Showing posts with label මතිමතාන්තර. Show all posts
Showing posts with label මතිමතාන්තර. Show all posts

Friday, 10 December 2021

මරණ දඬුවම හෙවත් නීතියේ නාමයෙන් මිනීමැරීම ගැන නැවතත් - Stop killing in the name of law


මරණ දඬුවම ද මිනීමැරුමකි!

ඔව්, සත්‍යය එයයි. මරණ දඬුවම මිනීමැරුමකි. සාමාන්‍ය මිනීමැරුමක් නොව නීතියේ නාමයෙන්, හිතා මතා කෙරෙන පාපකාරී මිනීමැරුමකි.

වෙනත් අවස්ථාද තිබුණේ වුවද, සාමාන්‍යයෙන් මරණ දඬුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!

එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.

මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන ආ එන නොදියුණු සමාජයක නීතියක් වන මරණ දඬුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් ඇත් වී ඇත.

විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 107 ක් ම මරණ දඬුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 27 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙපිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඬුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඬුවමක් ලෙස භාවිතා නොකරති.

ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 54 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 27 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ (2020) වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.

මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඬුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. නමුත් පසුගිය දිනවල මැද පෙරදිග සිදුවුණු "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය තව බොහෝ දුර බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.

ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුව ද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනක උදාහරණ බොහොමයකි.

රටේ කිසියම් මිනීමැරුමක් වූ විට වහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි හඬනගන්නේ අප අතර සිටින ම්ලේච්ඡයින් පමණක් නොවේ. හතර පෝයට සිල් ගන්නා අය ද, රජයේ වගකිවයුතු ඇමතිලා ද ඒ අතරට එක්වෙති.

ටික කලකට පෙර සාමාන්‍ය හුදී ජනතාව සඳහා පැවැත්වුණු ප්‍රදර්ශන භූමියක මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම ගැන එක්තරා ආකාරයක ජනමතවිචාරණයක් ඉලෙක්ට්‍රොණිකව පැවැත්වුණු බවත් එහිදී තම මතය ප්‍රකාශ කළ අයගෙන් තුනෙන් දෙකක බහුතරයක් මරණ දඬුවමට පක්ෂව ඡන්දය දී තිබුණු බවත් කියවේ. ඒ සිද්ධියේ ඇති උත්ප්‍රාසය නම් එකී ප්‍රදර්ශනය පැවැත්වුණේ ලංකාවේ පුණ්‍යභූමිය ලෙස සැලකෙන අනුරාධපුරයේ දී වීමයි.

මගේ මතකයට අනුව 1989 දී පමණ අරඹා, මෑත ඉතිහාසයේ සිට ලංකාවේ බලධාරීන්ගේ සහ දේශපාලන නායකත්වයේ අනුදැනුම ඇතුව නිරතුරුව සිදුකෙරෙන අතිශය නින්දිත සහ අපරාධයක් වන, අපරාධවලට සැකකරන පුද්ගලයින් "ආයුධ පෙන්වන්නට රැගෙන යෑම" නම් තිරිසන් ක්‍රියාව වාර්තා වෙන හැම අවස්ථාවක දී ම, ඒ ගැන තම සතුට ප්‍රකාශ කරන පිරිස කොපමණක් ද?

මෙයින් සමහරු “පළමුව හදවත, දෙවනුව මොළය” ආකාරයේ මෝඩයින් ය.

අනෙක් පිරිස තවමත් ශිෂ්ටාචාරයේ සීමාව පැන ගන්නට බැරිවුණු ම්ලේච්ඡයෝ ය.

ඒ දෙආකාරයේ ම පිරිස අතර, උගතුන්, විද්වතුන්, මොලකාරයින් යැයි සැලකෙන සෑහෙන පිරිසක් ද සිටීමේ කිසිදු පුදුමයක් මට නම් නැත. එයට හේතුව, "පළමුව මව්බිම" කියා ජාතිවාදය වැපිරූ, වපුරන අයගේ හරස් කඩ ද එසේ ම වීම නිසා ය.

මේ ගැන වැඩි දුරටත් සිතන විට අපට වැටහිය යුත්තේ ඇත්තටම, අධිකරණයකින් මරණ දවුවම පනවා එය ක්‍රියාත්මක කිරීම යනු සාමාන්‍ය මිනීමැරුමකටත් වඩා දරුණු වරදක් බවයි.

ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනීමැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනීමැරුම්වල දක්නට නොලැබෙන දේ සිදුවීමයි.

මරණ දඬුවම පක්ෂව යමෙකු අදහස් දක්වා තිබෙනු මා දුටු විට එයට විරුද්ධව මගේ අදහස දැක්වීම මම කාලාන්තරයක් තිස්සේ කරගෙන යමි.

මා සැකෙවින් පවසන්නේ පහත දැක්වෙන සරල කරුණු ය.
  • මරණ දඬුවම ද මිනීමැරුමකි.
  • එක් මිනිසෙකු තවත් මිනිසෙකු මැරීම වරදක් නම්, මිනිසුන් පිරිසක් එකතු වී නීතිමය රාමුවක් මවා එය උපයෝගීකර ගෙන තවත් මිනිසෙකු මැරීම වරදක් නොවන්නේ කෙසේද?
  • මරණ දඬුවම ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
  • ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ ක්‍රියාවකි.
  • හොරකම් කළ විට අත් කැපීම, දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුණු විට ගල් ගසා මරා දැමීම සහ මරණ දඬුවම අතර වෙනසක් නැත.
මරණ දඬුවමට විරුද්ධව අදහස් මා පළ කළ හැම විටම, එයට ලැබෙන එක් ප්‍රතිචාරයක් නම්, මරණ දඬුවම නොදී සිටීමට කරුණු මොනවා ද, ඒ වෙනුවට කළ යුත්තේ කුමක්ද යන්නයි.

මට වැටහෙන විදියට කරුණු සොයා සාධාරණය කළ යුත්තේ මරණ දඬුවම දිය යුත්තේ ඇයි ද යන්න මිස නොදිය යුත්තේ ඇයි ද යන්න නොවේ. අස්වාභාවික, අසාධාරණ, අමානුෂික දේ මරණයයි, මරණ දඬුවමයි.

ඒ වෙනුවෙන් අප කළ යුත්තේ, ලෝකයේ වෙනත් ශිෂ්ට ජනසමාජ විසින් දැන් කාලයක් තිස්සේ සතුටුදායක ලෙස අත්හදා බලමින් සිටින බන්ධනාගාරගත කිරීම් සහ පුනරුත්ථාපන ක්‍රම ක්‍රියාත්මක කිරීමයි. ඒ ගැන ක්‍රමවේද සැකසිය යුත්තේ ආවේශීලී පුරවැසියන් නොව මනෝ වෛද්‍ය, සමාජ විද්‍යාඥ වෘත්තිකයින් විසිනි.

තවත් එක් කනගාටුදායක නමුත් එක්තරා ආකාරයකට හාස්‍යජනක කරුණක් පවසා මේ සටහන අවසන් කරමි.

මරණ දඬුවමට විරුද්ධව මා අදහස් ප්‍රකාශ කළ සෑම තැනක දී ම අසන්නට ලැබුණු “මූත් මිනියක් මරලා මරණ දඬුවමෙන් බේරෙන්න හදන එකෙක් වගේ වැනි මුග්ධ කතාවලට අමතරව දකින්නට ලැබුණු ප්‍රකාශවල මූලික තේමාව වූයේ, “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික වේ!” නැතහොත් “තමන්ගේ දරුවෙකුව වෙන අයෙකු මැරුවොත් ඒ මිනීමරුවා ගැන නම් ඔහොම කියන එකක් නෑ” වැනි අදහස් ය.

ඒ ප්‍රකාශවලින් ම, එසේ පවසන අයගේ සදාචාරය කවර මට්ටමේදැයි පිළිබිඹු වේ. මොවුන් තීරණ ගන්නේ හරි වැරැද්ද අනුව නොව තම වාසිය පතා වෙන අතර, අනුන් ද එසේ තමන් මෙන් පහත් තත්වයක සිටී යැයි සිතීමට තරම් අමනයන් ද වෙති.

-රසික සූරියආරච්චි

ප/ලි: මෙම සටහන මා මීට පෙර ලියා මේ බ්ලොගයේ පළ කළ සටහන් දෙකක නැවත ලිවීමකි. එලෙස සංස්කරණය කළ මේ සටහන පළකරන්නට සිතුණේ, නැවතත් මේ සාකච්ඡාව අපට අදාළ වෙමින් පවතින නිසා ය. (image: By Jacques-Louis David - https://www.metmuseum.org/collection/the-collection-online/search/436105, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=28552)

Friday, 17 February 2017

උදේට උම්මා, හවසට උම්මා - බැඳපු අයට උපදෙසක් :: My advice to married couples


ජීවිතයේ මුල් වතාවට මා කෙල්ලෙකු සිප ගත් දිනය මට අද මෙන් මතක ය.

ඒ මගේ වයස දාසයයි මාසයේ දී නම් නොවේ. මා ඒ වන විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි. ඇයත් මාත්, අප දෙදෙනා, ඒ මොහොතේ සිටියේ කාන්තා නේවාසිකාගාරයක ආලින්දයේ කුළුණක් අසල ය.

පඩිපෙළ දිගේ කන්ද බැස, ගලහ පාරට එළැඹ, සරසවි උද්‍යානය ඔස්සේ පැමිණ, පටු පාලමෙන් මහවැලිය තරණය කර අක්බාර්-නෙල් ශාලාවට මා එදා ගියේ ඇවිදගෙන නොව පියාසර කරමින් විය යුතුයි.

ඇත්තටම මා එදා කර තිබුණේ නියමාකාරයේ සිප ගැනීමක් නොව, තරමක් දුරට හපා කෑමක් වැනි දෙයකි. මා ඒ බව දැනගත්තේ පසු කලෙක නිවැරදිව සිප ගන්නා ආකාරය පිළිබඳව පාඩමක් ඉගෙන ගත් දිනයේ ය.

ඒ කනගාටුදායක කාරණය කෙසේ වෙතත්, සිප ගැනීම යනු ලෝකයේ ඇති සුන්දරම අත්දැකීමක් බව අවිවාදාත්මක ය.

ඒ සුන්දරත්වය උපරිමයෙන් දැනෙන්නේ මා කී ආකාරයේ මුල් ම මුල් දිනයේ දී ය. එතැන් පටන් විවාහ වෙන්නට පෙරාතුව පෙම්වතිය සීමා සහිතව හමුවන කාලයේ දී ද, අඩු වැඩි වශයෙන් ඒ මිහිර පවතී.

විවාහ වූ පසු, දැන් ඉතිං නීතියෙන් ම, ඇයට මාත්, මට ඇයත් හිමි නිසා, සිප ගැනීමේ ආශ්චර්යය ටිකෙන් ටික ගිලිහී යන්නට පටන් ගනී.

කොටින් ම සිප ගැනීම යනු පෙර-කෑමක් හෙවත් ඔන්ට්‍රේ (entrée) එකක් පමණක් බවට පත්වේ.

එ කිස් ඊස් ඇන් ඇප්ලිකේෂන් ඇට් ද ටොප් ෆ්ලෝර් ෆො එ ජොබ් ඇට් ද බේස්මන්ට් (A kiss is an application at the top floor for a job in basement) කියා කියන්නේ ඒ නිසා ය.

මීට දශකයකට පමණ ඉහත දිනයක ඉන්දියානු කඩයකින් මිලට ගත් පැරණි හින්දි චිත්‍රපටයක් නරඹමින් සිටියෙමි. මේ චිත්‍රපටයේ නම කුමක්දැයි මට නිවැරදිව කිව නොහැකි මුත්, එහි අඩංගු වූ කතා වස්තුවේ ගුවන් නියමුවෙකු මිය ගොස් එතැන් සිට ඔහුට දාව උපන් තම දරුවා රැකබලා ගන්නා කාන්තාවක ගේ චරිතයක් ඇතුළත් වූ බව මගේ මතකයයි.

තවත් විස්තරයක් එකතු කරනවා නම්, ඒ මව තම පුතා නළවමින් කියන දරු නැළවිලි ගීයේ තාලයට ම "චන්ද්‍රා වාගේ මෙ රෑ නීළඹරේ හී" යනුවෙන් ගැයෙන සිංහල දරු නැළවිලි ගීයක් ද ඇත.

මේ චිත්‍රපටයේ ගුවන් නියමුවා මිය ගිය පුවත ලැබුණු පසු මට එක්වරම සිහිවූයේ, ඔහු එදින සේවය සඳහා පිටත්ව ගියේ තම බිරිඳට යාන්තම් මං ගිහින් එන්නම් වැනි දෙයක් පමණක් පවසා බවයි. මා ඒ බව වීඩියෝවේ ඒ මොහොත නැවතත් වරක් නරඹා තහවුරු කර ගත්තෙමි.

ඒ තමන්ට තම බිරිඳදක්නට ලැබෙන අවසාන දිනය බව ඔහු කිසිසේත් ම දැන සිටියේ නැත. ඒ බව ඔහු දැන සිටියා නම් ඒ සමුගැනීම කෙතරම් වෙනස්වන්නට නොතිබුණේ ද කියා මට ඒ මොහොතේ සිතුණි.

ඒ සමගම මට සිහිවූයේ ඉඳහිට දවසක් ඇය හෝ මා නිවසෙන් පිටත්වන විට සිපගෙන සමුගත්තත්, නිවසට ළඟා වූ පසු සිපගෙන පිළිගත්තත්, මගේ බිරිඳ සහ මා බොහෝ විට අප නිවසෙන් පිටත්ව යන මොහොත සහ නිවසට ළඟා වෙන මොහොත එතරම් වැදගත් ලෙස නොසලකන බවයි.

වහාම ඒ තත්වය වෙනස් කර, සිපගෙන සමුගැනීමේ සහ සිපගෙන පිළිගැනීමේ රෙජීමයක් ඇරඹිය යුතු යැයි මට සිතුණේ ඒ මොහොතේ දී ය.

ඒ සිතූ ආකාරය ම පසුදා සිට ඇරඹු ඒ වත්පිළිවෙත අද දක්වාම, මා හිතන ආකාරයට දශකය එකහමාරක් පමණ කාලයක් දැන් ක්‍රියාත්මකව පවතී!

දැන් ඉතින්, උදෑසන නිවසෙන් පිටවන මා පෙර කී සිනමාපටයේ ගුවන් නියමුවා මෙන් යළි කිසි දිනක නිවසට නොපැමිණියහොත්, අපේ චරිත රැගත් සිනමාපටය නරඹන රසිකයින්ට, මට පෙර දා ඇති වූ ප්‍රශ්නය පැන නොනඟිනු ඇත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බැඳපු අයට මගෙන් උපදෙසක්:

සැමදාම නොවැරදීම ඔබේ සහකරුට/සහකාරියට උදේට උම්මා එකක් ද, සවසට උම්මා එකක් ද දෙන්න.

"ජොබ් ඇප්ලිකේෂන් ඇට් ටොප් ෆ්ලෝර්" කතා ඊට අමතරව ය.

(image: http://www.snopes.com/politics/obama/photos/kissing.asp)

Wednesday, 8 February 2017

හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors


මිනිසා ඇතුළුව ලොව වසන අනෙකුත් සත්ව ප්‍රභේද සියල්ලේ ම පාහේ ශරීර නිර්මාණය වී ඇත්තේ තම වර්ගයා ගේ ඉදිරි පැවැත්ම සඳහා ම බව පිළිගත් සත්‍යයකි.

උදාහරණයක් ලෙස, කාන්තාවක ගේ තොල් පෙති පරිණාමනය වී ඇත්තේ හුදෙක් මුව වසා ආරක්‍ෂා ගැනීමට නොවේ. එය කාන්තා ලිංගෙන්ද්‍රියේ සංකේතයකි. එසේ ම කාන්තාවක ගේ පියයුරු යුගල නිර්මාණය වී ඇත්තේ දරුවෙකුට කිරි දීම සඳහා නොවේ. එය ද, ලිංගික එක්වීම සඳහා උත්තේජනය සැපයීම පිණිස, පශ්චාත් ප්‍රදේශයේ හැඩරුවට වාත්තු කෙරුණු අවයවයකි.

ඒ කරුණු මැනවින් විස්තර කර තිබුණේ, අප කුඩා කළ කියවූ ඩෙස්මන් මොරිස් ගේ නේකඩ් ඒප් සහ හියුමන් ඩ්සූ ග්‍රන්ථ ද්වයේ බන්දුසීල පරිවර්තන වූ නිරුවත් වානරයා සහ මනුසත් උයන යන ග්‍රන්ථයන් හි ය.

වැඩි දුරටත් මේ ගැන සලකා බලන කළ, මිනිස් ජීවිතයේ සෑම කාර්යයක් ම කෙරෙන්නේ ලිංගික ක්‍රියාවලිය, ප්‍රජනනය සහ ඉදිරි පරපුර බෝ කිරීම සඳහා ය. කොටින් ම, අප හොඳින් ඉගෙන ගත යුත්තේ ද, වඩා හොඳ ජීවන තත්වයක් ලබා ගෙන, වඩා හොඳ සහකරුවෙකු ආකර්ෂණය කොට ගෙන, වඩාත් හොඳින් ලිංගික ක්‍රියාවලියේ යෙදී, තත්වයෙන් වඩා උසස් ඉදිරි පරම්පරාවක් බිහි කිරීම සඳහා බව කිව හැක.

මෙහි දී අදාළ වෙන එක් අනිවාර්ය කොන්දේසියක් තිබේ.

එනම්, පරපුර බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලිය සිදුවිය යුත්තේ විරුද්ධ ලිංගිකයින් අතර ය. එනම් ගැහැනියක සහ මිනිසෙකු අතර ය.

එය ස්වභාව ධර්මයේ පොදු අවශ්‍යතාවයි.

නමුත්, අප වසන ලෝකය එසේ ගැහැනුන්ට සමග ලිංගිකව එක්වීම ප්‍රිය කරන පිරිමින්ගෙන් සහ පිරිමින් සමග ලිංගිකව එක්වීම ප්‍රියකරන ගැහැනුන්ගෙන් පමණක් මුළුමනින් ම සමන්විත වූ එකක් නොවේ.

පිරිමින් ප්‍රිය නොකරන නමුත් ගැහැනුන් ප්‍ර්‍රිය කරන ගැහැනුන් ද, ගැහැනුන් ප්‍රිය නොකරන නමුත් පිරිමින් ප්‍රිය කරන පිරිමි ද, මේ ලෝකයේ ස්වාභාවිකව ම බිහි වී සිටිති. එසේම වෙනත් ආකරවල මිශ්‍ර කොටස් ද සිටිති.

