Monday, 3 August 2020

ඔබේ ඡන්දය සහ මනාප මෙන්න මෙහෙම දෙන්න - How to vote and how not to vote


ලංකාවේ මහ ඡන්දයට ඇත්තේ තව දින දෙකකි. ඡන්ද බලය හිමි පුරවැසියෙකු වුව ද විදෙස්ගතව ජීවන වන මට මෙවර කිසිසේත්තම ලංකාවට එන්නට වෙන්නේ නැත.

මා ලංකාවට පැමිණියොත් මගේ ඡන්දය භාවිතා කරන ආකාරය නම් පෙර සේම ය. වෙනත් වී නැත. ඒ ගැන පසුව ලියමි.

එතෙක් මෙන්න මෙවර ඡන්දය දිමට අදහස් කරන ලාංකිකයින්ගෙන් මා කරන ඉල්ලීම.

ඔබේ ඡන්දය දීමේ දී කරුණාකර මෙලෙස කටයුතු කරන්න.

  1. අපව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කළ හැක්කේ අප හා සමාන අයට ය. එනිසා නමින් ඇමතිය හැකි, එසේ නොමැති නම් සහෝදරයා සහෝදරිය කියා ඇමතිය හැකි අයකුට පමණක් ඡන්දය/මනාපය දෙන්න.

  2. ඔබෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයාට ඡන්දයට පෙර සහ නැතිනම් පසුව ඔබ ඇමතිය යුත්තේ මහත්තයා නෝනා හෝ මැතිතුමා තුමිය කියානම් ඔවුන්ට ඔබව නියෝජනය කළ නොහැක. ඔවුන් පාර්ලිමේන්තුවේ දී නියෝජනය කරනු ඇත්තේ ඔවුන් හා සමාන පිරිසකි. එනිසා එවැන්නන්ට ඔබේ ඡන්දය/මනාපය දෙන්න එපා.

  3. යම්කිසි ඡන්ද අපේක්ෂකයෙකු රට, ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, මාතෘ භූමිය, අම්මගෙ රෙද්ද වැනි වචන භාවිතා කරයි නම් එවන්නන්ට ඔබේ ඡන්දය මනාපය/දෙන්න එපා. ඉතිහාසය පුරාම අපේ අත්දැකීම නම් එවැනි පුද්ගලයින් අතිශය ජාතිවාදී අවස්ථාවාදීන් බවයි.

  4. අපේක්ෂක ලැයිස්තුවල සිටින කාන්තාවකට ඔබ ඡන්දය මනාපය දීමට බලාපොරොත්තු වන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් ගැන හඬ නගන අයකුට පමණක් ඡන්දය දෙන්න. එසේ නොමැතිව, "අනේ අපි කාන්තාවන් ලෙස අපිට හිමි තැන දන්නවා, අපිට උඩ මළුවට, පත්තිරිප්පුවට යන්න ඕනෑ නැහැ" වැනි පසුගාමී ප්‍රකාශ කර ඇති අයට ඔබේ මනාපය ඡන්දය දෙන්න එපා.

  5. සමාජයේ කොටසක් වන සම-රිසි ලිංගිකත්වයක් ඇති (සමලිංගික/හෝමෝසෙක්ෂුවල්) පිරිසට අපහාස කරන හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළි නොගන්නා හෝ කිසිදු අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය මනාපය දෙන්න එපා.
වෙලාව ඇති නම් මේ වීඩියෝව ද නරඹන්න.



ස්තුතියි.

-රසික සූරියආරච්චි

Saturday, 1 August 2020

සජිත් ප්‍රේමදාස සහ ඉංග්ලිෂ් භාෂාව ඉගෙනීම - Sajith's has good advice for all of us about learning English


මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ දී චිත්‍රපටියක් නැරඹූ බවයි.

ඔහු ඇතුළු මිතුරන් පිරිස එදා විභාගයේ දී ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. එකල අප පැවසූ පරිදි ලයිට් කණු ය.

ඊට වසර කිහිපයකට පෙර මා විභාගයට පෙනී සිටි අවස්ථාවේ දී ද, මගේ පන්තියේ සිටි පිරිමි ළමුන්ගෙන් එකෙකු හැර අන් සියලු දෙනාම ඉංග්ලිෂ් විෂයය සඳහා ලබා ගත්තේ ලයිට් කණු ය.

මා මුලින් සඳහන් කළ පුද්ගලයාට පසුව, එදා පාසල් සමයේ පිළිකුල් කළ එම විෂයය ම ඉගෙනගෙන පාසල් ඉංග්ලිෂ් ගුරුවරයෙකු ලෙස ජීවිකාව සොයා ගැනීමට සිදුවීම දෛවයේ සරදමකි.

වෙනස් අදහස් අතින් මෝඩ ගති පෙන්නුම් කළ ද, සජිත් ප්‍රේමදාස මේ වීඩියෝවේ පවසන අදහස එදා මෙදා සිසුන් සියලු දෙනාටම හොඳ අවවාදයකි. ආදර්ශයකි.


සජිත් මෙහි දී අප හොඳින් දන්නා වැදගත් කරුණක් කියයි. එනම් අප නොනවත්වා ම, දිගින් දිගටම ඉගෙන ගත යුතු බය ය.

ඊට අමතරව ඔහු මේ කතාවේ දී පවසන මා අගය කරන දෙය නම්, තමන් සියල්ල දත් ඉංග්ලිෂ් භාෂාවේ පරතෙර ගිය අයෙකු බව නොකියා, තවමත් වාහනයේ තිසෝරස් පොතක් තබාගෙන නිතරම ඉංග්ලිෂ් වචන ඉගෙන ගන්නා බව අවංකවම පැවසීමයි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න එදා විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඉංග්ලිෂ් විෂය සමත්වූ මට ටික දිනකින් ම සිදුවුණු මහා අකරතැබ්බයක්.

Thursday, 23 July 2020

බයි-ලොජි, බයි-මැත්ස් සහ බයි-memes : From the illiterate to the illiterate


ලංකාවේ සිටින්නේ "අරුං රට කාගෙන කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත් වූ තැන සිට රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට බාර දෙන" ඡන්දදායකයින් පිරිසක් බව අප දන්නේ අද ඊයේ සිට නොවේ. හැම ඡන්දයක දී ම පාහේ සිදුවන්නේ එයයි.

දියවන්නාවේ සිටින 225 ක් වූ අති විශාල මන්ත්‍රීලා සංඛ්‍යාව ගැන මොන මොන විහිළු කතා, අපහාස, උපහාස තිබුණ ද, මේ ශෝකී තත්වය මෙවර ද වෙනස් වෙන පාටක් නැත.

නමුත් ප්‍රශ්ණය නම්, එලෙස අරුංට, අරුංගෙන් පසු මුංට, මුංගෙන් පසු නැවතත් අරුංට ඡන්දය දෙන්නේ රටේ මහජනතාව ම වීමයි. ජනතාව කොයි තරම් අණුවනයින් වුව ද, ආණ්ඩුව යනු ජනතාවගේ තේරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජනතාවගේ මේ අණුවන කම කපටි දේශපාලුවන් සහ ඔවුන්ට කඩේ යන්නන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය හොඳින් පැහැදිළිවෙන උදාහරණ දෙකක් පසුගිය දිනවල සමාජ ජාලාවක සංසරණය වෙනු මට දකින්නට ලැබුණි.

මේ ඉන් පළමුවැන්නයි.


ජනතා බදු මුදල් නාස්ති කිරීමට සජිත් ප්‍රේමදාස මෙලෙස යෝජනා කරන්නේ ගම්බද මෝඩ සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කඩා ගැනීම සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් ඒ අමන ප්‍රකාශය උපහාසයට ලක් කරමින් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් පිළියෙල කර ඇති ඉහත memeය ඊටත් වඩා ජනතාව ගොනාට ඇන්දවීමකි.

සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පොරොන්දුවේ ඇති නිෂ්ඵල බව පෙන්වනු වෙනුවට, ඒ සඳහා මුදල් ලැබෙන්නේ ජනතාව මත පටවා ඇති කවර නම් බද්ද කොයි තරම් ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද යන්න ප්‍රශ්ණ කරනු වෙනුවට, කළ යුත්තේ මේ ආකාරයට රට පුරා ගඩොල් ගොඩවල් බැඳීම නොව, පාසල් සිසුන්ට වැසිකිලි සාදා දීම හෝ දුෂ්කර පලාත්වල වැසියන්ට පාලම් සාදා දීම නොවේදැයි ප්‍රශ්ණ කරනු වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ එලෙස චෛත්‍ය දහසක් වසර පහක් තුල සෑදිය නොහැකි බව පෙන්වීමට තැත් කිරීමයි.

ඔවුන් එසේ කරන්නේ ඉතා වංචනික ලෙස වීම මෙහි ඇති ලොකුම උත්ප්‍රාසයයි. එයින් හැඟෙන්නේ, එක්කෝ මේ දේශපාලන ක්‍රියාකාරීන්ට ගණිතය නොතේරෙන බවයි, නැතිනම් ඔවුන් උවමනාවෙන් ම ගණිතය නොතේරෙන ජනතාව අරමුණු කරගනිමින් මේ මුලාව කරන බවයි.

මෙය ඇස ගැනුණු සැනින් එම වංචාව මට වැටහුණු නිසා, මම මෙලෙස ප්‍රතිචාර දැක්වූයෙමි.
මේ චෛත්‍ය සැදීම අමන සිංහලබුඩ්ඩාගමේ උංව (බුදු දහම අනුගමනය කරන අය නොවේ!) රවට්ටන්න කියන කතාවක් වුණත් මේ meme එකේ දක්වා ඇති ගණනය කිරීම නම්, කිසිදු තේරුමක් නැති අර වගේ ම අමන කතාවකි.

අවුරුදු පහක දී අවශ්‍ය නම් චෛත්‍ය 1,000 ක් නොව දහ දාහක් හදන්න පුළුවනි. ඒ හැම එකම හදන්නේ එකම පිරිස නොවේ නේ. වැඩ බිම් 10,000 ක ප්‍රොජෙක්ට් ටීම් 10,000 ක් යොදවා, අවශ්‍ය නම් එකම දවසේ වැඩ අරඹා, අවශ්‍ය නම් වසර පහක් වුව ද කල් ගෙන ඒ ගොඩනැගීම් පහසුවෙන් අවසාන කළ හැකියි.

චෛත්‍ය සංඛ්‍යාව, වසර පහේ ඇති මාස ගණනින් බෙදා ඇත්තේ සජිත් ප්‍රේමදාස රවටන්නට උත්සාහ කරන මෝඩයින් පිරිස නොව වෙනත් මෝඩයින් පිරිසක් රැවටීම සඳහා ය.
මෙන්න මා දුටු දෙවන meme ය.


පෙර අවස්ථාවටත් වඩා මෙහි ඇති කණගාටුව නම්, මෙය බොහෝවිට නිර්මාණය කර ඇත්තේ සහ බෙදා හරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදීන් වීමයි. ඔවුන් මෙයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ පැවති කණගාටුදායක තත්වය නිමා කර මෙවර මහ ඡන්දයේ දී ඔවුන්ගේ ඡන්ද අපේක්‍ෂකයින් වැනි, දුෂණ චෝදනා නැති, උගත්, සාපේක්‍ෂව තරුණ පිරිසක් ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

ඒ සියල්ල සත්‍යය බව පැහැදිලි නමුත්, ඔවුන් මේ සඳහා උපයෝගී කරගෙන ඇති රූපය දැක මට සිනහව නවත්වා ගත හැකි වුනේ මිනිත්තුවකට දෙකකට පසුවය.

මෙය බෙදා හැර තිබෙනු මා මුලින්ම දුටු මගේ ෆේස්බුක් මිතුරාට මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.
දැන් ඔබ බෙදා හැර ඇති මේ පයි ප්‍රස්තාරයට අනුව:

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ලෙස සිටි බාර් ලයිෂන් ඇති 110 දෙනාම උසස් පෙළ සමත් තරුණ අය ද?

උසස් පෙළ අසමත් සහ සාමාන්‍ය පෙළ අසමත් සංඛ්‍යාවෙන් 222 ක් බව පෙනෙන හිටපු මන්ත්‍රීන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද? ඔවුන් සියළු දෙනාම තරුණ අය ද?

මහළු මන්ත්‍රීලා 69 දෙනාම උසස් පෙළ සමත් අය ද? ඔවුන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද?

මෙහි පෙනෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 401+ සිටියේ කොයි රටේ ද?
මේ memeය බෙදා හැර තිබෙනු මා දුටු ෆේස්බුක් මිතුරා උසස් පෙළ සඳහා ගණිතය විෂයට උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව මා දන්නා නිසා මෙසේ ද ඇසුවෙමි.
වෙන් රූපයක් මගින් පෙන්විය යුතු දත්ත සඳහා මෙලෙස පයි ප්‍රස්තාරයක් යොදා ගෙන ඇත්තේ කවර හෙයින්දැයි ඔබේ සිසුවෙකු ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?
මා සිතන විදියට, මෙය දුටු සැනින් වැඩිදුර නොසිතා මේ සාවද්‍ය අදහස් ඉදිරිපත් කෙරෙන memeය බෙදා හැර තිබූ මගේ ෆේස්බුක් මිත්‍රයා මට ස්තුති කර පිළිතුරු දෙනු වෙනුවට කළේ එය වහාම මකා දැමීමයි.

ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.

එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!

මට මෙහි දී අවසානයට කීමට ඇත්තේ මෙයයි.

ගණිතය පිළිබඳ විශාරදයෙකු වන මගේ මිත්‍රයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීලා අනූ හය දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බව ඇතුළු වෙනත් කරුණු ඇතුළත් කරමින් පෙර කී පයි ප්‍රස්ථාරය සෑදු පුද්ගලයා, සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයෙකු නම් විය නොහැක!

-රසික සූරියආරච්චි

ප/ලි:
පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අප ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මගේ අදහස් පහත වීඩියෝවේ දක්වා ඇත.


(images: (1) https://www.economist.com/international/2014/04/05/making-their-mark (2 & 3) Shared on Facebook. Copyright unknown)

Saturday, 18 July 2020

"පිං අංකේ" හෙවත් බැංකු කතාවේ කඩඉමක් - Wow, what a feeling!


මා කුඩා කාලයේ අම්මා ඇරඹූ තැපැල් කන්තෝරු ඉතිරි කිරීම් ගිණුමේ තිබුණු සුළු මුදළ ආපසු ගෙන උසස් පෙළ අවසාන වූ පසු සමයේ මගුල් ගෙදරකට කළිසම් කමිස ගත් හැටි සහ ඉන්පසුව දිගු කාලයක් බැංකුවලින් බේරී සිටි මට අවසානයේ ගිණුමක් ඇරඹීමට සිදු වූ හැටි මීට කලින් පළ කළ සටහන් දෙකේ මම ලිව්වෙමි.

නොකරම බැරිවුණු නිසා සිකුරාදාවක එලෙස ලංකාවේ බැංකුවක ගිනුමක් අරඹා, ඉන් පසුදාම පශ්චාත් උපාධියක් සඳහා විදෙස් ගත වූ මට ඊළඟ සඳුදාම නැවත බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සිදුවිය.

මගේ බැංකු ගිණුම් ඉතිහාසයේ කඩඉමක් ලෙස සැළකිය හැකි ඒ අවස්ථාව පිළිබඳ අතුරු කතාවක් මෙලෙස කෙටියෙන් ලියන්නට සිත්විය.

එලෙස මා විදේශයක දී ඇරඹූ ගිණුම කඩඉමක් වන්නේ මා මුලින්ම ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ලැබුවේ ඒ ගිණුම සඳහා වූ නිසා ය.

මේ 1988 වසර විය. එවැනි කාඩ් ලබා දෙන බැංකුවක් එකල ලංකාවේ ද තිබුණු බව මම දැන සිටියෙමි. ඒ විදෙස් බැංකුවක් වූ හොංකොං සහ ෂැන්හයි බැංකුවයි. ඔවුන්ගේ ශාඛා පිහිටියේ එකක් පමණක් නිසා සහ එය ද පිහිටියේ කොළඹ කොටුවේ නිසා අප වැනි ගම්බයියන්ට එවැනි සීමිත වූ පහසුකමක අවශ්‍යතාවක් එකල නොතිබුණි.

නමුත්, මේ විදේශයේ දී මට මෙලෙස බැංකු ගිණුමක් ඇරඹීම අනිවාර්ය වූයේ පශ්චාත් උපාධිය හදාරන කාලයේ දී මට ලැබෙන ශිෂ්‍යත්ව මුදල ගෙවන්නේ ගිණුමකට පමණක් වීම නිසා ය.

මා සමග ඒ උපාධිය හැදෑරීමට ගොස් සිටි පිරිස අතර ලංකාවේ වෙනත් සිසුන් තිදෙනෙකු ද විය. අප තිදෙනා සඳුදා ඇරඹූ බැංකු ගිණුමට අපට එදින ම හෝ පසුදා පෙර කී පරිදි ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද ලැබුණි.

මේ සටහන කියවන සෑම දෙනෙකුට ම අද මෙය අති සරල කරුණක් ලෙස පෙනී ගිය ද, එය අප ලැබූ නවමු අත්දැකීමක් විය. ඒ සමගම අපට කාඩ් එක සමග භාවිතා කිරීමට පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් හෙවත් රහස්‍ය "පිං අංකයක්" ද ලැබුණි.

ඒ රහස්‍ය අංකය ඉලක්කම් හතරකින් සමන්විත විය.

එය මතකයේ තබා ගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ ලියා නොතබන ලෙසත්, අන් කිසිවෙකුට ලබා නොදෙන ලෙසත් අපට උපදෙස් ලැබුණි.

මෙහි දී මා ලද විනෝදජනක අත්දැකීමක් මෙසේ ය.

අප ලාංකික සිසුන් සිව්දෙනා මේ කාඩ් එක ගැනත් පිං අංකය ගැනත් කතාබහ කරමින් සිටියෙමු. මේ සිව් දෙනාම ගණිතය හැදෑරූ මැවිසුරු උපාධිය ලද අය වූහ.

දැන් මේ "පිං අංකයේ" තියෙන්නේ ඩිජිට්ස් හතරයි නේ. එතකොට කොච්චර කම්බිනේෂන් තියෙන්න පුළුවනි ද එකෙකු ඇසීය.

ගණිතයේ කෙල පැමිණි සිටි අනෙකෙකු වහා ගණං හැදීම ඇරඹීය.

"පළමුවෙනි ඩිජිට් එකට බින්දුවේ ඉඳලා නමය වෙනකං ඔප්ෂන්ස් දහයක් තියෙනවා. දෙවෙනි තැනටත්, තුන්වෙනි සහ හතරවෙනි තැන්වලටත් එහෙමයි, එතකොට දහය වැඩිකිරීම දහය වැඩිකීරීම... .... ....."

"මොනවද මචං ඔච්චර ගණං හදන්න තියෙන්නේ, බින්දුවේ ඉඳලා 9999 දක්වා තියෙන්නේ හරියටම දහ දාහයිනේ!" මම කියා සිටියෙමි.

ඊට තත්පර කිහිපයකට පසු මගේ මිතුරා ද, තම කම්බිනේෂන්ස් සහ පර්මියුටේෂන්ස් ගණනය කිරීම මගින් ඒ පිළිතුර සොයා ගත්තේ ය!

හදිස්සියට කොරහේ අත දාන්න බැරිවෙනවාය කියන්නේ එවැනි අවස්ථාවලට යැයි සිතමි.

නැවතත් ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද සහිත ගිණුම පිළිබඳ කතාවට යතොත්, මේ ගිණුමේ මාසික සුළු අය ප්‍රමාණයට සමානවම මාසය පුරා වැය සිදු වූ නිසා, එහි රැඳුණු මුදලක් නැති වුව ද, උදේ පාන්දර, සවස් කාලය, රාත්‍රිය, මැදියම කියා වෙනසක් නොමැතිව ද, බැකුවේ විශ්වවිද්‍යාල ශාඛාව, අසල කඩ මංඩියේ ශාඛාව හෝ මහ නගරයේ ඇති විවිධ ශාඛා ද කියා වෙනසක් නොමැතිව තියෙන තුට්ටු දෙක අපට ඉතා පහසුවෙන් ආපසු ලබා ගත හැකි වීම අප ලැබූ විශාල පහසුකමක් විය.

මා ඒ ගිණුමට මෙන්ම, බැංකු කාඩ් එකට ද කෙතරම් ඇළුම් කළේ ද යත්, අධ්‍යාපනය නිමවා, පශ්චාත් උපාධිය ලැබ, ආපසු ලංකාවට ඒමට පෙර ගිණුමේ ඇති මුදල් සියල්ල රැගෙන එය වසා දැමීමට මට නොසිතුණි. ඒ, එවිට මගේ බැංකු කාඩ් එක ද බැංකුවටම ආපසු දෙන්නට වේ යැයි සිතුණු නිසා ය.

එනිසා ගිණුමේ ඉතා සුළු මුදලක් ඉතුරු කර මගේ සිහිවටනය වූ බැංකු කාඩ් එක ද රැගෙන ලංකාවට පැමිණියෙමි.

මෙයින් වසර හතර හමාරකට පසු, මා වෙනත් ගමනක අතර මැද මේ නගරයේ ද දින දෙකක් ගත කිරීමට සිදුවෙන බව දැන මගේ සිහිවටන බැංකු කාඩ් එක ද රැගෙන ගියෙමි.

අහෝ!

ගිනුමේ ගණුදෙනු කටයුතු සිදු නොවන බැවින් අවම ශේෂය නැති මාස සඳහා සුළු මුදලක් බැගින් කපා ගෙන, ඒ වන විට ඔවුන් මගේ ගිණුම අහෝසි කර දමා තිබුණි.

-රසික සූරියආරච්චි

Thursday, 16 July 2020

පඩි පැකට්ටුව සහ බැංකු ගිණුම - Do we need banks?


පොඩි කාලේ අම්මා විසින් අරඹන ලදුව තැපැල් කාර්යාලය හරහා ගනුදෙනු කටයුතු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් මට තිබුණි. ශත විසිපහ, පනහ, රුපියල බැගින් ගෙවා බැංකු පොතේ විශේෂ මුද්දර වර්ගයක් අලවා මේ ගිණුමේ මුදල් තැන්පත් කරණ ලදී. සල්ලි දැමීම මිස ආපසු ගැනීමක් ගැන එකල නොසිතුවෙමි.

ඒ සුවිශේෂී අවස්ථාව උදාවුණේ මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය. එදා, මගේ ළමා ගිණුමේ තිබූ මුදලින් කොටසක් රැගෙන පුංචි අම්මාගේ මංගල උත්සවය සඳහා මයුරා (ජිල්) සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිසයක් මිලට ගත් බව මට අද ද හොඳින් මතකයේ ඇත්තේ එතෙක් ටේලර්-මේඩ් කලිසම් සහ කමිස ඇඳී මා මුලින් ම මිලට ගත් රෙඩි-මේඩ් ඇඳුම් ගත්තේ එලෙස නිසා ය.

විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ද, ඉන්පසුව, පළමුවෙනි, දෙවෙනි තුන්වෙනි රැකියාවේ නිරතවෙන කාලයේ ද මට බැංකු ගිණුමක අවශ්‍යතාවක් ඇති නොවුණි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමයේ නිවසෙන් ද, ඥාතීන්ගෙන් ද ලැබුණේ මුදල් ය, තැපැල් ඇණවුම් ය. භාවිතා කළේ සල්ලි කොළ සහ කාසි ය. අතට ලැබෙන තුට්ටු දෙකට බැංකු ගිණුම් අවශ්‍ය නොවුණි.

රැකියාවට ගිය පසු ද, අපට මාසික පඩි ලැබුණේ මුදල් කොළවලින් ලියුම් කවරයක බහා පඩි-පැකට් එකක් ලෙසිනි. ඒවා නැවත බැංකුවට දැමීමට යෑම කාලේ කා දැමීමක් විය.

ඒ දිනවල මා මගේ ආදායම කළමනාකරණය කළේ මෙලෙසයි.
පඩි දිනයේ දී ලැබෙන පඩි පැකට්ටුව කමිසයේ උඩ සාක්කුවේ දා ගනිමි.

එයින් රැගෙන වියදම් කරමි.

මාරු කාසි පර්ස් එකට දමමි.

නවාතැනට ගිය විට, පඩි පැකට්ටුව මේසය මතට දමමි.

පසුවදා සේවයට යන විට එදින අඳින කමිසයේ රුවා ගනිමි.

ඇතැම් මාසවල සීයේ කොළයක් දෙකක් ඉතිරිවේ. ඒ වන විට පඩි පැකට්ටුව හෙවත් ලියුම් කවරය ද නැමී, ඉරී, කල් ඉකුත් වී ඇත. එසේ ඉතිරිවන මුදලක් වෙහොත් එය ඊළඟ මාසයේ පැකට්ටුවට එකතු කරමි.

ජරාජීර්ණ වූ පසුගිය මාසයේ පඩිය බහා තිබුණු ලියුම් කවරය කාර්යාලයේ කුණු බක්කියට දමමි.
මා කළ තුන්වෙනි රැකියාවේ දී, මා සමග මැවිසුරුවන් දහ දෙනෙකු සේවය ඇරඹූහ. ඔවුන්ගෙන් සමහරෙකුට බැංකු ගිණුම් තිබෙන්නට ඇත. එලෙස නොතිබුණු අයගෙන් මා හැර අන් අය සේවා ස්ථානය නුදුරින් තිබුණු අතුරුගිරියේ ලංකා බැංකුවට ගොස් ගිණුම් ඇරඹූහ.

ඒ පඩියෙන් කොටසක් ඉතුරු කිරීම සඳහා විය යුතුයි. මක් නිසා ද යත්, අපට පඩි ලැබුණේ මුදලින් බැවිනි.

එසේ නමුදු මගේ ඒ බැංකු රහිත සරල ජීවිතය වෙනස් කිරීමට වසර එකහමාරකට පමණ පසුව සිදුවිය.

එයට හේතුව වූයේ, මට පශ්චාත් උපාධියක් හැදෑරීම පිණිස, විදෙස්ගතවීමට අවස්ථාවක උදා වීමයි. මා සේවය කළ ලංකා වානේ සංස්ථාව රාජ්‍ය ආයතනයක් වූ නිසා ඒ කාලය සඳහා පඩි සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට ද මට ඉඩකඩ තිබුණි.

