Showing posts with label ඉංගිලිසි ඉංගිරිසි ඉංග්‍රීසි ඉංග්ලිෂ්. Show all posts
Showing posts with label ඉංගිලිසි ඉංගිරිසි ඉංග්‍රීසි ඉංග්ලිෂ්. Show all posts

Thursday, 3 July 2025

රටේ දියුණුව සහ දේශපාලකයින්ගේ ඉංගිලිසි දැනුම - I dont know "melo deyak"



පසුගිය දා චීනයේ දී පැවති ලෝක ආර්ථික හමුවේ (World Economic Forum) සම්මන්ත්‍රණයක දී ඔහුට යොමු කෙරුණු ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රදර්ශනය වුණු "යන්නේ කොහෙද මල්ලේ පොල්" ආකාරයේ මෙලෝ හසරක් නැති හැසිරීම ගැන විවිධ මත පළ වී ඇත.

සභාව මෙහෙයවන්නිය ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයේ මූලික හරය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙ මෑතක දී කළ තීරුබදු වැඩිකිරීම ආසියානුකරයට සහ ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද යන්න වුවත්, සුනිල් හඳුන්නෙත්ති කළේ ඔහු කලින් පිළියෙල කරගෙන, පුරුදු පුහුණු වී ආ කතාවක කොටසක් ඉදිරිපත් කිරීම බවයි.

මේ ඒ ගැන "මයි-මතය"යි.
  1. ප්‍රශ්නය අසන්නා කුමක් ඇසුවත් තමන්ට අවශ්‍ය කරුණු සහ ඒ කරුණු පමණක් ඉදිරිපත් කිරීම දේශපාලකයෙකුගේ අයිතියකි. මක්නිසා ද යත්, විශේෂයෙන්ම දේශීය දේශපාලන කරුණුවල දී, නොදන්නා දේ කීමට ගොස් අනා ගැනීමට වඩා, දන්නා නිවැරදි දේ නැවත නැවත වුව ප්‍රකාශ කිරීමේ වරදක් නැත.

    නමුත් මා ඒ සාකච්ඡාව නැරඹූ විනාඩි දෙකක පමණ කාලය තුළ මට පෙනී ගියේ සුනිල් හඳුන්නෙත්තෙට ඔහුගෙන් විමසනු ලැබූ එම ප්‍රශ්නය ගැන හෝ ඒ සඳහා දිය යුතු පිළිතුර ගැන සරල අවබෝධයක් හෝ නොතිබුණු බවයි.

  2. එසේම, තමන් ලියාගෙන ගිය කතා කොටස කීමට පෙර, "ඔබ ඇසූ ඒ ප්‍රශ්නයට ස්තුතියි. එයට පිළිතුරු දෙන්නට පෙර මට මෙන්න මේ කරුණු කියන්නට ඉඩ දෙන්න," කියා කීමේ ඇති වැදගත්කම සහ එසේ කියන්නට තරම් සන්නිවේදන හැකියාවක් සුනිල් හඳුන්නෙත්තිට නොතිබුණු බව ද පැහැදිලි විය.

  3. ලංකාවේ ජනාධිපතියාට හෝ ඇමතියෙකුට ව්‍යක්තව ඉංග්‍රීසියෙන් කතා කරන්නට බැරිවීම නිසා රටට හෝ රටේ ආර්ථිකයට සිදුවෙන පාඩුවක් නම් නැත. මක් නිසා ද යත්, ඒ සියල්ල සාකච්ඡා වී තීරණය වන්නේ අමාත්‍යාංශ නිලධාරී මට්ටමෙන් වීමයි.

  4. නමුත් මේ වසර පහ තුළජනාධිපති සහ ප්‍රධාන ඇමතිවරු ඒ ජාත්‍යන්තර සන්නිවේදන කුසලතාව වර්ධනය කර ගන්නා බව දක්නට නොලැබුණොතින් සහ අවසානයේ දී සැලකිය යුතු ප්‍රමාණයේ වර්ධනයක් ඇතිකර ගෙන නොතිබුණහොත්, අන්න ඒ මොහොතේ දී නම්, අපිට ඔවුන් පිළිබඳව තක්සේරුවක් කළ හැක.

    ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා පරිචය කෙමෙන් වර්ධනය වන අයුරු ඉදිරි වසර පහ තුළ සහ සැලකිය යුතු වර්ධනයක් නිල කාලය අවසානයේ දී දක්නට නොලැබුණහොත් බොහෝ විට ඒ කාලය ඇතුළත රටේ ද සැලකිය යුතු වර්ධනයක් වෙන්නට ඉඩක් නැත.

    මක්නිසාදයත්, තමන්ගේ කුසලතා දියුණු කර ගත නොහැකි, ඒ සඳහා අවශ්‍යතාව නොමැති පුද්ගලයකුට රටේ දියුණුවට සක්‍රීය දායකත්වයක් කළ හැකි යැයි සිතිය නොහැකි බැවිනි.
- රසික සූරියආරච්චි

(image: Created using AI)

Saturday, 1 August 2020

සජිත් ප්‍රේමදාස සහ ඉංග්ලිෂ් භාෂාව ඉගෙනීම - Sajith's has good advice for all of us about learning English


මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ දී චිත්‍රපටියක් නැරඹූ බවයි.

ඔහු ඇතුළු මිතුරන් පිරිස එදා විභාගයේ දී ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. එකල අප පැවසූ පරිදි ලයිට් කණු ය.

ඊට වසර කිහිපයකට පෙර මා විභාගයට පෙනී සිටි අවස්ථාවේ දී ද, මගේ පන්තියේ සිටි පිරිමි ළමුන්ගෙන් එකෙකු හැර අන් සියලු දෙනාම ඉංග්ලිෂ් විෂයය සඳහා ලබා ගත්තේ ලයිට් කණු ය.

මා මුලින් සඳහන් කළ පුද්ගලයාට පසුව, එදා පාසල් සමයේ පිළිකුල් කළ එම විෂයය ම ඉගෙනගෙන පාසල් ඉංග්ලිෂ් ගුරුවරයෙකු ලෙස ජීවිකාව සොයා ගැනීමට සිදුවීම දෛවයේ සරදමකි.

වෙනස් අදහස් අතින් මෝඩ ගති පෙන්නුම් කළ ද, සජිත් ප්‍රේමදාස මේ වීඩියෝවේ පවසන අදහස එදා මෙදා සිසුන් සියලු දෙනාටම හොඳ අවවාදයකි. ආදර්ශයකි.


සජිත් මෙහි දී අප හොඳින් දන්නා වැදගත් කරුණක් කියයි. එනම් අප නොනවත්වා ම, දිගින් දිගටම ඉගෙන ගත යුතු බය ය.

ඊට අමතරව ඔහු මේ කතාවේ දී පවසන මා අගය කරන දෙය නම්, තමන් සියල්ල දත් ඉංග්ලිෂ් භාෂාවේ පරතෙර ගිය අයෙකු බව නොකියා, තවමත් වාහනයේ තිසෝරස් පොතක් තබාගෙන නිතරම ඉංග්ලිෂ් වචන ඉගෙන ගන්නා බව අවංකවම පැවසීමයි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න එදා විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඉංග්ලිෂ් විෂය සමත්වූ මට ටික දිනකින් ම සිදුවුණු මහා අකරතැබ්බයක්.

Monday, 14 November 2016

මයි ඩාලින් රසිකා - Rasika, my darling!


මගේ නම රසන්ත නොවී රසික වූ හැටි ගැන මම පසුගිය සතියේ ලියූවෙමි.

ඒ නම් දෙකෙන් මගේ නම කුමක් වූව ද, එසේ නොමැතිව, මගේ නම සුසන්ත, ප්‍රියන්ත, සමන්ත, ජයන්ත, වසන්ත වැනි ත-යන්නෙන් අවසාන වෙන්නක් වූව ද, එක්තරා කාරණයක් සම්බන්ධයෙන් නම් ඇතිවෙන ප්‍රතිඵලය එකම බව කිව හැක.

මේ ඒ ගැන විස්තර කෙරෙන මගේ අත්දැකීම් සහිත පොඩි කතා කෑලි දෙකකි.
මීට වසර පහළොවකට පමණ පෙර, කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් තිබී, ඒ දිනවල අලුතෙන් අන්තර්ජාලයේ පළ කිරීම ඇරඹුණු එක්තරා සිංහල පුවත්පතක් කියවමින් සිටි මට ඒ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ කුඩා ගැටලුවක් ඇති විය. මට මතක ආකාරයට එය පුවත් පතේ පෙර කලාපයක් කියවීම සඳහා යොදා තිබුණු සබැඳියක් බිඳී තිබීම වැනි දෙයකි.

මා එවිට කළේ, ඒ වෙබ් අඩවියේ සඳහන් වූ ඊ-මේල් ලිපිනයක් භාවිතා කරමින් අදාළ වෙබ් මාස්ටර්ට ඒ පිළිබඳව කියා යැවීමයි.

මා බලාපොරොත්තු නොවූ ආකාරයට වහාම මට පිළිතුරු ලැබුණු අතර, අදාළ දෝෂය ද නිවරද කර තිබුණි. එයට ස්තුති කරමින් මා යැවූ පිළිතුරෙන් පසු, මා විමතියට ලක් කරමින්, මට ඒ වෙබ් මාස්ටර්ගෙන් මගේ පුද්ගලික විස්තර විමසන ඊ-මේල් දෙකක් පමණ ලැබුණි.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම නැවත පිළිතුරු නොලියා නිහඬ වී මි.
දෙවෙනි සිදුවීම මෙසේ ය.
ඒ කාලයේ මා සේවය කළ ආයතනයේ, අපේ දෙපාර්තමේන්තුවේ, කාර්යාල තුනක් එකිනෙකින් කිලෝමීටර් හතළිහක් පමණ දුරින් පිහිටා තිබුණි. යම් කරුණක් ගැන බෙදා හැරුණු පොදු ඊ-මේල් පණිවිඩයකට මා පිළිතුරු යැවූ පසු, අපේ දෙපාර්තමේන්තුවේ ම වෙනත් කාර්්‍යාලයක අලුතෙන් සේවයට බැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකුගෙන් මට පුද්ගලික ඊ-මේලයක් ලැබුණි.

