Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Saturday, 7 June 2025

තිසර ශ්‍රීමාල්, ෆේස්බුක් සහ ෆොටෝෂොප් - My two cents worth on Thisara Srimal's poem


ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙවන් හිල්ස්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී 09 දෙසැම්බර් 2023 දින පැවැත්වුණු "මකරන්ද" පද්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ දී රසික සූරියආරච්චි කළ කතාවෙන් කොටසකි.

ආයුබෝවන් සහෘදයිනි

මා මේ සැරසෙන්නේ මකරන්ද කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියක් පිළිබඳව “රසවිඳුමක්” කරන්නයි.

“රසවිඳුම” කියන්නේ අපේ ලේඛක සංසදය විසින් මීට අවුරුදු අටකට පෙර ආරම්භ කළ වැඩසටහනට අප දුන් නමයි. ඒ රසවිඳුම වැඩසටහනේ දී අප කරන්නේ අපේ ලේඛකයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් පිළිබඳව විචාරාත්මක කතා බහක යෙදීමයි. වෙනත් වචන වලින් කියනවා නම්, ඒ සාහිත්‍ය නිර්මාණය අප එකිනෙකා රස විඳි ආකාරය පිළිබඳව අපේ අදහස් අන් අය සමඟ බෙදා ගැනීමටයි.

අපි කුඩා කාලයේ දී අකුරෙන් අකුර එකතුකර වචන ශබ්ද නගා කියන්නටත්, වචන එකතු කර වාක්‍ය කියවන්නටත්, වාක්‍ය පිරි පොත් කියවන්නටත් ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත්තත්, සාහිත්‍ය කෘතියක් කියවා රසවිඳීම කියන්නේ ඊට වඩා සංකීර්ණ කාරණයක්. අප කුඩා කාලයේදී බත් පිඟානකට බත් සහ මාළුපිනි බෙදා ඇති විට එයින් කොටස බැගින් අනා කෑ යුතු ආකාරය ඉගෙන ගත්තා සේම ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත යුතු, ඉගෙන ගෙන කළ යුතු කර්තව්‍යයක්.

සාහිත්‍ය නිර්මාණයක සැබෑ රසය විඳීමට නම් ඒ හා සම්බන්ධ පසුබිම් කාරණා පිළිබඳවත් අපට හොඳ අදහසක් තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම කියවීම සහ සතත අභ්‍යාසය ඒ සඳහා ඉවහල් වෙනවා. එනිසා එකම සාහිත්‍ය නිර්මාණය කියවා එකිනෙකා එයින් විඳගන්නා, ලබාගන්නා රසය වෙනස් විය හැකියි.

මකරන්ද පද්‍ය සංග්‍රහයට සම්මාදම් වී ඇති කවියන්, කිවිඳියන් දාහතර දෙනා අතුරෙන් සිඩ්නි තදාසන්නයේ වාසය කරන සුභාෂිනි ජයතිලක, ඊවා පී වික්‍රමගේ කිවිඳියන් සහ චම්ප බුද්ධිපාල කවියා මේ අවස්ථාවට සහභාගී වෙනවා. එනිසා, මා තෝරා ගන්නවා, බ්‍රිස්බේන් නගර තදාසන්නයේ වාසය කරන තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියා විසින් රචනා කොට ඇති "ෆොටෝෂොප්" නම් කවිය.

ෆොටෝෂොප්

මුහුණු පොත පිටුවක
රුවකි මග නොහැරෙන
මල්යාය මැද හිඳ
නුඹ තනිව සිනාසෙන

නුඹ ළඟින් වම් පසින්
උරහිසට අත තියන්
සිටි බවට මා එතැන
සලකුණක්වත් නොමැත

මගේ අත නුඹේ උර
තැබූ තැන නුඹෙ ගවුම
නැගුණු රැළි පවා අද
මැකී ගොස් ඇති අරුම

මේ කවිය කියවූ විගසම මගේ සිත නොදැනුවත්වම ඇදී ගියේ අපේ ගැටවර කාලයටයි. ඒ කියන්නේ අවුරුදු දාසයයි මාසය කාලෙට. ඇඟ ඇතුලේ හෝමෝන් වැටිලා ඇඟපත ලොකු වෙලා එන කාලෙට.

අද මේ සභාවේ ඉන්න සහෘද කවියන් කිවිදියන්ගේ අත්දැකීම් කොහොමදැයි මා හරියට දන්නේ නෑ. නමුත් ඔන්න ඔය කියන කාලෙ තමයි මගේ නම් කවි සිත අවදිවෙලා ඉබේම කවි ලියවෙන්න පටන් ගත්තෙ. ඒ කොළඹ ඉස්කෝලෙකට යන කාලේ දුම්‍-රියේ දී ඇස ගැටුණු සම වයසේ යුවතියන් ගැනයි.

කොටින්ම මගේ ඒ කවි ලියවිල්ල නතර වූයේ ඇක්සයිස් පොත් පහ හයක් පිරෙන්න කවි ලියලා. දැන්නම් ගෙදර තියෙන්නේ ඒ කවි පොත් ටික විතරයි.

තිසර ශ්‍රීමාල් කවියාගේ මේ කවියෙන් කියවෙන්නේ මගේ අත්දැකීම් ආකාරයේ සියයට පනහේ ආදරයක් ගැන නොවේ. ඊට ඉදිරියට ගිය ආදරයක් ගැනයි. එකිනෙකාට ළං වී, උරහිසට අත තියා තුරුළු කරගෙන ඡායාරූපවලට පෙනී සිටි ආදරයක් ගැනයි.

ඒක සීයට පනහට වඩා ඔබ්බට ගිය ආදරයක් වුණත්, කවියා අපට පවසන්නේ එය අවසාන වී ඇත්තේ විරහවෙන් බවයි. විරහ කියන්නේ ප්‍රේමය නිසා ඇතිවන ශෝකය යි. ප්‍රේමතෝ ජායතී සෝකෝ කියා කියනවානේ.

විරහා දුක විඳින පරාජිතයා ළඟ ඉතුරු වෙන දේ තමයි අපේ කාලේ දී නම් පෙම්හසුන්. ඒ නැති වුණත් ප්‍රේමය පිළිබඳ සිතේ ඇති මතකය. නව සහස්‍රකයේ පෙම්වතුන් නම්, ඔවුන් හිටපු පෙම්වතුන් වූ පසු පෙම්හසුන් නොමැති වුවත් බොහෝ විට ප්‍රේමාන්විතව ගත කළ කාලයේ ඩිජිටල් සටහන් සහ විශේෂයෙන්ම ඩිජිටල් ඡායාරූප ඉතිරි වෙනවා සිකුරුයි.

නමුත් ඩිජිටල් ඡායාරූප මෙලොවට බිහිවුණා සේ ම, එම ඡායාරූප වෙනත් අයගේ ඇස ගැටීමට පළ කළ හැකි ෆේස්බුක් වැනි සමාජ ජාලා බිහිවුණා සේ ම, ඒ ඡායාරූප සිතෙන පරිදි වෙනස් කළ හැකි photoshop වැනි මෘදුකාංග ද මෙලොවේ බිහි වී තිබෙනවා.

ඉතින් පෙම්වතියකට හැකියි, තමන් එකල තම පෙම්වතා සමඟ මල් වත්තක් මැද පෙමෙන් වෙළෙමින්, එකට තුරුළු වී හිඳි මොහොතක ලබාගත් ඡායාරූපයකින් පෙම්වතා සහමුලින් ම ඉවත්කර පමණක් නොව, ඔහු තමාගේ උරහිස්සේ අත තබාගෙන සිටීම නිසා ගවුමේ ඇතිවුණු රැලි පවා ඒ ඡායාරූපයෙන් ඉවත් කිරීමට.

අවසානයේ මේ පෙම්වතාටත් ඉතිරිව ඇත්තේ සිතේ ඇති මතකය පමණයි. ඩිජිටල් මතක වෙනස් වී ගොසින්. සබ්බේ සංඛාරා අනිච්චා.

අපි මේ හිටපු පෙම්වතියගේ දෘෂ්ටිකෝණයෙන් මේ කවිය දෙස බැලුවොත් හිටපු පෙම්වතාගේ සලකුණක් හෝ නොමැති වෙන්නට තමන් වෙතින් ඉවත් කිරීමට ඇයට අවශ්‍ය වූයේ දැන් ඇය තනිකඩ බවක් වෙනත් අයට දැන්වීමට විය යුතුයි.

ඔහු අත තැබූ තැන ගවුමේ සෑදුණු රැළි පවා ඉවත් කිරීමෙන් ඇය පවසන්නේ ඇයගේ කිසි අඩුවක් නැති බවයි. එසේම ඒ බව ඇය පවසන්නේ ලෝකයාට පමණක් නොවේ පරාජිත පෙම්වතාටත්, ඔහුගේ හදවතේ කොනටම, දැනෙන්නයි. එසේම, මේ ගවුමේ රැළි නැති කිරීම මගින් ඇය කර ඇත්තේ ඇගේ නැතිවුණු කුමරි බඹසර ඩිජිටිල් තාක්ෂණයෙන් සකසා ගැනීම යැයි යමෙකුට තර්ක කළ හැකියි.

ඒ සමගම පැවසිය යුතු අනෙක් කරුණවන්නේ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව, මෙය, මේ ආකාරයට ම, තම පෙම්වතිය හැර යන පෙම්වතෙකුට වුව ද කළ හැකි බවයි. එනිසා, මේ නිර්මාණය එක් කෝණයකින් ලියා තිබුණත්, එය කාන්තා විරෝධී, පුරුෂෝත්තමවාදී එකක් නොවන බව මගේ අදහසයි.

තිසර ශ්‍රීමාල් තම කවියේ මාතෘකාව ලෙස යොදා ගෙන ඇති "ෆොටෝෂොප්" නම් යෙදුමෙන් තමයි මේ කවිය සම්පූර්ණ වන්නේ. එමගින් අපට වැටහෙන කාරණය තමයි, කවියක මාතෘකාව යන්න කෙතරම් සූක්ෂම ආකාරයට කවියේ රසය උද්දීපනය කිරීමට භාවිතා කළ හැකි ද යන බව.

මට මතකයි මා තරුණ වියේ දී ලියූ එක කවියක තිබුණේ මාතෘකාව පමණයි. කවිය ලියා තිබුණු කොළයේ ඉතුරු ඉඩ කඩ සියල්ලම හිස් අවකාශයක්. මගේ ඒ කවියේ මාතෘකාව වූයේ “ජීවිතය” යන්නයි.

තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියාගේ මේ නිර්මාණයෙහි මා දකින්නේ එකම එක අඩුවක් පමණයි. එනම් මෙහි Facebook යන්න වෙනුවට “මුහුණු පොත” නම් යෙදුම භාවිතා කර තිබීමයි.

මා මේ ළඟ දී "ෆේස්බුක්" අවකාශයේම ලියා පළ කළ පරිදි, "ෆේස්බුක්" යනු තනි වචනයක්, එය වෙළඳ නාමයක්. එනිසා එය දෙකට කඩා, සිංහලට පෙරළා, මුහුණු පොත යැයි ලිවීම වැරැද්දක්. අපේ කවියා "ෆොටෝෂොප්" යන්න මෙලෙසම දෙකට කඩා, සිංහලට පෙරළා “ඡායාරූප සාප්පුව” යැයි මාතෘකාව ලෙස යොදාගෙන නැත්තේ ඒ නිසයි.

දැන් ඉතින් මේ වන විට, පාරේ යන එන අතරතුර ඇස ගැටෙන තරුණියන් පිළිබඳව කවි සිතුවිලි ඇතිවීම, ඇක්සයිස් පොත් පුරා පෙම් කවි ලිවීම අපෙන් දුරස් වී ගොසින්.

ඊයේ ෆේස්බුක් සමාජ ජාලයේ තමන්ගේ තරුණ කාලේ පින්තූරයක් පළ කරමින් අප අතර සිටින කවියෙකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු කියා තිබුණා ඒ කාලයේ තරුණියන් ඔහු දුටුවිට “ඔබයි රම්‍ය සඳකිරණ ගණ අන්ධකාරේ” යැයි පැවසූ බව සහ ඒ නමුත් එසේ කියූ කාන්තාවන් දැන් ඔහු දුටු විට අහක බලාගන්නා බව.

ඒ සටහන බලා මට හිතාගන්නට බැරි වුණු කාරණය නම් එදා මේඝ වලාකුළක් බඳු රැළි කොණ්ඩයක් තිබූ ලක්ෂ්මන්ට සඳ කිරණ කියා ඇමතූ තරුණියන්, ඇත්තටම ඔහුගේ සඳ පායා ඇති මේ කාලයේ ඒ සඳ කිරණ විඳින්නේ නැතුව අහක බලා ගත්තේ ඇයි ද යන්න.

ලක්ෂ්මන්ට මෙන්ම මටත් ඒ අතීත ශ්‍රී විභූතිය නැවත උදාකර ගත හැක්කේ ඉතිං "ෆොටෝෂොප්" මගින් පමණයි.

අපේ සිනුවර කිවිඳියන් දෙදෙනාට සහ කවියාට මගේ සුබපැතුම්.

සහෘද ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා!

- රසික සූරියආරච්ච්චි

(image: )

Tuesday, 21 May 2024

පරිවර්තනය /අනුවර්තනය සහ නැවත ලිවීම - Lost in translation


සාහිත්‍යමය සංවාදයකට සූදානම් වීම සඳහා උබයසිරි විජයනන්ද වික්‍රම ගේ පරිවර්තන කවි ඇතුළත් “ඉංග්‍රීසි පද්‍ය සිංහලෙන්” කෘතිය කියවමින් සිටිය දී පැරණි මතකයක් සිහියට නැගුනු අතර ඊ මේල අවුස්සා සොයාගත් විස්තර අනුව එය මෙලෙස පෙළගස්වමි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් ග්‍රාමවාසී කවියකු වන සුනිල් ගෝවින්නගේ පහත කවිය 2006 ඔක්තෝබර් මාසයේ දී රචනා කළේය.

Stopping by a cafe on King Street on a grey morning

White strangers walk swiftly in the narrow way
As the lightning flashes in the sky

Like a weeping widow
The sky Graves and drapes black

I have to rush to work
To make a living by killing my soul

I need to warm my heart
To revive my dying body

I find a cafe selling Ceylonese tea
To sustain my body

A crab in the pot
As the water begins to seethe

I float with the feeling of comfort
Consoling my feeble soul

එදිනම ඔහු ට ඉහත කවිය සිංහල භාෂාවෙන් ද මෙලෙස අකුරු කර ඇත.

