Showing posts with label සංක්‍රමණිකයෝ. Show all posts
Showing posts with label සංක්‍රමණිකයෝ. Show all posts

Tuesday, 4 January 2022

රටින් රටට පැන ලැගුම් සොයා - Kangaroo Vannama: A novel by Lakshman Kodituwakku


ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ “කැන්ගරු වන්නම” නවකතාව පිළිබඳ විචාරයකි.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ මෙහි ජීවත්වෙන ජනතාව කොටස් කිහිපයකට වර්ගීකරණය කළ හැක. එයින් බොහෝ දෙනෙකු මූලිකව ලංකාවේ දී අධ්‍යාපනය ද, වෘත්තීය සුදුසුකම් සහ පුහුණුව ද ලබා ආර්ථික හේතු මත සහ පුද්ගල සුඛ විහරණය පතා ස්වාධීන සංක්‍රමණිකයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ ජීවත්වෙන අය සහ ඔවුන්ගේ පවුල්වල අයයි. ඒ සමගම උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපන සුදුසුකම් ලබා මෙහි ස්ථිර ලෙස පදිංචි වී සිටින විශාල පිරිසක් ද වෙති. එසේම, එම අරමුණ ම ඇහිව මෙහි පැමිණ තවමත් ශිෂ්‍යයින් ලෙස ජීවත්වෙන තරුණ ලාංකීය පිරිසක් ද වේ.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පිරිසක් නම්, මහ සයුර තරණය කර “නීති විරෝධීව” මෙහි පැමිණ හෝ සංචාරක වීසා ලබා නීත්‍යානුකූලව ගුවන් යානයෙන් මෙහි පැමිණ මෙහි දී සරණාගත තත්ත්වය ඉල්ලා එය අනුමත වෙන තුරු රැඳී සිටින පිරිසයි.

ඕස්ට්‍රේලියාවේ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දශක කිහිපය තුළ වඩාත් ප්‍රවෘත්ති මැව්වේ මේ සරණාගත තත්ත්වය ඉල්ලා පැමිණෙන සංක්‍රමණිකයින් පිරිස වුවත්, සංක්‍රමණික ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් ලියැවෙන නවකතා, කෙටිකතා යනාදී සාහිත්‍ය නිර්මාණ සඳහා සරණාගතයින් වස්තු බීජ වෙන අවස්ථා සාපේක්ෂව අඩු බව මගේ නිරීක්ෂණයයි. මීට වසර පහළොවකට පමණ පෙර ජගත් ජේ එදිරිසිංහ විසින් ලියන ලද “අසුර අඩවිය” නම් කෘතිය ද, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් ඔවුන්ගේ සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද කෙටිකතා ඇතුළත් “ඔසී රටේ අපේ කතා” කෘතියට අඩංගු වූ ප්‍රියන්ත ෆොන්සේකා ගේ “රමේෂ්” නම් කෙටිකතාව ද, පොත් එකතුවේ තිබුණ ද මා තවමත් කියවා නොමැති පද්මා ජයවර්ධනගේ “අපිදු යාත්‍රා කළෙමු” නවකතාව ද, මෙහි දී මගේ සිහියට නැගේ.

එසේම, මා සඳහන් කළ තාවකාලික ශිෂ්‍ය වීසා බලපත් යටතේ මෙහි වාසය කරන තරුණ පිරිස වස්තු බීජ කොට කෙරුණු සාහිත්‍ය නිර්මාණ ඇත්තේ ද ස්වල්පයකි. ජගත් එදිරිසිංහ ගේ “ගිම්හාන සුළඟ” නවකතාව මෙන්ම, පෙර කී ඔසී රටේ අපේ කතා කෘතියේ අඩංගු ඩිලිනි ඊරියවල ගේ “ස්ට්‍රේලියාව, රටගාය සහ අපි” නිර්මාණය ද මෙහි දී මගේ සිහියට එයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරන කවියෙකු, කෙටිකතාකරුවෙකු, නාට්‍යකරුවකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචනා කරන ලද “කැන්ගරු වන්නම” නම් නවකතාව වැදගත් වන්නේ මූලිකවම එයට වස්තු බීජ වී ඇති ‍ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය නිසා ය. ඊට අමතරව කෙදිනක හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා ගැනීමේ අරමුණින් මෙහි වසන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් පිළිබඳව ද කැන්ගරු වන්නම නවකතාවේ අඩු නොමැතිව සඳහන් ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු නිර්මාණකරුවාව මා මුලින් හඳුනාගත්තේ කෙටිකතාකරුවෙකු ලෙසිනි. ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා ඇතුළත් ග්‍රන්ථ තුනක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති අතර සිව්වැනි කෙටිකතා සංග්‍රහය මුද්‍රණයේ පවතී. ඒ අතරින් ඔහුුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන “පරමේශ්වරී සහ වෙනම රටක්” (2009) ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ අතර “ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්” (2015) කෙටිකතා සංග්‍රහය ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ට නිර්දේශ විය. ඊට අමතරව ලක්ෂ්මන් කොඩිතුවක්කු “පැය අටේ මිත්‍රයෝ” නමින් කාව්‍ය සංග්‍රහයක් ද, “පුංචි ටොමී සිඩ්නි ගියා” (2006) සහ “මේ අපේ ලොවයි” (2015) නමින් ළමා කතා ද්වයක් ද, “හුුස්ම” (2013) නමින් කෙටිකතා සංග්‍රහයක් ද, “පරාරෝපණය” (2014) නමින් යොවුන් නවකතාවක් ද ප්‍රකා‍ශයට පත්කර ඇති ප්‍රවීණ ලේඛකයෙකි. “කැන්ගරු වන්නම” ලක්ෂ්මන් කොඩිතුවක්කු රචනා කළ දෙවැනි නවකතාවයි. ඔහුගේ මුල් නවකතාව “කවුළුවක් මං පියාපත් නැති” නමින් 2017 දී ප්‍රකාශයට පත්වුණි.

මා මුලින් සඳහන් කළ පරිදි “කැන්ගරු වන්නම” නවකතාවට මූලිකවම පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ සංක්‍රමණ සරණාගත නිසා අයැදුම් කර, එය අනුමතවේද කියා කිසිදු ස්ථිරත්වයක් නොමැතිව, ඒ අතරතුර විවිධාකාරයේ සුළු රැකියාවල නිරත් වෙමින් දරිද්‍රතාවය අද්දර ජීවත්වන ජන කොටසේ කතාවයි. මේ පිරිස අතර මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන, ශ්‍රී ලංකාවේ සිට නැටුම් කණ්ඩායමක් සමග සංදර්ශනයක් සඳහා පැමිණ සංචාරය නිමවා සෙසු පිරිස සමග ආපසු නොගොස් සිඩ්නි නගරයේ නතර වුණු හෙවත් “ගල් වුණු” ජිනේන්ද්‍ර මෙන් ම, ලංකාවේ උතුරුකරයේ සිට බොහෝවිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පැමිණ සරණාගත වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් වන ගනේෂ් සහ ශංකර් ද, නේපාල ජාතික බිරේන්ද්‍ර ද සිටී. එසේම ශිෂ්‍යයකු ලෙස මෙහි පැමිණ, විවිධ ප්‍රශ්න වලට පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කරගත් නිසා ආපසු ලංකාවට නොයා සරණාගතයෙකු ලෙස මෙහි පදිංචිවීමට අවසර ගැනීමට වෙර දරන සුපුන් සහ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසිකම ලබා ගැනීමේ අවසාන බලාපොරොත්තුව සහිතව තවමත් ඉගෙනුම මජීමා නම් තරුණ ශිෂ්‍යාව ද මෙහි චරිත මවති.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ නාට්‍ය සහ කෙටිකතා නිර්මාණවල අපට නිරතුරු අසන්නට, දක්නට ලැබී ඇති උපමා, උපමේය, රූපක යනා දී භාෂාලංකාරයෙන් අනූන සාහිත්‍යමය රචනා ශෛලිය කැන්ගරු වන්නම නවකතාවේ ද නොමදව දකින්නට ඇත. සාමාන්‍ය, සරල කතන්දර කියන්නෙකු නොව ලක්ෂ්මන් කොඩිතුවක්කු ශූර ලේඛකයෙකු වන්නේ ඒ අති පොහොසත් ලෙස භාෂාව හැසිරවීමේ කෞශල්‍යය නිසා බව මගේ අදහසයි.

නවකතාවේ භූමිකා නිරූපණය කරන සරණාගත සහ ශිෂ්‍ය චරිත තමන්ගේ එදිනෙදා ජීවිකාව සපයා ගැනීම උදෙසා විඳින දුක් කරදර මෙන්ම, ඔවුන්ගේ චිත්ත දෝමනස්සය ද, පිටු තුන්සිය පනහක් ඔස්සේ දිවයන මේ නවකතාවේ මැනවින් විග්‍රහ කෙරේ. කතාව අවසානයේ දී ඇතැමෙකුගේ ඒ බලාපොරොත්තු සුන් වී, ආපසු ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ සමගම, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඒ දුක් කතරින් මිදී තමන් අපේක්ෂා කළ ගමනාන්තය කරා ළඟා වෙති, එනම්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචය සඳහා අවසරය කෙසේ හෝ ලබා ගනිති. නමුත් එය සිදුවන්නේ ඔවුන් පැතූ ආකාරට සුන්දරව, සුමටව හෝ ක්ෂණිකව හෝ නොවේ. එ නිසා කැන්ගරු වන්නම නවකතාව කිසිසේත් ම සුඛාන්තයක් ලෙස වර්ගීකරණය කළ නොහැක.

මීට අවුරුදු පහළොවකට පමණ පෙර මම ඕස්ට්‍රේලියානු වාසී සංක්‍රමණික සිංහල ලේඛකයින්ගේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු කෙටිකතා සංග්‍රහයක් “තිරස තරණ” (2009) නමින් සම්පාදනය කළෙමි. කෙටිකතා පහළොවක් ඇතුළත් අත් පිටපත නිමවා, එය අපේ සංගමයේ එවකට නිලතල දැරූ නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනාට යොමුකළ විට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ මේ කෙටිකතාවලින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ජනතාව පිළිබඳව ඇතිවන්නේ සෘණාත්මක හැඟීමක් බවයි. එය සත්‍යයෙන් බොහෝ දුරස්ථ නිසා කෙටිකතා සංග්‍රහය කෙතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය ද මතුවිය.

ඒ ඇගයීම සත්‍යයකි. මන්ද යත් ඒ කෙටිකතා පහළොවෙන් එකොළහක් ශෝකාන්ත ලෙස නම් කළ හැකි ඒවා විය. මෙයට හේතුව සංක්‍රමණික ජන පිරිස දුක්මුසු ජීවිත ගත කිරීම නොව, කෙටිකතාවක් වැනි සාහිත්‍යමය නිර්මාණයක් කිරීම සඳහා අප බොහෝ විට පෙළඹෙන්නේ හිත වඩාත් සසල කරන අත්දැකීමක් අනුසාරයෙන් නිසා වීමයි. මේ තත්ත්වයෙන් මිදීම සඳහා කෙටිකතා එකතුවේ සංස්කාරක ලෙස මා ගත් ක්‍රියාමාර්ගය වූයේ, අත්පිටපත සඳහා කෙටිකතා රචනා කර තිබුණු ලේඛකයින් පහළොස් දෙනා අතුරින් මා පුද්ගලිකව දන්නා කියන දෙදෙනෙකුගේ සහ මගේ කෙටිකතා වෙනුවට, අප තිදෙනා විසින් ලියා තිබුණු දුක නොමැතිව හාස්‍ය රසයක් ගෙන දෙන කෙටිකතා තුනක් එකතු කිරීමයි. එමගින් කෘතියේ අඩංගු දුක් ප්‍රතිශතය 50% ආසන්නයටම අඩු කරගැනීමට මට හැකි විය.

නැවතත් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ “කැන්ගරු වන්නම” නවකතාවට අවධානය යොමු කළහොත්, එය ශෝකාන්තයක් වන්නේ එහි පාත්‍ර වර්ගයාට මුහුණ පාන්නට සිදුවන දුක්බර අත්දැකීම් නිසා ම ය. එය සත්‍යයයි. සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන අයගේ ජීවිත මෙන්ම, ලංකාවේ දී අවම මුුදලක් වියදම් කර ශිෂ්‍ය වීසා ලබාගෙන, ඕස්ට්‍රේලියාවේ දී රැකියා කරමින් ජීවත්වෙන අතරතුර ඉගෙනගැනීමට මෙහි පැමිණෙන අයගේ ජීවිත ද කිසිසේත්ම සුඛදායක ඒවා නොවේ. එනිසා දුකෙන් කෑල්ලක් කපා ඒ වෙනුවට හාස්‍ය කෑල්ලක් ඔබ්බවා සරණාගතයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ කතාව වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ කැන්ගරු වන්නම නවකතාව, සදාකාලිකව ජීවත්වීම පිණිස ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන අය මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය ද කියවිය යුතු කෘතියක් ලෙස මම නිර්දේශ කරමි.

කැන්ගරු වන්නම සුරස ප්‍රකාශනයකි. මිල රුපියල් 550.

- රසික සූරියආරච්චි [rasika.suriyaarachchi@gmail.com]

Thursday, 5 August 2021

රටගිය ඇත්තන්ගේ වර්ගීකරණය - My classification of SL migrants



මේ සටහනේ මුල් සංස්කරණය ලියවුණේ ඉහත පළ කර ඇති කතෘ අඥාත ඇස ගැටුණු වෙලේ ය. එය ෆෙස්බුක් අවකාශයේ කිහිප තැනකම බෙදා හැරිය පසු මට බ්ලොගය ද සිහිවිය. මේ දෙවන සංස්කරණය සකසන්නේ ඒ සඳහා ය.

ලංකාවෙන් පිටත වෙනත් රටක ජීවත්වෙන අතරතුර ලංකාව සෑදීම සඳහා කුඩා හෝ දෙයක් කිරීම මානසික රෝගයක් නම් ඒ රෝගය වැළඳුණු අය කොටස් කිහිපයක් සිටිනා බව මගේ නිරීක්ෂණය අනුව කිව හැක.

