Sunday 14 August 2022

සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories


සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය ලැබුණු විට මට ඒ හා සම්බන්ධ මගේ අත්දැකීම් කිහිපයක් ම සිහියට නැගුණි.

එයින් මුල් සිදුවීම 1989 දක්වා ඈතට දිව යයි. සල්මන් රුෂ්ඩි යන නම අප බොහෝ දෙනකු මුල්වරට ඇසුවේ ඒ කාලයේ දී ය. එයට හේතුව වූයේ ඔහු විසින් ලියන ලද “සැටනික් වර්සස්” නමැති නවකතාව නිසා ඉස්ලාම් ආගමේ නිර්මාතෲ මොහොමඩ්ට අපහාසයක් සිදුවුවා යයි පවසමින් ඉරානයේ එවකට (ආගමික) නායකයා වූ අයතොල්ලා කොමේනි විසින් සල්මන් රුෂ්ඩි මරා දමන ලෙස ආඥාවක් හෙවත් ෆට්වාවක් නියම කිරීමයි.

අයතුල්ලා කුමේනි ගේ එම නියෝගය අනුව ක්‍රියාත්මක වී, කිසියම් ආගමික උන්මත්තකයෙකු විසින් සල්මන් රුෂ්ඩි මරා දැමීමට ඉඩ ඇති බව පෙනී යාම නිසා මේ ලේඛකයාට සිදුවූයේ අන්වර්ථ නාමයකින් සැඟ වී දිගු කාලයක් ජීවිතය ගත කිරීමටයි. ඔහු යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පටන් ගත්තේ, මට මතක ආකාරයට දිගු කලකට පසුව ය.

මේ සිදුවීම් ඇතිවූ කාලයේ, එනම් 1989 දී, මා සිටියේ ලංකාවේ නොව වෙනත් රටක ඉගනුම ලබමිනි. මා සමග එකම පාඨමාලාව හැදෑරූ පිරිස් අතර එක්තරා බංග්ලාදේශ ජාතිකයෙකු ද විය. පසු කලෙක මා ඒ ගැන සිතා බලන විට ඔහු අන් අයට වඩා, කොටින් ම අන් බංග්ලාදේශ ජාතිකයින්ටත් වඩා, වෙනත් හැසිරීම් තිබුණු අයෙකි. උදාහරණයක් ලෙස ඔහු තමන් හදාරන්නේ නැති විෂයන්ගේ පවා දේශන සටහන් නිබන්ධන යනාදියේ ඡායා පිටපත් ලබා ගනී. තමන්ගේ දේශන සටහන්, පරිශීලනය කරන පාඨ ග්‍රන්ථ යනාදියේ වැදගත් තැන් වර්ණ පෑන් භාවිතයෙන් හයිලයිට් කිරීම එකල අප කාගේත් සිරිත විය. අපේ බංගලි මිතුරාගේ එවැනි සටහන් සහ පොත්පත් ගැන අප කළ නිරීක්ෂණය නම්, ඒවායේ ඕනෑම පිටුවක සියයට අනූපහක් පමණ ම විවිධ වර්ණයෙන් හයිලයිට් කර ඇති බවයි.

සල්මන් රුෂ්ඩි ගේ කෘතියට විරුද්ධව පෙර කී පරිදි අයතොල්ලා කුමේනි විසින් නිකුත් කළ මරණ ආඥාවේ උණුසුම තිබූ කාලයේ, මට මේ බංගලියා සමග යම්කිසි කාර්යයක් සඳහා බස් රථයක නැගී යාමට සිදුවිය. එහිදී අප අතර ඇති වූ සාකච්ඡාවේ දී මට පෙනී ගියේ ඔහු එක හෙළා ම එම මරණ ආඥාව අනුමත කරන බවයි.

