Showing posts with label ආච්චී. Show all posts
Showing posts with label ආච්චී. Show all posts

Monday, 15 May 2017

දද, දද, දද, දද, දද - Homonyms or synonyms?


මේ සටහනේ අන්තර්ගත කාරණය මගේ සිහියට ආවේ, ඊයේ මා ලියා පළ කළ, "මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා" ගේ විහිළු කතාවේ ආ, කලවානේ ආච්චී එකතු කර තිබුණු පැරණි රසවාහිනී නම් සඟරාව ගැන ලියද්දී ය.

නවකතා, කෙටිකතා පොත් ඇය සතුව නොතිබුණ ද, ආච්චී ළඟ තිබුණු එක්තරා කුඩා පොතක් මා එකල ආශාවෙන් කියවීමි.

එහි නම වූයේ "ප්‍රහේලිකා ජය මග" යන්නයි.

ඒ පොතේ ඇතුළත් වූයේ සිංහල වචන සඳහා ඇති විවිධ සමාන වචන එකතුවකි. වෙනත් වචනයකින් කිව හොත් එය එක්තරා ආකාරයක සිංහල-සිංහල ශබ්දකෝෂයකි.

සම්පූර්ණ ලයිස්තු දැන් කිසිසේත් ම මගේ මතකයේ නොමැති වුවත්, එහි වූ වචන ලයිස්තුවේ, සූර්යයා හෙවත් හිරු සඳහා දිනමිණ, දිනකර වැනි සමාන වචන ද, සඳ සඳහා චන්ද්‍ර, තාරපති, සිසි, තරිඳු වැනි සමාන වචන ද, නෙළුම් මල සඳහා තඹර, සියපත වැනි සමාන වචන ද, බුදුන් සඳහා සමාන වචන දුසිමක් පමණ ද වූ බව මට අද සිහිකර ගත හැක.

ඒ සමාන වචන ලයිස්තුව අතරින් වඩාත්ම ආකර්ෂණීය වචනය වූයේ "දද" යන්නයි.

සාමාන්‍යයෙන් අප "දද" යනුවෙන් දන්නේ කුඩා කාලයේ අප කාටත් වැළඳී තිබුණාට සැක නැති ඒ චර්ම රෝග විශේෂයයි.

ඊට අමතරව-
  • දද යනු මෝඩ, අමන යන තේරුම දෙයි.
  • දද යනු බමුණාට හෙවත් බ්‍රාහ්මණයාට යෙදෙන තවත් නමකි.
  • දද කියා කුරුල්ලාට හෙවත් පක්‍ෂියාට කියත හැකියි ලු.
  • දද යන්නෙන් කොඩිය යන අදහස ද ගෙන දේ. මින් දද කියා මල්සරාට කියන්නේ උගේ කොඩියේ මාළුවෙකු ඇති නිසා ලු!
  • ඒ සියලු තේරුම් මදිවාට දෝ දත සඳහා ද දද යැයි කියත හැකි බව කියවුණි.
ආච්චී ගේ ප්‍රහේලිකා ජය මග පොතේ තිබූ වෙනත් සමාන වචන ලයිස්තු කෙසේ වෙතත්, දද යන වචනයේ තේරුම් හෙවත් සමාන වචන රාශියක් තවමත් මගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ පොත කියවූ දිනවල මා "දදක් ඇති, දද, දදෙක්, දදක් ගෙන යන විට...." යනාදී වශයෙන් දද යන වචනයේ සියලුම තේරුම් කැටිවෙන පරිදි එක් වාක්‍යයක් රචනා කරන්නට ගත් උත්සාහය නිසා යැයි සිතමි.

ආච්චී වර්ෂ 1993 ජනවාරියේ දී මිය පරලොව ගියා ය.

ඇය සහ ආතා වාසය කළ කලවානේ නිවස දැන් විකිණී ගොස්, කැඩී ගොස්, නිවස ඉදිරිපිට තිබුණු මානෙල් මල් විල ද, කෙසෙල් පාත්ති ද, ගෙවතු ද විනාශ වී ගොස් ඒ බිමේ පින්බර හාඩ්වෙයාර් කඩයක් පහළවී ඇති බව ගූගල් මග සලකුණු අනුසාරයෙන් මා දැන ගත්තෙමි!

