Showing posts with label ලූෂන් බුලත්සිංහල. Show all posts
Showing posts with label ලූෂන් බුලත්සිංහල. Show all posts

Thursday, 27 May 2021

පුරසඳ, අවසඳ සහ සෝමරත්න දිසානායක - Lunar-tic thoughts



මෙවර වෙසක් පුරසඳ වෙනුවට සිනුවර අපට දක්නට ලැබුණේ අවසඳකි.

ඒ අවසඳ මට සිහිකළේ 1993 දී පමණ ලංකාවේ විකාශය කෙරුණු "අවසඳ" නම් ටෙලිනාට්‍යයයි. එය අධ්‍යක්‍ෂණය කළේ කලකට පෙර සිනුවර වැසියෙකු වූ සෝමරත්න දිසානායක විසිනි. ඔහු මේ වසරේ තිස්වෙනි සංවත්සරය සමරන ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ආරම්භක සභාපති ද වේ.

"අවසඳ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ බව මගේ මතකයයි. භීෂණ සමයේ අතුරුදහන් වූ තම පෙම්වතා ගැන කම්පනයෙන් සිටින යුවතියක පිළිබඳ කතාවක් රැගත් "අවසඳ" නිර්මාණය එකල ආණ්ඩුවේ ලොක්කන්ට ඇල්ලුවේ නැත. එනිසා, කතාව අවසන් වෙන්නට කලින් එය විකාශය කිරීම අත්හිටුවන ලදී.

ඒ තහනම පිළිබඳ අදහස් දැක්වූ එවකට මාධ්‍යය පිළිබඳ රාජ්‍ය ඇමතියෙකු වූ ඒ ජේ රණසිංහ නමැත්තා ප්‍රකාශ කළේ එම නිර්මාණය "අවසඳ" නොව "නව ගඳ" ලෙසින් නම් කළ යුතුව තිබුණු බවයි.

ඒ ජේ රණසිංහ නමැත්තා ගඳ සුවඳ හඳුනන්නෙකු නොවේ. එවකට ජනාධිපති ර. ප්‍රේමදාසගේ සුවට කීකරු බලු කුක්කෙකු වූ ඔහු එකල පැවසූ තම "ස්වාමියාගේ සෙරෙප්පුවලින් තමන් සුප් එකක් හදා බොන්නට වුව සූදානම්" ය යන කූප්‍රකට ප්‍රකාශයෙන් ඒ බව අපට හොඳින් වැටහී තිබුණි.

පැවති යූඇම්පී ආණ්ඩුව වෙනුවට 1994 දී පොදු පෙරමුණු බලයට පත්වූ පසුව ද "අවසඳ" ටෙලි නාට්‍යය නැවත විකාශය වූයේ යැයි නොසිතමි.

ඒ ආණ්ඩු පෙරළිය සඳහා සෝමරත්න දිසානායක ද යම් වැඩ කොටසක් ඉටු කළා විය යුතුයි. එදා 1994 මහ ඡන්දයේ දී පොදු පෙරමුණට සහය දක්වමින් කලාකරුවන් ගේ සංවිධානයක් විසින් නුගේගොඩ දී පවත්වන්නට යෙදුුණු, කාලෝ ෆොන්සේකා, ලූෂන් බුලත්සිංහල, කේ බී හෙරත් සහ බන්දුල විජේවීර වැනි පුද්ගලයින් කතා කළ රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය (සහ සෝමරත්න දිසානායක?) බව මගේ මතකයයි.

වරක් මෙල්බර්න් නගරයේ දී ද, දෙතුන් වරක් සිනුවර දී ද, දෙවරක් කොළොම්පුරයේ දී ද, මට සෝමරත්න දිසානායක හමු වී කතාබස් කර ඇති නමුත්, ඔහුගෙන් කිසි දිනක අවසඳ ටෙලිනාට්‍යය අවසන් වීමට නියමිතව තිබුණු ආකාරය ඇසීමට මට අමතක විය.

ඒ කාලයේ දී ම විකාශය වූ, සෝමරත්න දිසානායක ම ලියා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයක් වූ "ඉටිපහන්-1" නරඹන කාලයේ දී ද මට ඔහුගෙන් විමසීමට ප්‍රශ්නයක් තිබුණි. එනම්, "කතාව අවසානයේ දී හෝ සුද්දා ආපසු ඒවි ද?" යන්නයි. නමුත් "ඉටිපහන්-1" අවසාන වෙනවිට ද සුද්දා ආවේ නැත.

සුමිත්‍රා රාහුබද්ධ ලියූ "ඉටිපහන" නවකතාව ඇසුරෙන් නිපදවුණු "ඉටිපහන්-2" ටෙලිනාට්‍යය නැරඹීම අරඹන විට සුද්දා කිසි දිනෙක ආපසු නොඑන බව අපට වැටහී තිබුණි!

එසේනම් අපි පොසොන් මහේ දී පුරසඳ නරඹමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයක් පිළිබඳ කතාවක්.
https://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html

(image: https://www.abc.net.au/news/2021-05-26/see-how-the-rare-super-blood-moon-lit-up-the-australian-sky/100168486)

Wednesday, 17 August 2016

කලාකරුවෙකු වෙන්නේ කෙසේද? - A pipe dream?