අප දෙදෙනාම හදාරමින් සිටි පාඨමාලාව මූලිකව ම ගණිත සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වූ එකක් වූ නිසා ඒ අනුව තර්ක කරමින් මා මේ පුද්ගලයාට පහත ප්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

“දැන් ඔබ හෝ අයතුල්ලා කුමේනි හෝ ඔය පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ කියවන්නේවත් නැතුව එහි අන්තර්ගතය වැරදි බවත්, එනිසා ලේඛකයාට මරණ දඬුවම හිමි විය යුතු බවත්, ඔබ කියන්නේ කවර පදනම මත ද?”

ඒ සඳහා ඔහු ලබාදුන් මට සාපේක්ෂව අසාර්ථක පිළිතුර අනුව මට පෙනී ගියේ, ආගමික උන්මත්තකයෙකුට මේ වැනි කාරණයක දී වත්, කිසිදු තර්කයක් හෝ සොයා බලා වටහා ගැනීමක් හෝ අනවශ්‍ය බවයි.

දැන් මෙන්න මගේ දෙවෙනි අත්දැකීම.

මුල් සිදුවීමට වසර හයකට පසු මම වෙනත් විශ්වවිද්‍යාලයක වෙනත් අධ්‍යයන කටයුත්තක නිරත ව සිටියෙමි. එහිදී මා සමග විශ්වවිද්‍යාලයේ එකම කාමරය බෙදාගනිමින් සිටියේ පෙර කී අයතොල්ලා කොමේනි ගේ දේශයේ ම වැසියෙකි, එනම් පර්සියානු හෙවත් ඉරාන ජාතිකයෙකි.

මේ දිනවල දී ම, අපේ ගමේ පුස්තකාලයෙන් ලබාගෙන මා කියවූ එක් නවකතාවක් වූයේ ඇමරිකානු ජාතික බෙටී මහමුඩී නම් ලේඛිකාව විසින් තම අත්දැකීම් අනුසාරයෙන් රචනා කර තිබුණු “Not without my daughter" නම් කෘතියයි.

මෙම නවකතාව කියවා නැති අයට එහි අන්තර්ගතය පිළිබඳව ඉතා සැකවින් කියනවා නම්, එහි අඩංගු වන්නේ ඉරාන ජාතික වෛද්‍යවරයකු හා විවාහ වන ඇමරිකානු කාන්තාවක්, ඔවුන්ගේ කුඩා දියණිය ද සමග, ඉරාන විප්ලවයෙන් පසු (එනම් අයතුල්ලා කුමේනි බලයට පැමිණීමෙන් පසු) ටික කලකට පදිංචිය සඳහා තම සැමියා සමග ටෙහෙරාන් නුවරට යන ආකාරයත්, එහි දී ඇය තම සැමියා ආපසු ඇමරිකාවට යෑමේ කිසිදු අදහසක් නොමැති බව වටහා ගන්නා නමුත් දියණිය නොමැතිව තනිව ම ආපසු යාමට අකමැති ව දිගු කාලයක් දුක් විඳිමින් සිට පසුව කෙසේ හෝ දියණිය ද සමඟ එයින් මිදී පලා යන ආකාරයත් ය.

මෙම නවකතාවේ එක් තැනක, ඉරානයේ කුකුල් මස් ව්‍යංජනයක් සාදන ආකාරය පිළිබඳව සඳහන් වේ. මගේ සිත ගත් විස්තරයේ වූයේ ඒ කුකුල් මස් කරිය සඳහා ලූනු විශාල වශයෙන් ද, ඊට අමතරව "සැෆ්රන්" යනුවෙන් හැඳින්වෙන කුළුබඩු වර්ගය ද භාවිතා කරන බවයි. සැෆ්රන් යනු ඉතා මිලාධික කුළුබඩු වර්ගයක් නිසා, ඉරානයේ සැෆ්රන් භාවිතය පිළිබඳව මගේ ඉරාන ජාතික මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒ කතාව ආරම්භ කිරීමේ දී, මට ඉහත නවකතාව පිළිබඳව සඳහන් කිරීමට ද සිදු විය. සැෆ්රන් ගැන මට පැවසීම කෙසේ වෙතත් මගේ ඉරාන ජාතික මිතුරා මුලින් ම කළේ, එම නවකතාවේ ඇත්තේ අමූලික බොරු බවත් එය ඉරානයේ තහනම් කර ඇති බවත් පැවසීමයි.

