුක්ත වූ දකුණු කුරු දිව් කව් නම් මෙම කෘතිය දොරට වැඩියේ 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

ඒ මහා කාව්‍යය සඳහා කවියන් තිස්තුන් දෙනෙකු ගේ සම්මාදම ලබා ගන්නට අපට හැකි වුණා. ”දකුණු කුරු දිව්” කව් ග‍්‍රන්ථය සංස්කරණය කළේ හෙන්රි කුමාරප්පෙරුම සහ මා විසිනුයි.

ඕස්ට්‍රේලියාව පිළිබද තත්කාලීන සහ ඓතිහාසික තොරතුරු අඩංගු ගද්‍ය කෘතියක් ද සිංහලෙන් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡුාවක් ඇති වුණ ද එය ක‍්‍රියාත්මක වුණේ නැහැ.

කෙසේ නමුත් ඉදිරි කාලයේ දී සංස්කෘතික හමුවේ ලේඛක සංසදයට තවත් විවිධාකාරයේ ග‍්‍රන්ථ සම්පාදනය කිරීමට ලැබේය කියා මා විශ්වාස කරනවා. ඒ සඳහා මා දැනට දෙවරක් ම, යෝජනා කර තිබෙන්නේ අපේ ලේඛකයින් විසින් රචනා කරන ලද ප‍්‍රශස්ත සිංහල කෙටිකතා ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් සහ මූලිකව ම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවෙන ලාංකික සංක‍්‍රමණිකයින්ගේ නිර්මාණයක එතුවක් බිහි කිරීමේ ව්‍යාපෘතියකුයි. මේ යෝජනා සඳහා තවමත් ලේඛක සංසදයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවත්, තව වසරකින් හෝ දෙකකින් පමණ ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ යැයි මා සිතනවා.

අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද මේ පැවැත්වෙන උත්සවය වැනි පොත් දොරට වැඞීමේ උත්සව පිළිබඳවයි.

පොතක් ප‍්‍රකාශයට පත් වුණු පසු, එම කෘතිය ජනගතකිරීම, දොරට වැඞීම, එළිදැක්වීම, යනාදී විවිධාකාරයෙන් හැඳින්වෙන මේ ආකාරයේ උත්සවයක් හරහා, පාඨකයින් වෙත ප‍්‍රදානය කිරීම ලොව දසතම සිදුවෙන කාර්යයක්.

සිංහලෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් මුලින්ම සිඞ්නි නගරයේ දී ඒ ආකාරයට දොරට වැඞීමක් සිදු වුණේ කවදාදැයි මා නිශ්චිතවම දන්නේ නැහැ. මා අනුමාන කරන විදිහට, අප අතර සිටින ලේඛකයෙකුගේ කෘතියක් ඒ ආකාරට සිඞ්නි නගරයේ දී මුලින් ම එළිදක්වනු ලැබුවේ 2004 වර්ෂයේ දී විය යුතුයි. නමුත් ඒ සඳහා සිංහල සංස්කෘතික හමුවේ සම්මාදමක් තිබුණා යයි මා සිතන්නේ නැහැ.

අප අතර වෙසෙන ලේඛකයින් විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන ග‍්‍රන්ථ මෙන්ම අනෙකුත් කලාකරුවන් විසින් නිර්මාණය කරන සංයුක්ත තැටි වැනි කලා කෘති දොරට වැඞීම සඳහා සංස්කෘතික හමුව විසින් සෘජුවම මැදිහත් වී සහයෝගය දිය යුතු යැයි 2006 වසරේ අගෝස්තු මස පැවති සිංහල සංස්කෘතික හමුවේ ඉදිරි ගමන පිළිබඳ වූ වැඩමුළුවක දී මා යෝජනා කළා. ඉන්පසු සංස්කෘතික හමුවේ කමිටු සභා රැස්වීමකට ඉදිරිපත් වුණු ලිඛිත යෝජනාවක් සාකච්ඡුාවේ සභා සම්මත වීමෙන් පසුව මුල්වරට මෙවැනි පොත් එළිදැක්වීමක් සංවිධානය කෙරුණේ 2006 වසරේ දෙසැම්බර් මස පැවති සංස්කෘතික හමුවේ වාර්ෂික සාමාජික සාදය සහ නත්තල් උත්සවය අතරතුරයි. එහිදී දොරට වැඩියේ පාලිත ගනේවත්ත විසින් රචනා කරන ලද ”ඇවිත් නොරටක” නම් නවකතාවයි.