-රසිකොලොජිස්ට්

(image: Google street view)

Thursday, 20 April 2017

ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain


රචකයා හැර මේ ලොව අන් කිසිවෙකු විසින් නොකියවූ "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මැයෙන් යුතු වාක්‍ය රචනාව මා ලියූයේ පහේ පන්තියේ දී මා ගත කළ අවුරුදු නිවාඩු කාලයේ දී ය.

වසරේ අනිත් නිවාඩු කාල දෙකට වඩා, අවුරුදු නිවාඩුව අපට සැම විටම වැඩි සතුටක් ගෙන දෙන්නට හේතු කිහිපයක් විය. ඉන් එක හේතුවක් වූයේ මේ කාලයේ දී අපට හිතේ හැටියට කජු පුහුලම් සහ අඹ කන්නට ලැබීමයි.

මගේ පියා ගේ මහගෙදර ලෙස අප හඳුන්වන නිවස පිහිටා තිබුණේ පහළ පරකන්දෙණියේ ය. ආච්චීට පරම්පරාවෙන් හිමිව තිබූ සහ කොටස් වශයෙන් මිල දී ගෙන තිබූ එකිනෙක යාබද ඉඩම් කට්ටි කිහිපයක මැද පිහිටා තිබුණු ඒ නිවස අවට කජු ගස් රාශියක් ද, එක් සුවිසල් අඹ ගසක් ද විය.

අවුරුදු නිවාඩු කාලේ පළ නොදැරුවේ වුව ද, ආච්චී ගේ ගෙවත්තේ තිබූ මා ඉතා ප්‍රිය කළ පලතුරු වර් ගය වූ යේ ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.

එහි ලොවි ගස් එකක් නොව දෙකක් ම විය.

ලොවි ගස්වල ගෙඩි හට ගන්නේ වසරකට එක් වතාවක් පමණි. මගේ මතකයට අනුව අප්‍රියෙල් මාසය වන විට ලොවි මල් පිපී, ගස් දෙකම මී මැස්සන් ගේ කෙලිබිමක් බව පෙරළේ. ඒ මී මැස්සන් ගේ මීවදය කොතැනක තිබුණිදැයි අපි දැන නොසිටියෙමු. අප දුටුවේ උදෑසන සිට සවස් යාමය වන තුරුම ගසේ පිරී සිටි මී මැස්සන් රංචුත්, උං නැගු ගුමු ගුමු නාදයත් පමණි.

මී මැස්සන් කෙමෙන් තම කාර්යය නිමා කර ඉවත් ගිය පසු ලොවි ගසේ ලොවි මල්වලින් කුඩා ලොවි ගෙඩි මතුවේ. ඉන් පසුව ගතවෙන මාස දෙකක පමණ කාලය තුළ මේ ලොවි ගෙඩි ක්‍රමයෙන් ලොකු වී ඉදෙන්නට පටන් ගනිනි.

ලොවි වාරය එළැඹීම කුඩා අපට මෙන් ම අපේ ආච්චිට ද ඉතා සතුටත් ගෙන දෙයි.

අපට උදැසන සිට සවස් වෙන තුරුම ලොවි කෑම කළ හැකිය. ආච්චීට ලොවි විකුණා යම් මුදලක් උපයා ගත හැකි ය.

ආච්චි ගේ ලොවි මිලට ගන්නේ, ගමේ වෙළෙන්දියකි.

මා දන්නා පරිදි දරුවන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක ගේ මවක වූ ඇය, එදා වේල සරි කර ගත්තේ, ගමේ හැදෙන ලොවි, අඹ, ගැට පොලොස්, ගස්ලබු වැනි දේ දිනපතාම පාහේ කොළඹ තොටළඟ නමින් හැඳින්වෙන ස්ථානයට ගෙන ගොස් විකිණීමෙනි.

