Tuesday 21 January 2020

ඔබතුමා, වැසිකිළි සහ රටේ දියුණුව - Your Honour, Toilets and Becoming a developed country


කලකට ඉහත ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනපති රටවල් සහ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපියානු සමාජවාදී රටවල් අතර සීතල යුද්ධයක් පැවතුණු සමයේ දී, අප ජීවත්වෙන පෘථිවිය නමැති ලෝකය, එකී ධනපති රටවල්වලින් සමන්විත "පළමුවන ලෝකය", සමාජවාදී රටවල්වලින් සමන්විත "දෙවන ලෝකය" සහ අන් සියලුම රටවල්වලින් සමන්විත "තුන්වෙනි ලෝකය" යනුවෙන් කොටස් තුනකට ඛෙදා විශ්ලේෂණය කිරීම සිරිත විය.

පසු කලෙක, මේ "දෙවෙනි ලෝකය" ස්වභාවික මරණයකට ගොදුරුව අහෝසි වී ගිය අතර, ඊට කලින් සිට ම වාගේ තුන්වෙනි ලෝකයේ රටවල් වෙනුවට සංවර්ධනය වෙමින් පවතින රටවල් යන යෙදුම භාවිතය ඇරඹී තිබුණි.

එකල සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි හැඳින්වුණු කණ්ඩායමෙන් ද කොටසක්, මේ වන විට නව කාර්මික රටවල් යනුවෙන් වඩා ඉහළ තත්වයක ලා හැඳින්වේ. අවාසනාවට මෙන් අපේ ලංකාව නම් තවමත් ඇතුළත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගොන්නට ය.

එක් කලෙක සංවර්ධනය වෙමින් පවතින්නේ යැයි සැකකෙන රටක්, පසු කලෙක සංවර්ධනය වූ, එනම් දියුණු වූ, රටක් යැයි උසස් කිරීම සඳහා භාවිතා කළ යුතු විවිධ සමාජ ආර්ථීක මිනුම් දඬු හා ඒවායේ අවම මිනුම් මේ කරුණු පිළිබඳ විශේෂඥයින් විසින් නීර්ණය කර ඇති බවට සැක නැත. මගේ මේ වෑයම, ඒ විෂයානුබද්ධ කරුණු ගැන සාකච්ඡා කරනු වෙනුවට, සංවර්ධනය වෙමින් පවතින තත්වයෙන් සංවර්ධිත තත්වයට අවශ්‍ය පිම්ම පනින්නට නම් අපේ ශ්‍රී ලංකාවට සාක්ෂාත් කර ගත යුතු ඉතා සරල කරුණු දෙකක් ගැන කෙටියෙන් සඳහන් කරන්නයි.

ඉන් පළමුවැන්න මෙසේය.

අප එකෙකුට අනෙකා ඔවුන් ගේ මුල් නම භාවිතා කර, විශේෂණ පද නොමැතිව ඇමතීමට හැකි දිනයක අප රට දියුණු රටක් වූවා වෙනු ඇත.

මා එයින් අදහස් කරන්නේ සමාජයේ පුද්ගලයින් එකිනෙකා පිළිබඳව ඇති ගෞරවය හෝ සැලකීම නැති කළ යුතු ය කියා නොව, සොක්කන් ලොක්කන්ට එතුමා, ඔබතුමා, මැතිතුමා යනාදී වචනයෙන් මූ‚ච්චාට හෝ බය පක්ෂපාතකම පෙන්වීමට කෙරෙන ඇමතුම් මෙන්ම, ලොක්කන් සොක්කන්ට ඕයි, තමුසේ යනාදි ලෙස කෙරෙන ඇමතුම් ද නතර වී, සැම දෙනාටම එකිනෙකා තමන් ගේ නමින් අමතන්නට හැකි වෙන දින අප දියුණු වූවා යැයි සලකන්නට හැකි බවයි.

රටක දියුණුවේ ප්‍රධාන ම සාධකයක් විය යුත්තේ රටවැසියන් ගේ සමානත්වයි. සියලූ දෙනාටම එකම අයිතිවාසිකම් සහ එකම වගකීම් තිබිය යුතු අතර, එකෙකු අනෙකාට වඩා උසස් හෝ පහත් නොවිය යුතු ය. අප සහමුලින් ම නැති කර ගත යුත්තේ පිදිය යුත්තාට පිදීම හෝ ගෞරව කළ යුත්තාට ගෞරව කිරීම නොව, එං පිටුපසින් එන බලු ගැත්තරකමයි. අනිත් පසට එන හයිරංකාරකමයි.