1. පළමුවෙනි කණ්ඩායම
ලංකාවේ ගංවතුරක් හෝ වෙනත් ව්‍යවසන තත්ත්වයක් හෝ ඇති වූ විගසම තමන් ජීවත් වෙන රටේ පිහිටුවාගෙන තිබෙන විවිධ සංවිධාන හරහා මුදල් එකතු කර ඒ මුදල් හෝ එරටෙන් මිල දී ගන්නා භාණ්ඩ හෝ ලංකාවට යවන සංක්‍රමණික පිරිස.

මෙවැනි ව්‍යාපෘති කිහිපයකටම අපට ද සහභාගි වන්නට ඉඩ ලැබුණි. උදාහරණයක් ලෙස ඉතාම ආසන්නයේ දී අප සම්මාදම් වූ ලංකාවේ කෝවිඩ් රෝගීන් සඳහා රෝහල්වලට වෛද්‍ය උපකරණ යැවීමේ ව්‍යාපෘතිය නම් කළ හැකි යි.

2. දෙවන කණ්ඩායම
තම තමන් ගෙන ගත් පාසැල් හෝ විශ්වවිද්‍යාල හෝ පදනම කරගනිමින් කුඩා කණ්ඩායම් වශයෙන් විද්‍යාර්ථීන්ගේ සංගම් සහ ආදි ශිෂ්‍ය/ශිෂ්‍යයා සංගම් ගොඩනඟාගෙන ඒ හරහා මුදල් එකතු කර තමන් ඉගෙනගත් ආයතන වල විවිධ ව්‍යාපෘති සඳහා මුදලින් ආධාර කරන පිරිස.

මෙවැනි සංගම් කෙරෙහි මගේ කිසිම උනන්දුවක් නැති නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ දැනට විදෙස් රටවල වාසය කරන සගයින්ගේ මූලිකත්වයෙන් මේ සතියේ ලංකාවේදී අරඹන ඉංජිනේරු පීඨයේ ඊඕඊ පෙරේරා ශාලාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට මට සම්මාදම් වීමට අවස්ථාව ලැබුණි.

3. තුන්වෙනි කණ්ඩායම
විදෙස් රටවලදී තමන් උපයා ගන්නා මුදලින් පසුකලෙක ලංකාවේ විවිධ කර්මාන්ත, ව්‍යාපාර යනාදිය ආරම්භ කරන පිරිස.

එවැනි කිහිප දෙනෙකුව මා පුද්ගලිකව හඳුනන බව පවසමි.

4. සිව්වෙනි කණ්ඩායම
මීට අවුරුදු දොළහකට ඉහත කාලය දක්වා නොරටක හාන්සි පුටුවල වාඩි වී ලංකාවේ එවකට පැවති යුද්ධයට පොහොර දමමින් සිටි, යුද්ධයෙන් රට හදන්නට තැත් කළ සිංහල මෙන්ම දෙමළ පිරිස්

යුද්ධයේ අවසානයෙන් පසු ඔවුන්ගෙන් සමහරු වහල් හිමියා යටතේ වහලුන් ලෙස හැසිරෙමින් ලංකාව හදන්නට පටන් ගත් බව දක්නට ලැබුණි. තවමත් ඒ වහල් භාවයෙන් මිදුණේ නැති පිරිසක් ද සිටින බව මගේ නිරීක්‍ෂණයයි. මෙයින් මා හිතන පරිදි බොහෝ දෙනෙකු ඉඩ ලද පළමු අවස්ථාවේදී ම ලංකාවේ පුරවැසිකම හැරදා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් තවදුරටත් ශ්‍රී ලාංකික පුරවැසකම නොමැති අයයි.

5. පස්වෙනි කණ්ඩායම
පෙර කී කිසිදු සංවිධානාත්මක කටයුතු වලට සම්බන්ධ නොවුණත් ද්විත්ව පුරවැසිභාවය ඇති, දෙරටේම තොරතුරු පිළිබඳව එක සේ උනන්දුවක් දක්වමින්, තමන්ට හැකි ආකාරයට රට සෑදීම සඳහා අර්ථයෙන් කෙසේ වෙතත් ධර්මයෙන් සම්මාදම් වෙමින් කල්ගත කරන පිරිසක් ද දැකගත හැකියි.

මීට අමතරව කෙළින් ම රට හැදීමේ ව්‍යාපෘති වලට සම්බන්ධ නොවුණත් පුද්ගලිකව තමන්ගේ දෙමව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට, වැඩිහිටි නිවාස ආගමික සිද්ධස්ථාන වැනි පුණ්‍යායතනවලට මුදල් යවන පිරිස නම් අති විශාලයි. ඔවුන් ලංකාවේ විදෙස් විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට ලොකු සේවයක් කරන අතර එමගින් රට හැදීමට දායක වෙන බව ද පැවසිය යුතුයි. ඉහත රූපය සාදා ඇත්තේ ඉහත පිරිස් ගැන නොවේ.

පසුගිය කාලය තුළ මා නිරීක්‍ෂණය ඇති කරුණක් නම් ලංකාවේ වෙසෙන සමහරුන්ට ලංකාවෙන් පිටත ජීවත්වෙන අය සමග මොකක් දෝ ආරවුලක් තිබේ. ඒ අය පිළිබඳව ද මගේ විශ්ලේෂණයක් ඇත.

එය පසුව ලියමි.

-රසික සූරියආරච්චි (image: from Facebook, creator unkown)

Tuesday, 6 November 2018

"ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම - All are invited


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

සරසවි ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ දී 2018 ජූලි මාසයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මෙම කෘතිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පානය කරනු ලැබූ මේ ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ දොරට වැඩුම 2018 අගෝස්තු මස දාහත්වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණි.

ඉරිදා පැවැත්වෙන උත්සවය පිළිබඳ මම ඊයේ සිනුවර 99.9 FM ඔස්සේ ප්‍රචාරය වෙන "විදුර" සිංහල ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වීමි.

එහි ෆෙස්බුක් සජීවී විකාශයෙන් උපුටාගත් වීඩියෝවක් දැන් ඔබට නැරඹිය හැකි ය.



සිනුවර වසන ඔබ සැමට සිනුවර වසන ඔබ සැමට 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙන දොරට වැඩුමට සහභාගී වෙන ලෙස සාදරයෙන් ආරාධනා කරමි.

රසික සූරියආරච්චි

ප/ලි:
මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් 20% වට්ටම් සහිතව ලබාගත හැක.

ප/ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(image: designed by Deepal de Silva)

Sunday, 4 November 2018

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුවක දී වූ සිදුවීමක් හෙවත් ඔහේ විකිණෙන්නේ ඩොලර් කීයකටද? - What is your price tag, mate?


අද වන විට ලංකාවේ සිදුවෙනවා යැයි පැවසෙන ඡන්ද වෙන්දේසි පිළිබඳ කතා බහ නිසාත්, ඒ නිසා ම, මා වෙනත් තැනක විස්තර කර ලියූ මේ සිදුවීම පිළිබඳව මෞර්ය රාජ් නම් හිටපු බ්ලොග්කරුවා ෆේස්බුක් හරහා මගේ මතකය අවදි කළ නිසාත් මේ ලිපිය සකසා පළ කිරීමට සිතුවෙමි.

මේ මා ඕස්ටේ‍ර්ලියාවේ සිට නිවාඩුවක් ගත කිරීමට ලංකාව බලා ගිය දිනයක කටුනායක දී වූ සිදුවීමකි. කාලය 2005 විය යුතු ය.

බ්ලොග් ලියන කියවන අය අතරේ සෑහෙන පිරිසක් ද කටුනායක හරහා ගමන් බිමන් කර තිබෙන නිසා ඒ අයගෙන් සමහරුන්ට මේ මා විස්තර කරන්නට යන ආකාරයේ පමණක් නොව මීටත් වඩා හොඳ රසවත් අත්දැකීම් (මෙන් ම සමහර විට කකුල් දැකීම් ද) ඇතිවා විය හැක.

සුපුරුදු පරිදි එදාත් මා කටුනායකින් ගොඩ බහින කොට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි. පුළුවන් තරම් ඉක්මනින් මෙතැනින් පිටවී ගෙදර බලා ගොස් නිදාගන්න යැයි ඇඟපත මට බල කරමින් තිබුණි.

ඒත් ඉතිං ගෙදර යන්න කලින් කළ යුතු අනිවාර්ය වැඩ කීපයක් ම තිබේ.

පරණ මිත්‍රයෙකු වූ චුලානන්ද ගේ ගෝලයින්ගෙන් පාස්පෝට් එකේ සීල් එක ගසා ගත යුතුය. එය අසීරු දෙයක් නොවේ, පූස්පාට් එකෙන් කර ගත හැක.

දෙවන කාර්යය වන්නේ, ගමනාරම්භයේ දී එයාලයින් එකේ නම්කිලාට සිනුවර දී භාර දුන් ගමන් මලු දෙක තුන සොයාගෙන කස්ටම් ඔෆිසර්ස්ලාගෙන් ගැලවී යන එක ය. අතීත කාලේ මෙන් නොව එය ද මේවන විට අන්තිම ලේසි-පාසු වැඩක් වී තිබුණි.

ඔය වැඩ දෙක කරන අතරතුරේ දී, අනිවා ඩෙෆා කළ යුතු, දේවකාරියටත් වඩා වැදගත් තවත් එක් රාජකාරියක් ඇත.

එය "ඩියුටි ෆ්‍රී වන්දනාව" වේ.

සාදු, සාදු, සාදු!

මොන මොන වෙහෙර වැඳ නොගත්තත් ජොනී වෝකරාරාමය පැත්තේ නම් නොගිහින්ම බැරි ය.

මේ කියනා දවසේ මට ඊට අමතරව තවත් පොඩි භාණ්ඩයක් මිලට ගැනීමට තිබුණි. ඒ සඳහා මා ගියේ ඉලෙක්ට්‍රිකල් බඩු විකුණනාරාමයකට ය.

"ඉලෙක්ට්‍රොනික් කී බෝඩ් තියෙනවද?"

එතන හොඳ සිලෙක්ෂන් එකක්, කැෂියෝ ද, යමහා ද, අරවා ද, මේවා ද, හැම ජාතියක්ම, තිබුණි!

මම වසර පහ හයක පොඩි දරුවෙකුට ගැලපෙන ආකාරයේ සරල කී බෝඩ් එකක් තෝරා ගත්තෙමි.

ඉන් පසු, කඩේ කළමනාකරුට, බිල්පත සැකසීම සඳහා, මගේ ගමන් බල පත්‍රය දුන්නෙමි.

"සර් මෙච්චරද ගන්නේ?"

"ඔව්!"

"ඇයි ටීවී එකක්, ෆෑන් එකක්, ඒ.සී.එකක්, රයිස් කුකර් හෙම ගන්නේ නැද්ද?"

"නෑ, ඒවා තියෙනවානේ ගෙදර!"

"මේ පාස්පෝට් එකට සර්ට ගන්න පුළුවනි ෆ්‍රිජ් එකක් වුණත්."

"නෑ, මට ඕනෑ නෑ!"

"එහෙනං සර් මෙහෙම කරමුද? මං සර් ගේ නමට පොඩි ෆ්‍රිජ් එකකුයි, ඒසී එකකුයි දාන්නම්. සර්ටත් පොඩි වාසියක් කරන්නම්."

"මොන වගේ වාසියක්ද?"

"ඩොලර් පනහක් විතර මේ ගත්ත බඩුවෙන් අඩු කරන්නම්."

මට හිනා ගියේ ය.

මා කීවේ මෙපමණකි.

"ඩොලර් පනහට නං මං විකිණෙන්නේ නෑ! මං ඊට වැඩිය වටිනවා!"

මා එසේ කීවේ ඇයි දැයි කියා ඔබ දනී.

කොපමණ පණ්ඩිතකම් කීව ද, බයිලා ගායනා කළ ද, අප සියලු දෙනා ම විකිණෙන එක්තරා මිලක් ඇත. ඊට අඩුවෙන් තැබෙන ලන්සුවලට අපි නොවිකිණෙමු. ඊට වඩා ලන්සුව වැඩි වූ වහාම අප විකිණී යැම වැළැක්විය නොහැක.

තමන් ගේ වටිනාකම නොහොත් විකුණුම් මිල තමන් දැනගෙන සිටීම ඉතා ම වැදගත් බව අවසාන වශයෙන් පවසමි.

-රසිකොලොජිස්ට්

ප/ලිඃ
මේ කතාව ලියන කාලයේ මගේ විකුණුම් මිල ඩොලර් මිලියන 2.2 ක් විය. අද තත්වය වෙනස් ය.

ඔහේලා විකිණෙන්නේ ඩොලර් කීයකට විතර ලන්සුව ආවොතින් ද?


(image: https://www.kapruka.com/Sri_Lanka/cms/kapruka_t1.jsp?docid=1246901918187)

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about the launch of two Sinhala novels in Sydney


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Wednesday, 31 January 2018

පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why!


මේ සිදුවීම සහ තවත් එකිනෙක ඈඳුණු සිදුවීම් කිහිපයක් ම පෙරේදා හවස් වරුවේ මගේ මතකයේ ඉහළ ස්ථරයට පැමිණ හක්කලං කරන්නට පටන් ගත්තේ ය. පසුදා මා දුටුවේ මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු සටහනකි.

අමතක වී ගොස් තිබුණු රසිකොලොජි බ්ලොගය නැවත එළිපහළි කර, මේ මතක සටහන් දෙක තුන වහවහා ලියා දමන්නට සිත්වුණේ ඒ නිසා ය.

අප මෙල්බර්න් නුවරට සංක්‍රමණය කර ජීවත්වීම ඇරඹූ මුල් කාලයේ පදිංචිව සිටියේ කානර්ගී නම් තදාසන්න ප්‍රදේශයේ තට්ටු නිවාසක ය. නිවාස අටකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි, අපේ කාමර දෙකේ නිවාසයට යටින් පිහිටි නිවසේ ජීවත් වූයේ සුදෝ සුදු කොණ්ඩයකින් යුත් මහලු කාන්තාවකි. අගේ නම ඇනට් වැන්නක් බව මගේ මැකී යන මතකයේ තවමත් රැඳී ඇත.