එම පිරිස් සමකාමී නැතහොත් හොමෝසෙක්ෂුවල් ලෙස හැඳින්වෙන බව අපි දනිමු.

සමකාමීත්වය ස්වභාව ධර්මයේ විකෘතියකට වඩා, ස්වභාව ධර්මයේ ම කොටසක් ලෙස හඳුන්වා දීමට මම කැමැත්තෙමි.

මැවුම්කාර මිථ්‍යා දෙයියෙකු ගේ නොපෙනෙන හෙවණැල්ලට මුවා වී පුරාතන යුරෝපයේ තම ඒකාධිපති බලය පතුරුවාගෙන සිටි කතෝලික පල්ලිය ද, ඒ ආකාරයේ ම ඒබ්‍රහාමික දෙවියෙකු අදහන ඉස්ලාම් ඇතුළු අන් බොහෝ ආගම් කල්ලි ද, දෙවියන් විසින් පිරිමියා ද, ගැහැනිය ද වෙන වෙන ම නිර්මාණය කර මිනිස් වර්ගයා බෝ කිරීමේ කර්තව්‍යය භාර දුන් බව විශ්වාස කරමින්, එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වන සමකාමීත්වයට එකහෙළා විරුද්ධ වූහ. අද ද ඒ බොහෝ පිරිස් සමකාමීත්වයට විරුද්ධ වෙති.

එසේ ආගමික හෝ වෙනත් හේතු මත සමකාමීත්වයට විරුද්ධ වූ ආකල්ප දරණ පිරිස් මෙන් ම, සමකාමීත්වය පිළිබඳව පිළිකුලක් හෝ බියක් ඇති පිරිස් ද, හෝමෝෆෝබියා
ලෙසින් හැඳින්වෙන මානසික ව්‍යාධියකින් පෙළෙන අය ලෙස සැලකේ.

විවිධ සංස්කෘතිකමය හේතු නිසා, අප බොහෝ දෙනෙකු අතර මෙකී හෝමෝෆෝබියාව විවිධ මට්ටමෙන්, අඩු වැඩි වශයෙන්, පවතින බව කිව හැක. නමුත්, නිවැරදි අධ්‍යාපනය මගින් ඒ මානසික ව්‍යාධියෙන් ගැලවිය හැකි බව මම දනිමි.

හොමෝෆෝබියාවෙන් පෙළෙන්නෙකුට වුව ද, තමන් සමකාමීත්වයට විරුද්ධ වීමෙන් ඇත්තටම කරන්නේ වෙනත් මානවයෙකු ගේ මානව හිමිකමකට විරුද්ධ වීම බව වටහා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. එසේ නොමැති අය සත්ව කොට්ඨාශයක් ලෙස වඩාත් සමානවන්නේ අමනුෂ්‍යයින්ට බව මගේ අදහසයි.

හෝමෝෆෝබියාවෙන් පෙළෙන ඇතමුන්, සමකාමී හෙවත් හෝමෝසෙක්ෂුවල් පිරිසේ අයිතිවාසිකම් ගැන කතා කරන සමකාමී නොවන අය සමග කතා බහේ දී යොදා ගන්න එක් විසුළු තර්කයක් ඇත.

එය නම්, ඔය හොමෝසෙක්ෂුවල් වැඩේ බරපතලකම ඔහේට තේරෙයි ඔහේ ගේ පුතෙකු හරි දුවක හරි හෝමෝසෙක්ෂුවල් වුණොත්! යන්නයි.

ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳව සැලකුව හොත්, පසුගාමී, මනාප ලෝලී පක්‍ෂ කෙසේ වෙතත්, පෙරටුගාමී චින්තනයක් ඇති පක්‍ෂ සමකාමීත්වය පිළිබඳ මානව හිතවාදී අදහසක් දරනු ඇතැයි මම අපේක්‍ෂා කළෙමි. ඒ අනුව, අතීතයේ දී මානව හිමිකම් කඩමින්, ගල්කටස්, ටී-56, ජාතිවාදී දේශපාලනයක නිරත වුව ද, ජනතා විමුක්ති පෙරමුණ අංශු මාත්‍රයක හෝ පෙරටුගාමී චින්තනක් ඇති පක්‍ෂයක් යැයි මම සිතුවෙමි.

එසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු සහ අධ්‍යාපන සුදුසුකම් අනුව දොස්තරෙකු ද වන නලින්ද ජයතිස්ස නමැත්තෙකු, තම විමුක්ති නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙද්දී කළ සමකාමී අයිතිවාසිකම් පිළිබඳ හොමෝෆෝබික් ප්‍රකාශයක් අසා මගේ ඒ අදහස නිවරද නොවන බව වැටහී ගියේ ය.

නලින්ද ජයතිස්ස නමැත්තා ගේ ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හයිරාකියේ ඊට ඉහළින් සිටින නායකයින්ගෙන් සද්ද බද්දයක් නොනැගීම ඒ තත්වය තහවුරු කරන්නට හේතු විය.

මේ ලිපිය ලියන්නට මූලික හේතු වූ උත්ප්‍රාසාත්මක සිදුවීම මෙසේ ය.

ෆේස්බුක් සහ බ්ලොගින් වැනි සයිබර් කටයුතු නිසා මා හඳුනා ගත් එක්තරා චරිතයක් සමග මම දිනක් සයිබරයේ චැනලයක් හරහා අදහස් හුවමාරු කර ගනිමින් සිටියෙමි.
මේ පුද්ගලයා ඉගෙනීමෙන් සහ වෘත්තියෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අයෙකි. එසේ ම, මා අනුමාන කරන පරිදි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව යම් කිසි ආකාරයක සහයෝගයක් දක්වන්නෙකි.

කුමක් දෝ සංගීත වැඩ සටහනක් ගැන කතාබහක දී පෙර කී නලින්ද ජයතිස්ස නම් ජේවීපීකාරයා ගේ නම ඇදී ආවේ ය.

"නලින්ද ජයතිස්ස කියන්නේ අර හොමෝෆෝබියාවෙන් පෙළෙන ජේවීපීකාරයා නොවේද"" යැයි අසමින් මම සයිබර් මිතුරාට පහත ලිපියට ද පාදක වී ඇති නලින්ද ජයතිස්ස ඩේලි නිව්ස් පුවත්පත හා කර තිබුණු සම්මුඛ සාකච්ඡාව පිළිබඳව සඳහන් කළෙමි.

අපේ කතාබහේ ඊළඟ දෙබස් කොයි ආකාරයේ වූයේ දැයි අනුමාන කළ හැකි ද?

මේ වෛද්‍ය උපාධිධාරී, ජේවීපී සපෝටර් සයිබර් මිතුරා ද මගෙන් විමසූයේ මා මුලින් සඳහන් කළ විසුළු තර්කයයි.

"හිතට එකඟව පිළිතුරක් දෙන්න රසික. ඔබේ පුතා තවත් කොල්ලෙකු සමග සම්බන්ධයක් ඇති කර ගත්තොත් ඔබට මොනවාද හිතෙන්නේ?" ඔහු මගෙන් විමසීය.

"මං හැම විටම කතා කරන්නේ හිතට එකඟව තමයි. හිතේ එකක් තියාගෙන වෙන එකක් කීම හෝ කිරීම මා කරන්නේ නෑ."

"මගේ දරුවන් වැඩිවිය පත් වූ පසු ඔවුන් ගේ ලිංගික චර්යාවන් කෙරෙහි කිසිම බලපෑමක් කරන්නට මගේ කිසිම අදහසක් නෑ."

"අනික ඔය ප්‍රශ්නයම පසුගාමී එකක් නේද? ඒ කියන්නේ පිටට එකක් කියා තමන්ට සම්බන්ධව වෙනත් ක්‍ර්‍රියා කලාපයක් අනුගමනය කරන්නේදැයි මා නම් කිසිවෙකුගෙන් අහන්නේ නෑ!"

මම ඔහුට එලෙස කීවෙමි.

ඔහු සමකාමීත්වය ගැන සිතන්නේ -එය ක්‍රියාවෙන් ම හුරු වූවක් මිස ජීව විද්‍යාත්මකව පිහිටි චර්යාවක් කියා නොවන බව- මිතුරා මා සමග පැවසීය.

"ඔහේත් නලින්ද ගේ ඩිග්‍රියම ද කළේ?" මම ඇසුවෙමි!

"ඔව්" යැයි පිළිතුරු ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කෙටුම්පත් කර තිබුණු මේ ලිපිය අවසන් කර ඉක්මනින් පළ කරන්නට තුඩු දුන්නේ සමකාමීත්වය සහ හෝමෝෆෝබියාව සම්බන්ධව රුවන් ජයතුංග ගේ බ්ලොගයේ පළ වූ පහත සාකච්ඡාවයි.
http://transyl2014.blogspot.com/2017/02/blog-post_74.html


(image:http://www.sunshinecoastdaily.com.au/news/embarrassing-bodies-doco-tests-shocking-gay-cures-/2203464/)

Monday, 29 August 2016

විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail


මගේ දෙයියා සහ උඹේ දෙයියා යන මැයෙන් මා රසිකොලොජියේ පළ කළ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වන අජිත් ධර්මකීර්ති මෙසේ පවසා ඇත.
1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි.
මා අද පළ කරන්නට සිතා සිටි ලිපිය තරමක් ප්‍රමාද කර මේ ගැන මගේ අදහස ලියන්නට සිතුවෙමි. විශේෂයෙන් මා මට කියන්නට අවශ්‍යව ඇත්තේ විශ්වාසය යන පදය පිළිබඳ මගේ නිරුක්තිය සහ එය බුදු දහමට කෙසේ අදාළ වේද යන්නයි.

විශ්වාසය යන වචනයේ අදහස් දෙකක් ඇතැයි (ශබ්දකෝෂ නොබලා) මම සිතමි. මට ඔබ විශ්වාසයි කියා කියූ විට ඉන් අදහස් කෙරෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් ට්‍රස්ට් යන අරුතයි. එසේ වුව ද, මූලිකවම ආගම් හා ඒ ආකාරයේ දේ සම්බන්ධයෙන් යෙදෙන බීලීෆ් යන තේරුම දීමට සඳහා ද සමහර විට විශ්වාසය යන්න යොදා ගැනේ.

බිලීෆ් යන තේරුම දීම සඳහා වඩාත් සුදුසු සිංහල වචනය ඇදහීම යන්න බව මම (මෙවරත් (ශබ්දකෝෂ නොබලා) සිතමි.

ආගම් ආදී විවිධ සංකල්ප, මතිමතාන්තර ගැන සලකන විට අප යමක් විශ්වාස කළ යුතු වේ ද, බිලීව් කළ යුතු වේ ද, එසේත් නැතිනම් ඇදහිය යුතු වේ ද, ඒ නම් අනිවාර්යෙන් ම අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ම ය. එනම්, අපේ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන, වෙනත් ඉන්දී්‍රයන්ට සංවේදී නොවන දේ ම ය.

මම ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිනොගනිමි. එනම්, විශ්වාස නොකරමි, එනම් නොම අදහමි.

ඒ ආකාරයෙන් අද මා පිළිනොගන්නා, විශ්වාස නොකරන, නොම අදහන දේ ලයිස්තුව ඉතා දිග ය. එයට අනිවාර්යෙන් ම අයිතිවන සංකල්ප අතර, දෙවියන්, යකුන්, පෙරේතයින්, වෙනත් ඇසට නොපෙනෙන අමනුෂ්‍යයින්, කේන්දර, පලාපල, කර්මය, පරලොව, පුනරුත්පත්තිය, නිර්වාණය ආදිය වේ.

මා සිතන ආකාරයට අප අතර පවතින බුද්ධාගම යනු බුදුන් දෙසූ ධර්මය හෙවත් බුදු දහම නොවේ. බුද්ධාගම යනු අර්ධ සංවිධානාත්මක සංස්ථාවකි. බුදු දහම යනු බොහෝ දුරට තාර්කික සංකල්ප එකතුවකි.

මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත!

ඕනෑම අයෙකුට බුද්ධාගමට අයත් නොවී, බුදු දහමේ එන කරුණුවලින් තමන්ට වැටහෙන, තමන්ට ප්‍රශ්න නැති දේ පිළිගත හැක. ඒ අනුව කටයුතු කළ හැක. මම එවැන්නෙක් මි.

ඇත්තටම බුදු දහමේ ඇති අතිශය වැදගත් ගුණය නම් එකී තම තම නැණ පමණින් දැන ගත යුතු, එව බලව නම් ලක්‍ෂණයි. මම ඒවා ප්‍ර්‍රිය කරමි.

තම තම නැණ පමණින් දැනගත යුතු යන කියමන ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ග්‍රන්ථයේ එන්නකි. ඒ කවි පදය මා අගය කළ ද, ඒ කවියේ ම අවසාන පදය වන මම නමදිම් සදහම් පහදා සිතු යන්න මට ගෝචර අදහසක් නොවේ.

එනම්, බුදු දහමේ බොහෝ දේ ගැන අපට අවුලක් නැති වුව ද, දහමක් යනු වැඳිය පිදිය යුත්තක් යැයි මා නොසිතන බවයි.

කර්මය, පරලොව ගැන සලකන විට, ලෝවැඩ සඟරාවේ ම එන මා සිත ගත් තවත් කවියක් සඳහන් කළ යුතුය. එය මෙසේ ය.

ඇතත් නැතත් පරලොව සුදනෙි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

මා සම්මත පව් වැඩ නොකරන්නේ ඒ තර්කයට අනුව ය. එසේ නොමැතිව, කර්මයක්, පරලොවක්, අපායක් ගැන බියකින් නොවේ.

ස්තුතියි අජිත් ධර්මකීර්ති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය සෙනසුරාදා සිට මට විරුද්ධව සයිබර් අවකාශයේ අතිශය පරුෂ වචනයෙන් බැණ වදිමින් අභූත චෝදනා එල්ල වෙමින් පවතී.

මා කිසි දිනක නොකළ, නොසිතූ, අනාගතයේ ද කිසි දිනක නොකරන දේ ගැන ඒ ආකාරයෙන් චෝදනා කීරීම සිත රිදවන අත් දැකීමකි.

නමුත්, අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි මම සිතමි.

චිංචි මානවිකාව ගේ බඩ බැඳි දරමිටිය ද ලෙහී ගියේ ය. සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳ සත්‍යය ද හෙළිවිය.

මේ වැනි අවස්ථාවල දී බුදු දහමේ (ධම්ම පදය, යමක වග්ගය) එන පහත ආකාරයේ තාර්කික ධර්ම කරුණු අඩංගු කවි ද අපට ප්‍රයෝජනවත් වේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ ය යැයි වෛර බඳින්නා ගේ වෛරය නොසංසිඳේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ යැයි වෛර නොබඳින්නා ගේ වෛරය සංසිඳේ.

ඒ ආකාරයේ තර්කානුකසළ ධර්මය පිළිබඳව විශ්වාස කිරීමක්, බිලීව් කිරීමක් හෝ ඇදහීමක් කිසිසේත් ම අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අදාළ පරිදි ගලපා ගැනීම පිණිස, ඒ යමක වග්ගයේ ම මුල් කවිය සහ එහි අරුත මෙලෙස ය.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

කුසල්-අකුසල් ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. එනිසා යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියයි නම් ඒ කරණකොට ගෙන, කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙන්, දුක ඔහු පසු පස්සේ ගමන් කරනු ඇත!

(image: https://www.flickr.com/photos/23404069@N07/8353743960)

Friday, 26 August 2016

මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God


ඉනික්බිති දෙයියා විසින් මිනිසා මවන ලදී යයි බයිබලයේ ලියා ඇත.

මා නම් සිතන්නේ එය සිදුවූයේ ඒ ආකාරයට නොව එහි ප්‍රතිවිරුද්ධ ආකාරයට කියා ය.

එනම්, ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී!

විශ්වය සෑදුණේ කෙසේද, පෘථිවිය සෑදුණේ කෙසේද, මිනිසුන් සතුන් බිහිවූයේ කෙසේද, අපේ ශරීර ක්‍රියාත්මකවන්නේ කෙසේද, කුරුල්ලන් පියාඹන්නේ කෙසේද, අපට පියාඹන්න බැරි ඇයි, ලෙඩ රෝග සෑදෙන්නේ කෙසේද, අප මිය යන්නේ ඇයි, අප වසනා මේ ලෝකයේ වර්ෂාව, ගංවතුර, භූමිකම්පා, ගිනිකඳු, අකුණු, සුනාමි, හිරු, සඳු පෑයීම, බැසයාම යනාදී විවිධ දේ ඒ ඒ ආකාරයට සිදුවන්නේ කෙසේද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකි වූ කල්හි ඒ ස්වාභාවික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මිනිසා විසින් දෙයියා නමැති සංකල්පය නිර්මාණය කර ගත්තා යැයි සිතිය හැක.

එසේ සිතීම, නොපෙනෙන දෙවියෙකු විසින් ඒ සියල්ල කරනවා ය කියා සිතීමට වඩා තර්කානුකූල සිතුවිල්ලක් වේ.

ශිෂ්ටාචාරයේ මුල් කාලයේ දී එසේ නිර්මාණය කරගත් දෙයියා දඩමීමා කරගෙන මිනිසුන්ගෙන් සුළු කොටසක්, මිනිසුන් අති බහුතරය මර්දනය කර ඇති බව ද ඉතිහාසය දෙස් දෙයි.

දෙයියෙකු හෝ දෙයියන් යනුවෙන් පිරිසක් හෝ සිටින බව ද, දෙවියෙකු විසින් මිනිසා ද අනෙකුත් සත්වයින් ද මවන ලදී යන්න ද විශ්වාස කළ යුතුම නම්, එය විශ්වාස කළ හැක්කේ එක්තරා සුවිශේෂී උපකල්පනයක් සමග පමණක් බව මගේ අදහසයි.

ඒ උපකල්පනය නම්, මේ කියන දෙයියා යනු පිට සක්වල ජීවියෙකු බව සහ ඔහු හෝ ඇය පෘථිවියට පැමිණි ශිෂ්ටාචාරය වනාහී ජාන තාක්‍ෂණයේ ද, ක්ලෝනීකරණ තාක්‍ෂණයෙන් ද ඉතා දියුණු තත්වයක පැවති එකක් ද බවයි.

නමුත්, එවිට නිසැකයෙන් ම ඇති වෙන අතුරු ප්‍රශ්නය නම්, ඒ පිටසක්වල දෙයියාව මැව්වේ කවුරුන් ද යන්නයි!

එයට උත්තර නැත.

