
අද ලංකාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනයේ වැඩි බලය ඇතැයි සැලකෙන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානය විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට මතයක් අද සයිබර් අවකාශය සහ වෙනත් මාධ්‍ය හරහා පැතිර ගොස් ඇත.
සමහර තැන්වල මේ දෝෂාරෝපණය ජනතා විමුක්ති පෙරමුණට ද එල්ල වේ.
මට නම් මෙය පිළිගැනීමට අසීරු, තර්කානුකූල නොවන හතර බීරි කතාවකි. ඒ සමගම, මේ කෙරෙන චෝදනාව මිස, එය සැකයකින් තොරව ඔප්පු කෙරෙන සාක්‍ෂි සහිත කිසිම ලියවිල්ලක් මා නම් මෙතෙක් දැක නැත.
මේ ලිපිය ලියන්නට සිතුණේ මේ කාරණය ගැන මගේ අදහස් කියා, එයට ප්‍රතිවිරුද්ධ තර්කානුකූල අදහස් හෝ සාක්‍ෂි තිබේනම් ඒවා ගැන දැන ගැනීමේ අරමුණ ඇතිවයි.
මුලින් ම කිව යුතු කරුණු දෙකකි.
විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී නවකවදයට ලක් වී ඇති වුවද, කිසිදා නවකවදකයෙකු නොවුණු මා, කිසිසේත් ම නවකවදයට පක්‍ෂපාතී අයෙකු නොවේ. නවකවදය සම්බන්ධයෙන් මා කර ඇති එකම වරද, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මා ගත කළ වසර තුනේ දී, නවකවදයට විරුද්ධව කිසිදු ප්‍රායෝගික පියවරක් පුද්ගලිකව හෝ සංවිධානාත්මකව නොගැනීමයි.
දෙවෙනි කාරණය නම්, මා ලංකාවේ විශ්ව විද්‍යාල කටයුතුවලින් නෛතිකව ඉවත් වී වසර දාසයක් ද, ප්‍රායෝගිකව ඉවත් වී වසර විස්සක් ද ගත වී ඇති නිසා, නවකවදය පිළිබඳ මගේ මූලික අත්දැකීම් මේ වන විට යල් පැන ගොස් ඇති ඒවා වීමට හොඳට ම ඉඩ ඇති බවයි.
එසේ වෙතත්, මගේ තර්කය නම් යල් පැන යන ආකාරයේ එකක් නොවේ.
මගේ තර්කය මෙයයි.
තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ගේ ප්‍රසාදය වැඩි කර ගැනීමට සහ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානය කෙරෙන විවිධාකාර ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ගේ සහයෝගය ලබා ගැනීමට නම්, ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් විසින් කළ යුත්තේ විශ්ව විද්‍යාලවල ඇති යැයි පැවසෙන නවකවදයෙන් ශිෂ්‍යයින් මුදවා ගැනීමයි.
එසේ නොමතිව, සංවිධානාත්මකව පළමු වසර ශිෂ්‍යයින්ට නවකවදය ලබාදීමට ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ක්‍රියා කරයි නම්, එයින් සිදුවන්නේ ශිෂ්‍යයින් ඔවුන් කෙරෙන් විකර්ෂණය වීමයි.
තම වදකයින්ට පෙම් බඳින මනෝ ව්‍යාධිය කිහිප දෙනෙකුට තිබිය හැකි තත්වයක් වුවද, විශාල පිරිසක් සඳහා එය කිසිසේත් ම අදාළ නොවෙනු ඇත.
මා සිතන පරිදි සිදුවෙනවා ඇත්තේ, ජවිපෙට හෝ පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වලට විශ්ව විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන නවකවදය වළක්වන්නට කිසිදු ප්‍රායෝගික හැකියාවක් නොමැති වීමයි.
නමුත්, විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා, සියලුම ශිෂ්‍යයින් නොවේ නම් අති බහුතරයක් දෙනා, එක්කෝ ජවිපෙට හෝ නැතිනම් පෙසපෙට හෝ අනුබද්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්වල සාමාජිකයින් ය, විශ්ව විද්‍යාලවල සිදුවෙන සියලුම දේ වන්නේ එක්කෝ ඔවුන් අතින් නැතිනම් ඔවුන් ගේ පාලනය යටතේ ය, යනාදී ලෙස සිටින නොදැනුවත් පිටස්තරයින්ට මෙය නොවැටෙහේ.