ඉඳහිට සති අන්තයේ දිනක දී, ටැක්සියකින් පැමිණ ඇය හමුවන මිතුරෙකු හැරෙන්නට ඇය විසුවේ තනිවම ය. සතියට වරක් දෙකක් නිවස අසල ප්‍රදේශයේ දී ඇය හමුවන විට මද සිනහවක් පා, හලෝ යැයි කීම හැර අප අතර වෙනත් ගනුදෙනුවක් නොතිබුණි.

එක් දිනක් සවස්වරුවේ ළදැරික වූ මගේ දියණිය හා මා නිවසේ සිටින අතර නිවසේ ඉදිරි දොරට තට්ටු කරන හඬක් ඇසුණි.

දොර හැර බැලූ විට මා දුටුවේ තරමක් බියපත් වූ මුහුණින් යුතු ඇනට් ය.

"මට උදව්වක් කරන්න හැකිද?" ඇය ඇසුවා ය. "මගේ ගෙදරට මකුළුවෙක් ඇවිත්. පොඩ්ඩක් පහළට එන්න ප්ලීස්."

බිරිඳ ඒ වන විට නිවසට පැමිණ සිටියේ නැති නිසා මම කුඩා දියණිය ද සමග පහළ තට්ටුවේ ඇනට් ගේ නිවසට ගියෙමි.

ඕස්ටේ‍ර්ලියාවේ දරුණු විසකුරු මකුළුවන් ඇති බව මා අසා තිබුණි. නමුත් ඇනට්ගේ නිවසට වැද සිටියේ ද, මා "වධකයා සහ උගේ බිරිඳ" කතාවේ ලියූ ආකාරයේ ම විෂ රහිත සාමාන්‍යයෙන් ගෘහස්ථව වෙසෙන මකුළුවෙකි.

"මට දෙන්න ෂොපින් බෑග් එකක්!" යැයි ඉල්ලා සිලි-සිලි බැගයක් ලබා ගත් මම, එය මගේ අතේ රුවා, මකුළුවා අල්ලා බෑගය නොපිට පෙරලූවෙමි.

මකුළුවා බැගය තුළ කොටුවිය.

"ඔන්න වැඩේ ඉවරයි. මේකාව මං එළියේ තියෙන කුණු බාල්දියට දාන්නම්!" මම කීවෙමි.

ත්‍රාසයෙන් වෙලෙමින් මගේ වීර ක්‍රියාව දෙස බලා සිටි ඇනට් ආච්චී අවසානයේ දී කෘතවේදී බැල්මක් මා වෙත හෙළා කීවේ "මං හිතුවේ ඔබ ඒකාව චප්ප කරලා දාවිය කියලායි" යැයි කීවා ය.

කුකුල් මස්, හරක් මස්, මාළු අනුභව කරතත්, මකුළුවෙකු වැනි කුඩා සතෙකු වුව මරා දමන්නට අසීරු ඇයි දැයි මට එදා සිතුණි.

එදා නොව පෙරේදා ද සිතුණි. ඒ කතාව ඊළඟට ලියමි.

මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් තම ෆෙස්බුක් පිටුවේ ලියා තිබුණේ ද, මේ කාරණය ගැනම ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ මිතුරා ගැන සඳහනේ දී ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් යැයි නොකියා අයිඑම්එස් සත්‍යප්‍රසාද් යැයි කියා ලීව්වා නම්, මකුළුවන් කෙසේ වෙතත් 2014 දෙසැම්බරයේ දී මෙන් "මනපහතයෙකු" හෝ කිහිප දෙනෙකු හෝ නම් හඳුනාගන්නට ද ඉඩ තිබුණි!

(image: )

Friday, 17 November 2017

විවාහ වීමේ සම අයිතිය සහ ඔසී-සිංහලයෝ - Australian marriage equavility and Australian Sinhala people


ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කල් ලිංගිකව පුරුෂයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා අයෙකු සහ ලිංගිකව ස්ත්‍රියක ලෙස තමන්ව හඳුන්වා ගන්නා අයෙකු යන යුගලයක් අතර පමණක් කළ හැකිව තිබූ නීතිමය විවාහයට එළැඹීමේ අයිතිය, කිසිදු වෙනසක් නොමැතිව, එකී නිශ්චිත යුගලයෙන් පරිබාහිර යුගල සඳහා ද ලබාදීම සඳහා නීති සම්පාදනය කළ යුතු ද යන කරුණ පිළිබඳව මහජන මතය පිරික්සීම සඳහා පසුගිය දිනවල මාසයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති තැපැල් ඡන්ද ජනමත විචාරණයේ ප්‍රතිඵල පේරේදා නිකුත් කෙරුණි.

ඡන්දය හිමි ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කළ 80% පමණ පිරිසෙන් 61% පමණ බහුතරයක් දෙනා, නීතිමය විවාහයකට එළැඹීමේ අයිතිය රටේ පුරවැසියන් සැම දෙනාට ම, ඔවුන්ගේ ලිංගික නැඹුරුව නොසලකා, ලබා දීමට තම එකඟත්වය පළ කර ඇත.

එදින සවස් වරුවේ ම, කාලයක් තිස්සේ සාකච්ඡා මගින් කෙටුම්පත් කරමින් තිබුණු, නව විවාහ නීති පනතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, වාද, විවාද, සංශෝධන යනාදියෙන් පසුව අවශ්‍ය නීති දෙසැම්බර් මාසය වන විට සම්මත වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එයින් පසු, දැනට සිවිල්-එකමුතු නම් නිතිමය අවසරය පමණක් හිමි, විෂම ලිංගක නොවන ජෝඩුවලට, එනම්, ලිංගික පිරිමින් දෙදෙනෙකුට ද, ලිංගික ගැහැනුන් දෙදෙනෙකුට ද, සංක්‍රාන්ති ලිංගිකයින්ට ද, නීතිමය විවාහයට ඇතුළත් වීමට හැකිවෙනු ඇත.

දිගු කාලයක් තිස්සේ මා වාසය කරන ඕස්ට්‍රේලියාවේ සාකච්ඡා කෙරෙමින් තිබුණු විවාහ සමානතා ප්‍රශ්නයේ ඉතිහාසය හෝ අනාගතය පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට වඩා, මේ ඓතිහාසික අවස්ථාවේ දී මා අදහස් කරන්නේ, පෙර කී තැපැල් ජනමත විමසුම පැවති කාලයේ දී අපේ ඕස්ටේ‍ර්ලියානු සිංහලයින් අතර මා නිරීක්‍ෂණය කළ කරුණු කිහිපයක් විස්තර කරන්නටයි.

මූලික ම මට කීමට යුත්තේ, තැපැල් ජනමත විමසුමේ දී විවාහ සමානතාවයට අකමැති යැයි ඡන්දය දුන් මා දන්නා ඕස්ට්‍රේලියානු සිංහලයින්, ඒ පිළිබඳ දරන මතවාද මට සිහිකළේ අන්-සාන්-සුකී ගේ ද නිරුවත හෙළි වූ බුරුමයේ රොහින්ගා ජනතාව පිළිබඳ සිදුවීමේ දී පොදුවේ අපේ සිංහලයින් පෙන්වූ පුකත්වය ම ය. එය හොමෝෆෝබියාවේ ද, නොදන්නාකමේ ද, තක්කඩිකමේ ද සංකලනයක් විය.

තමන් විවාහ සමානතාවට විරුද්ධව ඡන්දය දීම සාධාරණීකරණය කිරීමට අපේ අයියලා (සහ අක්කලා) විසින් ගෙන ආ හේතු කිහිපයක් සහ ඒ කරුණු අසා මා (සහ අනෙකුත් අය) දැක්වූ ප්‍රතිචාර මෙලෙස ය.


මචං, සමලිංගික කපල්ස් ළමයි හදනවාට මං විරුද්ධයි. ඒ හින්දා මං ඡන්දෙ දුන්නේ නෝ කියලායි.

ඉතිං බං, දැනටත් ළමයි අවශ්‍ය සමලිංගික ජෝඩුවලට ළමයි ඉන්නවානේ. හදන්න කිසිම නීතිමය ප්‍රශ්නයකුත් නෑනේ. ඒ ජෝඩු විවාහ වුණා කියලා මොකක්ද ඇතිවෙන වෙනස?


අනේ ඔය නීතිය ආවොත් මගේ ළමයි හෝමෝ සෙක්ෂුවල් වේවි, ඒ හින්දා මං විරුද්ධයි.

ඔයාගේ ළමයින්ට ජාන එන්නේ ඔයාගෙනුයි ඔයාගේ හබියාගෙනුයි නේද? ළමයි දැන් ඉපදිලා ලොකු වුණු අය. රටේ නීතියකින් කොහොමද ඒ අය හෝමෝසෙක්ෂුවල් වෙන්නේ? එහෙම නීති රීතිවලින් මිනිස්සුන්ගේ ජාන වෙනස් කරන්න පුළුවනි කියලා ද ඔයා කියන්නේ?


මං බුද්ධාගමට අනුකූලව ජීවත්වෙන නිසා මං ඔය නීතිය ගේනවාට විරුද්ධයි.

ඔයාගේ බුද්ධාගමේ කොයි ධර්ම පාඨයෙන් ද, සමලිංගික විවාහය විරුද්ධවෙලා තියෙන්නේ? මං දන්න බුද්ධාගමේ නම් එහෙම දෙයක් නෑ.


මචං මං විරුද්ධවයි ඡන්දේ දෙන්නේ.

මචං, ඒ බයිබලේ නිසා නේද? උග්‍ර කතෝලික රටවල් වෙන අයර්ලන්තයේ, ප්‍රංශයේ සහ රෝමයේත් හොමෝසෙෂුවල් අයට විවාහ වෙන්න පුළුවන් නම්, ඇයි උඹේ අවුල?

අපොයි නෑ, ආගම නිසා නොවෙයි. ඒත් මං විරුද්ධයි.


ඊළඟට කියාවි සත්තු එක්කත් විවාහ වෙන්න ඕනෑ කියලා. ඒ නිසා මං විරුද්ධයි.

මේ ජනමත විචාරණයේ නැති විකාර දේවල් මේකට ඈඳා ගන්නේ ඇයි බං? ඉතිං සත්තු එක්ක විවාහ වෙන එකට විරුද්ධ වෙයං එහෙම ජනමත විචාරණයක් ආවාම. මේ යෝජනා කරන නීති වෙනස කරන්න යන්නේ මිනිස්සු සඳහානේ.


පෙර කී සංවාදවලට සහභාගී වූ අය ලංකාවේ දේශපාලනය ගැන දරණ මත පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බලන විට මට එක් අතිශය වැදගත් කරුණක් පෙනී ගියේ ය.

එනම්, ඕස්ට්‍රේලියාවේ විවාහ නීතිය සැමට සමාන කිරීමට විරුද්ධවෙන අයගෙන් අති බහුතරය, ලංකාවේ දේශපාලයේ දී පසුගිය වනචර දශකය පිළිබඳ තවමත් ළතැවෙන මරාවාදීන් බවයි!

එහි පුදුමයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සිනාසීමට (හෝ ඇඬීමට) අවශ්‍ය නම් ඉහත දැක්වූ එක් සාකච්ඡාවක් දිගට ම ඇදුණු පසු අදාළ පුද්ගලයා කියු මේ පහත කතාව බලන්න.

මිනිසුන් කරන දේ පව් (ද පින් ද කියා) තීරණයවන්නේ බොහෝ විට රටේ නීතිය අනුවයි.
(Most of bad karma will depend on the legal situation in the country)

තේරුණා ද?

මට ද එහි අදහස වැටහුණේ දෙවරක් කියවූ පසුව ය.

Friday, 4 August 2017

500 ඕස්ට්‍රේලියානු ටී-ෂර්ට් එක! - Rugby Top T-shirt from Australia


මේ සිදුවීම වසර දහ අටකට පෙර මතකයක් ඊයේ පෙරේදා අලුත් වීම නිසා රසිකොලොජියේ ලියවෙන්නෙකි.

උෂ්ණත්වය දහවලේ පවා තනි අංශකයට පහළ බසින, රාත්‍රියට අයිස් මිදෙන තරමටම අඩුවෙන වින්ටරය හෙවත් සිසිර සෘතුවක් ඇති ඕස්ටේ‍ර්ලියාවේ මිනිසුන් ඒ කාලයට සාමන්‍ය ගමන් බිමන් සඳහා අත් දිග ටී-ෂර්ට් අඳිති. සිසිර සෘතුව යනු රග්බි ක්‍රීඩාව කෙරෙන කාලය ද වෙන නිසා දෝ මේ අත් දිග ටී-ෂර්ට් සාමාන්‍ය ව්‍යවහාරයේ දී "රග්බි ටොප්" කියා ද හැඳින්වේ!

නමුත් රග්බි ක්‍රීඩකයින් ක්‍රීඩාව සඳහා අඳින්නේ නම් අත් කොට කමිසයක් සහ කලිසමකි. එනිසා මේ රග්බි ටොප් යනුවෙන් හැඳින්වෙන අත් දිග කමිස, සීතලේ ගැලෙමින් ඒ තරග නරඹන අය උදෙසා ය!

ඒ ඒ රග්බි කණ්ඩායම්වල සම්මත වර්ණ සංකලනයෙන් සෑදුණු රග්බි ටොප් කමිස අඳුරු සිසිර සෘතුවට ගෙන එන්නේ ධනාත්මක වෙනසක් බව ද කිව යුතුය. සාමාන්‍යයෙන් ඉහළ මිලකට විකිණෙන රග්බි කණ්ඩායම් වර්ණ ඇති රග්බි ටොප් කමිසවලට අමතරව, විවිධ වර්ණයෙන් හැඩ ගැන්වුණු රග්බි ටොප් කමිස වෙළඳපොළේ එමට දක්නට ඇති අතර, මා සතුව ද පසුගිය දශක දෙකක පමණ කාලයේ දී මිලට ගත් රග්බි ටොප් කමිස කිහිපයක් ම ඇත.