සර්වබලධාරී එකම එක දෙයියෙකු ඇතැයි අදහන ඒබ්‍රහාමික ආගම්වලින් ද, මහා බ්‍රහ්මයා සහ තවත් දුසිම් කිහිපයක දෙයියලා අදහන හින්දු ආදී ආගම්වලින් ද සහමුලින් ම වෙනස් වූ කිසිදු දෙයියා මාක් පරාණයක් හෝ ගෑවී නොමැති බුදු සමයට අයත් අපේ අයියලා සහ අක්කලා ද විවිධ අවස්ථාවල දෙයියන් සරණ යෑම මට නම් හරිම ලොල් සහගත තත්වයකි.

මා ගිය වසරේ ලියා පළ කළ "එළ හරකයි, මී හරකයි" ලිපියේ ඒ ආකාරයෙන් ලංකාවේ මහ ජනයාට කොකා පෙන්නමින් දෙයියන් සරණ යන දේශපාලුවන් පිළිබඳව ලිව්වෙමි.

මේ දෙයියා සරණ යෑමේ ලොල් ම ලොල් උච්චතම තත්වය නම්, පසුගිය දවස්වල අසන්නට ලැබුණු, විභාගයට මුහුණ දෙන්නට සැරසෙන උසස් පෙළ සිසුන්ට සෙත් පැතීම සඳහා අලියෙකු ගේ මූණත් තහඩුවක් සහ මිනිස් සිරුරක් හිමි ගණ නම් දෙයියෙකු ගේ සරණ ලබා දෙන ව්‍යාපාරයක් පිළිබඳ පැතුරුණු ආරංචියයි. එයට අනුග්‍රහය දක්වා තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාළුවෙකු නිසා ඒ ලොල් කර්මය රජයේ වියදමෙන් පැවැත්වෙන්නේ දැයි සැකයක් ද ඇතිවුණි.

මේ මිථ්‍යා දෘෂ්ටික දෙයි රජාලාගෙන් සිංහල බෞද්ධයින් ගලවා ගැනීමට ශක්‍යතාවය සහ අවශ්‍යතාවය සහිත දේව දූතයෙකු දෙයියන් විසින් දෝ පසුගිය සියවසේ අග භාගයේ දී සිරි ලංකාවට එවන ලදී.

අවාසනාවට මෙන් ඒ දෙයි පටලැවිල්ලෙන් සිංහල බෞද්ධයින් ගලවා ඔවුන්ට මෝක්‍ෂය ළඟා කර දීම වෙනුවට ඔහුට ද අවසානයේ සිදුවූයේ දෙවියන් ගේ පිහිට ම පැතීම පමණි.
ඒ කවුද? අනුමාන කරන්නට හැකි ද?

ඔහු කවුද කියාත්, ඔහු කළේ කුමක් ද කියාත් පසුව ලිපියකින් බලාපොරොත්තුවෙන්න.

-රසිකොලොජිස්ට්

(http://loltheists.com/?attachment_id=662)

Wednesday, 24 August 2016

අත බලා සාස්තර කීමට දැන සිටීමේ හොඳ ප්‍රතිඵල - Those were the days!


මම ඊයේ මගේ දෙඅල්ලේ ම ඡායාරූප විස්තර කතාවක් ද සහිතව රසිකොලොජියේ පළ කර මා මැරෙන දවස හැකි නම් කියන ලෙස අභියෝගයක් ද කළෙමි. ඒ ඊට පෙර දින ෆෙස්බුක් හි දකුණු අල්ලේ ඡායාරූපයක් පළ කර මුට්ටිය දමා බැලීමෙන් අනතුරුවයි.

මට මා මිය යන දිනය දැන ගන්නට අවශ්‍ය වී ඇත්තේ, වෙන දේකට නොව, මැරෙන්නට පෙර කළ යුතුම වැඩ රාජකාරී කිහිපයක් ඇති නිසා ය. ඉන් එකක් වන මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි කේස් එකට අදාළ යටිතල පහසුකම් සැපයීම නම් දැනටමත් කර තිබේ.

ඉතිරි වැඩ කටයුතුවලින් එකක් වන්නේ ලංකාවේ දී මිලට ගෙන සිනුවරට ගෙනැවිත් ඇති කිලෝ පනහක පමණ විශාල පොත් ප්‍රමාණය කියවීමයි. තවත් සාහිත්‍යමය වැඩ කිහිපයක් ද සැලසුම් කරගෙන සිටිමි.

මගේ ෆෙස්බුක් පෝස්ටුවට පිළිතුරු දෙන සගයෙකු පවසා ඇත්තේ මට අවුරුදු 75 වන තුරු ජීවත් විය හැකි බවයි.

නමුත්, බ්ලොග් ලිපියට ලබා ඇති කමෙන්ටුවකින් කියවෙන්නේ අවුරුදු 56 දී මා වැලිගම්පිටි යන බව ය. මේ දෙවෙනි අනාවැකිය තරමක් මගේ සිත සසල කළ නමුත් පසුව, ඕපු කියා, සිත හදා ගත්තෙමි.

සාමාන්‍යයෙන් අත බලවා ගන්නේ අතේ හිමිකරුවාගේ අවශ්‍යතාවයට සහ ප්‍රයෝජනයට ය. නමුත්, අත බැලීමට දැන සිටීමෙන් සහ ඒ නැති වුණත්, දන්නා බව හැඟවීමෙන් ද, අත බලන්නාට ද නොයෙකුත් ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත.

විවාහ බැඳුමෙන් බැදෙන්නට පෙර තරුණ කාලයේ අත බලා සාස්තර කීමට ඇති හැකියාව (හෝ නොහැකියාව නිසා) මම අවස්ථා කිහිපයක දී ම අහිංසක සතුටක් ලබා ඇත්තෙමි.

ඒ ආකාරයේ අතීතකාමී කතා කිහිපයක් මට සිහිවුනේ, ඊයේ ෆෙස්බුක් හි, තරුණ ගෑල්ළමයෙකු තමන් ගේ අතේ ඡායාරූයක් පළ කර, අනේ මටත් සාස්තරයක් කියන්නකෝ යනුවෙන් අත බලා සාස්තර කියන්නට දන්නා හෝ දන්නා බව පෙන්වූ වෙනකෙකුගෙන් ඉල්ලනවා දුටු වෙලේ ය.

මා පෙර ඉඟි කළ ආකාරයේ අහිංසක සතුට ලබන්නට එසේ සයිබර් අවකාශයේ දී අත බලා නම් කිසිසේත් ම නොහැකි ය. එසේ ඔන්-ලයින් නොව, මුහුණට මුහුණ ලා හිඳ ගෙන අත බලා සාස්තරය කිව යුතුවේ.

මා කියන මේ අහිංසක සතුට නම්, ඕනෑම තරුණ, වැඩිහිටි කාන්තාවක ගේ අත ඇල්ලීමට, අත පිරි මැදීමට, අත මිරිකීමට හැකි වීම යි.

අත බලා සාස්තර කීමට දන්නා හෝ දන්නා බව පෙන්වන අය බොහෝ විට පිරිමි වීමත්, අත බලා සාස්තරයක් කියවා ගැනීමට කාන්තා පාර්ශවයේ විශාල උනන්දුවක තිබීමත් නිසා, මෙය දෙපාර්ශවයට ම අහිංසක සතුටක් ලැබෙන කාර්යයකැයි මම සිතමි.

මේ අහිංසක සතුට පිළිබඳව මා දැනුවත් කළේ සිසිර කුමාර නම් මගේ මිතුරා ය. ඒ අප තරුණ කාලයේ සම වයසේ තරුණියන් ගැන සිහින මවමින් සිටි කාලයේ දී ය. සිසිර ඒ කාරණය මගේ ඇස් ඉදිරිපිටම මට පෙන්වා දුන් ආකාරය මගේ මතකයේ තවමත් රැඳී තිබේ.

මේක තමයි ජීවන රේඛාව, මෙතැනින් කියන්නේ ඔයා ගේ ජීවිතයේ වෙනස් කම් සිදුවෙන හැටියි. හොඳ හබියෙක් ලැබෙන බව පේනවා. එයා ඔයාට හරිම ආදරෙයි. දරුවන් තුන් දෙනයි, යනාදී වශයෙන් කටට එන, තැනට ඔබින ඕනෑම පලාපලයක් අතේ මවා කීමට යම් මුඛරිකමක් ඇති වීම මේ අහිංසක සතුට ලැබීමට හොඳටම සෑහේ.

තරුණ ළමයින්ට අවශ්‍ය නම් මෙය අත් හදා බැලිය හැක. පිරිසක් ඉන්නා තැනක ප්‍රසිද්ධියේ මේ සාස්තර කීම ඇරඹුවහොත් ඔබ ඉදිරියේ පිරිස් පෝලිම් ගැසී එනවා නියතයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මීට පරම්පරාවකට පමණ ඉහත කාලයකදී වරක් තරුණියක් මුණ ගැසුණු විට මා සාර්ථකව අත් හදා බැලූ තවත් ක්‍රමයක් මෙසේ ය.

"ඔයා දන්නවාද, මට ඇස් පියාගෙන ඇඟිලි තුඩෙන් ඕනෑම දෙයක පාට කියන්න පුළුවන් බව?"

"බොරු කියන්න එපා අනේ!"

"ඔන්න බලන්න බොරුද කියලා!"

දැන් දෑස් පියාගෙන මුලින් ම ඔබ ළඟ ඇති ගෘහ භාණ්ඩයක් හෝ එවැනි යමක් අල්ලා එහි වර්ණය පවසන්න. ඉන් පසු ඇගේ ඇඳුමෙන් අල්ලා එහි වර්ණය පවසන්න. අවසානයේ ඇගේ මුහුණ ඇඟිලි තුඩින් පිරිමැද සුදු යැයි පවසන්න.

තලඑළළු යැයි පැවසෙන ඡවි කල්‍යාණයක් ඇති යුවතියන් සඳහා විශේෂයි!

(image: http://curiousinkling.com/graphic-t-shirts/chick-magnet.php)

Friday, 19 August 2016

මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs


කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා


දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.

ගීතයෙන් පැවසෙන කථාවේ හැටියට ඒ ආදර සම්බන්ධයට මුල වී ඇත්තේ යහළු යෙහෙළියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහළ පන්තිවල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන් ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් හොඳින් පෙනේ.

නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්නට පටන් ගන්නේ ඉහළ පන්ති වලදී නොව සමහර විට ඉතා පහළ පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිට ම ය.

ඒ ප‍්‍රාථමික විදුහල් ආදර සිතුවිලි අනිවාර්යෙන් ම ඉතා බොළඳ ඒවා ය. ඉහත සඳහන් ගීයේ විස්තර කෙරෙන පරිදි බොහෝ විට අනෙක් සිසුන් ගේ නම් ලියා කවටකම් කරන්නට සිතෙන්නේ ද මේ බොළඳ ආදර සිතුවිලි වල එක් අතුරු ඵලයක් ලෙස යැයි මට සිතේ.

මා කණිෂ්ඨ පාඨශාලවේ උගත් සමයේ ප‍්‍රථමයෙන් ම එලෙස නම් පට බැඳීමකට ලක් වූයේ තුන් වන වසරේ දී යැයි සිතමි.

කොයි ලෙසක ඇරඹිණි දැයි දැන ගත නොහැකි වුණත් එක් වරම අප පන්තියේ සිසු සිසුවින් කොළ කැබලි වල ගැහැණු-පිරිමි නම් යුගලයන් ලියා අතිනත යවන්න ට වූහ. මේ සිද්ධිය අවසන් වූයේ මෙයින් කොළ කැබලි කිහිපයක් මිදුල අමදිමින් සිටි ඉහළ පන්තියක සිසුවියන් කිහිප දෙනෙකු අතින් විදුහල්පති තුමා කරා යොමුවී, අපේ පන්තියේ සිටි දඩබ්බරයෙකු වේවැල් පහර කිහිපයක් කෑමෙනි.

මේ කාලය වන විට මගේ සිතේ ද සම වයසේ දැරිවියන් පිළිබඳව යම් යම් පහන් සංවේග මතු නොවී නොතිබුණා නොවේ. එහෙත් ඒවා, කඩදාසි කැබලි වල නොම ලියවී සිතට පමණක් සීමා වූ ඒවා විය.

එසේ වතුදු, එලෙස ප‍්‍රාටමිකයේ දී ඇරඹි මෙවැනි සිතුවිලි, මධ්‍ය විද්‍යාලය, උසස් විද්‍යාලය සහ විශ්ව විද්‍යාලය හරහා, පසු කාලයක විවාහ සහකාරිය හමු වෙනතුරුම විවිධ කාල වකවානු තුළ දී විවිධ ආකාරයෙන් මතුවිය. ඒ බොහොමයක් සිතුවිලි 50% ක් පමණක් සාර්ථක වූ ඒවා ලෙස උපහාසාත්මකව හැඳින්විය හැකිය. මේ කාල පරිච්ඡේදය තුළ දී, කෙමෙන් කෙමෙන් මේ සිතුවිලි ධාරාවෝ ගද්‍යයටත්, පද්‍යයටත් නැගෙන්නට ද පටන් ගති.

ගැටවර වියේ දී මේ පද්‍යා රසය දෝරේ ගලා ගියේය.

ඒ කවි වට්ටෝරු පමණක්, කාවුන් කෑ අභ්‍යාස පොත් මැද්දේ, අද ද ඉතිරිව ඇත.

ඒ කෙසේ වෙතත්, මගේ කෝෂ්ටාගාරයේ මොන්ටිසෝරි ආදරය යන දෙපදයෙන් අර්ථ දැක්වෙන්නේ නම්, ගැහැණු පිරිමි යුවලක් අතර පවතින, හිතින් මිස ගතින් ලං නොවූ ආදර සම්බන්ධයකි. වෙනත් වචන වලින් කිවහොත්, දෙදෙනෙකු අතර ඇති වී සිප ගැනීමක් කෙසේ වෙතත් අඩු වශයෙන් අතින් ඇල්ලීමකින් හෝ තොරව පැවතෙන ආදර සම්බන්ධයකි.

මෙහි මොන්ටිසෝරි යන පදයෙන් අදහස් වන්නේ, අදාළ යුවළගේ වයස් සීමාව නොව, ආදර සම්බන්ධයේ ස්වභාවයයි. මෙවැනි මොන්ටිසෝරි ආදර සංසිද්ධීන් අර්ථ දැක්වීමෙන් ම බාලාංශ මට්ටමේ ඒවා වන බව මෙයින් හැඟේ.

තවදුරටත් මෙම වදනේ මගේ අර්ථය පැහැදිලි කිරීම උදෙසා පහත උදාහරණය ඔබ හමුවේ තබමි.

මා පොඩි අවදියේ සිටම, සිංහල ආදර කතා ඉතිහාසයේ අසිරිමත් මග සලකුණක් ලෙස පතල වී තිබූ, එක්තරා නවකතාවක් ගැන අසා දැන සිටියෙමි. මගේ මතකයේ හැටියට 60 දශකයේ මුල් කාලයේ පමණ ලියවී තිබුණු එම කෘතිය ඉතා සංවේගාත්මක වූ, ශෝකාන්තයක් ලෙස නම් දරා තිබිණි. මා ඇසූ, කියවූ පරිදි මෙම පේ‍්‍රම කතාව ප්‍රථම සිංහල ප්‍රේම ශෝකාන්තය යි. එතෙක් පළවී තිබූ සියලු නවකථාවන් හී පෙම් සටන් සියල්ල ජයග‍්‍රහනයෙන් අවසන් වු, සුඛාන්තයන් වී තිබුණි.

මෙම නවකතාවෙන් ශෝකාන්ත නවකථා රැල්ලක් ඇරඹුණු බව කියනු ලැබේ.

වෙනත් නොයෙකුත් නවකථා, පොත් පත් යනාදිය නිරතුරු කියෙවූවද, අපේ නිවසේ හෝ මා භාවිතා කළ පුස්තකාලයක හෝ මෙම කෘතියේ පිටපතක් නොතිබුණු හෙයින්, උස් මහත් වී වසර ගණනාවක් යන තුරුම මා මෙම කෘතිය කියවා තිබුණේ නැත. කෙසේ වෙතත්, ඒ වන විට මා මේ කෘතියේ දෙවන භාගය යැයි සැලකෙන එම කතුවරයා ගේ ම වෙනත් නවකතාවක් නම් කියවා තිබුණි.

අවසානයේ අහම්බෙන් මෙන් පිටපතක් ලැබී ඉහත කී අසිරිමත් පෙම් කතාව කියවු පසු, ඒ ගැන ලියවී තිබුණු බොහෝ දේ කියවා, බොහෝ දෙනා ඒ ගැන කී කතා අසා, මහා පේ‍්‍රම වෘතාන්තයක් යැයි එම නවකතාව පිළිබඳව මා එතෙක් සිතා සිටි සියලු දේ හුදු විහිළුවක් ම පමණක් නොවේදෝ යැයි මට සිතිණි.

මෙම නවකතාව නම් කරුණාසේන ජයලත් ලියූ "ගොළු හදවත" යි.

කිසි දින ආදරයක් ගැන කතා නොකළා වූ, ආදර බස් නෙම තෙපලූ, සිප ගැනීමක් තබා අතකින් අතවත් ස්පර්ශ නොකළා වූ, සුගත් සහ දම්මි යුවළ ගේ ආදර කතාව යි.

මට නම් සුගත් සහ දම්මි ගේ "ගොළු හදවත" ආදරය වචනයේ අර්ථ පරිසමාප්තයෙන් ම මොන්ටිසෝරි ආදරයක් ම පමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත ලිපිය මා කලකට ඉහත මෙල්බර්න් නගරයේ පළ කෙරෙන "පහන" මාසික සඟරාවට ලියන ලද එකකි. මෙහි සඳහන් වන "ගොළු හදවත" නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුනු ප්‍රසිද්ධ ගීත රචකයෙකු වන ප්‍රියානන්ද විජේසුන්දර, මගේ ලිපියට පිළිතුරු ලිපියක්ද ලියූ බච ප්‍රීතියෙන් සඳහන් කරමි!

"කවට කමට ඔබෙයි මගෙයි නම ලියා" - සීඩී ෆොන්සේකා ගයන ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ගීතය මෙතනින් නරඹන්න.



(image: http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html)

Wednesday, 3 August 2016

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් බ්ලොගින් ප්‍රවර්ධනය නොකිරීම හෙවත් අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද? - Long title but one important point for bloggers and blookers?


ඊයේ කාර්යාලයේ දී මගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ඩ් සැලඩ් සැන්ඩ්විචය හපන අතරේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් දෙස බැල්මක් හෙළුෑ විට මා දුටුවේ තමන් ලංකාවේ වේලාවෙන් උදෑසන 830ට ස්වාධීන රූපවාහිනීයේ නිල්මිණි දිසානායක මෙහෙයවන පොත් පිළිබඳ වැඩසටහනට සහභාගීවෙන බව, නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර, හෙන්රි වර්ණකුලසූරිය විසින් සටහනක් තබා තිබෙන ආකාරයයි.