මගේ පාඨමාලාව ඇරඹීමට නියමිතව තිබුණේ සඳුදාවක ය. මට ඒ අධ්‍යාපන ආයතනයට යාමට ගුවන්ටිකට් පත් ලැබී තිබුණේ ඉන් දින දෙකකට පෙර සෙනසුරාදා ය. කල් තියාම අයැදුම් කළ නමුදු, පඩි සහිත නිවාඩු අවසරය මට ලැබුණේ බ්‍රහස්පතින්දාවක දිවා කාලයේ ය. මේවන විට සංස්ථාව අසල තිබුණු ලංකා බැංකු ශාඛාව දේශප්‍රෙමී කඩතුරාවකට මුවා වී ජනතාව අතර ජාතිවාදය ඇවිස්සූ ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් ගිනිබත් කර තිබුණු අතර මට අධ්‍යයන නිවාඩු කාලයේ වැටුප් ලබා ගැනීම සඳහා පිරිස් පරිපාලන අංශයට තොරතුරු ලබා දීම සඳහා බැංකු ගිණුමක් එදින ආරම්භ කළ නොහැකි විය.

දැන් ඉතිං මක් කරන්නද?

පසුදා නවාතැන අතහැර නිවෙසට යා යුතුය. සෙනසුරාදා උදේ පාන්දරින් ගුවන් තොටුපොළට යෑමට සිටියේ නිවසේ සිට දෙමව්පියන් ද සමග ය.

ළඟම බැංකුව පිහිටියේ කඩුවෙල නගරයේ වූ අතර අපේ ජ්‍යෙෂ්ඨ සගයෙකු වූ සුමනසිරිගේ බිරිඳ සේවය කළේ එහි නිසා, පසුදා උදෑසන එහි ගොස් ඇයගේ ද උපකාරයෙන් එහි ගිණුමක් ඇරඹුවෙමි. මට මතක ආකාරයට ඒ දිනවල (1988) ගිණුමක් ඇරඹීමට නම් වෙන අයෙකුගේ ද අත්සනක් අවශ්‍ය විය. මා උදක් ම කඩුවෙල ගියේ ඒ නිසා ය.

ඒ මාසයේ සිට තවත් මාස විස්සක කාලයක් පුරා මගේ පඩිය සංස්ථාව විසින් ඒ ගිණුමට බැර කරණ ලදී.

මගේ බැංකු ගනුදෙනුවල ආරම්භය එලෙස විය.

-රසික සූරියආරච්චි

ප/ලි
බැංකුවක සිද්ධියක් ගැන මා ලියූ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, මගේ බැංකු ඉතිහාසය ද, බැංකු අත්දැකීම් ද, ඒ හා සම්බන්ධ වෙනත් දේ ද, ලියා රසිකොලොජියේ පළ කිරීමට සිතුණි.

මේ ඒ ලිපි මාලාවේ දෙවෙනි ලිපියයි.

මෙන්න මුල් ලිපිය:
බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights
https://rasikalogy.blogspot.com/2020/07/know-your-rights.html


(image: )

Tuesday, 14 July 2020

බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights



මීට වසර දෙකකට පමණ පෙර මට ලංකාවේ දී හදිසියේ මුදල් අවශ්‍යතාවක් ඇති වූ අතර ඒ මොහොතේ මට මා ලංකාවට මුදල් යැවීම පිණිස සාමාන්‍යයෙන් භාවිතා කරන මගේ ඕස්ටේ‍ර්ලියානු බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් උද්ගත වී තිබුණි.

එයට හේතුව වූයේ නම් ලංකාවේ ජංගම දුරකථන සඳහා සැපයෙන එස්එම්එස් හෙවත් කෙටි පණිවිඩ සේවාවේ ඇති සීමාකම් ය. උදාහරණයක් ලෙස අපට ඕස්ටේ‍ර්ලියාවේ දී එස්එම්එස් එකකට ඡායාරූපයක් හෝ ලියවිල්ලක් හෝ වෙනත් ගොනුවක් අමුණා යැවීමට හැකි නමුදු (මෙය එම්එම්එස් ලෙස හැඳින්වේ) ලංකාවේ එසේ කළ නොහැක. ඒ සඳහා වයිබර් හෝ වට්ස්ඇප් භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී මට සිදු වූයේ මට අවශ්‍ය මුදල් හුවමාරුව අනුමත කිරීමට සඳහා මගේ ඕස්ටේ‍ර්ලියානු බැංකුවෙන් ලංකාවේ මගේ ජංගම දුරකථනයට එවන රහස් අංකය (One Time Authorisation Code) සහිත එස්එම්එස් එක මට නොලැබීමයි.

එවිට මට සිහිවුනේ මගේ පරණ රුපියල් ගිණුමක සුළු මුදලක් ඉතිරිව තිබෙන බවයි. එය ලබා ගැනීමට මම ඒ බැංකුවේ පිළියන්දල පිහිටි ශාඛාවට ගියෙමි.

මේ ගිණුම සඳහා මට විසිපස් වසරකට පෙර නම් ඒටීඑම් කාඩ් පතක් තිබුණ ද, දැන් එය වලංගු නැත. එනිසා, අදාළ ෆෝර්මය පිරවූ මම කවුන්ටරයක පොඩි පෝලිමක ද මද වේලාවක් ගත කර කවුන්ටරයේ සිටි බැංකු සේවකයාට එය මගේ ජාතික හැඳුනුම්පත ද සමග භාර දුන්නෙමි.

ඒටීඑම් කාඩ් එකක් නැති නිසා, මගේ අත්සන දෙවෙනි තට්ටුවේ මැඩම්ගෙන් සහතික කරගෙන ඇයගේ අත්සන යොදාගෙන එන ලෙස කවුන්ටරයේ සිටි බැංකු සේවකයා මට පැවසීය.

එවිට මා ඔහුට පවසා සිටියේ මෙයයි.
ඒ ආකාරයට මැඩම්ලාගෙනන් අත්සන් ගැනීම මගේ අවශ්‍යතාවක් නොවේ. එය බැංකුවේ අවශ්‍යතාවක් නම් එය සපුරා ගැනීම ඔබේ වගකීමයි. පාරිභෝගිකයා වෙන මට එය ඉටු කිරීමට කියා සිටීම වැරදි කටයුත්තකි.

ඔබට අවශ්‍ය නම් මැඩම්ගෙන් නොව සභාපතිගෙන් හෝ අත්සන ගෙන එන්න.

මට මගේ සල්ලි දෙන්න. තෑන්ක් යූ!
මගේ කතාව ඇසුණු බිම් මහලේ ම සිටි වෙනත් මැඩමෙකු විසින් කවුන්ටර සේවකයා ලවා එම ෆෝර්මය ගෙන්වාගෙන අදාල අස්සන ගසා දුන්නා ය.

මම මුදල් රැගෙන මගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගියෙමි.

මට වැටහුණු පරිදි මෙය මෙකී බැංකුවේ සේවා සැපයිමේ ක්‍රියා පරිපාටියේ ඇති වරදක් නොව, සේවකයා තමන්ගේ කම්මැලිකම නිසා තමන්ගේ රාජකාරියේ කොටසක් මා ලවා කරවා ගැනීම කළ උත්සාහයකි.

මා දන්නා පරිදි, බැංකුවල මැඩම්ලා හෝ සර්ලා හෝ වෙනත් බාස්ලා නැත. එහි ඇත්තේ දෙපිරිසකි. ඒ පාරිභෝගිකයින් සහ බැංකු සේවකයින් ය.

පාරිභෝගිකයින් එහි යන්නේ සේවාවක් ලබා ගැනීමටයි. එම සේවාව සැපයීමට බැංකුව බැඳී සිටී. බැංකු සේවකයින්ගේ යුතුකම එම සේවාව ඉටු කිරීමයි.

තමන්ගේ මුදල් ආපසු ගැනීමට ඉල්ලා අයදුම්පත සම්පූර්ණ කර අත්සන් කර එය ලබාදීම පාරිභෝගිකයාගේ වගකීමයි. එය ඉහළ නිලධාරියකු විසින් අනුමත කළ යුතු නම්, එය බැංකුවේ අවශ්‍යතාවකි. බැංකුවේ අභ්‍යන්තර වැඩ කටයුතු කිරීම පාරිභෝගිකයින්ගේ වගකීම නොවේ.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, රසිකොලොජියේ ද පළ කිරීමට සිතුණි.

(image: http://www.legalserviceindia.com/legal/article-557-consumer-rights-.html)

Saturday, 27 June 2020

දින සීයයි, වීඩියෝ සීයයි - Celebrating a double century with Rasikalogy on YouTube


ඊයේ මගේ ජීවිතයේ වැදගත් දිනයකි.

එයට එකම හේතුව වූයේ මා මෑත ඉතිහාසයේ යම් අරමුණක් වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර, ඇති වූ විවිධ සුළු සුළු බාධක මගහැර ගනිමින් නොනැවතී ක්‍රියාත්මක වී, අවසානයේ මා බලාපොරොත්තු වූ කාරණය ඉෂ්ට කර ගැනීමයි.

වෙනත් වචනයෙන් කියනවා නම්, පසුගිය මාර්තු මස 19 දින ඇරඹුණු මගේ Rasikalogy නම් යූටියුබ් වීඩියෝ නාලිකාවේ දින සියයේ සංවත්සරය යෙදුණු ඊයේ දිනයේ දී මට එහි සියවන වීඩියෝව පළ කරගත හැකි විය.

මේ "දින සීයයි, වීඩියෝ සීයයි" යන අධිෂ්ඨානය මා මේ ව්‍යාපෘතිය ආරම්භයේ දී මා සිතේ තිබූ එකක් නොවේ.

මා මුලින් සිතා සිටියේ (දිනකට එකක් ලෙස නොවුණත්) වීඩියෝ පනහක් පමණ සාදා, පළ කර, ඉන්පසු තවදුරටත් කුමක් කරන්නේ ද යන්න සිතා බැලීමයි. වීඩියෝ පනහේ කඩඉම පසු කරන විට ඒ සඳහා දින පනස් තුනක් ගත වී තිබුණි. වීඩියෝ සීයක් දක්වා සාදන්නෙමි ය යන අධිෂ්ඨානය ඇති වූයේ එදා ය. නමුත්, දින ගණන සහ වීඩියෝ ගණන අතර පැවති ඒ වීඩියෝ තුනක හිඟය පියවා ගැනීම සිතුවාට වඩා දුෂ්කර කටයුත්තක් විය.

මේ කෙටි සටහනේ අරමුණ පසුගිය දින සියයක කාලය තුළ මා නිරත වූ ඒ ව්‍යායාමය අතරතුර මා ලත් අත්දැකීම් විස්තර කිරීම නොවේ. එය වෙනම තැබිය යුතු සටහනකි. බොහෝ විට තවත් වීඩියෝවකි.

දින සියයක්, වීඩියෝ සියයක් අවසානයේ උදාවුණු මේ කඩඉමේ මා මටම ප්‍රදානය කර ගත් තාවකාලික ඉසුඹුව අතරතුර මේ සටහන පළ කරන්නේ, වීඩියෝ විසිපහේ, වීඩියෝ පනහේ සහ (හැත්තෑ පහේ කඩඉම අමතක වූ නිසා) වීඩියෝ අසූවේ කඩඉම් පසු කළ විට මා කළාක් මෙන් ඒ වීඩියෝ ලයිස්තු බ්ලොග් අඩවියේ පළ කිරීමයි.

මෙන්න ඒ වීඩියෝ සියයය, සියවැන්නේ සිට මුල්ම වීඩියෝව දක්වා අනුපිළිවෙලට.


100. පාරේ ඉන්න ගණිකාවක් හඳුණා ගන්නේ කෙසේ ද?




99. චීන කෑම දෙජාතියක්




98. "වරම් නැත මට" (ජයනාත් සමන් ජිනදාස සමග ධම්මිකා දේවසුරේන්ද්‍ර)




97. තිස්සප්පච්චිගේ ආගම් මාරුව




96. කෝවිඩ්19 ගමන් තහනම් ඉවත් කළ පසු විනෝද චාරිකාවක් ගියෙමු




95. ළමයින්ට එන ලියුම් දෙමව්පියන් විසින් හොරෙන් කැඩීම




94. හාමුදුරුවෝ සරෙන්ඩර්




93. රෂ්මිගේ ඊසි-පීසි නවකතාව




92. කවුද අද පාන් නොකා




91. තේ එකක් බොමුද මචං හෙවත් ආගන්තුක සත්කාරය




90. ඔබ සාරි අඳින පුටු දැක තිබේ ද?




89. "මළ කෙලියයි" පරිප්පු මැල්ලුම




88. Unboxing and Wine Tasting - Rasika the Connoisseur




87. සම්මුඛ පරීක්‍ෂණයක ජොලි කතාවක්




86. මදක් විවෘතව තැබීම




85. ධර්මිෂ්ඨ සමාජය




84. සදය උපහාසය සහ හිටපු මිතුරා




83. අවසානය (මාටින් නීමොලර්) : First they came (Martin Niemöller)




82. ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම




81. කන අයට කන්න, නොකන අයට කෙළ ගිලින්න - ගව මස් ව්‍යංජනය




80. ගව මස් කන අයට කුණුහරුපෙන් බැනීම




78. යෝධයෝ සහ කුරුමිට්ටෝ - අපේ වීරයින් කුරුමිට්ටන් වූ හැටි




79. ලංකේණ්ඩියා - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්




77. ජා-ඇල ඇන්ටිගේ චීන මොලේ




76. Street Music from suburban Sydney in Australia.




75. කොල්ලා ලොකු වෙලා




74. වින්ටරයේ මුල් දවසේ ඔසී ගමක පොඩි රවුමක්!