තමන් හඳුන්වා දෙමින් අරඹා තිබුණු ඒ ඊ-මේලයෙන් කියවුණේ, ඔහු මා හඳුනා ගැනීමට කැමති බවත්, නුදුරු දිනකදී අපේ කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීමකට සහභාගී වීම සඳහා ඔහු පැමිණෙන බවත් ය. රැස්වීමෙන් පසු කෝපි කෝප්පයක් බොමු ය යන යෝජනාවක් ද ඒ ඊමේලයේ තිබුණි.

මම ප්‍රසාදය පළ කර පිළිතුරක් යැවූවෙමි.

එදා රැස්වීමේ දී, මේ ඉන්දියානුවා අසුන් ගත්තේ, මා කවුදැයි නොදැන, මා අසලින් ම ය. සාකච්ඡාව පැවැත්වෙන වේලේ ඔහු මා කවුරුන්දැයි දැන ගන්නට ඇත. නමුත් ඔහු මා සමග වචනයකුදු කතා නොකළේ ය.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම ද නිහඬ සිටියෙමි.
මේ කතාංග ද්වයෙන් මා පැහැදිලි කිරීමට උත්සාහ කළ කරුණ මෙසේ ය.

රසික (Rasika) පමණක් නොව රසන්ත (Rasantha), සුසන්ත (Susantha), ප්‍රියන්ත (Priyantha), සමන්ත (Samantha), ජයන්ත (Jayantha), වසන්ත (Vasantha / Wasantha) වැනි සියලුම පිරිමි නම් ද ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ කළ, ඒවා රසිකා (Rasika), රසන්තා (Rasantha), සුසන්තා (Susantha), ප්‍රියන්තා (Priyantha), සමන්තා (Samantha), ජයන්තා (Jayantha), වසන්තා (Vasantha / Wasantha) යනුවෙන් ද කියවෙන නිසා, නමේ හිමිකාරයා හමු වී නොමැති විට ඒ නම කාන්තාවක ගේ ය කියා රැවටීමකට ලක්වීමට ඉඩ ඇත!

මා ඉහතින් ලියූ කතා කෑලි දෙකේ කියවුණු අත්දැකීම්වලදී මට එය හොඳින් අවබෝධ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තිලක / තිලකා, මදුර / මදුරා, මධුර / මධුරා, පුෂ්ප / පුෂ්පා, වැනි නම් ද මේ කී ආකාරයේ ටැපලීම් ඇති කරයි.

නමුත්, ආසිරි, මානෙල්, කුමුදු වැනි නම් හිමිකරුවන් පිළිබඳව වරදවා වටහා ගන්නට නම්, ඒවා ඉංග්ලිෂ් අකුරෙන් ලිවිය යුතු නැත!

(image: http://www.goodreads.com/book/show/14625389)

Thursday, 29 September 2016

ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower


කණිෂ්ඨ විද්‍යාලයේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වීම ඇරඹුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය. ඒ ගණිතය, සිංහල, සෞඛ්‍යය, පරිසරය, බුද්ධාගම සහ චිත්‍ර වැනි අන් සියලුම විෂයන් අපට ඉගැන්වූ අපේ පන්තිය භාර හේමාවතී ටීචර් නොව වෙනත් ගුරුවරයෙකු විසිනි. අවාසනාවටකට මෙන් ඔහු ගේ නම අද වන විට මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත.

නමුත්, සී.ඒ.ටී. කැට්, බී.ඒ.ටී බැට් යනුවෙන් සරල ඉංග්ලිෂ් වචන ඔහුගෙන් ඉගෙන ගත් බව නම් මගේ මතකයේ රැඳී ඇත්තේ විශාල සටහන් පොතක අදාළ රූප ඇඳ, ඒ වචන ලොකු අකුරෙන් ලියන්නට ඔහු අපට නියම කළ බැවිනි.

මේ ගුරුවරයා පාසලට පැමිණියේ බයිසිකලයක් පදිමින් බව ද මගේ මතකයේ ඇත. බයිසිකලයේ නගින්නට පෙර ඔහු තම දිග කලිසමේ කකුල් ඇලිස් බෑන්ඩ් එකක් වැනි ක්ලිපයකින් ආවරණය කරන බව මා දැක ඇත. එසේ කළේ, කලිසම් වාටිය සයිකලයේ දම්වැල වැනි තැන්වල ගෑවී කිලිටි වීම වැළැක්වීම සඳහා යැයි සිතමි.

හතරවෙනි ශ්‍රේණියේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූයේ එදිරිසිංහ වැනි නමක් තිබූ ගුරුවරයෙකි. සිසුන් ඔහුට වංකනාසික තිස්ස කියා කී බවට තරමක මතකයක් මට ඇත.

වංකනාසික තිස්ස පාසලේ ගුරු නිවාසයේ පදිංචිව සිටි නිසා දෝ ඔහුට ඉංග්ලිෂ් ඉගැන්වීමට අමතරව, වතු වැඩ නම් විෂය ද භාර වී තිබුණි.

අප තුන්වෙනි ශ්‍රේණියේ දී සිටියදී දේශපාලන පත්වීමක් යැයි මා පසුව සිතූ පත්වීමක් ලැබ අලුතෙන් විදුහලට පත්ව ආ මුල් ගුරුවරයා වූ දයාරත්න, ඒ ගුරු නිවාසයට තම හිමිකම පෑ නිසා දෝ වංකනාසික තිස්සට පසු කලෙක ඒ ගුරු නිවාසයෙන් ඉවත් වී යන්නට සිදුවිය.

අප පහේ පන්තියේ සිටියදී එක් දිනක ඉංග්ලිෂ් පාඩම නිම වූ පසු පන්ති කාමරයට පැමිණි ඉංග්ලිෂ් හැර අන් සියලුම විෂයන් අපට ඉැගන්වූ අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය, කළුලෑල්ලේ ලියා තිබුණු දෙයක් දැක, අල්ලපු පන්තියේ උගන්වමින් සිටි නිකුලස් නම් ගුරුවරයා කරා ගොස් යමක් පැවසූවා ය.

මගේ මතකයට අනුව ඔවුන් දෙදෙනා කතා වුණේ, එදා පාඩමේදී ඉංග්ලිෂ් ගුරුවරයා විසින් පිටි සඳහා ඉංග්ලිෂ් වචනය වන flour යන්න ලියා ඇත්තේ flower ලෙස බවයි.

මා ඒ බව දන්නේ ගුරුවරු දෙදෙනෙකු අතර පැවති සතර කන් මන්ත්‍රණයකට මා රහසේ ඇහුම් කන් දුන් නිසා නම් නොවේ. අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය විසින් මා ඔවුන් වෙත කැඳවා, ඉහත වචනය පිළිබඳව මගෙන් විමසූ හෙයිනි.

මල වෙනුවට මළ කියා ලියන, තණ වෙනුවට තන කියා ලියන අප, flour වෙනුවට flower කියා ලිවීමේ ලොකු වරදක් මට නොපෙනුණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.craftsy.com/blog/2013/11/types-of-flour/)

Tuesday, 27 September 2016

අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?


අද තම උපන්දින සමරන, ලංකාවේ ප්‍රථම (සහ එකම) වෘත්තීය බ්ලොග්කරු ලෙස විරුදාවලි ලැබ සිටින, W3Lanka බ්ලොග්කරු මා මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ කලකට පෙර ජනරළ පත්තරයට "සුන්දර ඉංග්‍රීසි" නමින් කොලමක් ලිව්වේ ය. ඔහු ඒ සමගම ඒ ලිපි පෙළ තම බ්ලොගය හරහා ද බෙදා ගත් බැවින් මා වැනි තවත් පිරිසකට ද ඒවා කියවන්නට ඉඩ ලැබුණි.

මගේ රසිකොලොජියේ ද ඉංග්ලිෂ් භාෂාව පිළිබඳව ලිපි කිහිපයක් ම පළ විය.

ඒ කිහිපයෙන් මා ඉතා ප්‍රිය කරන්නේ, අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් ආකාරය ගැන කියවෙන ලිපියටයි.
http://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html


මේ තවත් ඉංග්ලිෂ් භාෂාව හා සම්බන්ධ කතාවකි.

මෙය "අසුන්දර ඉංග්ලිෂ්" ලෙස වර්ගීකරණය කරමි!

මේ කතාවට වස්තු බීජය සැපයූවේ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Dirk Van Oudheusden) ය. ඔහු, මා පෙර ලිපියක ලියූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මෙන් ම, මා පශ්චාත් උපාධියක් හැදෑරූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ සේවය කළ බෙල්ජියන් ජාතික කථිකාචාර්යවරයෙකි. ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් මගේ උපාධි තීසීසය සඳහා මා කළ පර්යේෂණයේ උපදේශකයා ද විය.

ආසියානු තාක්‍ෂණ ආයතනය (Asian Institute of Technology) 1959 දී තායිලන්තයේ අරඹා ඇත්තේ ආසියානුකරයට ම පොදු අන්තර්ජාතික පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් ලෙසිනි. එය පවත්වාගෙන යාමට විවිධ යුරෝපීය සහ ආසියානු රටවලින් විශාල ලෙස අරමුදල් ලැබුණි. ඒ ප්‍රතිපාදනවල ම කොටසක් ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය සඳහා ද යුරෝපීය රටවලින් උගතුන් අනුයුක්ත කර තිබුණි.