ලංකාවේ වේලාවෙන් උදෑසන 8:30 යනු සිනුවර මගේ වේලාවෙන් දහවල් 1:00 ය. ඒ මා නිතිපතා කරන්නා වූ දිවාකල ඇවිදීමේ වේලාවයි.

වහා සැන්ඩ්විචය ගිල දැමූ මම, මගේ අහවල් ජංගම දුරකථනයට හිස කුඩුච්චිය නොහොත් හෙඩ් සෙට් එක ද සවි කරගෙන කාර්යාල ගොඩනැගිල්ලෙන් නික්මී අපේ පා ගමන් මාර්ගයට වැටුණෙමි.

මුලින් මහපාරේ පදික මං තීරුවේ ද, ඉන්පසුව පැරමටා ගඟ අසබඩ ඇති පා ගමන් මගේ ද, වේගයෙන් ගමන් කරමින්, වෙනදා මෙන් අවට සිරිය නොවිඳ, මගේ ගමන් සගයා සමග ද වැඩි කතා බහක නොයෙදී, විනාඩි විසි අටක පමණ කාලයක් තිස්සේ විකාශය වුණු ඒ සල්මල් යාය නම් සඟරාමය වැඩ සටහනෙන්, වෙළඳ දැන්වීම් අතහැර ඉතිරි විනාඩි විස්සක පමණ කාලයේ සිදු කෙරුණු සම්මුඛ සාකච්ඡාව නැරඹුවෙමි.

පසුගිය සති කිහිපය තුළ, පුවත්පත් සමග ද, රූපවාහිනී නාලිකා සමග ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් හෙන්රි වර්ණකුලසූරිය මේ සැරසෙන්නේ ඔහු ගේ නවතම කෙටිකතා සංග්‍රහය ජනගත කරන්නයි. ඒ උත්සවය හෙට, එනම් 2016 අගෝස්තු හතර (4) වෙනිදා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී දී පැවැත්වීමට නියමිත ය.

ස්වාධීන රූපවාහිනීයේ සිත්මල් යාය වඩසටහන වෙනුවෙන් ඉඳුනිල් දිසානායක විසින් හෙන්රි වර්ණකුලසූරිය සමග කරන්නට දෙයුණු ඒ සාකච්ඡාවේ අන්තර්ගත වූ කරුණුවලින් මා සිත් ගත් කාරණා තුනක් මෙහි සඳහන් කිරීම මගේ මේ ලිපියේ මුල් අරමුණයි.

  1. කලකට පෙර මා මුලින් ම ඔහු හඳුනා ගත්තේ තරුණ කවියෙකු ලෙසින් වුවද, මා ද පසුව වටහා ගත් පරිදි හෙන්රි වර්ණකුලසූරිය යනු තව දුරටත් කවියෙකු නොවේ. ඇත්තටම මා අවසාන වරට ඔහු ලියු කවියක් මුද්‍රිත මාධ්‍යයක දුටුවේ 1990 වසරේ දී පමණ ය. ඒ තරුණි පුවත් සඟරාවේ පළ වූ පැන්ෂොන් යන යුද සෙබළෙකු පිළිබඳව ලියවුණු එකකි.

    මේ සාකච්ඡාවේ දී හෙන්රි වර්ණකුලසූරිය තමා තව දුරටත් කවියෙකු නොවන බව ඉඳුරාම ප්‍රකාශ කළේ ය.
  2. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මට වඩා වසර දෙකකින් ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය යනු එනිසා ම මගේ පරම්පරාවේ සමකාලීනකයෙකු ලෙස මා මෙතෙක් සිතා සිටියද එය එසේ නොවන බව මට මේ සාකච්ඡාවේ දී වැටහිණි. ඔහු පැරණි පරම්පරාවේ අයෙකි.

    එසේ තීරණය කිරීමට හේතුව වන්නේ, අනෙකක් නොව, හෙන්රි වර්ණකුලසූරිය යනු කෙළින් ම තමන් ලියන දෑ යතුරු පුවරුව හරහා පරිගණකයට එක් නොකරන, ඒ වෙනුවට තවමත් පැරණි ක්‍රමයට පෑනෙන් කඩදාසි කොළවල ලියා, ඉන් පසු ඒවා අතින් සංස්කරණය කරන, අපට කලින් පරම්පරාවේ පුඟුලෙකු බවට ඔහු මේ වැඩ සටහනේ දී ප්‍රකාශ කිරීමයි!
  3. ඊළඟ වැදගත් කරුණ වනුයේ තමා විසින් ලියන ලද නවතම කෙටිකතා ඇතුළත් නිරුවත් ජීවිත කෙටිකතා සංග්‍රහය එළිදැක්වෙන දිනයේ, විද්වතුන් විසින් පැවැත්වෙන දේශන ඒ අදාළ ග්‍රන්ථය පිළිබඳව ගොනු නොකර, ඒ වෙනුවට තමා විසින් මීට පෙර ලියන ලද නවකතා ද්වය ගැන කතිකාවක් ගෙන ඒමට හෙන්රි වර්ණකුලසූරිය විසින් ගෙන ඇති තීරණයයි.

    මා ද විශ්වාස කරන ආකාරයට, එදින එළි දැක්වෙන පොතක් පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක් ඒවන විට ඒ පොත කියවා නැති අයට එතරම් ප්‍රයෝජනයක් නැති දෙයකි. අප කළ යුත්තේ පොත එළි දක්වා එය පාඨකයින් විසින් කියවූ පසු, ඒ ගැන කතිකාවක් කිරීමයි.

    මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත්වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වුණ ලබන පොත් එළිදැක්වීමේ උත්සවවලට අමතරව, පසුගිය ඔක්තෝබරයේ දී අප රස විඳුම නමින් සාහිත්‍ය වැඩසටහනක් ඇරඹුවේ ද මේ කාරණය (තවත් අරමුණු) නිසා ය.
දැන් මේ ලිපිය ලිවීමේ දෙවන අරමුණ වෙත යොමුවෙමු.

හෙන්රි වර්ණකුලසූරියගේ ස්වාධීන රූපවාහිනී සිත්මල් යාය සාකච්ඡාවේ අන්තර්ගත විය යුතු වූ නමුත් අවාසනාවට මෙන් එසේ නොවූ කරුණුවලින් මෙහි සඳහන් කළ යුතු ම වන එක් වැදගත් කාරණාවක් වේ.

ඉඳුනිල් දිසානායක හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහුට අප සියලු දෙනා සම්බන්ධ සිංහල බ්ලොග් පිළිබඳව සඳහන් කළ හැකි වූ අවස්ථා අඩු වශයෙන් දෙකක් තිබුණි. නමුත් අපේ අවාසනාවට මෙන් ඒ අවස්ථා දෙකම ඔහුගෙන් ගිලිහී ගියේ ය.

ඉන් මුල් අවස්ථාව වූයේ හෙන්රි වර්ණකුලසූරිය විසින් මීට පෙර රචනා කළ "නොකී කතා" නම් ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා වුණු මොහොත ය. ඒ ග්‍රන්ථයේ අන්තර්ගතය වූ ලිපි පෙළ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙස ලියවුණු ආකාරය හෙන්රි වර්ණකුලසූරිය විස්තර කළ නමුත්, තමන් තව දුරටත් "නොකී කතා" මාලාව බ්ලොගයක් ලෙස දිගටම ලියන බව පැවසීම ඔහුට අතපසු විය.

දෙවෙනි අතපසු වීම ඊට වඩා කනගාටුදායක එකකි.

සාකච්ඡාවේ අවසාන භාගයේ දී ඉඳුනිල් දිසානායක, ප්‍රවීන ලේඛකයෙකු ලෙස අලුත් පරම්පරාවේ ලේඛන කටයුතු ඔහු දකින්නේ කෙලෙසදැයි හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසුවා ය.

අවාසනාවට මෙන් ඒ මොහොතේ දී ද, අලුත්ම ලේඛන මාධ්‍යය වූ බ්ලොග් ගැනත්, එයින් බිහි වෙමින් පවතින අලුත් ලේඛක පරපුර ගැනත්, බ්ලුක් ගැනත් කියනු වෙනුවට මෙහිදී හෙන්රි වර්ණකුලසූරිය ගේ කටට ආවේ ඊ-බුක් නමැති සිංහල ලේඛනය ගැන සලකන විට ලොවෙත් නැති තවමත් මනස්කල්පිතයක් පමණක් වන ලේඛන ප්‍රවර්ගයක් ගැන පමණි.

අඩු වශයෙන්, හෙට අගෝස්තු හතරවෙනි දා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන හෙන්රි වර්ණකුලසූරිය ගේ පස්වෙනි කෙටිකතා සංග්‍රහය වන "නිරුවත් ජීවිත" ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ දී වත්, විශේෂයෙන් තමන් ගේ "නොකී කතා" බ්ලොගය පිළිබඳවත්, පොදුවේ සිංහල ලේඛන කලාවේ නවතම මාධ්‍යය වන බ්ලොග්කරනය පිළිබඳවත් මා මිත්‍ර ලේඛකයා විසින් සඳහන් කරනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිත්මල් යාය සම්මුඛ සාකච්ඡාව මෙතැනින් නැරඹිය හැක.
http://www.itn.lk/2016/08/02/salmal-yaya-2016-08-02/


ඔහෙලාත් ඇහැක් නම් හෙට ඒ අහ යන්න!

Monday, 25 July 2016

කෞෂල්‍යා ප්‍රනාන්දු ගැන කෙටි සටහනක් (ඇත්තට ම වෙනදා මෙන් ම අද මේ සටහන ද මා ගැන ම ය!) - Kaushalya Fernando (and me!)


මා මුල් වරට කෞෂල්‍යා ප්‍රනාන්දු නම් නිළිය දුටුවේ, මීට වසර තිහකට පමණ පෙර කොළඹ ජෝන් ද සිල්වා රඟහලේ දී සුගතපාල ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යය නරඹන්නට ගිය දිනයේ දී ය. එකල ඉතා තරුණ වියේ සිටි ඇය එම නාට්‍යයේ එන ප්‍රබල කාන්තා චරිතය ප්‍රශස්ත ලෙස රඟපෑවා ය.

සුගතපාල ද සිල්වා ගේ නාට්‍යයක රඟපෑම යනු විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීම තරම් වටිනා අධ්‍යාපනයක් බව කියා තම දියණියව ඒ වසරේ උසස් පෙළ විභාගය වෙනුවට මරා-සාද් නාට්‍යයේ රඟපෑම සඳහා යොමුකර වූ බව කෞෂල්‍යා ගේ මව වූ ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ පවසා තිබෙනු මම ඒ දිනවල දී පුවත්පතක දුටිමි.

තම දරුවන්, තමන් මෙන් හැදෙනු දැකීම දෙමව්පියන් ගේ ස්වභාවික ආශාවයි. සෝමලතා සුබසිංහ තම දියණිය වේදිකා නාට්‍ය කලාවට යොමු කරවූයේ ඒ නිසා බව පැහැදිලි ය.

මීට වසර කිහිපයකට පෙර "අපේ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ මෙඩ්ඩෝ" නමින් දිගු ලිපියක් රචනා කරද්දී එහි ඇරඹුම ලෙස මම සෝමලතා සුබසිංහ ගේ ඒ කතාව යොදා ගත්තෙමි. ඒ ලිපියේ "ඉරිදා ලක්බිම" සංස්කරණයෙන් කොටසක් ඉහත දක්වා ඇත.

මගේ මෙඩ්ඩන් පිළිබඳ ලිපිය ඇරඹුමේ සඳහන් කෙරුණු අනෙක් උපුටනය වූයේ සෝමලතා සුබසිංහ ගේ ප්‍රශස්ත ම නිර්මාණය වූ විකෘති වේදිකා නාට්‍යයේ එන අපේ කාලේ පාසල් අධ්‍යාපනය ගැන සරදම් කෙරෙන පහත ගී ඛණ්ඩයයි.
විද්‍යා විෂය ද කලාව ද?
කලාව කිව්වොත් මළා වගේ!

චී, චී, චී, ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නෙ
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක් නෙ,
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කොරලා?
ඒ ගීයේ ගැබ් වී ඇති අදහසට අනුව සුබසිංහ-ප්‍රනාන්දු පවුල කටයුතු කරණු ඇතැයි ද, කෞෂල්‍යා කිසි දිනෙක විද්‍යා විෂයයන් ඉගෙනීමට යොමු නොවෙනු ඇතැයි ද මම සිතුවෙමි. එය සත්‍යයක් බව මට පසක් කරමින්, ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරූ බව පසු කලෙක ආරංචි විය.

මා කියවා අසා දැන සිටි පරිදි, සෝමලතා සුබසිංහ බම්බලපිටියේ ශාන්ත පාවුලු බාලිකාවේ ගුරුවරියක වූ අතර, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ පියා ලයනල් ප්‍රනාන්දු ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකි. ඔහු යාපනයේ දිසාපති ලෙස සිටි බවත් එකල ඔහු එකි කළ කී දෑ ගැන විස්තර සහිතව පුවත්පත්වල කිහිප විටක් ම පළ වී තිබෙනු මා දැක ඇත. යුද විමාරමයකට එලෙඹෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1994 අග භාගයේ දී යාපනයට යවන ලද විශේෂ දුත පිරිසට ද ලයනල් ප්‍රනාන්දු අයත් වූ බව මගේ මතකයයි.

මරා-සාද් වේදිකා නාට්‍යයෙන් පසුව මා කෞෂල්‍යා පුනාන්දුව දුටුවේ පුංචි තිරයෙනි. ඒ අශෝක හඳගම ගේ දුන්හිද අද්දර ටෙලිනාට්‍යයේ චරිතයක් වූ කසිප්පු විකුණන දුප්පත් ගැමි ගැහැනිය ලෙසිනි. ඉන් පසුව මා ඇය දුටුවේ මීට වසර දෙක තුනකට කලින් සිනුවර දී තිරගත වුණු බොර දිය පොකුණ සිනමා පටය නරඹද්දී ය. එහි රඟපෑම වෙනුවෙන් ඇයට හොඳම නිළිය ලෙස සම්මානයක් ද හිමිවිය.

මා ඇයව දැක ඇත්තේ එසේ දෙතුන්වරක් පමණක් වුවද, ලංකාවේ අධ්‍යාපනය ගැන සිහිවෙද්දී, ඒ ගැන කතා බහේ නිරත වෙද්දී, විකෘති නාට්‍යය සහ එහි ආ පෙර කී චී, චී, චී ලැජ්ජ නැද්ද සහ ටියුෂන් පියෝ, ටියුෂන් බයෝ ගීත ද්වය සිහියට ඒ ම ද, ඒ සමග ම සෝමලතා සුබසිංහ සහ කෞෂල්‍යා පුනාන්දු සිහිවීම ද වැළැක්විය නොහැක.

මා පෙර සඳහන් කළා සේ, තම දරුවන් තමන් මෙන් හැදෙනු දැකීම දෙමව්පියන් ගේ ස්වභාවික ආශාවයි. සෝමලතා සුබසිංහ තම දියණිය වේදිකා නාට්‍යකරණයට යොමු කළේ අනිවාර්යෙන් ම එනිසා ය.

මගේ බිරිඳගේත්, මගේත් ප්‍රාර්ථනය ද එයම විය.

එසේ වුවද, සිය මව උසස් පෙළ සඳහා උගත් ජීව විද්‍යා විෂයයන් ද, සිය පියා උසස් පෙළ සඳහා උගත් ගණිතය විෂයයන් ද අලුයම හෙළුෑ කෙළ පිඬු සේ ඉවත දමා අපේ දියණිය තම උසස් විද්‍යාල සහතික පත්‍ර විභාගය සඳහා භාෂාව, නාට්‍යවේදය, ඉතිහාසය, භූගෝලය, සංසන්දනාත්මක ආගම් යන කලා විෂයයන් තෝරා ගත්තා ය. එදා, මගේ සිතේ ඇතිවූ භ්‍රාන්තිය මා අඩුකර ගත්තේ විකෘති නාට්‍යයේ තේමාව සහ එහි ආ "චී, චී, චී ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න?" ගීතය ද සිහියට නංවා ගනිමිනි.

එවෙලේ මා අමතක කළ කරුණ වූයේ, ලයනල් ප්‍රනාන්දු මෙන් ම, සෝමලතා සුබසිංහ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ උගත් කලා උපාධීධාරීන් බවයි.

ඔවුන් දෙදෙනා ගේ දියණිය කෞෂල්‍යා ඇගේ දෙමව්පියන් ගිය සහ ඔවුන් තමන් ගේ දියණිය ගැණ පැතූ අධ්‍යාපන මාර්ගයට ම යොමු වුණු අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ම වෙනත් පීඨ දෙකක උගත් මගේ බිරිඳ ගේ සහ මගේ එකම දියණිය ද යොමු වුණේ ද ප්‍රනාන්දු-සුබසිංහ යුවල ගිය සහ ඔවුන් තම දියණිය යොමු කළ අධ්‍යාපන මාර්ගයට ම ය.

වාසනාවට මෙන්, ඇගේ දෙමව්පියන් ගේ සිතේ වූ අදහස් කෙසේ වුව ද, එය මගේ දියණිය පැතූ අධ්‍යාපන ධාරාව ම විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මීළඟට බලාපොරොත්තු වන්න.
කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ අධ්‍යක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ හෙවත් වළේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය හූ හඬ මැද රඟ දැක්වුණු අයුරු හෙවත් වළේ-හූව!


Saturday, 16 July 2016

ඔසී රටේ සිංහල දෙමව්පියන් මා දකින අයුරු - Becasue I can


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හෙවත් "මෙපුර" දී සහ සිඩ්නි හෙවත් "සිනුවර" දී මා ලබා ඇති අත්දැකීම් මත පදනම්ව, මෙරට වසන සංක්‍රමණික සිංහල දෙමව්පියන් පිරිස ඔවුන් තම දරුවන් සමග සිංහල භාෂාව භාවිතා කරන ආකාරය අනුව කොටස් කිහිපයකට බෙදා විශ්ලේෂණය කිරීමට මට හැක.

1. ලංකාවේ දී කුඩා කල සිටම දෙමව්පියන්, ඥාතීන් සහ මිතුරන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කර ඇති අය.