මීට අමතරව අද සමාජයේ වෘත්තිකයින් අතරට ද පැතිර ඇති පිළිලයක් වන අයියාමල්ලී (අක්කා-නංගී) ඇමතීම ද සහමුලින්ම නතර විය යුතු ය. එය ඥාතීත්වයෙන් සහෝදරකමට පමණක් සීමා විය යුතු ය. මගේ අදහස අනුව අයියා-මල්ලී (අක්කා-නංගී) ඇමතීමෙන් ගම්‍යවන්නේ ද හයිරංකාර-බලු ගැත්තරකමයි. එය දියුණු සමාජයකට අනවශ්‍ය පන්ති භේදයකි.

නොදියුණුකමෙන් දියුණු තත්වයකට අප පත්වීම සලකුණු කෙරෙන දෙවැනි නිර්ණායකය ලෙස මා දකින්නේ පෙර කී මුල් අවශ්‍යතාවයට වඩා සහමුලින්ම වෙනස් එකකි. එය මෙසේ ය.

ලංකාවේ පුරවැසියන් ගැවසෙන සෑම ප්‍රසිද්ධ ස්ථානයකම, විශේෂයෙන් ම කාන්තාවන්ට සහ පොදුවේ සැමට ම, හිරිකිතයකින් තොරව තම ශරීර කෘත්‍යයන් සිදු කරගත හැකි පොදු වැසිකිළි ගොඩ නැගී පැවතෙන දිනයක අප දියුණු රටක් වුවා වෙනු ඇත.

පොදු වැසිකිළිවල හිඟකම මෙන් ම, තිබෙන පොදු වැසිකිළිවල අපිරිසිදුකම නිසා ම, තමන්ට නිවසෙන් පිටවී පැය දෙක තුනක ගමනක් යාමට ඇති නම්, ඊට පැයක පමණ කාලයක සිට දියර වර්ග නොබී වෛද්‍ය පරීක්ෂණයකට මෙන් පේ වෙන්නට කාන්තාවන්ට සිදුවෙන තාක් කල් අප ලබන දියුණුවක් නැත.

පිරිමින් ගේ තත්වය කාන්තාවන් ගේ තත්වය තරම්ම කනගාටුදායක නැති මුත්, පොදු පිරිමි වැසිකිළිවල තත්වය දුටුවොත් බල්ලන් බත් නොකන බව අපි හොඳින් දනිමු.

මෙය වැසිකිළි පහසුකම් සැපයීම පිළිබඳව ම ප්‍රශ්නයක් නොවේ. වැසිකිළි පාවිච්චි කරන්නන් ගේ නොදියුණු, ආත්මාර්ථකාමී හැසීරීම ද, අද ඇති ඛේදජනක තත්වයේ එක් ප්‍රධාන සාධකයකි. රට දියුණු වූවා යැයි සැලකීමට නම්, රටේ පුරවැසියන් ගේ දියුණු හැසීරීම ද මනාව ප්‍රදර්ශනය විය යුතු ය.

මගේ ප්‍රාර්ථනය, සමානයන් වෙසෙන, පිරිසිදු වැසිකිළි ඇති සුපිරි රටකි.

එය අති සරල වචන කිහිපයක් පමණක් වුවත්, එවැනි තත්වයක් සාක්ෂාත් කර ගැනීම ලේසි පහසු කාර්්‍යයක් නොවෙන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.

(image: https://steemit.com/life/@blog-beginner/life-in-developing-country-vs-developed-country)

Wednesday 15 January 2020

හදවතක තතු (බයිනරි අච්චුවේ වාර්තාවකි) - It's been fourteen years


හදවත පිළිබඳ අපේ දැනුම කාලයත් සමග වෙනස් වූ හැටි හැඟවෙන මෙම රචනය පිළිබඳ මගේ මුල් සැලසුමට මෙහි දක්වා ඇති දෙකොටසට අමතරව තෙවැනි කොටසක් ද ඇතුළත් විය. ඒ තරුණ සමයේ දී හදවත දැනෙන ආකාරය පිළිබඳ විස්තරයකි.

නමුත්, මේ වචන කිහිපය ගලපන්නට ද සෑහෙන කාලයක් ගත වූ නිසා මෙය මෙලෙස පළ කරන්නට සිතුවෙමි.

නොලියූ වෙන කොටස එන්නේ අගට නොව මැදට ය.

එය ලියූ දිනක මෙහි මැදට ඈඳමි.

මුලින් ගම්පෙරළිය (1944) ද, ඉන්පසුව යුගාන්තය (1948) ද ලියූ මාර්ටින් වික්‍රමසිංහ පසුව එහි මැද කොටසවන කලියුගය (1956) ලිව්වා සේ ය.