ලොවි ගස් දෙකේ පහතින් ඇති අතුවල හටගන්නා ගෙඩි නම් අපේ ආච්චීට කඩා ගත හැකි වුව ද, ඉහළ ගෙඩි නෙලා ගැනීමට ඇයට සහය අවශ්‍ය වේ. ඒ කාර්යය ඉටු කර දුන්නේ මා ය. නිකම් නොවේ, ඇය ඒ සඳහා මට මුදලක් ද දුන්නා ය.

මගේ මතකයට අනුව, ලොවි ගෙඩි සීයක් කඩා දුන් විට ආච්චී මට ශත දහයක් ගෙවන්නී ය. එය, ඇයට ලොවි විකුණා ලැබෙන මුදලින් 10% පමණ ප්‍රමාණයකි.

මාස දෙකක් පමණ කාලයක් තිස්සේ පවතින ලොවි වාරයේ දී, ආච්චීට ලොවි කඩා දීමෙන් මට ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් උපයා ගත හැකි විය.

ඒ අනුව බලන කළ, ඒ කාලයේ මම ද අපේ ගමේ ආර්ථික ක්‍රියා දාමයේ වැදගත් කොටස්කරුවෙකු වීමි!

-රසිකොලොජිස්ට්

මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන සිව්වෙනි ලිපියයි.

ප/ලි:
මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html


(image: https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/10635773_601019323335490_4886273938178538734_n.jpg?oh=8f8a0a7be175ac20610641a5ce8e8419&oe=598FF8B5)

Saturday, 15 August 2015

සිරිලංකා පාටි එකේ පරණ අවිචාර සමයක් ගැන පොඩි ළමයෙකු ගේ පොඩි මතකයක් - SLFP Era from 1970 to 1977


ලංකාව ශාපලත් දේශයක් යැයි කවුදෝ කියා තිබුණා මතකයේ ඇත.

ඒ ශාප පෙරහැරේ මුල්ම ශාපය ලැබුණේ මංකොල්ලකෑම වැනි අපරාධවල නිරත වීම නිසා දඬුවම ලෙස හිස මුඩු කර තම රටෙන් පිටුවහල් කරනු ලැබූ විජය නම් ඉන්දියානු ජාතිකයා ඇතුළු හත් සීයක් ආක්‍රමණකරුවන්ට හෙළ රටේ බලය අල්ලා ගැනීමට උදව් කළ කුවේණීගෙන් බව කියවේ.

කුවේණී ගේ ශාපයට හේතුව වූයේ බලය අල්ලාගත් පසු අදමිටු විජය, නවදැලිහේන අමතක කර සුර අඟනුන් සොයන්නට වූ නිසා ය.

ඉන් පසු ද ලංකාවට නිරතුරුව ම විවිධාකාර වූ ශාප වැදී ඇත.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි 1970 දී අවසාන වූයේ ඉන් එක් ශාපයකි. ඒ නම්,
අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
වසර පහක් පාන් කකා අපි උන්නෙමු අම්මා
යන කවි දෙපදයෙන් විස්තර කෙරුණු 1965 සිට 1970 දක්වා ලංකාවට බල පැවැත්වූ ඩඩ්ලි සේනානායක ගේ යූඇම්පීය ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුවේ ශාපයයි.

ඒ වෙනුවට 1970 සිට ලංකාවට උදා වූයේ සිරිලංකා එක ප්‍රමුඛ සමගි පෙරමුණු රජයේ පාලනය අත්විඳීමේ ශාපයයි. එවකට පැවති තට්ටු මාරු ක්‍රමය යටතේ මේ ශාපය ද වසර පහක් තිබේ යැයි අපේ බාප්පා මෙන් අන් යූඇම්පීකාරයින් ද විශ්වාස කරන්නට ඇත.

නමුත් සිදුවූයේ වෙනකකි.