මේ පිරිස දැන් දෙමව්පියන් ලෙස ඕස්ට්‍රේලියාවේ දී තම දරුවන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් පමණක් කතා කරති. බොහෝ මිතුරන් සමග ද ආශ්‍රය කරන්නේ ඉංග්ලිෂ් භාෂාවෙනි. ඕස්ට්‍රේලියාවේ වසන තම දරුවන්ට සිංහල ඉගැන්වීම හෝ සිංහලෙන් කතා කිරීම අවශ්‍ය යැයි ඔවුන්ට කිසිසේත් ම නොසිතේ.

2. තමන් ලංකාවේ දී කුඩා කල ඉංග්ලිෂ් භාෂාව එතරම් දැන නොසිටි සහ භාවිතා නොකළ නමුත් තම දරුවන් සමග ඕස්ට්‍රේලියාවේ දී ඉංග්ලිෂ් භාෂාවෙන් පමණක් කතා කරන අය.

මේ අයගෙන් බහුතරයක් දෙනා සිතන්නේ තමන් ගේ වෘත්තීය දියුණුව ඉංග්ලිෂ් භාෂා දැනුමේ අඩුපාඩු නිසා තරමක් අඩාල වූ බවත් එනිසා තම දරුවන්ට ඉංග්ලිෂ් පමණක් ඉගැන්විය යුතු බවත් ය. එනිසා ඔව්හු තම දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා නොකරති. කාලය දීපය දේශය වෙනස් බව ඔවුන්ට නොතේරෙන සේ ය.

3. ලංකාවේ දී ඉංග්ලිෂ් භාෂාව වැඩි දැනුමක් නොතිබුණු හෝ කිසිදු භාවිතයක් හෝ නොතිබුණු සහ ඕස්ට්‍රේලියාවේ දී තම දරුවන්ගෙන් තමන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙනුම පිණිස බොහෝ විට ඔවුන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කරන අය.

මගේ මුල් ලිපිය කියවා, තමන් ගේ අත්දැකීම් සහ අදහස් ලියා පළ කළ මානව බ්ලොගයේ ජගත් එදිරිසිංහ කියා තිබුණේ මේ ආකාරයේ පියෙකු ගැනයි. එය අතිශය දුක්බර තත්වයකැයි මම සිතමි.

ඇත්තටම මෙහේ ජීවත් වෙන අපේ ළමයින්ට සිංහල ඉගෙන ගෙන මොන ප්‍රයෝජනයක් දැයි සිතන දෙමව්පියන් ඉහත තෙවර්ගයේ ම සිටිති. ඒ සමහරු ලිං මැඩියයන් ය. ඕස්ට්‍රේලියාවේ රජයේ පාසල් හි පවා ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉන්දුනීසියානු, ජපන්, චීන යනාදී භාෂාවක් හෝ උගන්වන්නේ ඇයි දැයි ඔවුන්ට නොතේරේ.

මේ බොහෝ භාෂා උසස් පෙළ විභාගය සඳහා ද හැදෑරිය හැක. සිංහල භාෂාව ද මෙල්බර්න් නුවර පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් පෙළ විෂයකි.

සංක්‍රමණික සිංහල දෙමව්පිය සර්වත්‍ර. කුලකය සම්පූර්ණ කිරීමට සිව්වෙනි කොටසක් ද එකතු කළ යුතුය.

ඒ මගේ බිරිඳ සහ මා මෙන් ම, මගේ මිතුරන් රාශියක් ද අයිති, තම දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා කරන, ඔවුන්ව මෙරට පවත්වාගෙන යන සිංහල භාෂා පාසල් කරා සතිපතා රැගෙන යන පිරිස ය.

දෙමව්පියන් ගේ උනන්දුව මත පිහිටුවා පවත්වාගෙන යන මේ සිංහල භාෂා පාසල් සදහා රජයෙන් මූල්යාංධාර, ගොඩනැගිලි පහසුකම්, ගුරු පුහුණුව සහ වෙනත් ආධාර ද ලැබේ.

සිනුවර තුළ මේ සිංහල භාෂා පාසල් අරඹා දැන් වසර විසි හයක් ගත වී ඇත. ඒ පාසල් ක්‍රියාත්මක වෙන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත ආයතනයක් වන සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහයෙනි.

සිනුවර තදාසන්නයේ පැරමටා (Parramatta), බ්ලැක්ටවුන් (Blacktown), මින්ටෝ (Minto) නගරවල පමණක් නොව දුර බැහැර නිව්කාසල් (Newcastle), ඩබෝ (Dubbo) සහ වගවගා (Wagga Wagga) යන නගරවල ද දැන් සිංහල භාෂා පන්ති පැවැත්වේ.

-රසිකොලොජිස්ට්

Monday, 20 June 2016

ගංජා භාවිතය, රුවන් ජයතුංග, ප්‍ර්‍රියන්ත හේවගේ සහ ඇනෝනිමස් කමෙන්ටු හෙවත් I O Sirisena mark II


ගංජා බීම හොඳඳ නැද්ද යනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ ඇරඹුණු මතවාදී අදහස් හුවමාරුවක් දැන් එකිනෙකා කෙරෙහි චෝදනා සහ ප්‍රතිචෝදනා කර ගැනීමක් දක්වා වර්ධනය වී තිබේ. මා අද පළ කරන්නට සිටි ලිපිය කල් දමා ඒ ගැන මේ ලියන්නේ, නොලියාම බැරි නිසා ය.

මා දකින ආකාරයට සිදුවී ඇත්තේ මෙයයි.

රුසියාවේ අධ්‍යාපනය ලබා, බටහිර වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල සේවය කර, විෂය කරුණු පිළිබඳව මෙන්ම සිංහල නිර්මාණ ඇතුළත් පොත් පත් විශාල සංඛ්‍යාවක් ලියා ඇති දැනට කැනඩාවේ මනෝ විද්‍යාව පිළිබඳ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරනවා යැයි මා සිතන රුවන් එම් ජයතුංග තමන් ගේ ජීවිතයේ අත්දැකීම් ගැන මෙන්ම වෘත්තීය මට්ටමේ පර්යේෂණ ගැන ලියවෙන ලිපි ද, තම සාහිත්‍යමය නිර්මාණ ද පළ කරන ට්‍රාන්ස්සිල්වේනියා බ්ලොගයේ, ගංජා හෙවත් කංසා පානය කිරීමට ඇබ්බැහි වීම නිසා මිනිස් සිරුරට සහ විශේෂයෙන් මනසට ඇති වෙන විනාශය පිළිබඳචිකිත්සක සාක්‍ෂි මත පදනම් වූ ලිපියක් නොබෝදා පළ කළේ ය.

චිකිත්සක අත්දැකීම් කෙසේ වුව ද, පුද්ගලිකව ගංජා බීම පිළිබඳ ඔහුට අත්දැකීම් ඇති යැයි මම නිවැරදිව නොදනිමි. නමුත්, මා විශ්වාස කරන්නේ ඒ අත්දැකීම් ඔහුට නොමැති බවයි. ඔහුට ඇත්තේ, ගංජා බී රෝගීව වෛද්‍ය ප්‍රතිකාර සොයා එන පිරිසක් පිළිබඳව සායනික අත්දැකීම් පමණි.

සුවිශේෂීව දේශපාලන කරුණු ගැනත්, පොදුවේ අනෙකුත් විෂයය ක්‍ෂේත්‍ර පිළිබඳවත් හාස්‍යෝත්පාදක ආකාරයට මෙන්ම ගම්භීරාකාරයට ලියවුණු ලිපි ද, ඒ සමගම අතීතකාමය අවුස්සන ලියවිලි ද, කවි සහ වෙනත් නිර්මාණ ද තම මාතලන් නමැති බ්ලොගයේ පළ කරන ප්‍රියන්ත හේවගේ විසින් ද ගංජා බීමේ ඇති ගුණාගුණ ගැනත්, අපනයන කෑෂ් ක්‍රොප් වර්ගයක් ලෙස ගංජා වගා කිරීමේ කෘෂි කර්මාන්තයක් ඇරඹීම පිළිබඳවත් කරුණු ඇතුළත් ලිපියක් ලියා පළ කළේය.

ප්‍රියන්ත හේවගේ ට ගංජා භාවිතය පිළිබඳ ස්වයං අත්දැකීම් ඇතිය යන්න සත්‍යයක් යැයි සිතමි. රුවන් ජයතුංගට ඇති, මා පෙර කී, සායනික අත්දැකීම් ප්‍රියන්ත හේවගේට නැත.

රුවන් ජයතුංග ගේ දෙවෙනි ලිපියක් තමන්ට අනියම් පිළිතුරක් ලෙස පළ කළා යැයි සිතු ප්‍රියන්ත හේවගේ කළේ කෙළින්ම රුවන් ගැන සඳහන් කරමින් ප්‍රති-පිළිතුරක් ලෙස ලිපියක් ලිවීමයි.

ඒ ලිපි හුවමාරවේ දී, ලිපිවලට ලැබුණු ප්‍රතිචාර අතර ප්‍රියන්ත හේවගේ ට අපහාස කෙරෙන ආකාරයේ ප්‍රතිචාර පළවුණු බවත්, නිර්නාමිකව පැමිණ ඒ ප්‍රතිචාර පළ කළේ රුවන් ජයතුංග ම බවත් ප්‍රියන්ත හේවගේ පවසයි. ඒ චෝදනාව රුවන් ජයතුංග ප්‍රතික්‍ෂේප කරයි.

ගංජා භාවිතය පිළිබඳ මගේ අවංක අදහස මා ඔය ලිපිවලට තැබූ ප්‍රතිචාර ලෙස සඳහන් කළෙමි. එය නැවත පවසනවා නම් මෙසේ ය.

ගංජා යනු ඖෂධීය ගුණයෙන් යුතු ශාකයකි. එය ඖෂධයක් ලෙස වෛද්‍ය නිර්දේශ සහ අධීක්‍ෂණය යටතේ භාවිතා කිරීම නීතිගත කළ යුතුය.

නමුත්, පැනඩෝල් වැඩිපුර ගැනීමෙන් පවා මරණයට පත්විය හැකි තත්වයක් ඇති නිසා, ගංජාවලට ඇබ්බැහි වීම සහ අවශ්‍ය මාත්‍රාවට වඩා ගංජා පාවිච්චිය නිසා සිදුවිය හැකි අවැඩ බොහෝය. එනිසා, පාලනයක් අත්‍යාවශ්‍ය වේ.

නැවතත්, මාතෘකාවට පැමිණියහොත්, මගේ අවංක අදහස නම්, රුවන් ජයතුංගට නිර්නාමිකව පැමිණ තමන් ගේ බ්ලොගයේ හෝ වෙනත් බ්ලොගයක හෝ ප්‍රතිචාර දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. එනිසා, ඔහු තමා එසේ නොකළේ යැයි කරන ප්‍රකාශය මම පිළිගනිමි.

ඒ සමගම මේ කරුණු ද පැවසිය යුතුය.

තමාට ඇනෝනිමස් කමෙන්ටු දමන්නන්, ඔවුන් ගේ අයිපී ලිපිනය සහ කලින් ඔවුන් තම අනන්‍යතාවය සහිතව යෙදූ කමෙන්ටු හරහා හඳුනාගත හැකි යැයි ප්‍රියන්ත හේවගේ සිතයි.

තමා විසින් කරනු ලැබී යැයි චෝදනා කෙරෙන කමෙන්ටුව තමා විසින් නොදමන ලද බව පොදු අවකාශයේ ඇති දත්ත හරහා ස්ථිරව සොයා ගැනීමට හැකියාව සාමාන්‍ය පුද්ගලයින්ට ඇති බව රුවන් ජයතුංග සිතයි.

මට කීමට ඇත්තේ ඔවුන් දෙදෙනා ම නිවැරදි නොවන බවයි.

කාලවේලා ප්‍රශ්නය නිසා, මේ පිළිබඳ මගේ සරල දැනුම සහ අත්දැකීම් සහිත ලිපියක් ලියා පළ කිරීම සවස් වරුවට කල් තබමි.

-රසිකොලොජිස්ට්

ප/ලි (20 June 2016 at 23:32 Sydney Time):
මා රුවන් ගේ ගංජා ලිපිවල සහ මාතලන් ගේ මුල් ගංජා ලිපියේ මුල් හෝරාවලදීම ප්‍රතිචාර දක්වා තිබුණ ද පසුව එහි සිදුවූයේ කුමක්දැයි එතෙක් දැන සිටියේ නැත.

මේ ආරෝව ගැන කියමින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලූ පණිවිඩයක් රුවන්ගෙන් ලැබුණ පසුව එහි ගොස් සියල්ල කියවීමෙන් පසු, මේ උද්ගත වූ තත්වයේ දෙදෙනෙකුගේ ආරෝවකට එහා ගිය පොදුවේ සිංහල බ්ලොග් ලෝකයට වැදගත් යමක් ඇතිබව වැටහුණි.

මා මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ, ඉන් පසුවය.

මේ ලිපියේ දෙවන කොටස අද සවස් වරුවේ ලියා පල කිරීමට සිතා සිටියද, හදිසි කාර්යයන් කිහිපයක් තිබුණු නිසා එය අවසාන කළ නොහැකි විය.

ඒ කොටස හෙට පළ කරමි.

(image: http://keenetrial.com/blog/2011/04/13/no-one-makes-a-deal-on-a-handshake-these-days/)

Wednesday, 18 May 2016

බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක් - Expanding your vocabulary


"බෞදිය" යන වදන මගේ නිර්මාණයක් නොවේ.

බෞද්ධ සහ සවුදිය යන වදන් ද්වයේ එකතුවක් ලෙස ඒ ඒකාබද්ධ අර්ථය ම ගෙන දෙන්නට වාත්තු කර ඇති ඒ වචනය මා දුටුවේ චමීර දේද්දුව ගේ ෆේස්බුක් සටහනකිනි.

මේ අරුත ම ගෙන දෙන්නට මා ද ඇතුළු බොහෝ දෙනෙකු මෙතෙක් භාවිතා කළ "සිංහල තලේබාන්" යන යෙදුමේ ඇති නොගැලපෙන උප කුලකය ඉවත් කෙරෙන "බෞදිය" අනිවාර්යෙන් ම සිත්ගන්නා සුලු අරුත්බර නිමැවුමකි!

ෆේස්බුක් ජාලයේ සැරිසරන විට නොයෙකුත් කියුම්-කෙරුම් හමුවේ. "බෞදිය" යන්න මාතෘකාවට යොදාගෙන මා මේ සැරසෙන්නේ සයිබරයේ පට්ට ගැසූ කාරණයක් ගැන අලුතෙන් මා ෆේස්බුක් ජාලයේ දුටු කරුණක් ගැන ලියන්නටයි.

එනම් ලංකාව නමැති බුදුන්ට පිදූ රට ගැන ය.

ෆේස්බුක් ජාලයේ කෙටි සටහනක් ලියන අමිල අබේධීර (හම්බන්තොට ජීවත් වෙන ඔහු උග්‍ර ම.රා. වාදියෙකි!) පසුගිය දෙසැම්බරයේ දී මෙසේ පවසා තිබුණි.
"නත්තල සමරන බෞද්ධයින් සිටිනා අමුතු රටක් මේක.

නත්තල් සුභ පැතුම් පණිවුඩ වලට මාව ටැග් නොකිරීමට කටයුතු කරන්නේ නම් හොද යැයි ආරම්භයේදී ම පවසමි.

අප කතා කරන්නේ මෙරට තුන්වතාවක් සම්බුද්ධ සාසනයට පූජා කර ඇති බවයි, නමුත් එරටේ මුග්ධ ජනී ජනයා මිත්‍යාදෘෂ්ඨික ආගම් සැමරීම අද විලාසිතාවක් කැරගෙන තිබීම සම්මා දිට්ඨියද?

සිහි එලවා ගන්න. අවදි වන්න. එළැඹෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.

තෙරුවන් සරණයි."
මගේ කෙටි පිළිතුර වූයේ මෙයයි.

"හොදයි එහෙනම් අපි ලංකාව බොදු තලේබාන් රටක් හෝ සවුදි අරාබියක් කරමු!"

එය චමීර ගේ වචනය යොදා මෙලෙස නැවත ලිවිය හැකිය.

"හොදයි එහෙනම් අපි ලංකාව බෞදියක් කරමු!"

මට එවෙලේ ලියන්නට කාලවේලා නොතිබුණු දිගු ප්‍රතිචාරය මෙසේය.

ලංකාව බුද්ධාගම පූජා කළ මේ වාර තුන ගැන මට එක්වර ම සිහිකර ගත නොහැක. නමුත්, ඉන් පළමු වාරය, බුදු දහම ගැන අශෝක් නම් ඉන්දියානු ව්‍යාප්තවාදී අධිරාජවාදියා ගේ පණිවිඩයක් රැගෙන පැමිණි මිහිඳු හාමුදුරුවන් ගේ මිෂනාරි ගමනට සම්බන්ධ යැයි අනුමාන කරමි.

එදා පැවති රාජාණ්ඩුක්‍රමය අනුව, රජු පාලනය කරන සමස්ත භූමි ප්‍රදේශයම අයිති වූයේ ඔහුූට ම නිසා, ඕනෑ තෑගි ඔප්පුවකින් ඒ දේපල ඕනෑ ම අයෙකුට ප්‍රදානය කිරීමට රජුට හැකි විය.

ඒ සමගම රජු ගේ යටත් වැසියන් සියලු දෙනාම ඒහි පස්සිකෝ ක්‍රමයටත් වඩා සරල ක්‍රමයකින් බෞද්ධයින් වූ බව සැලකේ.

එය වනාහී බුදුන්ටත්, ඔහු ජීවත්ව සිටි කාලයේ දී කිරීමට නොහැකි වූ මහා ප්‍රාතිහාර්යයකි!

බුදුන්ට සිදුවුණේ දේශ දීපංකරවල පයින් ඇවිඳිමින්, ධර්ම දේශනා කරමින්, තම දාඩිය මහන්සියෙන්, මහජනයා තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නටයි.

ලංකාව මුල්වරට බුද්ධාගමට පූජා කළේ "තිස්ස-මුවා-මහින්ද-අඹ ගහ කතාවේ" අවසානයේ දී විය හැකි වුව ද, දෙවෙනි සහ තුන්වෙනි වරට බුද්ධාගම පූජා කළා යැයි සැලකෙන අවස්ථා ගැන නම් මම නොදනිමි. ඒ ගැන විස්තර දන්නා අයෙකු වේ නම් කරුණාකර සඳහන් කරන්න.

වාසනාවකට හෝ අවාසනාවකට හෝ, පළමුවෙනි රාජසිංහ හින්දු ආගම වැළඳගත් සමයේ හෝ දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත් සමයේ මේ ආකාරයට ලංකාව අදාළ ආගමට ම පූජා කළේ හෝ නොකළේ හෝ වුව ද, එයින් අපට ලොකු බලපෑමක් වී නැතැයි සිතේ!