මීට වසර දහඅටකට පෙර වසරාවසානයේ ලංකාවට යෑමට අපි සැලසුම් කර තිබුණි. දෙසැම්බර් ගමන සපහා ලංකාව ගෙන යාමට අප තෑගි මිලට ගැනීම අරඹන්නේ ඊට මාස දෙකකට පමණ කලිනි. එවකට ගුවන් ගමනක දී ගෙන යා හැකිව තිබුණේ කිලෝ විස්සක් පමණක් නිසා (පසු කලෙක මේ ප්‍රමාණය කිලෝ තිහක් දක්වා වැඩි කරන ලදී), තෑගි බෝග පෙට්ටිවල බහා නැව් මගින් ලංකාවට යැවීම ද, මෙහි වෙසෙන අන් ශ්‍රී ලාංකිකයින් මෙන් අපි ද කළෙමු. දෙසැම්බරයේ ලංකාවට ගිය විට තෑගි දීමට නම්, ඒ තෑගි පෙට්ටි නැවි ගත කළ යුතු වූයේ මාසයකට, දෙකකට පමණ කලිනි.

ඒ ඔක්තෝබරයේ දී පමණ, රග්බි සමයද අවසාන වී, සීත සිසිරය වෙනුවට සුන්දර වසන්තය ද එළැඹී තිබුණු සමයක මෙල්බර්න් නගරයේ සාප්පු සවාරියේ ගිය මට දක්නට ලැබුණේ ටාගට් නම් සාප්පුවේ මිල අඩු කර විකිණීමට තබා තිබු රග්බි ටොප් කමිස ගොන්නකි. රතු සහ කළු වර්ණයෙන් යුතු ඉරි සහිත මෝස්තරයක් වූ ඒවායේ "ඕස්ට්‍රේලියා" යන්න ද සටහන් වී තිබුණි. සාමාන්‍ය මිල ඩොලර් 39.90 වූ ඒවා එදා අලෙවි කෙරුණේ ඩොලර් 19.90 ට ය.

මා කළේ ඉන් කමිස දෙකක් ම මිලට ගැනීමයි.

එකක් මට ය. අනෙක, ලංකාවේ සීත කඳුකර පෙදෙසක වාසය කරන මගේ ඥාතියෙකුට ත්‍යාගයක් ලෙසිනි.

දෙසැම්බරයේ ලංකාවට ගොස් සතියක් පමණ කොළඹ ප්‍රදේශයේ ගත කර ඉන්පසු ඒ කඳුකර නගරයට ගිය අපට මේ ඥාතියා ද මුණ ගැසුණු අතර, මම ඒ ත්‍යාගය ඔහුට දුන්නෙමි.

මෙරටින් එරටට කිලෝ ගණං ගෙන යාම නිසා ඇතිවෙන භූගෝලීය වෙනස තරමකින් හෝ ආපසු හරවා ගැනීම සඳහා එරටෙන් ද කිලෝ කිහිපයක් මෙරටට ගෙන ඒම අපේ සිරිතයි.

ඒ කිලෝ අතරට එක්වෙන, කිරි ටොෆී, පොල් ටොෆී, අල ටොෆී, තල ටොෆීවලට අමතරව බතික් සරම්, අලින්, සීගිරිය වැනි ලාංකික සලකුණු ඇති ඇඳුම් පැළදුම් ද එකතු වීම සිදුවේ.

එදා ඒ කඳුකර නගරයේ ගත කළ මුල් දිනයේම අප කළේ එහි ප්‍රධාන වීදිය පුරා සාප්පු සවාරියක යෙදීමයි.

පසුදා මට යළිත්, පෙර කී රග්බි ටොප් කමිසය තෑගි ලද ඥාතියා හමුවිය.

ඔහු එක්වරම දුටුවේ මා සැරසී සිටි නිල් සහ සුදූ ඉරි සහිත රග්බි ටොප් කමිසයයි.

"අන්න රසික නම් ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. ඔයා මට දුන්නු එක නම් මගේ හැටියට පාට තද වැඩියි!" මද වේලාවක් කතා බස් කිරීමෙන් අනතුරුව ඔහු මා සමග කීවේ ය.

ඥාතියා සිතන්නට ඇත්තේ මා හොඳ වටිනා රග්බි ටොප් කමිසයක් මිලට ගෙන ඔහුට බාල එකක් ලබා දී ඇතිය කියා බව මට සිතුණි.

මට සිනහව වළක්වා ගත නොහැකි විය.

"ඔහේ දන්නවා ද මේ මං ඇඳන් ඉන්න ටී ෂර්ට් එකක් කීය ද, මං කොහෙන්ද ගත්තේ කියලා?" මම ඔහුගෙන් ඇසුවෙමි.

ඇත්තටම ඔහුගෙන් මා පිළිතුරක් බලාපොරොත්තු නොවුණු නිසා, තත්පර කිහිපයකට පසු මම යළිත් ඔහු ඇමතීමි.

"මේ ටී-ෂර්ට් එක මං ගත්තේ අර මේන් ස්ට්‍රීට් එකේ කෙළවරේ උඩ තට්ටුවේ තියෙන කඩෙන් ඊයේ හවස. මේක රුපියල් 125 යි. මෙල්බර්න්වලින් ගෙනාපු එකේ ගානට මේ ජාතියේ ෂර්ට් දහයක් විතර ගන්න තිබුණා!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රග්බි ටොප් කමිස දෙක ම තවමත් මා සතුව ඇත. කල් ඉකුත් වී ඇති යැයි සිතෙන නිසා, දැන් මා ඒවා අඳින්නේ සීත කාලයේ දී නිවසේ ඉන්නා විට පමණි.


(image: http://www.sheplayssports.com/BarbarianShirtCollegiateStripesRugbyShirts.html)

Wednesday, 12 July 2017

කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu


දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ඞී බී කුරුප්පු ලේඛකයා ගේ මරණය අසා මට ඇති වූයේ අමුතුම ආකාරයක, එනම් දුක වැඩියෙන් ද, ඒ අස්සේ තරමක හෝ සතුටක් ද එකට මිශ‍්‍ර වූ හැඟීමක් බව මුලින් ම පවසමි.

මෙල්බර්න් නගරයට පැමිණි දිනයක එක් වරක් හෝ ඔහු හමු වී මුහුණ බලා කතා කර තිබුණු නිසා ද, දින කිහිපයක් ම දුරකථනයෙන් ද කතා කර තිබුණු නිසා ද, ඊටත් වඩා වසර විස්සක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් රචිත කොටස් කිහිපයකින් යුතු ඔහුගේ ජීවිත කතාව, පරිවර්තන සහ විවිධාකරායේ වෙනත් කෘති මෙන් ම, "කස්තිරම", "පූච්චානම්", "පූරනීතෙ", "ලියෝ රූ" යනා දී විවිධ මාසික පුවත්පත් කොළම් ද කියවා ඔහු සමග දැඩි සාහිත්‍යමය හිතවත්කමක් ද ඇති වී තිබුණු නිසා ද, ඞී බී කුරුප්පු ගේ මරණය ගැන මට අසා දුකක් ඇති වීම නම් පුදුමයක් නොවේ.

එහෙත් මේ මරණය ගැන ලැබුණු ආරංචිය මගේ සිතේ යම් ආකාරයක සතුටක් ද ජනිත කළේ ඇයි?

ඞීබී කුරුප්පු සාහිත්‍යධරයා විසින් ලියන ලද ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අයෙකුට වැටහෙනු ඇති පරිදි, මගේ ඒ මද සතුටට හේතුව නම්, අපේ ආදරණීය ලේඛකයා මෙලොවින් නික්ම ගියේ තව දුරටත් මෙහි ඉඳීම අනවශ්‍ය බව තමන්ට හැඟුණු නිසා බව මා තරයේ විශ්වාස කරන නිසා ය.

ඔහු ලියූ එක ම ප‍්‍රබන්ධය ලෙස මා දන්නා "එක්තරා පේ‍්‍රම කතාවක්" කෙටි නවකතාවේ දී ඞී බී කුරුප්පු එහි ප‍්‍රධාන චරිතය වූ "සිරිල්" හරහා අපට පවසා සිටියේ එයයි.

අසනීපයෙන් සිටින මහලු ඥාතියෙකු බැලීමට රෝහලට යන සිරිල් (පිටු 46-47) රෝගියාගෙන් අහන්නේ "කොහොම ද? දැන් යන්න ලෑස්ති ද?" කියා ය. එතෙක් මේ ප‍්‍රශ්නයට කෙළින් මුහුණ නොදී සිටි ඥාතීහූ ද, ඔවුන් නිසා නිහඬව සිටි රෝගියා ද, සිරිල් ගේ ඒ මැදිහත් වීම නිසා පියවි ලොවට පිවිසෙන අතර, මහලු රෝගියා එදින රාත‍්‍රියේ සුව නින්දේ දී ම අවසන් ගමන යයි.

අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප‍්‍රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප‍්‍රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි.

ඞී බී කුරුප්පු තමන් නික්ම යා යුතු ඒ දිනය තමන් ම තෝරා ගත්තා යැයි සිතන්නට මා කැමති ය. එය ඔහුට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

දැන් මදක් අතීතයට යමු.

මීට දශක දෙකකට පමණ පෙර මා මෙල්බර්න් නගරාසන්නයේ ජීවත් වූ සමයේ එක් ඉරිදාවක සිංහල ගුවන්විදුලි සේවයකින් ඇසුණු පුවතක් වූයේ මෙල්බර්න් හි වෙසෙන ලේඛකයෙකු "ලංකාවක් වගේ පුංචි" නමින් ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවයි. මේ ලේඛකයා යනු, මා අටවෙනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ ත්‍යාගයක් ලෙස ලැබී කියවා, දිගින් දිගටම රස විඳි, "මැංචෝසන් චාරිකා" නම් අපුරු ග‍්‍රන්ථයේ පරිවර්තකයා බව දැනගත් විට මට ඔහු ගේ මේ අලූත් කෘතිය කියවන්නට ආශාවක් ඇති විය. දින කිහිපයකට පසු මා එය ක්ලේටන් හි පිහිටි ”ඒෂියන් ෆුඞ් සෙන්ටර්” කඩයෙන් මිලට ගනිද්දී, මට කලින් භාණ්ඩයක් මිලට ගෙන කඩයෙන් නික්ම ගිය පුද්ගලයා පෙන්වමින් එහි සිටි පද්මිණී මා සමග කීවේ ඒ පිටව ගියේ මා මිලට ගන්නා "ලංකාවක් වගේ පුංචි" කෘතියේ රචකයා බවයි.

එදා එලෙස "කෙස් ගසෙන් මිස් වුණු" ඔහු සමග මුහුණට මුහුණ දී කතා කිරීමේ අවස්ථාව අවසානයේ දී මට ලැබුණේ ඉන් වසර දොළහකටත් වඩා ගෙවුණු පසුව 2010 මැයි මාසයේ දී ජගත් ජේ එදිරිසිංහ ගේ "ඉස්කෝලේ කාලේ" කෘතිය (සහ තවත් නිර්මාණ) දොරට වැඩූ අවස්ථාවේ දී ය.

නමුත්, ඒ වන විට මා ඔහු ගේ ස්වයංචරිතාපදානයේ කොටසක් වන "හැන්දෑවට පායන හිරු" සහ වෙනත් කෘති කිහිපයක් ද කියවා තිබුණු අතර, මා දැන් වාසය කරන සිඞ්නි නගරයේ සිට ඔහු සමග දුරකථනයෙන් ද කතා බහ කර තිබුණු නිසා ඒ හමුවීමේ තිබුණේ හොඳ හුරු පුරුදු බවකි.

එසේ ම, ඒ කාලය වන විට සන්නස සඟරාවට විවිධ ලිපි ලියමින් සිටි මගේ අංකුර ලේඛක ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූයේ තමා විසින් ලියන ලද "සරල සිංහල වියරණ විධි" නම් ග‍්‍රන්ථයේ පිටපතක් ඞී බී කුරුප්පු විසින් මගේ නිවසට තැපෑලෙන් එවනු ලැබීමයි. මා සන්නසට ලියමින් සිටි "පමා නොවී එමි අකුරට" තීරු ලිපි මාලාව තමන් ආශාවෙන් කියවන බව ද කියවෙන සටහනක් ද ඒ සමග එවන්නට තරම් ඔහු නිහතමානී වී තිබුණි.

ඊළඟට ඔහු කළේ, ඒ ආකාරයේ ම ලිපි මාලාවක් පහන සඟරාවට ද ලියන්නට හැකිදැයි හේමමාලා හේරත් හරහා මගෙන් විමසීමයි. ඒ අනුව මා ලියූ "කොලූ කාලේ" ලිපි මාලාවේ සෑම කොටසක් ම, ඔහු විසින් කියවා බලා අනුමත කළ බව මම දනිමි.

එපමණක් නොවේ, එතැන් පටන් ඔහු විසින් ලියා මුද්‍රණය වූ කෘති විශාල සංඛ්‍යාවක් ද ඞී බී කුරුප්පු ලේඛකයා විසින් මට ත්‍යාග ලෙස තැපෑලෙන් එව්වේ ය. ඒ අතරට ඔහු කළ විශිෂ්ටත ම පරිවර්තනය වූ "අර්බත් දරුවෝ" නම් දීර්ඝ නවකතාවේ කොටස් හත ම ඇතුළත් වීම සුවිශේෂී වේ.

විශ්ව සාහිත්‍ය පරිවර්තන කෘති සහ තම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කතාංග සහිත ග‍්‍රන්ථයන්ට අමතරව, ඞී බී කුරුප්පු ලේඛකයාගෙන් විශේෂයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සමාජයට ලැබුණු වැදගත් ම ලේඛන දායාදය වූයේ තමන් ගේ දශක අටක ජීවිතය මෙන්ම, එයින් මෙල්බර්න් නුවර ගත කළ කාලයේ දී කරනු ලැබූ සූක්ෂම සමාජ නිරීක්ෂණ ඇසුරෙන් ලියන ලද තීරු ලිපි මාලා ය.

ඒ ලිපිවල ගැබ්වූ දේශපාලන අදහස් නිවහල් ය. සමාජමය නිරීක්ෂණ නිරවුල් ය. අන්තර්ගතය මෙන් ම ඉදිරිපත්කිරීම ද සැම අතින් ම විශිෂ්ට ය. වරද දුටු තැන කිපී ඔහු ලියන දේ සෑම විට ම එක එල්ලේ දිවෙන හී සර මෙන් දරුණු ය. අතිශය උපහාසාත්මක ය.