යමෙකු කලාකරුවෙකු වෙන්නේ කෙසේ ද? ඒ සඳහා උපතින් ම ලද හැකියාවක් තිබිය යුතු ම ද? ඒ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? හැකියාවක් ඇති අයෙකුට එතැනින් ඔබ්බට යාමට අවශ්‍ය ජවය හෝ උත්තේජනය හෝ වරම හෝ මොකක්ද එක හෝ ලැබෙන්නේ කෙසේද?

ඉහත ප්‍රශ්න මාලාව මගේ සිතට ආවේ, පසුගිය දා සිනුවර දී ලූෂන් බුලත්සිංහල සමග පැවති සුහද සාකච්ඡාවේ දී ඔහු මුලින් පැවසූ දෙයටත්, නිහාල් රූපසිංහ ගේ ප්‍රශ්නයකට ලූෂන් බුලත්සිංහල දුන් පිළිතුරටත් ඇහුම් කන් දී සිටි අවස්ථාවේ දී ය.

නිහාල් රූපසිංහ විසින් විමසන ලද ඒ ප්‍රශ්නය වූයේ, නාට්‍යවේදියෙකු, ගීත රචකයෙකු ලෙස ලූෂන් බුලත්සිංහල පැමිණි ගමනේ මූලාරම්භය කෙසේ වූයේ ද යන්නයි.

ලෙක්හවුසියේ සරසවිය සිනමා සඟරාව හෝ සති අන්ත පුවත්පතක් සමග ලැබෙන වෙනත් ඒ ආකාරයේ සඟරා අතිරේකයකින් කලාකරුවෙකු සමග කෙරෙන සම්මත අච්චුවේ සම්මුඛ සාකච්ඡාවකදී නිරතුර ඇසෙන්නා වූ ප්‍රශ්නයක් වූ එය, බැලු බැල්මට වැදගත්කමක් නැති එකෙකැයි සිතුණ ද, ඇත්තටම කලාකරුවා ඇතිවීම හෝ නැතිවීම පිළිබඳ තීරණාත්මක තොරතුරු ලබා දෙන ප්‍රශ්නයක් බව හොඳින් විශ්ලේෂණය කර බලන කල පෙනේ.

නිහාල් රුපසිංහ ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එදා ලූෂන් බුලත්සිංහල පැවසූ ඔහු ගේ ජීවිතය පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ය.

වේදිකා නාට්‍යයට ඇති ඔහු ගේ ඇල්ම ආරම්භ වී ඇත්තේ, කුඩා කාලයේ රත්මලාන ප්‍රදේශයේ පෙන්වූ ටීටර් නාඩගම් නිසා ය. නමුත් ඔහුට ඒ නාටක රිසි සේ නරඹන්නට මුදල් තිබී නැත. කුඩා ලූෂන් බුලත්සිංහල කර ඇත්තේ වෙරළබඩ පොල් අතුවලින් වට කළ තාවකාලික වේදිකාවේ නාට්‍යය පුහුණු වන ආකාරය, පොල් අතු අස්සෙන් හොරෙන් බලා රස විඳීමයි.

වරක් මේ ආකාරයට තමන් නාට්‍යයක් පුහුණු වන ආකාරය හොරෙන් නරඹමින් සිටිනවා දුටු නාට්‍යයේ සංවිධායකයෙකු තමන්ව කණෙන් ඇද එළවා දැමූ බව ද ලූෂන් බුලත්සිංහල අප සමග පැවසී ය.

කුඩා කල සිට ම චිත්‍ර ශිල්පයට දක්‍ෂ සිසුවෙකු වූ ලූෂන් බුලත්සිංහල සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හේවුඩ් ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙසින් චිත්‍ර කාලව වැඩිදුර ඉගෙනීම අරඹා ඇත. නමුත් ඒ අධ්‍යාපනය දිගටම කරගෙන යාම සඳහා වියදම් කිරීමට ඔහු ගේ පියාට මුදල් නොතිබුණු නිසා, ඔහු චිත්‍ර කලාව ඉගෙනීම අත හැර යළිත් පාසලට ගොස් උසස් පෙළ හදාරන්නට පටන් ගෙන තිබේ.

එදා එය එසේ නොවුණා නම්, අද සමහර විට ලූෂන් බුලත්සිංහල නම් නාට්‍යකරුවෙකු නොසිටින්නට ද ඉඩ තිබුණි.

ඒ හැටේ දශකයේ මුල් කාලයයි.

ඉන්පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බැඳී අධ්‍යාපනය හදාරන්නට වරම් ලබන ලූෂන් බුලත්සිංහලට ඒ කාලයේ ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ලිපිකරුවෙකු ලෙස පූර්ණකාලීනව රැකියාවක නිරතවෙන්නට ද සිදු වී ඇත. ඒ පිළිබඳව ද රසවත් කතාවක් ඔහු අප සමග පැවසූ අතර එය පසුව ලිපියක ලියන්නට අදහස් කරමි.

