Showing posts with label ගමේ කතා. Show all posts
Showing posts with label ගමේ කතා. Show all posts

Wednesday, 7 February 2018

කූඩැල්ලන් ද සතුන් ය නොහොත් "ෂත්තු සහෝදරයා ෂත්තු!" දේශපාලන මඩ කතාව - As I have heard


මේ පැරණි දේශපාලන මඩ කතාව මගේ සිහියට ආවේ, පසුගිය දිනක මා ලියා පළ කළ පාණාතිපාතා වේරමනියේ දී පුද්ගලිකව ඇතිවෙන විෂමතා පිළිබඳව වූ කතාංගද්වය සකසද්දී ය. දෙවෙනි කතාංගයේ මාතෘකාව ලෙස ද මම "ෂත්තු සහෝදරයා ෂත්තු" යන්න යොදා ගත්තෙමි.

පෙර කී කතාද්වයේ දී මූලිකවම කියවුණේ, කූඹීන්, මදුරුවන්, කැරපොත්තන් වැනි ගෘහස්ථ සතුන් පිළිබඳව ය. එසේ ගෘහස්ථ නොව නමුත්, විශේෂයෙන් ම තෙත් කලාපීය ප්‍රදේශවල ගෘහාශ්‍රිත ගොඩ-මඩ ප්‍රදේශවල දක්නට ලැබෙන කුඩා සතුන් විශේෂයන් වන්නේ කූඩැල්ලන් ය.

පොළොව මතුපිට, ගස්වැල් යනාදියේ ද ගැවසෙමින් වෙසෙන, එක්තරා පණුවන් විශේෂයක් යැයි මා සිතන, කූඩැල්ලන් ජීවත්වෙන්නේ අනෙකුත් සතුන්ගෙන් ලේ උරා බීමෙනි. පණුවෙකුගේ හැඩය ගත්තද, කූඩැල්ලන් එක් තැනක සිට ඉදිරියට ගමන් කරන්නේ තම මුළු ශරීරය ම එක් කොනකින් ඔසවා කඳ නවමින් ඒ අන්තය අනෙත් අන්තය දක්වා ඉදිරියට ගෙන, වහාම ඉදිරි අන්තය තවත් ඉදිරියට තබමින් ඉතා අපූරු ආකාරයකට ය.

අප විහිදා ලූ අතක දෙඇඟිලි අතර මිනුම හෙවත් වියතෙන් එක දිගට මැනීම කළහොත්, එය කූඩැල්ලෙකුගේ චලනය දක්වන ආසන්න නිරූපණයක් යැයි කිව හැකි ය.

මේ අපූරු චලනය නිසා ම කූඩැල්ලන් "මිනින්දෝරුවන්" ලෙස ද, කූඩලු ප්‍රදේශවල, ව්‍යවහාරයේ දී හැඳින්වේ!

මගේ මව් පාර්ශවයේ වැඩිහිටියන් විසූ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන නම් ගම්මානය කූඩැල්ලන්ගෙන් බහුල ප්‍රදේශයකි. ලංකාවේ වෙනත් විවිධ ප්‍රදේශවල ද මේ සත්ව ප්‍රභේදය ඉන්නා බව මා අසා ඇති නමුත් ඇත්තට ම මා කූඩැල්ලන් දැක ඇත්තේ ද කලවානේ දී පමණි. කලවාන පිළිබඳව යාංහැල්ලේ බ්ලොග් ලිපි රාශියක් ලියා ඇති සුරංග ද කූඩැල්ලන් ගැන වරක් දෙවරක් සඳහන් කර තිබුණි.

කලවාන ගම්මානය පිහිටි කලවාන ආසනයේ ඒ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී වූයේ වෘත්තියෙන් නීතිඥයෙකු යැයි මගේ මතකයේ ඇති සරත් මුත්තෙට්ටුවේගම ය. මොස්කව් අනුබද්ධ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ ඔහු විවාහ වී සිටියේ ද මනෝරි නම් නීතිඥවරියක සමගිනි. ඇගේ පියා වූයේ කලෙක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන විරුද්ධවාදී පක්‍ෂය වූ, පසුව එකම නගුලේ බැඳී එකට සභාගයේ උලාකන පක්‍ෂයක් වූ, උපතින් ට්‍රොස්ට්ස්කිවාදී ලංකා සමසමාජ පක්‍ෂයේ එවකට ප්‍රධාන නායකයෙකු ද, පසු කලෙක ප්‍රධානියා ද ලෙස කටයුතු කළ කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා නම් වංගෙඩිය මිනී මැරුම මෙන් ම, ගොයම් කොළයට මුවා වීම වැනි කූප්‍රකට නඩු තීන්දුවල පාර්ශවකරුවෙකු ද වූ නීතිඥයා ය.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු වූ කොල්වින් ආර් ද සිල්වා ගේ ආසනය වූයේ W3Lanka බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහලාගේ ගම් ප්‍රදේශයේ අගලවත්ත නම් කලවාන ආසනයට අල්ලපු ආසනයයි.

දැන් මෙන්න මඩ කතාව.

දිනක් මනෝරි සහ සරත් මුත්තෙට්ටුවේගම කලවාන ආසනයේ යම් ගම් ප්‍රදේශයක දේශපාලන කටයුත්තක යෙදී සිටිමින් ඉන්නා අතරේ කොහේ දෝ යන අසංවර ධනපති කූඩැල්ලෙකු ඇගේ ඇඟට ගොඩ වී ඇත.

ඒ දැක කලබල වූ මනෝරි ගේ මුවින් පිට වී ඇත්තේ මා මේ බ්ලොගයේ පෙර ලිපියේ දී ද, මේ ලිපියේ දී ද භාවිතා කළ "ෂත්තු සහෝදරයා ෂත්තු!" යන්නයි!

ඒ මඩපාර මෙය කියවන අයට අමුතුවෙන් තෝරා දෙන්නට අවශ්‍ය නැතැයි සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා අසා ඇති මේ කතාවේ තවත් වර නැගුමක මේ "ෂත්තු සහෝදරයා ෂත්තු" යැයි මනෝරී පැවසූයේ තම පියා අමතා බව කියවේ.

ඒ පෙරට වඩා දරුණු මට්ටමේ මඩ ගැසීමද අමුතුවෙන් තෝරා දිය යුතු නැත.

(image: https://prezi.com/o-wnybvwveyq/russian-revolution/)

Thursday, 15 June 2017

පරිධියේ ජීවිතේ - At the edge


කරුණාකර මේ මාතෘකාව වරදවා වටහාගන්න එපා!

මේ කියන්නට යන්නේ ලකාන් හෝ ෂිෂැක් හෝ ජිජැක් හෝ ඩෙරීඩා හෝ කියූ පරිධියක් ගැන හෝ ඒ ආකාරයේ පරිධියක සිට කේන්ද්‍රය දෙස බැලීමක් ගැන හෝ නොවේ. මා ඒ පඬියන් ගේ නම් අසා දැක තියෙනවා මිස, ඔවුන් කියූ ලියූ කිසිවක් අසා, දැක, කියවා නැත.

මා මේ කියන්නේ ලංකාවේ ගම්මානයක පරිධියේ ජීවත්වීම ගැනයි.

අප කුඩා කාලයේ ජීවත් වුනු තාත්තා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ගම්මානයේ ය. එහි ද, ඈත බටහිර අන්තයේ ය.

මා පසුව දැනගත් පරිදි, මේ කියන කාලය වෙන විටත් අපේ ආච්චී ගේ නිවස සහ වතුපිටි තිබුණු මේ ප්‍රදේශය ලඩ්කාණ්ඩුවෙන් කටුවාලමුල්ල ලෙස නම් කර ගැසට් කර තිබුණ ද, එය කිසිසේත් ම ප්‍රායෝගිකව නම් භාවිතා නොවුණි. අපි කැපුවත් පර, කැපුවත් දෙණි, පරකන්දෙණියන් ම වීමු.

සාමාන්‍යයෙන් ගමක ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැළකිය හැක්කේ පාසල, පන්සල, කඩ මණ්ඩිය යනාදිය පිහිටා ඇති ස්ථානයයි. සුදෝ-සුදු කවි කතාවේ විස්තර වුණු කටුරොද ගම්මානයේ කඩ මණ්ඩිය ගම කෙලවර පිහිටා තිබුණ ද, සාමාන්‍යයෙන් ගමක කඩ මණ්ඩිය ස්වභාවිකව ගොඩ නැංවෙන්නේ පාරවල් දෙකක් එක්වෙන හෝ කැපෙන ස්ථානයක වීම නිසා, එය ගමේ ගුරුත්ව කේන්ද්‍රය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය.

පරකන්දෙණිය ගමේ බටහිර කොනේ ජීවත් වූ අප සිටියේ, ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉතා දුරිනි. ඇත්තටම කියනවානම් අප සිටියේ පරකන්දෙණිය ගමේ පරිධියේ ය.

මගේ ඥාතියෙකු මෙන් ම, එකම පන්තියේ සගයෙකු ද වූ ආනන්ද ජයතිලකලා ගේ නිවස පිහිටා තිබුණේ අපේ වත්තට අල්ලපු වත්තේ ය. ඔවුන් අයත් වූයේ කොස්සින්න නම් ගම්මානයට ය.

ඒ අනුව ආනන්ද ජයතිලකලාත් සිටියේ කොස්සින්න ගම්මානයේ පරිධියේ වුව ද, වාසනාවකට මෙන් කොස්සින්න ගම්මානයේ ගුරුත්ව කේන්ද්‍රය හෙවත් පන්සල, කඩ වීදිය සහ පාසල පිහිටා තිබුණේ අපේ නිවෙස්වල සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකිනි.

එනිසා කොස්සින්න වාසී විතානගේ ආනන්ද ජයතිලක මෙන් ම පරකන්දෙනිය වාසී රසික සූරියආරච්චි වූ මම ද, හෝඩියේ පන්තිය හෙවත් පළමුවෙනි ශ්‍රේනියේ ශිෂ්‍යයින් ලෙස පාසල් අධ්‍යාපනය ඇරඹුවේ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ය.

එසේම, මාස් පතා පසලොස්වක පෝයට ද, වාර්ෂික බණ මඩු කාලයට දිනපතා ම වාගේ ද, අම්මා සමග (තාත්තා මා දන්නා කාලයේ පන්සල් ගියේ නැත!) අප ගියේ කොස්සින්න යටවත්ත පුරාණ රජමහා විහාරට ය. ආනන්ද ජයතිලකලා නම්, අපට වඩා වැඩි වැඩිවාර ගණනක් පන්සල් ගිය හ. ඔහු ගේ උපන්දිනය දා ද පන්සලේ පින්කමක් පැවැත්වුණු බව මගේ මතකය යි.

ගනේමුල්ල සහ කඩවත අතර ධාවනය කෙරුණු 218 බස් රථය ද, අප සමහර විට හැඳින්වූයේ කොස්සින්න බස් එක ලෙස යි. එය පරකන්දෙණිය හරහා ද ගිය බව මෙන් ම, නිල වශයෙන් හැඳින්වුනේ පරකන්දෙණිය බසය නමින් බව ද අපි අමතක කෙරුවෙමු.

කොටින් ම, ගතින් පරකන්දෙණියේ සිටියද, මම ප්‍රායෝගිකව කොස්සින්නේ කොලුවෙකු වූයෙමි.

කෙසේ වෙතත්, මට තරමක හෝ දුකක් ඇතිවුණේ, පරකන්දෙණියේ අයෙකු වූ මට පරකන්දෙණිය සමග කිසිදු ප්‍රායෝගික සම්බන්ධතාවක් නොතිබීම ගැනයි. පරකන්දෙණිය පන්සලට මා එක් දිනක් හෝ ගොස් නැත. මායාදුන්නේ නමින් කණිෂ්ඨ විද්‍යාලයක් ද, මහා විද්‍යාලයක් ද පරකන්දෙණිය ගමේ තිබුණු නමුත්, ඒ පාසල්වලට යන කිසිවෙකු ගැන මම දැන නොසිටියෙමි. සීයා ගේ නෑදෑයින් සිටිය ද මා පරකන්දෙණිය ගමේ ඒ ප්‍රදේශයට ගොස් ඇත්තේ එකම එක ඇට්-හෝම් උත්සවයකට සහභාගී වීමට පමණි.

ගමේ වෙනස සමගම ආ තවත් වෙනස්කම් ද තිබුණි.

අප හතරවෙනි ශ්‍රේනියේ ඉගෙන ගන්නා කාලයේ, සිංහල පාඩමේ දී අපට අභ්‍යාසයක් ලෙස ලිපියක් ලියන්නට පැවරුණි. ලිපිය ආරම්භ කළ යුතුව තිබුණේ ලියන්නා ගේ ලිපිනයෙනි.

මා අසල සිටි ආනන්ද ජයතිලක තම ලිපිය අරඹමින් ලිපිනය ලෙස:
220,
කොස්සින්න
ගණේමුල්ල
කියා ලිව්වේ ය. මෙහි ගණේමුල්ල යනු ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටා තිබුණු ස්ථානයයි.

අපේ මහගෙදර උළුවස්සේ අලවා තිබුණු සංගණන ලේබලය නිසා නිවසේ අංකය 101 යැයි මම දැන සිටියෙමි.

මම මගේ ලිපිය අරඹමින්:
101
පරකන්දෙණිය
ගණේමුල්ල
කියා ලිව්වෙමි.

"රසිකලා ගේ ගෙදර තියෙන පරකන්දෙණියට තැපැල් එන්නේ ගණේමුල්ලේ ඉඳලා නොවෙයි ඉඹුල්ගොඩ තැපැල් කන්තෝරුවෙනුයි!" ආනන්ද මට කීවේ ය.

මේ ඉඹුල්ගොඩ යනු කොළඹ නුවර පාරේ පිහිටා ඇති කඩ මණ්ඩියයි. කොටුවේ සිට දුවන 138 බස් රථවල පසු කාලයක ගමනාන්තය වූයේ මේ ස්ථානයයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.wired.com/2008/12/abstract-dlc-re/)

Tuesday, 16 May 2017

මල් කුමාරයා - Oh, no!


දැන් ඉතිං මා "උපන්දා සිට හෝ අවුල් වෙන දින දක්වා හෝ ස්වයං චරිතාපදානයක් ලියන්නට සිතෙන් සැලසුම් කරන නිසා, එක අතකට, මේ කෙටි සටහන් මේ ආකාරයට ලියා පළ කිරීමේ තේරුමක් නැත. නමුත් සැලසුම් ක්‍ර්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු පිළිබඳව එතරම් පැහැදීමක් නොමැති නිසා, ඔන්න ඔහේ ලියා දමමි.

අපේ චූටි නැන්දා ගේ විවාහය සිදුවුණේ මා කණිෂ්ඨ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ කාලයේ ය. හෝඩියේ පන්තිය හෙවත් පළමු වසර එකල පාසල් අධ්‍යාපනයේ නොතිබුණු නිසා එවකට මගේ වයස අවුරුදු හයක් පමණ විය.

චූටි නැන්දා ගේ විවාහ උත්සවය සඳහා මල් කුමරෙකු සහ මල් කුමරියක අවශ්‍ය බව කියවුණි. මෙය ඊට වසර දෙකකට කලින් විවාහ වූ අපේ නන්දා නැන්දා ගේ විවාහ උත්සවයේ දී හෝ ඒ කාලයේ මස සහ ඊට පසුව සිදුවුණු අපේ පුංචි අම්මලා ගේ විවාහ උත්සවවල නොතිබුණු අංගයක් විය.

චූටි නැන්දා ගේ කැමැත්ත වූයේ මා ඒ මල් කුමරා ගේ චරිතය රඟපාන්නට තෝරා ගැනීමටයි. මල් කුමරිය ලෙස අසල නිවසක සිටි චූටි නැන්දා ගේ හිතවත් ගුරුවරියක වූ ශීලා නැන්දා ගේ දියණිය, කුමුදුනී, නම් වී තිබුණි. ඇය මා හා සම වයසේ සිටියේ යැයි සිතමි.

මංගල උත්සවය සඳහා කුමුදුනීට සැරසීමට මල් කුමාරී ඇඳුමක් ඇගේ මව සතුව විය. ඊට ගැලපෙන පරිදි මල් කුමරා ඇඳිය යුතු වූයේ සිල්ක් දිග කලිසමක් සහ රැළි දැමූ සිල්ක් කමිසයකි. මල් කුමරිය කුඩා මල් පොකුරක් අත දැරිය යුතු වූ අතර මල් කුමරා සඳහා පොඩි බස්තමක් වැනි පොලු කෑල්ලක් අත දැරීමට නියමිතව තිබුණි.