මෙහි ලා, සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, අපේ ආදරණීය ලේඛකයා ගේ ලේඛන කලාවේ තිබූ එක් අද්විතීය ලක්ෂණයක් වූයේ තමන්ට කිව යුතු දෙය, කවරෙකුට රිදෙයි ද, කවරෙකු අමනාපවේ ද යන්න නොව, තම අදහස පැවසීමේ ඇති වැදගත්කම පමණක් සලකා, එක එල්ලේ ලිවීම බවයි.

ලේඛන කලාව පිළිබඳව මා ඔහුගෙන් උගත් හොඳ ම පාඩම ද එයයි.

ඞී බී කුරුප්පු විසින් ලියන ලද "කපුටන්ට ආප්ප අරගෙන දීම" නම් ලිපිය නිසා කෝප වී ලංකාවේ පුරුද්දට ඕස්ටේ‍්‍රලියාවේ ලේඛකයින්ට තර්ජනය කළ රාජපුරුෂයින් ගේ නිරුවත පසුව හෙළි වූ බව අපි දනිමු. ඔවුන් පමණක් නොව, විවිධ අවස්ථාවල විවිධ පටු අරමුණු සහිතව මාධ්‍ය සංදර්ශන පවත්වනවුන් ගේ ද, ලංකාවෙන් මෙහි පාත්වන සාහිත්‍යධරයන් යැයි කියා ගන්නා උදවියගේ ද, සිවුරු පොරවාගත් පුද්ගලයින් ගේ ද, සැබෑ ප‍්‍රතිබිම්බය හෙළි කිරීමට ඔහු ගේ ලිපිවලට හැකිවිය. ඔහුට වැරදුණු තැනක් වුණි නම්, ඒ ඕස්ටේ‍්‍රලියානු මෑත දේශපාලන ඉතිහාසයේ එක් කඩඉමක් අරඹයා "ලේතමාගමනය" නමින් ලියවුණු ලිපිය පමණක් බව මගේ අදහසයි.

ඞී බී කුරුප්පු හා මගේ සාහිත්‍යමය මිත‍්‍රත්වය ගැන සිතන විට මගේ සිතට දුකක් ඇතිවන එක් කාරණයක් ඇත. ඔහු මට එවූ වෙළුම් හතකින් යුතු "අර්බත් දරුවෝ" දීර්ඝ නවකතාව කියවීම ඇරඹීමට ම මට වසරක් පමණ කල් ගත විය. එය සහමුලින් ම කියවා අවසාන කිරීමට මට ඊටත් වඩා කාලයක් ගත විය. මා ඔහු ලියූ "දානයේ ආනිසංස" නම් වූ කෘතිය පිළිබඳව හැකි පමණින් විචාරයක් ලියූ අතර එය සන්නස පුවත්පතේ ම පළ වූ නමුත්, මේ අති දීර්ඝ "අර්බත් දරුවෝ" පිළිබඳව මට එසේ කිසිවක් කළ නොහැකි විය. පසුව, ඞී බී කුරුප්පු විසින් ම ලියන ලද ලේඛනයකින් මා දැන ගත් පරිදි, ඔහු තමන්ගේ ඒ ප‍්‍රශස්ත ම පරිවර්තනයේ පිටපත් යවා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ලියන කියන අප කාගේත් සිහිනයක් වන සිංහල සාහිත්‍යය ලෝකයට විවර කිරීමේ ශක්‍යතාවය ඇතැයි ඔහු සිතන අයට ය. දිගු කලක් ගතවීත්, ඒ කිසිවෙකු අඩු වශයෙන් ඒ පොත් කියවූ බව හෝ සඳහන් නොකිරීම ඔහු ගේ කනස්සල්ලට හේතු වී තිබුණි. වහා දුරකථනයෙන් ඔහු ඇමතූ මම, කාලයක් ගත වූවද, තවත් තිදෙනෙකු ද, මා ද ඒ පොත් සියල්ලම කියවූ බව පවසා සිටියෙමි. පසුව, සිඞ්නි නගරයේ විකාශයවන මධුර සිංහල ගුවන් විදුලි වැඩ සටහනේ දී මා ඒ පොත් පිළිබඳව යම් හැඳින්වීමක් කළෙමි.
ඒ ගුවන් විදුලි හඬපටය සොයා ඔහුට තැපෑලෙන් යවන්නෙමි යැයි සිතා සිටිය ද, එය අවසානය දක්වාම කළ නොහැකි වීම, මා පෙර සඳහන් කළ දුකට කාරණයයි.

මේ ලිපියේ ඉහළින් ම මා, ඞී බී කුරුප්පු ලේඛකයා හඳුවා දී ඇත්තේ "කෙළින් මිනිසා" යනුවෙනි. ඒ ඔහු තමන් ලියූ සෑම මාතෘකාවක් ගැනම තම අවංක අදහස එක එල්ලේ පවසන්නට මැලි නොවූ අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති නිසා ය.

මේ සඳහා මා දුටු මෑත කාලීන උදාහරණයක් වන්නේ, මේ වසරේ මාර්තු මාසයේ දී මෙලොව හැර ගිය සේනාධීර පියසේන ජ්‍යෙෂ්ඨ ලේඛකයා පිළිබඳව "පහන" සඟරාවේ අප‍්‍රියෙල් කලාපයට ඞී බී කුරුප්පු ලියූ ලිපියේ අවසාන කොටසයි.
"නොබෝ දා උත්සවාකාරයෙන් දොරට වැඩම වූ ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ ගේ චරිතාපදානය ගැන ඇසූ මට හිතුණේ එස් පියසේන වැනි වියතෙකු ගේ චරිත කතාව දේශපාලකයෙකු ගේ හෝ ආගමික නායකයෙකු හෝ කතාවට වඩා රටටත් ජනතාවටත් වැඩදායක නොවන්නේ ද යන අදහස ම ය. මා තුළ හටගත් ඒ කාංසාව දුරු කිරීමට සමත් සත්ක‍්‍රියාවක් පෙබරවාරියේ ශ‍්‍රී ලංකාවට ගිය ”සිහ නඳ” සංස්කාරක විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන විසින් කියනු ලැබී ය.

මාධ්‍යවේදී දයා ලංකාපුර අල්ලාගෙන තමා පියසේන චරිතාපදානය සම්පාදනය කිරීමේ වගකීම ඔහුට පැවරීම ය ඒ. ඒ පොතේ පිටපත පියසේන මහතා මිය යාමට පෙර අනුමත කිරීම ද අපේ වාසනාවක් ම ය.

ලක්ෂ්මන් වික‍්‍රමසිංහ පියතුමාගේ ඥාතිපුත‍්‍ර බෞද්ධ ලේඛක රනිල් වික‍්‍රමසිංහ ගැන ලියූ චරිත කතාවට ඇතුළත් නොවූ නම් දෙකක් ඇති බව මට කිව හැකි ය. 'බටලන්ද' සහ 'ගෝනවල සුනිල්' යන මේ දෙක ය.

චරිත කතාවකින් පලක් ලද හැක්කේ හොඳ නොහොඳ දෙකම විග‍්‍රහයට ලක් කළහොත් පමණි."
අපේ ආදරණීය ලේඛක ඞී බී කුරුප්පු, "කෙළින් මිනිහා", තමන් ගේ ජීවිත කතාව කොටස් කිහිපයකින් ලියා පළ කොට ඇති බව අපි දනිමු. මුලින් සකස් කළ අත්පිටපත් සැර වැඩිය කියා ඉවතට දමා අලූතෙන් ම ලියා තිබුණ ද, රනිල් වික‍්‍රමසිංහ ගේ පළ වූ චරිතාපදනය මත පදනම්ව, ඉදිරියේ දී පළ වීමට නියමිත සේනාධීර පියසේන ගේ චරිතාපදානය සඳහා අවවාදයක් ලෙස ඞී බී කුරුප්පු ලේඛකයා පවසා ඇති ඉහත සඳහන් ඒ වැදගත් කාරණය, එනම් චරිත කතා ලිවීමේ දී හොඳ නොහොඳ දෙකම එක සේ විග‍්‍රහ කළ යුතු බව සහ "බටලන්ද", "ගෝනවල සුනිල්" වැනි නම් සැාගවිය නොයුතු බව, තම ස්වයංචරිතාපදාන ග‍්‍රන්ථකරණයේ දී ඔහු ම අනුගමනය කරන්නට ඇතැයි මම සිතමි.

ඔහු ගේ අභීත රචනා ශෛලියට කවදත් දැඩි කැමැත්තක් දැක් වූ මට, ඞීබී කුරුප්පු ගැන ලියවෙන මේ ලිපියට එසේ ඇතුළත් නොකර සිටිය නොයුතු නම් දෙකක් නොව එකක්වත් සිතා ගත නොහැකි වූ බව අවසාන වශයෙන් පවසමි.

-රසික සූරියආරච්චි

සන්නස මාසික සඟරාව සඳහා ලියූ ලිපියකි.
1. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page39.pdf
2. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page41.pdf

Wednesday, 12 April 2017

ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශන - Sinhala language publications in Australia


ඕස්ට්‍රේලියාවේ වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. මා දන්නා පරිදි, එහි සිංහල සඟරා හතරක් මාසිකව පළ වේ.

ඉන් මූලික ස්ථානය ගන්නේ ජගත් ජේ. එදිරිසිංහ ගේ උපදේශක කතෘත්වයෙන් යුතුව දැන් වසර දොළහක් තිස්සේ පවත්වාගෙන යන සන්නස සඟරාවයි. එහි මුද්‍රිත සියලුම පිටපත් පහත සංරක්‍ෂිත අඩවියෙන් කියවිය හැකි ය.

http://sannasa.sinhalajukebox.org/

සන්නස සඟරාව ආරම්භයේ සිටම වාගේ මම ඒ සඳහා ලිපි සැපයීමි. මා පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ, "සිව් වසරක් මරදානේ" නම් කෘතියේ අඩංගු වුණේ මා සන්නසට සඟරාව සඳහා ලියූ "පමා නොවී එමි අකුරට" නම්, මා දහවෙනි ශ්‍රේණිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තුරු ගත කළ සිව් වසරක අත්දැකීම් සහිත තීරු ලිපි එකතුවයි.

ඉන් අනතුරුව මම, සන්නස සඟරාව සඳහා "කුමර දිවිය" නමින් තීරු ලිපි දාහතක් රචනා කළෙමි.

මා මේ දිනවල සන්නස සඳහා ලියන්නේ "අපේ කාලයේ කතන්දර" නම් තීරු ලිපි මාලාවකි. මෙවර පළ වුණේ එහි විසි හත්වෙනි කොටසයි.

මීට අමතරව මම, "අල්ලපු ගෙදර" නමින් ද, "සිනුවර හසුන" නමින් ද, සන්නස සඟරාව සඳහා තීරු ලිපි ලියා ඇත්තෙමි.

සන්නස සඟරාව ඇරඹීමට දෙවසරකට පමණ පෙර මෙල්බර්න් නගරයේ ම උපත ලැබූ සඟරාවක් ද වේ. එය නමින් "පහන" නම් වේ. මේ සඟරාව ඇරඹුණේ ද ජගත් ජේ එදිරිසිංහ ඇතුළු පිරිසක ගේ කතෘත්වයෙන් වුව ද, එහි අයිතිය පසුව ව්‍යාපාරිකයෙකු සතු විය.

මාසික ප්‍රධාන කලාපයට අමතරව මාසයේ මැද ද කලාපයක් නිකුත් කරන පහන සඟරාවේ වෙබ් අඩවිය පහත දැක්වේ. ඔවුන් ගේ පෙර කලාප අන්තර්ජාලයේ කියවීමට තිබේ යැයි නොසිතමි.

http://www.pahana.com.au/

පහන පුවත්පතට මා කළ සඳහන් කළ යුතු සම්මාදම නම්, "කොලු කාලේ" නම් ලිපි විස්සකින් සමන්විත වසර 2010 මැද සිට ලියවුණු තීරු ලිපි මාලාවයි. මා එය ලියූවේ, මෙල්බර්න් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ සිංහල ලේඛකයෙකු වන දොන් බෝල්ඩ්වින් කුරුප්පු සහ එකල මෙල්බර්න් නුවර වාසය කළ ලේඛිකාවක වූ හේමමාලා හේරත් ගේ ඉල්ලීම පිට ය.

මීට අමතරව මා දන්නා පරිදි මෙල්බර්න් නගරයේ පළවෙන මාසික සඟරා දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, සාමන්ත තැන්නගේ විසින් සංස්කරණය කෙරෙන "කැඩපත" නම් සඟරාවයි. එහි වෙබ් අඩවිය මෙලෙස වේ.

http://kadapatha.com.au/

දෙවැන්න නම් විල්ෆ්‍රඩ් සිරිවර්ධන ගේ කතෘත්වයෙන් මෙල්බර්න් සිංහල සඟරා අතරට මීට වසර එකොළහකට පමණ පෙර ඇතුළත් වී ඇති "සිහනද" සඟරාවයි. ඔවුන් ගේ වෙබ් අඩවියක් නම් තිබේ යැයි මම නොසිතමි.

මේ සඟරා සියල්ල මුද්‍රණය කර ප්‍රධාන වශයෙන් කුළුබඩු කඩ හරහා සහ පන්සල් වැනි වෙනත් පොදු ස්ථාන හරහා බෙදා හැරෙන්නේ නොමිලයේ බව ද කිව යුතුය. ඒ සඟරා අතුරෙන් පහන, සන්නස සහ සිහනද සිනුවර දී ද ලබාගත හැකිය.

මීට වසර විසි හතකට පෙර සිනුවර දී පිහිටවූ "සිංහල සංස්කෘතික හමුව" විසින් "සිංහල" නමින් ත්‍රෛමාසික සඟරාවක් වසර 2001 දී පමණ සිට පළ කෙරුණු නමුත්, දැන් එය අභාවයට ගොස් ඇත!