මා ඔහුගෙන් ද විමසා සිටියේ, මුලින් සඳහන් කළ බංග්ලාදේශ ජාතික මිතුරාගෙන් ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි.

“උඹ මේ පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ නොමැති නම්, මෙහි ඇති අන්තර්ගතය පිළිබඳව උඹ නිවැරදිව දන්නේ කෙසේද?”

ඔහුට ද එයට සාර්ථක තර්කානුකූලව පිළිතුරක් දිය නොහැකි විය.

දැන් මෙන්න තුන්වෙනි අත්දැකීම.

මේ මා සඳහන් කළ දෙවන සිදුවීමෙන් වසර 14 කට පසුව 2010 දී වූවකි. මෙයට සම්බන්ධ විදේශිකයෙකු නොව අපේ ම ශ්‍රී ලාංකික මිතුරෙකි.

අපේ යම්කිසි සංවත්සරයක් හා සම්බන්ධව සමරු කලාපයක් සකස් කර මුද්‍රණය කිරීමට ඒ දිනවල කටයුතු කෙරෙමින් තිබුණු අතර ඒ සඳහා අතීතකාමී සටහනක් ලියා දෙන මෙන් මට ඇරයුමක් ලැබුණි.

මට සාපේක්ෂව ඉතා වැදගත් කරුණු කිහිපයක් ඇතුළත්, සියලු දෙනා ම කිය කිය විය යුතු යැයි මා සිතන ආකාරයේ සටහනක් ලියූ මම එය මේ තුන්වෙනි මිතුරාට ලබා දුන්නෙමි.

එය කිය වූ ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙය මෙලෙස ය.

“මේක නම් පළ කරන්න බැහැ මචං. මේක පළ කළොත් ගුටි කන්න තමයි වෙන්නේ!”

ඒ වදන් අසා අන්දුන්කුන්දුන් වූ මම ඔහුගෙන් මෙසේ අසා යැව්වෙමි.

“ඒ ලිපිය පළ නොකළාට කමක් නැහැ. මං ඒක වෙන තැනක පළ කරන්නම්. මට මෙන්න මේ ප්‍රශ්න කිහිපයට උත්තර දීපං.”
  1. ලිපිය පළ කළොත් කව්ද උඹට එහෙම ගහන්නේ?
  2. එහෙම ගහන්නේ මා ලියූ ලිපියේ වැරදි තියෙන නිසා ද? එසේ නම්, ඒවා මොනවාද?
  3. වැරැද්දක් තිබේ නම් එය පෙන්වා දෙනු වෙනුවට කිසියම් අයෙකු එය පළ කරන උඹට පහර දෙන්නේ ඇයි?”
ඒ ප්‍රශ්නය අසා දැන් වසර 12ක් පමණ ගත වී ඇතත් මට තවමත් පිළිතුරක් නම් ලැබුණේ නැත.

ස්ටැන්ලි තම්බයියා ලියූ බුඩිසම් බීට්‍රේඩ් නම් කෘතිය මෙන් ම, ඩෑන් බ්‍රව්න් ගේ ඩා-වින්චි කෝඩ් නවකතාව ද ලංකාවේ තහනමට ලක් වූ බව ම මෙවෙලේ සිහි වේ. ඒ තීරණ ගත් එවුන් එසේ කළේ ඒ පොත් කියවීමෙන් පසු යැයි මම කිසිසේත් ම නොසිතමි.

හොඳයි දැන් අපි නැවතත් මේ සටහන ඇරඹූ තැනට යමු.

සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය........................

- රසික සූරියආරච්චි

(image: https://www.salmanrushdie.com/)

Thursday 4 August 2022

අද්භූත නායකයෙකුගේ කතාවක් - Instant Leader


රහසක් නොවූ රහස් ඡන්දයකින් පත්වුණු පන්ති නායකයෙකු ගැන සටහනක් මං ලියා පළ කළේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උං එකතුවෙලා පැනලා ගිය එකා වෙනුවට අලුත් ජනාධිපතියෙකු පත් කරගන්න රහස් ඡන්දයක් පවත්වපු වෙලාවෙයි.