මල් කුමරා ගේ ඇඳුම් කට්ටලය චූටි නැන්දාට දීමට ඇය සමග එකම පාසලේ සේවය කළ ගුරුවරියක වූ එදිරිසිංහ ටීචර් පොරොන්දු වී තිබුණි. මේ එදිරිසිංහ ටීචර් යනු සුනිල් එදිරිසිංහ ගේ අක්කා බව මගේ මතකයයි.

ඇඳුම් කට්ටලය ගෙන ඒම සඳහා චූටි නැන්දා මා ද කැටුව එක්තරා සෙනසුරාදාවක සපුගස්කන්ද බලා ගියා ය. එදිරිසිංහ ටීචර් ගේ නිවසේ දී වැටහුණේ මල් කුමරා ගේ කලිසමට යාන්තමින් බැසීමට මට හැකි වුණ ද, දිගෙන එය අඟල් හයක් පමණ කොට බවයි. රැළි කමිසයේ ද බොත්තම් පියවීම අසීරු විය.

එය අවුරුදු හතරක පහක කොලුවෙකු සඳහා මසන ලද ඇඳුම් කට්ටලයකි.

යම් කිසි තීරණයක් ගත් චූටි නැන්දා මා කැටුව යළි මහගෙදරට ගියේ ඇඳුම් කට්ටලය ද රැගෙන ය.

මංගල උත්සවයේ මල් කුමරා චරිතය මගේ රුවන් මල්ලීට හිමිවිය.

මම නිකම්ම නිකම් ප්‍රේක්ෂකයෙකු පමණක් වීමි!

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/msousli/my-paintings/)

Monday, 15 May 2017

දද, දද, දද, දද, දද - Homonyms or synonyms?


මේ සටහනේ අන්තර්ගත කාරණය මගේ සිහියට ආවේ, ඊයේ මා ලියා පළ කළ, "මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා" ගේ විහිළු කතාවේ ආ, කලවානේ ආච්චී එකතු කර තිබුණු පැරණි රසවාහිනී නම් සඟරාව ගැන ලියද්දී ය.

නවකතා, කෙටිකතා පොත් ඇය සතුව නොතිබුණ ද, ආච්චී ළඟ තිබුණු එක්තරා කුඩා පොතක් මා එකල ආශාවෙන් කියවීමි.

එහි නම වූයේ "ප්‍රහේලිකා ජය මග" යන්නයි.

ඒ පොතේ ඇතුළත් වූයේ සිංහල වචන සඳහා ඇති විවිධ සමාන වචන එකතුවකි. වෙනත් වචනයකින් කිව හොත් එය එක්තරා ආකාරයක සිංහල-සිංහල ශබ්දකෝෂයකි.

සම්පූර්ණ ලයිස්තු දැන් කිසිසේත් ම මගේ මතකයේ නොමැති වුවත්, එහි වූ වචන ලයිස්තුවේ, සූර්යයා හෙවත් හිරු සඳහා දිනමිණ, දිනකර වැනි සමාන වචන ද, සඳ සඳහා චන්ද්‍ර, තාරපති, සිසි, තරිඳු වැනි සමාන වචන ද, නෙළුම් මල සඳහා තඹර, සියපත වැනි සමාන වචන ද, බුදුන් සඳහා සමාන වචන දුසිමක් පමණ ද වූ බව මට අද සිහිකර ගත හැක.

ඒ සමාන වචන ලයිස්තුව අතරින් වඩාත්ම ආකර්ෂණීය වචනය වූයේ "දද" යන්නයි.

සාමාන්‍යයෙන් අප "දද" යනුවෙන් දන්නේ කුඩා කාලයේ අප කාටත් වැළඳී තිබුණාට සැක නැති ඒ චර්ම රෝග විශේෂයයි.

ඊට අමතරව-
  • දද යනු මෝඩ, අමන යන තේරුම දෙයි.
  • දද යනු බමුණාට හෙවත් බ්‍රාහ්මණයාට යෙදෙන තවත් නමකි.
  • දද කියා කුරුල්ලාට හෙවත් පක්‍ෂියාට කියත හැකියි ලු.
  • දද යන්නෙන් කොඩිය යන අදහස ද ගෙන දේ. මින් දද කියා මල්සරාට කියන්නේ උගේ කොඩියේ මාළුවෙකු ඇති නිසා ලු!
  • ඒ සියලු තේරුම් මදිවාට දෝ දත සඳහා ද දද යැයි කියත හැකි බව කියවුණි.
ආච්චී ගේ ප්‍රහේලිකා ජය මග පොතේ තිබූ වෙනත් සමාන වචන ලයිස්තු කෙසේ වෙතත්, දද යන වචනයේ තේරුම් හෙවත් සමාන වචන රාශියක් තවමත් මගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ පොත කියවූ දිනවල මා "දදක් ඇති, දද, දදෙක්, දදක් ගෙන යන විට...." යනාදී වශයෙන් දද යන වචනයේ සියලුම තේරුම් කැටිවෙන පරිදි එක් වාක්‍යයක් රචනා කරන්නට ගත් උත්සාහය නිසා යැයි සිතමි.

ආච්චී වර්ෂ 1993 ජනවාරියේ දී මිය පරලොව ගියා ය.

ඇය සහ ආතා වාසය කළ කලවානේ නිවස දැන් විකිණී ගොස්, කැඩී ගොස්, නිවස ඉදිරිපිට තිබුණු මානෙල් මල් විල ද, කෙසෙල් පාත්ති ද, ගෙවතු ද විනාශ වී ගොස් ඒ බිමේ පින්බර හාඩ්වෙයාර් කඩයක් පහළවී ඇති බව ගූගල් මග සලකුණු අනුසාරයෙන් මා දැන ගත්තෙමි!

-රසිකොලොජිස්ට්

(image: Google street view)

Monday, 24 April 2017

ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold


මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!

මේ ආකාරයේ (එතෙක්) නොකී කතාවක් මා පෙර දිනයක ද කියා ඇත. එය උඩ කරණම් ගසන්නට ගොස් අවසාන මොහොතේ ඉන් ඉවත් වූ කතාවකි.

මේ අද කියන කතාව ද, ඇත්තට ම, උඩ කරණම් ගැසීමක් පිළිබඳ කතාවකි.

පරකන්දෙනියේ පිහිටි මගේ පියා ගේ මහගෙදර මිදුලේ හොඳින් පලදාව ලැබුණු අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස් දෙකක් විය. අප්‍රියෙල් මාසයේ මල් පිපී, මාස දෙකකින් පමණ පලබර වෙන මේ ලොවි ගස් අපේ ආච්චීට මෙන්ම මට ද ආදායම් මාර්ගයක් ගෙනාවේ ය.

ලොවි පිළිබඳ සැපයුම් දාමය මෙසේ විය.
  • ගසේ ලොවි පළ ගනී.
  • මම ආච්චීට ලොවි කඩා දුන්නෙමි.
  • ගමේ වෙළෙන්දියකට ආච්චී ලොවි විකුණුවා ය. ඉන් ආච්චී ලැබූ මුදලින් කොටසක් මට ද ලැබුණි.
  • වෙළෙන්දිය, කොළඹ තොටළඟ නම් ස්ථානයට මේ ලොවි ද, ගමේන් මිලට ගන්නා වෙනත් පලතුරු සහ අනෙකුත් බෝග වර්ග ද ගෙන ගොස් විකුණුවා ය.
දසත අතු විසිරී පැතිරී ගොස් තිබුණු ඒ ලොවි ගස් දෙකට නැග ඉදුණු ලොවි ගෙඩි කැඩීම, කොලු වයසේ සිටි මට ඉතා සරල වැඩක් විය. කුඩා හෝ ප්‍රශ්නයක් ලෙස තිබුණේ දිමියන් ය. නමුත් දිමි ගොටු ඇති තැන් ඉතා පැහැදිලිව පෙනෙන නිසා, ඒවා මග හැර ලොවි කැඩීම කජු කෑම වැනි කර්තව්‍යයකි.

එසේ නමුත්, කඩන හොඳ හොඳ ලොවි ගෙඩි කටට නොදමා, පලදාව එකතු කරන මල්ලට දැමීම, ගස් නැගීමට හෝ දිමියන්ගෙන් බේරීමට වඩා අසීරු කාර්යයක් විය.
සීයක් කඩන කොට අඩු වෙනවද කීයක්?
කීයද කොල්ලො, කීය ද ඔය ලොවි සීයක්?
මට ලොවි කැඩීම ද, ගස් නැගීම ද එපා කරවූ මේ ලිපියට මාතෘකාව සපයන ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ, මගේ මතකයට අනුව, මට වයස අවුරුදු දහතුනේ දී උදා වූ ඒ එක් ලොවි වාරයේ දී ය.

මේ කාලය වන විට අප පවුල පදිංචිව සිටියේ, ගමේ මහ ගෙදර නොව ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගලහිටියාවේ නමුත්, ලොවි කැඩීමේ රැකියාව සඳහා මම සති අන්තයේ ද, සමහර සතියේ දිනවල සවස් වරුවේ ද මහගෙදර ගියෙමි.

එදා මම මල්ල ද රැගෙන ලොවි ගස් දෙකෙන් උස ගසට නැග්ගෙමි. මේ ගසේ ගෙඩි ලොකු ය, ලස්සනය නමුත් අනෙක් ගසේ පොඩි ගෙඩි තරම් රස නැත!

ලොකු ලොවි ගසේ එක අත්තක තිබූ ඉදුණු ලොවි ගෙඩි කඩා මල්ලට දමා, මම ඒ අත්තේ සිට මට පහතින් පිහිටා තිබුණු වෙනත් අත්තකට පය තිබ්බෙමි.

ඊළඟ මොහොතේ සිදුවූයේ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයට පය ලෙස්සා ගොස් මා බිමට ඇද වැටීමයි.

සරාස්, බරාස්, දඩාස්!

කුමන භෞතික විද්‍යා සිද්ධාන්තයක් නිසා දෝ, හොඳ වෙලාවට මා බිම පතිත වූයේ හිස හෝ කකුල් හෝ අත් හෝ මුලින් පොළොවේ ඇනී කැඩෙන පැළෙන ආකාරයකට නොව මුලින් පස්ස බිම වැදී කොන්ද පොළොවේ තිරස් අතට වදින ආකාරයට ය.

මගේ තට්ටම් සහ කොඳු ඇට පෙළ පෙදෙස කෙතරම් රිදෙන්නට පටන් ගත්තා දැයි කිවහොත් කොටින් ම මට ඇඬුණි.

විනාඩි ගණනාවක් ම කිසිවක් කර කියා ගන්නට හෝ සිතා ගන්නට නොහැකිව මා එතැනම, ඒ ආකාරයෙන් ම තිරස්ව පොළොවේ දිගා වී නොසැලී සිටියෙමි.

වේදනාවේ අඩුවක් නොදැනුණි.

වාසනාවකට හෝ අවාසනාවකට මා ඇද වැටෙනු කිසිවෙකු දුටුවේ නැත. කොහොමටත් නිවසේ සිටියේ ආච්චී, සීයා සහ නැන්දා පමණි. එසේම කෑ ගසා හෝ ශබ්ද නැගෙන්නට හඬා හෝ මා ඒ බව කිසිවෙකුට දැන ගන්නට ඉඩ තැබුවේ ද නැත.

මද වේලාවකට පසු සිටි තැනින් නැගිට සිටි මා යාන්තම් කොර ඇදමින් ගොස් ඇඳක් මත වැතිර තවත් අඩ පැයක් පමණ නිසොල්මන්ව වේදනාව උසුලාගෙන සිටියෙමි.

මට අද වැටහෙන පරිදි, මගේ ශරීරයේ කිසිදු අස්ථියක් හෝ වෙනත් අවයවයක් හෝ බිඳී නොතිබුණි. ශරීරයේ හැම කොටසක් ම වාගේ දැඩි දැවිල්ලකට ලක් කළ ඒ වේදනාව පැය කිහිපයකට පසු මට දරාගත හැකි මට්ටමේ එකක් බවට පත් විය.

නමුත්, මා පස්ස බිම ඇනෙන ආකාරයට නොව, වෙනත් ඉරියව්වකින් බිම පතිත වූවා නම්, හිස හෝ අත හෝ කොඳු ඇට හෝ ඉල ඇට හෝ බිඳී මා දැඩි රෝගාතුර තත්වයට පත්වන්නට ඉඩ තිබුණු බව මට පසුව වැටහුණි.

මා ලොවි ගසෙන් වැටුණු මෙතෙක් නොකී කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/pin/433401164111641630/)

Thursday, 20 April 2017

ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain


රචකයා හැර මේ ලොව අන් කිසිවෙකු විසින් නොකියවූ "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මැයෙන් යුතු වාක්‍ය රචනාව මා ලියූයේ පහේ පන්තියේ දී මා ගත කළ අවුරුදු නිවාඩු කාලයේ දී ය.

වසරේ අනිත් නිවාඩු කාල දෙකට වඩා, අවුරුදු නිවාඩුව අපට සැම විටම වැඩි සතුටක් ගෙන දෙන්නට හේතු කිහිපයක් විය. ඉන් එක හේතුවක් වූයේ මේ කාලයේ දී අපට හිතේ හැටියට කජු පුහුලම් සහ අඹ කන්නට ලැබීමයි.

මගේ පියා ගේ මහගෙදර ලෙස අප හඳුන්වන නිවස පිහිටා තිබුණේ පහළ පරකන්දෙණියේ ය. ආච්චීට පරම්පරාවෙන් හිමිව තිබූ සහ කොටස් වශයෙන් මිල දී ගෙන තිබූ එකිනෙක යාබද ඉඩම් කට්ටි කිහිපයක මැද පිහිටා තිබුණු ඒ නිවස අවට කජු ගස් රාශියක් ද, එක් සුවිසල් අඹ ගසක් ද විය.

අවුරුදු නිවාඩු කාලේ පළ නොදැරුවේ වුව ද, ආච්චී ගේ ගෙවත්තේ තිබූ මා ඉතා ප්‍රිය කළ පලතුරු වර් ගය වූ යේ ලොවි යනුවෙන් අප හැඳින් වූ, සමහරු උගුරැස්ස නමින් ද හඳුන්වන කුඩා පලතුරු විශේෂයයි.

එහි ලොවි ගස් එකක් නොව දෙකක් ම විය.

ලොවි ගස්වල ගෙඩි හට ගන්නේ වසරකට එක් වතාවක් පමණි. මගේ මතකයට අනුව අප්‍රියෙල් මාසය වන විට ලොවි මල් පිපී, ගස් දෙකම මී මැස්සන් ගේ කෙලිබිමක් බව පෙරළේ. ඒ මී මැස්සන් ගේ මීවදය කොතැනක තිබුණිදැයි අපි දැන නොසිටියෙමු. අප දුටුවේ උදෑසන සිට සවස් යාමය වන තුරුම ගසේ පිරී සිටි මී මැස්සන් රංචුත්, උං නැගු ගුමු ගුමු නාදයත් පමණි.

මී මැස්සන් කෙමෙන් තම කාර්යය නිමා කර ඉවත් ගිය පසු ලොවි ගසේ ලොවි මල්වලින් කුඩා ලොවි ගෙඩි මතුවේ. ඉන් පසුව ගතවෙන මාස දෙකක පමණ කාලය තුළ මේ ලොවි ගෙඩි ක්‍රමයෙන් ලොකු වී ඉදෙන්නට පටන් ගනිනි.

ලොවි වාරය එළැඹීම කුඩා අපට මෙන් ම අපේ ආච්චිට ද ඉතා සතුටත් ගෙන දෙයි.

අපට උදැසන සිට සවස් වෙන තුරුම ලොවි කෑම කළ හැකිය. ආච්චීට ලොවි විකුණා යම් මුදලක් උපයා ගත හැකි ය.

ආච්චි ගේ ලොවි මිලට ගන්නේ, ගමේ වෙළෙන්දියකි.

මා දන්නා පරිදි දරුවන් දහ දෙනෙකුට වඩා වැඩි පිරිසක ගේ මවක වූ ඇය, එදා වේල සරි කර ගත්තේ, ගමේ හැදෙන ලොවි, අඹ, ගැට පොලොස්, ගස්ලබු වැනි දේ දිනපතාම පාහේ කොළඹ තොටළඟ නමින් හැඳින්වෙන ස්ථානයට ගෙන ගොස් විකිණීමෙනි.