පසුව, 2009 වසරේ නොවැම්බරයේ දී සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ව ලේඛක සංසදය ආරම්භ කළ පසු මේ ආකාරයේ ග‍්‍රන්ථ එළිදැක්වීම් වලට සහයෝගය දී සංවිධානය කිරීම ලේඛක සංසදය විසින් ඇරඹුවා. පසුගිය වසර හත අටක කාලය තුළ එවැනි උත්සව විශාල සංඛ්‍යාවකට සහභාගි වීමට අපට අවස්ථාව ලැබුණා.

අද මෙම පැවැත්වෙන උත්සවයේ සුවිශේෂිත්වය වන්නේ මෙය පෙර අප සංවිධානය කළ ආකාරයේ අපේ එක් සාමාජිකයෙකුගේ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයක් නොව, අපේ සාමාජිකයින් විශාල පිරිසකගේ සම්මාදමෙන් යුතු ග‍්‍රන්ථයක දොරට වැඞීමේ උත්සවයක් වීමයි.

ඔසී රටේ අපේ කතා ග‍්‍රන්ථය පිළිබඳව කිවයුතු තවත් සුවිශේෂී කාරණයක් නම්, මෙහි එන කෙටිකතා අතරින් කිහිපයක් ම, ඒ ඒ රචකයින් ගේ ග‍්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන මුල්ම කෙටිකතා නිර්මාණ වීමයි. එය ලේඛක සංසදයේ පිහිටුවීමේ අපේ මුඛ්‍ය අරමුණක් සාක්ෂාත් කරගැනීමක් ද වෙනවා.

ඔබ සැමට ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි:
සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ ජූලි මාසයේ දී වෙළඳපොළට නිකුත්වුණු ඔසී රටේ අපේ කතා කෘතියේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. වට්ටම් සහිතව සරසවි පොත්හල ශාඛාවකින් රුපියක් 390 කට පමණ මිලට ගත හැක.

ප/ප/ලි
මෙන්න වීඩියෝව. පිටපතට වඩා එහෙන් මෙහෙන් වෙනස්.



(image: By Pushpa Suriyaarachchi)

Saturday, 10 November 2018

දොරට වැඩුම් සම්ප්‍රදාය - A benchmark and a template for book launch ceremonies


නවකතාවක්, කෙටිකතා එකතුවක් හෝ ගීත සමුච්චයක් වැනි නිර්මාණයක් රසික ප්‍රජාවට ඉදිරිපත් කිරීම සඳහා දෙරට වැඩුම් උත්සව පැවැත්වීම අද ලංකාවේ මෙන්ම අප වසන ඕස්ට්‍රේලියාවේ ද සම්ප්‍රදාය වී ඇත.

මෙවැනි උත්සවයක සාමාන්‍ය වැඩ පිළිවෙළ වන්නේ සිංහල චාරිත්‍රානුකූලව පහන් දැල්වීමෙන් කටයුතු අරඹා, කෘතියේ පිටපතක් විශේෂ ආරාධිතයෙකුට පිළිගන්වා, ඉනික්බිති, කෘතිය පිළිබඳව සහ එහි නිර්මාතෘ පිළිබඳව කතා කීපයක් පැවැත්වීමයි. අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර අවශ්‍ය අයට අදාළ කෘතිය මිල දී ගැනීමේ අවස්ථාව ලැබේ.