අපට ඉංග්ලිෂ් භාෂාවෙන් තම විෂයයන් ඉගැන්නුව ද, වෑන් ෆ්‍රෝසම් ගේ මෙන් ම, වෑන් ඔයුඩියුස්ඩන් ගේ ද මුල් භාෂාව ඩච් මිස ඉංග්ලිෂ් නොවේ. මා දන්නා පරිදි ඔවුන් කුඩා කළ සිටම ඩච් භාෂාවට අමතරව මූලිකව ෆෙන්ච්, ජර්මන් යනාදී යුරෝපීය භාෂා උගත් අය වෙති. එනිසා, ඔවුන් ගේ ඉංග්ලිෂ් භාවිතය තරමක් වෙනස් විය. අප කරනවාක් මෙන්, මුලින් තම මව් භාෂාවෙන් සිතා, දෙවනුව එය ඉංග්ලිෂ් භාෂාවට සිත ඇතුළේ දී පරිවර්තනය කර එළියට දමන ආකාරය තරමක් හෝ පෙනුණි. ඔවුන් දෙදෙනා ගේ ඉංග්ලිෂ් උච්චාරණය ද සුවිශේෂී විය.

ආසියානු තාක්‍ෂණ ආයතනයේ පශ්චාත් උපාධිය නිමවා ආපසු ලංකාවට පැමිණි මම, මා පෙර සේවය කළ රාජ්‍ය ආයතනයේ (වානේ සංස්ථාව) ම සේවය ඇරඹූවෙමි. මද කලක් එසේ සේවය කරන අතරතුර, ඉදිරියටත් අධ්‍යාපන කටයුතු සහ පර්යේෂණ කිරීමට කැමැත්තක් මගේ සිත තුළ ඇති වූ නිසා, මට ලංකාවේ විශ්ව විද්‍යාලයක බැඳී සේවය කිරීමට කැමැත්තක් ඇති විය.

ඒ බව සඳහන් කළ ලිපියකින්, ආචාර්ය ඔයුඩියුස්ඩන් ඇමතූ මම, ඒ සඳහා විශ්වවිද්‍යාලයක සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවීමක් ලැබුණහොත් ඉදිරිපත් කිරීම සඳහා මට රෙකමදාරු ලිපියක් එවන ලෙස ඉල්ලා සිටියෙමි.

සති දෙකකින් පමණ මට ඔහුගෙන් ලිපියක් ලැබුණි.

ආසියානු තාක්‍ෂණ ආයතයේ දී මා කළ අධ්‍යාපන කටයුතු ගැන විස්තරයක් ද සහිතව ආචාර්ය ඔයුඩියුස්ඩන් ඔහු විසින් ලියා තිබුණු ඒ ලිපියේ සඳහන් වුණු එක් වගන්තියක් මගේ සිත ගත්තේ ය.

අයි සස්පෙක්ට් රසික කැන් ටීච් වෙල් (I suspect Rasika can teach well).

මා සිතන පරිදි, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්ට මෙහි දී කියන්ට අවශ්‍ය වූයේ, මා ආසියානු තාක්‍ෂණ ආයතයේ දී අධ්‍යයන කටයුතු මිස ඉගැන්වීමේ කටයුතු නොකළ නිසා ඔහු ඒ සඳහා මගේ ඇති හැකියාව ගැන නොදන්නා නමුත්, මට ඉගැන්විය හැකිය කියා ඔහු සිතන බවයි, එසේ නැතහොත් උපකල්පනය කරන බවයි.

සස්පෙක්ට් යන ඉංග්ලිෂ් පදයේ නිරුක්තිය මෙසේ වේ.



මෙහි දී, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්, "සස්පෙක්ට්" යන වචනය යොදාගෙන ඇත්තේ ඒ මුල් අරුතින් විය යුතුය.

නමුත්, අප පුරුදු වී ඇත්තේ "සස්පෙක්ට්" යන ඉංග්ලිෂ් වචනය නරක දෙයක් සඳහා සැක කරනවා ය යන සෘණාත්මක අරුත ගෙන එන්නට භාවිතා කිරීමටයි. ඒ, "සස්පෙක්ට්" යන වචනය නාමපදයක් ලෙස භාවිතා වෙන විට එය ලබා දෙන අරුත (සැකකරු) නිසා යැයි සිතමි.

එසේ නැතිනම්, "අයි සපෝස්" යනුවෙන් ලියනු වෙනුවට ඔහු "අයි සස්පෙක්ට්" යැයි කියන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වසර අවසානයේ දී මට විශ්වවිද්‍යාලයක රැකියාවක් ලැබුණු අතර එය, 1977 දී යූඇම්පීයට රට ගියා සේ, දාහත් වසරක සාපයක් ම විය!

ඒ විශ්වවිද්‍යාල රැකියාවේ දී මා ලද අපූරු අත්දැකීම් ගැන රසවත් විශ්වවිද්‍යාල කතා කිහිපයක් ම ලිවිය හැක.

අයි සස්පෙක්ට් අයි කැන් බ්ලොග් වෙල්?

(image: https://www.mech.kuleuven.be/en/cib/about/news/emeritaatdvo)

Friday, 9 September 2016

පොඩි පහේ නයෙක් ඇරීමක් - Size depends


මා මේ සැරසෙන්නේ පොඩි පහේ නයෙක් ඇරීමටයි.

හැබැයි මේ අර
අපේ ලොන්ඩරි කාමරයේ ඇති කිලෝ හතේ කම්බයින්ඩ් වොෂර් සහ ඩ්‍රයර් එක ළඟින් විත්,

කුස්සියේ ඇති සිරස් දොර දෙකේ ශීතකරණ අල්මාරිය අසලින් පහළට බැස,

ඩිෂ් වොෂරයේ ගෑවෙමින්,

බිමට අල්ලා ඇති පොලිෂ්ඩ් පෝසිලේන් ටයිල්ස් දිගේ ලෙස්සමින් විත්,

නිවසේ විනෝද කාමරයේ තිබෙන අඟල් හැට පහේ අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් එක සහ සවුන්ඩ් බාර් එක මග හැර උඩ තට්ටුවට ගොස්

මාස්ටර් බෙඩ්රූමයේ බිත්තියේ එල්ලා ඇති අඟල් පනස් පහේ 3ඩී ටෙලිවිෂනය අසලින් සීලිමට නැග,

මගේ ලේඛන කටයුතු කරන කාමරයේ ඇති අඟල් විසි හතරේ ඕල්-ඉන්-වන් පරිගණකයේ සහ ලැප්ටොප කිහිපයේ ගෑවී නොගෑවී බිමට බැස,

එතැනිස් රම්පස් කාමරයට ඇදී එහි ඇති අඟල් හතළිස් පහේ ප්ලාස්මා රූපවාහිනී කට්ට දෙස ඇසක් ඇර නොබලා,

සඳලු තලය ඔස්සේ ගරාජයට බැස

අපේ සුබාරු ලිබර්ටි ෆුල් ඔප්ෂන් වාහන දෙක යටින් ඇදී ගිය
නාග රාජයාවන් ලොකු ම ලොකු නාගයෙකු නම් නොවේ.

මූ තරමක පුංචි නයෙකි.

එසේ ම මූ තරමක පැරණි නයෙකි.

කොටින් ම, මේ නයා ප්‍රමාණයෙන් ඒ-4 ප්‍රමාණයේ ය.

එසේම මේ නාකි නාග රාජයා ගේ වයස වසර විසි හතරක් ම වේ.

මෙන්න නයා!



ඒ මගේ අයිඊඑල්ටීඑස් හෙවත් ඉංග්ලිෂ් ප්‍රවීණත්වය මනින විභාගයේ ප්‍රතිඵල සටහනයි.

මා අයිඊඑල්ටීඑස් විභාගයට පෙනී සිටියේ මීට වසර විසි හතරකට පමණ පෙර 1992 දී, කොළඹ දී ය. ඒ මා ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය සඳහා යොමු කළ අයැදුම් පතට අනුව කෙරුණු මගේ කුසලතා අගැයීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස, මේ පරීක්‍ෂණයට පෙනී සිට මගේ ඉංග්ලිෂ් ඉංග්ලිෂ් භාෂා දැනුම පෙන්වන ලෙස, මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ දැනුම් දීමක් අනුව නොකරම බැරි නිසා මුහුණ දුන් විභාගයකි.

විභාගයට පෙර මුදල් ගෙවා ආදර්ශ ප්‍රශ්නෝත්තර සහ කැසට්ටුවක් ද ඇතුළත් වූ පොතක් බ්‍රිටිෂ් කවුන්සලයෙන් මිලට ගෙන තරමක පුහුණුවක් ලැබුවෙමි.

මා ලැබූ ඉහත බෑන්ඩ් අටේ විභාග ප්‍රතිඵලය නිසා මා අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ 1995 දී ය. එදා සිට දැන් විසි එක් වසරක් ජීවිතය මෙරට ගෙවී ඇත.

මා මේ ලිපියෙන් කියන්නට අදහස් කළේ, සාමාන්‍ය නයා ඇරීම් යැයි පැවසෙන විස්තර කිරීම් ඇත්තට ම අපට අත්පත් කර ගත හැකි දිරා යන භෞතික දේ වුව ද, මේ ආකාරයේ නයි ඇරීම් සඳහා උපයෝගී කර ගන්නා අධ්‍යාපනික සමත්කම් පිළිබිඹු වෙන නිමිති නම් සදාකාලිකව එක සේ වැදගත් කමෙන් යුතු දේ බවයි.

ස්වභාවික අනතුරුවලින්, සොර සතුරන් ගෙන්, රාජ සන්තක වීමෙන් මේ ආකාරයේ දේ කිසි දිනක නැති නොවේ.

"උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා!" යැයි ඒ ප්‍රසිද්ධ කවියේ කියවෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:

"ඉතිං රසික, ඔයා ඒ ප්‍රතිඵල එක්ක ඕස්ට්‍රේලියාවට ගියාම මොකද එහේ අය කිව්වේ?"