ලොවි ගස් දෙකේ පහතින් ඇති අතුවල හටගන්නා ගෙඩි නම් අපේ ආච්චීට කඩා ගත හැකි වුව ද, ඉහළ ගෙඩි නෙලා ගැනීමට ඇයට සහය අවශ්‍ය වේ. ඒ කාර්යය ඉටු කර දුන්නේ මා ය. නිකම් නොවේ, ඇය ඒ සඳහා මට මුදලක් ද දුන්නා ය.

මගේ මතකයට අනුව, ලොවි ගෙඩි සීයක් කඩා දුන් විට ආච්චී මට ශත දහයක් ගෙවන්නී ය. එය, ඇයට ලොවි විකුණා ලැබෙන මුදලින් 10% පමණ ප්‍රමාණයකි.

මාස දෙකක් පමණ කාලයක් තිස්සේ පවතින ලොවි වාරයේ දී, ආච්චීට ලොවි කඩා දීමෙන් මට ඒ කාලයේ හැටියට සෑහෙන මුදලක් උපයා ගත හැකි විය.

ඒ අනුව බලන කළ, ඒ කාලයේ මම ද අපේ ගමේ ආර්ථික ක්‍රියා දාමයේ වැදගත් කොටස්කරුවෙකු වීමි!

-රසිකොලොජිස්ට්

මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන සිව්වෙනි ලිපියයි.

ප/ලි:
මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html


(image: https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/10635773_601019323335490_4886273938178538734_n.jpg?oh=8f8a0a7be175ac20610641a5ce8e8419&oe=598FF8B5)

Wednesday, 19 April 2017

බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history


උපාධිධාරී විද්‍යා ගුරුවරයෙකු, ගුරු උපදේශකයෙකු සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරු හොබවා දැන් විශ්‍රාමිකව සිටින දයා-වී(ර?) නම් අයෙකු විසින් ලියන අධ්‍යාපන රසකතා නම් අලුත් බ්ලොගය ඔබ කියවූවා ද?

එහි එක් ලිපියකට මාතෘකාව සැපයූ "බින්න බැසීම" නම් යෙදුම දුටු විට මට ඒ පිළිබඳව මේ විස්තරය ලියන්නට සිත්විය.

අප දන්නා පරිදි, සම්ප්‍රදායානූකුල සිංහල විවාහයේ දී සිදුවන්නේ විවාහ වූ තරුණිය තම දෙමව්පියන් ගේ නිවස හැරදා, සැමියා ගේ නිවසේ පදිංචියට ගොස් අලුත් නෑදෑයින් සමග එහි ජීවත්වීමයි. සැමියා ගේ මහගෙදර හිමිකම ඇත්තේ ඔහුට නොවේ නම්, පසු කලෙක මේ යුවළ විසින් ඒ ගම් ප්‍රදේශයේ ම වෙනත් නිවසක් තනා ගැනීම සාමාන්‍යයෙන් කරනු ඇත.

නමුත්, බින්න විවාහයක දී සිදුවන්නේ පෙර කී සාමාන්‍ය විවාහයේ ප්‍රතිලෝම ක්‍රියාවලියයි. එනම්, විවාහ වූ තරුණයා, තම දෙමව්පියන් ගේ නිවස හැර දමා, තම මනාලිය ගේ මහගෙදර පදිංචියට ඒමයි.

ඒ ආකාරයට බින්න විවාහ සිදුවීමට එකම කොන්දේසිය වන්නේ විවාහ වන තරුණිය තම පවුලේ එකම දරුවා වීම වේ.

එලෙස, එකම දරුවා වන දියණිය පිට ගමක දීගයක ගියහොත් ඇගේ දෙමව්පියන්ට ඉන්පසු තනිවම තම නිවසේ ජීවත්වීමට සිදුවෙන නිසා, එය වළක්වා ගැනීම පිණිස බින්න විවාහ ක්‍රමය සැකසී ඇති බව නොරහසකි.

සාමාන්‍යයෙන් අතීතයේ සිටම සිංහල පවුල්වල දරුවන් කිහිප දෙනෙකු සිටි නිසා, මේ බින්න විවාහ අවශ්‍ය වූයේ ඉතා කලාතුරකින් පමණි.

ඇත්තටම මේ දක්වා මා දන්නේ බින්න විවාහ දෙකක් පිළිබඳව පමණි. ඉන් එකක් මගේ පියාගේ මිතුරු යුවළක ගේ එකම දියණිය ගේ විවාහයයි. ඔවුන් අපේ ඥාතීහු ද වෙති.
අනෙක් බින්න විවාහය ඊටත් වඩා අපට සමීප එකකි. ඒ මගේ පියා ගේ දෙමව්පියන් ගේ විවාහයයි.

මගේ පියා ගේ මව, උපන් විගසම පාහේ ඉතා අවාසනාවන්ත ලෙස ඇගේ මව මිය ගොස් ඇත. වෙනත් විවාහයක් ගැන නොසිතා, තම දියණිය රැක බලා ගත් ඇගේ පියා කර ඇත්තේ ඒ කාලයේ හැටියට නිසි වයස එළැඹුණු පසු තම දියණිය සඳහා බින්න විවාහයක් පිළියෙල කිරීමයි.

ආච්චී ගේ තාත්තා ගේ පාරම්පරික ගම් ප්‍රදේශය කොස්සින්නට නුදුරු පහළ පරකන්දෙණියයි. සීයා ඉහළ පරකන්දෙණියේ තරුණයෙකි.

මා තාත්තා ගේ මහගෙදර ලෙස දන්නා නිවස යනු, විවාහයෙන් පසු සීයා ද පදිංචියට පැමිණ මිය යන තුරුම ජිවත් වුණු පහළ පරකන්දෙණිය ගම් ප්‍රදේශයේ පිහිටි ආච්චී ගේ නිවසයි.

විවාහයක් යනු සමාන දෙපාර්ශවයක් අතර සම්බන්ධයක් ලෙස සැලකූ විට බින්න විවාහය සහ සාමාන්‍ය විවාහය අතර වෙනසක් නැති නමුත්, පෙර විස්තර කළ පරිදි පවුලේ සුවිශේෂී තත්වය හේතුවෙන් ඇතිවෙන බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි.

බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත් ටෝච් එකක් නිතරම සකසා තබා ගත යුතු යැයි කතාවක් ඇත. ඒ අණ ලැබුණු ඕනෑම මොහොතක නිවසෙන් පිටවී යෑම සඳහා ය. හුළු අත්තක් අවශ්‍ය විය හැක්කේ ඒ මොහොත රාත්‍රියක් ද විය හැකි නිසා ය!

මා දන්නා කාලයේ පටන් අට සිල් සමාදන් වී, පිරිත් කියමින්, භාවනා කරමින්, නිර්මාංශික, විකාල භෝජනයෙන් පවා තොර ජිවිතයක් ගත කළ, මගේ සීයාට නම් එලෙස හුළු අත්තක් සමග ජීවත් වීමට අවශ්‍යතාවක් නොතිබුණි.

අවසන් මොහොත දක්වාම, සීයාට උම්බලකඩ පවා නොදැමූ ආහාර පිළියෙල කරදුන්, ඔහු භාවනාවෙන් යම් කිසි ඉහළ තත්වයට එළැඹ සිටියේ යැයි විශ්වාස කළ අපේ ආච්චී ඉඳහිට දිනක සීයාට කළ එකම චෝදනාව නම්, ආච්චි ගේ නිවසට බින්න බැස, ඇගේ වතුපිටිවල ගොවිතැන් යනාදිය කළ සීයා, තමන්ට හිමි ඉහළ පරකන්දෙණියේ ඉඩම් ඔහුගේ ඥාතීන්ට නොමිලේ ම ලියා දුන් බව පමණි!

ඒ සීයා ගේ දාන පාරමිතාවේ කොටසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන තුන්වෙනි ලිපියයි.

මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html

Thursday, 16 March 2017

පරකන්දෙණියේ ධම්මවංශාභිධාන කතා වස්තුව – Buddhism betrayed


එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණන්දෑ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ පරකන්දෙණිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.

තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුව ද, දරුවෙකු නොමැති වූ නිසා, ඔහු විසුවේ තරමක කනස්සලෙන් බව අද අපට සිතිය හැක.

මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවළ අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.

එසේ වතුදු, මේ කෙළෙඹි පුත්‍රයාට තම බිරිඳ ගේ කනිටු සොහොයුරිය සමග යම් කිසි පහිරු-පාසානයක්, අනියම් සබඳකමක්, ඇති කරගන්නට මූලික වූ යම් යම් කාරණා තියෙන්නට ඇත.

එකල මේ ධර්මද්වීපයෙහි ප්‍රීති ය, මිතුරි ය, කොන්ඩොම් ය, මෝනිං ආෆ්ටර් ෆිල් ය යනාදී විවිධාකාර උපත් පාලන විධික්‍රම නොතිබුණි. එසේ තිබුණේ වුව ද, මේ පටලැවිල්ලට ඒවා අවැසි නොවන්නට ඉඩ තිබුණි.

මෙසේ කාලයක් කොටු පනිමින් සිටියායින් අනතුරුව, තම අනියම් බිරිඳ හෙවත් ස්පෙයාවීලය ගැබ්ගත් කල් හී අප කෙළෙඹි පුත්‍රයාණෝ කල්පනා කරන්නේ, මා මේ නූපන් දරු ද, උන් මෑණියන් ද දෙඇස මෙන් රකින්නෙමියි සිතා අදිටන් කොට ගෙන තම පසල් දනව්වේ අනිත් කෙළවර ගෙපැලක් අටවා තම ගැබ්බර පෙම්බරිය එහි පදිංචි කරාවාලූ හ.

මෙසේ දස මස් ඇවෑමෙන් පින්වත් පුත් කුමරුවෙක් එමව්කුසෙන් මෙලොවට ජනිත විය. හේ සූරියආරච්චිගේ බුද්ධදාස ලෙසින් නම් ලද්දේ ය.

තම පියා සපයා දී, මව උයා පිහා දෙන අහරින් මනාව පෝෂණය ලද එකුමරු තෙමේ කෙමෙන් වැඩී පුෂ්ටිමත්, බුද්ධිමත් දරුවෙකු බවට පත්විය. ගමේ පාසලේ ගුරුන් ගේ සිත් දිනා ගනිමින් අකුරු උගත්තේ ය.

මෙලෙස තව කලක් ගත විය.

ආරෝහ පරිණාහ උත්තුංග දේහයෙන් ද, මනා ඡවි කල්‍යානයෙන් ද, සිය පිය පාර්ශවයෙන් හොඳින් සම්මාදම් ලද පිරිපුන් සඳක්වන් පින්වන්ත මුහුණෙන් ද යුතු වූ අප බුද්ධදාස තරුණ තෙමේ, ජන්මාන්තර පුරුද්දක් නිසා දෝ කල්පනා කළේ මහණ දම් පිරීමටයි.

බුද්ධදාස කුමරා වාසය කළ නිවස පිහිටි පසල් දනව් ග්‍රාමයට අයිති වූයේ නුදුරින් තිබූ කොස්සින්න රජමහා විහාරයේ හතර පේරුවටයි. මෙකී කොස්සින්න රජමහා විහාරය වනාහී තායිලන්ත නිකායේ අස්ගිරි චැප්ටරයට අයත් වූවකි. ඒ නඩයේ පන්සලක මහණ දම පුරන්නට වරම් ලැබෙන්නේ උභය කුල පාරිශුද්ධ අයට පමණි.

එනම් මූලිකව ම. මහණ දම් අපේක්‍ෂිත පින්වත් කුමරුවා ගේ මව්පිය දෙපළ ම ගොවිගම කුලයේ විය යුතු ය.

එපමණක් නොව කුමරුවා ගේ පැටිකිරිය ද පාරිශුද්ධ විය යුතුය.

අප කතානායක බුද්ධදාසයන්ට නොතිබුණේ මේ දෙවැනි සුදුසු කමයි.

සිය මව, සිය පියා ගේ නීත්‍යානුකූල බිරිඳ නොව ස්පෙයාවීලය වූ හෙයින් ගමේ පන්සලේ සංඝරාජලාට අනුව බුද්ධදාස යනු අවජාතකයෙක් වී ය.

එදා සුනීතලා, සෝපාකලා, අංගුලිමාලලා මහණ දම් පිරුවේ ද, නන්දලා, ආනන්දලා, රාහුලලා සමග එකම ශාසනයේ, එකම දෙව්දම් වෙහෙරේ, එකම අනාථපිණ්ඩිකස්සාරාමයේ බව මෙකී මහණුන්ට අමතක වී තිබුණි.

එයින් උකටල වූයේ අපේ බුද්ධදාසයන් නොවේ.

බුද්ධදාස තෙමේ වාසය කළ පසල් දනව්වට ගව්වක් දුරින් පිහිටි සූරිගම නම් වූ ග්‍රාමයේ පන්සල අයත් වුයේ රාමඤ්ඤ නිකායට ය. මේ නිකාය වනාහී පෙරකී තායිලන්ත නිකාය මෙන් කුල-මල, වත-ගොත, පෙළපත, කසාද සහතික යනාදිය මත මහණකම දෙන නිකායක් නොවේ.

එසේ හෙයින් අප බුද්ධදාසයන් ගේ මහණදම් පුරන ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉෂ්ටප්‍රාප්ත වී ය. හේ පරකන්දෙණියේ ධම්මවංශ නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

එතැන් සිට මෙම වෘතාන්තය ඉතා කෙටියෙන් පවසන්නේ නම් මෙසේ ය.

මනා ලෙස තම පිරිවෙන් අධ්‍යාපනය නිමවා ප්‍රාචීන, පණ්ඩිත ආදී උපාධි ලැබූ ධම්මවංශ හිමියෝ පසු කලෙක ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහිදී ශ්‍රාස්ත්‍රවේදී (Bachelor of Arts) සහ ශ්‍රාස්ත්‍රපති (Master of Arts) උපාධි ලබා යළි සිරිලකට වැඩම කොට සූරිගම නාගර්ජුන පිරිවෙනේ පරිවේනාධිපති ලෙස සඟ පරපුරට ද, සුමධුර ධර්ම කථිකයෙක් ලෙස උපාසක, උපාසිකා පරපුරට ද සේවය සලසමින් වැඩ වාසය කරමින් හිඳ, සංඝ නායක තනතුරකින්ද පිදුම් ලදුව, පසු කලෙක තම ආයුෂහරණය වූ කල් හී අපවත්වී වදාළ හ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සූරියආරච්චිගේ බුද්ධදාස කුමරුන් මෙලොව එළිය දුටු විසිවන සියවස මුල් කාලයේ ලක්බිම පැවති බුද්ධ ශාසනයේ අජූත නිකාය භේදය ගැන විස්තර දැන ගැනීමට පියදාස සිරිසේන ලියූ "විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය" නමැති කෘතිය කියවන්න.

වසර සියයකටත් පසුව තවමත් ඒ තත්වය බොහෝ දුරට නොවෙනස්ව පවතින බව පසුගිය දා මහනුවර මගුල් මඩුවේ දී පැවැත්වුණු කැප්පෙටිපොළ ෂෝ එකේ දී, සිදුවී ඇතැයි පැවසෙන නිකාය පිළිබඳ කේසය නිසා අපට වටහා ගත හැක.

වසර කිහිපයකට කලින් ලියවුණු මේ ලිපිය යළි සකසා පළකරන්නට සිතුණේ එනිසා ය.

(image: http://www.panoramio.com/photo/79103209#)

Monday, 9 January 2017

නිවාඩුවේ අවසානය සහ පොඩි පොඩි ජෝක්ස් දෙක තුනක් - Back in the rat race


සති දෙකක නිවාඩුව අදින් අවසන් වී, නැවතත් කූඩුවේ ලූ සුරතල් මීයෙකු ලෙස රැට් රේස් එක දුවන්නට සිදු වී තිබේ.

නව වසර ඇරඹුණු විට මා කළේ, සියලු දෙනාටම 2018 වසර සඳහා සුබ පැතීමයි. ඊළඟට, ගෙවී ගිය 2016 සඳහා වසරකට කලින් පළ වී තිබුණු ලග්න පලාපල කියවා විනෝද සමයක් ලැබුවෙමි.

නව වසර උදාවේදී මෙවර සිදුවුණු සුවිශේෂී සිදුවීමක් වූයේ, රහමෙර බිඳක්වත් තොලේ නොගැවීමයි. එය සිතා මතා ගත් නව අවුරුදු අධිෂ්ඨානයක් නිසා සිදුවුණු එකක් නොව, ඒ දිනවල අප නිවසේ නිවාඩුවක් ගත කරමින් සිටි සුපින්වත්, සිල්වත්, ගුණවත් ඥාති සොහොයුරා නිසා සිදුවූවකි.