මා කලින් ලිපියක සඳහන් කළ පරිදි සමගි පෙරමුණු රජය විසින් ඔවුන් 1972 දී ගෙනා ජනරජ ව්‍යවස්ථාව දඩමීමා කොට ගෙන එතැන් සිට අවුරුදු පහකට රජය වලංගු යැයි පවසමින් තම ආයු කාලය 1977 දක්වා දිගු කරගන්නා ලදී.

සමගි පෙරමුණ රජයට "සත්වසක ශාපය" යනුවෙන් නම් පට බැඳුණේ එනිසා ය.

සත්වසක ශාපයේ පසු කොටස ගැන මගේ මතකයේ රැඳී ඇති කරුණු කිහිපයක් මෙසේ ය.
  • සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා, ජාත්‍යන්තර වෙළදාම වෙනුවට, රට ස්වයංපෝෂිත කිරීමට පවත්වාගෙන ගිය බතල මයියොක්කා වගා සංග්‍රාමයෙන් රට පරාජය වෙමින් තිබුණු අතර, ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය නිසා රජය ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබුණි.
  • ආණ්ඩුවේ කාලය දිගු කිරීමට විරෝධය පා යූඇම්පී නායක ජේආර් තම මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වූ අතර, ඒ සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ඔහු පහසුවෙන් ජය ගත්තේ ය. ඊට පෙර පැවති කලාවැව, කැස්බෑව ආදී මෙකී නොකී සෑම අතුරු මැතිවරණයක් ම පාහේ යූඇම්පීය විසින් ජයගන්නා ලදී.
  • සමගි පෙරමුණ ද අසමගි වූ අතර, සමසමාජ, කොමියුනිස්ට්, සිරිලංකා යන පක්‍ෂ ත්‍රිත්වයේ ම ඉරණම ගලක කෙටු අකුරු මෙන් පැහැදිලිව පෙනෙන්නට විය. මැරුණත් යූඇම්පීකාරයෙකු වූ අපේ බාප්පා ජීවත්ව සිටියා නම් ඉතා සතුටු වෙනු ඇත.
මා වෙනත් ලිපියක සඳහන් කළ අයුරින් එකල රටේ පැවතියේ පුවත්පත් සමාගම් තුනක් පමණි. එයින් ලේක් හවුසිය, විශේෂ විධිවිධාන පනතක් යටතේ රජයට පවරා ගන්නා ලදී. ලංකාදීප පළ කළ ටයිම්ස් සමාගම ද රජයට පවරා ගෙන නිසි බලධරයෙකු යටතේ පාලනය කරන ලදී. රිවිරැස පළ කළ දවස නිවස නොහොත් ස්වාධීන පුවත්පත් සමාගම තහනම් කර මුද්‍රණාලයට සීල් තබා වසා දමන ලදී!

සිරිලංකා එකේ එකී දුර්දාන්ත පාලන සමය පිළිබඳව මගේ මතකයේ ඇති හොඳම සිදුවීම නම් මෙයයි.
බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමක් අපේ ආච්චී සතුව තිබුණි. එය බදුවත්ත නමින් හැඳින්වුණේ කාලයක් තිස්සේ අන්නාසි වැවීමට බදු දී තිබුණු නිසා බව කියවේ. කලින් විසි තිස් දෙනෙකුට අයිතිව තිබූ ඒ නිසරු බිම් පෙදෙස පිහිටියේ අපේ මහගෙදර තිබූ ඉඩමට අල්ලපු වටේ නිසා, ආච්චී සහ තාත්තා කර ඇත්තේ අනෙකුත් ඥාතීන්ගෙන් ඔවුනට හිමි කොටස් විටින් විට මිලට ගෙන එහි සම්පූර්ණ අයිතිය හිමි කර ගැනීමයි. මා දන්නා කාලයේ එහි තිබුණේ පොල් ගස් රාශියක්, සහ තැනින් තැන තවත් ගස් රාශියක් පමණි.