හදවතක තතු
(බයිනරි අච්චුවේ වාර්තාවකි)

කුටීරම හතරක් ය
උඩින් ඇත කර්ණිකා වම දකුණ
යටින් ඇත කෝෂිකා එම ලෙසම
උඩ යටට යා කෙරෙන කපාට ය
යටින් එළියට ඇරෙන කපාට ය
ඇරෙති වැසෙති ය ඉබේ
ලබ්-ඩබ් සෙ නද දෙමින්
අපිරිසිදු ලේ ගෙනෙන ශිරා ඇත යා වෙලා
සුපිරිසිදු ලේ ගලන ධමනි ඇත යා වෙලා
මිට මෙළවු අතක් වන්
අඹ ගෙඩිය හැඩය ගත්
හදවත ය මේ

දශක පහකට කලින්
ප්‍රාථමික පාසලේ සෞඛ්‍යය පාඩමෙන්
ඉගෙන ගත්තෙමි එලෙස

පේෂියට ලේ ගෙනෙන කුඩා නාලිකා තුළ
මී වදය සේ බැඳුණු, මැලියමින් පිරී ගිය
වයරයක දවටලා නහර අතරින් යවා
කිරීටක ධමනියේ පටලවා ප්‍රසාරිත
ලෝහ දැල් සිලින්ඩර හතරකින් සමන්විත
පපු කුහරයේ දිවෙන මැමරි ධමනිය රැගෙන
තැනින් තැන බැඳ කෙරුණු
පංචමය අතුරු මං නිසා නොනැවති ගැහෙන
ඒ නමුත්
කොයියම්ම මොහොතක දි
වැඩවරයි දෝ කියා නොදන්නා
හදවතය මේ

සොළොස් වසකට කලින්
නිවෙස් බද නගරයේ රෝහලේ ඇඳක දී
ඉගෙන ගත්තෙමි එලෙස


-රසික සූරියආරච්චි

(image: (c) Pushpa Suriyaarachchi

Saturday 11 January 2020

විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"



එච්. එච්. කරුණාරත්න ලියූ "හෙළ දම් පැදි වැල" කවි එකතුව පිළිබඳ රසික සූරියආරච්චි විසින් 2011 දී ලියූ විචාරයකි. මෙය 2011 මාර්තු සන්නස කළාපයේ පළ විය.



විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"

මා, එච්. එච්. කරුණාරත්න කවියා මුලින් ම දුටුවේ වසර 2005 අග භාගයේ දී ස්කැට්ස් (SCATS) සංවිධානය විසින් සිඩ්නි නුවර එපින් හි දී පවත්වන්නට යෙදුණු "සාහිත්‍ය චින්තා" කවි සමුළුවේ දී ය. එදින ඔහු ලියූ සාහිත්‍යමය ලිපියක් කියවූ බව ද, ඔහු විසින් රචිත කවි පන්තියක් රස විඳි බව ද, මගේ මතකයේ ඇත.

එතැන් පටන් පසුගිය පස්වසර තුළ කරුණාරත්නයන් විසින් පබැඳුණු කවි පන්ති කිහිපයක් ම අසා, කියවා, රස විඳින්නට මට ඉඩ කඩ ලැබුණි.

"හෙළ දම් පැදි වැල" නමින් පසුගිය දා ප්‍රකාශයට පත්වුණු එච්. එච්. කරුණාරත්න කවි එකතුව පිළිබදව මා මේ කෙටි සටහන තබන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි.

තමා කවියෙකු නොවන බව නිරහංකාර ලෙස පෙරවදනේ සඳහන් කළ ද, එච්.එච්. කරුණාරත්නයෝ දීර්ඝකාලයක් තිස්සේ කාව්‍ය රචනාවෙහි යෙදුණු පළපුරුදු කවියෙකු වෙති. මේ කාව්‍ය සංග්‍රහයේ අඩංගු කර ඇති විවිධ විරිතින් පබැඳුණු සඳැස් කවි මෙන් ම සැහැලි වර්ගයේ රචනාවලින් ද ඒ බව මනාව සාධනය වේ.

ගණනින් එකුන් සැටක් වූ මේ කාව්‍ය පන්තීන්ගෙන් බහුතරයක් ම බෞද්ධ චින්තනය මත පදනම්ව, බොහෝ විට ධර්ම කරුණු පිළිබඳව රචිත ඒවා වීම ජීවිතයේ සැඳෑ කාලයේ පසුවෙන අප වැඩිහිටි පරපුරට මෙන් ම, මැදිවිය පසුකරමින් සිටින අපේ පරම්පරාවේ බණට, දහමට නැඹුරු වූ සිත් ඇත්තන්හට ද සතුට දනවන කරුණක් වෙනු ඇත.