වැඩ අරඹන්නට පෙර

මා නොහඳුනන සුදු මිනිසුන්
විදුලි සැරින් පටු මේ මඟ සැඟවී යයි

අහස් කුස ද කම්පා වී
කළු තිර පොරවා හිස මත
වැලපෙන්නී කනවැන්දියක විලස

විරුද්ධ දුවයි සැඟවෙන්නට
බියපත් වූ ළමයෙකු ලෙස

මරා දමන්නට හදවත
යා යුතු වෙයි වැඩපොළ වෙත

උණුසුම් කළ යුතුය මහද
පණ දෙන්නට මිය යන ගත

රිංගමි තේ කඩයක් වෙත
උණුසුම්කරනට තොල කට

ලබමි සැනසුමක් රඳවන
ලංකා තේ කෝප්පයක

මිය යන කකුළුවකු විලස
දිය සැලියක රැඳී සිටිමි

බියපත් වූ සිත සනසා
සොඳුරු ලොවක වෙසෙන මොහොත


සුනිල් ගෝවෙන්න ගේ ලියූ ඒ සිංහල පදවැල දුටු ලංකාවේ විසූ එඩ්වින් ආරියදාස විසින් එය මෙලෙස ඉංග්‍රීසි බාෂාවට පරිවර්තනය කර ඇත.

Before settling down

White men who know me not
Trotting along in a mighty haste
In lightning-flash steps and speed
Vanish down narrow alleys

The Sun too scurries for shelter
Like a frightened child,
Avoiding roads and path-ways

Shocked and shaken, the vaulted sky
Head wrapped in black shawls
Lemons and weeps, widow-vice

Disposed of all, am I
I must (warm) my heart
With the familiar remedy

I slink into a tea-kiosk
To reheat my lips and mouth
Sipping a drop of Lanka tea

A fleeting, transient relief comes.
Like what a helpless crab feels
In a pot of water, gradually heating up.


එඩ්වින් ආරියදාසගේ ඒ පරිවර්තනය ඩේලි නිවුස් පුවත් පතේ (30/10/2007) පළ වූවකි.

තමන් ලියූ සිංහල සහ ඉංග්‍රීසි කවි ද්වය ද, එඩ්වින් ආරියදාස ගේ පරිවර්තනය ද සුනිල් ගෝවින්නගේ ඒ දිනවලම මා වෙත එවීය.

මේ කවි කියවීමෙන් පසු මා කළේ සුනිල් ගේ මුල් සිංහල කවිය සිංහලට පෙරලීමට උත්සාහයක් දැරීමයි.

Before shift starts

Unknown white fellas
Vanish down the lane in a flash

Frighten like a child
The sun too, is in a hurry to hide

The sky resembles a weeping widow
Her shattered self hidden in a black veil

I must rush to work right now
To kill my ailing soul

Yet I must make my heart warm
To keep my body alive

I crawl into a cafe by the lane
Throw my lips and mouth

I find the relief I sought
In a cup of Ceylon tea

Like a crab in a boiling pot
I enjoy a moment in the cafe

A moment where I live in a wonderful dream
With no fear in my relieved heart


ඊළඟට මා උත්සාහ කළේ එඩ්වින් ආරියදාසගේ සහ සුනිල් ගෝවින්නගේ ගේ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරෙන් ඒ අදහසේ සිංහල අනුවාදයක් කිරීමටයි.

මෙන්න එහි ප්‍රතිඵලය.

වැඩ ඇරඹීමට පෙර

සුදු දනෝ අරුමැති
මේ පටු මගේ ඇවිදිති
විදුලි එළි මෙන් නිති
අඳුරු මඟ අග සැණින් සැඟවෙති

හිරු නොමැත බලවත්
මගහරී මං මාවත්
දරුවෙකු ලෙසින් බියපත්
සැඟවෙන්නට දරයි තැත්

විලස වැන්දඹු කත
කළු සේල ලා හිස මත
අහස් කුස කම්පිත
දුක්බරව අද කඳුළු වගුරත

ආත්මය මැරුමට
යා යුතුව ඇත සේවෙට
ගිලන් ගත රැකුමට
ඇවැසි වේ උණුසුමක් මා හට

ගොඩ වෙමි කඩපිලට
ලක් තේ රසය විඳුමට
මා මුවට දෙතොලට
ලැබෙන උණුසුම සුපුරුදුය මට

දිය කෙලින ජලයේ
රත්වෙන සෙමින් සැලියේ
කටක වින්දනයේ
මිහිරි සුවය ද මා ලබනුයේ?


මේ සටහන අවසාන කිරීමට මට එකතු කිරීමට ඇත්තේ මෙයයි.

කවි පරිවර්තනය කළ නොහැක. මෙය ඉංග්‍රීසි කවි සිංහලට පරිවර්තනයේ දී මෙන් ම, සිංහල කවි ඉංග්‍රීසියට පරිවර්තනයේ දී ද අදාලය. ඕනෑම භාෂාවක් සඳහා මෙය සත්‍යයැයි සිතමි. නමුත්, අනුවර්තනයක්, කවියේ අදහස ඇසුරෙන් ප්‍රතිරචනයක් හෙවත් නැවත ලිවීමක් නම් කළ හැක.

එසේ කිරීමේ දී සිංහල කවි සම්ප්‍රදාය අනුව සිව් පදයෙන් යුතුව, විරිතක් අනුගමනය කරමින්, එළිසමය ද සහිතව ලිවීම අනුවර්තනය හෝ ප්‍රතිරචනය හෝ අසීරු කරයි.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot Designer)

Saturday, 28 October 2023

තවත් එක් සැමරුමක් - Just one of those days


රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු නමයක් සම්පූර්ණ විය.

මේ බ්ලොගය මා ඇරඹුවේ මගේ උපන් දිනය දවසේ බව ද සිහිපත් වේ.

බ්ලොග් සංවත්සරය වෙනුවෙන් අලුතෙන් යමක් ලියන්නට සිතා සිටිය ද විවිධ හේතු නිසා ඊට ඉඩක් ලබා නොදෙමින් ම දවස ගෙවී ගියේය. එනිසා වසරකට පමණ පෙර ලියන ලද කවියක් මෙහි පළ කරමි.

කෙටි ඉඩ නිමවිය

කෙටි ඉඩක් ඇත දිනපොතේ
ලියන්නට කවියක්
කුමක් ලියමිද නොම සිතේ
මුළු සිත ම අවුලක්

වසන්තය අද හෙට එතේ
කියූවද කොවුළෙක්
දිගන්තයෙ පැතිරී ඇතේ
කළු වළා පොකුරක්

කුමක් ලියමි ද නොම සිතේ
මුළු සිතම අවුලක්
තිබූ කෙටි ඉඩ නිමවෙතේ
මෙහි නොමැත කවියක්


ජයවේවා!

- රසික සූරියආරච්චි

(ඡායාරූපය මගේ දිනපොතකිනි. මෙය ඇත්තටම එහි තිබූ කුඩා ඉඩක, සුලු වේලාවක් තුළ ලියූ කවියකි.)

Friday, 5 May 2023

ප්‍රීති නූඩ්ල්ස් - One of my favourite instant noodle dishes



අන්තිම කොටුව
අටවෙනි කොටුවනමවෙනි කොටුව
පස්වෙනි කොටුවහයවෙනි කොටුවහත්වෙනි කොටුව
පළමුවෙනි කොටුවදෙවෙනි කොටුවතුන්වෙනි කොටුවසිව්වෙනි කොටුව

පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය
මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය

දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම
පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම

තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ
තුන්වෙනි, සිව්වෙනි කොටුවල ඒ තතු විස්තර කෙරෙතේ

සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න
ඒ ගැන නොම දන්නා අය පස්වෙනි කොටුවෙන් බලන්න

වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා
හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා

හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි
අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි

නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද
හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද

විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න
නිවිල අවුල් වෙන්න කලින් උණු උණුවෙම රස විඳින්න

ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි
අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි!

- රසික සූරියආරච්චි

Thursday, 20 October 2022

ඥාණවතී ද පබාවතී ද? Beauty Vs Brains

දැන් අවුරුදු කීපෙකට කලින් අපේ යාළුවෙක් පොඩි විවාද සම්පන්න මාතෘකාවක් ගැන කවියක් ලියලා එව්වා.

පොර ලිව්වේ දැන් හැදෙන කෙල්ලෝ බුද්ධියට වඩා රූපය ගැන සැළකිළිමත් වෙනවාය, ඒකෙන් මුළු සමාජයම අගතියට යනවාය වගේ කතාවක්.

ඕක බලපු මටත් නිකං ඉන්න වෙලාවක (ඒ දවස්වල කතන්දර බ්ලොග් එක පටන් අරං තිබුනේ නෑනේ) හිතුණා පිළිතුරු කවියක් ලියන්න.

මෙන්න ඒ කවි පන්තිය. රනින් කමෙන්ට්‍රියක් එක්කම දෙන්නං කෝ!

මගේ තර්කය වුනේ රූපය නැත්තං බුද්ධියෙන් වැඩක් නැතිය කියන එකයි.

රූපෙ ද බුද්ධිය ද විමසන කලණ මිත
ඉවතට දමන් ඔය හණමිටි බමුණු මත
ලස්සන වත මිසක නොපතන් මුහුණු කැත
රූපය නොමැති තැන බුද්ධිය පලක් නැත

මේ ගැන දෙන්න තියෙන හොඳම උදාහරණය කුස ජාතකය.

පසේ බුදු කෙනෙකුට පූජා කරපු කැවුමක් උදුරගත්තු පවට මූණ කැත වෙලා ඉපදුනත් කුස ගේ හිත ගියේ හොඳට ඇහැට කණට පේන ගෑණු පරාණයකට නේ.

මහෝෂධ අමරාදේවි දැක්කාම කෙරුවා වගේ බුද්ධි පරීක්‍ෂණයක් කළ බවක් අපි අහලා නෑනේ.

දන් දුන් කැවුම උදුරා කෑ එම පවිනේ
කුස කුමරුගේ වත කැවුමක් ලෙස දිලුනේ
එද සඳවන් පබවත වෙත සිත බැඳුනේ
බුද්ධිය ඇති නිසා දෝ මට කියනු මැනේ

ඒ එක්කම කියවෙන කතාව තමයි කුසගේ මල්ලී ජයම්පතිව පෙන්නට පබා කෙල්ලව රැවැට්ටුව කියන එක.

සොයුරු ජයම්පති කඩවසමින් යුත්ත
පෙන්වා පබවතව රුවටූ බව ඇත්ත
බෝසත් කුස කුමරු පස් පව් දෙක දත්ත
ඇයි ඒ ලෙස කළේ මදකට සිත යුත්ත

දවල්ට ජයම්පතිව පෙන්නුවට රෑට වැඩේ අතේ කෝට් වෙන්න ඇතිනේ. වැඩේ දෙල් වුණාම පබා කෙල්ල කළේ ද්වේෂ සහගත ලෙස කුස කොල්ලව අතහැර යාමයි.

කුස නෙමේ වැඩේ අතහැරියේ. අවුරුදු හතක්ම පබා ගේ ගෙදර බැල මෙහෙවර කළා!

හැබැයි අන්තිමේදී කැවුම් මූණත් සක්‍රයා ගේ පවර් එකෙන් නැති කරගත්තා.

ආපසු ගිය කලේ පබවත ඔහු හැරදා
සත් වස් බැල මෙහෙය කළ බෝසත් සමිදා
සක් දෙව් බලෙන් අවසන සිය පව් පිසදා
රූපය වටින බව පෙන්නුව නොවෙද එදා

රූපසම්පන්න පබාව දිනාගන්න හත් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරපු කුස, පස්සේ සිදුහත් කාලේ බුදුවෙන්න දුෂ්කරක්‍රියා කලේ අවුරුදු හයක් විතරයි!

පසු කල සිදුහත් ව ඉපදී බුදු වෙන්න
උපරිම බුද්ධි මට්ටම ලැබ සැනසෙන්න
සය වසරක් පමණි වුනෙ දුක් විඳගන්න
බුද්ධිය දෙවෙනි වේ රූපෙට පිළිගන්න

රූපෙ ලබාගන්න එකද අමාරු? බුද්ධියද ලබා ගන්න එකද අමාරු?

මං කවි පන්තිය අවසාන කළේ මෙන්න මෙහෙමයි!

කුරුලෑ පිරුණු කළු කැත මූණක් කිසිදා
ලැබුනොත් බොමිය වදකහ මා හිරු නැතිදා
අදහන මුත් නොතිර බව දෙසු බුදු සමිඳා
ඥාණවතී කුමටද මට පබා හොඳා

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ තර්කයේ වරදක් තිබේ නම් කෝප නොවී කරුණු පහදා දෙන මෙන් ඉල්ලමි.

සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා!

(image: )

Thursday, 3 March 2022

සුදු වැලි මතුපිට - කවියෙකු ගැන කතාවක් :: Maithri Panagoda and his lyrics


මෛත්‍රී පනාගොඩ ලියූ "සුදුවැලි - ගී පදමාලා" කෘතිය වෙනුවෙන් ලියවෙන සටහනකි

අපේ නිවසට ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තුවේ මා ප්‍රාථමිකයෙන් ලොකු ඉස්කෝලෙට පිම්මක් පැන්න කාලයේ දී ය. අද මෙන් හැටහුට හමාරක් ගුවන් විදුලි නාලිකා එකල තිබුණේ නැත. සිංහල භාෂාවෙන් විකාශය වූයේ එකල අපට දැනුණු පරිදි නීරස ස්වදේශී සේවය සහ ගීත, නාට්‍ය ඇතුළු වෙනත් වැඩසටහන් වෙළඳ දැන්වීම් අතරේ අමුණා එවූ වෙළඳ සේවය පමණි.

ඒ සමගි පෙරමුණු රජය සමයයි. අවකළමනාකරණය නිසා අද මෙන්ම ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවධියකි. මේ තත්වය පාලනය කිරීමට රජය තමන්ට අයත් ගුවන්විදුලි සේවය හැකි උපරිමයෙන් භාවිතා කළේ ය. තමන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කිරීමට අමතරව මේ සඳහා වෙනත් වැඩසටහන් ද උපයෝගී කර ගන්නා ලදී. සෑම දිනකම උදෑසන අප පාසල් යාමට සැරසෙන හෝරාවේ ප්‍රචාරය වුණු “ජාතික සටනට එක්වෙයි රටතොට” මගේ මතකයේ රැඳී ඇති එවනි එක් ප්‍රචාරකවාදී වැඩසටහනකි. “ගිම්හාන ගීතය” වැනි ගුවන්විදුලි නාට්‍ය ද මේ ආකාරයේ ප්‍රචාරකවාදී නිර්මාණ වූ බව මගේ අදහසයි.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියවෙන්නාක් සේ මේ රාජ්‍ය ප්‍රචාරණය තුළින් ද එක් වැදගත් දෙයක් හෝ බිහිවිය. එය නම්, ප්‍රේමසිරි කේමදාස ගේ සංගීත නිර්මාණයෙන් ද, පසු කලෙක ජනප්‍රිය වූ නීලා වික්‍රමසිංහ, ටී එම් ජයරත්න, නිරංජලා සරෝජිනී වැනි ගායක ගායිකාවන්ගේ පමණක් නොව එච් ආර් ජෝතිපාලගේ සම්මාදමෙන් ද ඔප්නැංවී ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබුද්ධ ගී නම් වැඩ සටහනයි. ට්‍රැක්ටරය නම් වචනය අඩංගු ගීයක් ද ඒ අතර වූ බව මගේ මතකයේ ඇති නමුත් මේ ප්‍රබුද්ධ ගී වැඩ සටහන සම්බන්ධයෙන් අද අපට වැදගත් කාරණය නම්, ඕස්ට්‍රේලියාවේ අප අතර දිගු කලක් ජීවත්වෙන මෛත්‍රී පනාගොඩ ගේයපද රචකයා එදා ඒ වැඩ සටහනේ සම්පත් දායකයෙකු වීමයි.