පසුගිය වසර අවසාන වෙන්නට පෙර අරඹා අතරමග නතර වී ඇති ව්‍යාපෘති කිහිපයක් අවසන් කරන්නට ද, නව වසර ඇරඹුමත් සමගම තවත් අලුත් ම ව්‍යාපෘති දෙකක් අරඹන්නට ද මා සැලසුම් කර සිටි මුත්, ඒ කිසිවක් තවමත් කරගන්නට නොහැකි වීම නම් කනගාටුවට කරුණකි.

රසිකොලොජියට දෙවසරක් පිරුණු දින, බ්ලොග් ලිපි ලියා පල කරන සීඝ්‍රතාවය දින දෙකකට වරක් සිට, සතියකට දෙකක් දක්වා අඩු කරන්නට තීරණය කළෙමි. එය මසකට දහයක් දක්වා වෙනස් කරන ලෙස බ්ලොග් මිතුරෙකු යෝජනා කළේ ය. සිංහල බ්ලොග් අවකාශයේ අයාලේ නොගොස්, එය සාරවත් එකක් කරමු යැයි තවත් බ්ලොග්කරුවෙකු මගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත්, සියල්ල සිදුවිය යුත්තේ සහ සිදුවෙනු ඇත්තේ සිතට ප්‍රීතිය ලැබෙන ආකාරයට අනුව ය.

මේ වසරාරම්භ කෙටි සටහන අවසන් කිරීමට, පසු ගිය සති අන්නතයේ අසන්නට ලැබුණු පොඩි පොඩි ජෝක් දෙක තුනක් එකතු කරමි.

මීට දශක ගණනාවකට පෙර එක්තරා ගමක විසූ දෙමව්පිය යුවලක් තමන් ගේ අලුත උපන් දරුවා ගේ හඳහන සාදා ගැනීමට කට්ටඬියෙකු (ඇයි අවුල් ද?) වෙත ගිය කළ හඳහන සාදා ඔහු දරුවාට නම් තැබිය යුතු සුබ අකුරු කිහිපයක් දෙමව්පියන්ට ලියා දී ඇත.

දැන් වයස්ගත පුද්ගලයෙකු වන "යරලවස" නම් ඒ දරුවා අදත් ඒ ගමේ ජීවත් වෙන බව කියවේ!

ඒ ප්‍රදේශයේ ම තවත් දියණියකට නම තබා ඇත්තේ පෙම්වතී කියා ලු.

පෙම්වතී යන්න ප්‍රේමවතී යන නමේ සිංහලීකරනය ලෙස සැලකිය හැකි වුව ද, ඒ නමේ ඇති විසුළු ස්වභාවය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

පෙම්වතියන් ගැන කතා කරද්දී ඊයේ අසන්නට ලැබුණු මේ කතාව ද කිව යුතුය.

මගේ මිතුරෙකු ගේ මිතුරෙකුට යොදා ඇති අන්වර්ථ නාමය "බබා නයින්, ත්‍රී රත්තරන්, වන් දෙයියා" ලු.

ඒ, ඔහු ගේ පෙම්වතිය විසින් එවන ලද ලිපියක තිබුණු බබා, රත්තරං සහ දෙයියා යන වචන සංඛ්‍යාව අනුව යොදන ලද නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://erwinensing.com/motivation/how-to-escape-the-rat-race/)

Saturday, 26 November 2016

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots


අපි දකුණේ, අපි කොළඹ, අපි නුවර ආදී වශයෙන් ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටියක් ඊයේ පෙරේදා ෆෙස්බුකියේ පැතිර ගියේ ය. තවමත් තරමක හෝ උණුසුමක් පවතී.

මේ සඳහා මා ද කොනකින් සම්බන්ධ වූයේ පිරිසක් "කිඹුලා බනිස්" ලෙස ද, තවත් පිරිසක් "වියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "පියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "සීනි කුරුල්ලන්" ලෙස ද, තවත් පිරිසක් "කොකෝ බනිස්" ලෙස ද, හඳුන්වන අප සැම දන්නා දිගැති පැණි රසැති බනිස් විශේෂය ඒ කිසිවක් නොව "ගැඩවිල් බනිස්" ලෙස හැඳින්වීමෙනි. මගේ අදහස අනුව ඒ බනිස් වර්ගයේ හැඩයට ඉතා හොඳන් ගැලපෙන්නේ "ගැඩවිල්" යන නාමයයි. මගේ යෝජනාව නිෂ්ප්‍රභා කෙරෙන තර්කයක් කිසිවෙකු මතු කර නොමැත!

ඒ කෙසේ වුවත්, මෙකී ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටිය නිසා මගේ පියා අප කුඩා කාලයේ මා සමග කියූ අති පැරණි රසවත් කතාවක් මගේ සිහියට නැගිණි.

මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන්නේ ඒ කතාවේ සාරාංශයයි.

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය

මෙන්න වැඩි විස්තර.

දහ අටවන සියවසේ අග භාගය වන විට ලංකාවේ දකුණු ප්‍රදේශය පැවතී ඇත්තේ ඕලන්ද පාලනය යටතේ ය. ඔවුන් ගේ ප්‍රධාන බලකොටුව ගාල්ල වෙන්නට ඇතැයි සිතමි. නගරයෙන් දුර පළාත්වල පාලනය, කුළුබඩු මිලට ගැනීම, වැට් බදු එකතුව වැනි කටයුතු සඳහා වෙනත් කුඩා බලකොටු ද හෙවත් ඩීආරෝ කන්තෝරු ප්‍රාදේශීියව පිහිටුවා තියෙන්නට ඇත.

ඒ සමයේ දී ලන්දේසීන්ට විරුද්ධව යම් ප්‍රාදේශීය කැරැල්ලක් ඇති වී ඇත. ආයුධ රැගත් දේශප්‍රේමී තරුණයින් ලන්දේසි බලකොටුවකට පහර දී ඇති අතර එය සාර්ථක වී නොමැති බව කියවේ.

ඒ පහර දීමෙන් කුපිත වූ ලන්දේසි රණවිරුවන් කර ඇත්තේ අවට ගම්වලට පැන වැදී තරුණයින් අත් මරා දමන්නට, අත් අඩංගුවට ගන්නට, එළියකන්දට දක්කාගෙන යන්නට, අතුරුදහන් කරන්නට පටන් ගැනීමයි.

තත්වය දරුණු අතට හැරුණු නිසා, එකල බද්දේගම නම් සුන්දර ගම්මානයේ නිවැසිව සිටි දේශප්‍රේමී එක් කුස උපන් සහෝදරයින් තිදෙනෙකු කර ඇත්තේ තමන් සතු අවි ආයුධ ද රැගෙන උතුරට පලා යාමයි. සති ගණනාවක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණි ඔවුන් අවසානයේ නතර වී ඇත්තේ කැලණි ගංගාව ද තරණය කළ පසුවයි.

අද බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර-කඩවත ප්‍රදේශයේ වාසය කරන සූරියආරච්චිලා එසේ පැමිණි සහෝදරයින් තිදෙනාගෙන් පැවතෙන අය යැයි මගේ පියා මා සමග පැවසුවේ ය.

එය ඔහුට ඊට පෙර පරම්පරාවෙන් අසන්නට ලැබුණු කතාවකි.

මගේ පියා කුඩා කාලයේ කඩවත, උතුරු පරකන්දෙණිය ප්‍රදේශයේ පිහිටි අපේ සීයා ගේ මහගෙදරට ගිය දිනයක, ඊටත් වසර එකසිය ගණනකට ඉහත කාලයක උතුරට සංක්‍රමණය කළ තම මුතුන් මිත්තන් එදා ඔවුන් රැගෙන ආ ආයුධ වැලලූ ස්ථානය පවා පියා ගේ මහප්පා කෙනෙකු විසින් පෙන්වා දී ඇත.
ඒ දකුණට මගේ ඇති සම්බන්ධයයි.

මගේ ප්‍රිය බිරිඳ ගේ පියා දකුණේ සිට කඳුරටට සංක්‍රමණය කර ඇත්තේ ඊට සම්පුර්ණයෙන් ම වෙනස් වූ, ආර්ථික හේතු නිසා ය.

මාතර ප්‍රදේශයේ ඇල්ගිරියේ උපන් ඔහු, ඒ දිනවල දකුණේ තරුණයින් සිය ගණනක් තරුණයින් කර ඇති ආකාරයට, උඩරට ගොස් ඇත්තේ රැකියාව ලෙස වෙළඳාමෙහි නිරත වීමට ය. කාලයක් තිස්සේ සෑහෙන කට්ටක් කා, යමක් කමක් හරි හම්බ කරගෙන කුඩා ව්‍යාපාර හිමියෙකු වූ ඔහු විවාහ වී ඇත්තේ ද, ඇල්ගිරියම නිජ බිම කරගත් තරුණ ගුරුවරියක හා සමග ය.

මගේ බිරිඳ ගේ හතරවරිගයේ ම ඇයට කලින් පරම්පරාවේ ඇයින් තවමත් සිටින්නේ මාතර-අකුරැහැ ප්‍රදේශයේ ම ය. ඇගේ පරම්පරාවේ අය නම් රටේ ද, ලෝකයේ ද විවිධ ප්‍රදේශවල විසිරී සිටිති.

අප දෙදෙනා ගේ මේ බද්දේගම සහ ඇල්ගිරිය සම්බන්ධය අනුව, අපේ දරු දෙදෙනා ට ද, අපි දකුණේ තමයි, හරිය? කියමින් වත්මන් ෆේස්බුක් ගාලගෝට්ටියට සම්බන්ධ වීමට හැකියැයි සිතමි!

-රසිකොලොජිස්ට්

(http://exploresrilanka.lk/2016/01/prince-of-pastries/)

Thursday, 15 September 2016

පොප්ලින් ජංගි කොටේ - From Grade one to grade three


මා වසර පහක් පාසල් ගිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියනට නියමිත වූ පාසල් නිල ඇඳුමක් නොවුණි. එයට හේතුව එක්කෝ මේ පාසල කොළඹ සිට සැතපුම් පහළොවක පමණ දුරකින් පිහිටියේ වුව ද එය ගම්බද ඉතා කුඩා පාසලක් පමණක් වූ හෙයින් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛනවලට අසු නොවුණු නිසා විය හැක. නැතිනම් එකල කණිෂ්ඨ විද්‍යාලවලට නිල ඇඳුම් නියම කිරීමක් කිසිසේත් ම නොතිබුණු නිසා විය හැක.

ඒ කුමක් වුවත් අප පාසලේ සිසු සිසුවියන් පාසලට ඇන්දේ සාමාන්‍යයෙන් වෙනත් ගමන් බිමන් සඳහා අඳින ඇඳුම් පැළඳුම් බව, ඒ සඳහා සාධක ද සහිතව මගේ මතකයේ රැඳී ඇත.

පළමුවෙනි ශ්‍රේණියේ දී මා පාසලට ඇන්දේ පාට පොප්ලින් රෙදිවලින් නිමවූ කමිස සහ කලිසම් ය. මේ සමහර කමිසවල අත් නොතිබුණු අතර ඒවා මසා තිබුණේ අපේ අම්මලා ගේ බ්ලවුස් පතරොම් අනුසාරයෙනි. කමිස කොලර ද රවුම් හැඩයෙන් යුක්ත විය. ඒ සමගම සමහර කමිසවල බොත්තම් පේළිය හෝ බොත්තම් කිහිපය හෝ තිබුණේ කමිසයේ පිටුපසිනි. සාක්කු නම් එකක් නොව දෙකක් ම විය. නමුත් ඒවා තිබුණේ ද කමිසයේ දෙපස කෙළවර හරියේ ය.

එපමණක් නොවේ. මේ කමිස සමහර ඒවා සමනළයින් සහ මල් වැනි සුන්දර චිත්‍ර ඇප්ලික් කොට මසා හැඩ දමා තිබුණි.

කමිස සමග ගැලපෙන පරිදි කලිසම් ද මසා තිබුණේ එම පොප්ලින් රෙදි වර්ගයෙන් ම ය. ඒවායේ ප්‍රධානම ලක්ෂණය වූයේ ඉණ වටා ගිය ඉලාස්ටික් පටියයි. මීට අමතරව මේ කලිසම් සඳහා භාවිතා කළ පතරොම්වල පසුබිම හේතුවෙන් දෝ මේවායේ කිසිදු ආකාරයක සාක්කු යොදා නොතිබුණි.

ඉලාස්ටික් කලිසම් ඇඳීමේ ඇති වාසිය නම් පාසලේ විවේක කාලයේ දී මුත්‍රා කිරීම සඳහා වැසිකිළි පෙළ පිටුපසට ගිය විට (වැසිකිළි ඇතුළට ගියේ ගැහැණු ළමුන් පමණි) බොත්තම් ගැලවීම, ආපසු දැමීම වැනි භාරදූර වැඩ කිරීමට අප වැනි අවුරුදු පහේ කොල්ලන්ට සිදු නොවීමයි.

පාවහන් ලෙස මා පැළදුවේ එක්කෝ බාටා සෙරෙප්පු හෝ නැතිනම් පටි සපත්තු යුගලකි. මේස් දැමීමට සිදුවන නිසා සපත්තු පිළිබඳව අප කිසිවෙකුගේ වැඩි ප්‍රසාදයක් නොතිබුණි. මට මතක ආකාරයට ඉඳහිට ඇතමෙක් පාවහන් කිසිවක් නොමැතිව ද පාසලට පැමිණියහ.

අපේ පන්තිවල සිටි ගැහැණු ළමෝ බොහෝ දෙනෙකු පාසලට ඇන්දේ චීත්ත රෙදිවලින් මැසූ ගවුම් ය. ගුරුවරින් ගේ දරුවන් හෝ එවැනි පවුල්වල ගැහැණු ළමෝ වර්ණවත් කෘතිම රෙද්දෙන් මසා, විවිධ කැටයම් දමා අලංකාර කරණ ලද ගවුම් ඇන්දාහ. මේ බොහොමයක් ගවුම් එකල කොට්ට උර යැයි හැඳින්වුණු විලාසිතා වේ විය.

මා පාසලට ගිය මුල් වසර දෙක තුළ ඉහත සඳහන් ආකාරයට පොප්ලින් කමිස සහ කලිසම් ඇඳීමට එක හේතුවක් වූයේ සම්මත කමිස සහ කලිසම් සහිත පාසල් නිල ඇඳුමක් නියමව නොතිබුණු නිසා ම නොව මගේ මවට මෙන්ම පියාට ද නිවසේදී ම රෙදි කපා ඇඳුම් මසා ගැනීමේ දැනුමත්, ඒ සඳහා අවශ්‍ය සිංගර් මහන මැෂිමකුත් ද තිබුණු හෙයිනි.

මේ පහසුකම් තම නිවෙස්වල නොතිබුණු ඇතැම් පිරිමි ළමුන්, ඒ කාලයේදී ම ටවුමේ ටේලර් සාප්පුවෙන් මසා ගත් නිවරදිව අත් සහ සාක්කුවලින් යුතු වූ කමිසද, පොප්ලින් රෙදිවලින් නොව කලිසම් රෙදිවලින් මැසූ බොත්තම් සහ සාක්කු සහිත කලිසම් ද ඇන්දාහ.

සම්මත මෝස්තරයේ කමිස සහ කලිසම් ඇඳි ඒ සමහර සිසුන්ගෙන් "රසිකයා ජංගි අඳිනවා, බ්ලවුස් අඳිනවා" යැයි සරදම් ද මට විටෙක එල්ල විය. එසේ වුවද, ඒ සරදම් බස් ඉවසා සිටිනවා මිස, ඒ බව දෙමව්පියන්ට පවසා වෙනත් ඇඳුම් අවශ්‍යයැයි ඉල්ලීම් කිරීමට මම කිසිදා නොපෙළඹුණෙමි.

වාසනාවකට මෙන් මා පාසලේ තුන්වෙනි ශ්‍රේණියට පා තබත් ම, ගල්ලෑල්ල සහ ගල්කූරේ සිට අභ්‍යාස පොත සහ පැන්සල දක්වා උසසවීම් ලැබුවා සේම මට පොප්ලින් ජංගියේ සිට ටසෝ හෝ ඩ්‍රිල් වැනි නමකින් හැඳින්වු නියම ප්‍රමිතියේ කලිසම් රෙද්දෙන් ටවුමේ ටේලර් විසින් මැසූ කලිසම් දක්වා ද උසස්වීමක් ලැබුණි.

