Showing posts with label සුචරිත ගම්ලත්. Show all posts
Showing posts with label සුචරිත ගම්ලත්. Show all posts

Tuesday, 30 May 2017

නෙලා ගන්න බෑ නම් මක්කෙයි කොරන්නේ? - Unequal distribution of factors of production


සුනිල් ආරියරත්න ලියා නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" නම් ගීතය, මා දන්නා ආකාරයට කාරණා තුනක් නිසා, විචාරක අවධානයට ලක් වූවකි.

එයින් මුල් කාරණය නම්, මා ඊයේ ලියා පළ කළ "මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත" නම් සටහනේ සඳහන් වුනු පරිදි, සිංහල සාහිත්‍යයේ දී අප මල් උපමා කරන්නේ කාන්තාවන්ට නිසාත්, මල් නෙලීම යනුවෙන් අදහස් වෙන්නේ කාන්තාවක ගේ ආදරය ලබා ගැනීම පිළිබඳව නිසාත්, නන්දා මාලනී නමැති කාන්තාව මල් නෙලන්නට බැරියෝ කියා දුක් ගීයක් ගැයීමේ තිබෙන යම් නුහුරු බවක් නිසා ඇති වූ මේ ගීතය ලෙස්බියන් සමකාමී ආදරයක් පිළිබඳව ගැයෙන්නක් ද යන අදහසයි.

මගේ අදහස වන්නේ එය එසේ නොව, පිරිමියෙකු පිරිමි සිතකින් ලියූ ගීයක් කාන්තාවක් ගායනා කිරීම නිසා සිදු වූ අවුලක් බවයි. වෙනත් වචනවලින් කියතොත්, ඒ ගීය පද රචක සුනිල් ආරියරත්න ම ගායනා කළා නම්, කිසි අවුලක් නොදැනෙනු ඇත.

දෙවෙනි කාරණය වන්නේ "නෙලා ගන්න බෑ" ගීතය පිළිබඳව මීට සහමුළින් ම වෙනස් වූ විචාරයක් කළ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු වූ ද, සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ද, සුචරිත ගම්ලත් විසින් ඉදිරිපත් කළ අදහසයි. ඔහු ඒ විචාරය ඉදිරිපත් කරනු මා ඇසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂයෙකු ලෙස දිවි ගෙවූ සමයේ එක්තරා සෙනසුරදාවක අප සහභාගී වූ සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී ය.

පසුව කචල් වී ගියත්, එකල සුසංයෝගයකැයි කියවුනු සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙදෙනා සම්බන්ධ ගී නිර්මාණ සිංහල රසිකයින් අතර, විශේෂයෙන් ම තරුණ පිරිස් අතර, ජනප්‍රිය වීම ඇරඹුණු ඒ කාලයේ දී මේ සම්මන්ත්‍රණය සංවිධානය වී තිබුණේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ (Arts Faculty) ය. ඒ සඳහා සම්පත් දායකත්වය සැපයූවේ, එවකට විශ්වවිද්‍යාලය සේවය අහිමි වී සිටි පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස විශ්‍රාම ලැබූ සුචරිත ගම්ලත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මයිකල් ෆ්‍රනාන්දු සහ එම පීඨයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු වූ අත්තනායක හේරත් යන තිදෙනා ය.

මෙහි දී, මයිකල් ප්‍රනාන්දු සහ සුචරිත ගම්ලත් අතර සිදු වූ වචන හුවමාරුවක් මිසක, මයිකල් ප්‍රනාන්දු විසින් පවසන ලද කිසිදු කාරණාවක් මගේ මතකයේ රැඳුණේ නැත.

අත්තනායක හේරත් පැවසූ කරුණුවලින් මගේ මතකයේ රැඳුණු එක ම, එක් අතකට පිස්සු පීකුදු, කරුණ වූයේ මෙයයි.

නන්දා මාලනී ගැයූ අම්මාවරුණේ ගීතයට (එය රචනා කර තිබුණේ සුනිල් ආරියරත්න නොව ධර්මසිරි ගමගේ ය) සංගීතය සැපයීම සඳහා ජල තරංග නම් වාද්‍ය භාණ්ඩය භාවිතා කර ඇත. පෘථිවියේ ජීවය ඇරඹුණේ ජලයේ නිසා, සියලු සත්වයින් ගේ ම අම්මා ලෙස සැළකිය හැකි ජලය ආශ්‍රයෙන් බිහිවෙන ජල තරංග වාදනය, අම්මාවරුණේ ගීතයට යොදා ගැනීම සුවිශේෂී කාරණාවකි!

ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වීම නිසා මට අසන්නට ලැබුණු ජීවිතයට ම අමතක නොවන කාරණය වූයේ, සුචරිත ගම්ලත් විසින් "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතයේ පදමාලාව දරුණු ලෙස විවේචනයට භාජනය කරමින් කළ වෙනත් ආකාරයක අරුත් දැක්වීමයි.
නෙලා ගන්න බෑ
මගේ අත දිග නෑ
අනේ ඒත් තව මල් පිපියං
කෝටි ගණං තව මල් පිපියං

මට විතරද මල් පිපෙන්නෙ
මං විතරද මල් කඩන්නෙ
අනුං ඇවිත් මල් නෙළුවා වේ
මලේ සුවඳ මට දැණුනා වේ

අතින් නෙලන මල් පිපෙන්නෙ
පෙර පිණටයි මට හිතෙන්නෙ
මුළු ලොවට ම මල් පිපුණා වේ
එ මල් දකින ඇස් ලැබුණා වේ
සුචරිත ගම්ලත් අරුත් දැක් වූ ආකාරයට, මෙහි දී මල් යනුවෙන් අදහස් වෙන්නේ ධනයයි, මල් නෙලීම යනු ධනවාදී ආර්ථිකයේ දී ඒ ඵල නෙලා ගැනීමයි. සම්පත් බෙදී ඇති විෂම ආකාරය නිසා, ඒ මල් නෙලීම කළ හැක්කේ ධනපතියන්ට ම පමණි. නිර්ධනයින්ට ඒ මල් නෙලීමට අත දිග නැත!

ඒ හේතුව නිසා, එලෙස ධනපතියන්ට තව තවත් මල් නෙලා ගැනීමට ඉඩ ලැබේවා කියා ප්‍රාර්ථනය කරන මේ සුනිල් ආරියරත්න ලියූ, නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය අන්ත ප්‍රතිගාමී එකකි!

-රසිකොලොජිස්ට්

"නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය පිළිබඳව අපේ අවධානයට ලක් වූ කාරණා තුනක් ඇතැයි මම මේ සටහන ආරම්භයේ දී සඳහන් කළෙමි.

එයින් මේ සටහනට අදාලත්වයෙන් අඩු ම (තෙවන) කාරණය නම්, මේ ගීතයේ තනුව පදනම් කරගෙන, මේ පදමාලාව යම් ආකාරයකට වෙනස් කරමින්, බැඳුණු කුණුහරුප ගීතයයි.

(image: https://anticap.wordpress.com/2015/11/01/wage-labor-and-capital-revisited/)

Monday, 29 May 2017

මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත - Confused?


දේශපාලුවෙකු ගැන ලියවුණු පොතක් සඳහා "සුවඳ හමන මලක්" යැයි නම යොදා තිබුණ ද, මල් යන්න කාව්‍යමය ලියවිලිවල දී නම් සැමවිට ම පාහේ යොදා ගන්නේ කාන්තාව පිළිබඳ වර්ණනා කිරීම සඳහා උපමාවක් ලෙස ය.
සොඳුරු වුවනත ඔබේ සුපිපි මල් කැකුළක් ය
සිතට සොම්නස සඳන මිහිරිතම හැඟුමක් ය
යනුවෙන් මා අවුරුදු දහ අටේ දී සිතින් පෙම් කළ යුවතියක් පිළිබඳ පබැඳුණු කවියක ලියවුණු බව මට සිහිවේ.

අවාසනාවකට මෙන් මට අද අමතක කාරණය නම්, එලෙස මලකට උපමා කෙරුණේ අර දේවිනිය ද, නැතිනම් ආනන්දනිය ද, නැතිනම් විශාකාවිය ද එසේත් නොමැති නම් යසෝදරාවිය ද යන්නයි. මල යන සාමාන්‍ය වචනය නොමැතිව සුවිශේෂී මල්වර්ගයක් උපමාවට ගත්තේ නම්, උදාහරණ ලෙස, පිළිවෙලින්, නිදිකුම්බා, රෝස, උඩවැඩියා සහ ඇන්තූරියම්, මගේ මතකය මීට වඩා හොඳින් සුරුකී තිබෙන්නට ඉඩ තිබුණි.