කෙළින් ම ඒ බව නොකියවුණ ද, මට වැටහුණු ආකාරයට, විශ්ව විද්‍යාලයට යන්නට පෙර සිටම වේදිකා නාට්‍යවලට සම්බන්ධව සිටියද, ලූෂන් බුලත්සිංහල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නාට්‍යවලට සම්බන්ධ වූ අයෙකු නොවන බව පෙනුණි.

කෙසේ නමුත්, තමන් වේදිකා නාට්‍යවේදියෙකු වීමට මූලිකවම බලපෑවේ, කුඩා කාලයේ අමාරුවෙන් දැක බලා ගත් ඒ ටීටර් නාටක නිසා බව ලූෂන් බුලත්සිංහල එක හෙළා පැවසී ය.

නමුත් කුඩා කාලයේ නාට්‍යය නැරඹීමෙන් පමණක් නාට්‍යකරුවෙකු වීමට නොහැකි බව පැහැදිලි ය. උදාහරණයක් ලෙස මා නැරඹුූ මුල්ම වේදිකා නාට්‍යය වූයේ (ලූෂන් බුලත්සිංහල ගේ ම නිෂ්පාදනයක් වූ) රතු හැට්ටකාරී නාට්‍යයයි. ඒ මා අටවෙනි ශ්‍රේණියේ පමණ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී ය.

එසේ වෙතත්, මට නම් තවමත් නාට්‍යකරුවෙකු වීමට හැකි වුයේ නැත. එදා සුහද සංවාදය අවසානයේ තේ බොන අතර දී මම ලූෂන් බුලත්සිංහල සමග ද මේ බව පැවසූවෙමි.

එයින් මා කියන්නට අදහස් කළේ, කලාකෘතියක් නැරඹීමෙන්, රස විඳීමෙන් පමණක් කලාකරුවෙකු වීමට හැකියාව නොලැබෙන බවයි.

සිනුවර සිංහල සංස්කෘතික හමුවෙන් කෙටි නාට්‍ය උලෙළක් ඇරඹුණේ මින් වසර තුනකට ඉහත දී ය. ඒ මුල් ම උත්සවය සඳහා නාට්‍යයක් ලියා නිෂ්පාදනය කරන්නට මම ඉටා ගත්තෙමි.

තුන්වෙනි වරට පැවැත්වෙන නාට්‍ය උත්සවය සඳහා අත් පිටපත් භාර ගැනීම පසුගිය ජූලි 15 දා අවසන් විය. පසුගිය වසර කිහිපය තුළ දී විවිධ නාට්‍යකරුවන් ඇසුරු කළ ද, මට තවමත් එක් වචනයක් හෝ ලියා ගැනීමට නොහැකි විය.

කලාකරුවෙකු වීම ලේසි පහසු වැඩක් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හදිසියේ ම මෙන් සංවිධානය වූ ලූෂන් බුලත්සිංහල හමුව නිසා රසිකොලොජියට සෑහෙන්න කාර්ය බහුල කාලයක් එළැඹුනි. එදා මා ලද අත්දැකීම් ආශයෙන්, පසුගිය සතිය තුළ මා රසිකොලොජියේ ලියා පළ කළ ලිපි ලයිස්තුව මෙසේ ය.

1. ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


2. පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


3. තවත් හූවක් - One more yarn
http://rasikalogy.blogspot.com/2016/08/one-more-yarn.html


4. ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle
http://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html


5. ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises
http://rasikalogy.blogspot.com.au/2016/08/election-promises.html


(image: http://www.canstockphoto.com/pipe-dream-10179134.html)

Tuesday, 16 August 2016

ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises


පසුගිය දා ලූෂන් බුලත්සිංහල සමග සිනුවර තදාසන්නයේ දී පැවති සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ ප්‍රශ්න අසද්දී, පාලිත මංචනායක පරණ කතා කියද්දී, මා ද ප්‍රශ්නයක් ඇසූ බව පෙරේදා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහලගෙන් මා ඒ ප්‍රශ්නය අසද්දී මගේ සිත වසර විසි දෙකකට ඉහත අතීතයක මතකයකට දිව ගියේ ය.

මේ ඒ මොහොතේ මගේ සිහියට නැගුණු, නමුත් මා ලූුෂන් බුලත්සිංහල සමග නොපැවසූ මගේ ඒ මතකයයි.

නිදහස ලැබුණු කාලයේ කෙසේ වෙතත්, පසුව දෙවන දේශපාලන බලවේගය ලෙස සොලමන් බණ්ඩාරනායක සහ පිලිප් ගුණවර්ධන ගේ මහජන එක්සත් පෙරමුණ කරළියට ආ පසු ලංකාවේ ආණ්ඩු පිහිටවීම සිදුවුණේ තට්ටු මාරු ක්‍රමයට බව අපි දනිමු.

ආණ්ඩුව කරන මුං එපා වූ විට, කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු අය හැර අන් ජනතාව තම ඡන්දයෙන් අරුංට ආණ්ඩු බලය දෙති. ඊළඟ ඡන්දය ළඟාවෙන විට අරුංව එපා වී හමාර ය. එනිසා, මුංට නැවතත් ආණ්ඩු බලය දෙති.