මා පාසලට අඳින කමිස ද නියම ප්‍රමිතියට මැසූ සුදු කමිස දක්වා වෙනස් විය.

මේ ලිපියේ යොදා ඇත්තේ මා පස්වෙනි ශ්‍රේනියේ සිටිය දී ගන්නා ලද ඡායාරූපයකි.

බලු මිනිසෙකු සහ මිනිස් බල්ලෙකු ගේ රේඛා චිත්‍ර ගල්ලෑල්ලේ ඇඳ මගේ නිහඬ විරෝධය පෙන්වීමට තුඩු දුන් හෝඩියේ පන්තියේ ගුරුවරිය ගේ ක්‍රියාව ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න!

-රසිකොලොජිස්ට්

Wednesday, 15 June 2016

දත් වහල්ල මැදීම - Show me your teeth please!


මේ ළඟදී දිනයක මට "සෙන්සෝඩයින්" නමැති දත් බෙහෙත් හෙවත් ටූත් පේස්ට් වර්ගයේ කුඩා ප්‍රමාණයේ ටියුබයක් හමුවිය. එයින් මදක් දත් බුරුසුවකට දමා දත් මදින්නට පටන් ගෙන ස්වල්ප වේලාවකින් මට සිතුණේ මේ කටට දැනෙන රසය නම් තරමක් හෝ හුරු පුරුදු එකක් බවයි.

නමුත්, ඒ කුමක්දැයි සිතා ගැනීමට එක්වරම නොහැකි විය. එය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම හරියට "මේ දිව අගම තියෙනවා, තියෙනවා, වගේ, නමුත් එළියට එන්නේ නෑ!" වැනි තත්වයක් විය.

දත් වහල්ල මැද අවසාන වෙන මොහොතේ මගේ සිහිය සැපත් විය.

ගෝපාල්!

ගෝපාල් යනු අප කුඩා කාලයේ ගමේ ගොඩේ කඩවල විකිණීමට තිබුණු දත් බෙහෙත් කුඩු වර්ගයකි. දහයියා මද පමණින් පුළුස්සා, එයට කිසියම් රසකාරයක් යොදා, රෝස පැහැයෙන් වර්ණ ගන්වා සාදා තිබුණු මේ දත් කුඩු පැකට්ටුවක් විකිණුනේ ශත පහක් වැනි මුදලකට ය.

ඊට අමතරව, දන්තමුක්ත නමින් ද, පැරකුම්බා නමින් ද තවත් දත් බෙහෙත් කුඩු වර්ග දෙකක් තිබුණු බව පසුව ෆේස්බුක් හරහා කියවූ මිතුරන් ගේ ප්‍රතිචාර හරහා මතකයට නැගුණි. දන්තමුක්ත සහ පැරකුම්බා යනු අරළු, මූණමල් වැනි ශාක කොටස් එකතු කර සාඳන ලද දත් බෙහෙත් වර්ග බව කියවුණි. පෙර කී ගෝපාල් තරම් රසයක් නොතිබුණු නිසා මම මේ දෙවර්ගයට ප්‍රිය නොකළෙමි!

කෙසේ නමුත්, ගෝපාල් යනු අපේ අම්මා නිවසට මිලට ගත් අත් බෙහෙත් කුඩක් නොවේ. මට ගෝපාල් රසය විඳින්නට ලැබුණේ එක්කෝ නන්දාවතී නැන්දා ගේ නිවසේ දී හෝ නැතිනම් සරත් බාප්පා මිලට ගෙන තිබුණු විට දී යැයි සිතමි.

අපේ අම්මා පුරුදුව සිටියේ දත් බුරුසුවකට එකල පැවති, සිග්නල්, එස්ආර් හෝ පෙප්සොඩන්ට් වැනි දත් බෙහෙත් වර්ගයක් යොදා දත් මැදීමටයි. ඇය තරුණ කාලයේ කෝල්ගේට් නම් දත් බෙහෙත් වර්ගයක් ද තිබුණු බව සහ එකල රේඩියෝවේ වෙළඳ සේවයේ කෝල්ගේට් අනුග්‍රහයෙන් ජනප්‍රිය ගීත වැඩසටහනක් ද ප්‍රචාරය වුණු බව ද ඇය මා සමග පවසා ඇත.

දිනපතා එලෙස දත් මැදි අම්මා ගේ දත් වැඩි හරියක් පසු කලෙක දිරා කැඩී, බිඳී, ගැලවී ගියේ ය. දැන් ඇය කෘතිම දත් ඇන්දක් ද භාවිතා කරයි.

මගේ තාත්තා නම් මිය යන කාලය වන විටත් ඔහු ගේ දත් සෑහෙන්න හොඳ තත්වයේ තිබුණි. එකම ප්‍රශ්නය වූයේ ඒවායේ බැඳී තිබුණු බුලත් කහට ය.

මෙහිදී කිව යුතු වැදගත්ම කරුණ නම්, අපේ තාත්තා මට මතක ඇති කාලයේ සිටම දත් මැදීම සඳහා භාවිතා කළේ හනසු අඟුරු වීම ය.

තාත්තා හනසු අඟුරු සාදන්නේ මෙසේ ය.

වත්තෙන් අහුලා ගන්නා ලද හොඳ ප්‍රමාණයේ හනස්සක් ලිපට දමා එහි මුල් කොටස හොඳින් දැල්වුණු පසු කුස්සියේ ම ඇති ලුණු පොල්කට්ටට එය දමනු ලැබේ. එවිට ගින්දර නිවී හනසු අගුරු යම් ප්‍රමාණයක් ලැබේ. සෑහෙන්න ලුණු පොඟන තුරු පොල්කට්ටේම තියෙන්නට ඉඩ අරින ඒ අගුරු කැබලි තාත්තාට දින කිහිපයකට සෑහේ.

හනසු අඟුරුවලින් දත් මැදීම සඳහා පළමුව අගුරු කැබැල්ලක් මුව තුළට ගෙන එය විකිය යුතුයි. ඉන් පසු එක්කෝ ඇගිල්ලෙන් හෝ දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම කළ හැක.
හනසු අඟුරු වෙනුවට සමහරු කරුංකා අඟුරු ද යොදා ගත් බවට මගේ මතකයක් ඇත.

අඟුරුවලින් හෝ ගෝපාල් වැනි දත් බෙහෙතක් සමග ඇඟිල්ල උපයෝගී කරගෙන දත් මදින්නේ දත් වල බැඳෙන බුලත් කහට වැනි දේ ඉවත් කිරීමට මිස දත් අස්සේ රැඳී ඇති ආහාර කැබලි ඉවත් කිරීමට නොවන බව කුඩා කල සිටම අප දැන සිටියත්, හනසු අඟුරු හෝ ගෝපාල් කුඩ සමග ඇඟිල්ලෙන් දත් මැදීමට මම ප්‍රිය කළෙමි.

-රසිකොලොජිස්ට්


(image: facebook & https://www.instagram.com/p/ua3QPkmEek/?taken-by=gopaltoothpowder)

Friday, 27 May 2016

ජංගමේට කලින් ලෝකයේ විසිතුරු - No phone, no worries


නාන කාමරයක, පාළු දුම්රිය මැදිරියක, නිහඬ මෝටර් රථ ගමනක හෝ එවැනි ස්ථානයක තනි පංගලමේ සිටිද්දී සිත දුර ගමං ඒක චරං යන බණ පදයට අනුව වැඩ කරන්නට පටන් ගනී. අර ඩවුන් ද මෙමරි ලේන් ද මොකක් ද එක කරයි.

එවැනි එක් කල්පනා ලොව මල් වනයේ සැරිසැරූ අවස්ථාවක දී මට වැටහුණු දෙයක් නම්, තනි තනිව සහ පොදුවේ සමාජයක් ලෙස අප කොයිතරම් වෙනස්කම්වලට භාජනය වුවද, මුලදී පිළිගැනීමට අපහසු තරම් සාපේක්‍ෂව ඉතා කෙටි කාල සීමාවක දී අප ඒ අලුත් වාතාවරණයට පුරුදු වෙන බවත්, ඒ අනුගත වීම කෙතරම් බලවත් ද යත්, පෙර තත්වය යටතේ අප කටයුතු කළේ කෙසේදැයි සිතා ගැනීම පවා අපට අසීරු වෙන බවත් ය. ආපසු පෙර පැවති වාතාවරණය යටතේ කටයුතු කරන්නට සිදුවීම නම් මරණ දණ්ඩනයට ලක්වීමට සමාන ය.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය දුරකථන සන්නිවේදනය වේ.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබන සමයේ නිවසටද, පාසල් මිතුරන්ට ද ලිපි ලියවෙමි. නිවාඩු කාලයේ විශ්ව විද්‍යාලයේ මිතුරන් සමග ද ලිපි ගනුදෙනු කළෙමි. ඒ හැර වෙනත් සන්නිවේදන ක්‍රමයක් අපට තිබුණේ නැත.

විශ්්ව විද්‍යාලය මැදින් දිව යන ගලහ මාර්ගය අසල ඉහළින් පිහිටි තැපැල් කාර්යාලයේ සහ විශේෂයෙන් ම සවස් කාලයේ ඒ අසල ඇති දුරකථන හුවමාරු පොළේ (telephone exchange) සිසුන් රැඳී ඉන්නවා මා දැක ඇත. ඒ තම නිවෙසේ දුරකථන පහසුකම් ඇති සිසුන් දෙමව්පියන් සමග දුරකථනයෙන් කතා කරන්නට පෝලිමේ ඉන්නා ආකාරයි.

ඒ අයගෙන් සමහරු හදිසි කාරණා සම්බන්ධයෙන් කතා කිරීමට ඒ ඇමතුම් දෙනවා විය හැකි වුවද, බොහෝ දෙනෙකු එසේ ඇමතුම් දීමට ප්‍රධානතම හේතුව ද, ඔවුන් ගේ නිවසේ දුරකථන පහසුකම් තිබීම ම විය හැක.

අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති කාන්තාවක් මේ පිළිබඳව මා සමග කියා සිටියේ තමන් විශ්ව විද්‍යාලයට සුවසේ පැමිණි බව කීමට මෙන් ම සාමාන්‍ය සුවදුක් දන්වා සිටීමට අඩු වශයෙන් සතියකට වරක් හෝ නිවසට දුරකථනයෙන් ඇමතීම තමන්ගෙන් දෙමව්පියන් බලාපොරොත්තු වූ බවයි.

අපේ නිවසට දුරකථනයක් නොමැති වූ නිසා, මම පේරාදෙණියේ නොව රටෙන් පිට ගිය අවස්ථාවල දී වුව, කළේ දෙමව්පියන්ට ලිපියක් ලිවීමයි. නැතිනම්, දිවා කාලයේ දී සොහොයුරා ගේ කාර්යාලය කතා කොට දෙමව්පියන් ගේ සුවදුක් විමසීමයි.

කොටින් ම මා මගේ මව සමග මුලින්ම දුරකථනයෙන් කතා කළේ, 1996 වසරේ පෙබරවාරියේ පමණ දිනයක ඇය සහභාගී වූ මංගල උත්සවයකට සහභාගී වුණු මගේ මස්සිනා ගේ දුරකථනයෙනි. දෙමව්පියන් ගේ නිවසට දුරකථනයක් ලබා ගැනීමට යටිතල පහසුකම් ගොඩ නැගුණේ ඊටත් පසුව ය. එය ද, සීඩීඑම්ඒ සම්බන්ධතාවක් විය.
මිනිසුන් සංඛ්‍යාවට වඩා දුරකථන සංඛ්‍යාවක් ඇති අද තත්වය මීට හාත්පසින් ම වෙනස් ය.

අප ලංකාවට ගිය විට ඥාතියෙකු ගේ නිවසට ගොස් කතා බස් කරමින් සිට ආපසු අප නිවසට ගිය විගස, දුරකථන පණිවිඩයක් දී සුවසේ පැමිණිබව සනාථ කළ යුතුය. එසේ නොමැති නම්, ඒ ගැන විමසා අපට ඇමතුම් ලැබේ. දුරකථන හරහා, ඥාතීහූ එකිනෙකා ගේ එදිනෙදා දෛනික කටයුතු පිළිබඳ අන්තිම තත්පරයට යාවත්කාලීන වී සිටිති.

අප මේ තත්වයට කෙතරම් දැන් හුරු වී ඇති ද කියනවා නම්, මා මුලින් කීවාක් මෙන්, හදිසියේ මේ තාක්‍ෂණය නැති වී ගිය විට අප අන්ත අසරණ තත්වයකට වැටෙනු ඇත. එසේම, අන්තර්ජාලයට සම්බන්ධ දුරකථන නොමැතිව අප එදා කටයුතු කළේ කෙසේ ද කියාත් අපට දැඩි විමතියක් ද ඇති වෙනු ඇත.

අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මෙවලම් භාවිතය කරනවා යැයි සිතුවත්, අප ඇතැම් විට කරන්නේ මෙවලම් භාවිතය අවශ්‍යතා නිමවා ගැනීම නොවේදෝ යැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: http://www.gizmodo.com.au/2010/03/from-tin-cans-to-touchscreens-the-40-most-important-phones-in-history/)

Wednesday, 6 April 2016

වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!


මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගී වීම සඳහා මා ලංකාවේ ගතකළ කාලයේ දී ලද අපූරු අත්දැකීමකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා හැකි තරම් කෙටියෙන් ලියන්නට අදහස් කරමි.

අපේ අම්මා සාමාජිකාවක් වන ගමේ වැඩිහිටි සමිතිය නිසා, මහලු වයසේ පසුවෙන, තම සැමියන් මිය ගොස් වැන්දඹුවී කල් ගත කරන, කිසිදු ආදායම් මාර්ගයක් නොමැති, විවාහ වූ දරුවකුගේ නිවසේ කල් ගත කරන, ජීවිතයේ මේ සෑඳෑ සමයේත් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වී සිටින කාන්තාවන් කීප දෙනෙකු ගැන මම දනිමි.

මගේ මවට වඩා වසර කිහිපයකින් වයසෙන් අඩු ඉන් එක් කාන්තාවක් විටින් විට පැමිණ මගේ මවට විවිධ උදව් උපකාර කිරීමට පුරුදු වී සිටියි. ඇය කලක් මගේ මවගේ තනියට නිවසේ නවාතැන් ගෙන ද සිටියාය. මගේ මව ද ඇයට හැකි අයුරින් උදව් උපකාර කරන්නීය. එය වින්-වින් තත්වයකි.

මෙවර ලංකාවේ මා ගත කළ කාලයේ දෙතුන් දිනක්ම ඇය නිවසේ දී මුණ ගැසුණි. අවසන් දිනයේ දී ද ඇය අප නිවසට උදේ පාන්දරින් ම ආවේ වෙනත් ගමනක් යාමට සැරසීය.

"පුතේ මේ නැන්දාට දැන් පැන්ෂන් එකක් ලැබෙනවා නේ. මේ ඒක ගන්න යන ගමන් ලු!" අම්මා පැවසුවාය.

මා දැන සිටියේ ඇයට කිසිදු ආදායමක් නොමැති බවකි.

"ආ, හොඳයිනේ. ළඟදී ඉඳලාද ඒ?" මම විමසුවෙමි.

"ඔව්, මෙයා කොහොම හරි ග්‍රාම සේවකට කියලා හදාගෙන. රුපියල් දෙදාස් පන්සීයක් ම ලැබෙනවා!" අම්මා කීවේ මද සිනාවකිනි.

ඒ මිතුරු සරදමක් බවත්, ඇයට ලැබෙන්නේ මසකටම රුපියල් දෙසිය පනහක් බවත් මම මොහොතකින් දැන ගත්තෙමි.

මා කළේ, "මෙන්න එහෙනම් මගෙනුත් නැන්දාට!" කියා රුපියක් දෙදහස් පන්සීයක් ඇය අතට දීමයි.

පැයක් පමණ කාලයක් අප නිවසේ ගත කළ ඇය පිටව යාමට කලින් මා අමතා කීවේ, "පුතා මං පන්සලේ කුළුණක් හදන්න රුපියල් අටදාහක් දෙන්න ලියලා තියෙනවා. පුතා දුන්නු සල්ලිවලින් ඒකට ගන්නම් පුතාටත් පින් සිද්ධ වෙයි!" කියාය.

මම තරමක විස්මයට පත්වීමි.

"අපෝ මට ඔය තියෙන පින් ඇති. ඔය සල්ලි කෑමට බීමට ගන්න!" මම ස්ථිරවම කීවෙමි.