"ආ, මාව කෙළින් ම ගත්තා මෙහේ සුද්දන්ට ඉංග්ලිෂ් උගන්වන ජොබ් එකකට!"

(image: http://transyl2014.blogspot.com.au/2015/06/blog-post_12.html)

Monday, 11 July 2016

(නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish?


සිනුවර වෙසෙන අලුත් දෙමව්පිය යුවලක් ටික දිනකට පෙර අප නිවසට ආවෝය. ගිය වසරේ උපන් ඔවුන් ගේ පුතණුවාට වයස තවම වසරක් හෝ පිරී නැත.

සතුටු සාමීචි කතා බහේ යෙදෙමින් සිටින අතර, අලුත් තාත්තා මගෙන් මෙලෙස විමසී ය.

"රසික අයියේ දැන් අපේ පුතා ලොකුවෙන කොට අපි එයා එක්ක කතා කරන්න ඕනෑ, සිංහලෙන් ද, ඉංග්ලිෂ්වලින් ද?"

"සිංහලෙන් කතා කරන්න. කවදාකවත් ඉංග්ල්ෂ් පාවිච්චි කරන්න එපා ගෙදර දී. එයා පාසලේ දී ඉංග්ලිෂ් ඉගෙන ගනියි" කියා උපදෙස් දුන් මම "ඇයි එහෙම ඇහැව්වේ?" යැයි ද විමසුවෙමි.

"නෑ, අයියේ, අපිට මේ ළඟදී පොඩි ළමයි ඉන්න අපේ යාළුවන් කට්ටියක් හම්බ වුණා. ඒ අය කිව්වේ නම් මුල ඉඳලා ම ළමයි එක්ක ඉංග්ලිෂ්වලින් කතා කරන්න කියලායි" එවිට නවක මෑණියෝ කීවා ය.

"මං හිටියා නම් ඒ ගොල්ලන්ගෙන් අහනවා, ඒ දෙමව්පියන්ට තමන් ගේ ළමයින්ට තමන් භාවිතා කරණ කැඩිච්ච ඉංග්ලිෂ් උගන්වන්න ඕනෑ වුණේ ඇයි කියාලා?" මම කීවෙමි.

මා ඒ කළේ සරදමක් ම නොවේ.

අපි අපේ දියණියට ඉංග්ලිෂ් භාෂාවෙන් යමක් කියන්නට කියා දුන්නේ නම් ඒ ඇය වයස වසර දෙකහමාරේ දී පමණ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට දිනපතා යන්නට පටන් ගන්නට පෙර දිනයේ දී "අයි වොන්ට් ටු ගෝ ටු ද ටොයිලට්", "අයෑම් තර්ස්ටි", "අයෑම් හන්ග්‍රි" වැනි අත්‍යාවශ්‍ය වාක්‍ය කිහිපයක් පමණි. එසේ කළේ ද ඇය ගේ දෛනික සුබ සිද්ධිය සඳහා ය.

අපේ මග පෙන්වීමක් නොමැතිව ඇය ඉංග්ලිෂ් කතා කරන්නට උගත්තා ය. අප සමග ඇය ගත කළ දවසේ හැම මොහොතක දීම ඇයට අප සිංහලෙන් ම කතා කළෙමු.

ඉංග්ලිෂ් තරමට ම නැතත්, හොඳින් සිංහල භාෂාවෙන් කතා කරන්නට අපේ දියණිය උගත්තේ ඒ නිසා ය. අප ඇය සමග නිතිපතා නිවසේ දී සිංහලෙන් කතා නොකළේ නම්, ඇයට කිසිසේත් ම සිංහල කතා බහ ඉගෙන ගන්නට නොහැකි වනු ඇත.

කුඩා ළමුන්ට භාෂා එකක් නොව කිහිපයක් ම එක්වර හොඳින් ඉගෙනීමේ හැකියාව ඇති බව එසේ කතා කරන්න ඉගෙන ගත් අයෙකුගෙන් ම(*) මම අසා ඇත්තෙමි. එනිසා ඔවුන් එක් භාෂාවකට පමණක් සීමා කිරීම මහා අපරාධයකි.

නවක දෙමව්පිය යුවලට මා කියූ කාරණය හොඳින් වැටහුණේ යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

(*) - ඒ බෙල්ජියන් ජාතික ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ගෙනි.
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html

Monday, 14 March 2016

අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation


විසිවෙනි සියවසේ සිව්වෙනි දශකයේ අග භාගයේ දී, කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කොකිස්කඩේ හන්දියෙන් කොස්සින්න දෙසට දිවෙන මාර්ගයේ සතියකට වරක් හිමිදිරි පාන්දර ඇවිද යන සුවිශේෂී පුද්ගලයෙකි.

කලිසම්, කමිස, ටයි, කෝට් යනාදියෙන් සැරසී, හිසට තොප්පියක් සහ පයට පාවහන් පැළඳ, එක අතකින් බෑගයක් ද, අනෙත් අතෙන් කුඩයක් ද රැගෙන මේ යන්නේ, එකල ඒ ප්‍රදේශයේ ටික්-ටොක් මහත්තයා නමින් ප්‍රකටව සිටි තැනැත්තාය.

විදුලි පහන් කණු නොමැති ඒ මාර්ගය අඳුරු ය. පොළොව හා ගැටෙන ඔහුගේ පාවහන් ටික්-ටොක්, ටික්-ටොක් ආකාරයේ හඬක් නිකුත් කරයි. ඒ හඬින් අවදිවෙන බල්ලෝ ටික්-ටොක් මහත්තයාට බුරා වැටෙති.

ඒ කිසිවක් නොතකා තම ගමනාන්තයට ළඟාවෙන ඔහු, හරියටම පාන්දර පහට මගේ පියා ගේ මහ ගෙදර දොරට තුන්වරක් තට්ටු කර, එක් වරක් "හරිශ්චන්ද්‍ර" යැයි අමතයි.

මේ පැමිණ සිටින්නේ මගේ පියා ගේ ඉංග්ලිෂ් ටියුෂන් මාස්ටර් ය.

මා මීට කලින් ලියා පළ කළ පළමු ලිපියේ (බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English) සඳහන් කළ පරිදි 1956 දී බලයට පත්වුණු රජය සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද කියමින් සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බනින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංග්ලිෂ් දෝරේ ගලමින් තිබුණු බවයි.

නමුත් මගේ පියා පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංග්ලිෂ් මීඩියම් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වූයේ සිංහල භාෂාවයි. ඒ ගමේ අධ්‍යාපනය අවසානයේ ලබා ගත හැකි හොඳම රැකියාව වූයේ රජයේ උපගුරු තනතුරයි. මගේ මව් පිය දෙපාර්ශවයේ ම, ඥාතීන් අති බහුතරයක් ගුරුවරු වී ඇත්තේ එහෙයිනි.

ඒ අතුරු කතාව කෙසේ වෙතත්, ටික්-ටොක් මහත්තයා ටක්-ටුක් කියා නිවසේ දොරට තට්ටු කරන මොහොත වන විට, එවකට ගැටවර වයසේ පසුවූ මගේ පියා අවදි වී, ලක ලැස්ති වී, චිමිනි ලාම්පුව පත්තු කර, පාඩම් පොත් සාලයේ මේසය උඩ දිග හැර තබා, දොර අසලට වී සිටිය යුතුය. තුන්වරක් කෙරෙන තට්ටු කිරීම සහ ඒ සමග කෙරෙන ඇමතීම ඇසුණු ක්‍ෂණයකින් නිවසේ දොර විවර නොවුණහොත් වහා ආපසු හැරෙන ඉංග්ලිෂ් මාස්ටර් පසු පස නොබලා පිටවී යනු ඇත.

මේ ඉංග්ලිෂ් පාඩමේ මූලික ක්‍රමවේදය වී ඇත්තේ, කටපාඩම සහ ඩික්ටේෂන්, පාඩම් හඬ නගා කියවීම, පිටපත් කිරීම, ක්‍රියාපද වර නැගීම යනාදියයි.

මෙලෙස ඉංග්ලිෂ් තරමක් කට ගා ගත් මගේ පියාට ඊළඟට උපදෙස් ලැබී ඇත්තේ ඉංග්ලිෂ් සහ සිංහල ලියවිලි සන්සන්දනයෙන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙන ගැනීමටයි. මේ සඳහා උපකාරක මෙවලම වී ඇත්තේ දිනපතා නිකුත්වෙන ලේක්හවුස් ප්‍රකාශනයන් වූ දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත් දෙකයි.

ඒ කාලයේ මේ පුවත්පත් දෙකේ ම කතුවැකි යනු ඇත්තෙන් ම එකම ලියවිල්ලකි. ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ ඩේලි නිවුස් පත්‍රය සඳහා රනිල් වික්‍රමසිංහ ගේ සීයා ගේ අනුමැතිය සහිතව ලියවෙන කතුවැකිය, සිංහලට පරිවර්තනය වී, දිනමිණ පුවත් පතේ පළ වීමයි.

සිංහලෙන් පළවූ බොහෝ පුවත් සහ ප්‍රධාන ලිපි ද මේ ආකාරයේ පරිවර්තන වී ඇත. එනිසා, සිංහල පුවත්පත් කලාවේදියෙකු වීමට මූලික සුදුසුකම වී ඇත්තේ සිංහලෙන් නිර්මාණාත්මකව ලිවීමේ හැකියාව ම නොව, ඉංග්ලිෂ් සිංහල පරිවර්තන හැකියාවයි.