එලෙස තට්ටුමාරු ක්‍රමයට ආණ්ඩු වෙනස් වීම සඳහා බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ අරුං හෝ මුං විසින් දෙනු ලැබූ විවිධාකාරයේ ඡන්ද පොරොන්දු ය.

මට මතක ආකාරයට 1970 ඡන්දයේ දී, එවකට පැවති යූඇම්පී හත් හවුලේ රජය පරදා, සිරිලංකා, සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂවල සමගි පෙරමුණ ජය ගැනීමට මූලික හේතුවක් වූයේ හාල් සේරු දෙකක් දීමට දුන් පොරොන්දුවයි.

ඡන්දය දුන් සමහරු සිතා සිට ඇත්තේ, මේ හාල් දෙන්නේ නොමිලයේ බවයි. නමුත්, හදේ සිට හාල් ගෙන ඒම නොමිලයේ කළ නොහැකි බව පසුව පැහැදිලි විය.

සමගි පෙරමුණ සත් වසක ශාපය අවසාන වූයේ 1977 දී ය. ඒ යූඇම්පී-තොණ්ඩමාන් රජය පිහිටුවීමෙනි. ඒ ඡන්දය පැවැත්වෙන කාලය වන විට කැපුවත් නිල්, කැපුවත් රතු අයට කෙසේ වෙතත්, අති බහුතරයක් අන් අයට නම් පැවති රජය සදහටම එපා වී තිබුණි. එසේ වුවද, යූඇම්පීය විසින් ඇට රාත්තල් අටක් ලබා දෙන බවට කළ කුප්‍රකට ඡන්ද පොරොන්දුව, ඔවුන් ගේ අති විශාල ජයග්‍රහණයට මූලික හේතුවක් වූ බව නොදන්නා අයෙකු නැති තරම් ය.

ඉන් පසු උදා වූයේ දාහත් වසක ශාපය යි. ඒ අවසානයේ 1994 මැතිවරණය වන විට නැවතත් පොදු පෙරමුණ නම් බෝං ලීයේ ගැට ගැසී සිටි සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් කණ්ඩායම යූඇම්පීයට සටනක් දිය හැකි ආකාරයක සෑහෙන්න තරගකාරී මට්ටමක සිටියහ. අපේ කාලයේ දේශපාලන ආන්ටි කෙනෙකු ගේ සුප්‍රකට "කාගෙන, කාගෙන, කාගෙන" යාමේ කතාව කෙසේ වුවද, යාන්තම් අළු පිසදමමින් නැගිටිමින් සිටි ජවිපෙ නෂ්ටාවශේෂයේ ද, අනියම් සහය පොදු පෙරමුණට ම ලැබුණි.

මා ලූෂන් බුලත්සිංහලගෙන් ඇසූ ප්‍රශ්නයේ සඳහන් කෙරුණු චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහය දෙන්නට කලාකරුවන් ගේ සංවිධානයක් ගොඩ නැගුණේත්, ඔවුන් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූයේත් ඒ 1994 මැතිවරණය හේතු කොට ගෙන ය.

එකල ඇතුල්කෝට්ටේ පදිංචිව සිටි මා ද නැරඹීමට ගිය එකී දේශපාලන ප්‍රචාරක රැස්වීමේ නිවේදක කටයුතු කළේ රේණුකා බාලසූරිය බව මගේ මතකයයි. සමහර විට සෝමරත්න දිසානායක ද ඉන්නට ඇත.

මා ඒ රැස්වීම් භූමියේ රැඳි සිටි කාලය ඇතුළත ජනතාව අමතා කතා කළ අය අතර, නාට්‍යවේදී කේ.බී. හේරත්, ගායක බන්දුල විජේවීර, ගීත රචක කාලෝ ෆොන්සේකා මෙන් ම, නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල ද වූහ.

ලූෂන් බුලත්සිංහල අපට නොබෝදා ඉදිරිපත් කළ නිර්වචනය අනුව ඒ කලාකරුවන් ගේ සංවිධානයට එක් වී සිටි සමහරුන් කලාකරුවන් නමුත් බොහෝ දෙනා නිකම්ම නිකං කලා ශිල්පීන් පමණක් යැයි මට සිතේ.

ඒ කෙසේ වෙතත්, එදා නුගේගොඩ රැස්වීමේ දී ලූෂන් බුලත්සිංහල කියූ එක් කරුණක්, වසර විසි දෙකකට පසුව වුව ද, තවමත් මගේ සිතේ හොඳින් රැඳී ඇත.

හාල් සේරු දෙක, ඇට රාත්තල් අට වැනි පැරණි ඡන්ද පොරොන්දු ගැන සිහි කළ ලූෂන් බුලත්සිංහල ඒවා උපමා කළේ මහ ජනතාව නම් කුකුළු රංචුවට "බා, බා, බා!" කියා විසි කරන පොරි වශයෙනි.

වෙනදා ඡන්ද විමසීම්වල දී මහ ජනතාව, කුකුළන් පොරිවලට වහ වැටෙන්නා සේ, ඒ ඒ පොරොන්දුවලට ආකර්ෂණය වී ඒ පැත්තට, මේ පැත්තට ඡන්දය දී ආණ්ඩු මාරු කළා වුව ද, මෙවර ඡන්දයේ දී නම්, දූෂණය, භීෂණය පිරි දාහත් වසක දුර්දාන්ත පාලනය අවසන් කිරීමට මහ ජනතාව ඡන්දය දෙන්නේ කිසිම ඡන්ද පොරොන්දුවක් නිසා නොවන බවත් ලූෂන් බුලත්සිංහල පැවසීය.