උත්සවයක් ආරම්භයේ පහනක් දැල්වීමේ මූලාරම්භක හේතු කුමක් වුවද, අද පවතින පිළිගැනීම අනුව ඉන් අදහස් කරනුයේ මෝහන්ධකාරය දුරු වී ඥානාලෝකය පැතිරේවා යන්න යැයි සිතමි.

ටවුමේ මාළු මාකට් එක අසල ගොඩ නැගෙන වෙසක් තොරණ රාජයා ගේ විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේදී මෙන්ම නිර්මාණයක් දොරට වැඩීමේදී ද පහන් දැල්වීම සඳහා ප්‍රභූවරුන් ට ආරාධනා කිරීම අපේ සිරිතයි. මේ අනුව යමින් අද ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දොරට වැඩුම් උත්සවවලදී කොන්සල්වරුන්, සංගම් සභාපතිවරුන් මෙන්ම නිර්මාණකරුවා ගේ ජීවන ගමන හැඩ කළ විවිධ පුද්ගලයෝ ද පහන් දැල්වීම සඳහා ආරාධනා ලබති.

ප්‍රශ්නය ඇතිවන්නේ නිර්මාණය දොරට වැඩුම සනිටුහන් කරමින් එහි පිටපතක් පිළිගැන්වීමේ දී ය. උත්සවයට ගාම්භීරත්වයක් එක් කිරීම සඳහා ඉහළ නිලධාරියෙකුට ආරාධනා කර ඔහු හෝ ඇය ලවා සම්ප්‍රදායානුකූලව පහන් දල්වා උත්සවය ආරම්භ කොට ඇත. ඉන්පසු, උත්සව සංවිධාකයන් නිරුත්සාහයෙන් ම සැලසුම් කරන්නේ මේ ආරාධිතයාටම මුල් පිටපත පිළිගන්වා කෘතිය දොරට වැඩුම සනිටුහන් කිරීමටයි.

මගුල් මේස, මාළු කඬේ තොරණ යනාදිය විවෘත කිරීමට ප්‍රභූවරයෙකුට හෙවත් යමක් කමක් ඇති ලොක්කෙකුට ආරාධනා කරන්නේ ඒ සඳහා වැඩි මුදලක සම්මාදමක් ලබා ගැනීමටයි. ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයක දී එහි පිටපතක් මෙලෙස ලබා දෙන්නේ මා දන්නා පරිදි නොමිලේ ය. එය ලේඛකයාට සිදුකරන්නේ ඩොලර් දහයක පමණ ආවස්ථිත පිරිවැයක් හෝ ඇත්ත වශයෙන්ම සලකතොත් පාඩුවකි. එම නොමිලයේ දෙන පිටපතේ පිරිවැය ද දරන්නේ උත්සවය අවසානයේ දී නියමිත මුදල ගෙවා පිටපත් ලබා ගන්නා පිරිස යැයි ද සැලකිය හැක.

ඒ කරුණු කෙසේ වුවද, නිර්මාණයක පිටපතක් රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන නිලධාරියෙකුට පිරිනැමීම වනාහී ඒ නිර්මාණයේ අගය අඩු කරවන්නක් බව මගේ අදහසයි. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථා දකින්නට ලැබීම තබා ඒ ගැන අසන්නට ලැබීම පවා උපදවන්නේ පිළිකුල් සිතුවිලි ය. එයට හේතුව කිසිසේත්ම මෙලෙස පිලිගැන්වීම් ලබන්නන් ගේ පෞද්ගලික අඩු ලූහුඬුකමක් නොව ඔවුන් නියෝජනය කරන්නේ කවරක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

ඕස්ට්‍රේලියාවේ සිංහල ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රචාරය කෙරුණු සාකච්ඡාවක (2011) එක කොටසකදී ඉතා බුද්ධිමත්, උගත් යැයි මට නිසැකවම වැටහුණු පුද්ගලයෙක් තමන් ලියූ ග්‍රන්ථ දෙකක් පිළිබඳව සඳහන් කළේය. මෙහිදී එහි අන්තර්ගතය හෝ කෘතියේ තත්කාලීන වැදගත්කම ගැන කතාකරනවාට වඩා ඉතා වැඩි යැයි මට හැඟුණු උනන්දුවකින් සඳහන් කෙරුණේ, දොරට වැඩීමේ උත්සවයට පැමිණ එහි මුල් පිටපතෙන් පිදුම් ලද ලාංකික මැර දේශපාලඥයෙකු ගැන සහ සුපිරි දේශපාලන ආර්යාවක ගැනයි.