දිනපතා කොළඹ-නුවර පාරේ කොකිස් කඩේ හන්දියට ඇවිද යන මගේ පියා, පෙර ඇණවුම් කර තිබෙන ඩේලි නිවුස් සහ දිනමිණ පුවත්පත් දෙක ලබා ගනී. ඊළඟට ඔහු ගේ දවසේ වැඩි හරියක් ගතවෙන්නේ පෙර කී කතුවැකි යුගල කියවමින්, සන්සන්දනය කරමින්, ශබ්දකෝෂය පරිශීලනය කරමින් අභ්‍යාසයේ නිරත වීමයි.

ගොවිතැන් බතින්, බුලත් පුවක් පොල් ආදී ගෙවතු ආදායමින් ජීවත් වූ දරුවන් පස්දෙනෙකුගෙන් යුතු ගම්බද ගොවි පවුලක වැඩිමහල් දරුවා වූ මගේ පියා ගේ මේ ඉංග්ලිෂ් ඉගෙනීම සඳහා, ගුරුවරයාට ගෙවිය යුතු ශත පනහක් වැනි මුදලද, දිනපතා පත්තර දෙක සඳහා ශත දහයක් හෝ පහළොවක් වැනි මුදලක් ද, ඔහු ගේ දෙමව්පියන් ඉතිරිකරගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි.

මේ ආකාරයෙන් ඉංග්ලිෂ් ඉගෙනීම එතරම් කාර්යක්‍ෂම වී යැයි මම නොසිතමි. නමුත්, එය මගේ පියාට හොඳ ආරම්භයක් ඵලදායී ආකාරයට ලබා දී ඇත.

එකල ගැමි ජනතාවට හිමිවුණු වර්නකියුලර් ක්‍රමයේ අධ්‍යාපනය ලබා, රජයේ උප ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹූයේ වුවද, පසු කලෙක ස්වඋත්සායෙන් උගෙන ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමටත්, අනතුරුව උසස් පෙළ, ජී.ඒ.කිව්. යනාදී විභාග සමත් වී වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙසින්, ඒ වන විට ලංකාවේ ආරම්භ වී තිබුණු, විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගන්නටත්, ඒ ඉංග්ලිෂ් ඉගෙනුම ඔහුට අනිවාර්යෙන් ම ප්‍රයෝජනවත් වෙන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මාතෘකාව යටතේම මම මීට කලින් වෙනත් ලිපි දෙකක් පළ කළෙමි.

1. බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English

2. එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956

ඒ හා සම්බන්ධ සාකච්ඡාවකදී මිතුරෙකු තවත් මිතුරෙකු කී දෙයක් උපුටා දැක්වූයේ මෙලෙසය.

"අපේ අයට ඉංග්ලිෂ් බැරි වීම ගැන අපට බණ්ඩාරනායක මුවහමට තඩි බාලා බේරෙන්න පුළුවනි. නමුත් ගණිතය අසමත් වීම ගැන ඒ විදියට කාට දොස් කියන්නද?"

Tuesday, 8 March 2016

එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956


බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි ඉගෙනීම යන මැයෙන් මා ලියා පළ කළ ලිපියට අදාළව, කියවූ අය විසින් තබන ලද ප්‍රතිචාර මත, සාකච්ඡාවක් ඇරඹීමට හොඳ අවස්ථාවක් තිබුණු නමුත් දින දෙක තුනක් තිස්සේ අධික ලෙස කාර්ය බහුල "වැඩ, වැඩ, වැඩ" තත්වයක් ඇති වූ නිසා අවාසනාවට එය මගහැරී ගියේය.

එනිසා, ඒ ලිපියෙන් පැන නැගුණු ප්‍රශ්නවලට පොදු පිළිතුරක් දීමට සිතුවෙමි.

මේ ලියන්නේ මවිසින් අසා කියවා දැනගෙන ඇති දේ සහ ඒ අනුව බැස ගන්නා ලද, මට සාපේක්‍ෂ, නිගමන ගැන බව අමුතුවෙන් කිව යුතු නැති වුණත්, වැඩි අවධානය පිණිස, එය සඳහන් කළ යුතුම ය.

මුලින්ම කිව යුත්තේ 1956 දී බණ්ඩාරයනායක බලයට පත්වෙන විට ලංකාවේ තිබූ සැබෑ තත්වය පිළිබඳව මූලික අත්දැකීම් අප කිසිවෙකුට නැති බවයි. අප දන්නේ අසා දැන ගත් දේ ය. එවැනි අත්දැකීම් ලද දේශපාලන අවබෝධයකින් යුතුව ඒ ගැන අද කතා කළ හැකි අයෙකු ගේ වයස අවුරුදු 80 ක් පමණ වෙනු ඇත.

දෙවෙනි කාරණය නම්, ඒ සිදුවීම්වලින් දශක හයකට පසු, අපට එහෙම නොවුණා නම් මෙහෙමය යනාදී ලෙස කළ හැක්කේ උපකල්පන පමණක් බවයි.

මා ද පෙර ලිපියේ එවැනි ප්‍රකාශයක් කර ඇත. එනම්, එදා සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ නොතිබුණි යන්නයි.

තුන්වෙනි කාරණය නම්, එදා බණ්ඩාරනායක සැලසුම් කළ දේ ඒ ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයෙන් ම ද යන ප්‍රශ්නයයි.

ඔහු මුහුණ දුන් දේශපාලන විරෝධතා සහ ඉතා කෙටි කලකින් ම ඒ විරෝධී බලවේගවලින් එකක මෙහෙයවීමෙන් ඔහු මරා දමන ලද බවත් සැලකූ විට, මෙහිදී බණ්ඩාරනායක යනු සතුරා නොව ගොදුර බව පෙනේ.

මේ සම්බන්ධයෙන් මා අසා, කියවා ඇති කරුණු කාරණා අනුව මගේ කියවීම මෙසේය.

ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ යටත් විජිතයක්ව තිබුණු අතර, 1948 දී නාමික නිදහස ලැබෙන විට, මුළු රාජ්‍ය තන්ත්‍රයම පවත්වාගෙන ගියේ ඉංගිලිසි භාෂාවෙනි. කටුනායක සහ ත්‍රිකුණාමලයේ පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය යුද කඳවුරු ඉවත් කර ගැනීමක් සිදු නොවුණි. බ්‍රිතාන්‍යයින්ට අයත් සමාගම් සහ දේපල විශාල වශයෙන් රටේ තිබුණි.

කොටින්ම ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ ද, බ්‍රිතාන්‍යයේ රජු වූ හයවෙනි ජෝර්ජ් ය.

ඒ ලද නිදහස සැබෑ නිදහසක් වීමට නම්, යටත් විජිත යුගයේ නටඹුන් එකිනෙක ඉවත් කළ යුතු බව පැහැදිලි ය.

මෙය, 1952 දී බණ්ඩාරනායක ගේ මූලිකත්වයෙන් පිහිටවූ සිරිලංකා එක, 1956 දී ආණ්ඩුව පිහිටවූ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය,කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු සියලුම වාමාංශික පක්‍ෂ පමණක් නොව, යූඇම්පීය ද එකඟ වූ කාරණයකි.

වෙනස තිබුණේ ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ කාල සටහන පිළිබඳ ප්‍රශ්න පමණකි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සැකසී තිබුණේ රාජ්‍යය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය නිපදවීමටයි.

රටේ සියලු දෙනාටම ඉංගිලිසි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉංගිලිසි ජාතික පාලකයින්ට තිබුණේ නැත. මක් නිසාද යත් රාජ්‍ය පරිපාලනය සඳහා හෝ වෙළඳ අංශයේ කටයුතු සඳහා එතරම් ලිපිකරුවන් සංඛ්‍යාවක් අවශ්‍ය නොවුණු හෙයිනි.

ගමේ ගොඩේ රජයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කෙරුණේ ස්වභාෂා මාධ්‍යයෙනි. ඒවායෙන් ඉගෙන ගන්නා අය යොදා ගැනුණේ ද, ඒ සමාජයට අදාළ රාජකාරි කටයුතු, එනම් ස්වභාෂා පාසල් ගුරුවරුන්, දේශීය වෙදුන්, නොතාරිස්වරුන් යනාදීන් බිහි කිරීමටයි.

කතෝලික පල්ලි ආශ්‍රයෙන් කතෝලික පාසල් ද, ඇමරිකන් මිෂනාරිවරුන් ඇරඹූ ක්‍රිස්තියානි පාසල් ද, වෙනත් ක්‍රිස්තියානි ආගමික සම්බන්ධකම් ඇති පාසල් ද, ඒ අච්චුවේ ම යමින් තවත් ඇමරිකන් මූලිකත්වය තිබූ පරමවිඥානාර්ථ සමාගම විසින් අරඹා තිබූ ආනන්ද, මහින්ද, ධර්මරාජ වැනි බෞද්ධ මිෂනාරි පාසල් ද ලංකාවේ තිබුණි.

ඒ සියල්ල මුදල් අයකරන පාසල් ය. ඒ පාසල්වලට තම දරුවන් යැවිය හැකි වූයේ යමක් කමක් ඇති අයට පමණි. ටී.බී. ඉලංගරත්න ගේ තිලක, අඹ යහළුවෝ, තිස්ස අබේසේකර ගේ බ්‍රින්ගින් ටෝනි හෝම්, ගුණදාස අමරසේකර ගේ ගමනක කතා මාලාවේ කොලොප්පං, බේගල්, මුසාවාදා අඩු මුල් කොටස් වැනි කෘති කියවා ඇති අයට ඒ තත්වය වටහා ගත හැකි වෙනු ඇත.

විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ තිස්ස අබේසේකර තම ජීවිතය ඇසුරෙන් ලියා ඇති බ්‍රින්ගින් ටෝනි හෝම් නම් කෘතියේ පාසල් ගාස්තු ගෙවීමට නොහැකිව විදුහල්පති මුණ ගැසීමට යන සිදුවීමක විස්තරය කියවද්දී, ඔහු මේ ලියන්නේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය ගැන බව දන්නා නිසා, මේ විශාල වැරදීමක් නොවේදැයි මට මුලින් සිතුණු බවයි. පන්නිපිටියේ ධර්මපාලය එදා සමාගමකින් පාලනය වූ ගාස්තු අය කරන පාසලකි!