ආනයන සීමා කිරීම නිසා රටේ ඇතිවූ ආහාර හිඟයට පිළියමක් ලෙස ආණ්ඩුවෙන් ඇරඹූ වගා සංග්‍රාමය යටතේ සෑම ඉඩමකම යටි බිම් වගාවත් ඇරඹිය යුතු විය. ආච්චී ගේ වෙනත් ඥාතියෙකු වූ චාලි ගුරා ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබුණු ගමේ ජනතා කොමිටිය විසින් අපේ බදුවත්ත රජයට පවරා ගන්නට අර අඳින බව දැන ගන්නට ලැබුණි.

එය වැළැක්වීමේ පියවරක් ලෙස ඉඩමේ මයියොක්කා වගා කිරීමට තීරණය කරන ලදී. නගුලක් බැඳි සමරේ ගේ මැසී ෆර්ගියුසන් ට්‍රැක්ටරය පොල් ගත් අතරින් පස් පෙරළමින් ඔබ මොබ යනු අප ආශාවෙන් බලා සිටි අයුරු මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ සඳහා රුපියල් දෙතුන් සීයක් වියදම් විය. ඉන් පසු ඉඩමට ගිය අපේ සීයලා ගේ පාර්ශවයෙන් ඥාතීන් වූ ගයිඅයියා සහ පීටරයියා ට්‍රැක්ටරයෙන් පෙරළු පසේ උදලු තලයෙන් පොඩි වළවල් සාදා, ඒ එක වළක අඩියේ පමණ මයියොක්කා දඬු දෙක බැගින් සිටවූහ. දින කිහිපයක්ගත වූ ඒ කර්තව්‍යයට ද සෑහෙන වැඩ කුලියක් වැය වෙන්නට ඇත.

මේ ඉඩම නිසරු ඉඩමක් යැයි කලින් කීවෙමි. එයට මූලික හේතුව වූයේ තරමක නැග්මක් සහිත මේ බිමේ තෙතමනයක් නැති වීමයි. බදුවත්තට අල්ලපු ඉඩමේ තිබූ අපේ නිවසට වතුර ලබා ගත්තේ ද, නිවසේ සිට තරමක් දුරින් කපන ලද ගැඹුරු ළිඳකිනි. ඒ සඳහා භාවිතා කළේ බඹ දහයක කඹයකි!

පසේ තෙතමනය හිඟ වුවද, වැසි ජලයේ මයියොක්කා දඬු දළු දමා සෙමෙන් වැඩුණි. මයියොක්කා අල බහින්නේ සය මසකට පසුවය.

නියමිත කාලයේ දී වත්තේ මයියොක්කා අල ගලවා විකුණන ලදී. එයින් ආච්චී ලද මුදල රුපියල් එකසිය ගණනකි!
වගා සංග්‍රාමයට බදුවත්තෙන් අප කළ දායකත්වය එසේ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අල බහින තුරු බලා සිටි අයට තව ඉවසන්නට ඇත්තේ දින තුනකට අඩු කාලයකි!

(image: http://40.media.tumblr.com/e41fc62f3ec039b81517d882a6dc305d/tumblr_ni0hjtw4RK1tw5s6vo1_400.jpg)

Monday, 10 August 2015

අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother


වසර අනූ අටක් ආයු වළඳා මිය ගිය අපේ ආච්චී ගැන විටින් විට මතුවෙන මතකය මට රසිකොලොජි බ්ලොගය පුරවන්නට නිමිති රාශියක් ගෙන දෙයි.

වාසුදේව ගේ කටේ බ්රේක් නැති සිදුවීම නිසා මට ආච්චී ගැන මුලින් ම ලියන්නට ලැබුණි. ඊළඟට මා ලියූවේ ආච්චී ගේ දේශපාලන වීරයා ගැන කතාවයි.

අද උදේ හදිසියේ ම තවත් එවැනි කතාවක්, එහෙමත් නැතිනම් කතාවකින් කොටසක්, සිහියට ආවේය. පෙර කතා ද්වය සේම, මේ කතා කොටස ද දේශපාලනය හා සම්බන්ධ වෙයි. එයට හේතුව නම් මේ දිනවල පවතින මහ ඡන්ද උණුසුම බව කිව යුතු නැත.