දශක හතකට පමණ පෙර සිංහල නිසදැස් කවියට ඔහු දුන් ආරම්භය නිසා දෝ තවමත් කවියෙකු ලෙස සැලකෙන ගුණදාස අමරසේකරට අනුව සිංහල කවිය නම් පුරන් වූ කේතේ වැවෙන වල් පැළෑටි වන්නේ ගේයපද හෙවත් ගී පදමාලා ය. නමුත් මගේ අදහසට අනුව නම්, කවියන් කෙතරම් කවි ලිව්වත් දනන් තුඩ තුග රැව් දෙන්නේ ද, එනිසාම කාලාන්තරයක් තිස්සේ පවතින්නේ ද, සාමාන්‍ය කවි නොව ගීත ලෙස ගැයෙන කාව්‍ය නිර්මාණ පමණි. එසේම, කවියන් ගැන අප දන්නේ ද, ඔවුන් ලියූ කවි නිසා නොව ඔවුන් ලියූ ගේයපද නිසා බව කිව හැක. කොටින්ම, මෑත යුගයේ මහා සිංහල කවියා ලෙස සැලකෙන මහගම සේකර ගැන කියවෙන විට අපේ මතකයට මුලින්ම එන්නේ ඔහු ලියූ ප්‍රබුද්ධ කාව්‍යයේ අඩංගු කවි නොවේ. “ඈත කඳුකර හිමව් අරණේ”, “මා මළ පසු”, “රත්න දීප ජන්ම භූමි” වැනි ගේයපද රචනා ය.

එදා මා කුඩා දරුවෙකු ලෙස ගුවන්විදුලියෙන් ඇසූ “සුදු වැලි මතුපිට”, “අහස බලාපන් පුතුණේ”, “පාවී පාවී මේ එන්නේ”, “හෙට උපදින පුංචි පුතේ”, “ජාතික රණබිම වෙත යනවා” වැනි ගීපද මාලා වසර පනහකට පමණ පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ ගී සියල්ලේම පද රචකයා වූයේ “සුදුවැලි - ගී පදමාලා” කෘතියේ නිර්මාතෘ මෛත්‍රී පනාගොඩ ය.

තරුණ අවධියේ දී ම “වසන්ත උදානයක් නොව” නමින් තම මුල් කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශනය කර ඇති මෛත්‍රී පනාගොඩ ඉන් පසු දිගු කාලයක් තම වෘත්තීය සහ පවුල් ජීවිත සඳහා කාලය ගතකර නැවත කලා රසිකයින් අතරට පිවිසියේ තම ගේයපද අනුව සැකසුණු ගී නිර්මාණ ඇතුළත් සං‍යුක්ත තැටි සමගිනි. ඒ සං‍යුක්ත තැටි වූයේ, සුදුවැලි (2011), හිරු මල හිනැහෙනවා (ළමා ගී, 2015), ළා හිරු රැස් (ළමා ගී, 2017) සහ මහමෙර සේ (සංයුක්ත තැටි යුගලකි, 2018) ය. මීට අමතරව මෛත්‍රී පනාගොඩ තම දෙවෙනි කාව්‍ය එකතුව “හද මුමුණන හඬ” නමින් 2018 දී එළි දැක්වීය.

“සුදුවැලි - ගී පදමාලා” කෘතියේ මෛත්‍රී පනාගොඩ විසින් රචනා කර ඇති ගේය පදමාලා බොහොමයක් අඩංගු වේ. විශේෂයෙන්ම පෙර නමින් සඳහන් කළ සං‍යුක්ත තැටි පහේ ම ඇතුළත් ගීතවල පදමාලා මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන් විසින් මෑතක දී නිකුත් කෙරුණු සහ නිකුත් කිරීමට නියමිත සං‍යුක්ත තැටිවලට අඩංගු නිර්මාණ කිහිපයක මෛත්‍රී පනාගොඩ විසින් රචනා කරන ලද ගේයපද නිර්මාණ ද “සුදුවැලි - ගී පදමාලා” කෘතියට ඇතුළත් ය.

තම ජීවිතයේ තරුණ කාලයේ දී ගුවන්විදුලියේ ප්‍රබුද්ධ ගී වැඩ සටහනට සහභාගී වීමට වරම් ලැබුණු නිසා, දශක පහකට පසුවත් දනන් තුඩ තුඩ රැව් දෙන නිර්මාණ බිහිකරන්නට මෛත්‍රී පනාගොඩට හැකිවිය. නමුත් එනිසාම අප බොහෝ දුරට දන්නේ ඔහු ලියූ ඒ එක් ආකාරයකට දේශාභිමානී ගී ලෙසින් හඳුන්වන්නට හෝ තවත් ආකාරයකට ප්‍රචාරකවාදී ගී ලෙස ලේබල් කරන්නට හැකි කාව්‍ය නිර්මාණ පමණි. මනුෂ්‍ය සම්බන්ධතා අතරින් ඒ ගේයපද නිර්මාණවල වැඩි වශයෙන් අඩංගු වූයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධයයි.

නමුත් අප සැම අත්දැකීමෙන් ම ඉතා හොඳින් දන්නා පරිදි, තරුණ විය යනු ගතේ හෝමෝන නළියන, සිතේ පෙම් සිතුවිලි උපදින කාලයයි. පෙම් කවි, පෙම් ගී ලියවෙන කාලයයි.

තරුණ මෛත්‍රී පනාගොඩ කවියා එකල ලංකාවේ දී හෝ පසුව ලන්ඩනයේ දී හෝ පෙම් ගී ද ලියන්නට ඇත. නමුත් ඒ පෙම් ගී පදවැල් අපට ගීත ලෙස අසන්නට ලැබුණේ නැත. නිර්මාණ විරාමයෙන් පසු අප අතරට ඔහු පෙම් ගී ගෙනාවේ වුව ද ඒවා හෝමෝන නළියන පෙම් ගී නොව, කරුණාව, දයාව මත පදනම් වූ නිර්මාණ විය.

පෙම් ගී රසිකයෙකු ලෙස එය මගේ කනගාටුවට කරුණකි.

-රසික සූරියආරච්චි

මෛත්‍රී පනාගොඩ මෑත අතීතයේ ලියූ ගේයපද මාලාවක්

කළණ මිතුරියට

කළණ මිතුරිය දිගු ගමනේ
යවන සොඳුරිය හද අරණේ
බලන බැල්මේ දොඩන වදනේ
මිහිරි ආදරයේ

අඳුරු මේ කුළු සරණ අහසට
ඉන්ද්‍ර චාපය වී
වියළි දෙනෙතට කඳුළු කැඳවන
චමත්කාරය වී

නිසල දිය මත දිලෙන සෙලවෙන
රේඛාව ඔබ වේ
රැයක කළුවර මකා හිනැහෙන
තනි තරුව ඔබ වේ

පද රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව / සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: චමින්ද කුරුප්පු
(“සුදුවැලි” සං‍යුක්ත තැටියෙනි)

(කවර නිර්මාණය: ඒ ඩී රංජිත් කුමාර)

Tuesday, 15 February 2022

චීන කවියක් නිසා ලියවුණු සටහනකි - Anything lost?


විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් සිටි නමුත්, පළමු වසරේ මුල් මාස දෙක හමාරේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ ජීවිතය සහ දෙවන මාස දෙක හමාරේ මෙන්ම සිව්වෙනි වසරේ මැද භාගයේ මසක් පමණ කාලයේ සවස්වරු කිහිපයක් අමතක කළ හොත්, මගේ ජීවිතය වැඩිපුර ම ගෙවුණේ මහවැලි ගඟේ වම් ඉවුරේ ය.

එනිසා ම නොවුණත්, මට නිකමට හෝ ශාස්ත්‍ර පීඨයේ එනම් කලා පීඨයේ දේශනයක් අහන්නට ලැබී නැත.

ඇත්තටම, මා ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයට ජීවිතය පළමුවෙනි වතාවට ගියේ විශ්වවිද්‍යාලයෙන් පිට වී දශක දෙකකටත් පසු 2008 අවුරුද්දේ දී යි. ඒ මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියූ කෙටිකතා ඇතුළත් "තිරස තරණ" ග්‍රන්ථයේ පිටපත් කිහිපයක් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබා දෙන්නයි.



"කන්දෙන් ලන්දට" යන ගීතයක අප අසා පුරුදු යෙදුම, උපහාස කතා රචකයෙකු වූ, (දිවංගත) මහාචාර්ය මිණිවන් පී තිලකරත්න විසින් තම නවකතාවක නම සඳහා යොදාගෙන තිබුණේ, ඔහු ද කළ ආකාරයට, කඳුරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගෙන, පහතරට පිහිටි විශ්වවිද්‍යාලයක සේවයට යෑම සංකේතවත් කිරීමට ය. ඒ වචනම උපයෝගී කරගෙන විස්තර කරනවා නම් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියන්නේ "ලන්දෙන් කන්දට" ආ පුද්ගලයෙකි.

දෙවරක් පමණ හමු වී කතා බහ කර ඇති, මගේ ෆේස්බුක් මිතුරෙකු ද වන, ලියනගේ අමරකීර්ති විසින් ඊයේ අපට නවමු අත්දැකීමක් ලබා දුන්නේ ය. එය නම්, ඔහුගේ දේශනයක කොටසකට අනියම් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාවකි.

පහත දැක්වෙන්නේ සහශ්‍රක දෙකකටත් ඉහත කාලයක ජීවත් වුණු (එසේ ම, රැවුල වවපු කොණ්ඩෙ බැඳපු) චීන අධිරාජයකු විසින් ලියන ලද විරහ කවියකි.

The sound of her silk skirt has stopped.
On the marble pavement dusk grows.
Her empty room is cold and still.
Fallen leaves are piled against the doors.
Longing for that lovely lady,
how can I bring my aching heart to rest?

Wu Ti, 6th Han Emperor, 157-87 BC
Translated by Arthur Waley

මහැදුරු ලියනගේ අමරකීර්ති අපට කියා තිබුණේ එම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න කියායි. එය ඔහුගේ යම්කිසි දේශනයක ද උපයෝගී කරගන්නා කවියක් බව කියවුණි.

අද උදෑසන පාතරසය රසවිඳින අතරතුර මට ඒ සඳහා යම් උත්සාහයක නිරත වෙන්නට කාලය් ලැබුණි.

මෙන්න එහි මුල් ප්‍රතිඵලය.

සේද සායෙන් ඇගේ, නැගුණු නද නැවතිලා
කිරිගරුඬ පුවරු මත ගොම්මන ද බෝ වෙලා

ඇගෙන් හිස් වූ කුටිය, සීතල ය, නිසසල ය
දොර අසල ගොඩ ගැසුණු මිලින වූ තුරු පත් ය

ඒ සොඳුරු කත කෙරෙහි ලාලසාවන් සිටිමි
රිදුම් දෙන හද මගේ කෙලෙස සතපා ලම් ද?


සියයට සියයක පරිවර්තනයක්, විශේෂයෙන් ම කවියක පරිවර්තනයක්, කිසිවෙකුට කළ හැකි වේ යැයි නොසිතමි. සෑම පරිවර්තනයක් ම, අඩුවැඩි වශයෙන් අනුවර්තනයකි. මෙහි ප්‍රතිශතය 90% පමණ වේ යැයි සිතමි. වචන සහ අදහස සම්බන්ධයෙන් එසේ වුව ද, කවියේ ධ්වනිතාර්ථය, මැවෙන රසය නම් එලෙස පරිවර්තනය කිරීම ඉතා අසීරු වේ. ඉංග්ලිෂ් භාෂාවෙන් Loss in translation කියන්නේ මේ කාරණය ගැනයි.

මෙහි දී අප නොදන්නා අනෙක් කාරණය නම්, මුල් චීන කවිය අප කියවන ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය වෙන අවස්ථාවේ කෙතරම් ප්‍රතිශතයක් නැති වූවා ද යන්නයි.

කෙසේ වෙතත්, මගේ උත්සාහය වූයේ නිසදැසක් නොව තාලයකට කිව හැකි කවියක් නිර්මාණය කිරීම බව ලියා තබමි.

පරිවර්තන සහ අනුවර්තන ගැන මා කාලයක් තිස්සේ අසා තිබුණත්, ඒ රේඛාවේ අනිත් අන්තයේ පිහිටි ප්‍රති-රචනය සහ සෙවනැලි රචනය ගැන මා දැනගත්තේ පිළිවෙලින් හෂිත අබේවර්ධන සහ ප්‍රියන්ත ෆොන්සේකා නිසා බව කිව යුතුයි.

අම්බලවානර් සිවානන්දන් ගේ When memory dies නම් කෘතියේ ප්‍රති රචනයක් හෂිත අබේවර්ධන විසින් මීට වසර කිහිපයක්ට පෙර "මතක මියෙන සඳ" ලෙස ඉදිරිපත් කළේ ය.


දශකයකටත් වඩා දිගු කාලයක් තිස්සේ විදෙස් කවි අනුසාරයෙන් තමන් කරන නිර්මාණ "කවි සෙවණැල්ල" නම් බ්ලොගයක පළ කළ ප්‍රියන්ත ෆොන්සේකා දැන් ඒ කවි එකතුව කවි පොතක් ලෙස ඉදිරිපත් කර තිබේ.


ඒ වගත් මෙසේ ම,

-රසික සූරියආරච්චි

(images: various sources in Internet)

Friday, 27 November 2020

"පෙම් ගී" – මගේ ගේය පද එකතුව නැවත ඇරඹුණු වගයි : Pem Gee relaunched

කාලයක් තිස්සේ මා ලියූ කවි ඇසුරෙන් නිර්මාණය කරන ලද "ගේය පද" හෙවත් ගී පදමාලා ඉන්ටර්නෙට් මාධ්‍යයේ පළ කරන්නට මා මේ "පෙම් ගී" අඩවිය ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය.