මේ හාස්‍යජනක මෙන්ම කනගාටුදායක තත්වය පිටු දකිමින් පසුගිය සිව් වසර (2008-2011) තුළ සිඩ්නි නුවරදී පැවැත්වුණු නිර්මාණ එළිදැක්වීමේ උළෙල හතරක් මගේ මතකයට එයි.

මින් අවස්ථා දෙකකදී ම මුල් පිටපත් පිළිගැන්වුයේ එම කෘතිවල සංස්කාරකවරුන් විසින් කෘති ප්‍රකාශනය කළ සිංහල සංස්කෘතික හමුව නියෝජනය කළ සභාපතිවරුන්ට ය.

තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා තම සංයුක්ත තැටියේ මුල් පිටපත ඔහුගේ දෙමව්පියන්ට පිළිගන්වා දණ ගසා වැඳි දර්ශනය එහි රැස්වූ සැම ගේ නෙතට කඳුළක් නැංවූ දසුනක් විය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු තමන්ගේ පරමේෂ්වරී සහ වෙනමු රටක් කෙටිකතා පොතේ මුල් පිටපත මුල් කාලයේ සිටම තම නිර්මාණ අගය කළ රසිකයෙකුට ද, ටොමියා සිඩ්නි ගියා ළමා කතා පොතේ මුල් පිටපත තම ආදර දියණියට ද පිළිගැන්වීය.

මේ සියලු කරුණු මට නැවත සිහිවූයේ පසුගිය 2011 ඔක්තෝම්බරයේ දී සිඩ්නි නගරයේ පැවැත්වුණු මෛත්‍රී පනාගොඩ ගේ ගී පදමාලා ඇතුළත් ”සුදු වැලි” සංයුක්ත තැටිය දොරට වැඩීමේ උලෙළේ දී ය. ඒ උත්සවය වනාහී මෙවැනි කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවක තිබිය යුතු ගරුත්වය, නැවුම්බව, ප්‍රශස්තබව මෙන්ම හරවත්බව ද කැටිකොට ගත් සම්භාව්‍ය ගණයේ උත්සවයක් වූ බව නොපැකිලව පැවසිය හැක.

උත්සවය ආරම්භ කෙරුණේ, ජයමංගල ගාථා හඬ පරිසරය සන්සුන් කරමින් විසිරී යද්දී ශාලාව හරහා ගාම්භීර ගමනින් වේදිකාව බලා ගමන් ගත් දැල්වූ පහන් අත දැරූ කුඩා දැරිවියන් පිරිසක් ඉනික්බිති ඇරඹුණු මගුල් බෙර හා සක් නද හඬ මැද වේදිකාවේ සකසා තිබූ සම්ප්‍රදානුකූල පහන දැල්වීමෙනි. එය මා ලද නවමු අත්දැකීමක් විය.

දොරට වැඩුණු සංයුක්ත තැටිය නාමමාත්‍රිකව පිළිගැන්වුණේ පනාගොඩ පවුලේ ලාබාලම සාමාජිකයා වූ දෙසති වයසැති මුනුබුරා වෙතයි. එය අතීතයෙන් අනාගතයට කෙරෙන අපූරු දායාදයක් සනිටුහන් කළේය.

සංයුක්ත තැටියේ අඩංගු ගීත සමුච්චයෙන් විශාල සංඛ්‍යාවක් සජීවීව ද, රූගත කරණ ලද්දාවූ දර්ශන ආධාරයෙන් ද ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා කළ හැඳින්වීම් මෙන්ම මුළු උත්සවයේ ම විස්තර කථනය අති විශිෂ්ට මට්ටමේ භාෂා රචනාවෙන් අලංකෘත වී තිබුණි.