පන්සල කේන්ද්‍රකොට ගත් බුද්ධාගම නමැති සංස්ථාව වෙත අප බැඳ තබා ගන්නා ආමිස පූජාවන් හි ප්‍රධාන තැනක් ගන්නා ගස් වන්දනාව සහ පිළිම වන්දනාව යන වන්දනා ද්වයේහි දී ම, සුගම විරිතට පබැඳිව, සුමුදු හඬින් ගැයෙන සිංහල කවි සහ පාලි ගාථා සාර්ථකව යොදා ගන්නා බව අප හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව බලන කල, "හෙළ දම් පැදි වැල" කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කාව්‍ය නිර්මාණ බොදු චින්තනය මත පදනම් වූ දිවි මගකට පාඨකයා යොමු කරවන ආකාරයේ ප්‍රබල විභවයක් ඇති රචනා බවට සැකයක් නැත.

ඇතැම් ගැඹුරු දහම් කරුණු පවා කරුණාරත්නයන් ගේ කාව්‍යමය හැකියාව හමුවේ සුගම පදවැල් බවට පෙරළී ක්‍රමිකව ගලා යයි. මා මේ කෘතියේ දුටු තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම්, බුදුගුණාලංකාරයේ අප කියවා ඇති ආකාරයේ කෙටි මාත්‍රාවෙන් යුතු කවි ප්‍රබල අරුත් හුවා දැක්වෙන අයුරින් පබැඳී ඇති ආකාරයයි.

උපන් බිමේ දිගු කලක් තිස්සේ කළ මෙහෙය නිමවා, විශ්‍රාමික සංක්‍රමණිකයෙකු ලෙස මේ "දකුණු කුරු දිවයින" ට පැමිණ තමා ලද ඒ විප්‍රවාසී අත්දැකීම් ද කවි බසට පෙරළා, හෙල දම්පැදිවැල කෘතියෙහි එන පදවැල් අතරට එක් කිරීමට කරුණාරත්නයෝ උත්සුකවීම ද පැසසිය යුතු කරුණකි. විගාමික සිංහල සාහිත්‍යයක පිබිදීමට ඉන් ලැබෙන රුකුල මම මෙහි ලා බෙහෙවින් අගය කරමි.

දේශපාලන කසළ ගොඩට සහ එහි ඉහඳ තබන නිලමැස්සන් ට වන්දිබට්ටකම් කෙරෙන "යුග පෙරළිය" නම් වු කවි පෙළ හමුවේ කිලිටි කර නොගෙන මා දෙනෙත වසාලමින්, "හෙළ දම් පැදි වැල" නමැති මේ කිරි කළය, කිරි කළයක් ලෙස ම හුවා දැක්වීමට මම කැමැත්තෙමි.

"හෙළ දම් පැදි වැල" කෘතියෙහි අඩංගු දම් පැදිවැල් කියවන, අසන, සෑම සිතක ම දම් සිතුවිලි පහළ වේවා, ඒ සිත් නිවේවා, සුවපත් වේවා යන්න මගේ පහන් පැතුමයි.

උපත සහ විපත අතර දුකෙහි ගැලෙමින්, සැපත සොයමින් අප ගෙවන මේ කෙටි ජීවිත කාලය අවසානයේ දී යම් ප්‍රයෝජනවත් වැඩක් කළා යයි සතුටු වීමට නම් "ගසක් වවා, පුතෙක් හදා, පොතක් ලියා තිබිය යුතුය" යනුවෙන් වැඩි දෙනෙකු නොදන්නා කියමනක් වේ.

සිනුවර අප අතර වෙසෙන කරුණාරත්නයන් තම දිගු ජීවිත කාලය තුළ අනේක සංඛ්‍යාවක් ගස් වවා ඇතැයි මම සිතමි. ඔහු රටට වැඩදායක දූ පුතුන් හදා ඇති බව ද අපි මැනවින් දනිමු. "හෙළ දම් පැදි වැල" නමින් මේ කෘතිය නිර්මාණය කිරීම තුළින් ඉහත කී තෙවැනි විවරණය ද එච්. එච්. කරුණාරත්නයන් ලබා ඇති බව කරුණා සිතින් යුතුව ඔබ සැමට මෙලෙස ලියා දන්වමි.

රසික සූරියආරච්චි

ප/ලි
මෙම කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා අවුරුදු 95 ක තම දිවිසැරිය පසුගිය දා නිම කර හෙට අවසන් ගමන් යයි. සුබ ගමන් කවියාණෙනි.