73. විස්ස විජ්ජාජලය සහ දුටුගැමුණු කයිය




72. රෑට කන්න කොරෝනා ටින් මාළු ඉව්වා!




71. පිට රට දේ, සිරි සැප දේ...!!!




70. නොට්ටිගේ පුතාගේ ජාන




69. මටාටා ටිටා ද ටිටාටා මටා ද?




68. Heavy rain and blue train in Sri Lanka - April 2019 - A very short video.




67. වලියට බරද? - Me no fighter




66. ඇන්ටිගෙ කතාව




65. විජේසේනගේ පෙම් ගී ප්‍රශ්ණය




64. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා




63. බීෆ් ස්ටර් ෆ්‍රයි - හරක් මස් තීරු තෙම්පරාදුව




62. ලඞ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල




61. පුතා පන්තියේ කී වෙනියා ද? - Dux or Dud




60. අරක්කු ඕනා, කෝක් වානා - A classic case of economics




59. සීලවතී සිල් අරගෙන




58. මා ලියූ කවි පන්තියක් හැකි අයුරින් ගායනා කර, වීඩියෝවක් ලෙස බෙදා හැරියෙමි!
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?




57. කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දන්දුන් කතාව




56. මී හරක් ගිනියම කුමක්දැයි දන්නවා ද?




55. මගේ මේ උස්සාහය අමුතුම අමුද්‍රව්‍යයක් යොදා හාල්මැස්සන් උයන්නයි.




54. සුද්දට පාර කියපු හැටි - Giving directions in English




53. ශිෂ්‍ය නායකයින් කාගේ නායකයින් ද? මෙය පාසල් සමයේ දී මට ඇති වූ ප්‍රශ්ණයකි.




52. අක්කිගෙ නුවණ




51. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරයක් ගැන ගැයෙන ගීතයක්




50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?




49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?




48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?




47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich




46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone




45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats




44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula




43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes




42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel




41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down




40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia




39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference




38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles




37. COVIDSafe App - An Australian Government Initiative




36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest




35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card




34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya




33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me




32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife




31. චක්කරේ Chakkare - Generation to Generation




30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories




29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World




28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී




27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා




26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!




25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music




24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි




23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!




22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?




21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්




20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්




19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී




18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි




17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්




16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍




15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?




14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි




13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?




12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!




11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම




10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)




9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම




8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි




7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද




6. Jokku Size : ජොකාගේ සයිස් එක




5. Jokku Kathandara : ජොක්කු කතන්දර




4. Jangi Hora : ජංගි හොරා




3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?




2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?




1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්




යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

විජේසේනගේ පෙම් ගී ප්‍රශ්නය - It was a difficult situation to manage in 2005


අවුරුදු දාසයයි මාසයේ දී මා මුලින්ම ගී පදමාලාවක් ලියුවේ පාසල් යනෙනවිට දුම්රියේ දී ඇසු ගැටුණු මානවිකාවියක් පිළිබඳව ඇතිවුණු පෙම් සිතුවිලි නිසා ය. කලක් තිස්සේ ඒ ආකාරයෙන් පෙම් කවි ලියවෙමින් තිබුණු අතර මට වැටහී ගියේ ඒ ඇතැම් කවි පන්තිවල යම් විරිතක් ඇති නිසා ඒවා ලෙහෙසියෙන් ම පෙම් ගී පදමාලා ලෙස නිර්මාණය කළ හැකි බවයි.

සාමාන්‍ය අච්චුවේ සිංහල ගීතයක ඇත්තේ කොටස් තුනකි. ස්ථායි හෙවත් කෝරස් නමින් හැඳින්වෙන මුල් කොටස සහ අන්තරා හෙවත් වර්ස් නමින් හැඳින්වෙන සාමාන්‍යයෙන් එකම තාලයකින් යුතු දෙවෙනි සහ තෙවැනි කොටස් දෙකයි.

මා කළේ ඒ ආකාරයෙන් සැකසූ ගී පදමාලා විසිපහක් එකතු කර ඒ නමින් ම අත් පිටපතක් සාදා (ඊට පෙර සහ පසුව මා ගී එකතු තුන හතරක්, කෙටිකතා එකතු දෙකක් සහ කෙටි නවකතාවක් සම්බන්ධයෙන් කළාක් මෙන්) එය ලාච්චුවකට දැමීමයි.

වෙනත් විකල්ප පිළිබඳව සිහිනයකින් හෝ මට කිසිවක් සිතුණේ නැත.

ඊට දශක කිහිපයකට පසුව ද, මේ ආකාරයේ ම අවස්ථාවක්, එනම් යළිත් කවි සිත් පහළ වී ගී පදමාලා ලියවෙන්නට පටන් ගත් කල් හී, අත්පිටපතක් සෑදීමට අමතරව මට විකල්පයක් තිබුණි.

එය නම් ඒ වන විට (2005) මා හඳුනා ගෙන තිබුණු නවතම ඩිජිටල් ප්‍රකාශන මාධ්‍යයක් වූ බ්ලොග් අඩවියක් අරඹා එහි මගේ මේ දෙවන ඉනිමේ ගී පදමාලා පළ කිරීමයි.

ඒ බ්ලොග් අඩවිය මා හැඳින්වූයේ පෙම් ගී (pemgee.blogspot.com) ලෙසිනි. පුරා වසර පහළොවක් ගතවුණ ද අද ද එය නිරුපද්‍රිතව ඇත.

ඒ මුල් කාලයේ පෙම් ගී අඩවිය හා සම්බන්ධ මගේ අත්දැකීමක් පහත වීඩියෝවේ දැක්වේ.



එදා පෙම් ගී අඩවිය අරඹා, මා සැකසූ පෙම් ගී පදමාලා විසිපහක් පමණ එහි පළ කිරීමේ දී මගේ අදහස වුණේ, අන්තර්ජාලයේ සැරිසරන ගායනට ප්‍රිය කරන කවරෙකු හෝ ඒවා දැක ඒවා සඳහා තනු නිර්මාණය කර ගීත ලෙසින් ඉදිරිපත් කරාවිය කියා ය.

මගේ ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙන්නට තවත් සෑහෙන කලක් බලා සිටිය යුතු විය.

ඒ ගැන තවත් වැඩි විස්තර පසුව ලියමි.

එතෙක් හැකි නම් මා ඉහත එකතු කර ඇති විජේසේනගේ පෙම් ගී ප්‍රශ්නය නම් වීඩියෝව නරඹන්න. එය පළ කර ඇති මගේ නම් යූටියුබ් නාලිකාවට සම්මාදම් වෙන්න, එනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.

මගේ නාලිකාව ගැන ආරංචිය ඔබේ මිතුරන්ට ද පවසන්න.

මේ වන විට මගේ ඒ වීඩියෝ නාලිකාවේ පළ කර ඇති වීඩියෝ ඔබට සමාජ ජාලා ඔස්සේ බෙදා හැරීමට ද හැක. ෆෙස්බුක් හි මෙන් ලයික් සහ කමෙන්ට් කිරීමේ පහසුකම් ද ඇත.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Tuesday, 9 June 2020

තවත් කඩුල්ලක් පැන්නෙමි - A forgotten milestone


තවත් කඩුල්ලක් පැන්නෙමි.

ඒ මගේ Rasikalogy යූටියුබ් නාලිකාවේ හැත්තෑපස්වෙනි (75th) වීඩියෝව විකාශය වීමේ අවස්ථාවයි.

නමුත් මා විසිපස්වෙනි (25th) වීඩියෝවේ කඩඉමේ දී, පනස්වෙනි (50th) වීඩියෝවේ කඩඉමේ දී කළ ආකාරයට මේ හැත්තෑපස්වෙනි වීඩියෝ කඩඉම ගැන සටහනක් රසිකොලොජි බ්ලොගයේ පළ කිරීම අතපසු වී ඇත.

එක් දිනකින් හෝ දෙකකින් නොව දින පහකින් ම අතපසු වී ඇත.

එය කෙතරම් විශාල අතපසු වීමක් ද යත්, අද පස්වෙනි දිනයට ද එය අතපසු වූ මොහොතේ නාලිකාවේ අසූවෙනි (80th) වීඩියෝව ද පළ වී ඇත.

එනිසා ඒ වීඩියෝ අසූව ගැනම සිහිවටනයක් මෙලෙස පළ කිරීමට සිතුවෙමි.

දැන් මෙන්න මා මෙතෙක් පළ කළ වීඩියෝ අසූව පිළිබඳ විස්තර, ඊයේ දිනයේ සිට ආපස්සට.

80. ගව මස් කන අයට කුණුහරුපෙන් බැනීම


78. යෝධයෝ සහ කුරුමිට්ටෝ - අපේ වීරයින් කුරුමිට්ටන් වූ හැටි


79. ලංකේණ්ඩියා - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්


77. ජා-ඇල ඇන්ටිගේ චීන මොලේ


76. Street Music from suburban Sydney in Australia.


75. කොල්ලා ලොකු වෙලා


74. වින්ටරයේ මුල් දවසේ ඔසී ගමක පොඩි රවුමක්!


73. විස්ස විජ්ජාජලය සහ දුටුගැමුණු කයිය


72. රෑට කන්න කොරෝනා ටින් මාළු ඉව්වා!


71. පිට රට දේ, සිරි සැප දේ...!!!


70. නොට්ටිගේ පුතාගේ ජාන


69. මටාටා ටිටා ද ටිටාටා මටා ද?


68. Heavy rain and blue train in Sri Lanka - April 2019 - A very short video.


67. වලියට බරද? - Me no fighter


66. ඇන්ටිගෙ කතාව


65. විජේසේනගේ පෙම් ගී ප්‍රශ්ණය


64. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා


63. බීෆ් ස්ටර් ෆ්‍රයි - හරක් මස් තීරු තෙම්පරාදුව


62. ලඞ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල


61. පුතා පන්තියේ කී වෙනියා ද? - Dux or Dud


60. කෝක් නැතුව අරක්කු බොන්න පුළුවන්, නමුත් අරක්කු නැතුව අරක්කු බොන්න බෑ!
අරක්කු ඕනා, කෝක් වානා - A classic case of economics


59. සීලවතී සිල් අරගෙන


58. මා ලියූ කවි පන්තියක් හැකි අයුරින් ගායනා කර, වීඩියෝවක් ලෙස බෙදා හැරියෙමි!
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?


57. කාලෝ ෆොන්සේකාට බස් එකේ සීට් එක දන්දුන් කතාව


56. මී හරක් ගිනියම කුමක්දැයි දන්නවා ද?


55. මගේ මේ උස්සාහය අමුතුම අමුද්‍රව්‍යයක් යොදා හාල්මැස්සන් උයන්නයි.


54. සුද්දට පාර කියපු හැටි - Giving directions in English


53. ශිෂ්‍ය නායකයින් කාගේ නායකයින් ද? මෙය පාසල් සමයේ දී මට ඇති වූ ප්‍රශ්ණයකි.


52. අක්කිගෙ නුවණ


51. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරයක් ගැන ගැයෙන ගීතයක්


50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?



49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?



48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?



47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich



46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone



45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats



44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula



43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes



42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel



41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down



40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia



39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference



38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles



37. COVIDSafe App - An Australian Government Initiative



36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest



35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card



34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya



33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me



32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife



31. චක්කරේ Chakkare - Generation to Generation



30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories



29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World



28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී



27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා



26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!



25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music



24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි



23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!



22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?



21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්



20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්



19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී



18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි



17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්



16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍



15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?



14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි



13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?



12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!



11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම



10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)



9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම



8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි



7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද



6. Jokku Size : ජොකාගේ සයිස් එක



5. Jokku Kathandara : ජොක්කු කතන්දර



4. Jangi Hora : ජංගි හොරා



3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?



2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?



1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්


යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Tuesday, 26 May 2020

මෙරිටොක්‍රසි පන්ති නායක පත්වීම (ගලහිටියාව මතක VI) - How I became the class monitor of 6A


මේ සටහන පෙර මා ලියා පළ කළ කොටස් පහක (1, 2, 3, 4, 5) සටහන් මාලාවේ දිගුවක් නමුත් වෙන්ව ද කියවිය හැකි ආකාරයට සකසා ඇත.


හයවෙනි ශ්‍රේණියෙන් අපේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ඇරඹුණු සතියේම මා සිටි 6A පන්තිය භාර කුලරත්න සර් විසින් පාසලට උදෑසනම පැමිණිය හැකි සිසුවෙකු සහ සිසුවියක පන්ති නායක තනතුරු සඳහා පත් කළේ ය.

සතියක් පමණ ගත විය.

අලුත් අධ්‍යයන වර්ෂය සඳහා ජනවාරියේ පාසැල පටන් ගත් දින හයවෙනි ශ්‍රේණිය සඳහා ඇතුළත් වුණු සිසු සිසුවියන් පිරිසට අමතරව තවත් සිසු සිසුවියන් කිහිපදෙනෙකු පසුව පාසලට ඇතුළත් වූ අතර ඔවුන් සඳහා 6D නමින් අලුත් පන්තියක් ආරම්භ කරන ලදී.