ලූෂන් බුලත්සිංහල එදා රැස්වීමේ දී එසේ කියූවද, පොදු පෙරමුණ මගින් ද, ඒ කුකුලන්ට පොරි ආකාරයේ ඡන්ද පොරොන්දුවක්, එනම් පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පනහක් කරනවා ය යනුවෙන්, ඒ වන විටත් ඉදිරිපත් කර තිබුණි.

එදා 1994 ඡන්ද ප්‍රතිඵලයට ඒ තුනයි පනහේ පාන් ගෙඩි පොරොන්දුවේ බලපෑම අතිශය තීරණාත්මක වී දැයි මට නිවැරදිව කිව නොහැකි නමුත්, කිසිදු බලපෑමක් නොවී යැයි කියන්නට නම් කිසිසේත් ම නොහැකි ය.

ඒ සමගම, ලූෂන් බුලත්සිංහල එදා සුහද සංවාදයේ එක් අවස්ථාවක සඳහන් කළා සේ, දාහත් වසරක යූඇම්පී පාලනය අවසාන කරන්නට ඔවුන් කලාකරුන් ගේ සංවිධානය පිහිටුවාගෙන පොදු පෙරමුණට උදව් කර ඇත්තේ, තමන් ගේ ඉල්ලීමක් ද, චන්ද්‍රිකා කුමාරතුංගගෙන් පොරොන්දුවක් සේ ලබා ගෙන ය.

එය නම්, කොළඹ නගරයේ සුවිසල් රංගන ශාලාවක්, රජයේ වියදමෙන් ඉඳි කරනවා ය යන පොරොන්දුවයි.

ඒ සඳහා කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ජෝන් ද සිල්වා රඟහල අසල ස්ථානයක් තෝරා ගෙන, මූලික සැලසුම් කෙරුණු බවත්, එසේ වතුදු ඒ සැලසුම් කිසි දිනෙක ඒ ආකාරයෙන් ක්‍රියාවට නැංවුනේ නැති බවත්, ඒ භූමි භාගයේ පසු කලෙක, නෙළුම් පොකුණ රඟහල ඉඳි වූවත්, එය සංදර්ශනයක් හෝ නාට්‍යයක් සඳහා පැය කිහිපයකට කුලියට ගැනීමට මුදලින් රුපියල් ලක්‍ෂ හතක් වැය වෙන තත්වය යටතේ කිසිසේත් ම, ජනතා කලාවක් දියුණු වීමට හේතු කාරක නොවෙනු ඇති බවත් ලූෂන් බුලත්සිංහල එදා අප සමග කීවේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ලූෂන් බුලත්සිංහල කතා කිහිපයක් ම අවශ්‍ය පරිදි ලිවිය හැකි බව සතුටින් දන්වමි.

(https://motherhensnest.wordpress.com/category/current-events/entertainment/page/2/)

Sunday, 14 August 2016

ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle


සිය ඕස්ට්‍රේලියානු නාට්‍ය සංචාරයේ කොටසක් ලෙස ලූෂන් බුලත්සිංහල කලාකරුවා පසුගිය දා සිනුවරට පැමිණි අවස්ථාව උපයෝගී කොට ගෙන ඔහු සමග පැවැත්වුණු සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ නැගූ ප්‍රශ්නය ගැන ද, පාලිත මංචනායක පැවසූ අතීත කතාව ගැන ද, මම පසුගිය දා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහල යනු කලාකරුවකු මෙන් ම, දේශපාලන සත්වයෙකු ද නිසා, ඔහුගෙන් අසන්නට වැදගත් ප්‍රශ්නයක් මට ද තිබුණි.

මේ මා ඇසූ ඒ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුරයි.

රසිකොලොජිස්ට්:ලූෂන්, ඔබ ඔබේ කතාවේදී කිව්වා 1994 දී කලාකරුවන් එකතු වෙලා ආණ්ඩු වෙනසක් කරන්න කටයුතු කළා ය කියලා, ඒ සමගම, ඔබව හඳුන්වාදීමේ දී පාලිත ගනේවත්ත සඳහන් කළා පසුගිය වසරේ ලංකාවේ සිදුවුණු පාලනයේ වෙනස්කම සඳහා වූ ඔබේ සම්මාදම ගැන. අපේ ජීවිත කාලය ඇතුළත දී අප දැකලා තියෙනවා ඒ වගේ කලාකරුවන් එකතු වෙලා පවතින දුර්දාන්ත පාලනය ඉවත් කරන්නට, 1970 දී, 1977 දී, 1994 දී, මටත් මතකයි ඒ අර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ තිබුණු රුස්වීම බලන්න මාත් ගියා, දැන් 2015 දී, කටයුතු කළ ආකාරය.