ඉංගිලිසි භාෂා මාධ්‍යයෙන් ඉගැන්වීමේ කටයුතු සිදුවූ ආණ්ඩුවේ පාසල් වී නම් ඒ සෙන්ට්‍රල් කොලේජස් හෙවත් මධ්‍ය විද්‍යාල පමණක් යැයි සිතමි. මීට අමතරව, ඉංගිලිසිය ඉගැන්වීමේ මාධ්‍යය කර ගත් තවත් මහා විද්‍යාල ද සුලු සංඛ්‍යාවක් තියෙන්නට ඇත. මා දන්නා පරිදි, ද්වීතියික අධ්‍යාපනය පමණක් ලබා දුන් මේ පාසල්වලට ඇතුළත් වීමට ඉඩ ලැබුණේ මා දන්නා තරමින් ඉගෙනීමට ඉහළින් සමත්කම් දැක්වූ සිසු සිසුවියන් ට පමණි.

රටේ බහුතරයේ අවශ්‍යතාවය මත රාජ්‍ය භාෂාව ස්වභාෂා බවට පත් කරන්නට බණ්ඩාරනායක ගේ රජය ක්‍රියා කළ අතර, ඒ අනුව, රටේ අධ්‍යාපනය ද ස්වභාෂාවෙන් ලබා දෙන්නට තීරණය කෙරුණි.

ඉංගිලිසි ඉගෙනීම නැවැත්වීමක් හෝ ඉංගිලිසිය මුළුමනින්ම ඉවත් කර දැමීමක් මින් කිසිසේත් ම අදහස් වුණේ යැයි මම නොසිතමි.

කෙසේ වෙතත්, ඒ සමගම ලංකාවේ සමාජ දේශපාලන විප්ලවයක් ඇතිවිය. මාර්ටින් වික්‍රමසිංහ එදා ඒ වෙනස හැඳින්වූයේ බමුණු කුලයේ බිඳ වැටීම ලෙසයි.

රාජ්‍ය භාෂාව ඉංගිලිසියෙන් වෙනස් වීම ගැන අද දුක් වෙන්නන්, එසේ කරන්නේ, ඉංගිලිසියම දිගටම රාජ්‍ය භාෂාව ලෙස තිබුණා නම්, ඔවුන්ට ද ඒ බමුණු කුලයේ සාමාජිකයින්ව රටේ අන් අය අභිබවා වරප්‍රසාද භුක්ති විඳින්නට ඉඩ තිබුණා නොවේදෝ යන හැඟීම නිසා ය යන්න මගේ අදහසයි.

බමුණු කුලය බිඳ වැටීමෙන් පසු වූ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුවුණු වඩාත් ප්‍රගතිශීලි වෙනස වූයේ, ගම්බඳ දුප්පත් පවුල්වල දරුවන්ට පවා, සිංහලෙන්, දෙමළෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ක්‍ෂේත්‍රවලට පිවිසෙන්නට ඉඩ ලැබීමයි.

-රසිකොලොජිස්ට්

සැ/යු:
බණ්ඩාරනායක රජය විසින් රාජ්‍ය භාෂාව වෙනස් කිරීමේ දී උද්ගත වූ අමතර ප්‍රශ්නයක් වන සිංහල භාෂාව සහ දෙමළ භාෂාව පිළිබඳ කාරණය මෙහිදී මා හිතාමතාම සඳහන් නොකළේ එය මෙහි එන මූලික සාකච්ඡාව තරමක් පථයෙන් පිට යවන්නක් බැවිනි.

මේ ගැන බණ්ඩාරනායක බීබීසිය සමග කරන සාකච්ඡාවකින් කොටසක් මෙන්න.


(image: http://www.boi.lk/)

Thursday, 3 March 2016

බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English


සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද, සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බැණ වදින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංගිලිසිය දෝරේ ගලමින් තිබුණු බවයි. හැම ළමයෙකුට ම ඉංගිලිසියෙන් ඉගෙන ගන්නට හෝ අඩු වශයෙන් ඉංගිලිසි ඉගෙන ගන්නට හෝ පහසුකම් තිබුණු බවයි.

නමුත් මා මගේ පියාගෙන් අසා දැනගෙන ඇති ආකාරයට ඔහු පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංගිලිසියෙන් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වී ඇත්තේ සිංහල භාෂාවයි.

ගුණදාස අමරසේකර ලියූ ගමනක නවකතා මාලාවේ කොලොප්පං අඩු මුල් කොටස් කියවීමේ දී නගරයේ කොලීජියකට ඇතුළු වී මුල සිටම ඉංගිලිසි ඉගෙනීම යනු සල්ලිය බාගේ තරමක් හෝ ඇති පවුලක දරුවන්ට පමණක් තිබුණු වරප්‍රසාදයක් බව පැහැදිලි වෙනු ඇත.

මගේ පියා ගේ කාලයේ ඒ ගම්බද වර්නකියුලර් ඉගෙනීම අවසානයේ දී ලබාගත හැකි වූ ඉහළම රැකියාව වූයේ එක්කෝ උප ගුරු තනතුරකි, නැතිනම් පසුව වෙනත් අධ්‍යාපනයක් ලබා ආයුර්වේද වෙදකමකි. එසේත් නැතිනම් නොතාරිස් තනතුරකි. ගම් මුලාදෑනි තනතුර පැවතියේ පරම්පරා උරුමයක් ලෙසයි.

ඒ අනුව යමින් සිංහලෙන් ගමේ අධ්‍යාපනය ලබා, පාසල් ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹුවද, ස්වෝත්සාහයෙන් ඉංගිලිසිය ඉගෙන මගේ පියා අධ්‍යාපනයෙන් ඉහළට ගිය ආකාරය වෙනම ම ලියා තැබිය යුතු කතාවකි.

මගේ මව ගේ කාලය වන විට, ලංකාවේ ස්ථාන අතළොස්සක සෙන්ට්‍රල් කොලීජි හෙවත් මධ්‍ය විද්‍යාල ගොඩ නැගී ඒවායේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද හයවෙනි ශ්‍රේණියේ සිට හෝ ඉගෙනීමට ඉඩ ලැබී තිබුණි.

කලවාන පාසලේ ඉගෙන ගනිමින් සිටි ඇගේ දෙමව්පියන් විසින් ඉංගිලිසියෙන් ඉගෙන ගැනීම සඳහා මගේ මව රත්නපුර ජේසු දරුවා ගේ කන්‍යාරාමයට ඇතුළත් කළ විට ඇයව පන්ති දෙකක් පහළට දමා ඇත්තේ එතෙක් ගමේ පාසලේ දී ඇය ලබා තිබුණු ඉංගිලිසි දැනුමට සාපේක්‍ෂවයි. කෙසේ නමුත්, යාන්තම් තෙමසක් ගත වූ පසු, ආර්ථික ප්‍රශ්න සහ නවාතැන් ප්‍රශ්න යනාදී විවිධ හේතු නිසා ඇයට එතැනින් ආපසු ගමට ඒමට සිදුවී ඇත.

පසුව අටවැන්නේ විභාගය ඉහළින් සමත්ව ඇයට ඉංගිලිසියෙන් ඉගෙනීම සඳහා කරවිට මධ්‍ය විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ ලැබී ඇත. නමුත්, එහි දී ද තම ඉංගිරිසි දැනුම තවත් අඩු බව වැටහුණු නිසා අවසානයේ දී සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොස්වත්තේ විද්‍යාලයට පල්ලම් බැසීමට ඇයට සිදුව ඇති අතර ඇගේ ඉංගිලිසියෙන් ඉගෙනීම ඒ අනුව අඩාල වී ඇත.

මගේ මව සිංහල මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 1957 දී, එනම්, සිංහල රාජ්‍ය භාෂාව වෙන්නට දෙවසරකට පමණ කලින් ය. එසේම, ඒ රජයේ සියලු පාසල්වල ස්වභාෂා මාධයෙන් ඉගැන්වීම අරඹන්නට පස් වසරකට පමණ පෙර කාලයයි.

බණ්ඩාරනායක රජය සමයේ දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ තිබුණේ යැයි මට නම් කිසිසේත්ම නො සිතේ.

ඒ සමගම පැවසිය යුතු මේ පිළිබඳ මගේ මතය වෙන්නේ, අප වරද්දා ගත්තේ ඉංගිලිසියෙන් ඉගෙනීම සහ ඉංගිලිසි භාෂාව විෂයයක් ලෙසින් ඉගෙනීම වෙන් කර හඳුනා නොගැනීම නිසා බවයි.

ඉංගිලිසි මාධයෙන් ඉගෙනීමේ සිට සිංහල මාධ්‍යයට මාරු වීම යනු, විෂයයක් ලෙස ඉංගිලිසි භාෂාව ඉගෙනීමට අත් හැරීමට හේතුවක් නොවේ.

නමුත්, මගේ මවගෙන් පසු පරම්පරාවල ඇත්තන් බහුතරයක් කර ඇත්තේ ද එයම ය.

අපේ විශ්ව විද්‍යාල කාලයේ ද පළමු වසර ශිෂ්‍යයින්, ඉතාමත් ලෙහෙසියෙන් මග හැරියේ ඉංගිරිසි පන්තියයි.