නමුත් ගී පදමාලා විසි පහක් පළ කිරීමෙන් පසු එයට අලුතෙන් කිසිවක් එකතු කිරීමට මම නොපෙළඹුණෙමි.

එදා සිට අද දක්වා කාලය ඇතුළත, මගේ "පෙම් ගී" අඩවියේ පළ වූ ගේය පද මෙන්ම, මගේ එකතුවේ තිබුණු සහ අලුතෙන් ලියන ලද ගේය පද දුසිමක් පමණ සංගීතඥයින් විසින් තනු නිර්මාණය කර සංගීතය සැපයීමෙන් අනතුරුව ගායක ගායිකාවන් විසින් තම නිර්මාණ ලෙස සංයුක්ත තැටි හරහා එළි දක්වා ඇත.

"පෙම් ගී" අන්තර්ජාලයේ වපුරා වසර පහළොවකටත් වඩා ගෙවී ඇති මේ 2020 ඔක්තෝබරයේ දී, මේ බ්ලොග් අඩවියට නව මුහුණුවරක් ද ගෙන දී, මගේ වෙනත් ගේය පද නිර්මාණ ද එකතු කරන්නට සිත් විය. එයට මූලික වූයේ ඔක්තෝබර් මස 27 දිනට යෙදී තිබුණු මගේ උපන් දිනයයි. මේ ඔබ කියවන රසිකොලොජි බ්ලොගය ඇරඹුවේ ද ඔක්තෝබර් 27 දිනක නිසා, එය රසිකොලොජි බ්ලොගයේ හයවෙනි උපන් දිනයට සැමරීම සඳහා "පෙම් ගී" බ්ලොගය පුනර්ජීවනය කිරීමක් ලෙස ද සැලකිය හැක.

ඒ සිතුවිල්ල වහාම ක්‍රියාවට නැංවුණු අතර, 2005 අප්‍රියෙල් මාසයේ දී අරඹ, ගේය පද 25 ක් පමණක් පළ කර ඉන්පසු යාවත්කාලීන නොකරන ලද "පෙම් ගී" අඩවියේ පසුගිය මාසය ඇතුළත අලුතෙන් ගේය පද හතළිහක් (40) පළ වී ඇත.

කර්මකාරකයෙන් පළ වී ඇත කියා ලිව්වාට, එය ඉබේ සිදුවූවක් නොවේ. පැය ගණනාවක් ගත කරමින් ඉවසිල්ලෙන් කරන ලද කාර්යයකි.

නමුත්, නිර්මාණාත්මක ශ්‍රමය ගැන සැලකුවහොත් මා කළේ සුලු කාර්යයකි. ශ්‍රමය සහ කාලය වැඩි වශයෙන් ගත වූයේ වෙබ් අඩවිය නැවත සැකසීම සහ අලංකාර කිරීම වැනි දේ සඳහා ය.

මුලින්ම, පාසල් සමය අවසානය සහ විශ්වවිද්‍යාල සමය ආරම්භය අතරතුර මා විසින් සැකසූ "ගී පදමාලා 25" නම් අත්පිටපතේ තිබූ ගී විසිපහෙන් එකක් අතහැර (එය සුනිල් ශාන්ත ගැන ලියවුණු එකක් විය) අනිත් ගී පදමාලා ඉතා සුළු සංස්කරණ සිදු කර පළ කිරීමයි.

එතැන් පටන් අද දක්වාම මා කළේ මූලිකවම මා උසස් පෙළ සමයේ ලියන ලද පෙම් කවි ඇසුරෙන් ගී පද නිර්මාණය කර පළ කිරීමයි.

දැන් මගේ "පෙම් ගී" අඩවියේ ගී පදමාලා 65 ක් පළ කර ඇත.

මගේ අධිෂ්ඨානය වී ඇත්තේ මේ වසර අවසානය වන විට එම සංඛ්‍යාව 100 ක් කිරීමයි.

ඒ සඳහා "පෙම් ගී" අඩවිය නැවත අරඹා මාසයක් පිරෙන අද සිට දිනපතා එක් ගී පදමාලාවක් එකතු කිරීමට අදහස් කරමි.

දින සියයක් ඇතුළත වීඩියෝ සීයක් රසිකලොජි යූ ටියුබ් චැනලයට එක් කළාට වඩා පහසුවෙන් මට එය කළ හැක.

මෙන්න මගේ "පෙම් ගී" අඩවියේ ලිපිනය: https://pemgee.blogspot.com/

එහි පළ වී ඇති, මේ වන විට කිසිදු ගායකයෙකු /ගායිකාවක /සංගීතඥයෙකු විසින් වෙන් කරගෙන නොමැති පදමාලවක් ඔබට නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් කරුණාකර මට ඊ-මේලයක් එවන්න. rasika.suriyaarachchi@gmail

අලුතෙන් පළ කරන ලද ගී පදමාලා පිරික්සා බලා, ඒවා පිළිබඳව තම අදහස් දක්වමින් අඩුපාඩු පෙන්වා දුන් මා මිත්‍ර හේමාල් ජයවික්‍රමට මගේ ස්තුතිය පිරිනමමි.

කවියෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු මෙන්ම, ගායකයෙකු ද වන ඔහු පිළිබඳ මා ලියූ සටහනක් මෙන්න. https://rasikalogy.blogspot.com/2019/02/i-am-yours-for-ever.html

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Saturday, 27 June 2020

විජේසේනගේ පෙම් ගී ප්‍රශ්නය - It was a difficult situation to manage in 2005


අවුරුදු දාසයයි මාසයේ දී මා මුලින්ම ගී පදමාලාවක් ලියුවේ පාසල් යනෙනවිට දුම්රියේ දී ඇසු ගැටුණු මානවිකාවියක් පිළිබඳව ඇතිවුණු පෙම් සිතුවිලි නිසා ය. කලක් තිස්සේ ඒ ආකාරයෙන් පෙම් කවි ලියවෙමින් තිබුණු අතර මට වැටහී ගියේ ඒ ඇතැම් කවි පන්තිවල යම් විරිතක් ඇති නිසා ඒවා ලෙහෙසියෙන් ම පෙම් ගී පදමාලා ලෙස නිර්මාණය කළ හැකි බවයි.

සාමාන්‍ය අච්චුවේ සිංහල ගීතයක ඇත්තේ කොටස් තුනකි. ස්ථායි හෙවත් කෝරස් නමින් හැඳින්වෙන මුල් කොටස සහ අන්තරා හෙවත් වර්ස් නමින් හැඳින්වෙන සාමාන්‍යයෙන් එකම තාලයකින් යුතු දෙවෙනි සහ තෙවැනි කොටස් දෙකයි.

මා කළේ ඒ ආකාරයෙන් සැකසූ ගී පදමාලා විසිපහක් එකතු කර ඒ නමින් ම අත් පිටපතක් සාදා (ඊට පෙර සහ පසුව මා ගී එකතු තුන හතරක්, කෙටිකතා එකතු දෙකක් සහ කෙටි නවකතාවක් සම්බන්ධයෙන් කළාක් මෙන්) එය ලාච්චුවකට දැමීමයි.

වෙනත් විකල්ප පිළිබඳව සිහිනයකින් හෝ මට කිසිවක් සිතුණේ නැත.

ඊට දශක කිහිපයකට පසුව ද, මේ ආකාරයේ ම අවස්ථාවක්, එනම් යළිත් කවි සිත් පහළ වී ගී පදමාලා ලියවෙන්නට පටන් ගත් කල් හී, අත්පිටපතක් සෑදීමට අමතරව මට විකල්පයක් තිබුණි.

එය නම් ඒ වන විට (2005) මා හඳුනා ගෙන තිබුණු නවතම ඩිජිටල් ප්‍රකාශන මාධ්‍යයක් වූ බ්ලොග් අඩවියක් අරඹා එහි මගේ මේ දෙවන ඉනිමේ ගී පදමාලා පළ කිරීමයි.

ඒ බ්ලොග් අඩවිය මා හැඳින්වූයේ පෙම් ගී (pemgee.blogspot.com) ලෙසිනි. පුරා වසර පහළොවක් ගතවුණ ද අද ද එය නිරුපද්‍රිතව ඇත.

ඒ මුල් කාලයේ පෙම් ගී අඩවිය හා සම්බන්ධ මගේ අත්දැකීමක් පහත වීඩියෝවේ දැක්වේ.



එදා පෙම් ගී අඩවිය අරඹා, මා සැකසූ පෙම් ගී පදමාලා විසිපහක් පමණ එහි පළ කිරීමේ දී මගේ අදහස වුණේ, අන්තර්ජාලයේ සැරිසරන ගායනට ප්‍රිය කරන කවරෙකු හෝ ඒවා දැක ඒවා සඳහා තනු නිර්මාණය කර ගීත ලෙසින් ඉදිරිපත් කරාවිය කියා ය.

මගේ ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙන්නට තවත් සෑහෙන කලක් බලා සිටිය යුතු විය.

ඒ ගැන තවත් වැඩි විස්තර පසුව ලියමි.

එතෙක් හැකි නම් මා ඉහත එකතු කර ඇති විජේසේනගේ පෙම් ගී ප්‍රශ්නය නම් වීඩියෝව නරඹන්න. එය පළ කර ඇති මගේ නම් යූටියුබ් නාලිකාවට සම්මාදම් වෙන්න, එනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.

මගේ නාලිකාව ගැන ආරංචිය ඔබේ මිතුරන්ට ද පවසන්න.

මේ වන විට මගේ ඒ වීඩියෝ නාලිකාවේ පළ කර ඇති වීඩියෝ ඔබට සමාජ ජාලා ඔස්සේ බෙදා හැරීමට ද හැක. ෆෙස්බුක් හි මෙන් ලයික් සහ කමෙන්ට් කිරීමේ පහසුකම් ද ඇත.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Wednesday, 15 January 2020

හදවතක තතු (බයිනරි අච්චුවේ වාර්තාවකි) - It's been fourteen years


හදවත පිළිබඳ අපේ දැනුම කාලයත් සමග වෙනස් වූ හැටි හැඟවෙන මෙම රචනය පිළිබඳ මගේ මුල් සැලසුමට මෙහි දක්වා ඇති දෙකොටසට අමතරව තෙවැනි කොටසක් ද ඇතුළත් විය. ඒ තරුණ සමයේ දී හදවත දැනෙන ආකාරය පිළිබඳ විස්තරයකි.

නමුත්, මේ වචන කිහිපය ගලපන්නට ද සෑහෙන කාලයක් ගත වූ නිසා මෙය මෙලෙස පළ කරන්නට සිතුවෙමි.

නොලියූ වෙන කොටස එන්නේ අගට නොව මැදට ය.

එය ලියූ දිනක මෙහි මැදට ඈඳමි.

මුලින් ගම්පෙරළිය (1944) ද, ඉන්පසුව යුගාන්තය (1948) ද ලියූ මාර්ටින් වික්‍රමසිංහ පසුව එහි මැද කොටසවන කලියුගය (1956) ලිව්වා සේ ය.



හදවතක තතු
(බයිනරි අච්චුවේ වාර්තාවකි)

කුටීරම හතරක් ය
උඩින් ඇත කර්ණිකා වම දකුණ
යටින් ඇත කෝෂිකා එම ලෙසම
උඩ යටට යා කෙරෙන කපාට ය
යටින් එළියට ඇරෙන කපාට ය
ඇරෙති වැසෙති ය ඉබේ
ලබ්-ඩබ් සෙ නද දෙමින්
අපිරිසිදු ලේ ගෙනෙන ශිරා ඇත යා වෙලා
සුපිරිසිදු ලේ ගලන ධමනි ඇත යා වෙලා
මිට මෙළවු අතක් වන්
අඹ ගෙඩිය හැඩය ගත්
හදවත ය මේ

දශක පහකට කලින්
ප්‍රාථමික පාසලේ සෞඛ්‍යය පාඩමෙන්
ඉගෙන ගත්තෙමි එලෙස

පේෂියට ලේ ගෙනෙන කුඩා නාලිකා තුළ
මී වදය සේ බැඳුණු, මැලියමින් පිරී ගිය
වයරයක දවටලා නහර අතරින් යවා
කිරීටක ධමනියේ පටලවා ප්‍රසාරිත
ලෝහ දැල් සිලින්ඩර හතරකින් සමන්විත
පපු කුහරයේ දිවෙන මැමරි ධමනිය රැගෙන
තැනින් තැන බැඳ කෙරුණු
පංචමය අතුරු මං නිසා නොනැවති ගැහෙන
ඒ නමුත්
කොයියම්ම මොහොතක දි
වැඩවරයි දෝ කියා නොදන්නා
හදවතය මේ

සොළොස් වසකට කලින්
නිවෙස් බද නගරයේ රෝහලේ ඇඳක දී
ඉගෙන ගත්තෙමි එලෙස


-රසික සූරියආරච්චි

(image: (c) Pushpa Suriyaarachchi

Saturday, 11 January 2020

විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"



එච්. එච්. කරුණාරත්න ලියූ "හෙළ දම් පැදි වැල" කවි එකතුව පිළිබඳ රසික සූරියආරච්චි විසින් 2011 දී ලියූ විචාරයකි. මෙය 2011 මාර්තු සන්නස කළාපයේ පළ විය.



විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"

මා, එච්. එච්. කරුණාරත්න කවියා මුලින් ම දුටුවේ වසර 2005 අග භාගයේ දී ස්කැට්ස් (SCATS) සංවිධානය විසින් සිඩ්නි නුවර එපින් හි දී පවත්වන්නට යෙදුණු "සාහිත්‍ය චින්තා" කවි සමුළුවේ දී ය. එදින ඔහු ලියූ සාහිත්‍යමය ලිපියක් කියවූ බව ද, ඔහු විසින් රචිත කවි පන්තියක් රස විඳි බව ද, මගේ මතකයේ ඇත.

එතැන් පටන් පසුගිය පස්වසර තුළ කරුණාරත්නයන් විසින් පබැඳුණු කවි පන්ති කිහිපයක් ම අසා, කියවා, රස විඳින්නට මට ඉඩ කඩ ලැබුණි.

"හෙළ දම් පැදි වැල" නමින් පසුගිය දා ප්‍රකාශයට පත්වුණු එච්. එච්. කරුණාරත්න කවි එකතුව පිළිබදව මා මේ කෙටි සටහන තබන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි.

තමා කවියෙකු නොවන බව නිරහංකාර ලෙස පෙරවදනේ සඳහන් කළ ද, එච්.එච්. කරුණාරත්නයෝ දීර්ඝකාලයක් තිස්සේ කාව්‍ය රචනාවෙහි යෙදුණු පළපුරුදු කවියෙකු වෙති. මේ කාව්‍ය සංග්‍රහයේ අඩංගු කර ඇති විවිධ විරිතින් පබැඳුණු සඳැස් කවි මෙන් ම සැහැලි වර්ගයේ රචනාවලින් ද ඒ බව මනාව සාධනය වේ.