අපි හුඟ දෙනෙකු හිතුවට වඩා ඒ ඡන්දේ රහස් ඡන්දයක් වුණා. අනුර දිසානායකට ඡන්දේ දුන්නු අය කවුද කියන එක විතරයි රහසක් නොවුනේ. නමුත් පස්සේ අර හදිසි නීතිය ගැන විවෘත ඡන්දයක් තිබුණු වෙලේ නම් සමහර රහස් එළි වුණා මගෙ හිතේ.

ඒ කෙසේ වෙතත්, මේ සටහන ලියන්න පටන් ගත්තේ එදා කියපු පකිස්ථානු-පිලිපීන රහස් ඡන්දයට වඩා රහසිගත් වූ ඡන්දයක් ගැන ලියන්නයි. නමුත් ඒක පසුවට කල් දාලා මේ ලියවෙන්නේ ඒ කතාවට පසුබිම සපයන වෙනත් කතාවක්.

ලංකාවේ ඉන්නේ ලොක්කන් මිස නායකයින් නොවේ ය කියා දිගු කාලෙකට ඉස්සර හාමුදුරුකෙනෙකු කියා තිබුණා. ඒක නිවැරදියි. නමුත් එයට ලොකුම හේතුව තමයි මහජනයා වෙන අපි ඡන්දය හෙවත් අපේ කැමැත්ත ලබා දෙන්නේ ලොකුකම අනුව වීමයි. එහෙම නැතුව නායකත්ව ගුණ හෝ සුදුසුකම් සලකා නොවීමයි. එච්චර දැනුමක් අපට නෑ. තිබුණා නම් ඉතිං මේ වගේ කෙලවෙන්නේ නෑනේ!

නායකයින් කියා අපි මුලින් ම දැන ගන්නේ පන්ති නායකයින් ගැනයි. ඊළඟට ශිෂ්‍ය නායකයින් ගැන. හැබැයි, ඒ බෝහෝ දෙනෙකුත් ටීචර්ලා විසින් තමන්ගේ කැමැත්ත අනුව පත් කරන අය මිස ශිෂ්‍යයින්ගේ සැබෑ නායකයින් නොවෙයි. ඔවුන්ගේ රාජකාරි වෙන්නේ, හුනුකුරු සම්පත් කළමනාකරණය, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ප්‍රවාහනය, කළුලෑල්ලේ දෛනික පුනර්ජීවනය වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම වගේ නායකයන්ගේ වැඩ නෙමේ.

මං මුලින්ම පන්ති නායකයා කියන යෙදුම, වචන දෙක, ඇහැව්වෙ හතරෙ පන්තියෙදියි.

මේ දවස්වල මං ගියේ ගමේ තිබුණු කණිෂ්ඨ විදුහලටයි. ගමේ කිව්වට ඇත්තටම ඒක අපේ අල්ලපු ගම. අපේ තාත්තාගේ මහගෙදර තිබුණේ අපේ ගමේ පරිධියේ. අල්ලපු වැට, අල්ලපු ගම.

මේ කණිෂ්ඨ විදුහලේ හිටියේ ප්‍රින්සිපල් හෙවත් විදුහල්පති කෙනෙක් නොවේ, ඒ දවස්වල හැටියට හෙඩ්-මාස්ටර් හෙවත් ලොකු මහත්තයෙක්. පස්සේ මං දැන ගත්තු විදියට මිනිහා වාමාංශික දේශපාලනයේ යෙදුණු කෙනෙක්.