මම වසර 2005 නොවැම්බරයේ සිට 2008 ඔක්තෝබර දක්වා එහි සංස්කාරක ලෙස ස්වේච්ඡා සේවය කරමින් සඟරා කලාප දොළහක් එළි දැක්වූයෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සොය බැලීමේ දී, "සියපත" නමින් මාසික සඟරාවක් ද, "සංචාරකයා" නම් සංචාරක සඟරාවක් ද මෙල්බර්න් නගරයේ පළ වෙන බව ආරංචි විය.

Saturday, 11 March 2017

කඩේ ගියෙමි! - My shopping cart this week


අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය.

ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු නමුත්, දෙවසරකට පම පෙර ඒ සමාගම බංකොලොත් වී ගියේ ය.

අප සාමාන්‍යයෙන් බඩු ගන්නේ වූල්වර්ත් කඩයෙන් හෝ අල්ඩි කඩයෙනි. එයට මූලික හේතුව ඒ කඩ පිහිටා ඇති ස්ථාන කරා යාම අපට පහසු වීමයි. මීට අමතරව, අප සාමා්‍යයෙන් එළවළු වර්ග ගන්නා කඩ දෙකක් ද ඇත.

සාමාන්‍යයෙන් අපේ නිවසේ කඩේ යන්නා මා නමුත් මේ වසරේ මුල් දෙමස තුළ මට සති අන්තවල යෙදුණු වැඩ රාජකාරී නිසා ඒ වගකීම ඉටු කරන්නට නොලැබුණි. බිරිඳ කඩේ ගියා ය.

සති දෙකකට ඉහත ඇය ගොස් තිබුණේ කෝල්ස් නමැති සමාගමේ කඩයකටයි. ඒ සමාගමේ ඇති පාරිභෝගික ප්‍රසාද දීමනා ක්‍රමයේ මේ දිනවල ඇති විශේෂ දීමනාවක් නිසා (සති හතරක් එක දිගටම වරකට ඩොලර් අසුවක බඩු මිලට ගතහොත් ඩොලර් පනහක දීමනාවක් ලැබේ!) කඩේ යාමේ රාජකාරිය යළි මා භාරයට ගත් පසු, මට ද, කෝල්ස් කඩයටම යන්නට සිත් විය.

ඉතිං, අද සෙනසුරාදා පුතාව පුස්තකාලයට බස්සවා ආපසු එන ගමනේ දී මම කෝල්ස් පිහිටි කඩමණ්ඩිය අසල නවත්වා කඩේ ගියෙමි.

කඩෙන් බඩු ගැනීමේ දී මා භාවිතා කරන මූලික තීරක කිහිපයකි.

1. බඩු ගන්නේ වෙළඳ නාමය අනුව නොවේ. වැඩි වාසිය අනුව ය.

2. ඒ ඒ සතියේ විශේෂ වට්ටම් දී ඇති භාණ්ඩ, හදිසියේ අවශ්‍ය නොවුණත්, පසුව ප්‍රයෝජන සඳහා මිලට ගනිමි.

3. බොහෝ විට ඒ සතියට පමණක් නොව සති දෙක තුනකට සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගනිමි.

මා අද ගෙනා විවිධ භාණ්ඩ පිළිබඳ විස්තරයක් පහත දක්වමි. මේවායින් බොහෝ දේ, මේ සතියේ විශේෂ වට්ටම් සහිතව විකිණීමට තබා තිබූ ඒවා ය.

කෙසෙල් කිලෝවක් 1.99 බැගින් කිලෝ තුනක් පමණ.


පෙයාර්ස් කිලෝවක් 1.90 බැගින් කිලෝ එකහමාරක් පමණ.
ඇපල් කිලෝවක් 3.00 බැගින් කිලෝ එකහමාරක් පමණ.


ශීත කරන ලද කල් තබා ගත හැකි බෙරී පළතුරු වර්ග ග්‍රෑම් 500 පැකට්ටුව ඩොලර් හතරයි.


සෝයි කිරී ලීටරයක පැකට්ටුවක් ඩොලර් 1.80 බැගින් (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.50 ක් පමණ වේ).

ඒ සියල්ල බිරිඳ ගේ සහ මගේ උදෑසන ආහාරය සඳහා ය.

ඕරියෝ බිස්කට් පැකට්ටුව ඩොලර් 2.80 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 3.00 කි).
මාරි බිස්කට් පැකට්ටුව ඩොලර් 1.60 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.00 කි).


හෙල්ගාස් පාන් ගෙඩියක් ඩොලර් 3.50 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).


බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 කි).


ඉරිගුවලින් සෑදූ අති ප්‍රනීත (සීනි නිසා) උදෑසන කෑමකි. කිරි මුසු කර අනුභව කළ යුතුයි. පැකට්ටුවක් ඩොලර් 2.32 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 කි).


කිරි ලීටර් දෙකක්. ඩොලර් 2.00. කිරි මිල මේ වෙළඳ සමාගම් අතර තරගය නිසා දරුණු ලෙස පහත වැටී ඇත. කිරි ගොවියන් ගේ අනාතතය අනතුරේ.


රට කජු පැකට්ටුව ඩොලර් 2.10. මට හවස නිවසට පැමිණි පසු විකීම සඳහා.


කඩා සෝදා වියලන ලද සලාද කොළ. පැක්ටුවක් ඩොලර් 3.00 යි.


මස් පෙති පැකට්ටුවක් ඩොරල් නමයයි.

සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත.

අයිස්ක්‍රීම් ලිටර් දෙකක් ඩොලර් 3.54 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).
යෝගර්ට් ලීටරයක් ඩොලර් හතරයි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 ක් පමණ වේ).


වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).


ඒ කඩ මණ්ඩියේම ඇති එළවළු කඩයෙන් එළවළු වර්ග දෙකක්ගත්තෙමි.
බෝන්චි කිලෝවේ බෑගය ඩොලර් තුනයි.


මල්ගෝවා ගෙඩිය ඩොලර් දෙකයි.


කෝල්ස් සමාගමටම අයිති ලිකර්ලෑන්ඩ් නම් වයින් කඩයක් එතැනම ඇත. ඒ කඩයේ ප්‍රදර්ශනය කර තිබුණු සුදු වයින් බෝතලයක් ද ආසාවට මෙන් ගත්තෙමි. මිල ඩොලර් හතකි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).

එලෙස ආසාවක් ඇති වුනේ මේ වයින් වර්ගය නිපදවන නවසීලන්ත ප්‍රදේශයේ අප කළ සංචාරයක් සිහිවුනු නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිටකොටුවේ වෙළඳ පොලේ මිල පිළිබඳව මේ ලිපිය කියවන්න.

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? ::
http://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


(imageL GettyImages)

Tuesday, 29 November 2016

ලොකු ළමයෙකු ගේ ලොකු අකුරු - Ransirimal Fernando's blog


පසුගිය දිනවල හෝඩියේ පන්තියේ පොඩි ළමයින් ගැන ලියමින් සිට ඊට පසු "එයා දැන් ලොකු ළමයෙක්" ගැන ලියූ මට මට අද ඊටත් වඩා "ලොකු දෙයක්" ගැන ලියන්නට සිත් විය.

මෙය "ලොකු දෙයක්" වෙන්නේ ලොකු ළමයෙකු ගැන ලියවෙන සටහනක් නිසා පමණක් නොව, මේ කාරණයේ මට ලොකු වැදගත්කමක් ද ඇති නිසා ය.

මේ ලියන්නේ "ලොකු" ගැන ය. කෙටියෙන් ලොකු කියන්නේ මැද පිළිවෙතින් සිරිමල් ගැන ය. දිගට කියනවා නම් රන්සිරිමල් ගැන ය. තවත් දිගට කියනවා නම්, ආන්ජලෝ රන්සිරිමල් ප්‍රනාන්දු නම් සහෘදයා ගැන ය.

මා රන්සිරිමල් යන නම මුලින් ම දුටුවේ ප්‍රාග් යුනිකෝඩ් ගල් යුගගේ දී බිහි වී තිබුණු "සිරිමල් උයන" නම් වෙබ් අඩවිය හරහා ය. අන්තර්ජාලීය සිංහල සාහිත්‍යකරණයේ ඒ ප්‍රමුඛ පියවර ගැන මින් පෙර රසිකොලොජියේ ලිය වී ඇත.

ඉන්පසුව, තරංග ජයසේන හෙවත් කූඹියා ගේ මූලිකත්වයෙන් ඇරඹුණු "බූන්දි" හරහා මට රන්සිරිමල් ගේ නිර්මාණ කියවන්නට ලැබුණි. ඔහු ගේ ප්‍රියම්භිකාව වන මානෙල් ගේ විවිධ නිර්මාණ ද බූන්දිය එකල පැවතුණු ඊ-මේල් වේදිකාව හරහා කියවන්නට ලැබුණි.

අන්තර්ජාලය හරහා එසේ දැන හඳුනාගෙන සිටි ඔවුන් දෙදෙනා මට මුලින් ම මුහුණට මුහුණ හමුවූයේ ඊට කලකට පසු 2009 දී සිඩ්නි නගරයේ දී ය.

ඉන්පසු 2010 ජනවාරියේ දී බූන්දි කණ්ඩායමේ අනුග්‍රහයෙන් කොළඹ දී පැවැත්වුණු ජගත් ජේ එදිරිසිංහ ගේ රාජාලි පියාපත් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණු උලෙළේ දී මට ඔවුන් දෙපළ මුණ ගැසුණි.

ඊළඟට පසුගිය දෙසැම්බරයේ කොළඹ දී පැවැත්වුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කෘතිය දොරට වැඩීමේ උත්සවයේ දී මට රන්සිරිමල් හමුවිය.

ඉතිං, මගේ සිතට ආ මේ සියලුම කරුණු මෙලෙස මෙහි සටහන් කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ගේ නවතම බ්ලොග් අඩවිය ගැන පවසන්නයි.

ඔහු එය නම් කර ඇත්තේ "ලොකු අකුරු" කියා ය.

https://lokuakuru.blogspot.com/

ලොකු වෙන්නට පෙර කතා, ලොකු වුණාට පසු කතා, ජීවිත කතා, කවි ආදී විවිධ මානයන් ගේ, විවිධාකරයේ ලියවිලි, නිර්මාණවලින් පිරුණු ලොකු ගේ ලොකු අකුරු බ්ලොගය මට රස සාගරයක් ලෙස හැඟුණි.

ලොකු ලියා ඇති ලොකු ගේ තාත්තා ගැන සටහන මගේ නෙතට කඳුළු නැංවුවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකුම ලොක්කා නොහොත් බොසී හමුවෙන්නට ගිය ගමනක් ගැන සටහන මට සිතට නව නළු රසයම ගෙනාවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකු අකුරු ගැන සටහන මට මගේ හෝඩියේ පන්ති සමය සිහි කළේ ය.

ඒ සමගම ලොකු, පොඩි අපට නොහැකි ලොකු ලොකු වැඩ ද කර ඇති බව පෙනුණි.

තවත් ලොකු පොඩි සටහන් බොහෝ ය.

ගොස් කියවන්න!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමතක වීමට ගිය තවත් කරුණක් මෙසේ ය.

මා හිතන ආකාරයට දැන් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රන්සිරිමල් පවුල වාසය කරන්නේ කැනඩාවේ ය.

මේ විශ්ව ගම්මානයේ සැරිසරන අපට ඒ අක්‍ෂාංශ දේශාංශ කවරේ ද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. අපට ඉර පායන්නේ, බහින්නේ වෙනස් කාලවල බව පමණක් මතක තබා ගැනීම ප්‍රමාණවත් ය.

ප/ප/ලි:
තවත් කරුණක්.

මේ ලොකු අකුරුකාරයා මීට කලින් ද බ්ලොගයක් ලියූ බව මගේ මතකයයි. අවාසනාවකට මෙන් ඒ කුමක්දැයි මට සිහිපත් කර ගත නොහැක!

Friday, 21 October 2016

පෝලීන් හැන්සන්, තෑන්ක්ස් මේට්! - Pauline Hanson, Thanks Mate!


"මගේ දෙයියා සහ උඹේ දෙයියා" යන ලිපියෙන් ඇරඹී, "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" යනුවෙන් ශාකාවක්ව විහිදී, "පෝලීන් හැන්සන් යනු කවුද"" යනුවෙන් පැතිරී ගිය දිගු කතාවේ මේ දිග හැරෙන්නේ තවත් පුරුකකි.

මේ සටහනේ අන්තර්ගතය මා මුලින් ම ප්‍රකාශ කළේ 1996 දී මෙල්බර්න් නුවර 3ZZZ ගුවන් විදුලි සේවයේ සිංහල වැඩසටහනට දුරකථනයෙන් අමතමිනි. ඒ මා "පෝලීන් හැන්සන් යනු කවුද?" යන සටහනේ සඳහන් කළ පරිදි පෝලීන් හැන්සන් නමැති කාන්තාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත් වී ඇගේ මංගල කතාව පැවත්වූ සමයේ දී ය.

ඉන් වසර දහතුනකට පමණ පසුව ඇය දෙවන වරට දේශපාලනයට පිවිසෙන්නට තැත් කර පරාජය ලැබූ සමයේ මගේ ඒ අදහස ලිපියක් ලෙස සැකසී ඕස්ට්‍රේලියාවේ "පහන" මාසික සඟරාවේ පළවිය.

පසුගිය ජූලි මස පැවැත්වුණු මහමැතිවරණයේ දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවට පෝලීන් හැන්සන් තේරී පත්වූ අතර මගේ ලිපියේ සංස්කරණය කරණ ලද පිටපතක් "සන්නස" මාසික සඟරාවේ පළවිය.

පහත දැක්වෙන්නේ එහි රසිකොලොජි සංස්කරණයයි.

පෝලීන් හැන්සන් යනු කවුද ලිපියේ සඳහන් වූ පරිදි, ස්වදේශික ඇබොරිජිනල් ජනතාව පිළිබඳ ආන්දෝලාත්මක ප්‍රකාශයක් කිරීමේ වරදට තම පක්‍ෂයෙන් ඉවත් කරන ලද පෝලීන් හැන්සන් තමා පාර්ලිමේන්තුවේ දී කළ මුල් ම කතාව නිසා ඊටත් වඩා කූප්‍රසිද්ධියට පත් වූවා ය. නමුත් ඇයට සහය පළ කරන පිරිස් ද රට පුරා සිටියහ.