කාලය 1970 මහ ඡන්ද සමයයි. සාමාන්‍යයෙන් ගමේ කඩේකින් එදිනෙදා පාරිභෝගික භාණ්ඩ මිළට ගන්නා අපේ ආච්චී එදා කුමක් හෝ වෙනස් හේතුවක් නිසා නිවසේ සිට කඩවත නගරයට ගොස් තිබුණි. ආපසු නිවසට ඒමට බස් රථයට ගොඩ නැගී සිටිනා විට, ඒ බසයට ගොඩ නැගී ඇත්තේ කවි පොත් විකුණන්නෙකි.

වෙළෙන්දා කවි පොතෙන් උපුටා දක්වමින් ගායනා කළ කවි අසා පැහැදුණු අපේ ආච්චී ශත පහක් දහයක් වැනි ඒ කාලයේ හැටියට ගැලපෙන මුදලක් ගෙවා එයින් පොතක් මිළට ගෙන ඇත.

නිවසට පැමිණි ආච්චී කවි පොත හඳුන්වා දී ඇත්තේ "කිරි අම්මලා ගේ දානේ ගෙවල්වල කියන හොඳ කවි පොතක් හම්බ වුණා!" කියමිනි.

පොත අතට ගෙන පිටු පෙරලා බැලූ නිවසේ අයට පෙනී ඇත්තේ මේ කිරි අම්මලා ගේ දානේ ගෙවල්වල කියන කවි පොතක් නොව එක්තරා අම්මා කෙනෙකු ගැන ලියවුණු කවි පොතක් බවයි.

ඒ පොතේ කවි ලිය වී තිබුණු අම්මා යනු එවකට සිරිලංකා එකේ, විරුද්ධ පක්‍ෂයේ සහ පසුව ඡන්දයෙන් ජයගෙන ආණ්ඩුව පිහිටවන්නට වරම් ලද සමසමාජ-කොමියුනිස්ට්-සිරිලංකා පක්‍ෂ එකමුතුව වූ සමගි පෙරමුණේ නායිකාව වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ය.

තමන් රැවටුණු බව අපේ ආච්චී දැනගෙන ඇත්තේ එවිටය.

තමන් ගේ දේශපාලන වීරයා වූ ජේ.ආර්. ජයවර්දෙන ගේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව පෙරලා බලයට එන්නට අර අඳින සිරිලංකා එකේ නායිකාව ගැන ලියවී තිබුණු ඒ කවි පොත කුණු ගොඩට විසි කර දමන්නට ආච්චීට බොහෝ විට අවශ්‍ය වෙන්නට ඇත.

නමුත් එය තවත් කාලයක් සුරැකී තිබුණු නිසා පසු කාලයක දී මට දෙතුන් වරක් කියවන්නට ලැබුණි.

අවාසනාවකට මෙන් මට ඉන් මතක ඇත්තේ කවි පද දෙකක් පමණි. එසේ නමුත්, එහි තිබූ අනෙක් කවි සියල්ලම මේ අච්චුවේ බවත් (එනම් කවිවල බොහෝ පද අම්මා යන්නෙන් අවසන් වෙන!) මතකයේ ඇත.

මෙන්න ඒ කවි කවි පද දෙක.

අනුකම්පා විරහිත වූ අලි සිටියදි බුම්මා
වසර පහක් පාන් කකා අපි සිටියෙමු අම්මා


-රසිකොලොජිස්ට්

ප/ලි
ඒ කාලේ ගැයුණු තවත් කවියකින් මගේ මතකයේ ඇති පද දෙකක් මෙන්න.

අපේ අම්ම ලඟ එනවා
හාල් සේරු දෙක දෙනවා


වසර ගනනාවකට පසු ඒ කවි මෙලෙස වෙනස් විය.

සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිණිය ඔබ කියනව නම්
පිදුරු වුනත් අපි කන්නම්!



(image: http://www.ft.lk/2014/07/19/the-gracious-lady-creates-history/)