ඔන්න දවසක් උදේ රැස්වීම ඉවරවෙලා අපි පන්තියට ආපු ගමන් මේ කියන ලොකු මහත්තයා පන්තියට කඩාගෙන වැදුණා. මේ වෙන කොට අපි හොඳට දන්නවා මෑන් යන යන තැන තමන්ගේ ජාතික ඇදුමේ දකුණු අත අස්සෙ දිග වේවැලක් හංගාගෙන යන බව. තත්පරයක් ඇතුළත ඒ වේවැල එළියට අරගෙන ළමුන්ට පහර දීමේ සමසමාජ ක්‍රමයක් මිනිහා ප්‍රගුණ කරලා තිබුණා.

ඉතිං පොර පන්තියට ආව විතරයි, අපි සේරම සයිලන්ස් වුණා, මීයො වගේ.

මේ අපි කියල කියන්නෙ සේරම අවුරුදු අටේ, නමයේ පුංචි ළමයි. මගේ වයස අවුරුදු අටයි මාස දෙක තුනයි.

ඔන්න ඒ වෙන කොට අපේ පන්ති භාර රූපසිංහ ටීචරුත් ආව පන්තියට.

"මං බලාගෙන හිටියේ මේ ළමයි දැන් රැස්වීම ඉවර වෙලා පන්තියට ආවෙ කඩාගෙන බිඳගෙන. ඔහොමද ළමයි හැසිරෙන්නෙ පාසලේ? කවුද මේ පන්තියේ නායකයා?" ලොකු මහත්තය ඇහුවා.

"මේ නාලන්ද තමයි" අපේ ටීචර් කිව්ව.

කිව්ව විතරක් නෙමේ ඒ වචන වලින් අර "ඒහි පස්සිකෝ" ක්‍රමයට ඒ මොහොතේ නාලන්දව පන්ති නායක කමට පත්කළා!

"කෝ කවුද ඒ?"

නාලන්දය හෙමින් හෙමින් පන්තියේ ඉස්සරහට ගියා!

අපි සේරම චූ බර වෙලා බලං ඉන්නව. පව් නාලන්ද!

"හොඳයි, අදට කමක් නෑ, හෙට ඉඳල, උදේ රැස්වීමට යනකොටයි, එන කොටයි සේරම ළමයි එක පිළිවෙළකට යන්න එන්න ඕනැ." ලොකු මහත්තය කිව්ව. වේවැල එළියට ආවෙ නෑ, ඇති යංතං!

නිකං දේවදත්ත සිල්ගත්ත වගේ නේද? සොරි, සොරි, දේවදත්ත කොහොමටත් මහණවෙලානෙ හිටියෙ, අමුතුවෙන් සිල් ගන්න ඕනැයැ? අලව් යකා සිල්ගත්තා වගේ ය කියමු.

ඒ අද්භූත ආකාරයටයි නාලන්ද පියතිලක අපේ හතරේ පන්තියේ අද්භූත පන්ති නායකයා වුණේ.

ඉතිං ඔය සිද්ධිය වෙච්ච දවසෙ ඉඳල කාලයක් යනතුරු මං හිතං හිටියෙ මෙන්න මෙහෙමයි.
  • පන්තියෙ නායකයා කියන්නෙ කොල්ලන්ගෙන් එක් කෙනෙක්.
  • ඒ නායකයා කවුද කියල අපිට කියන්නෙ අපේ ටීචර්. කොටින්ම එදා උදේ වෙනකල්, පන්තියේ සිසුන් වුණු අපි තියා, නාලන්ද පියතිලකවත් දැනගෙන හිටියේ නෑ තමන් පන්තියේ නායකයා ය කියලා.
  • පන්තියෙ නායකයා කරන්න ඕනැ, අනිත් ළමයින් පෝලිමේ උදෑසන් රැස්වීමට යන එක සහ රැස්වීම ඉවර වෙලා ආපහු එන එක බලාගන්න එක යි.
මේ ගොඩක් දේවල් වෙනස් වුණේ ඊළඟ අවුරුද්දෙ මං පහේ පන්තියට ගියාමයි. ඒ කතාව ඊළඟට ලියන්නම්.

-රසික සූරියආරච්චි

(image: https://twitter.com/paperboatdrinks/status/795469066198609920)