මේ ගීත මාලාවෙන් බහුතරය මින් දශක හතරකට ඈත අතීතයක දී නිමවුණු සදාහරිත ගී වූ හෙයින් රචකයාගේ ජීවිතයේ මුල් කාලයේ විවිධ අවස්ථා නිරූපණය වූ රූප රාමු පෙළ ඒ හා අපූරුවට ගැළපුණි.

අකුරට සැලසුම් කොට සිදු කෙරුණු උත්සව කළමනාකරණය ද මොනවට කැපී පෙනුණි.

අවසාන වශයෙන් කිව යුත්තේ දොරට වැඩීමේ උත්සවයක් පැවැත්විය යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව අගනා මිනුම් ලකුණක් (බෙන්ච්මාක්) මෙන්ම අච්චුවක් (ටෙම්ප්ලේට්) ද එදා සිට සිනුවරවාසී අප සතුව ඇති බවයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙම ලිපිය 2011 නොවැම්බරයේ දී ලියූ එකකි. සන්නස සඟරාවේ 2011 දෙසැම්බර් කලාපයේ පළවිය. හෙට සිනුවර දී පැවැත්වෙන "ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ දොරට වැඩීමේ උත්සවය සඳහා සූදානම් වෙද්දී සිහිපත් වී නැවත පළ කරන්නට සිත්විය.

(image: Roy Gunaratne)

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about the launch of two Sinhala novels in Sydney


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Sunday, 15 April 2018

එසේ ම නොවේවා, වෙනත් විදියකට වේවා! - Dhananjaya Karunarathne's new year wish


ජනවාරි මුල් සතිය මෙන් ම, අප්‍රියෙල් මස මැද සතිය ද, "එසේම වේවා!" යන්න පට්ට පතුරු ගැසෙන යුගයකි. දිගු කලකට පෙර වෙනත් බ්ලොගයක ද ඒ ගැන ලිපියක් පළ වී තිබුණි.

http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

මේ පිළිබඳව මගේ මෑත කාලීන ප්‍රතිචාරය වූයේ ඕනෑ එකක් වේවා යැයි පැවසීමයි.



එහි සෑබෑ ම අරුත, "ඕනෑ කෙහෙල්මලක් වේවා!" යන්නයි.

නාට්‍යවේදී ධනංජය කරුණාරත්න දැන් උදා වී ඇති එසේ ම වේවා සමය පිළිබඳව පහත ප්‍රතිචාරය දක්වා තිබෙනු මම ඊයේ ෆේස්බුක් අවකාශයේ දී දුටුවෙමි.



සම්මතයෙන් පිට පනිනවා තබා එසේ කිරීමට සිහිනයකින් හෝ නොසිතන අයට ඒ ප්‍රකාශය ඇස් ඇරවන්නක් වෙනු ඇත.

අරුංගෙන් නොලැබුණු දේ මුංගෙන් හෝ මුංගෙන් නොලැබුණු දේ අරුංගෙන් බලාපොරොත්තු වෙමින් අරුං වෙනුවට මුං පත්කර ගෙන හෝ මුං වෙනුවට අරුං පත්කරගෙන, අවසානයේ දී අරුංගෙන් ද, මුංගෙන් ද බැට කන මෝඩයින්වන අපට අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි හොඳම දේ නම් එසේ ම නොවී වෙනත් දෙයක් වේවා යන්න බව පැහැදිලි ය.

මෙලෙස කයිය ගැසුවාට මේ ලියන මා ද, බොහෝ විට හැසිරෙන්නේ සම්මත සීමා තුළ ය.

ඊයේ සිනුවර පැවති සූර්ය සැණකෙළිය හෙවත් සම්මත ආකාරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී සම්මත සැකිල්ලේ කවි රැගත් සම්මත ආකාරයේ කවි කොළයක් විකුණමින් මම ඒ බව මොනවට ප්‍රදර්ශනය කළෙමි.