කවුරුන් හෝ දෙන මුදලක් සහ මසකට ලැබෙන රුපියල් දෙසිය පනහේ පින් පඩිය හැර වෙනත් කිසිදු ආදායමක් නැති, ඥාතියෙකු ගේ නිවසේ තාවකාලිකව නතර වී සිටින ඇය වැන්නියක, ඇගේ තත්වයේ හැටියට අති විශාල මුදලක් වන රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.

ඒ ගැන මගේ අවුලක් නැත.

මා දුන් මුදල දැන් ඇගේ ය. එය ඇය කැමැති ආකාරයකට වියදම් කළ හැක. ඒ ගැන ද මගේ අවුලක් නැත.

නමුත්, මෙවැනි අයගේ වත්මන් අසරණකම සහ එ නිසාම ඇතිවෙන අනාගතය උදෙසා පින් කිරීමේ අවශ්‍යතාවය දඩමීමා කරගෙන කුළුණු වැනි අනවශ්‍ය ඉදිකිරීම් සැලසුම් කරන පන්සල් ගැන නම් මට ඇති වෙන්නේ කෝපයකි.

මගේ අතිරික්ත මුදල් එවැනි නිෂ්ඵල වැඩවලට දීමට වඩා නැති බැරි අයෙකුට දීමට මා කැමති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම්, මා දුන් මුදල ඇය පන්සලේ කුළුණ සෑදීම සඳහා පරිත්‍යාග කළහොත්, එයින් පිං ලැබෙන්නේ කාටද? ඇයට ද, මට ද? යන්නය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙස්සන්තර නම් රජා රාජ්‍ය දේපල පමණක් නොව තම බිරිඳ සහ දරුවන් ද දන්දුන්නේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් සහිතව නොවේද?


(image: https://en.wikipedia.org/wiki/Blind_Faith)

Friday, 18 March 2016

දෙකේ කොලේ කතාවක් - My lottery win


මා කියන්නට යන මේ කතාව එක්තරා ආකාරයක හොරකමක් හෝ වංචාවක් හෝ ලෙසත් සැලකිය හැකි බව මුලින්ම පවසමි. අද මට එසේ සිතුනත්, එදා එසේ නොසිතීම ඇත්තටම අභාග්‍යයක් බව ද අද සිතේ.

ඒ දිනවල මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ලබමින් සිටි කුඩා දරුවෙකි.

පරකන්දෙණිය නම් ගමේ කෙළවරේ පිහිටි අපේ නිවසේ සිට මා උගත් කොස්සින්න සිරි සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට දුර කිලෝමීටරයක් පමණ වූ අතර මා එහි ගියේ මගේ මල්ලීත් බොහෝ විට අල්ලපු ගෙදර ආනන්ද ජයතිලකත් සමග පයින් ඇවිදගෙන ය.

අපට බස් රථයකින් ගමන් කිරීමට ලැබුණේ මසකට පමණ වරක් අම්මා සමග ගමේ පාරේ දිවෙන 218 බසයෙන් ගනේමුල්ලට යන විට පමණි.

අම්මා අපව ගනේමුල්ලට රැගෙන ගියේ කොණ්ඩය කැප්පවීමටයි.

කොස්සින්න පාසලට නුදුරින් පිහිටි කුඩා කඩ පේළියේ සුදාලැගෙ කඩේ සහ උප තැපැල් කන්තෝරුව අතර සිසිර සැලූන් (බදාදා දිනයන් හි වසා ඇත!) නම් බාබර් සාප්පුවක් තිබුණ ද අප කිසිදා එහි ගොස් නැත.

කොණ්ඩය කැපීම යනු අප ඒ දිනවල මහා කරදරයක් සේ සැලකූ කාරණයක් වුව ද, ගනේමුල්ලට ගිය බොහෝ දිනවලදී දුම්රිය මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි මට අද නම අමතක හෝටලයෙන් සීනි බනිසක් කා තේ බොන්නට ලැබෙන නිසා, මේ ගමන අපට ගෙන දුන්නේ තරමක් දුරට හෝ ප්‍රීතියකි.

සීනි බනිස් කා ප්ලේන්ටියක් බීමට මා ප්‍රිය කළ අනෙත් ස්ථානය නම් කඩවත 223 මාර්ගය කොළඹ නුවර පාරට සම්බන්ධ වූ ටී-ජන්ශනයේ පිහිටා තිබු ජන්ශන් හෝටලය නම් තේ කඩයයි. කඩවත ජන්ශනය විශාල වීමත් සමග පසු කලෙක ඒ ජන්ශන් හෝටලය බ්ලාස් වී ගියා යැයි සිතමි.

අප ජන්ශන් හෝටලයට ගියේ කඩවත නගරයේ කිරිබත්ගොඩ අන්තයටත් එහා පිහිටි ගුණතිලක දොස්තර ගේ ඩිස්පෙන්සරියට ගිය ගමන්වල දී ය. ඔහු, මුල් කාලයේ සිංහල සිනමාවේ සිටි නිර්මාණකරුවකු වූ පී.කේ.ඩී. සෙනවිරත්නගේ බාල සොහොයුරා බව කියවුණි.

ගනේමුල්ලේ දී ළමුන් ගේ කොණ්ඩා කප්පවා, සීනි බනිස් සමග තේ ලබා දුන් පසු අම්මා බොහෝ විට යන්නේ සේන කඩේටයි.

සේනලාට හෙවත් ගුණසිරිලාට කඩ තුනක් විය. එකක යකඩ බඩු ය. එහි ගියේ නම් ඒ තාත්තා පමණි.

අනෙක ඩේ‍රපරි හෙවත් රෙදි පිළි කඩයකි. අම්මා සමහර විට ඒ කඩේට ගොඩ වෙයි. නමුත් ඇය රෙදි මිලදී ගැනීම සඳහා බොහෝ විට ගියේ කඩවත නගරයටයි. කෙළවරේම තිබුණේ අපේ පවුලට අවශ්‍ය සීනි රාත්තලේ, තේ කොළ රාත්තල් බාගේ පත්තර කඩදාසි ගොටුත්, පත්තර කොලවලම එතූ තෝර කරවල, කීරමින්, හාල්මැස්සන් යනාදියත් සිමෙන්ති උරවලින් සෑදූ කඩදාසි බෑගයක දමා මිලට ගත හැකි, අද භාෂාවෙන්, ග්‍රොසරියයි. මේ කඩයේ නම ගුණසිරි ස්ටෝර්ස් වැනි එකකි.

තාත්තාට කියා සතියේ දිනක ගුණසිරි ස්ටෝර්ස් එකෙන් වියළි මිරිස්, කොත්තමල්ලි යනාදිය ගෙන්වා ගන්නා අම්මා, ඒවා සෝදා වියළා සකස් කොට ගෙන මේ මසකට වරක පමණ කෙරෙන ගමන්වලදී ගනේමුල්ලට ගෙන එයි. එහි තිබුණු ඇඹරුම් හලෙන් ඒ ද්‍රව්‍ය ඇඹරී තුන පහ, මිරිස් කුඩු බවට පත්වෙයි.

බිම වැටී තිබුණු රුපියල් දෙකේ කොළයක් මගේ නෙත ගැටුණේ මා පෙර සඳහන් කළ එක් ස්ථානයක දී ය.

දෙකේ කොලේට දැමීම යනු යමක් පහත් කොට සැලකීමයි. එයට හේතුව ඒ කාලයේ මුදල් නෝට්ටු අතරින් අගයෙන් අඩුම නෝට්ටුව වූයේ දෙකේ කොළය වීමයි. අපේ තාත්තා නම් ඊට කලකට රුපියලේ කොළ ද තිබුණු බව මා සමග කියා ඇතත්, මම එවැන්නක් කිසි දිනයක දැක නැත්තෙමි.

දෙකේ කොලේට දැමීමේ කතාව කෙසේ වෙතත්, විවේක කාලයේ පාසල අසල කඩල විකුණූ කඩල ආච්චිගේ කඩල ගොට්ටක මිල ශත පහක් වූ එකල රුපියල් දෙකේ යනු මට නම් ඉතා විශාල මුදලක් විය. බිම වැටී තිබුණු ඒ නෝට්ටුව දැක මා තරමක් තැති ගත්තේ එබැවිනි.

තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා වයසේ සිසුවෙකුට එවැනි තිගැස්මක් ලැබෙන්නට නම් බිම වැටී තිබෙනු දැකිය යුත්තේ අඩු වශයෙන් රුපියල් දෙදාහේ නෝට්ටුවක් බව මම සිතමි.

මේ දෙකේ කොළය යූ.බී. වන්නිනායක මුදල් ඇමති ලෙස සහ විලියම් තෙන්නකෝන් මහ බැංකුවේ අධිපති ලෙස අත්සන් කර තිබුණු, පරාක්‍රමබාහු රජු ගස්ලබු කෑල්ලක් කන ප්‍රතිමාවේ රූපයකින් සැරසුණු දෙකේ කොළයක් විය.

මුදල් ඇමති ද, මහ බැංකුවේ අධිපති ද නෝට්ටුවල අත්සන් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායයි. පසු කලෙක ලංකාවේ සර්වබලධාරී ජනාධිපතිලා තමන් ම මුදල් ඇමතිකම අයිති කර ගත්තේ, ඒ අත්සන ගැන ඇති වූ කෑදරකමක් නිසා බව මගේ අදහසයි.

එතැනිනුත් එහාට ගිය ර. ප්‍රේමදාස සහ ම. රාජපක්‍ෂ තම රූපය ද, පිළිවෙලින් කාසියකට සහ නෝට්ටුවකට යොදා ගත්තෝය.

තැති ගත් සිතින් යුතුව මා කළේ හෙමින් සීරුවේ පාත් වී ඒ රුපියල් දෙකේ නෝට්ටුව ගෙන කොට කලිසමේ සාක්කුවකට දා ගැනීමයි.

සමහර විට එය නිෂ්ඵල කාර්යයක් වෙන්නට ඉඩ තිබුණත් මා එදා කළ යුතුව තිබුණේ, ඒ නෝට්ටුව අම්මාට පෙන්වා, ඇය ලවා එතැන සිටි පිරිසගෙන් එය ඔවුන්ගේ දැයි විමසීම ය.

නමුත් මේ ගැන මා අම්මාට පවා කීවේ දින කිහිපයකට පමණ පසුව එක් රාත්‍රි කාලයක ඇය කුස්සියේ උයන වේලාවක රහසක් ලෙසිනි.

"දැන් ඉතිං අයිතිකාරයා හොයන්න පුළුවනියැ, එහෙනං ඔය සල්ලි ඔයා ගේ පොතට දාමු!" අම්මා කීවාය.

ඇය එහිදී පොත යනුවෙන් අදහස් කළේ මගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාස්පොත නොහොත් එමගින් ගනුදෙනු කළ හැකි බැංකු ගිණුමයි.

රුපියලක් ගෙවා, ගමේ උප තැපැල් කාර්යාලයේ දී වුවද අරඹා පවත්වාගෙන යා හැකිවූ ඒ ආකාරයේ ගිණුමකට පොතක් පමණක් නොව විශේෂ ආදායම් මුද්දර වර්ගයක් ඇලවිය හැකි කාඩ් පතක් ද ඇතුළත් විය. ශත විසි පහක් අතේ ඇතිනම් එයින් පෙර කී මුද්දරයක් රැගෙන කාඩ් පතේ ඇලවිය හැකිය. කාඩ්පත සම්පූර්ණ වූ පසු එහි ඇති මුද්දරවල අගය ඉතිරි කිරීමේ ගිණුමට බැර කරවා ගත හැක.

අභ්‍යාස පොතක එකිනෙක ඇලවූ පිටු දෙකක් අතරේ සඟවා තිබුණු තැනින් රුපියල් දෙකේ කොළය ඉවතට ගත් මම පසු දින එය කොස්සින්නේ උප තැපැල් කාර්යාලය වෙතට ගෙන ගොස් බැංකු පොතේ තැන්පත් කළෙමි.

මා මුලින්ම මේ ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ පසු කලෙක උසස් පෙළ සමයේ දී දිග කලිසමක් මැසීමට රෙදි කැබැල්ලක් හෙවත් පීස් එකක් හෙවත් ලෙන්ත් එකක් මිලට ගැනීම සඳහාය.

මාස කිහිපයකට පසුව මා දෙවෙනි වරට ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ ද, ඇඳුම් සඳහාය. එවර මරදානේ ජිල්/මයුරා සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිස දෙකක් මිලට ගත්තෙමි. ඒ පුංචි අම්මා ගේ මංගල උත්සවය දිනයේ ඇඳීමටයි.

උද්ධමනය යන වචනය අපේ එදිනෙදා වාග්මාලාවට ඇතුළත් වී තිබුණු මේ කාලය වෙන විට, මා තුනේ පන්තියේ දී අහුලාගත් දෙකේ කොළය, කමිසයක බොත්තම් කිහිපය තරම්වත් නොවටිනා මුදලක් බවට පත් වී තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජියේ පළ වූ ලිපි දෙක තුනකක් ඔස්සේ යමින් ඒ කරුණු වෙනත් ඉහල මානයකට ගෙන යන ලිපි ලියා තම බ්ලොගයේ පළ කළ ඉකොනොමැට්ටා මේ ලිපිය සම්බන්ධයෙන් හෝ, එසේ නොමැති නම්, මා ඊලඟ ඉරිදා පළ කරන්නට බලාපොරොත්තුවෙන ලිපිය ගැන හෝ එසේම කරනු ඇතැයි සිතමි.

(image: http://www.delcampe.net/page/item/id,312127316,var,Sri-Lanka-Ceylon-Ceylan-19680110-Parakramabahu-Two-Rupees-Rs-2-Crisp-Note,language,E.html)

Wednesday, 16 March 2016

අයියයි නංගියි කසාඳ බැඳලා? - What the F?


මා කුඩා කාලයේ අපේ නිවස අසල ජීවත් වූ එක් කාන්තාවක් මගේ මව ඇමතුවේ මවගේ නමින් හෝ අක්කා නංගී වැනි වචනයකින් හෝ නොව "සමන්ලා ගේ අම්මා" කියා බව මට අද මෙන් මතක ය.

සමන් යනු මගේ අම්මා ගේ කණිෂ්ඨ පුත්‍රයා ය.

ඒ ඇමතුම මට විමතියක් ගෙන දුන්නේ ඇය අපේ අම්මාට "රසිකලා ගේ අම්මා" යැයි නොකී නිසා නොවේ. එම යෙදුමේ ඇති උසුළු-විසුළුබව නිසා ය.

ඒ කාන්තාව කතා බහේ දී තම සැමියා ගැන සඳහන් කළේ, "රූපසිංහලා ගේ තාත්තා" කියායි. රූපසිංහ යනු ඇගේ පුත්‍රයා ගේ නම විය. ඇය, තම සැමියා මුහුණට ඇමතුවේ ද එලෙසම යැයි සිතමි. එය නම් යම් කිසි ආකාරයක සොඳුරු තහවුරු කිරීමක් විය හැක.

මේ ආකාරයට "ළමයින් ගේ තාත්තා" හෝ "ළමයින් ගේ අම්මා" කියා එකිනෙකාව හඳුන්වා ගන්නා අඹු සැමියන් ද ඇති බව මා අසා ඇත්තෙමි.

විශේෂයෙන් ම නොරට සිටින දෙමව්පියන් අතර මා දැක ඇති ඇමතීමේ ක්‍රමයක් නම් කෙළින් ම අම්මී, තාත්තී කියා එකිනෙකා අමතා ගැනීමයි. මේ ගැන විවේචනාත්මක ලිපියක් මේ වන විට කඩේ වසා ඇති ඔටුකතා නමැති බ්ලොගයේ ද පළ වී තිබුණි. ඔටුකතා රචකයා ඒ සඳහා භාවිතා කළ ඡායාරූප ගැන දරුණු විවේචනයක් ද එල්ල වී තිබුණු බව මගේ මතකයයි.

මේ අම්මී තාත්තී ඇමතීමට හේතුව වන්නේ, ඒ ඔටුකතාවේ ඡායාරූප මගින් කියන්නට උත්සාහ කළ කතාව නොවේ. මා නිරීක්‍ෂණය කර ඇති අන්දමට, මෙහි දී සිදුවන්නේ තම දරුවාට සිංහල කතා කිරීමට ඉගැන්වීම පිණිස වෙර දරන දෙමව්පියන් දරුවාගේ වචනවලින් කතා කිරීමට පෙළඹීම නිසා ඒ පුරුද්ද අල්ලා සිටීමකි. කොටින්ම මේ ළමයින් ගේ තාත්තා කේස් එකේ වඩාත් හොඳ භාවිතයයි.