මගේ ප්‍රශ්නය මේකයි. ඊළඟට කවදාද ඒක ආපහු කරන්නේ? ඊළඟට කවදාද පවතින දුර්දාන්ත පාලනය වෙනස් කරන්න කලාකරුවන් එකතු වෙන්නේ? ඒ චක්‍රය අප කොපමණ කල් පවත්වාගෙන යනවාද?

ලූෂන්:ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඒකට මූණ දීලයි ඉන්නේ, ඊළඟට මොකද කරන්නේ කියලා.

පසුගිය දා මට අවස්ථාව ලැබුණා කැන්බරා පාර්ලිමේන්තුව බලන්න යන්න. මං ලංකාවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා නෑ තවමත්.

වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්න යන්න, ඒ ගැන අවබෝධයක් ලබාගන්න, පහසුකම් හදලා දීලා තියෙනවා. අපේ මන්ත්‍රීලා කැමති නෑ පාර්ලිමේන්තුව බලන්න එනවට කවුරුවත්. මොකද දන්නවා ඔක්කොම අහුවෙනවා ය කියලා. පොඩි ළමයින්ට තමයි පාර්ලිමේන්තුව බලන්න යන්න ඉඩ දෙන්නේ සාමාන්‍යයෙන්.

මෙහේ කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් තියෙනවා. ආණ්ඩුවෙන් සම්මත කරන පනත් ඒ සෙනෙට් සභාවෙන් අනුමැතිය ලබන්න ඕනෑ. එහෙම අනුමැතිය නොලැබුණු අවස්ථාවල ආණ්ඩුකාරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහිමිවුණේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එදා අපට දුන්නු ලණුව තමයි අපි මේ අධිරාජ්‍යවාදීන් එක්ක බැඳුම් තියාගෙන ඉන්න අවශ්‍ය නෑ කියා දේශානුරාගය ඇවිස්සීමයි.

මිනිසුන් සතුව තිබුණු බලය කෙළින් ම දේශපාලකයින් අතට ගත්තා.

අද මිනිසුන් ගේ බලය ශූන්‍යයි. ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. ඡන්දේ දෙන්නේ සිල් රෙදි වගේ දේවල් වෙනුවෙනුයි. සල්ලිවලටයි. ඉතිං පාර්ලිමේන්තු ගිය අය කියන්නේ අපි උඹලාගේ ඡන්දේ ගත්තේ සල්ලිවලටයි. දැන් උඹලත් එක්ක අපේ තවදුරටත් ගනුදෙනුවක් නෑ කියලයි.

වර්ෂ 1972 දී ඇරඹුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම පසු කාලේ දී වඩාත් සීඝ්‍රව සිදුවුණා. පාර්ලිමේන්තුව කවදාකවත් නැති විදියට බිස්නස්කාරයින් ගෙන් පිරෙන්න පටන් ගත්තා. සෝල්බරි ව්‍යවස්ථාව තියෙන කාලේ බිස්නස් කරන, රැකියා කරන අයට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව තිබුණේ නෑ. එනවානම් ඒවායින් ඉවත් වෙලා එන්න ඕනෑ.

නමුත් 1977 න් පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීලාට වයින් ස්ටෝර්ස් ලයිෂන් ගන්න පුළුවන් වුණා. ඕනෑම බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම වගේ හොඳ බිස්නස්කාරයෝ.

අද අපේ රටේ තියෙන ජනමාධ්‍ය ආයතන ගොඩක් කරන්නේ, සල්ලි දාලා තියෙන්නේ අපේ දේශපාලඥයිනුයි.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඡන්ද තියෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. එහෙම නම්, සිම්බාබ්වේ රටේත් ඡන්ද තියෙනවා.

අපව ලොකු මංමුළා කිරීමකට ලක්කරලා තියෙනවා පසුගිය කාලේ. ඉතිං අපි බලාගෙන හිටියා. අපට කරන්න දෙයක් නෑ. කලාකරුවන් හැටියට රජයේ පොඩි රස්සාවල් කරන් හිටපු අය හැටියට අපට කරන්න දෙයක් තිබුණේ නෑ.

අපට හොඳ ප්‍රජාවක් නැති එක තමයි ප්‍රධානම හේතුව.

අර ප්‍රශ්නයට උත්තරේ විදියට මං කියන්නේ ආණ්ඩු නෙමෙයි වෙනස් කරන්න ඕනෑ. දැන් වෙනස් කරන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්වයි.

ආණ්ඩු වෙනස් කරලා හරි යන්නේ නෑ. මිනිස්සු වෙනස් කරගන්න පුළුවන් වුණොත් මං හිතනවා අපට හැකිවේවි සිස්ටම් එක වෙනස් කරගන්න.

අපි කලා සංවිධානය පිහිටුවලා චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නේ සිස්ටම් එක වෙනස් කරනවා ය කියලා පොරොන්දු වුණ නිසයි. එයා පොරොන්දු වුණා, ජනාධිපති ක්‍රමය නැති කරනවාය, ජාතික ප්‍රශ්නය විසඳනවා ය කියලා, ඒ නිසයි අපි ඡන්දේ දුන්නේ. එයත් බොරු කළා.

මේ ගොල්ලොත් පොරොන්දු වුණා.