-රසිකොලොජිස්ට්

(image: BBC video)

Wednesday, 24 February 2016

"හව් ඊස් ඉට් ගොයිං?" සහ "හව් ආයා ගොයිං?" මගේ ඕස්ට්‍රේලියානු අත්දැකීමක් - A page from my diary


මා පාසල් සමයේ පරිහරණය කළ "ඇන් ඉංග්ලිෂ් කෝස් ෆෝ ග්‍රෙඩ් සික්ස්/සෙවන්/එයිට්/නයින්/ටෙන්" වැනි අච්චුපොත්වල ද, පසු කලෙක කියවූ "බීබීසියේ", "ෆලෝ මී!" නමැති ගුවන් විදුලි ඉංගිලිසි ඉගැන්වීමේ වැඩ සටහනේ අත් පොතේ ද, ගම්පහ "ලාල් සෑර්" ගේ "ඉස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ දී බෙදා හැරුණු රෝනියෝ කළ පත්‍රිකාවලද සඳහන් වූ පරිදි අපට කිසිවෙකුව අලුතෙන් හඳුන්වා දුන් විට ඇති විය යුතු සම්ප්‍රදායානුකූල දෙබස මෙසේය.
හව් ඩූ යූ ඩූ?
හව් ඩූ යූ ඩූ?
ප්‍රශ්න පමණි. පිළිතුරු නැත.

නමුත් අප කලින් දන්නා හඳුනන අයෙකු මුණ ගැසුණු විට ඇති විය යුතු දෙබස මෙලෙස වේ.
හව් ආ යූ?
අයෑම් ෆයින් තැන්ක් යූ. හව් ආ යූ?
අයෑම් ෆයින් තැන්ක් යූ.
අදාළ වූ තැන්වලදී, මා ලංකාවේ කතා කළේ ද, ඒ අච්චු පොතේ ආකාරයටයි. තායිලන්තයේ පශ්චාත් උපාධිය හදාරන්නට ගිය විට දී ද, පොට්ට චාන්ස් එකක් වැදී ඉන්දියාවේ සම්මන්ත්‍රණයකට ගිය විට දී ද, ඒ දෙබස් භාවිතා වුණු වාර ගණන අප්‍රමාණ ය.

වසර විසි එකකට පෙර දිනයක ඕස්ට්‍රේලියාවට ගොඩ බට මා බලාපොරොත්තු වූයේ ද ඔය ආකාරයේ දෙබස් ය.

නමුත් මා පැමිණ තිබුණේ "ස්ට්‍රයින්" නම් භාෂාවක් කතා කරන "ස්ට්‍රායා" නම් රටකටයි.

මේ කතාව කීමේ දී, මගේ ජීවිත කතාව විස්තරාත්මක ලිවීම පසුවට තබා මා මුහුණු දුක් එක් අවස්ථාවක් පමණක් විස්තර කරන්නට අදහස් කරමි.

අප්‍රියෙල් මාසයේ එක් සීතල රාත්‍ර්‍රියක මෙල්බර්න් නුවරට ගොඩබට මා පසු දින අත්‍යාවශ්‍ය කාරණා සඳහා ලියාපදිංචි වීම්, බැංකු ගිණුමක් ඇරඹීම වැනි දේ සඳහා ගතකර, ඉන්පසු එළැඹුණු මහ සිකුරාදා, පාස්කු සඳුදා දීර්ඝ නිවාඩුවද ගත කර ඊළඟ දවසේ කෝෆීල්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති මොනෑෂ් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික සහ කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ගියෙමි.

ඒ අංශයට ඇතුළු වෙන විටම මා නෙත ගැටුණු පරිපාලන සහායකවරිය වෙත ගිය මම, පීඑච්ඩීයක් හෙවත් "පර්මනන්ට් හෙඩ් ඩැමේජයක්" කිරීමට මට ඇති අවශ්‍යතාවය ගැන කීවෙමි.

ඒ මොහොතේ එතැනට පැමිණ සිටි පුද්ගලයෙකු -හලෝ මම සහාය මහාචාර්ය ජෝන් ෆිෂර්, මං තමයි මේ දෙපාර්තමේන්තු ප්‍රධානියා- යැයි කියා මා ඔහු ගේ කාර්යාලයට කැඳවා ගෙන ගියේය. "ඔළුව අවුල් කර ගැනීම" සඳහා වූ මගේ අවශ්‍යතාවය ගැන විස්තර කිරීමේදී මට මගේ අධ්‍යාපනික පසුබිම සහ වෘත්තීමය අත්දැකීම් ගැන ද තොරතුරු පැවසීමට සිදුවිය.

ඒ ඇසූ අංශ ප්‍රධාන සහාය මහාචාර්යවරයා පැවසුවේ, හිස කුඩුච්චියක් දා ගැනීම සඳහා ලියාපදිංචි වීම ලෙහෙසියෙන්ම කළ හැකි බවත්, නමුත් ඊට පෙර, ඔහුට මගෙන් වෙනත් උපකාරයක් අවශ්‍ය බවත් ය.

ඊළඟ මොහොතේ මා වටහා ගත් පරිදි එම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන බීටෙක් උපාධියේ නිෂ්පාදන කළමනාකරණ විෂයේ සේවය කළ එක් අයෙකු පසුගිය සතියේ සිට ඉවත් වී ඇති හෙයින්, දෙපාර්තමේන්තු ප්‍රධානියා සිට ඇත්තේ ඒ පන්තිය පැවැත්වීමට අයෙකු සොයමිනි. මා ඒ මොහොතේ එතැනට පැමිණ ඇත්තේ දෙයියෝ දුන්නාක් මෙනි!

සතියකට පැය දෙකක පන්තියක් සෙමීස්ටරයේ ඉතිරි කාලය තුළ කළ හැකි දැයි සහාය මහාචාර්ය ජෝන් ෆීෂර් මගෙන් විමසීය. දින කිහිපයකට පෙර නොරටක සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, පීඑච්ඩීයක් සඳහා ලියාපදිංචි වීම ගැන විමසමින් සිටි මට ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් නොතිබුණි.

එකම ප්‍රශ්නය වූයේ මේ අදාළ පන්තිය යෙදී තිබුණේ පසුදා පස්වරු දෙකට වීමයි. තව ඇත්තේ පැය විසි අටක කාලයක් පමණි.

දෙසතියකින් ආපසු ලංකාව බලා යාමට කර තිබුණු සැලසුම් සිතන් ඉවත් කළ මා මේ යෝජනාව සඳහා කැමැත්ත ප්‍රකාශ කළ පසු, ඔහු මා කැටුව ගොස් දෙපාර්තමේන්තුවේ උප ප්‍රධාන මාටින් ස්මිත්ට හඳුන්වා දුන්නේ ය.

මා පසුව දැනගත් පරිදි මා සමග මුලින් කතාබහ කළ දෙපාර්තමේන්තු ප්‍රධානියා කේම්බ්‍රිජ් විශ්ච විද්‍යාලයේ උගත් ඉංගිලිසි ජාතික සංක්‍රමණිකයෙකු වූ අතර, උප ප්‍රධානියා පරම්පරාගත ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විය.

අදාළ අච්චු පොත සහ පන්තියේ සාකච්ඡා කළ යුතු දේ පිළිබඳ වැඩ සටහන මට ලබා දුන් උප ප්‍රධානියා පැවසුවේ යැයි මට හැඟී ගියේ "හෝප්යා කැන් හෙල්පස් හිය මේට්. සී වාට්යා කැන්ඩූූ. ඉෆ්යා ඩොන්ට් ගෙට් ටයිම් ටු ප්‍රිපෙයා, විල් කෑන් ද ක්ලාස් ටුමාරෝ ඇන් ස්ටාට් ෆ්‍රොම් නෙක්ස්ට් වීක්!" කියාය.

මා ජීවිතයේ මුල්වරට ඒ ආකාරයේ උච්චාරණයක් ඇසුවේ මේ උප ප්‍රධානියාගෙනි.

පසුදා උදයේ මා යළිත් මොනෑෂ් කෝෆීල්ඩ් කැම්පසය වෙත ගියේ හවස පන්තිය සඳහා නිවසේ දී සූදානම් වී ය.

මට ලබා දී තිබුණු මේසය අසලට පැමිණියේ දෙපාර්තමේන්තු උප ප්‍රධානියා ය. "හව් ඊස් ඉට් ගොයින්?" ඔහු මා අමතා කීවේය.

දෙපාර්තමේන්තු උප ප්‍රධාන මාටින් ස්මිත් මේ අසන්නේ හවස පැවැත්වීමට නියමිත පන්තියට මගේ සූදානම ගැනය!

"අයි හැඩ් එ ලුක් ඇට් ද මෙටීරියල් ඉන් ද ටෙක්ස්ට් බුක්. අයෑම් වෙල් ෆැමිලියර් විත් දිස් ස්ටෆ්. අයිල් බී ඒබල් ටු මැනේජ් දිස්!" මම කිවෙමි.

"ගුඩ් ඔන්යා!" කියූ මාටින් ඉවතට ගියේය.

එදිනම සවස හතරට පන්තිය නිමවූ පසු දෙපාර්තමේන්තු කුස්සි කෑල්ලේ තේ කෝප්පයක් තොල ගාමින් සිටි මා දැක මාටින් නැවතත් මගෙන් විමසූයේ "හව් ඊස් ඉට් ගොයින්?" කියාය.

මම මදකට වික්‍ෂිප්ත වීමි. ඇත්තටම ඔහු ඇසිය යුතුව තිබුණේ "හව් ඩිඩ් ඉට් ගෝ?" කියා නොවේද? මා පන්තිය අවසාන කර දැන් පැය කාලක් පමණ ගත වී ඇත.

"ඕහ්, ද ක්ලාස් වෙන්ට් වෙරි වෙල්. නියර්ලි ඕල් ස්ටුඩන්ට්ස් වර් දෙයා. වී හැඩ් එ ගුඩ් සෙෂන් ඩිස්කසින් ද ප්‍රොබ්ලම්ස් ෆ්‍රොම් දැට් චැප්ටර් ඇන්ඩ් දෙයර් සොලුෂන්ස්!" මම කෝකටත් කියා මා පැවැත්වූ පන්තිය ගැන සැකෙවින් විස්තරයක් කළෙමි.