ගණනින් එකුන් සැටක් වූ මේ කාව්‍ය පන්තීන්ගෙන් බහුතරයක් ම බෞද්ධ චින්තනය මත පදනම්ව, බොහෝ විට ධර්ම කරුණු පිළිබඳව රචිත ඒවා වීම ජීවිතයේ සැඳෑ කාලයේ පසුවෙන අප වැඩිහිටි පරපුරට මෙන් ම, මැදිවිය පසුකරමින් සිටින අපේ පරම්පරාවේ බණට, දහමට නැඹුරු වූ සිත් ඇත්තන්හට ද සතුට දනවන කරුණක් වෙනු ඇත.

පන්සල කේන්ද්‍රකොට ගත් බුද්ධාගම නමැති සංස්ථාව වෙත අප බැඳ තබා ගන්නා ආමිස පූජාවන් හි ප්‍රධාන තැනක් ගන්නා ගස් වන්දනාව සහ පිළිම වන්දනාව යන වන්දනා ද්වයේහි දී ම, සුගම විරිතට පබැඳිව, සුමුදු හඬින් ගැයෙන සිංහල කවි සහ පාලි ගාථා සාර්ථකව යොදා ගන්නා බව අප හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව බලන කල, "හෙළ දම් පැදි වැල" කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කාව්‍ය නිර්මාණ බොදු චින්තනය මත පදනම් වූ දිවි මගකට පාඨකයා යොමු කරවන ආකාරයේ ප්‍රබල විභවයක් ඇති රචනා බවට සැකයක් නැත.

ඇතැම් ගැඹුරු දහම් කරුණු පවා කරුණාරත්නයන් ගේ කාව්‍යමය හැකියාව හමුවේ සුගම පදවැල් බවට පෙරළී ක්‍රමිකව ගලා යයි. මා මේ කෘතියේ දුටු තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම්, බුදුගුණාලංකාරයේ අප කියවා ඇති ආකාරයේ කෙටි මාත්‍රාවෙන් යුතු කවි ප්‍රබල අරුත් හුවා දැක්වෙන අයුරින් පබැඳී ඇති ආකාරයයි.

උපන් බිමේ දිගු කලක් තිස්සේ කළ මෙහෙය නිමවා, විශ්‍රාමික සංක්‍රමණිකයෙකු ලෙස මේ "දකුණු කුරු දිවයින" ට පැමිණ තමා ලද ඒ විප්‍රවාසී අත්දැකීම් ද කවි බසට පෙරළා, හෙල දම්පැදිවැල කෘතියෙහි එන පදවැල් අතරට එක් කිරීමට කරුණාරත්නයෝ උත්සුකවීම ද පැසසිය යුතු කරුණකි. විගාමික සිංහල සාහිත්‍යයක පිබිදීමට ඉන් ලැබෙන රුකුල මම මෙහි ලා බෙහෙවින් අගය කරමි.

දේශපාලන කසළ ගොඩට සහ එහි ඉහඳ තබන නිලමැස්සන් ට වන්දිබට්ටකම් කෙරෙන "යුග පෙරළිය" නම් වු කවි පෙළ හමුවේ කිලිටි කර නොගෙන මා දෙනෙත වසාලමින්, "හෙළ දම් පැදි වැල" නමැති මේ කිරි කළය, කිරි කළයක් ලෙස ම හුවා දැක්වීමට මම කැමැත්තෙමි.

"හෙළ දම් පැදි වැල" කෘතියෙහි අඩංගු දම් පැදිවැල් කියවන, අසන, සෑම සිතක ම දම් සිතුවිලි පහළ වේවා, ඒ සිත් නිවේවා, සුවපත් වේවා යන්න මගේ පහන් පැතුමයි.

උපත සහ විපත අතර දුකෙහි ගැලෙමින්, සැපත සොයමින් අප ගෙවන මේ කෙටි ජීවිත කාලය අවසානයේ දී යම් ප්‍රයෝජනවත් වැඩක් කළා යයි සතුටු වීමට නම් "ගසක් වවා, පුතෙක් හදා, පොතක් ලියා තිබිය යුතුය" යනුවෙන් වැඩි දෙනෙකු නොදන්නා කියමනක් වේ.

සිනුවර අප අතර වෙසෙන කරුණාරත්නයන් තම දිගු ජීවිත කාලය තුළ අනේක සංඛ්‍යාවක් ගස් වවා ඇතැයි මම සිතමි. ඔහු රටට වැඩදායක දූ පුතුන් හදා ඇති බව ද අපි මැනවින් දනිමු. "හෙළ දම් පැදි වැල" නමින් මේ කෘතිය නිර්මාණය කිරීම තුළින් ඉහත කී තෙවැනි විවරණය ද එච්. එච්. කරුණාරත්නයන් ලබා ඇති බව කරුණා සිතින් යුතුව ඔබ සැමට මෙලෙස ලියා දන්වමි.

රසික සූරියආරච්චි

ප/ලි
මෙම කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා අවුරුදු 95 ක තම දිවිසැරිය පසුගිය දා නිම කර හෙට අවසන් ගමන් යයි. සුබ ගමන් කවියාණෙනි.

Monday, 16 December 2019

අමු කවියක් - A raw poem


ආතතිය කියන්නේ
උසස් පෙළ ගණිතයේ පාඩමක දී ඇසුණු
වචනයක් පමණක් ම වූ සොඳුරු කාලයට

විෂාදය කියන්නේ
යුරෝපා බසක සිට සිංහලට පෙරළිච්ච
නවකතාවක දි හෝ හමු නොවුණු
අත්භූත වචනයක් සේ දැනුණු කාලයට

විරහ වේදනා පොදි කැටි ගැසූ
කවක් පබැඳීම යනු
දුක නිවන, සිත සතුට ඇති කරන
කාරියක් වුණු අරුම කාලයට

හෙට දිනය අද දිනට වඩා හොඳ වේවි යැයි
ඇත්තටම හිතුණු ඒ කාලයට
සිතුවිල්ල සැබෑ වුණු කාලයට

කාල යානයක නැග
හැකියාව ලැබේ නම් නැවත යා ගන්නට
කිසි දිනක ආපසු
නොම පැමිණ ඒ ලොවම ඉන්නට!

-රසික සූරියආරච්චි

(image: https://pelhamcommunications.com/art-pr-agency/blog/art-on-this-day-vincent-van-gogh/)

Monday, 14 October 2019

රෑ මනමාලි - Bride of the night



මමයි රෑ මනමාලි

ලොවට හොර රහසේ - පැළඳ සුදු සේලේ
ගනඳුරේ සැරසුණ - මමයි රෑ මනමාලි
මධු සුවඳ විහිදමින් - ආදරය අයැදුවද
බමර පහසක් නොලද - මමයි රෑ මනමාලි
නොලද පේ්‍රමයෙ නමින් - රහසේම ඉකිබිඳ
ගනඳුරේ මිලිනවන - මමයි රෑ මනමාලි


දින දෙකකට කලින් අපේ කිවිඳිය, චිත්‍ර ශිල්පිනිය, ගායිකාව ප්‍රසාදිකා වික්‍රමාරච්චි විසින් මට විද්‍යුත් ලිපියකින් එවපු ඒ කවිය කියවා මගේ සිතේ ඇතිවුණු අදහස් ඉතා කෙටියෙන් පවසන්නම්.

අප කවුරුත් දන්නා පරිදි, කාව්‍යමය භාෂාවෙන් කතා කරන කොට භාවිතා කෙරෙන සම්මත සරල උපමාවක් තමයි කාන්තාවන් සඳට, ඒවගේම මල්වලට සමාන කිරීම.

ඒකට හේතුව තමයි, මල් කියන්නේ නෙතින් දැකීම සිතට සතුට ගෙන දෙන, සුන්දර, වර්ණවත්, සුවඳ හමන සුන්දර ස්වභාවික වස්තුවක්.

හැම දවසකම, දවසේ හැම මොහොතකම නැතුවත් කාන්තාවන් කියන්නේත් මල් වගේම සුන්දර වස්තූන් බව මෙහි සිටින පිරිමින් සියලූ දෙනාම පිළිගන්නා බවට මට සැකයක් නෑ.

මේ කරුණ, අරලිය, සමන් පිච්ච වලට පමණක් නොවෙයි, කටු අතුවල පිපෙන රෝස මල්වලටත් අදාළයි. රෝසමලක වුණත් ඇතින් සිට සුන්දරත්වය රස විඳින්නත්, ලං වෙලා සුවඳ බලන්නත් පුළුවනි. එහෙන් මෙහෙන් අත දාන්න ගියොත් තමයි කටු ඇනෙන්නේ.

කාන්තාවන්ව මල්වලට සමාන කරනවා වගේම කාව්‍යමය භාෂාවෙන් පිරිමින්ව සමාන කෙරෙන්නේ බඹරුන්ටයි. ඒ සමගම අප දන්නවා, බඹරුන් මල්වලින් රොන් ගැනීම සමාන කෙරෙන්නේ ගැහැණු පිරිම කාම සම්භෝගයට බව.

දැන් රෑ මනමාලී කවියේ අපේ කිවිඳිය කතා කරන්නේ සුවිශේෂී පුෂ්පයක් ගැනයි. ඒ තමයි රාත්‍රී කාලයේ පිපී උදෑසනවන විට පරවී යන බ්‍රයිඞ් ඔෆ් ද නයිට් එහෙමත් නැතිනම් ක්වීන් ඔෆ් ද නයිට් කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන මල. මං හිතන්නේ කඩුපුල් මල් කියාත් සිංහලෙන් පැවසෙන්නේ මේ වර්ගයේ මල්වලටයි.

ඉතිං, රෑ මනමාලී පුෂ්පය පිපී තියෙන්නේ රාත්‍රී කාලයේ පමණක් නිසා, දිවා කාලයේ මල්ගොමුවල සැරිසරන බඹරුන්ගේ පහස මේ රෑ මනමාලී මල්වලට ලැබෙන්නේ නෑ. මල පරවෙන්නේ බඹර පහස විඳින්නේ නැතුවයි.

මලක් යනු කාන්තාවක් නම්, බඹරෙකු යනු පිරිමියෙකු නම්, ඒ අනුව මේ කවියෙන් කිවිඳිය පවසන්නේ ජීවිතයේ කිසි දිනක පිරිමියෙකුගේ පහස නොලැබ, කාම සම්භෝගයේ නොගැලී තම ජීවිතය හැර යන කාන්තාවක ගැන බව පැහැදිලියි.

අප දන්නවා විවිධ සමාජ, ආර්ථික මෙන්ම පුද්ගලික කාරණා නිසා ද, ඒ ආකාරයේ දිවි ගත කරන කාන්තාවන් මේ ලෝකයේ සිටින බව.

ඔවුන්ගේ දුක් වේදනාවයි ප්‍රසාදිකා මෙලෙස තම කවියෙන් අපට ඉදිරිපත් කර ඇත්තේ.

කවියන්ට තම නිර්මාණවලදී ව්‍යාකරණ නීති මෙන්ම තවත් දේ ද නිර්මාණය වෙනුවෙන් නොසකකා සිටීමට සුවිශේෂී බලපත්‍රයක් තිබේ යැයි කියමනක් තියෙනවා. එනිසා, ඇත්තටම ඒ රාත්‍රී කාලයට පිපෙන මල් පරාගණය කිරීමේ අවශ්‍යතාව ස්වභාව ධර්මය විසින් අමතක කර නොමැති බවත්, ඒ සඳහා රාත්‍රී කාලයේ සැරිසරන රෑ සමනළයින් සහ සලබයින් වැනි වෙනත් කෘමි සතුන් මේ ලෝකයේ සිටින බවත් මේ කවියේ සඳහාන් නොවීමේ ප්‍රශ්නයක් නෑ.
හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරන කොට, රෑ මනමාලී මල ප්‍රාර්ථනය කරන්නේ ඒ සලබයෙකු ගේ පහස නොව සැබෑ බඹරෙකුගේ පහස විය හැකියි. ඇය දුක්වන්නේ ඒ නිසා විය හැකියි.

හොඳයි බොහොම ස්තුතියි.

අවසාන වශයෙන් මා මෙයත් පවසන්නම්.

මා මුලින් සඳහන් කළා, පිරිමින්ට කාන්තාවන්ව පෙනෙන්නේ මල් ලෙසයි, එහෙම නැතිනම් සඳ ලෙසයි කියා. කාන්තාවන්ට පිරිමි අපව බඹරු පෙනෙනවා විය යුතුයි. මට මතකයි තරුණ කාලේ මා ගැනත් ඒ ආකාරයට බඹරෙකු ලෙස සඳහන් කෙරුණු බව.

ඒත් මොකද මන්දා දැන් ටික කාලයක සිට මාව දැක්කාම සමහරුන්ට මතක් වෙන්නේ සඳ ලු. මං හිතන්නේ මා මිත්‍ර ලාල් වික්‍රමාරච්චිගේ අත්දැකීමත් එහෙම වෙන්න ඇති.



-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සිනුවර වෙසෙන ගායිකාවක, චිත්‍ර ශිල්පිනියක සහ කිවිඳියක වන ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ "සිත් කවුළුව" කාව්‍ය සංග්‍රහය එළි දැක්වුණු අවස්ථාවේ එම කෘතියේ අඩංගු "රෑ මනමාලී" නම් කව පිළිබඳව මා කළ විචාරයයි.


Friday, 20 September 2019

සුනිල් සෙනෙවි යෝජනා කරන සිංහල කවියේ ඉම පැනීම - A paradigm shift is needed?


ලංකාවේ සිංහල සාහිත්‍ය වසන්තය එළැඹ ඇති මේ සැප්තැම්බරයේ, සිසිර නිද්‍රාවක ගිලී සිටි මගේ රසිකොලොජි බ්ලොගය ද පුබුදුවාගෙන, විවිධ සාහිත්‍යමය කාරණා ගැන සටහන් තබමින් මා මේ කරන්නේ සතත අභ්‍යාසයකි.

ඒ අභ්‍යාසයේ අද ඉලක්කය වන්නේ පසුගිය සිකුරාදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති ආරියවංශ රණවීර ගේ ඉම තව දුරය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ දී, විශ්වවිද්‍යාල සේවයේ නියුතු විද්වතෙකු වන හිනිදුම සුනිල් සෙනෙවි විසින් කළ දේශනය පිළිබඳව මගේ මතකය අවදි කිරීමයි.