එලෙස යුවතියන් මල්වලට සම කිරීම නිසා, යුවතියන් කණ්ඩායමක් හැඳින්වීම සඳහා "මල් පාත්තිය" යන "කලෙක්ටිව් නවුන් එක" හෙවත් සමූහ නාම පදය එකල යොදා ගැනුණි. යුවතියන් රැසක් පිරිවරා යනෙන කොල්ලන් ඊර්ෂ්‍යාබර සරදම් බසින් හැඳින්වුණේ මල් පාත්තියේ හිමිකරු වශයෙනි.

ඒ කාලයේ ව්‍යවහාරය අනුව, "මලක් නෙලා ගැනීම" යනු යුවතියක ගේ කැමැත්ත දිනා ගැනීම විය.
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
කියා කරුණාරත්න අබේසේකර ලියා, මිල්ටන් පෙරේරා ගැයීය.

එයින් කියවෙන්නේ තමන්ට හිමි කර ගැනීමට නොහැකි තරුණියක ගේ ප්‍රේමය ගැන දුකින් තැවෙන පිරිමියෙකු ගේ ශෝකාලාපයයි.

පසු කලෙක, සුනිල් ආරියරත්න ලියා, නන්දා මාලනී ගැයූ ගීතයක මෙසේ කියවෙයි.
නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ
ඒත් අනේ තව මල් පිපියන්
කෝටි ගණං තව මල් පිපියං!
මා මුලින් සඳහන් කළ පරිදි මල් යනුවෙන් උපමා කෙරෙන්නේ කාන්තාවට වීම සහ මල් නෙලීම යනු කාන්තාවක ගේ ආදරය දිනා ගැනීම වීම නිසා, මේ නන්දා මාලනී ගයන්නේ ලෙස්බියන් සමකාමී ආදර ගීතයක් දෝ යි කුකුසක් ඇති වීම ස්වභාවික ය.

ඒ කෙසේද යත්, විමල් අභයසුන්දර ලියා වසන්තා සඳනායක මුලින් ගයා පසුව නන්දා මාලනී විසින් ම දෙවන වරට ගයා තැටිගත කළ පහත ගීතය ලෙස්බියන් සමකාමී ගීයක් යැයි සිතීම හා සමාන ආකාරයෙනි.
දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී
සිනා පපා ටිකිරි නගා
ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොණ්ඩේ බේරෙයි දිය බිංදු පුරා
නැලවී නැලවී සීතේ ගී තාලෙන්
කරුණාරත්න අබේසේකර ලියා නාරද දිසාසේකර (මල්ලිකා කහවිට සමග) ගැයූ ගීයක පහත පද සමග ඉහත විමල් අභයසුන්දර ගේ අදහස අපූරුවට සමපාත වේ.
චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරීමලී නාලා වගේ
නමුත් මෙය නම් අනිවාර්යෙන් ම තරුණයෙකු විසින් තරුණියක් පිළිබඳව කරන ආදරබර වර්ණනාවකි.

පෙර කී "නෙලා ගන්න බෑ" ගීතය මෙන් ම "දොළ ළඟ ගුරු පාර දිගේ" ගීතයේ දී ද අවුල ඇති වන්නේ, පිරිමි සිතෙන් ලියූ ගී පද, කාන්තාවන් විසින් ගායනා කිරීම නිසා බව පෙනේ. ඒ ගී පදමාලා ද, නාරද දිසාසේකරට ම දුන්නා නම් මේ අවුල ඇති නොවෙනු ඇත!

නළ කුමරු පිළිබඳව දමයන්ති කුමරිය ගයන, පිරිමියෙකු වර්ණනා කෙරෙන "සීත කඳුකර හිමව් අරණේ" නම් පෙම් ගීය, පිරිමියෙකු (මහගම සේකර) විසින් ලියන ලදුව පිරිමියෙකු (අමරදේව) විසින් ම ගැයීම නිසා සිදු වී ඇත්තේ ද, මේ ආකාරයේ ම අවුලකි.

කාලයත් සමගම, මල් නෙලීම හෙවත් මල් කැඩීම යන ක්‍රියා පදය ලිංග භේදයෙන් තොර වී ගොස් ඇති බව පෙනේ. අද ව්‍යවහාරික භාෂාවෙන් මල් කැඩීම යන්න යොදා ගන්නේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම තම සිත් ගත් අය සමග, විශේෂයෙන් ම ජංගම දුරකථන හරහා, අල්ලාප සල්ලාප කිරීම හැඳින්වීම සඳහා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම යනු මල් නෙලීම හෝ මල් කැඩීමට වඩා හාත්පසින් ම වෙනස් කටයුත්තකි. වාසනාවට හෝ අවාසනාවට මට මල් මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම පිළිබඳ කිසිදු අත්දැකීමක් නැත!