හැම වසරකම බක් මස මස රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියලු දෙනා

අද මෙම "ප්‍රදර්ශන භූමිය" වෙත එක් වී
හොඳ එකමුතු කමින් බැඳි එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියලු සැමසෙමු සන්සුන් වී

හොද්දට මිටි කිරක් තෙල් දමලා කන්න
සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
සවසට සයිකලෙන් පොඩි රවුමක් යන්න
ඇත්තට මට හිතෙනවා හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිණුම් හැම හොඳ හැටි තරවේවා
ලැබු නව වසර සැමටම ජය අත්වේවා!

-රසිකොලොජිස්ට්

(image: Photo by Mark Newsham, 2017 for Merrigong Theatre Company. Thanks to Edie Watt.)

Friday, 17 November 2017

විවාහ වීමේ සම අයිතිය සහ ඔසී-සිංහලයෝ - Australian marriage equavility and Australian Sinhala people


ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කල් ලිංගිකව පුරුෂයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකු සහ ලිංගිකව ස්ත්‍රියක ලෙස තමන්ව හඳුන්වා ගන්නා අයෙකු යන යුගලයක් අතර පමණක් කළ හැකිව තිබූ නීතිමය විවාහයට එළැඹීමේ අයිතිය, කිසිදු වෙනසක් නොමැතිව, එකී නිශ්චිත යුගලයෙන් පරිබාහිර යුගල සඳහා ද ලබාදීම සඳහා නීති සම්පාදනය කළ යුතු ද යන කරුණ පිළිබඳව මහජන මතය පිරික්සීම සඳහා පසුගිය දිනවල මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති තැපැල් ඡන්ද ජනමත විචාරණයේ ප්‍රතිඵල පේරේදා නිකුත් කෙරුණි.

ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.

එදින සවස් වරුවේ ම, කාලයක් තිස්සේ සාකච්ඡා මගින් කෙටුම්පත් කරමින් තිබුණු, නව විවාහ නීති පනතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, වාද, විවාද, සංශෝධන යනාදියෙන් පසුව අවශ්‍ය නීති දෙසැම්බර් මාසය වන විට සම්මත වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එයින් පසු, දැනට සිවිල්-එකමුතු නම් නිතිමය අවසරය පමණක් හිමි, විෂම ලිංගක නොවන ජෝඩුවලට, එනම්, ලිංගික පිරිමින් දෙදෙනෙකුට ද, ලිංගික ගැහැනුන් දෙදෙනෙකුට ද, සංක්‍රාන්ති ලිංගිකයින්ට ද, නීතිමය විවාහයට ඇතුළත් වීමට හැකිවෙනු ඇත.

දිගු කාලයක් තිස්සේ මා වාසය කරන ඕස්ට්‍රේලියාවේ සාකච්ඡා කෙරෙමින් තිබුණු විවාහ සමානතා ප්‍රශ්නයේ ඉතිහාසය හෝ අනාගතය පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට වඩා, මේ ඓතිහාසික අවස්ථාවේ දී මා අදහස් කරන්නේ, පෙර කී තැපැල් ජනමත විමසුම පැවති කාලයේ දී අපේ ඕස්ටේ‍ර්ලියානු සිංහලයින් අතර මා නිරීක්‍ෂණය කළ කරුණු කිහිපයක් විස්තර කරන්නටයි.

මූලික ම මට කීමට යුත්තේ, තැපැල් ජනමත විමසුමේ දී විවාහ සමානතාවයට අකමැති යැයි ඡන්දය දුන් මා දන්නා ඕස්ට්‍රේලියානු සිංහලයින්, ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය. එය හොමෝෆෝබියාවේ ද, නොදන්නාකමේ ද, තක්කඩිකමේ ද සංකලනයක් විය.