නූතන කවීන් සියයක් දෙනාගේ නිර්මාණ ඇසුරු කරමින් තමන් විසින් තවමත් කරගෙන යනු ලබන පර්යේෂණයක් ඇසුරෙන් කෙරුණු මූලික නිගමනයක් ද ඇතුළු කොටස් කිහිපයකින් යුතු අති දීර්ඝ (මා හිතන පරිදි එය මිනිත්තු හැත්තෑපහකට වඩා දිගු විය) කථාවක් කළ හිනිදුම සුනිල් සෙනෙවි ඒ අතරතුර රසවත් ප්‍රකාශ කිහිපයකින් ම ශ්‍රාවක රසිකයින් කුල්මත් කළේ ය.

ඒ අතරින් වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ සිංහල භාෂාවේ සාහිත්‍යමය ඉරණම ගැනයි. ඔහු දැක්වූ උදාහරණ ද එකතුකර ගනිමින් පැවසුවහොත්, හිනිදුම සුනිල් සෙනෙවි කීවේ වීරවංශ, ගම්මන්පිල (සහ තවත් නොවැදගත් නම් කිහිපයක් කියවිණි) වැනි දේශපාලුවන් තම ජඩ අරමුණු සඳහා සිංහල භාෂාව භාවිතා කළ පසු (ඒ වචන, යෙදුම්, භාෂා ප්‍රයෝග යනාදිය නැවත) අපට සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණ වන බවයි.

ඒ ප්‍රකාශය සත්‍යයකි.

නමුත් මගේ අදහස නම්, ඒ තත්වය අද ඊයේ ඇතිවූවක් නොවන බවයි. සිංහල ජඩ දේශපාලුවන් විසින් සිංහල භාෂාව තම ජඩ අරමුණු සඳහා යොදා ගත් සෑම අවස්ථාවක දී ම පාහේ සිදු වී ඇත්තේ එයයි.

පස් අවුරුදු සැලැස්ම, වගා සංග්‍රාමය වැනි දේ හැත්තෑවේ දශකයේ එළිබට හුදු පුහු වෙඩි සඳහා අවභාවිතා වූ යෙදුම් ය. ඒ නිසාම ඒ වචන පසුගිය දශක කිහිපය තිස්සේම නැවත භාවිතා කිරීමට නොහැකි අයුරින් දුෂිතව තිබුණි. නමුත් මේවන විට නම් ඒ කතා බොහෝ දෙනෙකුට අමතක වී ඇතුවාට සැක නැත.

හැත්තෑවේ දශකයේ අගභාගයේ දී එවකට ජනාධිපති ජයවර්දෙන විසින් ධර්මිෂ්ඨ සමාජයක් යන යෙදුම ගණිකා වෘත්තියේ යෙදවූ අතර, අද වෙනතුරුත් ඒ උත්තර සමාජය උදා නොවීම කෙසේ වෙතත්, ඒ යෙදුම නම් තවමත් වෙනත් කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි තරමට කිලිටි ය.

සුබ අනාගතයක්, ආශ්චර්යය මෙන්ම යහපාලනය වැනි යෙදුම් ද නැවතත් අපේ ජීවිතකාලයේ දී නම් කිසිදු නිර්මාණාත්මක කටයුත්තකට ඒවායේ නිසි අර්ථයෙන් යොදා ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.

මා මුලින් සඳහන් කළ පරිදි, සිංහල කවිය පිළිබඳව තමන් කරමින් සිටින පර්යේෂණයක් ආශ්‍රිතව හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ වැදගත් කාරණය, මට වැටහුණු ආකාරයට නම්, සිංහල කවියේ විකාශය පිළිබඳව සලකා බලන කල, අද අප සිටින්නේ එක්තරා සංධිස්ථානයක බවයි. එනම් ආකෘතියෙන් ද, අන්තර්ගතයෙන් ද අද සිංහල කවියේ ප්‍රගමනය අඩාල වී යම් ආකාරයක එක තැන කැරකීමක් සිදුවෙන බවයි. එනිසා, මේ තත්වයෙන් මිදී කොයි ලෙසකින් හෝ සිංහල කවිය අද ළඟා වී ඇති ඉම පැනිය යුතු බවයි. සිංහල කවියේ තත්කාලීන සුසමාදර්ශකයේ හෙවත් පැරඩයිමයේ විතැන් වීමක් අද අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

ඒ පිළිබඳව මගේ ය කියා අදහසක් පළ කිරීමට තරම් ප්‍රමාණයික දැනුමක් මට නැති නමුත්, එවැනි සුසමාදර්ශී වෙනසක් කාලයත් සමගම ඉබේ සිදුවෙන්නක් සහ එලෙස සිදුවූ පසු අපට හැඟී යන්නක් මිස, අවශ්‍යතාවය මත, ක්‍ෂණිකව කළ හැක්කක් නොවන බව නම් මට හැඟේ.

එසේ වෙතත්, එවැනි සුසමාදර්ශී වෙනසක් වෙනුවෙන් කටයුතු කරන ලෙස සුනිල් සෙනෙවි විසින් ආරියවංශ රණවීරගෙන් කළ ඉල්ලීමට එකඟ වීමට නම් මට හැකිය. ආරියවංශ රණවීර යනු ඒ සඳහා අවශ්‍ය ශක්‍යතාව සහ ප්‍රතිභාව ඇත්තෙකු බව මා අමුතුවෙන් කිව යුතු නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ලියා පළ කළ ලිපි.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness
6. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
7. සම්මාන නැති කතාවක් - Awardless
8. "ඉම තව දුර ය" - A note about a book launch
9. කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


(image: Facebook)

Thursday, 19 September 2019

කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


මේ සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූ කිවියර ආරියවංශ රණවීරගේ "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දී ලේඛකයින් විසින් කළ ප්‍රධාන කතා ත්‍රිත්වය අතරින් මා සිත වඩාත් ම ඇද ගත්තේ ප්‍රධාන දේශන ද්වයට අමතරව පෙර දැනුම් දීමකින් තොරව ක්‍ෂණිකව මෙන් ඉදිරිපත් කෙරුණු (නමුත් පෙර සූදානමක් තිබුණා යැයි මට නිකමට මෙන් සිතුණු) සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය විසින් කළ ඉදිරිපත් කිරීමයි.

එයට මූලික හේතුව වූයේ, ඇය ඒ කථාවේ අන්තර්ගතය ලෙස තමන් කිවිඳියක ලෙසත්, කවි රස විඳින රසිකාවියක ලෙසත්, තමන් ලැබූ අත්දැකීම් එකතු කර රසවත්ව ඉදිරිපත් කිරීමයි. එහි රසවත්බව මට හොඳින් දැනුණේ, මා ලියන කියන දෙයින් අති බහුතරයේ ද අන්තර්ගතය ඒ අච්චුවේ, එනම්, මුළුමනින්ම පාහේ අත්දැකීම් පාදක කොට ගත්, ඒවා වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

එය එසේ වූයේ නැතත්, තම කතාව ආරම්භ කිරීමට වේදිකාවට ගොඩ වූ මොහොතේ සිට සුහර්ෂණී ධර්මරත්න විසින් එදින මහවැලි ශාලාවේ රැස් වී සිටි ඒ සාහිත්‍යකාමී සභාවට එක් කළේ සුවිශේෂී වූ ආකර්ෂයකි. ඒ කුමක්දැයි අමුතුවෙන් සිතන්නට අපට අවශ්‍ය වූයේ නැත. ඊට පෙර ම, මම කාන්තා පක්‍ෂයේ හඬ මේ සාහිත්‍ය සභාවේ නියෝජනය කරනවා යැයි පැවසූ සුහර්ෂණී අපට එතෙක් නොතේරුණු ඒ සුවිශේෂී කාරණය, ඒ සභාවේ පමණක් නොව අප දැක ඇති අති මහත් බහුතරයක් සාහිත්‍ය සභාවල දී ද පැවති බව අපරදෘෂ්ටියෙන් දැන් අප දන්නා ඒ සුවිශේෂී කාරණය, එනම් අති බහුතරයක් සාහිත්‍ය උත්සව සභාවල ලේඛිකාවන් නිසි ලෙස නියෝජනය නොවන බව, අපට වටහා දුන්නී ය.

දින කිහිපයකට ඉහත මා ලියා පළ කළ, 2018 දී මා අත්විඳි සැප්තැම්බරයේ දිගු දවස් ලිපියේ මා සඳහන් කළා වූ, මා සහභාගී වූ පොත් එළිදැක්වීම් පහේ පැවති විදග්ධ සභාවල කාන්තා නියෝජනය අතිශය අවමය විය. වසරක් පැරණි මගේ මතකයට අනුව එයින් කාන්තාවන් තම අදහස් පළ කළේ චාමර අකලංක පොල්වත්තගේ ගේ ආදරේ රත්නපුර වගේ කවිපොත එළිදැක්වීමේ දී සහ හෙන්රි වර්ණකුලසූරියගේ කී නොකී කතා කතන්දර පොත එළිදැක්වීමේ දී පමණි. මුල් අවස්ථාවේ දී, අමන්දා අබේසූරිය සහ නදීෂා චන්ද්‍රසේන වේදිකාප්‍රාප්ත වූ අතර, දෙවෙනි අවස්ථාවේ දී පුෂ්පා රම්ලනී තම අදහස් දැක්වූවා ය.

ගද්‍ය පද්‍ය ලේඛනයෙන් කාන්තාවන් සම්මාන ලබන සමාජයක, එම ලේඛිකාවන් ගේ කෘති එළිදක්වන උත්සවවල දී පවා කාන්තා අදහස් දැක්වීම අතිශය අවම වීම ද කනගාටුවට කරුණකි.

විදග්ධ සාහිත්‍ය සභා ඉම කාන්තා හඬට තවත් දුර බව පැහැදිලිය.

සුහර්ෂණී ධර්මරත්න එදා උත්සවයට එකතු කළේ නාම මාත්‍රික කාන්තා නියෝජනයක් පමණක් නොවේ. සම්මානලාභී ලේඛිකාවක වන ඇය ඒ බව මනාව විදහා පාමින් තම අදහස් ඉදිරිපත් කළා ය. ගලේවෙල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන ඇය, විද්‍යාව වැනි කර්කශ විෂයයක් වුව ද, ආකර්ෂණීය ලෙස උගන්වනවා විය යුතු යැයි මට සිතුණි.

තම කෙටි දේශනයේ දී සුහර්ෂණී ධර්මරත්න විසින් පවසන ලද කරුණු කිහිපයක් ම මගේ මතකයේ ඇත. එයින් පොදු වැදගත්කමක් ඇති කරුණක් වන්නේ විශ්වවිද්‍යාලවලින් සිංහල භාෂාව පිළිබඳ උපාධි ලබා රජයේ පාසල්වල සිංහල උගන්වන්නට යන අයගේ සාහිත්‍ය දැනුමේ ඇති ඌනතා ගැන ඇය සරදම් බසින් කළ සඳහනයි.

විවාහයේ දී සිදුවන පිරිමියා සහ ගැහැනියගේ ඒකල භූමිකා නිමවී පොදු භූමිකාවක් නිර්මාණය වීමේ දී සිදුවන ප්‍රායෝගික අසාධාරණය ගැන තමන් ලියූ කවක් ද, එම මාතෘකාව පිළිබඳව ම ආරියවංශ රණවීර ලියූ කවක් ද සංසන්දනය කරමින් සුහර්ෂණී ධර්මරත්න කළ සඳහන ද, එහි රසවත්බව නිසා ම, සදාකාලිකව රැදෙන ලෙස මතකයේ කෙටුණි.

මේ නිර්මාණ ද්වයේ ම, රූපක ලෙස නිර්මාණකරුවන් යොදාගෙන තිබුණේ ගංගාවක ජලය මුහුදට එක් වීමේ දී, ගඟ නැති වී, මුහුද පමණක් අවසානයේ ඉතිරි වීම ය. ගඟ විවාහප්‍රාප්ත ගැහැනියයි, මුහුද පිරිමියා ය.
මා මුල්වරට ඇසූ ඒ කවි යුගල සහ එහි අරුත් පිළිබඳ විවරණයක යෙදීම පස්සට කල් තබා මට කිව හැක්කේ, ඒ මොහොතේ මට දැනුණේ නම් සුහර්ෂණී ධර්මරත්න සමස්තයක් ලෙස පැවසූ දෙයින් ඇගේ කවියේ අරුත, ගංගාවක ජලය මුහුදු ජලයට එක්වී අහෝසි වී යන්නාක් සේ, ආරියවංශ රණවීරගේ කවිය හේතුවෙන් නැති වී ගිය බවයි.

මෙහි දී මගේ අදහස වන්නේ එය එසේ නොවිය යුතු බවයි. කෙසේ වෙතත් ඒ කවි ද්වය ම, මා ම, කියවා ඒ ගැන නැවතත් ලිවීමට අදහස් කරමි.

ඊට අමතරව, ඇය කළ කථාවේ දී, ඇය විද්‍යා ගුරුවරියක් බව කියවුණු අතර, පසුව ඇගේ සැමියාගේ වෘත්තීමය කාර්යබහුලත්වය පිළිබඳ ඉඟියක් ද පිටවුණු නිසා, සුහර්ෂණී ධර්මරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් අයෙකු යැයි මම එක එල්ලේ නිගමනය කළෙමි. පසුව ඇගෙන් විමසා මා නිවැරදි බව තහවුරු කර ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන සිව්වන ලිපියයි.

1. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
2. සම්මාන නැති කතාවක් - Awardless
3. "ඉම තව දුර ය" - A note about a book launch

ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ නමවෙනි ලිපිය ද වේ.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness

(image: From Facebook)

Tuesday, 17 September 2019

"ඉම තව දුර ය" - A note about a book launch



දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.

එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.

ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:

මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න

ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.

මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.

ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.

පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.

එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.

ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.

පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.

මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.

Wednesday, 4 September 2019

බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation?



මසකට පමණ පෙර නිවසේ මිඳුලේ රෝස ගසක අවාරයේ පිපී තිබුණු රෝස මලක් දුටු මා ප්‍ර්‍රිය බිරිඳ ඒ ගැන කවක් ලියූවා ය. මේ සුවිශේෂී රෝස වර්ගය හැඳින්වෙන්නේ ද බ්ලු මූන් නමිනි.

ඉහත පළ කර ඇත්තේ ඒ (නිල් පැහැ) රෝස මලයි.

ඇය ඒ කව ෆේස්බුක් හි පළ කළ සැණින් මම එය සිංහල භාෂාවට පරිවර්තනය කළෙමි.

මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ දී මට එය රසිකොලොජියේ පළ කරන්නට සිත් විය.


Lonely rose

A rare spectacle
A rose in winter
Alone in a wilting bush
Amidst barren twigs

No buzzing bees
No whispering butterflies           
No selfie fanfare
No twitting birds

A mauve blue rose
Proud and tall
No ordinary fete
A blue moon indeed!