සුනිල් ආරියරත්න / නන්දා මාලනී ගීත පිළිබඳව සුචරිත ගම්ලත් ගේ විචාර පිළිබඳ මගේ මතකයන් ඊළඟට ලියමි.

Saturday, 27 May 2017

සනත් ජයසූරිය සහ සරත් විජේසූරිය අතර සමානකම්! - Anything strange there?


මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටියදී කළ සෑම දේශනයක දී ම ද, ලියූ සෑම ලිපියක දී ම, එක් අරමුණක් කර ගත්තේ ඔවුන් ගේ දේශපාලනික සතුරා වූ, නව සමසමාජ පක්‍ෂයට සහ හරය පුවත්පතට පහර ගැසීම වූ අතර ඒ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ගේ ලිපි සහ දේශනවලින් මූලිකව ම පහර කෑවේ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශ සහ ඒවායේ ආචාර්ය මහාචාර්යවරුන් ය.

සුචරිත ගම්ලත් ගේ එවැනි ලිපියක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අකටයුතු ගැන එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් ගැන කියවුණි. මා පසුව ලංකාවේ දී මිලට ගෙන කියවූ ඒ ග්‍රන්ථය නම් සරත් විජේසුූරිය විසින් ලියන ලද "මගේ නඩුව ඉවරයි" නම් කෘතියයි.

"මගේ නඩුව ඉවරයි" කෘතියේ නවකතාවක ස්වරූපයෙන් විස්තර කෙරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කරන කථිකාචාර්යවරයෙකු ගේ කතාවයි. ඒ කතාව, සහමුලින් ම ඒ ග්‍රන්ථයේ කතෘ සරත් විජේසූරිය ගේ පුද්ගලික කතාව බව ඉතා පැහැදිලිය. නමුත්, උත්තම පුරුෂයෙන් ලියවී ඇති මේ නවකතාවේ ප්‍රධාන චරිතයේ නම ලෙස සරත් විජේසූරිය විසින් යොදා ඇත්තේ "සනත් ජයසූරිය" යන්නයි!

අප දන්නා පරිදි, සනත් ජයසූරිය යනු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු සහ උප ඇමතියෙකු ද වන පුද්ගලයා ය. ඒ සියල්ල අතීත පට්ටම් වන අතර, වර්තමානයේ ඔහු කුමක් කරන්නේදැයි මම නිවැරදිව නොදනිමි.

එසේ ම, සරත් විජේසූරිය යනු, කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු, ලේඛකයෙකු, දේශකයෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු මෙන් ම, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වන පුද්ගලයා බව ද අපි දනිමු.

සරත් විජේසූරිය තමන් ගේ කතාව කීමට ප්‍රධාන චරිතය ලෙස "සනත් ජයසූරිය" යන නම යොදා ගත්තේ ඇයි?

මේ දෙදෙනා අතර ඇති සමානකම් මොනවා ද?

මට පෙනෙන ආකාරයට නම්, ඇත්තේ මේ නම් ඇති අකුරු, මාත්‍රා සහ අරුතේ සමානකම් පමණි. විජය-සූරිය යන්න ජය-සූරිය යන්නට වඩා ඉහළයි කියා ද අවශ්‍ය නම් තර්ක කළ හැක. එපමණකි.

මේ පිළිබඳව මගේ නඩුව ඉවරයි ග්‍රන්ථයේ මුල් කොටසේ දී කතෘ පවසා ඇත්තේ මෙයයි.


විශ්වවිද්‍යාලයක සිංහල මහාචාර්යවරයෙකු එලෙස "සනත් ජයසූරිය" යන නම, තම මුඛ්‍ය කෘතියේ ලා භාවිතා කරයි නම්, අප වැනි සරල බ්ලොග්කරුවන් ඒ නම හෝ වෙනත් නම් ගම් ඕනෑ තැන්වල දී අදාළ පරිදි භාවිතා කිරීමේ කිසිදු වරදක් මට නොපෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"මගේ නඩුව ඉවරයි" කෘතිය පිළිබඳව විවරණයක් පසුව ලියන්නට අදහස් කරමි.

එතෙක්, විශ්වවිද්‍යාලවල සිංහල ආචාර්යවරුන් ගේ කෘති පිළිබඳව ලියවුණු මේ ලිපිය කියවන්න.

කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?
https://rasikalogy.blogspot.com/2016/10/whats-issue-with-sinhala-language.html

Friday, 26 May 2017

සනත් ජයසූරිය නිසා සුචරිත ගම්ලත් සිහිවීම! - Wondering mind


අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ඇසුවේ දුටුවේ, පසුව ලංකාවේ ජනාධිපති ලෙස ද පත්වුණු ර ප්‍රේමදාස පිළිබඳව සඳහන් වුණු ස්ථානවල දී ය. දේව යසපාල ද සිල්වා වැනි නමක් ඇති අයෙකු විසින් ලියන ලද "සුවඳ හමන මලක්" නම් ග්‍රන්ථයේ ර. ප්‍රේමදාස ගේ උපන්දා සිට එදා තෙක් චරිතාපදානය ලිය වී තිබුණු බව මගේ මතකයයි.

"සුචරිත" යන වචනය නමක් ලෙස භාවිතා වෙනු මා අසා ඇත්තේ මීට වසර තුනකට පෙර මෙලොව හැර ගිය ජ්‍යෙෂ්ඨ සිංහල මහාචාර්යවරයෙකු වූ සුචරිත ගම්ලත් පිළිබඳව පමණි.

මා මුලින් ම සුචරිත ගම්ලත් දුටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී ය. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයක සම්පත් දායකයෙකු ලෙස ඔහු සහභාගී වූ අවස්ථාවක් විය.

ඔහු එවකට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු නොවී ය. දේශපාලන හේතුවක් නිසා සේවයෙන් නෙරපන ලදුව සිටි ඔහු, මා අසා ඇති පරිදි, පොල්ගහමුල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක් කරමින් ජීවිකාව සරි කර ගත්තේ ය. ඒ කාර්යයටත් වඩා ඔහු තම කාලය යෙදුවේ අද සමාජ සමානතා පක්‍ෂය ලෙස හැඳින්වෙන, එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් වූ, දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට බව පෙනුණි.

මට, සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද සාහිත්‍යමය මෙන්න දේශපාලන කරුණු පිළිබඳව කෙරුණු දේශන කිහිපයක් ම ශ්‍රවණය කිරීමට ඉන් පසුව ද අවස්ථාව ලැබුණි. එසේ ම, සුචරිත ගම්ලත් විසින් ලියන ලද ඒ ආකාරයේ ලිපි රාශියක් ද මම කියවා ඇත්තෙමි.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටි අවධියේ දී තමන් ලියූ සෑම ලිපියක ම, පැවැත්වූ සෑම දේශපාලන දේශනයක ම, අවසානයේ දී, නව සමසමාජ පක්‍ෂයට බැණ වදින්නටත්, නව සමසමාජය විසින් පළ කළ හරය නම් පුවත්පතට පත්තර කඩමාල්ල කියා අවමන් කිරීමටත් පුරුදුව සිිටියේ ය.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කම්කරු සංගමයේ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ලියූ ලිපිවල පෙර දී නව සමසමාජ පක්‍ෂය ගත් තැන ලැබුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවලට සහ ඒවායේ සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ය.

ඔවුන් සිංහල භාෂාව නිවැරදිව නොදන්නා බවත්, එසේ ම, ඔවුන් ඉංග්ලිෂ් පිළිබඳව කිසිදු දැනුමක් ද නොමැති ලිං මැඩියන් බවත්, සිසුන්ට දේශන වමාරන බවත්, සිසුන් ඒ දේශන කටපාඩම් කර විභාගයේ දී එලෙසම ලියන බවත්, පවසමින් සුචරිත ගම්ලත් ඒ මහාචාර්යවරුන්ව නිර්දය ලෙස විවේචනට ලක් කළේ ය.

සුචරිත ගම්ලත් ලියූ ඒ ලිපි කියවීමෙන් මා ලද හාස්‍යය, බීභත්ස, අද්භූත රස එකට කැලතූ ආස්වාදයට අමතරව වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් එක් දිනක මට ලැබුණි. ඒ මීට දශකයකට පමණ ඉහත එවැනි ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවද්දී ය.

ඒ ලිපියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අභ්‍යන්තර කරුණු හෙළි කෙරෙන ග්‍රන්ථයක් පිළිබඳව සඳහන් විය. එය ලියා ඇත්තේ සරත් විජේසූරිය නමැති එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් බව ද කියවුණි.

පසුව ලංකාවට ගිය අවස්ථාවක දී මම ඒ පොත මිලට ගත්තෙමි.

ඒ ගැන වැඩි විස්තර හෙට බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්


(image: https://au.pinterest.com/pin/399061216957657699/)