අද අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපි ඉල්ලන්නේ සිස්ටම් එක වෙනස් කරන්නයි.

ලූෂන් බුලත්සිංහල ගේ ඉහත පිළිතුරෙන් මට හැඟී ගියේ තවමත් ඔවුන් පරාජය භාර නොගෙන තවදුරටත් බලාපොරොත්තු සහගතව සිටිනා බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ප්‍රශ්න කිහිපයක් ඒ වැඩ සටහනේ දී සාකච්ඡා වූ අතර, ඒ සියල්ලම රසිකොලොජියට අදාළ නොවේ.

කෙසේ වෙතත්, අවසානයේ පැවසිය යුත්තේ, ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්‍රණය නොකර, ලූෂන් අයියා, ලූෂනයියා, ඔබතුමා වැනි අනවශ්‍ය පර්යා පද යොදමින් අපේ ම මිතුරන් කළ අපහාසය නම් මට දිරවූයේ නැති බවයි.

Friday, 12 August 2016

පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past


මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නාට්‍යය සංචාරයක නිරතව සිටින ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා සමග සුහද සංවාදයක් අපේ ලේඛක සංසදය විසින් පසුගිය දා සිනුවර දී සංවිධානය කරන්නට යෙදුණු බව මම ඊයේ රසිකොලොජියේ ලියා පළ කළ ලිපියේ සඳහන් කළෙමි.

එදින, සංවාද සභාවේ සිටි මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් වළේ දී, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යයට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් හූ කීමේ සිදුවීම පිළිබඳව ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථියෙකු ද වන ලුූෂන් බුලත්සිංහල කලාකරුවා ගේ අදහස විමසන ලදී.

මේ හූ කීමේ සිද්ධිය පිළිබඳ මගේ මතය මීට පෙර දිනක මම ලියා ඇත්තෙමි.

ඒ ප්‍රශ්නයට ලූෂන් බුලත්සිංහල විසින් දුන් පිළිතුර කාගේත් ඇස් ඇරවන්නක් විය. එසේ වූයේ්, පේරාදෙණිය වළේ හූවේ ආරම්භය ගැන ද යම් කිසි වැදගත් කරුණු ලූෂන් බුලත්සිංහල ගේ කථාවෙන් හෙළි වූ නිසා ය.

පේරාදෙණියේ ම පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් ද කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ලූෂන් බුලත්සිංහල ඉගෙනුම ලබා ඇත්තේ මීට වසර පනහකට පෙර 1963-1967 පමණ කාලයේ දී ය. අවසාන වසරේ දී ඔවුන් හැදෑරූ සිංහල සාහිත්‍යය වැනි විෂයක අවසාන දේශනය පවත්වා ඇත්තේ මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණය කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසිනි. එදා ඒ දේශනයට මාතෘකාව වී ඇත්තේ ප්‍රකට සංස්කෘතික නාට්‍යයක සිංහල පරිවර්තනය වන "මැටි කරත්තය" නම් කෘතියයි.

දේශනය අවසාන කරමින් එදිරිවීර සරච්චන්ද්‍ර පවසා ඇත්තේ විෂය නිර්දේශානුකූලව හදාරන්නේ ඒ නාට්‍යයේ පෙළ පමණක් වුව ද, නාට්‍යය කෘතියක් සම්පූර්ණ වන්නේ එය වේදිකාවේ රඟ දැක්වෙන විට බවත්, පී වැලිකල ගේ අධ්‍යක්‍ෂණයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනය වී ඇති "මැටි කරත්තය" නාට්‍යය පසු දිනයක විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වෙන විට ශිෂ්‍යයින්ට එය නැරඹිය හැකි බවත් ය.

එසේ කී උගත් මහාචාර්යවරයා තම දේශනය අවසාන කර ඇත්තේ, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන උපහාසාත්මක, කට කැඩිච්ච, කථාවත් සමගිනි.

ගුරා ගේ ඒ කතාව ඇතැම් ගෝලයින් ගේ සිතට හොඳින් කා වදින්නට ඇත.

නියමිත දිනයේ දී විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේ දී මැටි කරත්තය නාට්‍යය රඟ දැක්වීම ඇරඹී ටික වේලාවකින් එහෙන් මෙහෙන් උසුළු විසුළු නාද ද, ඉන් පසු හූ හඬ ද, නැගෙන්නට පටන් ගෙන ඇත. තවත් සුලු වේලාවකින් ගල් කැට කීපයක් වේදිකාව දෙසට එල්ල වී ඇත.

ඊළඟට සිදුවුණු කැඩුණු පුටු කකුලක් මිසයිලයක් ලෙස වේදිකාව මත පතිත වීමත් සමග ම "මැටි කරත්තය" නාට්‍යය රඟ දැක්වීම අවසාන වී ඇත.

මේ අතත කතාව කියා වැඩි දුරටත් අදහස් දැක් වූ ලූෂන් බුලත්සිංහල කලාකරුවා පවසා සිටියේ, වේදිකා නාට්‍යයක් හෝ වෙනත් ඕනෑම ප්‍රදර්ශනයක් හෝ නැරඹීමේ දී තමන්ට එය රුචි නොවේ නම් කළ යුත්තේ, එය නරඹන අන් අයට බාධා නොකර හිමින් සීරුවේ එතැනින් නික්ම යාම බවත්, තමන් ගේ විවේචන පසුව ඉදිරිපත් කළ හැකි බවත් ය.