තනි වූ රෝස මල

විරලතම දසුනකි ය
වින්ටරය මැද පිපි රෝස මල
මැරී යන පඳුරක
කොළ හැළුණු ඉපලක, තනිව

නැත බඹර ගුම් නද
නැත සමනළ කසුකුසුව
නැත "සෙල්ෆි" කාහල නද
නැත "ට්විටර" විහඟුන්

ප්‍රභාවත් නිල් මලෙකි
සාඩම්බරව වැජඹෙන
සුලභ දසුනක් නොවේ
මෙය "බ්ලූ මූන්" ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අවාරයේ පිපි රෝස මලක් පිළිබඳව මම ද මීට වසරකට පෙර කවක් ලියූවෙමි. එය ද රසිකොලොජියේ පළ කෙරුණු අතර මිතුරෙකුගෙන් ලද ඇරයුමක් නිසා ලංකාවේ පුවත්පතක ද පළ විය.

Tuesday, 7 May 2019

ජනතා විමුක්ති පෙරමුණ, හෙන්රි වර්ණකුලසූරිය, ලයනල් බෝපගේ සහ බලහත්කාරෙන් සමාජවාදය ගොඩ නැගීම! - Socialism "by force"


මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන කතාවේ මාතෘකාව ලෙස දැක්වෙන්නේ මේ ලිපියේ මාතෘකාවේ කොටසක් ලෙස මා යොදාගෙන ඇති "බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද?" යන්නයි.

ඒ මාතෘකාව දුටු විට ම මගේ සිත අතීතයට ඇදී ගියේ ය. එයට හේතුව නම් අදින් වසර තිස් පහකට පෙර මා ලියූ දීර්ඝ කවියකින් මා ද මේ කරුණ ම මතු කර තිබීමයි.

මා එදා ලියූ ඒ කවිය ද එයට හේතු වූ, පසුබිම් වූ කාරණා ද මීට වසර තුනකට පමණ පෙර රසිකොලොජි බ්ලොගයේ ලිපියක් ලෙස පළ වුණු අතර, වෙනත් මාතෘකාවක් යටතේ රාවය පුවත් සඟරාව සඳහා මා ලියූ ලිපියක ද ඇතුළත් විය. ඒ රාවය ලිපිය ද කොටස් කිහිපයකින් යුක්තව රසිකොලොජියේ ද පළ කළෙමි.

අද මා ලියන මේ සටහන ඒ පෙර ලියූ ලිපිවල සඳහන් වූ කාරණා, වඩාත් විස්තරාත්මකව, ලයනල් බෝපගේ ගේ යෝජිත දේශනයේ මාතෘකාවට අදාළ පරිදි කෙරෙන නැවත පෙළගැස්වීමකි.

මේ සටහනට සම්බන්ධ මගේ පෙර කී කවියේ අවසාන පද කීපය මෙසේය.

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


මගේ පටු කාව්‍යමය භාෂාවෙන් හිරු උදා කිරීම සහ ලෝකය එළිය කිරීම යන්නෙන් මා එදා අදහස් කළේ සමාජවාදය ස්ථාපනය කර අසාධාරණය තුරන් කිරීම බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම මගේ කවියෙන් මා කළේ අද ලයනල් බෝපගේ අසන ආකාරයෙන් ප්‍රශ්නයක් නැගීම නොවේ. සමාජ අසාධාරණයේ ගනඳුර බිඳින්නට පැහැදිලි විසඳුමක් ලෙස බලහත්කාරෙන් හෝ හිරු පිබිදවීම ඉදිරිපත් කිරීමයි. එනම්, බලහත්කාරෙන් සමාජවාදය උදා කළ යුතුය කියා කීමයි!

දැන්, මගේ මේ කවිය, හෙන්රි වර්ණකුලසූරිය ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේදී ලයනල් බෝපගේ විසින් කරන්නට යන කතාවේ මාතෘකාවට සම්බන්ධ වන්නේ කෙසේද විස්තර කළ යුතුය.

ලයනල් බෝපගේ යනු 1977 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වූ කාලයේ සිටම එහි ප්‍රධාන ලේකම් විය. මා ඔහු දැක ඇත්තේ දෙවරකි. ඒ මුල්ම අවස්ථාව එකල ජාතික ප්‍රශ්නය ලෙස හැඳින්වුණු ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව තම පක්ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දී පැවැත්වූ දේශනයක දී ය.

ඉන් වසර එකහමාරකට පමණ පසුව රටේ ඇතිකළ ජූලි කලබලය දඩමීමා කරගෙන, එවකට පැවති යූඇම්පී රජය විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. එයින් සුළු කලකට පසුව ලයනල් බෝපගේ පක්ෂයේ ප්‍රධාන තනතුරෙන් ඉවත් වූ බව ආරංචි විය. එයට හේතුව වූයේ නන්දසිරි විජේවීර සහ අනෙකුත් පක්ෂ නායකයින් විසින්, සිංහල ජාතිවාදීන්ගේ කැමැත්ත දිනා ගැනීම පිණිස අතිශය අවස්ථාවාදී ලෙස ජාතික ප්‍රශ්නය පිළිබඳ පක්ෂයේ ප්‍රතිපත්තිය වෙනස් කර දේශප්‍රේමය නම් බැටළුහමකින් වසා ජාතිවාදයේ කුෂ්ඨ රෝගය සාදා ගැනීම බව මගේ අදහසයි.

තවත් කලකට පසු ඕස්ට්රේලියාවට සංක්‍රමණය කළ ලයනල් බෝපගේ එහි ෆෙඩරල් රජයේ ආයතනයක මැවිසුරුවකු ලෙස කලක් සේවය කර විශ්‍රාම ලබා දැන් මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මා දෙවන වරට ඔහු දුටුවේ සහ මුල්වරට වචන කිහිපයක් හෝ කතා කළේ පසුගිය වසරේ දිනක මා සම්බන්ධ සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය නම් නාට්‍ය කණ්ඩායම සමග මෙල්බර්න් නගරයට ගිය අවස්ථාවේ දී ය.

බලහත්කාරෙන් හෝ හිරු පුබුදා ලෝකය එළිය කිරීම පිළිබඳ පෙර කී කවිය මා ලියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයේ පළ කළේ 1984 මැද භාගයේ දී ය. ඒ සමගම විශ්වවිද්‍යාලය කුරුටු ගී සම්ප්‍රදාය රකිමින්, ඇන්ඩ්‍රීස් නෙල් ශාලාවේ ඉහළ මාලයේ හාඩ්බෝඩ් පුවරුවක ද එය හුණු කූරකින් ලියා තැබුවෙමි.

ඊළඟ වසරේ දිනක මේ කාමරයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු විසින් (මේ ආනන්ද ඉඩමේගම විය හැක), ඔහු පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණේ මතයට සාපේක්ෂව, මේ කවියේ අඩංගු අදහස දේශපාලනිකව සාවද්‍ය බව කියා ඇත. එහි දී ඇතිවුණු සාකච්ඡාවේ දී කවියේ නිර්මාපකයා පිළිබඳව විපරම් කෙරී ඇති අතර, ඒ මා බව දැන, කවියේ අදහස සම්බන්ධයෙන් මා සමග සාකච්ඡා කළ යුතු බවට යෝජනා වී ඇත.

මා එම යෝජනාවට කැමැත්ත පළ කළ පසු, ජනතා විමුක්ති පෙරමුණ විසින් මට නිවැරදි දේශපාලන චින්තනය වටහා දී, හැකි නම් මට (පසු කලෙක මා දැන ගත් වචනයකින් කියනවා නම්) කොක්ක ගැසීම සඳහා එවන ලද්දේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු තනතුරෙන් පසුව, ඒ වන විට පූර්ණකාලීනව පක්ෂ දේශපාලනයේ නිරතුව සිටි උපාලි ජයවීරව යි.

එදා මගේ කාමරයේ දී, දෙපැයක් පමණ කාලයක් තිස්සේ උපාලි ජයවීර උත්සාහ කළේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, උතුරේ තරුණ කණ්ඩායම් විසින් අරඹා තිබූ සන්නද්ධ අරගලය ජවිපෙ මතයට අනුව වැරදි එකක් වන්නේ ඇයි දැයි කීමටත්, බලහත්කාරයෙන් හිරු පුබුදුවාලිය නොහැකිය, එසේ කිරීම වැරදිය, එනිසා මා විසින් පෙර කී කවියෙන් මතු කරන අදහස ප්‍රතිගාමීය යන කාරණා මට කියා පැහැදිලි කරදීමටත් ය.

ඒ නිෂ්ඵල උත්සාහය අවසානයේ ඔහු පිටත් වී ගියේ නැවත දිනක හමු වී කතා කරමු යැයි පවසමින් වුව ද, මට උපාලි ජයවීරව යළි කිසි දිනක මුණ ගැසුණේ නැත. මා වැනි ගල් ඉබ්බන් කෙසේ වුවද, උපාලි ජයවීරලාගේ ජාතිවාදී කයිවාරු ඇමට අසුවන ඕනෑ තරම් සාලයන් සහ සූඩයන් ඒ මුල් කාලයේ වුව ද සිටින්නට ඇත.

එහි අන්තර්ගත අදහස නිසාම, මගේ කවියේ පෙර සඳහන් කළ අවසාන පද හතරට මා කෙතරම් ඇලුම් කළේ ද යත් මගේ සංස්කරණයෙන් මුද්‍රණය වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සඟරාවක කතුවැකියේ අවසානයේ මම ඒ සිව්පදය ඇතුළත් කළෙමි. ඒ සඟරාව මුද්‍රණය කෙරුණේ එවකට පැවති යූඇම්පී ආණ්ඩුව විසින් පේරාදෙණියේ පද්මසිරි අබේසේකර සහ කොළඹ රෝහණ රත්නායක යන සහෝදර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනා වෙඩි තබා මරා දමා වසරක් ගතවීම සනිටුහන් කිරීමට 1985 ජූනි මාසයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ අප විසින් දියත් කළ වැඩ සටහනේ එක් අංගයක් ලෙස බව ද සඳහන් කළ යුතු ය.

මේ අනුස්මරණ රැස්වීම සඳහා විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නියෝජනය කරමින් උපකුලපති පානබොක්කේ ද, වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයින් ද සහභාගී වූහ. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත වී තිබුණු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ද වූ බව මගේ මතකයයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් තහනම් කර තිබුණු තත්වය යටතේ වුව ද, ඒ සමයේ දී, සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ශිෂ්‍යයින් අතර නායකත්වය හිමිකරගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසිනි. අනෙකුත් දේශපාලන මතවාද දරණ ශිෂ්‍යයින් අනුගමනය කළේ නිහඬව සිටීමේ ප්‍රතිපත්තියකි. තත්වය වෙනස් වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් සෑහෙන ප්‍රමාණයකට බලය රඳවා ගෙන සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ දී ය. මෙනිසා, ජනතා විමුක්ති පෙරමුණ සහ එහි එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය තම පරම හතුරා ලෙස සැලකූවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එය පසු කලක, ජීවිත සෑහෙන සංඛ්‍යාවක් අකාලයේ විනාශ කළ නයි-මුගටි හටනක් විය.

ඒ මිනීමරු හතුරුකමේ මුල් අවධිය එකල ප්‍රදර්ශනය වුණු අවස්ථා දෙකක් පිළිබඳව මට පුද්ගලික අත්දැකීම් ඇත.

ඉන් එක් අවස්ථාවක් නම්, කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දී පැවති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) රැස්වීමකි. මේ රැස්වීමේ මූලාසනය දැරුවේ එවන විට දෙවසරක් තිස්සේ තම ශිෂ්‍යභාවය තහනම් කිරීමකට ලක් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය රංජිතන් ගුණරත්නම් විසින් වන අතර රැස්වීමේ වාර්තාව සටහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එම රැස්වීමට සහභාගී වී සිටි එකම නියෝජිතයා වූ මා විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එවකට නායක දයා පතිරණ අමතරව, ඒ රැස්වීමට සහභාගී වුණු අය අතරින් මගේ මතකයේ රැඳී ඇති දෙදෙනෙකු වන්නේ පොදු ශිෂ්‍යයන් නියෝජනය කළා යැයි පැවසුණු තඹරලුවේ ජිනරත්න සහ විද්‍යා හෝ නීති පීඨය නියෝජනය කළා යැයි පැවසුණු සරත් එදිරිසිංහ ය. ජවිපෙ අනුගාමිකයින් වූ ඔවුන් දෙදෙනා එහි පැමිණි සිටියේ කවර අරමුණින් ද යන්න පැහැදිලි වූයේ ඔවුන් කතා කරද්දී ය. එහි දී දීර්ඝ මෙන්ම වි’ෂ පිරි කරුණු දැක්වීම් සමගින් ඔවුන් ඉල්ලා සිටියේ, අධ්‍යයන කටයුතු නිසි පරිදි නොකිරීම නිසා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය අහෝසි වී සිටි දයා පතිරණට, අවිශිබම රැස්වීමට සහභාගිවීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බැවින් ඔහුව මේ සභාවෙන් නෙරපා හරින ලෙස ය. ඔහුට පක්‍ෂව කරුණු දැක්වීමට කිසිවෙකු නොසිටි අතර, බහුතර අදහස පිළිගත් දයා පතිරණ සභාවෙන් නික්මී යන දර්ශනය වසර තිස් හතරකට පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත.

ස්වාධීන ශිෂ්‍ය සංගමය කෙරෙහි ජවිපෙ ශිෂ්‍ය සංගමයේ පැවති වෛරය පැහැදිලිවම දෘශ්‍යමාන වූ මා දුටු දෙවන අවස්ථාව නම් ඒ වසරේ අවසාන කාර්තුවේ දී, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ සහ සාමාජික ධර්මසිරි මහනුවර නගරයේ පැවැත්වුණු කුමක් දෝ දේශපාලන සාකච්ඡාවකට සහභාගීවීම සඳහා පැමිණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් ශාලාවේ රැයක් ගත කළ අවස්ථාවේ, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිස් අතිශය දරුණු ලෙස කලබල වූ ආකාරයයි. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලනය අති ධාවනකාරී බිහිසුණු එකක් බව ද, එය ශිෂ්‍ය ව්‍යාපාරයකට නොගැලපෙන බව ද, මේ ජවිපෙ හිතවාදීන් ගේ මතය විය. දයා පතිරණ සහ ධර්මසිරි දෙදෙනා එක් රැයක් නවාතැන් ගත් අක්බාර් ශාලාවේ කාමරය හිමි මා මිත්‍ර ස්ටැන්ලි මොරේමඩට ශිෂ්‍ය ක්‍ර්‍රියාකාරී කමිටු රැස්වීමක දී අයුතු ලෙස චෝදනා නැගීමට ද ජයශ්‍රී සහ නිෂ්මි ඇතුළු ජවිපෙ හිතවාදී සිසුන් කටයුතු කළහ. ඔවුන් එලෙස වාලධිය ගිනි ගත්තා සේ කටයුතු කිරීමට හේතුව වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන් තමන්ට තර්ජනයක් වෙන ආකාරයේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද බිහිවෙතැයි යන බිය නිසා බව එදා හොඳින් පැහැදිලි විය.