තමන් විවාහ සමානතාවට විරුද්ධව ඡන්දය දීම සාධාරණීකරණය කිරීමට අපේ අයියලා (සහ අක්කලා) විසින් ගෙන ආ හේතු කිහිපයක් සහ ඒ කරුණු අසා මා (සහ අනෙකුත් අය) දැක්වූ ප්‍රතිචාර මෙලෙස ය.


මචං, සමලිංගික කපල්ස් ළමයි හදනවාට මං විරුද්ධයි. ඒ හින්දා මං ඡන්දෙ දුන්නේ නෝ කියලායි.

ඉතිං බං, දැනටත් ළමයි අවශ්‍ය සමලිංගික ජෝඩුවලට ළමයි ඉන්නවානේ. හදන්න කිසිම නීතිමය ප්‍රශ්නයකුත් නෑනේ. ඒ ජෝඩු විවාහ වුණා කියලා මොකක්ද ඇතිවෙන වෙනස?


අනේ ඔය නීතිය ආවොත් මගේ ළමයි හෝමෝ සෙක්ෂුවල් වේවි, ඒ හින්දා මං විරුද්ධයි.

ඔයාගේ ළමයින්ට ජාන එන්නේ ඔයාගෙනුයි ඔයාගේ හබියාගෙනුයි නේද? ළමයි දැන් ඉපදිලා ලොකු වුණු අය. රටේ නීතියකින් කොහොමද ඒ අය හෝමෝසෙක්ෂුවල් වෙන්නේ? එහෙම නීති රීතිවලින් මිනිස්සුන්ගේ ජාන වෙනස් කරන්න පුළුවනි කියලා ද ඔයා කියන්නේ?


මං බුද්ධාගමට අනුකූලව ජීවත්වෙන නිසා මං ඔය නීතිය ගේනවාට විරුද්ධයි.

ඔයාගේ බුද්ධාගමේ කොයි ධර්ම පාඨයෙන් ද, සමලිංගික විවාහය විරුද්ධවෙලා තියෙන්නේ? මං දන්න බුද්ධාගමේ නම් එහෙම දෙයක් නෑ.


මචං මං විරුද්ධවයි ඡන්දේ දෙන්නේ.

මචං, ඒ බයිබලේ නිසා නේද? උග්‍ර කතෝලික රටවල් වෙන අයර්ලන්තයේ, ප්‍රංශයේ සහ රෝමයේත් හොමෝසෙෂුවල් අයට විවාහ වෙන්න පුළුවන් නම්, ඇයි උඹේ අවුල?

අපොයි නෑ, ආගම නිසා නොවෙයි. ඒත් මං විරුද්ධයි.


ඊළඟට කියාවි සත්තු එක්කත් විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මං විරුද්ධයි.

මේ ජනමත විචාරණයේ නැති විකාර දේවල් මේකට ඈඳා ගන්නේ ඇයි බං? ඉතිං සත්තු එක්ක විවාහ වෙන එකට විරුද්ධ වෙයං එහෙම ජනමත විචාරණයක් ආවාම. මේ යෝජනා කරන නීති වෙනස කරන්න යන්නේ මිනිස්සු සඳහානේ.


පෙර කී සංවාදවලට සහභාගී වූ අය ලංකාවේ දේශපාලනය ගැන දරණ මත පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලන විට මට එක් අතිශය වැදගත් කරුණක් පෙනී ගියේ ය.

එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි!

එහි පුදුමයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සිනාසීමට (හෝ ඇඬීමට) අවශ්‍ය නම් ඉහත දැක්වූ එක් සාකච්ඡාවක් දිගට ම ඇදුණු පසු අදාළ පුද්ගලයා කියු මේ පහත කතාව බලන්න.

මිනිසුන් කරන දේ පව් (ද පින් ද කියා) තීරණයවන්නේ බොහෝ විට රටේ නීතිය අනුවයි.
(Most of bad karma will depend on the legal situation in the country)

තේරුණා ද?

මට ද එහි අදහස වැටහුණේ දෙවරක් කියවූ පසුව ය.