එසේ ම, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලලිතකලා විශාරදයෙකු ඒ කාරණය තම ශිෂ්‍යයින් ට පහදා නොදී, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන කට කැඩිච්ච කතාව මගින් ඔවුන් අනියම් ආකාරයෙන් උසි ගැන්වීම කළ නොයුතුව තිබුණු දෙයක් බවත් ය.

වේදිකා නාට්‍යයක් හෝ වෙනත් නිර්මාණයක් නරඹා රස විඳීමට ද යම් කිසි බුද්ධි මට්ටමක් අවශ්‍ය බවත්, එවැනි තත්වයක සමාජයක් යනු සැම විටම සංස්කෘතියෙන් උසස් සමාජයක් බවත් ලූෂන් බුලත්සිංහල කලාකරුවා වැඩි දුරටත් පැවසී ය.

සිනුවර සිංහල නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ නාට්‍ය වැඩමුළු පවත්වාගෙන යන ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න අපට පවසා ඇත්තේ ද, කලා කෘතියක් සැබෑ ලෙස රස විඳීමට නම් ඒ සඳහා නිසි පුහුණුවක් ද ලැබිය යුතු බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි
සමහර විට "මැටි කරත්තය" වේදිකා නාට්‍යයට හූ කියා කඩාකප්පල් කළ දිනයට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ රඟ දැක්වුණු වේදිකා නාට්‍යයන්ට ද හූ කීම් සිදුවන්නට ඇත.

Thursday, 11 August 2016

ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!


ඔහු ගේ ජනප්‍රියතම නිර්මාණය වූ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය සමග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලූෂන් බුලත්සිංහල සමග සුහද සංවාදයකයට සහභාගීවන්නට අවස්ථාවක් ඊයේ සිනුවර වසන අපට ලැබුණි.

ඒ සංවාදය සංවිධානය කෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි. ඒ අවස්ථාවේ දී ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා පිළිබඳ කෙරුණු හැඳින්වීම සහ ඔහු විසින් කරන්නට යෙදුණු කෙටි දේශනය පහත සබැඳියෙන් නැරඹිය හැකිය.



ඒ වීඩියෝවේ දැක්වෙන දේශනය අවසානයේ දී එළැඹි ප්‍රශ්නෝත්තර සහිත සුහද සංවාදයේ දී ලූෂන් බුලත්සිංහල විසින් ඉතා වැදගත් කරුණු රාශියක් පවසන්නට යෙදුණි.

ඉන් ඉතා වැදගත් කරුණක් වනුයේ කලාකරුවා යනු කවරෙක්ද පිළිබඳව ඔහු ලබා දුන් නිර්වචනයයි.

ලූෂන් බුලත්සිංහල පැවසූ අන්දමට ලංකාවේ කලා ශිල්පියෝ ද සිටිති. කලාකරුවෝ ද සිටිති. මේ දෙපිරිස වෙන් කර හඳුනා ගැනීම කලා රසිකයින්වන අපට වැදගත් වනු ඇත.

කලා ශිල්පියා යනුවෙන් ඔහු අදහස් කළේ යම් කිසි නිසජ හැකියාවක්, සතත අභ්‍යාසය මගින් ඔප් නංවාගෙන ඒ කලා නිර්මාණය ජනතාවට ඉදිරිපත් කරන පිරිසයි.

ඒ හා සංසන්දනාත්මකව ඉහළ තලයක සිටිනා කලාකරුවන් යනු, ලූෂන් බුලත්සිංහල ඝේ නිර්වචනයට අනුව, ඔවුන් සතු ඒ කලා කුසලතාව, හුදෙක් ශිල්ප දැක්වීමකට පමණක් සීමා නොකර, එය සමාජ ප්‍රගමනය, ජනතා යහපත පිණිස යොදවන්නෝ ය. කලාවෙන් අප බලාපොරොත්තු විය යුතු සැබෑ සමාජ ප්‍රතිලාභය නම් එවැනි කලාකරුවන්ගෙන් කෙරෙන ඒ ධනාත්මක සම්මාදමයි.

කලාකරුවන් පිරිසක් නළාකරුවන් වීම සහ ඉන් මට සිනුවර දී ලැබුණු ඩොලර් වාසි පිළිබඳව ලිපියක් මම පසුගිය වසරේ දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

සැබෑ කලාකරුවෙකුට කිසිදා නලාකරුවෙකු විය නොහැකි බවත්, ඒ ඉතිහාසය පුරා නළාකරුවන් වී ඇත්තේ, නළාකරුවන් බවට පත්වෙමින් සිටින්නේ සහන අනාගතයේ දී එසේ නළාකරුවන් වනු ඇත්තේ කලාකරුවන් නොව කලාශිල්පීන් බව මට ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා ගේ ඒ කතාව ශ්‍රවණය කිරීමෙන් පසු පසක් විය.

තවත් විස්තර පසුව.

-රසිකොලොජිස්ට්