මද කලකට පසු මා ඇතුළු කණ්ඩායමේ විශ්වවිද්‍යාල පාඨමාලා අවසාන විය. අපි විසිරී ගොස් විවිධ රැකියවන්හි යෙදෙමින් අපේ කුසලතා ප්‍රගුණ කරන්නට පටන් ගත්තෙමු. විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළ ද, පක්‍ෂ දේශපාලනයකට කිසිදු සම්බන්ධතාවක් අපේ නොතිබුණු නිසා, රටේ සහ ලෝකයේ දේශපාලනය පිළිබඳව අවබෝධයෙන් සිටීම, දේශපාලන රැළියක් නැරඹීමට යෑම, සඟරාවක් කියවීම හැර අපේ වෙනත් දේශපාලන ක්‍රියාකාරකමක් තිබුණේ නැත.

වසරකට පමණ පසු දිනයක උදෑසන දිවයින පුවත්පතේ පළ වී තිබුණු ප්‍රවෘත්තියකින් මා කැළඹී ගියේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණව කුරිරු ලෙස පිහියකින් කපා මරා දමා තිබුණි. ඔහු සමග සිටි සොමසිරි නම් තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ද බරපතල තුවාල ලබා සිටියේ ය. සාකච්ඡාවක් සඳහා කළ ආරාධනයකට මුවා වී දයා පතිරණව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් එලෙස මරා දමා ඇත්තේ කලින් සමාජවාදී ශිෂ්‍ය සංගමය නමින් හැඳින්වුණු, පසුව අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා නිසා දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය ලෙස නැවත බෙෘතීස්ම ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් බව පසුව හෙළි වූ අතර, ඒ ක්‍රියාන්විතයට, මා පෙර නම සඳහන් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි ජවිපෙ හිතවාදියෙකු ද සක්‍රීයව සහභාගී වූ බව ද පැවසුනි.

දයා පතිරණගේ මරණයෙන් සති දෙකකට පමණ පසු වෙනත් කටයුත්තකට නගරයට ගිය මා, හවස් වරුවේ කොළඹ විශ්වවිද්‍යාල භූමියෙට ගොඩ වැදුණෙමි. මුළු විශ්වවිද්‍යාලය ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ බලයට නතුව තිබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ශිෂ්‍ය අංශය වූ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයට විරුද්ධ පෝස්ටර් යනාදියෙන් විශ්වවිද්‍යාල භූමිය පිරී තිබුණි.

ඒ අතර කැපී පෙනෙන ලෙස ගොඩ නංවා තිබුණු කටවුට් වර්ගයේ පුවරුවක විශාල අකුරෙන් ලිය වී තිබුණු පහත කවිය දැක මා විමතියට පත් වීමි.

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


ඒ මා ඊට වසර ගණනට පෙර ලියූ, එහි දැක්වෙන දේශපාලනය ප්‍රතිගාමී බවට ජනතා විමුක්ති පෙරමුණෙන් අවවාද ලැබීමට හේතුභූත වූ, මගේ කවියයි.

ඒ ස්ථානයේ කාටූන් සහිත පෝස්ටරයක් අඳිමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මිතුරෙකුවන දර්ශක හේරත්ට මගේ ඒ කවියේ ඉතිහාසය විස්තර කරනු ඇසී මා හමුවට ආ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වය බාරගෙන සිටි ධර්මසිරි, මගේ සිතේ ඒ වන විශාල කුතුහලයක් ඇති කර තිබුණු ප්‍රශ්නයට පිළිතුර ලබා දුන්නේ ය.

ඊට වසර දෙකකත් ඉහත මා ලියූු ඒ කවිය කොළඹ විශ්වවිද්‍යාලයේ භාවිතයට පැමිණ ඇත්තේ, එජාප රජය විසින් පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් ඝාතනය කිරීමේ සංවත්සරය සනිටුහන් කිරීමට මගේ සංස්කාරත්වයෙන් ප්‍රකාශනය වුණු සමරු කලාපයෙනි. මගේ කවියේ අදහසට දයා පතිරණ ඇතුළු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ද ඇලුම් කළ නිසා එය පසුගිය කාලය පුරාම තම ප්‍රචාරක පෝස්ටර් සඳහා යොදා ගත් බව එදා ධර්මසිරි මා සමග පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර ප්‍රකාශිත දේශපාලනමය වෙනස මට එමගින් පැහැදිලි විය.

ස්වාධීනයෝ බලහත්කාරෙන් වුව හිරු පිබිදිය යුතු යැයි සිතූහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එලෙස බලහත්කාරෙන් හිරු පිබිදීම ප්‍රතිගාමී අදහසක් යැයි බැහැර කරන්නන් බව (උපාලි ජයවීරගේ සාකච්ඡාව නිසා) පෙනුණි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් අරඹන ලද දීර්ඝකාලීන ඝාතන රැසක ආරම්භය සනිටුහන් කරමින් දයා පතිරණ මරා දැමීම සිදුවූයේ 1986 දෙසැම්බරයේ දී ය.

ඉන් වසර එකහමාරකට පසුව, 1987 ජූලි මාසයේ දී අතසන් කෙරුණු ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම සහ ඉන්දීයානු සාම සාධක හමුදාවේ ආගමනය දඩමීමා කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙර කී දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය මෙන් ඔවුන් ඒ වන විට ගොඩනගාගෙන සිටි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ වෙනත් නොයෙකුත් බලකායන් හරහා රට පුරා ත්‍රස්තවාදී කටයුතු ඇරඹූහ. මූලිකව ඔවුන්ගේ විරෝධය යොමු කෙරුණේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා රජය විසින් අනුගමනය කරමින් තිබූ වැඩ පිළිවෙළට වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ අවසාන අරමුණ වූයේ ත්‍රස්තවාදය හරහා රට අකර්මණ්‍ය කර රාජ්‍ය බලය ඩැහැ ගැනීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. එනම්, කාව්‍යමය භාෂාවෙන් කියතොත් ඔවුන්ගේ ඒ වෑයම වූයේ බලහත්කාරෙන් හිරු පිබිඳවීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ ක්‍රියාන්විතය ආරම්භයත් සමගම, තම නායකයා වූ දයා පතිරණ මරා දැමීමේ පලිය ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෝ ද රජයේ බලවේග හා එක්ව විවිධ ආයුධ සන්නද්ධ හිංසාකාරී කණ්ඩායම් සාදා ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකයින් කොටු කර ගැනීමට ද, ඒ පුද්ගලයින් සඳහා වධකාගාර පවත්වාගෙන යාමට ද, අවසානයේ ඔවුන් ඝාතනය කිරීමට ද පෙළඹුණහ. ජනතා විමුක්ති පෙරමුණ මගින් ඇරඹූ බලහත්කාරෙන් හිරු පිබිදවීමේ විප්ලවයට ස්වාධීනයින් විරුද්ධ වූයේ එසේ ය.

වසර ගණනාවකට ඉහත කාලයක කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය සඳහා මතවාදීව ඇරඹුණු මේ දෙපිරිසේ අරගලය, බාහු බලය, පුටු කකුල්, කඩු කිනිසි, ගල්කටස්, වධකාගාර සහ තුවක්කු හරා ඇදී ගොස් අවිගත්තන් අවියෙන් ම නැසී ගියේ එසේ ය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර, රජයේ සහ වෙනත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන්, තරුණ ජීවිත හැට දහසකට වඩා විනාශ කර දමමින්, දෙවසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලංකාවේ පැවති භීම සමය පසුබිම් කරගෙන හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද යන දේශනය පිළිබඳ මගේ උනන්දුවට හේතුව එසේ ය.

-රසික සූරියආරච්චි (2019)

Friday, 2 November 2018

සිරිසේනබ්‍රෝ හිස දන් දෙයි - Bugger off you bastard


ෆේස්බුක් අවකාශයේ නිශාන් උදය විසින් පළ කර තිබුණු ඉහත කාටූනය දැක මට සිහිවුනේ අප කුඩා කාලේ පටන් අසා තිබෙන, අහමඩ් මොහිදීන් විසින් ගයන "රාජසඟබෝ හිස දී දුගියාටා" නම් ගීතයයි.

ජනප්‍රිය ගීතවල තනුව අනුව අලුත් පද යොදා දේශපාලන විකට ගී ප්‍රතිනිර්මාණය කිරීම අද යුගයේ ජනප්‍රිය කලාවකි.

මීට වසර තුනකට පෙර ලංකාවේ පැවති මහ ඡන්දය අරඹයා එවැනි ගීත රාශියක් ප්‍රතිනිර්මාණය වී සංසරණය වූ අතර, මම ඒවා අතරින් ඉන්දික ගුණවර්ධන නම් කවියා විසින් ප්‍රතිනිර්මාණය කළ ගී සෑහෙන ප්‍රමාණයක් රසිකොලොජිය හරහා බෙදා හැරියෙමි.

https://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

ඒ කාලයේ දී සෑහෙන උත්සාහ කර මට කළ හැකි වූයේ මේ පහත ප්‍රතිනිර්මාණය පමණි.



ඊයේ සිරිසඟබෝ-සිරිසේනබ්‍රෝ කාටූනය දැක රස විඳ, ඉන් පසු "රාජ සඟබෝ හිස දී දුගියාටා" ගීතය අසා, මට පහත ප්‍රතිනිර්මාණය කළ හැකි විය.

මෙන්න ඒ අලුත් පදමාලාව.

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
(සිරි)සේන මෙත්පල් හිස දී මරුවාටා
දන පාරමී
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
ළදරු නාමල් ලොකු වී ආ කලටා
ළදරු නාමල් ලොකු වී ආ කලටා
ගෙදර යන්නෙමී

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
සාදු සාදු යැයි කියාලා
ඒ මරුවා දුන් ලණු කාලා
සාදු සාදු යැයි කියාලා
ඒ මරුවා දුන් ලණු කාලා
අමන බයි කම පෙන්වාලා
දාන පාරමී
අමන බයි කම පෙන්වාලා
දාන පාරමී
ලෝක කිච වී
ලෝක කිච වී
ලෝක කිච වී
ලෝක කිච වී, නිරුවත පෙන්නාලා
දාන පාරමී
සේන මෙත්පල් හිස දී මරුවාටා
දන පාරමී

සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී
සාදරෙන් පැතීය extension
beyond 2020 කාලේ
ලෝක කිච වී, නිරුවත පෙන්නාලා
දාන පාරමී
සේන මෙත්පල් හිස දී මරුවාටා
දාන පාරමී


චමල් අකලංක පොල්වත්තගේ ද මෙවැනි ප්‍රතිනිර්මාණයක් කර ඇතිමුත්, මා නොදන්නා එහි මුල් ගීතය කුමක්දැයි තවමත් සොයමින් සිටිමි.

https://18sanniya.blogspot.com/2018/11/blog-post.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න රාජසඟ බෝ හිස දී දුගියාටා ගීතය


(image: edited from - https://www.facebook.com/permalink.php?story_fbid=939579922919266&id=100006018017513)

Thursday, 1 November 2018

අවසානය (මාටින් නීමොලර්) : First they came (Martin Niemöller)


ජර්මානු ජාතික මාටින් නීමොලර් නම් පාස්ටර්වරයා (1892-1984) විසින් හිට්ලර් ගේ නාසි ඝාතක කණ්ඩායම් පිලිබඳව ලියන ලද First They Came නමැති ප‍්‍රසිද්ධ කවියේ අනුවාදයකි.

පළමුව ඔවුන් ආවේ මරණට සැරසී
කොමිනිස්ට් කාරයන් රංචුව දස වද දී
මුනිවත රැකිමි නොම ගෙන කරදර සිතටා
කොමිනිස්ට්වාදියෙක් නොවෙමිය මම කිසිදා

දෙවනුව ඔවුන් ආවේ ගිනි අවි රැගෙන
මරණට මානසික ආබාධැති පිරිස
කිසිවක් නොදෙඩුවෙමි ඒ ගැන මම මුවිනි
රෝගාබාධ මා මනසේ නැති බැවිනි

තෙවනුව ඔවුන් මැරුවේ හිත් පිත් නැතුව
යුදෙව් ජන පිරිස ලොකු පොඩි අඩු නැතුව
කුමකට විමසමි ද මම ඒ ගැන ඉතින
යුදෙව්වෙක් නොවෙමි මම එය දැන ගනුව

ඉන් පසු මරා දැම්මෝ ඒ වධක කැල
අදහන කතෝලික ආගම සියලු දෙන
මුවින් නොබැණ සිටියෙමි මම සැනසිල්ලේ
ප්‍රොතෙස්තන්ත දහමය මා අදහන්නේ

අවසන ඔවුන් ආවේ මා සොයාගෙන
මරණ සහතිකේ මගෙ දින දමා ගෙන
කිසිවෙකු සිටියෙ නැත ඒ බිහිසුණු දිනයේ
මා ගැන හඬක් නැගුමට මේ මිහි තලයේ

අනුවර්තනය - රසික සූරියආරච්චි

මාටින් නීමොලර් පාස්ටර්වරයා විසින් ලියන ලද මේ සුප්‍රකට කවියේ විවිධ සංස්කරණ දක්නට ලැබේ. එය නීමොලර් විසින් කරනු ලැබූ කතාවක හරයේ පද්‍යමය සංස්කරණය කියා ද කියවේ. ඒ සමගම ඇමරිකාවේ දක්නට ලැබෙන සංස්කරණයන්හි කොමියුනිස්ට්වාදීන් යන්න වෙනුවට සමාජවාදීන් කියා කියවෙන බවත්, ජර්මනියේ ඇති සමහර සංස්කරණවල යුදෙව්වන් හා සම්බන්ධ කොටස නොමැති බවත් කියවේ.

එක් පිළිගත් සංස්කරණයක ඉංග්ලිෂ් පරිවර්තනය මෙසේ ය.

First they came for the communists and I did not speak out because I was not a communist.
Then they came for the trade unionists and I did not speak out because I was not a trade unionist.
Then they came for the Jews and I did not speak out because I was not a Jew.
Finally, they came for me and there was no one left to speak out.

මගේ අනුවර්තනය පදනම් වූයේ ඉහත ඉංග්ලිෂ් පරිවර්තනයත් තවත් සංස්කරණ කිහිපයක් ද පනම් කරගෙන බව කිව යුතු ය.

(image: https://www.britannica.com/biography/Martin-Niemoller)