නමුත්, මා අසා, කියවා ඇති පරිදි මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් පසු කලෙක බහුතර මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ මේ ආකාරයට ම ය. එනම් බලයේ සිටි උන් විසින් මුළු රටම ආගමික පූජකයින් වෙත දොර දන් දීමෙනි.

අමිල අබේධීර වැන්නන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එය නම්, ලංකාව බෞදියක්, එනම්, වෙනත් කිසිදු ආගමකට ඉඩ නැති, ඒකාගමික බෞද්ධ රටක් කිරීමටයි.

මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියන ලද මේ ලිපිය මගේ පරණ "වැඩ මල්ලේ" තිබී අද හමුවිය. බෞදිය යන්න මෙන් ම වැඩ මල්ල යන්න ද මා ෆේස්බුක් අවකාශයේ තිබී අහුලා ගත් වචනයකි. එය භාවිතා කර තිබුණේ බ්ලොග්(කාරයින් ගේ) හිතවතෙකු වෙන ශාන්ත කේ හේරත් චිත්‍ර ශිල්පියා ය.

(image: http://awaretheory.com/wiki/index.php?title=Religious_Tolerance_and_Awaretheory)

Wednesday, 6 April 2016

වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!


මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගී වීම සඳහා මා ලංකාවේ ගතකළ කාලයේ දී ලද අපූරු අත්දැකීමකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා හැකි තරම් කෙටියෙන් ලියන්නට අදහස් කරමි.

අපේ අම්මා සාමාජිකාවක් වන ගමේ වැඩිහිටි සමිතිය නිසා, මහලු වයසේ පසුවෙන, තම සැමියන් මිය ගොස් වැන්දඹුවී කල් ගත කරන, කිසිදු ආදායම් මාර්ගයක් නොමැති, විවාහ වූ දරුවකුගේ නිවසේ කල් ගත කරන, ජීවිතයේ මේ සෑඳෑ සමයේත් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වී සිටින කාන්තාවන් කීප දෙනෙකු ගැන මම දනිමි.

මගේ මවට වඩා වසර කිහිපයකින් වයසෙන් අඩු ඉන් එක් කාන්තාවක් විටින් විට පැමිණ මගේ මවට විවිධ උදව් උපකාර කිරීමට පුරුදු වී සිටියි. ඇය කලක් මගේ මවගේ තනියට නිවසේ නවාතැන් ගෙන ද සිටියාය. මගේ මව ද ඇයට හැකි අයුරින් උදව් උපකාර කරන්නීය. එය වින්-වින් තත්වයකි.

මෙවර ලංකාවේ මා ගත කළ කාලයේ දෙතුන් දිනක්ම ඇය නිවසේ දී මුණ ගැසුණි. අවසන් දිනයේ දී ද ඇය අප නිවසට උදේ පාන්දරින් ම ආවේ වෙනත් ගමනක් යාමට සැරසීය.

"පුතේ මේ නැන්දාට දැන් පැන්ෂන් එකක් ලැබෙනවා නේ. මේ ඒක ගන්න යන ගමන් ලු!" අම්මා පැවසුවාය.

මා දැන සිටියේ ඇයට කිසිදු ආදායමක් නොමැති බවකි.

"ආ, හොඳයිනේ. ළඟදී ඉඳලාද ඒ?" මම විමසුවෙමි.

"ඔව්, මෙයා කොහොම හරි ග්‍රාම සේවකට කියලා හදාගෙන. රුපියල් දෙදාස් පන්සීයක් ම ලැබෙනවා!" අම්මා කීවේ මද සිනාවකිනි.

ඒ මිතුරු සරදමක් බවත්, ඇයට ලැබෙන්නේ මසකටම රුපියල් දෙසිය පනහක් බවත් මම මොහොතකින් දැන ගත්තෙමි.

මා කළේ, "මෙන්න එහෙනම් මගෙනුත් නැන්දාට!" කියා රුපියක් දෙදහස් පන්සීයක් ඇය අතට දීමයි.

පැයක් පමණ කාලයක් අප නිවසේ ගත කළ ඇය පිටව යාමට කලින් මා අමතා කීවේ, "පුතා මං පන්සලේ කුළුණක් හදන්න රුපියල් අටදාහක් දෙන්න ලියලා තියෙනවා. පුතා දුන්නු සල්ලිවලින් ඒකට ගන්නම් පුතාටත් පින් සිද්ධ වෙයි!" කියාය.

මම තරමක විස්මයට පත්වීමි.

"අපෝ මට ඔය තියෙන පින් ඇති. ඔය සල්ලි කෑමට බීමට ගන්න!" මම ස්ථිරවම කීවෙමි.

කවුරුන් හෝ දෙන මුදලක් සහ මසකට ලැබෙන රුපියල් දෙසිය පනහේ පින් පඩිය හැර වෙනත් කිසිදු ආදායමක් නැති, ඥාතියෙකු ගේ නිවසේ තාවකාලිකව නතර වී සිටින ඇය වැන්නියක, ඇගේ තත්වයේ හැටියට අති විශාල මුදලක් වන රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.

ඒ ගැන මගේ අවුලක් නැත.

මා දුන් මුදල දැන් ඇගේ ය. එය ඇය කැමැති ආකාරයකට වියදම් කළ හැක. ඒ ගැන ද මගේ අවුලක් නැත.

නමුත්, මෙවැනි අයගේ වත්මන් අසරණකම සහ එ නිසාම ඇතිවෙන අනාගතය උදෙසා පින් කිරීමේ අවශ්‍යතාවය දඩමීමා කරගෙන කුළුණු වැනි අනවශ්‍ය ඉදිකිරීම් සැලසුම් කරන පන්සල් ගැන නම් මට ඇති වෙන්නේ කෝපයකි.

මගේ අතිරික්ත මුදල් එවැනි නිෂ්ඵල වැඩවලට දීමට වඩා නැති බැරි අයෙකුට දීමට මා කැමති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම්, මා දුන් මුදල ඇය පන්සලේ කුළුණ සෑදීම සඳහා පරිත්‍යාග කළහොත්, එයින් පිං ලැබෙන්නේ කාටද? ඇයට ද, මට ද? යන්නය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙස්සන්තර නම් රජා රාජ්‍ය දේපල පමණක් නොව තම බිරිඳ සහ දරුවන් ද දන්දුන්නේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් සහිතව නොවේද?


(image: https://en.wikipedia.org/wiki/Blind_Faith)

Monday, 4 April 2016

ජනාධිපති ර. ප්‍රේමදාස සහ අගමැති ඛලීඩා ෂියා ගැන පරණ කතාවක පුනරුත්පත්තිය! - To shake or not to shake


පසුගිය දිනවල කාර්යාලයේ දී අසන්නට ලැබුණු සිදුවීම් දෙක තුනක් නිසා එයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති මේ අතීත සිදුවීම මගේ සිහියට නැගුණි.

ලංකාවේ ජනාධිපති ර. ප්‍රේමදාස සහ බංගලාදේශයේ අගමැති ඛලීඩා ෂියා සම්බන්ධයෙන් මේ විස්තර කරන්නට යන නිරීක්‍ෂණය මා කළේ 1991 වසරේ, දෙසැම්බර් මාසයේ, විසිඑක්වෙනිදා ය.

මෙහිදී එතරම් පැහැදිලිව ඒ දිනය මට පැවසිය හැක්කේ මගේ අතිශය නිරවුල් මතකයක් නිසාම නොව, මේ අදාළ නීරීක්‍ෂණය, ලංකා ඉතිහාසයේ ලියවී ඇති අන්තර්ජාතික මට්ටමේ සිදුවීමක් හා කෙළින්ම සම්බන්ධ නිසා ය.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රාජ්‍යයන් එකමුතු වී ගොඩ නගා ගන්නා ලද සාර්ක් හෙවත් දකුණු ආසියානු කලාප සහයෝගීතා සංගමය ගැන අපි හොඳින් දනිමු.

මේ සංගමයේ රාජ්‍ය නායකයින් ගේ සමුළුවක් ඉහත සඳහන් දිනයේ දී කොළඹ දී පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවය ජාතික රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී.

අප දන්නා පරිදි, ලෝකයේ සාක් රටවල් පිහිටා ඇති මුල්ලේ වෙසෙන ජනයා අතර එකිනෙකාට ආචාර කිරීමේ ප්‍රධාන ක්‍රමය නම් අත් එකිනෙක බැඳ ඉහළට ඔසවා ආයුබෝවන්, නමස්තේ, නමස්කාර්, නමොෂ්කාර්, වණක්කම් වැනි දේශීය පදයකින් සංග්‍රහ කිරීමයි.

මීට අමතරව, ගෝලීය ආචාර ක්‍රමයක් වෙන අතට අත දී අල්ලා සෙලවීම හෙවත් ෂේක් හෑන්ඩ් කිරීම ද, බහුලව සිදු වේ. විශේෂයෙන් ම දෙරටක දෙදෙනෙකු මුණ ගැසුණු විට, ඒ අන්තර්ජාතික ක්‍රමයට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.

එදා සාර්ක් සමුළුවේ සංග්‍රහකාරක රටේ නායකයා වූ ජනාධිපති ර. පේ්‍රමදාස, ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි (හින්දු ආගමික) අගමැති රාවෝ ද, භූතානයේ (බෞද්ධ) රජු (වැන්ග්චක්) ද, මාලදිවයිනේ එවකට ජනාධිපති ඉස්ලාම් ආගමික අබ්දූල් ගයූම් ද, පකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් ආදී විවිධ රාජ්‍ය නායකයින් පිළිගත්තේ ඒ ආකාරයට අතට අත දී අල්ලා සෙලවීමෙනි.

නමුත් මා හොඳින් නිරීක්‍ෂණය කළ පරිදි බංග්ලාදේශ අගමැතිනිය වූ, ඛලීඩා ෂියා එදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කරා ළඟා වූ විට සිදුවූයේ අමුතුම ආකාරයේ දෙයකි.
  • ඛලීඩා ෂියා මෝටර් රථයෙන් බැස ඉදිරියට ආවාය.
  • ර. ප්‍රේමදාස අත් ඔසවා කෙරෙන (ආයිබෝවන් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ඛලීඩා ෂියා ද අත් ඔසවා කෙරෙන (නමොෂ්කාර් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ර. ප්‍රේමදාස අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ ද නැත.
  • ඛලීඩා ෂියා ද අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ නැත.
  • දෙන්නා ඔහේ දික්කසාද වුණු ජෝඩුවක් පසු දිනයක නඩත්තු නඩුවක් සඳහා උසාවියේ දී හමුවුණාක් මෙන් හිටගෙන සිටයහ.
ඉන් පසු එතැනට ළඟා වූ රාජ්‍ය නායකයින් ට ජනාධිපති ර. ප්‍රේමදාස පෙර මා කී පරිදි අන්තර්ජාතික ක්‍රමයට ආචාර කළේය.

අපට වටහා ගත හැකි පරිදි මෙතැන දී සිදුවෙන්නට ඇත්තේ මෙයයි.

ඛලීඩා ෂියා මුස්ලිම් කාන්තාවක්, ඇය මගේ මතකයේ හැටියට වැන්දඹුවකි, නිසා ඇය වෙනත් පිරිමියෙකු ගේ අත නො අල්ලයි.

එසේම, බංග්ලාදේශය ඉන්දියාව ගොඩ බිමෙන් සම්බන්ධ දකුණු ආසියානු රටක් වුවද, ඔවුන් කාලාන්තරයක් තිස්සේ මුස්ලිම්කරනය වී ඇති නිසා, ලංකාව ඉන්දියාව ඇතුළු රටවල කෙරෙන අත් එකතු කොට නමස්තේ/ආයුබෝවන් ආචාරය ද ඔවුන් ගේ රාජ්‍ය නායකයාට අකැප වී ඇත.

එනිසා ඛලීඩා ෂියාට සහ ර. ප්‍රේමදාසට සිදුවූයේ බකං නිලා සිටීමටයි. සමහර විට ටෙලිවිෂන් කැමරාවට අසු වෙන නොවෙන ආකාරයේ හිස සෙලවීමක් හෙවත් නොඩින් කිරීමක් ද, වචනයක් දෙකක් හුවමාරුවක් ද සිදුවෙන්නට ඇත.

සාමාන්‍යයෙන් මේ ආකාරයේ අන්තර්ජාතික හමුවීම්වලට පෙරාතුව සිදුවෙන පරිදි ඛලීඩා ෂියා කිසිදු ආචාරයක් නොකරන බව බංග්ලාදේශයේ තානාපති කාර්යාලය විසින් ර. ප්‍රේමදාස ගේ ජනාධිපති කාර්යාලයට දැනුම් දී තියෙන්නට ඇත. එසේම, ඛලීඩාට අතට අත දෙන්නට උත්සාහ නොකරන ලෙසට, ර. ප්‍රේමදාසට උපදෙස් ලැබී තියෙන්නට ඇත. එසේ නොමැතිව පුරුද්දට මෙන් අත දිගු කරන්නට ගියා නම් සිදුවන්නේ එසේ මෙසේ අපහසුතාවක් නොව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අපහසුතාවක් හෙවත් එම්බැරේස්මන්ට් එකකි.

මට ඒ අතීත කතාව සිහිවූයේ අපේ කාර්යාලයේ සේවය කරන මිතුරු මැවිසුරුවියකගෙන් අසන්නට ලැබුණු කතා දෙක තුනක් නිසා ය.

මීට වසරකට පමණ පෙර ඇයට කාර්යාලයේ අලුත් තනතුරක් ලැබුණු දින එය දැනගත් වෙනත් ඉංජිනේරුවෙකු ඇය අසලට පැමිණ "කන්ග්‍රැජුලේෂන්ස්" කියා වචනයෙන් සුබපතා ඇත. බංග්ලාදේශයෙන් සංක්‍රමණය කළ ඉස්ලාම් භක්තිකයෙකු වූ ඔහු ඒ සමගම පවසා ඇත්තේ, "සොරි බට් අයි වොන්ට් බී ඒබල් ටු ෂේක් හෑන්ඩ්ස් විත් යූ ඇස් අයි ඩොන්ට් ෂේක් හෑන්ඩ් විත් විමෙන්" කියා ය.

එය ඇසූ ඇය විස්මයට පත් වී ඇත. ඇගෙන් ඒ කතාව ඇසූ මම ද කරුණු කිහිපයක් නිසාම විස්මයට පත්වීමි.

ඉන් ප්‍රධාන කරුණ වූයේ, අන්තවාදී මුස්ලිම් සමාජවල කාන්තාවන්ට විවිධ පීඩාකාරී තහනම් නීති පැනවී තිබුණ ද, පිරිමින්ට මත්පැන් බීම හෝ සූකර මාංශ කෑම හැර මේ ආකාරයේ නීති තිබෙන බවක් මා නොදැන සිටීමයි.

දෙවැනි කරුණ නම්, සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගී වීමේ දී, අනිවාර්යෙන් අතට අත දෙන්නට සිදුවෙන නිසා, එවැනි අවස්ථාවක දී, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ ඉන්නා කාන්තාවකට අතට අත නොදී සිටීම යනු සාමාන්‍යයෙන් රැකියා අපේක්‍ෂකයෙකු කිරීමට නො සිතන දෙයක් වීම නිසාත් ය.

අතට අත දීම ප්‍රතික්‍ෂේප කිරීමේ මේ ආකාරයේ ම තවත් අත්දැකීමට මුහුණ දෙන්නට මගේ කාර්යාලයේ මිතුරියට පසුව සිදුවී ඇත. ඒ අලුතින් පියෙකු වූ වෙනත් ඉස්ලාම් භක්තික මැවිසුරුවෙකුට සුබ පතන්නට ගොසින් ය.

මේ අතට අත නොදීමේ ප්‍රතිපත්තිය ඉස්ලාම් භක්තිකයින් එක් කෙනෙකු දෙන්නෙකුට පමණක් අදාළ කරුණක් නොවෙන බව n=3 සඳහා ද එය සත්‍යවීම නිසා වැටහේ.

මේ තුන්වෙනි අවස්ථාවේදී සිදුවී ඇත්තේ එකම ආයතනයේ වෙනත් කාර්යාලයක සිට අපේ කාර්යාලයට සේවය සඳහා පැමිණීමට නියමිත, නැවතත් ඉස්ලාම් භක්තිකයෙකු වන මැවිසුරුවෙකු, ඔහු එසේ පැමිණීමට දිනකට පෙර ඒ කොටසේ සේවය කරන මා පෙර කී කාන්තාව සහ තවත් යෙකට, තමන් ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තාවන්ට අතට අත නොදෙන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි අපහසුතාවන් මග හරවා ගැනීම පිණිස ඒ බව මෙසේ දන්වන බවත් කියමින් ඊ-මේලයක් එවූ නිසා ය.

මා කලින් කීවාක් මෙන් සාමාන්‍යයෙන් ගෑනුන්ට පමණක් පීඩාකාරී නීති දමන පිරිමින් අතර මේ ආකාරයේ තමන්ට ද ඒ ආකාරයේම පීඩාකාරී නීති පනවා ගන්නා අය ඇති බව මේ සිදුවීම නිසා මම දැන ගතිමි.

මේ පුද්ගලයින් තිදෙනාගේ බිරින්දෑවරුන්ට මීට වඩා දරුණු පීඩාකාරී නීතිවලට අනුකූලව ජීවත්විමට සිදුවී තිබෙනවා විය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාන්තාවන්ට පීඩාකාරී නිති දමන්නේ අන්තවාදී මුස්ලිම් සමාජවල පමණක් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධ ජනකොටස් අතරේ ද එවැනි මානව විරෝධී නිති ඇත.

ගුරුවරියන් සාරි ඇඳිය යුතුය යනුවෙන් නොනිල නීතියක් ඇති බව සත්‍යයකි. පිරිමි ගුරුන්ට එසේ නොනිල තහනමක් නැත. අවැසි පරිදි යුරෝපියානු කලිසම ඇඳිය හැක.

පාසලට එන අම්මලා සාරි ඇඳිය යුතුය යනුවෙන් ද නිල වශයෙන් තහනමක් ඇති බව මා මේ ළඟදී දැන ගත්තේ එය ඉවත් කරන්නට යනවාය යන ආරංචිය සමගයි.

අතට අත දීමේ තහනමක් ගැන පැවසුණු මේ ලිපිය අවසාන කරන්නට පෙර මෙය ද පැවසිය යුතුය. අතට අත දී ආචාර කීරීම කෙසේ වෙතත් ගැහැණු පිරිමි දෙදෙනෙකු අතිනත පටලාගෙන සිටීම, බුද්ධ ධර්මයට අවුලක් නොවුන ද, බුඩ්ඩාගං සංස්ථාවට නම් අගෝචර දෙයක් බව පෙනෙන්නට ඇති බවයි!