ඒ ආකාරයට ම දරුවන් කිහිප දෙනෙකු සිටින දෙමව්පියන් ඒ දරුවන්ට අයියා, අක්කා, නංගී, මල්ලී ලෙස, දරු බසෙන්, අමතනු ද දැකිය හැක.

මගේ පියා සහ ඔහු ගේ මා දන්නා මිතුරන් එකිනෙකාව හඳුන්වා ගත්තේ මහත්තයා යන පදය සහිතවයි. මෙය ගුරු සේවයේ දිගු කලක් යෙදීමේ දී, පාසල් ළමුන් ගේ බසින් හඳුන්වා ගැනීම නිසා සිදුවූවක් යැයි සිතමි. පාසලේ දී "හරිශ්චන්ද්‍ර මහත්තයා" වූ මගේ පියා ගමේ දී නම් "චන්දර මහත්තයා" විය.

මට පුදුමය ගෙන දුන් කාරණයක් වනුයේ, මා දන්නා කාලයේ දී විවාහ වීම නිසා අපේ පවුලට ඥාති සම්බන්ධතා ඇති වූ මාමාවරුන් දෙදෙනාටත් මගේ පියා මහත්තයා ලෙසින් ඇමතීමයි. අයියා, මල්ලී ආමන්ත්‍රණයක් ඔවුන් අතර නොතිබුණි. ඒ අනුව යමින් මගේ මවට ද ඔවුන්ව, වෙද මහත්තයා සහ ධර්මසේකර මහත්තයා යනුවෙන් හැඳින්වීමට සිදුවිය.

කොහොමත් මගේ මව මගේ පියා ඇමතුවේ මහත්තයා කියාය. එසේ වුවද, පියා මව ඇමතීමට නෝනා යැයි කියනවා නම් මා කෙදිනක හෝ අසා නැත. ඒ වෙනුවට ඔහු කළේ එක්කෝ නාමපද ආමන්ත්‍රණයෙන් තොරව ඇමතීමයි, නැතහොත් "ඕයි" වැනි සුරතල් ආමන්ත්‍රණයක් භාවිතා කිරීමයි!

මීට වඩා පුදුම සහහත ඇමතීමක් ද මා අසා ඇත.

අපේ ආච්චී ගේ නිවසට ආ ගිය එක් කාන්තාවක්, ආච්චීව ඇමතුවේ මිසිස් කියාය. ඒ ආච්චීව ඇය සේවය කළ පාසලේ දී හැඳින්වුණු "මිසිස් ගුණතිලක" යන නාමය කෙටි කර ගැනීමෙන් තනාගත් ඇමතුමක් ලෙස මම පසුව දැන ගතිමි.

වයස හෝ විවාහ අවිවාහක තත්වය නොබලා කාන්තාවන්ට මිස් කියා කෙරෙන ඇමතීම නම් අද පවා දක්නට ලැබුණත්, මේ ආකාරයේ මිසිස් පමණක් කියා ඇමතීමක් මා ලංකාවේ වෙනත් තැනකදී අසා නැත.

සිනුවර ප්‍රදේශයේ නම් සමහර පරම්පරානුගත ඕස්ට්‍රේලියානු විවාහක පිරිමි තමන් ගේ බිරිඳ ගැන කරන හැඳින්වීම්වල දී මිසිස් යන පදය භාවිතා කරති.

මේ ආකාරයේ විවිධාකාර ඇමතුම්වලින් අති පුදුමාකාර ඇමතුම නම්, සමහර විවාහකයින් එකිනෙකා හඳුන්වා ගන්නා සිංහබාහු-සිංහසීවලි නම් ඓතිහාසික ආකාරයයි.

මින් වසර හතරකට පමණ පෙර දිනක, මට ඕස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය කළ යුවලක් මුණ ගැසුණි. පසු දිනක මා ඔවුන් ගේ නිවසට දුරකතනයෙන් ඇමතා යමක් විමසූ විට පිළිතුරු දුන් සැමියා, "අයියේ මං නංගිගෙන් අහලා කියන්නම්!" වැනි අප්‍රබංශ කතාවක් කීවේය.

මා ඔහුට ඇමතුවේ ඔහු ගේ මුල් නමින් රොහාන් කියා වුවද, ඔහු ගේ පිළිතුරේ කියවුණු අයියා යනු මා බව පැහැදිලි ය. නමුත් මේ නංගී කවරෙකු ද? ඒ නිවසේ සිටින්නේ මේ යුවළ සහ පිරිමි දරුවා පමණි.

තම බිරිඳට නංගී යැයි සැමියෙකු අමතනු මා මුලින්ම ඇසුවේ එදා ය!

මා අත්දැකීම් අඩු අයෙකු ලෙස මෙය කියවන ඔබට සිතේ නම්, ඒ සිතුවිල්ල තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා, මෙය ද පවසමි.

බිරිඳක් තම සැමියා, අයියා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වනු මා මුලින් ම ඇසුවේ පසුගිය දෙසැම්බරයේ තරම් මෑත කාලයක දී පොතක එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එසේම, වෙන වෙනම මේ කතාව අසා තිබුණ ද, යුවලක් එකිනෙකාට අයියා සහ නංගී ලෙස අමතනු මා ඇසුවේ මේ වසරේ මාර්තු මස මුල සතියේ ය.

මේ විකාරරූපී ඇමතුමට හේතුව, විවිධ සමාජ ආයතනවලදී මුණ ගැසී අයියා නංගී ලෙස සහෝදරත්වයෙන් මිතුරු වුණු තරුණ පිරිස් විවාහ වීමෙන් පසුව ද, ඒ පුරුදු අත නොහැරීම ලෙස මා වටහා ගත්තෙමි.

නමුත් මෙහිදී ද, මා නිවැරදි නොවන බව මගේ මිතුරියක මට ඊයේ පහදා දුන්නී ය.

ඇය පැවසූ අන්දමට වයස තිස් ගනංවලදී හමු වී, විවාහ වුණු ඇය දන්නා යුවලක් ද, එකිනෙකා හඳුන්වා ගන්නේ අයියා සහ නංගී ලෙස ලු!

"සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව ඒ මොහොතේ මට පසක් විය.

-රසිකොලොජිස්ට්

(http://www.sarasaviya.lk/2015/09/10/?fn=sa1509109)

Friday, 4 December 2015

ලොකු ළමයෙකු ගේ පශ්චාත්තාපය - Feeling bad


අප කුඩා කාලයේ දෙවරක් ම ජීවත්වූයේ තාත්තා ගේ මහ ගෙදර ය. දෙවන වරට අප එහි පදිංචියට යන විට එහි සිටියේ වයසක ආච්චී සහ අපේ ලොකු නැන්දා පමණි. සීයා මිය ගියේ ඊට මාස කිහිපයකට පෙරය.

අපේ ලොකු නැන්දා විසින් හදා වඩා ගන්නා ලද බල්ලන් රංචුවක් ම ඒ නිවසේ සිටියෝ ය. මැදිවියේ පසුවූ අවිවාහක කාන්තාවක වූ ඇය මේ බලු පරපුරට තුන් වේලම බත් දුන්නා ය.

බල්ලන් රංචුව නිවසේ සිටියා ය කීවාට, උන් එකෙකුටවත් නිවස ඇතුළට ඒමට නම් අපි කිසි විටෙක ඉඩ නොදුන්නෙමු. දකින දකින වාරයක් පාසා උන් එළවා දැමීම අපේ දෛනික කාර්යය විය.

ඒ සඳහා අප කළේ බල්ලන්ට ගල්වලින් ගැසීමයි.

බල්ලන්ට ගැසීම පිණිසම එකතු කළ හුරුබුහුටි ප්‍රමාණයේ ගල් ගොඩක් නිවසේ බිහිදොර හතර අවට තබා තිබුණි.

බල්ලෙකු නිවස අසලට පැමිණ ඇති බව දුටු විගස අප මිදුලට බසිමු. අප දකින විටම බල්ලා දිව යයි. අපි ගලක් රැගෙන ඒ දුවන බල්ලාට එල්ල කර වේගයෙන් විදිමු.

බොහෝ විට මේ ඉලක්ක වැරදී යයි. ඉතා කලාතුරකින් බල්ලෙකුට පහර වැදේ.

එසේ පහර වැදී බල්ලා වේදනාවෙන් කෑ ගසන විට අපට අනිවාර්යෙන් ම ඇතිවන්නේ ඉමහත් සතුටකි.

අද උදයේ දුම්රියට නැගී උකුල මත පරිගණකය දිග හැරගත් පසු මගේ සිහියට නැගුණේ දශක හතරකට පමණ ඉහත දී අප කළ ඒ බලු වැඩේ ය.

ඒ හැසිරීම ගැන අද මා සිතේ ඇතිවෙන්නේ ඉමහත් කණගාටුවකි. කුඩාවුන් වුවත් අප ගැනම මට දැනෙන්නේ මහා දරුණු අපුලකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමාවක අඩවියේ කළාමැදිරියා ලියූ මේ කවිය කියවන්න.
http://bitternight.blogspot.com/2015/12/blog-post_4.html

(image: https://triangulations.wordpress.com/2010/12/25/buddhist-dog-brain/)

Thursday, 24 September 2015

ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya


වෘත්තියෙන් ඉංජිනේරුවෙකු සහ හිටපු නැවියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය, මීට පෙර "ඝාතනයට පෙර" නමින් නවකතාවක් ද, "තිරිසන් රාත්‍රිය", "සරණාගත කඳවුරේ යුවතියක ගේ මල්වර මගුල", "නගරාන්තර ප්‍රේමය" සහ "නෙත්මා දකිනු පිණිසය" යන කෙටිකතා සංග්‍රහ ද, සිනමා විචාර සහ සමාජ විචාර පොත් කිහිපයක් ද ලියා පළ කර ඇති පළපුරුදු ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කර ඇති (මේ මගේ සඳයි), කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කර ඇති, සිනමාවේදියෙකු ද වේ.

ඒ සියල්ලටම වඩා වැදගත් කාරණය නම් හෙන්රි වර්ණකුලසූරිය අපේ සහෘද බ්ලොග්කරුවෙකු වීමයි.

විල්ලරවාඩිය නවකතාව ගැන ලියන්නට අරඹන විටම මගේ මතකයට ආවේ මා කියවා ඇති වෙනත් සුවිශේෂී නවකථා කිහිපයකි.

එයින් මුල් නවකථා ත්‍රිත්වය වන්නේ දකුණේ පැරණි සිංහල ගැමි සමාජය, නාගරික දේශීය ධනපති සමාජය දක්වා වර්ධනය වීමේ කතන්දරය හුදී ජන පහන් සංවේගය සඳහා සටහන් කිරීම පිණිස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යි.

දෙවෙනුව මා සිහියට නැගුණේ ලංකාවේ සිංහල බහුතර මැද පන්තියේ කතන්දරය ලේඛන ගත කරමියි සිතා, ගුණදාස අමරසේකර විසින් ලියා ඇති "අ.පො.ස. වර්ගයේ" ගමනක මුල, මැද, අග වාර්තා පොත් පෙළයි.

අප කියවා ඇති අති බහුතරක් නවකථා පොත් ලියවී ඇත්තේ එකී සිංහල ගැමි පසුබිමකින් යුතු සමාජයෙන් උපන් වස්තු බීජ මුල් කරගෙන බව නොරහසකි. වරදත්ත වැනි ඓතිහාසික පසුබිමකින් යුතු ග්‍රන්ථ දෙක තුනක් හැරුණු විට, ජී.බී. සේනානායක විසින් ලියන ලද සියලුම නවකථා ද මේ සමාජ ස්තරය මත පදනම්ව ගෙතුණු ඒවා ය.

ඒ සම්මත සමාජ කඩතුරාවෙන් ඔබ්බට ගිය ගිය මා කියවූ මුල්ම නවකතාව වූයේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට කෘතියයි. එහි සමාජ පසුබිම, සිදුවීම් සහ චරිත මට ඉතා ආගන්තුක වූ අතර එනිසා ම, මා පාලම යට කියවා ලැබුයේ අපමණ වින්දනයකි.

ඒ වින්දනය තවත් තීව්‍ර ආකාරකින් මා ලද්දේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවීමෙනි. ඒ කතාව පසුබිම් වී තිබුණු පරිසරය, සමාජ කණ්ඩායම, එහි ආ චරිත, ඔවුන් ගේ චර්යාවන් යනාදී සියලු දේම මට ආගන්තුක විය. මංජුල වෙඩිවර්ධන ගේ කාව්‍යමය භාෂා හැසිරවීම තුළින් මැවෙන චමත්කාරය ද මුසු කරගෙන මා බත්තලංගුණ්ඩුව රස වින්දේ තලු මරමිනි.

ගමයි, පන්සලයි, කුඹුරයි, හන්දියේ කඩයයි ගැන ලියවුණු නොස්ටැල්ජික් හැඟීම් දනවන නවකථා කියවා හුරු පුරුදු මගේ සිතේ බත්තලංගුණ්ඩුව නවකතාවට ඇති වුණු කැමැත්ත විස්තර කළ හැක්කේ, අපට වෙනස් වූ පරිසරය, සමාජය, චරිත පසුබිම් කරගෙන ලියවුණු රුසියානු, ඉංගිරිසි ඇතුළු විදේශීය නවකථා කියවීමට අදටත් සිංහල පාඨකයින් තුළ ඇති නොනිමි ආශාව හා සසඳමින් පමණි.

බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. ඒ වින්දනය ආගන්තුක චමත්කාරය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

විල්ලරවාඩිය නවකථාවේ කියවෙන්නේ ලංකාවේ වයඹ දිසාවේ ගමක වාසය කරන ප්‍රධාන වශයෙන් කතෝලික ආගමිකයින් පිරිසක ගේ එදිනෙදා ජීවිතය හැලහැප්පීම් සහිතව ගෙවී යන ආකාරයයි.

ඒ විස්තර මගින් මා වැන්නන්ට ආගන්තුක චමත්කාරය ලබා දෙනවාට අමතරව හෙන්රි වර්ණකුලසූරිය තම විල්ලර වාඩිය කෘතිය හරහා ලංකාවේ සමාජ දේශපාලන වාතාවරණය 1947 සිට 1967 දක්වා වෙනස් වූ හැටි පිළිබඳ ඔහුගේ කියවීම අපට විස්තර කරයි. එය මේ නවකතාවේ ඉතා වැදගත් අංගයක් වන්නේ, නැවතත්, ඒ විපර්යාසයන්ට මුහුණ දෙන ජන කොටසේ ඇති සුවිශේෂීත්වය නිසා ය.

අනියම් සබඳකම්, තහනම් ආදර කතා ඇතුළු විල්ලරවාඩියේ එන ශෘංගාරාත්මක සිදුවීම් ද, විශේෂයෙන් ම ඒවා විස්තර කර තිබෙන සරල ආකාරය ද මා සිත ගත්තේ ය.

නවකතාවක් ලෙසට විල්ලරවාඩියේ ඇති එක දුර්වලකමක් ලෙස විචාරකයින් විසින් පෙන්වා දී තිබුණේ එහි චරිත රාශියක් විස්තරාත්මකව දක්වා ඇතිමුත්, ඒ චරිත සෑහෙන සංඛ්‍යාවකින් කථාවේ ගලායාමට හෝ කථාවේ මූලික කොටස්වලට එතරම් බලපෑමක් නොමැති වීමයි. ඊට අමතරව, මේ චරිත සියල්ලේම ආගන්තුක වූ නම් කතාව කියවන අතර මතකයේ රඳවා ගැනීම ද අසීරු බව කියවිණි.

මේ චරිතවල නම් පිළිබඳ ප්‍රශ්නය නම් රුසියානු නවකථා කියවද්දී මට ද ඇති වන්නකි. එහිදී තත්වය වඩාත් දරුණු වෙන්නේ මුල් නම සහ මුලු නමට අමතරව, සුරතල් නම්වලිනුත් රුසියානු චරිත විවිධ තැන්වල දී හැඳින්වෙන නිසා ය.

චරිත වැඩිවීමද ප්‍රශ්නයක් මුත්, දැනටමත් හෙන්රි වර්ණකුලසූරිය විල්ලරවාඩියෙන් ඇරඹුවේ ඈදුතු නවකථා කිහිපයක් බවට සාධක පහළ වී ඇති නිසා, විල්ලරවාඩියේ එන සුලු චරිත පසු නවකථාවල දී ප්‍රධාන භූමිකා ගනු ඇතැයි සිතමි.