ඒ අලුත් පන්තියේ සිටියේ කිහිප දෙනකු පමණක් නිසා, හයේ පන්ති හතරේ ශිෂ්‍ය සංඛ්‍යාව සමතුලිත කිරීමට දෝ, මා සිටි 6A පන්තියේ සිසු සිසුවියන් අතරින් පිරිසක් එම පන්තියට අනුයුක්ත කරන ලදී. මේ සඳහා තෝරා ගත්තේ පන්තියේ ශිෂ්‍ය නාමලේඛනයේ අගින් සිටි පිරිස ය.

අධ්‍යාපනයේ නිසි පල ලැබෙන්නට නම් ගුරු සිසු අනුපාතය අඩුවිය යුතුය, එනම්, එක් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව අඩුවිය යුතුය යනුවෙන් අධ්‍යාපඥයින් පවසන සත්‍යයට අමතරව, කොරිඩෝරයක සිරවී සිටි අපේ 6A පන්තියේ සිසුන් සංඛ්‍යාව මෙලෙස හෝ අඩුවීම ධනාත්මකව සාකච්ඡා කළ යුතු කරුණක් නමුත් එහි ලොකු අවුලක් තිබුණි.

අපේ පන්තියෙන් ඉවත් කර අලුතෙන් අරඹන ලද පන්තියට අනුයුක්ත කරන සිසුන් පිරිසගේ නම් ලයිස්තුව කුලරත්න සර් කියවූ මොහොත අවුරුදු හතලිස් හතකට පසුව ද අද මෙන් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ නම් අතරට, ඊට දින කිහිපයකට පෙර, හුණු කූරු සහ වාර්තා පොත් විදුහල්පති කාමරයේ සිට පන්තියට ගෙන ඒම සහ පාසල නිම වූ පසු ඒවා නැවත ගෙන ගොස් තැබීමේ රාජකාරිය කිරීම සඳහා, උදෙන්ම පාසලට පැමිණීමට ඇති හැකියාව නමැති නිර්ණායකයට අනුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී පන්තිය භාර ගුරුවරයාගේ අනුමැතියෙන් අභිෂේක කරන ලද, පිරිමි ළමුන්ගේ පන්ති නායක සමන්ගේ නම ද ඇතුළත් වී තිබුණි.

සමන්ට අපේ පන්තිය අත හැර අලුත් මිතුරන් පිරිසක් අතරට යන්නට සිදු විය.

"දැන් ඉතින් අපිට පිරිමි ළමුන් අතරින් අලුත් පන්ති නායකයෙකු පත්කර ගන්ට වෙනවා" කුලරත්න සර් නිවේදනය කළේ ය "කවුද වෙන ඉන්නේ උදෙන්ම ඉස්කෝලේ එන්න පුළුවන් ළමයෙක්?"

මේ මතක සටහනේ පෙර කොටසක මා සඳහන් කළ පරිදි නිවසේ සිට පාසල් බසයෙන් ගමන් කරන මා පාසලට පැමිණෙන වේලාව මට තීරණය කළ නොහැක්කකි. එනිසා, අත ඔසවා ස්වෙච්චාවෙන් මෙම පන්ති නායක තනතුර සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් මට කිසිසේත් ම නොවිණි.

නමුත් වහාම "මට පුළුවන්" යයි හඬක් නැගුණි. අතක් එසවිණි.

ගණේමුල්ල නගර මධ්‍යයේම පිහිටි තම සීයාගේ නිවසේ සිට පාසලට පයින්ම පැමිණි පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන එදින සිට අපේ පන්තියේ නායක ලෙස කුලරත්න සර් විසින් පත්කරන ලදී.

එදින සිට පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන උදෑසනම පාසලට පැමිණ හුණු කූරු ද, නාමලේඛනය ද, ගුරු සටහන් පොත ද, විදුහල්පති කාමරයේ සිට කොරිඩෝරයේ අඩුක් කර තිබුණු අපේ 6A පන්තියට ගෙන එන ලදී. පන්තියට පැමිණෙන ගුරුවරු එම හුණු කූරුවලින් කළුලෑල්ලේ ලියූහ. ගුරු සටහන් පොතේ කළ පාඩම් පිළිබඳ කෙටි සටහන් තැබූහ. කුලරත්න සර් නාම ලේඛනය ලකුණු කළේය. හවසට නාමලේඛනය ද සටහන් පොත ද පුණ්‍ය උදය ජයසේකර ලොකුවිතාන විසින් විදුහල්පති කාමරය වෙත ගොස් තබන ලදී.

මාස තුනක් ගෙවී ගියේ ය.

අලුත් පාසලේ පළමුවෙනි වාර විභාගය පැවැත්වුණි. ප්‍රගති වාර්තා නිකුත් විණි. මට මගේ ප්‍රගති වාර්තාව ලැබුණේ පාසල් අවසන් දිනයේ දී ප්‍රධාන ගොඩනැගිල්ලේ මැද මිදුලේ දී පැවැත්වුනු විශේෂ රැස්වීමේ දී විදුහල්පති අතින් ය. අප්‍රේල් නිවාඩුව ද ඒ සමගම එළැඹුණි.

දෙවන වාර සඳහා පාසල ඇරඹි මුල් දිනයේ දී ම අපේ පන්තියට පැමිණි කුලරත්න සර් විශේෂ ප්‍රකාශයක් කළේය.

"අද අලුත් වාරය සඳහා මම අලුතෙන් පන්ති නායකයෙකු සහ නායිකාවක පත්කරනවා. ඒ සඳහා තෝරා ගන්නේ මුල් වාරයේ විභාගයෙන් පන්තියේ පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වුණු ආකාරයටයි."

ඔහුගේ ම, පාසලට උදෙන්ම පැමිණීමේ නිර්ණායකය වෙනුවට කුලරත්න සර් විසින් අලුතෙන් හඳුන්වාදුන් මේ නිර්ණායකයට අනුව රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි වන මා, 6A පන්තියේ පන්ති නායකයා ලෙස නම් කෙරිණි. මගේ මතකය නිවැරදි නම්, අප්‍රියෙල් මාසයේ පැවැත්වුනු පළමුවෙනි වාර විභාගයේ දී සිසුන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාවට අනුව අනුපිළිවෙලට සැකසූ විට පංතියේ දෙවැනියා වූයේ ද පිරිමි ළමයෙකු නිසා, පන්ති නායිකාව ලෙස තුන්වැනි ස්ථානයේ සිටි සිසුවියක නම් කෙරිණි. එලෙස, පන්ති නායිකාව ලෙස පත්වූයේ, මානෙල් කරුණානායක බව, එදා සිවුවැනි ස්ථානයේ සිටි රංජනී ශ්‍රියාලතා දිසානායක මා සමඟ නොබෝදා පැවසුවා ය.

අලුත් පන්ති නායකයා සහ නායිකාව එලෙස පත් කළ කුලරත්න සර් අපට කියා සිටියේ, අගෝස්තු මස පැවැත්වෙන වාර විභාගයේ ප්‍රතිඵල අනුව තුන්වන වාරය සඳහා නැවතත් අලුතෙන් පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කරන බවයි. පන්ති නායක නායිකා තනතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව පන්තියේ පළමුවෙනියා හෝ දෙවෙනියා වීමට අදිටන් කරගෙන, ඔහුගේ සිසු සිසුවියන් ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරනු ඇතැයි කුලරත්න සර් බලාපොරොත්තු වුණු බව නිසැක ය.

ගුරුන්ටත් අකුරු වරදී!

නමුත් ඇත්තටම සිදුවූයේ, පන්ති නායකයා පත් කිරීමේ තම නව නිර්ණායකය මගින් කුලරත්න සර් විසින්, ඔහු නොදැනුවත්වම, සදාකාලික පන්ති නායකයකු පත්කර තිබීමයි.

මෙය මෙරිටොක්‍රසි ආකාරයේ පත්වීමක් නිසා, මගේ නායකත්වය සමාන කළ හැක්කේ රොබට් මුගාබේට නොව ලී ක්වාන් යූ වැන්නෙකුට යයි සිතමි.

එලෙස යාවජීව නායකයා ලෙස පත්වුණු මගේ ආධිපත්‍යය, වසර එකහමාරකට පමණ පසු හදිසියේ ම නිමා කිරීමට හේතු කාරණා සැපයුවේ ද තවත් අගමැතිවරයෙකි.

ඒ පිළිබඳ විස්තර මේ දීර්ඝ මතක සටහනේ පසු කොටසකින් බලාපොරොත්තු වන්න.

-රසික සූරියආරච්චි

(image: https://en.wikipedia.org/wiki/Asian_water_monitor)

Sunday, 24 May 2020

ගලහිටියාවේ පන්තිනායක තනතුරේ තතු - Class monitorship at Galahitiyawa Central College


මේ සටහන පෙර මා ලියා පළ කළ කොටස් හතරක (1, 2, 3, 4) සටහන් මාලාවේ දිගුවක් නමුත් වෙන්ව ද කියවිය හැකි ආකාරයට සකසා ඇත.

අලුත් පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ඇරඹා දිනකින් දෙකකින් පමණ පන්තිය භාර ජේ. ඒ. කුලරත්න ගුරුවරයා (කුලරත්න සර්) අප අමතා වැදගත් නිවේදනයක් කළේ ය.

"මේ පන්තියට පන්ති නායකයකු සහ නායිකාවක පත් කරගත යුතුයි."

කුලරත්න සර් විස්තර කළ පරිදි පන්තියේ පිරිමි ළමුන් අතරින් පත් කරගත යුතු වුණු පන්ති නායකයාගේ මූලික කාර්යභාරය වන්නේ උදෑසනම පාසලට පැමිණ විදුහල්පති කාමරයේ තබා ඇති දින සටහන් පොත සහ පැමිණීමේ ලේඛනය ද, අවශ්‍ය පරිදි හුණු කූරු ද පන්තියට ගෙන ඒමයි. දිනය අවසානයේ දී ඉතිරි වන හුණු කූරු කෙසේ වෙතත් පෙර කී සටහන් පොත් දෙක ආපසු ගොස් සුරැකිව විදුහල්පති කාමරයෙන් තැබීම ද පන්ති නායකයාගේ වගකීම විය.

මීට අමතරව, ඒ ඒ දිනයේ පන්තියේ සිටින සිසුන්ගේ සංඛ්‍යාව නිවැරදිව දන්වා, දිවා ආහාරය සඳහා ඇදිහැස බිස්කට් ලබා දෙන කාමරයෙන් පන්තියට නියමිත බිස්කට් ප්‍රමාණය ගෙනැවිත් සිසු සිසුවියන් අතර බෙදාදීම ද පන්ති නායකයාගේ වගකීම විය. ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමානව) බිස්කට් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ සහනාධාර ව්‍යාපෘතියක් යටතේ, පාසල් සිසුන් අතර මන්දපෝෂණය අඩුකිරීම පිණිස ලබාදුන් දිවා ආහාරය යි. එක් සිසුවෙකුට දිනකට බිස්කට් තුනක් ලැබුණි. වසර දෙකකින් පමණ මේ ව්‍යාපෘතිය අවසන් විය. දැන් මංචී ලෙස හැඳින්වෙන්නේ ඇදිහැස බිස්කට් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාව යැයි සිතමි.

පන්ති නායක තනතුර යනු මම කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වසරේ දී දැරූ වගකීමකි. එනිසා එය මට කළ හැකි සරල කටයුත්තක් ලෙස මගේ සිතේ ඇඳුණි.

ඇත්තටම, පෙර වසරේ පස්වැනි ශ්‍රේණියේ පන්ති නායකයා ට පැවරී තිබුණු වගකීම් මීට වඩා වැඩිබව කිව යුතු ය.

පිරිමි ළමුන්ට නියමිත කාර්යය වූ, පන්ති කාමරයේ දෙපස පිහිටි කැනස් මල් පාත්ති ඇතුළු මිදුළ කොටස් දෙකේ වල්පැල යනාදිය වෙතොත් ගලවා සුළඟින් එකතු වන කොළරොඩු ඉවත් කර පිරිසිදුව තබා ගැනීම සහ පන්තියේ මැටි කළයට උදෑසනම අල්ලපු වත්තේ ලිඳෙන් වතුර පුරවා ගෙනැවිත් සෝදා පිරිසිදු කරන ලද පොල් කටුව ද සමග පන්තියේ පසෙක තැබීම යන ප්‍රධාන කර්තව්‍යද්වය ඉටුකිරීම සඳහා සතියේ දින පහට ළමුන් දෙදෙනා බැගින් සිවුදෙනකු නම් කර ඔවුන් එම කාර්යය ඉටු කරනවා දැයි අධීක්ෂණය කිරීම පන්ති නායකයා ගේ වගකීම විය. පන්ති නායකයා ද සතියේ දින දෙකක එම කාර්යය සිදුකල අතර, කිසියම් සිසුවෙකු පාසලට නියමිත දිනයේ නොපැමිණියේ නම් එම අඩුව පිරවීම ද ඔහුගේ නායකත්ව වගකීම විය.

ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ නල ජල සැපයුමක් තිබුණු අතර කම්කරුවෙකු ද සේවය කළ බව මගේ මතකයයි.

කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී පන්ති නායකයා ලෙස මට පැවරී තිබුණු තවත් වගකීමක් වූයේ පන්තියට අයිති ලීවලින් සාදන ලද අල්මාරියේ භාරකාරීත්වයයි.

පැරණි පොත්පත් කිහිපයක් ද, මගේ මතකය නිවැරදි නම් මිනී ඔළුවක් වැනි යමක් ද, තවත් ලට්ට ලොට්ට කිහිපයක් ද තිබුණු මෙම අල්මාරිය සුරක්ෂිත කර තිබුණු ඉබ්බාගේ යතුර, මා පන්තියේ පිරිමි ළමුන්ගේ වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පහේ පන්තියේ පන්ති නායක ධුරය ලද දිනයේ ම මට බමුණුසිංහ ටීචර් ගෙන් ලැබී තිබුණු අතර මා පාසැලට ගියේ නූලක අමුණන ලද ඉබි යතුර මාලයක පෙන්ඩන්ටුවක් ලෙස පැළඳ ගෙනයි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ මා සිටි කිසිදු පන්තියට එවැනි අල්මාරියක් නොතිබුණි. එවැන්නක් තිබුණේ වුව ද, ගණේමුල්ල ජාඇල ප්‍රධාන මාර්ගයට සමාන්තරව පිහිටි පැරණි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ජාඇල අන්තයේ කොරිඩෝරයේ කොනක අඩුක්කර පවත්වා ගෙන ගිය අපේ පන්තියේ අල්මාරියක ට කිසිසේත් ඉඩ නොතිබුණි. එනිසා කුලරත්න සර්ගේ 6ං පන්තියේ නායකයා ලෙස පත්කර ගැනීමට නියමිතව සිටි සිසුවාට මාලයක පෙන්ඩන්ටුවක් ලෙස ආඩම්බරයෙන් ගෙල වටා පැළඳ ගෙන ඒමට යතුරක් හිමිවෙන බවක් නොපෙනුණි.

පන්තියේ සිටි සිසුවියන් අතරින් පත් කර ගත යුතු වූ පන්ති නායකාවගේ වගකීම වූයේ කුමක්දැයි මට නිවැරදිව මතකයෙන් කිව නොහැකි නමුත් එය පන්තිය පිරිසිදුව තබා ගැනීම විය යුතුය.

කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ දී මගේ අත්දැකීම වූ ආකාරයට පන්ති නායකයා සහ නායිකාව තෝරා ගැනීම සඳහා සිසුන් අතරේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පැවැත්වේ යැයි මගේ සිතට නිකමට හෝ සිතිවිල්ලක් පැමිණියේ නම් එය පැවතුණේ තත්පර කිහිපයකට පමණි. ඒ සමගම කතා කළ පන්තිය භාර ගුරු කුලරත්න සර් කියා සිටියේ, මෙම තනතුරු සඳහා පත් විය යුත්තේ පාසලට නොවරදවා උදෙන්ම පැමිණිය හැකි සිසුවෙකු සහ සිසුවියක බවයි.

"උදෙන්ම ඉස්කෝලෙට එන්න පුළුවන් අය අත උස්සන්න!" ඔහු පැවසීය.

යාගොඩ පැත්තේ සිට දුම්රියෙන් ගනේමුල්ලට පැමිණ එතැන් සිට පා ගමනින් පාසලට එන සමන් නමැති සිසුවෙකු අත එසවීය. සිසුවියන් අතරින් මෙම වගකීම භාර ගැනීම සඳහා අත එස වූයේ, පෙර දිනක, ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සිසුවියනට නියමිත නිල ඇඳුම වෙනුවට, තමන් පස්වෙනි ශ්‍රේණියේ උගත් පාසලේ දී ඇඳි හතරැස් කර ඇති සුදු ගවුමක් ඇඳ පැමිණ කුලරත්න සර්ගේ උදහසට ලක් වූ ශ්‍රීපාලි නම් සිසුවිය යයි මගේ මතකයයි.
එදින සිට සමන් සහ ශ්‍රීපාලි දෙදෙනා සමහරවිට වෙනදාටත් වඩා උදෑසනින් පාසලට පැමිණ ඔවුනට පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කරන්නට ඇත.

මතු සම්බන්ධයි

-රසික සූරියආරච්චි

(image: )

Wednesday, 20 May 2020

ගලහිටියාව මතක IV : ලොකු ඉස්කෝලේ දි වූ වෙනස්කම් - Life changes for a ten year old boy


මා මේ සටහන් කරන්නේ හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ලද අත්දැකීම් ය. මීට කලින් කොටස් තුනක් (1, 2, 3) පළ වී ඇත. එනමුදු පෙර කොටස් කියවීම අත්‍යාවශ්‍ය නොවන ආකාරයට මේ ලිපි සකසා ඇත.


හයවෙනි ශ්‍රේණියේ සිට ඉහලට අධ්‍යාපනය ලැබීම සඳහා පුරා පස් වසරක් මා ඉගෙනුම ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට පැමිණි මගේ ජීවිතයේ එතැන් සිට වෙනස්කම් කිහිපයක් ම සිදු විය.

ඉන් එකක් නම්, එකම ගම්පියසක අය නොව වෙනත් දුර බැහැර පළාත්වල ජීවත්වෙන මා මෙන්ම බසයේ හෝ නොමැතිනම් දුම්රියේ හෝ පාසලට පැමිණෙන සමවයසේ පිරිසක් ඇසුරු කිරීමට ලැබීමයි. කණිෂ්ඨ විද්‍යාලයේ සිට මධ්‍යම විද්‍යාලයට පැමිණීමට වරම් ලැබූ අය අතුරින් මා අයත් වූ 6A පන්තියේ සිටියේ සිසිර ප්‍රේමකුමාර සහ ඩබ්ලිව් ඒ දයාසිරි පමණි. මගේ අල්ලපු වත්තේ මිත්‍රයා වූ ආනන්ද ජයතිලක මෙන්ම සන්ධ්‍යා අබේවීර, පුෂ්පකාන්ති (මේ නම නිවැරදි නැත) ද, මේ වන විට මගේ මතකයෙන් නම් ගිලිහී ඇති තවත් අය ද අයත් වූයේ එක්කෝ 6B එසේ නැතිනම් 6C පන්තියට ය. අලුත් පන්තියේ දී මට අලුතෙන් මුණ ගැසුනු මිතුරන් අතර පාසලට නුදුරින් ම ගණේමුල්ලේ විසූ පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන වැන්නන් ද, එකම බස් රථයේ වුවද මට වඩා කිලෝමීටර් දෙක තුනක් දුර සිට පැමිණි නිමල් රත්නසිරි කරුණාසිංහ ද, උඩුගම්පල වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ශාන්ත සහ තිස්ස ජයවර්ධන වැන්නන් ද වූහ.

දෙවනුව, වෙනදා මෙන් පයින් මංගච්චනවා නොව දැන් පාසල් ගමන බස් රථයේ නිසා මුල් දිනවල දී දිනපතාම ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමටත්, පසුව වාර ප්‍රවේශ පත්‍රය නොහොත් සීසන් එක ලබාගත් පසුව වුව ද, දහවල ලැබෙන විවේක කාලය නොහොත් ඉන්ටවල් එකේ දී කුමක් හෝ දෙයක් කෑමටත් නිවසෙන් මාරු සල්ලි ලබාගැනීමටත්, ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පුරුදු වීමටත් සිදුව්ය. මේ කාර්යය මා විසින් දැඩි සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් යුතුව කළ ද, වරක් දෙවරක් අමාරුවේ වැටුණු අවස්ථා නැත්තේ ද නොවේ. ඒ පිළිබඳ එක් රසවත් මතකයක්, මේ කාල රේඛාවේ නිසි ස්ථානයේ දී ලිවීමට අදහස් කරමි.

තෙවනුව, පොප්ලින් කලිසමේ සිට ඉදිරිපස බොත්තම් සහ දෙපසින් බකල් ඇති ටසෝ කලිසම දක්වා ද, සමනලයින් "ඇප්ලික් කළ" ගෙල වටා නොව දෙවුර වටා දිවෙන කොලර් ඇති පුංචි අම්මලාගේ බ්ලවුස් පතරොම අනුසාරයෙන් කපා මැසූ කමිසයේ සිට, සාමාන්‍ය අත්කොට කමිසය දක්වා ද, බාටා කුට්ටමේ, පටි සපත්තු ජෝඩුවේ සිට කළු සපත්තු දක්වාද, විවිධ හැඩයෙන් විවිධ වර්ණයෙන් යුතු ඇඳුමෙන් පැලඳුමෙන් සැරසී කනිෂ්ඨ පාසලට ගිය මට, එතැන් සිට සුදු අත්කොට කමිසය සහ සුදු කොට කලිසමෙන් ද, සපත්තු සහ මේස් වලින් ද සැරසී පිළිවෙළකට පාසලට යන්නට සිදුවිය. මට කමිස කීයක් තිබුනේද කලිසම් කීයක් තිබුණේ ද යන්න පිළිබඳ නිවැරදි මතකයක් නැති නමුත්, ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ද මා ඇතැම් දිනක බාටා සෙරෙප්පු වලින් සැරසී පාසලට ගිය බව නම් මතකයේ ඇත. එසේම ඇතැම්විට සුදුපැහැති නොවන කලිසම් ද ඇන්දෙමි. ඒ කිසිවක් නිසා විනය තකන පිරිසගේ දඬුවමට මා ලක්වූ බවක් නම් මතකයේ නැත.

පිරිමි ළමුන්ට එසේ වුව ද ගැහැනු ළමුන් සඳහා නම් තත්වය දරුණු විය. මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිව් වසර තුළ කිහිපවිටක් ම දැක මතකයේ රැඳී ඇති දර්ශනයක් නම්, ගැහැනු ළමුන්ගේ ගවුම් වාටියේ සිට දනහිස දක්වා ඇති දුර ශිෂ්‍ය නායිකා කෙල්ලන් ගේ උදව්වෙන් මැන වාටි ගලවා දික් කිරීමට අණ කරන කරුණාරත්න නමැති ගුරුවරියයි. ඒ වනවිටත් අන්තිම නූල දක්වාම ගවුමේ වාටිය දික් කර තිබුණු සිසුවියන්ට ඒ ගවුම් ඉන්පසු පාසලට ඇඳීම තහනම් වූවා යැයි සිතමි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ මේ 1973 වර්ෂය බවත්, මේ වන විට රටේ ආර්ථික අහේනියක් මෙන්ම රෙදිපිළි වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වල දැඩි හිඟයක් පැවතුණු බවත්, ලංකාවේ තරුණියන් අතර මිනි ගවුම්, ෂෝට් ස්කර්ට් සහ කොට්ට උර නම් සරදම් නමකින් හැඳින්වුණු ශිෆ්ට් නැමැති ගවුම් වැනි ඇඳුම් ජනප්‍රිය වී තිබුණු බවත්, එහෙන් මෙහෙන් සරදම් මිස ඒ කිසිදු ඇඳුමකට අද මෙන් තහනම් පැණවීමට තලේබාන් වර්ගයේ සිංහල බුඩ්ඩාගම්කාරයින් නොසිටි බවත් ය.

පාසල යෙත් ගැහැණු ළමයින් සඳහා නියමිත නිල ඇඳුම වූයේ ගෙල වටා දිව ගොස් ඉංග්ලිෂ් වී අකුරක හැඩයෙන් ඉදිරිපස දී එක්වන කොලරය සහ රැලි සහිත සාය සහිත සුදු ගවුම, සපත්තු මේස් සහ නිල් පැහැති ටයිපටියයි. සපත්තු ලෙස බොහෝදෙනා පැළැන්දේ කැන්වස් වර්ගයේ සුදු පැහැති ඒවා බව මගේ මතකයයි. මීට අමතරව කළු පැහැති බැලරිනා නම් වර්ගය ද භාවිතා විය.

මගේ ගලහිටියාව මතක සටහනේ සිව්වන කොටස පාසලට ගිය මුල් සතියේම සිදුවී අද ද මතකයේ රැඳී ඇති පහත සිද්ධියෙන් අවසන් කරමි.

ජයසිංහ ආරච්චිගේ කුලරත්න නම් ගණිත ගුරුවරයාට භාර වී තිබුණු අපේ 6A පන්තියේ රාගම ප්‍රදේශයේ සිට පැමිණි ශ්‍රීපාලි (මේ නම නිවැරදි නැති විය හැක) නම් ගැහැනු ළමයෙකු සිටියා ය. මුල් දිනයක ම ඇය පාසලට පැමිණ සිටියේ, පසු කලෙක මගේ සිතට හොඳින් කා වැදුණු කාන්තා පාසල් නිල ඇඳුමක් වූ බොරැල්ල දේවි බාලිකාවේ සිසුවියන් අදින ආකාරයේ කොළරයක් නැති හතරට කපන ලද කර සහිත සුදු පැහැති ගවුමකින් සැරසීය. මෙය දුටු අපේ පන්තිභාර ගුරුවරයා ඇයගෙන් ප්‍රශ්න කළ අතර ඇය පවසා සිටියේ ය ඈ මීට පෙර උගත් පාසලේ දී ඇඳි ගවුමක් බවයි. එදින ඇයට සමාව ලැබුණ ද, ඉන්පසු නිවැරදි පාසැල් නිල ඇඳුමෙන් සැරසී එන ලෙස ඇයට උපදෙස් ලැබුණි.