"ගුඩ්, ගුඩ්, ගුඩ් ඔන්යා, සීයා ටුමාරෝ!" කියා ඔහු එතැනින් ඉවත්ව ගියේය.

"හව් ඊස් ඉට් ගොයින්?" කියා මේ මාටින් මගෙන් විමසන්නේ පන්තිය සඳහා මගේ සූදානම ගැන හෝ එහි ප්‍රගතිය ගැන හෝ නොවන බවත්, ඒ ඔහු "කොහොමද ඉතිං?" හෙවත් ඔහු "හව් ආ යූ?" යන්න අසන ආකාරය බවත් මා තේරුම් ගත්තේ පසු දින ද මේ තත්වයට මුහුණ දී, පසුව මිතුරෙකුගෙන් ද මේ ගැන ඉඟියක් ලැබුණු පසුවයි.

"හව් ඊස් ඉට් ගොයිං?" යන්න ද සමහරු අසන්නේ "හව් ආයා ගොයිං?" කියා ය.

යමෙකු හමුවූ විගසම මේ ප්‍රශ්නය (එනම්, හමුවීමක් අවසානයේ දී ඇසිය යුතු යැයි සිතෙන "ඔබ යන්නේ කොහොමද?" යන්න) අසනු ලැබූ කල්හි එහි අදාළත්වය ගැන තරමක් විස්මයට පත් වුවද, "අයිල් බී ටේකින් ද ටේ‍ර්න් හෝම්!" හෝ "අයිල් බී ඩ්‍රයිවින්!" යැයි කියා පිළිතුරු දුන් අය ද වෙති.

බ්‍රිස්බේන්වාසී තිසර ඊයේ පැවසූ පරිදි, සමහරු "හව් ආ යා ගොයින් ටු-ඩායි?" කියා අප මැරෙන විදිය ගැන විමසනවා අපට ඇසේ!

"හව් ඊස් ඉට් ගොයිං", "හව් ආයා ගොයිං?" හෝ "හව් ආයා ගොයින් ටුඩායි?" යන කවරාකාරයෙන් විමසනු ලැබූවද, පිළිතුර විය යුත්තේ "අයෑම් ගුඩ් තැන්කියු, හව් ආ යූ?" කියා බව ද මම ඉගෙන ගතිමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ වචන නමසීය ලියන්නට අතීතයට ගිය කෙතරම් එයින් වින්දනයක් ලැබුවේද යත්, පොදු ජන රසාස්වාදය හෝ කාලීන වැදගත්කම හෝ කෙසේ වුවද, මගේ අත්දැකීම් අමු අමුවේ ම වුව ද ලියා දාන්නට සිත් විය.

(image: http://australiacalling.com.au/hi-howya-goin-mate-vs-hello-how-are-you/)

Monday, 22 February 2016

අසුන්දර ඉංගිලිසි - I dont know "melo-deyak"


ආයුබෝවන් ළමයිනි,

මූලිකවම දේශපාලන බ්ලොග්කරුවෙකු වෙන අජිත් පැරකුම් ජයසිංහ තම W3Lanka බ්ලොග් අඩවියේ, කවි, විචාර වැනි විවිධාංග ලිපි ද විටින් විට පළ කරයි. ඉංග්ලිෂ් භාෂාව උගන්වන රජයේ ගුරුවරයෙකු ලෙස සෑහෙන කලක් සේවය කර ඇති ඔහු කලකට පෙර සුන්දර ඉංග්‍රීසි නමින් ලිපි මාලාවක් සතිපතා W3Lanka හි පළ කළේය. ඒ ඔහු ජනරළ හෝ එවැනි වාමාංශික පුවත්පතකට ලියූ තීරු ලිපි යැයි සිතමි.

ඉංග්ලිෂ් (English) යන වචනය සිංහලට පෙරළී අද භාවිතා වෙන්නේ ඉංග්‍රීසි කියා ය. ඉංග්‍රීසි යන්නේ ඇති "ර" ශබ්දය මුල් වචනයේ ඇති එකක් නොව පරිවර්තනයේ දී එකතු වූ එකක් ලෙස පෙනේ.

මේ ලිපියේ මාතෘකාව සඳහා යොදා ගෙන ඇති ඉංගිලිසි යන වචනය මා මුලින්ම දුටුවේ බලංගොඩ ආනන්ද මෛත්‍රී විසින් ලියන ලද "සරල ඉංගිලිසියට මග" යන කෘතියෙනි. ඒ පොත මා කියවූයේ උසස් පෙළ අවසාන කොට, පේරාදෙණියේ සිව් වසරක් ඉසුඹුලන්නට යන්නට පෙරාතුව තරම් ඈත කාලයක වුව ද තවමත් එහි තිබූ එක් වැදගත් කරුණක් මගේ මතකයේ රැඳී ඇත.

එය W සහ V අකුරු දෙකේ යෙදීම පිළිබඳව වේ.

මා මිත්‍ර චානුක වත්තේගම ද කලකට පෙර දිනක ෆේස්බුක් අවකාශයේ ලියා තිබුණු පරිදි සිංහල අප ඉංගිලිසි V අකුරු අවශ්‍ය ස්ථානවලදී බොහෝ විට තෝරා ගන්නේ W අකුරයි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ද වත්තේගම කියා ලිවීමයි. නිවරැදි Vaththegama වෙනුවට අප Waththegama කියා ලිවීම පිළිබඳව කිසිදු තර්කානුකූල හේතුවක් නොමැති බව චානුක වත්තේගම පවසා තිබුණි.

බලංගොඩ ආනන්ද මෛත්‍රී ගේ පොතේ මේ W සහ V ශබ්ද ද්වය නිවැරදි ස්ථානවල යොදා ගැනීම පහසු කිරීම සඳහා දී තිබුණු ඉඟිය වූයේ මෙයයි.

අප W යෙදිය යුත්තේ උව් ශබ්දයක් එන තැන් සඳහා පමණි. සාමාන්‍ය ව් ශබ්දය සඳහා නිවැරදි යෙදුම V ම වේ.

එසේම, W සහ V අකුරු සහිත ඉංගිලිසි වදන් ශබ්ද කිරීමේ දී ද, ඒ ඒ ආකාරයට ම කළ යුතුය.

ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස සරල ඉංගිලිසියට මග කෘතියෙහි දක්වා තිබුණේ ජනේලය යන අරුත දෙන Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියාය.

වින්ඩෝ යනු Vindo යන වෙනත් කිසිවෙකු නොදන්නා වචනයකි!

නමුත් Went/Vent සහ Wiper/Viper වැනි යෙදුම් වලදී උවෙන්ට්/වෙන්ට් සහ උවයිපර්/වයිපර් උච්චාරණ තම අදහස ඉංගිලිසි ජාතිකයෙකුට ප්‍රකාශ කිරීමේ දී ප්‍රයෝජනවත් වෙනු ඇත.

ඒ සමගම සියලුම වසන්තලා තමන් Wasantha නොවන බවත් Vasantha බවත් තේරුම් ගත යුතුයි. මා දන්නා වසන්ත/වසන්ති/වසන්තා ලා ගෙන් තම නම V අකුරෙන් අරඹා ලියන්නේ වසන්ත සපරමාදු පමණි.

එ පළමු පාඩම ඔබ සැමට තේරුම් යන්නට ඇතැයි සිතමි. මගේ මේ අසුන්දර ඉංගිලිසි ලිපියේ දෙවන පාඩම මෙයයි.

කණ්ඩායම යන අරුත දෙන බැච් Batch යන වචනය විශාල ලෙස භාවිතා වෙන්නේ විශ්ව විද්‍යාලවල ය. මේ වචනයේ සිංහල යෙදුම වන බැච් එක යන්න ආශ්‍රයෙන් එකම කණ්ඩායමේ සගයා වෙනුවෙන් බැචා ලෙසද, එකම කණ්ඩායමේ ගෑල්ළමයා වෙනුවෙන් බැචී ලෙසද, කණ්ඩායම් හැඟීම වෙනුවෙන් බැචත්වය කියා ද වර නැගී භාවිතා වේ.

කුමක් දෝ යැයි මට වටහා ගත නොහැකි හේතුවක් මත සමහරු මේ බැච් එක වෙනුවට බැජ් එක යනුවෙන් කියනු ලියනු මට අසන්නට කියවන්නට ලැබී ඇත. බැජ් (Badge) යනු ලාංඡනය යන අරුත දෙන ඉංගිලිසි වදන බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉංග්ලිෂ් යන්නේ නොමැති ර-කාරයක් එකතු කරගෙන ඉංගිලිසි වෙනුවට ඉංගිරිසි හෙවත් ඉංග්‍රීසි යයි අප අද වහරන්නාක් සේ, මේ බැජ් යන්නද, එහි බැජා, බැජී, බැජත්වය වැනි වරනැගුම් ද දිනක සම්මතය බවට පත්වෙන්නට ද ඉඩ ඇතැයි මට සිතේ.

තවත් එක් අසුන්දර ඉංගිරිසි පාඩමක් සිහියට නැගෙයි. කාල පරිච්ඡේදය අවසාන වෙන සීනු හඬ ඇසුණු බැවින් එය පසුවට තබමි.

සුබ දවසක් වේවා ළමයිනි!

-රසිකොලොජිස්ට් සර්

ප/ලි:
වසර විස්සකට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි පසු මා උගත් එක් දෙයක් නම් ප්‍රායෝගිකව ඒ නමින් රටක් නොමැති බවයි. මෙරට "ස්ට්‍රායා" නම් වේ. ඒ මෙහි භාවිතාවෙන සම්මත "ස්ට්‍රයින්" නම් භාෂාවෙනි.

ඒ ගැනත් පසුවට!

(http://www.sundayobserver.lk/2010/05/23/mon05.asp)