මා මේ ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ගමනක නවකථා මාලාවේ දී එහි කතෘ ගුණදාස අමරසේකර, ලංකාවේ මධ්‍යම පන්තියේ ඉතිහාසය අපට කියන්නේ ලංකා ඉතිහාසයට තම ප්‍රලාප හිතුමතේට ඔබ්බවා විකෘති කරමිනි. ඒ කතා මාලාවේ ඇතැම් නවකථා හුදෙක් වාර්තා පමණක් ම වේ.

විල්ලරවාඩිය නවකථාවෙන් ආවරණයවන කාල වකවානුව තුළ ලංකා දේශපාලනයේ සිදුවෙන දේ විස්තර කිරීමේ දී, හෙන්රි වර්ණකුලසූරිය, මට වැටහුණු පරිදි නම්, ගුණදාස අමරසේකර කර ඇති ආකාරයේ විකෘති කිරීම් සිදුකර නොමැති බව කිව යුතුය.

අප දන්නා ඉතිහාසය තුළ දිවයන විල්ලරවාඩියේ දෙවන කොටස වන දඬ කඳවුර අන්තර්ගතයේ ද ඒ සීලය රැකීමට හෙන්රි වර්ණකුලසූරියට හැකි වී තිබෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියකි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia

Sunday, 6 September 2015

දශක දෙකක් රැකි "සම්මා වාචා" සිල් පදය බිඳුණු හැටි - Politically correct speech


එක් ඇසක ආබාධයක් තිබුණු මිනිසෙකු මා කුඩා කල අපේ ගමේ ජීවත් විය. ඔහු තරමක විනෝදකාමියෙකු ද වෙන්නට ඇත. මක් නිසා ද යත්, ඔහුට ලැබී තිබුණු අන්වර්ථ නාමය වූයේ "චෝක් කණා" යන්න වීමයි. ඒ නම මිස, මා ඔහු ගේ සැබෑ නම තවමත් නො දනිමි. චෝක් යන්න කෙසේ වෙතත්, දෘෂ්‍යාබාධිත ඔහුට කණා යනුවෙන් නම් පටබැඳීම නො කටයුත්තක් බව මට එකල වැටහුණේ නැත.

අපේ නිවස අසල සිටි තවත් පුද්ගලයෙකුව හැඳින්වුණේ "බකලයා" යනුවෙනි. ඒ නම මිස, මා ඔහු ගේ ද සැබෑ නම තවමත් නො දනිමි. පෝලියෝ හෝ එවැනි රෝගයක් නිසා හෝ, හදිසි අනතුරක් නිසා හෝ වෙනත් සංජානීය කරුණක් නිසා හෝ පාදයක ආබාධයක් ඇතුව ජීවත් වූ ඔහුට බකලයා යනුවෙන් නම් පටබැඳීම නො කටයුත්තක් බව මට එකල වැටහුණේ නැත.

අපේ ගමේ ම නොවුණත් ඒ අසල ගමක විසූ එක් මැදිවිය ද පසු වෙමින් සිටි ගැහැනියක කාලයක් තිස්සේ බස් රථයේ ගමන් බිමන් යනු මා දැක තිබුණි. එකල මා උසස් පෙළ සිසුවෙකි. මා සිතුවේ ඇය කොහේ හෝ ස්ථානයක සුළු රැකියාවක් කරන්නියක බවයි. ඇය කතාවට දක්‍ෂ බවද පෙනුණි. මද කලකට පසු ඇගේ කතාව වැඩිවී එය යම් උමතුවක් බවට පෙරලුණි. ඒ සමගම කොල්ලෝ කුරුට්ටෝ ඇය උසුළු විසුළුවට භාජනය කරන්නට පටන් ගත්තෝය. ඇය ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින්නට පටන් ගත්තාය. මේ ගැන තරමක කණගාටුවක් දැනුනත්, ඒ උසුළු විසුළු කරන අය ඉන් වළකන්නට හෝ ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට මට නොසිතුණි.

දැන් ඉතාමත් අවංක කතාවක් කීමට ඇත.

මීට වසර විස්සකට පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මා උගත් එක් වැදගත් දෙයක් වූයේ පුද්ගලයෙකු ගේ ශරීරාංග වැනි දේ ගැන ඉස්මතුවෙන ආකාරයෙන් හැඳින්වීම නොකටයුතු දෙයක් ලෙසයි. මෙය සාමාන්‍යයෙන් (සරදමට මෙන්) හැඳින්වෙනුයේ පොලිටිකලි කරෙක්ට් ස්පීච් කියා වුවද, මම එය සම්මා වාචා යනුවෙන් හඳුන්වා දෙන්නට කැමැත්තෙමි.

මේ සම්මා චාවාවේ වැදගත්කම පිළිගෙන ඔබ එය පුරුදු කර ගත් පසු, ඒ ගැන අදහසක් නැති වෙනත් අය ගේ ඇතැම් වදන් භාවිතය ගැන ඔබට ඇතිවෙන්නේ දුකකි, කණගාටුවකි, එ මෙන්ම කෝපයකි.

උදාහරණයක් මෙසේය.

"මචං, අර ඔයා එවපු ගෝලයින් දෙන්නාගෙන් සුජිත් ට මං ජොබ් එකක් දුන්නා!" මගේ හිතවතෙකු දිනක් මා ලංකාවට ගිය විට පැවසී ය.

ඒ වන විට ඔය ගෝලයින් දෙන්නා හිතවතා ළඟට යවා වසර දෙකකටත් වඩා ගෙවී ඇති නිසා සුජිත් යනු කවුදැයි මට සිහිපත් නොවීය.

මගේ හිතවතා කීවේ, "මචං සුජිත් කියන්නේ අර ඇහැක වපරයක් තියෙන කළු, කොට හාදයාටයි" කියායි.

මිතුරාට එය සාමාන්‍ය හැඳින්වීමක් වුවත්, වසර දෙකක් සම්මා වාචාව පුරුදු කරමින් සිටි මට ඔහු ගේ කථාවෙන් ඇතිවුණේ අපහසුවකි, දැනුණේ මහා අපුලකි.

පුරුද්දට වඩා ජන්මේ ලොකුය.

බලු වලිගය උණ පුරුකේ දැමුවත් ඇද නො හැරේ.

මා වසර විස්සක් තිස්සේ පුරුදු පුහුණු කර ආඩම්බරයෙන් රැකගත් සම්මා වාචා සීලය ඊයේ බිඳුණි.

එය වුයේ මෙසේය.

ලංකා පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙකු කළ කථාවක් මට අසන්නට ලැබුණි. කථාවේ මා ඇසුවේ විනාඩි කිහිපයකි. පසුව, ඔහු ඒ කතාව ගැන මාධ්‍යවේදියෙකු හා කළ විස්තර කිරීමක් තවත් විනාඩි කිහිපයක් ඇසුවෙමි.
ඒ මා ජීවිතයේ ඇසූ මෝඩ ම මෝඩ කතාවයි.

මේ පුද්ගලයා ගැන මා මුලින්ම ඇසුවේ ද මීට මාසයකට පමණ පෙරයි. ඔහු හැඳින්වුණේ උගතෙකු වශයෙනි. එවන් උගතෙකු කළ ඒ මෝඩ විස්තර කිරීම ඔක්කාරය ගෙන දෙන්නක් විය.

එයින් මගේ දශක දෙකක සම්මා වාචා සීලය බිඳුණි.

"මේ මනුස්සයා ගේ මූණ මෝඩ පාට එක විතරයි තියෙන ප්‍රශ්නේ කියායි මා මෙතෙක් කල් සිතා සිටියේ!" යැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධ ස්ථානයක මා අතින් නොදැනුවත්ව ම වාගේ ලියවිණි.

ඒ මොහොතේ සිට ඒ ගැන පැය විසි හතරක් පුරා සිතුවෙමි.

අවසානයේ මේ සටහන ලියා සිත සැහැල්ලු කර ගැනීමට සිත් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියක් නොවේ.

මෙන්න මේ දක්වා 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපි-
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books

(image: http://nation.foxnews.com/postal-service/2012/08/23/d-oh-us-postal-service-wasted-12-million-simpsons-stamps)

Saturday, 22 August 2015

රුසියානු කතන්දර කිහිපයක් - From Russia with love


ඊයේ සවස සිංහල බ්ලොගයක පළවී තිබුණු ලිපියක් කියවීමෙන් පසු එහි අන්තර්ගතය හා සම්බන්ධ කතා රාශියක් මගේ සිතට එක පිට එක නොනැවතී ගලා එන්නට පටන් ගත්තේ ය. අද පළ කිරීමට සිතා සිටි ලිපිය මදකට අමතක කර ඒ කතාවලින් කිහිපයක් හෝ සටහන් කරන්නට මා සිතා ගත්තේ ඒ නිසා ය.

මා ඉහත සඳහන් කළ ලිපිය පළ වී තිබුණේ අජිත් ධර්මා ලියන කොළඹ ගමයා බ්ලොගයේ ය. එහි අන්තර්ගතය වූයේ ලේඛකයා රුසියාවේ දී ලද අත්දැකීම් කිහිපයකි.

රුසියාව ගැන මගේ මුල් මතකය "සෝවියට් දේශය" සඟරාවයි. එය මා දැක්කේ අපේ නිවසට අල්ලපු වත්තේ පිහිටා තිබූ රංජිත් තිලකසිරිලා ගේ නිවසෙනි. "කසකස්ථාන්", "උස්බෙකිස්ථාන්", "ටජිකිස්ථාන්" වැනි වචන මා මුලින්ම දුටුවේ ඒ සඟරාවලින් නමුත් ඒවායේ මට තිබුණේ ඉතා හුරු බවකි. ඒ අපේ මහගෙදරට බාප්පා විසින් දමා තිබුණු නම "නිවාසස්ථාන්: වූ නිසා ය.

රුසියාව ගැන මගේ ඊළඟ මතකය නම්, අප කුඩා කාලයේ සහභාගී වූ මළ ගෙදරකි. ඒ මිය ගොස් සිටියේ අපේ පාසලේ ඉගෙනුම ලබා පසුව රුසියාවේ උපාධියක් හැදෑරීමට ගිය ගරුසිංහ නම් සිසුවෙකි. ඔහු මුහුදේ පිහිනීමට ගොස් මිය ගිය බව කියවිණි. හරියට, ටීබී ඉලංරත්න ගේ "තිලක" නවකතාවේ මිය යන විදෙස් සිසුවා සේ ය.

රුසියාවේ නිවෙස්වල බිත්තිවලට කන් තිබෙන බවත්, රජයට විරුද්ධව කතා කළ නොහැකි බවත් ඒ දිනවල කවුදෝ පවසනු මා අසා ඇත.

රුසියාව යන නම සමගම ඒ දිනවල සිහිවුණු අනිත් නම නම් "ඔරුවල බන්දු" යන්නයි. ඔහු ලියූ පොත් කිහිපයක් ම මම කුඩා කල දී ම කියවා ඇත්තෙමි. "බීරීයෝසා" සහ "පස් අවුරුද්ද" ඒ පොත් යැයි සිතමි.

ඒ පොත් කියවීමෙන් ලැබූ වින්දනය පසුව, ඔහු ම ලියූ "සෝවියට් සිර මැදිරියේ සිට" පොත බැලීමෙන් පසු මැකී ගියේ ය.

ඒ දිනවල අප රුසියාව ගැන දැන ගත්තේ ලංකාවේ සිසුන්ට උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දෙන රටක් ලෙසිනි. මා සමග උසස් පෙළ හැදෑරූ සගයින් අඩු වශයෙන් දෙදෙනෙකු උපාධිය හැදෑරීමට රුසියාවට ගියහ. කුමුදු ඉන් එක් අයෙකි, අනෙකා සෙල්වකුමාර් ය.

උසස් පෙළින් පසු මා විශ්ව විද්‍යාලයට යෑමට පෙර කාලයේ නිවාඩුවකට මා අම්මලාගේ ගමේ ගොස් සිටි දිනයක "දිනමිණ" පුවත් පතේ පළ වී තිබූ පුවතක් මට අද මෙන් මතකයේ ඇත. ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ඉගෙනුමට යයි වශයෙන් උදෘත පාඨයකින් සැරසී, ඡායාරූපයක් ද සමගින් එහි පළ වී තිබුණේ මගේ සීයා ගේ හොඳම හිතවතෙකු ගේ මිනිපිරියක් ගැන පුවතකි.

තම මිතුරා ගේ මිනිපිරිය ගේ ඒ පත්තරේ පවා පළ වූ දස්කම දැක, සීයාට තම මුණුපුරා ගැන තරමක හෝ දුකක් හිතුණා යැයි මට එදා සිතුණි. නමුත්, මා සීයාට ඒ පිළිබඳව පැහැදිලි කිරීමට ගියේ නැත.

කොහොමටත් ඒ දිනවල නිවසේ පැවති දානමය පින්කමක දී මා පන්සිල් නොගෙන සිටීම ගැන සීයා සිටියේ මා සමග අමනාපයෙනි!

උසස් පෙළ හමාර කර නිවසේ ගත කළ ඒ කාලයේ "චෙකොෆ්" ගේ කෙටි කතා කියවා ඒ ගැන මගේ සෑහෙන්න ප්‍රසාදයක් ඇති වී තිබුණ ද, නවකතා ගැන නම් මගේ තරමක අකමැත්තක් ද තිබුණි. එයට හේතුව නම් ඒවායේ දීර්ඝකමයි. ඒ මදිවාට චරිතවල නම් මතක තියා ගැනීම ද අසීරු කාරණයක් විය. එක පුද්ගලයෙකුට නම් තුනක් ඇත් අතර, ඉන් එකක් හෝ දෙකක් හෝ නැතිනම් කලින් නොදන්නා සිව්වෙනි නමක් හෝ විටින් විට භාවිතා වීම මට හිසරදයක් ම විය.

උදාහරණයක් ලෙස, "ව්ලැඩිමියර් ඉල්යිච් උලිනොව්" නමැති පුද්ගලයෙකු නවකතාවක චරිතයක් ලෙස සිටියේ නම්, ඔහුව ඉහත නම් තුනේ විවිධ සංයෝජනවලින් ඕනෑම එකකින් නවකතාව පුරා අහඹු ලෙස හැඳින්වෙන අතර හිටිහැටියේ "ලෙනින්" හෝ "වාල්යා" හෝ "මීෂා" හෝ එවැනි නමකින් ද හැඳින්වීමට ඉඩ ඇත!

කුමුදු සහ සෙල්වකුමාර් කෙසේ වෙතත්, පසු කලෙක මට රුසියාවේ උපාධිය හැදෑරූ දෙදෙනකු සමග එක ආයතනයේ සේවය කරන්නට ලැබුණි.

රුසියාවේ කෑම කල් තබා ගන්නට ශීතකරණ අනවශ්‍ය බවත්, කළ යුත්තේ ජනේලය ඇර එළියේ තැබීම පමණක් බවත් ඔවුන් අපට කියා දුන්හ!

මේ දෙදෙනා එකිනෙකා හා කරන කතාබහවලින් මගේ හිත ගත් එක දෙබසක් වූයේ පරිසරයේ උෂ්ණත්වය ගැන ඔවුන් කතා කරන විදියයි.

උදේටත්, දවල්ටත්, රාත්‍රියටත් තුන්වේලට ම උෂ්ණත්වය එක හා සමානව තිබෙන ලංකාවේ අප ඒ දිනවල එහි අගය ගැන තැකීමක් කළේ නැත. නමුත් අපේ මිතුරන් දෙදෙනා බොහෝ විට "අද නම් ටෙම්පරෙචර් එක ප්ලස් තර්ටි විතර ඇති නේද?", "නෑ, මං හිතන්නේ ප්ලස් තර්ටි ෆයිව් විතර ඇති!" යනාදී දෙබස් හුවමාරු කර ගත්තේ හරියට උෂ්ණත්වය "මයිනස්" පැත්තට යනවා යැයි සිතමින් ද නොදනිමි.

මේ දෙදෙනාගේ තවත් මෙහි වැඩිදුර විස්තර කීමට අනවශ්‍ය වැඩ නිසා, අප පසුව ඔවුන් ගෙන් විමසූවේ, "මචං, උඹලාට ස්කොලර්ෂිප් දුන්නේ රුසියාවෙන් ද නැතිනම් සීඅයිඒ එකෙන් ද?" කියායි.

එයට හේතුව නම්, මුං දෙදෙනා ගේ (දෙදෙනා කෙසේ වෙතත් එකෙකු ගේ) වැඩ නිසා අපට බොහෝ විට සමස්ත රුසියාවම එපා වී යාමයි!

-රසිකොලොජිස්ට්

(image: https://commons.wikimedia.org/wiki/File:FlagMap_of_USSR.png)