(image: http://www.serendib.btoptions.lk/article.php?id=1540&issueId=59)

Wednesday, 16 March 2016

අයියයි නංගියි කසාඳ බැඳලා? - What the F?


මා කුඩා කාලයේ අපේ නිවස අසල ජීවත් වූ එක් කාන්තාවක් මගේ මව ඇමතුවේ මවගේ නමින් හෝ අක්කා නංගී වැනි වචනයකින් හෝ නොව "සමන්ලා ගේ අම්මා" කියා බව මට අද මෙන් මතක ය.

සමන් යනු මගේ අම්මා ගේ කණිෂ්ඨ පුත්‍රයා ය.

ඒ ඇමතුම මට විමතියක් ගෙන දුන්නේ ඇය අපේ අම්මාට "රසිකලා ගේ අම්මා" යැයි නොකී නිසා නොවේ. එම යෙදුමේ ඇති උසුළු-විසුළුබව නිසා ය.

ඒ කාන්තාව කතා බහේ දී තම සැමියා ගැන සඳහන් කළේ, "රූපසිංහලා ගේ තාත්තා" කියායි. රූපසිංහ යනු ඇගේ පුත්‍රයා ගේ නම විය. ඇය, තම සැමියා මුහුණට ඇමතුවේ ද එලෙසම යැයි සිතමි. එය නම් යම් කිසි ආකාරයක සොඳුරු තහවුරු කිරීමක් විය හැක.

මේ ආකාරයට "ළමයින් ගේ තාත්තා" හෝ "ළමයින් ගේ අම්මා" කියා එකිනෙකාව හඳුන්වා ගන්නා අඹු සැමියන් ද ඇති බව මා අසා ඇත්තෙමි.

විශේෂයෙන් ම නොරට සිටින දෙමව්පියන් අතර මා දැක ඇති ඇමතීමේ ක්‍රමයක් නම් කෙළින් ම අම්මී, තාත්තී කියා එකිනෙකා අමතා ගැනීමයි. මේ ගැන විවේචනාත්මක ලිපියක් මේ වන විට කඩේ වසා ඇති ඔටුකතා නමැති බ්ලොගයේ ද පළ වී තිබුණි. ඔටුකතා රචකයා ඒ සඳහා භාවිතා කළ ඡායාරූප ගැන දරුණු විවේචනයක් ද එල්ල වී තිබුණු බව මගේ මතකයයි.

මේ අම්මී තාත්තී ඇමතීමට හේතුව වන්නේ, ඒ ඔටුකතාවේ ඡායාරූප මගින් කියන්නට උත්සාහ කළ කතාව නොවේ. මා නිරීක්‍ෂණය කර ඇති අන්දමට, මෙහි දී සිදුවන්නේ තම දරුවාට සිංහල කතා කිරීමට ඉගැන්වීම පිණිස වෙර දරන දෙමව්පියන් දරුවාගේ වචනවලින් කතා කිරීමට පෙළඹීම නිසා ඒ පුරුද්ද අල්ලා සිටීමකි. කොටින්ම මේ ළමයින් ගේ තාත්තා කේස් එකේ වඩාත් හොඳ භාවිතයයි.

ඒ ආකාරයට ම දරුවන් කිහිප දෙනෙකු සිටින දෙමව්පියන් ඒ දරුවන්ට අයියා, අක්කා, නංගී, මල්ලී ලෙස, දරු බසෙන්, අමතනු ද දැකිය හැක.

මගේ පියා සහ ඔහු ගේ මා දන්නා මිතුරන් එකිනෙකාව හඳුන්වා ගත්තේ මහත්තයා යන පදය සහිතවයි. මෙය ගුරු සේවයේ දිගු කලක් යෙදීමේ දී, පාසල් ළමුන් ගේ බසින් හඳුන්වා ගැනීම නිසා සිදුවූවක් යැයි සිතමි. පාසලේ දී "හරිශ්චන්ද්‍ර මහත්තයා" වූ මගේ පියා ගමේ දී නම් "චන්දර මහත්තයා" විය.

මට පුදුමය ගෙන දුන් කාරණයක් වනුයේ, මා දන්නා කාලයේ දී විවාහ වීම නිසා අපේ පවුලට ඥාති සම්බන්ධතා ඇති වූ මාමාවරුන් දෙදෙනාටත් මගේ පියා මහත්තයා ලෙසින් ඇමතීමයි. අයියා, මල්ලී ආමන්ත්‍රණයක් ඔවුන් අතර නොතිබුණි. ඒ අනුව යමින් මගේ මවට ද ඔවුන්ව, වෙද මහත්තයා සහ ධර්මසේකර මහත්තයා යනුවෙන් හැඳින්වීමට සිදුවිය.

කොහොමත් මගේ මව මගේ පියා ඇමතුවේ මහත්තයා කියාය. එසේ වුවද, පියා මව ඇමතීමට නෝනා යැයි කියනවා නම් මා කෙදිනක හෝ අසා නැත. ඒ වෙනුවට ඔහු කළේ එක්කෝ නාමපද ආමන්ත්‍රණයෙන් තොරව ඇමතීමයි, නැතහොත් "ඕයි" වැනි සුරතල් ආමන්ත්‍රණයක් භාවිතා කිරීමයි!

මීට වඩා පුදුම සහහත ඇමතීමක් ද මා අසා ඇත.

අපේ ආච්චී ගේ නිවසට ආ ගිය එක් කාන්තාවක්, ආච්චීව ඇමතුවේ මිසිස් කියාය. ඒ ආච්චීව ඇය සේවය කළ පාසලේ දී හැඳින්වුණු "මිසිස් ගුණතිලක" යන නාමය කෙටි කර ගැනීමෙන් තනාගත් ඇමතුමක් ලෙස මම පසුව දැන ගතිමි.

වයස හෝ විවාහ අවිවාහක තත්වය නොබලා කාන්තාවන්ට මිස් කියා කෙරෙන ඇමතීම නම් අද පවා දක්නට ලැබුණත්, මේ ආකාරයේ මිසිස් පමණක් කියා ඇමතීමක් මා ලංකාවේ වෙනත් තැනකදී අසා නැත.

සිනුවර ප්‍රදේශයේ නම් සමහර පරම්පරානුගත ඕස්ට්‍රේලියානු විවාහක පිරිමි තමන් ගේ බිරිඳ ගැන කරන හැඳින්වීම්වල දී මිසිස් යන පදය භාවිතා කරති.

මේ ආකාරයේ විවිධාකාර ඇමතුම්වලින් අති පුදුමාකාර ඇමතුම නම්, සමහර විවාහකයින් එකිනෙකා හඳුන්වා ගන්නා සිංහබාහු-සිංහසීවලි නම් ඓතිහාසික ආකාරයයි.

මින් වසර හතරකට පමණ පෙර දිනක, මට ඕස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය කළ යුවලක් මුණ ගැසුණි. පසු දිනක මා ඔවුන් ගේ නිවසට දුරකතනයෙන් ඇමතා යමක් විමසූ විට පිළිතුරු දුන් සැමියා, "අයියේ මං නංගිගෙන් අහලා කියන්නම්!" වැනි අප්‍රබංශ කතාවක් කීවේය.

මා ඔහුට ඇමතුවේ ඔහු ගේ මුල් නමින් රොහාන් කියා වුවද, ඔහු ගේ පිළිතුරේ කියවුණු අයියා යනු මා බව පැහැදිලි ය. නමුත් මේ නංගී කවරෙකු ද? ඒ නිවසේ සිටින්නේ මේ යුවළ සහ පිරිමි දරුවා පමණි.

තම බිරිඳට නංගී යැයි සැමියෙකු අමතනු මා මුලින්ම ඇසුවේ එදා ය!

මා අත්දැකීම් අඩු අයෙකු ලෙස මෙය කියවන ඔබට සිතේ නම්, ඒ සිතුවිල්ල තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා, මෙය ද පවසමි.

බිරිඳක් තම සැමියා, අයියා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වනු මා මුලින් ම ඇසුවේ පසුගිය දෙසැම්බරයේ තරම් මෑත කාලයක දී පොතක එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එසේම, වෙන වෙනම මේ කතාව අසා තිබුණ ද, යුවලක් එකිනෙකාට අයියා සහ නංගී ලෙස අමතනු මා ඇසුවේ මේ වසරේ මාර්තු මස මුල සතියේ ය.

මේ විකාරරූපී ඇමතුමට හේතුව, විවිධ සමාජ ආයතනවලදී මුණ ගැසී අයියා නංගී ලෙස සහෝදරත්වයෙන් මිතුරු වුණු තරුණ පිරිස් විවාහ වීමෙන් පසුව ද, ඒ පුරුදු අත නොහැරීම ලෙස මා වටහා ගත්තෙමි.

නමුත් මෙහිදී ද, මා නිවැරදි නොවන බව මගේ මිතුරියක මට ඊයේ පහදා දුන්නී ය.

ඇය පැවසූ අන්දමට වයස තිස් ගනංවලදී හමු වී, විවාහ වුණු ඇය දන්නා යුවලක් ද, එකිනෙකා හඳුන්වා ගන්නේ අයියා සහ නංගී ලෙස ලු!

"සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව ඒ මොහොතේ මට පසක් විය.

-රසිකොලොජිස්ට්

(http://www.sarasaviya.lk/2015/09/10/?fn=sa1509109)

Tuesday, 2 February 2016

නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?


කුඩා කල සිටම සංගීතයට, ගීත ඇසීමට, ගීත ගැයීමට, ප්‍ර්‍රිය කළ විනීතා නම් තරුණියක් විවාහයෙන් පසු තම සැමියා ගේ නිවසේ පදිංචියට ගියා ය.

නිවසේ ඉවුම්, පිහුං, අතුපතු ගෑම් යනාදී විවිධ වැඩ රාජකාරීවල නිරතවෙන වේලාවල්වල දී, ඇයට සුපුරුදු පරිදි සෙමින් ගීතයක් මුමුණනවා ඇසුණු විනීතා ගේ සැමියා ගේ සොහොයුරිය සුනීතා, "ඒයි උඹට පිස්සු ද බං හැම තිස්සෙම සින්දු කියන්නේ?" යැයි විමසා ඇත.

සුනීතා ගේ ඒ ප්‍රශ්නයේ ඇති අවුල උඹ බං කීම නොවේ. එය ඇත්තටම සුහදත්වයෙන් කළ ඇමතීමකි.

එහි ඇති සැබෑ අවුල නම්, එක් කාන්තාවක ගේ එදිනෙදා සාමාන්‍ය චර්යාවක් දෙයක් වූ ගීයක් මිමිණීම, අනෙකාට නුහුරු නුපුරුදු විස්මයට කාරණාවක් වීම සහ, ඒ හැසිරීම පිස්සුවක් නොහොත් මානසික ව්‍යාධියක් ලෙස දිස්වීම යි.

මේ කතාව අසන යමෙකු සුනීතා එවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඇයට පිස්සු නිසා යැයි සිතන්නට ද ඉඩ තිබේ!

අප සාමාන්‍ය චර්යාව යැයි කියා සලකන දෙයින් ඔබ්බේ ඇති දේ අපට පිස්සු වැඩ යැයි කියා සිතීම සාමාන්‍ය තත්වයි. එවැනි පිස්සු වැඩ කරන්නෝ පිස්සෝ වෙති!

මේ පිස්සු වැඩ සහ පිස්සන් පිළිබඳව ඔබ බොහෝ දෙනෙකු එකඟවෙන බව මා දන්නා කාරණා කිහිපයක් මෙසේය.
  • අප බොහෝ දෙනෙකු විවිධාකාරයේ පිස්සු හෙවත් මානසික ව්‍යාධියෙන් පෙළෙමු.
    ඒ ඒ පිස්සු වර්ග අපට, ලා මට්ටමේ සිට සිරා මට්ටම දක්වා, විවිධ තීව්‍රතාවයෙන් වැළදී තිබෙනු දක්නට හැක්කේ පිටතට පෙනෙන රෝග ලක්‍ෂණවලිනි.
  • මේ සමහර පිස්සුවල රෝග ලක්‍ෂණ එතරම් කැපී නොපෙනේ. එනම්, කාට කාට ඒ ඒ පිස්සුව කොයි කොයි මට්ටමින් ඇතිදැයි අන් අයට නො පෙනේ.
  • මේ බොහෝ පිස්සු, ඒවා වැළඳී ඇති අය ලෝකයේ අති බහුලව සිටින නිසා, සැලකෙන්නේ සාමාන්‍යය ම ලෙසයි. එනම්, පිස්සන්ට අනිත් පිස්සන්, පිස්සන් කියා නො සිතේ.
  • ඒ සමගම, මේ සමහර මානසික ව්‍යාධීන් අනෙකුත් ඒවාට වඩා හොඳ ඒවා යැයි ද සැලකේ. එනම්, පිස්සු ලෝකයේ පිස්සන් අතර, හොඳ පිස්සන් ද මෙන්ම නරක පිස්සන් ද වෙති.
    උදාහරණයක් ලෙස, මට සාපේක්‍ෂව, පොත් පිස්සුව සහ පොත් පිස්සන් හොඳය. එසේම, ජාති, ආගම් පිස්සුව සහ ජාති, ආගම් පිස්සන් නරක ය.
ඔබට ඇත්තේ කුමන පිස්සුවදැයි කරුණාකර සඳහන් කරන්න.

කිසිම පිස්සුවක් නැතියැයි කියන්න නම් එපා. එය සත්‍යය නොවන බව, මා කෙසේ වෙතත්, ඔබ ම හොදින් දනී!

-රසිකොලොජිස්ට්

Wednesday, 27 January 2016

හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් කුළුණුහ් ශුඩු ශඬලුහ් ථලා පිශ මේ එණ්ණේහ් - Oh, what a feeling


මැයි දිනය යනු ලංකාවේ දේශපාලන පක්‍ෂවලට තම බලය පෙන්වීමට ඇති අගනා අවස්ථාවකි. තම පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට පාක්‍ෂිකයෝ මැයි පෙළපාලිවලට සහ රැළිවලට ඉතා උනන්දුවෙන් සහභාගී වෙති. නමුත්, ආණ්ඩු පක්‍ෂය වූ පසු මේ උනන්දුව කෙමෙන් නැතිවේ. ඉන් පසු රජයෙන් සපයන බස් ද, බත් මුල් ද, අරක්කු බාගේ බෝතල් ද, කැප් තොප්පි ද, ටී ෂර්ට් ද, අතට මුදල් ද මේ සඳහා උවමනා වේ.

හැත්තෑවේ දශකයේ අවසානයේ දී එවකට පැවති යූඇම්පී රජය තම මැයි දින රැළියට ජනතාව ගෙන්වා ගැනීම සඳහා ඇරඹූ එක් උපක්‍රමික වැඩසටහනක් වූයේ මැයි දින රැළිය සංගීත සංදර්ශනයක් බවට පෙරළීම සහ ඒ සඳහා විශේෂයෙන් ම ඉන්දියාවෙන් ගායකයින් ගෙන්වීමයි.

වරක් මේ ආකාරයට ලංකාවට පැමිණ, ගාලු මුවදොර පිටියේ පැවති යූඇම්පී මැයි රැළියට සහභාගී වූ, අද මට නම අමතක, ඉන්දියානු ගායකයෙකු විසින් සුනිල් ශාන්ත ගේ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ඉන්දියානු ආරකට, විදේශීය කටහඬකින් ගායනා කරන ලදී.

ඒ වසරේම හෝ ඊට පසු වසරක, දයාරත්න රණතුංග ගේ "ජය සිරි මා බෝධී" නම් ගීතයද මෙලෙස ඉන්දියානූ ඌරූවෙන් ගායනා කරන්නට යෙදුණි.

පටිගත කරනු ලැබූ මේ ගායනා ඉන්පසු ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් නිරතුරු ප්‍රචාරය වූ අතර, ඉන් පසු අපේ කටින් මේ ගීත ගැයෙන්නට පටන් ගත්තේ ද ඒ අලුත් තාලය සහ සිංහල බේ උච්චාරණයෙනි!

මට ඒ සිදුවීම් සිහිවූයේ ෆේස්බුක් ජාලයෙන් විස්තර ලැබ, යු ටියුබය හරහා නැරඹූ භාෂී මධුභාෂීනී නම් කාන්තාවක විසින් නැවත ගායනා කරන ලද හන්තාන අඩවියේ නම් ගීතය නිසාය.

ඇත්තටම ඒ ගීතය ඇගේ මුවින් පිටවුණේ එදා සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගැයූ ආකාරයට:
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ කුසුම වදුලු තුරු සිරස නමා ගෙන මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කියා නොව
හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
කියා ය.



රංගනය සහ ඉදිරිපත් කිරීමේ විලාසය කෙසේ වුවත්, ඈ ඒ ගිතය උච්චාරණය කළ ආකාරය නම් මගේ බඩේ දැඟලිල්ලක් සහ ඔක්කාරයක් ඇති කළේය.

භාෂී මධුභාෂීණී විසින් හන්තාන අඩවියේ නම් ගීතය භක්‍ෂණය කළ බව පෙනුණි!

ඇගේ ඒ උච්චාරණය එදා ඉන්දියානු ගායකයා සිංහල ගීතයක් ගයද්දී ඇති වූ ආකාරයේ එකක් නොවේ. එසේම, එය පිටරටක ඉපිද හැදී වැඩෙන දරුවෙකු තම සිංහල දෙමව්පියන් සමග කතා බහෙන් ඉගෙන ගන්නා සිංහල උච්චාරණයක් වැන්නක් බවද මට නොපෙනේ. මට නම් හිතෙන්නේ ම එය උවමනාවෙන්ම ආරූඪ කරගත් උච්චාරණයක් බවයි.

භාෂී මධුභාෂීනී මේ රියැලිටි ගායනා තරගකාරිය විසින් මීට පෙර වැඩසටහනක දී ගයා ෆේස්බුක් සහ යූ ටියුබය හරහා මා නැරඹූ සොයා දියව් යන ගීතය ශ්‍රවණය කිරීමේ දී මට ලැබුණේ මේ ආකාරයේ අනේ අපොයි අත්දැකීමක් නොවේ.

ඇය ගේ ගායනා විලාසය සහ රංගනය ගැන මට එදා ඇතිවූයේ කැමැත්තකි. මේ දෙවෙනි ගීතය සම්බන්ධයෙන්ද, රංගනය සහ ගීතය ඉදිරිපත් කළ ආකාරය මට ගෙන දුන්නේ ආස්වාදයකි. එහි යම් කිසි ලිංගික ආකර්ෂණයක් ගැබ් වී ඇතැයි පැවසීම බොරුවක් නොවේ.

මට ඇය ගේ ගායනය ගැන පරම්පරා ගැටුමක් හෝ රස වින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නැත.

නමුත්, හන්තාන අඩවියේ ගීතය හැන්ථාන ඇඩවියේහ් කිරීම ගැන නම් ඇත්තේ සංවේගයකි, සන්තාපයකි, පිළිකුලකි, කෝපයකි.

මේ පිළිබඳ මා තැබූ ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වන ඉන්දික උපශාන්ත කියා තිබුණේ ශාෂී මධුභාෂිණී යන නම සහ ඇගේ ගායනය ඔහුට පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා නම් ගීතය සිහිවෙන බවයි.

චානුක වත්තේගමට අනුව මේ ගායනය ගැන මට ඇතිවූ සංවේගය, සන්තාපය, පිළිකුල සහ කෝපයට හේතුව හන්තානේ අඩවියේ ගීතය ගැන ඇති මගේ පේරාදෙණිය පිළිබඳ අතීතකාමී ෆැන්ටසියකි.

මට පේරාදෙණිය ගැන ඇතිනම් ඇත්තේ ෆැන්ටසියක් නොව රියැලිටියක් බව මම ඔහුට පිළිතුරු ලෙස ලීවෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ගීතය ඔබ අසා ඇතිනම් කරුණාකර ඒ ගැන හැකි පරිදි අදහස් දක්වන්න.

ප/ප/ලි:
මට කියා ගත නොහැකිව හිතේ තෙරපුණු දේ Buratheno ගේ කමෙන්ටුව නිසා වචනයට නගා ගත හැකි වුණා.

මේ ගායනයේ වරද ගායිකාව ගේ හෝ ඇගේ ගායන විලාසයේ හෝ නොවෙයි. මේ විලාසය ඒ ගීතයේ අදහසට නොගැලපීමයි. සොයා දියව් නම් ගීතයට ගැලපුනත් හන්තාන අඩවියේ ගීතය වැනි දුක්බර ගීතයකට එය ගැලපෙන්නේ නෑ.

භාෂී මධුභාෂීණි මේ ආකාරයෙන් ගායනා කළ යුත්තේ නන්දා මාලනී ගේ "මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු" වැනි ගීතයි.

ප/ප/ප/ලි:
මෙයත් කියවන්න.

යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini
http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html


(image: https://www.youtube.com/)

Tuesday, 26 January 2016

ඕස්ට්‍රේලියානු ජාතික දිනයේ අවුලක්! - What's wrong with the Australia Day?


අද ජනවාරි 26 වෙනිදා ඕස්ට්‍රේලියානු දිනයයි, එනම් ඕස්ට්‍රේලියාවේ ජාතික දිනයයි.

ජාතික දිනය සඳහා අද දිනය තෝරාගෙන ඇත්තේ වසර 1788 දී නැව් එකොළහක් සහිත ඇණියකින් කපිතාන් ආතර් පිලිප් මහා බ්‍රිතානයේ සිට සිඩ්නි අසල ප්‍රදේශයට පැමිණ මේ මහාද්වීපය තම රජු වෙනුවෙන් අයිතිකරගෙන සිර කඳවුරක් සඳහා කොලණියක් පිහිටවීම මගින් වත්මන් ඕස්ට්‍රේලියාවේ ඇරඹුම සනිටුහන් වෙන බැවිනි.

ජාතික දිනය සැමරීමට රාජ්‍ය උත්සව පැවැත්වෙනවා විය යුතුය. නමුත් රටවැසියන් බොහෝ දෙනෙකු කරන්නේ අද දිනයේ බැටළු මස් සහ ඉස්සන් සහිතව සම්ප්‍රදායානුකූල බාබකියු භෝජනයක් රස විඳීමයි. ඒ සඳහා අනුපාන ලෙස බියර් සහ වයින් ද නොමසුරුව භාවිතා වේ.

තවත් වැදගත් කර්තව්‍යයක් වෙන්නේ වසරේ ඕස්ට්‍රේලියානුවා තේරීමයි. මා දන්නා තරමින් පසුගිය වසර විස්සක කාලය තුළ මේ සඳහා ක්‍රීඩකයින්, සිනමා නළුවන්, හමුදාකාරයින් මෙන්ම, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ද තෝරා ගෙන ඇත.

පසුගිය වසරේ මේ උපහාරය ලැබුණේ ගෘහස්ථ හිංසනය වැලැක්වීම පිළිබඳව වැඩ කළ කාන්තාවකයි. මේ වසරේ හිටපු හමුදා ප්‍රධානියා ඒ සඳහා තෝරාගෙන ඇත. ඒ ඔහු හමුදා ප්‍රධානියාව සිටි නිසාම නම් නොවේ!

කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානු දිනයේ විශාල ප්‍රශ්නයක් ද ඇත.

ඒ මේ දිනය සම්බන්ධයෙනි.

එදා ආතර් පිලිප් ගේ පැමිණීම සිදුවූ දිනයේ ම, මෙරට එතෙක් විසූ මුල් පදිංචිකාර ඇබොරිනල් ජාතිකයින් ගේ විනාශය ඇරඹුණි.

එය හත්සීයක හොරුන් රංචුවක් සමග විජය ඉන්දියාවේ සිට ලංකාවට ගොඩ බැස එදා එහි සිටි යක්‍ෂ ගොත්‍රිකයින් ගේ විනාශය ඇරඹීම හා සැසඳිය හැකි අවස්ථාවක් බව පෙනේ.

රටකට ජාතික දිනයක් අවශ්‍ය නමුත් පෙර කී කාරණය නිසා, බ්‍රිතාන්‍යයින් මෙහි පැමිණි දිනයම ජාතික දිනය ලෙස තෝරා ගැනීමේ අවුලක් ඇත.

එනිසා ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරෙන අද දිනය ආක්‍රමණ දිනය ලෙස ද විරෝධය දැක්වීමක් ලෙසින් හැඳින්වෙනු දැකිය හැක.

මගේ අදහස නම්, යම් දිනක ඕස්ට්‍රේලියාව ජනරජයක් වූ දිනට මේ අවුල ලිහී යනු ඇති බවයි!

හවසට බාබකියු දැමීමට අවශ්‍ය බඩු(*) ගෙන ඒමට මට කඩේ යාමට ඇති නිසා මෙයින් නවතිමි.

ඔබ සැමට ජොලි ගුඩ් ඕස්ට්‍රේලියානු දිනයක් වේවා.

-රසිකොලොජිස්ට්

(*) බඩු යනු මස් සහ පාන් ය. දියර වර්ග නම්, පොලීසියෙන් ඉල්ලන විට දෙන්නට වුවද ඇති තරම්, ඉස්ටොක් එකේ ඇත!

(image: http://fleurieucoast.com/event/australia-day-2016/)

Monday, 14 December 2015

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!


"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!" සින්දුව කියමින් සිටින මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි.

කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ!

ඒත්, මා සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක් සටහන් කළ යුතු යැයි සිතුණි.

ත්‍රිරෝද රථයකින් බෝකුන්දර හන්දියට ගොස්, එතැනින් 120 බසයකට ගොඩවුණු මා ඉන් බස ගත්තේ "ජෝන් ද සිල්වා රඟහල" අසල නොව "පුරහල" අසලදී ය. පයින් ඇවිදගෙන මහවැලි කේන්ද්‍ර ශාලාවට ළඟා වී පොත් මිලට ගෙන දොරෙන් එබී බැලූ කළ දුටුවේ ලාම්පු පත්තු කිරීමේ දර්ශනයයි.

අනෙත් දොරෙන් ඇතුළු වී පසු පස ආසනයක හිඳ ගත්තෙමි. උත්සවය අවසාන වෙනතුරුම හිඳ සාවධානව සිට, ඉන් පසු තේ කෝප්පයක් ද බී, රෝල්ස් දෙකකට පමණ ද වග කියා, කීප දෙනෙකු සමග ඉතා කෙටි කතා බස්වල ද නිරත වී කැපී ගියෙමි.

මගේ නිරීක්‍ෂණ ඉතා කෙටියෙන් මෙසේ ය.

හාමුදුරුනමක් වෙනම වාඩිකර තිබුණේ ඇයි ද කියා මට නොවැටහිණි. ඒ මූලාසනය විය නොහැක. මූලාසනය යනු සභාව මෙහෙයවන්නායි. ඒ කටයුත්ත කළේ ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ය. හාමුදූරුවරුන්ට ගිහියන් සමග සම අසුන්වල වාඩිවිය නොහැකිය කියාවත් සිතුනාවත් ද?

හෂිත අබේවර්ධන ගේ කතාව ඉතා හරබර එකකි. කොටින්ම ශාලාවෙන් පිටවෙන්නට පෙර මම එහි හඬ පටයක් සඳහා ද යශෝධා සම්මානී ගේ "අයියා"ගෙන් ඉල්ලීමක් ද කළෙමි. හෂිත අබේවර්ධන ගේ කතාවේ තිබූ එකම ප්‍රශ්නය වූයේ එය පමණට වඩා දිග වැඩි වීමයි.

එයට හේතු ලෙස මා දකින්නේ තම ලේඛනවලදී ඉතා සංක්‍ෂිප්ත ලෙස, ඵලදායී ලෙස වචන භාවිතාකරන හෂිත අබේවර්ධන තම කතාව දළ සටහන් සහ මතකය මත පමණක් පදනම්ව කිරීමයි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය.

හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පිටපත් රැගෙන යාමයි. එවිට මගේ කතාව නියමිත කාලය තුළදී අවසාන කිරීමට මට හැකිවේ.

එසේ වුවද, මා ඒ හැම විටකම පාහේ මුලින් ම සඳහන් කරන දෙයක් ඇත. එනම්, මා ගී තැටි එළිදැක්වීමේ උත්සවයන් හි දී නොව, පොත් එළිදැක්වීමේ උත්සවයන් හි දී කතා කිරීමට ඉතා කැමති බවයි. එයට හේතුව ලෙස මා කියන්නේ ගී තැටි එළිදැක්වීමේ උත්සවයන්ට සහභාගී වෙන්නන් මෙන් නොව, මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සවවලට සහභාගී වෙන්නන් මෙහි එන්නේ දේශනවලට සවන්දීමට සිදුවෙන බව හොඳින් දැනගෙන බව වීමයි.

එනිසා කතාව දිග වැඩි යැයි, නීරස යැයි ඤාව්, ඤාව් ගෑමේ තේරුමක් නැත!

නීරස සේ හැඟීමට හේතුව නම් පුද්ගලික රසඥතාවයේ වෙනස්කම් ය.

නමුත් මෙහි දී උත්සවය සංවිධානය කරන්නන් අතින් සිදුවෙන වැරද්දක් ද තිබේ. එය නම්, දේශන පැවැත්වීමට කරන ආරාධනය සමග එම දේශනය මිනිත්තු (ඔව් මිනිත්තු!) කීයක් විය යුතු දැයි අදාළ දේශකයාට නොපැවසීමයි.

මා සිතන ආකාරයට මෙවැනි උත්සවයන් හි දී පැවැත්වෙන ප්‍රධාන දේශනය මිනිත්තු තිහකට සීමා විය යුතුය!

මා ආරාධිත දේශකයා ගේ නොව සභාවේ පොතේ ගුරා ගේ රාජකාරිය කළ එක් සිනුවර පොත් එළිදැක්වීමක දී, ප්‍රධාන දේශකයා තම කතාව මිනිත්තු හතළිහක් කළේය. කිසිදු මූලාශ්‍ර සටහනක් නොබලා තම මතකයෙන් කරුණු ගෙන හැර දක්වමින් කළ ඒ කතාව ඉතා අගනා එකක් විය. නමුත්, සභාාවේ සමහරුන්ට එය දිගු වැඩි වී ඇති බව පෙනුණත් ඒ ගැන දේශකයාට ඉඟි කරන්නට මා නොගියෙමි.

මගේ අදහස, කතාවක් පමණට වඩා දිගු වීමේ වරද දේශකයා ගේ නොව සංවිධායකයින් ගේ බවයි.

හෂිත අබේවර්ධන ගේ දේශනය දිග වැඩි යැයි කියන අය වසර 2010 ජනවාරියේ දී බූන්දිය විසින් සංවිධානය කළ ජගත් ජේ එදිරිසිංහ ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී කේකේ සමන්කුමාර විසින් කළ කතාව අසා නැති බව නිසැකවම කිව හැක!

මේ ආකාරයේ සෑම උත්සවයට මෙන් ම යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අති බහුතර පිරිස අඩු වැඩි දුරකින් ඇයව දන්නා හඳුනන අයයි. ඉන් වැඩි දෙනෙකු බ්ලොග් මිතුරන් ය. ෆේස්බුක් අවකාශයේ කවි කියවන අය ය. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හිතවතුන්ය. නෑ හිත මිතුරන් ද කිහිප දෙනෙකි. මේ පොත නිසාම ඇයව හඳුනාගෙන, එහි පැමිණ සිටියේ කිහිප දෙනෙකු පමණක් බව කිව හැක.

ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි. "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!" යනුවෙන් කියවෙන්නේ ද ඒ කරුණයි. එහි ඇති වරදක් නැත.

ඊට අමතරව උත්සවය ගැන මට කිව යුත්තේ, මා සහභාගී වී ඇති විශාලතම පිරිසක් සහභාගී වූ පොතක් එළිදැක්වීමේ උත්සවය මෙය බවයි. ගුවන් සමාගම්වල අකලංචි මැද්දේ, වැඩිපුර දවසක් වාර්ෂික නිවාඩු වැය කර මා පැමිණි ගමන ගැන මට එ නිසා ඇත්තේ දැඩි සතුටකි.

ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!

පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය මා තවමත් මුළුමනින් ම කියවා නැතත්, ඇගේ රිද්මයානුකූල කවි ආරට මා ඉතා ප්‍රියකරන බව පැවසිය යුතුය!
රිද්මයක් නැති කවියක මට නම් කිසි අගයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය ගැන පසුව ලියන්නට අදහස් කරමි!

Monday, 16 November 2015

ප්‍රංශ කොඩිය දැමීම නිසා හෙළිවන අපේ සමහර අයියලා ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත - Nakedness exposed


මීට වසර තුනකට පමණ පෙර බාලචන්ද්‍රන් නම් ළමයා ගේ මරණයට පෙර සහ පසු ඡායාරූප මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණු පසු අපේ සමහරුන් ගේ අමානුෂික ජුගුප්සාජනක නිරුවත හෙළිදරව් වූ හැටි ඔබට මතක ඇතැයි සිතමි.

බාලචන්ද්‍රන් යනු සතුරෙකු ගේ දරුවෙකු නිසා, ඔහු මරා දැමීම සාධාරණීකරණය කරන්නට සමහරු වඳ පීදුණු කෙසෙල් ගස්වලින් එන කෙසෙල් මොටයි පවා කපා දමා විනාශ කළ යුතුයි ආදී විවිධ න්‍යායයන් ගෙන හැර දැක්වූහ. ඒ ප්‍රකාශවලින් හෙළි වූයේ උන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

දෙසතියකට පමණ පෙර, ළාබාල තරුණියන්ට බැටන් පහර දෙන පොලිස්කාරයින් ගේ ඡායාරූප ගැන ද, එවැනි ම අමානුෂික කතා, එනම්, අහවල්, අහවල් හේතු නිසා උන්ට එලෙස ගැහැව්වාට කමක් නැත යනුවෙන්, සමහරු ලියා තිබෙනු දක්නට ලැබුණි.

එයින් හෙළි වූයේ ද ඔවුන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

පෙරේදා ප්‍රංශයේ දී සිදු වූ මිනිස් ඝාතනයෙන් පසු ඒ ගැන විවිධාකාරයෙන් ශෝකවන්නන්, ප්‍රංශ ධජයේ වර්ණ ෆේස්බුක් ජාලයේ තම පුද්ගල ඡායාරූපයට යොදාගන්නන් අපට දැකිය හැකිවිය.

මෙය දකින අප අතරම වෙසෙන මනපහතයින් පිරිසක් පවසා ඇති කරුණු කිහිපයක් මෙසේය.
ප්‍රංශයේ මියගිය උන් වෙනුවෙන් දුක් වෙන්නේ ඇයි?
උං කොළඹ අහවල් බෝම්බය පිපිරුණු විට දුක් වුණා ද?
ප්‍රංශයේ ඛේදවාචකය වෙනුවෙන් ප්‍රංශ ධජයේ වර්ණ ආදේශ කර ගන්නේ ඇයි?
ලංකාවේ මිනිසුන් ඝාතනය වුණු විටදී උන් ලංකා කොඩියේ වර්ණ තමන් ගේ ෆේස්බුක් ඡායාරූපයට යොදා ගත්තා ද?
ප්‍රංශයේ මිනිස් ඝාතනය ගැන තමන්ට දුකක් නැතිනම් ඕනෑ චොකා බයිලාවකට නටමින් හිටියාට අවුලක් නැත. නමුත්, එසේ නොකර සිදුකරනු ලබන මෙවැනි ද්වේෂ සහගත කථාවලින් පෙනෙන්නේ ද මේ පුද්ගලයින් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත බව පැහැදිලිය.

ඒ නොමිනිසුන්ට අතමරව තවත් කොටසක් මෙසේ ද පවසති.
ප්‍රංශ රජය ලෝකයේ කලබල ඇතිකරවන, යුද්ධවලට සහය දෙන රටකි. එනිසා, ප්‍රංශ ජාතිකයින් මෙලෙස මිය යාමේ ද ප්‍රශ්නයක් නැත!
මෙන්න මේ ආකාරයේ ප්‍රකාශකරන පිරිස නම්, මතවාදීව සිටින්නේ අයිසිස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් ගේ පිළේ බවට කිසි සැකයක් නැත. ඒ මක් නිසාද යත්, ත්‍රස්තවාදීන් සිටින්නේ ද, රටක රජයක් කරන ක්‍රියාවන්ට, ඒ රටේ සියලුම වැසියන් වගකිව යුතුය, තම ජීවිතවලින් වන්දි ගෙවිය යුතුය යන පදනමේ ය.

ෆේස්බුක් වැනි සමාජ ජාලයන් ගේ කෙතරම් ප්‍රයෝජන තිබුණද, ඒ හරහා මෙවැනි අමානුෂික ප්‍රකාශ දකින්නට ලැබීම නම් දරුණු අභාග්‍යයකි. නමුත්, අනිත් අතට සලකා බලන කල, අප අතර සිටින නොමිනිසුන්, ඔවුන්ගේ මේ ආකාරයේ ප්‍රකාශ හරහා හෙළිදරව් වීම නම් ඉතා වැදගත් කරුණකි.

-රසිකොලොජිස්ට්

(image: from Mike Baird's Facebook page)