මගේ අත්දැකීම ද එයයි.
එනම්, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සිටියේ ද, ජවිපෙට කෙළින්ම සම්බන්ධ ශිෂ්‍යයින් ඉතා ස්වල්ප දෙනෙකි. පසු කලෙක ඔවුන්, පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ, පොලිටි බියුරෝවේ හෝ නායකත්වයේ කටයුතු කළ නිසා, ශිෂ්‍යයින් ලෙස සිටියදී ද ඔවුන්ට අදාළ පක්‍ෂ ව්‍යුහය තුළ වැදගත් තැනක් තිබෙන්නට ඇති නමුත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ ඔවුන් එකිනෙකා ගත් කළ තවත් එක් ශිෂ්‍යයෙකු පමණක් ම විය.
ශිෂ්‍ය දේශපාලන වැඩවලදී ඔවුන් විසින් වැඩි අභියෝගයකට මුහුණ නොදී නායකත්වය ගත්තද, අන් තැන්වලදී ඔවුන්ට අනෙක් අයට වඩා සුවිශේෂී තත්වයක් තිබුණේ නැත.
අපේ කාලයේ ජවිපෙට සම්බන්ධ ශිෂ්‍යයින් නවකවද ක්‍රියාවලට සම්බන්ධ වූයේ නැති අතර කෙළින්ම හෝ චක්‍රාකාරව මා පෙර කී කාරණය නිසා ඔවුන් නවකවදය වැළැක්වීමට කිසිදු ආකාරයක මැදිහත්වීමක් ද කළේ නැත.
ඇත්තටම, ඔවුන් යම් මැදිහත්වීමක් කළා නම්, ඔවුන්ට පොදු සිසුන් අතර තිබුණු ප්‍රසාදය අඩුව යන්නට ඉඩ තිබුණු අතර, එය ඔවුන් ඒ පිළිබඳ හොඳ තක්සේරුවක් කර සිටින්නට ද ඇත.
පසු කාලයේ ජවිපෙට සම්බන්ධ සිසුන් හෝ වත්මනෙහි පෙසපෙට සම්බන්ධ සිසුන් විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට අද පැතිරෙන මතය මට හතර බීරි කතාවක් වන්නේ එනිසා ය.
මා පෙර කීවාත් මෙන්, ලංකාවේ විශ්ව විද්‍යාල පිළිබඳව මගේ දැනුම දශක දෙකක් පැරණි වීම එයට හේතුවක් වීමට හොඳටම ඉඩ ඇත. සමහර විට 86-90 භීෂණ සමයෙන් පසු නැවත ඉපදුණු ජවිපෙ ශිෂ්‍ය සංවිධාන තම බලය පැතිර වීමට අනුගමනය කරන්නේ අපේ කාලයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් විය හැක.
පැතිර ඇති මතයේ සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත්, අද විශ්ව විද්‍යාලවල බලය තහවුරු කරගෙන ඇතැයි සැලකෙන පෙසපෙට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානය විසින් වහාම කළ යුතුව ඇත්තේ සියලුම අකාරවල නවකවදයන්ට තමන් ගේ විරෝධතාවය ප්‍රකාශ කර, වහාම ඒ සිරිත් විශ්ව විද්‍යාලවලින් තුරන්කර දැමීමට පියවර ගැනීමයි.
එයින් අපට බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලය පහත අන්ත දෙකෙන් එකක් වෙනු ඇත.
එක්කෝ විශ්ව විද්‍යාල අද පවතින නවකවදය තුරන් වී ගොස් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ පෙසපෙ පිළිබඳව අද රටේ පැතිර ඇති අකමැත්ත අඩුවී යනු ඇත.
නැතිනම් කිසිදු වෙනසක් සිදු නොවී, එමගින්, පෙසපෙට අද විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ සැබවින් ම ඇත්තේ කෙතරම් ප්‍රමාණයක බලයක්දැයි රටට දැන ගත හැකි වෙනු ඇත.
-රසිකොලොජිස්ට්
(http://indianexpress.com/article/news-archive/latest-news/still-seeking-an-effective-shield-against-ragging/)