ඔවුන් ගේ සහය ද ඇතුව පෝලීන් හැන්සන් ”වන් නේෂන්” නම් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තාය. සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී කොටස් ඇයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ ද, පොදු ජනතාවගෙන් සියයට දහයක පමණ විශාල ප්‍රමාණයක් ඇයට පක්ෂ බව පෙනී ගියේ ය. තවත් බොහෝ පිරිස් ඇයට නිහඬ සහයෝගය දක්වන බව පැහැදිලි විය.

සමානාත්මක සමාජයක් (Egalitarian) පවතින ඕස්ට්‍රේලියාව ජාති භේද මත ධ්‍රැවීකරණය වී, අපට ආපසු ශ්‍රී ලංකාවට යන්නට වේ දැයි විටෙක මට නොසිතුණා නොවේ.

කම්කරු පක්ෂය කෙසේ වුවද, ගතානුගතික දේශපාලකයෙකු වූ එවකට අගමැති ජෝන් හාවඩ් නම් පෝලීන් හැන්සන් ගේ අදහස් වලට විරුද්ධ නොවී ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නූයේ කලකට ඉහත ඔහු ද මෙවැනිම අදහස් පල කළ අයෙකු වූ බැවිනි. ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයන් ගැන නම් ඔහු ගේ අදහස් එවකටත් (1996) එලෙසම විය.

මුලදී යම් ප්‍රගතියක් පෙන්නුම් කළත්, පෝලීන් හැන්සන් ගේ දේශපාලන ගමන ඉතා වේගයෙන් වල පල්ලට ගියේය. ඇගේ පාර්ලිමේන්තු කාලය වසර තුනකට පමණක් සීමා වූ අතර, වන් නේෂන් පක්ෂය කැඩී දියවී අවසානයේ මැතිවරණ අරමුදල් වංචාවකට අසුවී ඇයට වසරක් පමණ කාලයක් සිරබත් කන්නට ද සිදුවිය.

ඉන් පසු ටික කලක් දේශපාලනයෙන් පසු බැස සිටි සහ වරක් එංගලන්තයට සංක්‍රමණය කරන්නට පවා සැරසුණු පෝලීන් හැන්සන් පසුව දෙතුන් වරක් ප්‍රාන්ත මට්ටමේ ඡන්දවලින් ද පැරදුණා ය.

නමුත් මෙවර වසර විස්සකට පසු 2016 දී ඇය යළිත් ජය ගත්තේ ෆෙඩරල් සෙනෙට් සභාවේ ආසන තුනක් ම ඇගේ වන් නේෂන් පක්ෂයට දිනා ගනිමිනි.

එදා 1996 දී මෙල්බර්න් 3ZZZ සේවයෙන් කතාකරමින් මා මේ පහත අදහස ප්‍රකාශ කළේ අපේ සිංහල සංක්‍රමණික ජනතාවට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නයි.
කවුරු මොනවා කිව්වත්, මා නම් පෝලීන් හැන්සන් ට සැමදා ස්තුතිවන්ත වෙන කාරණයක් තිබේ. එනම්, සුළු ජාතිකයෙකු ලෙස සිතීමේ අවස්ථාවක් ඇය සිංහල අපට ලබා දීමයි.

උපන් දා සිට දශක දෙක තුනක් ලංකාවේ මහ ජාතියේ සාමාජිකයෙකු වශයෙන් ජීවත් වෙමින් සිටි අපට සුළු ජාතිකයන් සිතන්නේ කෙලෙසද යන්න පිළිබඳව කිසිදු අත්දැකීමක් ලබා ගත නොහැකි වූ බව සත්‍යයකි.

"දෙමළ මිනිස්සුන් ට ඇත්තේ මොන ප්‍රශ්න ද ඕයි?" යනුවෙන් අවස්ථාවාදී ජාතිවාදී දේශපාලන මත දරන්නන් විසින් ප්‍රශ්න කරන විට එයට විරුද්ධ වීමට වඩා එකඟ වීම අප බොහෝ දෙනෙකුට ඉතා පහසු විය.

නමුත් පෝලීන් හැන්සන් සංසිද්ධියෙන් ඇති වී තිබෙන තත්වය නිසා, අප ඕස්ට්‍රේලියාව තුළ සුළු ජාතිකයින් ය යන හැගීම අපේ සිත් තුළට කා වැදෙන්නටත්, ඒ සමගම ඇතිවෙන බිය, සැක, චංචලත්වය සහ අනාරාක්ෂිත හැඟීම් නිසා, මහ ජාතියේ බලය පෙන්වන විට සුළු ජාතිකයෙකු මුහුණ පාන තත්වය ගැන සැබෑ අත්දැකීමක් ලබා ගන්නටත් අපට පෙර නොලැබුණු අවස්ථාවක් උදා වී ඇත.

පෝලීන් හැන්සන්, මම ඒ පිළිබඳව ඔබට සදා ණය ගැති වෙමි.
මා 1996 දී ඒ කළ ප්‍රකාශය ද, පසුව 2009 දී එය ලිපියක් ලෙස මුල් වරට පළ කිරීමෙන් ද, නැවතත් පසුගිය මාසයේ එහි සංස්කරණයක් පළ කිරීමෙන් ද, අද මේ බ්ලොග් ලිපිය නිසා ද, කිහිප දෙනෙකු හෝ මේ ගැන සිතන්නට පෙළඹුණා නම්, එය මගේ අරමුණ සාර්ථක වීමකි.

-රසිකොලොජිස්ට්

(image: sannasa.com)

Wednesday, 19 October 2016

තරුණ නළුවන් දෙදෙනෙකුට පොඩි ප්‍රචාරයක් - Have you seen "Moron's Vines and Stuff" YouTube Chanel?


"මාවෝ තූන්" නමැති සිරකරුවෙකු ලෙස "නොම් පෙන් ගේම්ස්" කෙටි නාට්‍යයේ රඟපාමින් මා පසුගිය සෙනසුරාදා ඉදිරිපත් කළේ මගේ මුල් ම ප්‍රසිද්ධ වේදිකා රංගනයයි. ඒ මාවෝ තූන් චරිතයට අමතරව, වේදිකාව පිටුපස සිට නොම් පෙන් සිද්ධස්ථානයේ පූජ්‍යපාද අධිපති ලෙස ද, ඔහු නොකළ මිනීමැරුම් ගැන මාවෝ තූන්ගෙන් පාපෝච්චාරණයක් ලබා ගැනීමට තැත් කළ වදකයින් දෙදෙනා වූ "පොල්" සහ "පොට්" ගේ ලොක්කා ලෙස ද, මම තිරයෙන් පිටුපස සිටිමින් ගුවන් විදුලි නාට්‍යයක මෙන් අමතර රඟපෑම් දෙකක් ද කළෙමි.

අපේ නාට්‍යයේ පොල් සහ පොට් චරිත ද්වය මනා ලෙස රඟපෑවේ භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර නම් සිනුවර වෙසෙන තරුණ නළුවන් දෙදෙනා ය.

"නොම් පෙන් ගේම්ස්" නාට්‍යය රඟ දැක්වුණු සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උලෙළේ දී වේදිකාගත වුණු තවත් නිර්මාණයක් වූ ශ්‍රියාකාන්ති රණසිංහ ගේ "එල්ලිල මැරුණනෙ පොඩි නෝනා" නම් නාට්‍යයේ ද, භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර දක්‍ෂ ලෙස රඟ පෑහ.

මා මේ සැරසෙන්නේ, රංගන කුසලතාවයෙන් පිරි මේ තරුණ නළුවන් දෙදෙනා රඟපාන විකට රංගන සහිත යූටියුබ් නාලිකාව ඔබට හඳුන්වා දෙන්නයි.

යූටියුබය හරහා තම රංගන ඉදිරිපත් කරන ශ්‍රී ලාංකිකයින් අතරින් ඉදිරියෙන් ම සිටින්නේ ජෙහාන් ආර් ය. මා සිතන ආකාරයට මෙල්බරන් නුවර වසන ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් නමුත් නිරතුරුව සිංහල භාෂා යෙදුම් ද භාවිතා කරයි. පසුගිය දා, ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ශබ්දකෝෂයට එක් වූ "අයියෝ" යන වචනය ප්‍රචලිත කිරීමේ ලා ජෙහාන් ද සම්මාදම් වූ බව මගේ අදහසයි.

මා ජෙහාන් ගේ නිර්මාණවලට කෙතරම් කැමති වූයේ ද යත්, බ්ලොග් ලොවෙන් තාවකාලික විරාමක් ගෙන සිටි 2014 වසරේ මැද භාගයේ මට ද යූටියුබය හරහා සිංහල වීඩියෝ බ්ලොගයක් හෙවත් "ව්ලොගයක්" ඇරඹීමට සිත් වූ නමුත් එය පසුවට කල් දැමීමි.

ඊළඟට මා දුටුවේ, ගප්පියා ගේ වීඩියෝ ය. ගප්පියා වාසය කරන්නේ සිනුවරට උතුරෙන් පිහිටි නිව් කාසල් නගරයේ යැයි සිතමි. ඔහු නිර්මාණය කළ මිහිඳු හිමියන් සමග සෙල්ෆියක් ගන්නට සැරසෙන දේවානම්පිය තිස්ස රජු ගේ කාටූනය නිසා ගප්පියා පිළිබඳ සෑහෙන සාකච්ඡාවක් සිංහල බ්ලොග් ලෝකයේ ද ඇතිවිය.

මෙල්බරන් නුවර වාසය කරන පොඩ්ඩා ගේ වීඩියෝ ද මා සිත ගත්තේ ය. ඔහු නම් මේ දිනවල ලංකාවේ බව කියවේ.

"නොම් පෙන් ගේම්ස්" නාට්‍යයේ රඟ පෑ, භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර ගේ යුටියුබ් චැනලය නම් කර ඇත්තේ "මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ්" (Moron's Vines & Stuff) ලෙසිනි. එහි මේ වන විට වීඩියෝ 66 ක් අඩංගු අතර ඉන් අඩකට වඩා මම නරඹා ඇත්තෙමි.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඉසුරු කළුබණ්ඩාර තම මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර ඇත්තේ මීට වසර දොළහකට පමණ පෙර ය. ඉන් පසු සිනුවර තදාසන්නයේ චෙරිබෘක් උසස් විද්‍යාලයේ සහ යුනිවසිටි ඔෆ් ටෙක්නොලොජි සිඩ්නි (UTS) හි අධ්‍යාපනය ලැබූ ඔහු අද ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාවක නිරත වයස විසි පහක පමණ තරුණයෙකි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උගත් භාෂිත හෙට්ටිගොඩ, ගිය වසරේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙස UTS හි අධ්‍යාපනය ලැබීමටයි. ඔහු වයස විසි එකක පමණ තරුණයෙකි.

"මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ් යුටියුබ් නාලිකාවේ" මා නරඹා ඇති නිර්මාණ අතුරෙන් වැඩි කොටසක් මා සිත ගත්තේ ය. ඒ අපේ නළුවන් දෙදෙනා ගේ රංගනය සහ වීඩියෝවල අන්තර්ගතයේ අඩංගු වූ උපහාස රසය නිසා ය.

නමුත් සමහර නිර්මාණවල අන්තර්ගතය අප මීට කලින් අසා ඇති කතා අනුසාරයෙන් ගොඩ නගා ගත් ඒවා බව පෙනුණි. එසේම, එහි ඇති නිර්මාණ කිහිපයක් ඒවායේ ඇති පොලිටිකලි ඉන්කරෙක්ට්බව (not politically correct) නිසා ඉවත් කළ යුතු යැයි ද මම සිතමි.

අලුත් අදහස් උපයෝගී කරගෙන තමන්ගේ රංගන කුසලතාවය හරහා ඒවා ඉදිරිපත් කරමින් ඉදිරියට යාමට මේ තරුණ නළුවන් දෙදෙනාට සහ ඔවුන් ගේ සහය නළු, නිළි පිරිසට හොඳ ශක්‍යතාවක් ඇති බව පැහැදිලිවම පෙනේ.

යුටියුබ් අවකාශයේ ඔවුන් ගේ ඉදිරි ගමන සාර්ථකවන්නේ ඒ වීඩියෝ නරඹන පිරිස වැඩිවීම අනුව නිසා, "මෝරෝන්ස් වයින්ස් ඇන්ඩ් ස්ටෆ් යුටියුබ් නාලිකාව" නරඹා අපේ තරුණ නළුවන් දෙදෙනාට සහ ඔවුන් ගේ කණ්ඩායමට සහයෝගය දෙන්නැයි මම ඔබට යෝජනා කරමි.

ඔවුන් ගේ යූටියුබ් චැනලය: "Moron's Vines & Stuff"

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/MoronVinesAndStuff/

-රසිකොලොජිස්ට්

(Photo by Vijitha Thalpavila)

Thursday, 22 September 2016

350. අජිත් පැරකුම් ජයසිංහ ගේ මිතුරු ජයතිලක බණ්ඩාරගෙන් මා නෑසූ ප්‍රශ්නය - An evening with Jayathilaka Bandara


සැප්තැම්බර් එකොළොස්වෙනි දා සවස් වරුවේ සිනුවර තදාසන්නයේ පිහිටි අනු නගරයක් වන පැරමටා හි දී පැවැත්වුණු ජයතිලක බණ්ඩාර සමග සන්ධ්‍යාවක් නම් සංගීත ප්‍රසංගය සහ සාකච්ඡාව අවසානයේ දී එළැඹි තේ පැන් සංග්‍රහය අතරතුර මා ඇමතු නාලිකා පද්මසේන කෝ රසික ඔය ජයතිලක බණ්ඩාරගෙන් ප්‍රශ්නයක් ඇහැව්වේ නෑ නේ, මං නං හිතුවේ රසික ප්‍රශ්නයක් අහවිය කියලා යැයි පැවසුවා ය.

මම මුවින් නොබැණ මද සිනහවක් පෑවෙමි.

ජාතික සමගිය වෙනුවෙන් තම ගායන ප්‍රතිභාව මුදා හරින ගායක ජයතිලක බණ්ඩාර ගේ ඕස්ටේ‍ර්ලියානු සංචාරය මෙන්ම සිනුවර ප්‍රසංගය ද සංවිධානය කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ පිහිටුවා ඇති ලංකාවේ ජාතික සමගිය සඳහා වූ සංවිධාන කිහිපයකිනි. ඔවුන් ගේ ඒ සද්කාර්යය නිසා මා එදා ඒ සෑදෑ වරුවේ පුරා පැය දෙකක් ගී සහ ඒ පිළිබඳ පූර්වකථන පුරෝකථන අසමින් ලැබුවේ වෙන කිසි දිනෙක නොලැබූ ආකාරයක වින්දනයකි.

අසූව දශකයේ පමණ සිට සිතාර් වාදකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, සහය ගායකයෙකු සහ නිවේදකයෙකු ලෙස කටයුතු කර ඇති ජයතිලක බණ්ඩාර වැනි ප්‍රවීණයෙකු පිළිබඳව මා මුලින් ම ඇසුවේ මෑතක දී බ්ලොග් හරහා ය. අජිත් පැරකුම් ජයසිංහ ගේ W3Lanka සහ දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොග් සටහන් අතර ජයතිලක බණ්ඩාර ගැන ලිපි තිබුණි (පහත ප/ලි කොටස බලන්න). ඒ හරහා මා ඔහු ගේ ගායනා කිහිපයක් ද අසා රස විඳ ඇත්තෙමි.

ඒ සමගම පසුගිය ජඩ දශක භීම සමය අවසානයේ ජනතාව පෙළ ගැස්සවීම සඳහා තම සාධු ජන රාව නම් ගී ප්‍රසංගය පවත්වමින් රටවටා ගිය ජයතිලක බණ්ඩාර ගායකයාට පසුගිය රෙජීමයේ බත් බැලයින් ගේ මෘග ප්‍රහාරයකට ලක්වීමට සිදුවුණු බව ද මම එකල ප්‍රවෘත්ති මාර්ගවලින් දැන ගත්තෙමි.

මා මේ ප්‍රසංගය නරඹන්නට ගියේ ඒ කාරණා නිසා මිස සංගීත රසයක් විඳීමේ මූලික අරමුණකින් නොවේ. මා කලින් දිනයක කියූ පරිදි පුටුවල වාඩි වී අමුවේ ම කරන සංගීත ශ්‍රවණය මම ප්‍රිය නොකරමි. ඒ පිළිවෙතේ එකම ව්‍යතිරේකය නම් වාහනයක් පදවමින් දුර ගමණක් යන අවස්ථාවයි.

කරුණු එසේ වුවද, එදා ජයතිලක බණ්ඩාර සමග සැඳෑවේ ගත කළ දෙපැය නම් ඉතාමත් මනහර අත්දැකීමක් විය.

ඔහුගේ කටහඬ ඉතා ගැඹුරු ය. එසේම ඉතාමත් ලයාන්විතය. යම් ශෝචනීය ස්වරයක් ඒ කටහඬේ ගැබ් වී ඇත. නමුත් එය ගෙන දෙන්නේ ශෝක රසයක් ම නොවේ. යම් වීරත්වයක් ද එහි ඇත. බලාපොරොත්තුවක් ද සිත තුළ ජනිත කරවයි.

සාමාන්‍යයෙන් ගායක ගායිකාවන් තමන් ගේ ගී ගායනයට පෙර කෙරෙන විසුළු කතා එමට අසා ඇති මට, ජයතිලක බණ්ඩාර විසින් ඉදිරිපත් කළ තමන් ගේ ගීත පිළිබඳ පෙර කතා, කෙළින්ම අසන්නන් ගේ හදවත ඇමතු, සවන පිනවූ එසේම හදවත පිරවූ සාරගර්භ ආඛ්‍යාන ම විය.

ජීවිතයේ මුල්වරට දෝ මම කලාකරුවෙකු සමග ඡායාරූපයක් ගත්තෙමි!



ප්‍රසංගය අවසානයේ මට ඇති වූ එකම කනගාටුව නම්, ඔහු ගේ ඒ ගී ඇතුළත් තැටියක් මිල දී ගැනීමට නොතිබීමයි. එවැනි නිෂ්පාදනයක් තවමත් කෙරී නැති බව ජයතිලක බණ්ඩාර ඔහුගෙන් ඇසුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසී ය.

කෙසේ වෙතත් ගත වුණු දින කිහිපය තුළ යුටියුබයේ උදව්වෙන් ජයතිලක බණ්ඩාර ගේ ගී කිහිපයකටම යළිත් සවන් දීමට මට හැකි විය. එදා ප්‍රසංගයේ දී මට පටිගත කර ගන්නට ලැබුණු විනාඩි කිහිපයක හඬ පටයක් මම ද යූ ටියුබයට එක් කළෙමි.



ඒ විනාඩි කිහිපයේ දී, ජයතිලක බණ්ඩාර අපේ සහෘද බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ පිළිබඳව යම් සඳහනක් ද කරයි.

එදා මට පටිගත කර ගත නොහැකි වූ තෙන්නමරම් කලපුව නම් ගීතය යළි අසන්නට තවමත් සොයමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අජිත් පැරකුම් ජයසිංහ සහ දයානන්ද රත්නායක ලියූ මේ ලිපි ද එකතු කරමි.

1. සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා - http://www.w3lanka.com/2013/11/blog-post_21.html

2. අප එක් විය යුත්තේ ජයතිලක බංඩාර වැනි මිනිසුන් සමග ය - http://www.w3lanka.com/2014/12/blog-post_22.html

3. ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා - මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා - http://www.w3lanka.com/2013/04/blog-post_7.html

4. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ - http://aswanna.blogspot.com.au/2013/03/blog-post_20.html

Friday, 9 September 2016

පොඩි පහේ නයෙක් ඇරීමක් - Size depends


මා මේ සැරසෙන්නේ පොඩි පහේ නයෙක් ඇරීමටයි.

හැබැයි මේ අර
අපේ ලොන්ඩරි කාමරයේ ඇති කිලෝ හතේ කම්බයින්ඩ් වොෂර් සහ ඩ්‍රයර් එක ළඟින් විත්,

කුස්සියේ ඇති සිරස් දොර දෙකේ ශීතකරණ අල්මාරිය අසලින් පහළට බැස,

ඩිෂ් වොෂරයේ ගෑවෙමින්,

බිමට අල්ලා ඇති පොලිෂ්ඩ් පෝසිලේන් ටයිල්ස් දිගේ ලෙස්සමින් විත්,

නිවසේ විනෝද කාමරයේ තිබෙන අඟල් හැට පහේ අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් එක සහ සවුන්ඩ් බාර් එක මග හැර උඩ තට්ටුවට ගොස්

මාස්ටර් බෙඩ්රූමයේ බිත්තියේ එල්ලා ඇති අඟල් පනස් පහේ 3ඩී ටෙලිවිෂනය අසලින් සීලිමට නැග,

මගේ ලේඛන කටයුතු කරන කාමරයේ ඇති අඟල් විසි හතරේ ඕල්-ඉන්-වන් පරිගණකයේ සහ ලැප්ටොප කිහිපයේ ගෑවී නොගෑවී බිමට බැස,

එතැනිස් රම්පස් කාමරයට ඇදී එහි ඇති අඟල් හතළිස් පහේ ප්ලාස්මා රූපවාහිනී කට්ට දෙස ඇසක් ඇර නොබලා,

සඳලු තලය ඔස්සේ ගරාජයට බැස

අපේ සුබාරු ලිබර්ටි ෆුල් ඔප්ෂන් වාහන දෙක යටින් ඇදී ගිය
නාග රාජයාවන් ලොකු ම ලොකු නාගයෙකු නම් නොවේ.

මූ තරමක පුංචි නයෙකි.

එසේ ම මූ තරමක පැරණි නයෙකි.

කොටින් ම, මේ නයා ප්‍රමාණයෙන් ඒ-4 ප්‍රමාණයේ ය.

එසේම මේ නාකි නාග රාජයා ගේ වයස වසර විසි හතරක් ම වේ.

මෙන්න නයා!



ඒ මගේ අයිඊඑල්ටීඑස් හෙවත් ඉංග්ලිෂ් ප්‍රවීණත්වය මනින විභාගයේ ප්‍රතිඵල සටහනයි.

මා අයිඊඑල්ටීඑස් විභාගයට පෙනී සිටියේ මීට වසර විසි හතරකට පමණ පෙර 1992 දී, කොළඹ දී ය. ඒ මා ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය සඳහා යොමු කළ අයැදුම් පතට අනුව කෙරුණු මගේ කුසලතා අගැයීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස, මේ පරීක්‍ෂණයට පෙනී සිට මගේ ඉංග්ලිෂ් ඉංග්ලිෂ් භාෂා දැනුම පෙන්වන ලෙස, මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ දැනුම් දීමක් අනුව නොකරම බැරි නිසා මුහුණ දුන් විභාගයකි.

විභාගයට පෙර මුදල් ගෙවා ආදර්ශ ප්‍රශ්නෝත්තර සහ කැසට්ටුවක් ද ඇතුළත් වූ පොතක් බ්‍රිටිෂ් කවුන්සලයෙන් මිලට ගෙන තරමක පුහුණුවක් ලැබුවෙමි.

මා ලැබූ ඉහත බෑන්ඩ් අටේ විභාග ප්‍රතිඵලය නිසා මා අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ 1995 දී ය. එදා සිට දැන් විසි එක් වසරක් ජීවිතය මෙරට ගෙවී ඇත.

මා මේ ලිපියෙන් කියන්නට අදහස් කළේ, සාමාන්‍ය නයා ඇරීම් යැයි පැවසෙන විස්තර කිරීම් ඇත්තට ම අපට අත්පත් කර ගත හැකි දිරා යන භෞතික දේ වුව ද, මේ ආකාරයේ නයි ඇරීම් සඳහා උපයෝගී කර ගන්නා අධ්‍යාපනික සමත්කම් පිළිබිඹු වෙන නිමිති නම් සදාකාලිකව එක සේ වැදගත් කමෙන් යුතු දේ බවයි.

ස්වභාවික අනතුරුවලින්, සොර සතුරන් ගෙන්, රාජ සන්තක වීමෙන් මේ ආකාරයේ දේ කිසි දිනක නැති නොවේ.

"උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා!" යැයි ඒ ප්‍රසිද්ධ කවියේ කියවෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:

"ඉතිං රසික, ඔයා ඒ ප්‍රතිඵල එක්ක ඕස්ට්‍රේලියාවට ගියාම මොකද එහේ අය කිව්වේ?"

"ආ, මාව කෙළින් ම ගත්තා මෙහේ සුද්දන්ට ඉංග්ලිෂ් උගන්වන ජොබ් එකකට!"

(image: http://transyl2014.blogspot.com.au/2015/06/blog-post_12.html)

Thursday, 11 August 2016

ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!


ඔහු ගේ ජනප්‍රියතම නිර්මාණය වූ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය සමග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලූෂන් බුලත්සිංහල සමග සුහද සංවාදයකයට සහභාගීවන්නට අවස්ථාවක් ඊයේ සිනුවර වසන අපට ලැබුණි.

ඒ සංවාදය සංවිධානය කෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි. ඒ අවස්ථාවේ දී ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා පිළිබඳ කෙරුණු හැඳින්වීම සහ ඔහු විසින් කරන්නට යෙදුණු කෙටි දේශනය පහත සබැඳියෙන් නැරඹිය හැකිය.



ඒ වීඩියෝවේ දැක්වෙන දේශනය අවසානයේ දී එළැඹි ප්‍රශ්නෝත්තර සහිත සුහද සංවාදයේ දී ලූෂන් බුලත්සිංහල විසින් ඉතා වැදගත් කරුණු රාශියක් පවසන්නට යෙදුණි.

ඉන් ඉතා වැදගත් කරුණක් වනුයේ කලාකරුවා යනු කවරෙක්ද පිළිබඳව ඔහු ලබා දුන් නිර්වචනයයි.

ලූෂන් බුලත්සිංහල පැවසූ අන්දමට ලංකාවේ කලා ශිල්පියෝ ද සිටිති. කලාකරුවෝ ද සිටිති. මේ දෙපිරිස වෙන් කර හඳුනා ගැනීම කලා රසිකයින්වන අපට වැදගත් වනු ඇත.

කලා ශිල්පියා යනුවෙන් ඔහු අදහස් කළේ යම් කිසි නිසජ හැකියාවක්, සතත අභ්‍යාසය මගින් ඔප් නංවාගෙන ඒ කලා නිර්මාණය ජනතාවට ඉදිරිපත් කරන පිරිසයි.

ඒ හා සංසන්දනාත්මකව ඉහළ තලයක සිටිනා කලාකරුවන් යනු, ලූෂන් බුලත්සිංහල ඝේ නිර්වචනයට අනුව, ඔවුන් සතු ඒ කලා කුසලතාව, හුදෙක් ශිල්ප දැක්වීමකට පමණක් සීමා නොකර, එය සමාජ ප්‍රගමනය, ජනතා යහපත පිණිස යොදවන්නෝ ය. කලාවෙන් අප බලාපොරොත්තු විය යුතු සැබෑ සමාජ ප්‍රතිලාභය නම් එවැනි කලාකරුවන්ගෙන් කෙරෙන ඒ ධනාත්මක සම්මාදමයි.

කලාකරුවන් පිරිසක් නළාකරුවන් වීම සහ ඉන් මට සිනුවර දී ලැබුණු ඩොලර් වාසි පිළිබඳව ලිපියක් මම පසුගිය වසරේ දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

සැබෑ කලාකරුවෙකුට කිසිදා නලාකරුවෙකු විය නොහැකි බවත්, ඒ ඉතිහාසය පුරා නළාකරුවන් වී ඇත්තේ, නළාකරුවන් බවට පත්වෙමින් සිටින්නේ සහන අනාගතයේ දී එසේ නළාකරුවන් වනු ඇත්තේ කලාකරුවන් නොව කලාශිල්පීන් බව මට ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා ගේ ඒ කතාව ශ්‍රවණය කිරීමෙන් පසු පසක් විය.

තවත් විස්තර පසුව.

-රසිකොලොජිස්ට්