මතු සම්බන්ධයි.

රසික සූරියආරච්චි

(image: http://www.galahitiyawappa.com/user/getSchoolGallery)

Monday, 18 May 2020

ගලහිටියාව මතක (III): පාසල් ගමනේ විස්තර - School, a bit far away



මේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ මා ගතකළ සිව් වසරක කාලය පිළිබඳ ලියවෙන දීර්ඝ මතක සටහනක තෙවන කොටසයි.

පළමුවෙනි කොටස: https://rasikalogy.blogspot.com/2020/05/my-galahitiyawa-central-collage-memories.html

දෙවන කොටස: https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html


අපේ ගම වූ පරකන්දෙනිය මෙන්ම අල්ලපු වැටෙන් ඇරඹෙන කොස්සින්න හරහා ද ධාවනය වෙන්නේ කඩවත සිට ගණේමුල්ල දක්වා දුවන මාර්ග අංක 218 නැමැති බස් රථයයි. ගනේමුල්ලේ සිට කඩවත දක්වා වැටී ඇති කෙලින් පාරේ දුවන මාර්ගයේ ධාවන අංකය වූයේ 223 ය. එම මාර්ගයේ බස් පහක් හයක් ධාවනය වුවද අපේ 218 මාර්ගයේ උඩට පහලට ගමන් කළේ එකම බස් රථයක් පමණි.

අපේ බස් රථයේ දවසේ ගමන ආරම්භ වෙන්නේ උදෑසන 5.30 ට කඩවත සිට ය. එය අපේ නිවස පසුකර ගණේමුල්ල බලා යන්නේ උදෑසන 5.45 ට ය. ගණේමුල්ලේ සිට නැවතත් කඩවත බලා ගොස් ආපසු ගමන එන්නේ උදෑසන හතට පමණ ය. එය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ පාසල් බසය ද වූ හෙයින් සාමාන්‍යයෙන් ගනේමුල්ලෙන් ගමනාන්තය ලබන බස්රථය එවර ගලහිටියාව මධ්‍යම විද්‍යාලය අසලට ම ධාවනය වී ය.

අපරභාගයේ දී දහවල් 1.45 ට පමණ මෙම බස් රථය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සිට 218 මාර්ගය ඔස්සේ කඩවත දක්වා ගමන් ඇරඹුණි.

වර්ෂ 1973 ජනවාරියේ සිට 1976 දෙසැම්බර් දක්වා දිව ගිය මගේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ පාසල් දිවියේ මුල් භාගයේදී මට ප්‍රවාහනය සැපයුනේ මෙම බස් රථයෙනි. මා පමණක් නොව මා සමගම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ඇරඹූ අල්ලපුවත්තේ සිටි ආනන්ද ජයතිලක, අපේ නිවෙසට තරමක් දුරින් සිටි සන්ධ්‍යා අබේවීර, කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ ගුරු නිවාසයේ සිටි ව.ආ. දයාසිරි, කොස්සින්නේ සිසිර ප්‍රේමකුමාර පමණක් නොව ඉඳිගහමුල වෑබඩ පාරේ සිටි ප්‍රියන්ත විජයරත්න සහ රම්මුතුගල පදිංචිව සිටි ගුණතිලක පින්තු / නිමල් රත්නසිරි කරුණාසිංහ මිතුරන්ද මෙම බස් රථයේ ගමන් ගත්හ.

අපේ නිවස ප්‍රදේශයේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලය දක්වාම මගේ ටිකට්ටුවක බස් ගාස්තුව වූයේ ශත 15 ක් පමණි. කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය අසල බස් නැවතුමේ සිට නම් ගාස්තුව බාගේ ටිකට් එකකට ශත දහයකි.

අපේ පාරේ ධාවනය වන බස් රථය එක්කෝ කැඩුණු දිනවල හෝ නැතහොත් සේවකයින් නොමැති නිසා ධාවනය නොවන දිනවල අපට නිවසේ සිට කඩවත ගනේමුල්ල ප්‍රධාන 223 මාර්ගයේ කොස්සින්න හන්දිය දක්වා (මෙය අපේ වැඩිහිටියන් හැඳින්වූයේ චාරප්පු කඩේ හංදිය කියා ය) පයින් ගොස්, එතැන් සිට සත පහක භාගයේ ටිකට් එකක් සඳහා බස් ගාස්තුවක් ගෙවා බසයකින් ගනේමුල්ලට ගොස් පාගමනින් පාසල වෙත යා යුතු විය.

පාසල් බසය ගමන් කළේ ගණේමුල්ලේ ඉහල ප්‍රදේශයේ ඇති බස් නැවතුම පසුකර රේල් ගේට්ටුව පන්නා පහළට ගොස් ජාඇල පැත්තට දිවෙන මාර්ගයට හැරී ය. නමුත් 223 බස් රථයක පැමිණ ගණේමුල්ල ඉහළ ප්‍රදේශයේ බස්නැවතුමෙන් බසින අපට පයින් යෑමට කෙටි මාර්ගයක් තිබුණි. ඒ, එවකට එතැන තිබුණු අම්බලමේ සිට රේල් පාර දක්වා දිවයන ගුරු පාරේ ය. මගේ මතකයේ හැටියට එය එවකට ගම්සභා පාර නමින් හැඳින්වුණි.

එවකට මෙම මාර්ගයේ තිබුණු ප්‍රධාන මං සලකුණු අතර වම්පසින් ආණ්ඩුවේ ඩිස්පැන්සරිය සහ පාවිච්චියට නොගන්නා ගම්සභා ගොඩනැගිල්ලක් ද, මාර්ගයේ දකුණු පසින් ට්‍රාන්ස්ෆෝමරයක් ද, නැවතත් වම්පසින් "Private Road. To Mr. Perera's Residences" නමින් පුවරුවක් සවි කළ ගුරු පාරක් ද විය. එසේ වුව ද, මගේ පියාගේ හොඳම මිතුරෙකු වූ සයිමන් මාමා ගේ නිවෙසට යාමට තිබුණේ ද මේ පාර ය. පාරේ අනෙක් පසින් සුවිසල් ගේට්ටුවක් සවි කළ නිලමේ නමැත්තෙක් විසූ නිවසක් ද විය. මාර්ගය රේල් පාරෙන් අවසන් වූයේ ගලගෙදර නමින් අප හැඳින්වූ නිවස අසලින් ය. අද මෙම පාරේ මා ගමන් ගතහොත් මට දකුණු පසින් රංජනී ජයසූරිය යුවළගේ නිවස ද, ශ්‍රියා අක්කා ගේ නිවස ද, වම්පසින් ගාමිණී මාමා සෑදූ නිවස ද දිස්වනු ඇත.

පයින් යන්නම් සඳහා කිසිදු ආරක්ෂාවක් නොතිබුණ ද, මාර්ගයේ අවසානයේදී අප කළ යුතු වූයේ රේල් පාරවල් දෙක හරහා ගොස් අනිත් පැත්තේ ඇති ගුරු පාරට පිවිසීමයි. ඒ මාර්ගයේ මීටර් සීයක් පමණ ගමන් ගත් පසු අප පිවිසෙන්නේ පෙර කී ගණේමුල්ල-ජාඇල මාර්ගයේ හේමමාලි මහා විද්‍යාලය අසලටයි. එතැන් සිට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇත්තේ හූවක දුරකි.

මෙලෙස පයින් ගමන් කිරීමට සිදුවූයේ පාසල් බස් රථය ධාවනය නොවුනු දිනවල පමණකි. ඒ දිනවල අප පාසලට යන විට අනිවාර්යෙන්ම පෙරවරු 7.30 පසුවී තිබුණු නමුත් ප්‍රමාදය පිළිබඳව දඬුවම් ලබන්නට සිදු වූ බවක් මගේ මතකයේ නැත.

මුල් වසර තුනේ මගේ පන්තිය භාර ගුරුවරයා වූ ජේ. ඒ. කුලරත්න ද, ඊළඟ වසරේ පන්තිභාර ගුරුවරයා වූ ඒ පී පෙරේරා ද, සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණ වූ බවට කිසිදු මතකයක් මට නැත. සමහරවිට දැන් අවුරුදු හතළිස් හතරකට පසු මගේ මතකයේ සමහර දැන් මැකී ගොස් ඇතිවා විය හැක. කෙසේ වෙතත් මගේ මතකයේ හොඳින් රැඳී ඇති කාරණයක් වන්නේ එකල අපේ සිත්වල බියක් ඇති කළ එකම පුද්ගලයා වූයේ කොන්ස්ටන්ටයින් නම් අංශභාර පාලකයා බවයි.

මතු සම්බන්ධයි:
ලොකු ඉස්කෝලේ දි වූ වෙනස්කම් - https://rasikalogy.blogspot.com/2020/05/iv-life-changes-for-ten-year-old-boy.html

රසික සූරියආරච්චි

(image: My season ticket from 1974)

Saturday, 16 May 2020

මගේ ගලහිටියාව මතක (II) - Sisira Premakumara and Ananda Jayathilaka


මේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ මා ගතකළ සිව් වසරක කාලය පිළිබඳ ලියවෙන දීර්ඝ මතක සටහනක දෙවන කොටසයි.

පළමුවෙනි කොටස සඳහා: https://rasikalogy.blogspot.com/2020/05/my-galahitiyawa-central-collage-memories.html


කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලය පිළිබඳව මුලින් ම ඇසූ හැටි සහ හයවෙනි ශ්‍රේණිය සදහා එහි යාමේ අරමුණ ඇතුව විභාගයකට මුහුණ දුන් හැටි මෙම ෆේස්බුක් කණ්ඩායම සඳහා ලියන මගේ මතක සටහනේ මුල් කොටසේ ලිව්වෙමි.

අප මුහුණ දුන් විභාගයේ ලකුණු මත කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් කිහිප දෙනෙකුට ම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලැබීමට තේරුණු බව කියැවෙන ලිපි ලැබුණු නමුත්, සෑහෙන්න හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්, මට මතක විදිහට ඔහු පාසලෙන් දෙවනියට වැඩිම ලකුණු ලබාගත් සිසුවා විය, සිසිර ප්‍රේමකුමාරට එම ලිපිය ලැබුණේ නැත.

එය මහා අවාසනාවන්ත තත්වයක් විය. පාසලෙන් ඒ පිළිබඳව කිසිවක් කළේ දැයි මා හරි හැටි නොදන්නා නමුත් සිසිර ප්‍රේමකුමාරගෙන් අම්මා ගම්පහ අධ්‍යාපන කාර්යාලයට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර අවසානයේ සියල්ල යථා තත්ත්වයට පත්කර ගත්තා ය. මට මතක විදිහට සිදුවී තිබුණේ ප්‍රේමකුමාරට ලැබිය යුතු එම ලිපිය කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට නොව ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් පාසැලකට යැවූ ලිපි ගොන්න අතරට එකතු වී තිබීමයි.

ප්‍රේමකුමාර ද මා සමගින් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වූ අතර අපි දෙදෙනා වසර හතරක් ම එකම පංතියේ සිසුවන් වීමු.

මගේ මතකය නිවැරදි නම්, ප්‍රේමකුමාර ගේ සම්පූර්ණ නම අක්මීමන ගේ දොන් සිසිර ප්‍රේමකුමාර විය. මීට සති කිහිපයකට පෙර ඔහු ප්‍රේම් ප්‍රේමකුමාර් වැනි නමකින් ෆේස්බුක් ඔස්සේ මා හා සම්බන්ධ විය. නමුත් ඔහු පිළිබඳ වැඩි විස්තරයක් එම ෆේස්බුක් ප්‍රොෆයිලයේ හොයා ගත නොහැකි විය.

ගලහිටියාවේ අධ්‍යාපනය ඇරඹීමට පෙර දින, දෙමවුපියන්ගේ යෝජනාවකට අනුව, මම මගේ පස්වෙනි ශ්‍රේණියේ පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් ගේ නිවසට බුලත් අතක් ද රැගෙන ගියෙමි. බමුණුසිංහ ටීචර් විවාහ වී සිටියේ කොස්සින්නේ ජම්පි ගුරුන්නාන්සේ නමින් ජෝතිර්වේදියෙකු ලෙස එවකට ප්‍රකටව සිටි මල්ලව ආරච්චි නම් විශ්‍රාමික ගුරුවරයා ගේ පුත්‍රයා සමඟ ය.

මගේ අල්ලපු වත්තේ අසල්වාසියා මෙන්ම පස්වැනි ශ්‍රේණියේ එකම පන්තියේ උගත් ආනන්ද ජයතිලක ද, එම කර්තව්‍යය සඳහා එම මොහොතේම බමුණුසිංහ ටීචර් ගේ නිවසට තම පියා සමඟ ගොස් සිටියේ ය. ඔහු බමුණුසිංහ ටීචර්ට ත්‍යාගයක් ලෙස ගස්ලබු ගෙඩියක් ගෙන ගොස් තිබුණි. අප ගෙන ගොස් තිබුණේ බුලත් අතක් පමණක් වීම මගේ ලැජ්ජාවට හේතු විය.

මා ආපසු එනවිට බමුණුසිංහ ටීචර් මට half sheet හෙවත් A4 ප්‍රමාණයේ කොළ සීයක් පමණ ත්‍යාගයක් ලෙස දුන්නා ය. මේවා පසු කලෙක මා උසස් පෙළ හදාරන සමයේ halfsheet වල සටහන් ලිවීමට ඇරැඹූ පසු ව භාවිතා කළ කොළ වර්ගයටද වඩා ඉහළ ප්‍රමිතියේ, සාමාන්‍යයෙන් කඩයකින් මිලදී ගැනීමට නොහැකි ආකාරයේ, ඒවා විය.

මේ 1973 වසරේ ජනවාරි මාසයයි. ලංකාවේ ආර්ථිකයේ තරම් හොඳ එකක් නොවී ය. පාසලට ඇතුල්වෙන සිසුන් සඳහා පුටුවක් සහ ඩෙස්ක් එකක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් රුපියල් තිස් පහක් ගෙවන ලෙසත් දන්වා පාසලෙන් ලිපියක් එවා තිබුණි. එය පාන් ගෙඩි සීයක, නොඑසේ නම්, සීනි රාත්තල් පනහක වටිනාකම ය. නිවසේ සිට පාසල දක්වාම මගේ බස් ගාස්තුව වූයේ සත පහලොවකි. වැඩිහිටියකුට සත තිහකි.

නියමිත දිනයේ අම්මා ද තාත්තා ද සමඟ මම ගලහිටියාව මධ්‍යම විද්‍යාලය වෙත මුල්වරට පා තැබුවෙමි. මා අයත් වූයේ 6A නම් පංතියටයි. අපේ පංති භාර ගුරුවරයා වූයේ ජයසිංහ ආරච්චිගේ කුලරත්න හෙවත් ජේ. ඒ. කුලරත්න ය. ඔහු අපේ ගණිතය ගුරුවරයා විය. එපමණක් නොව ඊළඟ වසර දෙකේදී ද අපේ පන්තිය භාර ගුරුවරයා මෙන්ම ගණිත ගුරුවරයා ද වූයේ ඔහු ම ය.

මතු සම්බන්ධයි.

-රසික සූරියආරච්චි

එතැන් සිට කතාව තෙවැනි කොටසින්: https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-iii.html

(image: http://wwa.you2repeat.com/watch/?v=be9bOgE0xw4)

Thursday, 14 May 2020

ගලහිටියාව මතක (I) : My Galahitiyawa Central Collage memories


මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ය. මෙය පිහිටියේ ගණේමුල්ල නගරට නුදුරින් ගණේමුල්ල ජා-ඇල මාර්ගය යාබදව ය. ගණේමුල්ල යනු කොළඹ සිට උතුරට දිවෙන දුම්රිය මාර්ගයේ රාගම සහ ගම්පහ අතර ඇති නගරයකි.

කොරෝනා වසංගත තත්වය නිසා සති ගණනක් ලංකාවේ ජනතාව නිවෙස් තුළ සිරවී සිටි පසුගිය කාලයේ මෙකී ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදී විද්‍යාර්ථීන්ට සම්බන්ධ විය හැකි ෆේස්බුක් කණ්ඩායමක් බිහිවුණු අතර එයට එකතු වූ මා, මගේ පාසල හා සම්බන්ධ මතක සටහන් ලිවීම ඇරඹුවෙමි.

මේවන විට එහි කතාංග තුනක් ලියා අවසාන ය.

ෆෙස්බුක් කණ්ඩායම් යනු තාවකාලික නවාතැන් පොළවල් බඳු ය. ඒ හා සාපේක්‍ෂව බ්ලොග් යනු තරමක් හෝ ස්ථිර ස්ථාන වේ. එනිසා, මගේ ඒ සටහන් කොටස් වශයෙන් රසිකොලොජියේ ද බෙදා ගැනීමට සිතුවෙමි.

අද පළමුවෙනි කොටස.


ගලහිටියාව මධ්‍යම විද්‍යාලය හෙවත් ගලහිටියාව Central College යන නම මා මුලින්ම ඇසුවේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ දී ය. එම විදුහලේ පන්ති පැවැත්වුනේ අටවැනි ශ්‍රේණිය දක්වා පමණි. එම වසර අවසානයේ දී පැවැත්වෙන භාගයේ ඉන්පසු පාසලේ ඉගෙනුම ලබන සියළුම සිසුන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය හැදෑරීම සඳහා වෙනත් පාසලකට යා යුතු විය.

ඒ සඳහා අපේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ ජනප්‍රියතම තේරීම වූයේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයයි. එයට එක් හේතුවක් වූයේ ගමේ සිට තිබුණු කෙටි දුර සහ පාසල් බස් සේවාවක් තිබීමයි. ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පැවති අනිත් ජනප්‍රිය පාසල වූයේ ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය වූ අතර අප ගම් ප්‍රදේශයේ සිට එහි යාම සාපේක්ෂව දුෂ්කර කාර්යයක් විය.

මා පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විභාගයක් පවත්වන ලදී. මේ සඳහා විෂයයන් තුනක් යටතේ ප්‍රශ්න පත්‍ර ඇති බව අපේ පන්තිභාර ගුරුවරිය වූ, මා මුල් නම නොදන්නා, බමුණුසිංහ ටීචර් අපට පැවැසුවා ය. එම ප්‍රශ්න පත්‍ර අතරෙන් ගණිතය සහ සිංහල විෂයයන් අපට හුරුපුරුදු ඒවා වුවත් තුන්වැන්න වූ බුද්ධි පරීක්ෂණය යන්න අප කළින් අසා තිබූ එකක් නොවේ.

ඉතින් අපේ ආදරණීය ගුරුවරිය කළේ ඇට්ලස් හෝල් වැනි ආයතනයකින් එකල පැවැති රෝනියෝ මුද්‍රණ ක්‍රමයෙන් නිපදවා අලෙවි කිරීමට තිබුණු ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහිත පොතක් මිලට ගෙන එය භාවිතා කරමින් අපට එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන ආකාරය ඉගැන්වීමයි.

සති අන්තයේ ඒ පොත නිවසට ගෙන යෑමේ අවස්ථාව ද අපට ලැබුණි. ඒ සඳහා ඇය නිර්දේශ කළ ප්‍රමුඛතා පිළිවෙල වූයේ වාර විභාගයේ ලකුණු අනුව කරන ලද "වෙනියා" යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන ස්ථානගත කිරීමයි.

අතුරු කතාවක් කියතොත්, මෙකී "වෙනියා" යන්න ඉංග්ලිෂ් භාෂාවෙන්, වැල්වටාරමකින් තොරව, එක එල්ලේ කිව නොහැකි දෙයකි.

බමුණුසිංහ ටීචර්ගේ ඒ නිර්දේශය නිසා ඇගෙන් පසුව බුද්ධි පරීක්ෂණ අභ්‍යාස සහිත පොත මුලින් ම පරිහරණය කිරීමට අවස්ථාව ලැබුණේ ඒ අනුව මටයි.

ඒ විභාග ප්‍රතිඵලයට අනුව, පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති දොළහක ගත කළ වසර දහතුනකට කිට්ටු වූ මගේ පාසල් දිවියේ මා පෙනී සිටි විභාගවලින් මා ලද ඉහළම ලකුණු ප්‍රතිශතය ලබා ගැනීමට මට හැකි වී තිබුණි.

හයවෙනි ශ්‍රේණියේ සිට පාසල් අධ්‍යාපනය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හැදෑරීමට මට අවස්ථාව ලැබුණේ එලෙස ය.

කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මා සමග ඉගෙනුම ලබා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් අතර ආනන්ද ජයතිලක, සිසිර ප්‍රේමකුමාර, ව ආ දයාසිරි, සන්ධ්‍යා අබේවීර වැනි අය මේ මොහොතේ මගේ මතකයට එයි.

මගේ ගලහිටියාව මතක (දෙවන කොටස): https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html

-රසික සූරියආරච්චි

ප/ලි:
මගේ සොහොයුරන් දෙදෙනා වන රුවන් සූරියආරච්චි සහ සමන් සූරියආරච්චි ඉන් පසු වසරවල මා ලෙසම කොස්සින්න ශ්‍රී සීලානන්දයේ ඉගෙනුම අවසන් කර හයවෙනි ශ්‍රේණිය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වූහ.

මගේ පියා ද ගමේ පාසලෙන් පසු අධ්‍යාපනය ලබා ඇත්තේ ගලහිටියාව පාසලේ ය. නමුත් ඒ පාසල මධ්‍යම විද්‍යාලයක් ලෙස උසස් කිරීමට පෙර ය.

ප/ප/ලි:
මේ වීඩියෝ කතාව ද ගලහිටියාවේ මතකයකි. නමුත් ගලහිටියාව මධ්‍යම විද්‍යාලය ගැන නම් නොවේ. ගලහිටියාවේ මාකිලංගමුව පාරේ නැදුන ප්‍රදේශයේ පිහිටි ගම් සභා පුස්තකාලය ගැන ය.



(image: https://www.linkedin.com/company/galahitiyawa-central-college/)

Tuesday, 12 May 2020

මගේ Rasikalogy යූටියුබ් නාලිකාවේ අර්ධ ශතකය - Hooray, I have published 50 videos in my Rasikalogy YouTube channel


අර්ජුන රණතුංග ඉගෙනුම ලැබුවේ මා උසස් පෙළ ඉගෙනුම ලැබූ පාසලේ ම ය. ඔහු ඉතා අඩු වයසෙන් (යන්තම් අවුරුදු 18 පිරුණු පසු) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලද අතර විදෙස් ජනමාධ්‍යවලින්, කොහොමටත් ළමා මුහුණක් ඇති, අර්ජුන රණතුංගව එදා හඳුන්වා දුන්නේ කොලම්බු කිඩ් කියා බව ඩේලිනිවුස් පුවත් පතේ සඳහන්ව තිබුණි.

මගේ මේ කෙටි සටහනට අර්ජුන රණතුංගගේ ඇති සම්බන්ධය නම් එදා ඔහු තම පළමු ටෙස්ට් ඉනිමේ දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමයි.

මා ද ඊයේ අර්ධ ශතකයක් වාර්තා කළෙමි.

ඒ මගේ Rasikalogy යූටිටුබ් වීඩියෝ නාලිකාවේ පනස්වෙනි වීඩියෝව නිපදවා පළ කිරීමත් සමග ය.

කලක් සිතේ තිබුණ ද, හදිසියේ ආ සිතුවිල්ලක් අනුව ක්‍ෂණිකව 2020 මාර්තු 19 දින ඇරබුණු මගේ Rasikalogy යූටිටුබ් වීඩියෝ නාලිකාවේ වීඩියෝ පනහක් දින පනස් තුනක කෙටි කාලයක් ඇතුළත පළ කිරීමට කිසිදු අදහසක් මට නොවුණා පමණක් නොව එසේ කළ හැකි වේ යැයි මා සිහිනයකින් හෝ සිතුවේ ද නැත.

මුල් සතියේ එතෙක් මා සතුව තිබුණු පැරණි හිටං විහිළු දර්ශන කිහිපයක් පළ කිරීමෙන් පසුව මා අලුතෙන් ම රූගත කිරීම් කර ඒවා සංස්කරණය කරද්දී එය කෙතරම් කාලයක් වැයවෙන වෙහෙසකාරී ක්‍රියාවක්ද යන්න පැහැදිලි විය.

සමහර විනාඩි පහක වීඩියෝවක් සැලසුම් කර, පටිගත කර, සංස්කරණය කර පළ කිරීමට පැය පහක පමණ කාලයක් ගත විය. එයින් නොසිතූ විරූ කාලයක් ගත වෙන්නේ සංස්කරනයටයි.

එය කොතරම් වෙහෙසකාරී ක්‍රියාවක් වුව ද, වීඩියෝව පළ කර අවසානයේ දී දැනෙන්නේ ඉමහත් සතුටකි.

මගේ Rasikalogy යූටිටුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වූ, එනම් සබ්ස්ක්‍රයිබ් කළ පිරිස මේ වන විට 380 ක් පමණ සිටිය ද, නිතිපතා වීඩියෝ නරඹන්නේ සාපේක්‍ෂව ඉතා සුළු පිරිසකි.

පසුගිය සති හතක කාලයක් තිස්සේ දිනපතාම, වීඩියො රූගත කර සංස්කරණය කළ මම අද එක් දිනක විවේකයක් ගත්තෙමි.

හෙට සිට නැවත වීඩියෝ නිපදවා පළ කරන අතර මගේ උත්සාහය නරඹන්නන් පිරිස වැඩිකර ගැනීමට ද යොමු කළ යුතුය.

දැන් මෙන්න මා මෙතෙක් පළ කළ වීඩියෝ පනහ පිළිබඳ විස්තර, ඊයේ දිනයේ සිට ආපස්සට.

50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?



49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?



48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?



47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich



46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone



45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats



44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula



43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes



42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel



41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down



40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia



39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference



38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles



37. COVIDSafe App - An Australian Government Initiative



36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest



35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card



34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya



33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me



32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife



31. චක්කරේ Chakkare - Generation to Generation



30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories



29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World



28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී



27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා



26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!



25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music



24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි



23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!



22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?



21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්



20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්



19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී



18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි



17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්



16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍



15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?



14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි



13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?



12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!



11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම



10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)



9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම



8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි



7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද



6. Jokku Size : ජොකාගේ සයිස් එක



5. Jokku Kathandara : ජොක්කු කතන්දර



4. Jangi Hora : ජංගි හොරා



3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?



2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?



1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්



යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි